6/24/2016

බුදුන් උපන් තැන සහ අපේ අයිතිය

කතෘ:යුතුකම     6/24/2016   1 comment
-සධීර බණ්ඩාර-
බුදුරදුන් (සිදුහත් කුමරුන්) උපන්/වැඩ විසූ ස්ථානය (රට) හෙවත් පුරාණ දඹදිව යනු ලක්දිවද යන්න පිළිබඳ විවාදය කලින් කලට මතුවන්නකි. අපේ අත්දැකීම් අනුව බොහෝවිට මෙම සාකච්ඡාව පැන නගින්නේ බිම් මට්ටමේ, ගමේ උපාසක උපාසිකාවන් අතරින් නොව නාගරික පැළැන්තියේ උගත් ‍යැයි සම්මත බෞද්ධයින් හා අන්තර්ජාලයේ හා සමාජ ජාලවල සැරිසරන සමහර තරුණ කොටස් අතරින්ය. සිංහල බෞද්ධයින් අතරින් මෙවන් විවාදයක් ඉදිරිපත් වීම යන කාරණයම සිංහල බෞද්ධයින්ට පහර ගැහීමට, ඔවුන්ව උපහාසයට ලක් කිරීමට යොදාගන්නා සිංහල බෞද්ධ විරෝධී පිරිස්ද වෙත්. හුදු බෞද්ධ ඉතිහාසය හා පුරාවිද්‍යාත්මක ගවේෂණ ගැන ඇල්මක් ඇති පිරිස්ද මේ පිළිබඳව උනන්දුවක් දක්වති. මෙවැනි විවාදයක් උලුප්පා දැක්වීම හරහා හිතාමතාම බෞද්ධයන් අතර මතභේද ඇතිකිරීමට උත්සාහ කරන්නන්ගේද හිඟයක් නැත.

නමුත් බුදුරදුන් ලක්දිව වැඩ විසුවා යැයි තර්ක කරන බහුතරයකට (විශේෂයෙන් තරුණ කොටස්වලට) ඇත්තේ තම/ජාතික අනන්‍යතාව හෝ බුදුරදුන් කෙරෙහි තමන්ට ඇති අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් යැයි අපි විශ්වාස කරමු. බුදුහාමුදුරුවන් වැඩ සිටි රටෙහිම තමන්ටත් ඉපිද ජීවත් වීමට ලැබීම තමන්ගේ වාසනාවක් , ආඩම්බර වීමට කාරණයක් යැයි ඔවුන් සිතනවා විය හැක. පිටස්තරයෙකුගේ දහමක් පිළිපැදීම ගැන (ඉතාමත් කලාතුරකින් හෝ) හිත යටින් යම් නොපැහැදීමක් ඔවුන්ට තිබෙනවාද විය හැක. (පසුගිය කාලයේ පැවති එට්කා විරෝධය අතරතුරදී, ඉන්දියානුවෙකුගේ ආගමක් පිළිපදිමින්ම ඉන්දියානුවන් රැකියා සඳහා මෙරටට පැමිණීම ගැන විරුද්ධ වීමට සිංහල බෞද්ධයින්ට ලජ්ජවක් නැතිදැයි උපහාසයෙන් ඇසූ පඬියන් කිහිප දෙනෙක්ද සිටිබව මෙහිදී මතක් කළ යුතුය). බුදුරදුන් යම්කිසි ආකාරයකින් තමන්ගේ ලේ නෑයෙකු කරගැනීමෙන්, තම රටේම වැඩසිටි අයෙකු කරගැනීමෙන්, බුදුරදුන් ගැන තමන්ටද අයිතියක් ඇතිකරගැනීමට හැකිවනවා යැයි ඔවුන් සිතනවා විය හැක. මෙම කුලකයේම වුනත් නොවුනත්, "ලොව කැළඹූ බෞද්ධයින්" යනුවෙන් බුදුදහම (බොහෝවිට මහායාන බුදුදහම) වැළඳගත් බටහිර ලෝකයේ ප්‍රසිද්ධ චරිත පිළිබඳ පින්තූර සමාජ ජාල තුල බෙදාහරිමින් තමන්ද බෞද්ධයන් වීම පිළිබඳ ආඩම්බර වන බව ඇඟවීමට උත්සාහ කරන තරුණ කොටස් තුලද තම අයිතිය හෝ හීනමානය පිළිබඳ ප්‍රශ්නයක් ඇතැයි අපි විශ්වාස කරමු. මෙම කෙටි සටහන ලිවීමේ අරමුණ බුදුරදුන් සත්‍ය ලෙසම වැඩ සිටියේ කොහිද යන්න පිළිබඳ වාද කිරීම නොව ඉහත සඳහන් කල තරුණ කොටස් ආමන්ත්‍රණය කිරීම සහ බුදුරදුන් පිළිබඳ සැබෑ අයිතිය ඇත්තේ කාටද යන්න සාකච්ඡා කිරීමයි.

මෙහිදී අපේ මතකයට නැගෙන්නේ හෙන්රි ජයසේනයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද "හුණුවටයේ කතාව" නාට්‍යයයි. මෙම මුළු නාටකය හරහා, විශේෂයෙන් අවසන් දර්ශන පෙළින් නාට්‍යයේ කතුවරයා කීමට උත්සාහ කරන (හෝ කතුවරයා කීමට උත්සාහ කරන්නේ යැයි අපි විශ්වාස කරන) ප්‍රධාන පණිවුඩයක් ඇත. ඒ දරුවා ගැන වඩා කැක්කුමක් ඇත්තේ වැදූ මවට වඩා හැදූ මවට බවයි. දරුවා ගැන වඩා සදාචාරත්මක අයිතියක් ඇත්තේ වැදූ මවට වඩා හැදූ මවට බවයි. බුදුහාමුදුරුවන් ගැන අයිතිය පිළිබඳවද අපට පැවසිය හැක්කේද මෙවන් දෙයකි. බුදුරදුන් (සිදුහත් කුමරුන්) උපන්නේ කොහිද, ඉන්පසු වසර අසූවක් වැඩ වාසය කළේ කොහිද යන්න එතරම්ම වැදගත් නැත. වැදගත් වන්නේ බුදුරදුන් පිරිණිවන් පෑමෙන් පසුවද උන්වහන්සේව වසර 2500ක් පුරා අඛණ්ඩව රැක බලාගත්තේ කවුද යන්නය. එසේ රැකබලාගත්තේ අන් කවුරුවත් නොව සිංහලයන්ය. වසර 2500ක් පුරා බුදුසසුනත්, බුදුසසුන රකින රටත් බාහිර ආක්‍රමණිකයන්ගෙන් සටන් කර බේරාගත්තේ සිංහලයන්ය. රටෙහි මහා නියඟ, දුර්භික්ෂයන් ඇතිවූ කාලවලදී පවා මරණය පෙනි පෙනීත් බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ වූ දහම කටපාඩමින්, ග්‍රන්ථාරූඩ කරමින් ආරක්ෂා කර ගත්තේද සිංහලයන්ය. බදුරදුන්ට සියදහස් වාරයක් පාසා තම රට පූජා කර ඇත්තේද සිංහලයන්ය. පිළිම, විහාර, දාගැබ් ඉදිකරමින් ශාසනය පවත්වා ගැනීමට වැඩිමනක් වෙහෙස වී ඇත්තේ සිංහල රජ දරුවන් ඇතුළු සමස්ත සිංහලයන්ය. සමහර අන්‍ය ආගමිකයන්ගේ, නිරාගමිකයන්ගේ සහ හීනමානික උගත් යැයි සම්මත බෞද්ධයින්ගේ අපහාස උපහාසවලට විරුද්ධව වාද විවාද කරමින් බුදුරදුන් සහ බුදුදහම රැක ගත්තේත්, රැක ගන්නෙත් සිංහලයන්ය. අදටත් බුදුදහම පිළිබඳ (අවම වශයෙන් ථෙරවාද බුදුහම පිළිබඳව හෝ) ලෝකයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ මේ ලක්දිවය.

ඔබ බුදුරදුන් උපන් තැන, වැඩ විසූ තැන ගැන වදවෙන්නේ බුදුහාමුදුරුවන් පිළිබඳ අයිතිය ලබාගැනීමට නම් ඉන් පළක් නැත. බුදුහාමුදුරුවන් වැදූ මව කවුද යන්න එතරම් වැදගත් නැත. නමුත් බුදුහාමුදුරුවන් හැදූ මව සිංහලයාය. එසේනම් බුදුහාමුදුරුවන් කොහේ උපන්නත් බුදුහාමුදුරුවන්ගේ අයිතිය ඇත්තේ සිංහලයාටය. මෙය බෞද්ධ ලෝකයාද, සෙසු ලෝකයාද පිළිගන්න සත්‍යයකි. සිංහලයා යැයි කවුදැයි නොදන්නා, බටහිර සමාජ විද්‍යාව තුළින් ලෝකය දෙස බලන පඬියන් ගැන අපි කළබළ විය යුතු නැත.
බුදුහාමුදුරුවෝ අපේය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/22/2016

"ෆෙඩරල් සංහිඳියාව" - සම්මන්ත්‍රණය අද (23) - ඔබටත් ආරාධනා

කතෘ:යුතුකම     6/22/2016   No comments


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/21/2016

සෝමවංශයන් නැවත කියවමු.

කතෘ:යුතුකම     6/21/2016   No comments
-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර-
සෝමවංශ අමරසිංහ නම් වූ සුන්දර මිනිසා, මිත‍්‍රයා පියාණන් සහ ගුරුවරයා වසර 46ක දේශපාලන ජීවිතයට හෙවත් තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදී ඇත. ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයකුට තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදීමට ඉඩ ලැබෙන්නේ කැස්බෑවා විය සිදුරින් අහස දකින්නා වූ තරම් කලාතුරකිනි. එයට හේතුව දේශපාලනඥයෝ අතිබහුතරය තම භෞතික ජීවිතයට සමුදීමට බෝහෝ කළකට පෙර දේශපාන අධ්‍යාත්මයට සමුදීමය. ඒ අතින් සෝමවංශයන් විජේවීරයන් සේම වාසනාවන්තයෙකි. නමුත් විජේවීරයන්ට සේම ඔහුටද ඉතිහාසය කිසිසේත්ම සාධාරණ වූයේ නැත. ඒ ඔවුන් දෙදෙනාම ඉතිහාසයට සරදම් කළ ඉතිහාසය වෙනස් කළ උඩුගං බලා පිහිනූ දැවැන්තයින් වූ බැවිනි. විජේවීයන්ට ඉතා ප‍්‍රචන්ඩ සහ කෘර මරණයක් හිමිකරදීමට තරම් ඉතිහාසය ඔහුට අකරුණාවන්ත විය. සෝමවංශයන්ට ඉතිහාසය කෙසේ වෙතත් සොබාදහම විසින් වේදනාවෙන් තොර නිහ`ඩ, සාමකාමී මරණයක් හිමිකරදීමට කරුණාවන්ත විය.


එහෙත් ඔහු පසුගිය වසරකට ආසන්න කාලය තුළ විදින ලද දුක් කරදර, විශේෂයෙන්ම මානසික පීඩා ඊට පෙර වසර 45ක් තුළ අත්දුටු සියළු පීඩාවන්ට වඩා බරපතල විය. ජීවිත කාලයක් තම දිවි දෙවැනි කොට ගොඩනැගූ පක්‍ෂයෙන් පිටමං වීම තරම් වේදනවක් ඔහුට තවත් නොවීය. විශේෂයෙන්ම තම මෑතකාලීන දේශපාලන සගයින් විසින් එල්ලකළ ද්වේශ සහගත නින්දා අපහාස දරාගැනීම ඔහුට පහසු නොවීය. ඒ විශේෂයෙන්ම ඔහු ඊට පෙරලා ප‍්‍රතිප‍්‍රහාර දීමට කල්පනා නොකිරීම නිසාය. අනුකම්පා විරහිතව ප‍්‍රතිප‍්‍රහාර දෙන්නන්ගේ සිත් සැහැල්ලූවේ. එහෙත් මැදිහත් සිතින් ඒවා දරාගැනීමට සහ එම ප‍්‍රහාර මැද තම ප‍්‍රතිපත්ති මත නොසැලී සිටීමට උත්සාහ දරන්නා බරපතළ මානසික පීඩනයකට ගොදුරුවේ. සෝමවංශයන් වැනි දේශපාලන සදාචාරය ‘‘අකුරට රැකීමට’’ වෙර දරන්නන්ට එය වඩාත් බරපතළ වේ.
පසුගිය අ`ගහරුවාදා(14)දා රාත‍්‍රීයේ මා මුණගැසුනු ප‍්‍රවීන මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න මහතා යම් පිරිස් සිරි අයියාගේ (සෝමවංශ අමරසිංහගේ* කීර්තිමත් අතීතයටද මඩ ගැසීමට උත්සාහ කරන බව පැවසීය. එම අවලාද නිශ්ප‍්‍රභා කෙරෙන යම් අතීත සිදුවීම් පිළිබඳ විස්තර ප‍්‍රමාණයක් මා වෙතින් දැනගැනීමට ඔහුට අවශ්‍ය විය. සෝමවංශයන්ගේ අන්වර්ථ නාමය සිරි අයියා විය. ඔහුගේ කිට්ටුවන්තයින් සිරි අයියා යන ගෞරව නාමයෙන් ඔහු ඇමතීමට කැමැත්තක් දැක්විය. කෙසේ වෙතත් සිරි අයියාගේ අවසරය නොමැතිව කිව හැකිදේ සහ මා ජීවත්ව සිටින තුරු කිසි දිනෙක කිසිවකුට නොකියනවා යයි තීන්දු කොට ඇති දේ හැර අනෙක් විස්තර ඔහුට ලබාදුනිමි. ඔහු ඉන් සෑහිමකට පත්විය. එම කථාබහ අවසානයේදී මා ඔහුට එක් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට යෙදුනි. මගේම වචනයෙන් කිවහොත් ‘‘සිරි අයියාට ඉතාහාසය විසින් සාධාරණය ඉටු කළේ නැහැ. ඔහුගේ පක්‍ෂය ඔහුට සාධාරණය ඉටුකළේ නැහැ. ඔබලා වැනි ඔහු ගැන දන්නා මාධ්‍යවේදීන්වත් ඔහු මිය යන්නට පෙර ඒ යුතුකම ඉටුකළ යුතුයි’’ යනුවෙන් මම ඉල්ලා සිටියෙමි.
පසුදින උදෑසන දුරකථනයෙන් මා ඇමතූ ධර්මන් ‘‘ඔබකිවු යුතුකම මට දැන් ඉටුකරන්න ලැබෙන්නේ නැහැ සිරි අයියා දැන් මිය ගිහින්’’ යනුවෙන් ඒ වනවිටත් මා දැන සිටි ආරන්චිය ඔහු මට දැනුම් දුනි. සිරි අයියා වැනි මමායනය හෙවත් මමත්වය ප‍්‍රහීන කළ අයෙකු ගැන ලියන්නට මා ගැනත් කියන්නට සිදුවීම පිළිබඳව ප‍්‍රාඨකයන්ගෙන් සහ සිරි අයියාගෙන් සමාව අයදිමි. පියෙක්,මිත‍්‍රයෙක්, ගුරුවරයෙක් එකවිට මියගිය විටෙක දැනෙන මහා වේදනාවක් සිත්හි දරාගෙන මේ ලියවිල්ල ලියන්නට වෙනත් ආකෘතියක් මාගේ සිතට දැන් වැටෙන්නේ නැත. සිරි අයියා ජනතා විමුක්ති පෙරමුණ හැරයාමෙන් පසුව ගතවූ වසරක කාලය තුළ සතියකට අවම වශයෙන් දෙවතාවක් ඔහුට කථාකොට සුවදුක් විමසීමට මා අමතක කළේ නැත. එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ සිතාමතා ඔහුට කථා නොකර සිටියෙමි. ඒ පිළිබඳව මම දැන් දැඩි ඇවත්් සිතකින් පීඩා විදින්නෙමි. ඒ පිළිබඳව ඔහුගෙන් සමාව ඉල්ලීමට දැන් ඉඩක් නැතත් ඊට හේතු වූ කරුණ පාඨකයන්ට වැදගත් වනු ඇත. ජීවිත කාලයෙන් ලබාගත් අත්දැකීම් ප‍්‍රත්‍යාවලෝකණය කොට අනාගතයට ම`ග පෙන්වන ස්වයං චරිතාපදානයක් ලියන ලෙස මම ඔහුට නිතර ඇවටිලි කළෙමි. අහස කඩා වැටුණ විට අස්කරන්නට පටන් ගන්නේ කොතනින්ද? දිනෙන් දින එම කර්තව්‍ය ආරම්භ කිරීම පමාවන විට මගේ බලකිරීමද වැඩි විය. ඊට අමතරව පවතින දේශපාලන තත්වය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳවද පළකල හොද නරක දෙකටම අදාල කියාපෑම්ද ඔහුට බලවත් මානසික පීඩනයක් එල්ලකල බව මා හට වැටහුනි. ටික දිනක් කථා නොකර සිටිය යුතුයැයි මා තීරණය කළේ එබැවිනි. ඒ ටික කලට ඔහු අප සැමට සමුදෙනු ඇතැයි නොසිතුවෙමි. එහෙත් ඔහු වැඩිකල් ජීවත් නොවන බවට ඔහු තුළ වූ අවබෝධය මා වටහාගෙන සිටියෙමි.
පසුගිය විරු සමරු උත්සවය ඉහමළින්ම පැවැත්විය යුතුයැයි ඔහු තුළ බලවත් අදහසක් තිබුණි. ඒ පිළිබඳව කථාකරන විටෙක ඔහු සිනාමුසු මුහුණින් ලබන සැරේ මම ඉදියිද යනුවෙන් මා දෙස බැලීය. අපේ ආයුෂත් අරගෙන අයියා තව අවුරුදු 10ක් ජීවිත්විය යුතුයි යනුවෙන් මම පිළි.ුරු දුනිමි. එතෙක් කල් අපට රටත් තියේවිද’’ යනුවෙන් ඔහු පෙරලා ප‍්‍රශ්න කළේය. ‘‘ඉතිහාසයේ අපට වැරදුණු සෑම විටම ඒවා නිවැරදි කරන්න අපට ඉඩ ලැබුණා. ඒත් මේ සැරේ එහෙම වෙයිද කියා මට සැකයි. මේ ඉතිහාසයේ අවසානයක්ද විය හැකියි’’ජනතා විමුක්ති පෙරමුණ නැතිව මේ සැරේ අධිරාජ්‍යවාදී මොහෙයුම ආපසු හරවන්න බැහැ’’ කිසි දිනෙක නිශේධනාත්මක දේ නොකියන සිරි අියා පසුගිය නොවැම්බර් මාසයේදී කතා කළේ එසේය.
සිරි අයියා රෝහණ විජේවීරනම් වූ ගුරුවරයා සේම උපාය මාර්ගික විශේශඥයකු වන්නේ ඔහු සතුරාගේ සපත්තු දමාගෙන සතුරාගේ මේසයේ වැඩි වී ප‍්‍රශ්නය දෙස බැලීමට ඉගෙන ගෙන තිබූ බැවිනි. ඒ නිසා අන් සමට වඩා ඔහුට දුර දැකිය හැකි විය. එදා 2003දී ධර්මපාලතුමාගේ අධිරාජ්‍යවිරෝධි බලවේගය සහ රෝහණ විජේවීරයන්ගේ අධිරාජ්‍යවිරෝධි බලවේගය එකට එකතු කොට නොර්වේජියන් බෙදුම්වාදී මෙහෙයුම පරාජය කිරීමට අවශ්‍ය තත්වයක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවන්නේ ඒ උපාය මාර්ගික ඥානය තුලිනි. ඔහු එම උපාය මාර්ගික මෙයෙයුම නම් කළේ රතු කොඩිය හකුලා සිංහ කොඩිය දිග හැරීම යනුවෙනි. ඔහු විසින් සිදුකළ උපාය මාර්ගික තේරීම් නොවන්නට සටන් විරාම ගිවිසුම, තාවකාලික ආණ්ඩු යෝජනාව සහ සුනාමි සහන මණ්ඩල යෝජනාව පරදවා මහින්ද රාජපක්‍ෂයන් බලයට ගෙනවිත් යුද්ධය නිමා කරන්නට අවශ්‍ය පසුබිම සකස් වන්නේ නැත. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ උපාය මාර්ගිකව ස්ථානගත කරන්නේ ඔහු විසිනි. ඔහුගේ උපාය මාර්ගික දැක්ම මත ක‍්‍රියාකළ ජනතා විමුක්ති පෙරමුණ රටට පමණක් නොව තම පක්‍ෂයටද ජයග‍්‍රහණ රැුසක් හිමිකර දුනි. ‘‘නෝර්වේජියන් සාම මෙහෙයුම’’ හරහා සුඩානය දෙකඩ වන විට ශ‍්‍රී ලංකාව ඒ මෙහෙයුමෙන් ගැලවෙන්නේ ඔහුගේ නායකත්වයෙන් ජ.වි.පෙ විසින් ඉටුකළ යුතුකම් කොටස නිසාය. ඒ කොටස නොතිබෙන්නට අනෙක් කොටස්වලින් අපේක්‍ෂිත සමස්ථ ප‍්‍රතිඵලය ලැබෙන්නේ නැත. ඒ නිසා අප රටේ ජනතාව සෝමවංශ අමරසිංහයන්ට සදාකල් ණය ගැති විය යුතු යයි මම නොබියව පවසමි.
ඊනියා නෝර්වේජියන් සාම මෙහෙයුම අඩිල කොට මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම මගින් බෙදුම්වාදය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා වූ සෝමවංශයන්ගේ උපාය මාර්ගික තේරීම් තම පක්ෂය තුල ජයග‍්‍රහණය කරවීම සදහා ඔහුට යම් සටනක් කිරීමට සිදු විය. එහෙත් ඔහුට තම පක්ෂය තුල බහුතරය හිමිවී තිබුණ බැවින් ඔහුගේ දියුණු උපායමාර්ගික තේරීම් වලින් රටට යහපත් ප‍්‍රතිඵල අත්පත් කර ගත හැකි විය. නමුත් පසු කාලීනව ඔහු විසින්ම පුද්ගලිකව විග‍්‍රහ කළ ආකාරයට එම ජයග‍්‍රහණ ආපසු හැරවීමේ කුමන්ත‍්‍රණ පක්ෂය තුල ක‍්‍රියාත්මක වීම ආරම්භ වන්නේ එම ජයග‍්‍රහණ වලින් රටට සතුරු බලවේග වල න්‍යාය පත‍්‍රය සම්පූර්ණයෙන්ම අවුල්වීම නිසාය. කෙසේ වෙතත් පසුකාලීනව දළුලා වැඩෙන එම කුමන්ත‍්‍රණ වල මූල බීජ ඊට බොහෝ කලකට පෙර රෝපණය කරන්නට ඇත. යන්න සෝමවංශයන් බැහැර කළේ නැත.
තම පක්ෂය තුල සදාචාරය අකුරට රැුකීමේ වගකීම සෑම විටම හිස මුදුනේ තබාගෙන ක‍්‍රියාුත්මකවූ සෝමවංශයන් කිසි දිනක පක්ෂයේ ඉහළ නායකත්ම මණ්ඩල තුල පුද්ගලයන් පුද්ගලිකව දිනා ගැනීමට හෝ කණ්ඩායම් ගොඩනැගීමට ක‍්‍රියා කළේ නැත. එහෙත් ඒ තුල කුමන්ත‍්‍රණ කරුවන්ට ඔහු කළ දේට ප‍්‍රතිවිරුද්ධ දේ කිරීමට පහසු ඉඩක් ලැබුණි. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහුට තම පක්ෂය තුල බහුතර බලය අහිමි වීමය.
සෝමවංශයන්ගේ උපාය මාර්ගික තේරීම් ඔහුගේ පක්ෂය තුල පරාජයට පත් වන්නේ එම ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ රජයට ඇතුල් නොවීමේ තීරණය ජයග‍්‍රහණය කරවීමට ඔහුට එරෙහිව හෙවත් ඔහුගේ තේරීම් වලට එරෙහිව කුමන්ත‍්‍රණ කළ පිරිස් වලට හැකි විය. නන්දන ගුණතිලක සහ විමල්වීරවංශ වැනි දෙවන පෙළ නායකයින් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට විසිවන්නේ ඒ සමස්ථ ක‍්‍රියාවළියේ දිගුවක් ලෙසය. එහිදී සෝමවංශයන් එසේ පක්ෂය හැර ගිය තම උපාය මාර්ගික සගයින්ට පිටුපාමින් පක්ෂය දෙකඩවීම වළක්වා ගැනීමට උත්සාහ කරන්නේ වරද නිවැරදි කිරීමට ඉතිහාසය විසින් තමාට යම් ඉඩක් ලබා දෙනු ඇතැයි යන අවංක විශ්වාසයෙනි.
නමුත් කුමන්ත‍්‍රණ කරුවෝ දිගින් දිගටම තම මෙහෙයුම ඉදිරියට ගෙන යමින් පක්ෂය තුල සෝමවංශයන්ගේ ගෞරවය සහ බලය බිදීම ස`දහා ඉතාම සැළසුම් සහගත මාර්ග සිතියමක් ක‍්‍රියාත්මක කළහ. ඒ වන විට ඔහු බොහෝ පමාවී සිටි බැවින් තමා තේරූ මාවතේම තවදුරටත් ඉදිරියට යමින් හැරවුමක් බලාපොරොත්තු වීම හැර ඔහුට අන් විකල්පයක් නොවීය. ජනවාරි 8 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් පසුව ඔහු උපායමාර්ගික වරද උපක‍්‍රමික මෙහෙයුමකින් නිවැරදි කිරීමට අසරණ සහ අවසාන උත්සාහයක් ගනු ලැබීය. එහිදී ඔහු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ගොදුරක්වීම වළක්වා ඔවුන්ගේ පුද්ගල ප‍්‍රතිවිරෝධතා හරහා අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය අවුල් කිරීම සදහා ජනතා පෙළ ගැස්මක් ආරම්භ කිරීමට උත්සාහයක් ගණු ලැබීය. ඒ මගින් පක්ෂය යම් අතරමැදි දූපතකට ගොඩබැස්සවීමට ඔහු උත්සාහ කළත් පක්ෂ නායකත්වය ලබා ගැනීමෙන් පසුව ඔහුට දොර පෙන්වීම සදහා සැළසුම් කළ පිරිස් විසින් එම උත්සාහය ව්‍යවර්ථ කරන ලදි. සෝමවංශගේ තක්සේරුවට අනුව පක්ෂය තුල තවදුරටත් අරගල කරමින් රැුදී සිටියේනම් ඔහුට සිදුවන්නේ හම්බන්තොට ප‍්‍රදේශයේ පාලු නිවසක සිරකරුවෙකු සේ මියයාමටය.
ජනතා විමුක්ති පෙරමුණේ දරුවන් තම මහ ගෙදරින් එලවා දමන්නේ එසේ තම පක්‍ෂය නමු වූ දරු පවුලට පමණක් නොව රටටද පියෙකු වූ සෝමවංශ පියාණන්ය. එවැනි වූ පියෙකුට දැනෙන වේදනාව කොපමණදැයි මැනිය හැකි ජගතෙකු මේ මිහිපිට සිටීද? සෝමවංශයන් වසරක් තිස්සේ දරා සිටියේ ඒ වේදනාව නොවේද? මොළයේ එක් නහරයක් නොව ශරීරයම පුපරා යන වේදනාවක් ඔහු තනිව දරා සිටි බව මම ඉතා හොඳින් දැන සිටියෙමි. ඒ වේදනාවේ අවසන් ප‍්‍රතිඵලය කුමක්දැයි ඔහු ඉතා හොඳින් දැන සිටි බවටද සාක්‍ෂි ඇත. ඔහුගේ කාර්යාලය සහ නිවස ලෙස ඔහු භාවිතා කළ බැද්දගානේ නිවස ආපසු බාරදීමට සිදුවීමෙන් පසුව මෝටර් සයිකලයක නැගී වැස්සේ තෙමෙමින් රාජගිරියේ තම සොයුරාගේ නිවසට ගමන් කන විට ඔහු පැවසූ දේ සිත් කම්පාකරවන සුළුය. බයිසිකලය පැදවූ තම විශ්වාසවන්ත සොයුරාට ඔහු පවසා ඇත්තේ මා මියගියහොත් මටත් රටටත් හතුරුකම් කරන අයට මගේ මිනිය විකුණන්න ඉඩ දෙන්න එපා යනුවෙනි’’ ඒ ඔහු මරණය බාර ගැනීමට සූදානම් වූ අයුරුයි.
ඊට වසර 13කට පෙර ඔහුට ‘‘බයිපාස්’’ හෘද සැත්කමක් සිදුකළ අවස්ථාවේදී ඔහුගේ අන්තිම කැමතිපත‍්‍රය ලියුම් කවරයක බහා එය ඇලවීමෙන් තොරව මා වෙත බාරදුනි. කිසිදිනෙක එය විවෘතකර බැලීමට සිදු නොවේවා යයි පතමින් එහි තිබෙන්නේ කුමක්දැයි මම විමසා සිටියෙමි. එවිට ඔහු සිනා මුසුව පැවසුවේ කිසිවෙකුට දෙන්නට මට දේපළක් නැහැ. මේ තිබෙන්නේ දේශපාලන ඉල්ලීම් ඔබ ඊට සාක්‍ෂිකරුවකු වන්න යනුවෙනි. ඔහුට සුවය ලැබූ සැනින් මහා බරකින් සැහැල්ලූ වුවාසේ මම එම ලිපිය තිබූ පරිදිම ඔහුට බාරදුනිමි. එහි තිබුනේ කුමක්දැයි දැන සිටියේ ඔහු පමණි. එදා බෙදන්නට දෙපළ කිසිවක් නොතිබූ සෝමවංශයන්ට වසර 13කට පසුව බැංකු ගිණුමක්වත් තිබුණේ නැත. ඉහත සඳහන් කළ විරු සමරුව සඳහා ජපානයේ ජීවත් වූ ඔහුගේ තවත් සටන් සගයකු එවූ ලක්‍ෂ 2 බැරකිරීමට ඔහු සතුව බැංකු ගිණුමක් තිබුණේ නැත.
බැංකු ගිණුමක් නැති ඒ මහා දේශපාලන නායකයා බැද්දගාන කාර්යාලයේ ජීවත් වූ කාලයේදී දහවල් ආහරයට ගත්තේ උදේ ආහාරයෙන් ඉතිරිවූ දෙයකි. මා ඔහු මුණ ගැසුණු එක් විවේකි දිනෙක අපි අපේ වසර 33ක මිත‍්‍රත්වය පිළිබඳ අතීත ආවර්ජනයෙක යෙදුනෙමු. 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ පසුව ඔහු සහ මම බත්තරමුල්ලේ කුලී නිවසක වාසය කළෙමු. ඔහු කොළඹ සිටින සෑම දිනකම තේ හැදීම ඔහුගේ වගකීම වූ අතර කෑම පිසීම මාගේ වගකීම විය. රසවත් කෑමක රස හදුනන ඔහු මාගේ කෑම තවදුරටත් ඉවසාසිටිය නොහැකි වූ විට කෑම පිසීමේ වගකීමද කැමැත්තෙන් භාර ගත්තේය. බැද්දගාන නිවසේදී ඔහු එදා මෙන් රසවත් තේ එකක් සාදා මට පිළිගැන්වූ නමුත් අප දෙදෙනාට ආහාරයට තිබුණේ ඔහු උදේ ආහාරයට ගෙන ඉතිරි කළ පරිප්පු සහ සම්බෝල පමණි. අතීත අවර්ජනය නිසා පමණක් නොව ඔහුගේ දුෂකර ජීවිතය පිළිබඳ මාගේ දෑසට ඉනූ කඳුළු මට සැ`ගවිය නොහැකි විය. එවිට ඔහු සිනහ මුසුව පැවසුවේ දැන් මෙහෙම තමයි යනුවෙනි. ඒ පිළිතුර තුළ බොහෝ යථාර්තයන් සැ`ගවී තිබිණි. ඔහුගේ සුපුරුදු ක‍්‍රමයට අනුව මේවා මොනවාද? මේවා ඉවසිය හැකියි. රටට සිදුවන දේ මට ඉවසිය නොහැකියි යනුවෙන් ඔහු තමාගේ දුක ස`ගවා දේශපාලන කතාවට ප‍්‍රමුඛතාවය ලබාදුනි.
ඔහුට සහ ඔහු විසින් ගොඩනැගූ කුඩා පක්‍ෂයට පසුගිය වසරක කාලය තුළ බරපතළ ආර්ථික අමාරුකම් තිබුණා වුවත් ඒවා පිළිබඳව ඔහු කිසිවිටෙක දුක් ගැනවිලි ඉදිරිපත් කළේ නැත. ඔහු කොතරම් කුසුගිනි වුවත් තණකොළ නොබුදින සිංහයෙකි. එහෙත් මිත‍්‍ර සමාගමේදී සහ මහා සමාජයේදී අහිංසක පූස් පැටියෙකි. එසේ වුවත් දේශපාලන ප‍්‍රතිවාදියා ඉදිරියේදී කඩා පනින වලසෙකි. එසේම තහනම් කළ භූගත දේශපාලනයේදී ඔහු අදුර විනිවද දැකිය හැකි දිවියෙකි. 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ පසුව පක්‍ෂයේ ආරක්‍ෂක උපාය මාර්ගික සැලසුම් වලදී ඔහු ප‍්‍රභල දායකත්වයක් සැපයීය. ඔහු ඉතා සුක්‍ෂමව ආරක්‍ෂාකාරීව රටපුරා ව්‍යාප්ත වූ වැඩ කොටසක් ඉටු කළේය. ඔහුගේ සුක්‍ෂම භාවිතාව නිසා අවස්ථා දෙකකදී ඔහු සිටි නවාතැන්වලට කඩා වැදි රහසිගතව සැගවී සිටි ආරක්‍ෂක හමුදා නිලධාරීන්ගෙන් බේරීමට ඔහු සමත් විය. ආරක්‍ෂාවට අදාළ වැරදි පිළිබඳව ඔහු රෝහණ විජේවීරයන් සම`ග පවා ගැටුණු අවස්ථා තිබුණි. ආරක්‍ෂක වැරදි දුටුුවිට ඔහු තමා තේරූ වැඩ අවලංගු කිරීමට පසුබට වූයේ නැත. සමස්ථ දේශපාලන මණ්ඩලය අත්අඩංගුවට පත්වෙද්දී ඔහු පමණක් ආරක්‍ෂා වෙන්නේ ඔහුගේ සුක්‍ෂම ඉන්ද්‍රියන්ට පිංසිදුවන්නටය. ඔහු මහගෙදරින් එළවා දැමූ ඔහුගේ දරුවන් ඔහුට සංවිධාන හැකියාවන් නැතැයි අවලාද නගන්නේ ඔවුන් ඔහුගේ සැබෑ අතීතය නොදන්නා බැවිනි.
රෝහණ විජේවීරයන් අත්අඩංගුවට පත් වූ පසුව ජනතාව අමතා සිදුකළ ප‍්‍රකාශය (ආරක්‍ෂක හමුදා විසින් ප‍්‍රචාරය කළ) පක්‍ෂයේ ඉතිරි වූ නායකයින් නිවැරදිව කියවා ගත්තාද යන ප‍්‍රශ්නය අද ද විසදී නැත. රෝහණ විජේවීරයන් ඉතා සුක්‍ෂමව එම ප‍්‍රකාශය මගින් සියලූ සටන් ක‍්‍රියාමාර්ග අත්හැර පසුබසින ලෙස තම සංවිධානයට උපදෙස් ලබාදුනි. එහෙත් ඒ පණිවිඩය නිවැරදිව කියවා ගත්තේ සෝමවංශ අමරසිංහ නම් වූ උපායමාර්ගික විශේෂඥයා පමණක්යැයි මම අද ද විශ්වාස කරමි.
ඔහු ඒ සියළු සුවිශේෂී ගුණාංග ප‍්‍රගුණ කලද සාමාන්‍ය ජීවිතයේදී පස්පවින් වැලකී සිටි සිල්වත් උපාසකයෙකි. එහෙත් ඒ උපන්ගෙයි ගුණය ඔහුගේ නායකත්ව ගුණය දියාරු කලායැයි මම සිතමි. දැඩිව සිටිය යතු තැන්වල ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තම පහළ සාමාජිකයාට ඇහුම්කන් දීමේ ගුණය සීමාව ඉක්මවා රැුකීමට උත්සහා කළ නිසා එවැනි ගුණ නොදන්න වුන්ගේ කඩු පහරට ඔහු ලක්වීය. තදින් සිටියුයතු තැන්වල ඔහු තදින් සිටියානම් අද ඔහු මෙන්ම රටටද මෙවැනි ව්‍යසනයකට තල්ලූ වන්නේ නැත. දෙවිදත්තරලාට බෝධිසත්ව ගුණ වැටහෙන්නේ නැත. ඔහු දෙවිදතත්රලාට සමාව දුන් නමුත් ඔහහු පෙරළා ඔහුට පහර දුනි. දරුවන් විසින් පියා මහ ගෙදරින් එළවා දමනු ඇතැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත.
ඔහු බෝධිසත්වයකුවීමට පෙරුම්පිරූ ආකාරය මම අත්දැක ඇත්තෙමි. මා 1996දී ඔහු බැලීමට ලන්ඩන් නුවරට ගියෙමි. ඔහු, අක්කා සහ පුතා සම`ග මම දින ගණනාවක් ගත කළෙමි. 1971දී සිරගත වූ ඔහු නිදහස් වී පැමිණෙන තුරු අක්කා ඉවසීමෙන් බලාසිටි අයුරු සහ ඉන් පසුව 1989 මර්දනය හමුවේ ඇයට විදින්නට සිදුවූ දුක්ගැහට ගැන ඔහු දිර්ඝ අතිතාවර්ජනයක යෙදුනි. අක්කා යසෝදරාවක් දැයි මා විමසූ විට එහෙම වෙන්න අයියා බුදු වෙන්න ඕන නේද යනුවෙන් විහිළු කළ අක්කාට අයියා කියා සිටියේ තව පෙරුම් පුරන්න කොච්චර තිබෙනවාද යනුවෙනි. ඉන් ටික කලකට පසු පිළිකා රෝගයෙන් බරපතළ ලෙස රෝගාතුරු වූ අක්කාගේ කැත කුණු සියල්ල අතගාමින් වසර කිහිපයක් ඇය තනිවම බලාගත්තේ ඔහු විසිනි. ඒ දුක් විදින අතරතුර සැම විටම මා වෙත ලියා එව්වේ අක්කා ඔහු වෙනුවෙන් කළ පරිත්‍යාග වල ණය ගෙවා නිමකළ නොහැකි බවය. ඔහු ඒ ණය ගෙවා අවසන් වීමට පෙර අක්කා මිය ගියේය. ඔහු වැනි බෝධිසත්ව ගුණ ඇති අන් අයකු මා ඇසුරු කොට නැත්තෙමි. ඔහුගේ ඒ ගුණ සුවඳ නොදත්තවුන් මොන තරම් අවාසනාවන්තයින්ද?
ඔහු අපෙන් සමුගන්නේ ඔහු වැනි උතුම් මිනිසුන් සහ උපාය මාර්ගික ඥණය ප‍්‍රගුණ කළ දේශපාලන නායකයන් වඩවඩාත් රටට අවශ්‍ය කාලයකය. ඔහු තමාට වැරදුනු තැන් පිළිබඳව නැවත මෙනෙහි කරන්නට පසුගිය වසරක දුක් බරිතකාලය යොදාගත් බව මම දනිමි. එහෙත් ඒ දැනුම දැන් ඔහු සම`ගම වැළලී යනු ඇත. මා ඔහුට දුරකථනයෙන් කථාකල අවසන් අවස්ථාවක මා කියූ දෙයකට ඔහු දුන් පිළිතුරකින් මෙම ලිපිය අවසන් කරමි. ‘‘අපට වැරදුනු තැන් ගැන මතක් කරනවානම් හැම දවසකම උදේට පැයක් අ`ඩලා වැඩ පටන් ගන්න ඕන. ඒත් එහෙම කලා කියලා ඒවා නිවැරදි කරන්න ඉතිහාසය අපට ඉඩ දෙනවාද?’’

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/19/2016

වෘක මෙහෙයුම්වලට නොරැටෙනු!!

කතෘ:යුතුකම     6/19/2016   No comments
-නාමල් උඩලමත්ත-
වෘක මෙහෙයුම්වලට නොරැටෙනු!!


ඔවුන් පැතුවේ මෙයමය...!!!


2015 සිරිසේන යොදා කළ 1815 පන්නයේ මහා පාවාදීමට පසු මේ යහපාලන උගතුන්ගේ එකම අරමුණ වූයේ ආණ්ඩුවේ රට විනාශ කිරීමේ වැඩපිළිවෙළ රිසි සේ හැල්මෙි කරගෙන යාමට සරු බිමක් සැකසීමය. ඒ සඳහා යහපාලන උගතුන් පසුගිය මැතිවරණයට යොදා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණය.

එහෙත් මධ්‍යස්ථ වෙස්ගත් මේ කල්ලිය තමන් රවටා තමන් සමඟ රටද තම දරු මුනුබුරන්ගේ අනාගතය ද පතුළ නොපෙනෙන අගාධයකට විසි කර ඇති බව රටත් සමඟ වේගයෙන් ප්‍රපාතයට ඇදී යමින් වුව ජනතාව අවබෝධ කර ගෙන තිබිණි. එහෙයින් ජවිපෙ ලවා විපක්ෂය හයිජැක් කිරීමේ මෙහෙයුම අසාර්ථක විය. ආසන තිහට හතළිහට ගණන් හැදූ ජවිපෙ ආසන 4-5ට සීමා කිරීමට ජනතාව තීන්දු කළ හෙයිනි.

දැන් කල්ලිය නැවත වටයකින් කුරුමානම් අල්ලන්නේ විපක්ෂය හයිජැක් කිරීමටමය. ආණ්ඩුවේ ජනතා විරෝධි දේශද්‍රෝහි වැඩපිළිවෙළ හමුවේ ආණ්ඩුවෙන් ඈත් වන ජනතාව විපක්ෂ බලවේල සමඟ එක් වනු වළකා ඔවුන් සඳහා දේශපාලන අවතැන් කඳවුරක් තැනීම මේ මෙහෙයුමේ එකම අරමුණයි. එවිට ආණ්ඩුවට යහතින් තව කලක් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් යෝජිත ව්‍යවස්ථාව ඔස්සේ බුදු දහමට හිමි නෛතික ප්‍රමුඛත්වය අහිමි කර සමලිංගික ෆෙඩරල් රාජ්‍යයක් තැනිය හැකි ය. ඉන් ඔබ්බට උතුරුකරේ ආසියාවේ ඊශ්‍රායලය හැදීම බටහිර සහ ඇමරිකාව භාරගනු ඇත. එකල්හි දකුණේ පලස්තීනය නිර්මාණය වනු ඇත.

එසේ නොමැතිව මේ කල්ලිය සැබවින්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයෙන් යහපාලනය පැතුවේ නම් ඔවුන් මේ රටේ මෑත කාලීන ඉතිහාසය පවා නොදත් දිළිඳු දේශපාලන විඥානයක් හිමි අසරණයෝ ටිකකි. උඳු වපරා මුං පැතූ, දිඹුල් ගහෙන් මල් පැතූ, ගණිකාවකගෙන් කුමරි බඹසර පැතූ තවමත් කනා බල්ලන් ගහන මේ පිරිස කළ යුත්තේ රටට මඟ කීමට පෙර තමන් නිසි මඟ සොයා ගැනීමය.

ඔවුන් තමන් රැවටූ ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුය. ආණ්ඩුවේ ද්‍රෝහී ක්‍රියාවලට රටට දැනෙන ලෙස නිසි බරින් එරෙහි විය යුතුය. වැට් බදු නැංවීමට, වාහන බදු නැංවීමට, පාසල් නිල ඇඳුම් කප්පාදුවට, රටේ ජාතික ආරක්ෂාව විනාශ කිරීමට, එට්කා ගිවිසුම හරහා රට ඉන්දීය කොලනියක් කිරීමට, මහබංකු වංචාවට, මැති ඇමතිලාගේ සුපිරි වාහන මේනියාවට, හොරු දූෂිත යැයි හංවඩු ගැසූ අයට මැති ඇමතිකම් සහ සංවිධායක ධූර ලබා දීමට එරෙහි විය යුතුය. එහෙත් ඊට එරෙහිව නඟන්නේ ජාමේ බේරා ගැනීමට බලු කෙඳිරිල්ලක් පමණි. ඒ කිසිවක් නොකර මෙදා මේ අය කිරීමට සැරසෙන්‍නේ රට විශාලා මහනුවරක් බවට පත්ව ඇති යුගයක බොරු චෝදනා නඟමින් මහින්දට බනිමින් ජනතා අැසට වැලි ගසා නියමින් සහ අනියමින් ආණ්ඩුව රැකීමටය. ඒ ජනතා ද්‍රෝහි මෙහෙයුම පරාජය කළ යුතුව ඇත. රට දැය සමය නාමයෙන් දවල් වැටුණු වළේ රෑ නොවැටිය යුතුමය..

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

බලාහිඳිමුද - බෙදුම්වාදයේ නපුරෝ රට ගිණි තියන තුරු?

කතෘ:යුතුකම     6/19/2016   1 comment
-පුනර්ජි දඹොරගම-

එදා රජ දවස ඔද තෙජසින් පිරුනු
මෙදා නිවටයින් රජ පුටුවල වැටුනු
නිදා හිඳින තුරු ජාතික පෙම බිඳුනු
කදා වළලු ගෙනයති එලිපිට නපුරෝ

රටක් බෙදන්නට හැල්මේ පොර බැඳුනු
එහෙත් නිවට පාළකයන් නිදි වැදුනු
කටින් බතල හිටවන්නට දිව නැමුනු
වදන් වලට විතරද අද තැන ලැබුනු?

දෙකට නැමෙන දුටු විට සුදු මහත්තුරු
විකට රැඟුම් දෙති පටවා දහක් බොරු
කපටකමින් රට වනසන මෙහෙම හොරු 
සැපට තවත් කනවද විස පැණි හකුරු?

රටක් බෙදන බෙදුම්වාදයේ නපුරු
රඟන්නේ තවත් අද ලිප නටන තුරු
හුඹස් වලට වී බඩ කට රැකෙන තුරු
තපස් රකිමුදැයි රට ගිණි තියන තුරු?

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

මීට අවුරුදු 6300 කට පෙර අපේ රටේ මිනිස්සු ධාන්‍ය පරිභෝජනය කළා - මහාචාර්ය රාජ් සෝමදේව

කතෘ:යුතුකම     6/19/2016   No comments
1986 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබද මුලික උපාධියත් (බී.ඒ. ගගෞරව) 1994 දී දර්ශනපති (MPhil ) උපාධියත් දිනූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා 2006 ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් (PhD) ආචාර්ය උපාධිය දිනා ගත්තේය. තත්විෂය පොහොණි කළ ප්‍රමාණික විද්වතෙකු වූ එතුමා දැනට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානයාද වෙයි. ක්‍රමගත සම්ප්‍රදාය ප්‍රශ්න කළ රාජ් සෝමදේව මහතා මෙරට පූර්ව ඓතිහාසික යුගයේ සිදුවූ ශිෂ්ටාචාරගත විකාශනය ගවේෂණය කිරීමට පහළොස් වසරක පර්යේෂණ ව්‍යෘතියක් දියත් කළේය. මේ එම දුෂ්කර ව්‍යායාමය අගයනු වස් වටමඬල කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.

-සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි


ඔබ අපේ රටේ ශිෂ්ටාචාරගත උරුමය මතුකර ගැනීමට ඉමහත් කැප කිරීමක්‌ කරන විද්වතෙක්‌. මුලින්ම පැහැදිළි කළොත් අපේ රටේ ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරීමේ ඇති වැදගත්කම කුමක්‌ද?

අපේ රටේ පමණක් නොව ඕනෑම රටක, සමාජයේ වෙසෙන පුරවැසියන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න අපිට පුළුවන් වෙන්නේ ඒ රටේ උරුමය ගැන මැනවින් හදාරලා ඒ පුරවැසියන් දැනුවත් කිරීමෙන්. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය අවුරුදු 2,500ක් පමණ පරණයි කියල කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා. එහෙම කියලා අපි ඒක ස්මරණය කරමින් ඉන්නවා. නමුත් අවුරුදු 2,500ක් නෙවෙයි ඊට වැඩිය ආපස්සට අවුරුදු 1,25,000ක් වගේ කාලයක් විහිදී යන ඉතිහාසයක් අපට තියෙනවා.

අපි ඉතිහාසය කියල කියන්නේ යම්කිසි භූමියක මිනිසුන් ජීවත් වීම පටන් ගත්ත කාලයට. ඒ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අත්දැකීම් තමයි අපි ඉතිහාසය කියල කියන්නේ. මේ රට පහුගිය අවුරුදු හත්දහසෙම ඉන්දියානු ප්‍රධාන භූමියෙන් කැඩිලා ස්වාධීන දූපතක් හැටියට පැවතුණා. ඒ අවුරුදු 7,000 ඇතුළත සාගරයෙන් වටවෙච්ච මේ භූමි කඬේ අපිටම ආවේණික වූ සම්ප්‍රදායන්, දැනුම් පද්ධති අපි ගොඩනගා ගත්තා. ඒ නිසා අපේ දේශීයත්වයක් අපට ආවේණික ලෙස ගොඩ නැගුණා. ඒ දේශීයත්වයෙන් පිළිඹිමු කරන්නේ මේ රටේ මේ පස්වල, මේ කඳුවල, මේ ගස්යට, මේ කොළ මල් අනුභව කරලා සහජීවනයෙන් කාර්යක්ෂමව සහ සරලව ජීවත් වෙන්න පුළුවන් වඩාම තර්කානුකූල පහසුම ක්‍රමය කුමක්ද කියන එක.

ඇත්තෙන්ම ඒ අවුරුදු 7,000ක පැරණි දැනුම අපි පටන් ගන්නේ අවුරුදු 1,25,000 කට එපිට කාලයක ඉඳලා. දැනට සාක්ෂි සහිතව පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් ඔප්පු කරල තියෙනවා මීට අවුරුදු එක් ලක්ෂ විසිපන්දාහකට එපිට කාලයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද වගේ දකුණේ වෙරළ තීරයයේ ප්‍රදේශවලට ආදී හෝමෝ සාපියන්වරු ගොඩ බැස්සා කියලා. එතැන් පටන් මේ රටේ මිනිසුන් වාසය කිරීම පටන් ගත්තා. ඒසා කාලයක් තිස්සේ අපි මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු තර්කානුකූල පියවර ගොඩ නඟා ගත්තා. දැනුම් පද්ධති ගොඩ නැගුවා. ඊට පස්සෙ අපි ඉන්දියානු භූමිකඩෙන් වෙන් වූ පසු අපේ අනන්‍යතාව තව දුරටත් තහවුරු වුනා. ඒ නිසා අපේ සමාජය සුවපත් කරන්න, අපේ සමාජය සංතුලනය කරන්න වඩා යෝග්‍ය තර්කානුකූල දැනුම අන්තර්ගත වෙන්නෙ ඒ පසුගිය අවුරුදු දහස් ගණනක කාලය තුළ. එයත් මැනවින් සොයා බලා ජනතාවට පැහැදිලි කරල දිය යුතුයි.

ඒ වගේම අපි දන්නවා අවුරුදු 300කට ආසන්න කාලයක් තිස්සේ අපි යුරෝපීන් ජාතීන් තුනකට යටත්ව සිටියා. ඒ යටත් වූ කාලය තුළ අවුරුදු දහස් ගණනක් පැරණි අපේ දැනුම සමහරක් අතුරුදහන් වුනා. අනිත් පැත්තෙන් සමහරකගෙ මුහුණුවර මුළුමනින්ම වෙනස් වුනා. ඒ නිසා අපට නැවතත් සිද්ධ වෙලා තියෙනවා ඒ දැනුම ගවේෂණය කරන්න. පුරාවිද්‍යාව කියන්නෙත් ඉතිහාසය සොයන තවත් විෂයයක්. මේ දෙකෙන්ම ගොඩ නඟන්නේ රටේ පුරවැසියන්ගේ ඉතිහාසය. මේ ඉතිහාසය හැදෑරීම අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ වඩා සරලව සහ වඩා ඵලදායිව ජීවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න.

අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරද්දි අපට හමුවන චරිත අතරින් ප්‍රධාන චරිත දෙකක්‌ තමයි, බලංගොඩ මානවයා සහ විජය කුමරයා. මේ දෙදෙනා අතර සිදුවී ඇත්තේ කුමක්‌ද?
අපේ රටේ ඉතිහාසය ගත්තම එහි එක කාලයක් එනම් ක්‍රි.පු. 600 දක්වා නියෝජනය කරනවා විජය කුමාරයා. ඊළගට බලංගොඩ මානවයා අවුරුදු 12,500 දක්වා ඈත කාලයක් නියෝජනය කරනවා. මේ අවුරුදු 12500 යි මීට අවුරුදු 2500 කට කලින් යුගයයි අතර තියෙන පරතරය ගැන ඇත්තෙන්ම අපි කිසිවක් දන්නේ නෑ. අපි දැනට අවුරුදු 9ක් තිස්සේ ලංකා ඉතිහාසයේ තියෙන මේ කළු කොටස විග‍්‍රහ කරන්න, තේරුම් කරන්න, පර්යේෂණ මාලාවක් දියත් කර තිබෙනවා. ඒ කොටස ගැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඊට හේතුව තමයි ගල් යුගයක ඉදලා ඉතිහාස යුගයකට පරිවර්තනය වෙන එක අපිට හදාරන්න පුළුවන් මේ අදුරු කාලපරිච්ඡේදය ඉගෙන ගැනීමෙන් පමණයි. මේ කාල පරිච්ඡේදය තුළ හුගක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. දඩයක්කාරයෝ යම්කිසි විදියකට ගොවියන් බවට පරිවර්තනය වීමේ පියවරක් අරන් තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන සොයමින් ඉන්නවා.

ඔබ මේ සඳහා අවුරුදු පහළොවේ ව්‍යාපෘතිය නමින් පර්යේෂණ ව්‍යාපෘතියක්‌ දියත් කළා. ඒ පිළිබඳ සඳහන් කළොත්...?
ලංකා ඉතිහාසයේ තිබෙන මේ අදුරු කාල පරිච්ඡේදය සෙවීම සදහා 2006 දී විතර අපි කල්පනා කළා අලුත් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කරන්න. අපි හිතුවා අඩුම තරමේ මේක විසදන්න අවුරුදු 15 ක් වත් යයි කියලා. දැන් අපි එයින් අවුරුදු 9 ක්ම ගත කරලා තියෙනවා. තව අවුරුදු හයක් ඉදිරියට තියෙනවා. නමුත් මට හිතෙනවා අවුරුදු පහළොවෙන්වත් මේ වැඩේ කරන්න බැරි වෙයි අපට ලැබී තිබෙන සාක්ෂි අනුව. පහුගිය අවුරුදු 9 තුළ අපට ලැබී තිබෙන සාක්ෂි ඉතාම සුබවාදී ඒවා. ඇත්තෙන්ම බලංගොඩ මානවයා එක තැනම පල්වෙවී ඉන්නේ නැතුව මේ ඉතිහාසය දෙසට යම්කිසි තල්ලුවීමක් සිදුවුනා කියන කාරණාව තහවුරු කරන්න අවශ්‍ය කරන සුන්බුන් සාධක දැන් අපට හම්බවෙලා තියෙනවා. මේ අපේ පර්යේෂණ අවම වශයෙන් ඉදිරියටත් තව අවුරුදු 6ක් කරන්න තියෙනවා. මං හිතනවා මේ අවුරුදු 06 දී අපට යම්කිසි විදිහේ මග පෙන්විමක් ලැබෙයි මේ ගල් යුගයේ හිටපු මිනිස්සු දිර්ඝ කාලයක් කොහොමද මේ රටේ ඉතිහසයට ඇතුල් වෙන්නේ කියන එක ගැන.

මේ පර්යේෂණ ක්‍රියාවලියේ එක කොටසක් ලෙස කූරගල පර්යේෂණයෙත් නිරාවරණය වූ කරුණු මොනවද?
මේ පර්යේෂණ අපි හුගක් කේන්ද්‍රගත කරලා තියෙන්නෙ මධ්‍ය කදුකරයේ දකුණු බෑවුම් ප‍්‍රදේශයට. ඒක අපි නියැදියක් හැටියටයි අරන් තියෙන්නෙ.මොකද මේ උඩ කඳු බෑවුම්වල ඉදලා පහළට එන කොට අපිට දේශගුණික කලාප කිහිපයක් පසු කරන්න පුළුවන් වෙනවා. ඉන් අපට පුළුවන් වෙනවා මේ පැරණි මිනිස්සු එකිනෙකට වෙනස් දේශගුනික කලාපවලට අනුවර්තනය වුනේ කොහොමද කියලා දැනගන්න. එය වැදගත් කාරණයක්. ඉතින් අපි පර්යේෂණ කටයුතුවල එක් කොටසක් වශයෙන් කූරගල, කල්තොට, දියවින්න , වැලිපොත්තේයා ය, පුහුල් යාය වගේ මධ්‍ය කදුකරයේ බෑවුම, රුහුණේ තැනිතලාවට ඒකතුවන ඒ මොහොර ප‍්‍රදේශය අපි ගවේෂණය කලා.
ඒවගේම කූරගල කදුවැටියේ තියෙන ගල්ගුහා අපි පරික්ෂා කළා. අපිට හුගක් දේවල් ඒකේදි දැක ගන්න පුලූවන් වුණා. අපි එක්තරා සෙල් ලිපියක් පිටපත් කලා, ඒ සෙල් ලිපියේ තියෙන්නේ බෞද්ධ භික්ෂුන්ට පුජා කරපු ලෙනක් පිලිබද පුවතක්. එහි වැදගත්ම දේ තමයි එම සෙල් ලිපිය යට "යගෂ" කියලා වචනයක් කොටලා තියෙනවා. ඉන් අදහස් කරන්නෙ "යකුන්ගේ " කියෙන අර්ථයයි. ඒ කියන්නෙ ඒ සෙල් ලිපිය කරවා තිබෙන අය තමන් හදුන්වාගෙන තිබෙන්නේ යක්ෂයින් හැටියටයි. ඒ නිසා අපි පුරාවිද්‍යාත්මක සාධක හා සාහිත්‍ය සාධක කියන දෙකම එකට බද්ධ කරලා මේ අපේ ස්වදේශික ප‍්‍රජාව බුදුදහම පිලිබඳ දැනීම විතරක් නෙමෙයි ලෝහ නිෂ්පාදනය කලේ කොහොමද, ශාක පරිභෝජනය කලේ කොයි විදිහටද, ඇයි එහෙම කළේ මොන කාලවලද කියන එක පිලිබදව ගැටළු නිරාකරණය කිරීම තමයි අපේ අවුරුදු 15 වේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බවට පත්වෙලා තියෙන්නේ.

මේ දිනවල කරමින් සිටින් පර්යේෂණ මොනවාද?

මේ දිනවල අපි අතගහලා තිබෙනවා අර අපි 2015 ලූණුගල්ගේ ගල් ගුහාවෙන් සොයාගත්ත ධාන්‍ය ඇට පිටිපස්සේ පන්නන්න. අපිට වුවමනා වුණා මේක මේ ගල්ගුහාවේ වෙච්ච අහඹු සිද්ධියක් ද කියලා බලන්න. බොහෝ දෙනා එහෙම කියන්නත් පටන් ගත්තා. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 20 වෙනිදා ආරම්භ කළා බලංගොඩ වියළි කලාපයට අයිති දියවින්න උඩුපියන් ගල්ගේ කියන ගල්ගුහාව පරික්ෂා කරන්න.ඇත්තෙන්ම ඒ ගල්ගුහාව 1936 දී ආචාර්ය පි.පි දැරණියගල මහතා විසින් කැණිම් කරලා තියෙනවා. ඔහු ඉතා කෙටි වාර්තාවක් ලියලා තිබුණා ඒකෙන් ධ්‍යානය ඇට හම්බ වු බව සඳහන් කරලා. ඉතින් අපි ක‍්‍රමවත්ව ඒක පරීක්ෂා කලා. ඇත්තෙන්ම අපිට හම්බවුණා පිළිස්සිච්ච ධාන්‍ය ඇට. විශේෂයෙන්ම වී ඇට තුනක් අපිට හම්බවුණා. ඉතින් එක ඉතාම වැදගත් සාක්ෂියක්. ඒ ස්ථරයේම තිබිලා ගල් මෙවලම් හම්බවුණා, ආභරණ හැටියට පළදපු කහදගල් වලින් හදපු තැලි දෙකක් හම්බවුණ.ඉතින් අපි මේ දිනවල කරන්නේ අර අපේ ප‍්‍රධාන පර්යේෂණ ප‍්‍රශ්ණය වූ මේ රටේ ආදී මිනිසුන් ඒ කියන්නේ විජය ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ ඊට වඩා අවුරුදු සිය ගණනක් දහස් ගණනක් එපිට හිටපු ආදී මානවයින් කොහොමද තමන්ගේ කැලෑ ජිවීතය අතැරලා ග‍්‍රාමීය ජිවීතයකට පරිවර්තනය වෙන්න මහන්සි ගත්තේ කියන එක හොයන්න. ඒක දේශියත්වය පිළිබද වැදගත් කාල පරිච්ඡේදයක් වගේම දේශීය අනන්‍යතාවය පිලිබඳ වැදගත් ප‍්‍රශ්නයක්. අපි මේ දිනවල ඒ වැදගත් ප‍්‍රශ්නය පස්සේ පන්නමින් ඊට අදාල ස්ථාන කැණීම් කිරීම් හා ගවේෂණය කිරීම් සිදු කරමින් සිටිනවා.

ඉදිරියේ දී කිරීමට නියමිත පර්යේෂණ මොනවාද?

ඉදිරියට මේ පර්යේෂණ ව්‍යාපෘතිය තව අපට අඩුම තරමේ ස්ථාන 05ක් හෝ 06 ක් පරීක්ෂා කළ යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් එක් තැනක් හෝ තැන් දෙකක් පරික්ෂා කිරීමෙන් ලොකු නිගමනයකට එළඹෙන්න අමාරුයි. ඒ නිසා අපිට නියමිතව තිබෙනවා මේ අවුරුද්දේ ජුලි මාසයේ නෙළුම් කුඹුර, පනාන කියන ගම් අතර තිබෙන පරගහ මඩිත්ත කියන ගල්ගුහාව කැනීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉලූක්කුඹුරේ කඳු බෑවුමක තිබෙනවා අලූගල්ගේ කියලා ගුහාවක්. ඉතාම දුෂ්කරයි ඒකට ලංවෙන්න . නමුත් අපි සැලසුම් කරලා තියෙනවා ඒ ගල් ගුහාවත් කැණීමට ලක් කරලා කාල නිර්ණයට අවශ්‍ය කරන අගුරු සොයාගන්න. ඒ වගේම ඒ අගුරුත් එක්ක තියෙන අනිත් පුරාවස්තු මොනවාද කියලා පරීක්ෂා කරන්න. එතකොට අපිට මේ අවුරුද්දේ තව තැන් දෙකක් තියෙනවා පරීක්ෂා කරන්න. ඉලුක් කුඹුරේ ලුණුගල්ගේ නැවත පරීක්ෂා කල යුතුයි. මොකද එතැනදි අපිට 2015 දී මිනිස් දතක් හම්බවෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතැන ඇට සැකිල්ලක් තිබෙන්න පුළුවන් කියලා. එය සොයා ගන්න පුළුවන් වුණොත් අපිට මේ මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවය කොහොමද කියලා පරික්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා 2015 අවුරුද්දේ තව කැනීම් 3ක් අපිට නියමිතයි පරගහ මඩිත්ත, අලූගල්ගේ හා ලූණුගල්ගේ , බලංගොඩ ඉලූක් කුඹුර හා පනාන කියන ප‍්‍රදේශවල.

ඔබ කාලාන්තරයක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ ගෙන පර්යේෂණ සිදුකළේ මේ රටේ නියම උරුමක්‌කාරයන්ගේ අනන්‍යතාවය සොයායැමේ අදහසින්. මේ ස්‌වදේශික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔබේ පර්යේෂණ තුළින් මෙතෙක්‌ නිරාවරණය වී ඇති සුවිශේෂ කරුණු මොනවාද?

අපට සැකයක් තිබුනා අපේ රටේ හිටපු අර පුරාණ ගල් යුගයේ මිනිස්සු, වෙනත් වචන වලින් කියනවා නම් බලංගොඩ මානවයා යම්කිසි කාලයකදී ශිෂ්ටාචාර මාවතට එන්නේ නැතුවම යම් කිසි කාලයකදී පසු බැහැලා ගියා කියලා. ඒ කියන්නේ ඔහු වනගත වෙලා ඒ වෙනුවට විදේශයකින් ආව ප්‍රජාවක් විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙන් හෝ උතුරු කොටසෙන් ආව යම් කිසි ප්‍රජාවක් යකඩ භාවිතය, වී වගාව අශ්වයන් වැනි දේවල් ලංකාවට ගෙනල්ලා අපේ රටේ සංස්කෘතිය දියුණු කරලා ඒගොල්ලෝ ආධිපත්‍යය දරාගෙන ඉදිරියට ආ බව.

නමුත් අපේ මේ අවුරුදු 15කට සැලසුම් කරපු ව්‍යාපෘතියේන් ගෙවුණු අවුරුදු 09 තුළම ඊට එරෙහිව දැනුමක් නිශ්පාදනය කළා. ඒ කුමක්ද කිව්වොත්, අර සම්ප්‍රදායිකව හිතුවා වගේ බලංගොඩ මානවයාගේ පරම්පරාව පසු බැහැල ගියේ නැහැ කියන එක සනාත කළා. ඔවුන් යම්කිසි උත්සාහයක් දැරුවා ඔවුන්ගේ දඩයම් ජීවිතය, සංචාරක ජීවිතය අතහැරලා ඒ වෙනුවට යම් කිසි ඉදිරියකට එන්න. ඒ ඉදිරියට එන එක අපට පෙන්නන්න පුලුවන් වුණා. ඔවුන් දඩයමට අමතරව ශාක ආහාර, ඇට වර්ග පරිභෝජනය කරන්න පුරුදු වුනා කියන කාරණය පෙන්නන් පුළුවන් වුණා. 2015 දී අපි බලංගොඩ ඉලුක් කුඹුර , ලුණුගල්ගේ කියන ස්ථානයේ ගල් ගුහාවේ කරපු කැණීමෙන් අපට සොයා ගන්න පුළුවන් වුණා පිලිස්සී ගිය වී ඇට සමග ධාන්‍ය වර්ග 35ක්. ධාන්‍ය වර්ගම නෙවෙයි ඇට වර්ග 35ක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ අතර වීත් තියනවා. ඒ සමහර ඇට වර්ග අපි පරීක්ෂා කරලා අඳුනගන්න මහන්සි අරන් තියනවා. ඒ සමහර ඒව අද බෙහෙත් ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන ඒවා. උදාහරණයක් හැටියට වලඳ සහල්, කුඩු මිරිස්ස, වල් අබ වගේ ඇට වර්ග එතන තියනවා.

ඒකෙන් අපට පේනවා මේ සිංහල වෙදකමට අයිති ඥානය, එහෙම නැත්නම් මෙයින් පරිභෝජනය කිරීමට හැකි ධාන්‍ය මොනවද කියන දැනුම ඉස්සෙල්ලම අත්හදා බලන්න පටන් ගත්තේ මේ ලුණුගල්ගේ හිටපු මිනිස්සු. අපි ඒ පිච්චිච්ච ධන්‍ය ඇටම විදේශ විද්‍යාගාර වලට යවලා මේක විද්‍යාත්මකව කාල නිර්ණය කළා. ඒ විද්‍යාගාර වලින් අපට කියල තියනවා මේ සාධක අවුරුදු 6300ක් අවම වශයෙන් පරණයි කියන එක. ඒකෙන් අපට තේරෙනවා මීට 6300කට එපිට කාලයේදී මේ රටේ හිටිය මිනිස්සු මේ ධාන්‍ය ඇට වර්ග ආහාර ලෙස පරිභෝජනය කරන්න පටන් ගත්තයි කියන එක. ඒක තමයි මේ අවරුදු 9ක කාලය තුළ අපි නිෂ්පාදනය කරපු දැනුමේ පළවෙනිම දේ.

අනෙක් අතට ඔවුන් තාක්ෂණය වෙනස් කරල තියනවා. සම්ප්‍රදායික ගල් ආයුධ වෙනුවට අලුත් ගල් ආයුධ හදන්න පටන් අරන් තියනවා. පබළු වර්ග හදලා තියනවා. ගල් වලින් ගෙලේ පළඳින්න පුලුවන් තැලි හදලා තියනවා. ඉතින් අපේ පැරණි සමාජයේ අවුරුදු ලක්ෂ ගණනක් මේ රටේ ජීවත් වෙච්චි හෝමෝසාපියන්වරු ඉතිහාසය දෙසට, ශිෂ්ඨාචාරය දෙසට තල්ලු වෙනවා කියන එක ඉතාම ප්‍රගතිශීලි අදහසක්. ඒක එතෙක් දැනගෙන හිටියේත් නැහැ විශ්වාස කලේත් නැහැ. ඇත්තෙන්ම මේ දේශීයත්වය අරන් එන්නේ අර අවුරුදු ලක්ෂ ගණනක් අපේ රටේ ජීවත් වෙච්ච ඒ දඩයම් යුගයේ ප්‍රජාව බව අපි මේ ව්‍යාපෘතියෙදි කිව්වා. ඔවුන් ගොවියන් වෙන්න තැත් කළා.ඒත් මොනවා හරි හේතුවක් නිසා ඔවුන්ගේ ඒ වෑයම අපේ ඉතිහාසයට ඇතුළත් වෙලා රචනා වුනේ නැහැ.

පුරාවිද්‍යා පර්යේෂණයක්‌ වෙනුවෙන් එක කැණීමක්‌ සඳහා විශාල මුදලක්‌ වැය කරන්නට වෙනවා. එබඳු පිරිවැයක්‌ යන්නේ කුමන කාරණා සඳහාද ?

කැණීමක් කරන්න අඩුම තරමේ සති හයක කාලයක්වත් අපි ක්ෂේත්‍රයේ ගත කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි අවුරුද්දේ පායන කාලේ මාස තුනක් විතර කැණීමකට ගන්නවා. නමුත් අපි සති 6 කින් කඩිනමින් සීමිත කැණීමක් නිම කළොත් අපට පුහුණු පුරා විද්‍යාඥයන් හෝ ශිෂ්‍යයන් අඩු ගණනේ හය දෙනෙක්වත් යොදවා ගන්න වෙනවා. පස් ප්‍රවාහනය වගේ නොයෙක් නොයෙක් කරණාවලට කම්කරුවන් හතර දෙනෙකුවත් යොදා ගන්න වෙනවා. කම්කරුවකුට දවසකට රුපියල් 1000 ගානේ දවස් හතලිස් පහකට විශාල මුදලක් ගෙවන්න වෙනවා. කැණීම් කරන්න යන අයට නවාතැන්, ආහාර ආදියට වියදම් කරන්න වෙනවා. කොළඹ ඉඳලා බඩු එකවරක් ගෙනයන්න ආපසු ගෙනඑන්න වාහනයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේ වියදම් අපි පරිස්සමෙන් පිරිමසා ගත්තත්, අපට පිරිමසා ගන්නට බැරි වියදම් වගයක් තියෙනවා. ඒ තමයි අපේ ද්‍රව්‍ය කාල නිර්ණය සඳහා වන වියදම්. කාල නිර්ණය කරන කොට වඩා විශ්වාසදායක විද්‍යාගාරයකට එය යැවිය යුතුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා තිබෙන Beta Analytics කියන ආයතනය. ඒ ආයතනය කාබන්, එහෙම නැත්නම් වෙනත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් කාල නිර්ණය කිරීමට අය කරන මුදල අපට පුළුවන් අන්තර්ජාලයට ගිහින් හොයා ගන්න. ඒ ගාස්තු ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

අපි අඟුරු සාම්පලයක් යැව්වට පස්සේ දින නිර්ණය කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සම්මත කාබන් දින නිර්ණය. ඒකට අපට ග්රෑම් විස්සක ද්‍රව්‍ය අවශ්‍යයි. පුරාවිද්‍යා කැණීමකදී අපට විශ්වාස නෑ හැම වෙලාවේම ග්රෑම් විස්සක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. පස් දිය කරලා, පස් පා කරලා අපට ඊට අඩු ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා AMS (Accelerated Maas Spectrometry)කියලා. ඒකට ඕනෑ මිලි ග්රෑම් නවයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. බොහෝ අවස්ථාවල අඟුරු හිඟ නිසා මේ AMS ක්‍රමය භාවිතා කරන්න වෙනවා.AMS ක්‍රමය සඳහා සාම්පලයකට ඩොලර් 680 ක් වියදම් කරන්න වෙනවා. රුපියල් වලින් නම් 90,000 ක් විතර. කැණීමකදී එක සාම්පලයක් පමණක් දින නිර්ණය කිරීම කිසිසෙත් ප්‍රමාණවත් නෑ

විද්‍යාත්මකව. අඩුම තරමේ සාම්පල තුනක්වත් දින නිර්ණය කරන්න ඕන. ඊට අමතරව, කුරියර් සේවා සඳහා ගාස්තු, ඒවා යැවීමට පෙර ITI ආයතනයෙන් සහතිකයක් ලබා ගන්නා ඕන මේවා අහස් යන්ත්‍රයේ ගෙන යන්න නම් පුපුරණ ද්‍රව්‍ය නෙමෙයි කියලා. ඊට රු.9000 ක් විතර වියදම් දැරිය යුතු වෙනවා. ඒ වගේම වෙනත් විශ්ලේෂණ කටයුතු තියෙනවා. උදාහරණයක් විදියට සතුන්ගේ ඇට කටු ලැබුණාම ඒවා පරීක්ෂා කිරීම සඳහා වෙනත් ආයතනවලට ගෙවන්න ඕන. සති හයක කැණීමක් කළාම අපට අවම වශයෙන් රුපියල් ලක්ෂ හයක් විතරක් මුදලක් වියදම් කරන්න වෙනවා.

මේ නිසාම තරුණ පිරිසක්‌ අපේ උරුමය රාඡ් සෝමදේව පුරාවිද්‍යා පර්යේෂණ අරමුදල නමින් සංචිතයක්‌ මුහුණු පොත ඔස්‌සේ ඇති කරගෙන තිබෙනවා. එහි අරමුණ ඔබේ මේ පර්යේෂණ කටයුතුවලට මුල්‍යමය සම්මාදමක්‌ ලබාදීම. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

 අපි පහුගිය අවුරුදු නවයක කාලය තුළ කරපු වැඩ කටයුතු දැක පැහැදී විදේශගතව බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන ශ්‍රී ලාංකිකයින් අපට කතා කළා. ඔවුන් කිව්වේ අපි දුර බැහැර ඉන්න නිසා මේවට ඇවිත් භෞතිකව උදව් කරන්න පුළුවන් කමක් නෑ ඒත් වියදම්වන ප්‍රතිපාදන වලට යම් උරදීමක් කරන්න පුළුවන්. ඒ සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අයට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්න යම් අරමුදලක් පිහිටුවාගෙන යාමේ වැදගත්කම සදහන් කළා. මම මුල් අවස්ථාවේ ඒකට එතරම් එකගතාවක් දැක්වූයේ නැහැ. ඉතින් ඒ ගොල්ලෝ ඉතාම උවමනාවෙන් ඇහුවා මේ පර්යේෂණ වැඩවලට කැමැත්තෙන් යම් ප්‍රතිපාදනයක් දීලා ඊට දායක වෙන්න පුළුවන් කොයි විදිහටද කියලා. පසුව මම ඉතාම සද්භාවයෙන් කරන මේ කටයුත්ත ගැන අවබෝධකරගෙන සාකච්ඡා කරලා එයාලට මම එකගතාවයක් ලබා දුන්නා. යම් කෙනෙක් ස්වේච්ඡාවෙන්ම මීට දායක වෙන්න කැමති නම් ඒ සඳහා ගිණුමක් ආරම්භ කරලා එය ඉතා පාරදෘශ්‍ය ආකාරයකට පවත්වාගෙන යාම සුදුසුයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉල්ලීම මත මම බැංකු ගිණුමක් විවෘත්ත කරලා ඒ විස්තර අපේ උරුමය සංවිධානයේ අයට ලබා දුන්නා. මොකද එවැනි සංචිතයක් පවත්වාගෙන යාම සුදුසුයි කියලා සමහර අවස්ථාවල මටත් කල්පනා වෙලා තියෙනවා. ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසා සමහර අවස්ථාවල අගුරු සාම්පල් මම ගෙදර තියාගෙන ඉදලා තියෙනවා මාස දෙක තුන.ඒ නිසා රටට ආදරය කරන මේ වගෙ පිරිසක් දෙයක් කරන්ට ඉදිරිපත් වීම මම හිතනවා ඒක ඇත්තෙන්ම තමන්ගේ මාතෘ භූමියේ අතීතය උරුමය සෙවීමට දක්වන විශාල උපකාරයක් කියලා. මොකද අපේ රටේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන තිබුණත් මේ වගේ කටයුතු සඳහා ප්‍රතිපාදන යෙදවීමේ ප්‍රමුඛතාවයක් නෑ. නොලැබෙනවා නෙවෙයි ලැබෙනවා. එය ප්‍රමාණවත් නෑ. නමුත් මේ තරුණ පිරිස අවබෝධ කරගෙන තිබෙනවා මේ රටේ උරුමය රැකගැනීම රජයට අයිති කාරණයක් පමණක් නෙවෙයි ඒකට පුරවැසියන් හැටියට තමන්ටත් වගකීමක් තිබෙන බව. මේ ගැන කල්පනා කරලා බලලා කවුරු හරි ස්වේච්ඡාවෙන් දායක වෙන්න කැමති නම් අපේ උරුමය සංවිධානය මුලික කරගෙන කරන්න. මේක බොහොම පාරදෘශ්‍යයි. විවෘතයි. මගේ අධීක්ෂණයට එය හැමවෙලාවෙම ලක්වෙනවා.

අපේ උරුමය පේජ් එකට මේ ලින්ක් එකින් (https://www.facebook.com/apea.urumaya/) පිවිසිය හැකියි 

.2016.06.02.දිවයින
රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

කටු අකුලෙන් මිදෙමු. අලුතින් හිතමු

කතෘ:යුතුකම     6/19/2016   No comments
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් වාර්තාව කියවන විට නැගෙන ප්‍රධාන දුබලතා දෙකක් පෙන්වා දිය හැකි ය. එකක් නම් අදාළ වාර්තා කතුවරුන් මෙන්ම ඊට අදහස් එකතු කළ පුද්ගලයින් හා සංවිධාන ද පළාත් සභා ක්‍රමය නොමැති ලංකාවක් ගැන සිතීමට දක්වා ඇති නොහැකියාවයි. දෙවැනි දුබලතාව මතුව පෙනෙන්නේ පළමුවැන්නේ ම දිගුවක් ලෙස ය. එනම් අදාළ සංශෝධන සියල්ල ම පාහේ වාර්ගික රේඛා මතින් සැදුම්ලත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා වන පූර්ව නිගමනයක සිට සිය සිතුවිලි මෙහෙයවා ඇති බවයි. පළමු දුබලතාව හෙවත් පළාත් සභාව පවත්වා ගැනීමේ දැඩි රුචිය තේරුම් ගැනීමට හැකි එක් තර්කයක් වන්නේ වත්මන් රජය විසින් ඉන්දියාව පිනවීමට හා එහි උදහසට ලක්වීමට ඇතිි දැඩි භීතිය බව කල්පනා කළ හැකි ය. අනෙක නම් පළාත් සභා ක්‍රමය හරහා දමිළ ජනයාට දී තිබෙන ව්‍යාජ බලය බෙදීම් අපේක්‍ෂා තුළ දමිළයා මතු නොව කතුවරුන් ද හිරවීම ය. ඒ අනුව, ව්‍යවස්ථා සංශෝධනයක් දෙස විවෘත මනසකින් බැලීමට කතුවරුන් නොපෙළඹී ඇත.

ඇත්ත වශයෙන් ම ලංකාවට පළාත් සභා ඇවැසි ද? පළාත් සභා නොමැති ව බලය බෙදිය නොහැකි ද? මේ ප්‍රශ්න දෙක ම එකිනෙකට සම්බන්ධ ය. බොහෝ අය පළාත් සභා ක්‍රමය අනුදකින්නේ බලය බෙදීමේ ක්‍රමයක් ලෙස ය. මෙසේ බලය බෙදන්නේ අන් පදනමක් මත නොව වාර්ගික පදනමින්ය යන්න මෙහි ඇති අනෙත් කොන්දේසියයි.

අප මේ කටු අකුලෙන් මිදිය යුතු ය. එනම් පළාත් සභාව නොමැති- ඇත්ත හා ප්‍රායෝගික-වාර්ගික සීමා ඉක්මවා ගිය බලය බෙදීමකට යාමට අවශ්‍ය නව චින්තනයක් දෙස හැරිය යුතු කාලය එලඹ තිබේ. ලාල් විජේනායක කමිටුවෙන් යෝජිත ලෙස බලය බෙදීමකට ගියහොත් නැති ප්‍රශ්න ඇති වී රට එක ම එක අවුල් ජාලාවක් වීමේ විභවතාවක් නිරීක්‍ෂණය වීම නව ප්‍රවේශයක් ගැනීමට අපව උනන්දු කරන කාරණාව ය. මන්ද එහි එන බොහෝ නිර්දේශ සිදුකොට ඇත්තේ රෝග නිධානය දෙස බලා ‍නොව රෝග ලක්‍ෂණ දෙස බලා ය.

වාර්ගික අභිලාෂ සන්තර්පනය උදෙසා නොව පුරවැසි අභිලාෂ සනසන බලය බෙදීමේ ක්‍රමයක් අපට නැති ද? තිබේ. මෙහි දී අපට නිතැතින් ම සිහියට නැගෙන්නේ ලංකාවේ පෙර පැවති ග්‍රාම රාජ්‍ය සංකල්පයයි. ඉහත වාර්තාවේ දී මේ සංකල්පය පිළිබඳ ද අදහස් දක්වා තිබේ. එහෙත් එහි ගැටළුව නම් ඊට සමාන්තර ව පළාත් සභා ක්‍රමය ද පවත්වා ගැනීමට වන යෝජනාව ය. ග්‍රාමීය තලයට බලය බෙදන්නේ නම් තවදුරටත් පළාත් සභා ආරක්‍ෂා කර ගැනීමේ අර්ථය කුමක් ද? එය තේරුම්ගත හැකි ආකාර දෙකක් තිබේ. ඉහත දැක් වූ ඉන්දියානු පිනවීමට අමතර ව ග්‍රාම රාජ්‍ය වෙත බෙදන බලය පළාත් සභා හරහා නැවත ආපසුු ගැනීමයි. එසේත් නැතිනම් අතිශය වියදම්කාරී පළාත් සභා ක්‍රමය තුළ නඩත්තු වන නිලධාරී හා දේශපාලන පන්තියේ අභිලාෂ ආරක්‍ෂා කිරීම ය.

පළාත් සභා ක්‍රමය අහෝසි කොට ග්‍රාම රාජ්‍ය මත වන ප්‍රායෝගික බලය බෙදීමකට යාම තුළ ලංකාවේ වෙසෙන සෑම ජනවර්ගයකට ම සාධාරණය ඉෂ්ට වේ. වාර්තාමේ ම එන ලෙස උතුරු නැගෙනහිර එකතු කිරීමකට මුස්ලිම් ජනයාගෙන් මෙන් ම නැගෙනහිර සිංහල ජනයාගෙන් ද මතුවන විරෝධය හරහා නැගෙන ගැටළුව ද එසේ කරන්නේ නම් මුස්ලිම් ජනයාට වෙනම කලාපයක් හා කඳුකර ඉන්දියානු දමිළයාට වෙනම කලාපයක් ද ඉල්ලීමේ ගැටළුව ද මේ හරහා සමනය වේ. ජනවර්ගය නොව, පුරවැසියා වැදගත් කොට සලකන ග්‍රාම රාජ්‍ය හරහා රාජ්‍යකරණය තුළ පුරවැසියා ප්‍රායෝගික ව බලගැන්වෙන අතර තම අන්‍යතාව පවත්වා ගන්නා අතර ම ඔහුට නියම ශ්‍රී ලංකිකයෙකු ලෙස නැගී සිටීමේ නිදහස හා අවකාශ උදාවේ.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/18/2016

ජවිපෙට එළිය දී නිවී ගිය රතු තරුව, සෝමවංශ අමරසිංහ

කතෘ:යුතුකම     6/18/2016   No comments
-ධර්මන් වික්‍රමරත්න-ජවිපෙට එළිය දී නිවී ගිය රතු තරුව, සෝමවංශ අමරසිංහ : ධර්මන් වික්‍රමරත්න විසිනි - ඉදුරුවේදී 1943 ජුනි 13වැනිදා උපන් ඒ. කේ. සෝමවංශ අමරසිංහ පයාගල ඈතගම ගල්කනුව පාරේ පදිංචිකරුවෙකි. වැඩිමහල් සොහොයුරන් 4ක් සහ සොහොයුරියන් 3කි. (දැනට ඉන් 2ක් ජීවතුන් අතර නැත) පවුලේ බාලයා වූයේ සෝමවංශය. ඔහුගේ පියා කලක් පොලිසියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල ජෝන් අමරසිංහය. මව ගෘහණියකි. කළුතර කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ සෝමවංශ කළුතර විද්‍යාලයට ඇතුල්වූයේ දෙවැනි ශ්‍රේණියටය. උසස්පෙළ සමත්වීමෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙකු වශයෙන් ගල්ගමුව අභ්‍යාස විද්‍යාලයේදී 1963දී පුහුණුව ලැබූ ඔහු පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් ගාල්ල, කල්මුණේ, බිබිල, රාජාංගනය සහ කොළඹද සේවය කළේය.

සෝමවංශ, ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) සොයාගෙන ගිය අයෙකි. ඒ 1969 පෙබරවාරි මසය. රැඩිකල් තරුණයින් අතර දැවැන්ත පිබිදීමක් ඇතිකරමින් රෝහණ විජේවිරගේ චේගුවෙරා ව්‍යාපාරය එකල රහසිගතව ප්‍රචලිත වෙමින් පැවතිණි. සෝමවංශ ජවිපෙට 1969දී සම්බන්ධ කළේ හෙට්ටි ආරච්චිගේ නවරත්න බණ්ඩාරය.(71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ 15වැනි විත්තිකරුවූ හෙට්ටිආරච්චිගේ කුලරත්න බණ්ඩා පියසිරිගේ සොහොයුරා වන නවරත්න බණ්ඩා 1946 දෙසැම්බර් 04 උපන් අතර 2016 අප්‍රේල් 21වැනිදා මිය ගියේය). කාර්මික නිළධාරි පරණවිතාන විසින් සෝමවංශ පිළිබදව නවරත්න බණ්ඩාට දැනුම්දුන් අතර පසුව මරදානයේ දේවානම් පියතිස්ස මාවතේ පළමු සාකච්ඡාවෙන් පසු ව්‍යාපාරයට එක්වීමේ කැමැත්ත ඇතිවිය. කාසල් වීදියේ පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් අයියාගේ වෘත්තීය සමිති කාර්යාලයේ පැවති ජවිපෙ පන්තිවලට සෝමවංශ සහභාගි විය. රැකියාව අතහැර 1969 අවසානයේදී පූර්ණකාලීනව ජවිපෙට එක්වූ සෝමවංශ පසුව තමාට අයත් 5 ශ්‍රී 6022 දරණ හොන්ඩා යතුරු පැදියද පක්ෂයට පරිත්‍යාග කළේය.

ඉන් වසර 21කට පසු 1990දී ජවිපෙ 4වැනි නායකයා බවට පත්වූ සෝමවංශ අමරසිංහ 2014 පෙබරවාරි 2 දක්වා වසර 23ක් නායකයා වශයෙන් කටයුතු කළේය. පසුව 2015 අප්‍රේල් 16වැනිදා ජවිපෙන් ඉවත්වූ සෝමවංශ ජනතා සේවක පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවනු ලැබීය. එය මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 53ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය සමඟද අත්වැල් බැඳ ගත්තේය. ඉකුත් ජුනි 15වැනිදා අලුයම රාජගිරියේ බුත්ගම සිය සොහොයුරෙකුගේ නිවසේදී දිවි සැරිය නිමකල සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතු ජුනි 18 සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය බත්තරමුල්ල පැලවත්තේ දකුණු තලංගම සිංහපුර 35 දරණ ස්ථානයේ සොහොයුරියගේ නිවසේ ජුනි 16 සිට තැන්පත්කර තිබූ අතර දහස් ගණන් ජනයා එයට අවසන් බුහුමන් දක්වා තිබිණි.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් 1984 පත්වූ සෝමවංශ අමරසිංහ නොහොත් සිරි අයියා ජවිපෙ 2වැනි කැරැල්ලේදී දිවි බේරාගැනීමට සමත්වූ එකම දේශපාලන මණ්ඩල සභිකයාය. ජීවත ආරක්ෂාව සඳහා 1990 පෙබරවාරි මස ඉන්දියාවට බෝට්ටුවකින් පලාගිය ඔහු ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කරමින් 2014 පෙබරවාරි 2වැනිදා දක්වා ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කළේය. අනූව දශකය මුල් භාගයේදී සෝමවංශ අමරසිංහගේ දුෂ්ටියේ දුබලතාවන් හේතුවෙන් විදේශගත දේශපාලන රැකවරණය ඉල්ලා සිටි බොහෝ පිරිසකට බලවත් හානිකර ප්‍රතිඵල උදාවූවද ජවිපෙ යළි ගොඩනැගීමෙහිලා ඔහුගෙන් ඉටුවූ සේවය අසමසමය. රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සඟයන් පවාදීම සහ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේදි ඔහු රඟපෑ භූමිකාව පිළිබඳව විවිධාකාර චෝදනා පැවතියද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත.

සෝමවංශ අමරසිංහ මවිබිමට වඩාත් අදරැති මිනිසෙකු වන්නේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිම සඳහාවු ජාතිකවාදී අරගලය ඔස්සේ සමාජවාදයට ජවිපෙ මතවාදි අරගලය සමාජගත කල උපායමාර්ගික විද්වතා ලෙසය. පොදුජන එක්සත් පෙරමුණ සමඟ ජවිපෙ 2001දි පරිවාස ආණ්ඩුවක් පිහිටනු ලබන්නේද, ශ්‍රිලනිප සමඟ එක්ව 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කරන්නේද, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහායදි ඔහුගේ නායකත්වය යටතේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය වසර 30කට පසු පරාජය කරන්නේද සෝමවංශගේ නායකත්වය යටතේ ජවිපෙ ගත් තීන්දු තීරණ නිසාවෙනි. ජවිපෙ සමඟ කිසිදා එකතු නොවන ජාතිකවාදී බලවේගයන් එක්කලේ ඔහුය.

වසර 1971 අප්‍රේල් 5 කැරැල්ලේදී සෝමවංශට නියමවී තිබුණේ එවකට අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැතිණිය රොස්මිඩ් පෙදෙසින් පැහැරගෙන යෑමේ කණ්ඩායමේ දෙවන නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීමය. බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල වසර 1971 අප්‍රේල් 04වැනිදා රාත්‍රි රාත්‍රී 10.30වන තෙක් රොස්මිඩ් ප්‍රහාරයට එක්වීමට සෝමවංශ, බෝම්බ බැගයක්ද රැගෙන සිටියද අන් කිසිදු නායකයෙකු සහ සාමාජිකයෙකු පැමිණියේ නැත. යළි කුලී රථයකින් සෝමවංශ බෝඩිමට පැමිණියේය. අගමැතිනි බණ්ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරයට එඩේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක්ම සම්බන්ධවි සිටි අතර ඔවුන් ‍සමගින්ම අප්‍රේල් 5වැනිදා රාත්‍රී සෝමවංශද අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී එම ඇතුළු පිරිස තදබල වධහිංසාවටද ලක්විය. එම ප්‍රහාරයට සම්බන්ධවූ ලොකු අතුලගේ ඥාතියෙකුවූ එඩිසන් ගුණතිලක ඒ පිළිබද තොරතුරු සිය පියා මගින් එජාපයේ ජේ.ආර්. ජයවර්ධනයට දැන්වූ විට ඔහු අගමැතිනිය දැනුවත් කිරීම මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. පසුව අගමැතිනිය පොලිස්පතිගෙන් කල විශේෂ ඉල්ලීමක් පරිදි එඩිසන් පසුව පොලිසියට බඳවාගත් අතර ගඩාෆි නමින් හැදින්වූ ඔහු පොලිස් අධිකාරි දක්වා උසස් විය.(ජවිපෙ 2වැනි කැරැල්ලේදී වයඹ පළාතේ කැරළිකරුවන් සිය ගණනකගේ ඝාතන වලටද ඔහුට 1989දී චෝදනා එල්ල විය) 71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව සමඟ තවත් පරික්ෂණ නඩු 140ක් සිදුකල අතර එහි දෙවන නඩුව වූ රොස්මීඩ් පෙදෙස නඩුවේ 3වැනි විත්තිකරු වූයේ සෝමවංශය. ඔහු වැලිකඩ සිරගෙදර එච්. වාට්ටුවේ රඳවා තැබිණි.

අප්‍රේල් 71 අරගලයෙන් පසුව කල්ලි සහ මතවාද මැද ජවිපෙ දේශපාලනය ඉරි තැලී තිබිණි. සෝමවංශ ප්‍රථමවරට රෝහණ විජේවීර සමඟ කථාකළේ සිරගෙදරදී 1975දීය. අනතුරුව හදිසි නීතිය 1976 දෙසැම්බර් ඉවත් කිරිමත් සමගම කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ, සමරප්පු‍ලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේ ඇතුළු කිහිප දෙනෙකු නිදහස්වූ අතර සෙසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්ද ඔවුහු ක්‍රියාකාරි විය. මරදාන දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල අයියාගේ නිවස එකල ඔවුන්ගේ මූලස්ථානය විය. නියමුවා පුවත්පතද ප්‍රචාරක රැළිද ඒ අනුව ආරම්භ විය. වසර 1977 නොවැම්බර් 02වැනිදා විජේවීර නිදහස් කරන තෙක් දේශපාලන වැඩසටහන් සංවිධානය කිරීමටද අන් අය සමඟ ඔහු එක්විය. විජේවීරගේ නිදහස වෙනුවෙන් සහ රටපුරා ජවිපෙ ගොඩනැගීම සිය උරමතට ගෙන අසීමිත කැපවීම් කල කිහිපදෙනා අතර සෝමවංශ ප්‍රමුඛයෙකු විය. ජවිපෙ 1978 සිට 1983 පක්ෂ තහනම දක්වා සෝමවංශ මධ්‍යම කාරක සභිකයෙකු විය.

කළු ජූලිය 1983 ජුලි 24 ආරම්භ වීමෙන් පසු 1983 ජුලි දෙමළ සංහාරය පිළිබදව එල්ලවූ විවේචනවලට ප්‍රතිඵලයක් වශයෙන් එය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට හංවඩු ගසමින් ජවිපෙ තහනම් කරන බවට විජේවීරට සැලවූයේ 1983 ජුලි 29 දහවල්ය. අසල්වැසි නිවසක සිටි දිමුත් මල්ලී අත පණිවිඩයක් යවන විජේවීර, ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමඟින් තංගල්ල බලා පිටත්විය. නිවසේ කිසිවෙකු නොසිටි බැවින් සියල්ල වසා යතුරු දමන ලදී. සෝමවංශ අමරසිංහද ගමනට එක්වූ අතර කළුතරදි ඔහු බැස ගියේය. ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය මගින් 1983 ජුලි 30 වැනිදා තහනම් කල බව විජේවීරට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ තංගල්ලේ සිටියදීය. මෙම හේතුව නිසා ජවිපෙ යළි රහසිගත දේශපාලනයට තල්ලුවිය.

එජාප ආණ්ඩුව මගින් 1983දී ජවිපෙ තහනම් කිරීමත් සමඟ නිකුත් කල පොලිස් දැන්වීමේ ඡායාරූප අතර සෝමවංශ අමරසිංහගේ ඡායාරූපයද විය. තවත් පක්ෂ ක්‍රියාකාරියන් 380කගේ ලේඛනයක්ද ආරක්ෂක අංශ සතු විය. තහනමත් සමඟ පක්ෂ ක්‍රියාකාරිකයින් සමඟ රහසිගතව කටයුතු කිරීම ඇරඹූ ඔහු 1984දී කොළඹට පැමිණ යළි දේශපාලන කටයුතු කරගෙන ගියේය. 2වැනි කැරැල්ලේදී හෙළිදරව් වු මුල්පෙලේ නායකයින් කොළඹින් පිට ජීවත්වූවද නගරය තුළ රැදෙමින් ඔහු පැවරූ වගකීම් ඉටු කළේය. ලියුම්කරුට සෝමවංශව 1984 මාර්තු මස හදුන්වා දෙන්නේ ජවිපෙ ශාන්ත බණ්ඩාර විසිනි. සෝමවංශ බොහෝ විට ලියුම්කරු හමුවීමට පැමිණියේ හිමිදිරි උදෑසනය. ඉංග්‍රීසි බසින්ද කටයුතු කිරීමට සමත් සෝමවංශ බටහිර සාහිත්‍ය ඇසුරක් සහ කලාත්මක ඥානයක්ද අත්පත්කරගෙන සිටි හෙයින් බොහෝ කටයුුතු දෙස නිරවුල් මනසකින් බැලූවෙකි. පක්ෂ තහනමින් පසු මානව හිමිකම්, සංස්කෘතික, වෘත්තීය වැනි ක්ෂේත්‍රයන්හි බුද්ධිමතුන් සමඟ 1989 ජුලි දක්වා නිරතුරුව සම්බන්ධතා පැවැත්වූ ඔහු ජවිපෙ නායකයින් සහ සෙසු බහුජන සංවිධාන නායකයින්ද සම්බන්ධීකරණය කළේය. කලින් පක්ෂ තහනමට පෙර බුද්ධිමතුන් සම්බන්ධීකරණය කළේ ලයනල් බෝපගේය. කොළඹ බොහෝ ජවිපෙ සංවිධාන කටයුතුවලදී සෝමවංශ අදිසි නායකයෙකු විය. සෝමවංශගේ වැඩිමහල් සොහොයුරිය විවාහවී සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කිට්ටුම හිතවන්තයා වූ සිරිසේන කුරේ ඇමතිවරයා‍ගේ වැඩිමහල් සොහොයුරා සමඟය. සෝමවංශගේ රතුපාට සහ සුදුපාට කාර් රථය එකල බෙහෙවින් ජනප්‍රියය. අත් දිග කමිස වලින් නිරතුරුව සැරසී සිටියේය. සෝමවංශට භීෂණ සමයේ සැඟව සිටීමට හෝ රට පැනයෑමට සිරිසේන කුරේ කිසිදු උදව්වක් නොකලද 1984දී රාජගිරිය පොලිසිය මගින් කල අත්අඩංගුවට ගැනීමේදී නිදහස්කර ගැනිමට මුල්විය.

අප්‍රේල් 5 සංවත්සරයේ 11වැනි සමරුව 1982 පැවැත්වීමේදී ජවිපෙ නායක රෝහණ විජේවීර කියා සිටියේ තමා සහ දේශපාලන මණ්ඩල සභිකයින් මැග්නිෆිෂන්ට් සෙවන්(උද්කෘෂ්ඨවත් හත්දෙනා) යන ඇමරිකානු කව්බෝයි චිත්‍රපටියේ රැම්බෝවරුන් නොව ජනතාව අතරින් මතුවී ඔවුන් වෙනුවෙන්ම අරගල කරන ඕනෑම මොහොතක මියයෑමට සූදානම් සුවිශේෂි පුද්ගලයින් බවය. එහෙත් ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමත් සමඟම විජේවීර සහ ගමනායක හැර දේශපාලන මණ්ඩලයේ බහුතරයක් ජවිපෙ හැර ගියෝය. නැතිනම් අක්‍රීය විය. ඇතමෙකු පළා ගියේය.

ඉන් පසු විජේවීර‍‍ගේ මැග්නිෆිෂන්ට් හත්දෙනා වූයේ 1984 අප්‍රේල් මස සිට අලුත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වූ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරල, පියදාස රණසිංහ, ගුණරත්න වනසිංහ, සෝමවංශ අමරසිංහ, සහ නන්දතිලක ගලප්පත්තිය. එම වසරේ අග භාගයේදී ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඩී.එම්. ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු සහ ශාන්ත බණ්ඩාරද පත්විය. පසුව 1985 මුල් භාගයේදී එච්.බී. හේරත්, ආර්.බී. විමලරත්න සහ ලලිත් විජේරත්නද එක්වීමෙන් ජවිපෙ දේශපාලන මණ්ඩලය 13ක් විය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ ජවිපෙ ප්‍රධාන නායකයින් වූයේ මෙම 13 දෙනාය. විජේවීරට වඩා සෝමවංශ මසකින් වැඩිමහල් නිසා සිරි අයියා යන නමද සෝමවංශට බෞතිස්ම කළේ විජේවිරය.

ජවිපෙ 2වැනි කැරළි සමයේදී සෝමවංශ පෙනී සිටියේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික්, රෙජී අංකල්, මයිකල්, ,ෆෑන්ලින් ඩැ‍නියෝ, නිමල් බණ්ඩාර දිසානායකෙ නම් වලින්ද හැදින්විණි. සෝමවංශ අවාහ වූයේ කළුතර අයිරාංගනී මාලනී මුණසිංහ ගුරුවරිය සමඟය. විවාහය සිදුවූයේ පාසැල්වියේ සිට ඇතිවූ ප්‍රේම සම්බන්ධයකිනි. එක්දරු පියෙකි. වාරියපොල නිළඹ ප්‍රදේශයේ අරලිය වත්ත ඉඩම සහ බටුවිට ගෝනපොල හන්දියේ නිවසද ඇටම්පිටිය පාරේ නෙළුව කටුගහ වලව්ව පක්ෂය වෙනුවෙන් සෝමවංශ මිලදී ගෙන තිබ්බේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. එම ඉඩමට ලක්ෂ තුනාමාරක් ගෙවා තිබිණි. තවත් නිවසක් බටුවිල ගෝනපොල හංදියෙන් මිලදීගෙන තිබූ අතර එයට ගෙවූ මුදල 150,000කි. ඔප්පු අංක 1627 අක්කර 13කින් යුත් බණ්ඩාරවෙල නෙළුව වත්ත මිලදී ගැනීම සදහා වැයකල මුදල රුපියල් 680,000කි. එයද මිලදී ගෙන ඇත්තේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි.

රෝහණ විජේවීර සිය දරු පවුල සමඟ හපුතලේ වල්හපුතැන්න නිවසට කැදවාගෙන යන්නේද සෝමවංශය. ඔහු විජේවීර සමඟ ඔහුගේ මස්සිනා ලෙස රඟපාමින් කටයුතු කල බව විජේවීරගේ බිරිඳ ශ්‍රීමතී චිත්‍රාංගනී වැලිසරදී ලියුම්කරු සමඟ මුහුණට මුහුණලා කල සාකච්ඡාවකදී පැවසීය. විජේවීරගේ දරුවන්ගේ පාසැල් ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැඳවාගෙන යන්නේද සෝමවංශය. විජේවීර උලපනේ නිවසට යන්නේ 1988 මාර්තු මාසයේදීය. පක්ෂයේ නායක රෝහණ විජේවීරගේ අවසාන කාලයේ අභ්‍යන්තර කවයේ හොදම මිතුරන් වූයේ එච්.බී හේරත් සහ සෝමවංශය.

විජේවීරගේ දරු දෙදෙනා වන 1981 ජනවාරි 12වැනිදා උපන් දසුන් ඊසා සහ 1982 අප්‍රේල් 5වැනිදා උපන් සුපුන් චාගාද සමඟින් රෝහණ ගේ භූගත දේශපාලනයට 1984 අප්‍රේල් 29වැනිදා සිට එක්වීමට චිත්‍රාංගනීට සිදුවිය. ප්‍රථමයෙන් හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්නේ නිවසකද 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේද 1988 සැප්තැම්බර් 1වැනිදා සිට 1989 නොවැම්බර් 12වැනිදා තෙක් උලපනේ ශාන්ත මේරි වත්තේද පදිංචිව සිටි‍යහ. ඒ අතරතුර පාදුක්කේ මීගොඩ සහ බණ්ඩාරගම උපතිස්ස ගමනායක නිවසේද මාසය බැගින් ගතකර තිබිණි. මෙම කාලය තුළ නිවසේ කටයුතුවල සහායට ජවිපෙ සාමාජිකාවන් වූ මාතර රමණි සහ තංගල්ලේ කාන්තිද පසුව මැණිකේ ‍නොහොත් කළුතර අක්කාද හම්බන්තොට චමිලා සෙව්වන්දිද, එක්වී තිබිණි. චිත්‍රාංගනීගේ ව්‍යාජ නමවූ සමරකෝන් නමට 15 ශ්‍රි 7920 මිට්ෂුබිෂි ලාන්සර් රථය රුපියල් 220,000කටද අක්කර 5කින් යුත් උලපනේ ශාන්ත මේරි වත්ත රුපියල් 375,000කට ජවිපෙ මගින් මිලදී ගෙන තිබිණි. මින් වැඩි කොටසක් සම්බන්ධීකරණය කළේ සෝමවංශය.

කොළඹ බහුජන සංවිධාන සමඟ සෝමවංශ නිරතුරුව පක්ෂ සංවිධානයේ වැඩ කළේය. බොරැල්ල ගෝතමී විහාරයේදී නිරතුරුව ඔහු දක්නට ලැබිණි. ගෝතමී විහාරයට අවිගත් කණ්ඩායමක් 1988 සැප්තැම්බර් 07වැනිදා කඩා වැදී සියලු ලේඛන අත්අඩංගුවට ගෙන මානව හිතවාදී භික්ෂු සංවිධානයේ භික්ෂූන් 8 දෙනෙකු පැහැර ගෙන ගිය අවස්ථාවේදී එකල භූගතව සිටි සෝමවංශ අමරසිංහ ලන්ඩනයේ ඇම්නෙස්ටි ආයතනයට දුරකතන පණිවිඩයක් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට ඒ සැණින් කථා කර ඔවුනට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියේය. පසුව කොළඹ එජාප නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මැදිහත් වී ඔවුන් බේරා ගත්තේය. ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් 19 පැවැත්වීමේදී ඒ වෙනුවෙන් 1988 ජුලි මස ගොඩනැගූ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ වගන්ති 45කින් යුත් දේශපාලන වැඩපිළිවෙල පිළිබදව ශ්‍රිලනිප ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ 8ක සාකච්ඡාවන්ට ජවිපෙ නියෝජනය කළේද සෝමවංශ අමරසිංහගේ සමඟ ආනන්ද ඉඩමේගමය. ඉන්දිය තානාපති කාර්යාලයේ නිලධාරින් සමඟ ජවිපෙ වෙනුවෙන් 1989 නිල නොවන සාකච්ඡාවට සහභාගිවූ ඉහළ නායකයින් 3දෙනා අතර ඔහුද විය. ජවිපෙ 2වැනි කැරැළි සමයේ රටින් පළා යෑමට පෙර ලියුම්කරුට සෝමවංශ අවසාන වරට හමුවූයේ 1989 ඔක්තෝබර් මුලදීය.

රෝහණ විජේවීර ගේ නායකත්වයෙන් ජවිපෙ අවසාන දේශපාලන මණ්ඩල රැස්වීම තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 යන දිනයන්හීදී ගලහ නිවසේදීය. අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඩී. එම්. ආනන්ද සහ ගුණරත්න වනසිංහට එයට සහභාගිවීමට නොහැකි විය. මෙය සෝමවංශගේ සැකයට බඳුන් වූ අතර ඒ සඳහා ආරක්ෂාකාරීව පියවර ගන්නා ලෙසට විජේවීරට ඔහු දැනුම් දුන්නේය. එහෙත් එය විජේවීර සුළුකොට තකයි. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රි ඇදිරි නීතිය පනවන අතර ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 12 දවල් වනවිට නිමා කළේය.

එහිදී සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න, උපතිස්ස ගමනායක සහ රෝහණ විජේවීර මෝටර් රථයකින් පිටත් විය. ශාන්ත බණ්ඩාර වෙනමම ගියේය. පියදාස රණසිංහ සහ සෝමවංශ අමරසිංහ වෙනමම රථයකින් මඩවල ප්‍රදේශය බලා පිටත් වන්නේ ආරක්ෂාවට තබා තිබූ මුදල් වගයක් ලබාගැනීමටය. ආපසු එන අතරෙමගදී සෝමවංශ අමරසිංහ ට්‍රිනිටි කන්දෙන් බැස ගියේය. ගලහ බලා ආපසු පැමිණෙන අතරතුරදී පියදාස රණසිංහ නුවරදී අත්අඩංගුවට ගනු ලබන්නේ ක්‍ෂණික විහිදුම් බලකායේ අණදෙන නිලධාරි ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම විසිනි. එහිදී පියදාස රණසිංහ සමඟ ආරක්ෂක අංශ ගලහ වතුයායට පස්වරු කඩා පනී. එහි දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත් සමඟ බෙලිසිරාද සිටියේය. එදිනම සවස විජේවීරද, පසුදින උදේ ගමනායකද අත්අඩංගුවට පත්වේ. විජේවීර, හේරත් සහ ගමනායක 1989 නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ලක්වේ. සෝමවංශගේ ඉව හේතුවෙන් ඔහු උපක්‍රමශීලිව කටයුතු කිරීම නිසා තවදුරටත් ජීවත්වීමට වරම් ලැබිය.සෝමවංශගේ බිරිඳ සහ පුත්‍රයා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේදී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේදී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අසල මුස්ලිම් ජාතින්ට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ.

රෝහණ විජේවීර සහ ගමනායකගේ ඝාතන වලින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වශයෙන් පත්වූයේ සමන් පියසිරි ප්‍රනාන්දුය. ඒ ජවිපෙ දේශපාලන මණ්ඩලය 1989 නොවැම්බර් 28වැනිදා රත්නපුර කුරුවිටදී ගත් තීරණය අනුවය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින්ගෙන් ඉතිරිව සිටි සමන් පියසිරි, ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න ඇතුළු පිරිසක් එයට සහභාගි වු අතර දේශපාලන සහ සංවිධානාත්මක වැඩ සම්බන්ධයෙන් ඉතිරිව සිටි දක්ෂම පුද්ගලයා සමන් පියසිරි බැවින් සෝමවංශගේ සහායද ඊට හිමිවිය. එහෙත් සෝමවංශ දරු පවුල සමඟින් ආරක්ෂිතව මීගමුව, කැලණිය සහ කොළම තදාසන්න ප්‍රදේශවල ආරක්ෂිතව ගත කලද සම්බන්ධකම් ලලිත් විජේරත්න හරහා පවත්වාගෙන යනු ලබයි. සමන් පියසිරිගේ ඝාතනයෙන් පසු ඉතිරිව සිටි දේශපාලන මණ්ඩල සභිකයින්ගේ අදහස් මත ලලිත් විජේරත්න ජවිපෙ තෙවැනි නායකයා ලෙස පත්කර ගත්තේය. ඒ 1989 දෙසැම්බර් 30වැනිදාය. ලලිත් විජේරත්න ජවිපෙ 3වැනි නායකයා ලෙස සිටියදී 1990 ජනවාරි 23වැනිදා ඝාතනයට පත්විය.

සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය. ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්‍රියාකාරිකයෙකි. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ, වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී. එදින ගෝල්ෆේස් හෝටලට ඔහු පැමිණිද කිසිවෙකු එම ඇදුම නිසා හදුනා ගන්තේ නැත. විජේවීර ඝාතනය වීමෙන් පසු 1989 නොවැම්බර් 23 දින සෝමවංශ අමරසිංහ මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් ජාතික හැදුනුම්පතක්ද ලබා ගෙන තිබිණි. එහි අංකය වුයේ 4707211049v. එයට තෙදිනකට පසු එම නමින් සියළු රටවල් සදහා වලංගු ගුවන් බලපත්‍රයකටද අයදුම් කර තිබිණි. එහි පදිංචි ලිපිනය වූයේ කුරුණෑගලය.

එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලා යෑමට සෝමවංශ තීරණය කරයි. කල්පිටියේ බෝට්ටු හිමියෙකුට රුපියල් 50,000ක් ලබාදී ඇන්ජින් දෙකක් සවිකල බෝට්ටුවකින් ඔහු ඉන්දියාවට පලා යන්නේ 1990 පෙබරවාරි මසදීය. සෝමවංශගේ බිරිඳ අයිරාංගනී සහ පුතා රියාද් නුවර ජවිපෙ කමිටුවේ සංවිධායකවරයෙකු වන ජයසිංහගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ ත්‍රියේන්ද්‍රම් නුවර නිවසකට 1989 දෙසැම්බර් 25 යෑමට සමත් විය. හික්කඩුවේ රන්සිරි ගේ සම්බන්ධීකරණයෙන් සෝමවංශ අමරසිංහ බෝට්ටුවකින් කුලසේකර පට්නම් වෙරළ හරහා ඉන්දියාවට ගොස් තියේන්ද්‍රම්හිදී සිය බිරිඳ අයිරාංගනී සහ ප්‍රත්‍රයා හමුවූයේ 1990 පෙබරවාරි 21 වැනිදාය. සෝමවංශ අමරසිංහ රට යැමට උදව්කල මාතලේ විකී නොහොත් කොටහේනේ වික්‍රමසිංහ සහ යුධ හමුදාවේ කපිතාන් නිශ්ශංකට මහාධිකරණය ඉදිරියේ නඩු පවරයි. වික්‍රමසිංහ වරද භාර ගත් අතර වසර 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම විය. කපිතාන් නිශ්ශංකට වසර 15ක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව අභියාචනයේදී ඔහු නිදහස් වේ. කපිතාන් නිශ්ශංක වරෙක ලියුම්කරුට බ්‍රිතාන්‍යයේ චන්දන බණ්ඩාර සමඟ හමුවූ අතර වික්‍රමසිංහද ලියුම්කරුට කිහිප වරක් හමුවිය.

ඉන්දියාවේ නවාතැන සම්බන්ධීකරණය කල කුරුණෑගල මැල්සිරිපුර පදිංචිකරුවෙකු වූ සෞදි අරාබියේ ජවිපෙ රියාද් කමිටුවේ සංවිධායක ජයසිංහ ගමන් බලපත්‍රයක් සැදිමට කටුනායකට පසුව පැමි‍ණීමේදී උපැවිදිවූ අමරේගේ ඔත්තුවක් අනුව අත්අඩංගුවට පත්ව ඝාතනය විය.පසුව සෝමවංශ 1990 ඔක්තෝබර් මස තායිලන්තයට දරු පවුල සමඟ පැමිණ එක්සත් ජාතින්ගේ දේශපාලන රැකවරණ ලබාගත්තේය. පසුව 1990 නොවැම්බර් මස දරුපවුල සමඟ ඉතාලියට ගොස් වල්පොලගේ ධර්මසිරිගේ නිවසේ නවාතැන් ගනු ලැබීය. ධර්මසේන 71 කැරළිකරුවෙකුවූ අතර 1980දී රෝමයට පැමිණි අයෙකු විය. අනතුරුව ඉතාලියේ සිට ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට යන සෝමවංශ ජවිපෙ කටයුතු වඩාත් හොදින් ප්‍රතිසංවිධානය කරනු ලබයි.

ජවිපෙ මෙම දේශපාලන සභිකයින් 13 සියලු දෙනා අතරින් අවසානයේ ජීවත් වීමට ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ පමණි. දෙවන කැරැල්ලේදී මධ්‍යම කාරක සභිකයින් 30 දෙනා අතර 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වූ 16 දෙනෙකු ඇතුළත් විය. මධ්‍යම කාරක සභිකයින් අතරින් සිව් දෙනෙකු උපාධිධාරින්ය. තිදෙනෙකු උපාධි අපේක්ෂකයින් වේ. වයස 20ත් 30ත් අතර සමාජිකයින් ගණන 5කි. වයස 31ත් 40ත් අතර සාමාජිකයින් 23කි. වයස 41ත් 50ත් අතර 2කි. මධ්‍යම කාරක සභා 30 දෙනා අතරමින් දෙවන කැරල්ල නිමවන විට 24 දෙනෙකු ඝාතනය විය. ජීවිතය බේරාගැනීමට හැකි වූයේ 6 දෙනෙකුට පමණි.

ජවිපෙ 1994දී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේදී කැඩී දසත විසිරී ගොස් සිටි ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් යළි නාභිගත කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් සිදුකල 'ගුලිය'වූ පේරාදෙණියේ වෛද්‍ය සිසු කමල් දේශප්‍රිය, පේරාදෙණියේ කෘෂි විද්‍යා සිසු නන්දන ගුණතිලක, සේනාධීර ගුණතිලක, ජී. කුලරත්න, චන්ද්‍රසේන විජේසිංහ සමඟද පසුව එක්වූ විමල් විරවංශ, වස්කඩුවේ වෛද්‍ය හේමන්ත ද සිල්වා, දන්ත වෛද්‍ය චන්දන ජයකොඩි ඇතුළු පිරිස සමඟද නිදහසින් පසු 1991දී විජේරාම මංසන්දියේ කාමරයක් කුලියට ගෙන සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් සමඟද විදේශගතව සිටි පක්ෂ නායක සෝමවංශ අමරසිංහ සබඳතා තරකර ගත්තේය. සෝමවංශගේ උපදෙස් අනුව පක්ෂයේ තෝරාගත් පිරිස් හමුවී සබඳතා අලුත් කරගත් අතර ජවිපෙ පක්ෂයක් ලෙස විධිමත්ව ගොඩනැගුනේ ඉන් අනතුරුවය.

අළු දූවිලි මතින් නැගිටිනු ජවිපෙ 1994 අගෝස්තු 16වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ නාමය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ මල්බදුන සළකුණෙන් තරඟකර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගැනීමට ජවිපෙ සමත්වීම සුවිශේෂි විය. ප්‍රජාතන්ත්‍රවාදයට එක්වීමට සෝමවංශ තැබූ පළමු ප්‍රයත්නයද එය විය. ටිල්වින් සිල්වා 1994 නිදහස් වීමෙන් පසු පූර්ණකාලීනව යළිත් එක්වූ අතර තංගල්ලේදී 1995දී විශේෂ සමුළුවක් පවත්වා ටිල්වින් සිල්වා ලේකම් ධූරයට පත්කරන ලදී. ජවිපෙ නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමටද නායක සෝමවංශ සමත්වූ අතර කථිකාචාර්ය කමල් කරුණාදාස සහ විජේවීරගේ වෛද්‍ය මස්සිනා වන චන්ද්‍රා ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් ජවිපෙ නිල අයිතිය ලබාගැනීමට ජවිපෙ විරෝධීන් සහ එජාප ආණ්ඩුවේ පිරිසක් සමඟ එක්ව කල කුමන්ත්‍රණයක්ද ඒ සමඟ පරාජයට පත්විය. ජවිපෙ යළි කරළියට එන 1995 තංගල්ලේ සමුළුව පැවැත්වීමට පෙර එහි කණ්ඩායම්වාදයක් ගොඩනැගී තිබිණ අතර එයද වාෂ්ප කෙරිණි.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයට ගිය දරු පවුලක් පෞද්ගලික ජීවිතය ගොඩනඟා ගෙන යහතින් ජීවත්වීමට හැකියාව තිබියදී නිහඬව සිටිය හැකි වුවද දිගු කලකට පසු සෝමවංශ ශ්‍රී ලංකාවට 2002දී පැමිණියේය. ඔහු එසේ පැමිණීමට ප්‍රමාද වූයේ දෙහිවල සත්වඋද්‍යානයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කල 1988 පෙබරවාරි සිට පූර්ණකාලීනයෙකුවූ මාතරගේ දොන් ආරියදාස ජවිපෙට අයත් බොරලැස්ගමුව නිවසකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු දෙනු ලැබූ සාක්කියක් අනුවය. එහිදී ආරියදාස මහාධිකරණ විනිසුරු එෆ්.ඩී.එන් ජයසූරිය විසින් 1992දී බරපතල වැඩ ඇතිව වසර 2ක සිර දඬුවමක් පනවා එය වසර 10කට අත්හිටුවන ලදි. එම නෛතික ක්‍රියාමාර්ග අවසානවීමෙන් පසු සෝමවංශගේ පැමිණීම සිදුවිය. එහෙත් බිරිඳ අයිරාංගනිට එකම දරුවා වන පුත්‍රයා සමඟ බ්‍රිතාන්‍යයේ රැදී සිටියේ පුත්‍රයාට කුඩාකල සිදුවූ මානසික ආතතීන් නිසා තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බැවිනි. මෙයට වසර කිහිපයකට පෙර සෝමවංශගේ බිරිඳ මියගිය අතර පුත්‍රයා දැනට සෞඛ්‍ය හේතූන් මත බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටී.

ජනතා විමුක්ති පෙරමුණ තුළ 2005න් පසු වාම ප‍්‍රවණතා දෙකක් මතුපිටින් දිස්විය. ජාතිකවාදී වාම ප‍්‍රවණතාවය මහින්ද රාජපක්ෂට සමාන්තරව නියෝජනය කළේ විමල් වීරවංශය.ජවිපෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සමඟ වීරවංශ 2008 අප්‍රේල් 8වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කොට ජවිපෙන් ඉවත් විය. අතිවාදී වාම ප‍්‍රවණතාවය ජවිපෙ 2වැනි කැරැල්ලට සමාන්තරව නියෝජනය කළේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසකි. සභාග දේශපාලනයට එරෙහිව ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ක්‍රියාකාරින් පිරිසක් 2012 අප්‍රේල් මස ජවිපෙන් ඉවත්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි කළේය. අද ජවිපෙ නියෝජනය කරන්නේ එම ප‍්‍රවණතා දෙකම නොව එජාප ආණ්ඩුවට හිතවාදී ප්‍රවණතාවයකි. සෝමවංශ මෙම ප්‍රවණතාවයන් දෙක බිදී යාමේදී අනුගමනය කල ක්‍රියාමාර්ගය දේශපාලන විචාරකයින්ගේ කුකුසට ලක්වූවකි.

සෝමවංශ අමරසිංහගේ විශිෂ්ඨතම ලක්ෂණය වූයේ ජවිපෙ නායකයෙකුව සිටියද වෙනත් නායකයින් මෙන් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට රිංගා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ පසුව ඇමතිවරයෙක් වීමට තැත් නොකිරීමය. ඔහු තමන් ඇදහූ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජීවත්වූ මිනිසෙකි. දේශපාලනය උලා කා සැප නොවිදි සරල මිනිසෙකි. ලාංකීය විප්ලවීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ඔහුගේ වසර 73ක ජීවිත කාලයෙන් වසර 46ක් කැපකලේ ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙනි. ජවිපෙ මුලිනුපුටා දමා ‘මැච් එක ඕවර්’ යැයි 1989 නොවැම්බර් 13වැනිදා වහසි බස් දෙඩු එජාප ආණ්ඩුවේ පුරසාරම පුස්සක් බවට පත්කළේ සෝමවංශගේ මැදිහත්වීමෙන් බව අවිවාදිතය. ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර මාර්ගය හරහා 1994දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා මහ මැතිවරණයට අවතීර්ණ විය. පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 39ක් දිනා ගැනීමට පවා ජවිපෙ සමත් විය. මර්ධනය නිසාවෙන් බිමට සමතලාවූ පක්ෂයක ඉතිරිවූ සුන්බුන් අතරින් හිතවතුන් එක්කර ජවිපෙට යළි ප්‍රාණ වායුව ලබාදීමේ ගෞරවය සෝමවංශට හිමිය. ඔහුගේ ජීවිතයේ සුන්දර හිතුවක්කාරි ස්වභාවය ගතින් වයසට යද්දී පක්ෂය සාම්ප්‍රදායිකව කරපිංචා න්‍යායෙන් සැලකුවද ඔහු කල කාර්යභාරය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි පරිච්ඡේදයකි. ජවිපෙ ඉතිහාස කථාවේ සෝමවංශ සලකුණ ජවිපෙට එලියදී නිවී ගිය රතු ලකුණකි. සෝමවංශ රඟපෑ භූමිකාව පිළිබදව විවිධාකාර විවේචන පැවතියද ජනතා විමුක්ති පෙරමුණට යළි පණ ලබාදීමේදී ඔහු පසුබිම ඇති කථාව මෙයයි. එය සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගල දෙකක් මගින් ක්‍රියාකාරිවූ සහ ඒවෙනුවෙන් අනේක විධ කැපකිරීම් කල දුක්ගැහැට විදි මිනිසෙකුගේද කථාවයි.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions