9/03/2016

බලකාමය වෙනුවෙන් සිරිකොතේ පිළිකන්නේ ගැටගැසූ රට රැකි පක්ෂය.. - ශ්‍රිලනිපයට 65යි

කතෘ:යුතුකම     9/03/2016   No comments

ශ්‍රිලනිපයට 65යි

-ධර්මන් වික්‍රමරත්න-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන් බිහිවූ දේශපාලන පක්ෂයකි. ශ්‍රිලනිපය ආරම්භ වූයේ හරියටම මෙයට වසර 65කට පෙර එනම් 1951 සැප්තැම්බර් 2වැනිදා අද වැනි දවසකය. එය කාලයේ තාලයට ගොඩනැගුණු පක්ෂයකි. දශක 7ක දේශපාලන සම්ප්‍රදායකි. යටත් විජිත යුගයේ දේශපාලනයේ සිට ජන සම්මතවාදය දක්වා ගලායන නොනවතින දහරාවකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ශ්‍රිලනිප යනු ලාංකීය මොඩලය හඳුනාගත් ගමේ දේශපාලනයකි.එම මොඩලය විප්ලවවාදී එකක් නොවේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය(එජාප) මෙන් කොම්ප්‍රදෝරු ධනේෂ්වර එකක්ද නොවේ. ශ්‍රිලනිප යනු ප්‍රගතිශීලි ජනතාවගේ හදගැස්ම මැනවින් හඳුනාගත් මැද මාවතේ දේශපාලන ප්‍රවාහයකි.

ඩී.එස් සේනානායකගේ එජාප රජයේ පළාත් පාලන සහ සෞඛ්‍ය ඇමතිවරයාවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක 1951 ජුලි 12වැනිදා සිය ඇමතිධූරයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉල්ලා අස්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ බෙලිඅත්ත ඩී. ඒ රාජපක්ෂ, උඩුගම ඩී.එස්. ගුණසේකර, බලංගොඩ ජයවීර කුරුප්පු, තැපැල් සහ විදුලි සංදේශ උප ඇමති ඒ. පී ජයසූරිය, අධිකරණ උප ඇමති ජෝර්ජ් ආර්. ද සිල්වා යන අයද ඇමති එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක අනුගමනය කරමින් විපක්ෂයේ අසුන් ගත්හ. පසුව 1951 ජුලි 15 වැනිදා බද්දේගම හෙන්රි අබේවික්‍රමගේ දංවල වත්තේදී අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරිමට සාකච්ඡා ඇරඹිණි. එයට පසුකලෙක අම්බලන්ගොඩ බලපිටිය මන්ත්‍රීවරයා වූ එම්.පී ද සොයිසා, බෙලිඅත්තේ ඩී.ඒ රාජපක්ෂ, රාජනීතිඥ එච්. ශ්‍රි නිශ්ශංක, ඒ.පී ජයසූරිය සහ ගම්පහ එස්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසද එක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නියෝජනය කිරිම සඳහා 1951 සැප්තැම්බර් 2වැනිදා සවස 2ට කොළඹ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 75ක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලාංකේය දේශපාලන දේහය තුළ සුවිශේෂි කාර්යභාරයක් ඉකුත් දශක 6 තුළ සිදුකර ඇත. නිදහසින් පසු දීර්ඝ කාලයක් මෙරට පාලනය කල දේශපාලන පක්ෂය වන්නේද ශ්‍රිලනිපයයි. එය ආරම්භයේ සිට වසර 2015 ජනවාරි දක්වා ලාංකීය ප්‍රගතිශීලි ව්‍යාපාරයේ බලාපොරොත්තු මල්පල ගැන්වීමකි. එහෙත් ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රිලනිප පක්ෂ යාන්ත්‍රණය ගම තුළදී දැන් අභියෝගයකට ලක්වෙමින් මුළුමනින්ම වාගේ බිඳ වැටෙමින් පවතී. එදා වසර 65කට පෙර එජාපයට විකල්පයක් ලෙස පිහිටුවා වසර 63ක්ම එම කාර්යභාරය නිසිලෙස ඉටුකල ශ්‍රිලනිප ඉකුත් වසර 2කට ආසන්න කාලයක් තුළ එජාපයේම පළුවක් බවට පත්වී තිබීම එයට හේතුවූ බව නොරහසකි.

විසි එක්වන සියවසේ ස්වාධීන රාජ්‍යයන්ගේ පැවත්ම සහ ශ්‍රි ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝග සලකා බැලිමේදී එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිප ගොඩනැගීමට නායකත්වය දුන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ එයට සහායවූ බෙලිඅත්තේ ඩී. ඒ රාජපක්ෂ ඇතුළු පිරිසගේ තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් රටේ හඬක් නැති ජනතාවට හඬක්වීමට ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට මව්බිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ තුළ සිටින එජාප විරෝධී සහ ප්‍රගතිශීලි කොටස් දැන් එක පෙරමුණකට පැමිණෙමින් සිටී. එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණ ඇපයට ගෙන තිබෙන ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස බලවේගයක් ගොඩනැගෙනු ඇත යන්න සැමගේ ප්‍රාර්ථනය වී තිබේ.

වර්තමාන ශ්‍රිලනිප නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව බලයේ සිටි ශ්‍රිලනිප අගමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ලෙස ඉවත් කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. තෙවනුව ඉකුත් 2015 අගෝස්තු 17 පැවති මහ මැතිවරණයේදී ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර විරෝධීව පරාජය කරමින් සහ මාධ්‍ය නිවේදන නිකුත්කර කෙනෙහෙලිකම් කරමින් එජාප අගමැති අපේක්ෂකයාට අගමැතිවීම සඳහා පාර කැපුවේය. සන්ධානයේ ජාතික ලැයිස්තුවට පරාජිත මන්ත්‍රීවරුන් පත්කරමින් ජනමතයටද එරෙහිව කටයුතු කරන ලදී. අනතුරුව මන්ත්‍රීවරුන් 51ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නොසලකමින් මන්ත්‍රීවරුන් 16ක් නියෝජනය කරන දෙමළ සන්ධානයට විපක්ෂ නායකකමද මන්ත්‍රීවරුන් 6ක් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමිවිය. දෙමළ සන්ධානයේ නායකවු විපක්ෂ නායකවරයා කථානායක විසින් පත්කල අතර එසේ පත්වූ විපක්ෂ නායකයා විසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ජවිපෙට පිරිනමන ලදී. දෙමළ සන්ධානය නියෝජනය කරන විපක්ෂ නායකද ‘යහපාලනය’ වෙනුවෙන් දරදිය ඇද්දෙකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වු ජවිපෙද ‘යහපාලන’ ආණ්ඩුවේ සියළුම දේශපාලන උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යලි 56ක් බිහිකිරීම අදට යෙදෙන 65වැනි සංවත්සරය සමරන ශ්‍රිලනිපය වෙනුවෙන් එයට කල හැකි ඉහළම ගෞරවය වනු ඇත.

කන්ද උඩරට රාජධානිය උඩරට ගිවිසුමෙන් 1815දී සුද්දන්ට භාර දුන්නේ ගිවිසුමකින් මිස යටත්වීමකින් නොවේ. එහෙත් තමනට සුපුරුදු පරිදි බ්‍රිතාන්‍යයන් එම ගිවිසුම කඩා පාලනය කිරීමේ ප්‍රතිඵලය වූයේ 1817 ජනතා අරගලයයි. එය ප්‍රථම අදියර විය. දෙවන අදියර වූයේ අනගාරික ධර්මපාලයන් විසින් ආරම්භ කරන ලද පුනරුදයේම විකාශනයේම ඵලයක් ලෙස මතුවූ 1956ට පසුබිම්වූ ව්‍යාපාරයයි. වර්තමානයේ මේ පියවර ඔසවන්නේ එහි තෙවන අදියරටය. ශ්‍රිලනිප ආරම්භ කිරීමේදී බණ්ඩාරනායකයන් එදා සිදුකල පරිදි වර්තමානයේ ගොඩනැගෙන නව බලවේගය විසින් ප්‍රථමයෙන් සිදුකල යුත්තේ සිංහලයන්ගෙන් සියයට 75කට ආසන්න බහුතරයක් එකතුකර ගැනීම සඳහා කටයුතු කිරීමය. එයට පසුව දෙමළ සහ මුස්ලීම් ජාතිකයන් එක්කර ගත හැකිය. ප්‍රථම පියවර සාර්ථක වන්නේනම් දෙවන පියවර පහසුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් වසර 2කට ආසන්න කාලය තුළ පරිහානිය ඇරඹුණේ තමනට අයත් නැති භූමිකාවක් රඟ දැක්වීම නිසාය. ගැඹුරු දර්ශනයක් මත පදනම් වු පැහැදිලි මතවාදයක් නොතිබීම නිසා ඇමති වරදාන මුල්කොටගෙන එජාපය සමඟ කිසිදා නොගැලපෙන සභාග ආණ්ඩුවකට එක්ව එකගෙයි කැමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීය. මෙය ශ්‍රිලනිපය ගල් පිලිම වෙනුවට බොල් පිලිම වැළඳ ගැනීමකි. නාගරික කොටස් හෝ ලුම්පන් සමාජය වැළඳ ගැනීමෙන් එජාපය පැරදවිය නොහැක. විපක්ෂයේ සිටිමින් එහි සැබෑ භූමිකාව ජනතාව වෙනුවෙන් රඟ දැක්වූයේ නම් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කාලයේ මෙන් ශ්‍රිලනිප ආණ්ඩුවක් වසර 2ක් ගතවන්නට මත්තෙන් පිහිටුවන්නටද මෙවරද හැකියාව තිබිණි. ශ්‍රිලනිපයට දේශපාලනය විජයග්‍රාහීව හිමිවන්නේ අපේම වු ජාතික දැක්මක් තුළ විනා බටහිරින් දෙන උපදෙස් ගෙඩි පිටින් ගිල ගැනීමෙන් නොවේ.

එජාපය සමඟ ශ්‍රිලනිප නෛතික පාර්ශවය වර්තමානයේ සභාග ආණ්ඩුවක් සඳහා එක්වී ඇත්තේ රටේ සංවර්ධනයක් හෝ ජනතාවගේ ජයග්‍රහණයක් සඳහා නොව වෙනත් පටු පරමාර්ථයන් වෙනුවෙනි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය යන බටහිර රටවල න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන සභාග ආණ්ඩුවකින් සාර්ථක ප්‍රතිඵලයක් රටට අත් නොවනු ඇත. ජනතාවට සහනයක්ද නොලැබෙනු ඇත.

‘යහපාලනය’ උදෙසා කරන ලද දේශපාලන පෙරළිය එදා සැබෑ ලෙසම බහුතර ජනතාවට අවබෝධ කරගැනීමට නොහැකිවු බව සත්‍යයකි. ඒ තරමට එහි පෙර ගමන්කරුවෝ සූක්ෂමවූ අතර ඔවුන්ගේ මුඛ්‍ය දේශපාලන වුවමනාව වූයේ මෛත්‍රීපාල සිරිසේන කරලියට ගෙන ඒම මගින් එජාපයේ බලය ස්ථාපිත කිරීමය. එජාපය යනු මෙරට ක්‍රියාත්මක ඇමරිකා-බ්‍රිතාන්‍ය සහ අධිරාජ්‍යවාදීන්ගේ ලෝක දේශපාලන වුවමනාවේ සෘජු නියෝජිතයා වේ. එදා විදේශ ආධාර මත සෘජුව සහ වක්‍රව පෝෂණය වන ඇතැම් සිවිල් සංවිධාන ප්‍රකාශ කළේ රාජපක්ෂ රෙජිමයේ ව්‍යවසනයට එරෙහිව ‘යහපාලනය’ ගෙන එන බවකි. එහෙත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අධිරාජ්‍යවාදී ජුන්ටාවක් ඒ ඔස්සේ රටතුළ ක්‍රියාත්මක වීමය. වර්තමානයේ එම සිවිල් සංවිධාන තමාගේ ලැජ්ජා නැතිකම වසාගැනීම සඳහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බව අසන්නට ලැබේ. මෙම දේශපාලන විලම්භිතය දැන් යථාර්ථවාදී ලෙස සමාජගත වෙමින් පවති.

‘යහපාලන’ ආණ්ඩුව පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතී. ආණ්ඩුවට එකම හෝ වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකල නොහැකි තරම්ය. රට දැවැන්ත කුණාටුවකට ලක්වීමට ආසන්නව තිබියදී වාමාංශික බලවේග ඊට වඩා වැඩි ප්‍රමාණයකින් නන්නත්තාර වෙමින් පවතී. ජාතික දේශපාලනයේ ගමන් මඟ තීරණය කිරීමේ තමන්ගේ ක්‍රියාවලියන්ගෙන් ඔවුන් ඉවත්ව ප්‍රතිගාමි කොටස් සමඟ පෙළ ගැසි තමන්ගේ ආත්මය බේරාගැනීමේ නිහීන ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වෙමින් පවතී. වමේ එකම විකල්පය තමන් යැයි පවසන ජනතා විමුක්ති පෙරමුණට වුවද සිදුව ඇත්තේ දුන් පොරොන්දු ඉටු කරව් ආදී ලෙස නහයෙන් ඇඩීම සහ උනුත් එකයි මුනුත් එකයි කීම පමණි. සමාජවාදී තරුණ සංගමය අකුරේගොඩ වැව් ඉස්මත්තේ කුඹුක් පැළ සිටුවීම හොද පරිසර වැඩක්ය. නමුත් ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයද යළි පණ ගැන්විමට රතු ගැටව් උරදිය යුතුය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නසසපය සහ ජවිපෙන් ඉවතට විසිවුණු දඹර අමිල හිමියන් වැනි වාම කේවට්ටයන්ටද දැන් ඇඩ්‍රස්ද නැත. එදා වේල ෂේප්කර ගැනීමේ න්‍යාය යටතේ සයිටම් පක්ෂපාති සම්මන්ත්‍රණවලට ගොඩවෙන්නේ එබැවිනි. කන කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොටය. ව්‍යාජ වම්මුන්, අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයින්, ඇතැම් පූජකයින්, බුද්ධිමතුන් යැයි කියා ගන්නා අන්දරේලාගේ බැටළු හම් සමාජයට නිරාවරණය කිරීම සයිටම් ලොක්කා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එක් අතකින් සමාජයට කල ලොකු සේවයක්ය.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය තවදුරටත් සිදුකල යුත්තේ එජාප ආණ්ඩුව සමඟ වරදාන වෙනුවෙන් තවදුරටත් දීග කෑම නොවේ. ඉන් ඉවත්ව ජනතා පරමාධිපත්‍යය, ජාතික සෛවරිත්වය සහ මව්බිමේ දිනාගත් නිදහස රැකගැනිම වෙනුවෙන් පෙනී සිටීමය. ඉන්දියාවේ එක්ටා ගිවිසුම සහ ජිනීවා සැලසුම් පරාජය කිරීමය. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය රැක ගැනීමය. ජනතාවගෙන් උදුරා ගත් පොහොර සහනාධාරය වැනි අයිතීන් යළි ලබාදීමය. රණවිරු දඬයමට එරෙහි වීමය. තවදුරටත් හවුල් ආණ්ඩුවේ සිටීමෙන් එජාපයට මඟුල්ය. ශ්‍රිලනිපයට උගුල්ය. ‘යහපාලන’ හවුලෙන් රටම අවුල්ය.

තොරතුරු පනත සම්මතය. අතුරුදහන් පනතද සම්මතය. හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද? දැන් ඊළඟට ව්‍යවස්ථා උගුලය. සීමානිර්ණයට මුවා වෙමින් පළාත් පාලන පුංචි ඡන්දය කල්දාන්නේ ලබන වසරේ මුල ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනමත විචාරණයට යෑමට බව දැන් පැහැදිලිය. දෙමළ බෙදුම්වාදී ඊලමට පාර කපන මෙය ව්‍යවස්ථා මර උගුලකි. රටට දැයට එරෙහිව සිදුකරන මෙම ක්‍රියාදාමය පරාජය කිරීම සඳහා එකිනෙකා පරයා නැගී නොසිට, අංචි නොයොදා, බොරු වලවල් නොකපා කොන්දේසි විරහිතව එක්විය යුතුය.

දරුවන්ට අපමණ අගයක් ලබාදීම ගැන කථාකලද ත්‍රීපෝෂ ලබාදීම ඉකුත් මැයි මාසයේ සිට නතරකර ඇත. ගැබිණි මවට දෙන රුපියල් 20,000 පෝෂණ මල්ලේද ගුල්ලෝ බවට පුවත්පත් වාර්තාය. කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගනය අසල ඉදිකර තිබුණු රණවිරු ස්මාරකයටද දැන් සහජීවන නාමයෙන් අබ සරණය. උතුරේ ඉදිකල බුදු මැදුරුවලටද කෙනෙහෙලිකම්ය. කුළියාපිටියේ ආරම්භ කිරිමට කටයුතු කල කම්හලෙන් රැකියාවක් හෝ ෆොක්ස්වැගන් එකක් ගැනීමට තිබූ හිනයද කුඩේ කුඩුය. යාපනයේ සිංහල සිසුවාට පහරදුන් බවට චෝදනා ලත් දෙමළ සිසුවාට බාරවූ සැනින් ඇපය. ඔලියමුල්ලේදී ඇමති ජෝන්ට හූ කියා වාහනයකට පහරදුන් බව කියන අය රක්ෂිත බන්ධනාගාරයටය. දින 100න් අලුත් රටක් හැදීමේ සහ ‘යහපාලන’ ආණ්ඩුවක් ගොඩනැගීමේ කථාව ඇත්තේ දැන් සුරංගනා කථා පොත්වලය. ‘යහපාලන’ ආණ්ඩුව ඉකුත් කාලය මුළුල්ලේම කථා කළේ හොරුන් ගැනය. ඒත් දැන් ඇහෙන්නේ ‘යහපාලනයේම’ කම්බ හොරුන් ගැනය. වෙනස අතර හොදම වෙනස එයයි.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය සැප්තැම්බර් 4වන ඉරිදා සිය 65 වැනි සංවත්සරය කුරුණෑගලදී එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන්නේ මෙවැනි දේශපාලන වාතාවරණයක් තුළය. එජාපයේ 70වැනි සංවත්සරය එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් සැප්තැම්බර් 10වැනිදා පැවැත්වෙන්නේ බොරැල්ලේ කැම්බල් පිටියේදීය. එජාප ඉතිහාසයේ දෙවන වරටද එහි සංවත්සරය මෙවරද පැවැත්වෙනුයේ ජනාධිපතිද වන ශ්‍රිලනිප නායකයාවූ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මෙය ආශ්චර්යක් නොවන්නේද? අනේ කාලේ වනේ වාසේ! මේවා ඇහෙන විට සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට ඉබේටම ඇඩේ!

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions