9/12/2016

ජාතික චින්තනයේ අවසන් ඵලය සභ්‍යත්ව රාජ්‍යයක්‌ ගොඩනැඟීමයි - ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     9/12/2016   No comments

ජාතික චින්තනයේ අවසන් ඵලය සභ්‍යත්ව රාජ්‍යයක්‌ ගොඩනැඟීමයි
-ආචාර්ය ගුණදාස අමරසේකර


කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්‍ය විචාරය ආදී නන්විධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයකු වූ ගුණදාස අමරසේකර මහතා නිදහස්‌ ශ්‍රී ලංකාවේ පැවැත්ම අභියෝගයට ලක්‌වූ සෑම අවස්‌ථාවකම රටට, සමාජයට මඟපෙන්වීම සඳහා පෙරට ආ ප්‍රමුඛතම ප්‍රාඥයන්ගෙන් කෙනෙකි. 2016 අගෝස්‌තු 13 සවස 3.00 ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී එළිදක්‌වන එතුමාගේ නවතම කෘතියද එබඳු කාලීන අවශ්‍යතාවක්‌ පිරිමසන කෘතියකි. මේ ඒ පිළිබඳ කළ සංවාදයේ සංක්‍ෂිප්ත සටහනයි.

Q.ඔබේ අලුත්ම කෘතිය "සභ්‍යත්ව රාජ්‍යයක්‌ කරා". ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක්‌ කළොත් මෙබඳු කෘතියක්‌ ලියා පළකරන්න හිතුවේ ඇයි?

ඇත්ත වශයෙන්ම මේක සමාජ දේශපාලන විග්‍රහයක්‌. මේ රටේ පසුගිය කාලය තුළ සිදුවූ දේවල් දිහා යම් විදිහකට බලලා මේ රටට අවශ්‍ය යම් පණිවුඩයක්‌ දීම පිණිස ලියන ලද සමාජ දේශපාලන හා සංස්‌කෘතික විග්‍රහයක්‌ හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. එක්‌තරා විදිහකින් මම මීට කලින් පළ කළ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු" කෘතියට සමාන කෘතියක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. මගේ ඔළුවේ බොහෝ කාලයක සිට තිබුණ අදහසක්‌ තමයි මේ විදිහට කෘතියකින් පළ කරන්නේ. එක අතකින් ජාතික චින්තන ව්‍යාපාරයේම අප කළ කථිකාවේ අවසාන ඵලය මොකක්‌ද, ජාතික චින්තනයෙන් අප බලාපොරොත්තු වූයේ මොන වගේ සමාජයක්‌ බිහිකර ගැනීමද, ඒ සමාජය මොන මොන විදිහට සකස්‌ විය යුතුද කියන එක තමයි අප මේ නිබන්ධනයෙන් දක්‌වා තිබෙන්නේ. කොටින්ම කිව්වොත් ජාතික චින්තනයේ අවසන් ඵලය තමයි සභ්‍යත්ව රාජ්‍යයක්‌ ගොඩනඟා ගැනීම.

Q.ඔබ "අනගාරික ධර්මපාල මාක්‌ස්‌වාදී ද", "ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු" කෘතිවලදී ද ජාතික චින්තනය පිළිබඳ අදහස්‌ රට හමුවේ තබනවා. එහිදී ජාතික චින්තනය සභ්‍යත්ව විඥනය ලෙසත් අර්ථ දැක්‌වෙනවා. මෙමගින් සභ්‍යත්ව රාජ්‍යයක්‌ ගැන සාකච්ඡා කරනවා. ඒ ඇයි ?

ඔව්. එතැනදී අපි මූලික වශයෙන් සභ්‍යත්ව විඥනය ගැන සාකච්ඡා කරනවා. මේකෙන් කරන්නේ ඒ සභ්‍යත්ව විඥනය ඔස්‌සේ ගොඩනැඟෙන සභ්‍යත්ව රාජ්‍ය කුමක්‌ විය යුතුද කියන එක පෙන්වාදීම. ඒ සඳහා මම කියන්නේ මූලික වශයෙන් මේ වගේ තර්කයක්‌.

අපි මේ රටේ නිදහස ලැබීමට ඉස්‌සෙල්ලත්, නිදහස ලැබීමෙන් පසුවත් අපේ නායකයෝ මේ රට පාලනය කරන්න හදලා තියෙන්නේ ඉංග්‍රීසිකාරයා අපට දීලා ගිය දායාදයත් එක්‌ක. මොකක්‌ද ඒ දායාදය. පාර්ලිමේන්තුව වෙස්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තු ක්‍රමය, ඊළඟට පක්‍ෂ ක්‍රමය සහ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය. මේ දායාදය උඩ තමයි පසුගිය අවුරුදු (60) හැට තුළම අපේ රට පාලනය කරන්න හදලා තියෙන්නේ. මේ රටේ බලයට පත්වුණ සියලුම නායකයෝ එහෙමයි. ඉතිං දැන් අපට පේනවා මේ පාර්ලිමේන්තුව, මේ පක්‍ෂ ක්‍රමය, මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ විනාශයට හේතු වී තිබෙන බව. සංස්‌කෘතික, ආර්ථික, දේශපාලන ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම අරගෙන වෙන් වෙන් වශයෙන් අපට පැය ගණන් සාකච්ඡා කරන්න පුළුවන්. මේ දෑවැද්ද කරපින්නාගෙන ආපු ගමන නිසා මේ රටට වෙච්ච හානිය ගැන. කොච්චර හානි වුණාද කිව්වොත් ඇත්ත වශයෙන්ම දැන් මේ රට ජාතිය නැතිවෙන තැනට පත්වෙලා තිබෙනවා.

පොඩි නිදර්ශනයක්‌ පමණක්‌ කියන්නම් පාඨකයාගේ දැන ගැනීමට. හොඳම දේ තමයි ඉංග්‍රීසිකාරයා අපට දීපු මේ පක්‍ෂ ක්‍රමය. ඉන් වෙලා තියෙන්නේ කුමක්‌ද? මේ රටේ බහුතරය 75% වැඩිය ඉන්න සිංහලයෝ සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා සුළුතරය බවට පත්වෙලා. මේ පක්‍ෂ ක්‍රමය නිසා බහුතරය සිංහලයා දෙකට මැදින් බෙදිලා. සුළු ජාතීන් අතින් කේවල් කරන තැනට පත්වෙලා. ගමකට ගියාම ඉන්නේ සිංහල මිනිස්‌සු නෙමෙයි. එක්‌කෝ යූ.එන්.පී. කාරයෝ නැත්නම් ශ්‍රී ලංකාකාරයෝ. මේක තමයි සුද්දා අපට දීපු දායාදය. ඒකෙන් වෙන්නේ මොකක්‌ද කියලා තේරුම් අරන් මේ ක්‍රමය වෙනස්‌ කර ගැනීමේ වැදගත්කම මහින්ද රාජපක්‌ෂටත් වැටහුණේ නෑ.

Q.ලෝකයේ බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරද්දී ඔබතුමා එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යෑයි දෝෂ දර්ශනයට ලක්‌ කරනවා. ඊට හේතුව කුමක්‌ද?

මේක බටහිරින් ගත්ත ප්‍රජාතන්ත්‍රවාදයක්‌ මිසක්‌ අපට උරුම ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නෙමෙයි. බටහිරයෝ හිතන් ඉන්නවා උන්ගේ පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය මුළු ලෝකෙටම වලංගුයි කියලා. මේක සම්පූර්ණ මිථ්‍යාවක්‌. ඒක අපි පැහැදිලිව වටහා ගන්න ඕන.

බටහිර මේක ඇතිවුණේ පසුගිය ශතවර්ෂ තුන හතර තුළ සිදුවෙච්ච බුද්ධිමය ප්‍රබෝධයත් එක්‌ක. කාර්මික විප්ලවය, ධනවාදී අර්ථ ක්‍රමය එක්‌ක පුනරුදයක්‌ ඇතිවුණා. එහි ප්‍රතිඵලයක්‌ හැටියටයි මේ මොඩලය බටහිර ලෝකයේ ඇතිවුණේ. ඇති වෙලත් ශතවර්ෂ තුන හතරකට වැඩි නෑ.

ඇමරිකාවේ ඔය ක්‍රමය ඇතිවෙලත් තාම අවුරුදු 200 යි. බටහිරත් සියවස්‌ හතර පහකට ඉස්‌සෙල්ලා ඕක නෙමෙයි තිබුනේ ශුද්ධ රෝමානු අධිරාජ්‍යය. එමනිසා මේ බටහිර මොඩලය අපි පිළිගැනීමට අවශ්‍ය නැහැ. මොකද අපේ රටේ වගේම ආසියාවේ තිබෙනවා අපටම අනන්‍ය වූ අවුරුදු දෙදාස්‌ ගාණක්‌ තිස්‌සේ සුවිශේෂ වූ රාජ්‍යය. ඒ රාජ්‍ය ගොඩනැඟිලා තිබුණේ අපේ ජාතික චින්තනය, සභ්‍යත්ව විඥනය උඩ. එබඳු රාජ්‍යයක්‌ මේ රටේ තිබුණා. භාරතයේ තිබුණා. බුරුමයේ, කාම්බෝජයේ, තායිලන්තයේ තිබුණා. චීනයේ තිබුණා. අදත් චීන රාජ්‍යය ඔවුන් හඳුන් වන්නේ සභ්‍යත්ව රාජ්‍යයක්‌ හැටියට. මේ ගැන මාර්ටින් ජාක්‌ (Martin Jacques) ඉතා විශිෂ්ට පොතක්‌ ලියා තිබෙනවා ,When China Rule The World (චීනය ලෝකය පාලනය කරන විට) යනුවෙන්. එහි කියනවා චීනයේ තියෙන්නේ බටහිරෙන් ගත්ත මොඩලයක්‌ නෙමෙයි අවුරුදු දෙදාස්‌ ගාණක සභ්‍යත්ව රාජ්‍යයක්‌ කියලා. ඒ සභ්‍යත්ව රාජ්‍යයට පදනම වෙලා තිබෙන්නේ කොන්ෆියුසියස්‌ ධර්මය. ඒ වගේම අපේ රටේත් පදනම වෙලා තිබ්බ සිංහල බෞද්ධ චින්තනය තුළ ගොඩනැගිච්ච අවුරුදු දෙදාස්‌ ගාණක සභ්‍යත්වයක්‌ තිබුණා.

ඒක අපට නැතිවුණේ ඉංග්‍රීසින්ට යටත් වුණාට පස්‌සේ. බටහිරයන් හිතුවේ ඔවුන්ගේ මොඩලය තමයි ලෝකයටම ව්‍යාප්ත කරන්න ගැළපෙන්නේ කියලා. ඒක එක අතකට සාර්ථක වෙලා තියෙනවා. මොකද බටහිර තමයි ලෝකාධිපත්‍ය දැරුවේ පසුගිය සියවස්‌ දෙක තුළ. හිරු නොබසින අධිරාජ්‍යය කියලා ඔවුන් හැඳින්වූවෙත් ඒ නිසයි. දැන්වත් අපි මේක වටහාගෙන මේ පාර්ලිමේන්තු ක්‍රමයට, මේ පක්‍ෂ ක්‍රමයට, මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අපිට සරිලන විකල්පයන් හොයන්න ඕන. ඒ විකල්පය සෙවීමේදී අපට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. අපේ ඒ අතීත උරුමය වෙත යන්න. ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් ලේසි කාරණයක්‌ නෙමෙයි. ඒත් නිර්මාණාත්මක කාර්යයන් හැටියට අපි ආරම්භයක්‌ ගන්න ඕන. ඊට සුදුසුම අවකාශය තමයි අද මේ නිර්මාණය වෙලා තියෙන්නේ.

Q- ඔබ අපේ රටේ ඉදිරි දේශපාලන ගමන් මඟ සභ්‍යත්ව විඥනය පදනම් කරගෙන තීරණය කළ යුතු බව මතු කරනවා. මේ සභ්‍යත්ව විඥනය කුමක්‌ද යන්න තවදුරටත් පැහැදිලි කළොත්.

සභ්‍යත්ව විඥනය කියන්නේ යම්කිසි රටක සභ්‍යත්වයක්‌ තුළ ජීවත්වන මිනිසුන්ට අනිවාර්යයෙන් පරපුරෙන් පරපුරට එන විඥනයක්‌ තියෙනවා. කුඩා අවධියේ ඉඳලම වැඩිහිටියන් දක්‌වා අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි අපි හැසිරෙන්නේ ඒ සභ්‍යත්ව විඥනය උඩ. අපිට ඒ සභ්‍යත්ව විඥනය මගින් උරුම කරදීපු දර්ශනයක්‌ තිබෙනවා. අපේ ජීවිතේ පරමාර්ථ මොනවාද, පුරුෂාර්ථ මොනවාද? ආකල්ප මොනවාද ? අපේ ප්‍රාර්ථනා මොනවාද කියන එක තීරණය කරන්නේ අපේ සභ්‍යත්ව විඥනය විසින්.

කොටින්ම කියනවානම් යම් කිසි කෙනෙක්‌ රටේ සමාජ, ආර්ථක, දේශපාලන විප්ලවයක්‌ කරනවානම් ඒක කරන්න ඕන මේ සභ්‍යත්ව විඥනය අවබෝධ කරගෙන. අපේ දර්ශනය විය යුත්තේ කුමක්‌ද කියන එක තමයි සභ්‍යත්ව විඥනය මඟින් අපට දායාද කර දෙන්නේ. අපි ජාතික චින්තනයෙන් කරන්න හැදුවේ වෙන කිසිදෙයක්‌ නෙමෙයි පරම්පරාවෙන් පරම්පරාවට අවිඥානිකව ආව මේ සභ්‍යත්ව විඥනය සවිඥනික කිරීම. ධර්මපාලතුමා වාගේ කෙනෙක්‌ ඒක ඉතා හොඳින් කළා. අද අපිට ඒ කටයුත්ත ධර්මපාලතුමාට වඩා ප්‍රබල ලෙස කිරීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා. ඊට පස්‌සේ තමයි පක්‌ෂ හදන්නයි වෙන දේවල් කරන්නැයි කටයුතු කරන්න ඕන.

Q.ඔබතුමා හිතනවාද අපේ පැරැණි සමාජ ක්‍රමයට ආපහු යන්න පුළුවන් කියා. එය කොයිතරම් දුරට ප්‍රායෝගිකද ?

පුළුවන් කියලා මම හිතන්නේ මොකද ඊට සාධක තිබෙනවා. මේ රටට බටහිරයන් ඇවිත් අපේ සභ්‍යත්වය විනාශ කරන්න හැදුවට අපේ සභ්‍යත්ව විඥානය විනාශ කරන්න බැරිවුණා. ඔවුන්ට පුළුවන් වුණා ලතින් ඇමෙරිකාවට ගිහිල්ලා, අප්‍රිකාවට ගිහිල්ලා ඒ රටවල සභ්‍යත්වය විනාශ කරන්න. මේ රටෙත් පාලන ක්‍රමය වෙනස්‌ කළාට අපේ සභ්‍යත්ව විඥනය විනාශ කරන්න බැරිවුණා. ඒ නිසා තමයි වැලිවිට අසරණ සරණ සරණංකර හාමුදුරුවන්ට පුළුවන් වුණේ නුවර යුගයේදී පරිහානියට ගිය සංඝ සමාජය නැවතත් සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරලා අපේ සභ්‍යත්වයේ උරුමක්‌කාරයන් බවට පත් කරන්න. අනගාරික ධර්මපාලතුමාට පුළුවන්කම තිබුණ මේ රටේ පුළුල්ම ජාතික ව්‍යාපාරය ගොඩනඟන්න. ඒ ජාතික ව්‍යාපාරය පටන් ගත්තේ අපේ සභ්‍යත්ව විඥනයට ආමන්ත්‍රණය කරලා. ඒක කොයි තරම් ප්‍රායෝගිකව සාර්ථක වුණාද කිව්වොත් අදත් මේ රටේ ඉන්න ජනතාවගේ ජීවමාන ජනතා වීරයා අනගාරික ධර්මපාලතුමා. කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ හිටපු උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ තමයි කිව්වේ ජාතියේ පියා අනගාරික ධර්මපාල කියලා. මේ රටේ හැම නගරයකම පාහේ පිළිමයක්‌ තිබෙනවා. පාරක්‌ තිබෙනවා. ඒකෙන් පේන්නේ මේ රටේ මිනිස්‌සුන්ගේ හදවතට මොනතරම් ධර්මපාලතුමාගේ කාර්ය භාර්ය කාවැදුනද කියන එක. ඒ අනගාරික ධර්මපාලතුමාට ජාතික ව්‍යාපාරය කරන්න හම්බ වෙන්නේ නෑ මේ රටේ මිනිස්‌සුන්ගේ මනසින් සභ්‍යත්ව විඥානය ගිලිහිලා තිබුණා නම්.

ඒ ගොඩනඟපු පදනම උඩ තමයි අවසානයේදී බණ්‌ඩාරනායකත් ජයග්‍රහණය ලබා ගත්තේ. ඇත්ත වශයෙන්ම බණ්‌ඩාරනායක කරපු දෙයක්‌ නෑ. ධර්මපාලතුමා අවධිකරපු බලවේග උඩ තමයි තමන්ගේ ජයග්‍රහණය ලබා ගත්තේ. එකම දේ තියෙන්නේ බණ්‌ඩාරනායකට ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණාට ඒ සභ්‍යත්වය අපේක්‌ෂා කරපු ජනතාවට සරිලන පාලනයක්‌ ගෙන යන්න එතුමාට බැරි වුණා.

මේ පිළිබඳව තායිලන්ත බුද්ධිමතකුගේ හොඳ විවරණයක්‌ මට කියවන්න ලැබුණා. එතුමා මේ ආසියාවේ අපේ වගේ රටවල් ගැන හොඳ අධ්‍යයනයක්‌ කරලා තිබෙනවා. එයා පෙන්නලා දීල තිබුණා බටහිර ජාතීන් හැරගියාම තමන්ගේ පැරැණි රාජ්‍යත්ව උරුමය වෙත ගිහිල්ලා ඒ මත සභ්‍යත්ව රාජ්‍යක්‌ ගොඩනඟන්න පුළුවන් රටවල් 03 ක්‌ තිබුණ බව. ඒ තමයි බුරුමය, කාම්බෝජය හා ලංකාව. බුරුමයේ හිටපු "යූ නෝ" කියන සෙනෙවියාට පුළුවන් වුණා සභ්‍යත්ව රාජ්‍යයක්‌ ගොඩනඟාගන්න. දස වසරක්‌ පැවැති ඒ රජය හමුදා කුමන්ත්‍රණයකින් පසුව විනාශ කළා. කාම්බෝජයේ හිටපු "සිහනුක්" කුමාරයාට ඒ අවස්‌ථාව නොලැබුණා. එයා කියලා තිබුණ 1956 බණ්‌ඩාරනායක බලයට පත්කළේ මේ නැති වී ගිය සභ්‍යත්ව රාජ්‍ය නැවත ගොඩනඟන්න කියල. එකම දේ බණ්‌ඩාරනායකටත් ඒක කරගන්න බැරි වුණා. මොකද ඔහුගේ ඔළුව පිරිලා තිබුණේ බටහිර ලිබරල්වාදයෙන් නිසා. ඒ කොයික වුණත් මම තදින්ම විශ්වාස කරනවා අපේ සභ්‍යත්ව විඥානය තවම මැරිලා නෑ. ඒ මත ගොඩනැඟුණු පාලනයක්‌ නැති වුණාට සභ්‍යත්ව විඥානය ඉතා ප්‍රබල ලෙස තිබෙනවා. ඇත්ත වශයෙන්ම දැන් කළ යුත්තේ ඒ විඥානය අවධි කරලා විශාල ජාතික බලවේගයක්‌ ගොඩනැඟීම. යම් කිසි දේශපාලන පක්‌ෂයක්‌ හදනවා නම් හදන්න තියෙන්නේ මේ මත මිසක්‌ බටහිරයන්ගේ දායාදය කරපින්නාගෙන යන දේශපාලන ව්‍යාපාරයක්‌ ගොඩනඟලා රටට කිසි වගතුගක්‌ වෙන්නේ නෑ.

Q.ඔබ පසුගිය ජනාධිපතිවරණ සමයේ ලිපියක්‌ පළ කළා බටහිරයන්ගේ වුවමනාව තමයි ජාතිකත්වය ටිකක්‌ හරි නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දියකර හැරීම බව. අද එය ඉටු වී තිබෙනවා නේද ?

ගිය අවුරුද්දේ විතරක්‌ නෙමෙයි මීට අවුරුදු 25 කට විතර ඉස්‌සර බණ්‌ඩාරනායක අනුස්‌මරණ දේශනය කරන වෙලාවේ මම ඕක කිව්වා. මම කිව්වේ "මේක අපේ සභ්‍යත්වය මත ගොඩනැගිච්ච ප්‍රධාන පක්‌ෂයක්‌. ඒත් මේකට අවශ්‍ය දර්ශනය තාම හම්බවෙලා නෑ. මා දකින විදිහට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හිස නැති කවන්ධයක්‌ බවට අද පත්වී තිබෙනවා. ඒ හිස නිර්මාණය කර ගැනීම වෙනුවට ඒ පක්‌ෂයේ නායකයන් මෙතෙක්‌ කර ඇත්තේ මාක්‌ස්‌වාදී අස්‌ප හිස්‌ හෝ ලිබරල්වාදී බූරු හිස්‌ සවිකිරීමට තැත් කිරීමයි. මේ අනුකාරක මඟ අතහැර තමන්ට සරිලන හිස නිර්මාණය කර ගැනීමට නොහැකි වුවහොත් වැඩි කල් නොගොස්‌ ඒ කවන්ධය දියවී යනු ඇත" කියා මම ඒ දේශනයේදී පැවැසුවා. එතැන හිටියා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියත්. එයා ටිකක්‌ වෙලා ඉඳලා ළඟ ඉන්න කෙනාගෙන් ඇහුවලු "මෙයා අපට බනිනවා නේද" ? කියලා. ඒ කියන්නේ එයාලට තේරුමක්‌ නෑ මම කියපු දේ. ඔය පක්‌ෂයේ කිසිම කෙනකුට ඒ අවබෝධය තිබුණේ නෑ. බණ්‌ඩාරනායකටත් අවබෝධවෙලා තිබුණේ නැහැ. හැබැයි අවබෝධයකින් නොවුණත් අර උත්පත්තියෙන් ආව සභ්‍යත්ව විඥානය නිසාමද කොහෙද සිරිමාවෝ විතරයි ටිකක්‌ හරි දුරට අපේ සභ්‍යත්ව විඥානය සුදුසු ලෙස කටයුතු කළේ. ඊළඟට චන්ද්‍රිකාට මේ කිසිම මලඉළව්වක්‌ ගැන අවබෝධයක්‌ තිබුණේ නැහැ. ශ්‍රී ලංකා එකේ තරමක්‌ දුරට හෝ සභ්‍යත්ව විඥානය තිබුණා නම් ඒක සම්පූර්ණයෙන්ම නැති කළා. මහින්දලාටත් ඒ ගැන අවබෝධයක්‌ ඇත්තේ නෑ.

දැන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයක්‌ නෑ. ඒක කැඩිලා විනාශ වෙලා ඉවරයි. ඒ දියවෙච්ච කවන්ධය තමයි දැන් යූ. එන්. ජී. එකට ගැටගහලා තියෙන්නේ. තව ටික දවසකින් ඒ ටිකත් සම්පූර්ණයෙන්ම දියවෙලා යනවා. මට හිතෙන හැටියට ආයෙමත් ඔය මළකඳ නැගිට්‌ටුවන්න අතපත ගාන එක තේරුමක්‌ නෑ. දැන් කරන්න තියෙන්නේ ඒ වටා තිබිලා දැන් අනාථ වෙලා තියෙන ජාතික බලවේග එකතුකරගෙන රට තුළ සභ්‍යත්ව විඥානය අවධි කරලා ඒ තුළින් වෙනම ගමනක්‌ යන්න පක්‌ෂයක්‌ නිර්මාණය කර ගැනීම.

Q. ඔබ මුලින් සඳහන් කළා යටත්විජිත සමයෙන් පසුව අපේ සභ්‍යත්ව රාජ්‍ය විනාශ කරන්න පුළුවන් වුණාට සභ්‍යත්ව විඥනය විනාශ කරන්න නොහැකි වූ බව. ඒත් අද එන්. ජී. ඕ. (NGO) හරහා ඒ කටයුත්තත් කෙරෙනවා නේද ?

ඔව් · ඒකත් බටහිරයන්ගේ වුවමනාවට සිද්ධ වෙන දෙයක්‌ නේ. NGO නඩ පත්කරලා තියෙන්නේ ඒ වැඩේට. විවිධ ක්‍රමවලට ඔවුන් මේ රාජකාරිය කරනවා. මොකද බටහිරයන් දන්නවා ඔවුන්ට විරුද්ධව නැගී සිටින බලවේගය තමයි ජාතික බලවේගය කියන එක. "සිමොන් පෙරස්‌" කියන ඊශ්‍රායල් ජනාධිපති කලකට පෙර කිව්වා අපට ඉන්න ප්‍රධාන හතුරා කොමියුනිස්‌ට්‌වාදය නෙමෙයි "කුමේනිවාදය" කියලා. ඔහු කුමේනිවාදය කිව්වේ "ඉරානයේ" තිබුණ ජාතික මතවාදයට. ඔවුන් දන්නවා ඔවුන් ඔක්‌කොටම තියෙන හතුරා තමයි ජාතික වතවාදය කියන එක. ඒක විනාශ කරන්න තමයි NGO නඩයට බාරදීලා තියෙන්නේ. මේ ආණ්‌ඩුවත් සම්පූර්ණයෙන් පත්කරලා තියෙන්නේ NGO නඩය නේ. මහින්ද එළවන්න කටයුතු කළෙත් උත්පත්තියෙන්ම ඔහුට මේ සභ්‍යත්ව විඥනය තිබුණ හින්දා. ඔවුන්ට අවශ්‍ය වැඩ කොටස ඒ ආකාරයෙන්ම කරගන්න බැරිවෙන විත්තිය දන්නා නිසා. "අශෝක්‌ මේත" කියන ඉන්දීය උපදේශකයෙක්‌ හින්දු පුවත්පතට කිව්වා මේ පෙරළිය කළේ ඇමෙරිකාව ප්‍රධාන CIA එකයි "රෝ " එකයි කියලා. අනික මේක පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි අවුරුදු එක හමාරකට කලින් කියලත් කිව්වා. මෙහේ අයත් එළිපිටම ඔය කතාව කිව්වා.

Q.ඔබ අනාගතය කල්තියා දැකලා මත ප්‍රකාශ කළ විද්වතෙක්‌. මේ තිබෙන තත්ත්වයත් එක්‌ක අපේ රටේ අනාගත ඉරණම කෙබඳුද ?

මම ඒක හරියටම කියන්නම් තව අවුරුද්දකින් පස්‌සේ. මොකද මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා ලබන අවුරුද්ද වෙනකොට මේ රට බෙදලා ඊළම උතුරේ පිහිටුවනවා කියන එක. මේ රූකඩ ආණ්‌ඩුව තුළින් ඒක ඔවුන් කරගන්නවා. ඒකට විරුද්ධ ප්‍රබල නැගිටීමකුත් මට පේන්න නෑ. එහෙම වුණොත් ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක්‌ උදාවන එක වළක්‌වන්න බැහැ. ඒක වෙනස්‌ කරනවානම් වෙනස්‌ කරන්න පුළුවන් වෙන්නේ ලෝක බලවතුන්ගේ ගැටීමක්‌ තුළින් පමණයි. ඒ වගේ දෙයක්‌ ක්‌ෂිතිජයේ පේන්න තියෙනවා.

අද ඇමෙරිකාව මේ ඔක්‌කොම කරන්නේ යුද අපරාධ හෝ ඊනියා මානව හිමිකම් කඩතුරාවක්‌ නිසා නෙමෙයි. ඔවුන්ට තියෙන්නේ විශාල චීන භීතිකාවක්‌. චීනය මේ කලාපයේ බලවතා වුණාම ඔවුන්ට මේ කලාපය අතෑරලා යන්න වෙයිද කියන බය තියෙන්නේ. බටහිරයෝ දැනටමත් චීනෙට ණය වෙලා දුර්වල වෙලා ඉන්නේ. එහෙම වුණොත් ඔවුන්ට ලෝක ආධිපත්‍ය තියා ගන්න බැරුව යනවා. මූලික වශයෙන් අප මේක වටහා ගන්න ඕනේ. මේකේ තියෙන්නේ අන්තර්ජාතික බල ගැටුමක්‌. ඒකට අපි සම්බන්ධ කරගෙන තියෙනවා. මේ ආණ්‌ඩුව මඟින් බටහිරයන් අපේක්‌ෂා කරන දේ ඉෂ්ට කර ගන්නවා.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
(2016.සැප්තැම්බර් 12 දිවයින)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions