6/29/2018

ලාංකේය දේශපාලනයේ සැඟවූ ට්‍රෝජන් අශ්වයා හෙළ උරුමයද ?

කතෘ:යුතුකම     6/29/2018   No comments

-පැතුම් රණසිංහ-2004 මහ මැතිවරණයට හෙළ උරුමය විසින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී ඔවුන් මහජනයාගෙන් ඉල්ලා සිටියේ "රට දැය සමය වෙනුවෙන් දිවියේ එක්‌වරක්‌" තමන්ට ඡන්දය පාවිච්චි කරන ලෙසයි. නිදහසින් පසු පත් වූ ආණ්ඩුවලින් සිය ජාතික අභිලාෂයන් ඉටු නොවුණ බව දුටු මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයන් විශාල ප්‍රමාණයක් මේ අනුව නව ජාතික ප්‍රවණතාවක් වෙනුවෙන් සැක හැර ඡන්දය පාවිච්චි කරන්නට ඇත. එසේ එක්වරක් ඡන්දය ඉල්ලා දේශපාලනයෙන් ඉවත්වීමට ශුද්ධ වූ පොරොන්දු දුන් හෙළ උරුමය දැනට තුන්වරක් මහ මැතිවරණවලට ඉදිරිපත් වෙමින් කරවටක් දේශපාලන මඩගොහොරුවේ ගිලී ඇත. අද වන විට එහි ජන පදනම එයට අහිමිවීම අහඹුවක් නොවේ. එම පක්ෂය විසින් මුලින් දුන් පොරොන්දු සියල්ල අද වන විට අමතක කොට දමා අවසානය.

2003 වර්ෂයේදී පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සැක සහිත ලෙස අපවත් වූ අතර ඒ මළගම උඩින් ජාතික හෙළ උරුමය බිහි විය. සෝම හිමියන්ගේ ශාන්ත ආමන්ත්‍රණයට ඇහුම්කන් දුන් බොහෝ පිරිස් ජාතික හෙළ උරුමය වටා රැස් විය. වර්තමානය වන විට විවිධ නම්වලින් ජාතික සංවිධාන පිහිටුවාගෙන සිටින ගිහි පැවිදි බොහෝ දෙනා 2004 දී හෙළ උරුමය සමඟ සම්බන්ධ වී සිටියෝය. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් ගණනාවක් ද හෙළ උරුමය බිහිකිරීමට මුල් වූවන් අතර විය.

2004 මහා මැතිවරණයේදී ජාතික හෙළ උරුමය මුළු ඡන්ද වලින් 6% ක් ලබාගත් අතර පාර්ලිමේන්තු ආසන 9 ක් ලබාගෙන දැවැන්ත බලවේගයක් වී තිබිණි. සමස්ත දිවයිනෙන්ම එම පක්ෂයට හිමි වී තිබූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 552,724 කි. ජාතික හෙළ උරුමයේ ඒ ඡන්ද පදනම රැඳී පැවතුණේ පාරම්පරික සිංහල බෞද්ධ එක්සත් ජාතික පාක්ෂිකයන් මත බව පෙනී යයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ එක්සත් ජාතික පක්ෂය විජාතිකකරණයට ලක් වෙද්දී එම පක්ෂයෙන් ගිලිහී ගිය පාරම්පරික ඡන්ද ප්‍රමාණයක් අවස්ථානුකූලව හෙළ උරුමයට සමීප වූ බැව් සිතිය හැකිය. එසේම ඔවුන් පැවසුවේ පවතින දේශපාලන ප්‍රවාහය වෙනස් කිරීම සඳහා එක් වරක් පමණක් තමන් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙසයි. එයද ඡන්ද දායකයට සුවිශේෂී පොරොන්දුවක් විය.

සෝම හිමියන්ගේ සැක සහිත අපවත්වීම සමඟ අන්‍යාගමිකකරණයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුය යන සංවාදය ද කරළියට පැමිණුනි. එකී සංවාදයේ ක්ෂණික ප්‍රතිපලය වූයේ කඩිමුඩියේ පිහිටුවාගත් හෙළ උරුමයයි. 2004 අප්‍රේල් 25 වනදා එම පක්ෂයේ ප්‍රථම සම්මේලනය පවත්වන ලදි. එහිදී එළිදැක්වුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1,2 හා 3 වගන්තිවල පක්ෂය විසින් ආරක්ෂා කළ යුතු සිංහල බෞද්ධ පදනම පිළිබඳව අර්ථකතන ඉදිරිපත් කොට තිබුණි. එහෙත් මෑතකදී හෙළ උරුමයේ සාමාජික එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හාමුදුරුවන් පුවත්පතකට පවසා තිබුණේ තම පක්ෂය සිංහල බෞද්ධ පදනම මත පිහිටා කටයුතු නොකරන බවයි.
ඕමල්පේ සෝභිත හිමියන්ගේ, එල්ලාවල මේධානන්ධ හිමියන්ගේ, උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පටන් ඥානසාර හිමියන් දක්වා සියළු භික්ෂු සංඝයා වරද්දාගත්තේ 2004 ජාතික හෙළ උරුමය පිහිටුවීමට දායක වීමෙනි. එය නිවැරදි කරගත නොහැකි වරදක් වශයෙන් ඉතිහාසයේ සටහන් වී තිබෙනු ඇත. 88-89 සමයේ දී ජනතා විමුක්ති පෙරමුණෙන් පටන්ගෙන වධකාගාර, පුනරුත්ථාපන කඳවුරු හරහා පැමිණි මොළ සෝදාගත් දේශපාලන අනාථයන් හට එල්ලෙන්න වැල් සකස් කර දුන්නේ හෙළ උරුමයයි. සෝම හිමියන්ගේ මළකඳ මතින් පැමිණ අද වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියමේ මහ ගේම්කාරයන් වන්නට ඔවුන්ට මාවත විවර කළේ ජාතික හෙළ උරුමයයි. ඒ සියල්ල සිදු වුණේ මෙරට ජනයා සතු සිංහල බෞද්ධ ජන විඥ්ඥානය දඩ මීමා කර ගනිමිනි.

මෙරට වෙසෙන බහුතර ප්‍රජාව ලෙස සිංහල බෞද්ධයාගේ කාර්යභාරය විය යුත්තේ ජාතික පදනමින් කුඩා දේශපාලන පක්ෂ බිහිකරගනිමින් සිය වර්ගයාගේ දේශපාලන දායකත්වය තව තවත් ආන්තිකකරණයට ලක්කරගැනීම නොවේ. සැබෑ ජාතිකවාදියාගේ කාර්යභාරය විය යුත්තේ ජාතික දේශපාලන ධාරාව තුළ රැඳී සිටිමින් අනෙකුත් ජන කොටස් ද ජාතිකත්වයට ඇතුළත් කර ගැනීමට උත්සාහ කිරීමයි. ජනවර්ගයක් ලෙස සිංහල ජනතාව අන්තවාදයෙන්, බෙදුම්වාදයෙන් සහ මූලධර්මවාදයෙන් පීඩා විඳින බව සැබෑවකි. එහෙත් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටිනවාය යන අරමුණෙන් පිහිටවූ ජාතික හෙළ උරුමය අද සිටින තැන දෙස බලන විට එක් ජනවර්ගයක් වෙනුවෙන් වාර්ගික පදනමින් දේශපාලන පක්ෂයක් පිහිටුවීම යනු කොතරම් ලොකු මුසාවාදයක්දැයි සැක හැර දැනගත හැකිය.

හෙළ උරුමය වැරදි පූර්වාදර්ශයන් කිහිපයක්ම ලාංකේය දේශාපලන ඉතිහාසයට එක් කොට තිබේ. පක්ෂයේ ආරම්භක අවධියේදී සිදු වූ සාකච්ඡා අනුව හෙළ උරුමයෙන් පත්වන සෑම මන්ත්‍රීවරයෙකුගේම ලේකම් පදවිය එම පක්ෂයේ සාමාජිකත්වය දරණ භික්ෂූන්වහන්සේ නමකට පැවරීමට සියළු දෙනා එකඟ වී තිබුණි. එහෙත් ඡන්දයෙන් පසු එම එකඟතා සියළුදෙනාට අමතක වීය. ඒ අනුව තම තමන්ට රිසි පරිදි ලේකම්වරුන් පත්කර ගන්නා ලදි. 2004 මහ මැතිවරණයට ඉදිරිපත් කළ හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ වූ එසේම පක්ෂයක් ලෙස සංවිධානය වීමට අඩිතාලම වූ “අන්‍යාගමිකකරණයට එරෙහි පනත පිලිබඳ කතිකාව” උපතටත් පෙරම ගබ්සා කොට දැමිණි.

ඥානසාර හාමුදුරුවෝත් වැලිකඩ හිරගෙදරය වැඩියහ. උන්වහන්සේට වැලිකඩ යැවීම ගැන උදම් වන පිරිස් මෙන්ම උන්වහන්සේට වැලිකඩ යැවූවන්ට හෙණ ඉල්ලන අයද දකින්නට ලැබේ. ඥානසාර හමුදුරුවන්ගේම වචනවලින් කියන්නේ නම් 2012 දී බොදු බල සේනාව බිහිකරන්නේ ජාතික හෙළ උරුමයෙන් නොකෙරුණු කාර්යභාරය ඉටු කිරීම පිණිසය. හෙළ උරුමයෙන් නොකෙරුණු කාර්යභාරය ඉෂ්ට කරන්නට පැමිණි ඥානසාර හාමුදුරුවන් 2015 මහ මැතිවරණය සඳහා බොදුජන පෙරමුණ ඉදිරිපත් කිරීම පුදුම සහගතය. ඥානසාර හිමියන් හෙළ උරුමයේ ආරම්භයේ සිටම ක්‍රියාකාරී සාමාජිකයෙකු විය. 2004 මහ මැතිවරණයටද උන්වහන්සේ හෙළ උරුමයෙන් ඉදිරිපත් විය.

ඥානසාර හාමුදුරුවන් විසින් නායකත්වය දුන් බොදු බල සේනාව 2012 පටන් මෙරට ජාතිකවාදී පසුබිමක් සහිත අතිධාවනකාරී තාරුණ්‍යට ආමන්ත්‍රණය කරමින් ඇත. ප්‍රථමයෙන්ම එම සංවිධානය දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස හඳුන්වාදුන්නේ ඊට ආධාර අනුබල දුන් හෙළ උරුමය නියෝජනය කරන අශෝක අභයගුණවර්ධන මහතා විසිනි. උපාය මාර්ග ව්‍යවසාය,කළමනාකරණ ආයතනයේ සභාපති වශයෙන් වර්තමානයේ කටයුතු කරන්නේ මෙතුමාය.

2015 ජනවාරි 08 රෙජීම මාරුවෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරගත් උපදේශකයෙකු වූ එවකට පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ විධායක සභිකයෙකු වූ අශෝක අභයගුණවර්ධන මහතා ජනාධිපතිවරණයේ උණුසුම වියැකී යාමටත් මත්තෙන් “යුග පෙරළිය” නම් කෘතියක් රචනා කරන ලදි. එතුමා ජාතික හෙළ උරුමයයේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කරන පුද්ගලයෙකු බව නොරහසකි. 2015 මාර්තු 23 වන දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපතිතුමාගේ සහ තවත් යහපාලන මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩි “යුග පෙරළිය” කෘතියේ හෙළ උරුමය හා බොදු බල සේනාව අතර වන සම්බන්ධය විස්තර කෙරෙන්නේ මෙලෙසිනි.

“ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩ ආරම්භ කළ විට ජාතික හෙළ උරුමයේ වේගවත් පිරිස බොදු බල සේනාවට ආකර්ෂණය විය. එහිදී චම්පික රණවකයෝද උපක්‍රමශීලිව ඊට අනුබල දුන්හ. ජාතික හෙළ උරුමයේ සිටි හැඩිගල්ලේ විමලසාර හිමියන් උපක්‍රමශීලී ලෙස ජාතික හෙළ උරුමයෙන් නිල වශයෙන් ඉවත්ව බොදු බල සේනාවට සම්බන්ධ වූහ. බොදුබල සේනාව දෙපැත්ත කැපෙන ආයුධයකි. තමන්ගෙන් ගිලිහෙන ජාතිකවාදී ධජය රැක ගැනීම සඳහා වක්‍රාකාරයෙන් චම්පික රණවක ඇතුළු පිරිස ඊට අනුග්‍රහ දැක්වූ අතර......”

“යුග පෙරළිය” කෘතියේ සඳහන් කොට තිබෙන අන්දමට එදා බොදු බල සේනාවේ ආරම්භක අවස්ථාවේදී ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව උපක්‍රමශීලිව බොදු බල සේනාවට එක් වූ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවෝ දැන් නැවතත් හෙළ උරුමයේ සභාපති පදවියක් හොබවයි. එවකට බොදු බල සේනාවට උපක්‍රමශීලිව ආධාර උපකාර කළ පාටලී චම්පික මහතා අද එජාප මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කරයි. මේ මොහොතේදී 8 වන පාර්ලිමේන්තුව තුළ තවත් හෙළ උරුමයේ සාමාජිකයන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීධූර දරයි.

හෙළ උරුමයේ උපදේශක අශෝක අභයගුණවර්ධන මහතා 2015 දී පෙන්වා දුන් අයුරින්ම තමන් අතින් ජාතික ධජය ගිලිහෙන බව චම්පික රණවක මහතා ඇතුළු හෙළ උරුමයේ බුද්ධි මණ්ඩලය අවබෝධ කොට ගත්තේ බොහෝ කලකට පෙරාතුව පටන් ය. එය එසේ සිදුවන බවට සාක්ෂි හෙළ උරුමයේ ආරම්භක අවධියේ පටන්ම දකින්නට ලැබුණි. ඒ අනුව තමන් අතින් ගිළිහෙන ජාතික ධජය රැක ගැනීම උදෙසා චම්පික රණවක මහතා ඇතුළු හෙළ උරුමයේ නායකයන් නිර්මාණය කරගත් උපක්‍රමශීලි අවකාශය බොදු බල සේනාව විය.

ඥානසාර හාමුදුරුවන්ට නොර්වේ අරමුදල් ලැබෙන බවට ප්‍රකාශ කළේ විමල් විරවංශ මහතාය. ඥානසාර හාමුදුරුවන්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ රහසිගත අරමුදලකින් ප්‍රතිපාදන සපයන බවට චෝදනා කළේ මංගල සමරවීර මහතාය. එම චෝදනා එල්ල වූයේ 2015 ට කලිනි. 2015 ජනාධිපතිවරණයට පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර සිටියේ සිය පරාජයට බොදු බල සේනාව ද හේතු වූ බවයි. 2015 ජනාධිපතිවරණයේදී බොදු බල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන බව ප්‍රකාශ කර සිටි අතර හෙළ උරුමය එම අවස්ථාවේදී එජාපය, ජවිපෙ ය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ සන්ධානය සහ අනෙකුත් වාමාශික කොටස් සමඟ එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොදු අපේක්ෂකත්වයට සහාය දුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට පත්කරගැනීම සඳහා වූ ක්‍රියාදාමයට හෙළ උරුමය සහයෝගය දුන්නේ මහින්ද රාජපක්ෂ රජය තුළ ඇමති පදවි ද දරමින් සිටින අතරතුරදීම ය. ආණ්ඩුව තුළම සිටිමින් ආණ්ඩුව විවේචනය කොට ආණ්ඩුව නිවැරදි මාවතේ ගමන් කරවීමට තමන් කටයුතු කරන බව හෙළ උරුමය ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ 2012 වසරේ පමණ පටන් ය. එදා රාජපක්ෂ රජය තුළ සිටිමින් කළ එම ප්‍රකාශවල පුනරුච්චාරණයක් මෙදා මෛත්‍රී -රනිල් හවුල් ආණ්ඩුව තුළ සිටින හෙළ උරුමය තුළින් නැවත ඇසෙයි. එය දැනටමත් ක්‍රියාත්මකව පවතින අනාගතය තුළ පල දරණ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියක එක් අංගයක් බවට සැකයක් නැත.

මායිම් ගම්මානවල දහස් ගණන් අපේ මිනිසුන් මර බියෙන් ජිවත් වෙද්දී, ත්‍රස්තවාදීන්ට ඉඩ දී සන්නද්ධ හමුදා කඳවුරු තුළ ගාල් කොට වගකිවයුත්තෝ කොළඹට වී යුධ විරෝධී ව්‍යාපාර කරමින් සිටි යුගයක් මේ රටේ තිබිණි. එවැනි යුගයකදී තරුණ භික්ෂුවක් ලෙස ඥානසාර හාමුදුරුවන්ගේ දේශපාලන ආගමනය සිදු විය. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, ජාතික සංඝ සභාව, වීරවිධාන, සිහළ උරුමය, යන ව්‍යාපාරයන්හි ඥානසාර හාමුදුරුවෝ ක්‍රියාකාරිකයෙකු විය. වරෙක ජාතික සංඝ සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් විය. ඒ සියල්ලම තිබියදී මා කියන්නට උත්සාහ කරන්නේ ඥානසාර හාමුදුරුවෝ දැන කළ දේශපාලනයට වඩා නොදැනීම අනුගත වූ දේශපාලන අරමුණු මහත් බරපතල වූ බවය. ඉතිහාසය තුළ කළ කී දෑ ඉතිහාසය සමඟම වැළලී යනු ඇත්තේ මතක සටහන් පමණක් ඉතිරි කරවමිනි. වඩා වැදගත් වන්නේ අනාගතය තුළ සිදු වීමට නියමිත දෑ ය.
ව්‍යාජ ජාතිකවාදීන් සිය අතින් ගිලිහුණු ජාතිකවාදී ධජය රැක ගැනීම පිණිස නැවතත් ඥානසාර හාමුදුරුවන්ව යොදවා ගැනීමේ ඉහළ විභවයක් පවතී. එය එසේ වේය යන සැකය තුළ උන්වහන්සේ ඉදිරියේදී නිසැක දේශපාලන ඉලක්කයක් වීම වැළක්විය නොහැක.

දස වසරක් තිස්සේ ට්‍රෝයි පුරය අල්ලාගැනීමට සටන් කළ ග්‍රීක ආක්‍රමණිකයන් හට රණකාමී ට්‍රෝයිවරුන් හමුවේ අත් වූයේ පරාජයකි. හිටිහැටියේම දස වසරක වටලෑම අත්හල ග්‍රීකයෝ ට්‍රෝයි සීමාවෙන් ඉවත් වී ගියෝය. එසේ ඉවත්ව යන විට ඉතා විශාල ප්‍රමාණයේ අලංකාර දැවයෙන් සෑදූ අශ්ව ප්‍රතිමාවක් ඉතිරි කොට ගොස් තිබිණි. එම ප්‍රතිමාවේ අලංකෘත බවට ලොල් වූ ට්‍රෝයි වැසියන් අශ්ව ප්‍රතිමාව පවුරු බැම්මෙන් ඇතුළට රැගෙන ආහ. අලංකෘත අශ්ව ප්‍රතිමාවේ ග්‍රීක සොල්දාදුවන් සැඟව සිටින බවත් තමන් දීන උපායකට හසු වූ බවත් ට්‍රෝයි වැසියන් දැන ගත්තේ රාත්‍රියේදී නගරය ගිනි ගන්නා විටය. ට්‍රෝජන් අශ්වයාගේ කතාව එයයි.

ධර්මිෂ්ට සමාජ සිහිනයේ සිට ධර්ම රාජ්‍යයේ සිහිනය දක්වා වංචාකාරී ඡන්ද පොරොන්දු වලට රැවටුණු සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදනම නුදුරු අනාගතයේදී තවත් එක් පොරොන්දුවකට නොරවැටේ යැයි කිව හැක්කේ කාටද ? කළ හැක්කේ අතීත අත්දැකීම් තුළින් සබුද්ධික ජනතාවක් බිහිකරගැනීමට කටයුතු කිරීමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions