3/24/2013

ජාතික ගීය ගනිමු ReMix කරලා….

කතෘ:යුතුකම     3/24/2013   No comments

ජනප්‍රවාදයේ එන කතාවකට අනුව  අතීතයේ  එක්තරා රජ කෙනෙකුට වඳුරු යාළුවෙක් හිටියා. මෝඩ වඳුරට රජු ආරක්ෂා කිරීමේ කාර්යය පැවරූ විට ඌ එය ඉටු කළේ රජුතුමාගේ ඇඟේ වැසූ මැස්සෙකුට මුලු වැර යොදා කඩු පහරක් එල්ල කිරීමෙනි.

මේ රජය, මර්වින්ලා, පබාලා හා දුමින්දලා ද ඔඩොක්කුවේ දමා ගෙන ගමන් කරතත් සමස්ථයක් ලෙස තවමත් ජනතා ප්‍රසාදයක් ඇති රජයකැයි පැවසීම සදොස් නොවේ යයි සිතමු. ඒ මේ රජය පොදු ජනතාවගෙ රජයක් යැයි තවමත් මෙරට පොදු ජනතාව විශ්වාසය තබන නිසාය. ජනතාව තුළ එබදු විශ්වායක් ගොඩනැගුනේ කුමන හේතුවක් නිසාද? 

ඒ සඳහා බලපෑ ප්‍ර්ධානතම සාධකය නම් බෙදුම්වාදයට මෙම රජය සහාය නොවන බවට  මෙරට බහුතර ජනයා විශ්වාස කිරීමත්, අපට උරුම අපගේ සංස්කෘතිය දෙස අන් රජයන් මෙන් අවඥ්ඥාවෙන් නොබලන බවට ඔවුනට යම් විශ්වාසයක් හෝ තිබීමත්ය. එම විශ්වාසයන් බිඳ වැටුනු සැම විටෙකම මෙරට ජනතාව ආණ්ඩු ගෙදර යවා ඇත. ‘56දී ජනතාව බණ්ඩාරනායක මහතාට බලය ලබා දෙන්නේ මෙම අරමුණ පෙර දැරි කොට ගෙනයි. ’77 දී ජේ, ආර්. ජයවර්ධන පවා බලයට පැමිණෙන්නේ සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් අධර්මය බව පෙන්වා දී ඒ වෙනුවට ‘ධර්මිෂ්ට පාලනයක්’ ගෙනෙන බවට ප්‍රතිඥ්ඥා  දීමෙනි. ඒ අනුව මෙරට ජනතාව නිදහසින් පසු දිගින් දිගටම උත්සාහ ගන්නා ලද්දේ සිය හද මනස හා යාවී රට කෙරවිය හැකි ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීමටයි.( එලෙස පත් වූ සමහර ආණ්ඩු බොහෝ වාර ගණනකදී එම ජනතා අභිලාෂයන්ට එරෙහිව ගිය බවද සත්‍යකි.) එබදු සේයාවක් හෝ නොපෙනී වල්මත් වූ විටෙක මෙරට තරුණයින් අවි දරමින් ප්‍රචණ්ඩත්වය කරා යොමු විය. නැතිනම් ඔවුන් ඒ සඳහා යොමු කළ හැකි විය. මෙම ජනතා අභිලාෂය පිළිබඳ වටිනා විශ්ලේෂණයක් ගුණදාස අමරසේකරයන් විසින් රචිත “කවන්දයට හිසක්” කෘතියෙහි සඳහන්ය. මෙරට ජනතාවට චන්ද්‍රිකාත්, රනිලුත් එපා වන්නේ  ඔවුන් දෙදෙනාම සිය හද මනසට යාවනු තබා ඒ අහළකට වද්දාගත නොහැකි බව ඔවුනගේ සාමූහික විඥ්ඥාණයට කෙමෙන් වැටහී ගිය නිසාය. මෙහිදී අප පවසන්නේ ආර්ථික කාරණා බල නොපාන බව නොව, යම් රජයක ආර්ථික ප්‍රතිපත්තීන්ගෙන්ද මේ කරුණූ අරභයා රජ‍යේ ස්ථාවරය විද්යාමාන වන බවයි.

මේ විශ්වාසය අතින් විපක්ෂයට වඩා ගව් ගණනක් ඉදිරියන් ආණ්ඩු පක්ෂය සිටීම නිසාමය අද විපක්ෂය සිහින් වී ඇත්තේ. ජනතාවගේ හද මනස විසින් ප්‍රතික්ෂේප කෙරෙන ප්‍රතිපත්තීන් වල දිගින් දිගටම එල්ලී නොසිට ඒවා නිවරදි කරගනු වෙනුවට ‘ජනතාව දේශප්‍රේමයෙන් මුලා වෙලා’ වැනි පටු අර්ථකතන තුළ සිර වී ගොඩබිම ගැන නොවැටහෙන මත්සයින් සේ නොහැසිරී, අව්යාජ ලෙස මේ බාධාව ජය ගන්නට උත්සාහ කරනු විනා, වළං පොඩි කිරීමන් හෝ හෝන් ගැසීමෙන් හෝ අනුන්ගේ පෙළපාලි වල කොඩි වැනීමෙන් හෝ පලක් නොවන බව විපක්ෂය තේරුම් ගන්නා බවක් නොපෙනේ.

මෙම රජය විසින් තුනෙන් දෙකකට ආසන්න ආසන ප්‍ර්මාණයක් පසු ගිය මැතිවරණ්යේදී ලබා ගන්නේ වෙන යම් ආශ්චර්යයක් නිසා නොව, පොදු ජනතාව තුළ අප කළින් සඳහන් කළ ආකාරයේ විශ්වාසයක් තහවුරු කිරීමට සමත් වූ නිසාය. මර්වින්ලා හා ඔවුනට දඬුවම් නොලැබීම ගැන ජනතාව දිනෙන් දින කළ කිරුණත් එය රජය මාරු කර හැරීමට තරම් ප්‍ර්බල කළකිරීමක් නොවන බව රජය විසින් දැන් අත්දැකීමෙන්ම අවබෝධ කර ගෙන ඇති බවත් එම කළකිරීමට ඔවුන් එතරම් බිය නොවන බවකුත් පෙනෙන්නට ඇත. මෙසේ සිදුවනවාට අප අකමැති වුවත් දේශපාලන සත්වයන් ලෙස ඔවුන්ගේ තක්සේරුව නිවැරදි යයි සිතමු.

එසේ නම් රජය බිය විය යුත්තේ කුමන කරුණක් අරභයා මහජන අප්‍රසාදයක් ගොඩනැගෙනවාටද?
ප්‍රභාකරන් නන්දිකඩාල්වල ගිලෙන තෙක් අනවරතව ත්‍රස්තවාදයට එරෙහි සටන මෙහෙයවීමත් ඉන් පසු ජාත්‍යන්තරය හරහා බෙදුම්වාදය ශක්තිමත් වන ආකාරයේ තීන්දු ගැනීමට බල කෙරුණු අත කරකැවීම් නොසලකා කටයුතු කිරීමත් නිසා තවමත් මහජනයා, රජය අධිරාජ්යවාදී තර්ජනය හමුවේ බෙදූම්වාදී න්යායපත්‍රයට යටත් වන බවට අවිශ්වාසයක් නොකරති. යම් විටෙක මෙරට පොදු ජනතාවට මෙරට ඒකීය බව හෝ තම උරුමයන් කිසියම් තර්ජනයකට ලක්වෙන දෙයක් සිදුවන බව තේරුම් ගිය දිනක සිට රජයේ පල්ලම්බැසීම ඇරඹෙනු වැළැක්විය නොහැක. මෙරට පොදු ජනතාව තුළ නිදන් ගතව ඇති මෙම ගැඹුරු හා ප්‍රශස්ත මනෝභාවය මෙරට වෙසෙනා බොහෝමයක් පොතේ ගුරු උගුතුන්ට වැටහුනේ නැත. නමුත් රටට හතුරු බලවේග නම් මේ කරුණ ගැන දැන් දැන් නිසි තක්සේරුවක සිටින බව පෙනේ.ජනතා ආකර්ශණය රඳන  නිල අල්ලා ආණ්ඩුව ලවාම ඒවා නිෂ්ක්‍රීය කරගැනීමට කුරුමානම් අල්ලන්නේ ඒ අවබෝධය නිසාය.

කෙසේ නමුත්, මෙම රජ‍යේ නොයෙකුත් මාදිළි‍යෙ මත දරන්නන් සිටිත්. එහි වරදක් නැත. නමුත් කුමන මතය දැරුවත් ඔවුන් කටයුතු කළයුත්තේ තම තමන්ගේ යල්පැන ගිය, ජනතාව විසින් ප්‍ර්තික්ෂේප කළ මතවාදයන් අනුව නොව, මෙරට හුදී ජනයාගේ අදහස ගැන සළකා ගෙනයි. මිහිදූ මාහිමියන් දෙවන පෑතිස් රජුට දුන් අවවාදය තුළ මේ බව මොනවට ගැබ්වී ඇත්ද? වාසුදේව නානායක්කාර මහතා වැනි පැරණි මාක්ස්වාදියෙකුට මිහිදු මහ රහතන් වහන්සේ විසින් ලබා දුන් අවවාද අමතක වී තිබෙන්නට පුලුවන. ඒ මහතාට ඒ ගැන ප්‍රශ්නයක් නැතිනම් අපටද ඒ ගැන ප්‍රශ්නයක් නැත. නමුත් එම අමතක වීම නිසා හානි සිදුවන්නෙ රජයත් ජනතාවත් යා කෙරී ඇති විශ්වාසය නමැති හුයටය. ඉතා ප්‍රබල අභියෝගයනට මුහුණ දෙමින් ශක්තිමත් ලෙස ගොඩනගන ලද එම හුය මර්වින්ලාගේ හෝ දුමින්දලාගේ හෝ අමන හැසිරීමට සිදලනු හැකි නොවීය. නමුත් එම හුය ඉතා පහසුවෙන් බිදලිය හැක්කේ රජය තුළ සිටින ෆෙඩරල්වාදීනටය.

ජාතික ගීයට දමිල පද එක් කිරීමට වාසුදේව මහතා යෝජනා කොට තිබිණි. වාසුදේව මහතාගේ යෝජනාව සම්බන්ධන් මහතා අගය කර තිබේ. ඉංග්‍රීසීන් විසින් හයිය ලබා දුන් ප්‍රභාකරන්ගේ සීයලා වපුල බෙදුම්වාදී බිජුවට නිසා අවසානයේ මිනිසුන් ලක්ෂ ගණන් මිය ගි‍යේය. 1965 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම, 77 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය මෙන්ම 97 චන්ද්‍රිකාගේ ෆෙඩරල් යෝජනාවලිය ආදියෙන් පැහැදිලිවන්නේ වාසුලාගේ මේ යෝජනා හදිසියේ පහළ වූ ඒවා නොවන බවය.වාසුලාගේ මේ පැරණි මනෝභාවය අවසානයේදී සේවය කරන්නේ නිදහස ලැබීමටත් පෙර පැවති එස් වී චෙල්වනායගම් වැන්නන් බෞතීස්ම කල ෆෙඩරල්වාදීන් විසින් දිගින් දිගටම ගෙනගිය බෙදුම්වාදි උවමනාව වෙනුවෙන් බව අප වටහාගත යුතුය. “දැන් ටිකක් පසුව හුඟක්” යන්න  මෙරට බෙදුම්වාදීන්ගේ කුප්‍රකට තේමා පාඨය බව අප අමතක නොකළ යුතුය.


තමන්ගේ ජීවිත කාලය පුරාවටම මැතිරූ නමුත් අද වන විට යල් පැන ගොස් කුජීත වී ඇති මේ මනෝභාවයන්ට පණ දීමට සැලසෙන මේ විශ්‍රාමික මාක්ස්වාදීන් ප්‍රභාකරන්ගේ ‘දේශපාලන මස්සිනාලා’ බවට දැන හෝ නොදැන පත්වී ඇත්තේ ඉතා පටු ලෙස මෙම ගැටලු දෙස බැලීම නිසාය. අධිරාජ්ය විරෝධීන් යැයි කීවද තම මව්බිම තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදයට පිටුපසින් වූ අධිරාජ්යවාදී සංරචකය සිය ජීවිත කාලය පුරාවටම මොවුනට අවිෂය විය. ඒ නිසාම මොවුන් බටහිරට වුවමනා ආකාරයේ අධිරාජ්ය විරෝධීන් වූ නමුත් එම මතවාද නිසාම මෙරට ජනතාව තුළින් ප්‍රතික්ෂේප විය.
නිකම් ඉන්න ගමන් වාසුදේව මහතා වැන්නකුට ජාතික ගීයට දෙමල කෑල්ලකුත් දමා ගායනා කර බැලීමට සිත් දුන්නාට  අපට කම් නැත. නමුත් මේවා යෝජනා කරන්නේ, මේ රට හා මෙහි වෙසන ජනයා පිළිබඳ අල්පමාත්‍ර වූ හෝ අවබෝධයකින් තොරව පමණක් නොව, ලෝකය පිළිබදවත් නොසිතා, සාමන්ය බුද්ධියවත් පවිච්චි නොකර විය යුතුය. නිකමට හරි එහා වැටේ ඉන්දියාව ගැන හිතුව මිනිහෙක් ලංකාව අරභයා මෙවන් යෝජනාවක් කරයිද? අපට අවශ්ය, නැති ප්‍රශ්න ඇති කරන ඇමතියෝද? මොවුන් සංහිදියාවේ නාමයෙන් නැවත ජාතීන් අතර අමනාපයන් වර්ධනය කිරීමට මාන බලන්නේ, තමන් විරුද්ධ වූ සටන රජය ජනතාව හා එක්ව කර නිසා, නැවත වටයකින් ප්‍ර්ශ්න මවා තමන් එකල්හී දැරූ මතය නිවැරදි යයි කියන්නද?
ජනතාව හා රජය අතර ඇති තම උරුමයන්ට පිටු නොපා කටයුතු කරනවා යන විශ්වාසය ඉමහත් අභියෝගයන් මධ්යයේ ගොඩනැගුවක් වුවද, එක් අනුවණ තීරණයකින් එම විශ්වාසය නමැති හුය බිදී යා හැකිය. මුලු ජීවිත කාලයම ස්වාමීභක්තියෙන් කටයුතු කළද එක් වතාවක් වෙනත් පුරුෂයකුට ඉඩක් දුන් ස්ත්‍රියකට අප පතිවත රකිනවා යයි නොකියන්නේ යම්සේද මේ කරුණ අරභයාද පොදු ජනතාව රජයෙන් අපේක්ෂා කරන විශ්වාසය එබඳුය. 

(ජායාරූපය : නලින් ද සිල්වා මහතා විසින් රචිත ‘ප‍්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා’ ග‍්‍රන්ථයෙන් උපුටා ගත්තකි.)
රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳවන මෙවැනි කියුම්, කෙරුම් අපට සිහි ගන්වන්නේ රජු ආරක්ෂා කිරීමට රජුගේ ඇඟේ වැසූ මැස්සාට කඩු පහරක් එල්ල කළ මෝඩ වඳුරා  නොවේද? රජු මේ වැඩය ඔහුට පැවරුවේ, සේවයට බොහෝ අය සිටිනා නිසාවෙන්, දීමට වෙන වැඩක් නැති වුවත් හිත්වත්කම නිසා යම් රැකියාවක් ලබා දීමට සිතූ නිසා මිස විශේෂයන් යමක් ඔහු ලවා කරවා ගැනීමටම නොවිය හැක. වඳුරා එය තේරුම් ගෙන තමාගේ පාඩුවේ මහන්සි නොවී සිටියා නම් රජුට එබඳු විපතක් නොවන්නට තිබුණි.



-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය


3/23/2013

ලැජ්ජයි....

කතෘ:යුතුකම     3/23/2013   No comments

3/22/2013

ස්තුතියි....

කතෘ:යුතුකම     3/22/2013   No comments

මොරටුවේ ‘මර්වින්’ ප‍්‍රහාරය

කතෘ:යුතුකම     3/22/2013   No comments

- අංකුර  ‘විද්‍යාර්ථයින්ගේ නූතනකුලගැටුම

මොරටුව සරසවිය විශ්වවිද්‍යාල තත්වය ලැබුමට පෙර ‘කටුබැද්ද කාකාර්මිකවිද්‍යාලයලෙසින් හැඳින්විණි. කෙසේවුවද මෙහි ඉතිහාසය 1960 දී  මෙරටට තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමේ අරමුණෙන් ඇති කල ‘ප්‍රායෝගික කාර්මික ආයතනය බිහි වීමටත් ඒහා දිව යයි. ‘ප්‍රායෝගික කාර්මිකආයතනය  1966 දී ‘ලංකා තාක්ෂණික විද්‍යාලය’ වශයෙන් උසස්කරන ලද අතර 1972 ‘ශ්‍රී ලංකා කාර්මික ආයතනය – කටුබැද්ද මණ්ඩපය’ ලෙසද, පසුව  1978 දී මොරටුව විශ්ව විද්‍යාලය බවට ද පත් විය.

ඒ අතර මරදාන කාර්මික අභ්‍යාස ආයතනයේදී 1940 වසරේ ආධුනික තාක්ෂණික නිළධාරීන් (JTO) බිහිකරන පාඨමාලාවක් ලෙසින් ආරම්භ වුනු NDT පාඨමාලාව (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව National Diploma in Technology  – NDT  ),1960 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික ආයතනය ලෙස වත්මන් මොරටුව විශ්ව විද්‍යාලිය භුමිය තුල බිහි විය.1967 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික පාඨමාලාව NDT පාඨමාලාව ලෙස වෙනස්කමට භාජනය විය.

තාක්ෂණ විද්‍යාලයක සිට  විශ්ව විද්‍යාලයක් බවට පරිනත වීමත් සමගම ආරම්භ වූ  උපාධි ආරම්භයත් සමගම  එවක් පටන් මෙම භූමියේ ‘ශුද්ධ අයිතිය’ උදෙසා ඩිප්ලෝමා අපේක්ෂිත  සිසුන් හා උපාධි  අපේක්ෂිත සිසුන් අතර අනවරත ගැටුමක් නිර්මාණය විය.එවක් පටන්  NDT සිසුන් සහ BSc සිසුන් ලෙස මේ දෙපිරිසම තම තමන්ගේ මනෝමූලික න්‍යායන් ඔස්සේ විශ්ව විද්‍යාලයේ ‘ශුද්ධ අයිතිය’ වෙනුවෙන් සටන් කරමින් සිටී.දශක කිහිපයක් තිස්සේ ඇදීයන මේ ගැටුමේ අලුත්ම පියවර නම් පසුගියදා මොරටුව ඉංජිනේරු පීඨ නේවාසිකාගාරයට ගරිල්ලා පන්නයේ ත්‍රාඩ ප්‍රහාරයක් එල්ල කිරීමයි. එහිදී ඉංජිනේරු පීඨයේ දේපළ රැසකට බරපතල හානි සිදු වූ අතර සිසුන් තිදෙනෙක් තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකු බරපතල තුවාල යටතේ ජාතික රෝහලේ තවමත් නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටි.

විශ්ව විද්‍යාල සිසුන් අතර ගැටුම් ඇතිවීම හැටේ දශකයේ සිට විශ්ව විද්‍යාල වලට පරවේණියක් වූ ලක්ෂණයකි.’ඒ කාලේ නම් අද වගේ නෑ’ යනුවෙන් සමහරුන් අද ඉදිරිපත් කරන මතය හුදු හිත් රවටාගැනීමට පමනක් වත් නොසෑහෙන බොරුවක් බව එකල විශ්ව විද්‍යාලවලදී නවක වදය සහ ඒ ආශ්‍රිත ගැටුම් වලට ලක් වූ හෘද සාක්ෂියක් ඇති වැඩිහිටියන් සාක්ෂි දරනු ඇති.

සිසු ගැටුම් අනෙකුත් බොහෝ සරසවිවල තිබෙන නමුත් අනෙකුත් විශ්ව විද්‍යාල වල දක්නට නොමැති සුවිශේෂී තත්වයක් මොරටුව සරසවිය තුල දැකිය හැකිය.එය එක්තරා ආකාරයක කුල ගැටුමක් ලෙස සමහරුන් කරන හැඳින්වීම අසාධාරණ නොවන්නේ ගෝත්‍රවාදී කුල ගැටුමකටත් එහා ගිය ප්‍රාථමික මනෝභාවයක් මේ තුල ගැබ් වී තිබෙන බැවිනි. මෙයින් අප වටහා ගත යුත්තේ අනෙකාට වඩා තමා උසස් යැයි පැන නගින මේ ප්‍රාථමික මනෝභාවය පහත් යැයි සම්මත ගෝත්‍රික සමාජ පද්ධතීන් තුල පමණක් නොව උගතුන් බිහිකරන්නේ යැයි කියන විද්‍යායතනවලටද එක සේ පොදු බවද? මේ ගුණදාස අමරසේකර ශූරීන් ‘ගමනක මුල’ නවකතාවෙන් ඇරඹි සංවාදයේදී මනා ලෙස දක්වන පරිදිම මා පිය සබඳතා , සහෝදරකම් ,හිතවත්කම්  නොසලකා එකිනෙකා පරයා  හිණිමගේ ඉහළට ‍යෑමට එනම් බමුණු කුලයේ සාමාජිකත්වය ලැබීමට වලිකන මානව මානවිකාවන්ගේ පොදු ඉරණම නොවේද? හිණිමගේ ඉහළට ‍යෑමට සඳහා ඕනෑම කුපාඩි මගක යෑමට මේ  බමුණු කුලයේ අංකුර  උගතුන් පසුබට නොවන බව නොවේද මේ මේ ගහමරා ගැනීම් හරහා අප ඉදිරිපිට විද්‍යාමාන වන්නේ?

ප්‍රධාන වශයෙන්ම ඉංජිනේරු පීඨයට තේරී එන්නේ  දිස්ත්‍රික් මට්ටමේන් උසස් පෙළ  ගණිත අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගත් සුසුන් කොටසයි.නමුත්  මෙහි අනෙකුත් ප්‍රධාන පාර්ශවය වන NDT පාඨමාලාව උදෙසා සිසුන් තේරෙන්නේ උසස් පෙළ ඊට වඩා අඩු ලකුණු මට්ටම්වල සිසුන්ගෙනි. උසස් පෙළ මේ ලකුණු පරතරය මේ දෙකොටස අතර ලකුණු පරතරයට එහා ගිය මානසික දුරස්ථභාවයක් නිර්මණය කෙරී ඇත. (සමහර විට ඉංජිනේරු පීඨයේ සිටින දුෂ්කර ‍යැයි සැලකෙන පළාත්වලින් තේරී පත් වූ සිසුන්ට වඩා ඉහළ සාමාර්ථ ලබා ගත් සිසුන් ඉංජිනේරු පීඨ වරම් අහිමිව NDT පාඨමාලාව තුල සිටින අවස්ථාද එමට ඇත.ඒ ඒ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිර්මාණය කලා යැයි කියවෙන  මාහාර්‍ග දිස්ත්‍රික් කෝටාව නිසාය ) උසස්පෙළ ලකුණු වෙනස ඉතා සුළු එකක් වුවත් මොරටුව සරසවි භූමියේදී මේ වෙනස ලේ හලන ගැටුමක් නිර්මාණය කිරීමට තරම් වෙනසක් බවට පත් වන්නේ මේ සිසුන්ගේ ස්ව අභිමතය අනුවම නොවන බව අපේ වැටහීමයි. මේ බොහෝ දෙනා එක ප්ලේන්ටිය දෙකට බෙදන් බී උසස් පෙළ පන්තියේ එක බංකුවේ අධ්‍යපනය ලද පන්ති සගයන්ය. එවන් කොටස් මෙතරම් විරසකභාවයට පත් වන්නේ වසර ගණනාවක් පුරා NDT ශිෂ්‍ය සංගමය මෙහෙයවන අන්තරය සහ එයට පසුපස සිට ජවය සහ උත්තේජනය කරන දේශපාලන කොටස්වල තෙල බෙදීම සහ ජ්‍යේෂ්ඨයන් හරහා ඔලුගෙඩිවලට කවන වස ප්‍රමාණය ඉතා ඉහළ බැවින් යැයි නැගෙන චෝදනාව අසත්‍යක්ම නොවේ. එලෙසම මේ සිසුන් අතර ගැටුම් තම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට ප්‍රධාන උත්ප්‍රේරකයක් බව තරුණ ලේ මතින් දේශපාලන ගමන් යාමට උපන් කොටස් හොඳින් අවබෝධ කරගෙන ඇත.

මෙහි ප්‍රධාන පාර්ශව දෙක වන BSc සිසුන් ට අනුව NDT ශිෂ්‍යන් යනු තමන්ගේ තරමට වඩා හිස උදුම්මා ගත් උද්ධඡ්චයන් පිරිසක් බවය.ඉංජිනේරු පීඨයෙන් බිහිවන ඉංජිනේරුවරයෙකු අහලකටවත් දැනුමෙන් ලඟා විය නොහැකි මේ NDT සිසුන් ඉංජිනේරුවරුන් ලෙස ඉලිප්පීමට යෑම මේ ගැටුමේ මූලික හේතුව බව BSc සිසුන්ගේ පොදු අදහසයි. දෙ එබැවින් ඔවුන් දෙස ස වපර ඇසින් බැලීමේ මනෝභාවයක් එමගින් නිර්මාණය වී ඇත.තමන් සමග එකට සිටීමට තරම් සුදුසුකම් නැති NDT සිසුන් විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත් කර වෙනත් බිමකට ගෙන යන්නැයි උද්ඝෝෂණ එන්නේ ගැටුම් අවසන් කිරීමේ පිරිසිදු අරමුණෙන්ම පමණක් නොව  මෙම උඩඟු අධිමාන්නය නිසාය යනුවෙන් එල්ල වෙන චෝදනාව අසත්‍යක්ම නොවේ.

එහි අනික් පස සැලකූ කල NDT සිසුන්ට අනුව BSc සිසුන් යනු පොතේ ගුරාලා ටිකකි. උසස්පෙළ ලකුණක් දෙකක් වැඩිපුර ගත්තත්  ප්‍රායෝගිකත්වය අතින් බැලූවිට තමන් සමග එකට හිට ගැනීමට BSc  ශිෂ්‍යයන්ට නොහැකිය.රැකියා වෙළඳපොළේදීද ප්‍රායෝගිකත්වයට සහ තාක්ෂණික අතේහුරුව වැඩිපුර ඇති NDT සිසුන් සඳහා දැන් ඉහල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී.මෙය දරා ගත නොහැකි BSc  සිසුන් NDT  සිසුන්ට වෛර කරති. මේ බහුතර NDT සිසුන්ගේ පොදු මනෝභාවයයි. උසස් පෙලේදී තමන් ලද අඩු ලකුණුවලින් නිර්මාණය වූ හීනමානය මෙයට මූලික හේතුව යැයි නැගෙන චෝදනාවද BSc  සිසුන් වෙත එල්ලවන අධිමානය පිළිබඳ චෝදනාව වැනි ආකාරයටම යම් කිසි වලංගුභාවයක් ඇති අර්ථ දැක්වීමකි. කෙසේ හෝ අන්ත දෙකකට ඇදෙන මේ මනෝභාවයන් විසින් මෙහෙයවන ශිෂ්‍ය කණ්ඩායම් දෙකකින් එකකට අති කුප්‍රකට ධාවනකාරී  ඊනියා  විප්ලවවාදී දේශපාලන වහල්කම එක් වූ කල ඇතිවන විපත පසුගියදා මොරටුව සරසවියේ නේවාසිකාගාරයේ පොලු පහරවලින්,කඩු පහරවලින් දෙකඩ වී ඇති දොර පලු සාක්ෂි දරනවා ඇත.

එසේ බැලූ කල මේ දෙපාර්ශවයම පෙන්නුම් කරමින් සිටිනුයේ අනෙකා පාගා දමා ,හෙළා දැක තම තමන්ගේ දෙක හමාර බේරා ගැනීමේ දීන උත්සාහයක නොවේද? අනෙකා හෙළා තමන් ඉනිමගේ ඉහළට නැගීමේ තණ්හාව නොවේද? මෙය මේ දෙකොටසට පමණක් උරුමයක් නොවන බව අප වටහා ගත යුතුය.මේ අපට නොගැලපෙන නමුත් අප වැලඳ සිටින අධ්‍යාපන ක්‍රමයේම අනිවාර්‍ය අවාසනාවන්ත උරුමය නොවේද? මේ අධ්‍යාපන ක්‍රමය හරහා ක්ෂිතිජයට එහා දකින විද්‍යාර්ථයින් යැයි මාහා ඉහළින් ඔසවා තබමින්  අවසානයේ බිහිකර ඇත්තේ අධ්‍යාපන අයිතිය වැනි මතුපිටට ආකර්ශනීය සටන් පාඨ කිහිපයක් හරහා  මුළාවේ දැමීමට හැකි මෙතරම් ළදරු දේශපාලන කොටස්වල අතකොළු බවට පත් වී එක පන්තියේ සගයන්ගේ ඔලු පලා එකිනේකා මරාගැනීමට තරම් දුබල මාන්සිකත්වයෙන් හෙබි  මානසික විකෘතිකයන් පිරිසක් නොවේද?

ගැටුමේ හොඳම ජවනිකාව එන්නේ ඉන් පසුවයි.එනම් මේ ගැටුමට වගකිවයුත්තන් කවුදැයි එකිනෙකට චෝදනා කරන ජවනිකාවයි.උසස් අධ්‍යාපන ඇමතිවරයාට අනුව මෙය ජවිපෙන් වෙන්ව ගිය පෙරටුගාමි පක්ෂය දැනුවත්ව මෙහෙයවූ ත්‍රාඩ ගරිල්ලා ප්‍රහාරයකි.එම චෝදනාවට පිළිතුරු දෙන අන්තරය පවසන්නේ ගැටුම් නිර්මාණය කර තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ආන්ඩුවේ උත්සාහයේ තවත් එක් ප්‍රතිඵලයක් පසුගියදා මොරටු සරසවියේදී ඇති වූ බවයි.නමුත් පෙරටුගාමීන්ගේ තෙල්වලින් දැති රෝද කැරකෙන (දැන් ජවිපෙට එහි සැලකිය යුතු බලයක් නිමැති බව කියැවේ) අන්තරය මෙම ගැටුම ගැන විශේෂිත වූ කරුණු කිසිවක් ඉදිරිපත් නොකරන අතර සෑම ගැටුමකටම පසුව මාධ්‍ය වෙත නිකුත් කරන පොදු නිවේදනය දිනය  හා ස්ථානය පමණක් වෙනස් කර මෙවරද නිකුත් කර ඇති සැටියක් පෙනේ.

ජවිපෙද මේ ගැටුම තම ප්‍රධාන ප්‍රතිවාදියා වන ආණ්ඩුව පිට පටවා බලාසිටින්නේ පෙරටුගාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට වඩා ආණ්ඩුවට පහරට්දීම තම දේශපාලනයට වඩා වාසිදායක වන බැවින් විය හැක.
මේ අතර පෙරටුගාමී ක්‍රියාකාරිකයන් මේ සම්බන්ධයෙන් මොන්ටිසෝරි බබාලාගේ තර්ක ඉදිරිපත් කරමින් මෙහි වගකීමෙන් පැන යාමට උත්සාහ කරන අයුරු ලැජ්ජා සහගතය.ඔවුන් ඒ සඳහා පාදක කරගන්නේ එස් බී දිසානායක ඇමතිවරයා මීට වසරකට පමණ පෙර කල ප්‍රකාශයකි. එනම් NDT  ශිෂ්‍ය සංගම් වල බලය නුදුරේදීම ජවිපෙන් ,පෙරටුගාමීන්ගෙන් ගිලිහී තමන් අතට ගන්න බවට කල ප්‍රකාශයයි.පෙරටුගාමීන්ට අනුව දැන් NDTය එස්බී දිසානායක යටතේ මෙහෙයවෙන්නකි.ඒ අනුව පසුගියදා සිදුවූ ගැටුම එස්බී දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ මෙහෙයවීම මත සිදු වූවකි. මේවා අඩුම තරමින් තමන්ගේ එහෙයිවාදී කාඩරයන්වත් රැවටීමට ප්‍රමාණවත් නොවන බව මේ පුංචි විප්ලවවාදීන්ට නොතේරේද? එන්ඩීටීය තවමත් අන්තරය හා ක්‍රියාකාරීව කටයුතු කරන බව මොරටුව විශ්ව විද්‍යාලය අසල කඩල රටකජු විකුනණ්නන් පවා පවා දන්නා සරල සත්‍යයි.

පෙරටුගාමීන් සහ ජවිපෙ නටන මේ නාටකය දෙවනි වන්නේ ‘මර්වින් නාඩගමට’ පමණක් විය යුතුය.මර්වින් යනු නූතන තුප්පහි දේශපාලන සංස්කෘතියේ උත්තුංගම සංකේතයයි.මර්වින් ඕනෑම කුපාඩි වැඩක් කල විට එය මර්වින් විසින් කලාද නැද්ද යන්න රහස් පොලීසීය සහ ආණ්ඩුවේ ඉහළ බලධාරීන් පමණක් නොදන්නා නමුත් මුලු ලංකාවම දන්නා සත්‍යකි.ඒ සඳහා රහස් පොලිස් පරීක්ෂණ හෝ ඇඟිලි සලකුණු උවමනා ණැත.ඒ තරමටම ඒ සම්බන්ධ සාමාන්‍ය ජනයාගේ දේශපාලන ඉව තියුණු වී ඇත.නමුත් ඒ පිළිබඳ මර්වින් ගෙන් ඇසුවහොත් ලැබෙන්නේ ලොවැඩ සඟරාවේ , ධම්මපදයේ අන්තර්ගත මහා ආඛ්‍යානවලින් සුසැදි ලිළිතුරකි. ඔහුට අනුව මේ කිසිවකුට ඔහුගේ සම්බන්ධයක් නැත. ඒ ප්‍රකාශ පිළිගන්නේ නම්  මර්වින් යනු  නවගුණවැල නිතරම ගනිමින් සිටින නිස්කලංකව කුරා කූඹියෙකුට වරදක් නැති අහිංසකයෙකි. නමුත් ආණ්ඩුවේ ඉහළ බලධාරීන් සහ සට්ටඹි මාධ්‍ය හොරණෑ හැර කිසිවකුත් ඒ ප්‍රකාශ තඹ සතේකට නොසලකයි.මේ සරසවි ගැටුම් සම්බන්ධව අන්තරයේ , ජවිපෙ සහ පෙරටුගාමී යන සියලු පාර්ශව වල හැසිරීමද මේ මර්වින් පන්නයේමය. ඔවුන්ට අනුව  ඔවුන් මේ කිසිවකට සම්බන්ධ නැත.සරසවි ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් දිවි කැපකර කැපවීම් කරන්නෙ ඔවුන්ය.එහිදී විරුද්ධ මතධාරියෙකුට පොලු පහරවල් එල්ල කිරීම තබා ‘උඹ නොදකින්’ යැයි නොකියවෙන තරමට ඒ ශිෂ්‍ය ව්‍යාපාරය සංසුන්ය. අහිංසකය.ධම්මපදයේ නැතත් මාක්ස්වාදී පොත්පත්වල ඇති පාඨ ඒ අස්සේ ඔබා මේ අති අහිංසකවාදී මානුශිකවාදී ස්වරූපය උලුප්පා පෙන්වීමට ඔවුන් දක්ෂයයි ඔවුන් සිතනවා වන්නට පුළුවන. නමුත් පැස්බරා හිස පමණක් වැල්ලේ ඔබා ගත්තද අප්‍රසන්න දර්ශනය අනෙකුන්ට හොඳින් පැහැදිලිව පෙනේ.

කෙසේ නමුත් මෙවර ගැටුම සම්පූර්‍ණ පෙරටුගාමී පක්ෂය හිතාමාතා සැලසුම් සහගතව සිදු කල ගරිල්ලා පන්නයේ ත්‍රාඩ ප්‍රහාරයක් බව බහුතර ඉංජිනේරු පීඨ සිසුන්ගේ අදහසයි.NDT ශිෂ්‍ය ප්‍රජාව තුල තමන් සමග ගැටෙන ජවිපෙට හිතවත් ශිෂ්‍ය කණ්ඩායම් වල බලය ඉදිරියේදී තීරණාත්මකව තමන්ගේ අධිපතීත්වයට අභියෝගයක් වන වටපිටාවක සහ NDT සිසුන් අතරින් අමානුෂික නවකවදයට එරෙහි ශිෂ්‍ය කණ්ඩයමක් මතුවීමේ ප්‍රවනතාවයක්ද පසුගිය වකවානුවේ දක්නට ලැබිනි.එස්බී දිසානායක ඇමතිවරයා පසුගිය වසරේ අන්තරයෙන් ගලවාගන්නේ  යැයි  අනතුරු අඟවන්නේ මෙම ශිෂ්‍ය කොටස ගැන විය යුතුය.කෙසේ නමුත් අන්තරයට NDT ශිෂ්‍ය  ප්‍රජාව  තුල තවදුරටත් අධිපතීත්වය දැරීමට නම් මේ අභ්‍යන්තර ගැටුම් විසඳා ගත යුතුව තිබිණ. ඒ සඳහා හොඳම පිළිතුර නම් පොදු සතුරෙක් නිර්මානය කර  ඒ පොදු සතුරාට එරෙහිව එකතු වීමයි. මේ සැල්සුම් සහගත ප්‍රහාරයේ මුඛ්‍ය අරමුණ එය බවට එල්ල වන චෝදනාව පිළිගැනීම එතරම් අපහසු නැත.මෙයට පෙර නොයෙක් ආකාරයේ ගැටුම් ඇති වී තිබුනත් ඒ ගැටුම්වලට දුන් ප්‍රති උත්තරයකටත් වඩා මේ කැලඹිලිකාරී තත්වය මගහරවා පොදු සතුරෙකු නිර්මාණය කරගැනීමේ මෙහෙයුමේ එක් ගරිල්ලා පහරදීමක් ලෙස පසුගියදා සිදු වූ පහර දීම සැලකීම වඩා සාධාරණය. මේ පෙනෙන්නේ ජාතීන් අතර සමානාත්මතාවය ,අන්තර් සහජීවනය , ප්‍රජාතන්ත්‍රවාදය , සම අයිතිය ආදී මහා ආඛ්‍යානයන් ගැන මහා විදග්ධ කතා පවත්වන මේ රතු තොප්පිකාර පුංචි විප්ලවවාදීන්ගේ සැබෑ ස්වරූපය නොවේද?NDT – BSc මේ නයි පොළොං වෛරය කුප්ප දේශපාලණ කොටස් විසින් දඩමීමා කරගැනීම නිසා ජාතියට අහිමිවන වටිනා ජීවිත වල වටිනාකම මේ සිල්ලර දේශපාලන කොටස්වලට නොවැටහීම පුදුමයක් නොවේ. වෙහෙර ගිල්ල උන්ට අග්ගලාව කජ්ජක්ද.

නමුත් වගකිව යුතු නිළධාරීන් – බල්ධාරීන් තව තවත් කල් නොමරා මේ නයි – පොළොං වෛරය අවුළුවන වටපිටාව වහා නැතිකර දැමිය යුතුය. එහිදී මේ දෙපාර්ශවය දැනට යෝජිත පරිදි දෙතැනකට කිරීම හෝ ඊට වඩා ප්‍රශස්ථ විසඳුමක් වේ නම් එය සොයා වහ වහා පිළියම් යෙදීම මේ ජීවිත අඳුරට හෙලන සාපය නැවැත්වීමට හැකි එකම මාර්ගයයි. එසේම මේ බමුණු කුලයේ අංකුරයන් බමුණු මානසිකත්වයෙන් ගලවා එකිනෙකා මරාගන්නා ක්‍රමය වෙනුවට විසල් මනසකින් යුතු බුද්ධිමතින් බිහිකල හැකි අපේ පසට ගැලපෙන  අධ්‍යාපන ක්‍රමවේදයක අවශ්‍යතාවය  වෙනුවෙන් දැනුවත් සංවාදයක් අත්‍යවශ්‍ය මොහොත එලඹ තිබේ.

-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය

1/06/2013

ජනාධිපතිතුමාට අයිතියක් නැත....

කතෘ:යුතුකම     1/06/2013   No comments


-මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේනම් කිම?..

ශිරාණි බණ්ඩාරණායක මැතිණිය කොළඹ විශ්ව  විද්‍යාලයේ ආචාර්යවරියක වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇයව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරන ලද්දේ එවකට ජනාධිපතිතුමිය වූ  චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියයිචන්ද්‍රිකා දේශපාලනිකව කුමන අරමුණක් අරඹයා කටයුතු කල තැනැත්තියක් දැයි දැන් නම් රටේ ජනතාවට අවබෝධ වී ඇතිවාට සැක නැත. එකල බොහෝ ආයතන සහ බල අධිකාරීන්වල මෙහෙයුම් බලය හිමිව තිබුනේ බෙදුම්වාදය එසේත් නැත්නම් ෆෙඩරල් මතවාද දරන්නන්ටය.ඒ  චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ දේශපාලන මතය සමග සමගාමී වෙමිනි. එල්ටීටී  ත්‍රස්තවාදියෙකු වූ වසන්ත රාජා එකල රූපවාහිනියේ මුල් පුටුවට පැමිණීම ඊට හොඳම උදාහරණයයි. එලෙස තව බොහෝ බල අධිකාරීන්වල තීරක බලයට  රාජ්‍ය නොවන සංවිධානවල  අවශ්‍යතා අනුව මෙහෙයවෙන ෆෙඩරල්වාදීන් අරක් ගත්තේ  චන්ද්‍රිකාගේ ඒ ෆෙඩරල් ආශාව සංතෘප්ත කරවන්නටය.
ශිරාණි බණ්ඩාරනායක මැතිණියද පැහැදිලි ලෙසම බෙදුම්වාදී ෆෙඩරල් දේශපාලන මතය ඉහලින්ම නියෝජනය කළාය.එකල චන්ද්‍රිකා ආණ්ඩුව සුදු නෙලුම් ගෙන තවලම් යද්දී එයට සහයවනු පිණිස රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්  මුද්‍රණය කල "බලය බෙදීම : ඉතිහාසය වර්තමානය සහ අනාගතය "ග්‍රන්ථයේ   'බලතල බෙදාහැරීම පිළිබඳ හා  ශ්‍රී ලංකාවේ අත්දැකීම් ' යන මැයෙන්  ශිරාණි බණ්ඩාරනායක් මැතිණිය සැපයූ නිබන්ධනයෙන්  ඇයගේ ෆෙඩරල් හිතවාදී මතය අපූරුවට  නිරූපණය වේ.

එහි 154 පිටුවේ ඇය මෙලෙස සඳහන් කර ඇත.
'බලතල බෙදාහැරීම පිළිබඳ සංකල්පය ලංකාවේදී මෑතකදී ඉදිරිපත් වූවක් ලෙසට අපට දැක්විය නොහැක. ලංකාවේ දේශපාලනික පසුබිම හා සමාජීය ගැටලු යටතේ පවතින වාර්ගික අර්බුදයත් සම්බන්ධ විසඳුමක් ලෙසට බලතල බෙදාහැරීම පිළිබඳවත් දශක අටකට වැඩි කලක් තිස්සේ සාකච්ඡා වූ බව පෙනී යයි. සෑම අවස්ථාවකදීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂිකයන් සිය විරුද්ධත්ව පලකර සිටීමද නොරහසකි. කෙසේ වෙතත් බලතල බෙදීමක පරමාර්ථය වනුයේ  මධ්‍යම ආණ්ඩුවේ කාර්යයන් වඩා කාර්යක්ෂම ආකාරයකින් මෙන්ම ,පළාත් බද  නායකයන්ගේ සහභාගීත්වය සහ සහයෝගීතාවය මත ඔවුන්ගේ  දක්ෂතාවයන් උපරිම වශයෙන් උපයෝගී කරගනිමින් ඉටුකර ගැනීමයි.එමගින්  රාජ්‍යයක සංවර්ධනය මෙන්ම එක්සත් භාවයද වර්ධනය කරගත හැකි වන්නේය."

මෙම පාඨයෙන් පැහැදිළි වන්නේ එතුමිය මෙරට තුළ ඊනියා ‘වාර්ගික අර්බුදයක්’ ඇති බව පිළි ගන්නවා පමණක් නොව, රාජ්‍යයේ එක්සත්භාවය වර්ධනය කිරීම ගැන කතා කිරීම නිසා අප ව්‍යවස්ථාවේ  දහන් ඒකීයභාවයද නොපිළිගන්නා බවයි. මේ වචන නිකම්ම අහිංසක වචන නොවේ. රණ විරුන් සිය දිවි පුදා සටන් කර ත්‍රස්තවාදීන් පැරදුවා පමණක් නොව, දේශපාලනික ලෙස මෙවැනි වචනද පැරද වූ බව අප තේරුම්ගත යුතුය.

එපමණක් නොව, ඇය නීති පීඨය තුලදී තනිකරම ෆෙඩරල් මතවාදය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කල තැනැතියක බව පිටකොන්දක් මෙන්ම ජාතික දැක්මක් ඇති නීති පීඨයේ ඉගෙනුම ලැබූවන් සිටීනම් එයට සාක්ෂි දරනවා ඇති. ඇය ෆෙඩරල් මතවාදය වෙනුවෙන් සැපයූ ලිපි ලේඛන වලට එකල එල්ටීටීඊ නිල වෙබ් අඩවි සහ මාධ්‍යවල වැඩි ඉඩක් වෙන්විය.ඒ අනුව ඇයගේ දේශපාලන පක්ෂපාතීත්වය කුමන මතවාදයකටද යන්න වටහා ගැනීමට තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. අද ඇය වටා  පාක්යසෝතිලා, වැලිඅමුණලා, වික්‍රමබාහුලා රොක් වන්නේද මෙම මතවාදී පෑහීම නිසාය.

ඇයව ශේෂ්ඨාධිකටණ විනිසුරුවරියක් ලෙස පත්වන්නේ මේ බණ්ඩාරණායක වරුන් දෙදෙනා නෑදෑයින් වූ නිසා නොව, දේශපාලන මතවාදීව එකම පවුලක වූ නිසා බව වටහා ගැනීම අපහසු නැත. වැරදිලාවත් එක් මොහොතකදී විධායකයේ චන්ද්‍රිකා බණ්ඩාරණායක සිටියදී අධිකරණයේ මුල් පුටුවේ ශිරාණි බණ්ඩාරනායක සිටියේ නම් මහින්ද රාජපක්ෂයන්ට යුද්ධ කරන්නට වන්නේ ඊළාම් රාජ්යයේ දේශසීමා නිර්ණය සඳහා වන්නට තිබිණ. එවක සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරයේ සිටිමින් උතුරු නැගෙනහිර පළාත් දෙකක් බවට වෙන් කිරීමටත් සුනාමි සහන මන්ඩලය ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ  කරමිනුත් ලබාදුන් ජාතියක් වශයෙන් අතිශය තීරණාත්මක ඓතිහාසික තීන්දු නොලැබෙන්නට ඉඩ තිබිණි. එසේ විනිනම් අද වන විටත්, ඊළාම්  රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති වරයා ලෙස තමිල් චෙල්වම් ගේ සිනාව අපට ඔච්චම් පානු ඇත.

මේ දේශපාලන මතවාදය නිසාම 1996දී ඇය  ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වෙද්දී අධිකරණය හමුවේ ඉදිරිපත්කල විරෝධතාවය සලකා බැලු විනිසුරු මාර්ක්  ප්‍රනාන්දු මහතා ශිරාණි බණ්ඩාරනායක මැතිණියට දේශපාලන මතයක් දැරීමට අයිතියක් ඇති නමුත් බලය බෙදීම පිළිබඳ නඩු ඇසීමෙන් ඉවත් වී සිටින ලෙස අවවාදයක්ද ලබා දී තිබේ. ඇයගේ ෆෙඩරල් හිතවාදී බව එම තීන්දුවල ස්වාධීනත්වයට බලපෑමක් එල්ල විය හැකි බැවිනි.

කෙසේ නමුත් පසුගිය දා මහත් ආන්දෝලනයට තුදු දුන් දිවි නැගුම පනත පිලිබඳ කාරනය බලය බෙදීමට සෘජුව සම්බන්ධ නඩු  ක්‍රියාමාර්ගයකි. නමුත් 96දී මාර්ක් ප්ප්‍රනාන්දු විනිසුරුවරයා ලබා දුන් නීතිමය මගපෙන්වීමද නොසලකා හැරි ශිරාණි බන්ඩරනායක මැතිණිය එය තම නායකත්වය යටතේ ඇති අධිකරණ මන්ඩලයක් හරහා විභාග කෙරිණ. එහිදී ඇය බෙදුම්වාදය ශක්තිමත්වන තීරනයක් ලබාදුන් බව ඉතා පැහැදිලිය. එම තීන්දුවේ පළාත් සභා වලට අයත් ලයිස්තුව වූයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරම් විසින් ඉදිරිපත් කළ ලයිස්තුවමය. එය  ව්‍යවස්ථානුකූල අර්ථදැක්වීමට අනුකූල යැයි යැයිද එයට ඇගේ දේශපාලන මත්ය  උත්ප්‍රේරකයක් නොවී යැයි සමහරු මෙහිදී ඉදිරිපත් කරන මතය ඉවත දැමිය යුත්තේ  පූර්වාදර්ශ නොතිබියදී මේ අලුත් කරුණු අරභයා දෙන නීතිමය අර්ථගැන්වීම්වලට ඒ විනිසුරුවරුන්ගේ මතවාදී අභිලාශයන්  ප්‍රබලව බලපාන බව වසන් කල නොහැකි සත්‍යක් වන බැවිනි.
චන්ද්‍රිකා ජනාධිපති තුමිය විසින් ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයට  විනිසුරුවරියක ලෙස පත් කිරීම ඉහත කරුණු අනුව තේරුම් ගත හැකිය. නමුත් අපට තේරුම් ගත නොහැක්කේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මතවාදීව මෙතරම් අවුලක සිටි ඇයව ජේෂ්ඨත්වය පමණක් සලකා අග විනිසුරු තනතුරෙහි  තැබීමය. එතුමා චන්ද්‍රිකා හෝ රනිල් හෝ මෙන් බටහිර පදයට නටා රට බෙදා ඊනියා නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමෙ උණ රෝගයෙන් පෙළුනු නායකයකු නොවන බව අප කාගේත් වැටහීමයි. එසේනම් මෙම පත්වීම එතුමා විසින් නොකළ යුතුව තිබූ බව අපගේ පිළි ගැනීමයි.

පාර්ලිමේන්තු තේරීම්කාරක සහාව  සිදුකල මූලික විමර්ශනය අනුව විමර්ශනය කර ඇති චෝදනා 5න් තුනකට ඇය සෘජුවම වැරදිකාරියක බව සනාථ වී ඇත. පෙරකදෝරු ගැට දමා එය නොපිලි ගැනීමට උත්සහ කලත් බහුතර  සාමාන්‍ය ජනයා පෙරකදෝරු ගැට තඹයකට මායිම් නොකරන බව මතක තබා ගත යුතුය. ඒවා බමුණු කුලය තුල  සහගොසිප් උගතුන්ගේ සමාජයේ’  කෙටි කලක් රඟපෑමට පමණක්  ප්‍රමාණවත්ය. මෙලෙස පාර්ලිමේන්තු තේරීම්කාරක සහාව ඉතා පැහැදිලි පරීක්ෂනයකින් පසු ඉතා නිරවුල් සෑහීමකට පත් විය හැකි පරීක්ෂණ වාර්ථාවක් ඉදිරිපත් කර ඇති බව එම වාර්තාව පරිශීලනය කළ අයකුට වටහා ගත හැකිය. එහිදී 107 ව්‍යවස්ථාවේ සඳහන් වන ඉහළ විනිසුරුවරුන් සම්බන්ධ දෝෂාභියෝගයකදී "නීති මඟින් හෝ ස්ථාවර නියෝග" මඟින් විධි විධාන සැලැස්විය යුත්තේ ය යන වගන්තියෙන් ‘ස්ථාවර නියෝග මඟින් යනුවෙන් සඳහන් කොටස සම්පූර්ණයෙන් නොසලකා හැර ශිරාණි බණ්ඩාරණායක මැතිනිය විසින්ම පත්කල විනිසුරු මඩුල්ල පාර්ලිමේන්තු කමිටුව නීත්‍යානුකූල නැතැයි ලබා දී ඇති තීරණය බාධාවක් නොවන බව ශිරාණි බණ්ඩාරණායක මැතිණියගේ බල අධිකාරිය තුල සිරවී නැති නීති විශාරදයන් පෙන්වා දෙන කරුණු අනුව වටහා ගැනීම අපහසු නැත.

කරුණු මෙසේ නම්  ව්‍යවස්ථානුකූලව තීන්දු ගැනීමේ බලතල පැවරී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටමය. එය නැවත විචාරයට ස්වාධීන කමිටුවක් පත් කර එමගින් උපදෙස් පැතීමට යෝජනා කිරීම මේ මොහොතේ තේරුම් ගැනීමට අපහසු කාරණයකි. එය අනුවණ කමකි. විපක්ෂ බලවේග හෝ විදෙස් බලවේගවල බලපෑමෙන් මිදීමේ උපක්රමයක් ලෙස එය සිදු කරන්නේ යැයි සිතන්නේ නම් එය මුලාවකි. මේ බලවේග එවැනි කමිටු හරහා තෘප්ත කල හැකි නොවේ. බව පසුගිය යුධ සමයේ හා ඉන් පසුව ගත්වූ කාලයේ ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන්නට ඇති බවට සැකයක් නැත.
එවැනි   ක්‍රියාමාර්ගයකින්  ප්‍රශ්නය තවත් ඔද්දල් වනු ඇත. ඊළඟට ඒ කමිටුවේ ස්වාධීනත්වය පිලිබඳ හා වෙනත් නොයෙක් දේ පිළිබද තව තව ප්‍රශ්න කෙරෙනු ඇත. අද රටට මේ අනවශ්‍ය සංවාදයේ තව දුරටත් හිරවී කල්ගෙවීමට අවශ් නැත.අප යා යුතු ගමන් මගක් ඇත. මේ කුණු කන්දල් හැකි ඉක්මනින් ඒවාට හිමි කුණු බක්කියට දමා මග පාදා ගැනීම ජනාධිපතිතුමා සතු අත්හළ නොහැකි  අත්‍යන්ත වගකීමකි. කිසිඳු චකිතයකින් තොරව ජනතාව පැහැදිලි ජන වරමක් එතුමාට ලබා දී ඇත්තේ රටට අවශ්‍ය මොහොතේදී වැනි වැනි සිටීමට නොව, මානුෂීය මෙහෙයුම සමයේ මෙන්  අවශ්‍ය  තීන්දු නොපැකිළව ගැනීමටය. නොයෙකුත් ආකාරයේ බමුණු උපදේශකයන්ට අනුව කටයුතු කර රට අනතුරක වැටෙන තෙක් කාලය නාස්ති කිරීමට එතුමාට අයිතියක් නැතව්‍යවස්ථාවේත් නැති උවමනාවටත් වඩා  අතිරේක සාධාරණත්වයක් පෙන්වීම  අවශ්‍ය නැත. සාධාරණය අවශ්‍ය  ටේ ඒකීය බාවය වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් ගේ ඥාතීන්ගෙන් සමන්විත සමාන්ය පොදු ජනතාවට මිස රටට විණ කරන්නට බලා සිටිනා එන් ජී ඕ බත් බැලයනට නොව්. එබැවින් තවත් කමිටු වලට කල් නාස්ති කිරීම මෙරට පොදු ජනතාවට කරන අපරාධයකි. මේ ස්වාධීන කමිටු අනාගතයට වැරදී පූර්වාදර්ශ වනවා පමණක් නොව එමගින් මේ නාස්ති කරන කාලය තුල රටට හතුරු බලවේගයන්ට තමන්ගේ ක්රියාමාර්ග තව තවත්  සක්‍රීය කිරීමට ඉඩ සැළසෙයි. කල් මැරීම මුල සිටම ඔවුනගේ උපාය වූ බව අමතක නොකළ යුතුය.

ලෙඩේ උඩු දිවූ පසු කරන බෙහෙත් නොඅසන්නට ඉඩ වැඩිය. මිහිදු මාහිමියන් දේවානම්පියතිස්ස රජුට දුන් උපදෙස් , අපගේ ලිඛිත ව්යවස්ථාව තුල නැතත් එදා මෙදා තුර එය අපගේ අලිඛිත  ව්‍යවස්ථාවේ  ප්‍රමුඛම මගපෙන්වීමයි."ඔබ මේ රටේ අයිතිකරුවා නොව, මෙහි මිනිසුන් මෙන්ම ගහකොල සතා සීපාවාගේද භාරකරුවාය. ආරක්ෂකයාය." කොටි තරස්තවාදය ඉදිරියේදී බටහිර බලවේගවල කුරිරු බලපෑම් හමුවේ ජනාධිපතිතුමා මේ රටේ පොදු ජනතාවගේ පැත්තේ නොබියව සිටගනිමින් මිහිඳු මාහිමියන් දුන් උපදෙස් අනුවම යමින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට අතිශය දුෂ්‍කර තීරණ නොබියව ගත් බව අපි දනිමු. එය නිදහසින් පසු මෙරට කිසිදු නායකයකු සිට ගත් තැනක් නොවේ. මෙරට පොදු ජනතාවට ඇති ප්‍රශ්නයද එයමය. “අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඇත්තේ” යන්නෙන් ගම්‍ය  වන්නේ මෙම නොලැබීම අපට සියවස් ගණනාවක සිට පැවති බව නොවේද? මහින්ද රාජපක්ෂයන් එම අඩුව පිරවූ බව යුධ සමය තුළදී ජනතාව දුටුවෝය. ඔබතුමාගේ දේශපාලන හයිය තිබෙන්නෙ මේ පොදු ජනතාව තුළ මිස ඔබ තුමා ළං කරගෙන සිටින ෆෙඩරල්වාදීන් තුළ නොවන බව ඔබතුමා නොදන්නවා නොවේ යයි අපි සිතමු.මේ අහක යන නයි ළං කර ගෙන කවා ගැනීම පිළිබද අපි පසුතැවෙමු. නෝනාටත් මහත්තයාටත් ලබා දුන් පත්වීම් නුසුදුසු යයි අපි සිතමු. එම වරද නිවැරදි කරන්නට ලැබෙන විට කමිටු දම දමා කල් මැරීමෙන් පසු වඩාත් උඩුදිවූ ලෙඩකට බෙහෙත් දීමට යාම අනුවණ කමකි. මේ රටේ පොදු ජනතාවට එන් ජී ඕ බත් බැලයන් විසින් මෙහෙයවන නරි නාටක බලා සිටීමට ඉඩහැර කල් මැරීමට ඔබතුමාට අයිතියක් නැත.

එබැවින්  නීත්‍යානුලකූල  ව්‍යවස්ථාව සහ මිහිඳු මා හිමියන් අනු දැන වදාළ පරිදි වහ වහා කටයුතු කර මේ උගුලෙන් රට ගලවා ගැනීම මේ මොහොතේ රටේ භාරකරුවන්ගේ වගකීමයි . තවත් කමිටු උවමනා නැත.

-ලසන්ත වික්‍රමසිංහ 
යුතුකම සංවාද කවය

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions