5/29/2015

අනුර කුමාරලාගේ , චම්පිකලාගේ පටු දේශපාලන අවස්ථාවදය නිවරදිව තේරුම් ගනිමු...

කතෘ:යුතුකම     5/29/2015   2 comments
ජවිපය හා හෙළ උරුමය ආණ්ඩුව පිළිබඳ දැන් දැන් ගේන විවෙචනවලින් අපට එක් දෙයක් තහවුරු කරල කියනවා. ඒ තමයි එදා ඔවුන්ට මේ රටේ දේශපාලන තත්වය මනාව ගණනය කර ගන්න හා විග්‍රහ කරගන්න බැරි උනා කියන එක. එහි තවත් අර්ථයක් තිබෙනවා. එනම් මෙම පක්‍ෂ හා එහි නායකයින් කියන දේවල් කිසිදාක විස්වාස නොකළ යුතු බව. මෙහි තෙවැනි අර්ථයකුත් තිබෙනවා. ඒ තමයි මේ අය වැඩ කළේ රට ගැන හිතල නෙවෙයි තමන්ගේ දේශපාලන ගමන ගැන විතරක් හිතල කියන එක.

ඉහත පක්‍ෂ හා පුද්ගලයින් තමයි මහින්ද පන්නන ව්‍යාපෘථියේ ඔපීනියන් ලීඩර්ස්ලා විදියට වැඩ කළේ. එෆ් බී එකේ ඉන්න අය ඇතුළු සෙසු අය කළේ මේ ඔපීනියන් කට් ඇන් පේස්ට් කරපු එක. ඉතින් දැන් මේ නායකයින් මෙතරම් යුහුව යූ ටර්න් ගහනවා කියන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව පත් කිරීම පිටුපස කිසිම ප්‍රඥාවක් තිබිල නැහැ කියන එක. දේශපාලන හෝ අන් කිසි වැඩ පිළිවෙලක් තිබිළ නැහැ කියන එක. තමන් විසින් කළේ මහින්ද රාජපක්‍ෂ පැන්නීම සඳහා ජනතාව තුළ වෛරය වැපිරිම පමණයි කියලයි මේ අය දැන් අපට කියන්නේ.

මෙම පක්‍ෂ තමයි එජාපයේ බියකරු යක්‍ෂ මුහුණට සුචරිතවාදී වෙස් මුහුණ දැම්මේ. ඒ වෙස් මුහුණ දැන් ඔවුන් විසින් ම ගලවමින් සිටිනවා. තමා විසින් ම පත් කරපු ආණ්ඩුව මාස දෙක තුනක් යන කොට තමන් විසින් ම එපා කියනවා කියන්නේ කුමක් ද? රටක අනාගතය ගැන හිතන කෙනෙකු මෙම පක්‍ෂවල දේශපාලන විවේචන පිළි අරගෙන මෛත්‍රී-රනිල් ආණ්ඩුවට ඡන්දය දෙන්න තීරණය කළා නම් දැන් ඔවුන් පත්වෙලා ඉන්න ඉරණම අපට හිතා ගන්න පුළුවන්. අපි දැක්කා මේ ඊයේ පෙරේ දා සරත් එන් සිල්වාත් කියනවා මේ තරම් අච්චාරු ආණ්ඩුවක් මීට පෙර දැක නැති බවත් මහින්ද ගෙදර යැවීමට ඡන්දය දුන් එක ගැන කණගාටු වන බවත්. රතන හිමි කියනවා අපි හිතුවේ නැහැ රනිල් අගමැතිකමට පත් වෙයි කියල.

තවත් පැත්තකින් මෙම පක්‍ෂවල එදා සහ අද හැසිරීම විග්‍රහ කරගන්න පුළුවන්. ඒ තමයි මේ පක්‍ෂවලට නෑ ඇත්ත උවමනාවක් මේ රටේ ඉදිරි ගමන ගැන. මෙහි දී ජවිපය විශේෂ වෙනවා. අපි හිතන්නේ ජවිපය බිය වුණා මහින්ද යටතේ මේ රට ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වෙයි කියල. එ‍හෙම උනොත් ජවිපයේ ඡන්ද පදනම බිඳීයනවා. ඒ නිසා ඔවුන් හිතුවා මේ ගමන අතරමග කඩල දාන්න ඕන කියල. එත‍කොට බොර දියේ මාළු බාන්න පුළුවන්. රනිල්-මෛත්‍රී යටතේ යට ආපස්සට යනවා කියන එක ඔවුන් නොදැන සිටියා කියන්න අමාරුයි. මේ අතර, හෙළ උරුමයට තිබුණේ වෙන අදහසක්. ඔවුන් හිතුවා මහින්ද ඉන්නකම් තමන්ට ජාතිකත්වයේ කොඩිය ගන්න බෑ කියල. මහින්ද පැන්නුවාම ඒ ප්‍රශ්නය ඉවරයි කියලත් හිතුවා.හැබැයි ඔවුන්ගේ ගණනය කිරීම වැරදුනා කියල දැනගත්තේ මහින්ද බලන්න මැදමුලනට ගිය, ඉවෙන් අනාගතය කියවපු මෙරට බුද්ධිමත් ජනතා හෘද සාක්‍ෂිය.

ඉතින් මේ හැමෝම දැන් කියනවා නම් මේ ආණ්ඩුව පත්වීම වැරැද්ක් කියල, ඒකේ අනිත් තේරුම තමයි මහින්ද පරාජය කිරීම වැරදියි කියන එක.

මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/28/2015

බුදිධිමත්හු, පල් මෝඩයෝ සහ අත්හැරීම

කතෘ:යුතුකම     5/28/2015   3 comments

කළකිරෙන බුද්ධිමත්තු

වයස අවුරුදු 70 ඉක්මවූ තමන්ගේ ජීවිත කාලය තුළ මෙවන් අච්චාරු ආණ්ඩුවක් නම් දැක නැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ යහපාලනය ගෙන එන බව කියමින් බලයට ආ වත්මන් ආණ්ඩුව නීතියට පිටින් ගොස් අයහපත් ලෙස අගමැති පත් කිරීමෙන් පටන් ගෙන දැන් ගෙන යන්නේ තනිකරම කැලෑ නීතියක් බවයි. තමාද ඡන්දය දුන්නේ සිරිසේන මහතාට බවත් දැන් ඒ ගැන කණගාටු වන බවත් හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි. ඒ මහතා පමණක් නොව තමන් බුද්ධිමතුන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙකුගේ තේරීම සිරිසේන විය. එම තේරීම අද ප්‍රශ්න කරන්නේ හුදෙක් එම තේරීම පමණක් නොව, බුද්ධිමතුන්ගේ බුද්ධියද එම තේරීම විසින්ම අද ප්‍රශ්න කරමින් ඇත.

ඊනියා බුද්ධිමතුන් දෙවර්ගයකි. පළමු කාණ්ඩය සරත් එන් සිල්වා මහතා වැනි උදවියයි. එදිනෙදා තමන් ලබන පෞද්ගලික සහ පොදු අත්දැකීම් ඔස්සේ මොවූහූ යම් යම් නිගමන වලට එළැඹ ඒවා සමාජයට කියා දෙති. මොවුහූ යම් දුරකට අවංකද වෙත්.  මොවුන් සුවිශේෂී දේශපාලන මතයක් දරන්නවුන් නොවේ. සිදුවෙමින් පවතින දේ විග්‍රහ කිරීමෙහි ඔවුහු සමත්ය. නමුත් මොවුන්ගේ ප්‍රධාන දුර්වලතා දෙකක් ඇත. පළමු දෙය නම් මොවුන් සංවේදී වන්නේ ඉතා ආසන්න සිදුවීම් වලටය. ලෝකය දකින්නේ ඉතා ආසන්න සිදුවීම් ඔස්සේය. එනිසා වර්තමාන තත්වය ගැන සාපේකෂව නිවැරදි තක්සේරුවකට පැමිණීමට මොවුහූ අපොහොසත්ය. ඔවුහූ ලෝකය නිරපේක්ෂව මැන බැලීමේ අසාර්ථක උත්සායක යෙදෙත්.

දේශපාලන පුරෝකතනයෙහි මොවුන් පෙන්වන නොහැකියාව ඔවනගේ දෙවන දුර්වලතාවයයි. මේ ආණ්ඩුව තරම් අච්චාරුවක් තමන් කිසි කලෙක දැක නැති බව පවසන්නට දින සියයත් ඉක්මවන තුරු මොවුන් බලා සිටින්නේ එබැවිනි. මළ පොතේ අකුරක් නොදන්නා දිළිදු ගැමියා පවා එජාපය, ජවිපෙ, හෙළ උරුමය, දෙමළ සන්ධානය හා මුස්ලිම් ක්‍රොන්ග්‍රසයට ෆොන්සේකා හා සිරිසේන එක්වන විටම එය අච්චාරුවක් බව දැන ගත්තේය. එය ඉතා සරලව තේරුම් ගත හැකිය. උගත් බුද්ධිමත් ජනතාවට තේරුම් ගන්නට බැරි වුනේ සංකීර්ණ සමීකරණයක් නොවේ. අච්චාරුව හදුනා ගන්නට මාස ගණන් ගත කරන මේ උගතුන් මේ සියල්ල පිටිපස සිටින අධිරාජ්‍යවාදී හස්තය කෙලෙස නම් තේරුම් ගන්නද?

මහාචාර්ය සරත් විජේසූරිය, රෝසි සේනානායක අනුව යමින් මෙරට ස්ත්‍රී දූෂණ වැඩි නිසා, මහින්ද පැරදවිය යුතු බවත් සිරිසේන මහතා බලයට පත් කර ස්ත්‍රී දූෂණ වළකා ගත හැකි බවත් හැඟවෙන පරිදි රූප පෙට්ටියේ දෙසුවා අපට මතකය. ඇතැම් විට එසේ කී බව ඔහුට මතක නැතිවී තිබෙන්නට පුළුවනි. අමතක වන්නේ දුමින්ද සිල්වාලාට පමණක් නොවේ. (යහපාලනයටද දුමින්ද සිල්වාගේ කුඩුත් අමතක වී ඇත.) බාගෙ විට නැවත වරක් රූප පෙට්ටියට පැමිණෙන මහාචාර්ය විජේසුරිය, රාජපක්ෂ රෙජීමය තුළ  එකෙක් එක් ස්ත්‍රියක් දූෂණය කරද්දී, මේ මෛත්‍රී යුගය තුළ නව දෙනෙක් එක්ව එක් ස්ත්‍රියක් දූෂණය කරන නිසා ස්ත්‍රී දූෂණ 9:1 අනුපාතයකින් අඩුවී ඇතැයි කිවහොත් අපි පුදුම නොවෙමු. බුද්ධිමතුන්ගේ ආලාපාළු සංඛ්‍යා හරඹ මේ ආකාරයට නොදෙවෙනිය. ඒවා බැති සිතින් වැළඳගෙන රැවටීමට ලක්වන උගත් බුද්ධිමත් ජනතාවක් අප අතර  සිටිති.

අධිරාජ්‍යවාදින්ගේ දාස බුද්ධිමත්තු

අනික් බුද්ධිමතුන් කොටස පල් මෝඩයින් කොට්ටාසයකි. මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණය නම් මොවුන් කිසියම් දේශපාලන මතයක් දරන්නන් ලෙස තමන්ව හදුන්වා ගැනීමයි. ඔවුනතර මාක්ස්වාදීන්, ට්‍රොට්ස්කිවාදීන්,  ලෙනින්වාදී මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ලිබරල්වාදීන්, ස්ත්‍රීවාදීන් ආදි එකි නොකී ආකාරයේ මතවාදීන් වෙත්.

නමුත් මේ සියළුවාදීන්ට සිතිය හැක්කේ එකම එක ආකාරයකට පමණි. ඒ අන් අයුරකට නොව අධිරාජ්‍යවාදීන්ට අවැසි පරිදිය. ඔවුන් පල් මෝඩයන් වන්නේ ඔවුන් තමුන්ව අධිරාජ්‍ය විරෝධීන් ලෙස සිතාගෙන සිටින අතර අධිරාජ්‍යවාදීන් තමන්ගේ වැඩේට නියම බඩු ටික යයි හඳුනාගෙන ඇත්තේද මොවුන්වම වන නිසාය. ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ වෙනස තමන් ඇති කළ බව කියද්දී, ඔබාමා ඉන්දියානු ජනරජ දිනයේදී ලංකාවේ සහ මියන්මාරයේ වෙනසට ඉන්දියානු භූමිකාවට ප්‍රසිද්ධියේ තුති පුදද්දී මේ ලංකාවේ අධිරාජ්‍ය විරෝධී පල් මෝඩ බුද්ධිමතුන්ද තමන් විසින් මේ වෙනස ඇතිකරන ලදැයි ස්වයං වින්දනයෙන්ම පසුවෙති. මේ ළිං මැඬියන්ගේ ඒ වින්දනයෙන් ඔවුන් මුදවා ලන්නට අධිරාජ්‍යවාදීන්ටවත් නොහැකිය. මේ අධිරාජ්‍යවිරෝධීන්ගේ මනස තැනුවෝද අධිරාජ්‍යවාදීහුය. මේ අධිරාජ්‍ය විරෝධීන් සිතනුයේ අධිරාජ්‍යවාදීන් දශක ගණනකට පෙර සැළසුම් කර සකස් කර දුන් මනසකින් බව ඔවහු නොදනිති.

මේ අධිරාජ්‍ය විරොධීන් අධිරාජ්‍යවාදීන්ට කඩේ යන්නේ කිමැයි ගැටළුවක් පැන නගියි. එයට හේතුව මොවුන් ළිං මැඬියන් වීමයි. අධිරාජ්‍යවාදය පිලිබද ඔවුන් කියවන පොතපතේ ඇති කරුණු ඔවුහූ දනිති. නමුත්ට එය ඇස් පනා පිට තමන්ගේම රටට එරෙහිව නග්න ආක්‍රමණයක් ක්‍රියාත්මක කරන විට මොවුනට එය දැක ගත නොහැකිය. වර්තමානයේ සිදුවෙමින් පවතින එම ක්‍රියාදාමය ඔවුනගේ පොත් කට්ටලයට තවම ඇතුළු වී නැත. පොත තුළ නොදකින ගැටළුවක් මේ අයට සැබෑ ලෝකය තුළ දැක ගැනීමේ ශක්‍යතාවක් නැත.

මේ ළිං මැඬියන් සියළු දෙනාට තමන් සිරවී සිටින ළිද තුළ පෙනෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වෙයි. ඒ අනෙකක් නොව, සිංහල කමයි. බෞද්ධ දර්ශනයයි. මොවුන්ට ඇත්තේ සිංහලකම හා බෞද්ධකම සමඟ බද්ධ වෛරයකි. ඔවුන් සිතන පටු සීමාව තුළ මෙරටේ ඇති ඕනෑම ප්‍රශ්නයකට කොටින්ම ස්ත්‍රී දූෂණයකට පවා හේතුව සිංහල බෞද්ධකමය. ඒ පදනම විනාශ කළ දාට මෙසිරිලක සංහිඳියාවෙන් සහ සහජීවනයෙන් සුරපුරයක් වනු ඇතැයි මේ පල් මෝඩයෝ සිතති.  මේ අධිරාජ්‍යවිරෝධී මෝඩයන් තමනට භාවිතා කළ හැකි බව මෝඩයින් නොවන අධිරාජ්‍යවාදීහු දකිත්. අවාසනාවකට මොවුන්ගෙන් ඇතැමෙක් අපගේ මීළඟ පරපුරට විශ්ව විද්‍යාලවලදී උගන්වති. බහුතරයක් දෙනා කලා අංශයේය. මෙවැන්නෙක්ගෙන් ඉතිහාසය ඉගෙන ගන්නා දරුවෙකු සිංහලයා දෙස අවඥාවෙන් බැලීමට පුරුදු වීමට ඇති ඉඩ බොහෝය.

සරත් සිල්වා මහතා අයත් පළමු කාණ්ඩයේ බුද්ධිමතුන්ට මෙන් මොවුන්ට යහපාලනයක් වුවමනා නැත. ඔවුනට අනුව යහපාලනය යනු මහින්ද පැරදවීම සඳහා එවේලේ යොදා ගත් දේශපාලනික අලංකාරිකයක් පමණි. කිසියම් ජාතිකත්වයක් පෙන්නුම් කළ මහින්දගේ රජය පෙරලා,  මෛත්‍රී යුගයක් ගෙන ඒමට මොවුනට අවැසි වන්නේ සිංහලකම සහ බෞද්ධකම වෙත මොවුන් දක්වන දැඩි වෛරය නිසාය.

බටහිරයන්ගේ අණට කීකරු නොවූ, අධිරාජ්‍යවාදය ඉදිරියේ දණ නොනැමු මහින්ද පළවා හැර රැජිනගේ අත අල්ලා මාස ගණනක් යන තුරු ඒ ගැන කියවන සිරිසේන පත් කර ගැනුමේ කිසිදු හිරිකිතයක් මේ අධිරාජ්‍ය විරෝධීනට ඇති නොවන්නේ නව පාලනය හරහා සිංහලකමට සහ බෞද්ධකමට විණ කරවා ගත හැකි බව ඔවුන් දන්නා නිසාය. ඇතැම් විට බටහිරට යටහත්  පහත් නිසාම රජය ක්‍රමානුකූලව අධිරාජ්‍යවාදීන්ගේ සිතැඟි ඉටු කරමින් සිංහලකම හා බෞද්ධකම දුර්වල කරවනු ඇතැයි යන කුහක අපේක්ෂාවද මේ ව්‍යාජ මාක්ස්වාදීන්ගේ සිතේ තිබෙනවා විය හැකිය. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ කළ යුත්තේ සිංහල බෞද්ධකම දුර්වල කිරීමය යන්නට මොවුන්ගේ ළිං මැඬි දර්ශනය ලඝුවේ.

විජයග්‍රහණයේ සැමරුම් අකැප වන්නේ එබැවිනි. චන්‍ද්‍රිකා නෝනා මෙරට තුළ සිංහල ආධිපත්‍යක් ඇතැයි ද, එය පරාජය කළ යුතු යැයි කට මැත දොඩවන්නේද එබැවිනි. විජේදාස මේක සිංහල රට කියා තිබෙන්නේ කොහේදැයි ප්‍රශ්න කරන්නේ එබැවිනි. එපමණක් නොව සාම්පූර් හමුදා කදවුර ගැලවෙන්නේද එබැවිනි. උතුරු ප්‍රදේශයේ පොලිස් කොට්ඨාස අඩු කෙරෙන්නේද එබැවිනි. ජනාධිපතිවරයා විසින් සම්බන්ධන්ට වුවමනා අය උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරෙන්නේ එබැවිනි. සම්බන්ධන් හා හකීම් ආදී ජාතිවාදීන් සිරිසේන දිනවන්නට කැපවුනේද එබැවිනි. ඡන්දයෙන් පසු ජාතිවාදීන්ට ජාතිවාදීන් නොකියා ජාතිවාදයට එරෙහි වන්නන්ට ජාතිවාදීන් යැයි කීවේ එබැවිනි.

සිරිසේන මහතාගේ අත්හැරීමට නොරැවටෙන්න


 දේශපාලකයින්ට අර බුද්ධිමතුන්ට මෙන් බෞද්ධකමට එළි පිට තඩි බෑ නොහැකිය. සිංහල බෞද්ධයන්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම වුවමනා වන මේ කපටි දේශපාලකයින් ධර්මයේ වේෂයක් මවා ගෙන සිංහලයන් රවටමින් සිංහලයින් දුර්මුඛ කෙරෙනු ඇත.  සිරිසේන අත්හැරීමෙන් සැනසීම ලැබෙනවා යැයි කියන් යන්නේද එබැවිනි. නමුත් මේ "අත්හැරීමේ" මීළඟ පරිච්ඡේදය ලියවීමට ඇත්තේ මහ ඡන්දයෙන් පසුවය.

මැතිවරණයෙන් පසු සිරිසේනලා රනිල්ලා සදනවා යයි කියන නව ආණ්ඩුවකින් නව ව්‍යවස්ථාවක් සකසනවා යයි කියති. ඉහත සියල්ල මේ කියන නව ව්‍යවස්ථාවේ පෙරනිමිති බව බුද්ධිමතුන් නොවන අපට ඉතා පැහැඳිලිය.  ගොනා හැරෙන්නේ පොල් පැළයට බව දන්නේ බුද්ධිමතුන් නොව, බයියන්ය. උගත් බුද්ධිමත් ජනතාව නම් මෙය වටහා ගන්නා විට,  පොල් පැළය ගොම බවට පත් වී තිබෙනු ඇත.

මේ රටට ඇති බැඳීම වුව සිංහලයන් විසින්, බෞද්ධයන් විසින් අත්හැරිය යුතු යැයි මේ බෞද්ධ වෙස් ගත් මාර සේනාව අපට උගන්වනු ඇත. නිසැකවම එය පෙරේතයන් විසින් ව්‍යාජ පිරිත් දෙසන යුගයක් වනු ඇත. අමනුෂ්‍යයන් විසින් ව්‍යාජ පිරිත් දෙසත් දී මුළා කරවන ලද ජනතාව ලවා සාධුකාර ලබා ගැනීම මොවුන්ගේ උපාය වේ.

නමුත් ඉහත කී පළමු කාණ්ඩයේ බුද්ධිමතුන් සරත් සිල්වා මහතා මෙන් යහපාලනය ගැන කළකිරෙනු ඇත. දෙවන කාණ්ඩයේ පල් මෝඩ බුද්ධිමතුන් විසින් පුරවැසි බලය, අරක, මේක ආදි සංවිධාන අටවා ගෙන යළි ඒකාධිපති රනිල් සහ ඔහුට කීකරු සිරිසේන යුගයකට අඩිතාලම දැමීමට සැරසෙනු ඇත. අධිරාජ්‍යවාදීන්ට කත් අදිමින් හෝ මෙරට ඒකියභාවයත් බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි තැනත් අහිමි කිරීම මොවුන්ගේ එකම සිහිනය බවට පත් වී ඇත. සිරිසේන මහතා අද කියවන අත්හැරීමත්, විජේදාස නම් බටහිර දාසයාගේ පැනයත් එදාට සරිලන පරිදි යාවත්කාලින වනු ඇත. එන් ජී ඕ කාරයන් විසින් බෞද්ධයන්ට අත්හැරීමේ සැනසීම උගන්වනු ඇත. ඒ පාපකර්මය සඳහා ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද යොදා ගැනීම මොවුන්ගේ සැළසුමය. රට අත්හැරිය යුතු බවත් දේශප්‍රේමය නිසා අපාගතවනු ඇති බවත් කීවොත් පුදුම නොවන්න.

සිරිසේන මහතාගේ සියොළඟම සළිත කළ රෙදි නැති රැජිනගේ හස්තය පවතිනු ඇත්තේ ජනතාවට අදෘෂමානවය. සරත් සිල්වා මහතා මෙන් යළි පසුතැවිලි නොවන ලෙස අපි කටයුතු කළ යුතු වෙමු. එකිනෙකා කුළල් කා ගන්නා අනාගතයක් උදාකරන ව්‍යාජ සංහිඳියාව පැරදවිය යුතුය. "යහපාලනයට" රැවටුනු අපි "සංහිඳියාවට"වත් නොරැවටී සිටිමු.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/27/2015

මෛත්‍රීවේශයෙන් ආ 'යහපාලන' සමාජ ජාලා පාදඩකරණයේ අහිංසක ගොදුරු....

කතෘ:යුතුකම     5/27/2015   No comments
යාපනයේ පාසල් ශිෂ්‍යයාවක් දූෂණය කර මරා දැමූ සිදුවීම මුළු සමාජයම කම්පනයට ලක් කළ පුවතක් විය. එයට ජාති ආගම් භේදයක් නොවීය. ඇසූ ඇසූ බොහෝ දෙනා 'අනේ අපොයි' කිව්වා මිස සිහි බුද්ධිය ඇති කිසිවෙකු 'ඕකිට හොඳ වැඩේ' කිව් බවක් නොඇසිණ. ඒත් සමගම මෙවැනි පාහරයින් එල්ලා දැමිය යුතු යැයි බොහෝ දෙනාගේ අදහස විය. එහිදී ඇය දෙමළ ජාතික දැරියක් වීම පරහට හිටියේ නැත. මීට පෙරද මෙවැනි සිදුවීම් සිය දහස් ගණනින් අසා ඇති මුත් මාධ්‍ය මගින් ලබා දෙන අසාමාන්‍ය ප්‍රචාරය නිසාත් , එමෙන්ම මේ හරහා උතුර යළි ගිනි ගැනීමේ අවධානමක් ඇතැයි යන සාධාරණ සැකය නිසාත් මෙම සිද්ධිය වැඩිපුර කතාබහට ලක් විය.

ඒ අතර උගත් වියත් දැනුවත් ජනතාව යැයි තමා විසින්ම හඳුන්වා ගන්නා කොටසගේ  ලෝකය, එනම් සමජ ජාලා තුලද මේ පිලිබඳ ඇති වෙන්නට කතා කර තිබිණ. කතා , ශෝක කවි, ගීත, සමාජ විචාර ආදී නොයෙක් ආකාරයෙන් බොහෝ දෙනා මේ පිලිබඳ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර තිබිණ.  බොහෝ දෙනා තමන්ට ඇතිවූ අවංක කම්පනය නිසා එවැනි දේ පළ කළා වන්නට පුළුවන.

නමුත් ඒ අතර දේශපාලන  ඉහඳ පණුවන් තමන්ගේ මෙහෙයුම ආරම්භ කර තිබිණ. ඔවුන් මේ අස්සේ සැලසුම් කළේ මේ අවස්ථාව තමන්ගේ කුණුගහන ජඩ දේශපාලන වෙනුවෙන් ආයෝජනය කරන්නේ කෙසේද යන්නයි. ඔවුන්ට හොඳ පොටක් පෑදින. ස්ත්‍රී දූෂකයාට සමාන රුවක් සහිත පුද්ගලයකු හිටපු ජනාධිපතිවරයා සමග සිටින චායාරූපයක් හමුවන්න මෙහිදීය. මොහොතක්වත් පසුබට නොවී මඩ මෙහෙයුම ආරම්භ විය. ඒ සඳහා පූර්වාදර්ශයක් ඔවුන්ගේ "වියත් දැනුවත්  යහපාලන දේශපාලන පෙරගමන්කරුවා"  වූ චම්පික රණවක ශූරීන් විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කර තිබිණ ( කුප්‍රකට ෆෝටෝශොප් මෙහෙයුමෙන් ලෙසටර් ජේමිස් පීරිස් කේපී බවට පත් කිරීම හරහා ). එවැනි ඕනෑම ජවස්ථාවාදී ජඩ වැඩක් කිසිඳු කරදරයකින් තොරව, නීතිය ක්‍රියාත්මක වීමකින් තොරව සිදුකර ඔස්තාර්ලා ලෙස නිරුපද්‍රිතව වැජබීමට යහපාලනයෙන් ඉඩ ඕනෑතරම් ලැබෙන බව චම්පිකගේ සිදුවීම හරහා සමාජයම අවබෝධ කරගෙන තිබිණ.

අනිත් අතට ඕනෑම බොරුවක් විකුණා ගත හැකි පාරිභෝගික කණ්ඩායමක් අද වන විට සමාජ ජාලා වල රස්තියාදු ගසමින් සිටින බව  ඔවුන් පසුගිය කාලය පුරාම ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගෙන තිබිණ.
ජනාධිපති වැය ශීර්ෂය කෝටි දස දහසකට කිට්ටු ගණනකින් "අඩු කළා " ‍යැයි මැජික් පෙන්වමින් ,  එමෙන්ම රත්තරන් අශ්වයින් , හෙලිකොප්ටර් ලැබොගිනි ආදිය අවශ්‍යය අවස්ථාවල මවමින් ක්ෂණිකයකින් අතුරුදහන් කරමින් ඒ මැජික් සෙල්ලම තව දුරටත් සමාජයම පුදුම කර තිබුන.  එවැනි ඕනෑම ව්‍යාජයකින් ඇන්දිය හැකි පුළුල් සමාජ තීරුවක් 'මධ්‍යම පන්තිය පළල් වීම' නැමති ක්‍රියාවලිය හරහා නිර්මාණය වී ඇති බව ඉතා නිවරදිව මේ මඩ ඔස්තාර්ලා අවබෝධකරගෙන තිබේ.  [ මෛත්‍රීපාලනයෙන් ජනාධිපති වැය ශීර්ෂය කෝටි නම දහස් හත්සිය පණහකින් පමණ අඩු කලා යැයි යහපාලන ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය ව්‍යාජයක් බව කී දෙනෙක් නම් දනීද? තවමත් කී දෙනෙක් එම ව්‍යාජය ව්‍යාජයක් බව නොදනීද? ජනාධිපති සිරිසේන මහතාම රූපවාහිනී නාලිකාවක් ඉදිරියේදීම මේ රජ කෙප්ප කිසිඳු විලි ලැජ්ජාවකින් තොරව ප්‍රකාශ කරද්දී අනිත් සොක්කන් ගැන කුමන කතාද. ]

ඉතින් එවැනි වටපිටාවක ස්ත්‍රී දූෂකයා මුලික කර ගනිමින් මඩ ප්‍රහාරයට මොහොතක් පසුබට නොවී ඉක්මනින් ක්‍රියාත්මක වී තිබිණ. මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණ සමයේ සහ ජනාධිපති වීමෙන් පසුවද ඇගයුමට ලක් කල මෛත්‍රීවේශයෙන් මඩම ගසන ෆේස්බුක් අඩවි මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නිල  ෆේස්බුක් ගිණුම පවා මේ පාහර ක්‍රියාවලියට නොමසුරුව දායක කර ගැනිණ. දස දහස් ගණනින් Shares සහ Likes සමග ලෝකය පුරා ක්ෂණිකයකින් පුවත පැතිරී ගියේය.  
"වියත් දැනුවත්" ජනතාව කිසිඳු සෙවිල්ලකින් බැවිල්ලකින් තොරව යහමින් මේවා ෂෙයාර් කර තිබුණි.
[මේ ලියුම්කරුගේ උගත් ඉංජිනේරු මිත්‍රයන් කිහිප දෙනෙකුම මෙය එලෙස තම ගිණුම හරහා ප්‍රචාරය කර ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතදාරීන්ට ඔච්චම් කර තිබුණේ "මෝඩ බයියොන්ට පේන්න ෂෙයාර් කරමු " යන කැප්ෂනයද සමගිනි.  ]  එමෙන්ම එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී නලින් බණ්ඩාර නැමැත්තාද කිසිදු හිරිකිතයක් නැතිව පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී  මේ සමාජ ජාලා මඩ ප්‍රචාරය පිළිබඳ ආඩම්බරයෙන් දීර්ඝව විස්තර කරනු දුටුවෙමි.

මේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ක්‍රියාත්මක නිල නොවන ෆේසු බුක් පිටුව  ඒ පුවත වාර්ථා කර තිබූ ආකාරයයි.




























එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව එම පුවත පළ කල ආකාරයයි මේ.

ෆේස්බුක් මාධ්‍ය තුල දෛනික පඩි ලබන කුලීකරුවන් මේ වන විට ක්‍රියාත්මක බව ප්‍රකට රහසකි. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සමාජ ජාලා තුල එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් සමග අරලිය ගහ මන්දිරයේ තිබූ හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ස්ත්‍රී දූෂණය තම දේශපාලනය සඳහා යොදාගනිමින් සිටීම ලැජ්ජාවට කරුණක් බවයි.
ඒ රාජපක්ෂ මහතා උතුරේ පොලිසියට සහ උසාවියට පහර දීම අනාගත ව්‍යසනයක් වීමට ඉඩ ඇතැයි පල කල අදහසටයි. 
රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රකාශය කරන කණ්ඩායම තුලද මේ තිරිසන් ප්‍රචාරණයට හවුල් වූ කී දෙනෙකු සිටියේද?




























දේශපාලනඥයන් අරභයා මඩ අවලාද නගනවා ප මීට කලින්ද දැක ඇත්තෙමු. නමුත් මෙහිදී සිදූවී ඇත්තේ කුමක්ද. මේ ස්ත්‍රී දූෂකයකු ලෙස හංවඩු ගසා ඇති අහිංසකයා දැනට ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ

මේ එම ව්‍යාජ ප්‍රචාරණයට එරෙහිව ඔහු හඳුනන හිතවතෙක් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි. 
"එම පුද්ගලයා වෙන කිසිවෙක් නොව මේ මොහොතේත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින ''ස්විස් රංජන්'' නැමැති ශ්‍රී ලාංකිකයායි. කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව රංජන් ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගිය අතර ඔහු යාපනයේ සිටියදී ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී. විදේශගතව සිටියදීත් ඔහු සිය දේශපාලන කටයුතුවල යෙදුන අතර. දමිළ ජනයාටත් මහා පිළිකාවක් වී තිබු ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අවසන් කල 2009 අවසාන සටන සමයේ ශ්‍රී ලංකාව තුල ඒ සදහා බල කෙරෙන ජාතික සංවිධාන නිර්මාණය වුවා හා සමානවම රන්ජන් විසින් ස්විස්ටර්ලන්තයේ Gtv නම් දෙමළ සංවිධානය සාදාගනිමින් විදේශගතව නැගෙන Ltte හඩට පිළිතුරු ලබාදුන්නේ සැබෑ ශ්‍රී ලාංකිකක් බව පසක් කරමිනි.
ඔහුගේ ගිණුම මෙයයි - https://www.facebook.com/swiss.ranjan.1
"
 ඊට අමතරව මේ රන්ජන් නැමැත්තාද තම ෆේස්බුක් ගිණුම හරහා මේ මඩ ප්‍රචාරයට එරෙහිව දෙමළ බසින් තම අදහස පළ කර තිබුණි.

ස්ත්‍රී දූෂණයට සිතුවිල්ලකින්වත් දායක නොවූ මෙවැනි අහිංසකයෙකු ගස් බැඳ තිබෙන ව්‍යාජ ඡායාරූපයක් සමග ස්ත්‍රී දූෂකයෙකු ලෙස හංවඩු ගසා ලෝකය වටා ප්‍රචාරය කිරීමේ ජඩ විකෘති 'යහපාලන' සමාජ ජාලා භාවිතයේත්  , පාපතරයන් නම දෙනෙකු වින්ද්‍යා දියණිය අමානුෂික ලෙස දූෂණය කර මරා දැමූ විකෘති මානසිකත්වයේ වෙනසක් නැත. උතුරේ පාපතරයක් වින්ද්‍යා දූෂණය කරද්දී දකුණේ සිට යහපාලන වෙළෙන්දන් වින්ද්‍යා මෙන්ම රංජන්ලාද එකවර දූෂණය කර ඔවුන්ගේ අත්මය මරා දමා තිබේ.

ඔහුගේ මානව හිමිකම් වෙනු වෙන්පෙනී සිටීමට අලුත් පරපුරේ 'ලැබ්බෝගිනි නළුවන්වත්' , යහපාලන වෙළඳාමට "බුද්ධිමය" දායකත්වය සපයන ආචාර්‍යය නිර්මාල්ලාගේ පරපුරවත්  , නිරමාල්ට ටොක්කක් ඇන්න විට කොටුවේ පිකටින් කල කිසිවෙකුවත් ඉදිරිපත් වේද?

අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ එක පැනයකි..
මහත්වරුණි අපි මෙසේ බොරුවෙන්ම තව කොතරම් දුරක් යමුද?

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

බටලන්දේ රනිල්

කතෘ:යුතුකම     5/27/2015   No comments
රනිල් වික්‍රමසිංහ ගැන මෙරට තරුණ තරුණියන්ට හරියට දැන ගන්නට ජනාධිපතිවරණයට කලින් අවස්ථාවක් නොලැබිනි. ඒ නිසා තරුණයින් අතර රනිල්ට මහත්මා ගති ඇති පරිණත ශූර දේශපාලකයෙක් වශයෙන් ප්‍රතිරූපයක් ගොඩනඟාගැනීමට හැකිවිනි.

නමුත් අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය රනිල් වික්‍රමසිංහ හඳුනාගන්නේ ප්‍රභූ පරවේනිය නිසා ඉහලට ආ නමුත් වැඩ බැරි මෙරට සමාජය ගැන අවබෝධයක් නැති ඉන් මුක්තව ජීවත්වන තනිකඩයෙකු වශයෙනි. ඒ රනිල්ගේ හොඳ පැත්තය

පසුගිය දින 150 දී නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ.

බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය. අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි. අපට වෙන විශේෂඥ පුහුණුවක් ඕනෑම නැද්ද?

ඊයේ පෙරේදා වෙබ් අඩවි පාලකයින් යැයි කියාගන්නා තරුණයින් පිරිසක් ගෙන්වා ඔවුන් ලිය යුතු දේ ගැන රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේය. රනිල් තමන්ට කිව යුතු බොරුවවත් හරියට ගොතා ගන්නට උත්සාහයක් දරන්නේ නැත. ඒ ඔහු මෙරට මිනිස්සු අඳ බාලයන් යැයි පුරුද්දෙන්ම සිතන බැවිනි. ඒකාධිපතිවරුන්ගේ හැටි එහෙමය. 

වංශපුර දේවගේ ජානක  : මගේ රට
යුතුකම සංවාද කවය
ww.yuthukama.com

5/26/2015

ලංකාවේ ජනඝාතක හමුදාව වීරයන් වන්නේ කෙසේද?

කතෘ:යුතුකම     5/26/2015   1 comment


  පවත්නා ක‍්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කුලියට සටන් කරන මෙරට හමුදාව වීරයන් වන්නේ කෙසේදැයි මෑතකදී මගේ මිතුරියක් මා සමග තර්ක කළාය. එය අලූත් වාදයක් නොවුනද එදා ඒ සුපුරුදු වාදය නැවත මතුවූයේ ලියනගේ අමරකීර්ති විසින් තම කුරුළු හදවත නවකතාවේ ඇතුළත් කර තිබූ හමුදාව සම්බන්ධව ද්වේශ සහගත අපහාසාත්මක යෙදුමක් මුල් කොටගෙනය. මගේ මිතුරිය ජවිපෙ හිටපු කි‍්‍රයාකාරිණියකි. පසුව ඇය පෙරටුගාමී පැනනැගීමත් සමග ඒ දෙසට ඇදී ගියාය. චේ ගුවේරා, ලෙනින්, විජේවීර, කැස්ත්‍රෝ, ආදී පිරිසක් ඇගේ ලෝකයේ පරම වීරයෝය.


  හමුදාව සම්බන්ධව ඇය මතුකළ ප‍්‍රශ්නයට මම දුන්නේ කෙටි පිළිතුරකි. මගේ පිළිතුර වූයේ කොටි ත‍්‍රස්තවාදය පැරදවූ ලංකාවේ හමුදාව වීරයන් නොවන්නේ නම් චේ ගුවේරා, ලෙනින්, කැස්ත්‍රෝ ආදීහුද වීරයන් විය නොහැකි බවය. එහෙත් මා දුන් පිළිතුරේ දිග පළල ඇය හරි හැටි වටහාගත් බවක් පෙනෙන්නට නොවීය.

  තවත් සිදුවීමක් මෙහිදී මගේ මතකයට නැගේ. එයද පෙරටුගාමී සාමාජිකයෙකුට සම්බන්ධ එකකි. විමල් වීරවංශ විසින් කැප්පෙටිපොළ වැනි වැඩවසම් රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි වළව්කාරයකු වීරයෙක් කොට සමරන්නේ මන්දැයි පෙරටුගාමී මිතුරා මගෙන් විමසා සිටියේය. මා ඔහුට දුන් පළමු පිළිතුර වූයේ විමල් පමණක් නොව පෙරටුගාමීන් විසින් අගයනු ලබන රෝහණ විජේවීරද කැප්පෙටිපොලගේ රූප මැයි පෙළපාලියේ රැගෙන ගිය බවය. මගේ දෙවැනි පිළිතුර වූයේ කැප්පෙටිපොල සැමරීම අරුත් විරහිත කි‍්‍රයාවක් වන්නේ නම් චේ ගුවේරා, ලෙනින් හෝ ඔක්තෝබර් විප්ලවය සැමරීමද අරුත් විරහිත කි‍්‍රයාවක් බවය. මේ දෙදෙනාට ලබාදුන් පිළිතුරු තරමක් විස්තාරණය කොට කීමට මෙය හොදම අවස්ථාවක් යැයි මට සිතේ. ඒ යුධ ජයග‍්‍රහණයේ හයවැනි සමරුවත් සමගම හමුදාවේ වීරත්වය පිළිබද සංවාදය උනුසුම් ආකාරයෙන් නැවතත් අලූත් වී තිබීම නිසාය. මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ අපේ හමුදාව වීරයන් නොවේ නම් ලෙනින්ගේ රතු හමුදාවද වීරයන් නොවන්නේ මන්දැයි යන්න වැඩි දුරටත් පැහැදිලි කර දීමය.


   වීරත්වය යන්න මුළුමනින්ම පාහේ රදා පවතින්නේ සාපේක්ෂ සාධක මතය.  ඕනෑම වීරයෙකුට වීරයකු විය හැකි වන්නේ තමාට අදාල නිශ්චිත තත්ත්වයන් ප‍්‍රමාණයක් යටතේය. එවන් සීමා මායිම් සියල්ල ඉක්මවා ඒ සියල්ලට ඉහලින් සිටින සදාතනික, සර්ව සාධාරණ, උත්තර් ඓතිහාසික වීරයන් නොමේරූ වාමාංශිකයන්ගේ මනෝ ලෝක තුළ මිස සැබෑ ලෝකය තුළ සිටිය නොහැකිය. කෙතරම් විශාල වීරයකු වුවද හේ සමස්ථ ලෝකය හා මිනිස් විෂය ඉදිරියේ බෙහෙවින් කුඩාය. සියලූ පාර්ශවයන්ගේ පැසසුමට එක ලෙස ලක්වන වීරයන්ද ලෝකයේ නැත. වීරත්වය හා සර්ව සාධාරණත්වය යනුම එකට තැබීමට අසීරුම සාධක දෙකකි.  ඕනෑම වීරයකු තුළ නොයෙකුත් අබල දුබලතා සහ ලූහු තැන් කොතෙකුත් පවතින අතර  ඕනෑම වීරයෙකුගේ වීරත්වය සාහසික ලෙස තර්කයේ ප‍්‍රශ්න කිරීමටද ලක් කළ හැකිය. 


-වැඩවසම් රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටි කැප්පෙටිපොළ වීරයකු විය හැකිද?

-උතුරේ කෝනේශ්වරීලා දූෂණය කළ සිංහල හමුදාව තිරිසනුන් පිරිසක් නොවේද?

-උතුරේ යුද්ධය නිමාවූ පමණින් උතුරේ මිනිසුන්ට සැනසිලිදායක ජීවිතයක් උදාවී තිබේද?


ආදී වශයෙන් නැගෙන ප‍්‍රශ්න සැලකිය හැක්කේ වීරත්වයේ ලූහු තැන්, සංදර්භමය තත්ත්වයන්, හා එහි සීමා මායිම් පිළිබද මතු කෙරෙන තර්කයේ ප‍්‍රශ්න කිරීම් ලෙසය. ඒ ප‍්‍රශ්න මුළුමනින්ම නිශේධ කළ හැකි දේවල්ද නොවිය හැකිය. එහෙත් මා සමග වීරයන් ගැන වාද කළ මිතුරියට සහ මිතුරාට අමතක වී ඇති කාරණය වන්නේ ඔවුන්ගේ පරම වීරයන් වන ලෙනින්, චේ හෝ කැස්ත්‍රෝ සම්බන්ධවද එවැනි ප‍්‍රශ්න ඇති තරම් මතු කළ හැකි බවය. ලෙනින්ලා, චේලා මගේ ලෝකයේද වීරයන් වන නමුත් වෙනස වන්නේ ඔවුන් මට පරම වීරයන් නොවීමය. පරම වීරයන් කිසි තැනක නොමැති අතර මා වීරයන් අගයන්නේ ඊට අදාල සංදර්භමය තත්ත්වයන් සාපේක්ෂව සලකා බලාය. 


කැස්ත්‍රෝගේ විප්ලවය ජයගත් පමණින් කියුබානු ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසදී එරට සුර ලෝකයක් බවට පත්වූයේ නැත. විජේවීර ඇතුලූ දහස් ගණනක් ජීවිත දුන් පමණින් ලංකාවේ සමාජවාදය උදාවූයේද නැත. ලෙනින්ලාගේ මාඕලාගේ දේශපාලන අරගල නිසාද සෘජු හා වක‍්‍ර ලෙස අහිංසක මිනිසුන් කෝටි ගණනක් ඝාතනයට හා හිංසනයන්ට ලක්වූහ. ස්තී‍්‍රන් දූෂණය වූහ. ඊට වන්දිය ලෙස ඔවුන් සූත‍්‍ර ගත කළ ආකාරයේ පරමාදර්ශී සමාජයක් මිහිපිට පහළ වූයේද නැත. වාම කදවුරේ වීරයන් පමණක් නොව, මැන්ඩෙලා, ගාන්ධි, ලී ක්වාන් යූ, ආදී සියලූ වර්ගවල දේශපාලන වීරයන්ගේ අරගලවලින් අහිංසක ජනයා ඝාතනයට හා හිංසනයට ලක්වූහ. අවිහිංසාවාදී යැයි කියන මහත්මා ගාන්ධිගේ අරගලයද කියන තරම් අවිහිංසාවාදී එකක් නොවීය. සියලූ පාර්ශවයන් එක විට එක ලෙස තෘප්ත කළ හැකි භූමිකාවක් කිසිදු දේශපාලන නායකයකුට ඉතිහාසය විසින් කිසිදා හිමි කරදී නැත.


  එහෙයින් මේ කාරණා අනුව ප‍්‍රශ්න කළහොත් ලෝකයේ සිටින සියලූම වීරයන් දඩු කදේ ගැසීම දක්වා වුවද මේ ප‍්‍රශ්න කිරීම නිසැකවම දුර ගෙන යා හැකිය. එය වීරයන්ගේ වරදක්ද නොවේ. එය එසේ වන්නේ යම් යම් පරිසරයන් තුළ විශාල වීරයන් වන සියලූදෙනා සමස්ථ ලෝකය හමුවේ කුරා කුහුඹුවන් වන නිසාය. වීරයන්ට තම බල පරාක‍්‍රමය ඔස්සේ මහා ලෝකය ආන්බාන් කළ හැක්කේ ඉතා කුඩා සීමාවක් දක්වා පමණි. වීරයන් ගැන මිනිසුන්ට ඇති හැගීමද තර්ක බුද්ධියට වඩා හදවතට ආසන්නය. එහි ඇති වරදක්ද නැත. භාව ලෝකයද මිනිසාගේ සැබෑ ජීවිතයේ විශාල කොටසක් ආවරණය කොට ගෙන සිටින අතර ඔහු ඊනියා භෞතික වාස්තවික ලෝකයක පමණක් ජීවත්වන්නෙක් නොවේ. මේ කාරණා දුරට තේරුම් නොගෙන පරම සදාතනික වීරයන් ගැන නන් දොඩවන්නෝ තමන්ගේ සිතීමේ සීමාකම් ගැන නැවතත් සිතා බලන්නේ නම් අගනේය.


   හමුදාව පිළිබද ප‍්‍රශ්නය නැවත සලකා බලන්නේ නම් ලංකාවේදී පමණක් නොව ලෝකයේ කිසි තැනකදී යුද්ධය සර්ව සාධාරණ විසදුමක් නොවන බව නොකිව මනාය. සංකීර්ණ දේශපාලන ප‍්‍රශ්නවලට සර්ව සාධාරණ විසදුම් තිබිය නොහැකිය. යුද්ධයෙන් එක අහිංසකයෙකුට හෝ හානියක් සිදුවේ නම් එය සර්ව සාධාරණ විසදුමක් වන්නේ නැත. එසේ වුවද එය සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වන අවස්ථාවලදී අපට අකමැත්තෙන් වුවද යුද්ධය තෝරා ගැනීමට සිදුවෙයි. හාල්මැස්සෙකුට හෝ හානියක් නොවී සාමයෙන් ප‍්‍රශ්න විසදාගත හැකි නම් එය බෙහෙවින් අගනේය. එහෙත් අපට ප‍්‍රශ්න හා අභිමුඛ වීමට සිදුවන්නේ මනෝ ලෝක කල්පනා යටතේ නොව පවත්නා සැබෑ තත්ත්වයන් යටතේය. 


  උතුරේ ප‍්‍රශ්නය සලකා බලතොත් සාමයෙන් එය විසදාගැනීමට එල්ටීටීඊයට කිසිදු වුවමනාවක් නොවීය. දේශපාලන අරගලයක තිබිය යුතු අවම තරමේ සදාචාරමය වටිනාකම් ගැන හෝ ඔවුන්ට කිසිදු හැගීමක් නොවීය. වචනයේ පරිසමාප්ත අරුතින්ම ඔවුන් කටයුතු කරන ලද්දේ සාහසිකත්වයේ ඉහලම තැනක සිටි මිලේච්ඡ ත‍්‍රස්ත කල්ලියක් ලෙසය. ඔවුන් මෙල්ල කිරීම සදහා යුධමය කි‍්‍රයාමාර්ග හැර වෙනත් කිසිදු ක‍්‍රමයක් නොතිබූ අතරම මෙරට හමුදාවේ කාර්යභාරය සුවිශේෂී වන්නේද මෙකී සන්දර්භය යටතේය. එසේම උතුරේ යුද්ධය සැලකිය හැක්කේ ලෝකයේ වෙනත් යුද්ධවලට සාපේක්ෂව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අඩුවෙන්ම වාර්තා වූ අවස්ථාවක් ලෙසය. අපරාධ අඩු වූවා පමණක් නොව මහා පරිමාණයෙන් සිවිල් වැසියන් ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගැනීමට එහිදී රණවිරුවන් කළ කැපකිරීමද අතිශයින් විශේෂිතය. ජාති භේදයකින් තොරව මිනී කදුගොඩ ගැසීම නවතා රටට සාමය උදාකළ හැකිවූයේ ඒ කැපවීමේ ප‍්‍රතිපලයක් ලෙසය.


  වියට්නාම් යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ ඇමරිකන් ආක‍්‍රමණිකයා පළවා හැරීමය. දෙවැනි ලෝක යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ හිට්ලර් පරාජය කිරීමය. ඒ හැම විසදුමකම විනාශකාරී පැත්තක්ද ඇති නමුත් සමස්ත චිත‍්‍රය අනුව බලන විට වඩා සාධාරණ හා මානව හිතවාදී විසදුම් වන්නේ එවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ආකාරයටම උතුරේ යුද්ධය හමුවේ ගත හැකිව තිබූ හොදම සාපේක්ෂ සාධාරණ විසදුම වන්නේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමය. එය සාධාරණ විසදුමක් වන්නේ රටට ජාතියට ආගමට පමණක් නොව පොදු මනුෂ්‍යත්වයටද සාපේක්ෂවය. ත‍්‍රස්තවාදය පැරදවීම සිංහලයාගේ ජයග‍්‍රහණයක් පමණක් නොව පොදු මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක්ද වන්නේය. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මෙරට හමුදා සෙබලූන් වීරයන් වන්නේ ඒ සන්දර්භය තුළය. යුද්ධය විනාශකාරී වූ පලියට, හමුදාව හිංසනයේ ආයතනයක් වූ පළියට, හමුදා සෙබළු අතින් අපරාධ සිදුවූ පලියට, යුද්ධයෙන් සියලූ ප‍්‍රශ්න අවසාන නොවූ පලියට, සමස්ථයක් ලෙස රණවිරුවන් කළ කාර්යභාරයේ ඓතිහාසික හා මානුෂීය වැදගත්කම කිසි ලෙසකින්වත් අහෝසි නොවේ. චේ ගුවේරා එක්තරා සන්දර්භයක් තුළ යම් ආකාරයකට වීරයෙක් වූවා සේම ඉහත කී සන්දර්භය තුළ අපේ හමුදාවටද ඒ වීරත්වය හිමිවිය යුතුමය. අප විසින් සදා සැමරිය යුතුවන්නේ එකී මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණය මිස යුද්ධය නොවන බව ඔල්මාදකාරයන්, මෝඩයන් හෝ අමු තක්කඩියන් නොවන  ඕනෑම අයකුට වැටහෙයි.


 එසේ වුවද අද යුධ සැමරුම්වල අමානුෂික බව ගැන, වාර්ගික සහෝදරත්වයේ බල මහිමය ගැන අපට පාඩම් කියාදීමට විකල්ප ගෝත‍්‍රවාදීහු පිරිසක් පෙරට පැමිණ සිටිති. අලූත් නමක් ඔවුන්ට තිබුණද කි‍්‍රයාවෙන් ඔවුන් තුළ ඇත්තේ පරණ සුපුරුදු මිලේච්ඡත්වයමය.


  එදා බස්වල බෝම්බ පුපුරන විට එය දකුණේ නරුම සිංහලයන්ගේ ආතල් කැඞීමක් බව තෘප්තියෙන් පැවසූ මේ පිරිස, උතුරේ ත‍්‍රස්තවාදීන්ට එල්ල කරන ප‍්‍රහාර දුටුවේ අහිංසක දෙමළ වැසියන්ට එරෙහි වර්ග සංහාරයක් ලෙසය. පසුගිය කාලයේදී උතුරේ ඇති කොටි ස්මාරක හමුදාව විසින් කඩා බිද දමන බව පවසමින් දිවා රෑ වැලපුනේ, අද යුධ සැමරුම් එපා යැයි දිවා රෑ වැලපෙන මේ පිරිසමය. එදා සිටම ඔවුහු කොටියාට විමුක්ති අරගලයේ අනුහසත් අපට සාම සංහිදියාවේ වැදගත් කමත් දේශනා කළෝය. කිසිදු ප‍්‍රශ්නයක් දෙස අවම හෝ මනුෂ්‍යත්වයේ ඇසකින් නොබැලූ මේ පිරිස ඒ සියල්ල තම තිරස්චීන ජාතිවාදී දේශපාලනයේ ගෝස්තරවාදී මෙවලම් බවට පත් කර ගැනීමට උත්සාහ දැරූහ. රට ඉදිරියේ ඇති තීරණාත්මක අනාගත තර්ජනය වන්නේ ඊනියා යහපාලනයක අනුග‍්‍රහයෙන් අද මේ පිරිස රාජ්‍ය බලයටද අත ගසා සිටීමය. මහින්ද වටා රොක්වී සිටි පාදඩයන් අත තිබූ රාජ්‍ය බලයට වඩා මේ ඊනියා මහත්වරුන් අත ඇති රාජ්‍ය බලය රටට හා මනුෂ්‍යත්වයට තර්ජනයක් වන්නේය. ඉදිරි මැතිවරණවලදී අප විසින් තීරණාත්මක ලෙස සැලකිල්ලට ගත යුතු කාරණය එය බව කල් තියා සදහන් කර තැබිය යුතුය.


-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිවුදෙනෙක් හිරගත කිරීම හෙළාදකිමු ! - අ.වි.භි.බ.ම

කතෘ:යුතුකම     5/26/2015   No comments
මාධ්‍ය නිවේදනය
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි, සූරියවැව සූසීල හිමි, මහගල්වැව රාහුල හිමි, මෝදරවානේ විපුලසිරි හිමි යන ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා ජුනි මස 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ සඳහා හේතුවී ඇත්තේ පසුගිය 2015 අපේ‍්‍රල් 29 වන දින විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයයි. කළහකාරී ලෙස හැසිරීම, පොදු දේපල හානි කිරීම හා පොලිස් නිළධාරියකුට පහර දීම ආදී චෝදනා නොඑසේනම් මහා භයානක ගණයේ අපරාධකරුවන් වශයෙන් වන හංවඩුවක් ගසා හෝ මෙම සිරගත කිරීම නෛතිකව සාධාරනීකරණය කළහැකි නමුත් මෙම සිදුවීම හරහාද පෙන්වන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන බවට පොරොන්දු දුන් ප්‍රජාතන්ත‍්‍රවාදයේ නිරුවත මිස අන් යමක් නොවේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් මාස ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාල වලට කරන ු ලබන ශිෂ්‍ය භික්ෂු බඳවාගැනීම් කප්පාදුව නවතන ලෙසත්, මීට පෙර වර්ෂවලදී බඳවාගත් ප‍්‍රමාණයන්වත් අවමය මෙවරත් බඳවා ගන්නා ලෙසත් සියළුම බලධාරීන්ගෙන් ලිඛිතවද වාචිකවද ඉල්ලා සිටින ලදී. නමුත් ඒ පිළිබඳව බලධාරීන් අනුගමනය කරන ලද නිහඩ ප‍්‍රතිපත්තිය ඉදිරියේ මෙම අරගලය නිර්මානය විය. උසස් පෙළ සමත් භික්ෂුන් වහන්සේලා ගණනාවකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, සරසවිවල ඉඩපහසුකම් තිබියදීත් අහිමිකරද්දී ඊට එරෙහිව සටන් වැදීම මිස අන් කළහැකි යමක් වේද? එදා ප‍්‍රතිපාදන කොමිසම දක්වා සාමකාමීව භික්ෂුන් වහන්සේලා පා ගමනින් යනුයේද ප‍්‍රශ්නය කතාබස් කොට විසදා ගැනීමටය. එහෙත් ප‍්‍රශ්නය විසදීම පැත්තක තබා කොමිසමේ ගේට්ටු ඉබියතුරු ලා පොලිස් ප‍්‍රහාරයක් සූදානම් කළේ හා සමකාමී උද්ඝෝෂණය ගැටුමක් දක්වා වර්ධනය කළේ බලධාරීන්ය. ඉන් අනතුරුව සිදුවු සිද්ධීන්හි වගකීම සිසුන් පිට පැටවීම සාධාරණ වන්නේ කෙසේද? එය භාරගත යුත්තේ බළධාරීන්ය. වෙනදා මෙන්ම මෙවරද සිසුන් බඳවාගැනීම් සිදුවූයේ නම් උද්ඝෝෂණ ඇති නොවේ. ඒ අනුව මෙම සිදුවීම්හි වගකීම සිසුන්මත පැටවීම සාධාරණ නොවන අතර එය නීතියේ අපක්ෂපාතීත්වය පිළිබඳ නිරුවත විදහාපාන්නකි. නීතිය අපට උද්ඝෝෂණ පැවැත්වීමේදී සමාකාමීව සිදු කළ යුතුයැයිද, සිසුන් මුරන්ඩු නොවිය යුතු යැයිද කියයි. උද්ඝෝෂණ ඇති වීමට ඉඩදී ප‍්‍රශ්න නොවිසදා සිටින, සාමකාමී උද්ඝෝෂණවලට පහරදෙන උද්ඝෝෂකයන්ගේ ඔළුපලන පොලිස් නිළධාරීන්ටද, ඔවුන්ට ඒ සඳහා නියෝග දෙන බලධාරීන්ටද කිසිවක් නොකියයි. එපමණක් නොව සිදුවීම් පෙළක එක් රූපරාමුවක් ගෙන සියල්ල පිළිබඳ අර්ථනිරූපන දෙයි. සිසුන් උද්ඝෝෂණ කළේ මන්දැයි යන්න හෝ ඒවා කොතරම් සාධාරණ වන්නේ දැයි යන්න පිළිබඳ කිසිවක් නොවිමසයි. උද්ඝෝෂණය කරනු ලබන පැයකදී සිදුවන මහජන පීඩාවක් ගැන කතාකරයි. නමුත් පාසල් වසා දැමීමෙන්, සරසවි බඳවා ගැනීම් කප්පාදු කිරීමෙන් සිසුන් සිය දහස් ගණනකගේම මුළුමහත් අනාගතයක් විනාශවී යාම නොදැක්කා සේ සිටියි. මේ අනුව පෙනී යන්නේ අප අපරාධකරුවන් කොට දඟගෙට යවනු ලබන නීතියේ රාජ්‍ය පක්ෂපාතීත්වය නොවන්නේද? ජනතාවට එරෙහිව එහි හැසිරීම නොවේද?

ඒ අනුව මෙම සිරගත කිරීම මෙන්ම පසුගිය කාලයක් පුරා යහපාලන කඩතුරාවට යටින් සිදුවූ සියළුම
මරදනයන්ද පෙන්වා දෙන්නේ කුමන ආණ්ඩුවක් යටතේ වුවද, පොලිසි, හමුදා, අධිකරණ, පාර්ලිමේන්තු මේ ආදී කිසිවක් ජනතාව වෙනුවෙන් නොව ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන බවයි. එය මෙම අත්දැකීම හරහාද යළි යළිත් පසක් කොට ඇති අතර මෙම භික්ෂූන් වහන්සේලා හා සිසුන් හිරගත කර පෙන්වා දී ඇත්තේ වත්මන් හත්හවුල් ආණ්ඩුව මේ රටේ උසස් පෙළ සිසුන් සරසවි බඳවාගැනීමට සූදානම් නැති බව හා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවයි.

අප රටක් සමාජයක් වශයෙන් මෙම හැසිරීම දැඩි පිළිකකුලෙන් හෙළාදැකිය යුතු අතර, යහපාලනයේ කඩතුරාව යට සැඟව යළි යළිත් හිස ඔසවමින් තිබෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි රාජ්‍යයේ ත‍්‍රස්ත හැසිරීම් වහා පරාජය කිරීමට නැගී සිටිය යුතුය.

ස්තූතියි.
මීට
නජිත් ඉන්දික
:කැඳවුම්කරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

මහා බැංකු කොල්ලය වසං කිරීම

කතෘ:යුතුකම     5/26/2015   1 comment
රනිල් වික්‍රමසිංහ ලෝකයට පෙන්නුම් කරන්නේ තමන් හොරමැරකම් දූෂණ ආදියෙන් තොර පුද්ගලයකු ලෙස ය. එහෙත් ඔහු ජනවාරි 9 වැනි දා සිට ම ක්‍රියාකර ඇත්තේ වෙනත් ආකාරයකට ය. ජනවාරි 8 වැනි දා පවත්වන ලද ජනාධිපතිවරණය කිසිසේත් ම පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිට ම මෛත්‍රිපාල හා රනිල් අතර එකඟතාවක් විය. ඒ රනිල් අගමැති කිරීමට ය. ඒ පිටුපස බටහිරයන් හා ඉන්දියයන් සිටි බව රහසක් විය නො හැකි ය.
ඒ එකඟතාව හුදෙක් රනිල් අගමැති කිරීමට පමණක් නො වේ. රනිල් විධායක අගමැති කිරීමට ය. මෛත්‍රිපාල වුවමනාවෙන් විධායක බලතල අත්හැරියා නො වේ. ඔහුට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබුණේ ම විධායක වලතල අගමැතිට පැවරීමේ පොරොන්දුව මත ය. අදත් ඔහු ක්‍රියා කරන්නේ ඒ පොරොන්දුව පරිදි ය. බටහිරයන් මෛත්‍රිපාලගෙන් බලාපොරොත්තු වූ අනෙක් කරුණ වූයේ ආණ්ඩුව ගෙන යෑමට අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයීම ය. ඒ හැරෙන්න ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් එහි නො වී ය. අද මෛත්‍රිපාලට වෙනත් විකල්පයක් නැත. ඔහු ඒ පොරොන්දු ඉටු කළ යුතු ය.

මෛත්‍රිපාල තමා ජනාධිපති වූ විගස ව්‍යවස්ථාවට ද පිටින් ගොස් රනිල් පික්පොකට් අගමැති ධුරයකට පත් කෙළේ ය. එදා සිට රනිල් ආණ්ඩුව මෙහෙයවයි. එහි දී ඔහුට බටහිරයන්ගේ සහාය ලැබෙයි. මෛත්‍රිපාල අද සිටින්නේ මග සිටියොත් තෝ නසී, ගෙදර ගියත් තෝ නසී තත්ත්වයක ය. ඔහුට සහායට සිටින්නේ චම්පක, රතන හිමි, ප්රාජිත හා වෙල් විදානේ පමණ ය.

රනිල් අගමැති වී මහා බැංකුව තමා යටතට ගත්තේ ය. එය නීතිය අනුව කෙසේ වෙතත් සම්ප්‍රදාය අනුව වැරදිය. සමහර විට ඔහු මුදල් ඇමති රවි කරුණානායක විශ්වාස නොකළා විය හැකි ය. සමහර විට ඔහුට වෙනත් අදහස් තිබුණා විය හැකි ය. ඒ කුමක් වුවත් ඔහු අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් කෙළේ ය. මහේන්ද්‍රන් ශී ලාංකිකයෙක් නො වේ. ඔහු සිංගප්පූරු වැසියෙකි. ඔහුට සිංහලෙන් අත්සන් කිරීමට නො හැකි ය. මුදල් නෝට්ටුවල ඔහු අත්සන් කරන්නේ ඉංගිරිසියෙනි.

ඔහු මහා බැංකුවේ අධිපති බවට පත්කට නොබෝ කලකින් ම මහා බැංකු බැඳුම්කර නිකුතුවක් පිලිබඳ ප්‍රශ්නයක් ඇති විය. එයින් ඔහුගේ බෑණනුවකු වූ අර්ජුන් ඇලෝෂියස්ට විශාල වාසියක් අත් වූයේ රටට පාඩුවක් වන පරිදි ය. ඒ පිළිබඳ මහත් ආන්දෝලානයක් ඇති විය. යමපාලන හුරෙ කණ්ඩායම නිහඬ විය. කරකියා ගැනීමට දෙයක් නැති වූ රනිල් නීතිඥයන් තුන්දෙනකුගෙන් සමන්විත පරීක්‍ෂණ කමිටුවත් පත් කෙළේ ය.
කමිටුව බටහිර පරීක්‍ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් වාර්තාවක් නිකුත් කෙළේ ය. ඒ අනුව මහේන්ද්‍රන් කිසිම චෝදනාවකට වරදකරු නො වේ. ඔහු මහා බැංකුවේ අධිපති වුවත් ඒ නිකුතුව සම්බන්ධයෙන් කිසිවක් දැන සිට නැත. එය සිදු වී ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලය හරහා ය. එයට අවසානයේ දී වරදකරුවකු නැත. ඒ අනිත්‍ය මෙනි. වෙනස්වන යමක් නොමැතිව වෙනස්වීමක් වෙයි. වරදකරුවකු නොමැතිව වරදක් සිදුවී ඇත. මහා බැංකුවේ අධිපති සියළු ගනුදෙනු ගැන වගකිව යුතු ය.

රනිල් සිතන්නේ මෙරට මිනිසුන්ට ඇස් කන් ආදිය නොමැති බව ද? ඔහුගේ හැරිසන් වැනි ඇමතිවරුන්ට නම් රනිල්ගේ කතා රසවත් ය. ඔවුහු ඒ කතාවලට තව තවත් පලිප්පු දමති. පළාත් පාලන ආයතනවල ඡන්දය නොපවත්වා ජනතාවගේ මැතිවරණ අයිතිය නැති කිරීම වැනි කරුණු පැත්තකට දැමුවත් මහා බැංකු කොල්ලය පමණක් වුවත් රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රමාණවත් වෙයි. එය වහාම ගෙන ඒම ශ්‍රි ල නි පක්‍ෂයේ වගකීම වෙයි. ආණ්ඩුව ගෙන යෑමට මන්ත්‍රීවරුන් සැපයීම මෛත්‍රිපාලගේ රාජකාරිය (ජනාධිපතිකාරිය) වුවත් මන්ත්‍රීවරුන් ඒ සඳහා බැඳී නැත. අද ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් රටේ බහුතරය බලාපොරොත්තුවන්නේ රනිල් විශ්වාසභංගයෙන් පරාජය කිරීම ය. එමගින් මහේන්ද්‍රන් ද නඩු විභාගයකට යටත් කිරීම ය. ඔහුට සිංගප්පූරුවට පැන යෑමට ඉඩ නොදිය යුතු ය.

~නලින් ද සිල්වා
කාලය
2015 මැයි 25

5/25/2015

(විජේ)දාසලා ගේ දාසකම සහ සිංහලකම!!!

කතෘ:යුතුකම     5/25/2015   2 comments
මේක සිංහල රට කියලා තියෙන්නේ කොහේ දැයි උගත් නීතිඥයෙකු යැයි කියන තවත් උපාධි මල්ලකට ද හිමිකම් කියන විජේදාස රාජපක්ෂ ටයිකෝට් හැඳ සිංහලෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රශ්න කර සිටියේ ය. උගත්කම සහ බුද්ධිය යනු දෙකක් බවත් කිසියම් විෂයක් දැන ගත් පමණින් යමෙක් උගතෙකු මිස බුද්ධිමතෙකු නොවන බවත් ඒ ඊනියා උගත්කමට දීනකම ද පරගැතිකම ද එක් වූ පසු බලු නො වටින බව ද ඔහු මැනවින් අපට පෙන්වා දී තිබේ. තව ද තමන් වැනි උගතුන් සහ රූකඩයක් අතර වෙනසක් නැති බවත් ඔහු සිය ප්‍රකාශයෙන් සනාථ කර තිබේ. රූකඩය තවෙකෙකුගේ අතෙහි රැඳී නූලකින් නැටවෙන්නා සේ මේ ඊනියා උගතුන් අනුන්ගේ දැනුම නමැති නූලින් නැටවෙන හිස් පඹයින් ම පමණි. දෙමළ ජාතිවාදය ආරක්ෂා කරන අතර එය සිංහල ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කරන දාසලා දෙමළ ජාතිවාදයට ද ඒ ඔස්සේ බටහිරට ද දාසකම් කරති. දාසගේ කතාවේ අඩුව පුරමින් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී පී. සෙල්වරාසා ලංකාවේ ආදීවාසින් දෙමළ ජනතාව බව උතුරේ පැවති උත්සවයක දී පවසා තිබේ. අවසානයේ දාස ලා රාසා ලා දෙමළ ජාතිවාදයට සහ දෙමළ ජාතිවාදයට ම සේවය කරන බව ජනතාව අවබෝධ කර ගත යුතු ය.

2011 වසරේ ජෝර්ජ් රාජ බයිබලයට වසර 400ක් පිරීම නිමිත්තෙන් ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලයේ ප්‍රධාන දේශනය කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් කියා සිටියේ "අපේ රට (බ්‍රිතාන්‍යය) ක්‍රිස්තියානි රටක් බවත් එය කීමට අප කිසිසේත් බිය නොවිය යුතු" බවත් ය. (We are a Christian country and we should not be afraid to say so) මේ අවස්ථාවේ නැඟී සිට අගමැතිගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීමට හෝ එයට අභියෝග කිරීමටත් බ්‍රිතාන්‍ය ලිබරල් රටක් බවත් ඒ ලිබරල් රට බහු-සංස්කෘතික බවත් දාසලාට කියා දෙන ඔක්ස්ෆර්ඩ් උගතුන් කිසිවෙක් නැඟී සිටියේ නැත. ඔක්ස්ෆර්ඩ් සිසුන් නැඟී සිටියේ ද නැත. බ්‍රිතාන්‍ය දේශපාලකයින් ඊට එරෙහිව මහා සමාජ රැල්ලක් නිර්මාණය කළේ ද නැත. අවසානයේ සිදු වූයේ 2015 මැයි 8 ඔහු නැවත අගමැති ධූරයට බ්‍රිතාන්‍ය ජනතාව විසින් තෝරා පත් කර ගැනීම ය.

බටහිරින් පොම්ප කරන ඊනියා ලිබරල් මත ගෙඩි පිටින් ගිල වමාරමින් දාසකම් කිරීමට මිස දාසලා කිසිවක් නො දනිති. බ්‍රිතාන්‍යයේ වසර 1400ක පමණ ක්‍රිස්තියානි ඉතිහාසයක් ඇති හෙයින් ද ඔවුන්ගේ වටිනාකම් සහ හර පද්ධතිය බයිබලය සහ පල්ලිය මත පදනම් වී ඇති හෙයින් ද කැමරන්ගේ ප්‍රකාශය වැරදි යැයි කිව නො හැකි ය. එසේ නම් මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ නවතම පර්යේෂණ අනුව ක්‍රි. පූ. 3 වන සියවසේ මහින්දාගමනයටත් පෙර එනම් වසර 2300කටත් වඩා පැරණි බෞද්ධ ඉතිහාසයක් ද ඊටත් වඩා පැරණි සිංහල ජාතිය පිළිබඳ ඉතිහාසයක් ද ඇති මේ රට සිංහල රට යැයි කීමට දාසලාගෙන් අවසර ගත යුතු ද? වසර දහස් ගණනක් හෙළදිව, සිංහලද්වීප යැයි විදේශිකයින් පවා හැඳින් වූ මේ රට සිංහල රට යැයි කීමට දාසයන්ගෙන් අවසර ගත යුතු ද? නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක ඒ නිසා ම නීත්‍යානුකූල නොවන ඇමතිකම් දරන දාසලා රටේ ඉතිහාසය විකෘති කරමින් මෙලෙස සිංහලයින්ට තර්ජනය කරමින් දෙමළ බෙදුම්වාදය වෙනුවවෙන් පෙනී සිටින්නේ නම් නිසි බලයක් මොවුනට ලැබුණහොත් සිංහලයින්ගේ අනාගතය කුමක් වේ ද?

දාසලා දාසකම් කරන ඊනියා ලිබරල්වාදය විසින් දැන් මේ රටේ ඉතිහාසය නො දන්නා පරපුරක් දැන් බිහි කර තිබේ. ඒ නො දන්නාකම ඔස්සේ සිංහල සමාජය තුළ දෙමළ බෙදුම්වාදය සුජාත කිරීමත් ඒ ඔස්සේ දාසලා ලවා දෙමළ ඊළම ලබා දීමත් මේ ඊනියා ලිබරල්වාදයන්හි අවසන් අරමුණය. එහෙයින් මේ රටේ ඉතිහාසය සහ සංස්කෘතිය සිංහලත්වයත් සමඟ බැඳී ඇති අයුරු සැකෙවින් වුව පෙන්වා දීම රටට හිතැති බුද්ධිමතුන්ගේ කාර්යභාර්ය වෙයි. රටට මෙවැනි අඳුරු පරාධීන සමයන් එළිය ලබා දුන්නේ ද ජන විඥානය පෝෂණය කළේ ද එවැනි බුද්ධිමතුන් විසිනි. එමෙන් ම මේ යල්පැන ගිය ලිබරල්වාදී අදහස් විසින් බටහිරට සංක්‍රමණය වූ මුස්ලිම් ජනතාවට ඊනියා ආගමික, සංස්කෘතික නිදහසේ නාමයෙන් බහු-සංස්කෘතිකවාදය ඔස්සේ ඒ රටවල මහා සංස්කෘතියට අනුගත වීමට තිබූ මං ඇහිරීමේ ප්‍රතිඵලය ලෙස මේ වන විට IS නමැති මිනිමරු කල්ලියට සෙබලුන් සපයන තිඹිරි ගෙය බවට පත්ව ඇත්තේ යුරෝපය බව අවධාරණය කළ යුතු ය. බටහිර රටවල වෙසෙන ඉස්ලාම් භක්තිකයින් සිය ගණනින් IS කල්ලිය වෙනුවෙන් සටන් කරනට බටහිරින් පළා යන්නේ ඔවුන්ගේ බහු-සංස්කෘතිකවාදය අසමත් සංකල්පයක් බව ඔවුන්ගේ දෙපා මූල ම පත් කර ඇති බවත් අපි අවධාරණය කරමු.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති මේ රට ඉතිහාසය පුරා විවිධ ජාතීන් විවිධ යුගවල විවිධ නම්වලින් හඳුන්වා තිබේ. පෙර පැවති ජනප්‍රවාද ඇසුරින් ක්‍රි. පූ. 5-4 සියවස්හි රචිත බව සැලකෙන රාමායනයෙහි මේ රට ලංකා (Lanka) යනුවෙන් හැඳන්වෙයි. බුදු රජුන් දවස ලංකාදීප (Lankadeepa), ලක්දිව(Lakdiva), ලක්බිම (Lakbima) යනුවෙන් හඳුන්වා තිබේ. විජය කුමාරයා දිවයින තම්බපන්නි (Tambapanni) යනුවෙන් නම් කර ඇත. විජය කුමාරයා ඇතුළු පිරිස සිංහ පරපුරකින් පැවත එන්නේය යන අර්ථයෙන් මහාවංශය මේ දිවයින සිංහලද්වීප (Sihaladeepa) ලෙස නම් කර තිබේ. මෙහි දී සිදුවන්නට ඇත්තේ 5 වැනි සියවසේ සිට වසර 1100කට එහා අතීතයක් පිළිබඳ ලියන මහානාම හිමි සිංහලද්වීප යන්නට යම් අර්ථකතනයක් දීමට උත්සාහ කිරීම විය හැකි ය.

අර්ථ ශාස්ත්‍රයෙහි මේ දිවයින පරසමුද්‍ර (Parasamudra) යනුවෙන් හඳුන්වා තිබේ. ඇතැම් ග්‍රීක ඉතිහාසඥයන් පලෙයිසිමුන්ඩු (Palaesimoundu) යනුවෙන් මේ දිවයින හඳුන්වා ඇත්තේ පරසමුද්‍ර යන සංස්කෘත නම අනුව විය යුතු ය. ඇතැම් ලේඛනවල ග්‍රීකයෝ මේ දිවයින සිමුන්ඩු (Simoundu) යනුවෙන් ද හඳුන්වා තිබේ. චන්ද්‍රගුප්ත රාජසභාවේ ග්‍රීක තානාපතිවරයා වූ මෙගස්තනිස් (Megasthenes) මෙන් ම ප්‍රථම ග්‍රීක භූගෝල විද්‍යාඥයා වූ එරටොස්තිනස් (Eratosthenes) මේ දිවයින හැඳින්වූයේ තම්බපන්නි දිවයින (Island of Taprobane) යනුවෙනි. පැරණි භාරතීයයෝ සිංහලද්වීප යන්නෙන් බිඳගත් සෙලෙදීබ (Sielediba) යනුවෙන් ද මේ දිවයින හැඳින්වූහ. එමෙන් ම සිංහල යන්නෙන් බිඳගත් සිලෙකේ (Sileke), සලිකේ (Salike) යන නම්වලින් ද ඔවුහු මෙරට හැඳින්වූහ. දෙමළ ජනතාව මේ දිවයින ඉලංකෙයි (Ilankai) යනුවෙන් මෙන් ම ඊළාම් (Eelam) යනුවෙන් ද හඳුන්වා තිබේ. ඊළාම් යන්නට මදුරප්පේලී මහතා ලියූ දෙමළ ශබ්දකෝෂයේ අර්ථ සපයා තිබුණේ සිංහලයින්ගේ රට යනුවෙන් බව මා අසා තිබේ.

10 වන සියවසේ අරාබි ලේඛකයෙකු වූ අල් බිරුනි (Al-Biruni) නැතහොත් අබු රිහාන් මුහමඩ් (Abu Rihaan Muhammad ) මේ දිවයින සිංගල්දිප් (Singaldip) යනුවෙන් හඳුන්වා තිබිණි. එමෙන් ම ඉබාන් බතූතා (Ibn Batuta) සහ අල් ඉඩ්‍රිසි (Al-Idrisi) මේ රට සෙරෙන්දිබ් (Serendib) සහ සෙරෙන්දිවි (Serendivi) යනුවෙන් හඳුන්වා තිබිණි. තවත් අරාබි ලේඛකයෙකු වන ඉබාන් සහ්රියාර් (Ibn Shahriyar) මෙරට සහීලාන් (Saheelan) යනුවෙන් හඳුන්වා ඇත්තේ සිංහල යන්නෙන් බිඳ ගෙන විය යුතු ය. 1505 ලංකාවට පැමිණි පෘතුගීසි මේ රට සෙයිලාවෝ (Ceilão) යනුවෙන් හඳුන්වා ඇත්තේ සිංහලය හෝ එයින් බිඳුණු සහීලාන් යන්න ඇසුරින් විය යුතු ය. එමෙන් ම බටහිර ජාතිකයෝ මෙරට සෙයිලන් (Zeylan) හෝ සෙලාන් (Seylan) යනුවෙන් ද හැඳින්වූහ. ඉංග්‍රීසි ජාතිකයෝ ඒ ඇසුරින් ම ලංකාව සිලෝන් (Ceylon) යැයි හැඳින්වූහ. ඒ අනුව සිලෝන් යන වහර සිංහල යන්න හෝ ඒ ඇසුරින් තනා ගත් නාමයක් ඇසුරින් බිඳගත් බව පැහැදිලි ය. එමෙන් ම මේ රට ලොව පුරා ප්‍රචලිත වූයේ සිංහල රට යනුවෙන් බව ඊටත් වඩා හොඳින් පැහැදිලි ය.

මේ රටේ බොහෝ කාලයක් සිරකරුවෙකු ලෙස ජීවත් වූ රොබට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියේ මෙසේ සඳහන් කර තිබේ. "සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින් පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවදාවත් හොරකම් කළ බවත් මම නොදනිමි. සිංහලයෝ කරුණා කරති. පරහට උපකාර කරති. ආගන්තුකයින්ට දායාවෙන් සංග්‍රහ කරති. සිංහලයින් තුළ මේ ගුණ ධර්ම ඇති බව මම අත්දැකීමෙන් දනිමි. සිංහලයින්ගේ භාෂාව ද සිංහල මෙන් ම පොහොසත් ය. එය මටසිලුටුය. සුමධුරය. අලංකාරය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයේ එක ම හිඟන්නෙක්වත් නැත." රොබට් නොක්ස් (එදා හෙළදිව-279) මේ අනුව මේ රට සිංහල රට යැයි කොතැන සඳහන් වන්නේ දැයි ප්‍රශ්න කරන මේ ඊනියා උගතුන් අවම වශයෙන් එදා හෙළදිව වැනි සරල කෘතියක් පවා කියවා නොමැති බව අපට පිළිගැනීමට සිදු නො වන්නේ ද?

තව ද මේ දිවයින 1815 එනම් අදින් හරියට ම වසර 200 පෙර ඉංග්‍රීන් සමඟ අත්සන් කළ උඩරට ගිවිසුමේ හඳුන්වා ඇත්තේ සිංහලය යනුවෙනි. "සිංහල වැසියන් වෙනුවට අධිකාරන්වරු සහ සිංහලෙ ර‍ටවල්වලද දිසාවල්වලට ද දිසාපතිවරු" ආදි වශයෙන් ගිවිසුමේ මුල් වැකියේ ම මේ රට හඳුන්වා ඇත්තේ සිංහලේ යනුවෙනි. ඉංග්‍රීසින් වහරට අනුව කන්ද කැන්ඩි වුවා සේම සිංහලේ සිලෝන් විය. අනතුරුව 1972 ව්‍යවස්ථා මේ රටේ නම ශ්‍රී ලංකාව යයි ව්‍යවස්ථාගත කරන තුරු මෙරට හැඳින්වුයේ වූයේ සිලෝන් යනුවෙනි. සිලෝන් යනු සිංහලේ යන්නේ ඉංග්‍රීසි වහර මිස අනෙකක් නොවේ. ඒ අනුව මේ රටට වසර දහස් ගණනක් තිස්සේ සිංහලේ යනුවෙන් හඳුන්වා ඇති බව දීන දාසලා නොදත්ත ද ජනතාව දනී.

මේ රට වැසියා සිංහල වූයේ ද ඔවුන් සෙසු ලෝකයෙන් වෙන් වූ ආර්ය ලේ සහිත උසස් ජාතියක් නිසා නොවේ. මේ රටේ පිහිටීම නිසා විශේෂයෙන් පෙර අපර දෙදිග යා කළ සේද මාවතේ පිහිටීම නිසා රට වැසියා තුළ ලොව සියලු ලේ වර්ග මිශ්‍ර වී තිබීම අනිවාර්ය වෙයි. එසේ නම් ඔවුන් සිංහලයින් වන්නේ කෙසේ ද? ඒ අන් කිසිවක් නිසා නොව මේ රට සිංහල රට වූ නිසා ය. ඒ රටේ වැසියා කතා කරන භාෂාව සිංහල වූයේ ද රට සිංහල නිසා ය. ඔවුන්ගේ සංස්කෘතිය සිංහල වන්නේ රට සිංහලය නිසා ය. එය වසර දෙහස් තුන්සියයකට වැඩි ඉතිහාසයක සිට බුදු දහම ඇසුරින් පෝෂණය වූ හෙයින් එහි හර පද්ධති, ඇගයුම්, වටිනාකම් බුදු දහම ඇසුරින් නිර්මාණය වූ හෙයින් එය සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. ඒ සෙවණේ සෙසු උප සංස්කෘති වැඩෙයි. එහි වැසියෝ බෞද්ධ, හින්දු, කතෝලික හෝ ඉස්ලාම් විය හැකි ය. ඔවුහු සිංහල බෞද්ධ, සිංහල හින්දු, සිංහල කතෝලික හෝ සිංහල ඉස්ලාම්හු වෙති. එය රටේ ජනතාවගේ විඥානය තුළ කිඳා බැස තිබේ. මහගම සේකරයන් "මේ සිංහල අපගේ රටයි! අප උපදින මැරෙන රටයි!" යනුවෙන් ලීවේ ඒ ඉතිහාසය මත පිහිටා ය. මේ ඉතිහාසය නොදත් දාස ලා ගැන ලැජ්ජා වන අතර තමන් සිංහල ඉස්ලාමිකයන් බව කියන පිරිසක් නිර්මාණය බිහි වීම පිළිබඳ අපි ආඩම්බර වෙමු.

අදට සාපේක්ෂව ජේ. ආර්. ජයවර්ධන, ප්‍රේමදාස සහ විජේතුංග සමයේ එක්සත් ජාතික පක්ෂයට කිසියම් බෞද්ධ ලක්ෂණයක් තිබිණි නම් දැන් රනිල් වික්‍රමසිංහ සමයේ එය ද දියවී ගොස් ලිබරල්, මාක්ස්, නිරාගමික, අබෞද්ධ, NGO ආදි සියලු බෞද්ධි විරෝධි කල්ලි රැස්වන අම්බලම බවට පත්ව තිබේ. ජේ. ආර්. ජයවර්ධනට සිය ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා මාතා ජාතික ගීය බව ද බුදු දහමට රටේ ප්‍රමුඛතාව හිමි විය යුතු බව ද බුදු දහම සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීමක් වන බව ද ඇතුළක් කිරීමට තරම් ශක්තියක් තිබිණි. එහෙත් එම පක්ෂයේ බලය අල්ලා ගෙන සිටින බෞද්ධ විරෝධි කල්ලිය නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළහොත් මේ වගන්ති දෙක මුලින් ම ගැලවී යන බවට කවර නම් සැකයක් ද? එවැනි යෝජනාවක් ගෙන ආවහොත් ඊට එරෙහිව රනිල් ලා, දාසලා, එරාන් ලා, රවි ලා, රෝසි ලා, රන්ජන් ලා, හරීන් ලා අවි අමෝරා කඩා පනිනු ඇත. එහෙයින් රටේ ඉතිහාසයට අවමන් කිරීමේ සහ එය බලෙන් අමතක කරවීමේ මේ ද්‍රෝහී ක්‍රියාදාමයට එරෙහිව දේශප්‍රේමී සියලු දෙනා උදේ හවස "මේ සිංහල අපගේ රටයි! අප උපදින මැරෙන රටයි!" ගීතය ශ්‍රවනය කළ යුතු ය. එය තම දරුවන්ට අසන්නට සැලැස්විය යුතු ය. සිංහලය යනු මේ රට බවත් මේ රටේ මේ සංස්කෘතිය සෙවණේ වෙසෙන සියලු දෙනා සිංහලයින් බවත් ඒ දරුවන්ට කියාදිය යුතු ය. එම ගීතය දුරකතනයේ රිගිංටෝනට බවට පත් කර ගෙන මේ ද්‍රෝහී ක්‍රියාදාමයට එරෙහිව සිය විරෝධය පළ කළ යුතු ය. බ්‍රිතාන්‍ය රැජින එංගලන්ත ඇන්ගිලිකන් පල්ලියේ ප්‍රධානියා බව ද ඇමරිකන් ජනාධිපතිවරයා සිය ධූරයෙහි දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබා දිවුරමින් බවත් අපි දාසලාට සිහිපත් කරන්නෙමු. දාසලා වඳින පුදන ඊනියා බටහිර ලිබරල් මතවලට ඒ රටවල සම්ප්‍රදායන් වෙනස් කිරීමට හැකියාවක් ලැබී නොමැත. එහෙයින් එම යල්පිනූ මතවාද රැගෙන මේ රටේ සංස්කෘතිය, හර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ කොට මේ රටේ ජනතාව අනවශ්‍ය ගැටුම්වලට ඇද ගැනීමට කටයුතු නො කළ යුතු බව අපි දාසලාට අවධාරණය කරමු.

නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් පිහිට වූ දින සිට ජාතික නිදහස් දිනය, ජාතික විජයග්‍රහණ දිනය සුදු නෙළුම්, තවලම් පන්නයේ පොංගුතමිල් උළෙලවල් බවට පත් කර දියාරු කළ මේ පාලකයෝ වෙසක් පොහොය දිනය වෙනුවෙන් පවා ලබා දී තිබුණේ අවම රාජ්‍ය අනුග්‍රහයකි. කොටින් ම කිවහොත් වත්මන් පාලකයෝ සිංහලයින්ට කළ හැකි සියලු කෙනහිලිකම් කරමින් රිදවමින් සිංහලයින්ගෙන් පළිගනිමින් සිටිති. මේ රට සිංහල රට යැයි හැඳින්වීමට පවා එරෙහි වන දාස ලා දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටින සියලු වරදාන ලබා දීමට සැදී පැහැදී සිටිති. ඒ අතර දෙමළෙන් ජාතික ගීය ගැයීමට අවරස දෙති. උතුරේ කොටි සැමරුම්වලට අවසර දෙති. අධි ආරක්ෂිත කළාප ඉවත් කරති. පොලිස් කොට්ඨාශ පිටින් ඉවත් කරති. හමුදාව බැරැක්කවලට ගාල් කරති. රට වෙනුවෙන් පෙනී සිටි බෙදුම්වාදයට එරෙහි සියලු රාජ්‍ය නිලධාරීන් සිංහල දෙමළ භේදයකින් තොරව කෙනහිලිකම් කරති. එහෙත් දේශප්‍රේමි ජනතාව මේ නොපනත්කම්වලට හිස නොනැමිය යුතු ය. ඉතිහාසය පුරා සිය මුතුන් මිත්තන් අයුක්තිය අසාධාරණය හමුවේ නැඟී සිටියා සේ නැඟී සිටිය යුතු ය. සිය රට දැය සමය මතු පරපුරට ආරක්ෂා කර දීම වෙනුවෙන් සටන් කළ යුතු ය. රටේ සතුරන් ඒ වෙනුවෙන් වන්දිය ලෙස විජිතපුරය, ගන්නෝරුව, මුල්ලේරියාව, වෙල්ලමුල්ලිවයිකාල් සටන් බිම් සියයක් ඉල්ලා සිටින්නේ නම් ඒ සියල්ල ලබා දීමට නොපසු බට විය යුතු ය. යුද්ධයේ ජයග්‍රහණයක් නොමැති බව නිවට පරපුර කීව ද ඉතිහාසය පුරා සතුරා විසින් අවිහිංසාවාදී අප මත බලෙන් පැටවූ සියලු යුද්ධ අපි ජයග්‍රහණය කළෙමු. එහෙයින් බුදු දහමින් පෝෂිත මහා සංස්කෘතියක ජීවත් වන අපගේ නම්‍යශීලි අවිහිංසාවාදී නිහඬ ජීවන ක්‍රමය සතුරා දුබලකමක් ලෙස නොගත යුතු ය. 

~නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions