6/04/2015

නාස්ති කරමින් සෝභන පෙන්වීමේ ජහපාලනය

කතෘ:යුතුකම     6/04/2015   4 comments
6000 න් පටන් ගත්ත ජහපාලනය. අධිඅරක්ෂක කලාපවල ඉඩම් බෙදන්න යාපනයට රනිල් සහ මෛත්‍රී ගියේ හෙලිකොප්පර් 2ක. ඇයි එකක යන්න බැරි වියදම් අවම කරන්න අවංක උවමනාවක් තියෙනවා නම්.? නිමල් සිරිපාල ගේ මවගේ මළගෙදර බදුල්ලට ගියේත් හෙලිකොප්ටර් 2ක. එකත් වියදම් අවම කරන්නද ? රවී කරුණානායක ජා -ඇලට යන්නෙත් හෙලිපොපටරේ. කතරගම පොල් ගහන්න ගියෙත් හෙලිකොප්ටරේ .

ඒ අතර මෛතී‍්‍රපාල සපත්තු කඩේකට රිංගනවා කැමරාකරුවන් එක්ක. මේවා බාල මාකටින් බොරු සෝභන වැඩ විතරයි. NGO මතවාද උසුරුවන ඝට්ටබින් නම් අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා බොරුවට මෝහනයකට පත්වෙලා හෝ ගාලා කමෙන්ට් කරනවා. අනික ගිහින් තියෙන්නේ එසේ මෙසේ කඩේකට නොවෙන බවත් පේනවා. ඒක ගැටළුවක් නැහැ. නමුත් කදුරුවෙල පොළේ පතෝල, වැටකොළු තෝරන පොටෝ දැක්කත් පුදුම වියයුතු නැහැ. ඒක තමයි මෛත්‍රීගේ මාකටින් සිස්ටම් එක.

අගය කරනවානම් අගය කරන්න ඕන මේ වගේ මාකටින් වැඩක් නොවුන ටී.බී. ඒකනායක සංකෘතික ඇමතිලෙස චීනය සමග ගිය වසරේ BMICH එකේ දී ගිවිසුම් අත්සන් කරන උලළෙට එද්දී තම දුබල සපත්තු 2කේ අඩිය ගැලවුණ පසුත් ඒක වසන් කරගෙන හිටපු එක. ඒක ප්‍රදර්ශනය කලේ දෙරට අතර ගිවිසුම් ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්. ඒ කාලේ මේ අය ඒවා දැක්කේත් මහින්දගේ ආණ්ඩුවේ එකෙක් ගේ ජොල් වැඩ කියලා අමු කුහක විදිහට. අදටත් මහින්ද වාදියෙක් නිසා ඒකේ කිසි වෙනසක් නැතුව ඇති. ඔවුන්ට වැදගත් මෛත්‍රී ගේ මේවගේ හිතාමතා කරන බාල ගණයේ ඇක්ටින් තමයි.

රටට පෙන්නන්න හදන සරලකම ඇත්තටම තියෙනනම් එකම ගමනට හෙලිකොප්ටර් දෙක ගානේ මොකටද? රවී කරුණානායකටත් චොපර් එක නැතිව අද ගමන් බැරි මොකද ? මේ පෙන්නන්නේ මෛත්‍රී යුගයේ සරලකමද ? ඒ විතරද ගිහින් බහිනකොට බෙන්ස් 2යි .ඩිපෙන්ඩර් 4යි . පොලිස් ජීප් 2කයි. පොලිස් බයික් 4යි . ඇම්බියුලන්ස් 1යි ඩොක්ටර් 2යි .නර්ස්ලා 4යි , ඇසට පේන සහ නොපෙනෙන බොඩිගාඩ් ලා 1300 යි. (එකදෙයයි නොකරන්නේ නලා පිඹගෙන නොයන එක විතරයි. සද්ධ නැති උනාට වැඩක් තියෙනවද ) සපත්තු ගන්න යනකොටත් යන්නේත් නිකම් නෙමේ නේ. මේ පිරිවරත් එක්කමයි. සපත්තු දෙකේ මිල රු 1000 -1500 යි . ඊට වඩා ලාභයි DSI සපත්තු වෑන් එකක් නිවසටම ගෙන්වාගෙන අවශ්‍ය සපත්තු දෙක තෝරාගෙන ගාස්තුව දීලා යවන එක. එහෙම කරලා අනවශ්‍ය නාස්තිය අවම කරගන්න පුළුවන් උනත් මේ වගේ සෝබන පෙන්වන්න නම් බැහැ. ඒකට ඉතින් ඕන මේ වගේ බාල වැඩ තමයි.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි.

6/03/2015

යස

කතෘ:යුතුකම     6/03/2015   No comments
දිවි ඇතිද මහ බර ඔටුන්නෙහි
හිත නොවේ වැඳ වැටෙන දෙදණෙහි
තෙත නැතේ බලෙන් සිඹි දෙතොළෙහි
හිත මැරේ යළි යළිත් අඳුරෙහි

හිරු මකනු නොහැකිය අහසෙහි
යට නොයෙක් බහුරූ ඇවිදිති
ගිනි අසුන ඔහුට දී නොකැමැති
මම ගිලෙමි සිනහවේ කළුවෙහි

ආරියවංශ රණවීර - රළ සමග කාව්‍ය සංග‍්‍රහයෙනි.
ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරයන් අතින් උක්ත කවිය රචනා වී ඇත්තේ මහාවංශයේ එන යස චරිතය පාදක කොට ගනිමිනි. තමාගේ රුවට සමාන දොරටුපාලයෙකු සිහසුනේ හිදුවා, අන්‍යයන් ඔහු හමුවේ හැසිරෙන ආකාරය දෙස බලා සිනාසීමටත්, ඒ සිනහව නිසාම තම හිස අහිමි කර ගැනීමටත් පෙළඹුණු යසලාලක තිස්ස රජගේ චරිතය කවරාකාරයේ එකක් විය හැකිද? ඔහු උපන්ගෙයි විහිළුකාරයෙකු, විකාරකාරයෙකු, හෝ මානසික රෝගියකු ලෙස නිගමන දීම පහසු නැතත් රණවීර කවියා සිදුකර ඇත්තේ මේ අසාමාන්‍ය චරිතයට බැහැර කළ නොහැකි අර්ථමය ජීවයක් සැපයීමය. ඒ අර්ථකථනය තුළ මට නම් ඇසෙන්නේ මිනිස් පැවැත්ම පිළිබද අධිකාර විරෝධී ප‍්‍රශ්න මතු කරන සාංද්‍රෂ්ටිකවාදී මනුෂ්‍ය කටහඬකි.

රටක මිනිසකුට ලද හැකි ඉහලම බලය වන රජකම යසට හිමිවී ඇතත්, ඔහුට රජ කිරුළ මහත් බරකි. ඒ තුළ ජීවිතය තිබේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි. කෘතිමව අත් විදින ඇතොවුර ස්ත‍්‍රීන්ගේ පහස, යටත් වැසියන්ගේ ව්‍යාජ වන්දනා මාන, නිල චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදිය යසට අපුලය. ඒ තුළ ඇත්තේම පුද්ගලභාවය අභිභවා ගිය සංස්ථාමය පර්ෂදයන්ට එරෙහිව ලතෙත් මිනිසකු තුළ මතුවිය හැකි සානුකම්පිත විරෝධයකි. එහෙත් ඔහුට මේ සංස්ථාමය පර්ෂදය සුනු විසුනු කිරීමට හැකියාවක් නැත. එය අහසේ හිරු මෙන් නොවෙනස්ව ස්ථාපිතව තිබෙන්නකි. ඒ හිරු යට නිල බල නියාමයන්ට අනුව සිදුවන සියල්ල ඔහුට පෙනෙනුයේ බහුරූ කෝලම් ලෙසය. ඒ නිල බල ලෝකය තුළ නිදහස් සිනහවකට පවා ඉඩක් නැත. එහෙත් යස තම ගිනි අසුන හා කඨෝර නිල බල ලෝකයෙන් ඔබ්බෙහි ඇති මිනිස් පැවැත්මක් ගැන සිිහින මවයි. මේ සියල්ල අතහැර නිර්ව්‍යාජ මිනිස් පැවැත්මක් වෙත යළි පොළා පැනීමට ඇති ආශාවත්, එයින් රජකෙනකුගේ ජීවිතයට මතුවිය හැකි අනතුරු නොතැකීමේ සෙල්ලක්කාර ගතියත්, එයින්ම මතුවන ඛේදාන්තයේ ගැඹුරු ශෝකයත්, මේ කවියේ අවසාන වචන හතර තුළ හකුලා දක්වා ඇති ආකාරය විශ්මිතය. ”මම ගිලෙමි සිනහවේ කළුවෙහි” යන්න ඒ හාස්කමක් බදු වචන කීපයයි.

මේ සාංද්‍රෂ්ටික හඬ ලෝක සාහිත්‍යයේ හා දර්ශනයේ බලවත් ප‍්‍රවණතාවකි. සොරේන් කියකිගාඞ්, ෂන් පෝල් සාත‍්‍ර, ඇල්බෙයා කැමූ ආදීන් ඒ හඩ නැගූවන් අතර ප‍්‍රමුඛයන් ලෙස සැලකුවද ඉන් ඔබ්බට ගිය බොහෝ දෙස් විදෙස් සාහිත්‍ය කෘතීන් තුළ අපට සාංද්‍රෂ්ටිකවාදයේ මිනිස් හද ගැස්ම මුණගැසෙයි. මේ කවිය කියවූ සැනින් මගේ මතකයට ආ පුද්ගලයන් දෙදෙනෙක් සිංහල සාහිත්‍ය ලෝකයේ වෙසෙති. ඉන් එකෙක් නම් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මළ ගිය ඇත්තෝ කෘතියේ එන දෙවොන්දරා සංය. දෙවොන්දරා සං සහ යසලාලක තිස්ස යනු එකිනෙකට බොහෝ වෙනස් චරිත දෙකක් වුවද ඒ චරිත ද්විත්වයේම ඇතුළාන්තයෙන් නැගෙනුයේ මිනිස් පැවැත්ම පිළිබද එකම මහා පොදු කාන්සියේ හඬකි.

මම දුප්පත් හිඟන කෙනෙක්
යන්තමින් දෙවේල යැපෙන
ඒ අය නම් පෝසත් අය
පළඳින හොඳ සිනිදු ඇඳුම්

යනාදී පදවලින් ඇරඹෙන මළගිය ඇත්තෝ කතාවේ තැනක එන ගැමි ගීය මේ හඩේ වඩා ප‍්‍රබල සංධිස්ථානයකැයි මට සිතේ.

මෙහිලා මගේ සිහියට නැගුනු ඊළග පුද්ගලයා වන්නේ ලී ලොං ජි නැමති චීන අධිරාජ්‍යයාය. ඔහු සැබවින්ම කි‍්‍රස්තු වර්ෂ හත්සිය ගනන්වලදී චීනය පාලනය කළ අධිරාජ්‍යයකු වුවද ලී ලොං ජී මට මුණ ගැසෙනුයේ සුනේත‍්‍රා රාජකරුණානායක විසින් රචිත සිංහල නවකතාවක් වූ ”සර්ව කාලත‍්‍ර පේ‍්‍රමය” තුළිනි. ලී ලොං ජි යනු චීනයේ ප‍්‍රථම ජාතික නාට්‍ය පාසැල පටන් ගත් තැනැත්තාය. ඇතොවුර ස්තී‍්‍රන් තුන්දහසක් පසෙක ලා එක බිසවක් කෙරේ පේ‍්‍රමයෙන් උමතු විය හැකි පුදුමාකාර පේ‍්‍රමාතුරයෙක් මේ අධිරාජ්‍යයා තුළ සිටියේය. කුමාර වියේ සිටම නැටුමට ගැයුමට හා සංගීත භාණ්ඩ වාදනයට හපනකු වූ ඔහුට හොද අධිරාජ්‍යයකු වීම ලේසි නොවීය. අධිරාජ්‍ය තනතුර වටා දැඩිව පැනවී ඇති සාටෝපවත් චාරිත‍්‍ර වාරිත‍්‍ර ඔහුට එකම හිසරදයකි. වරෙක ඔහු මහා පෙරහැරකින් තමා වෙත වඩම්මා ගෙන එන ආහාර බදුන් කෝපයෙන් පොළවේ ගසනුයේ ආහාර ගැනීම පවා රජෙකුට යුධ සංග‍්‍රාමයක් වී තිබීම ගැන ඇතිවූ අප‍්‍රසාදය නිසාය. මේ අන්දමට රජ සිරිත් පැහැර හරිමින් කලාවේ සංගීතයේ හා පේ‍්‍රම සුවයේ වෙලී දවස් ගෙවා දැමූ ලි ලොං ජි අධිරාජ්‍යයාට අවසානයේදී ඊට තම රාජ්‍යයෙන් පමණක් නොව ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවෙයි. මේ අධිරාජ්‍යයාගේ චරිතය දෙවොන්දරා සංටත් වඩා පහසුවෙන් යසලාලක තිස්ස හා හරයාත්මකව සමපාත කොට ගත හැකිය.

ආරියවංශ රණවීර යනු අපට සිටින විශිෂ්ඨ කවියෙක් පමණක් නොවේ. ගැඹුරු කියවීම අනුන් බියපත් කරවන රකුස් මුහුණක් බවට පමුණුවා නොගත්, නිරාකූල බසක් හා අදීන චින්නත ශක්තියකින් යුත් හෘදයාංගම විචාරකයෙක්ද අපට රණවීර තුළ මුණගැසෙයි. අඩු වචන ප‍්‍රමාණයකින් බොහෝ දිගු පළල් අර්ථ සම්භාරයක් නිදහසේ විදාරණය වන්නට හැරීම රණවීරගේ කවියේ වෙසෙස් අනන්‍යතා ලකුණකි. ඒ අනන්‍යතාව මේ කවියේද එලෙසම සටහන්ව තිබේ. මෙහිදී කවියා රූපක හැසිරවීමේ තම හුරු පුරුදු භාවිතයෙන් තරමක් වෙනස් අතකට ගමන් කොට ඇතත්, ගිනි අසුන, සිනහවේ කළුව ආදී වචන මේ කවිය තුළද අති ප‍්‍රබල රූපකාර්ථ මතුකරයි. රණවීරගේ කවිය මිනිසුන්ගෙන් හා දේශපාලනයෙන් දුරස්ථ එකක්ය යන නිසරු චෝදනාවට යස නැමති ඉහත කවිය ලේසියෙන් දිරවා ගත හැකි පිළිතුරකි. රණවීරගේ කවියේ ඇති වියුක්ත දාර්ශනිකත්වයක් ගැන ඇතැම් විචාරකයන් සදහන් කළද, ”වියුක්ත දාර්ශණිකත්වය” යනු ”අං සහිත හාවා” වැනි ප‍්‍රායෝගික අර්ථයකින් තොර හුදු වාචික යෙදුමකි. තත්‍ය ලෝකයෙන් හෝ සැබෑ මිනිස් පැවැත්මෙන් වියෝවූ දාර්ශනිකත්වයක් තිබිය නොහැකිය. මිනිසුන් පිළිබද, පීඩිතයන් පිළිබද සෘජු ප‍්‍රකාශන පමණක් නොව ගහ කොළ මල් ආදී රූපක ඔස්සේද ගැඹුරු දේශපාලන සත්‍යයන්ට පණ දිය හැකිය.

කාලීනත්වය, ප‍්‍රහාරාත්මක ආවේග, සෘජු අමු ප‍්‍රකාශණ, ඇවිලෙන සටන් පාඨ ආදී දෑ පවා කවිය තුළ අතිශය කාව්‍යාත්මක ලෙස යොදා ගත හැකි බව ඇත්තක් වුවද කවියේ දේශපාලනය ඒ සීමාවන් තුළ පමණක් බල ගැන්වෙන්නක් නොවේ. හුදු අධිකාර විරෝධයෙන් මුසපත් වූ නොමේරූ මනසක බොහෝ විට උත්පාදනය විය නොහැකි දේශපාලන අර්ථ සමුදායක් මේ කවිය තුළ මැනවින් සාන්ද්‍ර වී තිබේ. පීඩනයට, පරාරෝපණයට ඇත්තේ හුදු ආර්ථිකමය, පන්තිමය අරුතක් පමණක් නොවන බව හැඟවීම ඒ අතරේ එන වැදගත් තුරුම්පුවක් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.

-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
wwww.yuthukama.com

මා, මේ තරම් මෝඩයෙක් ද?

කතෘ:යුතුකම     6/03/2015   No comments
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල හෝ හිටපු ජනාධිපති මහින්ද හෝ වර්තමාන අගමැති රනිල් හෝ වෙනත් කිසි‍ දේශපාලකයකු හෝ තම තමන් ගේ බල අරගලයේදී සිදු කර ගන්නා මෝඩකම් ගැන මට රුදාවක් නැත‍‍.

ඊට හේතුව, එවැනි අමනකම්වලට එක්කෝ නීතියෙන් දඩුවම් ලැබෙන නිසා ය. නැත්නම් සමාජයෙන් දඩුවම් ලැබෙන නිසා ය.

ගස් කැපුවොත් නීතිය හරස් වේ. මිනීමැරුවොත් නීතිය හරස් වේ. වංචා කළොත් නීතිය හරස් වේ. රට බෙදුවොත් නීතිය හරස් වේ. මේ කිසිවක් සිදු නො වන්නේ නම්, අඩු ගණනේ ජනතා විරෝධයක් හෝ එල්ල වේ.

ඒ අනුව, තම තමන් කළ කී දේට ප්‍රතිඵල ලබා ගැනේ. ‍තේරෙන සිංහලෙන් කියන්නේ නම්, 'වැපුරූ දේ නෙළාගන්නේ ය.' අපට තිබෙන්නේ එතෙක් බලා සිටින්නට ය. එපමණි.

එහෙත් මගේ අරෝ ව ඇත්තේ, එයට නො වේ.
මා ද, මෝඩයකු ලෙස සිතීම ගැන ය.
මේ එක් උදාහරණයකි.

මම මේ රටේ, රට වැසියකු ලෙස අද දින (03) පුවත්පතක් මිල දී ගතිමි. ඒ, ලංකාදීප පුවත්පතකි.
එහි 05වැනි පිටුවේ සදහන් වන්නේ, 'ලෝක දුම්වැටි විරෝධී දිනය-මැයි 31' ජාතික උත්සවය දින පුවතකි.

එකී පුවතේ මෙලෙස දැක් වේ.

'නීති විරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළෙදාම නවතනු' තේමාව යටතේ ලෝක දුම්කොළ විරෝධී දින සැමරුම් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (01) පස්වරුවේ පැවැත්විණි.
ඒ උත්සවයට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද සහභාගි වී ති‍බේ.

දැන් මට පැහැදිලි ය.

දුම්කොළ වෙළෙදාම නීති විරෝධී තත්ත්වයට පත් කෙරෙමින් තිබේ. එය යහපාලනය යටතේ සිදු වෙමින් තිබෙන තවත් යහපාලන කටයුත්තක් විය හැකි ය. ඒ අනුව අපේ රටේ දරු පරපුරේ අනාගතය සදහා වැදගත් පියවරක් ගැනෙමින් තිබෙනවා විය හැකි ය.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සැබැවින්ම සිදු කර ති‍බෙන්නේ එය ද? එය තේරුම් ගැනීමට, දහසක් දෛනික ගැටලු තිබෙන අතරේ මොළේ වෙහෙසා සිතිය යුතු ය.

මේ කතාවේ ඇත්ත තිබෙන්නේ මේ කොටසේ ය.
'දුම්කොළ සමාගම්වල චෝදනාවක් තිබුණා, නීති විරෝධි දුම්කොළ භාවිතය නතර කිරීමට අප කටයුතු කරන්නේ නැහැ කියලා.' - සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා

දැන් මට මුල් පුවත පැටලේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා දුම්කොළ වෙළෙදාම නීති විරෝධි කටයුත්තක් බවට පත් කර නැද්ද? එසේ සිදු කර නැත්නම්, සිදු කර තිබෙන්නේ කුමක්ද?
පොළොන්නරුවේ, අති සරල සිරිසේන ද, සිතන තරම් ලේසි පාසු පුද්ගලයකු නො වන බව පේන්නේ මේ අවුල ලිහා ගත් විට ය.
මෙරට දුම්කොළ වෙළෙදපල 100ක් ලෙස ගත්විට එහි ප්‍රධාන සැපයුම්කරුවා, දුම්කොළ සමාගම ය. ඊට අමතර ව, එකී වෙළෙදපළේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරෙන දුම්කොළ නිෂ්පාදන ද අලෙවි වේ.
දැන් දුම්කොළ සමාගමේ ඉල්ලීම වී තිබෙන්නේ, 100ක් වන රටේ සමස්ත දුම්කොළ වෙළෙදපළ තමන්ට පමණක් පවරා දෙන ලෙස ය. එය ද ඔවුන් ඉල්ලා සිටින්නේ වර්තමාන ආණ්ඩුවෙන් සහ ශ්‍රී ලංකා රජයෙනි. රටේ ජනාධිපති සහ සෞඛ්‍ය ඇමති 'ලෝක දුම්වැටි විරෝධී දිනය-මැයි 31' ජාතික උත්සවයට සහභාගි වී, සිදු කර තිබෙන්නේ, දුම්කොළ සමාගමට එකී සහතිකය ලබා දෙමින්, දුම්වැටි වෙළෙදාමට අතහිත දීම ය.
පිළිකා, හෘදයාබාධ, පවුලේ ආර්ථික විනාශ ආදියට අතහිත දීම ය.
එසේ නොමැති ව, 'දුම්වැටි විරෝධී දිනය' යටතේ රටේ ජනතාව ගේ සෞඛ්‍ය තත්ත්වය නංවන්නට අදාළ ඉදිරි වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට නො වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සිටිනුයේ දුම්කොළ සමාගම පැත්තේ ය.
ඒ අනුව රටේ ජනතාව සිටින්නේ මෝඩයන් ‍‍ගේ පැත්තේ ද?

මා සිටිය යුත්තේ කාගේ පැත්තේ ද?

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විවෘත සංදේශයක්

කතෘ:යුතුකම     6/03/2015   1 comment
මෛත්‍රීපාල ජනාධිපතිතුමා කොළඹ ප්‍රදේශයේ සපත්තු වෙළඳසැළකට ගිය ගමනට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙමින් පවතී. එය යහපත් ප්‍රවනතාවයකි. ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වූ ප්‍රභූ චරිතයක් බවට පත්වී තිබූ දේශපාලකයා නැවතත් මහ මගට බැසීමට පටන් ගෙන ඇත. එසේ නොමැතිව දේශපාලනය කළ නොහැකිය යන මතය සමාජගත වෙමින් පවතී.

කලින් කලට ජනතාව දේශපාලකයාගෙන් බලාපොරොත්තු වන දෙය වෙනස් වෙයි. විටෙක ඔහු දූශනයට භීෂනයට එරෙහිව පෙනී සිටිය යුතුය. විටෙක රට සංවර්ධනය කළ යුතුය. අද වන විට ඔහු නිරහංකාර චරිතයක් විය යුතුව ඇත.

එක් අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙය මැනවින් විස්තර කලේය. එක් අවස්ථාවකදී ජනතාව බලාපොරොත්තු වන්නේ අඩි පාර වෙනුවට ලෙඩෙක් ගෙන යාමට පුලුවන් ගුරු පාරකි. එය ලැබුනු පසුව එයට කොන්ක්‍රිට් එකක් දමා ගැනීමට අවශ්‍ය වේ. එවිට දේශපාලකයා එය සැපයීමට සූදානමින් සිටිය යුතුය. ටික කලකින් කොන්ක්‍රිට් පාර වෙනුවට තාර පාරක් ජනතාව බලාපොරොත්තු වේ. එය ක්‍රමයෙන් කාපට් පාර මැදින් ඉරක් ගැසූ විශාල මාර්ගයක්, මාර්ගය දෙපසින් මනාව සැකසූ කාණු පද්ධතියක් ආදී ලෙසින් වෙනස් වෙයි. ඒ වෙනසට සාපේක්ෂව දේශපාලකයා වෙනස් විය යුතුය.

එතුමා එම විග්‍රහය කිරීමට දක්ෂ වුවද දෙපසින් කාණු කපා මැදින් ඉරි ගසා කාපට් දමා පාර සැකසූ පසුව ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න එතුමා නොදුටුවා විය හැකිය. මෛත්‍රීපාල මහතා එය දැක ඇත. ඔහු එම පාරවල් දිගේ ගොස් කඩයකට ගොඩවී සපත්තු මිළදී ගනී. අවස්ථාවට අනුව එය අද ජනතාව බලාපොරොත්තු වන්නක් බවට පත් වී ඇත.

නමුත් හිටපු ජනාධිපතිවරයාට වැරදුනු තැන ගැන මෛත්‍රීපාල මහතා අවධානය යොමු කළ යුතුය. මිළදීගත් සපත්තුව පළඳින්නේ ඔබතුමා මිස තමන් නොවන බව ජනතාව වැඩිකල් නොගොස්ම වටහාගනු ඇත. ඒ වනවිට ඔවුන්ව සැනසීමට යමක් ඔබතුමා සතුව තිබිය යුතුය. ජනතාවගේ අභිලාශය රාජ්‍ය නායකයා සපත්තු මිළදී ගත යුතුය යන තැන දක්වා පල්ලම් බැස්සේ එක් රැයකින් නොවේ. එය ඇරඹුනේ අඩිපාර ගුරු පාරක් කරන තැන සිටය. කාපට් පාරේ වලවල් සැදෙන විට දෙපස කානුව ගොඩවන විට සංවර්ධන ඉලක්ක අසාර්ථක වන විට එයට සාපේක්ෂව මෙම ජනතා අභිලාශයන්ද තීව්‍ර වනු ඇත.

අද වන විට රුපියලේ අගය ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට ලක්වී ඇත. බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම ඇනහිට ජනතාවට රැකියා අහිමි වී ඇත. තේ රබර් වැනි භෝගයන්ගේ මිළගනන් ඉතා දරුණු අන්දමින් කඩාවැටී ඇත. එක් අතකට ආර්ථිකය මෙලෙසින් බිඳවැටෙන විට සරල චාම් දිවියකට ජනතාව හුරු කිරීම් වස් පාලකයා පාරට බැසීම පැසසිය යුත්තකි.

නමුත් එමගින් ලැබෙන ජනප්‍රියත්වය ඉතා ඉක්මනින් වාෂ්ප වී යනු ඇත. විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා බලයට පැමිනි, ඉන්දියාව පිරිසිදු කිරීමට තමන්ම ඉදලක් ගෙන පාරට බැසි මෝඩි මහතා ජනතාව පිළිගත්තේ ඉමහත් හරසරිනි. නමුත් මාස කිහිපයකට පසු පැවති මැතිවරණයකින් ප්‍රතිවාදියා ජයගන්නේ 98% ක වැඩි ඡන්දයකිනි. නැවතත් ඡන්දයකට නොයන බවට සපත කර ඇති ඔබතුමා එවන් අභියෝගයක් නොමැති වුවද ජනතාව මෙවන් සංදර්ශන මගින් රඳවාගත හැකි කාලය ඉතා කෙටි බව වටහාගත යුතුය.

ඔබතුමා මෙළෙසින් ජනතාව අතරට ගියද ඔබගේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා නෙළුම් කොලේ කිරිබත් කෑමට නොදන්නා අංක එකේ ප්‍රභූවරයෙකි. මහ බැංකුවේ බැඳුම්කර වංචාව හේතුවෙන් එතුමාගේ ආණ්ඩුව ජනතාවට අහිමි කර ඇති මුදල රුපියල් කෝටි 5200කට අධිකය. පසුගිය රජය සමයේ අංක එකේ කුඩු කාරයෙකු ලෙස හැඳින්වූ නිමල් ලාංසා අද ඔබතුමාගේ මීගමුව සංවිධායක වරයාය. රවි කරුණානායක මහතා මූල්‍ය වංචා චෝදනාවෙන් නිදහස් වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බිළිබඳ ප්‍රශනයක් ජනතාවට ඉතිරි කරමිනි. හරීන් ප්‍රනාන්දු මහතා එජාප ආධාරකරුවන්ට පමනක් වැලි ගොඩදැමීමට ඉඩ දෙන ලෙස ප්‍රසිද්ධියේ ලිපි යොමු කරයි. ආණ්ඩුවේ බලධාරීන්ගේ බලපෑම් ඉවසිය නොහැකිව රේගුවේ ප්‍රධානියා ඉල්ලා අස් වේ. මෙලෙසින් ජනතාව බලාපොරොත්තු වූ යහ පාලනය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ මුළුමනින්ම සුනුවිසුනු වී ඇති විටෙක ඔබතුමා සපත්තු ගැනීමට කඩයට යයි.

ඉතා කෙටියෙන් ඉහතින් දක්වා ඇති අර්බුධවලට විසඳුම් දීමට ඔබතුමා අපොහොසත් වී ඇති බව ජනතාවට රහසක් විය නොහැකිය. එසේ වුවත් ඔබතුමාට ඉතා කාරුණිකව සිහිපත් කළ යුත්තේ තවමත් හංසයා ඉදිරිපිට කතිරය ගසා ඔබව තෝරාගත් ජනතාව සුභවාදී ආකල්පයකින් ඔබ දෙස බලා සිටින බවයි. මේ කුමන අක්‍රමිකතා ඔබතුමාගේ රජය තුළ පැවතියද ඔබ සපත්තු මිළදී ගැනීමට යාම දෙස බලා ජනතාව සතුටු වන්නේ තවමත් ඔබ කෙරේ තබා ඇති එම විශ්වාසය හේතුවෙනි. අද නැත්නම් හෙට අපේ නායකයා අපගේ බලාපොරොත්තු ඉටු කරාවිය යන පැතුම තවමත් එම ජනයාගේ සිත් සතන්හි රැඳී පවතී. නමුත් දැන් දින 100 නිකම්ම ගෙවී ගොස් අවසානය. එම ජනතා පැතුමටද දින 100ක් පැරණිය. මෙවන් සන්දර්ශන මගින් කෙතෙක් දුරට එම වියැකී යන සිහිනයට නව පණක් ලබා දිය හැකිද යන්න තම අනුශාසකයන් වෙතින් හෝ විමසා බැලීමට ඔබතුමාට කාලය එළඹ ඇත.

මහින්ද රාජපක්ෂ නමැති රට යුද්ධයෙන් මුදවාගත්, 7.4% ක ඉතිහාසගත සංවර්ධනයක් රටට අත් කර දුන් ප්‍රබල නායකයෙකු ගෙදර යවා ජනතාව ඔබගෙන් බලාපොරොත්තු වූයේ හුදෙක් මාධ්‍ය සංදර්ශන නොවේ. ජනතාව ඔබ මත පැටවූ යහපාලන වගකීම ඔබ වටා අද සිටින රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසෙන් ඉටුකරගත නොහැකිනම් ඔබ එයට ප්‍රතිකර්මයක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය. අද රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය මීලඟ අගමැතිවරයා වී රජයක් පිහිටුවා ජනවාරි 8න් ඇරඹි මෙහෙයුම ඉදිරියට ගෙන යන්නේ කවරෙක්ද යන්නයි. ඔබගේ බලාපොරොත්තුව එය රනිල් ප්‍රමුඛ රජයක් මගින්ම ඉටු කිරීමනම්, දින 100 තුලදී ඔවුන් අසාර්ථක වීමට හේතු මෙන්ම එම අසාර්ථකභාවයන්ට ප්‍රතිකර්මද ඔබ විසින් ඉදිරිපත් කළ යුතුය. මහ බැංකුවෙන් මාස තුනක් යාමටත් පෙර කෝටි 5200 හොරකම් කළ තැනැත්තෙකු සමග යහපාලනය ඉදිරියට කරගෙන යන්නේ කෙලෙසකද යන පැනයට ඔබ පිළිතුරු දිය යුතුය. පොලිස්පතිවරයාගේ බලතල තමන් වෙත පවරාගනිමින් ඍජුව පොලීසිය මෙහෙයවන රට පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ යටතේ යහ පාලනයක් ඇති කළ හැකි අයුරු ඔබ ජනතාවට හෙළිකළ යුතුය. උතුරේ නැගීගෙන එන බෙදුම්වාදී අනතුර තවදුරටත් යටගැසිය නොහැකිය. ඔබ තුමාට වාර්ථා නොවුනද පසුගිය ජන ඒකරාශිවීම් වලදී උතුරේ කොටි කොඩිය එසවූ බව ජනතාවට රහසක් නොවේ. යහ පාලනය රැකගනිමින් එම බෙදුම්වාදී අනතුර පරාජය කර මහින්ද භාරදුන් රට ඉදිරියට ආරක්ෂා කරන අයුරු ඔබ ජනතාවට පෙන්වා දිය යුතුය. ජනවාරි 9දා මහින්ද භාරදුන් ස්ථාවර ආර්ථිකය අදවනවිට සිදුවී ඇති පරිහානියෙන් ගොඩගන්නේ කෙසේද යන්න ඔබ ජනතාවට පැහැදිලි කළ යුතුය.

ජනවාරි 8 දා රට භාරගත් නායකයා ලෙසින්, තවමත් ජනතාවගේ සිහින තුල ජීවත්වන නවක නායකයෙකු වශයෙන් ඔබ මෙම ප්‍රශ්නවලට නිසි විසඳුම් ඉදිරිපත් කළ යුතුය. එසේ නැතහොත් මෙම අභියෝගයෙන් රට මුදවාගත හැකි අගමැතිවරයෙකු යටතේ පිහිටවන රජයක් සමග ජනතාවගේ යහපාලන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට සිත සකසාගත යුතුය.

ඔබේ ආධාරකරුවන්ට සංග්‍රහ කිරීමට ප්‍රථම ඔබවෙත විශ්වාසය තැබූ සුවහසක් ජනයාගේ පැතුම ඉටුකිරීමට සිතට ගත යුතුය.

අද ඔබ විසින් ඉටුකල යුතු එම වගකීම හැරදමා සපත්තු කඩවලට ගොස් දිනාගතහැකි ජනතා ප්‍රසාදය ඉතා තාවකාලිකය. හමන සුළන් මකුළු දැළින් වැළැක්විය නොහැකිය.

-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/02/2015

බයියන්ගේ රාජ්‍ය නොවන සංවිධානය

කතෘ:යුතුකම     6/02/2015   3 comments
පනසලේ දේශපාලනය අද නැවතත් කතා බහට ලක් කර තිබේ....
මහින්ද රාජපක්ෂ මහතා 'පන්සලේ දේශපලනය කිරීම' අනුර කුමාර දිසානායකගේ සිට මංගල සමරවීර රංජන් රාමනායක හරහා චම්පික රණවක දක්වා බොහෝ දෙනා කලබලයට තිගැස්මට ලක් කරන කාරණයක් වී තිබේ...මේ මීට පෙර යුතුකමේ පළවූ ලිපියකි. කාලීන බව සලකා නැවත පළකරන්නෙමු.


***************************************************************

බයියන්ගේ රාජ්‍ය නොවන සංවිධානය

අද බයියන්ගෙන් රාජ්‍ය බලය ගිලිහී ගොස් ඇත. විදග්ධ ආකාරයට කිවහොත් සිංහල බෞද්ධ කතිකාවතට රාජ්‍යයට බලපෑම් කිරීමේ හැකියාව අඩාල වී ඇත. රාජ්‍ය, සෘජු විදේශ රාජ්‍යවල න්‍යාය පත්‍රවලට සමපාත වන ආකාරයට තමන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කරගෙන ඇත/කර ගනිමින් පවතී. නූතන හෝ වේවා පූර්ව නූතන හෝ වේවා පශ්චාත් නූතන හෝ වේවා මේ අධිරාජ්‍යවාදයට බයියන් අකමැතියි පමණක් නොව ඊට එරෙහි මාරාන්තික සටනකට උනත් ඔවුන් සූදානම්ය. කාලිංග මාඝගෙ (සහ ඊට පෙර) සිට 1818,1956 හරහා 2005 වෙනකනුත් මින් ඉදිරියටත් එය එසේ පවතිනු ඇත. අද නැවතත් බයියන්ගේ නිදහස් අරගලය රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කල යුතුව ඇත. බයියන් මුහුණට මුහුණ සිදුවන සටන් වලදී දිනීමට දක්ෂ පිරිසක් වුවත් නූතන සංකල්ප වන අධිකරණයෙ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුද්ගල නිදහස ආදී මෙකී නොකී දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ උප්පරවැට්ටි සටන් වලදී දුර්වලය. හොඳම උදාහරණය 1815 සහ යම් දුරකට 2015 ය. වසර 300 ගානක් තිස්සෙ මුහුණට මුහුණ සිදු කල යුද්ධ වලින් සිංහලයන් බේරා ගත් තම රට ඔවුන්ගෙන් උදුරා ගැනීමට, යුද්ධයෙන් නොහැකි කල, සට කපට ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා ගිවිසුම් ක්‍රියා මාර්ග මගින් කර ගැනීමට ඉංග්‍රිසීන් දක්ෂ විය.

බයියන්ගේ නැගිටීම වැලැක්වීමට ඉංග්‍රිසීන් ඉන්පසු ගැසූ ගැටය ( මේ ගැටී නිර්මාතෘ ලන්දේසීන් ) තාමත් ලිහා ගත නොහැකිව/ ලිහා ගන්නට නොදී පවතී. ඒ බයියන් වාර්ගිකව බෙදා පාලනය කිරීමය. සුළුතර දෙමළ බයියන් බහුතර සිංහල බයියන්ට එරෙහිව උසි ගැන්වීමය. ඒ සඳහා කළු සුද්දන් ප්‍රමාණයක් සහ ප්‍රභූ දෙමළ පැළැන්තියක් සුද්දන්ම නිර්මාණය කලේය. ඒ ප්‍රභූන් විසින් දෙමළ බයියන් ලංකාවේ ප්‍රධාන දේශපාලනයෙන් වෙන් කර තබා ගන්නා ලද අතර එය ඊනියා සිංහල ස්වෝත්තමවාදයක්, දෙමළාගේ අයිතිය ඇහිරීමක් ලෙස හුවා දක්වන ලදි/ අදද කරමින් සිටී. මේ කළු සුද්දන් නිර්මාණය කරන මැෂිම ලෙස බටහිර ආකෘතික අධ්‍යාපනය පිහිටුවා ඊට වැඳුම් පිදුම් කරන මානසිකත්වය රටේ සාදන ලදි. අදටත් මේ පාසල්, විශ්ව විද්‍යාල වැනි අධ්‍යාපනික ආයතන හරහා බිහි වෙන බමුණු කුලය පිම්බී බයියන්ට පිඹින්නෙ සුද්දා එදා ගහපු මේ දක්වා පවත්වාගෙන යන හුළං වලින්මය. මේවා දුටුවිට සිහි වෙන්නේ සූර පප්පා කාටුනයේ වැඩ 7 එන මැජික් කාරයගේ කුටියය. යන එකා අනිත් පැත්තට එන්නෙ "පිස්සු" හැදී "මම දැන් ටොයියෙක්" " මම දැන් ටොයියෙක්" කියාගෙනය. යූසුෆ් යොහානා මුස්ලිම් වූ පසු උපතින් මුස්ලිම් වූවන්ටද වඩා මුස්ලිම් වීමට තැත් කලේ යම් සේද, මෙසේ ටොයියන් ලෙස බෞතීස්ම වන බයියන් උපතින් ටොයියන් වූවන්ටද වඩා ටොයි වීමට දඟලයි. කලාතුරකින් එකෙක් පමණක් මැජික් කාරයාට අභියෝග කරනු ඇත. ඔවුන්ද බමුණු කුලය තුල පිළිකුලෙන් ප්‍රතික්ෂේප වනු ඇත.


මෙයට අපි බමුණු කුල ආධිපත්‍ය යැයි කියමු. මේ බමුණු කුල ආධිපත්‍යට එරෙහිව බයියන් උපහාස අපහාස මැද නොනවතින අරගලයක් කරමින් සිටී. බයියන් රාජ්‍ය බලය අත්පත් කර ගත්විට එය ඔවුන්ගෙන් උදුරා ගන්නත්, බයියන්ට රාජ්‍ය බලය නැති විට දිගටම ඔවුන්ට ආණ්ඩු බලය නොදී තබා ගන්නත් මේ බමුණු කුලය දිවා රෑ වෙහෙසි වැඩ කරයි. සමහර අය නොදැනුවත්ව, සමහර අය දැනුවත්ව. රාජ්‍ය නොවන සංවිධාන ලෙස ඒ සඳහා තවත් ආයතන පද්ධතියක් සුද්දන් විසින්ම අපි වැනි රටවල පිහිටුවා ඇත. මේව ස්ත්‍රි අයිතිවාසිකම්, පරිසර සංවිධාන, ලිංගික අයිතීන් සුරැකීමේ සංවිධාන ... ආදී මෙකී නොකී අටෝරාසියක් නම් වලින් පෙනී සිටී. මේ සංකල්ප සෑහෙන ශක්තිමත් සංකල්පය. උදාහරණයකට මානව හිමිකම් යන සංකල්පයට විරුද්ධ විය හැක්කේ නරුමයෙකුට පමණය. නමුත් මෙතන ඇති වංචාව නම් මානව හිමිකම් යනු මස් ලොරියෙ ගැසූ "බුදු සරණයි" බෝඩ් ලෑල්ල පමණක් වීමයි. සමාජයේ අට අනූවක් දෝෂ තුරන් කොට ගෝත්‍රික බයි සමාජ ශිෂ්ඨ කිරීම, සිවිලයිස් කිරීම මේවායේ පරම පවිත්‍ර චේතනා ලෙස පෙන්වුවද, යටින් දුවන ප්‍රධාන අරමුණ බයියන්ගෙන් රාජ්‍ය බලය දුරස් කර තැබීමයි. මේවායේ ක්‍රියාකාරීත්වය උපරිම කාර්යක්ශමතාවයට එන්නෙ බයියන්ට රාජ්‍ය බලය ඇති කොටය.. කක්කුස්සිවත්තෙ බට්ටිට එල්ල වෙන පොලිස් ප්‍රහාරය ආණ්ඩුවේ ප්‍රහාරයක් ලෙස හුවා දක්වා බට්ටිගෙ "වෘත්තිය අයිතිවාසිකම්" වෙනුවෙන් පෙනී සිටීමට මේ බට්ටො ටික රත්නපුරේ පෝලිම් ගැසුනු සැටි විප්ලවවාදීව සිහි කර ගන්න. මෙවන් හුදකලා සිද්ධි වල සිට, 6% වර්ජන දක්වා ඇත්තේ බයියන්ගෙන් රාජ්‍ය බලය උදුරා ගැනීම යන ඇහෙන්න නොකියන සිංදුවමය, නැත්නම් බයිලාවය. බයියන්ගෙන් රාජ්‍ය බලය ගිලිහුණු අවස්ථාවල මේ සංවිධාන ඉන්ටර්වල් එකක් ගන්නා අතර වෙනත් සුරතල් පරමාදර්ශී සටන් පාඨ වලට හෙමීට මාරු වෙයි. හරිත විප්ලව, ස්ත්‍රි අයිතිවාසිකම්, මානව හිමිකම් වැනි දාර්ශනික සංවාද මාතෘකා හමස් පෙට්ටියෙන් දූවිලි පිස එලියට ගන්නේ මේ කාලවලදී තළු මැරීමටය.
දැන් බයියන්ට ඔයිට සමාන රාජ්‍ය නොවන සංවිධානයක් තිබේද? තිබේ නන් ඒ මොකක්ද? මගෙ පිළිතුර නම් තිබේය , ඒ පන්සල් පද්ධතියය. බයියන්ගෙ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පන්සලේ හාමුදුරුවරුන්ය. මෙය අදට විතරක් නොව බයියන්ට රාජ්‍ය බලය අහිමි උනු ඕනෑම කාලයකට වලංගුය. පන්සල යනු ලංකාවෙ ආගමික ආයතනයක් පමණක් නොව ප්‍රබල දේශපාලන ආයතනයකි, බයියන්ගෙ වාසනාවට. එයත් නොමැති නම් අන්තිම බයියාද ලංකාවෙන් වඳ වී බයියන්ට අබෝජින්වරුන්ට අත් වූ සොඳුරු ඉරණමම බටහිර මානව හිතවාදීන් අතින් අත් වී දැනට බොහෝ කල්ය. උදාහරණයකට මහින්ද මහතා වටා දැන් බයියන් සිදු කරන අරගලයට පහසුකම් සපයන ආයතනය කුමක්ද? පන්සල නෙමෙයිද? මහින්ද මහත්තය බෝධි පූජා, පිංකම් හරහා කරන දේශපාලනයට පහසුකම් සපයන්නෙ පන්සල සහ හාමුදුරුවරු නෙමෙයිද? ඒ පීඩිත අරගලයට අර කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වන අධිකරණය, පාසල්, විශ්ව විද්‍යාල, පාර්ලිමේන්තුව ... වැනි ආයතන වලින් සත පහක උදව්වක් ලැබේද? එසේ නොලැබෙන්නෙ බයියන්ගෙ අරගලයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුකමක් නිසාද? නෑ, ඒ ආයතන පිහිටුවා ඇත්තේම බයියන්ගෙ අරගල මැඩ පවත්වන්නට හෝ තනුක කිරීමටය. මගේ අදහස නම් බයියන් රාජ්‍ය බලය අල්ලන අවස්ථාවල මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ආයතනද ඇල්ලිය යුතුය, ඒ සඳහා ඉතාම සූක්ෂමව කටයුතු කල යුතුය. මොහොතකට අද පන්සල් ජාලය බයියන්ට නැති උනු තත්වයක් උපකල්පනය කරමු. බයියන්ට තමන්ගෙ අරගලය කරන්න ආයතන ව්‍යුහයක් ඇත්ද? ලංකාවේ බයි අරගලයේ රහස මේ පන්සල් ජාලය සහ හාමුදුරු දේශපාලනයය.මේ සමස්ථ කාරණාව දේශීය විදේශීය අධිරාජ්‍යවාදීන් මෙන්ම ඔවුන්ගෙ ගැත්තොත් වටහා ගෙන ඇති බව මගේ හැඟීමයි. අන්තවාදී හකීම්, සුදු එම්බසිවල මහත්තුරු නෝනලා ඇපල් ගෝනියක් ගෙන මල්වතු අස්ගිරි පන්සල් වඳින්න යන්නෙ ආදරේට යැයි මට නොසිතේ. මේ බයියන්ගෙ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය හරහා බෞතීස්ම ලැබීමට හෝ අවම වශයෙන් ඒ අවශ්‍යතාවය පෙන්වීමටය. කෙසේ හෝ, බයියො තම රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ ඒ ක්‍රියා කරුවන් සියළු කල්හි හැකි සැම වෙර යොදා ආරක්ෂා කර ගත යුතුයි යන්න අවධාරණය කිරීම ලිපියේ මුඛ්‍ය අරමුණය. රාජ්‍ය බලය නැති කාලයේදී රාජ්‍ය බලය ලබා ගැනීමටත්, රාජ්‍ය බලය ඇති කාලයේදී රාජ්‍යය පවත්වා ගැනීමටත් මේ බයියන්ගේ රාජ්ය නොවන සංවිධානය මීට වඩා කාර්යක්ෂමව බයියන් යොදා ගත යුතු යැයි සිතමි. විශේෂයෙන් රාජ්‍ය බලය ඇති අවස්ථාවල මේ ව්‍යුහය පාවිච්චි වෙන්නෙම නැති තරම්ය. එසේ පන්සල් රාජ්‍ය බලයට බලපෑම් කිරීමට යොදා ගැනීම ඩිප්ලොමැටික්ද කියා අසන ටොයියන්ගෙන් පෙරළා ඇසීමට ඇති සරල ප්‍රශ්නය යහපාලනය අගවිනිසුරු පත් කරපු ආකාරය ඩිපොලොමැටික්ද යන්න පමණි. ඒ විදියටම මහින්ද මහතා අගවිනිසුරු පත් කලේ නම් මේ තියෙන ජාතික/ජාත්‍යන්තර නිහැඬියාවම අපිට දකින්න පුළුවන් වෙයිද කියා පමණි. ඩිප්ලොමසි වල නිරුවත එලෙසය. මීට අමතරව බයියන්ගේ රාජ්‍ය නොවන සංවිධානය තුලට රිංගා සිටින මාදුලුවාවේ සෝභිත හිමි, දඹර අමිල හිමි වැනි බමුණු අවතාර ගැනද පරිස්සම් විය යුතුය. ඒ අවතාර විවේචනය හරහා බයියන්ගේ එකම පිහිට වන පන්සල් පද්ධතියට හානි කර නොගත යුතුයි. පන්සල් පද්ධතියෙ ඇති දුර්වලතා විසඳගමු. නමුත් ඒව විසඳීමට ගොස් බයියන්ට ඇති එකම සරණත් නැති කර නොගැනීමට වග බලා ගමු.


- චරිත කාරියවසම්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

කතෘ:යුතුකම     6/02/2015   No comments
මෛත්‍රිපාල වැඩ කරන්නේ ගනුදෙනුව අනුව ය. එය සියවසේ ප්‍රධානම ගනුදෙනුව වෙයි. එ ගනුදෙනුව අනුව මෛත්‍රිපාල රනිල්ට අවශ්‍යතාක් මේ පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයිය යුතු ය. අවශ්‍ය පරිදි ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට ගර්ජන තර්ජන කළ යුතු ය. ඔවුන්ට දේශපාලන අල්ලස් දිය යුතු ය. විශ්වාසභංග යෝජනා තම විපක්‍ෂ නායකයා ලවා කඩාකප්පල් කළ යුතු ය.
දෙවනුව ගනුදෙනුවට අනුව ඊනියා සංහිඳියාවක් ඇති කළ යුතු ය. ජාතික කොඩිය වෙනස් කිරීමට කැබිනට්ටුව කමිටුවක් පත්කර ඇත්තේ ඊනියා සංහිඳියාවේ නමිනි. ඇතැම් විට සංහිඳියාවේ නාමයෙන් සිංහයා නැතිවීමට ඉඩ ඇත. ඊනියා යුද්ධයේ සිදු වී යැයි කියන යුද්ධාපරාධ ගැන පරීක්‍ෂණය කිරීම සඳහා අභ්‍යන්තර කමිටුවක් පත්කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේනට මේ එකක්වත් නොකර සිටිය හැකි ද?

ඔහු ඒ සියල්ල කිරීමට බැඳී ඇත. එසේ නොකළහොත් මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඔහුම කියා ඇති ඔහුගේ බෙල්ල මිරිකනු ඇත. ඒ රනිල් විසින් කෙරේ යැයි අපි විශ්වාස නො කරමු. එහෙත් යම් අයුරකින් මෛත්‍රිපාලට ජනාධිපති තනතුරේ වැඩ කටයුතු කරගෙන යෑමට බැරි වුවහොත් රනිල් ජනාධිපති වනු ඇත.
ඊනියා යුද්ධයේ අවසාන දින දෙකේ දී එංගලන්ත හා ප්‍රංශ විදේශ ඇමතිවරු මහින්ද රාජපක්‍ෂ හමුවීමට ඇඹිලිපිටියට ගොස් හමුදා මෙයෙහුම් වහාම නතර කිරීමට කීවෝ ය. එහෙත් මහින්ද ඔවුන් ආපසු තම මව්රටවලට ආපසු යැවුවේ ඔවුන්ගේ ඉල්ලීමට අවනත නොවී හොඳ පාඩමක් ඉගැන්වීමෙනි. ඔවුන් ආපසු ගියේ ඉන් එහාට සිදුවන සියල්ල ගැන මහින්ද වගකිවයුතු බවට තර්ජනයක් ද කරමිනි.

මහින්ද තර්ජනය සතපහකට ගණන් නොගත්තේ ය. ඊනියා යුද්ධය ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි අද බටහිරයෝ කියති. රනිල් දිගට ම බලයේ සිටියහොත් ඊනිය පරීක්‍ෂණය සිදුකර, වරදකරුවන් කර මහින්දට, ගෝඨභායට හා ඇතැම් රණවිරුවන්ට ජාත්‍යන්තර යැයි කියාගන්නා නඩු විභාගයක දී දඬුවම් නියම කෙරෙනු ඇත. මහින්දගෙන් පළිගැනීමට, ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට, වඩාත් ම අවභ්‍ය බටහිරයන්ට ය. මෛත්‍රිපාල එහි දී ඒජන්තයකුගේ භූමිකාව මනාව රඟපායි. එහෙත් ඒ රඟපෑම සිංහල බෞද්ධයනට අහිතකර ය.

බටහිරයන්ට යන දිල්ලියක යැමට යැයි කීමට මහින්දට හැකිවූවාට මෛත්‍රිපාලට නො හැකි වනු ඇත. ඔහුට ගනුදෙනුවක් ඇත. ඒ ගනුදෙනුවට අපේ ස්වෙරෙීභාවය යට කළ යුතු නො වේ. ඊනියා යුද්ධය ගැන පරික්‍ෂණ පැවැත්වීමට ලංකාව බැඳී නැත. කොටින් සමග අපි යුද්ධයක් නො කෙළෙමු. අප කෙළේ හමුදාව මගින් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම ය.

එය යුද්ධයක් වන්නේ නම් 1971 දී හා 1987 –- 91 කාලයෙහි දී හමුදාව ජ වි පෙට විරුද්ධව යොදා ගැනීමත් යුද්ධ විය යුතු ය. එවැනි යුද්ධයක් ගැන අප අසාවත් ඇත් ද? අප කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම ගැන ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් කරන්නේ නම් ජ වි පෙ පරාජය කිරීම සම්බන්ධයෙන් ද එවකට තිබූ නීති උපයෝගී කරගනිමින් හෝ නැතිව හෝ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණ පැවැත්විය යුතු ය.
බටහිරයන්ට පරීක්‍ෂණයක් කළ යුතු ම නම්, ඒ වෙනුවෙන් තිස්වසරක ත්‍රස්තවාදය යොදාගත යුත නම්, පුළුවන් නම් එසේ කරන මෙන් මෛත්‍රිපාලට හා රනිල්ට අභියෝග කරමු. අද කළ යුත්තේ අහිංසක දෙමළ ජනයා මිනිස් පළිහක් මෙන් යොදා ගනිමින් මානව අයිතිවාසිකම් කැඩූ කොටින්ට හා ඔවුන්ට අනුබල දුන් සියල්ලන්ට එරෙහි ව පරීක්‍ෂණයක් පැවැත්වීම ය.
 
නලින් ද සිල්වා
කාලය
2015 මැයි 30

6/01/2015

සියල්ල අත්හරින්න එවිට සියල්ල ලැබෙනු ඇත...

කතෘ:යුතුකම     6/01/2015   No comments
ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌.

ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. සාරසංඛ්‍ය කල්ප ලක්‌ෂ ගණනක්‌ පෙරුම් පුරා පැමිණියද සිද්ධාර්ථ කුමරාට වයස අවුරුදු 29 වන තෙක්‌ එතුමා ඉලක්‌ක කරගෙන පැමිණි පාරමී ගමනේ අරමුණ ගැන දැනීමක්‌ හැඟීමක්‌ නොදැනින. කුමරාට මෙම සංසාරික ඉව මතුවී එන්නේ සතර පෙරනිමිති දැකීමත් සමඟය. එතෙක්‌ කුමරා ගතකළේ සිය පියා විසින් නිර්මාණය කරන ලද, සැලසුම් කරන ලද දුක නැති සමාජ පරිසරය තුළ කෙළිලොල් ජීවිතයක්‌ය. ධර්මය සොයාගෙන ගිහි ජීවිතයෙන් නික්‌මුණ කුමරා මුලින්ම කළේ සියල්ලම අතහැරීමය. යශෝධරාව, රාහුල කුමරු, රාජ සම්පත් සියල්ලම අතහැරියේය. ප්‍රථම අදියර එය විය. සියල්ල අතහැරලා කැලයටයි ගියේ. පරිසරයට, ස්‌වභාවධර්මයට ගිහින් මොකද කළේ?

කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ.

මෙවැනි පරිසරයක කුමරා ගිය මඟ කුමක්‌ද? ඔබ නිවීසැනසිල්ලේ සිතන්න. සිතමින් අවබෝධය ලබන්න. කුමරා කැලයට ගොස්‌ බලාගෙන සිටියා පරිසරය, ස්‌වභාවධර්මය දෙස. ඇතිවෙන නැතිවෙන සිතිවිලි දෙස. වෙන බලන්න දකින්න දෙයක්‌ කැලයේ තිබුණේ නැහැ. කුමරා දැක්‌කා උදයට හිරු පායනවා. සවසට හිරු බැස යනවා. රාත්‍රියට සඳ පායනවා. උදේට සඳ බැසයනවා. වැස්‌ස වහිනවා. පායනවා. පින්න, සීතල, සුළඟ, වලාකුළු, දේදුණු එනවා යනවා. නියඟය එනවා, ගංවතුර එනවා. එකම දේ නැවත නැවත සිදුවෙනවා. ගස්‌වල දලුලනවා, කොළ බවට පත්වෙනවා, වියෑළෙනවා, වැටෙනවා, නැවත නැවත ඒ දේම සිද්ධවෙනවා. මල් එනවා, ගෙඩි හැදෙනවා, ඒවා ඉදෙනවා, බිමට වැටෙනවා, පැළවෙනවා, පැළය ගසක්‌ වෙනවා, එකම දෙය නැවත නැවතත් වෙනවා. හිස රැවුල කපනවා. එය නැවත නැවත සිද්ධ වෙනවා. කුසගිනි දැනෙනවා. ආහාර ගන්නවා. එය නැවත නැවත සිදුවෙනවා. ශරීරයේ හැම ස්‌වභාවයක්‌ම, පරිසරයේ හැම ස්‌වභාවයක්‌ම නිත්‍ය ස්‌භාවයේ නොපැවතී අනිත්‍යභාවයට පත්වෙනවා. බෝසත් කුමරුන් කැලයේ සිටිමින් දකින්න ඇත්තේ ඔය ස්‌වභාවයයි. වෙන දකින්න දෙයක්‌ කැලයේ නැහැ. එහෙම නම් ඉහත පරාසය තුළ ධර්මයේ අර්ථය තිබෙන්න ඕනේ. සියල්ල අතහැරීම තුළ බෝසත් කුමරුන්ගේ සැහැල්ලු, නිකෙලෙස්‌ සිත නිරතුරුවම සමාධිමත්ව තිබීම නිසා ඉහත ස්‌වභාවයන් ඉතා හොඳින් බෝසත් කුමරුන්ට පෙනෙන්නට, දැනෙන්නට ඇත. බෝසත් කුමරුන් සම්මා සම්බුද්ධ පදවිය අවබෝධ කරගන්නා මොහොත දක්‌වාම උන්වහන්සේ අවබෝධය ලැබුවේ ස්‌වභාවධර්මය, පරිසරය තුළින්මය.

ස්‌වභාවධර්මයත්, තමාගේ කයත්, සිතත් දෙස අත්හැරීමෙන් සමාධිමත් වූ සිතින් බැලීමේදී, අනිත්‍ය හැර වෙනත් ස්‌වභාවයක්‌ මෙහි නොමැති බව උන්වහන්සේ දකින්නට ඇත. ඔය මඟ තමයි අපගේ ශාස්‌තෲන් වහන්සේ නිවීම සඳහා ගිය මඟ. අබුද්ධෝත්පාද කාලවලදී පහළවන පසේ බුදුරජාණන් වහන්සේලාද ධර්මය අවබෝධ කරගන්නේ ඉහත බුදුමඟ අනුගමනය කරමින්ය. ඔබේ අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන සැප, කෙටි, දුර, කල්මරණ මාර්ග සිතේ අනිත්‍ය බව දකිමින් අතහරින්න. සැබෑ බුදුමඟ ඔබ ගමන් කරන්න. කිරි ගසකට ඇනීමේදී යම්සේ කිරි වෑහේද, ඉහත බුදුමඟ ඔබ ගතහොත් නිවීම ඒකාන්තය. මන්ද එය බෝසතුන් වැඩි මඟ නිසාය. ධර්ම විනය දෙක යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේද ඉහත මාර්ගයමය. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. විනය යනු සතියයි, සිහියයි. එහි අර්ථය සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න යන්නයි. ශාසනය තුළ මුල් දශක දෙක තුළදී, විනය පැනවීමකින් තොරව සංඝරත්නය හික්‌මුණේ උන්වහන්සේලා සතියෙන් යුක්‌තව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසාය. එහි ප්‍රතිඵලය ධර්මාවබෝධයයි. පසු කාලීනව සංඝරත්නය සතියෙන් තොරව ස්‌වභාවධර්මය දෙස බැලීම නිසා සතිය සිහිය ඇති කිරීමට විනය පැනවීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය.

ඔබ දක්‌ෂවෙන්න සතියෙන් සිහියෙන් යුතුව ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ඔබ දකින්නේ ධර්මයේ ස්‌වභාවයයි. ධර්මයේ ස්‌වභාවය, වෙන දෙයක්‌ නොවේ. අනිත්‍ය පමණමයි. ස්‌වභාව ධර්මයත්, ඔබත් දෙකක්‌ නොව එකකි. දෙකම නිර්මාණය වී ඇත්තේ ඝණ, ද්‍රව, උණුසුම්, වායු ධාතූන්ගෙන්ය. මේවායේ ස්‌වභාවය අනිත්‍යයි. ස්‌වභාවධර්මයත් ඔබේ කයත් දෙකම ඉහත ධාතුන්ගෙන් සැදි නිර්මාණයන්ය. ඇසට නොපෙනෙන, ප්‍රඥාවෙන් පමණක්‌ දැකිය හැකි ප්‍රවේගකාරීව අනිත්‍යභාවයට පත්වන ඉහත ධාතූන්, අනිත්‍යතාවයට පත්වන වාරයක්‌ පාසාම අවකාශ ධාතුවක්‌ද ඇතිකරවයි. එම අවකාශ ධාතුවද ධාතූන් ඇතිවන නැතිවන මොහොතක්‌ පාසාම අනිත්‍යභාවයට පත්වේ. මේ සියල්ලම ශීල, සමාධි, මඟ ඉක්‌මවාගොස්‌ ප්‍රඥාවෙන් දකින ධර්මයෝය. ස්‌වභාවධර්මය ලෙසත්, කය ලෙසත් අපි දකින්නේ විවිධත්වයෙන් යුතු හැඩයන්, වර්ණයන්, ස්‌වභාවයන් ලෙසින් එකිනෙකට වෙනස්‌ ධාතු කොටස්‌ හතර පමණකි.

ඇසේ අවිද්‍යාව නිසා එකිනෙක සම්මුති නාමයකින් හඳුන්වාගනී. එහෙයින් ඔබ ස්‌වභාවධර්මයත් කයත් එකගොඩකට දමන්න. මේවා ක්‍රියාත්මකභාවයට පත්වන සිත දෙස බලන්න. සිත තුළද ඔබ දකින්නේ අනිත්‍ය ස්‌වභාවය පමණක්‌මය.

බාහිර රූපත්, අභ්‍යන්තර ආයතනත්, විඤ්ඤාණයත් පස්‌සය වීමෙන් සකස්‌වෙන ආගන්තුක සිත අයිති අනිත්‍යයටය. එහෙයින් මේ සියලු ධර්මයෝ අනිත්‍ය ධර්මයෝය.

ඔබ කළයුත්තේ මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් යුක්‌තව බලා සිටීමම පමණකි. එවිට ඔබ තුළ නිරායාසයෙන්ම වැඩෙන්නේ සතර සති පට්‌ඨානයයි. සතර සතිපට්‌ඨානය නිවන් මඟේ නිවීමේ තීරක බලවේගයයි. කාය, චිත්ත, ධම්ම, වේදනා යනු ලෝකයයි. සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් දැකීම යනු ධර්මාවබෝධයයි. ලෝකාවබෝධයයි.

ඔබ සියල්ල අතහරින්න. අනිත්‍ය වූ රූපය දෙස අනිත්‍ය සිතෙන් බලාසිටින්න. එවිට ඔබට සියල්ල ලැබේවි. ඒ සියල්ල ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය.

ක්‌ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක්‌ ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා.

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ ලිපි මාලාව තුළින් සුවහසක්‌ දනන් මෝහාන්ධකාරයෙන් මුදාලු රාජගිරියේ අරියඥාන හිමියන්ගේ ලිපියකි.

මිහිඳු සංස්‌කෘතියේ නටබුන් අතරේ අපි අද අතරමං වූ ජාතියක්‌

කතෘ:යුතුකම     6/01/2015   No comments
-කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

මහින්දාගමනයෙන් පසු අපේ රටේ ඇති වූ ජාතික හා ආගමික ප්‍රබෝධය ඔබවහන්සේ දකින්නෙ කොහොමද?

හුඟදෙනෙක්‌ හිතාගෙන ඉන්නෙ ඉතිහාසය පරණයි කියලනෙ. ඒක වැරදියි. ඉතිහාසය කියන්නෙ නිතරම අලුත් වෙන දෙයක්‌. තාක්‌ෂණය, නිෂ්පාදන, නිර්මාණ වගේම ඉතිහාසයත් අලුත් වෙනව. සොයාගැනීම් වැඩිවෙන තරමට නිගමන වරදිනව. ඇතැම් ශිලා ලේඛන හරහා ලැබෙන සාක්‌ෂි අප විශ්මයට පත්කරවන සුළුයි. මිහිඳු යුගයට පෙර යුගය පිළිබඳ අප සිතා සිටියේ කපු කටිමින් සිටි කුවේණියකගේ නොදියුණු යුගයක්‌ ලෙසයි. නමුත් ඊට එහා ගිය දැවැන්ත යුගයක්‌ මිහිඳු යුගයට පෙර තිබූ බවට සාක්‌ෂි දැන් හමුවී අවසන්.
මිහිඳු මාහිමිපාණන් ගේ ලංකා ගමන මේ රටේ විශාල වෙනසක්‌ සිදු කළ බව ඇත්ත. එය වෙනසක්‌ මිස මේ රට උඩුයටිකුරු කිරීමක්‌ නොවෙයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන ගැන විවිධ අය විවිධ දේ කියනව. උන්වහන්සේ දෙවනපෑතිස්‌ රජු ආක්‍රමණය කිරීමට පැමිණි ආගමික දූතයකු ලෙසත් සමහරු හඳුන්වනව. එබඳු අන්තගාමී නොවී මිහිඳු මහරහතන් වහන්සේ මෙන්ම සංඝමිත්තා තෙරණින් වහන්සේත් අපේ රටට පැමිණීමෙන් මේ රට තුළ සංස්‌කෘතික වෙනසක්‌ සිදුවූ බව අප පිළිගත යුතු කාරණයක්‌. උන්වහන්සේගේ පැමිණීමෙන් මේ රට තුළ ඊට පෙර තිබූ සංස්‌කෘතියට වඩා වෙනස්‌ සංස්‌කෘතියක්‌ ස්‌ථාපිත වූ බව පැහැදිලියි.

මහින්දාගමනයෙන් අපේ රටේ සිදුවූ ඒ සංස්‌කෘතික වෙනස හරහා ඇති වූ ජාතික හා ආගමික පුනරුදය අද වල්බිහිවී විවිධ සැහැසිකම් පිරුණු, අදහම රජයන දිවයිනක්‌ බවට අපේ රට පත්වී ඇති බවයි වැඩිදෙනෙක්‌ දරන මතය?

මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ බිහිකළේ අලූත් සංස්‌කෘතියක්‌. මිහිඳු මහරහතන්වහන්සේට පෙර තිබුණු රට උන්වහන්සේ සංස්‌කෘතික රටක්‌ බවට පත්කළා. එය කිසිසේත්ම දේශපාලනික රටක්‌ නෙමෙයි. යම්කිසි ජීවන රටාවක්‌, කෘෂි රටාවක්‌, ආර්ථික රටාවක්‌ හරහා උන්වහන්සේ බිහිකළ ඒ සංස්‌කෘතික රට දේශපාලනය හරහා ආර්ථිකය විසින් මෙහෙයවනු ලබන සීමිත සම්පත් ප්‍රමාණයක්‌ අසීමිත ඩැහැගන්නන් ප්‍රමාණයක්‌ ඉදිරියේ ගැටෙනු ලබන තැනකට මේ රට පත්වූ පසු එය විවිධ සමාජ විචල්‍යයන්ට මුහුණ දුන්න. එහි ප්‍රතිඵලයන් හැටියටයි මේ පරිහානිය කියන කාරණය පැහැදිලි කරගන්න වෙන්නෙ.

දැනට ලෝකයේ සෑම තැනකම සිදුවෙනව මෙන්ම සිදුකරන්නට උත්සාහ කරනව වගේ අපේ රටෙත් ආර්ථිකය විසින් මෙහෙයවනු ලබන්නා වූ කිසියම් ආකාරයක සාක්‌ෂි සාධක මත මානව සම්පත් තමන්ට ඕනෑ විදියට ඩැහැගැනීමේ පාරිභෝගික ආර්ථික රටාවක්‌ මානවයන් විසින්ම නිර්මාණය කරනු ලැබ තිබෙනවා. ඒ පාරිභෝගික ආර්ථික රටාව නිසා ඇතිවුණු අර්බුද රැසක්‌ තිබෙනවා. උදාහරණයක්‌ විදිහට අල්පේච්ඡ ජීවිතය තුළ තෘප්තිමත් වූ මිනිසුන්ගේ අවශ්‍යතා වැඩිකරල නිෂ්පාදන ආර්ථිකයේ බලහත්කාරී ආරෝපණය විසින් මිනිසුන් තුළ අසීමිත ආශාවන් තැන්පත් කරල තිබෙනව. ආර්ථිකය මෙහෙයවන මේ අසීමාන්තික නිෂ්පාදන රටාව විසින් සමාජය පාරිභෝගිකයන් බවට පත්කරගැනීමේ ෙ€දවාචකයටයි අද අපි මේ මුහුණ දී සිටින්නේ. මේ ෙ€දවාචකය මිහිඳු මහ රහතන් වහන්සේ බිහිකළ සංස්‌කෘතික රටාව මුළුමනින්ම උගුල්ලා ඉවත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක්‌.

අපේ රටේ මේ නිර්මාණය වී තිබෙන දුසිරිත් වැඩෙන සමාජය සුසිරිත් වැඩෙන ගුණදම් රැකෙන සමාජයක්‌ ලෙස යළි ඉදිකිරීම අද ජාතික අවශ්‍යතාවක්‌ බවට පත්ව ඇති කාරණයක්‌. එය සිදුකිරීම කෙසේ කළ හැකිද?

එය කළ හැක්‌කේ රට තුළ තෘප්තිමත් ජීවන රටාවක්‌, තෘප්තිමත් ආර්ථික රටාවක්‌, තෘප්තිමත් සංස්‌කෘතික රටාවක්‌ සහිත සමාජයක්‌ ඇතිකිරීමෙන් පමණයි. අද සමාජය මුළුමනින්ම අතෘප්තිකර එකක්‌. අපි ඉගෙනගන්නෙ කුමකටද? රස්‌සාවක්‌ කරන්න. රස්‌සාවක්‌ කරන්නෙ මොකටද? හම්බ කරන්න. අපි කන්නෙ මොකටද? මිහිඳු හාමුදුරුවො හඳුන්වා දුන්නු ආහාර සංස්‌කෘතිය නම් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය ශක්‌තිය ලබාගැනීම ආහාරයේ අරමුණයි. රට දියුණු කිරීම සඳහා ශක්‌තිමත් පුද්ගලයෙක්‌ බිහිකිරීම ආහාර අනුභවයේ දැක්‌මයි. අද වෙනකොට ඒ දැක්‌ම රස පදනම් කරගත්තු එකක්‌ බවට පත්වෙලා. එමනිසා ආහාරයේ අරමුණ යළි සකස්‌ කරගන්න වෙනවා. අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සකස්‌ කරගන්න වෙන්නෙත් එහෙමයි. අධ්‍යාපනයේ අරමුණ මුදල් හම්බකිරීම නම් එහි කිසි ගැටලුවක්‌ නෑ. නමුත් හම්බකරන්නෙ අනෙකා දෙවැනියා කොට තමා පළමුවැනියා වීමට නම්.... යමෙකු හම්බකළ යුත්තේ තමාටත් අනෙකාටත් ප්‍රයෝජනවත් වන පරිදියි. අප තිදෙනකු ළඟ රුපියල් සියය බැගින් තිබෙනවා යෑයි සිතන්න. අද හම්බකිරීම ලෙස සිදුකරන්නේ කවර උපක්‍රමයකින් හෝ මගේ ළඟ ඇති සියයට අනෙක්‌ දෙදෙනා ළඟ ඇති රුපියල් සියයෙන් හැත්තෑපහ හැත්තෑපහ එකතු කර ගැනීමයි. එවිට මම රුපියල් දෙසිය පනහක සල්ලිකාරයකු වන අතරේ අනෙක්‌ දෙදෙනා රුපියල් විසිපහේ දුප්පතුන් බවට පත්වෙයි.

නමුත් අතීතයේ මුදල් හම්බකිරීම යනු අනෙකා දුප්පත් කොට තමා පොහොසත් වීම නොවෙයි. අතීතයේ මිනිස්‌සු පොහොසත් වෙන්න උත්සාහ කළේ සල්ලිවලින් නෙමෙයි බවභෝගවලින්. හරකුන්ගෙන් පොහොසත් වෙනවා. කිරිවලින් පොහොසත් වෙනවා. ගෙවල් දොරවල්, වතුපිටි, ගහකොළවලින්, දරුමල්ලන්ගෙන් පොහොසත් වෙනවා. මේවායින් පොහොසත් වුණාමත් සල්ලි හම්බවෙනවා තමයි. නමුත් එලෙස මුදල් ලැබෙන්නේ අනෙකා දුප්පත් කරල නෙමෙයි. මුදලින් පොහොසත්වීම දැන් ආර්ථිකයයි. ද්‍රව්‍යවලින් පොහොසත් වීම මිහිඳු හිමියන් දෙසූ ආර්ථිකයයි. තෘප්තිමත් ආර්ථිකය කියන්නෙ මුදලින් පොහොසත්වීම නෙමෙයි, ද්‍රව්‍යවලින් පොහොසත් වීමයි. කවුරු මොන දේශපාලන දර්ශනය ගෙනාවත් මිනිසුන්ගේ ජීවිත තෘප්තිමත් නොවෙනව නම් ඉන් සමාජයට පලක්‌ නෑ.

මම මෙය සමාජවාදය සමග ගලපන්න ඉක්‌මන් වෙන්නේ නෑ. ඒවුණත් එක්‌කෝ ආසාවන් සීමිත කරගත යුතුයි. එහෙමත් නැත්තම් සීමිත ආසාවන් තෘප්තිමත් ආසාවන් බවට පත්කරගන්න ඕන. සමාජවාදී රාජ්‍යයක්‌ උදාහරණ ලෙස ගත්තොත් එහි පවතින්නේ එකම වර්ගයේ ඇඳුම් පමණයි. එය ඇඳුම් පිළිබඳ ඇති ආසාවන් සීමිත කරගැනීමක්‌ මිස එම ආසාවන් තෘප්තිමත් කරගැනීමක්‌ නොවෙයි. කෑමබීම මේ මේ දේවල් පමණයි. නිවාස, යාන වාහන මේ මේවා පමණයි ආදී වශයෙන් සීමාවන් පැනවීමෙන් ආසාවන් තෘප්තිමත් වෙන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ තෘප්තිමත් සමාජයක්‌ පිළිබඳවයි. ලෝකය ඌනයි, අතෘප්තිකරයි. එය තෘෂ්ණාවේ දාසයින් බවට පත්වෙලයි තිබෙන්නෙ. එහෙමනම් තෘප්තිමත් සමාජයක්‌ කොහොමද ගොඩනගා ගන්නෙ?

මිනිස්‌සුන්ට තිබෙන්නෙ මූලික අවශ්‍යතා හතරයි. චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානපච්චය කියල එය පාලියෙන් කියනව. චීවර කියන්නෙ සිවුර නෙමෙයි ඇඳුම් පැළඳුම්. පිණ්‌ඩපාත කියන්නෙ ආහාරපාන. සේනාසන කියන්නෙ ඉඳුම්හිටුම්. ගිලානපච්චය කියන්නෙ බේත් හේත්. ඇඳුම්පැළඳුම්, ආහාරපාන, ඉඳුම්හිටුම්, බේත්හේත්. මේ තමයි මූලික මිනිස්‌ අවශ්‍යතා හතර. මේ අවශ්‍යතා හතරින් මිනිස්‌සු තෘප්තිමත් වුණොත් ඔවුන් සුවසේ ජීවත් වෙනව. මිහිඳු දර්ශනයෙන් හඳුන්වාදුන් ආහාර රටාවෙන් තෘප්තිමත් වූ මිනිසුන් මොනතරම් ජවසම්පන්නද? ඉස්‌සර වැව් හැදුවෙ කැඳ බීපු මිනිස්‌සු. අද කිරි බොන මිනිස්‌සුන්ට ඒ වැව් ටික සුද්ධකරගන්න වත් බෑ. එදා මහා විශාල දාගැබ් හැදුවෙ කැඳ බීපු මිනිස්‌සු. ඒ දාගැබ් හුණු පිරියම් කරගන්න වත් අද කිරි බොන මිනිස්‌සුන්ට බෑ. කැඳවලට පාලියෙන් කියන්නෙ යාගු කියල. සිංහලෙන් කියන්නෙ හුළුකැන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි සමයේ තිබුණෙ කැඳ ඔරු. ඒ මහා සංස්‌කෘතියේ තිබුණ හරිත වනාන්තරය ආහාර කොට ගත් සංස්‌කෘතිය තුළ ශක්‌තිමත් මිනිසුන්, තෘප්තිමත් මිනිසුන් බිහිවුණා. නමුත් අද මිනිසුන්ගේ ඒ තෘප්තිමත් ජීවිතය පරිභෝජනවාදී ධනේශ්වර ආර්ථිකයක්‌ විසින් මුළුමනින්ම විනාශකර දමා තිබෙනවා. එලෙස විනාශ කළ මිහිඳු සංස්‌කෘතියේ නටබුන් අතර සිරවුණු අපි අද අතරමං වූ ජාතියක්‌. 

- දිවයින

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions