4/29/2017

පිස්සන් රජ කරන කලේ - මලේ ඔන්න ඉවරයි ත්‍රිකුණාමලේ...

කතෘ:යුතුකම     4/29/2017   No comments

මලේ ඔන්න ඉවරයි ත්‍රිකුණාමලේ...
-උදේශ සංජීව ගමගේ

ඔබට පමණක්‌ නොව අප කාටත් දැන් සතුටුය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය නතර කර තිබේ. ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කරන ලද්දේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට එරෙහිවය. වර්ජනය අත්හිටුවූයේ, අගමැතිවරයා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසු "එය එසේ වන්නේ නැතැයි" දුන් ලිත පොරොන්දුවත් සමඟිනි.

තෙල් පිරවුම්හල් අසල පෝළිමේ සිටි අයට "බොහෝ සතුටු" නමුත් අපේ කල්පනාව නම් ඒ සතුට තාවකාලික බවය. කොටින්ම කීවොත් මේ කතාන්දරය එතැනින් අවසන් නැති බවය.

අපට ඊට ආසන්නතම උදාහරණත් ගෙනහැර දැක්‌විය හැකිය. ඒ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කී කතාවය. ඔහු කියන ආකාරයට ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල මූලික අයිතිය ශ්‍රී ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක්‌ ඉන්දියානු තෙල් සමාගමට ද, 10 ක්‌ ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට ද, ඉතිරි 74 හවුල් ව්‍යාපාරයක්‌ ලෙසද පවත්වාගෙන යැමට දෙරට අතර එකඟතාවක්‌ ඇතිව තිබේ. ඒ අනුව ඉන්දියාවට පවරන්නේ නැතැයි කියන තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ පෙර එකඟතාවක්‌ තිබෙන බව ඇමැතිවරයා පිළිගෙන තිබේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ කතාව අදක ඊයෙක ඉතිහාසයක්‌ තිබෙන කතාවක්‌ නොවේ. 2003 වර්ෂයේදී එක්‌සත් ජාතික පෙරමුණු රජය සමයේ මෙම තෙල් ටැංකි සමූහයෙන් යම් ප්‍රමාණයක්‌ ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුද්දකට බද්දට දී තිබේ. ඉදිරියේදී "එට්‌කා" සමග ඉන්දියාවට ලබාදීමට තීරණය කර ඇති බොහෝ දේ සමඟ නැවත මේ තෙල් ටැංකි ද ඉන්දියාවට ලබාදීමට නියමිත බවට සැකයක්‌ නැත. මේ කොලේ වසා ගැසීම තේරුම් ගන්නට පෙරාතුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රය සම්බන්ධයෙන් ඇති ඉතිහාසගත වැදගත්කමත්, එය අපේ රටට වටින්නේ ඇයි දැයි යන්නත් අවබෝධ කරගත යුතුය.

මොනවද මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි

මෙම තෙල් ටැංකි සමූහය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය චීන වරාය ආශ්‍රිතවය. එම තෙල් ටැංකි සමූහය බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරනු ලැබූවකි. එහි විශාල ප්‍රමාණයෙන් යුත් තෙල් ටැංකි 101 ක්‌ ඉදිකිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කටයුතු කරනු ලැබ තිබිණි.

බ්‍රිතාන්‍ය පාලකයන් ත්‍රිකුණාමලය ආශ්‍රිත මෙම ප්‍රදේශය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ සුවිශේෂී කාරණා කිහිපයක්‌ මුල්කරගෙනය. දකුණු ආසියාවේම එවන් ඉදිකිරීමක්‌ සඳහා මෙවැනි බිම්කඩක්‌ තිබී නැත. මෙම තෙල් ටැංකි සියල්ලම ඉදිකර ඇත්තේ පොළොව තුළ ගිලී යන ආකාරයෙන් ස්‌වාභාවිකව පිහිටි ස්‌ථාන මනා නිරීක්‍ෂණයකින් තෝරා ගැනීමෙන් පසුවය. එපමණක්‌ නොව එම ස්‌වාභාවික පිහිටීම නිසාම යම් නොසිතූ විරූ පුපුරා යැමකට හෝ අනතුරකට ලක්‌වුවහොත් මෙම තෙල් ටැංකි කඩාවැටෙන්නේ භූමියෙහි ඇතුළටය. විශේෂයෙන්ම එම ගිලී යන ස්‌වභාවය නිසාම පුපුරා ගිනිගන්නා ටැංකියෙන් අනෙකුත් ටැංකිවලට ගින්න පැතිරීම වැළැක්‌වේ. මෙම සියුම් සහ විශිෂ්ට සැලසුම සකස්‌ කරන ලද බ්‍රිතාන්‍ය සැලසුම්කරුවෝ, මුහුද ආසන්නයේ පිහිටුවා ඇති තෙල් ටැංකිවල ආරක්‍ෂාවට විශාල කොන්ක්‍රීට්‌ ආවරණයක්‌ ද ඉදිකොට ඇත්තාහ. මුහුදු පෙදෙසින් ප්‍රහාරයක්‌ එල්ල වුවද තෙල් ටැංකි ආරක්‍ෂා කිරීම එහි අරමුණයි.

මෙම එක්‌ ටැංකියක්‌ අඩි 45 ක්‌ පමණ උස්‌ වන අතර වට අඩි 365 ක වට ප්‍රමාණයකින් යුක්‌තය. මෙම ටැංකියක ධාරිතාව තෙල් ලීටර් එක්‌කෝටි හතළිස්‌හතර ලක්‍ෂ හතළිස්‌දහසකි. අක්‌කර 600 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක විහිද ඇති මෙම තෙල් ටැංකි 101 ක්‌ වූ ප්‍රමාණයෙන් අද ඉතිරිව තිබෙන්නේ 99 ක්‌ පමණි. ඉතිරි ටැංකි දෙක විනාශ වී ඇත්තේ 1942 අප්‍රේල් 9 වැනි දින උදැසන ජපනුන් විසින් ත්‍රිකුණාමල වරායට බෝම්බ හෙළනු ලැබීම නිසාය. බ්‍රිතාන්‍ය ප්‍රහාර හේතුවෙන් අඩපණ වූ යානයක්‌ කඩාවැටී ඇත්තේ 91 වැනි ටැංකිය මතටය. ඒ ප්‍රදේශයේ පැරැන්නන් කියන ආකාරයට කඩාවැටෙන ගුවන් යානයේ නියමුවා ඉවතට පැන පැරෂුට්‌ ආධාරයෙන් දිවි ගලවා ගැනීම වෙනුවට 91 වැනි ටැංකියට යානය යොමුකරවීමෙන් උත්සාහ දරා ඇත්තේ තෙල් ටැංකි සමූහයම පුපුරුවා හැරීමටය. කෙසේ හෝ ඒ හේතුව නිසා විනාශ වී ඇත්තේ තෙල් ටැංකි දෙකක්‌ පමණි. ත්‍රිකුණාමල වරායටත්, තෙල් ටැංකි සමූහයටත් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමුවන් වන ෂිගනොරි වතනබේ, ටොකියා හොතෝ, ටිසුතොමු තොෂිරා යන තිදෙනා සිහිවීම පිණිස කුරුසියක හැඩය ගත් ස්‌මාරකයක්‌ ද එහි පිහිටුවා තිබිණි. ඒ මත එක්‌ සොල්දාදුවකුගේ හිස්‌කබල ද ගුවන් යානයක කොටස්‌ ද තබා තිබෙනු දක්‌නට ලැබිණි. කෙසේ හෝ මේ වන විට එම ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය බෙහෙවින් උදාසීන මට්‌ටමක පවතින බව කිව යුතුය. මෙම තෙල් ටැංකි සමූහය පිහිටා ඇත්තේ ඉහළ සංකීර්ණය සහ පහළ සංකීර්ණය ලෙස කොටස්‌ දෙකකින් සමන්විතවය. ඒ අනුව ඉහළ සංකීර්ණය ටැංකි 82 කින් ද පහළ සංකීර්ණය ටැංකි 17 කින් ද (විනාශ වූ ටැංකි ද ඇතුළත්ව) යුක්‌තය. ඉහළ සංකීර්ණයෙහි ඇති විශේෂත්වය වන්නේ දුම්රිය තෙල් ටැංකි සඳහා තෙල් පිරවීමේ පහසුකම්වලින්ද යුක්‌ත වීමය.

ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව පිහිටි මෙම භූමිය ජාත්‍යන්තරයේ බොහෝ රටවල බෙහෙවින් ප්‍රකටය. ලොව දෙවැනි විශාලතම වරාය ලෙස සැලකෙන ත්‍රිකුණාමල වරායේ උපායශීලී වැදගත්කම වන්නේ යුදමය වශයෙන් මර්මස්‌ථානයක්‌ වීමය. දකුණු හා අග්නිදිග ආසියාව කේන්ද්‍ර කොටගත් යුරෝපා ජාතීන්ගේ ගවේෂණ ඉතිහාසය පෙන්වා දෙන පරිදි පෘතුගීසීන්, ලන්දේසීන්, ප්‍රංශ ජාතීන් හා ඉංග්‍රීසීන් ත්‍රිකුණාමලය තමා සතුකර ගැනීමට ගැටුම් ඇතිකරගෙන තිබේ. අද වන විට ත්‍රිකුණාමල වරාය ගැන විශාල කෑදරකමක්‌ ඇතිකරගෙන සිටින රටවල් අතර ඉන්දියාව ද ඉදිරියෙන් සිටී. 1987 අත්සන් කරනු ලැබූ ඉන්දු - ලංකා ගිවිසුමෙහිද සටහන් වූයේ ඉන්දීය ආධිපත්‍යයට හානියක්‌ වන අයුරින් ත්‍රිකුණාමල වරාය විදෙස්‌ රටක භාවිතයට ලබා නොදිය යුතු බවය. එසේ බලන කල මෙම තෙල් ටැංකි සමූහය පිහිටි පෙදෙස්‌ වුව ඉන්දියාවට කොතරම් වැදගත් ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

වර්තමාන කතාව

2003 වර්ෂයේ දී මෙම තෙල් ටැංකි සමූහය පිහිටි සංකීර්ණය එනම්, තෙල් ටැංකි සංකීර්ණය, තෙල් ටැංකි පොම්පාගාරය සහ අනෙකුත් ගොඩනැඟිලි සමූහය ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුදු බද්දකට පවරා දීමේදී වුව ඒ ගැන එතරම් කතාබහට ලක්‌වූයේ නැත. එහෙත් එම තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික ඉන්ධන වෙළෙ\මෙන් සැලකිය යුතු කොටසක්‌ ඉන්දියාවට හිමිව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. රටක ස්‌වාධිපත්‍යයට බලපෑම් කළ හැකි ආකාරයෙන් ආහාර, ඉන්ධන, ගමනාගමනය, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් කවර රටකට වුව අලෙවි කිරීම රට ගැන හිතන කාගෙත් අවධානයට ලක්‌ විය යුතුය.

2003 වර්ෂයේ සිට ඉන්දියානු තෙල් සමාගමට එය පවරා දෙනු ලැබීමෙන් පසු ඔවුන් එහි නඩත්තු කටයුතු කෙරෙහි කිසිදු සැලකිල්ලක්‌ දක්‌වා නැති බවට එකල ද ආරංචි පැතිරිණ. කොහොමත් ඉන්දියානු තෙල් සමාගමට තමන්ගේ ලාභ අරමුණ කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා විනා තෙල් ටැංකි සමූහය රැකගැනීමේ සැබෑ අරමුණක්‌ තිබෙන්නට බැරිය.

වර්තමානයේ කතාව සැඟවී ඇති එකක්‌ වුව ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතු බව අපි තදින්ම විශ්වාස කරමු. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැහැදිලි කරන මේ කාරණා ගැන අවධානය යොමු කරන්න (2016.07.08 පාර්ලිමේන්තුවේදී)

මෙම පහළ සංකීර්ණයේ ටැංකි යම් ප්‍රමාණයක්‌ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව විසින් භාවිත කරන ලද අතර ඒවා 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවකට ආණ්‌ඩුව කටයුතු කළා. ඒ ඛනිජ තෙල් සංස්‌ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක්‌ මගිනුයි. එහෙත් ඛනිජ තෙල් සංස්‌ථාවට ටැංකි පිහිටා ඇති භූමියේ අයිතියක්‌ නොතිබූ බැවින් එය නීත්‍යනුකූල පැවරීමක්‌ නෙමෙයි. අත්සන් තබන ලද ගිවිසුමේ මාස 06 ක්‌ ඇතුළත නීතිමය ලියවිලි සකස්‌ කරන බව සඳහන් වුවත් මේ දක්‌වා එවැන්නක්‌ සකස්‌ වී නොමැති බැවින් නීත්‍යනුකූලව සියලුම සම්පත් රජය සතුව පවතිනවා.

ඉන්දියානු තෙල් සමාගම විසින් පරිහරණය කරනු ලබන්නේ පහළ සංකීර්ණයේ ටැංකි 17 න් යම් ප්‍රමාණයක්‌ පමණි. රටේ තෙල් ඉල්ලුම ඉහළ යැම සැලකිල්ලට ගත් විට දුම්රිය මගින් බෙදාහැරීමේ පහසුකම් ද සහිත මෙම ප්‍රයෝජනවත් ගබඩා සංකීර්ණය මෙතෙක්‌ පාවිච්චියට නොගැනීම බලවත් අපරාධයකි. අලුතින් තෙල් ගබඩා ඉදිකිරීම විශාල වියදම් දැරිය යුතු කටයුත්තක්‌ බැවින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට විශාල අමතර වැය බරකින් තොරව මෙම ටැංකි සංකීර්ණය පාවිච්චියට ගත හැකිව තිබෙනවා. එසේම ගබඩා සංකීර්ණයේ විශාලත්වය හේතුවෙන් රට තුළ සැපයුමට පමණක්‌ නොව ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළට ප්‍රවේශ වීමටද ඛනිජ තෙල් සංස්‌ථාවට මෙමගින් ඉඩකඩ පාදා ගත හැකියි.

විශේෂයෙන් ඛනිජ තෙල් සංස්‌ථාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවන ලද අවස්‌ථාවක මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීමේ හැකියාව සොයා බලන ලෙසට නිර්දේශයක්‌ ද කරනු ලැබ තිබුණා. සංස්‌ථාවේ වෘත්තීය සමිති විසින් ද මෙම ගබඩා සංකීර්ණය පාවිච්චියට ගැනීමේ අවශ්‍යතාව බලධාරීන්ට පෙන්වා දී තිබුණා. ඒ අනුව සංස්‌ථාවේ නිලධාරීන් විසින් ටැංකි 17 ක්‌ පරීක්‍ෂා කොට බලා ලබා දුන් තාක්‍ෂණික වාර්තාවේ ඒවා එම තත්ත්වයෙන්ම පාවිච්චි කළ හැකි බවත් විනාශ කරනු ලැබ ඇති නළ පද්ධතිය පමණක්‌ අලුතින් ඉදිකළ යුතුව ඇති බවත් පෙන්වා දී තිබුණා. ඒ සඳහා වන වියදම සංස්‌ථාවට දැරිය හැකි මට්‌ටමේ වන බවද එහි සඳහන්ව තිබුණා.

දැනගන්නට ඇති අන්දමට ටැංකි සංකීර්ණය නවීකරණය කොට සංස්‌ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය ද පළ වී තිබෙනවා. කෙසේ වුවද ඒ අනුව සංස්‌ථාව විසින් නවීකරණ කටයුතු ඇරඹීඹට සූදානම් වෙමින් සිටියදී කිසියම් අදිසි හස්‌තයක්‌ විසින් එම කටයුතු නතර කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම ටැංකි සංකීර්ණයේ ඉතිරි ටැංකි ප්‍රමාණය ද ඉන්දියානු තෙල් සමාගමට ලබා දීමට ආණ්‌ඩුව සූදානම් වන බවට ඛනිජ තෙල් සංස්‌ථා සේවකයන් අතර ද මේ මහා ජාතික සම්පත පිළිබඳ උනන්දු වන ජනතාව අතර ද මහත් නොසන්සුන්තාවක්‌ වර්ධනය වෙමින් තිබෙනවා.

අනුර කුමාර දිසානායක එද්‍ර කී කියන පරිදි දැන් මේ ඉස්‌මතු වී තිබෙන්නේ එම නොසන්සුන්තාවයි. නොසන්සුන්තාවට හේතුව ආණ්‌ඩුව මේ ගැන ස්‌ථිර වශයෙන් යමක්‌ නොකීමට පරිස්‌සම් වීමය. ඒ පරිස්‌සමට හේතුව කුමක්‌ හෝ කොලේ වසා ගැසිල්ලක්‌ බව විශ්වාසයෙන් කිව හැකිය. අගමැතිවරයා තෙල් ටැංකි ඉන්දියාවට පවරන්නේ නැතැයි ලිත පොරොන්දුවක්‌ දුන් පසු, තෙල් ටැංකි 14 ක්‌ ඉන්දියාවට පවරන බවත්, 74 ක්‌ හවුලේ පාවිච්චි කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා කියන අප්‍රභබංස කතාව අපට තේරෙන්නේ නැත. ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පසුව කවර හෝ පාලකයකු මේ තෙල් ටැංකි භාවිතයට ගන්නවා තබා ඒවායේ නඩත්තු කටයුතු ගැන හෝ හරි හැටි සැලකිල්ලක්‌ දක්‌වා නැති බවය. නිවරිදිවම කීවොත් නම් මේ වන විටත් ඉන්දීය ඔයිල් සමාගම භාවිතයට ගන්නා ටැංකි 14 හැරුණු විට අනෙක්‌ ටැංකි ගැන හරි හැටි අවධානයක්‌ යොමු වූයේ අත්සන් කිරීමට නියමිත ගිවිසුම හේතුකොටගෙනය. 2003 දී අත්සන් කරන ලද ගිවිසුමෙන් පසු එම භූමියට ඛනිජ තෙල් සංස්‌ථාවේ කිසිදු නිලධාරියකුට, ඉංජිනේරුවරයකුට ඇතුළු වීමේ ඉඩකඩ තිබුණේ නැත. මේ මොහොතේ දී ද එය එලෙසින්ම ක්‍රියාත්මක වේ.

කවර පාලකයකු හෝ වේවා මේ තෙල් ටැංකි පරිශ්‍රයේ ඇති වටිනාකම අවබෝධ කර නොගැනීම ජාතියේ අවාසනාවකි. මෙම තෙල් ටැංකිවලට ඉන්ධන පුරවා අවම වශයෙන් අහල පහල රටවලට බෙදාහැරීමේ හෝ ක්‍රමවේදයක්‌ ගොඩනැඟීමට නොහැකිවීම ගැන ඇත්ත වශයෙන්ම අප ලඡ්ජා විය යුතුය. ඒ සඳහා අවශ්‍ය ආර්ථික සැලසුම්, ජාලගත ව්‍යාපෘති නැත. වත්මන් ආණ්‌ඩුව ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම "ආර්ථික සැලසුම" බවට පත් කරගෙන ඇති බවක්‌ පෙනේ. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශය ගැන අපේ රටේ උදවියටත් වඩා වෙනත් රටවල උදවිය බොහෝ සේ උනන්දුවක්‌ ඇති බව කිව යුතුය. ඒ ආශ්‍රිත ප්‍රදේශය වෙනුවෙන් පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි, ප්‍රංශ අධිරාජ්‍යවාදීන් සටන් වැදුනේ ඒ නිසාය. කෙටියෙන්ම කීවොත් චීනයත්, ඉන්දියාවත් අතර මේ ප්‍රදේශය වෙනුවෙන් නොපෙනෙන ගැටුමක්‌ද නිර්මාණය වී හමාරය. මුහුද හත් ගව්වක්‌ තිබියදී අමුඩ ගැසීමෙන් ඵලක්‌ නැත. එහෙත් මෝදිගේ ලංකා සංචාරයට පෙර අමුඩ ලේන්සු සෝදාගෙන තිබීම කාගෙ කාගෙ යහපතට හේතු වේ.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions