| කෙණෙහිලි කරන සුළඟට විත් හතර | වටින් |
| බිමටම හැලෙන පොඩි පොඩි මල් බුරුතු | පිටින් |
| මිදුලේ වෙරළු ගහ යට සුව හෙවන | යටින් |
| කවුරුත් නැතිව ගල් බැංකුව හිඳී | දුකින් |
| උන ලී කඩුල්ලේ ලී ටික හැර | දාලා |
| පාරට වැවුන පොඩි තණකොළ | ගලවාලා |
| පොල් අත්තේ රටාවට හැඩ වැඩ | දාලා |
| ගෙදරම ලස්සනයි සුදු වැලි අතු | ගාලා |
| දෙහි ගහ යට ලෑල්ලේ අත්තටු | සලමින් |
| එක එක තාලෙනී උන් උන් හා | දොඩමින් |
| ලේනුන් ගිරවු මයිනන් රොත්තක් | යහමින් |
| බත් කන අයුරු සිතුවම් කර ගමි | මනසින් |
| කහ රතු රෝස සුදු එක පොකුරට | පිපිලා |
| බංගලි රෝස ගොන්නෙහි ඇති මල් | පිරිලා |
| ලිඳ ළඟ දිය සීරාවෙ සරුවට | වැවිලා |
| නිවිතිය වැලේ ඇති කොළ ලොකුවට | හැදිලා |
| ඒවිද කියා නිතරම පෙර මග | බලන |
| තාමත් හරි කෙට්ටු යැයි මැසිවිලි | කියන |
| මට බත් බෙදන්නට හනිකට ගෙට | දුවන |
| අම්මේ දකින්නට ආසයි නුඹෙ | මුහුණ |
| ආවද පුතේ කියමින් හිස | අතගාන |
| දාඩිය බිංදු මගෙ නළලේ | පිසදාන |
| සුවපත් කරන තුන් සිත දුක් | සඟවාන |
| ආදර තාත්තා නුඹ මගෙ | සමප්රාණ |
| සමගින් කොලු කුරුට්ටන් ගම කරක් | ගසයි |
| මලයා පණ්ඩිතයි ගෙදරම ඉතින් | යටයි |
| අද නම් නින්ද යයි කොළඹට අනේ | යසයි |
| එකටෙක කියන විට ගුටියක් දෙන්න | හිතයි |
| පොඩි බත් කූරන්ට කුරුමානම | අල්ලා |
| මුනිවත රකින ඉඳහිට වලිගය | හොල්ලා |
| ඉන්නා සීනු හැංගීලා හොර | ගුල්ලා |
| පොල් ගානකොට එනවා ඇති පොල් | ඉල්ලා |
| තරගෙට සින්දු කියමින් නලියන | නටන |
| පොල් කටු අරන් සද්දෙට තාලම | ගහන |
| දෝණිල චූටි ලා බිම වැලි බත් | උයන |
| ආසයි බලන්නට සෙල්ලම් ගෙය | හදන |
| හැල්මේ දුවන ලොව හා මුහු වෙන | අතර |
| පිම්මේ දුවයි සිත නම් ගෙදරට | නිතර |
| ගෙව්වෙමි මසක් දිගු වුන කල්පය | විතර |
| අම්මේ ලබන පෝයට එනවා | ගෙදර |




nice one like it very much
ReplyDeleteහරිම ලස්සන කවියක්
ReplyDeleteNice one
ReplyDelete