5/05/2013

Come බබා

කතෘ:යුතුකම     5/05/2013   7 comments


ජයසේකර නැවතත් තම කාමරය තුළට වැදුනි. ඔහු මේසය අසළ වූ ජනේලය ඇර දමා මදක් වේලා පිටත බලා සිටියේය. ඔහුගේ දෑසට යොමුවූයේ පුරන්ව ගිය කෙතකි. වසර දහයකට පමණ පෙර මෙය සරුසාර කෙතක්ව පැවැති අයුරු ජයසේකරගේ මනසේ මැවී පෙනෙන්නට විය. ඒ සමඟම තමාගේ දෑස ඉදිරියේ නොපැහැදිලි දුමාරයක් පැන නැඟී එනවා සේ ඔහුට දැනිණ. තම සිත තුළ කැකෑරෙන තමාටද පැහැදිලි නැති අදහස් එකතැන් කරනු වස් ඔහු කොළයක් හා පෑනක් අතට ගෙන මේස පුටුවේ හිඳ ගත්තේය. ඔහු අතින් පහත ලියැවිල්ල ලියැවුණි. 

2011/04/29 නිවසේදී,
මේවා කියන්නට ගොස් මගේ ලේලියගේ හිත නරක් කර ලොකු පුතාගේ හිතත් රිදවීමට මට නොවුවමනා බැවින් මෙසේ ලියා තිබන්නට සිතුවෙමි.
මෙවර සිංහල අවුරුද්දට ලොකු පුතාලා ගමට පැමිණීම මටත්, විමලාටත් මහත් අස්වැසිල්ලක් විය. ඔවුන් කාර්යබහුල වීම නිසා ගියවර අවුරුද්දට ගෙදර ආවේ නැතත් මෙවර නම් අපගේ සිඟිති මිණිපිරියද කැටුව දින පහක්ම නතර වී යාමට ඔවුනට හැකිවිය. එම දවස් කිහිපය පුරාම මේ ගෙදර සිඟිති දියණියගේ සුරතල් දඟකාරකම්වලින් පිරී පැවතිණි. පාළුවෙන් නිදිගෙන සිටි මේ නිවස, එහි බඩුබාහිරාදිය සේම අවට ගහකොළ පවා සිඟිති දියණියගේ සුරතල් බැලීමට නැවත පිබිදුණාක් මෙන් විය. පාළුවෙන් කාලය ගතකරන විමලාටත් ඒ දින කිහිපය ලොකු සතුටක් ගෙනදුන් බවත් ඈ තුළ දුටු උද්යෝගයෙන් මනාව දිස් විය. ඒ බව ඇගේ දෑස් තුළද සනිටුහන්ව තිබෙනු මම දුටිමි. ඒ හැඟුම්බර දෑස් මා තරුණ කාලයේ ඈ වෙත ආකර්ෂණය කළ බව තවම මම ඇය සමඟ කියා නැත්තෙමි. ඒ නෙතු සඟල මාගේ සුරතල් මිණිපිරියටද උරුම වී ඇතැයි මසිත කියයි.

සුරතල් මිණිපිරිය දකින මා හට නිතැතින්ම සිහිවන්නේ අපගේ දරු තිදෙනාගේ ළමා කාලයයි. පාසල් ගොස් ගෙදර එන තිදෙනා වත්ත පුරා දුව පැන යමින් එකට සෙල්ලම් කළෝය. හවස් වීගෙන එද්දී මුහුණ කට සෝදාගෙන ඇඳුමක් ඇඟලා ගන්නා දරුවෝ ආච්චි සහ සීයා ළඟ දැවටෙමින් කතන්දර අසා ගත්තෝය. ආච්චී සහ සීයාගේ සිනහව සමඟ මුසුවූ දරුවන්ගේ සිනහව අවට වාතාශ‍්‍රය ප‍්‍රබෝධමත් කළේය. දැන් මේ නිවස තුළ පවතින මළානික වාතය මගේ නාස්පුඩු තුළින් ඇතුළු වී පපුව තුළදී එම ආදරණීය ප‍්‍රබෝධයේ වියෝව සිහිකර කඳුළකින් පපුව බර කරනවා වැනි හැගුමක් ඇති කරයි. ඒ දිනවල දරු සුරතල් බැලීමට මෙන් නොමඳව ගේ තුළට එබී බැලූ හිරුඑළිය දැන් මේ ගෙය තුළට එබෙන්නේ  ඕනෑවට එපාවට, නෑවිත් බැරි නිසා මෙනි. මේ නිවස අරක්ගෙන සිටින අඳුරු ශෝකී ස්වභාවය මගේ මනසේම පිළිබිඹුවක් වැනිය.

අපගේ දරුවන්ට හොඳින් උගන්වා සමාජය තුළ හොඳ තත්වයක් හිමි පුද්ගලයන් කිරීම අපගේ බලාපොරොත්තුව විය. ඒ සඳහා අපි බොහෝ වෙහෙසුනෙමු. එම වෙහෙස අපතේ නොයවා වැඩිමළුන් දෙදෙනාම හොඳින්  ඉගෙන ගත්තෝය. ඉගෙනීමට එතරම් සමත්කමක් නොදැක්වූ පොඩි පුතා  විශ්වවිද්‍යාලයට තේරී පත්විය නොහැකි වූ පසු ඔහුගේ අනාගතය සොයා  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විය. දැන් ඔහු බිරිඳ හා දරුවා සමඟ එහි පදිංචි වී සිටිති. වෛද්‍යවරියක වන ලොකු දුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනයේ නියැළී සිටියි. ඔවුනගේ මුහුණු අපට දැකගැනීමට ලැබෙනනේ වසර කිහිපයකට වතාවක් පමණි. ලංකාවේ සිටින්නේ ලොකු පුතාගේ පවුලේ අය පමණි. ඔවුන්ව වුවද අපට දකින්නට ලැබෙන්නේ මාස කිහිපයකට වතාවක්  පමණි. කොට්ටාව පන්නිපිටියේ පදිංචිව සිටින ඔහු මෘදුකාංග ඉන්ජිනේරුවෙකි. කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කරන ඔහුගේ බිරිඳ කියන්න වරදක් නැති ගුණ යහපත් බිරිඳක් හා මවකි. දරුවන් අපගෙන් ඈත්ව විසුවද ඔවුනගේ දියුණුව සිහිකර අපට සතුටු විය හැකිය. විමලා ඇතැම් නෑයකු සමඟ අපගේ දරුවන් ගැන මදක් ආඩම්බරයෙන් කතා කරනවා මා දැක ඇත. 

කුඩා කල අපගේ දරුවන් හැදුණේ වැඩුණේ නෑදෑ පිරිවරක් මැද යයි කිව හැක. අපගේ ගම වන බදුරලියේ මෙන්ම අහල පහල ඇති හැඩිගල්ල, කලවාන, ලත්පඳුර වැනි පෙදෙස්වලද අපගේ නෑයෝ වෙසෙති. ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලාගේ නිබඳ ඇසුරට හා ආදරයට ඔවුන් පාත‍්‍ර විය. නැවුම් හැඟුමන් හා මුසුව ඒ සාමූහිකත්වය ප‍්‍රතිමූර්තිමත් කෙරුණු සිංහල අවුරුදු සමය අපගේ දරුවන්ට සුවසේ විඳ ගැනීමට ලැබුණු දිව්‍යමය කාලය විය.
මෙවර ලොකු පුතාලා සිංහල අවුරුද්දට ගෙදර ආ වේලේ මා හට සිඟිති දියණිය තුරුළු කරගෙන කතාන්දර කියාදීමට ඇත්නම් කියා සිතුනේ වරක් දෙවරක් නොවේ. නමුත් කුමන හෝ අහේතුවකට එය එසේ සිදු නොවිණි. සුරතල් දියණියගේ ”මවු බස” සිංහල නොවීය. ඇය උසුරුවන්නේ ඉංගී‍්‍රසි බසයි. දරුවාගේ මවත් පියාත් ඈට කතා කරන්නේ ඉංගී‍්‍රසියෙනි. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංගී‍්‍රසි බසින් ඉගෙනුම ලබයි. සිංහල පත්තරයක වැඩ කළ මට ”මඟ වැරදුණු සුද්දෙකුට” පාර කියාදිය හැකි නමුදු ඉංගී‍්‍රසියෙන් ආදරය කිරීමට හෝ දරු මුණුපුරන් වෙත ඇඟෑලූම් පෑමට මම අසමත්මි.

”අම්මී, තාත්තී, ආච්චා, ෂීයා” ඈ භාවිතා කළ සිංහල වචන කිහිපයක් ලෙස මට මතක ඇත. අවුරුද්දට මෙහි එක්රැුස් වුණ නෑයින්ට ඈ ඉතා සුරතල් දසුනක් වුවත් කිසියම් ආකාරයකට ”පිටස්තර” දරුවකුගේ ස්වරූපයක් ඈ කෙරෙන් විද්‍යාමාන නොවූයේ යැයි කිව නොහැකිය. වෙනත් දරුවකු සමඟ මෙන් ඈ හා සුරතල් බස් තෙපලීමට ඔවුහු මැලි වූහ. දරුවාට ලැබුණ පිටස්තරභාවය ඇගේ මවට කිසියම් අහිංසක ආඩම්බරයක් ගෙන දෙනවාදැයි මට සිතේ. ඇතැම් විටක ලොකු පුතා නම් මදක් අපහසුතාවයකට පත්ව සිටිනවා යැයි මට හැඟුණි. 
මා කල්පනා කරන්නට වූයේ කාලයාගේ ඇවෑමත් සමඟ අප වසන සමාජයට සිදුවී ඇති වෙනස පිළිබඳවය. මගේ මෙන්ම විමලාගේ දෙමාපියන්ද ආච්චිලා, සීයලා ලෙස මිණිපිරි, මුණුපුරන් හා කෙතරම් සතුටු වූවෝද? මම දැන් සීයා කෙනෙකු වෙමි. මගේ පියා සීයා කෙනෙකු ලෙස බෙහෙවින් පින්කර ඇත. මගේ පියාට මෙන් නොව, මට මගේ මුණුපුරන් දකින්නට ලැබෙන්නේ ඉඳහිටය. දැක්කත් ඔවුන් හා හරි හරියට කතාබහ කරගැනීමට මට බැරිය. අප ගැනටත් වඩා මට කනගාටුවක් දැනෙන්නේ අපගේ මුණුපුරන් ගැනය. ඔවුනට ලැබෙන සෙනෙහසේ කවයේ අරය ඉතා පටු නොවේද?

පෙර දිනවල මේ ගෙදර පරම්පරා තුනක නැතිනම් හතරක පිරිස් එකට දුක සැප බෙදාගත්හ. අපගේ දරුවන් තම තමන්ගේ අනාගතනය සොයා දුරු රටවලට හා නගරයට සංක‍්‍රමණය වූහ. මහළු අප දෙදෙනා පමණක් මෙහි ඉතිරි විය.
එක් සති අන්තයකට පසු සඳුදා දින පෙහොය නිවාඩු දිනයක් යෙදී තිබුණ බැවින් ලොකු පුතාලා ගෙදර එනවාදැයි දැනගනු රිසියෙන් මම ඔහුට දුරකතනයෙන් කතා කළෙමි. එවිට ඔහු පැවැසුවේ එම සතිඅන්තය හෝටලයක ගත කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවකි. ඔවුහු එබඳු තීරණයක් ගත්තේ තම ණය කාඞ්පත සඳහා ලැබෙන 50% වට්ටම නිසා බවත් කීය. එය මඟහැරීම අනුවණකමකැයි ඔහු පැවැසුවේ මා සනසාලනු පිණිස විය යුතුය. හෝටලයකට ගොසින් මුදල් ද වියපැහැදම් කර ඔවුන් සොයනා ප‍්‍රීතිය කුමක්දැයි කිසි දිනෙක එවැනි හෝටලයක රැුයක් ගත කර නැති මට නොවැටහේ. ඔවුන්ට සති අන්තනය ගතකරන අයුරු යෝජනා කෙරෙන්නේ බැංකුවක් මගිනි. ගමට නොගොස් බැංකුව කැමැති හෝටලයක ගත කරනාවට ඔවුනට වට්ටමක්ද හිමිවෙයි. අපත්, අප දරුවනුත් සතුට යනුවෙන් අදහස් කෙරෙන්නේ එකම දෙයක් නම් විය නොහැක.

අනෙක් අතට ලොකු පුතා ගෙදර නෑවිත් හෝටලයකට යන්න තීරණය කරන්න ඇත්තේ තම බිරිඳගේත් දරුවගේත් සතුට ගැන සිතා විය හැකිය. අපගේ දෙමාපියන් හා අපගේ දරුවන් අතර වූ තරම් ඇඟෑලියාවක් අප හා අපගේ දරුවන්ගේ දරුවන් අතර නැත. අපි භාෂා දෙකක් කතා කරන්නෙමු. අපගේ මිණිපිරිය හට මාත් විමලාත් ඈ හා කතා නොකරන ගොළුවන් දෙදෙනෙකු ලෙස දැනෙනවා විය හැකිය. ඒ පුංචි දරුවාට මෙහි පැමිණියද තම ආච්චි හා සීයා සමඟ දොඩමළු විය නොහැකිය. එබැවින් ඒ පුංචි දරුවාටද හෝටලය වඩාත් පි‍්‍රයජනක ස්ථානයක් වන්නට ඇත. 
ලෝකය පිළිගත් අධ්‍යාපනඥයින්ගේ මතය දරුවන්ට මවුභාෂාවෙන් ඉගැන්විය යුතු බව වුවද, අපගේ දරුවන්  ඔවුන්ගේ දරුවන්ට ඉංගී‍්‍රසිියෙන් උගන්වන්නට තීරණය කළේ  කිනම් හේතුවකටදැයි මට නොතේරේ. ඉංගී‍්‍රසිි මව්බස නොවන යුරෝපීය රටවල මෙන්ම ධනවාදී ආර්ථික මොඩලයක් ඔස්සේ ඉදිරියට පැමිණි චීනයට මෙන්ම ජපානයටද මවුබස අත්හල දරුවෙකු වුවමනා නොවු විටකදි, අපේ අයට ඇති වුවමනාව තේරුම් ගනුයේ කෙසේද? මෙමගින් දරුවාගේ වචන හා අදහස් අතර බැම්මක් ඇති වේ. තම පරිසරයෙන් මෙන්ම නෑදෑයන්ගෙන්ද දරුවා උගෙනියි. පාසලෙන් ලබන අධ්‍යාපනය ඊට රුකුලක් විය යුතුය. මෙම භාෂා පරස්පරය දරුවාගේ සිතිවිලි වර්ධනයට බාධාවක් වෙමින්, නිමාණශීලිත්වය මොට කරයි. අද අපට අවශ්‍යය ඉංගී‍්‍රසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා නිර්මාණශීලී දරුවෙකු මිස ඉංගී‍්‍රසියම කබල් ගගා යන හණමිටිකාර මිනිසෙකු බිහි කිරීම නොවන බව තේරුම් ගැනීමට අප දරුවන් අසමත් වී ඇත්තේ මන්ද? මව්බස පසෙකලා වෙනත් භාෂාවකින් ඉගැන්වීම තම පියා සිටියදී අල්ලපු ගෙදර මිනිහාට පියා කියන්නට උගැන්වීම වැනි දෙයකි.

මෙවන් අනුවණ තීරණයකට ඵ්මට අපගේ දරුවන්ට කිසියම් සංකීර්ණ මනෝභාවයක් බලපාන්නට ඇතැයි මට සිතේ. අපේ දරුවෝ ගම්වල ඉපැද නිදහස් අධ්‍යාපනයෙන් සිංහලෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලය දක්වා ඒගොල්ලන්ට නැඟගන්න තිබිච්චි ඉණිමඟ දිගේ සාර්ථකව ගොඩ වෙච්ච උදවියයි. මේ පරපුර මුහුණදෙන නොයෙකුත් අතෝරයන් වගේම, ඔවුන් සංස්කෘතියෙන් උරුම කරගත් සභ්‍යත්ව විඥාණයක් ගැනත් ගුණදාස අමරසේකර මහතා තමන්ගේ නවකතාවල බොහෝම අපූරුවට පෙන්වා දී තිබේ. මේ ඉණිමගේ නගින්න නොහැකිව ඉච්ඡුාභංගත්වයට පත්විච්ච ඈයෝ ”විප්ලවයේ” නාමයෙන් දෙවරක්ම සියදිවි නසාගත්හ. අපිත් දෙමාපියන් විදියට කළේ මේගොල්ලන්ට මේ ඉණිමග දිගේ නගින්න පුළුවන් හැම තල්ලූවක්ම දෙන එකයි. අමරසේකර මහතා කියන විදියට එහි අවසාන ප‍්‍රතිඵලය වුනේ තමා උපන් බිමත්, එහි වූ සහෝදර සහෝදරියනුත් අවසානයේ තම රට ජාතියත් අමතක කළ උපන් බිමෙන් විගලිත වූ අදේශපාලනික කොටසක් බිහිවීමයි.
දිනක් කොළඹ ලොකු පුතාගේ ගෙදර සිටිනවිට, පුතා ඔහුගේ නිවසට පැමිණි මිතුරන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදෙන විට මම ද එතැනට ගියෙමි. ඔවුන් සිහි කරමින් සිටියේ තමන්ගේ ළමා කාලයන් පිළිබදවය. එතැනදි මට වැටහුනේ අපේ පුතා තමා ඉගෙන ගත්තේ ගමේ පාසලේ බව කියන්නේ එය නොකියාම බැරි අවස්තාවක් පැමිණි විට පමණක් බවය. එය ඔහුට තරමක ලැජ්ජාවක් යැයි මට සිතින. නිතර දෙවේලේ ගෙදරදී අතින් බත් කන ඔහු එම පරපුරේ අනෙක් අය මෙන්ම වැදගත් උත්සව අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ අතින් බත් කෑමට ලැජ්ජා වේ. ඔවුහු එය අශ්ලීල කමකැයි සිතති. මම මෑතකදී නැරඹූ ”සුද්දෙක් ඔබ අමතයි” වේදිකා නාට්‍යය මගින් මේ මනෝ භාවයන් උපහාසාත්මකව මතු කර පෙන්වූයේය. සමහරවිට මේ උදවියගෙන් සමහරෙක් දෙනා හිතනවා වෙන්න පුළුවන් තම උරුමය පිළිබදව මොවුන් තුළ පවතින හීනමානයෙන් තමන්ගේ දරුවන් මුදවන්න  ඕනා කියා. ඒ නිසා ඔවුහූ සම්පූර්ණයෙන්ම තමන්ගේ උරුමය අත්හළ දරුවෙක් පතති.
විමලා ගැන මට ඇතිවන්නේ මහත් අනුකම්පාවකි. අපගේ දරුවන් මේ තත්වයට ගෙන ඒමට ඇය ඉමහත් පරිශ‍්‍රමයක් දැරුවාය. පුවත්පතක සේවය කළ මගේ ආදායම අප දරුවන්ගේ කරදඬු උස්මහත් කරවා උගන්වන්නට තරම් සෑහුනේ නැත. මා අසනීප වුණු වතාවක අපට මිල මුදල් අතින් දැඩි අසීරුතාවන්ට මුහුණදෙන්නට සිදුවිය. ඒ දිනවල පොඩි එකෙකු වුවද ලොකු පුතාට අපගේ අඟහිඟකම් ගැන හොඳින් වැටුහුණි. අම්මා කෑවද කියා නාහා ලොකු පුතා බත් කන්නේ නැතැයි මා බැලීම සඳහා ඉස්පිරිතාලයට ආ විටක විමලා පැවසුයේ ඇගේ නෙතඟට නැඟුණු කඳුළක් පිසදමමිනි. 

මේ ලියන මොහොතේදීත් මට ඇසෙන්නේ විමලාගේ මහන මැෂිමේ නාදයයි. මේ නිවස තුළ පවතින පාළු ගතිය ඇගේ මහන මැෂිමේ සුපුරුදු නාදය නිසා අඩු වෙනවාද නැතිනම් වැඩිවෙනවාදැයි සිතාගැනීමට අසීරුය. දරුවන්ගේ අනාගතය සරි කරලනු වස් කකුල් දෙක රිදුම් කන තුරු ඈ මැෂිම පෑගුවේ හිරුගේ රශ්මියත් සඳුගේ සිසිලත් අමතක වූ එකියක ලෙසිනි. හෙමින් සීරුවේ ඈ ගෙත්තම් කළේ අන් කිසිවක් නොව, අපගේ දරු තිදෙනාගේ අනාගතයයි. උසස් අධ්‍යාපනයක් නොලද ඇගේ ඒකායන පැතුම වූයේ දරු තිදෙනාට හොඳින් උගන්වා සමාජය තුළ ඉහළින් වැජඹීමට සලස්වාලීමයි. ජීවිතයේ කිසි දිනක ඈට ඉංගී‍්‍රසි වුවමනා වී අතැයි මම නොසිතමි. නමුත් දැන් ඇයට ආච්චි කෙනෙකු වීම සදහා ඉංගී‍්‍රසි වුවමනා වී තිබේ.

ගියවර අවුරුද්දට පුතාලා ගෙදර ආ දිනවල නිතර නිතර දුටු දසුනක් මා හට නැවත නැවත මැවී පෙනෙන්නේ මා දෙනෙත් ඉදිරියේ පැන නගින ශෝකානුකූල දුමාරයක් අතරින් මෙනි. අපගේ සුරතල් මිණිපිරිය දෙස විමලා ඉමහත් සෙනෙහසින් බලා හිඳියි. ඇගේ දෙනෙතින් ඒ සෙනෙහස වෑහේ. ඊළඟට ම`දක් ඉදිරියට නැවෙන ඈ සිනාසෙන මුහුණින් යුතුව පුංචි දෝණිය දෙසට දෑත් දිගුකොට ”come බබා” කියා කියයි. සුරතල් අඩි තබා විමලා දෙසට එන ඈ විමලාගේ අත් අතරින් මද වේලාවකින් ගිලිහී දිවයයි. ඉවතට දිවයන ඈ දෙස විමලා නැවත මද සිනාවකින් යුතු මුවකින් හා ප‍්‍රශ්නාර්ථයක් රැඳුණු දෑසින් යුතුව බලා සිටියි. ඊළඟ මොහොතේ එම දුමාරය අතුරුදන් වන්නේ එමඟින් එක්කල ශෝකයෙන් මගේ පපුව බර කරමිනි. විමලාගේ මව අපගේ දරුවන්ට කොතෙක් නම් කවි, කතන්දර කියා දී ඇත්ද? දිනකට කීපවරක් පමණ කීවත් විමලා ඇගේ මිණිපිරියට කීවේ එකම එක කතාවක් පමණි. ”Come බබා” යනු ඒ දිගම දිග කතාවයි.

මෙම ලියවිල්ල ලියා දැමූ ජයසේකර නැවත එය අතට ගෙන කියවූයේ දින දෙකකට පසුය. ඔහු එය කෙටිකතාවක් ලෙස සකසා තමා වැඩකළ පුවත්පතෙහි පළ කිරීමට පෙර මෙය තමාගේ කලණ මිතුරු වීරසිංහට කියවන්නට ලබාදී ඔහුගේ අදහස් උදහස් විමසිය යුතු යැයි සිතිණි. තමා මුහුණදෙන බොහෝ ගැටළු වීරසිංහ සමඟ සාකච්ඡුා කරන්නේ ඔහුට ඉන් අස්වැසිල්ලක් ලැබෙතැයි යන විශ්වාසයෙන් යුතුවය. 
ඔහු අසළට පැමිණි විමලා බඩුමල්ල  අතටදී කීවේ ඇතැම්විට හෙට දින පුතාලා ඒමට ඉඩ තිබෙන බැවින් කඩයට ගොස් කෑම බීම ටිකක් රැුගෙන එන ලෙසය. දුරකතන ඇමතුමකින් ඔවුන්ගේ පැමිණීම තහවුරු කරගත හැකි වුවද විමලා මෙන්ම තමාද ජීවත්වන්නේ බලාපොරොත්තුව මතින් බව දන්නා ජයසේකර බඩුමල්ලද රැගෙන කඩමණ්ඩියට පිටත් විය.

- ලසන්ත  වික‍්‍රමසිංහ
(2012 -ජනවාරි පෙරඹර මාසික සඟරාවේ පළ කල කෙටි කතාවකි)


, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. වගකීමෙන්....5/08/2013 1:23 PM

    අප බොහෝ දෙනාට උරුම වී ඇති,නමුත් කෙසේ හෝ ගැලවිය යුතුම අභාග්‍යසම්පන්න ඉරණම.....

    ReplyDelete
  2. සුදු පුතා5/09/2013 10:15 AM

    එල!

    ReplyDelete
  3. කතාව හොඳයි, සමාජයේ සිදු වී ඇති හා සිදු වෙමින් පවතින වෙනස්කම් එයින් පිළිබිඹු වෙනවා. එහෙත් මේ කතාවේ කතා නායකයා සෘණාත්මක ආකල්ප වලින්ම සිත පුරවාාගන ඉන්නේ ඒ වෙනස්කම් හෝ ඒවා සිදුවන වේගය හෝ දරාගන්නට බැරි නිසා බවයි පෙනෙන්නේ. ඕනෑම සමාජයක් නිරන්තරයෙන් වෙනස්කම් වලට ලක් වෙනවා. එහෙත් අපේ සමාජයේ බොහෝ දෙනකුට එය දරාගන්නට නොහැකිකම නිසයි මේ වගේ "පරම්පරා පරතරයක්" ඇති වී තිබෙන්න‍ේ. ගල් ගුහා වල ජීවත් වූ දෙමව්පියන්ගේ දරුවකු ඉන් ඉවත් වී වෙනම ගෙයක් තනා ජීවත් වන්නට පටන් ගත් විට අර දෙමව්පියන් තමන් අත හැර යන්න එපා යැයි කීවා නම් අදත් අපට ගල් ගුහා වලම ඉන්නට තිබුණා.
    සමාජයේ සිදුවන වෙනස්කම් වල ප්‍රශ්න නැතුවා නොවෙයි, බරපතල ප්‍රශ්න තිබෙනව‍ා. එහෙත් ඒවා දරාගන්නට පුරුදුවීම විනා ඒ දෙස බලා හූල්ලන්නට පුරුදු වීම අනුවණකමක්.

    ReplyDelete
  4. මේ ලේඛකයා නොකියපු දෙයකුත් තියෙනවා. සමහරවිට, ඔහුගේ දරුවන් ඔහු හැර දමා පිටරටක පදිංචි වෙන්න ගත්තු තීරණයට ඔහුත් දායක වෙන්න ඇති, ඒ, ඔවුන්ට, තමන් නොලද සැප සම්පත් ලැබේවා යන පැතුමෙන්. හැබැයි, දැන් එය ඔහුට පාරාවළල්ලක් වී ඇත.

    යමකු රට හැරදා වෙනත් රටකට ගිය පසු, එහි ඇති භෞතික සම්පත් වලට ඇලීමෙන් නැවත මව් රට බලා ඒමට මැලි වීම සාමාන්‍ය සිද්ධියකි. මගේ ඥාතින් මෙන්ම මිතුරන්ද එසේ කරනු මා අත්දෑක ඇත්තෙමි.

    මම මගේ දරුවාට ලංකාවේ ඇති හොඳ කියා දීම කරමි. ඇය ලංකාවේ ඇති රැකියා අවස්ථා සඳහා මග පෙන්වන්න කටයුතු කරමි. ඒ හැර ඉදිරි අනාගතයේ ගන්න තීරණ ඇයටම බාර කරමි.

    ReplyDelete
    Replies
    1. මම මේ ලේඛකයාට සම්පුර්ණ වරද පටවනවා නොවේ. ඔහූ තල වපුරා තලම නෙලා ගත්තා පමණි.

      මතකද "යශෝරාවය්" ටෙලි නාට්‍යය? එහි රචකයා දැක්කේ අනාගතයේ වෙන මේ සිද්ධියම නේද?

      Delete
  5. ඔබ '56 දරුවෙක්' නම් මේ ලියවී ඇත්තේ ඔබෙත් මගෙත් කතාවයි. අප හැම උරුම කරගත් (අපට උරුම වූ නොවේ) අභාග්‍යසම්පන්න ඛේදවාචකයයි.

    ReplyDelete
  6. කතාවෙන් පාඨකයාට ලබා දෙන පණිවුඩය ගැන සීයට සීයක් ම එකඟ වෙන්න පුළුවන්. හැබැයි කතාව දිගටම කියවගෙන යද්දී පොඩි නීරස ගතියක් එනවා. කතාවේ මැද හරිය කෙටි කතාවකට වඩා ලිපියක් (article) වගේ. ගුණදාස අමරසේකර මහතාගේ කෙටි කතා වලත් මම මේ ලක්ෂණය දකිනවා. ඒ කතා වලත් ලේඛකයා තමන් කියන්න යන පණිවුඩය එහි චරිතයක් ලවා කෙළින් ම කියන්න යාම නිසා අන්තිමට දේශපාලන ලිපියක් කියෙව්වා වගේ හැගීමක් එනවා. මේ කියන විදිහට වක්‍රාකාරව පණිවිඩයකුත් දෙන ගමන් සාර්ථක කතාවක් කියන එක ලේසි පහසු වැඩක් කියලා මම නම් හිතන්නේ නෑ..ඒත් එහෙම කරන එක තමයි ලේඛකයෙකු සතු දක්ෂතාවය. මෙම ලේඛකයා තුළත් එම හැකියාව වර්ධනය වේවා කියා මම පතමි! කතාවෙන් දෙන පණිවිඩයේ තියන වටිනා කම නම් කාලීනව ඉතාම වැඩියි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com