7/25/2013

ප්‍රභාකරන් හා විග්නේශ්වරන්

කතෘ:යුතුකම     7/25/2013   6 comments


ඊළාම් සටනේ මීළඟ පරිච්ඡේදය ආරම්භ වීමට නියමිතව ඇත. උතුරු පළාත් සභා මැතිවරණය එහි සමාරම්භක උළෙල සනිටුහන් කරනු ඇත. මේ සටනට ජොනී බට්ටන් , මිනිස් බෝම්බ හෝ බස් බෝම්බ යොදා නොගැනෙනු ඇත. මේ සටන් පරිච්ඡේදය තුළ ලේ නොසැලෙනු ඇත. ඒ වෙනුවට අළුත්කඩේ උසාවිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, රාජ්‍යය නොවන සංවිධාන, විදෙස් බලපෑම් ආදිය මෙවලම් වනු ඇත. ප්‍රභාකරන් වෙනුවට විග්නේශ්වරන් අපට මුණ ගැසෙනු ඇත. මේ පරිච්ඡේදයේ ප්‍රතිපලය විසින් ඊළඟ පරිච්ඡේදයේ ස්වරූපය තීරණය කෙරෙනු ඇත.

අපගේ සමාජය ඉතා අඩුවෙන් තේරුම් ගත් කාරණයක් වන්නේ අප පසු කර ආ පරිච්ඡේද කිහිපය තුළ අපට මුණ ගැසුනු ප්‍රභාකරන් වැන්නන් අපගේ ප්‍රධාන සතුරාගේ ඉත්තන් විනා ප්‍රධාන සතුරා නොවන බවයි. අප පරාජය කළේ සතුරාගේ ඉත්තා මිස ප්‍රධාන සතුරා නොවේ. ඉත්තාගේ පරාජය, ඉත්තාගේ අයිතිකරුවන් ලද තාවකාලික පරාජයක් පමණි. මෙම හතුරා එකවර මේ යැයි පෙන්වාදීම පහසු නැත. අපට වැටහෙන ආකාරයට මෙම සතුරා ඉන්දියාව, ඇමරිකාව, හා බටහිටර සුසංයෝගයකි. ඒ අය අතරේද වෙන වෙන න්‍යායපත්‍ර ඇතත්, පසුගිය පරිච්ඡේදය තුළ මෙන්ම එලැබෙන පරිච්ඡේදය තුළ ද ඔවුනට ඇත්තේ මෙරට හැකිතාක් අස්ථාවර කිරීමේ පොදු න්‍යායපත්‍රයයි. ඔවුනට එසේ උවමනා වන්නේ මන්ද යන කාරණය අපි වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.

ප්‍රභාකරන් නම් ඉත්තා පරාජය කළ අපි කිරිබත් ගිලදමා සතුටු වීමු.ඉන් ඉදිරීයට සතුරාට ඇති ඉඩකඩ ඇහිරීමට අපි කටයුතු නොකළෙමු. සතුරා දැන් අපට විග්නේශ්වරන් නමැති ඉත්තා ඉදිරිපත් කර ඇත. දෙමළ සන්ධානය නි‍යෝජනය කරන්නේ ප්‍රභාකරන් ගේ තුවක්කු බටය උගුරු දණ්ඩ තුළ සිර කරගෙන දේශපාලනයෙහි ඉතා අවදානම් ලෙස නිරත වූවන්ය. නමුත් ඉතා පැහැදිළි ලෙස ජය ලබන්නට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයේ මුල් අසුන දේශපාලනයෙහි නොනියලුණු පුද්ගලයෙකු වෙත දන් දීමට තරම් දෙමළ සන්ධාන සාමාජිකයින් පරිත්‍යාගශීලී වී තිබේ යයි සිතීම උගහටය. අප කළින් සඳහන් කළ සතුරාගේ ඉත්තකු වන දෙමළ සන්ධානයට කළ හැක්කේ එම සතුරා එනම් තම ස්වාමිවරුන් කියන්නක් කිරීම පමණි. ප්‍රභාකරන් සිටි අවදියේ ඔවුනට කළ හැකි වූ එකම දෙය ප්‍රභාකරන්ගේ තාලයට පාද තැබීම පමණි. දැන් ඔවුන් අපගේ සතුරාගේ සෘජු ග්‍රහණයට හසුව ඇත. විග්නේශ්වරන් යනු එම සරතුරාට අවැසි මීළඟ ඉත්තාය. ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තික ඉත්තාය.
ප්‍රභාකරන් නමැති ඉත්තා දශක තුනක් පුරාවට ඔහුට පැවරී තිබුන කටයුත්ත ඉටු කරමින් සිටියේය. ඉත්තකු වුවත්, ඔහු තමා ඉත්තකු වනවාට අකමැති විය. ඔහුට අවැසි වූයේ දෙමළ ජනතාවගේ එකම විමුක්තිදායකයාණන් වශයෙන් පෙනී සිටීමටය. දහතුන්වන ව්යවස්ථා සංශෝධනය බෙදුම්වාදයට හිතකර නම් ප්‍රභාකරන් එයට විරුද්ධ වුයේ මන්දැයි අසන්නන්ට නොවැටහී ඇත්තේ මෙම සන්දර්භයයි. ප්‍රභාකරන් හපනෙකු වන්නේ මිනී මැරීමට විනා දේශපාලනයට නොවේ. සතුරා විසින් දේශපාලන වශයෙන් රට අස්ථාවර කරවන විටදී තමා පැත්තකට විසි වී ඇන්ටම් බාලසිංහම් හෝ එවැනි කෙරුමෙකු මතු වන බව ප්‍රභාකරන් ඉතා නිවැරදිව අවබෝධ කර ගෙන සිටි‍යේය. ඒ නිසා ඔහු දහතුනට විරුද්ධ වූවා පමණක් නොව, සෑම සාකච්ඡා මේසයකින්ම පලා ගොස් වන වැදී බෝමබ ගැසීමට උත්සුක විය. අප දේශපාලන වශයෙන් පසු ගිය පර්ච්ඡේදයේදී බේරී සිටියේ අප සතු විශේෂ හැකියාවක් නිසා නොව ප්‍රභාකරන් ගේ මෙම මමායනය විසින් සතුරාගේ දේශපාලන උඟුල් වලින් අප බේරා ගනු ලැබීම නිසාය. ඉතිහාසය පුරා බොහෝ විට අප සටනට දක්ෂ බවත් දේශපාලනයේ අදක්ෂ බවත් පෙන්වාදිය හැකිය. පරංගින්ට ගෙරි හමක ඉඩක ඉන්නට දීම, පසුව ඉඟුරු දී මිරිස් ගැනීම, උඩරට ගිවිසුම, ඉන්දු ලංකා ගිවිසුම, රනිල්-ප්‍රභා ගිවිසුම මීට උදාහරණ කීපයකි. ප්‍රභාකරන්ට වුව වසර තිහක් සෙල්ලම් දමා ගෙන සිටිය හැකිවූයේ අප සටනට අදක්ෂ නිසා නොව, ඒ හා බැඳුනු දේශපාලනයේ අප අදක්ෂ වූ නිසාවෙනි.

ප්‍රභාකරන් සහ විග්නේශ්වරන් එකම සතුරාගේ ඉත්තන් බැවින් ඒ අතින් ඔවුහූ සමාන වෙති. ජාතිවාදී අදහස් අතින්ද එකකු අනිකකුට දෙවැනි නැත. නමුත් විග්නේශ්වරන් ඉදිරිපත් වන්නේම ඉත්තකු ලෙසිනි. ඔහු තුළ ප්‍රභාකරන් තුළ වූවා මෙන් ඉත්තකු නොවීමට හැකියාවක් හෝ අකමැත්තක් හෝ නොමැත. අකමැති නම් ඔහුට කළ හැකි එකම දෙය දේශපාලනයට නොපිවිස සිටීම පමණි.

ප්‍රභාකරන් සිටින අවදියේද සතුරාට දෙආකාරයකට අපව මට්ටු කිරීමට වුවමනා වී තිබුනි. පළමු වැන්න ප්‍රභාකරන්ගේ ත්‍රත්‍රස්තවාදයෙන් අප බියෙන් බිරාන්ත කිරීමයි. දෙවැන්න බියව සිටින අප දේශපාලන විසඳුමකට දක්කා ගෙන යාමයි. අප මේ අරබයා කෙතරම් අවිචාරවත් ලෙස කටයුතු කර ඇතිදැයි කියනවා නම් විසඳුම් දෙන්නට යන ප්‍රශ්නය කුමක්දැයි දන්නා එකෙකු නැත. ප්‍රශ්නය කුමක්දැයි කතා නොකර විසඳුම කුමක්දැයි කතා කළහ. අදටත් අප වෙතින් එම අවිචාරවත් බව එලෙසම නොගිලිහී ඇත. ඒ කෙසේ වෙතත් ඉහත පළමු වැන්න ප්‍රභාකරන් ඉතා හොඳින් ඉටු කළ අතර දෙවැන්න ඔහු විසින් සෑම විටකදිම සුණු විසුණු කර දැමීය.

අදත් මෙම දෙආකාරයම වෙනත් මුහුණුවරින් ක්‍රියාත්මකය. බිය වැද්දවීම් සදහා මානව හිමිකම කවුන්සිලය, අන්තර් ජාතික යුද අධිකරණ මෙන්ම ආර්ථික සම්බාධක යොදා ගැනීමට හැකිය. දේශපාලන ක්‍රියාවලිය සඳහා මෙතෙක් පැවති ප්‍රධාන බාධකය වූ ප්‍රභාකරන් අප විසින්ම ඉවත් කර දී තිබේ. මේ දෙආකාරයට අමතරව අප අද තුන්වන ක්‍රමයකටත් හසු කරගෙන තිබේ. එනම් බටහිර හා ගැටගැසුණු සිහින අපට පෙන්වා ඒවා හඹා යාමට අප හුරු කරවීමයි. මේ තීරණාත්මක මොහොතේ පොදු රාජ්ය මණඩල සමුළුවක් මෙහි පැවැත්වීමට සළස්වා එය සාර්ථක කර ගැනුමට අවැසි නිසා සතුරාට දැඩි කේවල් කිරීමේ බලයක් හිමි කර දී ඇත.

දේශපාලනයේදී ප්‍රභාකරන් සමඟ සතුරාට තිබූ ආරවුල විග්නේශ්වරන් සමඟ කෙසේවත් ඇති වන්නේ නැත. ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. ඔහු නීතිය මැනවින් දනියි. නීතිමය දැනුම යනු එළබෙන පරිච්ඡේදය තුළ ඔවුනට නැතුවම බැරි බර අවියකි. දහතුන් වන ව්යවස්ථා සංශෝධනයේ ඇති අපැහැදිළි තැන් උපයෝගී කර ගෙන මධ්යම ආණ්ඩුව සමඟ ගැටුම් ඇතිකර ගැනීමට අවැසි අවබෝධය ඔහු සතුය. ජාතිකව හා අන්තර්ජාතිකව නිර්මාණය වන වටපිටාවන් අනුව ඒ නොයෙක් ආකාරයේ අර්බුදයන් ඇතිකර ගැනීමට සුදුසු කාල වකවානු ඔහුව නටවන සතුරා විසින් තීරණය කෙරෙනු ඇත. ඔහු මෝඩ වරධරාජා පෙරුමාල් කෙනෙකු නොව සූක්ෂම කපටි ඇන්ටම් බාලසිංහම් කෙනෙකු වනු ඇති බවට මෙම සතුරා වගබලා ගන්නවා ඇත. ඇන්ටන් බාලසිංහම් කොටි නායකයා වී ඔහු යට්තේ, ඔහුට කීකරුව පවතින සන්නද්ධ අංශයක පමණක් ප්‍රභාකරන් නායකයා වී නම් මෙරට දෙකඩ වී බොහෝ කල් වන්නට තිබින.

ප්‍රභාකරන්ට මුහුණ දීමට රට වෙනුවෙන් දිවි පුදන්නට අවංක මිනිසුන් මේ රටේ ගම්බිම් වලින් ඉදිරිපත් විය.ප්‍රභාකරන් පැරදවීමට එම උත්තර කැපවීමට සහ ඔවුන්ගේ එඩිතරභාවය හැකි වුවත් විග්නේශ්වරන්ලා පැරදවීමට සිදුවන්නේ ඊට වෙනස් පිටියකදීය. අප හමුවේ මීළඟ පරිච්ඡේදයේදි ඇති ප්‍රධාන අභියෝගය නම් මෙම දේශපාලන අභියෝගයට මුහුණ දීමට සරිලන ඒ අභියෝගය කල් ඇතිව තේරුම් ගත හැකි විසල් දැක්මකින් යුතුව යුධ පිටි වෙනුවට ආදේශ වන දේශපාලන හා ව්යවස්ථා පිටිවලදී දිය යටින් ගින්දර ගෙනයන්නන්  පරාජය කරමින් ඒ සඳහා අවංකව කැප විය හැකි පිරිසක් අද ඉන්නා බඩජාරී දේශපාලන-නග්නයන් අතරින් තෝරා ගැනීම වනු ඇත.

-ලසන්ත වික්‍රමසිංහ
: යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/09/2013

ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නෝ.... !!

කතෘ:යුතුකම     7/09/2013   4 comments
13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ එයින් උපන් පළාත් සහා ක්‍රමය පිළිබඳ කතිකාව දේශපාලන ලෝකය තුළ මගහැර නොහැකි ප්‍රමුඛ කාර්‍ය බවට පත් වී හමාරය.ජාතික දේශපාලනයේ  'අනු මාතෘකා','පාද සටහන්' ආදිය ගෙන ඒවා ප්‍රධාන මාතෘකාව ලෙස හුවා දක්වන්නට උත්සාහ ගත් ජාතික දේශපාලනයේ ප්‍රමුඛතා අනුපිළිවෙල පටලවාගත්  බොහෝ දෙනාටද අද වන විට ඒ සත්‍යට අකමැත්තෙන් වුවත් එකඟ වන්නට සිදු වී තිබේ.මීට ටික කලකට පෙර යනවනම්  '13න් එහාට පමණි ' යනුවෙන් දේශපාලන සමාජය තුල ගසා තිබූ හන ගැලවී ගොස් ඇත.ප්ල්ස් මයිනස්  (+/-) සංවාදයට තව දුරටත් ඉඩක් නැත.අද ඇත්තේ 13න් ඉවත් කරන්නේ මොනවාද යන කතිකාවයි.කලින් 13න් එහා ගොස් බලය බෙදීමටත් උතුරට අසමමිතික බලයක් ලබාදීමටත් බෙරිහන් දුන් බොහෝ දෙනාට අද වන විට 13 අද තිබෙන පරිදි වත් පවත්වා ගෙන යන්නට වලිකන්නට සිදු වී තිබේ.එහිදී 13 වන ව්‍යවස්ථා සංශෝදනයේ බෙදුම්වාදය ශක්තිමත් වන වගන්ති ඉවත් කිරීමෙන් තොරව උතුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බවට නැගෙන හඬ ඉස්මතු වී තිබේ.

එදා 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් ඉන් බිහි කල පළාත් සභා ක්‍රමයත් ඒවා බිහි වූ දේශපාලන සන්දර්භය අමතක කර වියුක්තව ගෙන විග්‍රහ කිරීමට යාම නිරර්ථක කාර්යකි.රජීව්-ජේ.ආර් ගිවිසුම අත්සන් කරන විට ලංකා ආණ්ඩුව ඇමරිකන් තුරුලේ හුරතල් වී එහි ආනිසංස ලෙස ඉන්දීය දේශපාලන උදහසට ලක්ව හෙම්බත්වී තිබිණ.මූනිච්චාවට අතට අත දී අත්සන් කලද මෙය බෙල්ලට තුවක්කුව තබා ජේ.ආර්ගේ අත කර කවා බලහත්කාරයෙන් එකඟ කරවාගත් අපූරුව එවක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත්ගේ 'කොළඹ භූමිකාව' ග්‍රන්ථයේ මැනවින් සඳහන්ය.කෙසේ හෝ අපට මෙහිදී වැදගත් වන්නේ ඉන්දු ලංකා ගිවිසුමට අද ඇති වලංගුභාවයයි .ගිවිසුමේ 2.9 වගන්තියට අනුව පළාත් සභා විසඳුම ලබා දෙන්නේ ඉන්දීය හමුදා මැදිහත්වීමෙන් එල්ටීටීඊය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමෙන් පසුවය.

 -උපුටා ගැනීම රජීව්-ජේ.ආර් ගිවිසුමේ 2.9 වගන්තියෙන් 
"මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පැය 48 ක් ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියළුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන බලධාරින්ට, ගිවිසගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව, භාර දෙනු ඇත."

මෙය සරලව සැලකිය යුතු කොන්දේසියක් නොවේ.ගිවිසුමේ වැදගත්ම කොන්දේසිය එය යැයි හැඳින්වූවාට වරදක් නොවන්නේ  'ඉන්දු ලංකා එකඟතාවය ' ඇති වීමට ප්‍රකාශිත මූලිකම හේතුවද මෙම ආයුධ සන්නද්ධ කණ්ඩායම් බැවිනි.ඉන්දීය එකඟතාවය ඉටු වීද ?නැත .ඒ වෙනුවට සිදු වූයේ එකඟතාවයට අනුව ආයුධ භාරදුන් සමහර දෙමළ සන්නද්ධ කණ්ඩායම් එල්ටීටීඊයේ බිල්ලට ගොදුරු වීමත් මෙරටට බැස්සවූ ඉන්දීය හමුදාවල පර පීඩනයට උතුරේ සියලු ජනතාවට විඳින්නට සිදු වීමය.අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගයෙන් හකුලාගෙන යන්නේ ඒ ජේ.ආර් -රජීව් ගිවිසුමේ ඒ අසාර්ථකභාවයයි.වෙනත් අයුරකින් කියතොත් මුඛ්‍යම කොන්දේසිය ඉටු කිරීමට නොහැකි වූ පරාජිත ඉන්දීය හමුදාවයි .දේශපාලනමය වශයෙන් ජේ.ආර් - රජීව් ගිවිසුම අවලංගු වූයේ එදාය.දේශපාලනමය වශයෙන් අහෝසි වුවත් නීතිය හමුවේ එය හකුලා නොදැමීමේ පාපය අදද ලංකා ආණ්ඩු පසු පස පන්නමින් තිබේ. එබැවින් ඉන්දියාවට එරෙහිව ගොස් ගිවිසුමේ කොන්දේසි වෙනස් කිරීමට උත්සාහ කිරීම මහා භයානක ප්‍රතිවිපාක දෙන කාරණයක් ලෙස විපක්ෂ නායකවරයා මෙන්ම දෙමළ ජාතික සංධානය සහ සුපුරුදු  එන්.ජී.ඕ කල්ලි නගන හඬට සාධාරණ වලංගුභාවයක් නොමැත. පළාත් සභා ක්‍රමයට මුල් වූ ඉන්දු ලංකා ගිවිසුමේ ඉන්දීය පාර්ශවයේ ප්‍රමුඛ පොරොන්දුව වූ කොටි සංවිධානය නිරායුධ කිරීම යන වගන්තිය ලත් තැනම කඩ වී ගිය වටපිටාවක තව දුරටත් ඉන්දීය එකඟතාවකින් තොරව මෙය සංශෝධනය කිරීමට දේශපාලන අයිතියක් නැතැයි අද බෙරිහන් දෙන්නන්ට සවන් දුනහොත් සිදුවන්නේ එල්ටීටීඊයේ යුධ ශක්තියට මුහුණ දිය නොහැකි යැයි පවසා කලකට ඉහතදී ඔවුන් ඉදිරියේ දන ගැසූ නිවට පාලකයින්ට අත් වූ දේශපාලන කුණු බක්කියට වැටීමට වත්මන් රාජපක්ෂ පාලනයටද සිදු වීමය. 

 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට එරෙහි දේශපාලන කණ්ඩායම් අතර UNP , TNA හැරුණු විට අනෙකුත් ප්‍රධාන කොටස ශ්‍රීලනිප වල්ගයේ එල්ලී සිටින ඊනියා වාමාංශික පක්ෂවල මහළු නායකත්වය සහ ශ්‍රීලනිප ය තුල ඉතිරිව ඇති චන්ද්‍රිකා -විජය වාදී දේශපාලන මල මිනීය.මේවා දේශපාලන මල මිනී වන්නේ චන්ද්‍රිකා ගෙදර යවා මහින්ද ශ්‍රීලනිප මුල් පුටුවට පැමිණීමත් සමහ එය චන්ද්‍රිකාගේ බලහත්කාරයෙන් පැල කල ෆෙඩරල් මතය ශ්‍රීලනිප ය තුල මරණයට පත් වූ බැවිනි. ෆෙඩරල්වාදී තිස්ස - ඩිව් - වාසු කල්ලියට දේශපාලන ලෙස පැවැත්මක් ඉතුරුවී ඇත්තේ ඒකීය භාවය පිළිගන්නා ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ ඡන්ද වලට පින් සිදු වන්නටය.තනි තනිව ඉල්ලුවහොත් ඇප නැති වන තරමේ පරාජයන්ට හිමිකම් කියන මේ කල්ලි මැතිවරණ සමයේදී පමණක් බලු නකුට පස්ස පැත්තේ ගසා ගන්නාක් මෙන් තම බෙදුම්වාදී මතය සඟවා ගනිති.ඒ කාලයට ඔවුන්ගේ සමසමාජකම් ,කොමියුනිට්ස් කම් මාකට් කිරීම නවතියි. (මේ කල්ලියේ මාතර දිස්ත්‍රික් ප්‍රබලයකු මහ මැතිවරණ සමයේ තම කොමිනිට්ස්වාදී සියළු සළු උනා දමා උග්‍ර ලෙස කුල භෙදය අවුස්සා තම ඡන්ද ගොඩ වැඩිකරගත් අයුරුත් අනෙකුත් දූෂිත ධනපති නායකයන්ගේම මග යමින් තම පුතුන් මෙන්ම ඥාතීන්ද දේශපාලනය තුලට තල්ලු කිරීම පිළිබඳ පෞද්ගලික අත්දැකීම් මේ ලියුම් කරු සතුව ඇත.මේ මහත්වරුන්ට සියලු න්‍යායන් මතක් වන්නේ සිංහලයාට විශේෂයෙන් සිංහල බෞද්ධයාට එරෙහි වන්නට වුවමනා වූ විට පමණි ).මොවුන්ගේ දේශපාලන එදා වේල අද රැකී ඇත්තේ ඔවුන්ගේ තරමට වඩා අවස්ථා ලැබෙන මාධ්‍ය භාවිතය නිසාය. මැතිවරණවලින් ශ්‍රීලනිප ඡන්දවලට පින් සිදු වන්නට ගොඩ ගිය මොහොතේ සිට මොවුන් ක්‍රියා කරන්නේ එම ඡන්ද වල අපේක්ෂාවන්ට එරෙහිවය.ඌරාගේ මාලු ඌරාගේ පිටේම තබා කපනවා කියන්නේ මෙයටයි.මේ දේශපාලන හොල්මන් සහ අවතාරවලට කල හැකි හොඳම ශාන්තිකර්මය නම් ඊළඟ මැතිවරණවලදී තනිවම තරඟ කර හැකිනම් පාර්ලිමේන්තු එන ලෙස දැන්විම පමණි.එතෙක් අපි ජාතික ගීය දෙමලෙන් කියමු ආදී ඔවුන්ගේ බයිලා අමාරුවෙන් නමුත් ඉවසා සිටිමු.

දැන් 13 වෙනස් කරනවාට එරෙහි ශ්‍රීලනිපය තුල සිටින මළ මිනී ගැන විමසා බලමු.මේ මලමිනීද ඉහතින් සඳහන් කල දේශපාලන අවතාර සහ හොල්මන් වලට නොදෙවනිය.මේ සියල්ලන්ද මැතිවරණ සමයේ දත් තිස් දෙක එලියට දමන් තාපප වල එල්ලෙන්නේ තම ෆෙඩරල්වාදී බෙදුම්වාදී මතය නකුට ගසා ගෙනය.අද කොයි තරම් හඬින් පාලු අම්බලම්වල සිට බෙරිහන් දුන්නත් මැතිවරණ සමයේ තමන් දිවි හිමියෙන් , ඇමති කම් පරදුවට තබා කැප වන්නේ යැයි කියන ෆෙඩරල් මතය වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලූ එකම වීරයෙක් වත් සිටීද? යුධ සමය තුල යුධ විරෝධී පච්ච කෙටූ පපු එලියට දමා මහා යුධ විරෝධී වීරයන් සේ එකල ත්‍රස්තවාදයට එරෙහි සටනේ කකුලෙන් ඇදි මේ සමහර විජය කුමාරතුංගවාදී ‘ දේශපාලන න්‍යායාචාර්යවරු’ අවසානයේ යුධ ජයග්‍රහණය දෑස මානයට පැමිණි පසු සියලු විලි ලැජ්ජාවන් අමතක කර ආණ්ඩුව දෙසට කරණම් ගැසූවේ තම තමන්ගේ පක්ෂවල නායකයින්ගේ ඉදල් පහරවල්ද කාගෙනය.මේ දේශපාලන සිඟාලයන් අද නැවතත් සුපුරුදු ද්‍රෝහී ෆෙඩරල් මතය වෙනුවෙන් පෙනී සිටින්නේ නැවතත් පැරණි තැන් වලින් හොඳ ලංසුවක් ලැබී ඇති නිසා වන්නටද බැරි නැත. යුධ ජයත් සමගම මොවුන් තමන් කොටා සිටි ඊනියා 'යුධ විරෝධී' පච්ච මහින්ද රාජපක්ෂ වර්ණනා කල පාඨවලින් සඟවාගත්හ ."යුද්ධය එපා ,ප්‍රභාකරන් පරාජය කරන්න බෑ, කොටින් සමග හවුලේ බෙදාගමු " යනුවෙන් බෙරිහන් දුන්නවුන්ම අවසානයේ "තිස්වසරක යුධ බිය නැතිකල ජනප ති,තව තිස්වසරක් ඔබමයි ජනපති " යනුවෙන් සඳහන් කටවුට්වලින් තමන් එකල දැරූ මතයේ පරාජයේ ලැජ්ජාව වසා ගත්හ.මේ විජය කුමාරතුංගවාදී බොරු මානවහිතවාදීන්ගේ මානවහිතවාදයේ තරම එකල 88-89 සමයේ 'ප්‍රා' සංවිධානයේ 'මානව හිතවාදය' යටතේ පරාළ ඇන ඔලු කටු පුපුරවා බැස්සවූ මිනිසුන්ට කතා කල හැකි නම් හෙළි කරනු ඇත. 

මේ කල්ලිය තුල සිටින අනෙකුත් ෆෙඩරල්වාදීන්ගේද පැටිකිරිය මීට දෙවැනි නොවේ.එදා චන්ද්‍රිකා පාලන සමයේ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමා කොඳු නාරටිය කඩා හෙලන්නට සුදු නෙලුම් ගෙන තවලම් ගිය මේ නිකමුන් කොටින් මාවිලාරු අමුණ වසා දැමූ විට කොළඹ පුරා පෙළපාලි ගියේ "යුද්ධය එපා., ප්‍රභාකරන් එක්ක යුද්ධ කරල දිනන්න බෑ, මේක මහා විනාසයක් , සිංහල ජාතිවාදී හඬට සවන් නොදෙමු " යනුවෙන් ගර්ජනා කරමිනි.එහිදී තමන්ට අර්ථලාභ සපයන රාජ්‍යනොවන සංවිධානවල සාම වෙළඳුන් මොවුන්ට අත්වැල් ගායනයෙන් සහය දැක්වීය.මේ බහුතරයක් දෙන ශ්‍රීලනිපය තුල සිටියද 2005 ජයග්‍රහණයට තම ඡන්දයෙන් වත් දායකත්වයක් නොදැක්වූ බව සියල්ලටම වඩා හොඳින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දන්නා කරුණකි.අවසානයේ ඒ 'සිංහල ජාතිවාදීන්' යැයි හංවඩු ගැසූ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්ය හේතුවෙන්ම කොටි ත්‍රස්තවාදය නන්දිකඩාල් වල ගිලෙද්දී නකුට පසුපස ගතා ගත් ඊනියා යුධ විරෝධීන් සද්ද වසා මහින්ද රාජපක්ෂ වර්ණනාවට අත්වැල් ඇල්ලීය.එකල චන්ද්‍රිකාගේ ඔසරි පොටේ එල්ලී සිටි ඔවුන් නැවත අද ඒ චන්ද්‍රිකාගේම ෂල්වාරයේ එල්ලීමට උත්සාහ කරනවාද යන්න විමසිලිමත් විය යුතු කරුණකි. 

 ශ්‍රී ලනිපය ප්‍රමුඛ සංධානය හරහා බලය තහවුරු කරගත් ඉහත දැක්වූ විජාතික කොටස් දේශපාලනයේ මතු මහලට නගින්නේ ස්වදේශවාදී ශ්‍රීලනිප ඡන්දවලින් බව මතක තබා ගත යුතුය.විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයත් සමග දේශපාලනයේ උරගා බැලී ප්‍රධාන කරුණ යුධ ජයග්‍රහණයේ ගෞරවය සහ අයිතියයි.ඉන් පසු මහ මැතිවරණයෙන් 2/3ක ආසන්න අති මහත් බලයක් ලැබෙන්නේද එයට පින් සිදු වන්නටය.එකල අද බෙරිහන් දෙන කිසිවෙකු "බලය බෙදමු", "යුධ ජයග්‍රහණය සැබෑ ජයක් නොවේ " , "උතුරට අසමමිතික බලය බෙදීමක් නොකලොත් දේශපාලනය අත් හරිනවා-ඇමතිකම් අත් හරිනවා " යනුවෙන් කේවල් කල බව අපට නම් මතක නැත.ඒ වෙනුවට යුධ ජයග්‍රහණයේ මහා කොටස්කරුවන් ලෙස හඳුන්වමින් මේ සියලු දෙනා මැතිවරයෙන් ගොඩ ගියහ.ඒ මතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවි දුන් දූපුතුන් සිය දහස් ගණනකගේ ලේ වලට මෙන්ම අත් පා ඇස් කන් අහිමි කරගත් දහස් ගණනකගේ උත්තර පරිත්‍යාගයට පින් සිදු වන්නටය. එලෙස ගොඩ ගියවුන් ආපසු හැරී තමන් ඉහළට නැගි ඉනිමගට අකාරුණික ලෙස පයින් ගසමින් නන්දිකඩාල්වල ගිල්වූ කොටින්ගේම දේශපාලන පෙරමුණේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන ජඩ කමකි. (එල්ටීටීඊය තුලද ප්‍රභාකරන් හැරුණු විට දේශපාලන ඉදිරියක් දුටු ඇන්ටන් බාලසිංහම් වැන්නන්ගේ පවා ඉලක්කය වූයේ දේශපාලන විසඳුම් ලෙස ලබා ගන්නා වෙනම පාලන ඒකකයක් බව අප අමතක නොකල යුතුය.) මේ දේශපාලන ජඩකම්වලට ඉදිරි මැතිවරණවලදී මතක තිබෙන පිළිතුරක් දීම ජනතාවට අයිති කාර්‍යයක් වන අතර එතෙක් මේ දේශපාලන පරඬැල් ජාතික දේශපාලනයේ වැදගත් තීන්දු වලට බලපෑම් කල හැකි දුරට ඇතින් තබාගෙන ඔවුන්ගේ බෙදුම්වාදී අභිප්‍රායන් අහෝසිවන ආකාරයේ තීන්දු වලට එලඹීම රට කරවන ඇත්තන් සතු අත් හළ නොහැකි වගකීමක් බව මතක් කරමු.පිස්සු බල්ලන් බැඳ නොදැමුවහොත් ඔවුන් සපා කෑ විට එහි චෝදනාව එල්ල වන්නේ බල්ලාගේ හිමිකාරයාට බව අමතක නොකරමු.

 කැලුම් නිරංජන 
:යුතුකම සංවාද කවය

7/03/2013

13 මතුවිය. නිරුවත හෙළි විය..

කතෘ:යුතුකම     7/03/2013   1 comment
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවක් පැන නැගීමත් සමඟ ඒ පිළිබඳ දේශපාලන පක්ෂවල අදහස් උදහස් සෘජුවම දැක ගැනීමේ අවස්ථාවක් මේ රටේ ඡන්ද දායක ජනතාවට දැන් උදාවී ඇත. මෙතුවක් කල් පොදු ජනතා දෑස් අබියස බොඳවී පෙනුනු සිතුවමක් සේ තිබුනද දැන් එය ඉතා පැහැදිලි රේඛාවලින් සැදි සිතුවමක් ලෙස තියුණු ලෙස දැක බලාගැනීමේ මහඟු අවස්ථාවක් මෙරට පොදු ජනතාවට උදා වී ඇත. ඒ මගින් වඩාත් පැහැදිලිව පෙන්නුම් කරන්නේ අන් කිසිවක් නොව මෙරට පොදු ජනතාවට උරුම කරුමය යැයි සිතමු.

මේ කරුමය කුමක් දැයි හරිහැටි හඳුනා ගැනීමට අපි ජාතියක් ලෙස මෙතුවක් කල් අසමත් වී ඇති බව අපගේ තක්සේරුවයි. නමුත් ඒ කරුමය බොහෝ කල් ඇතිව අනගාරික ධර්මපාලතුමා වැනි  ප්‍රාඥයන් පෙන්වා දුන් බව කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුය. ඉන් පසුව තවදුරටත් එය ව්‍යක්ත ලෙස තේරුම් ගෙන එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා වැන්නන් අතින්      පැහැදිලි කෙරී ඇති බව කිවමනාය.

පසුගිය දශක ගණනාවක් පුරාවටම මෙරට  සාහිත්‍යය, කලාව, දේශපාලනය මෙන්ම මුළු මහත් සමාජ දේහයම එකම කක්ෂයක් වටා දෝලනය විය. මිනිසුන් කව් ගී ලීවේ ,නවකතා කෙටිකතා ලීවේ , දේශපාලනය කළේ මෙම කක්ෂය තුළ දෝලනය වෙමින්  අප ගත යුත්තේ අප මුතුන් මිත්තන්ගෙන්      උරුම වූ හර පද්ධතියද, නැතිනම් අප විසින් බටහිර  සභ්‍යත්වය වැළදගත යුතුද යන ප්‍රධාන කාරණය අරභයාය. ඉතා සරලව කියනවා  නම් "අප දේ" හා "පර දේ" අතර සංවාදයයි. මේ රට තුළ පැන  නගින බොහෝ තීරණාත්මක අවස්ථාවන්හිදී දේශපාලන වශයෙන් මේ පිල් දෙක දෙපැත්තට වනවා පැහැදිලිව දැක බලාගත හැකිය. උදාහරණයක් ලෙස යුද්ධ කිරීමට විරුද්ධ වූ පිළම අද දහතුන්වන ‍ව්‍යවස්ථා සංශෝධනය රැකගැනීමට වෙර වෑයම් සහ උපක්‍රම යොදති. යුද්ධයෙන් ත්‍රස්තවාදය පැරදවීමට මතවාදීව ඉදිරිපත් වූවන්ම අදත් දහතුන්වන ව්‍යවස්ථා  සංශෝධනය ආපසු හැරවීම වැර වෑයම් සහ උපක්‍රම යොදති.


කවන්ධයේ උපත හා පරිණාමය..


1951  දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වන්නේ සුදු අදිරදුන් විසින් අපට අහිමි කළ අප උරුමය නියෝජනය කරමිනි. වසර හතරක් වැනි ඉතා සුළු කාලයකදී එම පක්ෂයට බලය ලබා දීමට මේ රටේ ජනතාව උත්සුක වෙන්නේ ඒ නිසාය. ශ්‍රීලනිපය අරභයා ගුණදාස අමරසේකරයන් ඉදිරිපත් කර ඇති උපමාව මෙහිදී අපගේ වචනයෙන් හෝ ඉදිරිපත් නොකරම බැරිය. ශ්‍රීලනිපය යන දැවැන්ත ශරීරයට එහි නායකයන් විසින් මාක්ස්වාදී බූරු හිස් මෙන්ම ලිබරල්වාදී අශ්ප හිස් සවි කිරීමට තැත් කිරීම නිසා එය හිස නැති කවන්ධයක් බවට පත්විය. එනිසා එහි ජාතිකත්වය රෙද්ද බැනියම, කැවුම් කොකිස් හා බුලත් අතට පමණක් සීමා වූවා මිස ජාතියට අවැසි ජාතික දර්ශනය සැපයීමට අසමත් විය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ නමේ වාසගම් දෙකකි. ඇයව ශ්‍රීලනිපය ඔස්සේ ජනපති පදවිය දක්වා ඔසවා තැබීම සඳහා මෙරට ජනතාව සැදී පැහැදුනේ ඇගේ පළමු වාසගමට අනුව එනම් බණ්ඩරනායකවරයකු ලෙස ඇය විසින් කටයුතු කරනු ඇතැයි යන මූලික බලාපොරොත්තුව තුළය. ඇය තම නැසී ගිය ස්වාමි පුරුෂයාගේ මිනී පෙට්ටිය මත අත තබා  ඔහු  ගේ  ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන බවට දුන් පොරොන්දුව ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟම අමතක කරන ලදැයි මෙරට ජනතාව සිතූහ. නමුත් සිදුවූයේ අනෙකකි. ඇය විසින් තවලම් යමින් පැකේජ ගෙන එමින් කොටින් සමඟ සුනාමි සහන මණ්ඩල පිහිටුවීමට තැත් කරමින් ශ්‍රීලනිප දේහය අපහරණය කරමින් ඉදිරියට ගෙන ගියේ ඇගේ සැමියාගේ දේශපාලන ප්‍රතිපත්තීන්ය. ඉන් සිදු වූයේ අර හිස නැති කවන්දයේ කශේරුකාවද බිඳ දැමීමයි. රාජිත සේනාරත්නලා අදත් නියෝජනය කරන්නේ මේ චන්ද්‍රිකා - විජය මතයයි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඳු නාරටිය බිඳ දැමූ   මතවාදයයි. චන්ද්‍රිකා  විසින් ශ්‍රීලනිපයේ කොන්ද කඩා දැමීමේ සන්දර්භය තුළ අතරමං වූ පොදු ජනතාව සිය බලාපොරොත්තු තැබුවේ ජනතා විමුක්ති පෙරමුණ වෙතයි. 

ජවිපෙ නායකයන් කොතැනක සිටියත්  ගැමි  තරුණයන් මරාගෙන මැරෙන්නට සූදානම් වූයේ “අප දේ” වෙනුවෙනි. අවාසනාවට ඒ ජවසම්පන්න දේහයට ප්‍රඥා සම්පන්න හිසක් සැපයීමට ජවිපෙ නායකත්වය අසමත් වුනි. ඒ තරුණ දේහය නොනැසී පැවතිය ද, අද ජවිපෙ යනු එම තරුණ දේහයෙන් ගැලවී ගිය නාකි මවිල් ගසක් පමණි. දේශපාලන පක්ෂයකට වඩා වෘත්තීය සමිතියකි. පාර්ලිමේන්තු තේරුම් කාරක සභාව නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂ විනා වෘත්තීය සමිති නොවන නිසා ඔවුන් තේරීම් කාරක සභාවට සහභාගී නොවීමේ තීරණය ඔවුන්ට උරුම වී ඇති වෘත්තීය සමිති  දේශපලනයේ  අනිවාර්ය කරුණක් බැවින් ඒ පිළිබඳ දොස් කීමද  පලක්  නැත. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට යුද සමයේදී අවංක සහයක් ලබා දුනි නම් මෙරට ජනතාව රණ විරුවන් ලඟට ඔවුනට  ගෞරව කිරීමට ඉඩ තිබුනි. දැන් ඔවුන් ජනතාවගේ දේශපාලන මතකයෙන් ගිලිහී ගිය තවත් වාමාංශික සමිතියක් පමණි.

2005 දී මහින්ද රාජපක්ෂ මහතාට ලැබුනේ කොඳු ඇට පෙළ බිඳ දැමූ කවන්ධයකි. බටහිර බලවතුන්ගේ තර්ජන හමුවේ උපායශීලී ලෙස නොසැලී කටයුතු කිරීමෙන් ත්‍රස්තවාදය පරදවා මෙරට ජනතාවට බිය සැක නැතිව හුස්ම ගන්නට අවස්ථාව  එතුමා  ප්‍රමුඛ රණ විරුවන් සලසා දුනි. එය එක් ආකාරයට, චන්ද්‍රිකා  විසින් කොඳු ඇට පෙළ කඩා බිම දමා ඔත්පල කළ කවන්ධය ශක්තිමත්ව නැවත දෙපයින් සිටුවීමක් වැන්න. නමුත් එය තවම කවන්ධයක් බව මතක තබා ගත යුත්තේ හිස සොයා ගැනීමේ කාර්ය අමතක කොට කවන්ධය නොයෙකුත් තොරම්බල් වලින් සැරසීමෙන් පලක් නොවන නිසාවෙනි.

ධර්මපාල තුමාගේ අනාගත වාක්‍යයට පණ දෙමින්..

එජාපය එහි නායකයන් කිහිප දෙනෙකු, කිහිප විටකදී  හැරුණු විට නියෝජනය කලේ “පර දේ”ය. අනගාරික ධර්මපාලතුමා පැවසූ අනාගත වාක්‍යක සඳහන් සුද්දන් රට දමා යන විට රට භාර දී යන කළු සුද්දන් දේශපාලන වශයෙන් නියෝජනය වන්නේ එජාපය මගිනි. එය තව තවත් තහවුරු කිරීම විනා එය වෙනස් කර ගැනීමට ඔවුන් තවමත් අසමත් වී ඇත. අදත් ඔවුන් කතා කරන්නේ ඉන්දියාව වෙනුවෙන් විනා ලංකාව වෙනුවෙන් නොවේ. ජේ. ආර් නම් 13  ට කැමති වූයේ ඉන්දියානු තරවටුව සහ බලහත්කාරයට බියෙනි. (13 ට එකඟ වුවහොත් ලංකාව තුළ ඔහු අවලංගු කාසියක් වනු ඇතැයි යටි හිතේ බියක් ජේ. ආර් තුළ තිබූ බව ඔහුගේ චරිතප්‍රදානයට අදහස් පලකරන ජයවර්ධන මැතිණිය පෙනවා දෙයි. එසේ නොවන බවට ජේ.ආර් ගේ සිත වෙනස් කලේ එවකට ඉන්දීය මහකොමසාරිස් ජේ.එන් ඩික්සිත් ය.) නමුත් අද එජාප නායකයින්   13  වෙනුවෙන් පෙනී සිටින්නේ ඔවුන් සැබවින්ම පරදේම විනා අප දෙයක් ගැන හාංකවිසියක්වත් නොමැති බව  ජනතාව  හමුවේ ඉතා පැහැදිළි ලෙස  විද්‍යාමාන කරවිමිනි. යුද්ධයට කුඩු කේඩු කතා කියා  ඔවුන් ජනතාවගෙන් සැළකිය යුතු ලෙස ඈත් විය. 13 වන සංශෝධනය වෙනස් කළ යුත්තේ ඉන්දියාවෙ අනුමැතිය ඇතිවයි යන මුග්ධ කතා කියමින් ඔවුහූ දේශපාලන වශයෙන් අස්ථාන ගතවීමට උත්සාහ දරමින් සිටිති. මේ  ප්‍රශ්නයේදී මෙරට ජනතාවට විරුද්ධව කටයුතු කර බෞද්ධ පොතක් ලියා ජනතාව ගොනාට ඇන්දවිය හැකි බව රනිල් මහතා සිතන බව පෙනේ. එවැනි පොත් දැමීමමෙන් හා පන්සල වල නිතර සැරිසැරීමෙන් පමණක් ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව එතුමාට තවමත් නොතේරී ඇති බවක් පෙනේ.

පුංචි පුංචි මාක්ස්වාදී පක්ෂ ගැන ලිවීමට මෙම ලිපියේ ඉඩ වෙන් කර ගැනීම අසීරුය. රාවුෆ් හකීම්ගේ අවශ්‍යතාවය කුමක් දැයි දැන්  ජනතාවට පැහැදිලිවී ඇතැයි සිතමි. 

දැන් අපි දයාන් ජයතිලක මහතා දෙසට හැරෙමු. ඔහුගේ තර්කය අපට  සිනහවත් කඳුලත් ගෙන දෙන්නකි. සිනහව ගෙන එන්නේ ඔහුගේ හතර බීරි තර්කය නිසාය. එනම්  "දහතුන ක්‍රියාත්මක කිරීම අහිතකර වෙන්න පුළුවන්, එය අහෝසි කිරීම ඊටත් වඩා අහිතකර වෙන්න පුළුවන් ". මෙහි අර්ථය සුපැහැදිලිය. එනම් අප තවමත් යටත් විජිතයක් ලෙස හැසිරිය යුතු බවයි. යටත් වී සිටීමට අපට අමුතුවෙන් රාජතාන්ත්‍රිකයන් අවැසි නොවේ. මේ උදවියගේ රාජකාරිය විය යුත්තේ යටත් නොවී  සිටිය හැකි ලෙස වටපිටාව සැකසීමට කළ හැකි යමක් කිරීම විනා, යටත් වන්නට යෝජනා කිරීම නොවේ. ඒ කාරිය කිරීම සඳහා එන්ජීඕ කාරයන් ඉන්නා බව අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. ඇසට කඳුළු උනන්නේ ඔය ටික අහගන්නට ඔවුන්ට පඩිනඩි මෙන්ම අධ්‍යාපනය ද ලබාදෙන මෙරට පොදු ජනතාව ගැන සිතන විටයි. පොදු ජනතාව මේ උගත්   "බුද්ධිමතුන්ට " වඩා බුද්ධිමත් නිසා අද මේ රට ප්‍රභාකරන් හෝ එවන් බටහිර රූකඩයක් විසින් පාලනය කිරීම වැළකී ඇති බව අවංකව  ස්වයං විවේචනයක   යෙදුනහොත්  මේ  මහත්වරුන්ට  වටහා  ගැනීමට  අවැසි  බුද්ධිය  ඇතැයි  අපි සිතමු.

කරුමය මඟ හැර යා හැකිද?

ඉහත අප සාකච්ඡා කළ එක් එක් කොටස් මඟින් පැහැදිලි වන්නේ අපේ කරුමය යි. මේ සියලු දෙනා ජනතා නි‍යෝජිතයින්ය. නැතිනම් ජනතා සේවකයින්ය. නමුත් ඔවුන් ස්වදේශීක ජන මතයට එරෙහිව කටයුතු කරන්නේ ජනතාවගේම මුදලිනි. ජනතාවගේම ඡන්දයෙනි. ජනතාවද පක්ෂවලට බෙදී ඔවුනොවුන් දිනවීමට කටයුතු කරනවාට වඩා පොදුවේ රට ගැන සිතා කටයුතු කිරීමට ඉදිරිපත් වීම තම යුතුකමක් කොට ගත යුතුය. 13 මතු වීම නිසා ජනතාව අබියස නිරුවත් වූ ජනතා නියෝජිතයින් ගැන බලාගැනීම ජනතා යුතුකමකි.


ලසන්ත වික්‍රමසිංහ
:යුතුකම සංවාද කවය


5/31/2013

'අපි වෙනුවෙන් අපි ' - මුතාලිෆ් බිලිදී වසර අටයි

කතෘ:යුතුකම     5/31/2013   5 comments
කොටි ත්‍රස්තයන් උන්ගේ ග්‍රහණයේ පැවති භූමිය තුලදීම භීතියටත් ත්‍රාසයටත් පත් කල යුධ හමුදා දුර දිග විහිදුම් බලකායේ ප්‍රබල පුරුකක් වූ මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්ව මිය ගොස් අදට වසර 8 ක් සපිරේ.

මුතාලිෆ් යුධ හමුදා බුද්ධි අංශය සතුව සිටි විශිෂ්ඨ වැඩකරුවෙකි.1966 ජුලි 11 වෙනි දින දින උපත ලැබූ මුතාලිෆ් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අතර  ඔහු , 1986 ජුනි 2 දින ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදා සේවයට එක් වූයේය.දියතලාවේ පුහුණුව ලද මුතාලිෆ් මහතා අනතුරුව පකිස්ථානයේ ද පුහුණුවකට සහභාගි වී දෙවන ලුතිනන් වරයකු ලෙස නැවත මව් රටට පැමිණියේය.ඉන් පසු උතුරු නැගෙනහිර රාජකාරියට ගිය ඔහු එහි දැක්වූ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් යුධ හමුදා බුද්ධි ඒකකයට එක් විය.1992 දී කපිතාන් ධුරයට පත් වූ ඔහු වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙසට ද පත් කෙරිණි. විශිෂ්ඨ හැකියාවන් පෙන්වූ නිසාම හේ බුද්ධි අංශය තුල නොමැකෙන සටහන් තැබීය.කොටි ත්‍රස්තයන් මේ හමුදා බුද්ධි අංශය නිර්මාණය කල දුර දිග විහිදුම් බලකායට අතිමහත් භීතියක් දැක්වීය.2002 සටන් විරාම ගිවිසුම තුල එක් වගන්තියක් ලෙස සටහන් කරමින් ආණ්ඩුව ලවාම මේ දුර දිග විහිදුම් බලකාය අඩපණ කරන්නට කොටින් ක්‍රියා කලේද එබැවිනි.ඒ  වන විටත් කොටි ගුවන් බලකායේ ප්‍රධානිය වූ ශංකර් ,මුදුදු කොටි බලකායේ දෙවැනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් වැනි ප්‍රබලයන් ඔවුන්ගේ පාලන ප්‍රදේශ තුලම වනසන්නට මේ බලකාය ඒ වන විට සමත්ව තිබිණ.

කොටින් මේ වාඩුව ගන්නට මාන බලමින් සිටියේය. විටින් විට තැනින් තැන බුද්ධි අංශ සාමාජිකයන් කොටි උණ්ඩයට බිලි විය.2005 වර්ෂයේ මැයි 31 වෙනි දින මුතාලිෆ් රණවිරුවා පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්ව මබ්විම වෙනුවෙන් තම දිවි පුදන්නේද එහි එක් දිගුවක් ලෙසය. පසුව වාර්ථා වූ පරිදි මුතාලිෆ් ඝාතනයට ආරක්ෂක හමුදා අභ්‍යන්තරයෙන් සහයක් ලැබී තිබී ඇති අතර තවමත් විභාග වෙමින් පවතින නීති කටයුතු අනුව වාර්ථා වන්නේ යුධ හමුදා මේජර්වරයෙකු වූ ඞී.එම්. දසනායක නැමත්තා විසින් මුතාලිෆ් පිළිබඳ රහස්‍ය තොරතුරු ලක්ෂ 15ක මුදලකට එල්ටීටීඊය වෙත ලබා දී ඇති බවයි.
මේ විශිෂ්ඨ රණවිරුවා සිහි කරන මොහොතේ අපට නැවත සිතා බැලීමට සුදුසු කරුණු කිහිපයක් මතකයට නැගේ.

බුද්ධි නිළධරීන් මහ මග මරා දැමීමට වාතාවරණය ඇති වූයේ කෙසේද?එවකට 2002 දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත් වූ පළමු පැයේම කඩි මුඩියේ අත්සන් කල කුප්‍රකට සටන් විරාම ගිවිසුම හා ඉන් පසු සිදු වූ තත්වයන් පිළිබඳ උවමනාවටත් වඩා සාකච්චා කෙරී ඇත.නමුත් ඉන් අත්වූ අවාසිදායක වාතාවරණයන් අතර හමුදා බුද්ධි අංශ මුහුණ දුන් ඛේදවාචකය තවම මතකයේ ඇත්තේ කීයෙන් කී දෙනාටද?වේලුපිල්ලේ පිරභාහරන් නිතර පැවසූ පරිදි සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකක් පමණයි යන කියමන කොතෙක් නම් සාධාරණද. කුප්‍රකට උඩුගම්පොළ හෙළිදරව්වත් සමගම මිලේනිසම් සිටි නිවස්නේ පවත්වාගෙන ගිය බුද්ධි අංශ ඒකකය හෙළිදරව් විය.එවකට ආරක්ෂක අමාත්‍යවරයා වූ තිලක් මාරපනට අවසාන මොහොතේ එය වරදක් බව පිළිගැනීමට සිදු විය. (නමුත් අමතක නොකළ යුතු කාරණය නම් එදා එම වැටළීම සාධාර්ණය කරමින් ඉන් පසු සිදු වූ ආරක්ෂක බුද්ධි අංශ විනාස කිරීමට දායක වූවන් එම ස්ථාවරයේම තවමත් හිඳිමින් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම්ද හොබවයි.මේ (ප)රාජිත ඇමතිවරුන් අදද බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම අත් හැර දමා නොමැත.) බුද්ධි අංශ හෙළිදරව් වීමත් සමග එකින් එකා තැනින් තැන කොටි පිස්තෝල කරුවන්ට බිලි වූ ඒ කණගාටුදායක යුගය බොහෝ දෙනාට අද අමතකව ගොස් ඇත. අද බදාම අනන්නට හමුදා සෙබලුන් යොදවා ඇතැයි කිඹුල් කඳුළු හෙලන බොහෝ දෙනා එදා  ඒ ගලා ගිය වීර  ලේ පිළිබඳ මුනිවත රකිති. අද ඒ සියලු පාපයන් ප්‍රහීන කළවුන් සේ පෙනී සිටින මහත්වරුන් පිළිබඳ නිවරදි ලෙස සවිඥ්ඥානිකවීම ඒ පාපයන් නිසා රටට අහිමි වූ මුතාලිෆ් වැනි වීරයන් වෙනුවෙන් ඉටු කල හැකි හොඳම යුතුකමයි.

මේජර් මුතාලිෆ් මුසල්ලානුවෙකි.ඔහු ඝාතනයට එල්ටීටීඊය සමග කටයුතු කලා යැයි නීතිය හමුවේ චෝදනා නැගෙන හමුදා මේජර්වරයෙකු වූ ඞී.එම්.දසනායක සිංහලයෙකි. ඒ අදය.එදා 1815 පාවදීමේදී මුලින්ම කියවෙන්නේද මරක්කල නාමයකි.උතුවන් කන්දේ සූර සරදියෙල් සුද්දාට පහර දෙන විට ඔහු පාවා දුන්නේ මම්මලේගේ මස්සිනා වූ කාදර් නම් මුසල්මානුවා බවද අපට මතකය.ද්‍රෝහී භාවය ජාතිය මත නිර්ණය කිරීමේ යම්කිසි වරදක් ඇති බව නොවේද එයින් අපට ගත හැකි පාඩම? සරල ඉරි ගසා පොදු කුලකවලට දමා මිනිසුන් බෙදා දැමීමේ නොසලකා හැරිය නොහැකි දෝෂයක් ඇති බවද එම උපන් ගෙයි දෝෂය බහුතර  සංස්කෘතීය තුලට අවශෝෂණය වීමට අන් සංස්කෘතීන් වල සිටින්නන්ට බාධකයක් බවද අප දැන්වත් වටහා ගත යුතුය.සිංහල බහුතර සංස්කෘතිය තුලට ඔවුන් අවශෝෂණය කරගත හැක්කේ ඒ බාධකය බිඳ දැමීමෙන් පමණි.පොදු කුලකවලට දමා බැහැර කිරීම මගින් එම අවශෝෂණයට ඉඩ ඇහිරීමෙන් සිදුවන හානිය අති මහත්ය.

මුතාලිෆ්ලා අපට කියාදෙන පාඩම නම් බහුතරයගේ සංස්කෘතිය තුලද සුළුතරයේ පුරුක්වලට පවා වීරයන් විය හැකි මගක් ඇති බවය.ඒ බහුතරයේ සංස්කෘතියට පිටස්තරයන් වෙමින් අසමානකම් වර්ධනය කරගැනීමෙන් නොව ඒ සංස්කෘතියේ කොටස් කාරයන් වෙමිනි. දෙමළ ජාතිවාදී කොටි ත්‍රස්තයන් සිංහල සමාජය තුල අගු පිළෙනුත් කුණු මුල්ලට අතු ගෑවෙද්දී දෙමළ ජාතිකයෙකු වූ මුරලිදරන් සිංහල සමාජය තුල වීරයකු වන්නේද එලෙසමය. ආගමික - වෙළඳ බලහත්කාරය බහුතරය මත වදෙන් පොරෙන් පටවන්නට තනන අන්තවාදය ව්‍යාප්තවාදය හිසේ තබාගත්තවුන් මුතාලිෆ් ලාගෙන් අද දවසේ ඉගෙන ගත යුත්තේ එයයි. අද ඔහු ගැන තබන මේ කෙටි සටහනද සමහරකගේ ලේ කෝප කරවන කරුණක් වන්නට පුළුවන. Instant දේශප්‍රේමීන් ද වටහා ගත යුතු කරුණක් ඇත.එනම් අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇති අවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගත හැක්කක් නොමැති බවය. එමගින් සිදුවන්නේ අන්තවාදය ,වෙන්වීමේ පරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය.දෙමළ ජාතිවාදය පැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙන ඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්‍රස්තවාදියා යනු එකෙක් නොව දෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයි අයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්‍රභාකරන් පැරදවීමට හැකිවිය. එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතු කරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකි විද්ග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි. මුතාල්ෆ්ලා වෙනුවෙන් ඉටු කල හැකි හොඳම යුතුකමද එයයි.

අද අපි බිය සැක නැතිව පාරේ ඇවිද යන්නේ මුතාලිෆ් වැනි රණ විරුවන් දස දහස් ගණනක් දිවි අහිමි වන තරමටම කළ කැප කිරීම නිසාය. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයට අර්ථයක් ඇත. නමුත් දැන් ඇමරිකාව හා ඉන්දියාව එකතු ව අන්තර්ජාතික අධිකරණ හා ආර්ථික සම්බාදක නමැති බිල්ලා පෙන්වා රජය දණ ගස්සවා උතුරු පලාත් සභාව දෙමළ බෙදුම්වාදීන් අතට පත් කොට මුතාලිෆ්ලාගේ මරණයේ අරුත නිරර්ථ කිරීමේ වෑයමෙහි උච්ඡතම අවස්ථාවට පැමිණ ඇත. ඒ තුච්ඡ ව්යාමය සපල වන තුරු බලා සිටිනා ඇතැම් සිංහල කැබිනට් ඇමතිවරු ද , මුස්ලිම් කොංග්‍රසය ද, එක්සත් ජාතික පක්ෂයද එන්ජීඕ බත් බැලයන් හා  තවත් ද්‍රෝහී බලවේග දෙමළ සන්ධානය සමඟ එක මතයකට අත්වල් බැද සිටින යුගයකි මෙය. බෙදුම්වාදය ශක්තිමත්වන ව්‍යවස්ථා මර උගුල, එනම් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට හිමි විසකුරු ඉඩම් හා පොලිස් බලතල , හා පළාත්බදව නීති සම්පාදනය කිරීමේ ව්යවස්ථාමය බලතල එලෙසම සම්බන්ධන්ලා අතට පත් කොට සමස්ථ යුධ විරුවන් දිවි දුන් උත්තම අරමුණ අමු අමුවේ කෙලෙසා දමන්නට මාන බලන අමණයින් හා මුතාලිෆ් පාවා දුන් දසනායකලා අතර වෙනසක් නොමැති බව අප හොඳින් වටහා ගත යුතුය.

- කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය

(චායාරූපය උපුටාගැනීම www.sinhala.net වෙබ් අඩවිය)



5/14/2013

තෙමසක් ඇතුළත විසඳෙන රටේ ඉරණම

කතෘ:යුතුකම     5/14/2013   5 comments
ප්‍රභාකරන්ගේ බෝම්බ පුපුරණ හඬ අද නැත. වැඩි සද්දයක් බද්දයක් නැතිව සිදුවන දෑ හඳුනාගැනුම පහසු නැත. අද සිදුවන්නේ දිය යටින් ගින්දර ගෙන යාමයි. එනිසා බොහෝ දෙනා ඉතා සරළ අර්ථකතන වලින් සිද්දීන් විස්තර කරමින් සිටිත්. නැතිනම් වෙනත් එදිනෙදා සිද්දීන්ට වැඩි අවදානයක් දෙමින් සිටිත්. නමුත් අද අප ජාතිය විශාල අභියෝගයකට මුහුණ පා ඇති බව අප වටහා නොගතහොත් ජාතියක් ලෙස අප ඉතා දුර්ධාන්ත ඉරණමකට මුහුණ පානු ඇති බව අප වැටහීමයි.

ප්‍රභාකරන් යනු බටහිටරයන් විසින් බිහි කර ඉන්දියාව විසින් කිරි පොවා උස් මහත් කළ දරුවෙකු විය. එම දරුවා විසින්ම ඔහුගේ බොහෝ බෙදුම්වාදී සහෝදරයන් විනාශ කර සම්බන්ධන්ලාද මරණ බියෙන් තැති ගන්වා තමන්ට යටත් කොට ගෙන බෙදුම්වාදයේ එකම දරුවා ලෙස පෙනී සිටි‍‍යේය. නමුත් බටහිරයන්ටත් ඉන්දියාවටත් එකා යකා විය. ප්‍රභාකරන්  වුනටද අවනත නොවීය. සැම විටම සුද්දන්ගේ සාම සාකච්ඡා ලණූව සිංහලයා ගිලින්නට ඔන්න මෙන්න තිබියදී, මේ මුරණ්ඩු දරුවා කොහේ හෝ බෝම්බයක් තබා තම දෙමාපියන්ගේ මහන්සිය ගඟට කැපූ ඉනි බවට පත් කළේය. මේ රටේ වාසනාවකට සාමය හරහා බිහිවන ඊළමකට මේ මුරණ්ඩු දරුවා බියවිය. ඒ සුද්දන් විසින් තමන් පාවිච්චි කරන්නේ සිංහලයන්ට සාම සාකච්ඡා ලණුව ගිල්ලවීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස පමණක් බව ප්‍රභාකරන් නිවැරදිව අවබෝධ කර ගෙන සිට් නිසාය. සාමය හරහා බිහිවන ඊළමේ තමා කෙරුමෙකු නොවන බව ඔහු වටහාගෙන සිටියේය.. තමා නායකයා නොවන ඊළමකින් ප්‍රභාකරන්ට පලක් නැත. ප්‍රභාකරන්ගේ මේ අකීකරු කම නිසා ලංකා රජය මගින් පහර දී හෝ ඔහුව මදක් දුර්වලකොට ප්‍රභාකරන්වත් සාම මේසයට ගෙන ඒම බටහිර අභිලාෂය විය. ගුටි කන විටදී විරාමයකට කැමති ප්‍ර්භාකරම් දකුණේ බෝම්බ තබා යුද්ධ‍යේ නිශ්පල බව සිංහලයන්ට ඒත්තු ගන්වා රජය සමඟ සාම මේසයට පැමිණියේය. ඒ සඳහා පසුබිම සකස් කරනු වස් බටහිරයන් විසින් ඔවුනගේ “විශේෂඥ” යුද දැනුම උපයෝගී කර ගෙන ගරිල්ලා නායකයකු වන ප්‍රභාකරන් කිසි දිනක යුද්ධයෙන් පැරදවිය නොහැකි බව අපට නිරතුරුව උගැන්‍වූහ. මෙරට සිටින රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා වැනි වත්මන් රජයේ සිටින ෆෙඩරල් වාදීන්ද එන්ජීඕ ඩොලර් නඩයද බටහිරයන් අනුකරණය කරමින් “ප්‍රභාකරන්  පරද්දන්න බෑ” යයි මොරදුන්හ. නමුත් මේ සියලු දුර්මත කීතු කීතු කරමින් ප්‍රභාකරන්  නන්දිකඩාල් කලපුවෙහි බාවන්නට අපේ වීරෝධාර රණවිරුවන් සමත් විය.

මේ පුන්චි රට තම දරුවකු විනාශ කිරීම ගැන ඇමරිකාව බොහෝ සේ කිපුනි. බටහිර බස් නොඅසා එම සටනට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ බටහිරයනට ඒකාධිපතියකු විය. අනෙක් අතට සිංහලයන් බියවැද්දවීම සඳහා තමන්ට සිටි සාම උත්ප්රේකයද දැන් නැත. ප්‍රභාකරන්  මා යටතේ තබා ගෙන සිටි අනෙක් බෙදුම්වාදී පාර්ලිමේන්තු දරුවන් සිටියද ඔවුනට සිංහලයන් බිය වැද්දවීමට හැකියාවක් නැත. එනිසා මේ බිය වැද්දවීමේ කාර්ය මෙතෙක් කල් සිටි තිරය පිටුපසින් ඉදිරියට පැමිණ තමන් විසින්ම තමන්ගේ සියලු සලු පිළි උනා දමා නිරුවතින්ම තමන්ගේම ‍යූ එන් ඕ වේදිකාව මතට නැග කිරීමට ඇමරිකාව තීරණය කළේය. තමන්ගේ නරුම උවමනා වෙනුවෙන් නිරුවත් වීම ඇමරිකානු අධිරාජ්යයාට මහ කජ්ජක් නොවේ. අධිරාජ්යයා හෙලුවෙන් සිටියද කවුරුත් “හූ” කියන්න යන්නේ නැතිවා මෙන්ම එම හෙලු ඇඳුමේ රූ වනන කවියන්ගෙන්ද අඩුවක් නැත. ජයලලිතාට මුවා වී ඉන්දියාවද සරම ගලවා විසි කළේය.
නිරුවත්වීම පාඩුවක් වුවද ප්‍රභාකරන්  විසින් කළ බියවැද්දීම තමන්ම බාරගත් විට ප්‍රභාකරන්ගේ මුරණ්ඩු ප්‍රශ්නය ඇමරිකාවට නැත. පාර්ලිමේන්තුවේ ඉන්නා බෙදුම්වාදී දරුවන් ඉතා කීකරු මෙන්ම තනිකරම බටහිර හා ඉන්දියාව මතම යැපෙයි. එනිසා පෙර මෙන් කල් යන්නේ නැත. කඩාකප්පල් කිරීමට තමන්ගේ තැන පිළිබද බියකින් පසුවන ප්‍රබාකරම් අද නැත. කරන දෙයක් වහ වහා කළ හැකිය. සැප්තැම්බර‍යේ උතුරු පළාත් සභාව යළි පදිංචි කිරීම් අවසන් නොකරම බෙදුම්වාදීන් අතට පත්කිරීමට එකඟ වීම මෙහි ප්‍රතිපලයකි.

යුද්ධයෙන් පසු මෙරට ජනතාව මේ රජයට තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා දුන්නේ මේ රටට හිතකර හා අවැසි ව්‍යවස්ථාවක් සකසා ගනු පිණිසයි. එහි ඇති දුබලතා අකා මකා දමා ඒකීය රටකට නැවත තර්ජනයක් ඇති නොවන ලෙස රජිව් ගාන්ධි විසින් ජේ ආර්ට තරවටු කර බියවද්දා අපේ ව්යවස්ථාවට ඇතුල් කළ 13 ගලවා දැමීමටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයද එයට අනුකූලව මහජනයා ඉදිරි‍යේ හැසිරෙමින් ඡන්දය ඉල්ලා සිටි බව මහජනයාට අමතක වී නැති බව රට කරවන්නන් මතක තබා ගත යුතුය. 13 වන ව්යවස්ථා සංශෝධනය නමැති නියමිත කාලය පැමිණි විට පිපිරවීම සඳහා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප  ව්‍යවස්ථාව  තුළ අටවා තැබූ කාල බෝම්බය පිපිරීමට කාලය ලංව ඇත. එය නිෂ්ක්‍රිය කර රට සුරක්ෂිත කිරීම සඳහා දෙවන වර ජනතා වරම ලද රජය ලව්වා එම ජනතා අභිලාශයන් පසෙකින් තබා කටයුතු කරවා ගැනුමට ඇමරිකාව සමත් වී තිබේ. අවාසනාවකට මෙන් මේවා මතක් කර දීමට ජනතා දේශපාලන‍යේ නියැලෙන විපක්ෂයක් වෙනුවට අපට ඇත්තේ බටහිර තානාපති කාර්යාල සමඟ දේශපාලනය කරන විපක්ෂයකුයි.

ඇමරිකාවට හා බටහිරයන්ට යම් රටක නායකයකු ඒකාධිපතියකු වන්නේ ඔවුන්ගේ සිතැගි පරිදි එම රටේ නායකයා කටයුතු නොකරන්නේ නම්ය. මෙරට පොදු ජනයාගේ අභිලාශයන්ට අනුව යමින් කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ ඔවුනට ඒකාධිපතියෙකි. ඒ ත්‍රස්තවාදය නමැති තමන්ගේ දරුවා නැති කළ බැවිනි. පාර්ලිමේන්තුවටත් හොරෙන් ප්‍රභාකරන් සමඟ ගිවිසුම් ගැසූ රනිල් මහතා කිසිදිනක ඒකාධිපතියකු ලෙස පෙනෙන්නේ නැත. ඒ මහතා තමන් සිතැගි ඉටු කරන්නේ නම් ඒකාධිපතියකු වනු කෙලෙස?

දැන් උතුරු පළාත් සභාව සැප්තැම්බරයේ සිට බෙදුම් වාදීන් අතට පත් වනු ඇත. මේවා කඩාකප්පල් කර දැමීමට ප්‍රබාකරම් අද නැත. බටහිර බලපෑමට යටව මේ අන්තරාය සිදු වන්නට ඉඩහැර බලා සිටියහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරට පොදු ජනතා වරම කුණු කූඩයට විසි කළ ඒකාධිපතියකු  වනු ඇත. එසේ සිදු වුවහොත් ප්‍රබාකරම්ගේ අවි ත්‍රස්තවාදය පැරද වූ අපි සම්බන්ධන්ලාගේ දේශපාලන ත්‍රස්තවාදයට පැරදී විනාශ වනු ඇත. මහින්ද රාජපක්ෂ යනු රණ විරුවන්ගේ ජීවිත පරිත්යාගයන් නිෂ්පල කළ ද්රෝහී නායකයකු ලෙස ඉතිහාසයට එක්වීම වැළැක්වීම උගහටය. විරුවන්ව සිටි අය ඇමරිකානු හස්තයට හසුව දැනුවත්ව හෝ නොදැනුවත්වම රටට ද්‍රෝහීන් වූ අවස්ථා ඉතා මෑතකදීත් අපි අත් දැක ඇත්තෙමු.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බහුතර ජන මතය සමඟ සිට ගනිමින් අධිරාජ්යවාදීන්ට නොබියව මේ අවස්ථාවේ ඉඩම්, පොලිස් බලතල, පලාත් සභා දෙකකට එක්වීමට ඇති හැකියාව හා පලාත් සභාවල සමගාමී ලයිස්තුවට අදාළ විෂයයක් සම්බන්ධ වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සියලු පළාත්සභාවල අනුමැතිය අවශ්‍යය යන ශිරාණි බණ්ඩාරනායක මැතිණිය විසින් මෑතකදී ලබා දුන් තීන්දුවත් අහෝසි කළ යුතුය. එසේ කළ මහින්ද රාජපක්ෂයන් යනු ලංකාවේ එක් යුගයක වූ එක් ප්‍රධාන ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම පාහේ විසඳූ නිර්භීත දූරදර්ශී නායකයකු, යුග පුරුෂයකු වනු ඇත.
තව තෙමසක් ගත වන්නට මත්තෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට අධිරාජ්යවාදීන්ට නොබියව රටත් ජාතියත් බේරාගත් යුග පුරුෂයකු හෝ අධිරාජ්යවාදීන්ට බියව රණ විරුවන්ගේ ජීවිත පාවා දුන් ඒකාධිපති ද්‍රෝහියකු හෝ විය හැක. දැන් මේ රටේ සම්පූර්ණ අනාගතය රැදී පවතින්නේ මේ මතය. මේ ගතවන නිමේෂය එතරම්ම තීරණාත්මකය.
එතුමා ද්‍රෝහියකු බවට පත් කර ගැනුමට කැස කවමින් සිටින්නේ විපක්ෂය පමණක් නොව, ආණ්ඩුව තුළම ඒ සඳහා කේවට්ටයන් නම් ඕනෑ තරම් ඇත. අනෙක් වැඩි හරිය එහෙයියන්ය. අඩුවෙන්ම ඇත්තේ එතුමා සැබෑ ජනතාවාදී නායකයකු කරවීමට තැත් දරන්නන්ය.

ලංකාව දැන් පසු වන්නෙ සංක්‍රාන්ති  සමයකයි. සංක්‍රාන්ති සමයක් යනු යුග දෙකක් අතර පවතින තීරණාමත්මක කාල පරිච්ඡේදයකි. එක යුගයක් මිය ගොසින් නව යුගයක් ඉපැදීමට පොපියමින් සිටියි. මෙම සංක්‍රාන්ති   සමය තුළ මහින්ද රාජපක්ෂයන්ගෙ ගමන් මග දෙස ඉතිහාසය නමැති විනිශ්චය කරුවා දැඩි උනන්දුවෙන් බලා සිටියි. එතුමා රටට ද්‍රෝහී නොවී, යුග පුරුෂයකු ලෙස කටයුතු කර රටත් ජාතියත් බේරාගනු දැකුම අපි කාගේත් අභිලාෂයයි. ඒ සඳහා මෙම තීරණාත්මකම නිමේෂයේ එතුමාට බල කිරීමට පෙරට පැමිණීම රණවිරුවන් දිවි පිදු අරමුණ පාවා දිය නොහැකි සියලු ජාතිමාමක මිනිසුන්ගේ අනිවාර්ය යුතුකමයි. 

-ලසන්ත වික්‍රමසිංහ- 
යුතුකම සංවාද කවය

5/05/2013

Come බබා

කතෘ:යුතුකම     5/05/2013   7 comments

ජයසේකර නැවතත් තම කාමරය තුළට වැදුනි. ඔහු මේසය අසළ වූ ජනේලය ඇර දමා මදක් වේලා පිටත බලා සිටියේය. ඔහුගේ දෑසට යොමුවූයේ පුරන්ව ගිය කෙතකි. වසර දහයකට පමණ පෙර මෙය සරුසාර කෙතක්ව පැවැති අයුරු ජයසේකරගේ මනසේ මැවී පෙනෙන්නට විය. ඒ සමඟම තමාගේ දෑස ඉදිරියේ නොපැහැදිලි දුමාරයක් පැන නැඟී එනවා සේ ඔහුට දැනිණ. තම සිත තුළ කැකෑරෙන තමාටද පැහැදිලි නැති අදහස් එකතැන් කරනු වස් ඔහු කොළයක් හා පෑනක් අතට ගෙන මේස පුටුවේ හිඳ ගත්තේය. ඔහු අතින් පහත ලියැවිල්ල ලියැවුණි. 

2011/04/29 නිවසේදී,
මේවා කියන්නට ගොස් මගේ ලේලියගේ හිත නරක් කර ලොකු පුතාගේ හිතත් රිදවීමට මට නොවුවමනා බැවින් මෙසේ ලියා තිබන්නට සිතුවෙමි.
මෙවර සිංහල අවුරුද්දට ලොකු පුතාලා ගමට පැමිණීම මටත්, විමලාටත් මහත් අස්වැසිල්ලක් විය. ඔවුන් කාර්යබහුල වීම නිසා ගියවර අවුරුද්දට ගෙදර ආවේ නැතත් මෙවර නම් අපගේ සිඟිති මිණිපිරියද කැටුව දින පහක්ම නතර වී යාමට ඔවුනට හැකිවිය. එම දවස් කිහිපය පුරාම මේ ගෙදර සිඟිති දියණියගේ සුරතල් දඟකාරකම්වලින් පිරී පැවතිණි. පාළුවෙන් නිදිගෙන සිටි මේ නිවස, එහි බඩුබාහිරාදිය සේම අවට ගහකොළ පවා සිඟිති දියණියගේ සුරතල් බැලීමට නැවත පිබිදුණාක් මෙන් විය. පාළුවෙන් කාලය ගතකරන විමලාටත් ඒ දින කිහිපය ලොකු සතුටක් ගෙනදුන් බවත් ඈ තුළ දුටු උද්යෝගයෙන් මනාව දිස් විය. ඒ බව ඇගේ දෑස් තුළද සනිටුහන්ව තිබෙනු මම දුටිමි. ඒ හැඟුම්බර දෑස් මා තරුණ කාලයේ ඈ වෙත ආකර්ෂණය කළ බව තවම මම ඇය සමඟ කියා නැත්තෙමි. ඒ නෙතු සඟල මාගේ සුරතල් මිණිපිරියටද උරුම වී ඇතැයි මසිත කියයි.

සුරතල් මිණිපිරිය දකින මා හට නිතැතින්ම සිහිවන්නේ අපගේ දරු තිදෙනාගේ ළමා කාලයයි. පාසල් ගොස් ගෙදර එන තිදෙනා වත්ත පුරා දුව පැන යමින් එකට සෙල්ලම් කළෝය. හවස් වීගෙන එද්දී මුහුණ කට සෝදාගෙන ඇඳුමක් ඇඟලා ගන්නා දරුවෝ ආච්චි සහ සීයා ළඟ දැවටෙමින් කතන්දර අසා ගත්තෝය. ආච්චී සහ සීයාගේ සිනහව සමඟ මුසුවූ දරුවන්ගේ සිනහව අවට වාතාශ‍්‍රය ප‍්‍රබෝධමත් කළේය. දැන් මේ නිවස තුළ පවතින මළානික වාතය මගේ නාස්පුඩු තුළින් ඇතුළු වී පපුව තුළදී එම ආදරණීය ප‍්‍රබෝධයේ වියෝව සිහිකර කඳුළකින් පපුව බර කරනවා වැනි හැගුමක් ඇති කරයි. ඒ දිනවල දරු සුරතල් බැලීමට මෙන් නොමඳව ගේ තුළට එබී බැලූ හිරුඑළිය දැන් මේ ගෙය තුළට එබෙන්නේ  ඕනෑවට එපාවට, නෑවිත් බැරි නිසා මෙනි. මේ නිවස අරක්ගෙන සිටින අඳුරු ශෝකී ස්වභාවය මගේ මනසේම පිළිබිඹුවක් වැනිය.

අපගේ දරුවන්ට හොඳින් උගන්වා සමාජය තුළ හොඳ තත්වයක් හිමි පුද්ගලයන් කිරීම අපගේ බලාපොරොත්තුව විය. ඒ සඳහා අපි බොහෝ වෙහෙසුනෙමු. එම වෙහෙස අපතේ නොයවා වැඩිමළුන් දෙදෙනාම හොඳින්  ඉගෙන ගත්තෝය. ඉගෙනීමට එතරම් සමත්කමක් නොදැක්වූ පොඩි පුතා  විශ්වවිද්‍යාලයට තේරී පත්විය නොහැකි වූ පසු ඔහුගේ අනාගතය සොයා  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විය. දැන් ඔහු බිරිඳ හා දරුවා සමඟ එහි පදිංචි වී සිටිති. වෛද්‍යවරියක වන ලොකු දුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනයේ නියැළී සිටියි. ඔවුනගේ මුහුණු අපට දැකගැනීමට ලැබෙනනේ වසර කිහිපයකට වතාවක් පමණි. ලංකාවේ සිටින්නේ ලොකු පුතාගේ පවුලේ අය පමණි. ඔවුන්ව වුවද අපට දකින්නට ලැබෙන්නේ මාස කිහිපයකට වතාවක්  පමණි. කොට්ටාව පන්නිපිටියේ පදිංචිව සිටින ඔහු මෘදුකාංග ඉන්ජිනේරුවෙකි. කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කරන ඔහුගේ බිරිඳ කියන්න වරදක් නැති ගුණ යහපත් බිරිඳක් හා මවකි. දරුවන් අපගෙන් ඈත්ව විසුවද ඔවුනගේ දියුණුව සිහිකර අපට සතුටු විය හැකිය. විමලා ඇතැම් නෑයකු සමඟ අපගේ දරුවන් ගැන මදක් ආඩම්බරයෙන් කතා කරනවා මා දැක ඇත. 

කුඩා කල අපගේ දරුවන් හැදුණේ වැඩුණේ නෑදෑ පිරිවරක් මැද යයි කිව හැක. අපගේ ගම වන බදුරලියේ මෙන්ම අහල පහල ඇති හැඩිගල්ල, කලවාන, ලත්පඳුර වැනි පෙදෙස්වලද අපගේ නෑයෝ වෙසෙති. ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලාගේ නිබඳ ඇසුරට හා ආදරයට ඔවුන් පාත‍්‍ර විය. නැවුම් හැඟුමන් හා මුසුව ඒ සාමූහිකත්වය ප‍්‍රතිමූර්තිමත් කෙරුණු සිංහල අවුරුදු සමය අපගේ දරුවන්ට සුවසේ විඳ ගැනීමට ලැබුණු දිව්‍යමය කාලය විය.
මෙවර ලොකු පුතාලා සිංහල අවුරුද්දට ගෙදර ආ වේලේ මා හට සිඟිති දියණිය තුරුළු කරගෙන කතාන්දර කියාදීමට ඇත්නම් කියා සිතුනේ වරක් දෙවරක් නොවේ. නමුත් කුමන හෝ අහේතුවකට එය එසේ සිදු නොවිණි. සුරතල් දියණියගේ ”මවු බස” සිංහල නොවීය. ඇය උසුරුවන්නේ ඉංගී‍්‍රසි බසයි. දරුවාගේ මවත් පියාත් ඈට කතා කරන්නේ ඉංගී‍්‍රසියෙනි. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංගී‍්‍රසි බසින් ඉගෙනුම ලබයි. සිංහල පත්තරයක වැඩ කළ මට ”මඟ වැරදුණු සුද්දෙකුට” පාර කියාදිය හැකි නමුදු ඉංගී‍්‍රසියෙන් ආදරය කිරීමට හෝ දරු මුණුපුරන් වෙත ඇඟෑලූම් පෑමට මම අසමත්මි.

”අම්මී, තාත්තී, ආච්චා, ෂීයා” ඈ භාවිතා කළ සිංහල වචන කිහිපයක් ලෙස මට මතක ඇත. අවුරුද්දට මෙහි එක්රැුස් වුණ නෑයින්ට ඈ ඉතා සුරතල් දසුනක් වුවත් කිසියම් ආකාරයකට ”පිටස්තර” දරුවකුගේ ස්වරූපයක් ඈ කෙරෙන් විද්‍යාමාන නොවූයේ යැයි කිව නොහැකිය. වෙනත් දරුවකු සමඟ මෙන් ඈ හා සුරතල් බස් තෙපලීමට ඔවුහු මැලි වූහ. දරුවාට ලැබුණ පිටස්තරභාවය ඇගේ මවට කිසියම් අහිංසක ආඩම්බරයක් ගෙන දෙනවාදැයි මට සිතේ. ඇතැම් විටක ලොකු පුතා නම් මදක් අපහසුතාවයකට පත්ව සිටිනවා යැයි මට හැඟුණි. 
මා කල්පනා කරන්නට වූයේ කාලයාගේ ඇවෑමත් සමඟ අප වසන සමාජයට සිදුවී ඇති වෙනස පිළිබඳවය. මගේ මෙන්ම විමලාගේ දෙමාපියන්ද ආච්චිලා, සීයලා ලෙස මිණිපිරි, මුණුපුරන් හා කෙතරම් සතුටු වූවෝද? මම දැන් සීයා කෙනෙකු වෙමි. මගේ පියා සීයා කෙනෙකු ලෙස බෙහෙවින් පින්කර ඇත. මගේ පියාට මෙන් නොව, මට මගේ මුණුපුරන් දකින්නට ලැබෙන්නේ ඉඳහිටය. දැක්කත් ඔවුන් හා හරි හරියට කතාබහ කරගැනීමට මට බැරිය. අප ගැනටත් වඩා මට කනගාටුවක් දැනෙන්නේ අපගේ මුණුපුරන් ගැනය. ඔවුනට ලැබෙන සෙනෙහසේ කවයේ අරය ඉතා පටු නොවේද?

පෙර දිනවල මේ ගෙදර පරම්පරා තුනක නැතිනම් හතරක පිරිස් එකට දුක සැප බෙදාගත්හ. අපගේ දරුවන් තම තමන්ගේ අනාගතනය සොයා දුරු රටවලට හා නගරයට සංක‍්‍රමණය වූහ. මහළු අප දෙදෙනා පමණක් මෙහි ඉතිරි විය.
එක් සති අන්තයකට පසු සඳුදා දින පෙහොය නිවාඩු දිනයක් යෙදී තිබුණ බැවින් ලොකු පුතාලා ගෙදර එනවාදැයි දැනගනු රිසියෙන් මම ඔහුට දුරකතනයෙන් කතා කළෙමි. එවිට ඔහු පැවැසුවේ එම සතිඅන්තය හෝටලයක ගත කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවකි. ඔවුහු එබඳු තීරණයක් ගත්තේ තම ණය කාඞ්පත සඳහා ලැබෙන 50% වට්ටම නිසා බවත් කීය. එය මඟහැරීම අනුවණකමකැයි ඔහු පැවැසුවේ මා සනසාලනු පිණිස විය යුතුය. හෝටලයකට ගොසින් මුදල් ද වියපැහැදම් කර ඔවුන් සොයනා ප‍්‍රීතිය කුමක්දැයි කිසි දිනෙක එවැනි හෝටලයක රැුයක් ගත කර නැති මට නොවැටහේ. ඔවුන්ට සති අන්තනය ගතකරන අයුරු යෝජනා කෙරෙන්නේ බැංකුවක් මගිනි. ගමට නොගොස් බැංකුව කැමැති හෝටලයක ගත කරනාවට ඔවුනට වට්ටමක්ද හිමිවෙයි. අපත්, අප දරුවනුත් සතුට යනුවෙන් අදහස් කෙරෙන්නේ එකම දෙයක් නම් විය නොහැක.

අනෙක් අතට ලොකු පුතා ගෙදර නෑවිත් හෝටලයකට යන්න තීරණය කරන්න ඇත්තේ තම බිරිඳගේත් දරුවගේත් සතුට ගැන සිතා විය හැකිය. අපගේ දෙමාපියන් හා අපගේ දරුවන් අතර වූ තරම් ඇඟෑලියාවක් අප හා අපගේ දරුවන්ගේ දරුවන් අතර නැත. අපි භාෂා දෙකක් කතා කරන්නෙමු. අපගේ මිණිපිරිය හට මාත් විමලාත් ඈ හා කතා නොකරන ගොළුවන් දෙදෙනෙකු ලෙස දැනෙනවා විය හැකිය. ඒ පුංචි දරුවාට මෙහි පැමිණියද තම ආච්චි හා සීයා සමඟ දොඩමළු විය නොහැකිය. එබැවින් ඒ පුංචි දරුවාටද හෝටලය වඩාත් පි‍්‍රයජනක ස්ථානයක් වන්නට ඇත. 
ලෝකය පිළිගත් අධ්‍යාපනඥයින්ගේ මතය දරුවන්ට මවුභාෂාවෙන් ඉගැන්විය යුතු බව වුවද, අපගේ දරුවන්  ඔවුන්ගේ දරුවන්ට ඉංගී‍්‍රසිියෙන් උගන්වන්නට තීරණය කළේ  කිනම් හේතුවකටදැයි මට නොතේරේ. ඉංගී‍්‍රසිි මව්බස නොවන යුරෝපීය රටවල මෙන්ම ධනවාදී ආර්ථික මොඩලයක් ඔස්සේ ඉදිරියට පැමිණි චීනයට මෙන්ම ජපානයටද මවුබස අත්හල දරුවෙකු වුවමනා නොවු විටකදි, අපේ අයට ඇති වුවමනාව තේරුම් ගනුයේ කෙසේද? මෙමගින් දරුවාගේ වචන හා අදහස් අතර බැම්මක් ඇති වේ. තම පරිසරයෙන් මෙන්ම නෑදෑයන්ගෙන්ද දරුවා උගෙනියි. පාසලෙන් ලබන අධ්‍යාපනය ඊට රුකුලක් විය යුතුය. මෙම භාෂා පරස්පරය දරුවාගේ සිතිවිලි වර්ධනයට බාධාවක් වෙමින්, නිමාණශීලිත්වය මොට කරයි. අද අපට අවශ්‍යය ඉංගී‍්‍රසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා නිර්මාණශීලී දරුවෙකු මිස ඉංගී‍්‍රසියම කබල් ගගා යන හණමිටිකාර මිනිසෙකු බිහි කිරීම නොවන බව තේරුම් ගැනීමට අප දරුවන් අසමත් වී ඇත්තේ මන්ද? මව්බස පසෙකලා වෙනත් භාෂාවකින් ඉගැන්වීම තම පියා සිටියදී අල්ලපු ගෙදර මිනිහාට පියා කියන්නට උගැන්වීම වැනි දෙයකි.

මෙවන් අනුවණ තීරණයකට ඵ්මට අපගේ දරුවන්ට කිසියම් සංකීර්ණ මනෝභාවයක් බලපාන්නට ඇතැයි මට සිතේ. අපේ දරුවෝ ගම්වල ඉපැද නිදහස් අධ්‍යාපනයෙන් සිංහලෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලය දක්වා ඒගොල්ලන්ට නැඟගන්න තිබිච්චි ඉණිමඟ දිගේ සාර්ථකව ගොඩ වෙච්ච උදවියයි. මේ පරපුර මුහුණදෙන නොයෙකුත් අතෝරයන් වගේම, ඔවුන් සංස්කෘතියෙන් උරුම කරගත් සභ්‍යත්ව විඥාණයක් ගැනත් ගුණදාස අමරසේකර මහතා තමන්ගේ නවකතාවල බොහෝම අපූරුවට පෙන්වා දී තිබේ. මේ ඉණිමගේ නගින්න නොහැකිව ඉච්ඡුාභංගත්වයට පත්විච්ච ඈයෝ ”විප්ලවයේ” නාමයෙන් දෙවරක්ම සියදිවි නසාගත්හ. අපිත් දෙමාපියන් විදියට කළේ මේගොල්ලන්ට මේ ඉණිමග දිගේ නගින්න පුළුවන් හැම තල්ලූවක්ම දෙන එකයි. අමරසේකර මහතා කියන විදියට එහි අවසාන ප‍්‍රතිඵලය වුනේ තමා උපන් බිමත්, එහි වූ සහෝදර සහෝදරියනුත් අවසානයේ තම රට ජාතියත් අමතක කළ උපන් බිමෙන් විගලිත වූ අදේශපාලනික කොටසක් බිහිවීමයි.
දිනක් කොළඹ ලොකු පුතාගේ ගෙදර සිටිනවිට, පුතා ඔහුගේ නිවසට පැමිණි මිතුරන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදෙන විට මම ද එතැනට ගියෙමි. ඔවුන් සිහි කරමින් සිටියේ තමන්ගේ ළමා කාලයන් පිළිබදවය. එතැනදි මට වැටහුනේ අපේ පුතා තමා ඉගෙන ගත්තේ ගමේ පාසලේ බව කියන්නේ එය නොකියාම බැරි අවස්තාවක් පැමිණි විට පමණක් බවය. එය ඔහුට තරමක ලැජ්ජාවක් යැයි මට සිතින. නිතර දෙවේලේ ගෙදරදී අතින් බත් කන ඔහු එම පරපුරේ අනෙක් අය මෙන්ම වැදගත් උත්සව අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ අතින් බත් කෑමට ලැජ්ජා වේ. ඔවුහු එය අශ්ලීල කමකැයි සිතති. මම මෑතකදී නැරඹූ ”සුද්දෙක් ඔබ අමතයි” වේදිකා නාට්‍යය මගින් මේ මනෝ භාවයන් උපහාසාත්මකව මතු කර පෙන්වූයේය. සමහරවිට මේ උදවියගෙන් සමහරෙක් දෙනා හිතනවා වෙන්න පුළුවන් තම උරුමය පිළිබදව මොවුන් තුළ පවතින හීනමානයෙන් තමන්ගේ දරුවන් මුදවන්න  ඕනා කියා. ඒ නිසා ඔවුහූ සම්පූර්ණයෙන්ම තමන්ගේ උරුමය අත්හළ දරුවෙක් පතති.
විමලා ගැන මට ඇතිවන්නේ මහත් අනුකම්පාවකි. අපගේ දරුවන් මේ තත්වයට ගෙන ඒමට ඇය ඉමහත් පරිශ‍්‍රමයක් දැරුවාය. පුවත්පතක සේවය කළ මගේ ආදායම අප දරුවන්ගේ කරදඬු උස්මහත් කරවා උගන්වන්නට තරම් සෑහුනේ නැත. මා අසනීප වුණු වතාවක අපට මිල මුදල් අතින් දැඩි අසීරුතාවන්ට මුහුණදෙන්නට සිදුවිය. ඒ දිනවල පොඩි එකෙකු වුවද ලොකු පුතාට අපගේ අඟහිඟකම් ගැන හොඳින් වැටුහුණි. අම්මා කෑවද කියා නාහා ලොකු පුතා බත් කන්නේ නැතැයි මා බැලීම සඳහා ඉස්පිරිතාලයට ආ විටක විමලා පැවසුයේ ඇගේ නෙතඟට නැඟුණු කඳුළක් පිසදමමිනි. 

මේ ලියන මොහොතේදීත් මට ඇසෙන්නේ විමලාගේ මහන මැෂිමේ නාදයයි. මේ නිවස තුළ පවතින පාළු ගතිය ඇගේ මහන මැෂිමේ සුපුරුදු නාදය නිසා අඩු වෙනවාද නැතිනම් වැඩිවෙනවාදැයි සිතාගැනීමට අසීරුය. දරුවන්ගේ අනාගතය සරි කරලනු වස් කකුල් දෙක රිදුම් කන තුරු ඈ මැෂිම පෑගුවේ හිරුගේ රශ්මියත් සඳුගේ සිසිලත් අමතක වූ එකියක ලෙසිනි. හෙමින් සීරුවේ ඈ ගෙත්තම් කළේ අන් කිසිවක් නොව, අපගේ දරු තිදෙනාගේ අනාගතයයි. උසස් අධ්‍යාපනයක් නොලද ඇගේ ඒකායන පැතුම වූයේ දරු තිදෙනාට හොඳින් උගන්වා සමාජය තුළ ඉහළින් වැජඹීමට සලස්වාලීමයි. ජීවිතයේ කිසි දිනක ඈට ඉංගී‍්‍රසි වුවමනා වී අතැයි මම නොසිතමි. නමුත් දැන් ඇයට ආච්චි කෙනෙකු වීම සදහා ඉංගී‍්‍රසි වුවමනා වී තිබේ.

ගියවර අවුරුද්දට පුතාලා ගෙදර ආ දිනවල නිතර නිතර දුටු දසුනක් මා හට නැවත නැවත මැවී පෙනෙන්නේ මා දෙනෙත් ඉදිරියේ පැන නගින ශෝකානුකූල දුමාරයක් අතරින් මෙනි. අපගේ සුරතල් මිණිපිරිය දෙස විමලා ඉමහත් සෙනෙහසින් බලා හිඳියි. ඇගේ දෙනෙතින් ඒ සෙනෙහස වෑහේ. ඊළඟට ම`දක් ඉදිරියට නැවෙන ඈ සිනාසෙන මුහුණින් යුතුව පුංචි දෝණිය දෙසට දෑත් දිගුකොට ”come බබා” කියා කියයි. සුරතල් අඩි තබා විමලා දෙසට එන ඈ විමලාගේ අත් අතරින් මද වේලාවකින් ගිලිහී දිවයයි. ඉවතට දිවයන ඈ දෙස විමලා නැවත මද සිනාවකින් යුතු මුවකින් හා ප‍්‍රශ්නාර්ථයක් රැඳුණු දෑසින් යුතුව බලා සිටියි. ඊළඟ මොහොතේ එම දුමාරය අතුරුදන් වන්නේ එමඟින් එක්කල ශෝකයෙන් මගේ පපුව බර කරමිනි. විමලාගේ මව අපගේ දරුවන්ට කොතෙක් නම් කවි, කතන්දර කියා දී ඇත්ද? දිනකට කීපවරක් පමණ කීවත් විමලා ඇගේ මිණිපිරියට කීවේ එකම එක කතාවක් පමණි. ”Come බබා” යනු ඒ දිගම දිග කතාවයි.

මෙම ලියවිල්ල ලියා දැමූ ජයසේකර නැවත එය අතට ගෙන කියවූයේ දින දෙකකට පසුය. ඔහු එය කෙටිකතාවක් ලෙස සකසා තමා වැඩකළ පුවත්පතෙහි පළ කිරීමට පෙර මෙය තමාගේ කලණ මිතුරු වීරසිංහට කියවන්නට ලබාදී ඔහුගේ අදහස් උදහස් විමසිය යුතු යැයි සිතිණි. තමා මුහුණදෙන බොහෝ ගැටළු වීරසිංහ සමඟ සාකච්ඡුා කරන්නේ ඔහුට ඉන් අස්වැසිල්ලක් ලැබෙතැයි යන විශ්වාසයෙන් යුතුවය. 
ඔහු අසළට පැමිණි විමලා බඩුමල්ල  අතටදී කීවේ ඇතැම්විට හෙට දින පුතාලා ඒමට ඉඩ තිබෙන බැවින් කඩයට ගොස් කෑම බීම ටිකක් රැුගෙන එන ලෙසය. දුරකතන ඇමතුමකින් ඔවුන්ගේ පැමිණීම තහවුරු කරගත හැකි වුවද විමලා මෙන්ම තමාද ජීවත්වන්නේ බලාපොරොත්තුව මතින් බව දන්නා ජයසේකර බඩුමල්ලද රැගෙන කඩමණ්ඩියට පිටත් විය.

- ලසන්ත  වික‍්‍රමසිංහ
(2012 -ජනවාරි පෙරඹර මාසික සඟරාවේ පළ කල කෙටි කතාවකි)


5/01/2013

ප‍්‍රභාකරන්ට ‘බෑ..’ කියා සම්බන්ධන්ලාට ‘හා’ කීම

කතෘ:යුතුකම     5/01/2013   2 comments

මෙරට සුජාත දූ පුතුන් වූ වීරෝධාර රණවිරුවන් දහස් ගනනකේ ජීවිත පරි ත්‍යාගයෙන්ද තවත් දස දහස් ගණනකගේ දෑස් අතපය ආදිය පූජාවෙන්ද ලබාගත් කොටි ත්‍රස්තවාදය පැරදවූ විජයග්‍රහණයේ සිව් වන සැමරුමට එක් පැත්තකින් සූදානම් වනු පෙනේ.එය කොයි වෙලේ කොතනක තමන්ගේ ජීවිත මස් වැදලි ගොඩක් බවට පත් වේ යැයි මරණ බියෙන් පසුවූ එයින් අභය දානය ලද සුවහසක් මිනිසුන්ගේ ආශ්වාදයට හේතුවක් වනු නිසැකය. අනෙකුත් අහේනිකම් සියල්ලම තම අභයදානය ලද පුණ්‍ය කර්මයට දෙවැනි කරන්නට මේ බොහෝ මිනිසුන් අදද නොපැකිළෙන බවට සැක නැත. නමුත් ඒ ආශ්වාදයේ මිහිර අමිහිරි කරන වටපිටාවක් ඒ සමගම තවත් පසෙකින් නිර්මානය වෙමින් තිබීම මේ මිනිසුන්ගේ ආශ්වාදය පළවාහැර ඒ වෙනුවට කළකිරීමත් වෛරයත් අවුළුවන බවටද එලෙසම සහතිකය. එනම් ආණ්ඩුව උතුරු පළාත් මැතිවරණයට ලක ලෑස්ති බව බවට වන සූදානමයි.

පළාත් සභා යනු අපෙ පසින් මතු වූ අපට උරුම දෙයක් නොව එය ජේ ආර් ජයවර්ධනගේ අත බලෙන් කරකවා සිදුකල ඉන්දියන් බලහත්කාරකමේ ප්‍රතිඵලයකි. ඉන්දීය පාලන මොඩලය බලහත්කාරයේ අපේ රටට එබ්බවීමකි.අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තියත් දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතීන් අතර අසමගියත් වර්ධනය කල ජේ ආර් පාලන සමය දෙමළ ජාතිවාදයට තම ත්‍රාඩ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට සරු පසක් වූ වටපිටාවක හතර අතින්ම අර්බුදයේ කරවටක් ගිලුනු ජයවර්ධන ජනාධිපතිවරයා දඬු අඬුවට හසු කරගන්නට ඉන්දීය බමුණන්ට අපහසු නොවීය.එහි අවසන් ප්‍රතිඵලය වූයේ පළාත් 8 ක් සඳහා පළාත් සභා පිහිටුවීම අරමුණු කරමින් කෙරුනු යෝජනා පිළිගනිමින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමයි.ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු මෙහෙයවීමෙන් උතුරෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේ “ඔපරේෂන් ලිබරේෂන්” මෙහෙයුම එක පෑන් පහරකින් ආපසු හරවා ඉන්දීය දඬු අඬුවට හසු කරගත් අපූරුව එවකට ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වූ ඩික්සිත් විසින් පසුව රචනා කල “කොලඹ භූමිකාව” ග්‍රන්ථයේ මැනවින් සඳහන් වේ.1987 ජුලි 29 ජේ ආර්- රජීව් ගිවිසුම ප්‍රකාරව පලාත් සභා ක්‍රමය මෙරට බලහත්කාරයෙන් ස්ථාපිත කලේය.එහිදී අමතක නොකල යුතු වැදගත් කරුණ නම් පළාත් සභා කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරන අර්ථ දැක්වීමද ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කූට ලෙස තම වාසියට අර්ථ ගන්වා ගත් බවයි.9 දෙනෙකුගෙන් සමන්විත ශේෂ්ථාධිකරණ විනිසුරු මඩුල්ලේන් 4 දෙනෙකු මෙය රටේ ඒකීය භාව අහෝසි වන යෝජනාවක් බවට ප්‍රකාශ කල අතර තවත් හතර දෙනෙක් එය ඒකීය භාවයට හානි නොවන බව ප්‍රකාශ කලේය.එක් විනිසුරුවරයෙක් මේ ස්ථාවර දෙකටම එකඟ නොවීය.කපටි ජේ ආර් සිදු කලේ ඔහුගේ චන්දයද ඒකීය භාවයට හානි නොවේ යන හතර දෙනාට එකතු කල 5 ට 4 ක් ලෙස සලකා යෝජනාව ඉදිරිපත් කිරීමය. මේ පිළිබඳ වටිනා සටහන් කිහිපයක් එම විනිසුරු මඩුල්ලේ සිටි පසුගියදා දැයෙන් සමුගත් රාජා වනසුන්දර මහතා විසින් එළි දක්වා තිබේ.එය වැදගත් වන්නේ පලාත් සභා වලට බලතල දීම මගින් රට බෙදෙන්නේ නැතැයි අදද බෙරිහන් දෙන මෝල්වහන්සේලා ගේ තර්කවල ඇති පුහු බව වටහා ගැනීමට හොඳම මූලාශ්‍ර බැවිනි.මේ බොහෝ බත් බැලයන් එදා එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ක්‍රිෂ්ණ දෙවිඳුන් ලෙස හඳුන්වාදුන් කල්ලිවල හෙංචයියන් වූ අතර කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල නොහැකි යැයි කැට තබා ඒ වෙනුවට ඩොලර් මලු උපයාගත්තවුන්ය.

විසදුම් ගැන කතා කරන්නෝ ප්‍රශ්නය කුමක්දැයි නොදනිත්. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ගැටලුව කුමක්ද යන පැනයට කිසිවකුත් හරි හමං පිළිතුරක් දී නැත. ඒ එවැනි ප්‍රශ්නයක් නැති බැවිනි.
නමුත් අවාසනාවට කරුණ නම් අපේ උගතුන් බොහෝ දෙනා මෙයට පිළිතුරක් නැතත් ‘ඒත් අපි මොනව හරි දෙමළ ජනයාට දෙන්න ඕන නේද’ යන අතාර්ථික මනෝභාවයෙන් සම්පූර්න මිදී නොමැති වීමයි. නැති ලෙඩකට බෙහෙත් දිමට යාමෙන් ලෙඩාත් වෙදාත් නැති බංගස්ථාන වන යුගයක් අභිමුව හිදිමින් ආශ්චර්යයෙන් දෑස නිලංකාර කර ගත් මෝඩ ජාතියක් බවට අප අද පත් වී ඇත්තා නොවේද.

බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසන් භාගයේ සර්වජන චන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම රජය තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රමුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය.ඊනිය ෆෙඩරල් පක්ෂය නමින් චෙල්වනායගම් මහතා පිහිටුවාගත් ජාතිවාදී පක්ෂයේ සැබෑ නම ඉලංකෙයි තමිල් අරසු කච්චි විය.එනම් දෙමළ රාජ්‍යය පක්ෂය නම් විය.ඔවුන් තමන්ගේ වෙනම රාජ්‍ය මතවාදය එහි පක්ෂයේ නම සේම වචන තුල සඟවන්නට මුලදී උත්සාහ ගත්හ. ඊනියා සමාජ විද්‍යාඥයන් කුමන බොරුවක් කීවද ප්‍රභාකරන් බිහි කලේ ඊනියා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හෝ ප්‍රමිතිකරණය හෝ දෙමළ තරුණයන් පාගා දැමීම නිසා හෝ දමළ ජනයාට සිදු වූ ඊනියා අසාධාරණයක් නිසා නොව චෙල්වනායගන් වැන්නන් විසින් පෝෂණය කල දෙමළ රාජ්‍ය මිත්‍යාව විසින් බව පැහැදිළිය. ‘දැන් ටිකක් පසුව හුඟක් ‘ යන්න චෙල්වනායගම් සූත්‍රගත කල දෙමළ ජාතිවාදයෙ කුප්‍රකට සටන් පාටය බව අප අමතක නොකල යුතුය.

ඊනියා බලය බෙදා හැරීම් මගින් දෙමළ ජනයාගේ සැබෑ පරිපාලන ගැටලු වලට විසඳුම් නොලැබෙන බව පැහැදිලිය.එමගින් සංසිඳවන්නට බලාපොරොත්තු වන්නේ දෙමල ප්‍රභූ පන්තියේ වෙනම පාලනයක් පිළිබඳ ඊනියා අභිලාෂයයි.එනම් බ්‍රිතාන්‍යන් ලබා දුන් සහ පසුව අහිමි වූ අසමමතික වරප්‍රසාද ගොන්නයි. දෙමළ ජනයාට ඇතැයි කියන ගැටළු සමස්ථ දෙමළ ජනගහනයෙන් 50% කට වඩා අඩුවෙන් සිටින උතුර හා නැගෙනහිරට බලය බෙදීමෙන් නොවිසිදෙන බව රාජ්‍ය නොවන සංවිධානවල බත් බැලයන් හා ඊනිය ප්‍රබුද්ධයන් හැරුණු කල සාමාන්‍ය ජනයාට තේරෙන කරුණයි.දෙමල භාෂාවෙන් කටයුතු කිරීමට අපහසුකම් ඇති වැල්ලවත්තේ අප්පාපිල්ලෙයි අයියා මුහුණ දෙන පරිපාලන ගැටළුව එම ගැටළුව උතුරේ සම්බන්ධන්ලාට ඉඩම් හා පොලිස් බලතල දීමෙන් විසඳන්නේ කෙසේද? අප්පාපිල්ලේට පමණක් නොව එය ගුණදාස අයියාටද පොදු සමජ ගැටලුවකි.එනම් බොහෝ තැන්වලදී අද අප්පපිල්ලේ අයියටද මෙන්ම ගුණපාල අයියලාටද කටයුතු කරන්නට වී ඇත්තේ තමන් නොදන්න ඉංග්‍රිසියෙනි.මේවා සරල යාන්ත්‍රණයක් මගින් විසඳිය හැකි තාක්ෂණික ගැටලු මිස මහා බොහෝ දෙනා කියන වාර්ගික ගැටළු නම් නොවේ..

ආණ්ඩුව තුල කොතෙක් අඩු ලුහුඬුකම් තිබුනත් ආන්ඩුවට චන්දය දෙන බහුතර ජනතාව ආන්ඩුව සමග බැඳ තබන හුය නම් රටේ ඒකීයභාව-ස්වෛරීත්වය පිළිබඳ මතයයි. ඊනියා උගතුන්ට නැති ඉව ඇති පොදු ජනතාව, එදා 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර පැන්නීමට මූලිකම කාරනය වූයේද මෙයයි. අඩු මුදලට පරිප්පු ,හාල්මැස්සන් දෙනවා යැයි පොරොන්දු වූ රනිල් වික්‍රමසිංහ මහතා ඒවා නොසලකා ගෙදර යවන්නේ එබැවිනි.

2/3 ක බලයක් ලබා දුන් මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි බහුතර ජනයා තබාගත් බලාපොරොත්තු 2009 යුධ ජයග්‍රහණයත් සමග එහි උච්චස්ථානයට පත් වුවත් ඉන් පසු කෙමෙන් ක්ෂය වෙමින් තිබේය යන්න ආධානග්‍රාහීව නොබලන ඕනෑම අයෙකුට සරලව දැනෙන සත්‍යයි.නමුත් එක් කරුණක් නිසා එය ආපසු පෙරලිය නොහැකි මට්ටමේ රැඳී තිබේ.එනම් ඒකීයභාවය – ස්වෛරීත්වය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරයයි.කොටින්ම දෙමළ ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පෙනී නොසිටීමේ සෘජු ප්‍රතිපත්තියයි.සාතිශය බහුතරයක් ජනයා තවමත් මහින්ද රාජපක්ෂ මහතා මත ඒ බලාපොරොත්තු තබා සිටින්නේ අනෙත් නරින්ට මෙcම කුකුල් කොටුව භාර දුනහොත් අත්වන ඉරණම සක් සුදක් සේ පැහැදිලි බැවිනි.

නමුත් දැන් දැන් පෙනෙන කරුණු අනුව පෙනී යන්නේ ආණ්ඩුව සිය දෑතින්ම තම ගෙල සිඳ ගන්නට උත්සාහ කරන අයුරක්ද යන්න සැක සහිතය.එනම් 13 වන ව්‍යවස්තා සංශෝධනයෙන් පවරා දුන් විවාදාත්මක ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ වගන්ති එසේම තිබියදී උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ගන්නා උත්සාහයයී.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතෙක් පෙන්වූ උපායශීලී මෙන්ම සෘජු ප්‍රතිපත්තියෙන් බැහැර වීමට සැරසෙන්නේදැයි යන සාධාරණ සැකයක් දැන් ඇති වෙමින් තිබේ.ජිනීවා උගුලෙහි කරවටක් සිර කිරීමේ බටහිර බලහත්කාරයේ ශක්තියට අවසානයේ ආන්ඩුව යට වීද?එසේත් නැත්නම් බටහිර සමග දේශපාලන ගේමක් ගසා බටහිර උදහසෙන් ගැලවෙන්නට කිස්වෙකු හෝ කේවට්ට උපදෙසක් ලබා දී ඇත්දැ? එසේත් නැත්නම් බටහිර සම්බාධක ආදී බිය වැද්දවීම් හමුවේ ආණ්ඩුව රටේ ඒකීයභාවය පිළිබඳ තම උජුපටිපන්න ගුණය උකස් තැබුවේද? මේ රට කෑළි වලට කැඩෙන ලෙස කටයුතු කළ හැකිවන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා ගත් නායකයකුට පමණි. ඒ බව දන්නා බටහිරයන් ආර්ථික සම්බාධක නමැති බිල්ලා පෙන්වා බිය වද්දා මේ රජය ලව්වා උතුරු පාළාත සම්බන්ධන්ට ලබා දීමට එකඟ කරවා ගත්තේද?මේ රට ගැන අවදියෙන් සිටින බොහෝ දෙනා හමුවේ අද ඇති ප්‍රධාන ගැටලුවයි. ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බොහෝ දෙනා පසුගිය කාලයේ පලාත් සභාවලට එරෙහිව හෙනගිය මතවාදය අද වන විට යට ගොස් හිටි අඩියේ පලාත් සභා මැතිවරණය කරලියට ඒමෙන් අපට වටහා ගැනීමට ඇත්තේ ආණ්ඩුව ඒ සියලු සෘජු ප්‍රතිපත්ති බටහිර බලපෑම් හමුවේ ආපසු හරවා ඇති බවව යන්න නිවරදි නිගමනයකි.

දැනට තිබෙන තත්වය යටතේ උතුරු පළාත් මැතිවරණය පැවැත්වුවහොත් එහි ජයග්‍රහණය දෙමළ ජාතිවාදයේ වත්මන් නියෝජිතයා වන ද්‍රවිඩ ජාතික සංධානය ප්‍රමුඛ කල්ලියට හිමිවනු වැලැක්විය නොහැක අර්බුදය පැන නගින්නේ එතැන් සිටයි . එනම් ඉන් පසු උතුරු පළාතේ තිබෙන්නේ මෙරට බහුතර මනෝභාවයට එරෙහිව යන මෙදුම්වාදයේ දිශාවට ගමන් කරනා කණ්ඩායමක බලයයි. ප්‍රභාකරන්ගේ සහ සම්බන්ධන්ලාගේ මතවාදීමය සමානකම් බොහෝය. ක්‍රියාකාරකම්වල වනසක් පෙන්වුවත් මේ කල්ලි දෙකම දෙමළ ජාතිවාදයේ නියෝජිතයන්ය. කොටි ත්‍රස්තවාදයේ මතය සමග සමපාත වූ 1976 වඩුක්කොඩෙයි යෝජනා මෙන්ම 85 තිම්පු යෝජනා සම්බන්ධන්ලාගේද මූලික දේශපාලන පදනමයි. ප්‍රභාකරන් නමැති කැළෑ සතාට බටහිරයන්ගේ ආශිර්වාදයෙන් සාම උගුලක් හරහා රට බෙදා ගන්නා සැටි නොතේරුනත් එය ඉටු කර ගන්නා නියම මාවතට සම්බන්ධන් දැන් අවතීර්ණ වී ඇත.

සම්බන්ධන්ලාට උතුරු පළාත් සභාවේ බලය ලැබීම යනු මෙතෙක් රැකගත් රටේ ඒකීයභාවය අහෝසි වන සංධිස්ථානය වන බවට සැක නැත. රාජා වනසුන්දර විනිසුරුවරයා පෙන්වාදුන් ආකාරයට පළාත් සභාවට හිමිවන ඉඩම් හා පොලිස් බලතල හරහා ඒකීයභාවය අභියෝගයට ලක් වනු ඇත. ඉඩම් හා පොලිස් බලතල මෙතෙක් පලාත් සභා හරහා ක්‍රියාත්මක වුවත් එය නීති පොතට අඩංගුව ඇති බාවිතා නොකරන බලතලයි.එය අධිකරණය හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම හරහා දෙමළ ජාතිවාදී අභිලාෂයන් මුදුන්පත් වනවා ඇත. ඒ හරහා ඌතුරු නැගෙන හා නැගෙනහිර පළාත් එම පලාත්සභාවලදී සම්මත වන යෝජනාවන් හරහා එක්වීමටද ඉල්ලීමක් ඉදිරිපත් වනු ඇත්තේ දෙමළ ඊළමේ බිම් පෙදෙස පිළිබඳ සීමා සටහන් කරමිනි. ඒ පළාත් සභාවට අන්තර්ජාතික ප්‍රාග්ධනය වැඩිපුර යොදවා බලවත් කෙරෙනු ඇත. ඉන් පසු ඒ පළාත් සඳහා පමණක් යෝජනා කරන ජනමත විචාරණයක් හරහා සුඩානයේ පන්නයේ වෙනම පාලන කලාපයක් බිහි කරගැනීමේ අරගලය බලාත්මක වනු ඇත.ඒ හරා ජීවිත දහස දහස් ගණනින් පුදමිල් ලබා ගත් ජීවත් වීමේ අයිතිය ,දේශසීමා සඳහා මරාගන්නා සදාකාලික කරුමයක් බවට පත්වීම අනිවාර්යය.

සම්බන්ධන් ලා කටේ කෙල පිසදාමින් සූදානම් වන්නේ මෙයට බව කීමට අංජනම් බැලිය යුතු නොවේ.මේ මෙහෙයුම වඩා සාර්ථක වන්නේ ඒ සඳහා අවශ්‍ය වටපිටාව විපක්ෂ කොටස් තුලින්ද නිර්මානය වෙමින් තිබෙන බැවිනි.

කලකට පෙර ‘මව්බිම නැත්නම් මරණය’ යන්න තම සටන් තේමාව කරගත්තවුන් පවා අද අධිරාජ්යවාදයට සහ එහි බලහත්කාරයට හීන් තට්ටුවක් පමණක් දමමින් අනියම් සහයක් ලබාදෙමින් කල් මරමින් සිටින්නේ ඔවුන්ගේ දාර්ශනික දුර්වලතාවයක් නිසාද එසේනැත්නම් එය අවස්ථාවාදයේ සැබෑ ස්වරූපය නිසාද?කලකට පෙර ඒකීය භාවය වෙනුවෙන් නුවර සිට කොලඹට ,කොලඹ සිට දකුණට පාගමන් ගිය මේ බලවේග අද දේශපාලන අවස්ථාවාදයට මුවාවී දෙමළ ජාතිවාදය සමග එක මග යමින් තිබෙන බව ඒ දෝලාවෙන් එලියේ සිටින්නන්ට හොඳින් පැහැදිලි වන කරුණකි.

කලකට පෙර නිල ඇඳුමෙන් සිටියදී ‘මේක සිංහල රට.මෙහ ඒ විදියට ඉන්න්න බැරි අය ඉන්නවනම් යන්න පුළුවන්’ යනුවෙන් සෘජුව අදහස පලකල , එමෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීම් මත උතුරේ හමුදා කඳවුරු ඉවත් කරගැනීමට එරෙහි වූ අය පව අද කපටු සූට් එකෙන් ගිනි සිළු ගෙන සැරසෙන්නේ දෙමල ජාතිවාදයට වාසි සහගත ස්ථාවරයක සිටිමින් බටහිර හොඳ හිත දිනාගැනීමට හනුමන්තා මෙන් රට ගිනි තැබීමට නොවේද? බටහිර හොඳහිත බවාගැනීමට හැකි වුවත් මෙරට බහුතර ජනතාවට ලං විය නොහැකි බව මේ ගිනි සිළු කරුවන් කවදා වටහා ගනීද?

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාද උතුරේ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් දහදිය වගුරුවමින් සිටිනු පෙනේ.ඒ වෙන කිසිවකටවත් නොව දෙමළ අභිලාෂයන් ඉටු වන බටහිරයන් සතුටු වන ආකාරයේ පාලනයක් බිහි කරගැනීමත් ඒ හරහා ඒකීයභාවය හුයෙන් ජනතාව සමග බැඳී සිටින ආන්ඩුව කෙරෙන් ජනතාව ඉවත් කරගැනීමත් යන එක අලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමේ අරමුණිනි.එදා දෙමළ ජාතිවාදයේ නිර්මාතෘවරයන් වූ චෙල්වනායගම් විසින් වරක් තමන් දෙමළ ජනයා පොරොන්දු දේශය වන දෙමළ ඊළම කරා ගෙන යන්නට දෙවියන් විසින්තෝරාගෙන ඇති බව ප්‍රකාශ කරමින් එකල එංගලන්ත සභාවේ කුරුනෑගල බිෂොප්වරයා වූ ලක්ෂමන් වික්‍රමසිංහ දෙවගැතිවරයා දෙමල ජනයා පොරොන්දු දේශය කරා ගෙනයන මෝසස් වරයා බව ප්‍රකාශ කර තිබේ. ලක්ෂමන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහගේ ආදරණීය බාප්පාය.චෙල්වනායගම් බාප්පාට පැවරූ වගකීම අද සම්බන්ධන් විසින් රනිල් වික්‍රමසිංහට පැවරීම අහම්බයක්ද?

කෙසේ හෝ කුමන අරමුණක් නිසා හෝ ආන්ඩුව මේ මොහොතේ 13 වන සංශෝධනය බලාත්මක වන ආකාරයේ තත්වයක් උදාකරමින් උතුරු පළාත් මැතිවරණය පැවත්වීම යනු තමන්ගේ මිනී පෙට්ටියට අවසාන ඇනයත් තමන් විසින්ම ගසා ගැනීමක් වනු නිසැකය. ප්‍රභාකරන් මියගිය පසු, ‘සිංහළ ජාතියේ ආරක්ෂකයා ලෙස දශක ගණනක් ක්‍රියා කළ පුදිගලයා දැන් මියගොස් ඇතැ’යි ගුණදාස අමරසේකරයන් කී අනාගත වැකියෙහි අරුත දැන්වත් වටහා ගන්නට අප උත්සුක නොවේ නම් ජීවත් වන අප වෙනුවෙන් මියගිය රණවිරුන් පාවා දුන් පාපතරයන් අපි නොවෙමුද?මේවා මෙලෙස සිදු වන්නේ නම් රණවිරුවන් දිවි පිදුවේ නිරපරාදේය. ප්‍රභාකරන් පවා මරා දැමුවේ මොන ඉටි ගෙඩියකටද? එකම වරද ප්‍රභාකරන් මස් රාත්තලම එකවර ඉල්ලා සිටීම පම්ණි. සම්බන්ධන්ට ටිකින් ටික මෙය ලබා ගන්න දී අපි මියගිය රණවිරුවාගෙ සොහොන් කොතටත් මුත්‍රා කරමින් සිටිමු.

-කැලුම් නිරංජන
 යුතුකම සංවාද කවය

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions