1/13/2015

ජාතිවාදයට එරෙහි වෙමු.

කතෘ:යුතුකම     1/13/2015   9 comments
අපි අභිනව ජනපතිදුට සුභ අනාගතයක් පතනෙමු.

එතුමාට මනාප ලැබූ ආකාරය පිලිබදව නොයෙකුත් ආකාරයේ චිශ්ලේෂණයන් මේ දිනවල අසන්නට ලැබේ. කුමන ජාතියකගේ , කුමන ආගමක් අදහන අයකුගේ ඡන්දය ලබා ගත්තද ඔහු ලබාගත්තේ ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය. එනිසා එතුමා අපගේ වත්මන් ජනපති බවට පිලිගැනීමට කිසිවකුත් සිතෙහි කහටක් තබා ගත යුතු නැතැයි සිතමු.

ඔහු ලබාගත් ඡන්දවලින් අතිශය බහුතරයක් සිංහලයන්ගේ ඡන්දය. දමිල සහ මුස්ලිම් ජනතාව කෙලෙස ප්‍රතිචාර දැක්වූවත් සිංහලයන්ගෙන් සෑහෙන පිරිසක් ඔහුට ඡන්දය නොදුනි නම් ඔහු ජයගන්නේ නැත. එනිසා ඔහු සිංහල, දෙමළ, මුස්ලිම් යන සියළු ජනවර්ගයන්ගේ අනුමැතියෙන් පත් වූ ජනපතිඳුය.

එපමණකින් කියවෙන්නේ මේ ඡන්ද ප්‍රතිපලය දෙස ජාතිමය පදනමකින් නොබැලිය යුතු බවද? නැත. එය එසේද නොවේ. ඡන්ද ප්‍රතිපල දෙස බලා සිටි ඕනම අයකුට එය ජාතිකමය පදනමකින් විමසුම් කිරීම වටනා බව පෙනී යා යුතුය. එසේ නම් කුමක්ද මේ පිලිබඳ වඩා නිවැරදි යයි අපට පිලිගත හැකි අර්ථකතනය? අපට හැඟෙන දැනෙන පරිදි මෙම මැතිවරණ ප්‍රතිපලය අප සියළු දෙනා විසින් පිලිගත යුතු අතරම ඒ මඟින් පොදුවේ සිංහලයින්ට යම් සංඥාවක්ද නිකුත් කර ඇත.

අති බහුතරයක් වන සිංහලයන් සැළකිය යුතු මට්ටමකට දෙකට බෙදුනහොත් ඔවුන් සංඛ්‍යාවෙන් කුමක් වුවත් ඔවුන්ට මේ රටේ කිසිදු තීරක බලයක් හිමි නොවන බව මෙම ඡන්දය අපට ඔප්පු කර පෙන්වූයේය. එවිට තීරක බලය හිමි වන්නේ දෙමළ සහ මුස්ලිම් සමාජයන් වෙතය. ඉතින් එහි ඇති වරද කුමක්ද? සිංහලයන් අඩකට මදක් අඩුවෙන් කැමති තීරණයකට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවෙන් අති බහුතරයක් කැමති නම් සමස්තය ගත් කළ ඒ තීරණයට වැඩි කැමැත්තක් ලැබීමේ අරුමය කිම? එහි සංඛ්‍යාත්මක අරුමයක් නැති බව සැබවි. නමුත් එහි දේශපාලනික අරුමයක් ඇත. එය පැහැදිළි කර ගන්නට නම් සිංහල ජාතිය සහ අනෙකුත් ජාතීන් එසේ හැසිරීමට හේතු දෙස අපගේ විමසුම් ඇස යොමු කළ යුතුය.

මහින්ද රාජපක්ෂ මහතාට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ඡන්දය ලබා දෙන සිංහලයන් එසේ කරනුයේ තම තමන්ගේ පාරම්පරික පක්ෂය, යුද්ධය හා සාමය, දූෂණය, සංවර්ධනය, අක්‍රමිකතා යනාදී කාරණා මුල් කර ගෙනය. එය ඕනෑම රටක මිනිසුන් සිය ඡන්දය ලබා දෙන ක්‍රමය හා වැඩි වෙනසක් නැත. නමුත් දෙමළ හෝ මුස්ලිම් ජනයා එසේ නොවේ. ඔවුන්ද එලෙස සිතුවා නම් ඔවුන් ඡන්දය භාවිතා කරන ආකාරය බහුතර සිංහල ජනයා ඡන්දය භාවිතා කරන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් වන්නේ නැත. ඔවුන් සැළකුවේ ඒ කිසිවක් නොව. ඔවුන් සිය ජාතිය තුළ යම් පොදු එකඟතාවක් ඇතිවාක් මෙනි කටයුතු කරන ලද්දේ. ඔවුහූ ඡන්දයේදී ජාතිය බදා ගත්හ. සිංහලයෝ ඡන්දයේදී පක්ෂය සහ වෙනත් සටන් පාඨ බදා ගත්හ. එලෙස දෙකට බෙදෙන බහුතර සිංහලයන්ගේ බලය ශුන්‍යය වෙද්දී ජාතිය බදාගත් දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඉතා සුළුතරයකගේ බලය මෙරට තීරක හඬ බව පත් විය.

මෙහිදී අප තේරුම්ගත යුතු ඉතා වැදගත් කරුණක් ඇත. එනම් දෙමළ සහ මුස්ලිම් නායකයින් ජාතිවාදය අත්හැර නොමැත. ඔවුන් සිය පැවැත්ම උදෙසා ජාතිවාදය පතුරුවමින් එම ජනකායන් පොදු සංස්කෘතියක් වෙතට අවශෝෂණය වීම වලකමින් සිටිත්. ඔවුන්ගේ දේශපාලනයට බෙදුම්වාදී ජාතිවාදය හැරෙන්න වෙනත් පදනමක් නැත. සත්‍යය එය නම්, එය පැවසීම වරදක් නොව. වරද වන්නේ සත්‍යය සැගවිම නොවේද? ඇත්ත වශයෙන්ම සිංහල ජනතාව ජාතිවාදය බොහෝ දුරට අතහැර ඇත. 1983 කළු ජූලිය, මෙන්ම මෑතකදී ඇති වූ අලුත්ගම සිද්දියද ජනතාව පිළිකුලින් යුතුව හෙලා දකිත්. එය ඉතා සාධනිය තත්වයකි. එහෙත් සිංහලයා එකක් මතක තබා ගත යුතුය. දමිල සහ මුස්ලිම් නායකයින් සිය ජන වර්ගයන් වඩ වඩාත් ජාතිවාදය දෙසට ඇදගෙන යමින් සිටින බවයි. අප ජාතිවාදයට එරෙහි වනවා යනු ඇස් කන් පියාගෙන එය නොදැක්කා සේ සිටීමද? එසේ නිද්‍රෝපගතව සිටීම ජාතිවාදයට අනුබල දීමකි. අප ජාතිවාදයට ජාතිවාදී නොවී එරෙහි විය යුතුය. අද බහුතර සිංහල ජනයා සතු ප්‍රධාන යුතුකම එය නොවේද?

අප දෙමළ බෙදුම්වාදී ජාතිවාදයට මතවාදීව විරුද්ධ විය යුතුය. එසේ විය යුත්තේ සිංහලයින්ගේ පමණක් නොව, දෙමල, මුස්ලිම් සියලු ජනවර්ගයන්ගේ යහපත සහ සුභසිද්ධිය තකාය. ත්‍රස්තවාදයට ඉඩක් අපි නොතැබුවෙමු. එලෙසම බෙදුම්වදී ජාතිවාදී මතවාදයටද අප ඉඩක් තැබිය යුතු නැත. එහෙත් කුමන හෝ ජන වර්ගයකට යම් ගැටළුවක් ඇත්නම් එය විසදීමට සියළු දෙනා නොවළහා කටයුතු කළ යුතුය. ඉන් අදහස් කෙරෙන්නේ ඔවුනගේ ජාතිවාදී ඉල්ලීම්වලට ඉඩ දිය යුතු බවක් නොව. ඔවුන්ගේ ගැටළුව කුමක්දැයි අප ප්‍රථමයෙන් විමසා සිටිය යුතුය. ඇත්ත වශයෙන්ම අප විසඳුම් කතා කරනවා මිස විසදුම් දෙන්නේ කුමන ප්‍රශ්නයකටදැයි කියන්නට දන්නා එකෙකු නැත. නමුත් අපි විසඳුම් කතා කරනෙමු. දමිළ මිනිසකුට දමිළ වීම නිසා මේ රටේ යම් ගැටළුවක් ඇත්ද? ඒ කුමක්ද? මෙය ඉතා පැරණි පැනයකි. නමුත් අදටත් නිරවුල් පැහැදිලි කිරීමක් අප දැක නැත. කිසිවකුත් දැක ඇතැයිද සිතීමටද උගහටය. නමුත් අපි විසදුම් කතා කරන්නෙමු. ප්‍රශ්නය නොදැන විසඳුම් කතා කිරීම තකතීරු කමක් නොවන්නේද?

දමිළ සහ මුස්ලිම් නායකයින් ජාතිවාදී ආස්ථානයක පිහිටා දේශපාලනය කරන බවත් ඒ සඳහා සිය ජනවර්ගයන් මෙහෙයවමින් භාවිතා කරන බවත් පැවසීම ජාතිවාදයක් නොව. යථාර්ථය දැකීමකි. ජාතිවාදයට එරෙහි වීමකි. නමුත් අද අපගේ ඇතැම් සිංහලයෙක් හැසිරෙන්නේ කෙසේද? සිය දේශපාලන කල්ලියට පාඩුවක් වේ යයි බියකින් මෙම යථාර්ථය පවසමින් ජාතිවාදයට එරෙහි වන සිය සඟයාට 'ජාතිවාදියා' යන ලේබලය ඇලවීමෙනි. ‍එය ජාති වාත්සල්‍යයක් නම් නොව, එය අභිබවා ගිය පක්ෂ වාත්සල්‍යයකි. පක්ෂ වාත්සල්‍යයෙන් පෙළෙන සිංහලයා සිය දෙනෙත් අදව තමනට ඇති අභියෝගය නොදැක කටයුතු කළහොත් මේ රට තුළ නැවත වරක් ජාතිවාදය හිස ඔසවනු නොඅනුමානය. ජාතිවාදය නොදැකීමද ජාතිවාදයකි.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/06/2015

අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

කතෘ:යුතුකම     1/06/2015   3 comments

⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

 ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

 ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

 ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

 ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

 ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

 ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය. දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/05/2015

මව්බිමේ ජය පතා නිවැරදි තීන්දුව ගනිමු!

කතෘ:යුතුකම     1/05/2015   9 comments
2010 ජනාධිපතිවරණයෙන් පසු මේ රජයේ ගමන් මඟ පිළිබඳ මා තුළ කිසිදු පැහැදීමක් නැත. එහෙයින් පසු ගිය කාලයේ දිගින් දිගට ම ආණ්ඩුවේ අකටයුතු විවේචනය කළ මම ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී පක්ෂ සහ සංවිධාන මහින්ද රාජපක්ෂට සහාය පළ කරන්නේ නම් එය කොන්දේසී සහිතව කළ යුතුය යන මතය දැරුවෙමි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට කොන්දේසී විරහිතව සහාය දීම නිසා සිදුවනුයේ මේ ආණ්ඩුව සමඟ ජාතිකවාදීන් ද පරාජයට පත්වීම සහ ආණ්ඩුවේ සියලු පව්වලට ජාතිකවාදීන්ට කර ගැසීමට සිදුවීම බව ද කීවෙමි. එහෙත් අපේ ජාතිකවාදී පක්ෂ මෙන් ම නායකයින් ද කැමති අනෙකා කපා තමා මුදුනා විමටය. විමල්, පාඨලි, දිනේෂ්, නලින්, අමරසේකර ආදී පිරිස එකතු වී කිසියම් ප්‍රභල බලයක් නිර්මාණය කොට, අනතුරුව මහින්ද රාජපක්ෂට කොන්දේසී ඉදිරිපත් කර, ඔහුගේ ජයග්‍රහණය ඔස්සේ ඒ අරමුණුවලට යෑමේ මඟ මේ කුළල් කා ගැනීම නිසා අහිමි විය.


අනෙක් අතට හෙළ උරුමය කිසියම් කොන්දේසී මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ ඊට එකඟ වන්නේ නම් සහාය දිය හැකි බව ප්‍රකාශ කිරීම ඉදිරි පියවරක් විය. මේ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා හෙළ උරුමය ආණ්ඩුවේ රඳවා ගැනීමට, මේ ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ උද්දච්චකම සහ තමන් පිළිබඳ ඇති අධිමානය ද අනෙකා පිළිබඳ ඇති අවමානී හැඟීම ද හරස් විය. මෙහි දි හෙළ උරුමය ජාතිකත්වය වෙනුවෙන් තම පක්ෂය තුළින් වෙන ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටියෙමි. ඒ අපේක්ෂකයා පාඨලි චම්පික රණවක විය යුතු බව ද තම කොන්දේසීවලට මහින්ද රාජපක්ෂ එකඟ වන්නේ නම් පාඨලීට ගිවිසුමකට අනුව තරඟයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු යැයි ද අපේක්ෂා කළෙමි. එහෙත් සිදුවූයේ හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කිරීම ය. 

පොදු සන්ධානය සමඟ හෙළ උරුමය එක්වීම සමඟ පොදු අපේක්ෂකගේ පාර්ශවයට ද ජාතිකත්ව ස්වරූපයක් ලැබිණි. විශේෂයෙන් චන්ද්‍රිකා, රාජිත, මංගල ආදී ආදී ෆෙඩරල්වාදී, ජාතික විරෝධි, රටේ ඒකීයත්වය පිළිනොගන්නා පිරිස්වල බලය හෙළ උරුමයේ ජාතිකත්ව ඒකීයත්ව බලය හමුවේ දියාරු වී යනු ඇතැයි අපේක්ෂා කළ අප හෙළ උරුමය කෙරෙහි විශ්වාසය තබා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය වීමට තීරණය කළෙමි. එහෙත් නොබෝ දිනකින් ම හෙළ උරුමයේ ගම්මන්පිල ප්‍රමුඛ පළාත් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් 29 දෙනාගෙන් 22ක් නැවත ආණ්ඩුව සමඟ එක් විය. හෙළ උරුමය මෙවර ගත් දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් හෙළ උරුමය තුළ පවා මතවාදීමය එකඟතාවක් හෝ විශ්වාසයක් නොතිබුණු බව ඉන් පැහැදිලි වේ.

අනෙක් අතට ආණ්ඩුවේ සිටි බොහෝ දූෂිත අන්තවාදී කල්ලී සියල්ල පොදු අපේක්ෂක වටා රොක්විය. තමන් අධිකරණ ඇමතිව සිටිය දී නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හලාල්කරණය කළ හකීම් මෛත්‍රීට එක් විය. ඒ දිගු කලක් තිස්සේ ආණ්ඩු සමඟ කේවල් කළ මුස්ලිම් පරිපාලන ඒකකයක් සඳහා මහින්දගේ අනුමැතිය නො ලැබුණු නිසා ය. අනෙක් අතට මේ වසලයා 2005 මෙන් ම 2010 ද මහින්ද රාජපක්ෂට විරුද්ධව අපේක්ෂකයාට සහාය වූ බව ද යුද්ධය තීව්‍ර අවස්ථාවේ එනම් 2007 වසරේ තම ද්‍රෝහීත්වය මොනවාට ප්‍රදර්ශනය කරමින් නැවත විපක්ෂයට ගිය බව ද සිහිතබා ගත යුතු ය. ඒ පසුපස බැසිල් රාජපක්ෂගේ හුරතලා රිෂාඩ් බදූර්දීන් ද විපක්ෂයට ගියේ ය. තහීඩ් ජමාද් නමැත් අන්තවාදී මුස්ලිම් කල්ලිය නිර්මාණය කර මේ රටේ බෞද්ධ - මුස්ලිම් සමගිය විනාශ කළේ ද අධිකරණයට ගල් ගැසූ, රක්ෂිත වනය කපා මුස්ලිම් කොලනි නිර්මාණය කළ මේ බදූර්දීන් ය. දැන් මේ සන්ධානය තුළ අසාද් සාලි ද තහීඩ් ජමාද් ඇතුළු සියලු මුස්ලිම් අන්තවාදී කල්ලි ද කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී කල්ලිය වන ද්‍රවිඩ සන්ධානය ද එකමුතු වී සිටී.

මර්වින් සිල්වා සිය සන්ධානයට නොගන්නා ලෙස ද තිස්ස අත්තනායක නැවත පැමිණියහොත් තමන් ඉවත් බව ද කීමට තරම් එඩිතර වූ අතුරලියේ රතන හිමි මේ මුස්ලිම් කල්ලිවලට විරුද්ධව කිසිවෙක් නො කීවේ ය. කොටි සංවිධානය විනාශ කිරීමෙන් පසු මේ රටේ සිදුවුණු සියලු අන්තවාදී ක්‍රියා පිටුපස සිටි මුස්ලිම් අන්තවාදී කල්ලි ය. ඒ අකටයුතුකම් ජඩකම් සමාජයට අනාවරණය කරමින් සමාජය තුළ විරෝධතාවක් ගොඩනැඟූ හෙළ උරුමය මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ඉවසුවේ ඇයි දැයි මට අවබෝධ කරගත නො හැකි ය. අනෙක් අතට මොවුන් සමඟ යහ-පාලනයක්, මෛත්‍රී පාලනයක් ගොඩනඟන්නේ කෙසේ දැයි අවබෝධ කරගත නො හැකිය. දැන් සිදුවිය හැක්කේ මෛත්‍රී දිනුවහොත් එම ආණ්ඩුවේ ද ප්‍රභල ඇමති ධූර හිමි කරගෙන, දඬුවම් ලැබිය යුතු කල්ලි යෙහෙන් වැජඹීමය. ඒ අනුව අප අපේක්ෂා කළ කිසිවක් මේ හවුල ඔස්සේ ලබා ගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි ය. පාර්ලිමේන්තු ආසන දෙකක් සහිත පාඨලි ප්‍රමුඛ හෙළ උරුමයේ කේවල් කිරීමේ බලය බෙදුම්වාදී රාජිත සහ මංගලගේ බලයට කැපී ගිය විට ද්‍රවිඩ සන්ධානය සතු ආසන 14න් ද හකීම් සතු ආසන 8න් ද බදුර්දීන් සතු ආසන 2න් ද නැවත රට බෙදුම්වාදී දිශානතිය වෙත යොමු කළ හැකි ය. එසේ නම් විය හැක්කේ 2005 සිට අප ජාතිය දුක් විඳ ලබා ගත් ජයග්‍රහණ ද අහිමි වීම ය.

මෑත ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථක ම නායිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණයට පෙර උතුරට ගොස්, රාජපක්ෂ පාලනයට වඩා මෘදු මෛත්‍රී පාලනයක් තුළ සිය බෙදුම්වාදී අරමුණු කරා වේගයෙන් යෑමට හැකි පරිසරය නිර්මාණය කෙරෙන බවට ඉඟියක් ලබා දෙමින් මිස්ටර් ප්‍රභාකරන් යැයි කියා අළු යට ඇති බෙදුම්වාදී ගිනි පුපුරුවලට පිඹ අත්පොළසන් නාදයක් ද ලබා ගත්තා ය. බින් ලාඩන් ජීවත්ව සිටින කාලයේ ම ලොව භයානක ම ත්‍රස්තවාදියා බවට ඇමරිකාව ද නම් කළ ප්‍රභාකරන්ට, මේ රට තිස් වසරක් සිංහල දෙමළ ලෙයින් තෙත් කළ ප්‍රභාකරන්ට, ඔහුගේ මළ ගමින් පසුව ද මිස්ටර් යැයි අමතන චන්ද්‍රිකා කුමාරතුංග, තමන්ගේ ද ඇසක් උදුරා ගත් ප්‍රභාකරන් විනාශ කර රට එක්සේසත් කළ ජනාධිපතිවරයාට අමතන්නේ මහින්ද රාජපක්ෂ නමිනි. බෞද්ධ විරෝධී මංගල සමරවීර බෞද්ධකමක් ගෑවි නැති චන්ද්‍රිකාගේ මේ ක්‍රියාව ඈ සතු බෞද්ධ හැදියාවේ ලක්ෂණයක් ලෙස දකින අතර තමන් එසේ කීවේ සමච්චලයට යැයි චන්ද්‍රිකා විසින් පැහැදිලි කිරීම එම හැදියාවේ නිරුවත අප හමුවේ තබා තිබේ. අදටත් තමිල්නාඩුවේ සහ බටහිර රටවල මහින්දගේ අනුරුව තනා ඒවාට සෙරෙප්පුවලින් පහර දී, ගිනි තැබීම කරන බෙදුම්වාදීන් පිනවීමට ඈ දැන් සිට ම ක්‍රියාත්මක වන ආකාරයෙන් මෛත්‍රී පාලනය තුළ ඇගේ හැසිරීම අනුමාන කළ හැකි ය.

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන යහපත් මිනිසෙකු වුව ද පාඨලි චම්පික රණවක ජාතිකත්වය නියෝජනය කළ ද අපට දරාගත නොහැකි මහා මෙරක් තරම් බරක් අවධානමක් ඔවුන් බරට සිටින චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, හකීම්, බදූර්දීන්, තහීද් ජමාද්, අසාද් සාලී, සම්බන්ධන් කල්ලියට හිමිය. මේ සියලු දෙනා සිංහල බෞද්ධ විරෝධීය. ජාතිකවාදයේ හතුරෝය. රටේ ඒකීයත්වය පිළි නොගන්නෝය. දේශපාලන විසඳුම් ගැන අදත් නන්දොඩවන්නෝ ය. මේ රෝග ලක්ෂණවලට එක්වූ හුදු මහින්ද රාජපක්ෂ විරෝධයෙන් ඔබ්බට ගිය දැක්මක් මොවුන්ට නොමැත. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය තුළ අප අපේක්ෂා මුදුන් පත්වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමට නො දෙවෙනි අමනකමකි.

එහෙයින් මේ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේ දී මහින්ද රාජපක්ෂ පාලනයේ සීමා පිළිබඳ විවේචන තිබුණ ද, ඒ සීමා අතික්‍රමණය කළ හැකි නායකයෙකු නිර්මාණය කර ගත යුතුව තිබුණ ද මේ මොහොත වන විට ඒ සඳහා පැවති සියලු කවුළු වැසී ඇති බව පැහැදිලි වෙයි. රටට අවශ්‍ය නායකත්වය බිහි කර ගන්නා තුරු දන්න යකා ආරක්ෂා කිරීමට සිදුවෙයි. එසේ නොවුණහොත් රට නැවත අගාධයට ඇද දැමිය හැකි දුර්වල පාලනයක්, ජාතිකත්වය වෙනුවට විජාතිකත්වය රජ විය හැකි පාලනයක්, සිංහලකම, සිංහල බෞද්ධකම අනාගමිකත්වයේ සළු පොටට මුවා වී යටපත් කළ හැකි පාලනයක්, මුස්ලිම් අන්තවාදය අදටත් වඩා නිදහසේ වැඩීමට ඉඩ සලසන පාලනයක්, මුළු මහත් ජාතිය සප්ත මහා සාගරය පරයන ලේ කඳක් හෙළා දිනා ගත් නිවහල් ඒකීය රට නැවත බෙදුම්වාදය කරා ඇද ගෙන පාලනයක් රට එක්සේසත් කර වසර 5ක් තුළ නැවත බිහිවීමේ මහා අවධානමක් අද රට හමුවේ පවති. මේ අවධානම පරාජය කළ හැක්කේ රටේ ඒකීයත්වය ගරු කරන අප දිනාගත් නිදහස අගයන අන්තවාදී නොවන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලු ජන කොටස්වල එකතුවෙනි.

මහින්ද රාජපක්ෂ සිය දෙවැනි ධූර කාලය තුළ 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තනාගත හැකි වුව ද ඔහු ඒ බලය භාවිත කළේ රටේ යහපතට නොවේ. ඒ සඳහා ජාතිකවාදී පක්ෂ එකමුතුව මීට වඩා බලපෑමක් කළ යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ සිය වාසිය සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණි. කෙසේ වුව ද විවිධ වරදාන වරප්‍රසාද ලබා දී තබා ගත් සියලු අවස්ථාවාදීන්, අන්තවාදීන්, ඊළාම්වාදීන් මේ වන විට ආණ්ඩුවෙන් පිටතට ගොස් ඇත. ඒ පිරිස් නැවත සිය ආණ්ඩුවට නො ගන්නා බවට මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. අනෙක් අතට රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රකාශනයේ පවසා තිබේ. එහෙයින් ආණ්ඩුවේ අට අනූවක් ව්‍යාදීන් අමතක කර මහින්ද රාජපක්ෂ තව දුරටත් ජනාධිපති ධූරයේ තබා ගැනීමට අප කටයුතු කළ යුතුව ඇත. ඒ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙනි. දිනු නිදහසේ සුරක්ෂිතතාව වෙනුවෙනි. මාතෘ භූමියේ අනාගත ඒකීයත්වය වෙනුවෙනි.

මාගේ ආදරණීය මාතෘ භූමිය සදාකල් දිනේවා!!!

-නාමල් උඩලමත්ත
 

දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා

කතෘ:යුතුකම     1/05/2015   6 comments

2015 ජනවාරි 8 වනදා ඔබ භාවිතා කරන ඡන්දයෙන් රටේ ඉදිරි අනාගතය තීරණය වන බව ඔබ අප සියලු දෙනාම දන්නා කරාණයකි. එය ධනාත්මකව හෝ ඍනාත්මකව අප රටේ දේශපාලන පසුබිම වෙනස් කරනු ඇත. ඒ හා අනුරූපව සංස්කෘතික,සමාජයීය වෙනසක් ද බලාපොරොත්තු විය හැකිය.
 
යුද්ධය අතීතය, වත්මන හා අනාගතය 

සමාජවිද්‍යාවේ හා දේශපාලන විද්‍යාවේ සඳහන් වන බෙදා පාලනය (divide and rule) මගින් යටත් විජිත සමයේ ඇතිකලා වූ බෙදුම්වාදය මුකුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස වසර 30ක යුද්ධයක් ඇතිවිනි. මෙම යුද්ධය නිසා ජීවිත දහස් ගණනක් අහිමිවී ගොස් රට අරාජික වී තිබිනි. මෙයට යුධමය විසඳුමක් හෝ සාමකාමී විසඳුමක් ලබාදීමට විවිධ රාජ්‍යනායකයින් ගත් විවිධ උත්සාහය ව්‍යක්ථ වී ගියෙය. මෙම ගැටලුවට මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස දෙස් විදෙස් රාජ්‍ය නායකයින් , රාජ්‍ය තාන්ත්‍රිකයින් තම ජීවිතවලින් වන්දි ගෙවූහ. මෙවන් සමයක 2005 දී බලයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දේශපාලන නායකත්වය යටතේ 2009 මැයි මස 19 වෙනි දින කොටි ත්‍රස්තවාදීන්ව යුධමය වශයෙන් පරාජය කරන ලදී. නමුත් අප පැහැදිලි කරගතයුතු දෙයක් නම් දෙමළ නිජබිම් සංකල්පය තවමත් ශ්‍රී ලංකාව තුල යහමින් පවතින බවයි. ඒ පිලිබඳ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සංධානයේ ප්‍රකාශ , දමිළ ඩයස්පෝරාවේ ප්‍රකාශ සලකා බැලීම ප්‍රමානවත්ය. වසර සිය ගණනක්, පරම්පරා ගණනක් දමිළ ජනතාවට පොවන ලද බෙදුම්වාදී විස අද කෙමින් වියැකී යමින් තිබුනත් එය අළු යට ගිනිපුපුරු මෙන් තවමත් මතු කල හැකි කාරණයකි. දෙමළ ජාතීන්ට දෙමළ වීම නිසා අප රට තුල ප්‍රශ්නයක් නැත. එහෙයින් බෙදුම්වාදය පරාජය කිරීමටනම් කල යුතුව ඇත්තේ මේ බෙදුම්වාදී දේශපාලන කන්ඩායම් පරාජය කොට ඔවුන්ට අරමුදල් සපයන ඊනියා දෙමළ හිතවාදී ඩයස්පෝරා අකර්මන්‍ය කිරීමයි. එවිට බෙදුම්වාදී විස තවත් ඔවුන් තුලට නොයනු ඇත. ඔවුන් පෙර මෙන් සංස්කෘතිය හා මුහුව සාමකාමීව දිවි ගෙවන ඇත.

2005 න් පසු ලංකාවේ දේශපාලන පසුබිම 

සමානුපාතික ඡන්ද ක්‍රමය මත ගොඩන්ගෙන්නේ අස්ථාවර පාර්ලිමේන්තුවකි.ඒතුල ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයෙකු වූ පමණින් රටේ දේශපාලනය ස්ථාවර නොවේ. එම පාර්ලිමේන්තුවද ශක්තිමත් විය යුතුය. 2005 න් පසු ලංකාව තුල ඇතිවූ පාර්ලිමේන්තු ස්ථාවර පාර්ලිමේන්තු විය. අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පිහිටවූ පාර්ලිමේන්තුව ආණ්ඩුවේ 2/3 ක බහුතරය සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් වන අතර පිල් මාරු මගින් සෙලවිය හැකි හැකි පාර්ලිමේන්තුවක් ද නොවිනි. ඒ තුල බෙදුම්වදයට පාර්ලිමේන්තුව තුල ඉඩක් නොවුනි.

අස්ථාවර පාර්ලිමේඅන්තුව හා බෙදුම්වාදය

අස්ථාවර පාර්ලිමේන්තුව බෙදුම්වාදීන්ගේ රස බොජුනකි. පාර්ලිමේන්තුවේ බහුතරය තීරනය වන්නේ මන්ත්‍රි ආසන සුළු ගණනකින් නම් බෙදුම්වාදී දේශපාලන පක්ෂවලට මුලු පාර්ලිමේන්තුවේම පාලක බලය ලැබේ. එමගින් තම බෙදුම්වාදී අදහස් මුදුන්පත් කරගැනීම ඔවුන්ගේ සිරිතයි.මේ තුල ගොඩ නැගෙන දේශපාලන අස්ථාවරභාවය; සමාජීය, අර්ථිකමය හා සංස්කෘතික අවපාතයක් ඇතිවීම දක්වා උඩුදිවීම නැවැත්විය නොහැක. මේ සඳහා සජීවී උදාහරණ අපි දැක ඇත්තෙමු. එවන් අරාජික රටක් බිහි කිරීමේ වරද නොකර සිටීමට අපි සියලු දෙනාට බල කොට සිටිය යුතුව ඇත්තෙමු

විදෙස් කුමන්ත්‍රන බොරුවක් ද?

විදෙස් කුමන්ත්‍රන වලින් රට ආරජික කිරීම හුදෙක් සටන් පාඨයක් ලෙස සමහරක් ඊනියා බුද්ධිමතුන් විචාරය කරයි. නමුත් පසුගිය දශකය දෙස හැරී බැලීමේදී මෙම ඊනියා විචාරය විහිළුවක් බව පෙනීයයි. ඇමරිකාව , එංගලන්තය ,එක්සත් ජාතීන්ගේ සංවිධානය , දෙමළ ඩයස්පෝරාව, තමිල්නාඩුව එකී මෙකී නොකී සියලු අභියෝග අපි හොඳින් දැක ඇත්තෙමු. රටේ ඇති ස්ථාවරභාවය හමුවේ බල විරහිතව සිටින බටහිර තානාපති කාර්යාල අස්ථාවරභාවය ඇති කිරීමට ඩොලර්, පවුම් ක්‍රෝන විසිකිරීම අද ඊයෙක සිදුවූවක් නොවන බව අප දනිමු. අප ඡන්දය ප්‍රකාශ කල යුත්තේ මෙවන් පසුබිමක බව මතකතබා ගත යුතුව ඇත

ප්‍රාධන අපේක්ෂකයින් හා රටේ අනාගතය 

මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහන අනුව රටේ අනාගතය කෙබඳු වනු ඇතිද? මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රනය කලහොත් රටේ ස්ථාවරභාවය නොනැසී අඛන්ඩව පවතිනු ඇත. ඒතුල ස්ථාවර පාර්ලිමේන්තුවක්ද ඒහා බැඳුනු ස්ථාවර සමාජයක්ද ගොඩනැගෙනු ඇත. අප වැඩියෙන් අවදානය යොමු කලයුතුව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත් කුමක් සිදුවනු ඇතිද කියායි. මක්නිසාදයත් ඔහු ජයගතහොත් ආණ්ඩුව විසින් "අශුද්ධ සංධානය " ‍යැයි හඳුන්වන පක්ෂ එකතුව බෙදී වෙන්වී යන බැවිනි.ඉන්පසු සිදුවනු ඇත්තේ කුමක්ද ? අනිවාර්‍යයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව විසුරවා හැරීමට සිදු වනු ඇත. මක්නිසාද යත් දැනට පවතින මහින්ද හිතැති ශක්තිමත් ආණ්ඩුව අඩපණ කිරීමටයි. ඉන්පසු බිහිවන ආණ්ඩුව නිසැක වශයෙන්ම අස්ථාවර බෙදී වෙන්වී ගිය ආණ්ඩුවක් වනු ඇත. බලය ස්ථාවර කරගැනීමට සුළු ජාතික බෙදුම්වාදී පක්ෂවල සහය ගැනීමට ජනාධිපතිට සිදුවනු ඇත.ඔවුන්ගේ සහය ලබාගැනීමට ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා ඉටුකරදීමට සිදුවනු ඇත. ඒ තුල 13න් එහා යන ෆෙඩරල් පාලනයක් සිහිනයක් නොවනු ඇත . රට අස්ථාවර වනු ඇත කැරලි කෝලාහල , කලු ජූලි අතර අරාබි වසන්ත ලංකාවට ගෙන ඒමේ තානාපති කාර්යාල වල සිහිනය සැබෑවනු ඇත. එදිනට අද කෑමොර දෙන තමා ජාතිකවාදීන් යැයි කියාගන්නා කිසිදු නායකයෙක් ඉදිරිපත් නොවනු ඇත. ලොව කොතැනකවත් නැති යහපාලනයක් ගැන සපථ කරමින් නන් දොඩමින් එන මිස්ටර් පිරබාහරන් අමතන බෙදුම්වාදී නඩය තම කොටස් බෙදාගෙන පසෙකට වනු ඇත. වසර 30ක් තිස්සේ බෙදුම්වාදයට තුඩුදුන් ,ලේ කඳුලු දහඩිය වගුරා දිනාගත්තාවූ ශ්‍රී ලංකා මාතාව බෙදුම්වාදයට යට වනු ඇත.

අසීමිත වෙහෙසක් දරා ලක් මාතාව දිනාගත් මේ ස්ථාවරත්වය රැක ගැනීම අප සැමගේ වගකීමකි. දිනූ රට සුරකිනවා ද නැතිද යන්න තීරණය කරනුයේ අපයි. ඊනියා යහපාලනයේ සිහිනය වෙනුවෙන් රටේ ගමන හරවනවාද නැද්ද යන්න තීරනය කරන්නේ අපයි. බෙදුම්වාදී මනසින් දමිළ ජනයා ගලවා ගන්නවාද නැතිද යන්න තීරණය කරන්නේ අපයි. ඒ තීරනය ගෙන 8 වෙනිදාට ඔබේ ඡන්දය භාවිතා කරන්න. සියයට සියයක් දූෂණය නැති යහපාලනය ඇති රටක් ලොව නැත. එයට හේතුව එය කල නොහැකි වීමයි. එනමුදු ශ්‍රී ලාංකීය අප බලාපොරොත්තු වන ඒකීය රටක් බෙදුම්වාදයෙන් තොර රටක් කරා අපි යමින් සිටිමු. අවසාන වශයෙන් හෙළ උපමාවක් ඔබේ මතකයට නංවමි   

"දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා " 
-ඉසුරු රන්දෙනිකුමාර 1/3/2015
යුතුකම සංවාද කවය
www.yuthukama.com

චම්පිකලා ඒකීයභාවය රකින ආකාරය

කතෘ:යුතුකම     1/05/2015   1 comment
දේශපාලනයේ නියැළීමේ භයානකම අනතුර නම් දේශපාලනය නිසා තම මමත්වය ඉහළ යාමට ඇති අනතුරයි. දේශපාලකයන්ට තරම් අටලෝ දහමේ ද්වයක් වන නින්දා, ප්‍රශංසා බලපාන වෙන කිසිවෙකු නැති තරම්ය. ඒවා ඉවසීමට අවැසි තාදී ගුණය තමන් තුළ වර්ධනය නොකර ගත හොත් ඔවුන් දේශපාලනිකව මිය යාම වැළැක්වීම උගහටය.

අද හෙළ උරුමය නියෝජනය කරන පාඨලී චම්පික රණවක නමැති මිනිසා දෙස විචාරක්ෂියෙන් බලන ඕනෑම දේශපාලකයකු පමණක් නොව වෙනත් යහ මිනිසෙකුට වුව ඒ පාඩම අදාළය. අද ඔහු පවසන්නේ රටේ ඒකීයභාවය කිසිදු හානියක් නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවය. මේ උදාන වැකිය විශ්වාසය තබා සිරිසේන දිනවන්නට යැයි මෙරට මිනිසුන්ගෙන් ඔහු ඉල්ලා සිටියි. නමුත් රාජිතගේ හඬ පටය හෙළිදරව් වීමත් සමඟ ද්‍රෝහියා නිරුවත් වී ඇත. මෙරට ජාතික බලවේග විසින් පුල පුලා සඳහන කළ ආකාරයට සිංහලයන්ගේ ඡන්ද දෙකට බෙදා ඉන් පසුව රට දෙකට බෙදන වැහි නැති හෙණ වදින කුමන්ත්‍රණය දැන් රටට හෙළි වී හමාරය.

අපි ආසාවට මෙන් මදකට සිතමු සිරිසේන ජනපතිදු වී පාර්ලිමේන්තු බහුතරයක් වත්මන් විපක්ෂයට හිමිවූ කලක් ගැන. (මෙය රනිල් වික්‍රමසිංහ මහතාට පෙනිය හැකි නපුරුම සිහිනයයි. විපක්ෂ නායකකම ඔහුට දහ අතින් සම්පති.) ඒ සඳහා අවම වශයෙන් පාරිලිමේන්තු මන්ත්‍රීන් 113ක් ඔවුන් සතු විය යුතුය. හෙළ උරුමයට අද ආසන දෙකක් පමණි පාර්ලිමේන්තුවේ ඇත්තේ. ඔවුන්ගේ පක්ෂයෙන් පළුවක් අනෙක් පසට වී පිවිතුරු හෙළ උරුමයක් සාදාගෙන ඇත. නමුත් අප වඩා සාධාරණ වෙමින් හෙළ උරුමයට ආසන පහක්ම එකලක ඇතැයි උපකල්පනය කරමු. එවිට එම සිරිසේන ආණ්ඩුව තුළ අවම වශයෙන් ආසන 108 ක් සෑදෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා පාර්ශවය, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ සියල්ලත් සමඟිනි. මේ 108 ම (ස්ථාවර රජයක් නම් 108 ටද වඩා වැඩි විය යුතුය.) ලංකාව ඒකීය රටක් යන්න පිළි නොගනියි.

චන්ද්‍රිකා 1994 පටන් දත කෑවේද ඒකීයභායවට වැඩේ දීමටය. රාජ්‍ය සම්පත් විකුණා දැමීම හැර අන් කිසිදු කාර්යයක් නොකළ ඇගේ ඒකායන අරමුණ වූයේ ඒකීයභාවය නැති කිරීමය. ඇය සාම තවලම් ගියේ පමණක් නොව, ඇය යුද්ධ කළේත් රටේ ඒකීයභාවය විනාශකර දැමුමටයි. රට ෆෙඩරල් කෙරුමටයි. කැළෑ සතෙකු වූ ප්‍රභාකරම්ට ඊළමම එකවර වුමනා වූ නිසාය චන්ද්‍රිකාගෙන් රට බේරුණේ.

වත්මන් දෙමළ සන්ධානය මිනී නොමරයි. ඒ කාරණයේ දී අපට  මිස්ටර් සම්බන්ධන් යැයි පැවසිය හැකිය. නමුත් අප තේරුම්ගත යුතු කරුණක් ඇත. එනම් සම්බන්ධන්ලා අනුගමනය කරන්නේද දැන් ටිකක් පසුව හුඟක් යන චෙල්වනායගම් න්‍යාය බවයි. ප්‍රභාකරන් නමැති කෑළෑ සතාද එම න්‍යාය අනුගමනය කළා නම් අද ඔහු මිස්ටර් ප්‍රභාකරන් නොව ඊළාම් දේශයේ අතිගරු ජනාධිපතිතුමාය. චන්ද්‍රිකාලා රනිල්ලා යොදවාගනිමින් බටහිරයන් කරමින් සිටියේ  එසේ වීමට අවශ්‍ය ප්‍රථම තත්වය වන මිස්ට ප්‍රභාකරන් තත්වය සාදා දීමයි. මිසිස් චන්ද්‍රිකාගේ සහ මිස්ට වික්‍රමසිංගේ මිස්ට ප්‍රභාකරන් කෙනෙකු තැනීමේ ඒ ප්‍රයත්නය නතර කිරීමට එදත් එඩිව නැගී සිටියේ මෙරට දේශමාමක බලවේගයන්ය.

ඒකීයභාවය මෙරට ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය වුව රනිල්ගේ ශබ්ද කෝෂයේ එය නැත. ඔහු කියන්නේ එක්සත් රටක් ගැනය. එසේ පැවසීම ව්‍යවස්ථාවට පටහැනිය. නමුත් අප දන්නා කාලයේ පටන් ඔහු කියන්නේ එසේය. මේ සම්බන්ධයෙන් සම්බන්ධන්ලාට හා හකීම්ලාට ඇති කෙටි කාලීන අරමුණ ෆෙඩරල් රටයි. එය ඕනෑම ගොනෙකුට (ලක්ෂ්මන් කිරිඇල්ල මතක් විය) පැහැඳිලි යයි සිතමි.

කරුණු මෙසේ නම් චම්පිකලා සාදන අනාගත ආණ්ඩුවේ අවම වශයෙන් 108 ක්වත් ඒකීයභාවය පිළි නොගන්නා බව ඉතා පැහැඳිලිය. ඒ 108ට එරෙහිව චම්පිකලාගේ පහෙන් කළ හැකි විජ්ජාව කුමක්ද? එදාට චම්පිකට කළ හැකි එකම විජ්ජාව නම් දෙකඩ වූ රට එකට තබා කොළයක අලවා මාධ්‍ය හමුවක් පවත්වා රට දෙකඩ වී නැතැයි වහසි බස් දෙඩවීම පමණි. එසේ නැතිනම් රාජිත හඬපටයේ සඳහන් කළ පරිදි ඊට විරුද්ධ වෙමින් සිංහල බෞද්ධ දේශපාලන නාම්බන් ඉදිරියේ නැවත වරක් වීරයාට ඇදීමය.

මිනිසුන් මේ බව ප්‍රශ්න කරන බව දැන දැනත් තමා කලින් නියෝජනය කළ මතවාදය ජනතා අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වන බව දැන දැනත් සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒකීයභාවය යන වචනය ඔහුට ඇතුළත් කරගත නොහැකි වන්නේ අප ඉහත පෙන්වා දුන් විපක්ෂය තුළ ෆෙඩරල් රටකට ඇති අධිනැඹුරුතාව හේතු කොට ගෙනය. එහි සිටින්නේ ඒකීය කී විට ඊට සිනාසෙන නායකයින්ය. මිස්ට සිරිසේනගේ පොතට ඒකීයභාවය දමා ගන්න බැරි වුනු මිස්ට චම්පිකට අර 108 ම එක්වී රට දෙකඩ කරන්නට යද්දී එය වැළැක්විය හැකි හැකියාවක්, බලයක් හිමි නම් මහින්ද රාජපක්ෂ රජයේ තිබෙනවා යයි ඔවුන් චෝදනා කරන අඩුපාඩු ඒ අධි-බලයෙන් අවම බලය පමණක් යොදා නිවැරදි නොකළේ මන්ද? රටේ ඒකීයභාවය සුරැකෙන බවට චම්පිකට අවංකව වගකීමෙන් පැවසිය හැක්කේ එකම එක කාරණාවක් මත පදනම්ව පමණි. ඒ, මේ රටට ආදරය කරන බුද්ධිමත් ඡන්ද දායකයා ලබන අට වැනිදා ලබාදෙන තීන්දුව මත පදනම්ව පමණි. අර ෆෙඩරල්වාදී බෙදුන්වාදී රැළ විසින් චම්පිකව යොදා ගන්නේ සිය බෙදුම්වාදී කැත නිරුවත වසන වැරැහැල්ලක් ලෙස පමණි. ඔවුන් කිසිවෙකුත් මේ ඒකීයභාවය පිළිබඳ අතිශය තීරණාත්මක පැනයට පිළිතුරු දීමට ඉදිරියට එන්නේ නැත.

ඒ අප කල්පනා කරන ආකාරයයි. ඔබත් කල්පනා කර බලන්න. මමත්වය නිසා ඔද වැඩුනු බල ලෝභය නිසා අද චම්පිකලා මෙන්ම රතන හිමියෝ ද මේ රටට, ජාතියට මෙන්ම බෞද්ධයන්ටද ද්‍රෝහි වෙමින් සිටිති.

චම්පිකලා පැවසුයේ තමන් ලෙන්දොර බින්ද බවයි. මේ රටට, අපගේ මාතෘභූමියට, දස දහස් ගණනක් දිවි පුදා සුරැකි මෙරට ඒකීය භාවයට පණ මෙන් ආදරය කරන අපගේ සහෝදර සහෝදරියන් වෙත සිංහයා සිංහසීවලී දියණිය වෙත උතුරා ගලා හැලෙන හද ශෝකයෙන් හා දරු සෙනෙහසින් යුතුව පවසන වදනක් සටහන් කරමින් අවසන් කරමු.

"ඔහුගේ බසටද කීකරු වූයේ...
පෙරළා එන්නෙද ඔහුගේ ගැලවී..."



-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/02/2015

මේ ඡායාරූපයේ ඇත්ත නැත්ත කුමක්ද?

කතෘ:යුතුකම     1/02/2015   3 comments
බහුමානීය ඇදුරන්ගේ මැතිවරන ප්‍රචාරණ විධි
පසුගිය දිනවල මහාචාර්ය නලින් ද සිල්වා මහතා, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා යන මන්ත්‍රීවරුන් සම`ග පෙනී සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් තිබිණි. එය ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මුලින් පළ වූවක් බව එහි සටහන්ව තිබේ. නලින් විරෝධීන් මේ ඡායාරූපයෙන් අමන්දානන්දයට පත්වන විට තවත් පිරිසක් මෙය සකසන ලද ඡායාරූපයක් බවටද තර්ක ඉදිරිපත් කරමින් සිටිනු දක්නට ලැබිණි. කිසිදු වගකීමකින් හෝ සොයාබැලීමකින් තොරව  ඕනෑම මෝඩයකුට  ඕනෑම අදහසක් හෝ බොරුවක් ප්‍රචාරය කළ හැකි මාධ්‍යයක් වන ෆේස්බුක් තුළ එවැනි දේ සිදුවීම එතරම් පුදුමයක් නොවේ. එහෙත් අප තරමක් පුදුමයට පත් කළ සිදුවීමක් වූයේ පේරාදෙණියේ ජීවත්වන එක්තරා ආචාර්යවරයකුද මේ ඡායාරූපයට තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රචාරයක් ලබාදී තිබීමය. ඔහු එය ප්‍රචාරය කර තිබුණේ නලින් ද සිල්වාට මෙවැන්නක් කළ හැකි යැයි තමා විශ්වාස නොකරන බවද සඳහන් කරමිනි. එහෙත් එය සරදම කැටි කරගත් ප්‍රකාශයක් විනා නලින් ද සිල්වා මහතා පිළිබඳ යහපත් හැගීමකින් කළ ප්‍රකාශයක්ද නොවේ. මෙවන් විගඩම් තව බොහෝ තැන්වල දක්නට ලැබුණු බැවින් මේ ඡායාරූපය කුමක්දැයි අප නලින් ද සිල්වා මහතාගෙන් විමසා සිටියෙමු. ෆේස්බුක් හරහා තම ඡායාරූප ප්‍රචාරය කරමින් සිටින ඇදුරන් ගැන කියන විට ඒ මහතාට ඇති වූයේ කෝපයක් නොව සිනහවකි. 

“මේක පුදුම විහිලූවක්. මම බස් එකේ යනකොට මගේ ගාව මිනීමරුවෙක් වාඩිවෙලා ගියොත් ඒකේ තේරුම මම මිනීමැරුවා කියන එකද?  ඕක විහාරස්ථානයක තිබුණු වැඩසටහනක්. ඒකට මම ගියා. චම්පිකයි ගම්මන්පිලයිත් ආවා. දුමින්ද සිල්වාත් ඇවිත් හිටියා. ඉතින් ඒකට මම මොකද කරන්නේ. චම්පික ඔය උත්සවේට ආවා විතරක් නෙමෙයි කතාවකුත් කළා. චම්පිකත් දුමින්ද එක්ක පොටෝවල හිටියා. චම්පික නැති පොටෝ එකක් තමයි ඔය දාගෙන ඇත්තේ. ඒ වැඩසටහනට දුමින්ද ඇවිත් හිටිය එක මගේ වැරැද්දක්ද? මට ඒ දුමින්ද සිල්වාව මුණගැහිච්ච පළවෙනි වතාව. මම ඊට කලින් ඒ මිනිහව දැකලත් නෑ. කතා කරලත් නෑ. කිසිම සම්බන්ධයක් තිබිලත් නෑ."

නලින් ද සිල්වා මහතා එසේ පිළිතුරු දුන්නේය. කාරණය එසේ වුවද මේ ඡායාරූපය ප්‍රචාරය කරන අයට අනුව යමෙක් තමන් හා එකඟ නැති පුද්ගලයකු සිටින අහලකටවත් නොයා යුතුය. අහම්බෙන් හෝ එකට හමුවීම ආනන්තරීය පාප කර්මයක් විය හැකිය. නලින් ද සිල්වා මහතා දුමින්දගේ ප්‍රචාරක රැළියක් හෝ අමතා ඔහුට ඡන්දය දෙන්නැයි ප්‍රකාශ කළේ නම් බහුමානීය ඇදුරන් කුපිත වීම සාධාරණ විය හැකි වුවද මේවා හුදු තරහට කරන ප්‍රචාර බව වටහා ගැනීමට විශේෂ මොලයක් වුවමනා නොවේ. ෆේස්බුක් යනු එවැනි මොලයක් හෝ නැති වීරයන් සඳහා හොඳ දේශපාලන වේදිකාවකි. නලින් ද සිල්වා සමග මතවාදී පරස්පරතා තිබීමේ වරදක් නැතත් ඒ වෙනුවෙන් මෙවැනි ප්‍රහාරක උපක්‍රම කරා යොමුවීම හාස්‍යජනකය. එහෙත් වඩා උච්ච අවස්ථාවක් වන්නේ ස්වර්ණ පුස්ථක සම්මාන ලාභී බහුමානීය ආචාර්යවරුන් පවා අද මෙවන් ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් සෙල්ලම්වල නිරත වීමය.

  මේ කියන බහුමානීය ඇදුරා මේ වනවිට රනිල්, චන්ද්‍රිකා සිරිසේන හවුල වෙනුවෙන් දිවා රෑ සහතික ලියමින් සිටින්නෙකි. ලොව ඇති සියලූ දර්ශන මතවාද කියවා පෙරා ගත් දැනුමක් තමා සතු බවට අනියමින් වහසි දොඩන්නෙකි. එසේ වුවද රනිල් චන්ද්‍රිකා හවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය කෙතරම් අසිරිමත්දැයි වටහා ගැනීම සඳහා ඔහුගේ බරසාර න්‍යායික දැනුම ඔහුට ප්‍රමාණවත් වී නැත. මේ නිසාමදෝ ඔහු තම දේශපාලන තීරණය ගැන උදම් අනමින් සිටිනුයේ ලංකා ඉතිහාසයේ හොඳම දේශපාලන විකල්පය තමන්ට හමුවී ඇති තරමේ උද්දාමයකිනි. එවන් පුද්ගලයෙක් නලින් ද සිල්වාගේ ඡායාරූපයක පාරිශුද්ධභාවය සොයන්නට යාම ඉතා රසවත් දේශපාලන ජවනිකාවකට වැඩි යමක් නොවේ. ඔහුට අනුව නලින් දුමින්ද සමග ඡායාරූපයකට පෙනී සිටීම ආනන්තරීය පාප කර්මයකි. එසේ වුවද චෞර රාජිනියන් ගැන සහතික ලිවීම රටට සංස්කෘතියට ගැරහීම විප්ලවීය සමාජ මෙහෙවරකි. මෙවන් නාටකීය හැසිරීම් ආශ්‍රයෙන් තමන් කවුදැයි පෙන්වා දීම ගැන අප ඒ මහත්වරුන්ට ස්තූති කළ යුතුය. දුමින්ද සිල්වා සමග අහඹු ඡායාරූපයකට හසුවීම කිසි ලෙසකින්වත් රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් හවුල ගැන සහතික ලිවීම තරම් සාපරාධී පාප කර්මයක් නොවේ.
 

සුභාෂ් වික්‍රමගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ජාතික - විජාතික සටනක්‌...

කතෘ:යුතුකම     1/02/2015   No comments

දෙමළ සන්ධානය හා හකීම් ඇතුළු මුස්‌ලිම් කොංග්‍රස්‌ නඩය මෛත්‍රීපාලට සහය දැක්‌වීමට ඉදිරිපත්වීම, එම පෙරමුණට තලමල පීදුනා බඳු කටයුත්තක්‌ වෙමින් පවතින බව පෙනේ. තමන් බෙදුම්වාදී නොවන බව කීම සඳහා සිරිසේන පාර්ශ්වය නොයෙක්‌ කතා ගොතමින් සිටියද සියලු බෙදුම්වාදී කල්ලි දැන් එකතු වී සිටින්නේ සිරිසේන වටාය.

පොංගු තමිල් උත්සවයන්හිදී ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කළ මනෝ ගනේෂන් සිරිසේනගේ සහයෝගිතා කණ්‌ඩායමේ සිටියි. හැමදාමත් බෙදුම්වාදයට දරදිය ඇද්දා වූ වික්‍රමබාහු ද සිරිසේන සමඟය.

එජාපය සිරිසේනගේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. 2001 මහ මැතිවරණය සමයේදී රනිල් - ප්‍රභා සමඟ රහසිගත ගිවිසුමක්‌ ඇතැයි අනිත් පාර්ශ්වය චෝදනා කරන විට එජාපයෙන් පුවත්පත් දැන්වීමක්‌ පළ කළේය. එවැනි රහසිගත එකඟතාවක්‌ තමන් එල්. ටී. ටී. ඊ. ය සමඟ නැති බව රනිල් වික්‍රමසිංහ, ධම්මපදයේ අත තබා දිවුරා කියන අයුරු එම දැන්වීමෙන් නිරූපණය විය. එසේ කියූ රනිල් 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී, 2002 පෙබරවාරි වන විට එළිපිටම ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කළේය. උඩරට ගිවිසුම මගින් සටනකින් තොරව මුළු සිංහලයම ඉංග්‍රීසීන් අත්පත් කරගත්තා සේ, ඊළම සඳහා අවශ්‍ය සමස්‌ථ පරිසරයම එල්. ටී. ටී. ඊ. ය එමගින් අත්කර ගැනීමට සමත් විය. හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මහ දවාලේ කොළඹදීම එල්. ටී. ටී. ඊ. පිස්‌තෝලකරුවන් විසින් මරා දමන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. එහෙම කරන ලද එජාපය, මහින්ද විසින් එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද්ධ කරන විට කකුලෙන් අදින්නට කළ හැකි සෑම දෙයක්‌ම කළේය. මාවිල්ආරු සටන ඇරඹුණු මොහොතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ජලයට රණ්‌ඩුවීම අනවශ්‍ය කටයුත්තක්‌ බවය. යුද්ධය නිමා වූ පසු යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාත්‍යන්තරය කරන ලද බලපෑමේදී රනිල් ප්‍රමුඛ එජාපය සිsටියේ ජාත්‍යන්තරය පැත්තේය. ද. අප්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රම්පෝසා ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් පැමිණි විට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහව ද මුණගැසිණි. ඒ මොහොතේ රම්පෝසා වෙත රනිල් ප්‍රකාශ කළේa 'ජාත්‍යන්තර පරීක්‍ෂණය' ඉදිරියට ගෙනයැමේ වැදගත්කම ගැනය. මෙසේa බෙදුම්වාදයට නොපිරිහෙලා සේවය කළ එජාපය පමණක්‌ නොව බෙදුම්වාදයට හැම අතින්ම 'යුතුකම්' ඉටු කළ චන්ද්‍රිකා ද මෛත්‍රී සමඟය. මෙසේ බලන විට සිරිසේන සමඟ මුල සිටම නොසිටියේ මුස්‌ලිම් කොංග්‍රසය පමණය.

රාවෆ් හකීම් යනු ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කරන ලද එකම පක්‍ෂ නායකයාය. එපමණක්‌ නොව උතුරේ ඊළම පිහිටුවන අතරේ, නැගෙනහිර වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඇතිකර ගැනීම හකීම්ලාගේ වුවමනාව විය. ඒ වුවමනාව ඇතුළත් කර සිය යෝජනාවලිය සකසා හකීම්ලා ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා වෙතම ඒ යෝජනා යෑවුවද මහින්ද රාජපක්‍ෂ එම යෝජනා ප්‍රතික්‍ෂේප කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රවෆ්ලා එය පිළිගත් සිරිසේනට සහය දීමට ඉදිරිපත් විය.

මේ සියල්ල කේන්ද්‍ර කර බලන විට සිරිසේනලා අද මෙහෙයුම්කරුවන් වී සිටින්නේ, බෙදුම්වාදයේ අන්තේවාසිකයෝය. 2009 දී මේ බලවේග සියල්ල සිටියේ රනිල් සමඟය. 2010 දී ෆොන්සේකා සමඟය. දැන් 2015 දී සිරිසේන සමඟය.

දිනාගත් ජයග්‍රහණය සිරිසේන ලවා ආපසු හැරවීම මෙම බලවේග සිරිසේන පිටුපසින් සිටීමේ ප්‍රධාන වුවමනාවය.

සිහල උරුමයේ එක කොටසක්‌ සිරිසේන සමගින් සිටියාට මේ බලවේග සියල්ල එමගින් පමණක්‌ යටපත් වන්නේ නැත. සිහල උරුමයේ එක්‌ කොටසක්‌ සිරිසේන සමඟ සිටියාට, සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඒකීය රාජ්‍ය සුරකින බව, ඊළාම්වාදය, බෙදුම්වාදයට, ඉඩ නොතබන බව මෛත්‍රී පාලනයක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල් කරන්නට එම පිරිසට නොහැකි විය. වහාබ් වාදය ගැන, හලාල් ගැන විශාල වශයෙන් හඬ තැලූ සිහල උරුමයේ පිරිස අද සිටින්නේ තමන් එදා වහාබ් රජවරුන් ලෙස දොaෂදර්ශනයට ලක්‌ කළ මුස්‌ලිම් අන්තවාදීන් සමඟය. ඊළාම්වාදයට එරෙහිව කතා කළ හෙළ උරුමය අද සිටින්නේ, සියලු ඊළාම් ගැත්තන් සමඟය. බෙදුම්වාදී මතය හෙළ උරුමයෙන් යටපත් කරනවා වෙනුවට සිරිසේන සටනේදී යටපත් ඇත්තේ සිහල උරුමයේ බෙදුම්වාදී විරෝධී ප්‍රතිපත්තියය. වෙනකක්‌ තබා අද සිහළ උරුමයවත් තමන්ගේ බෙදුම්වාදී විරෝධී ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නේ නැත. මේ නිසා සිරිසේන වටා ගොනු වී ඇති බෙදුම්වාදී පොකුරේ එක මලක්‌ වනවාට අමතරව කිසිදු භූමිකාවක්‌ සිහල උරුමයට ද හිමි වී නැත.

සිංහල ජනතාව, සියල්ල අතහැර බැලිය යුත්තේ මේ දෙසය. මේ පිරිසගේ වුවමනාව වී තිබෙන්නේ මේ රටේ සිංහල විරෝධී බලවේගයක්‌ නිර්මාණය කර බෙදුම්වාදයට අවශ්‍ය න්‍යාය පත්‍රය සකසා දීමය.

එතැනදී මෛත්‍රීපාල නිකම්ම නිකං ඉත්තකු වන්නේ නැත. යුද ජයග්‍රහණයට උරදුන් සරත් ෆොන්සේකා ඉතාම කෙටි කාලයක්‌ තුළ විජාතික බලවේගවලට හසුවූයේය. එවැනි පරිසරයක්‌ තුළ බෙදුම්වාදී දිශානතියට මෛත්‍රීපාල පහසුවෙන් හසුවෙනවා හැරෙන්නට ඔහුට වෙන කාර්යයක්‌ නොමැත. එසේ හසු නොවන්නට මෛත්‍රීපාල තුළ වුවමනාවක්‌ ඇත්නම් ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඒ ගැන සඳහනක්‌ තිබිය යුතුය. අවම වශයෙන් ඔහු තම හවුලේ මාතෘකාවක්‌ බවට බෙදුම්වාදී විරෝධය පත්කරගත යුතුය.

ආණ්‌ඩුව තමන්ගේ පළමු තැන ලෙස හඳුනාගෙන තිබෙන්නේ බෙදුම්වාදයට එරෙහිව සිටින බවය. එසේ නම් එයට පිළිතුරක්‌ ලෙස මෛත්‍රීපාලට අවම වශයෙන් ඒකීය රාජ්‍ය සහතික කළ නොහැක්‌කේ ඇයි? 2005-2010 යන තීරණාත්මක ජනාධිපතිවරණයන්හිදී බෙදුම්වාදය සිටි පැත්ත පරාජයට පත්වී තිබේ. ජයග්‍රාහකයා කවුදැයි යන්න සෙවීමට කරන සමීක්‍ෂණ ද අභිබවා ජ්‍යෙdතිෂය පැමිණ තිබෙන විට ඒ ගැන පෙර ඇගයුමට බෙදුම්වාදය ද යොදාගත හැක. 2005, 2010 දී පමණක්‌ නොව ඊට පෙර සිටම බෙදුම්වාදය තීරණාත්මක වූ මැතිවරණවලදී බෙදුම්වාදී පිල පරාජයට පත්විය.

අවම තරමෙන් මේ ගැන සිතාවත් මෛත්‍රීපාලට බෙදුම්වාදයේ සිරකරුවෙක්‌ නොවෙන්නට තිබිණි.

කේ. පී., කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ආණ්‌ඩුව සමඟ සැපට සිටිනවා යෑයි එක ඇඟිල්ලක්‌ ආණ්‌ඩුවට දික්‌කරන පිරිස තමන් වෙත ඉතිරි ඇඟිලි හතරම හරවාගෙන බෙදුම්වාදයේ සියලු බලවේග සමඟ සිටියි.

කරුණා එල්. ටී. ටී. ඊ. යේ නැගෙනහිර නායකකමෙන් මිදී පලා ආවේ එල්. ටී. ටී. ඊ, ය විනාශ කිරීමට ආණ්‌ඩුවට සහාය දීමටය. ඒ මොහොතේ එල්. ටී. ටී. ඊ. වාදීන් එක හඬින් කීවේ කරුණාගේ කණ්‌ඩායම නිරායුධ කළ යුතු බවය. එල්. ටී. ටී. ඊ. ය කැබලි කරමින් කරුණා ලබාදුන් සහය නිසා ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයට ලක්‌වූවකි කරුණා. අනික්‌ අතට කරුණා, එල්. ටී. ටී. ඊ. යෙන් වෙන්වීමේ ජයග්‍රාහී බව මීට පෙර සෑම අවස්‌ථාවකදීම අත්කර ගත්තේ එජාපයය. කරුණාව එල්. ටී. ටී. ඊ. යෙන් කැඩුවේ තමන් බව එජාපය ප්‍රසිද්ධියේම කීවේය. ඒ කරුණා අම්මාන් අද ආණ්‌ඩුව සමඟ ඊළාම් මතය අතහැර එල්. ටී. ටී. ඊ. විරෝධීව සිටිනා විට වැඩිම චෝදනා කරන්නේ ද ඒ පිරිසය.

කේ. පී., මැලේසියාවේ සිට කුදලාගෙන ඇවිත් ඔහු එල්. ටී. ටී. ඊ. යේ හතුරකු බවට පත්කළේ හමුදාවය. කේ. පී. පිළිබඳ විදෙස්‌ගත ඊළාම්වාදීන් දක්‌වන වෛරී ආකල්පයම ඔහුගේ අද භූමිකාව කියාපායි. එසේ වන අතරේ කේ. පී. එදා නියෝජනය කළ මතය අද දරනා පිරිස සිටින්නේ ආණ්‌ඩුවට චෝදනා කරන අය සමඟය.

මේ නිසා ඊළාම්වාදී පිල හඳුනාගැනීමට වැඩි අපහසුතාවයක්‌ ජනතාවට නැත.

-මනෝඡ් අබයදීර

 දිවයින
යුතුකම සංවාද කවය

1/01/2015

යහපාලනය තැවරූ බෙදුම්වාදී වස විස

කතෘ:යුතුකම     1/01/2015   1 comment
රට තීරණාත්මක ජනාධිපතිවරණයක්‌ අභියස පවතිද්දී මෙලෙස ඔබ අමතනුයේ එය අපගේ පරම යුතුකමක්‌ වන බැවිනි. පරපුරෙන් පරපුරට කැපවීම් කර රැකගත් මවුබිම, ඒ බිමේ ගොඩනැඟූ අතිඋදාර සභ්‍යත්වය මුහුණ පා ඇති අනතුර පිළිබඳ ව ඔබ දැනුම්වත් කිරීම කළ යුතුමය. එදා 1983 අවාසනාවන්ත හා කුමන්ත්‍රණකාරී ජූලි සිදුවීම් පාදක කරගනිමින් සමානාත්මතාව, ජාතිවාදයට එරෙහිවීම, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාදීම, ස්‌වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ආදී සුන්දර සටන් පාඨවලට මුවාවී මවුබිම වෙනුවෙන් කිසිදු හඬක්‌ නොනැගෙන තත්ත්වයට සමස්‌ත සරසවි පද්ධතිය ම පත්කර තිබූ මොහොතක නින්දා-අපහාස, තර්ජන-ගර්ජන, මැර පහරදීම්, අත්අඩංගුවට ගැනීම් හා ජීවිත හානි කිරීම් මැද ජාතිකත්වයේ හඬ කොළඹ සරසවියේ, විද්‍යා පීඨය මුල්කරගෙන මුළු මහත් සරසවි පද්ධතියට ද ඉන් නොනැවතී දේශප්‍රේමී ජනීජනයා වෙත ද රැගෙන යැමට මුල් වූ 80 දශකයේ ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ලෙස අපි මෙසේ ඔබ අමතමු.

අනුරපුර සිරිමහ බෝ සමිඳුන් අභියස අහිංසක සිල්මෑණිවරුන් ඝාතනය කළ, උතුරු හා නැගෙනහිර පළාත්හි සිංහල මුස්‌ලිම් ගම්මානයන්හි අබල-දුබල වැඩිහිටියන්, ගැබිනි කාන්තාවන් අතදරුවන් ආදි ලෙස සකලවිධ ජනීජනයා ඝාතනය කළ කොටි ත්‍රස්‌තවාදීන් විමුක්‌තිකාමීන් ලෙස වෙස්‌ගැන්වීමට එරෙහි ව අප ඇරැඹූ අරගලය දශක දෙකක්‌ පුරා පෝෂණය වෙමින් නන්දිකඩාල් කලපුවේ දී ලද අතිදැවැන්ත විජයග්‍රහණය තෙක්‌ අපි විවිධ ක්‍ෂේත්‍රයන්හි නිරත වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් පෝෂණය කෙළෙමු. අප මෙලෙස ඔබ අමතනුයේ ඒ සියලු ජයග්‍රහණ ආපසු හැරවීමේ ප්‍රයත්නයක්‌ ක්‍රියාත්මක ඇති බැවිනි. ඒ හාම එදා අසූව දශකයේ දී අප ආරම්භ කළ ජාතිකත්වය පිළිබඳ සංවාදයට පසුකාලීනව එක්‌වී ඉන් පෝෂණය ලැබ, ජාතිකත්වයෙහි නියෝජිතයන්, ආරක්‍ෂකයන් ලෙස පෙනී සිටි හෙළ උරුමය මේ මොහොතේ සිදුකරමින් පවතින මහා පාවාදීම නිසාය.

චන්ද්‍රිකා - රනිල් බෙදුම්වාදී හවුල

මේ සම්බන්ධයෙන් මේ රටේ දේශප්‍රේමී ජනතාවට අමුතුවෙන් කරුණු කීමේ අවශ්‍යතාවක්‌ තිබේ යෑයි නොසිතමු. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්‍ෂකයාට මේ දෙපොළ 'මැඩම්' හා 'සර්' වන බැවිනුත් හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික මොවුන් හා එක වේදිකාවේ සරණ බැවිනුත් චන්ද්‍රිකා - රනිල් රට පාලනය කළ ඒ බිහිසුණු දශකය (1996 - 2005) ගැන සිහිපත් කළ යුතු ය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් රටත් අතහැර විදේශගත ව සිටි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ඒ පක්‍ෂයේ හා රටේ නායකත්වයට පත් කෙරුණේ ම මේ රට දෙකඩ කිරීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ පියවරක්‌ ලෙස ය. සිංහල ජාතිවාදයට යටවී යෑයි සිය කීර්තිමත් මව හා පියා දෝෂදර්ශනයට ලක්‌ කරමින්, පළාත් සභාවලට එහා යන බලය බෙදීමක්‌ ගැන, සන්ධීය ආණ්‌ඩුවක්‌ ගැන භඨධ නඩය හා එක්‌ව මතවාද පතුරුවමින්, හමුදාව අධෛර්යමත් කිරීමට හා තරුණ-තරුණියන් හමුදාව හා එක්‌වීම වැළැක්‌වීමට සුදු නෙළුම් ඔසවා ගත් තවලම් යමින්, යුද්ධය කිසිදා දිනිය නොහැකි බවට මතවාද සමාජගත කරමින්, ව්‍යවස්‌ථා සංශෝධන, සුනාමි සහන මණ්‌ඩල සියල්ල මගින් ඇය උත්සාහ දරුවේ ප්‍රභාකරන් ම්ලේච්ඡ ජනඝාතකයාට දේශපාලන සළුපිළි අන්දවා මහත්තයකු කර අපගේ මාතෘ භූමියෙන් කොටසක පාලන හිමිකම පවරා දීමටය.

විජාතිකත්වයක්‌ බෙදුම්වාදයට වරදාන ප්‍රදානය කිරීමක්‌ වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආ විගසම සිදු කළේ ඒ වනවිට ප්‍රභාකරන්ගේ භීතියට හේතුව පළවැනි දුරවිහිදුම් බළකා නිලධාරීන් හෙළිදරව් කර ප්‍රභාකරන්ට ඔවුන් දඩයම් කිරීමේ අවස්‌ථාව සලසාදීමය. පෙඩරල් වාදය දේශනා කරමින් ගිවිසුමකින් ප්‍රභාකරන් ම්ලේච්ඡයාට රටෙන් කොටසක පාලනය පවරා දීමය.

හෙළ උරුමයේ පාවාදීම

හෙළ උරුමය, එහි ලේකම් පාඨලී චම්පික රණවක මේ රජය සම්බන්ධයෙන් කළ ප්‍රධාන ම විවේචනයක්‌ වූයේ උතුරු පළාත් සභාවේ බලය දෙමළ සන්ධානය අතට පත්වීමට ඉඩහැරීම සම්බන්ධවය. ජනයා හමුවේ කෙරෙන්නා වූ ස්‌වයං විවේචනයකින් තොරව ටී.එන්.ඒ. එකට උතුරේ දේශපාලනය කිරීමට ඉඩදීම බරපතළ වරදක්‌ බව රජය විවේචනය කරමින් ඔහු පුන පුනා ප්‍රකාශ කළේය. අපි ඒ විවේචනය හා එකඟවෙමු. කොටි සංවිධානයේ බෙදුම්වාදයට අනුකූලතාව දැක්‌වූ, ඔවුන්ගේ ම්ලේච්ඡ මිනීමරු ත්‍රස්‌තවාදයට වරදාන දුන් කිසිවකුටත් නන්දිකඩාල් විජයග්‍රහණයෙන් පසු මේ රටේ දේශපාලනය කිරීමේ මොනයම් ම හෝ සදාචාරාත්මක අයිතියක්‌ නැත. ඒ අනුව හෙළ උරුමය කළ යුතු ව තිබුණේ සුදු නෙළුම, තවලම, පෙඩරල්වාදය ඔස්‌සේ බෙදුම්වාදයට ආවැඩූ ප්‍රභාකරන් ම්ලේච්ඡ මිනීමරුවාට රට බෙදා පාලන බලතල දීමට කටයුතු කළ චන්ද්‍රිකා - රනිල් - මංගල - රාජිත ආදී ජාතියේ සතුරනට වහාම දේශපාලන වේදිකාවෙන් බැස යන ලෙස බලකර සිටීම නොවේ ද? ඔවුන්ගෙන් එක්‌ අයෙක්‌වත් රටට කළ ද්‍රෝහිකම් ගැන මේ රට ඉදිරියේ ජාතිය හමුවේ පාපොච්චාරණයක්‌ කර තිබේද?

යහපාලන පැණි තැවරූ බෙදුවාදී වසවිස

හෙළ උරුමයේ නායකයන්ගේත්, පොදු අපේක්‍ෂක වේදිකාවේ සියලු කථිකයන්ගේත් තේමාව වී ඇත්තේ යහපාලනය ය. මීට වසර 200 කට පෙර 1815 දී අපගේ මුතුන්මිත්තන් වසර දහස්‌ ගණනක ඉතිහාසය පුරාවට කළ අඥන ම ක්‍රියාමාර්ගය ගත්හ. ඒ නොදන්නාකමට ය. සුද්දාට රැවටිලා ය. 'යහපාලනය' පිළිබඳ ගිවිසුමක්‌ අත්සන් කොට අපේ රජතුමා සමඟ ම අපි නිදා අපේ රට සුද්දාට බාර කළෙමු. වසර දහස්‌ ගණනක්‌ පරපුරෙන් පරපුරට දිවිපුදා රැකගෙන ආ සිංහලේ ස්‌වාධීන රාජ්‍යය අපට අහිමි වූයේ ඒ මගිනි. වැඩිහිටි ජනයා මතු නොව වයස අවුරුදු දහය දොළොහ ඉක්‌මවූ කොලු ගැටව් ද ඝාතනය කළ. කෙත්වතු හරකබාන සහමුලින්ම ගිනිතබා විනාශ කළ, ඵල හටගන්නා සෑම සියලු ගසක්‌ වැලක්‌ ම කපා-දමා ඇළ-වේලි බිඳ මහා සාගතයක්‌ උදා කළ ලෝක ඉතිහාසයේ කුරිරුතම මර්දනයකට වෙල්ලස්‌ස බඳුන් කළේ 1815 උඩරට ගිsවිසුමෙන් යහපාලනයකට දිවුරා පොරොන්දු වූ සුද්දා විසිනි.

ඉතිං වසර 200 කට පසු අපි යළිත් ඒ අඥනකම ම කරමු ද? 'යහපාලනය' වෙනුවෙන් සුද්දා සමඟ එක්‌ව අඬාවැලපෙනා රටට අවමන් කරන, ජාතියට අවමන් කරන, රණවිරුවන්ට අවමන් කරන හවුලකට රටේ පාලන බලය පවරමු ද? රට රැකදුන් නායකයා පාවා දී, සභ්‍යත්ව උරුමයට පිටුපා ලබාගත හැකි යහපාලනය කුමක්‌ද? එදා වෙල්ලස්‌සේ ජනීජනයාට සිදුවූයේ, මුරුසි දිවයිනේ පිටුවහලේ ජීවත් වීමට සිදුවූ නායකකාරකාදීන්ට සිදු වූ සේ මවුබිමත් අහිමි කරගෙන සරණාගත කඳවුරක ගෙවන 'යහපාලනය' හැර අන් කිසිවක්‌ නම් විය නොහැකිය.

සභ්‍යත්ව විඥනයේ ඇණවුම

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ රටට සතුරුව ක්‍රියා කළ, රටේ පැවැත්මට අභියෝගයට ලක්‌ කළ සතුරු පිළක්‌ හා ඒ අභියෝගයනට අභීතව මුහුණ දී රට රැකගත් නායකයකු අතර බව පැහැදිලිය. එහි දී ඔබ මොනයම් ම හේතුවක්‌ නිසා හෝ ඒ රට රැකගත් නායකයාට එරෙහිව රට පාවාදුන් සතුරු නඩයට පක්‍ෂ වන්නේ නම් එය ඔබ උපන් රටට කරන්නා වූ අති මහත් ද්‍රෝහිකමකි. වසර දහස්‌ ගණනක්‌ පුරාවට පෝෂණය වූ අපගේ සභ්‍යත්ව විඥනයට මුළුමනින් ම පිටුපෑමකි.

මුළුමහත් ලොව ම ත්‍රස්‌තවාදය හමුවේ බියෙන් තැතිගෙන ඇති මොහොතක ලොව පැවැති දරුණු ම ත්‍රස්‌තවාදී සංවිධානය පරදා අප ලද විජයග්‍රහණය යුගයෙන් යුගය මේ රටේ උපදින දූපුතුනට කියාදිය යුතු වීර කාව්‍යයකි. ඒ ජයග්‍රහණය කිලිටි කිරීමට කිසිවකුට ඉඩ නොතබා සිංහ ධජය සෙවනේ අභිමානවත් ජාතියක්‌ ගොඩ නැංවීමට කැපවීම අප හැමගේ යුතුකම ය. අපමණ කැපවීම් කර රැකගත් මවුබිම සදා සුරකිමු·

-ගෙවිඳු කුමාරතුංග
-අනුප පැස්‌කුවල්
ජාතිකත්වය පිළිබඳ සංවාදය සමාජගත කිරීමට මුල් වූ සූව දශකයේ සරසවි ශිෂ්‍ය එකතුව වෙනුවෙන්
 

යුතුකම සංවාද කවය 
www.yuthukama.com


HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions