3/24/2013

ජාතික ගීය ගනිමු ReMix කරලා….

කතෘ:යුතුකම     3/24/2013   No comments


ජනප්‍රවාදයේ එන කතාවකට අනුව  අතීතයේ  එක්තරා රජ කෙනෙකුට වඳුරු යාළුවෙක් හිටියා. මෝඩ වඳුරට රජු ආරක්ෂා කිරීමේ කාර්යය පැවරූ විට ඌ එය ඉටු කළේ රජුතුමාගේ ඇඟේ වැසූ මැස්සෙකුට මුලු වැර යොදා කඩු පහරක් එල්ල කිරීමෙනි.

මේ රජය, මර්වින්ලා, පබාලා හා දුමින්දලා ද ඔඩොක්කුවේ දමා ගෙන ගමන් කරතත් සමස්ථයක් ලෙස තවමත් ජනතා ප්‍රසාදයක් ඇති රජයකැයි පැවසීම සදොස් නොවේ යයි සිතමු. ඒ මේ රජය පොදු ජනතාවගෙ රජයක් යැයි තවමත් මෙරට පොදු ජනතාව විශ්වාසය තබන නිසාය. ජනතාව තුළ එබදු විශ්වායක් ගොඩනැගුනේ කුමන හේතුවක් නිසාද? 

ඒ සඳහා බලපෑ ප්‍ර්ධානතම සාධකය නම් බෙදුම්වාදයට මෙම රජය සහාය නොවන බවට  මෙරට බහුතර ජනයා විශ්වාස කිරීමත්, අපට උරුම අපගේ සංස්කෘතිය දෙස අන් රජයන් මෙන් අවඥ්ඥාවෙන් නොබලන බවට ඔවුනට යම් විශ්වාසයක් හෝ තිබීමත්ය. එම විශ්වාසයන් බිඳ වැටුනු සැම විටෙකම මෙරට ජනතාව ආණ්ඩු ගෙදර යවා ඇත. ‘56දී ජනතාව බණ්ඩාරනායක මහතාට බලය ලබා දෙන්නේ මෙම අරමුණ පෙර දැරි කොට ගෙනයි. ’77 දී ජේ, ආර්. ජයවර්ධන පවා බලයට පැමිණෙන්නේ සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් අධර්මය බව පෙන්වා දී ඒ වෙනුවට ‘ධර්මිෂ්ට පාලනයක්’ ගෙනෙන බවට ප්‍රතිඥ්ඥා  දීමෙනි. ඒ අනුව මෙරට ජනතාව නිදහසින් පසු දිගින් දිගටම උත්සාහ ගන්නා ලද්දේ සිය හද මනස හා යාවී රට කෙරවිය හැකි ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීමටයි.( එලෙස පත් වූ සමහර ආණ්ඩු බොහෝ වාර ගණනකදී එම ජනතා අභිලාෂයන්ට එරෙහිව ගිය බවද සත්‍යකි.) එබදු සේයාවක් හෝ නොපෙනී වල්මත් වූ විටෙක මෙරට තරුණයින් අවි දරමින් ප්‍රචණ්ඩත්වය කරා යොමු විය. නැතිනම් ඔවුන් ඒ සඳහා යොමු කළ හැකි විය. මෙම ජනතා අභිලාෂය පිළිබඳ වටිනා විශ්ලේෂණයක් ගුණදාස අමරසේකරයන් විසින් රචිත “කවන්දයට හිසක්” කෘතියෙහි සඳහන්ය. මෙරට ජනතාවට චන්ද්‍රිකාත්, රනිලුත් එපා වන්නේ  ඔවුන් දෙදෙනාම සිය හද මනසට යාවනු තබා ඒ අහළකට වද්දාගත නොහැකි බව ඔවුනගේ සාමූහික විඥ්ඥාණයට කෙමෙන් වැටහී ගිය නිසාය. මෙහිදී අප පවසන්නේ ආර්ථික කාරණා බල නොපාන බව නොව, යම් රජයක ආර්ථික ප්‍රතිපත්තීන්ගෙන්ද මේ කරුණූ අරභයා රජ‍යේ ස්ථාවරය විද්යාමාන වන බවයි.

මේ විශ්වාසය අතින් විපක්ෂයට වඩා ගව් ගණනක් ඉදිරියන් ආණ්ඩු පක්ෂය සිටීම නිසාමය අද විපක්ෂය සිහින් වී ඇත්තේ. ජනතාවගේ හද මනස විසින් ප්‍රතික්ෂේප කෙරෙන ප්‍රතිපත්තීන් වල දිගින් දිගටම එල්ලී නොසිට ඒවා නිවරදි කරගනු වෙනුවට ‘ජනතාව දේශප්‍රේමයෙන් මුලා වෙලා’ වැනි පටු අර්ථකතන තුළ සිර වී ගොඩබිම ගැන නොවැටහෙන මත්සයින් සේ නොහැසිරී, අව්යාජ ලෙස මේ බාධාව ජය ගන්නට උත්සාහ කරනු විනා, වළං පොඩි කිරීමන් හෝ හෝන් ගැසීමෙන් හෝ අනුන්ගේ පෙළපාලි වල කොඩි වැනීමෙන් හෝ පලක් නොවන බව විපක්ෂය තේරුම් ගන්නා බවක් නොපෙනේ.

මෙම රජය විසින් තුනෙන් දෙකකට ආසන්න ආසන ප්‍ර්මාණයක් පසු ගිය මැතිවරණ්යේදී ලබා ගන්නේ වෙන යම් ආශ්චර්යයක් නිසා නොව, පොදු ජනතාව තුළ අප කළින් සඳහන් කළ ආකාරයේ විශ්වාසයක් තහවුරු කිරීමට සමත් වූ නිසාය. මර්වින්ලා හා ඔවුනට දඬුවම් නොලැබීම ගැන ජනතාව දිනෙන් දින කළ කිරුණත් එය රජය මාරු කර හැරීමට තරම් ප්‍ර්බල කළකිරීමක් නොවන බව රජය විසින් දැන් අත්දැකීමෙන්ම අවබෝධ කර ගෙන ඇති බවත් එම කළකිරීමට ඔවුන් එතරම් බිය නොවන බවකුත් පෙනෙන්නට ඇත. මෙසේ සිදුවනවාට අප අකමැති වුවත් දේශපාලන සත්වයන් ලෙස ඔවුන්ගේ තක්සේරුව නිවැරදි යයි සිතමු.

එසේ නම් රජය බිය විය යුත්තේ කුමන කරුණක් අරභයා මහජන අප්‍රසාදයක් ගොඩනැගෙනවාටද?
ප්‍රභාකරන් නන්දිකඩාල්වල ගිලෙන තෙක් අනවරතව ත්‍රස්තවාදයට එරෙහි සටන මෙහෙයවීමත් ඉන් පසු ජාත්‍යන්තරය හරහා බෙදුම්වාදය ශක්තිමත් වන ආකාරයේ තීන්දු ගැනීමට බල කෙරුණු අත කරකැවීම් නොසලකා කටයුතු කිරීමත් නිසා තවමත් මහජනයා, රජය අධිරාජ්යවාදී තර්ජනය හමුවේ බෙදූම්වාදී න්යායපත්‍රයට යටත් වන බවට අවිශ්වාසයක් නොකරති. යම් විටෙක මෙරට පොදු ජනතාවට මෙරට ඒකීය බව හෝ තම උරුමයන් කිසියම් තර්ජනයකට ලක්වෙන දෙයක් සිදුවන බව තේරුම් ගිය දිනක සිට රජයේ පල්ලම්බැසීම ඇරඹෙනු වැළැක්විය නොහැක. මෙරට පොදු ජනතාව තුළ නිදන් ගතව ඇති මෙම ගැඹුරු හා ප්‍රශස්ත මනෝභාවය මෙරට වෙසෙනා බොහෝමයක් පොතේ ගුරු උගුතුන්ට වැටහුනේ නැත. නමුත් රටට හතුරු බලවේග නම් මේ කරුණ ගැන දැන් දැන් නිසි තක්සේරුවක සිටින බව පෙනේ.ජනතා ආකර්ශණය රඳන  නිල අල්ලා ආණ්ඩුව ලවාම ඒවා නිෂ්ක්‍රීය කරගැනීමට කුරුමානම් අල්ලන්නේ ඒ අවබෝධය නිසාය.

කෙසේ නමුත්, මෙම රජ‍යේ නොයෙකුත් මාදිළි‍යෙ මත දරන්නන් සිටිත්. එහි වරදක් නැත. නමුත් කුමන මතය දැරුවත් ඔවුන් කටයුතු කළයුත්තේ තම තමන්ගේ යල්පැන ගිය, ජනතාව විසින් ප්‍ර්තික්ෂේප කළ මතවාදයන් අනුව නොව, මෙරට හුදී ජනයාගේ අදහස ගැන සළකා ගෙනයි. මිහිදූ මාහිමියන් දෙවන පෑතිස් රජුට දුන් අවවාදය තුළ මේ බව මොනවට ගැබ්වී ඇත්ද? වාසුදේව නානායක්කාර මහතා වැනි පැරණි මාක්ස්වාදියෙකුට මිහිදු මහ රහතන් වහන්සේ විසින් ලබා දුන් අවවාද අමතක වී තිබෙන්නට පුලුවන. ඒ මහතාට ඒ ගැන ප්‍රශ්නයක් නැතිනම් අපටද ඒ ගැන ප්‍රශ්නයක් නැත. නමුත් එම අමතක වීම නිසා හානි සිදුවන්නෙ රජයත් ජනතාවත් යා කෙරී ඇති විශ්වාසය නමැති හුයටය. ඉතා ප්‍රබල අභියෝගයනට මුහුණ දෙමින් ශක්තිමත් ලෙස ගොඩනගන ලද එම හුය මර්වින්ලාගේ හෝ දුමින්දලාගේ හෝ අමන හැසිරීමට සිදලනු හැකි නොවීය. නමුත් එම හුය ඉතා පහසුවෙන් බිදලිය හැක්කේ රජය තුළ සිටින ෆෙඩරල්වාදීනටය.

ජාතික ගීයට දමිල පද එක් කිරීමට වාසුදේව මහතා යෝජනා කොට තිබිණි. වාසුදේව මහතාගේ යෝජනාව සම්බන්ධන් මහතා අගය කර තිබේ. ඉංග්‍රීසීන් විසින් හයිය ලබා දුන් ප්‍රභාකරන්ගේ සීයලා වපුල බෙදුම්වාදී බිජුවට නිසා අවසානයේ මිනිසුන් ලක්ෂ ගණන් මිය ගි‍යේය. 1965 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම, 77 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශය මෙන්ම 97 චන්ද්‍රිකාගේ ෆෙඩරල් යෝජනාවලිය ආදියෙන් පැහැදිලිවන්නේ වාසුලාගේ මේ යෝජනා හදිසියේ පහළ වූ ඒවා නොවන බවය.වාසුලාගේ මේ පැරණි මනෝභාවය අවසානයේදී සේවය කරන්නේ නිදහස ලැබීමටත් පෙර පැවති එස් වී චෙල්වනායගම් වැන්නන් බෞතීස්ම කල ෆෙඩරල්වාදීන් විසින් දිගින් දිගටම ගෙනගිය බෙදුම්වාදි උවමනාව වෙනුවෙන් බව අප වටහාගත යුතුය. “දැන් ටිකක් පසුව හුඟක්” යන්න  මෙරට බෙදුම්වාදීන්ගේ කුප්‍රකට තේමා පාඨය බව අප අමතක නොකළ යුතුය.


තමන්ගේ ජීවිත කාලය පුරාවටම මැතිරූ නමුත් අද වන විට යල් පැන ගොස් කුජීත වී ඇති මේ මනෝභාවයන්ට පණ දීමට සැලසෙන මේ විශ්‍රාමික මාක්ස්වාදීන් ප්‍රභාකරන්ගේ ‘දේශපාලන මස්සිනාලා’ බවට දැන හෝ නොදැන පත්වී ඇත්තේ ඉතා පටු ලෙස මෙම ගැටලු දෙස බැලීම නිසාය. අධිරාජ්ය විරෝධීන් යැයි කීවද තම මව්බිම තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදයට පිටුපසින් වූ අධිරාජ්යවාදී සංරචකය සිය ජීවිත කාලය පුරාවටම මොවුනට අවිෂය විය. ඒ නිසාම මොවුන් බටහිරට වුවමනා ආකාරයේ අධිරාජ්ය විරෝධීන් වූ නමුත් එම මතවාද නිසාම මෙරට ජනතාව තුළින් ප්‍රතික්ෂේප විය.
නිකම් ඉන්න ගමන් වාසුදේව මහතා වැන්නකුට ජාතික ගීයට දෙමල කෑල්ලකුත් දමා ගායනා කර බැලීමට සිත් දුන්නාට  අපට කම් නැත. නමුත් මේවා යෝජනා කරන්නේ, මේ රට හා මෙහි වෙසන ජනයා පිළිබඳ අල්පමාත්‍ර වූ හෝ අවබෝධයකින් තොරව පමණක් නොව, ලෝකය පිළිබදවත් නොසිතා, සාමන්ය බුද්ධියවත් පවිච්චි නොකර විය යුතුය. නිකමට හරි එහා වැටේ ඉන්දියාව ගැන හිතුව මිනිහෙක් ලංකාව අරභයා මෙවන් යෝජනාවක් කරයිද? අපට අවශ්ය, නැති ප්‍රශ්න ඇති කරන ඇමතියෝද? මොවුන් සංහිදියාවේ නාමයෙන් නැවත ජාතීන් අතර අමනාපයන් වර්ධනය කිරීමට මාන බලන්නේ, තමන් විරුද්ධ වූ සටන රජය ජනතාව හා එක්ව කර නිසා, නැවත වටයකින් ප්‍ර්ශ්න මවා තමන් එකල්හී දැරූ මතය නිවැරදි යයි කියන්නද?
ජනතාව හා රජය අතර ඇති තම උරුමයන්ට පිටු නොපා කටයුතු කරනවා යන විශ්වාසය ඉමහත් අභියෝගයන් මධ්යයේ ගොඩනැගුවක් වුවද, එක් අනුවණ තීරණයකින් එම විශ්වාසය නමැති හුය බිදී යා හැකිය. මුලු ජීවිත කාලයම ස්වාමීභක්තියෙන් කටයුතු කළද එක් වතාවක් වෙනත් පුරුෂයකුට ඉඩක් දුන් ස්ත්‍රියකට අප පතිවත රකිනවා යයි නොකියන්නේ යම්සේද මේ කරුණ අරභයාද පොදු ජනතාව රජයෙන් අපේක්ෂා කරන විශ්වාසය එබඳුය. 

(ජායාරූපය : නලින් ද සිල්වා මහතා විසින් රචිත ‘ප‍්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා’ ග‍්‍රන්ථයෙන් උපුටා ගත්තකි.)
රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳවන මෙවැනි කියුම්, කෙරුම් අපට සිහි ගන්වන්නේ රජු ආරක්ෂා කිරීමට රජුගේ ඇඟේ වැසූ මැස්සාට කඩු පහරක් එල්ල කළ මෝඩ වඳුරා  නොවේද? රජු මේ වැඩය ඔහුට පැවරුවේ, සේවයට බොහෝ අය සිටිනා නිසාවෙන්, දීමට වෙන වැඩක් නැති වුවත් හිත්වත්කම නිසා යම් රැකියාවක් ලබා දීමට සිතූ නිසා මිස විශේෂයන් යමක් ඔහු ලවා කරවා ගැනීමටම නොවිය හැක. වඳුරා එය තේරුම් ගෙන තමාගේ පාඩුවේ මහන්සි නොවී සිටියා නම් රජුට එබඳු විපතක් නොවන්නට තිබුණි.



-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය


, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com