9/01/2014

ටෙනිසන්ගේ නැගිටීම සහ ස්වර්ණ පුස්තකයේ විකල්ප ජාවාරම....

කතෘ:යුතුකම     9/01/2014   6 comments
ප්‍රවීන ලේඛක ටෙනිසන් පෙරේරා කල් පසුවී හෝ වැදගත් ප්‍රකාශයක් සිදු කොට තිබේ. නෝබට් අයගමගේ මහතා විසින්ද ඒ ප්‍රකාශය තවදුරටත් සනාථ කර ඇත. ස්වර්ණ පුස්තක සම්මාන උළෙල එන්.ජී.ඕ කාරයන්ගේ තිප්පලක් බවට පත්වෙමින් පවතින බව අපට නම් පෙනී ගියේ අද ඊයේ නොවේ. පසුගිය වසරක දෙකක කාලයක සිට එහි විනිශ්ව මණ්ඩලයේ අති බහුතරය සමන්විත වන්නේ මතවාදීමය වශයෙන් එකම කල්ලියක් නියෝජනය කරන පිරිසකගෙනි. කිසිදු ප්‍රශ්නයක් මැදහත්ව හා නිරවුල්ව විග්‍රහ කරගත නොහැකි මේ බහුතර පිරිස සෑම දෙයක් දෙසම බලනුයේ තමන්ගේ දූෂිත දේශපාලන ව්‍යාපෘතීන් හා එලොවට මෙලොවට නැති දාර්ශනික කුණු කන්දල් මත පිහිටමිනි. සිංහල බෞද්ධ විරෝධයේ පරවේණි රෝගයෙන් විකල් වී සිටින මේ පිරිසට තුත්තිරි ගහ පෙනෙන්නේ කොස් ගහක් වශයෙනි. කොස්ගහ පෙනෙන්නේ මෝල් ගහක් වශයෙනි. අදහසක් නිරවුල්ව ගලපා ලිපියක් ලියාගැනීමට නොදන්නා උද්දච්ඡ නඩුකාරයන්ගේ සිට, විජේරාම හන්දියේ අඩු මිලට කුණු සෝදන කුලී ලියන්නා දක්වා වු ලොකු කුඩා බොහෝ දෙනා ඉහත කී ව්‍යාධියට අඩු වැඩි වශයෙන් ගොදුරැ වී සිටිති. ඔවුන් සම්මාන දුන් පොත්වල හොද නරක ගැන නිමක් නැති වාද විවාද පැවතිය හැකි වුවද ඔවුන්ගේ මෙම මතවාදී අර්බුදය විවාදාත්මක කාරණයක් නොවේ. එහෙයින් මේ විනිශ්ව මණ්ඩල තුළ මතවාදීමය වශයෙන් අවම හෝ සමතුලිතතාවයක් පවත්වා ගත නොහැකි වීම ගැන පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලැජ්ජා විය යුතුව තිබේ.
කෙසේ හෝ වේවා අද වනවිට මේ කාරණා ටෙනිසන් පෙරේරා මහතාගේ මුවින්ම අසන්නට ලැබීම අපූරු නාටකීය ජවනිකාවකි. නෝබට් අයගමගේ මහතා මා දන්නා තරමින් එන්ජීඕ මතධාරියකු නොවුනද ටෙනිසන් පෙරේරා යනු බොහෝ අවස්ථාවලදී විකල්ප ගෝත්‍රය හා සහජීවනයෙන් කටයුතු කරන්නෙකි. ඒ මහතා පසුගිය දිනවල විකල්ප ජාවාරම්කාරයන් හා එක්වී මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් වස්ත්‍ර රහිතව පෙනී සිටින නිවේදන වලටද තම නම ඇතුළත් කළ අයෙක් බව අප මෙහිදී අමතක කළ යුතු නොවේ. ඊනියා විකල්ප බුද්ධිමතුන්ගේ නිරුවත අමු අමුවේ හෙලිදරවු වූ එවන් අවස්තා පවා දේශපාලනිකව තේරුම් ගත නොහැකි වූ ටෙනිසන් පෙරේරා මහතාට අද වන විට තම අහිමි වූ සම්මානය හමුවේ හෝ ඇත්ත කතා කරන්නට ශක්තිය ලැබීම ජාතියේ වාසනාවකි. ලේඛකයෙකුට ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම සදහා තම සම්මානයක් අහිමි වන තුරු සිටින්නට සිදුවීම එක් අතකින් ඛේදවාචකයකි. එවන් තත්ත්වයක් යටතේ කරන ප්‍රකාශ සරදමට ලක් කිරීමද ඉතා පහසු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ සියල්ල එසේ වුවද මේ මොහොතේ හෝ මේ අදහස් පල කිරීම ගැන ඉහත ලේඛකයන් දෙපලට කාගේත් ප්‍රණාමය හිමි විය යුතුය. 
 
සාහිත්‍ය ක්ෂේත්‍රයේ බලය විකල්ප ගෝත්‍රිකයන්ට හිමිවීම යනු රටේ බලය මර්වින් සිල්වාට හිමිවීමටත් වඩා භයානක තත්ත්වයකි. සාහිත්‍ය ලෝකයේදී අද අප නිතර අත්විදිමින් සිටින විගඩම්කාරී ජවනිකාද විකල්ප ගෝත්‍රයක බලයට නතුවූ සාහිත්‍යයකට උරුම පරාභවයේම අවලස්සන ප්‍රකාශනයෝ වෙති. එහෙයින් ආත්ම කේන්ද්‍රීයව ප්‍රශ්නය අතට නොගෙන පොදු වියවුල වටහා ගැනීමේ නුවනක් ටෙනිසන් මහතාට මින් පෙර පහල වූයේ නම් අද ඔහු සිටිනු ඇත්තේ ස්වර්ණ පුස්තක වැනි සම්මානයක් වෙනුවෙන් කෑ කෝ ගසා ගන්නා නොවැදගත් තැනක නොවේ. සම්මාන කෙසේ වුවද මේ සමාජ වියවුලට එරෙහිව පෙනී සිටින ලේඛකයා ඉතිහාසයේ වැදගත් තැනක නිසැකවම තම නම සටහන් කර තබන්නෙක් වෙයි. ඒ භූමිකාවට පණ පෙවීමට අවශ්‍ය සම්මා දිට්ඨිය කල් පසුවී හෝ ටෙනිසන් පෙරේරා ඇතුළු ලේඛකයන්ට හිමිවේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.



සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පළවූ  ලේඛකයන් දෙදෙනාගේ ප්‍රකාශ පහතින් දැක්වේ.

(01) ටෙනිසන් පෙරේරා 
දණ්ඩ භූමි
මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ.
ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක් වෙන්න නම් සුළු ජාතිකයින්ට පීඩා කරනවා කියල ලියන්න ඕන. මුස්ලිම් කඩ කඩනවාය කියල ලියන්න ඕනෙ. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් නිරන්තරයෙන් හිරිහැර කරනවාය කියල ලියන්න ඕන.
මගේ නවකථාවෙ ඒවා නැහැ. මගේ දණ්ඩ භූමි නවකථාවෙ එහෙම ‍දේවල් ගැන ලිව්ව නම්; සිංහලයන්ගේ උත්පත්තිය ද්‍රවිඩ උත්පත්තියකින් කියල කිව්වා නම් මගේ නවකථාවටත් ස්වර්ණ පුස්තක තිළිණය දේවි.
දෙවන වටයට තේරුණ පොත් දහයම මම කියෙව්වා. මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” කියවන්න මාස තුනක් ගියා. මෙලෝ මිනිහෙකුට ඒක කියවලා තේරුම් ගන්න අමාරුයි. ඒක පුද්ගලවාදී කෘතියක්. තමන්ගේ පුද්ගල අත්දැකීම් ගූඪ විදියට ලියලා; අපේ ජන පුරාණයට සම්බන්ධ කරල ප්‍රතිගාමී ස්වරූපයට ලියපු එකක්.
දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා 107 අතරින් ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ දෙවැනි වටයට තේරුණ කෘතීන් අතරින් මංජුල වෙඩිවර්ධනගේ නවකථාවට ලකුණු ලැබුණෙ දහයටත් අඩුවෙන්. “මගේ ආදරණීය යක්ෂණී” ප්‍රතිගාමී නවකථාවක් නිසා ඒක අවසාන පොත් පහට උඩට ගත්තා. ස්වර්ණ පුස්තක සම්මානයත් එයටම දේවි.
ලියනගේ අමරකීර්තිගේ “කුරුලු හදවත” විනිශ්චය මණ්ඩලයේ විසිදෙනාගෙන් දහනම දෙනෙකුගේම ඡන්දය ලැබුණත් එය විශිෂ්ට නවකථාවක් නොවෙයි. එය උත්කර්ෂවත් නැහැ. කුල භේදය ගැනයි කතා කරන්නෙ. කුල ප්‍රශ්නය ගැන අභ්‍යන්තරයට ගිහිල්ල නැහැ. උඩ මට්ටමින් කතා කරන්නෙ.
නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට සුළු ජාතිකයන්ට හිරිහැර ගැන කියන නවකථාවක්. දෙමළ ඩයස් පෝරාව කියන්නෙත්, නිශ්ශංක විජේමාන්න “තාරා මගේ දෙව්දුව” නවකථාවෙන් කියන දෙයම තමයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සමහර දෙනාට සාහිත්‍ය ගැන දැනුමක් නැහැ. ඒක නිසා සමහර ප්‍රකාශකයො ගේම් දෙනවා. විදර්ශන ප්‍රකාශකයින් පොත් දෙකක් පී.බී.ජයසේකරගේ “මරිය සිලෝනිකා වස්තුව”, නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” උඩට ගන්න ජනක ඉනිමංකඩට ඕන වුණා.
විනිශ්චය මණ්ඩලය පත්කරන්න මුල්වෙන්නෙ ජනක ඉනිමංකඩ. ඔහුගෙ හිතවතුන් තමයි එතැනට එන්නෙ. ඒ විතරක් නොවෙයි ෆේස් බුක් හරහාත් ඔහු තම පොත් දෙකට ලොකු තල්ලුවක් දෙනවා. ඔහුට ඕන ස්වර්ණ පුස්තක සම්මානයෙ රශ්මියෙන් ඔහුගේ පොත් දෙකට ඉහළම ‍අලෙවියක් ලබාගැනීම. ජනක මේ සඳහා කැන්වසින් ගියා.
ස්වර්ණ පුස්තක නව විනිශ්චය ක්‍රමවේදයත් වැරදියි. එකම පුද්ගලයා විසිදෙනෙක් ආරම්භයේ පටන් අවසානය දක්වා විනිශ්චයේ යෙදෙද්දි එකම රසයේ පොත් ගැනමයි අවධානය යොමු වෙන්නෙ. විවිධත්වයක් නැහැ. රසිකත්වය විවිධ වෙන්න ඕනෙ. එතකොටයි අලුත් දෙයක් ඇතිවෙන්න පුළුවන්.
මෙතැන තව ගේමක් යනවා. ඒ සිංහල නවකථාව නැති කිරීම. පාඨකයින් ප්‍රිය නැති නවකථා විනිශ්චය මණ්ඩලය ‍තේරීමෙන් පාඨකයාට නවකථාව එපා වෙනවා. මේ අවුරුද්දෙ නිර්දේශිත පොත් ගන්න අය ලබන අවුරුද්දෙ පොත් ගැනීම සම්පූර්ණයෙන් අත්හැර දානවා.

(02).නෝබට් අයගමගේ 
කාල නදී ගලා බසී
සාදිරිස් කියන පුද්ගල චරිතයත් එක්ක පාරු සංස්කෘතියත් සමඟ ගඟ දෙපස ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිත ගැන මම කාල නදී ගලා බසී නවකථාවෙන් කියනවා. කතාව පටන් ගන්නෙ එක්දහස්නවසිය අනූහත කාලයේ. මගෙ පළමුවැනි නවකථාව මේක.
පොතක් ලියන්නෙ සම්මාන බලාගෙනම නොවෙයි. නමුත් කිසියම් විනිශ්චයකදී අපිට අසාධාරණයක් වෙනවා නම් අපිට ඒක ඉවසන්න බැහැ. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දී දෙවැනි වටයට මගෙ පොත තේරුණේ ඡන්ද දාහතක් ලබාගෙන.
නමුත් අවසාන පොත් පහ තෝරද්දි ඡන්ද දහහතක් ලැබුණ මගේ පොත යට ගිහිල්ල ඊට අඩු ලකුණු ලැබුණු පොතක් උඩට ආවා. එකම විනිසුරුවන් විසිදෙනෙක්‍ නේද ඔතන ඉන්නෙ? දෙවැනි වටයට පොත් දහය තෝරල අවසාන වටයට පොත් පහ තෝරන්න අමුතු විනිශ්චයකාරයො ආවෙ නැහැනේ. හොඳටම තේරෙනවා ගේමක් තමයි ගියේ කියලා.
අපේ රටේ තියෙන පාරම්පරික චින්තනය සාම්ප්‍රදායී හැදියාව නැති කරන්න කණ්ඩායමකට ඕන වෙලා තියෙනවා. ඒකට පසුබිම හදල දෙන නවකථාවලට තමයි සම්මාන දෙන්නෙ.
ගිය පාරත් ඕක වුණා. ගිය පාර සෙංකොට්ටන් නවකථාවට නොදී කාල සර්ප නවකථාවට සම්මාන හම්බවුණේ එහෙමයි. මගෙ කාල නදී ගලා බසී නවකථාවෙත් තාත්ත දුවව දූෂණය කරනවා වගේ කථාවක් තිබුණා නම් සම්මාන ලැබෙන්න තිබුණා.
දැන් මේ සිදුවේගෙන යන රටාව දිහා බැලුවාම සිද්ධවෙන්නෙ අපි හිතන විදියේ විනිශ්චයක්වත් ඇගැයීමක්වත් නොවෙයි. තම තමන් අතර තමන්ගෙ හිතවතුන් අතර සම්මාන බෙදා දීමක්. කියවන්න කම්මැලිම කම්මැලි නවකථාවකට ගියවර සම්මාන දීමෙන් ඒක යස රඟට ඔප්පුවුණා.
මේකෙ වැරැද්ද සංවිධායකයින්ගෙ නොවෙයි. විනිශ්චය මණ්ඩලයට එන පුද්ගලයන්ගෙ. පටු පරමාර්ථවලින් මේ මිනිස්සු එන්නෙ තම ගජ මිතුරු සමාජයට සේවයක් කරන්න.
මේ අය මෙතැනට එන්නෙ වෙනම සන්ධානගතවෙලා. ගිය පාර ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයට තමන්ව ඇතුළත් නොකළ නිසා ඒකට පට්ට යන්න බැන්න සමන් වික්‍රමආරච්චි මෙන්න අපූරුවට මෙදා පාර විනිශ්චය මණ්ඩලයට ඇවිල්ලා. ස්වාර්ථය සඳහා වෙනස්වන ඒ මිනිස්සුන්ගෙ විනිශ්චය අපි කොහොමද පිළිගන්නෙ?
මේ අය මෙතනට එන්නෙ වෙනම සන්ධානගතවෙලා පශ්චාත් නූතනවාදය කියල කුණුහබ්බ කතාන්දර උඩට ගන්නයි මේ‍ෙක ඉන්න එන්ජීඕ කාරයො උත්සාහ කරන්නෙ. ඔවුන්ට ඕන වෙනම සංස්කෘතියක් වෙනම ගන්ධබ්බ සාහිත්‍යයක් ලංකාවෙ ඇතිකරන්නයි.”
පොත් ප්‍රකාශකයින් රාශියක් ඉද්දි එක පොත් ප්‍රකාශකයෙක් තමයි විනිශ්චය මණ්ඩලය තෝරන්නෙ. විශ්වවිද්‍යාලයෙන් පිටවුණ ගැටවු කට්ටියක් අල්ලගෙන පොත් ගහන ඔය ප්‍රකාශකයාගෙ එක පොතක් කියවන්න පුළුවන්ද?
මට ‍ෙලාකු යාලුවො නැහැ. ඒක නිසා මම කාටවත් කියල නැහැ මගෙ පොත ගැන විශේෂත්වයක් දක්වන්න කියලා. මම ඔය මී පොරේට එන්න කැමැතිත් නැහැ. නමුත් කියවපු බොහෝ දෙනා මගෙ පොත පැසසුවා. විනිශ්චය මණ්ඩලයේ කීපදෙනෙකු‍ෙග් පටු ආත්මාර්ථකාමී අදහස් නිසා සමස්ත සමීක්ෂණ මණ්ඩලයම අවමන් ලබනවා.
මහ ගිනි දවාලක උගත් වියත් දාමරික සුළුතරයක් විසින් නිර්ලජ්ජිතව කළ මංකොල්ලයක් ලෙසයි මම ඔය ක්‍රියාදාමය දකින්නෙ.




ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/05/2013

Come බබා

කතෘ:යුතුකම     5/05/2013   7 comments

ජයසේකර නැවතත් තම කාමරය තුළට වැදුනි. ඔහු මේසය අසළ වූ ජනේලය ඇර දමා මදක් වේලා පිටත බලා සිටියේය. ඔහුගේ දෑසට යොමුවූයේ පුරන්ව ගිය කෙතකි. වසර දහයකට පමණ පෙර මෙය සරුසාර කෙතක්ව පැවැති අයුරු ජයසේකරගේ මනසේ මැවී පෙනෙන්නට විය. ඒ සමඟම තමාගේ දෑස ඉදිරියේ නොපැහැදිලි දුමාරයක් පැන නැඟී එනවා සේ ඔහුට දැනිණ. තම සිත තුළ කැකෑරෙන තමාටද පැහැදිලි නැති අදහස් එකතැන් කරනු වස් ඔහු කොළයක් හා පෑනක් අතට ගෙන මේස පුටුවේ හිඳ ගත්තේය. ඔහු අතින් පහත ලියැවිල්ල ලියැවුණි. 

2011/04/29 නිවසේදී,
මේවා කියන්නට ගොස් මගේ ලේලියගේ හිත නරක් කර ලොකු පුතාගේ හිතත් රිදවීමට මට නොවුවමනා බැවින් මෙසේ ලියා තිබන්නට සිතුවෙමි.
මෙවර සිංහල අවුරුද්දට ලොකු පුතාලා ගමට පැමිණීම මටත්, විමලාටත් මහත් අස්වැසිල්ලක් විය. ඔවුන් කාර්යබහුල වීම නිසා ගියවර අවුරුද්දට ගෙදර ආවේ නැතත් මෙවර නම් අපගේ සිඟිති මිණිපිරියද කැටුව දින පහක්ම නතර වී යාමට ඔවුනට හැකිවිය. එම දවස් කිහිපය පුරාම මේ ගෙදර සිඟිති දියණියගේ සුරතල් දඟකාරකම්වලින් පිරී පැවතිණි. පාළුවෙන් නිදිගෙන සිටි මේ නිවස, එහි බඩුබාහිරාදිය සේම අවට ගහකොළ පවා සිඟිති දියණියගේ සුරතල් බැලීමට නැවත පිබිදුණාක් මෙන් විය. පාළුවෙන් කාලය ගතකරන විමලාටත් ඒ දින කිහිපය ලොකු සතුටක් ගෙනදුන් බවත් ඈ තුළ දුටු උද්යෝගයෙන් මනාව දිස් විය. ඒ බව ඇගේ දෑස් තුළද සනිටුහන්ව තිබෙනු මම දුටිමි. ඒ හැඟුම්බර දෑස් මා තරුණ කාලයේ ඈ වෙත ආකර්ෂණය කළ බව තවම මම ඇය සමඟ කියා නැත්තෙමි. ඒ නෙතු සඟල මාගේ සුරතල් මිණිපිරියටද උරුම වී ඇතැයි මසිත කියයි.

සුරතල් මිණිපිරිය දකින මා හට නිතැතින්ම සිහිවන්නේ අපගේ දරු තිදෙනාගේ ළමා කාලයයි. පාසල් ගොස් ගෙදර එන තිදෙනා වත්ත පුරා දුව පැන යමින් එකට සෙල්ලම් කළෝය. හවස් වීගෙන එද්දී මුහුණ කට සෝදාගෙන ඇඳුමක් ඇඟලා ගන්නා දරුවෝ ආච්චි සහ සීයා ළඟ දැවටෙමින් කතන්දර අසා ගත්තෝය. ආච්චී සහ සීයාගේ සිනහව සමඟ මුසුවූ දරුවන්ගේ සිනහව අවට වාතාශ‍්‍රය ප‍්‍රබෝධමත් කළේය. දැන් මේ නිවස තුළ පවතින මළානික වාතය මගේ නාස්පුඩු තුළින් ඇතුළු වී පපුව තුළදී එම ආදරණීය ප‍්‍රබෝධයේ වියෝව සිහිකර කඳුළකින් පපුව බර කරනවා වැනි හැගුමක් ඇති කරයි. ඒ දිනවල දරු සුරතල් බැලීමට මෙන් නොමඳව ගේ තුළට එබී බැලූ හිරුඑළිය දැන් මේ ගෙය තුළට එබෙන්නේ  ඕනෑවට එපාවට, නෑවිත් බැරි නිසා මෙනි. මේ නිවස අරක්ගෙන සිටින අඳුරු ශෝකී ස්වභාවය මගේ මනසේම පිළිබිඹුවක් වැනිය.

අපගේ දරුවන්ට හොඳින් උගන්වා සමාජය තුළ හොඳ තත්වයක් හිමි පුද්ගලයන් කිරීම අපගේ බලාපොරොත්තුව විය. ඒ සඳහා අපි බොහෝ වෙහෙසුනෙමු. එම වෙහෙස අපතේ නොයවා වැඩිමළුන් දෙදෙනාම හොඳින්  ඉගෙන ගත්තෝය. ඉගෙනීමට එතරම් සමත්කමක් නොදැක්වූ පොඩි පුතා  විශ්වවිද්‍යාලයට තේරී පත්විය නොහැකි වූ පසු ඔහුගේ අනාගතය සොයා  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විය. දැන් ඔහු බිරිඳ හා දරුවා සමඟ එහි පදිංචි වී සිටිති. වෛද්‍යවරියක වන ලොකු දුව එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනයේ නියැළී සිටියි. ඔවුනගේ මුහුණු අපට දැකගැනීමට ලැබෙනනේ වසර කිහිපයකට වතාවක් පමණි. ලංකාවේ සිටින්නේ ලොකු පුතාගේ පවුලේ අය පමණි. ඔවුන්ව වුවද අපට දකින්නට ලැබෙන්නේ මාස කිහිපයකට වතාවක්  පමණි. කොට්ටාව පන්නිපිටියේ පදිංචිව සිටින ඔහු මෘදුකාංග ඉන්ජිනේරුවෙකි. කොළඹ පෞද්ගලික බැංකුවක සේවය කරන ඔහුගේ බිරිඳ කියන්න වරදක් නැති ගුණ යහපත් බිරිඳක් හා මවකි. දරුවන් අපගෙන් ඈත්ව විසුවද ඔවුනගේ දියුණුව සිහිකර අපට සතුටු විය හැකිය. විමලා ඇතැම් නෑයකු සමඟ අපගේ දරුවන් ගැන මදක් ආඩම්බරයෙන් කතා කරනවා මා දැක ඇත. 

කුඩා කල අපගේ දරුවන් හැදුණේ වැඩුණේ නෑදෑ පිරිවරක් මැද යයි කිව හැක. අපගේ ගම වන බදුරලියේ මෙන්ම අහල පහල ඇති හැඩිගල්ල, කලවාන, ලත්පඳුර වැනි පෙදෙස්වලද අපගේ නෑයෝ වෙසෙති. ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලාගේ නිබඳ ඇසුරට හා ආදරයට ඔවුන් පාත‍්‍ර විය. නැවුම් හැඟුමන් හා මුසුව ඒ සාමූහිකත්වය ප‍්‍රතිමූර්තිමත් කෙරුණු සිංහල අවුරුදු සමය අපගේ දරුවන්ට සුවසේ විඳ ගැනීමට ලැබුණු දිව්‍යමය කාලය විය.
මෙවර ලොකු පුතාලා සිංහල අවුරුද්දට ගෙදර ආ වේලේ මා හට සිඟිති දියණිය තුරුළු කරගෙන කතාන්දර කියාදීමට ඇත්නම් කියා සිතුනේ වරක් දෙවරක් නොවේ. නමුත් කුමන හෝ අහේතුවකට එය එසේ සිදු නොවිණි. සුරතල් දියණියගේ ”මවු බස” සිංහල නොවීය. ඇය උසුරුවන්නේ ඉංගී‍්‍රසි බසයි. දරුවාගේ මවත් පියාත් ඈට කතා කරන්නේ ඉංගී‍්‍රසියෙනි. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංගී‍්‍රසි බසින් ඉගෙනුම ලබයි. සිංහල පත්තරයක වැඩ කළ මට ”මඟ වැරදුණු සුද්දෙකුට” පාර කියාදිය හැකි නමුදු ඉංගී‍්‍රසියෙන් ආදරය කිරීමට හෝ දරු මුණුපුරන් වෙත ඇඟෑලූම් පෑමට මම අසමත්මි.

”අම්මී, තාත්තී, ආච්චා, ෂීයා” ඈ භාවිතා කළ සිංහල වචන කිහිපයක් ලෙස මට මතක ඇත. අවුරුද්දට මෙහි එක්රැුස් වුණ නෑයින්ට ඈ ඉතා සුරතල් දසුනක් වුවත් කිසියම් ආකාරයකට ”පිටස්තර” දරුවකුගේ ස්වරූපයක් ඈ කෙරෙන් විද්‍යාමාන නොවූයේ යැයි කිව නොහැකිය. වෙනත් දරුවකු සමඟ මෙන් ඈ හා සුරතල් බස් තෙපලීමට ඔවුහු මැලි වූහ. දරුවාට ලැබුණ පිටස්තරභාවය ඇගේ මවට කිසියම් අහිංසක ආඩම්බරයක් ගෙන දෙනවාදැයි මට සිතේ. ඇතැම් විටක ලොකු පුතා නම් මදක් අපහසුතාවයකට පත්ව සිටිනවා යැයි මට හැඟුණි. 
මා කල්පනා කරන්නට වූයේ කාලයාගේ ඇවෑමත් සමඟ අප වසන සමාජයට සිදුවී ඇති වෙනස පිළිබඳවය. මගේ මෙන්ම විමලාගේ දෙමාපියන්ද ආච්චිලා, සීයලා ලෙස මිණිපිරි, මුණුපුරන් හා කෙතරම් සතුටු වූවෝද? මම දැන් සීයා කෙනෙකු වෙමි. මගේ පියා සීයා කෙනෙකු ලෙස බෙහෙවින් පින්කර ඇත. මගේ පියාට මෙන් නොව, මට මගේ මුණුපුරන් දකින්නට ලැබෙන්නේ ඉඳහිටය. දැක්කත් ඔවුන් හා හරි හරියට කතාබහ කරගැනීමට මට බැරිය. අප ගැනටත් වඩා මට කනගාටුවක් දැනෙන්නේ අපගේ මුණුපුරන් ගැනය. ඔවුනට ලැබෙන සෙනෙහසේ කවයේ අරය ඉතා පටු නොවේද?

පෙර දිනවල මේ ගෙදර පරම්පරා තුනක නැතිනම් හතරක පිරිස් එකට දුක සැප බෙදාගත්හ. අපගේ දරුවන් තම තමන්ගේ අනාගතනය සොයා දුරු රටවලට හා නගරයට සංක‍්‍රමණය වූහ. මහළු අප දෙදෙනා පමණක් මෙහි ඉතිරි විය.
එක් සති අන්තයකට පසු සඳුදා දින පෙහොය නිවාඩු දිනයක් යෙදී තිබුණ බැවින් ලොකු පුතාලා ගෙදර එනවාදැයි දැනගනු රිසියෙන් මම ඔහුට දුරකතනයෙන් කතා කළෙමි. එවිට ඔහු පැවැසුවේ එම සතිඅන්තය හෝටලයක ගත කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවකි. ඔවුහු එබඳු තීරණයක් ගත්තේ තම ණය කාඞ්පත සඳහා ලැබෙන 50% වට්ටම නිසා බවත් කීය. එය මඟහැරීම අනුවණකමකැයි ඔහු පැවැසුවේ මා සනසාලනු පිණිස විය යුතුය. හෝටලයකට ගොසින් මුදල් ද වියපැහැදම් කර ඔවුන් සොයනා ප‍්‍රීතිය කුමක්දැයි කිසි දිනෙක එවැනි හෝටලයක රැුයක් ගත කර නැති මට නොවැටහේ. ඔවුන්ට සති අන්තනය ගතකරන අයුරු යෝජනා කෙරෙන්නේ බැංකුවක් මගිනි. ගමට නොගොස් බැංකුව කැමැති හෝටලයක ගත කරනාවට ඔවුනට වට්ටමක්ද හිමිවෙයි. අපත්, අප දරුවනුත් සතුට යනුවෙන් අදහස් කෙරෙන්නේ එකම දෙයක් නම් විය නොහැක.

අනෙක් අතට ලොකු පුතා ගෙදර නෑවිත් හෝටලයකට යන්න තීරණය කරන්න ඇත්තේ තම බිරිඳගේත් දරුවගේත් සතුට ගැන සිතා විය හැකිය. අපගේ දෙමාපියන් හා අපගේ දරුවන් අතර වූ තරම් ඇඟෑලියාවක් අප හා අපගේ දරුවන්ගේ දරුවන් අතර නැත. අපි භාෂා දෙකක් කතා කරන්නෙමු. අපගේ මිණිපිරිය හට මාත් විමලාත් ඈ හා කතා නොකරන ගොළුවන් දෙදෙනෙකු ලෙස දැනෙනවා විය හැකිය. ඒ පුංචි දරුවාට මෙහි පැමිණියද තම ආච්චි හා සීයා සමඟ දොඩමළු විය නොහැකිය. එබැවින් ඒ පුංචි දරුවාටද හෝටලය වඩාත් පි‍්‍රයජනක ස්ථානයක් වන්නට ඇත. 
ලෝකය පිළිගත් අධ්‍යාපනඥයින්ගේ මතය දරුවන්ට මවුභාෂාවෙන් ඉගැන්විය යුතු බව වුවද, අපගේ දරුවන්  ඔවුන්ගේ දරුවන්ට ඉංගී‍්‍රසිියෙන් උගන්වන්නට තීරණය කළේ  කිනම් හේතුවකටදැයි මට නොතේරේ. ඉංගී‍්‍රසිි මව්බස නොවන යුරෝපීය රටවල මෙන්ම ධනවාදී ආර්ථික මොඩලයක් ඔස්සේ ඉදිරියට පැමිණි චීනයට මෙන්ම ජපානයටද මවුබස අත්හල දරුවෙකු වුවමනා නොවු විටකදි, අපේ අයට ඇති වුවමනාව තේරුම් ගනුයේ කෙසේද? මෙමගින් දරුවාගේ වචන හා අදහස් අතර බැම්මක් ඇති වේ. තම පරිසරයෙන් මෙන්ම නෑදෑයන්ගෙන්ද දරුවා උගෙනියි. පාසලෙන් ලබන අධ්‍යාපනය ඊට රුකුලක් විය යුතුය. මෙම භාෂා පරස්පරය දරුවාගේ සිතිවිලි වර්ධනයට බාධාවක් වෙමින්, නිමාණශීලිත්වය මොට කරයි. අද අපට අවශ්‍යය ඉංගී‍්‍රසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා නිර්මාණශීලී දරුවෙකු මිස ඉංගී‍්‍රසියම කබල් ගගා යන හණමිටිකාර මිනිසෙකු බිහි කිරීම නොවන බව තේරුම් ගැනීමට අප දරුවන් අසමත් වී ඇත්තේ මන්ද? මව්බස පසෙකලා වෙනත් භාෂාවකින් ඉගැන්වීම තම පියා සිටියදී අල්ලපු ගෙදර මිනිහාට පියා කියන්නට උගැන්වීම වැනි දෙයකි.

මෙවන් අනුවණ තීරණයකට ඵ්මට අපගේ දරුවන්ට කිසියම් සංකීර්ණ මනෝභාවයක් බලපාන්නට ඇතැයි මට සිතේ. අපේ දරුවෝ ගම්වල ඉපැද නිදහස් අධ්‍යාපනයෙන් සිංහලෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලය දක්වා ඒගොල්ලන්ට නැඟගන්න තිබිච්චි ඉණිමඟ දිගේ සාර්ථකව ගොඩ වෙච්ච උදවියයි. මේ පරපුර මුහුණදෙන නොයෙකුත් අතෝරයන් වගේම, ඔවුන් සංස්කෘතියෙන් උරුම කරගත් සභ්‍යත්ව විඥාණයක් ගැනත් ගුණදාස අමරසේකර මහතා තමන්ගේ නවකතාවල බොහෝම අපූරුවට පෙන්වා දී තිබේ. මේ ඉණිමගේ නගින්න නොහැකිව ඉච්ඡුාභංගත්වයට පත්විච්ච ඈයෝ ”විප්ලවයේ” නාමයෙන් දෙවරක්ම සියදිවි නසාගත්හ. අපිත් දෙමාපියන් විදියට කළේ මේගොල්ලන්ට මේ ඉණිමග දිගේ නගින්න පුළුවන් හැම තල්ලූවක්ම දෙන එකයි. අමරසේකර මහතා කියන විදියට එහි අවසාන ප‍්‍රතිඵලය වුනේ තමා උපන් බිමත්, එහි වූ සහෝදර සහෝදරියනුත් අවසානයේ තම රට ජාතියත් අමතක කළ උපන් බිමෙන් විගලිත වූ අදේශපාලනික කොටසක් බිහිවීමයි.
දිනක් කොළඹ ලොකු පුතාගේ ගෙදර සිටිනවිට, පුතා ඔහුගේ නිවසට පැමිණි මිතුරන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදෙන විට මම ද එතැනට ගියෙමි. ඔවුන් සිහි කරමින් සිටියේ තමන්ගේ ළමා කාලයන් පිළිබදවය. එතැනදි මට වැටහුනේ අපේ පුතා තමා ඉගෙන ගත්තේ ගමේ පාසලේ බව කියන්නේ එය නොකියාම බැරි අවස්තාවක් පැමිණි විට පමණක් බවය. එය ඔහුට තරමක ලැජ්ජාවක් යැයි මට සිතින. නිතර දෙවේලේ ගෙදරදී අතින් බත් කන ඔහු එම පරපුරේ අනෙක් අය මෙන්ම වැදගත් උත්සව අවස්ථාවකදී පිරිසක් ඉදිරියේ අතින් බත් කෑමට ලැජ්ජා වේ. ඔවුහු එය අශ්ලීල කමකැයි සිතති. මම මෑතකදී නැරඹූ ”සුද්දෙක් ඔබ අමතයි” වේදිකා නාට්‍යය මගින් මේ මනෝ භාවයන් උපහාසාත්මකව මතු කර පෙන්වූයේය. සමහරවිට මේ උදවියගෙන් සමහරෙක් දෙනා හිතනවා වෙන්න පුළුවන් තම උරුමය පිළිබදව මොවුන් තුළ පවතින හීනමානයෙන් තමන්ගේ දරුවන් මුදවන්න  ඕනා කියා. ඒ නිසා ඔවුහූ සම්පූර්ණයෙන්ම තමන්ගේ උරුමය අත්හළ දරුවෙක් පතති.
විමලා ගැන මට ඇතිවන්නේ මහත් අනුකම්පාවකි. අපගේ දරුවන් මේ තත්වයට ගෙන ඒමට ඇය ඉමහත් පරිශ‍්‍රමයක් දැරුවාය. පුවත්පතක සේවය කළ මගේ ආදායම අප දරුවන්ගේ කරදඬු උස්මහත් කරවා උගන්වන්නට තරම් සෑහුනේ නැත. මා අසනීප වුණු වතාවක අපට මිල මුදල් අතින් දැඩි අසීරුතාවන්ට මුහුණදෙන්නට සිදුවිය. ඒ දිනවල පොඩි එකෙකු වුවද ලොකු පුතාට අපගේ අඟහිඟකම් ගැන හොඳින් වැටුහුණි. අම්මා කෑවද කියා නාහා ලොකු පුතා බත් කන්නේ නැතැයි මා බැලීම සඳහා ඉස්පිරිතාලයට ආ විටක විමලා පැවසුයේ ඇගේ නෙතඟට නැඟුණු කඳුළක් පිසදමමිනි. 

මේ ලියන මොහොතේදීත් මට ඇසෙන්නේ විමලාගේ මහන මැෂිමේ නාදයයි. මේ නිවස තුළ පවතින පාළු ගතිය ඇගේ මහන මැෂිමේ සුපුරුදු නාදය නිසා අඩු වෙනවාද නැතිනම් වැඩිවෙනවාදැයි සිතාගැනීමට අසීරුය. දරුවන්ගේ අනාගතය සරි කරලනු වස් කකුල් දෙක රිදුම් කන තුරු ඈ මැෂිම පෑගුවේ හිරුගේ රශ්මියත් සඳුගේ සිසිලත් අමතක වූ එකියක ලෙසිනි. හෙමින් සීරුවේ ඈ ගෙත්තම් කළේ අන් කිසිවක් නොව, අපගේ දරු තිදෙනාගේ අනාගතයයි. උසස් අධ්‍යාපනයක් නොලද ඇගේ ඒකායන පැතුම වූයේ දරු තිදෙනාට හොඳින් උගන්වා සමාජය තුළ ඉහළින් වැජඹීමට සලස්වාලීමයි. ජීවිතයේ කිසි දිනක ඈට ඉංගී‍්‍රසි වුවමනා වී අතැයි මම නොසිතමි. නමුත් දැන් ඇයට ආච්චි කෙනෙකු වීම සදහා ඉංගී‍්‍රසි වුවමනා වී තිබේ.

ගියවර අවුරුද්දට පුතාලා ගෙදර ආ දිනවල නිතර නිතර දුටු දසුනක් මා හට නැවත නැවත මැවී පෙනෙන්නේ මා දෙනෙත් ඉදිරියේ පැන නගින ශෝකානුකූල දුමාරයක් අතරින් මෙනි. අපගේ සුරතල් මිණිපිරිය දෙස විමලා ඉමහත් සෙනෙහසින් බලා හිඳියි. ඇගේ දෙනෙතින් ඒ සෙනෙහස වෑහේ. ඊළඟට ම`දක් ඉදිරියට නැවෙන ඈ සිනාසෙන මුහුණින් යුතුව පුංචි දෝණිය දෙසට දෑත් දිගුකොට ”come බබා” කියා කියයි. සුරතල් අඩි තබා විමලා දෙසට එන ඈ විමලාගේ අත් අතරින් මද වේලාවකින් ගිලිහී දිවයයි. ඉවතට දිවයන ඈ දෙස විමලා නැවත මද සිනාවකින් යුතු මුවකින් හා ප‍්‍රශ්නාර්ථයක් රැඳුණු දෑසින් යුතුව බලා සිටියි. ඊළඟ මොහොතේ එම දුමාරය අතුරුදන් වන්නේ එමඟින් එක්කල ශෝකයෙන් මගේ පපුව බර කරමිනි. විමලාගේ මව අපගේ දරුවන්ට කොතෙක් නම් කවි, කතන්දර කියා දී ඇත්ද? දිනකට කීපවරක් පමණ කීවත් විමලා ඇගේ මිණිපිරියට කීවේ එකම එක කතාවක් පමණි. ”Come බබා” යනු ඒ දිගම දිග කතාවයි.

මෙම ලියවිල්ල ලියා දැමූ ජයසේකර නැවත එය අතට ගෙන කියවූයේ දින දෙකකට පසුය. ඔහු එය කෙටිකතාවක් ලෙස සකසා තමා වැඩකළ පුවත්පතෙහි පළ කිරීමට පෙර මෙය තමාගේ කලණ මිතුරු වීරසිංහට කියවන්නට ලබාදී ඔහුගේ අදහස් උදහස් විමසිය යුතු යැයි සිතිණි. තමා මුහුණදෙන බොහෝ ගැටළු වීරසිංහ සමඟ සාකච්ඡුා කරන්නේ ඔහුට ඉන් අස්වැසිල්ලක් ලැබෙතැයි යන විශ්වාසයෙන් යුතුවය. 
ඔහු අසළට පැමිණි විමලා බඩුමල්ල  අතටදී කීවේ ඇතැම්විට හෙට දින පුතාලා ඒමට ඉඩ තිබෙන බැවින් කඩයට ගොස් කෑම බීම ටිකක් රැුගෙන එන ලෙසය. දුරකතන ඇමතුමකින් ඔවුන්ගේ පැමිණීම තහවුරු කරගත හැකි වුවද විමලා මෙන්ම තමාද ජීවත්වන්නේ බලාපොරොත්තුව මතින් බව දන්නා ජයසේකර බඩුමල්ලද රැගෙන කඩමණ්ඩියට පිටත් විය.

- ලසන්ත  වික‍්‍රමසිංහ
(2012 -ජනවාරි පෙරඹර මාසික සඟරාවේ පළ කල කෙටි කතාවකි)


Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions