6/25/2018

20 ත් අරන් ජවිපෙ කොයිබට ද ? - I

කතෘ:යුතුකම     6/25/2018   No comments

-පැතුම් රණසිංහ-72 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගත් සමගි පෙරමුණු ආණ්ඩුව නව ජනරජ ව්‍යවස්ථාව ගෙන එමින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ දායාදයක් වූ සෝල්බරි ව්‍යවස්ථාවට තිත තබන ලදි. එම ආණ්ඩුවේ බලතල ඉසිලූ වාම ප්‍රවාහය රට මෙහෙයවූයේ සංවෘත ආර්ථිකයක් වෙතය. එකී ආර්ථික රටාව නිසා රටේ ජනතාව පීඩාවට පත් වූ අතර අවස්තානුකූලව එජාපය ආර්ථිකය විවෘත්ත කොට ධර්මිෂ්ට සමාජයක් බිහි කරන බව කියමින් ජන වරමක් ඉල්ලන ලදි.ඒ අනුව සුවිශාල ජනවරමක් සහිතව 1977 දී එජාප ය ආණ්ඩු බලය ලබා ගත්තේ පාර්ලිමේන්තු ආසන 5/6 කට හිමිකම් කියමිනි. ආර්ථිකය විවෘත්ත කිරීම හරහා හමා එන ලිබරල් ප්‍රවාහය තුළ තමාට මුහුණ දීමට සිදුවන අනිවාර්ය ප්‍රතිරෝධය ගැන අවබෝධයක් ජයවර්ධන අගමැතිවරයාට තිබිණි. ආර්ථිකය විවෘත්ත කොට,නව ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව සියලු බලතල කැටි කොටගත් විධායක ජනාධිපති ධූරය සහිත 78 ව්‍යවස්ථාව ගෙන ආවේ ඒ අනුවය. එතුමා බලාපොරොත්තු වූ අයුරින්ම ලිබරල්කරණය හමුවේ ඇති වූ පීඩනයේ ආර්ථික මුහුණුවර 80' ජූලි වැඩවර්ජනය හරහා ද, සමාජීය මුහුණුවර 83' ජූලි කෝලාහලය හරහා ද පුපුරා ගියේය. එකී අවස්ථාවන්වලදී 5/6 ජනවරම උපයෝගී කරගනිමින් තමා වටා කැටිකොට ගත් විධායක බලය යොදමින් සිය පාලනය රැකගැනීමට ඔහු සමත් විය. එපමණකින් නොනැවතී මහ මහමැතිවරණ මඟහරිමින් ජනතාවට ලාම්පු කලගෙඩි සෙල්ලම් පෙන්වූවේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය ඉතා කුප්‍රසිද්ධ මතකයක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. 1982 නොවැම්බර් 21 දා ජයවර්ධන මහතාට ආධාර පිණිස ඇහැලියගොඩ දී පැවැත් වූ රැළියකදී ජේ.ආර් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අපට වාසිදායක මේ අවස්ථාවේ අවුරුදු දහයකට ලංකාවේ ඡන්ද කොට්ඨාස සිතියම අකුලා තබන බවය. ජනාධිපතිවරණය දා ශ්‍රී.ල.නි.ප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඡන්ද පොළට යන විට ඔහුගේ ඡන්දයද හොරෙන් පාවිච්චි කොට තිබුණි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කෙනමන් මහතාගේ ඡන්දයද හොරෙන් පාවිච්චි කොට තිබුණි. මෙවැනි හොර ඡන්ද දැමීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සෑම කොට්ටාසයකම නොඅඩුව වාර්තා විය.

මේ අයුරින් විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය එහි ආදිකර්තෘ තුමන් අතින්ම දුෂණයට ලක් විය. එවන් පසුබිමක් තුළ අසීමාන්තික බලතල කැටි කොට ඇති ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන සංවාදය ඇති වූයේ එහි ආරම්භක සමයේදීමය. නමුත් මැතිවරණ සිතියම අකුලා දමමින් දිගින් දිගටම බලය රැක ගත හැකි වෙතැයි යන අපේක්ෂාවෙන් එජාප ය මුල් කාලීනව කොන්දේසි විරහිතව ජනාධිපති ධූරය පැවතිය යුතුය යන ස්ථාවරයේ පසු විය.

විධායක ජනාධිපති ධූරය, සමානුපාතික ඡන්ද ක්‍රමය, විවෘත්ත ආර්ථිකය, කළු ජූලිය ආදී බොහෝ දායාදයන් ජනතාවට ලබා දුන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා 87 දී විශ්‍රාම ගියේ එම දායාදයන් සියල්ලම පරයා යන උභතෝකොටිකයක් රටට ඉතිරි කරමිනි. එම උභතෝකෝටිකය නම්, 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි. එම උභතෝකෝටිකය විසඳා ගැනීමෙන් තොරව විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම පිලිබඳ කතා කිරීමෙන් පලක් නැත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සමඟ පළාත් සභා ඇති කිරීම හරහා විෂය පථයන් 37 ක පරිපාලන බලතල පළාත් සභාවලට හිමිවිය. තවත් විෂයන් 36ක් සමගාමී ලැයිස්තුව තුළ ඇත. එම බලතල පළාතක මහා ඇමති ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් අනිසි ලෙස භාවිතා කළොත් කැටලෝනියානු සංසිද්ධියක් ශ්‍රී ලංකාවේ ඇති වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. මේ අනුව මධ්‍යම ආණ්ඩුවට බලතල ඇත්තේ සංවෘත විෂයන් සහ සමගාමී ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණ ගැනීමට පමණි. පළාත් සභාවට බලය පවරා ඇති විෂයන් 37 සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම එම පළාත් ආණ්ඩුව සතු වේ. යම් හෙයකින් පළාත් ආණ්ඩුව විසින් සම්මත කළ නීතියක් මධ්‍යම ආණ්ඩුවට වෙනස් කිරීමට වුවමනා වේ නම් ඒ සඳහා පාර්ලිමේතුවේ 2/3 ක අනුමැතියක් හිමි විය යුතුය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආ 2 වගන්තියට අනුව පළාත් ආණ්ඩුකාරයා විසින් සිය පළාත තුළ විධායක බලතල පාවිච්චි කළ යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලයට යටත්ව ය. ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ බෙදා වෙන් කොට දැමූ ශ්‍රී ලංකා භූමිය ඒකට කැටි කොට තබන හුය බවට පත් වී ඇත්තේ විධායක ජනාධිපති ධූරයයි.

2007 ජනවාරි 01 දින ජවිපෙ ගොනු කළ පෙත්සමක් අනුව නැවත වෙන්කරන තෙක් ඉන්දු ලංකා ගිවිසුමෙන් පසුව උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට තිබුණි. 1990 මාර්තු 01 දින ත්‍රිකුණාමලයේදී රැස් වූ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති වූ වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කොට පළාත් සභාව එම ජනරජයේ ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කළේය. එසේ සිදු කොට පැය කිහිපයක් ගත වීමට මත්තෙන් එවකට විධායක ජනාධිපතිවරයා වූ ප්‍රේමදාස මහතාට එකී පළාත් සභාව විසිරුවා හැරීමටත්, එහි මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වූ ආණ්ඩුකාර ලුතිනන් ජෙනරාල් නලින් සෙනවිරත්නට බලය පැවරීමටත් හැකි විය. එකී බලය පවරා ගැනීම නිත්‍යානුකුල වූයේ ව්‍යවස්ථාව තුළ එවැනි ආරක්ෂාකාරී පියවරක් සඳහා ප්‍රතිපාදන පැහැදිලිව ජනාධිපතිට පවරා තිබූ හෙයිනි.

ජේ.ආර් ජයවර්ධන මහතා විධායක බලය සහිත ජනාධිපති ධූරයක් ඇති කොට එහි පළමු ජනාධිපති ලෙස සියතින්ම අභිෂේක වූයේ සුපැහැදිලි අරමුණකින් නොවන බව ඉතා පැහැදිලිය. නමුත් කල්යත්ම එය රටේ ස්ථාවර බව හා වෙන් කළ නොහැකි ලෙස බැඳි ගියේය. දෛවෝපගත ලෙස විධායක ජනපති ක්‍රමය හඳුන්වා දුන් එජාපයට 1994 සිට සිය පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි විය. ඒ තබා අවම වශයෙන් පසුගිය ජනාධිපතිවරණ දෙකක් සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එම පක්ෂයට නොහැකි විය. විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ ජේ.ආර් ජයවර්ධන මහතාගේ බෑණනුවන් වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වර්තමාන එජාප නායකයින් බොහෝ දෙනෙකු මුල් කාලයේදී විධායක ජනාධිපති ධූරයේ අගනාකම් විවරණය කළ අයයි. එහෙත් ඔවුන් සියළු දෙනාටම අද විධායක ජනාධිපති ධූරය නයාට අඳු කොළ මෙන් වී ඇත්තේ සිය පක්ෂයට ජනාධිපතිවරණයක් ජයගත නොහැකිය යන හීනමානය නිසා මිස ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති අමුතු ඇල්මක් නිසා නොවේ.

මේ ඉතිහාසය පැහැදිලි කර ගැනීමකින් තොරව අද ජවිපෙ විසින් ඉදිරිපත් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කළ නොහැකිය. වර්තමානය අප අබියස ගොඩ නැගෙමින් පවතින්නේ ඉතිහාසය තුළ සිදුවෙමින් පැවති සංසිද්ධීන් ගණනාවක ප්‍රතිපලයක් වශයෙනි.

20 වන සංශෝධනය අනුව මෙතෙක් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා ය යන කාරණය අහෝසි වී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තියට අනුව මෙතෙක් සිය ජනාධිපතිවරයාව පත් කර ගැනීමට මහජනයාට තිබූ අයිතිය මහජනයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට පැවරීමට 20 වන සංශෝධනය මගින් යෝජනා කරයි.

ජනාධිපතිවරණයක් සඳහා සුවිශාල මහජන මුදලක් නාස්ති වන බැවින් පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයාව පත් කර ගැනීම මහජන මුදල් ඉතිරියට හේතුවක් වන බව ජවිපෙ පවසයි. එහෙත් 87 පටන් සුවිශාල මහජන මුදල් කන්දරාවක් නාස්ති කරමින් පවත්වාගෙන යන පළාත් සභා සම්බන්ධයෙන් ජවිපෙට අද අමතක වී ඇත. ලෙයින් යකඩින් මර්ධනය දියත් කොට තිබූ යුගයක පළාත් සභාවලට එරෙහිව අවි අතට ගත් ඉතිහාසයක් ජවිපෙ ට ඇත. එහිදී මිය ගිය 60 000 කට අධික තරුණයන් සියල්ලම ජවිපෙ සාමාජිකයන් නොවුණත් ඊට නායකත්වය දුන් ඉතිහාසය ජවිපෙට අමතක කළ හැකද?
20 වන සංශෝධනය හරහා ගෙන එන යෝජනා අනුව නව ජනාධිපතිවරයෙකු පත් කිරීමට සහ ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේතුවේ ඡන්ද 225 න් හරි අඩකට වැඩි ප්‍රමාණයක් පමණි. එසේම එලෙස පත්වන ජනාධිපතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ විය යුතු යැයි මෙම යෝජනාවලිය තුළ සඳහන් නොවේ. එහි පැහැදිලිව සඳහන් වන පරිදි ඕනෑම් පුරවැසියෙකු පාර්ලිමේන්තුවේ හරි අඩක මනාපය පරිදි රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගත හැකිය. මේ ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් වන 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති වලින් ජවිපෙ තවත් අපූරු යෝජනාවක් ගෙන එයි. එම යෝජනාව අනුව ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්ද විමසීම රහසිගත ඡන්දයක් ලෙසද පැවැත්විය හැකිය. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත සම්මත කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිදු වූ ඡන්ද විමසීමේදී සභා ගැබේ නොසිටි මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය හොර ඡන්දයක් ලෙස දමා තිබූ බවට පාර්ලිමේන්තුවට චෝදනා එල්ල වූයේ පසුගිය මාර්තු 23 වන දාය. ජවිපෙ විසින් රහසිගත ඡන්දයක් මගින් ජනාධිපතිවරයා පත් කර ගැනීමේ වගකීම පැවරීමට යෝජනා කරන්නේ මේ දැනට පවතින 8 වන පාර්ලිමේන්තුවට ය. මෙවන් රහසිගත ඡන්ද විමසීමක් හරහා එක් එක් මන්ත්‍රීවරයා කවරෙකු වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කළා ද යන්න දැනගැනීමට ජනතාවට කිසි දිනෙක ඉඩ නොලැබෙයි. මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට පත් කොට යවන්නේ ජනතාව විසින් සිය ඡන්දයෙනි. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට බැඳි සිටී. මන්ත්‍රීවරුන්ගේ ඡන්දය කා වෙනුවෙන් පාවිච්චි කරනවා ද යන්න ජනතාවගෙන් සැඟවීමට ජවිපෙ යෝජනා කරන්නේ ඇයි ?

අන්තර් කාලීන යෝජනාවල සඳහන් වන පරිදි ජවිපෙ ගෙන එන පාර්ලිම්ර්න්තුවේ මන්ත්‍රී ඡන්දයෙන් පත් වන නව ජනාධිපතිවරයා පත් කරගනු ලබන්නේ දැනට පවතින 8 වන පාර්ලිමේන්තුව තුළම ය. පාර්ලිමේන්තුවේ හොර ඡන්ද දැමූ බවට චෝදනා එල්ල වූයේ මෙම 8 වන පාර්ලිමේන්තුවටය. බැඳුම්කර වංචාව පිලිබඳ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට විශ්වාසභංගය ගෙන ආ අවස්ථාවේදී විවාදයට ඉඩ නොතබා හිටි හැටියේම මයික ෆෝන අක්‍රිය වූයේ මෙම අටවැනි පාර්ලිමේන්තුවේය. බැඳුම්කර වංචාවෙන් උපයා ගත් අනිසි මුදල් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිතා කළ බව පිළිගත් මන්ත්‍රීවරු සිටින්නේ මේ අටවන පාර්ලිමේතුවේ ය. තවත් එලෙස මුදල් ලබාගත් මන්ත්‍රීවරු ගණනාවක් මෙම පාර්ලිමේන්තුවේ සිටින බව ඔවුන් විසින් අනාවරණය කොට ඇත.

පළාත් පාලන මැතිවරණ සංශෝධනයේදී කොට්ටාස පදනම මත සභිකයින් 70% කුත් සමානුපාතිකව 30% කුත් වශයෙන් පත් කර ගැනීමට කලින් යෝජනා කොට තිබිණි. 5% කට අඩු ඡන්ද පදනමක් සහිත තමන් හට පෞද්ගලිකව එය අවාසි වන බැවින් කලින් යෝජනා කළ අනුපාතය කොට්ටාස පදනම මත 60% කුත් සමානුපාතිකව 40% කුත් වන ලෙස වෙනස් කළේ මුස්ලිම් කොන්ග්‍රසය සමඟ එක වූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. මහජන මුදලින් සිය පූර්ණ කාලීන කාඩරය කිහිප දෙනෙකු නඩත්තු කිරීමට ජවිපෙ ට ඉඩ ප්‍රස්ථාව විවෘත වූවා හැර ඉන් පොදුවේ රටට සිදු වූ යහපතක් නැත. බොහෝ පළාත් පාලන ආයතන අස්ථාවර වූයේද , බොහෝ කල් ඉක්ම යන තුරුත් පළාත් පාලන ආයතන පිහිටවිය නොහැකි ලෙස ප්‍රතිපල වියවුල් සහගත වූයේ ද, සභික සංඛ්‍යාව මහා පරිමාණ ලෙස ඉහළ ගියේද එම අසාධාරණ යෝජනාව නිසාය. නමුත් සිය සංශෝධනය පිළිබඳව කිසිඳු පසු විපරමක් ජවිපෙ විසින් සිදු කර නැත. එහි වගකීම භාර ගැනීමට කිසිවෙකු නැත. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දය තුළදී ද මෙම වියවුල පැන නගී. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ඉන් පසු පැන නගින වියවුලෙහි වගකීම භාර ගැනීමට ද කිසිවෙකු ඉතිරි නොවනු ඇත.

ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරන පරිදි ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් යහපාලනයේ පාර්ශවකරුවන් පරාජය වීමෙන් පසු ඇණහිට තිබූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පිණිසය. ජවිපෙ සිය දේශපාලනය කරන්නේ ජනතාව මෝඩයන්ය, තමන් කියන දෙය ජනතාවට නොතේරේය යන පූර්ව නිගමනය මතය. අන් දේශපාලන මත නියෝජනය කරන පිරිස් ජවිපෙට පෙනෙන්නේ වහලුන් ලෙසය. නැතහොත් ගෝත්‍රිකයන් ලෙසය. ජනාධිපතිවරයෙකු පත් කිරීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගන්නට මේ ආකාරයේ විකෘති යෝජනාවලියක් ගෙන ඒමට ජවිපෙ පොළඹවන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මය තුළ පවතින ඒ සිතිවිල්ල නිසා විය යුතුය. ජවිපෙ ඉදිරි ගමන් මගද එම සිතිවිල්ල මතම සකස් වෙනු ඇත. ඒ අනුව නොවැළක්විය හැකි ලෙස වේගයෙන් ජවිපෙ පොදු ජනතාවගෙන් බැහැර වීමත් ඊට සමගාමීව ජනතා විරෝධී දේශපාලන ප්‍රවාහ සමඟ ප්‍රකාශිතව හෝ අප්‍රකාශිතව සන්ධානගතවීමත් සිදු කරනු ඇත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions