9/15/2014

ඕල්කොට් බෞද්ධයෝ, වියුක්ත බෞද්ධයෝ සහ සිංහල බෞද්ධයෝ

කතෘ:යුතුකම     9/15/2014   6 comments

ඕල්කොට් ‍බෞද්ධ‍යෝ කවුද?

ඕල්‍‍කොට් බෞද්ධ‍යෝ යන ‍යෙදුම අපි නිතර භාවිතා කරමු. සැබැවින්ම ඕල්‍ ‍කොට් ‍බෞද්ධ‍යෝ යනු කවුද? අප වටහා ගන්නා ආකාරයට නම් ඕ‍ල්‍ ‍කොට් බෞද්ධ‍යෝ යනු ආගමින් ‍බෞද්ධ වූ නමුත් සංස්කෘති‍යෙන් ක්‍රිස්තියානි වූ පිරිස්ය.

‍මෙහිදී ‘ආගම’ යනු යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති ආගම නම් සංකල්පය වේ. බුදු දහම ආගමක් හෝ දර්ශනයක් (එයද යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති දර්ශනය යන සංකල්පය) නොවන අතර එය දහමකි (දරා ගන්නා, අනුගමනය කරන, පිළිපදින ප්‍රතිපදාවකි. ධර්මය දරා ගන්නවා යන යෙදුම එන් නේ එබැවිනි). බුදු දහම ආගමක්ද දර්ශනයක්ද කියා වාද කරන ‍බොරු පඩියන් කරන්‍නේ බටහිර සංකල්ප ඇසුරින් බුදු දහම යනු කුමක්දැයි ‍තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. බුදු දහම එසේ ආගමක් හෝ දර්ශනයක් වූවිට එය ජීවිතයෙන් වියුක්ත වෙයි. බුදු දහම (අඩුම තරමින් සිංහලයන් අතර ඇති බුදු දහම) එසේ ජීවිතයෙන් වෙන් වූ දෙයක් නොවේ. වෙනම ජීවිතයක් (spiritual life) ද නොවේ. ජීවිතය හා බැදුනකි. අප මෙහිදී බුද්ධාගම යන වදන වරින් වර යොදා ගත්තද එය බටහිර චින්තනයේ 'ආගම' යන අර්ථයෙන් නොවන බව සැලකිය යුතුය.

ඕල්කොට් බුද්ධාගමේ ප්‍රාරම්භකයා ඕල්කොට් තුමා ‍ලෙස සැලකිය හැකිය (ඕල්කොට් තුමා ආරම්භ කළ නාමික බෞද්ධ පාසල්වල බොහෝ රැස්වීම් පැවැත්වෙන්නේ ඉංගිරිසියෙනි). පසු කාලීනව නාගරික ‍ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත වූ ‍මෙය අද වන විට නාගරික ‍මෙන්ම ග්‍රාමීය මැද පන්තියටද ව්‍යාප්ත වී ති‍බෙනු දැකිය හැකිය. ඕල් ‍කොට් බෞද්ධයන් ගෙන් අති විශාල පිරිසක් එජා පක්ෂයට ඡන්දය දීමද අහම්බයක් ‍නො‍වෙයි. එසේම ඕල්කොට් බෞද්ධයන්ට ජාතිකත්වය වහ කදුරු වැනිය. බුදු දහම ජාතිකත්ව‍යෙන් වෙන් කළ යුතු යැයි ඔවුහු අපට කියති. උහු කිසි දිනක බටහිර ‍දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතවාදයට එරෙහි ‍නොවන අතර බටහිර රටවල් ‘සාධාරණ’ ලෙසද දකිති. ඉංග්‍රීසි‍යෙන් කථා කිරීම, බටහිර සිරිත් විරිත් අනුකරණය කිරීම ඕල් ‍කොට් බෞද්ධයන් ගේ මහත් ප්‍ර‍මෝදයට ‍හේතු ‍වෙයි. එ‍හෙත් උහු බුදු දහම ආගමක් ලෙස අදහති. එ‍මෙන්ම එහි ඇති දාර්ශනික පැත්ත මතු කර දක්වති. සාමාන්‍ය ජනයා සිදු කරන ආමිස පූජා ආදිය දෙස ඕල් ‍කොට් ‍බෞද්ධයන් ‍ගේ වැඩි කැමැත්තක් නැත් තේය. ඔවුහු ‘ප්‍රබුද්ධ’ බෞද්ධ‍යෝ වෙති. ඕල්කොට් බෞද්ධයන්ට අනුව බුදු දහම ‍දේශපාලනයට සම්බන්ධ ‍‍නොවිය යුතු අතර භික්ෂූන් වහන්‍ ‍සේලා ජාතිකත්ව ‍හෝ දේශපාලන මත ‍නොදැරිය යුතුය.

එසේම විශ්වීය බුද්ධාගමක් ගැනද ඕල් කොට් ‍බෞද්ධ‍යෝ කථා කරති (ඔවුන් ‍‍නොකියන් නේ ‍මේ කියන විශ්වීය බුද්ධාගම ඇත් තේ ක්‍රිස්තියානි සංස්කෘතියක බවය)
මේ සියල්ල ඕල්කොට් ‍බෞද්ධයන් හදුනා ගැනී‍මේ ලක්ෂණ ‍වෙයි.


ඕල්කොට් ‍බෞද්ධයන් ‍ගෙන් වි‍යුක්ත ‍බෞද්ධයන් විකාශනය වූ ආකාරය


කෙ‍සේ වුවත් මෑතක සිට ඕල්කොට් ‍බෞද්ධයන්ගෙන් කැඩුණු වෙනම උප කුලකයක් විකාශනය වනු දැකිය හැකිය. අප ‍මේ ‍බෞද්ධයන් වියුක්ත ‍බෞද්ධයන් (abstract Buddhists) ලෙස හදුන්වමු. අවශ්‍ය නම් ඔවුන්ට වාස්තවික බෞද්ධයන් (objective Buddhists) කියාද කිව හැක්කේ ඔවුහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව යමින් බුදු දහම තුළ වාස්තවික යථාර්තයක් (objective reality) අදහන හෙයිනි. එනමුදු වාස්තවික (objective) යන්න මෙකල 'යහපත්' දෙයක් ලෙස සැලකෙන බැවින් වියුක්ත බෞද්ධයන් යන යෙදුම වඩා උචිත විය හැකිය.

වියුක්ත ‍බෞද්ධයන්ගේ සහ ඕල්කොට් ‍බෞද්ධයන් අතර ඇති ‍වෙනස කුමක්ද? අප දකින ආකාරයට ඕල්‍ ‍කොට් බෞද්ධයන් වැඩි වශ‍යෙන් ආ‍‍රෝපණය කර ගත් යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක ජීවත් වූ පිරිසකි (මේ අය අති බහුතරයක් ඉංගිරිසියෙන් බටහිර අධ්‍යාපනය ලැබූවන් වීමද සැලකිය යුතු කරුණකි). ඔවුහු බුදු දහම යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ අදහන පිරිසක් බවට පත් වූහ. එ‍හෙත් වියුක්ත ‍බෞද්ධ‍යෝ එසේ නො‍වෙති. ඔවුහු අති බහුතරයක් සිංහ‍ලෙන් ඉංගිරිසි අධ්‍යාපනය ලැබූවන් වෙති. ඔවුන්ට යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍‍ය බාහිරින් අනුකරණය කිරීමට අවකාශ අවමය. ඒ ‍වෙනුවට ඔවුන්ට බටහිර විද්‍යාව පිළිගනිති. එය අනුකරණය කරති. ඒ ඇසුරින් ලෝකය දෙස බලති (නැතහොත් ලෝකය නිර්මාණය කර ගනිති). ඒ ඔස්සේ ඔවුන්ද බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පිහිටා අර්ථකථනය කරති. ඒ අනුව බලන කළ ඕල් කොට් ‍‍බෞද්ධයන් ‍මෙන්ම වියුක්ත ‍බෞද්ධයන්ද බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා සංස්කෘතිය තුළ ග්‍රහණයක කර ගන්නා අතර වෙනස ඇත් තේ ඒ ‍දෙපිරිස ඒ සදහා අවතීර්ණ වන මාර්ගයෙහිය. ඕල් කොට් ‍බෞද්ධයන් බාහිර සංස්කෘතික අනුකරණය මත වැඩි බරක් දක්වන අතර වියුක්ත බෞද්ධ‍යෝ බටහිර දැනුමට වැඩි නැඹුරුතාවක් දක්වති. එ‍හෙත් ‍මේ මාර්ග ‍දෙ‍කෙහිම අවසන් ප්‍රතිඵලය එකම වෙයි. එනම් බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අව‍ශෝෂණය කිරීමය.

ඕල්කොට් බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් බුදු දහම සහ බටහිර විද්‍යාව සන්සන්දනය කිරීමට දැඩි රුචියක් දක්වති. එහෙත් ඒ මතුපිටින් කෙරෙන සන්සන්දනයකි. උදාහරණ ලෙස ඉලෙක්ට්‍රෝන කක්ෂයකින් තව කක්ෂයකට පැනීම පුනරුප්පත්තියට සමාන කරති. ඊනියා (බටහිර) විද්‍යාවේදී භික්ෂූන් වහන්සේලාද බිහිවන්න ඕල්කොට් බෞද්ධ සමාජය තුළය. නමුත් වියුක්ත බෞද්ධයන් බටහිර විද්‍යාවේ (සහ පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ) ආභාෂය ලබා ගන්නේ ඊට වඩා ආකෘතිමය වශයෙනි. බොහෝ විට වියුක්ත බෞද්ධයන් තමන් බුදු දහම බටහිර විද්‍යාවේ (සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ) ආකෘතියකට බහාලන බව නොදනිති. පාසලේ සහ විශ්ව විද්‍යාලයේ බටහිර විද්‍යාව සහ බටහිර දැනුම උගත් ඔවුහු වාස්තවික යථාර්තය සහ ද්විකෝටිකය විශ්වාස කරති. ඒ නිසා වියුක්ත බෞද්ධයන් බුදු දහම දෙස යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුළින් බැලීම බොහෝ විට අවිඥාණිකව සිදු වන්නකි. කෙසේ වෙතත් ඕල්කොට් බෞද්ධයන්ගේ මතුපිටින් කෙරෙන සන්සන්දන වලට වඩා වියුක්ත බෞද්ධයන්ගේ ආකෘති වෙනසින් (වඩාත් නිවරදිව කියන්නේනම් චින්තන වෙනසින්) බුදු දහමට වන හානිය වැඩිය. ඉන් එහි පදනම දෙදරා යයි.

සෑම මිනි‍සෙක්ම යම් සංස්කෘතියට සම්පූර්ණයෙන්ම ‍හෝ අර්ධ වශයෙන් ‍හෝ අයත් ‍වෙයි

ඕනෑම මනුෂ්‍ය‍යෙකු යම් සංස්කෘතියකට ‍හෝ චින්තනයකට සම්පූර්ණයෙන්ම ‍හෝ අර්ධ වශ‍යෙන් ‍හෝ අයත් වෙයි. සංස්කෘතියක් නැති මිනි‍සෙකු සොයා ගත ‍නොහැකිය (සංස්කෘති‍යක් නැතියි කීමද සංස්කෘතියකි. මෙකල නම් සංස්කෘතියක් නැතැයි කියන් ‍නෝ, ඉ‍‍බේම යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් වෙති. ඒ එය ලොව ප්‍රධාන සංස්කෘතිය බවට පත්කෙරී ඇති බැවිනි). ඒ අනුව බලන කල ඕල්කොට් සහ වියුක්ත ‍බෞද්ධයන් සිංහල ‍බෞද්ධ සංස්කෘති‍‍යෙන් බැහැර වී‍මේ සෘජු ප්‍රතිඵලය වන් නේ ඔවුන් ඊට විරුද්ධව මෙරට ඇති ප්‍රධානම තර්ජනය වන (එ‍සේම ‍ලෝක‍යේ මෙකල ඇති ප්‍රධානම සංස්කෘතිය වන) යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළත් වීමත්, එය නි‍යෝජනය කිරීමත්ය. එය එ‍සේ‍‍ ‍නො‍වේ යැයි කීමට කිසිවකුට නොහැකිය. එ‍සේ නොවේ යැයි කියන්නන් තමා අයත් වන සංස්කෘතිය කුමක්දැයි අපට තේරෙන සිංහ‍ලෙන් පහදා දිය යුතුය.

ඕල්කොට් ‍බෞද්ධයන් ගැන සා‍පේක්ෂව වැඩි වශයෙන් කථා කෙ‍‍රී ඇති නිසා අප මේ ලිපි‍යෙන් වියුක්ත ‍බෞද්ධයන් ගැන වැඩිපුර කථා කිරීමට බලා‍පොරොත්තු ‍වෙමු. වියුක්ත ‍බෞද්ධයන් ඒ නමින් අප හදුන්වන් ‍නේ ඇයි. යු‍දෙව් ක්‍රිස්තියානි චින්තන‍යේ ඇති වියුක්තය (වෙන් කිරීම - abstraction), වියුක්ත බුද්ධාග‍මේ පදනම ‍වෙයි. එහි ප්‍රධානතම ලක්ෂණය නම් සංස්කෘතියෙන් (සිංහල ‍බෞද්ධ සංස්කෘති‍යෙන්) ආගම (බුදු දහම) වෙන් කිරීමය. එහි එක් කොටසක් ලෙස ගමෙන් පන්සල වෙන් කෙරෙයි. පුද්ගලයායෙන් පවුල වෙන් කෙරෙයි. ඒ සිදු කිරීම සදහා බුදු දහමේ ඇති සූත්‍ර ද ඊට ඔබින ආකාරයට අර්ථ දැක්වෙයි. එ‍ය සිදු කෙ‍රෙන ආකාරය විස්තර ව‍‍ශ‍යෙන් සලකා බැලිය යුතුය.

වියුක්ත බුද්ධාග‍මේ ඇති ගැටලු

වියුක්ත බුද්ධාග‍මේ ඇති පුද්ගලිකත්වය සහ මමත්වයේ වර්ධනය

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පුද්ගලිකත්වය සහ මමත්වය වර්ධනය කිරීම මත පදනම් වෙයි. වියුක්ත බෞද්ධයන් තුළද මේ ලක්ෂණය දැකිය හැකිය. බුදු දහමේ ඇති ආශාවන් අත හැරීම මොවුන් ග්‍රහණය කර ගන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂවය. ඒ අනුව ඔවුන් ආශාවන් අත හැරීම යන්න යොදා ගන්නේ තම පුද්ගලික නිදහස ආරක්ෂා කර ගැනීමට සහ තම යුතුකම් සහ වගකීම් නොතකා හැරීමටය. එනයින් වියුක්ත බෞද්ධයන්ගේ ඊනියා 'අත්හැරීමේ' ප්‍රතිඵලය වන්නේ මමත්වය තුනී කිරීම නොව තම පුද්ගලිකත්වය (සහ එහි ප්‍රතිඵලයක් ලෙස තම මමත්වය) දෙගුණ තෙගුණ කර ගැනීමය. වියුක්ත බෞද්ධයෝ පවුල් සහ සාමාජීය බැදීම් නැති කිරීමට බුදු දහම ආයුධයක් කොට ගනිති. එය හුදෙක් වඤ්චක ධර්මයක්ම වෙයි. කොතරම් නිවන් දකිනවා යැයි හඩ ගෑවද මොවුන් දකින් නිවනක් නම් නැති බැව් සහතිකය.

දරුවන් හැදීම මොවුන්ට අනුව බැදීමක් ඇති කර ගැනුමකි. ඒ නිසා දරුවන් නොහදා හිටිය යුතුය. නමුත් සිංහල බෞද්ධයෝ දරුවන් හැදීම තම යුතුකමක් ලෙස සලකති. බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ මිනිසාට ඇති පරම සම්පත දරුවන් බවය. වියුක්ත බෞද්ධයන්ගේ හැසිරීම සමාන වන්නේ සිය (පුද්ගලික) නිදහස ආරක්ෂා කර ගැනුමට දරුවන් නොහදන බටහිරයන්ටය. වෙනසකට ඇත්තේ ඔවුහු බුදුදහමේ ඇති සංකල්ප ඒ සදහා ආධාර කර ගැනුම පමණි.

සංස්කෘති‍යෙන් බුදු දහම වියුක්ත කිරීම සහ සංස්කෘතිය යටත්විජිතවාදය

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය වියුක්තය මත පදනම් වෙයි. ඒ අනුව යමින් වියුක්ත බුද්ධාගමේදී බුදු දහම බෞද්ධ සංස්කෘතියෙන් වෙන් කෙරෙයි. වියුක්ත බෞද්ධයන්ට අනුව බෞද්ධ සංස්කෘතිය 'මිථ්‍යාවකි'. මෙහිදී අවිඤ්ඤාණිකව වන දෙය නම් බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළු වීමය. මන්ද ඕනෑම දහමක් හෝ ආගමක් පැවතීමට යම් සංස්කෘතියක් අත්‍යවශ්‍ය වන හෙයිනි. බුදු දහම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කරන විට එය නිරායාසයෙන්ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළු වීම වැළැක්විය හැකි නොවේ. මේ සංස්කෘතික යටත්විජිතවාදයේ ලක්ෂණයකි. වියුක්ත බුදු දහම බිහි වීමම සංස්කෘතික යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි.

වියුක්ත බුද්ධාගම සහ දැනුම් යටත්විජිතවාදය

වියුක්ත බෞද්ධයෝ අංක එකේ සංස්කෘතික යටත්විජිතවාදියෝ (වඩාත් නිවැරදිව කියන්නේ නම් සංස්කෘතික වහල්ලු) වෙති. මොවුන්ට නැකැත් ශාස්ත්‍රය, සිංහල අවුරුද්ද වහ කදුරු වැනිය. නැකැත් ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කළ විට සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති වෙදකම, ගොවිකම, කලා ශිල්ප ආදී සියල්ලම නිරායාසයෙන්ම ප්‍රතික්ෂේප වෙයි. මන්ද ඒ දැනුම් හැම එකක් සමගම ඒ බැදී ඇති බැවිනි. පුරාණයේ රහතන් වහන්සේලා විසූ සමයේ පවා නැකැත් ශාස්ත්‍රය ගිහි සමාජයේ භාවිතා වූ අතර නැකැත් කෙළිය (අවුරුද්ද) සමරනු ලැබිනි. රහතන් වහන්සේලාට පවා ප්‍රශ්නයක් නොවූ අපේ සංස්කෘතිකාංග වියුක්ත බෞද්ධයන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන්ගේ බෞද්ධකම නිසාද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික වහල්භාවය නිසාද යන්න අපට නම් සක් සුදක් සේ පැහැදිලිය.

අනෙක් අතට මොවුන්ට සිංහල‌ බෞද්ධ සංස්කෘතියේ ඇති දැනුම් මිත්‍යාවක් වී ඇත්තේ බටහිර විද්‍යාව පරම සත්‍යයක් සේ සලකන නිසාද? (දැනුම් යටත්විජිතවාදයද සංස්කෘතික යටත්විජිතවාදයේම කොටසක් වෙයි. ) බුදු දහමට සපුරා පටහැනි වාස්තවික යථාර්තයක් පසුපස යන බටහිර විද්‍යාව සරණ යන මොවුන්ට අනුව අද බුද සසුන පිරිහී ඇත්තේ නැකැත් නිසාය. ජ්‍යොතිෂ්‍ය නිසාය. අද අපේ සංස්කෘතිය මෙන්ම මෙරට බුදු සසුනද පිරිහී ඇත්තේ බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙන් අපේ සාරධර්ම බිද දමා ඇති නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. අද අපේ ඊනියා බුද්ධිමතුන්ට කර්මය සහ පුනරුප්පත්තියද පිළිගැනීමට බටහිර විද්‍යාවෙන් සහතික අවශ්‍ය වන තත්වයකට පත්ව ඇත.
කර්මය සහ පුනරුප්පත්තිය නොපිළිගන්නා නාමික බෞද්ධයන් බොහෝ පිරිසක් බටහිර විද්‍යාව සරණ ගියෝ වෙති. ඒ බව නොකියා කොහේවත් ඇති ජ්‍යොතිෂයකට තඩි බෑමෙන් වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයට අප තව තවත් යට කිරීමය. එමගින් අපේ සාරධර්ම පද්ධතිය තව තවත් දුර්වල කිරීමය.

අනෙක් අතට අපේ පැරැන්නන් ජ්‍යොතිෂ්‍ය වැනි දැනුම් අවශෝෂණය කර ගත්තේ බුදු දහමට පටහැනිව නොයන ආකාරයටය. ග්‍රහ අපල කර්ම විපාක ලෙස අර්ථ දක්වන්නේ සිංහලයන් අතර ඇති ජ්‍යොතිෂයේ පමණි (මෙය කිසිසේත් බුදු හාමුදුරුවන්ගේ අභිඥා ඥාණයට අභියෝග කිරීමක් නොව හුදු සාපේක්ෂ වූ සම්මුති දැනුමක් පමණි) . එසේම අපල වලට බෝධි පූජා හෝ සතුන් නිදහස් කිරීමට කියන්නේද අපේ ජ්‍යොතිෂයේ පමණි. මේ සියල්ලම මිනිසුන් අතර ශ්‍රද්ධාව සහ මෛත්‍රිය වැඩි කිරීමට දායක වෙයි. වියුක්ත බෞද්ධයන්ට මේවා නොපෙනෙයි. ඔවුන්ට බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අතර ඇති සහ සම්බන්ධය දැකිය නොහැකිය. බුදු හාමුදුරුවන් එකල දඹදිව තිබූ ලෞකික විද්‍යා විවේචනය කළේ එයින් නිවනට ආධාරයක් නොවන බැවිනි. එහෙත් දඹදිව පැවති ජ්‍යෙතිෂ්‍යයත් සිංහලයන්ගේ නැකැත් ශාස්ත්‍රයත් සංස්කෘති දෙකක ඇති දැනුම් පද්ධති දෙකකි. ඒවායේ අරමුණුද වෙනස් වෙයි. මෙකල බටහිර විද්‍යාව මෙන් දැනුම් අධිපතිභාවයක් එකල නොපැවතුනු නිසා එකම දැනුම් පද්ධතිය වුවද එක් එක් සංස්කෘතිවලදී වෙනස්කම්වලට භාජනය විය. එකල බටහිර විද්‍යාව තිබුණේනම් බුදු හාමුදුරුවන් තිරශ්චීන විද්‍යා ලැයිස්තුවේ අංක එකට එය දමනු ඇත. මන්ද නිවන තබා මුළු ලෝකයම එයින් විනාශ මුඛයට ඇදගෙන යන බැවිනි. (එහෙත් එයද සිදුවීමට නොහැක්කේ බටහිර විද්‍යාව සහ සංස්කෘතිය මුල් බැසගත් සමාජයක, ලෝකයක බුදු කෙනෙකුන් බිහිවීමටද ඉඩ ඇහිරෙන බැවිනි)

උදාහරණයක් ලෙස පැරිණි සිංහල ගොවිතැනහි නැකැත් සහ කෙම් ක්‍රම මගින් කෘමි උවදුරු වළක්වා ගැනීමේ දැනුමක් විය. වියුක්ත බෞද්ධයන්ට අනුව මේවා 'මිත්‍යා දෘෂ්ටි' වෙයි. සිංහල බෞද්ධයන්ගේ දැනුම් පද්ධති කිසිවිට ලෞකික මිත්‍යා දෘෂ්ටිවලට හසු නොවේ. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිපදවන දැනුම නම් පැහැදිලිවම ලෞකික මිත්‍යා දෘෂ්ටි දහයම දරන සංස්කෘතියකට සාපේක්ෂව නිපදවූ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයන්ට ඒ දැනුම සම්‍යක් දෘෂ්ටියක්ද? බටහිර මනෝ විශ්ලේෂකයන් මනස යනු මොළයේ නිර්මාණයක් යැයි කියන විට හෝ හැගීම් යනු හුදු රසායන ප්‍රතික්‍රියා කියන විට ඒ සම්‍යක් දෘෂ්ටියක් වේදැයි වියුක්ත බෞද්ධයන් අපට තේරුම් කර දිය යුතුය. එසේ නොකරන්නේ නම් ඒ ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ වහලුන් බව ඔප්පු වෙයි.

පෙර කී ලෙස කෙම් ක්‍රම යොදා ගත්තේ ප්‍රාණඝාතයෙන් තොරව ගොවිතැන් කිරීමේ අරමුණ ඇතිවය. ඒවායින් ඵල ලැබීමට නම් ශීලයක පිහිටිය යුතු වෙයි. එනම් බුදු දහමේ එන කර්මය පුනරුප්පත්තිය වැනි මුලික සංකල්ප වලට එකගව නිපදවා ගත් දැනුමකි එය. වියුක්ත බෞද්ධයන් හෙළා දකින මෙබදු දැනුම් ඊනියා මිත්‍යා දෘෂ්ටි නොව නිවනට අනුබල දෙන සමාජයක තිබූ දැනුමකි. මිනිසා පරිසරයේ කොටසක් ලෙස සලකන සිංහල බෞද්ධ සංස්කෘතියේ තැනුනු දැනුමකි. මිනිසා ලෝකයේ අයිතිකරුයැයි සලකන යුදවේ ක්‍රිස්තියානි සංස්කෘතියට අයිති දැනුමක් නොවේ. නමුත් වියුක්ත බෞද්ධයන් තලු මරන බටහිර ක්‍රිස්තියානි විද්‍යාවෙන් නම් කරන්නේ විෂ රසායන කුඹුරට යොදවා සතුනුත් මරාගෙන තමනුත් මැරීමකි. මරාගෙන මැරීමකි. ඒ එය නිර්මාණය වූයේ කර්මය හෝ පුනරුප්පත්තිය නොපිළිගන්නා මුග්ධ භෞතිකවාදී සංස්කෘතිය වන බැවිනි. එහෙත් වියුක්ත බෞද්ධයන්ට ඒ ප්‍රශ්නයක් නොවේ. ඔවුන් නියෝජනය කරන්නේ කුමන සංස්කෘතියදැයි වටහා ගැනීමට ඒ ප්‍රමාණවත් වෙයි.

අප බටහිර විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් ලෙස නොහදුන්වමු. මන්ද එසේ හැදින්වීම බුදු දහමේ මිත්‍යා දෘෂ්ටි අර්ථ දැක්වීමට එකග නොවන හෙයිනි. දැනුමක සහ දෘෂ්ටියක වෙනසක් වෙයි. ඕනෑම දැනුමක් යම් දෘෂ්ටියක් මත පදනම් වෙයි. එනයින් බටහිර විද්‍යාව යනු මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති චින්නතයක සහ සංස්කෘතියක (වාස්තවික යථාර්තය හෙවත් ආත්මවාදය, කර්මය සහ පුනරුප්පත්තිය පිළි නොගැනීම) බිහි වූ දැනුමක් බවනම් පවසමු. ඒ දැනුමෙන් ඊට අදාළ සංස්කෘතිය පෝෂණය වන අතර සංස්කෘතියෙන් දැනුමද පෝෂණය වෙයි. එතැන ඇත්තේ චක්‍රීය රටාවකි.

අනෙක් අතට අපේ වැදගත්ම උත්සවය වන සිංහල අවුරුද්ද ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ කුමක්ද? එහි ප්‍රතිඵලය වන්නේ අප ඉබේම යුදෙව් ක්‍රිස්තියානි අවුරුද්ද (ජනවාරි 1දා - ජනේරුව) වෙත ඇදී යාමය. මීලග පරපුර අපේ සංස්කෘතියෙන් ඈත් නොවත්ද? සංස්කෘතියක් නැතිව මිනිසෙකුට ජීවත් විය නොහැකි නිසා ඒ දරුවන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇදී යාම වැළැක්විය නොහැකිය. (ආදරවන්තයන්ගේ දිනයේ සිල් ගැනීමට ඊට නැති වැදගත්කමක් ලබා දීමකි). සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වූ පුද්ගලයකුට ආගමින්ද ක්‍රිස්තියානි වීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. එය පරම්පරා කිහිපයක් යන විට සිදු විය හැකි දෙයකි. වියුක්ත බෞද්ධයක් දැන හෝ නොදැන සේවය කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයටය.

වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් බොහෝ ථෙරවාද හාමුදුරුවන්ට අනුව සීලබ්බත පරාමාසයට අයිති වන්නේ 'නිවන් දැකීමේ අරමුණින්' විවිධ ශීල වෘත සහ විද්‍යාවන් අනුගමනය කිරීමය. ගෙපලක් කැපීමට හෝ අවුරුදු සැමරීමට නැකැතක් බැලීම සීලබ්බත පරාමාසයට අයත් නොවෙයි. එහෙත් ඒ බව නොකියා කොලේ වහලා ගැහීමට වියුක්ත බෞද්ධයෝ සමර්ථ වෙති. බුදු දහම වැරදියට අර්ථ දක්වනවා (පෘථග්ජන සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අර්ථ දක්වා ගන්නේ තම තමාට සාපේක්ෂවය. ඊනියා 'සත්‍ය' අර්ථ දැක්වීමක් නැත. ඇත්තේ නම් ඒ වාස්තවික යථාර්තයක් වන අතර එනයින් ආත්මවාදයට හසු වෙයි). වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව එදිනෙදා ජීවිතයේ බටහිර විද්‍යාව යොදාගෙන යම් යම් කාර්යයන් සිදු කිරීමද සීලබ්බත පරාමාසයට අයිති විය යුතුය. ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.

සියලුම දැනුම් මිත්‍යා වෙයි. ඊනියා සත්‍ය දැනුමක් නැත. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ තම සංස්කෘතියට සහ ඉන්ද්‍රියන්ට (මනසද ඉන්ද්‍රියකි) සාපේක්ෂවය. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසාය. එහෙත් සමහර දැනුම් තමාගේත් අන්‍යයන්ගේත් විනාශය පිණිස හේතු වෙයි. නිවනෙන් මනුෂ්‍යයන් ඈත් කරන්නේ වෙයි. මිත්‍යාදෘෂ්ටික පදනමක් මත නිපදවූ බටහිර විද්‍යාව සහ බටහිර දැනුම එවැනි දැනුමකි. නූතන පරිසර අර්බුදය මෙන්ම ගුණධර්ම පිරිහීමද එහි ප්‍රතිඵලයකි. සිංහලයන් අතර වූ වෙදකම, ගොවිතැන ආදී දැනුම් එසේ නිවනෙන් බැහැරව යන දැනුමක් නොව නිවන අරමුණ කරගත් සමාජයක සංස්කෘතියක ගොඩ නැගූ දැනුමකි. නිවනට ආධාරවන 'පහසුකම් සලසන' දැනුමකි.

වියුක්ත බුදු දහම සහ සාමාන්‍යකරණය (generalization)

වියුක්ත බුද්ධාගමට සාමාන්‍යකරණය හුරුපුරුදුය. එය ඔවුන්ට ලැබෙන්නේ බටහිර විද්‍යාව අනුකරණයෙනි. උදාහරණයක් ලෙස බටහිර විද්‍යාවේ එන ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගනිමු. (ගුරුත්වාකර්ෂණය කියා 'දෙයක්' නැත. ඇත්තේ වස්තු එකිනෙක ආකර්ෂණය වීම පැහැදිලි කරන ගුරුත්වාකර්ෂණ ප්‍රවාද පමණි). එය ඕනෑම තැනක ඕනෑම වස්තුවකට එකම ලෙස ක්‍රියාත්මක විය යුතුය (එය එසේ නොවන බව බටහිර විද්‍යාඥයන්ටම නිරීක්ෂණය වී ඇත). කෙසේ වෙතත් බටහිර විද්‍යාව වියුක්තය සහ වාස්කතවික යථාර්තය මත පදනම් වී ඇති බැවින් මේ සාමාන්‍යාකරණය ඊට උරුම වී ඇත.

බුදු දහමේ වියුක්ත ප්‍රවාද නැත. බුදු හාමුදුරුවන් බොහෝ විට ධර්ම දේශනා කළේ ඒ ඒ පුද්ගලයාට උචිත ආකාරයටය. අවස්ථාවට උචිත ආකාරයටය. උදාහරණයක් ලෙස බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩියේ ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ වාද විවාද ප්‍රතික්ෂේප කළ බැවිනි. (මේ සිද්ධිය බෞද්ධ කල්ලිවාදීන් භාවිතා කරන්නේ බුදු දහම වාද ප්‍රතික්ෂේප කරන බව සාධකයක් ලෙසය. එනයින් සිය සාමාජිකයන් අන් අය හා වාද කොට කල්ලියෙන් කැඩීමෙන් වැළැක්වීමටය. ඒ ඔවුන්ට වාද කළ නොහැකි බැවිනි). නමුත් බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපති සහ සච්චක සමග වාද කළහ. බුදුරජාණන් වහන්සේට වාද නැති මුත් ඒ වාද අන් අයගේ යහපත සදහා විය. උපාලි ගෘහපති ඇතුළු බොහෝ දෙනෙක් ඉන් ඵල ලබා ගත්හ. අපිද අද පවා ඒ වාද ඇසුරින් බුදු දහම උගෙන ගනිමු. එබැවින් ඒ ඒ අවස්ථාව සහ පුද්ගලයින් (ප්‍රස්තූතය - context) නොසලකා සූත්‍රවලින් උදෘත පාඨ ගෙන ඒවායින් බටහිර විද්‍යාවේ ඊනියා නියම වැනි නියම සාදා ගැනීම බුදු දහමට විරුද්ධ වෙයි. එමගින් සිදු වන්නේ බුදු දහම වාස්තවිකත්වයට සාමාන්‍යකරණයට හසුවී අර්ථ විකෘත වීමය.

විඤ්ඤාණය ගැන පවා බුදු රජාණන් වහන්සේ සමහර විට සූත්‍ර දෙකක පළ කරන්නේ වෙනස් අදහස්ය. ඒ ඒ අවස්ථාවට අනුකූලවය. විඤ්ඤාණය පිළිපද තරමක් හෝ වියුක්ත අර්ථකථනයක් සාදා ගැනීමට අභිධර්මය ඇවැසි වෙයි. එහෙත් ඒ අර්ථද එක් එක් පුද්ගලයා ගන්නේ තම ඉන්ද්‍රියන්ට සාපේක්ෂවය (මනසද ඉන්ද්‍රියකි). මේ ධර්මයේ ඇති ගුණයකි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි යන්නෙන් කියවෙන්නේ ධර්මය ඒ ඒ පුද්ගලයා තම තම ණැන පමණින් ගන්නා බවය. ඕපනයික යනු තමා තුළට පමුණුවා ගෙන බලන බවය. එවැනි ධර්මයක වාස්තවික ප්‍රවාද ඇති වීමට ඉඩක් නැත. ගුරුත්වාකර්ෂණ ප්‍රවාද ඕපනයික නැත. පුද්ගලයාගෙන් පුද්ගලයාට (හෝ වස්තුවෙන් වස්තුවට) වෙනස්වන ගුරුත්වාකර්ෂණ ප්‍රවදයක් බටහිර විද්‍යාවේ නැත.

තවත් උදාහරණයක් ගනිමු. එක් භික්ෂූන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගේ අවවාදය වූයේ තමාට වඩා (ගුණයෙන්) උසස් කෙනෙක් ආශ්‍රයට නොලැබුනොත් තනිව සිටින ලෙසය. තමාට වඩා පහත් කෙනෙක් ආශ්‍රය නොකරන ලෙසය. දැන් මෙය වියුක්ත ප්‍රවාදක් කර සියලු දෙනාටම ආදේශ කළහොත සිදු වන්නේ කුමක්ද? කිසිවකුට තමාට වඩා උසස් කෙනෙකු ආශ්‍රය කිරීමට නොහැකි වනු ඇත. ඒ මන්ද යත්, එම උසස් පුද්ගලයා තමාට වඩා පහත් පුද්ගලයකු ආශ්‍රය කිරීමෙන් වැළකී සිටිනු ඇති බැවිනි. ඒ ඒ පුද්ගලයාට කළ දේශනා වියුක්ත ප්‍රවාද කිරීමේ අනතුර මින් පැහැදිලි විය යුතුය. පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි දෙන උදාහරණයකට අනුව සූත්‍රයනු ඒ ඒ අවස්ථාවේ වෛද්‍යවරයකු දෙන බෙහෙත් තුණ්ඩු වැනිය. එහි අඩංගු වන්නේ අදාළ රෝගියාට ඒ අවස්ථාවට අදාළ උපදෙස්ය (එකම රෝගියාට වුවද එක් එක් අවස්ථාවේ වෙනස් බෙහෙත් තුණ්ඩු නියම විය හැකිය). අභිධර්මය යනු ඒ වෛද්‍යවරයා දැන සිටි වෛද්‍ය ශාස්ත්‍රය වැනිය. බෙහෙත් තුණ්ඩු පමණක් කියවා තමන් වෛද්‍ය ශාස්ත්‍රයේ පරතෙරට ගොස් ඇතැයි හගවමින් වෙදකම් කර නැති ලෙඩ හදන රටේ වෙද්දු මෙකල බහුල වෙති. (බුදු රජාණන් වහන්සේ වදාළ දේශනා පුද්ගල දේශනා, සමූහ දේශනා යනුවෙන් වර්ගීකරණයක්ද ඇත. සූත්‍රයක් අධ්‍යයනය කිරීමේදී මේ පිළිබදවද සැලකිලිමත් වීම අවශ්‍ය යැයි සිතමු)

වියුක්ත බුද්ධාගම සහ කල්ලිවාදය

වියුක්ත බෞද්ධයන් අතර කල්ලිවාදය සහ පුද්ගලවාදය බහුලව දක්නට ඇත. මේ නම් තනිකරම යුදෙව් ක්‍රිස්තියානි ආත්මවාදී සංස්කෘතියට බුදු දහම අවශෝෂණය කිරීමේ විපාකයකි. බුදුරජාණන් වහන්සේගේ අවවාදය වූයේ තමන් වහන්සේගේ ඇවෑමෙන් පුද්ගලයකු හෝ කණ්ඩායමක් සසුනේ ප්‍රධානත්වයට පත් නොවිය යුතු බවය. හුදෙක් ධර්ම විනයම ප්‍රධාන විය යුතු බවය. බුදු දහම අනාත්ම දහමක් වීමද මීට හේතුව වීයැයි සිතිය හැකිය. එහෙත් ටිබෙට් බුදු දහම වැනි බෞද්ධ නිකායවල දලයි ලාමාතුමාට විශේෂ තැනක් හිමි වීමෙන්, පසු කාලීනව පුද්ගලවාද ඉස්මතු වීයැයි සිතිය හැකිය. විශේෂයෙන්ම භාරතයේ ආත්මවාදී හින්දු සංස්කෘතියේ බලපෑම මීට හේතු වන්නට ඇත.

ඒ අයුරින්ම අද වියුක්ත බෞද්ධයෝ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බලපෑමෙන් බෞද්ධ කල්ලි බිහි කරගෙන සිටිති. මේ කල්ලි වල ක්‍රියාදාමය සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි වල ක්‍රියාදාමය අතර ඇත්තේ ආකෘතිමය සමානකමකි. තම සාමාජිකත්වය දැඩි ග්‍රහණයකට හසු කර ගැනීම එහිලා ප්‍රධාන වෙයි. තම නායකත්වය ප්‍රශ්න කරන්නන් 'පව් කාරයන්', 'මිත්‍යා දෘෂ්ටිකයන්' ලෙස හංවඩු ගැසීම (පව්කාරයාට ගල් ගැසීම) දක්නට ඇත. තම නායකත්වය කියන ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි ගන්නා අමූලිකා ශ්‍රද්ධාවද ප්‍රකටය. සාමාජිකයන් සිය පවුල්වලින් වෙන් කර තම ග්‍රහණයට ගන්නේ තම දෙමව්පියන් පවා 'අන්ධබාල පෘථග්ජනයන්' බවත්, නිවන් යාමට නම් කල්ලියේ සිටින 'කළ්‍යාණ මිත්‍රයන්' කට්ටිය සමග 'සෙට් වීම' අනිවාර්ය බවත් පවසමිනි. සමහර වියුක්ත බෞද්ධ කල්ලිවල ක්‍රියාදාමය දුටු විට සිහි වන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට බෞද්ධ සළුපිළි ඇන්දූ විට සිටින ආකාරයකි.

මේ කල්ලිවාදය බුදු දහමේ මූලික සිද්ධාන්තවලට පටහැනිය. මන්ද එයින් මමත්වය (ආත්මවාදය) වර්ධනය කරන හෙයිනි. එමෙන්ම එය බුදු හාමුදුරුවන්ගේ අවවාදය පිටු දැකීමක්ද වෙයි.

එසේම වියුක්ත බෞද්ධ කල්ලිවාදය තුළ සිය ප්‍රධාන හාමුදුරුවන් හෝ ගිහි නායකයා බුදු දහම 'සොයා ගත්තා' වැනි හැගීමක් ඇත. බුදුරජාණන් වහන්සේට පසු පහළ වූ ප්‍රධානම ශාස්තෘවරයා වැනි අදහසක් වියුක්ත බෞද්ධ අසපුවකට ගිය පසු ඇති වෙයි. ජීවිත පූජාවෙන් ත්‍රිපිටකය රැක ගත් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් මහත් රාශියකගේ අපරිමිත කැපවීමෙන් මේ ධර්මය අපට ලැබුනු බව වියුක්ත බෞද්ධයන් මහත් පහසුවෙන් අමතක කරති. එවිට අර ප්‍රධාන හාමුදුරුවන්ගේ 'විශේෂත්වය' නැතිවන බැවිනි. අහෝ ! කෘතවේදීත්වයවත් නැත්තන්ට කවර නම් නිවනක්ද?

වියුක්ත බුදු දහම සහ ශීල මදය සහ ධර්ම මදය


වියුක්ත බෞද්ධයන් තුළ දක්නට ලැබෙන තවත් දුර්ගුණයක් නම් ශිලමදය සහ ධර්මමදයයි. මෙසේ වීමට හේතු වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති අනුන් පහත් කර තමන් උසස් යැයි හගින ගුණයයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හැම විටම උත්සාහ කරන්නේ අන්‍යයන් 'ශිෂ්ට' (civilize) කිරීමටයි. එයින් හැගවෙන්නේ එම සංස්කෘතියට අයත් නොවන්නන් අශිෂ්ටයන් බවයි. එය කලක් 'white man's burden' ලෙසින්ද හැදින්විනි. අද ඒ වචනය භාවිතා නොවන මුත් එම ක්‍රියාදාමයේ වෙනසක් නැත. ඒ අනුව යමින් වියුක්ත බෞද්ධයෝද තම කල්ලියට අයත් නොවන්නන් 'අන්ධ බාල පෘතග්ජනයන්' ලෙස සලකති. තුමූම මහත් වූ සිල්වන්තයන් යැයි සිතති. මහා ධර්මධරයන්යැයි සිතති (ධර්මධර වීම යැයි මොවුන් සිතන්නේ හැකිතාක් සූත්‍ර – බොහෝ විට තම මතය තහවුරු කිරීමට ආධාරවන සුත්‍ර කෑලි - කටපාඩම් කරගෙන තොරතෝංචියක් නැතිව කියවීමය). අන්‍යයන් දුස්සීලයන්ය. ධර්ම ඥාණයක් නැත්තවුන්ය. අත්තුංකන්සනය හා පාරවම්භනය මොවුන් තුළ ඉහවහා ගොස් ඇත. විශේෂත්වය නම් මොවුන් ඒ සිදු කරන්නේ බුදු දහම යොදාගෙනම වීමය. වෙනත් වචනවලින් කියන්නේ නම් වියුක්ත බෞද්ධයන් කරන්නේ මමත්වය නැති කරනවායැයි කියා තව තවත් මමත්වයම පෝෂණය කිරීමය. (මෙයට ඉංගිරිසියෙන් ඇති කදිම යෙදුමක් නම් spiritual elitism යන්නය)

වියුක්ත බුදු දහම සහ යුද්ධය

වියුක්ත බෞද්ධයන් යුද්ධයට නිරපේක්ෂව විරුද්ධය. එයින් මිනිසුන් මැරෙන නිසාය. ඕල්කොට් බෞද්ධයන්ද යුද්ධයට විරුද්ධ වෙති. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක ඇත්තකි. එහෙත් ලංකාවේ පැවති යුද්ධය නොකර සිටියානම් තවමත් මිනිස්සු මැරෙති. අනාගත පරම්පරාවලත් මිනිස්සු දහස් ගණන් මැරෙනු ඇත. යුද්ධය කරන චේතනාව මෙහිදී වැදගත් වෙයි. යුද්ධය කරන්නේ මිනිස්සු දුකෙන් ගලවා ගැනීමට නම් ඒ චේතනාව යහපත් චේතනාවක් වෙයි (ගැමුණු රජතුමා යුද්ධ කලේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙනි. බුදු දහම වෙනුවෙන් කිසිවිට යුද්ධ කොට නැතැයි ඕල්කොට් බෞද්ධයෝ කියති). බුදු දහම පැතිරවීමට කිසිවකු යුද්ධ කොට නැති නමුත් බුදු දහම ආරක්ෂා කර ගැනීමට අතීත රජ දරුවෝ යුද්ධ කළහ. අද බුදු සසුනක් ඉතිරි වී ඇත්තේ ඔවුන් එසේ යුද්ධ කළ බැවිනි. ඒ බැව් නොතකා සාම බණ කීම කුහක වතක් වෙයි.

එහෙත් එසේ යහපත් චේතනාවෙන් යුද්ධ කරන විට මිනිස්සු මැරෙති. තුවාල වෙති. ඒ ඒ අවස්ථාවල අකුසල් චේතනාවන් පහල වන නිසා එහිදී අකුසල්ද සිද්ධ වෙයි. ඒ නිසා මෙවැනි අවස්ථාවල පින් පව් දෙකම සිද්ධ වේ යැයි සැලකිය හැකිය. පාරේ සිටින බල්ලෙක් පැන්නීමට ඌට ගලක් ගැසීම මීට සරල උදාහරණයකි. ඇත්ත වශයෙන්ම අපි කරන බොහෝ කර්ම කළු හෝ සුදු කර්ම නොව 'අළු කර්ම' වෙයි. අපි දානයක් දුන්නද අපේ සිත තුළ ප්‍රශංසාවක් හෝ සැප විපාකයක් පිළිබද බලාපොරොත්තුවක් නැතැයි අපට සහතික විය නොහැකිය. කෙලෙස් සහිත මනසකින් පිනක් කලද ඉන් සුළු හෝ අකුසලයක් විය හැකිය. මේ ප්‍රශ්නය නිවන් දකින තුරුම, මනස තුළ කෙලෙස් තිබෙන තුරුම, නිරාකරණය වේයැයි නොසිතමි.

අනෙක් අතට යුද්ධ කිරීම වැනි කාරණා වලදී පුද්ගල විඥාණයට වඩා වැදගත් වන්නේ සමූහ විඥාණයයි. හමුදා භටයෙකු යුද්ධ කරන්නේ තමාගේ පුද්ගලික යහපතක් සදහා නොව සමූහයක් වෙනුවෙනි. එය එක්තරා ආකාරයක පරිත්‍යාගයකි. මමත්වය තුනී කර ගැනීමකි. පින් 'account' එක තර කර ගැනීම සිය මුඛ්‍ය පරමාර්ථය කොට සිටින වියුක්ත බෞද්ධයන්ට වඩා බොහෝ හමුදා සෙබළුන්ගේ මමත්වය අඩුබව සහතිකයෙන්ම කිව හැකිය.

සිංහල බෞද්ධයන් අතීතයේ සිටම යුද්ධය ගැන අනුගමනය කළ ක්‍රමවේදය මේ අනුව පැහැදිලි විය යුතුය. කිසි විට බල තණ්හාවෙන් අන්‍ය රටවල් ආක්‍රමණය නොකිරීමත්, එහෙත් ආක්‍රමණ හෝ කැරලි වලදී රට දැය සමය ආරක්ෂා කිරීමත් ඒ ප්‍රතිපත්තිය වෙයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එකග වෙයි. මහාවංශයේ මේ ප්‍රතිපත්තිය ඇත. මහින්ද රාජපක්ෂ මහතා මතුකර ගත්තේ මේ ප්‍රතිපත්තියයි. දහසක් අනුකාරකයන් ත්‍රස්තවාදී සංවිධානයක් පැරදිය නොහැකිය යන්න බටහිරයන් අනුව යමින් එක හෙළා කියද්දී එය බොරු කිරීමට ඒ මහතාට හැකි වූයේ මෙරට සංස්කෘතිය අනුව කටයුතු කිරීම නිසාය.

මේ කරුණු කිසිවක් නොසලකා පුහු නිරපේක්ෂ යුධ විරෝධයක් කර තබා ගැනීම යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදයට කඩේ යාමකි. මන්ද යත් ලංකාවේ පැවති දෙමළ ත්‍රස්තවාදය යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිත‌වාදයේ නිර්මාණයක් වන හෙයිනි. සිංහල බෞද්ධයන් යුද්ධ නොකලොත් ඉබේම දෙමළ ත්‍රස්තවාදය ජය ගන්නා අතර එමගින් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙන්ම ලක්දිව බුදු සසුනද අවසාන වෙයි. වියුක්ත බෞද්ධයන්ද අවසාන වනු ඇත (අගනුවර සිටින වියුක්ත බෞද්ධයන් කීප දෙනකු බටහිර රටවල තම ස්වාමීන් සොයා යනු ඇත). කෙසේ වෙතත් අද යුද්ධයෙන් පසු එහි ප්‍රතිලාභ භුක්ති විදීමට නම් වියුක්ත බෞද්ධයෝ නොපැකිලෙති. එහෙත් ඔවුන් තුළ රණ විරුවන් කෙරෙහි කෘතවේදීත්වයක් නම් නැත. ඔවුන්ට අනුව සෙබළු ඔවුන් මෙන් සිරා කළ්‍යණමිත්‍ර පොරවල් නොව පව්කාරයන් පිරිසකි. මනුස්සකමේ මූලික ගුණයක් වන කෘතවේදීත්වයවත් නැති මොවුන් දකින නිවනක් වෙද්ද?


වියුක්ත බුදු දහම සහ වාස්තවික යථාර්තය

වියුක්ත බුදු දහමේ ඇති ප්‍රධානතම ගැටලුවක්නම් එය බටහිර විද්‍යාවේ ඇති වාස්තවික යථාර්තය කර තබාගෙන යාමය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එන නිත්‍ය, සදාතනික වූ දෙවියන් වහන්සේ අපුද්ගලකරණය වීමෙන් බටහිර විද්‍යාවේ වාස්තවික යථාර්තය බිහිවිය. වියුක්ත බෞද්ධයන්ට අනුව බුදු දහම යථාර්තවාදයකි. වියුක්ත බෞද්ධයන් තේරුම් ගන්නා බුදු දහම හරි (පිරිසිදු) බුදු දහම වෙයි. අනිකුත් අය (තිසරණ සරණ ගියත්) මිත්‍යා දෘෂ්ටිකයෝ වෙති. වියුක්ත බෞද්ධයකු සූත්‍රයක් කියවා එය අර්ථ දක්වන ආකාරයත් රහතන් වහන්සේ නමක් සූත්‍රයක් කියවා එය අර්ථ දක්වන ආකාරයත් එකක්ම වෙයිද? කිසිසේත්ම නැත. මන්ද අර වියුක්ත බෞද්ධයා රහත්වී නැති හෙයිනි. නමුත් වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව නම් අර රහතන් වහන්සේද මිත්‍යා දෘෂ්ටිකයෙක් විය යුතුය. මන්ද උන් වහන්සේ සූත්‍රය තේරුම් ගන්නා ආකාරය වියුක්ත බෞද්ධ කල්ලියක කෙනෙක් එය තේරුම් ගන්නා ආකාරයට (නැතහොත් වියුක්ත බෞද්ධයාගේ මනස program කර ඇති ආකාරයට) වඩා වෙනස් වන හෙයිනි.

බුදු දහමේ වාස්තවික යථාර්තයක් ඇද්ද? මීට පිළිතුරු ධර්මයේ ගුණ‌ දෙකකින් පැහැදිලි කර ගත හැකිය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි ගුණයට අනුව ඒ ඒ පුද්ගලයා ධර්මය ග්‍රහණය කර ගන්නේ තම තම ණැන පමණිනි. එසේම ඕපනයික ගුණයට අනුව ධර්මය තමා තුළට පමුණුවාගෙන බැලිය යුතුය. එනම් ධර්මය එක් එක් පුද්ගලයා ග්‍රහණය කර ගන්නේ තමාට සාපේක්ෂවය. අනිත් අතට එය එක් යථාර්තයක් එක් එක් පුද්ගලයා වෙන වෙනම ග්‍රහණය කර ගැනීමක් විය නොහැකිය. මන්ද එවැනි වෙනස් නොවන යථාර්තයක් පැවතීම අනාත්මයට විරුද්ධ වන බැවිනි.


වියුක්ත බුදු දහම සහ අනාත්මය

වාස්තවික යථාර්තය ආත්මවාදී අදහසකි. එකී යථාර්තය මනසින් ස්වායත්ත වනවා පමණක් නොව නොවෙනස් වන්නකි. බුදු දහම වාස්තවික යථාර්තයක් කර ගැනීම එය ආත්මවාදයකට හිර කිරීමක් වෙයි. එය සිදුවී ඇත්තේ බටහිර විද්‍යාවේ බලපෑමෙනි. ක්‍රිස්තියානි සංස්කෘතියක නිර්මාණය වූ බටහිර විද්‍යාව වාස්තවික යථාර්තය වැනි ආත්මවාදී අදහසක් මත පදනම් වීම පුදුමයක් නොවේ. ප්‍රශ්නය එය බුදු දහමට ඈදා ගැනීමය.

වියුක්ත බුදු දහම සහ බෞද්ධ සා‍පේක්ෂතාවාදය

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි යන්න සාපේක්ෂතාවාදයකි. අවශ්‍ය නම් ඊට බෞද්ධ සාපේක්ෂතාවාදය යැයි කිව හැකිය. එසේ සාපේක්ෂව ග්‍රහණය කර ගන්නා ධර්මය යනු කුමක්ද? සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැව් බුදු දහමේ මූලික අදහසකි. මෙහි අනිත්‍ය ආදී වචන සංකල්ප මෙන්ම සංකල්ප නොවන ලෙසද යොදාගත හැකි බව නලින්ද සිල්වා මහතා පෙන්වා දෙයි. මන්ද අනිත්‍ය යන්න වෙනස් වීම ලෙස තේරුම් ගත් පමණින් අප නිවන් නොදකින බැවිනි.

අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය සමග ශුන්‍ය යන වචනයද සමහර සූත්‍රයක හමුවෙයි. මහායාන ශුන්‍යතාව යනු මේ ශුන්‍ය ගුණය ආත්මවාදයකට හරවා ගැනීමකි. අපි එය ප්‍රතික්ෂේප කරමු. එනමුත් ශුන්‍ය ගුණය අපට වැදගත් වන්නේ සංකල්පීය ලෝකය ශුන්‍ය බවත් වාස්තවික යථාර්තයක් නැති බවත් එමගින් පැහැදිලි වන හෙයිනි. එනයින් බුදු දහම බටහිර විද්‍යාවේන් තීරණාත්මකව වෙනස් වෙයි. තව දුරටත් බුදු දහමට බටහිර විද්‍යාවේන් චරිත සහතික දීමට තැත් කරන්නන් දෙව්දත් පරපුරෙන් පැවතෙන්නෝ වෙති. බුදුදහම ඊනියා යථාර්තවාදී දහමක් යැයි කියන ඕල්කොට් බෞද්ධයෝ මෙන්ම නූතන බෞද්ධයෝද මීට අයත්ය. (වාස්තවික යථාර්තයක් නැතැයි කීම විසංවාදයකැයි කියන්නෝ රේඛීය චින්තනයක සිතන්නෝ වෙති. චක්‍රීය චින්තනයකදී වාස්තවික යථාර්තයක් නැතැයි කීමද වාස්තවික නොවේ. ඒ ප්‍රකාශය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂ වෙයි)

බුදු දහමේ එන යථාභූතා ඥාණය වාස්තවික යථාර්තයක්ද? අප දකින ආකාරයට නම් ඒ ඥාණය වාස්තවික යථාර්තයක් නැති බව 'ප්‍රත්‍යක්ෂයෙන්' තේරුම් ගැනීමය.

වියුක්ත බුදු දහම සහ ගිහි පැවිදි සම්බන්ධතාව බිඳ වැටීම

දැන් අපි නැවතත් වියුක්ත බුද්ධාගමේ සාමාජීය බලපෑම දෙස බලමු. අපට පැහැදිලිව දිස්වන දෙයක් නම් වියුක්ත බෞද්ධ කල්ලි ගම සහ පන්සල අතර ඇති සම්බන්ධය නැති කිරීමට සවිඥාණිකවම කටයුතු කරන බවය. අසපු (මේ අසපු යන සංකල්පය කිසිම සූත්‍රයක නැත). පාංශුකූලය, බෝධිපූජාව වැනි දේ ප්‍රතික්ෂේප කිරීමෙන් සිංහල බෞද්ධයා සහ පන්සල අතර ඇති සම්බන්ධය දුරස් වෙයි. එවිට බුදු දහම ක්‍රිස්තියානිය මෙන් 'පුද්ගලික දහමක්' වෙයි (එය බුදු දහමේ අවසානය වන්නේ බුදු දහමේ හරයම 'පුද්ගලිකත්වය' – මමත්වය – දියකර හැරීම වන හෙයිනි. එය වර්ධනය කිරීම නොවන හෙයිනි).


බුදු සසුන පැවතීමට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අයත් වෙති. මේ පිරිස් හතර ගොඩනැගිල්ලක් තැනීමට ගැසූ කණු හතරක් ලෙස සැලකිය හැකිය. ඉන් එක් කණුවක් හෝ ඉවත් කළහොත් ගොඩනැගිල්ල කඩා වැටෙනු ඇත. බුදු හාමුදුරුවෝ කිසි දිනක ගිහියන් හෙළා දැකීමක් නොකළහ. මන්ද බුදු සසුනේ පැවැත්මට ශ්‍රද්ධාවත් ගිහි පිරිසකගේ අවශ්‍යතාව උන් වහන්සේ දුටු හෙයිනි. අනිත් අතට එක් එක් පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව ඒ ඒ පුද්ගලයාට සුදුසු මාර්ග වෙනස් වෙයි. සෑම කෙනෙකුටම පැවිදි වී මහණදම් පිරීමේ හැකියාව ඇතැයි සිතිය නොහැකිය. එසේ වී නම් උන් වහන්සේ අනේපිඩු සිටු තුමාටත් පැවිදි වන්නට උපදෙස් දෙනු ඇත. එහෙත් උන් වහන්සේ එසේ නොකළහ. අනේපිඩු සිටු තුමා ගිහිව හිදිමින් සෝවාන් ඵලයට පත්වී බුදුසසුනට ඉමහත් සේවාවක් කළේය. එතුමාගේ මනසේ ස්වභාවය සහ කර්ම ශක්තිය අනුව සිය ජීවිත කාලය තුළ කළ හැකි උසස්ම සේවාව කරන්නට ඇත. එහෙත් බුදු හාමුදුරුවෝ නන්ද කුමාරයා පැවිදි කිරීමට පියවර ගත්හ. ඒ සදහා උපක්‍රමද යෙදූහ. මේ සියල්ලෙන් පෙනී යන්නේ බුදු සසුනේ පැවිදි වීම කෝකටත් තෛලයක් නොවන බවය. සමහර අයට ගිහිව හිද ගුණ ධර්ම පිරීම වඩා සුදුසු විය හැකිය. ඊට ඒ ඒ පුද්ගලයා සිටින කායික මානසික තත්වය මෙන්ම කර්මයද බලපාන බව සිතිය හැකිය. ඕනෑම කෙනෙක් පැවිදි කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඒ පුද්ගලයාට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වීමය. බුදු රජාණන් වහන්සේට මෙන් අභිඥා ඤාණ මෙකල භික්ෂූන් වහන්සේලාට නැති නිසා කළ හැක්කේ ඒ ඒ පුද්ගලයායේ සිතුම් පැතුම්, මානසික තත්වය, පවුල් පසුබිම ආදිය හදුනාගෙන, අදාළ උපදෙස් දීමය.

මේ ජී‍විත‍යේදීම නිවන් දැකීම සහ හැකි ඉක්මනින් නිවන් දැකීම

වියුක්ත බෞද්ධයන් මෑතකදී හදුන්වා දුන් යෙදුමකි 'මේ ජීවිතයේදීම නිවන් දැකීම' යන්න. හැම දේටම සූත්‍ර පිටකයේ පාඨ උපුටා දක්වන වියුක්ත බෞද්ධයන් මේ පාඨය සූත්‍ර පිටකයේ ඇත්තේ කොතනදැයි උපුටා දැක්වීම යෙහෙකි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධ උපමාවක් නම් 'හිස ගිනි ගත්තෙක් එගිනි නිවන සේ' නිවනට උත්සාහවත් විය යුතු බවය. එය අපි සැවොම අසා ඇත්තෙමු. එය 'මේ ජීවිතයේදී නිවන් දැකීම' හා සමානද? අප කොතරම් උත්සාහ කළත් මේ ජීවිතයේදී නිවන් දකින්නේ යැයි අපට සහතික විය නොහැකිය. අපට කළ හැක්කේ උත්සාහ කිරීම පමණක් වෙයි. සමහර විට කලාතුරකින් මේ ජීවිතයේදී නිවන් දැකීමටද ඉඩ ඇත. සමහර විට ජීවිත ගණනාවකින්, තවත් සමහර විට කල්ප ගණනාවකින් නිවන් දැකීමටද ඉඩ ඇත. ඒ අපේ පාලනයෙන් තොර වෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා දඹදිව උන් වහන්සේගෙන් බණ ඇසූ අයගෙන් පවා අඩුම තරමින් සෝවාන් වූයේ කීයෙන් කී දෙනාද? එසේ සෝවාන් වූ සහ නිවන් දුටු අය තම ප්‍රතිපදා පිරීමට පටන් ගෙන ඇත්තේ සමහර අවස්ථාවල කල්ප ගණනකට පෙර සිට බුදුවරුන්ගේ කාලවලය. එතරම් අතිශය දුෂ්කර වූ කටයුත්තක් ආරෝපණය කරගත් වීර්යයකින් හෝ ශ්‍රද්ධාවකින් කළ නොහැකි වෙයි. ශීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම ක්‍රම ක්‍රමයෙන් දීර්ඝ කාලයක් තුළ (බොහෝ විට ජීවිත මහත් රාශියක් තුළ) ගොඩනැගීම අවශ්‍ය වෙයි. ඊට අදාළ හේතු අප දැනටම සම්පූර්ණ කර ඇත්නම් එය අපේ සතුටට හේතු විය යුතුය. එහෙත් තමා පිළබද අධි තක්සේරුවක් ඇති කර ගැනීම අනුවණ ක්‍රියාවකි. එහ හරියට ගහක් යට සිටින මිනිහෙක් බොරුවට ගහ උඩ සිටින්නාක් මෙන් හැසිරෙන්නාක් මෙනි. එයි ඔහුටද අන් අයටද වැඩක් නැතුවා පමණක් නොව ඔහුට සම්මජාතියට ගහට නැගීමටද නොහැකිය. මන්ද ඔහු තමන් ගහ උඩ සිටින බව සිතාගෙන සිටින හෙයිනි.

නිවන් දැකීම අපේ පාලනයට නතු වූවානම් නිවන ආත්මවාදී වෙයි. එනයින් 'මේ ජීවිතයේ නිවන් දැකීම' ආත්මවාදී අදහසකි. එසේම එය වර්තමාන ජීවිතයට අසීමිත වැදගත්කමක් දෙන්නේ 'මේ ජීවිතයේම නිවන් නොදැක්කොත් උඹලා ඔක්කොම විනාශයි. අපායේ තමයි' යන භීතිකාව ඇති කිරීමත් සමගය (මෙය සැබැවින්ම දෙවියන් ගැන විශ්වාසයක් නැති අය අපායේ යනවා යැයි බිය කර තම අනුගාමිකයන් සිර කර ගන්නා ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිවල හැසිරීමට සමානය). මේ භීතිකාවට හසුවන අසරණයන් අල්ලේ නැටවීමට වියුක්ත බෞද්ධ කල්ලි අතිශයින් සමර්ථය. සසර බිය හොද නමුත් භීතිකාව නරකය (බිය ක්ලේශයක් බව අප මතක තබා ගත යුතු වෙයි). මන්ද එවිට පුද්ගලයා ඒ බියේ වහලෙක් වන හෙයිනි. මේ භීතිකාවට හසුවී බලෙන් ආරෝපණය කරගත් ශ්‍රද්ධාවකින් පැවිදි වී ගිහි ජීවිතයත් පැවිද්දත් දෙකම අවුල් කර ගත්තෝ අප දැක ඇත. එය බුදු සසුනේ පැවැත්මට කරන හානියක් වෙයි.

අනිත් අතට බුදු දහම අනුපූරක දහමකි. බුදුරජාණන් වහන්සේ මුහුදේ උපමාවෙන් වදාළේ මුහුදු වෙරලේ සිට ගැඹුරු මුහුද දෙසට ක්‍රම ක්‍රමයෙන් යන්නාක් මෙන් ධර්මයද ක්‍රම ක්‍රමයෙන් පුහුණු කළ යුතු බවය. යන්තම් ජබු ගහන එකෙක් අල්ලාගෙන ගොස් පිහිණුම් තටාකයක ගැඹුරට ගොස් දැමුවොත් ඌ දියේ ගිලී මැරෙනු ඇත. එයින් පිහිනීමට උගෙන ගැනීම තබා ජීවිතයත් නැති වෙයි. වියුක්ත බෞද්ධයන්ගේ ව්‍යායාමයද බොහෝ විට ඒ හා සම වන්නේ උහු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති 'හදිසිය' බුදු දහමට වැද්ද ගැනීම නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙන් නොව ක්‍රිස්තායානි සංස්කෘතියේ කාලය භෞතිකව (නැතහොත් ප්‍රාග් භෞතිකව) පවතින්නකි. බටහිරයන්ට කාලය ගතවීමට මෙතරම් භය වීමත් වෙලාවට -කාලයට – වැඩ කිරීමට මෙතරම් දත කෑමටත් මේ හේතුවක් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ කාලය ප්‍රඤ්ඤප්තියකි - සම්මුතියකි. පිටරට ගොස් සුද්දන්ට කඹුරන්නන්ට සිංහල බෞද්ධයන්ගේ 'වෙලාවට වැඩ නොකිරීම' තේරුම් ගත නොහැක්කේ ඔවුන්ට මේ කාරණය තේරුම් ගැනීමට තරම් බුද්ධයක් හෝ ප්‍රඤ්ඥාවක් නොමැති බැවිනි. කිසිදු ඉවසීමක් නැති තැන්තාට තපසක් නම් නැති. නිවන් දැකීමට ඇති බොරු හදිසියම නිවනට බාධකයක් වනු ඇති. අවසානයේ වනු ඇත්තේ මානසික රෝග තත්වයකට ඇද වැටීමක් මිස නිවනක් නම් නොවේ. සමස්තයක් වශයෙන් වියුක්ත බෞද්ධයන් බොහොමයකට අවශ්‍ය අනිත් උන්ටත් පවුලේ සියල්ලන්ටත් රටටත් හෙණ ගැහුවත් නිවනට යන express කෝච්චියේ එල්ලී ගොස් හැකි ඉක්මනින් නිවන් දැක තමා අපායට යන එකෙන් ගලවා ගැනීමය. මෙතරම් සක්කාය දිට්ඨියක් තවත් ඇද්ද? මේ දෘෂ්ටියම යමෙක් නිවනෙන් වළකන්නේ වෙයි.

නිවන් දැකීමට උත්සාහවත් වීම‌ නොකළ යුත්තක් යැයි අප නොකියමු. එහෙත් ඒ උත්සාහය ප්‍රඥ්ඥාවත් උත්සාහයක් විය යුතු වෙයි. ඉවසීමෙන් හැඩ ගස්වා ගත් උත්සාහයක් විය යුත්තේය. නැතහොත් ඒ ඉබේම පුද්ගල මූලික තණ්හාවකට හැරෙනු ඇත. වඤ්චක ධර්මයකට මුල පුරනු ඇත. සුප්‍රසිද්ධ භාවනා ආචාර්ය හිමි නමක් වන අජාන් චා හිමි මේ පිළිබදව වදාළ කරුණක ඉංගිරිසි පරිවර්තනය පහත පරිදි වෙයි.

“The very desire to be free or to be enlightened will be the desire that prevents your freedom. You can try as hard as you wish, practise ardently night and day, but if it is still with the desire to achieve in mind, you will never find peace.”


වියුක්ත බුදු දහම සහ ‍බෝධි පූජා, මල් පූජා

වියුක්ත බුදු දහම බෝධි පූජා සහ මල් පූජා වැනි ආමිස පූජා ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති ආමිස පූජා ප්‍රතික්ෂේප කරයි. නමුත් බුදුහාමුදුරුවෝ කිසි දිනක ආමිස පූජා ප්‍රතික්ෂේප නොකළහ. ඒ ඒවායින් ශ්‍රද්ධාව වැඩෙන බැවිනි. උන් වහන්සේ ප්‍රතිපත්ති පූජාව උසස් බව වදාළ මුත් ආමිස පූජා ප්‍රතික්ෂේප නොකළ බවද මතක තබා ගත යුතුය. මන්ද බහුතර පිරිසක් ප්‍රතිපත්තියට වඩා ආමිසයට සමීප බැවිනි. ආමිසයත් නැති වුවහොත් ඔවුන් බුදු දහමෙන් ඈත් වනු ඇත. අද ප්‍රතිපත්තියට යොමු වූවන් පවා එතැනට එන්නේ ආමිසය හරහාය. වියුක්ත බෞද්ධයන් පවා කුඩා කළ හෝ ඒවාට සහභාගි නොවූයේනම් ඔවුන්ට වියුක්ත බෞද්ධයන් පවා වීමට බැරිවනු ඇති. බුදුහාමුදුරුවන් ජීවත්ව සිටියදී පවා ආනන්ද බෝධිය නමින් බෝධියකට මිනිසුන් පුද සත්කාර කළහ. සිංහල බෞද්ධයන් තම සංස්කෘතිකාංග සකස් කරගත්තේ ශ්‍රද්ධාව වැඩෙන ආකාරයටය. ඒ අනාගත පරපුරටත් ආරක්ෂා කර දීම අපේ පරම යුතුකම වෙයි. නැතහොත් අප සිගාලෝවාද සූත්‍රයේ එන පරපුරෙන් එන උරුම (මේවා ඉඩම් කඩම් නොව පරම්පරාගතව එන සිරිත් විරිත් සහ දැනුමය) ආරක්ෂා කිරීම යන යුතුකම පැහැරහැරි ගුණමකුවන් පිරිසක් වනු ඇත.

වියුක්ත බුදු දහම සහ ක්‍රිස්තියානි මුලධර්මවාදය

වියුක්ත බෞද්ධ කල්ලි සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි අතර 'ආකෘතිමය වශයෙන්' බලවත් සමානකමක් ඇත. මේ සියලු කල්ලිවල ඇත්තේ දැඩි මධ්‍යගත පාලනයකි. ප්‍රධානියාගේ හෝ කල්ලියේ මතයට විරුද්ධ මතවාදයක් සංවාදයක් ඇතිවීමට ඉඩ නැත. ඒ සියලු මතවිරෝධතා පව්කාරයාට ගල් ගසන්නාක් මෙන් වලක්වනු ලැබේ. ක්‍රිස්තියානි කල්ලි අපායට යන බව කියා බිය කර සිය සාමාජිකයන් සිය ග්‍රහණයට ගනිද්දී බෞද්ධ කල්ලි කරන්ෙන් බුදු දහම තම අර්ථ දැක්වීමට විකල්පව අර්ථ දැක්වුවොත් නිරයේ යන බව කියා සිය සාමාජිකයන් ග්‍රහණයට ගැනීමය. බුද්ධ චරිතයේ යම් අවස්ථා යොදාගෙන 'බෞද්ධයන් වාද නොකරති' යන වියුක්ත ප්‍රවාදයක් සාදා ගන්නා මොවුන් එමගින් තම සාමාජිකයන් විරුද්ධ මතවලින් ආවරණය කර ඔවුන්ව සිය ග්‍රහණයට ගනිති. මෙසේ වෙනත් අදහස් ඇති අය සමග වාද නොකිරීම ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිවලද දක්නට ලැබෙන උපක්‍රමයකි.

මෑතකදී ජනප්‍රිය වූ ලෝක විනාශ කතාවද ක්‍රිස්තියානි කල්ලි මෙන්ම බෞද්ධ කල්ලිද එක සේම භාවිතා කරන්නේ සිය සාමාජිකයන් සහ ජනතාව භීතියකට හසු කර සිය ග්‍රහණයට ගැනීමටය. රේඛීය චින්තයනයක් මත කටයුතු කරන යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එන ලෝක විනාශය සියල්ලේ අවසානය වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ එන කල්ප විනාශය (ලෝක විනාශය නොවේ) එවැනි අවසානයක් නොව තවත් කල්පයකට මග පාදන්නකි. සිංහල බෞද්ධයන්ගේ විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් නැති. එබැවින් ලෝක විනාශයක් ගැන දෙඩවීමෙන් වියුක්ත බෞද්ධ කල්ලිවල යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තවත් තහවුරු කරවයි.

වියුක්ත බෞද්ධයන්ගේ බොරු සෝබන වචන සෙට් එකක්ද ඇත. හාමුරුදුවන් හැදින්වීමට 'ස්වාමීන් වහන්සේ' කියා කීම එකකි. මේ ස්වාමීත්වය හගවන්නේ කාටද? ධර්මයටද? නැතිනම් කල්ලි සාමාජිකයන්ටද? බුදු රජාණන් වහන්සේ හැදින්වීමට නම් 'ස්වාමීනී' යන වචනය යොදා ගෙන ඇත්තේ උන් වහන්සේ ධර්මයට ස්වාමි වූ බැවිනි. සංඝයා වහන්සේ හැදින්වීමට සිංහල බෞද්ධයා 'හාමුදුරුවෝ' සහ 'හිමි' යන වචන තනා ගත්තේ කටවහරට උචිත පරිදි හා ඉහත කාරණයද සැලකිල්නට ගෙනය. එහෙත් වියුක්ත බෞද්ධයන්ට ඒ 'පොෂ්' මදිය. කතෝලික පූජකයන් හැදින්වීමටද 'ස්වාමි' යන වචනය යොදා ගැනීමේ එහි මූලය කොතැනදැයි පැහැදිලි විය යුතුය.

මොවුහු ප්ලේන්ටියක් බීමට යෑමටද 'පින්වත්' යැයි ආමණ්ත්‍රණය කෙරෙති. මේ නම් ව්‍යාජ ආරෝපිත ශ්‍රද්ධාවකි. මෙකී ව්‍යාජය තුළ සිරවීම නිවන් දැකීමට බාධාවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිවලද මෙකී ව්‍යාජත්වය ඇත. වියුක්ත බෞද්ධයන් සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වීමට වෙනම පුද පූජාද තනා ගෙන ඇත. කතෝලික සාන්තුවරුන් නැමදීම සිහිපත් කරවන 'සත් බුදු වන්දනාව' එබන්දකි. මේ සියලු 'නූතන' වන්දනා ක්‍රම වලට ආභාශය ලබා ගෙන ඇත්තේ ක්‍රිස්තියානි සහ කතෝලික සංස්කෘතිවලින් වීම අහම්බයක් නොවේ. උහු පිරිත් සිංහලෙන් කියති. මහාවිහාරික භික්ෂූන් වහන්සේලා නිර්මාණය කළ ගාථා වෙනුවට වෙනම කවි සාදාගෙන කියති. වියුක්ත බෞද්ධයන්ගේ අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතියට විකල්ප ලෙස යුදෙව් ක්‍රිස්තියානි බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය කිරීම බව පැහැදිලිය.

වියුක්ත බුදු දහම සහ සූත්‍ර අර්ථ දැක්වීම

පෙර සදහන් කළ පිරිස වියුක්ත බුදු දහමේ සූත්‍ර අර්ථ දැක්වෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂවය. කල් නොයවා විපාක දෙන ලෙස අර්ථ දැක්වූ 'අකාලික' යන්න වියුක්ත බෞද්ධයන් අර්ථ දක්වන්නේ කාලයට අනුව වෙනස් නොවන වාස්තවික යථාර්තයක් ලෙසය. ඕපනයික (තමා තුළට පමුණුවා ගෙන බැලීම), පච්චත්තං වේදිතබ්බ විඤ්ඤොහි (තම තම ණැන පමණින් ගැනීම) තුලින් සාපේක්ෂතාවදයක් මතු කරන අතර දහම වාස්තවික යථාර්තයක් ලෙස ගැනීම ප්‍රතික්ෂේප කෙරේ.

මේ මෙතැන, දැන්ම දැකිය හැක යන අර්ථ දෙන 'සන්දිට්ඨික' යන්න 'මේ ජීවිතයේ නිවන් දැකිය හැක' යන ආත්මවාදයකට හරවා ගනිති. බුදු දහමේ සූත්‍ර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව අර්ථ දැක්වීම ඊට කරන විශාල හානියක් වන්නේ එමගින් විසංවාද රාශියකට මුල පිරෙන බැවිනි. සන්දිට්ඨික යන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට සම්බන්ධය. නිවන් දුටු පුද්ගලයා මේ ත්‍රිලක්ෂණය මේ මොහොතේ මෙතැන දකී. මේ ජීවිතයේ නිවන් දැකීමක් ගැන කතාවක් එතැන නැත.

වියුක්ත බුදු දහ‍මේ අභිධර්මය සහ අටුවා ප්‍රතික්‍ෂේප වීම

වියුක්ත බෞද්ධයෝ අභිධර්මය සහ අටුවා ප්‍රතික්ෂේප කරති. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඒ බුද්ධ දේශනා නොවීමය. එහෙත් තුන්වන ධර්ම සංගායනාවේ සජ්ඤායනය වූ අනිත් ධර්ම කොටස් පිලි ගැනීමටත් අභිධර්මය පමණක් ප්‍රතික්ෂේප කිරීමට වරමක් වියුක්ත බෞද්ධයන්ට ලැබුනේ දෙවියන් වහන්සේගෙන්ද? අප අද දන්නා සූත්‍ර පිටකයද තුන්වන ධර්ම සංගායනාවේදී සංගායනා වූ සූත්‍ර පිටකය වෙයි. අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නම් මුළු තුන්වෙනි ධර්ම සංගායනාවම ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. එනම් මුළු ත්‍රිපිටකයම ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. වියුක්ත බෞද්ධයන්ට ඇති ප්‍රශ්නය මේ කිසිවක් නොව බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අනාදිමත් කාලයක පටන් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව ගොඩ නැගූ දැනුම (අටුවා, ටිකා, ටිප්පණි) ආදිය ප්‍රතික්ෂේප කිරීමය. එමගින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව නව අටුවා ලිවීමය. අද ඔවුන් කරන්නේ ඒ අලුත් අටුවා (අර්ථ දැක්වීම්) ලිවීම මිස අනිකක් නොවේ.

අනිත් විසංවාදය වන්නේ වියුක්ත බෞද්ධයන් අභිධර්මය ප්‍රතික්ෂේප කරමින් තමන් ථෙරවාදීන් යැයිකියා ගැනීමය. මෙය නම් අතිමහත් චෞර ක්‍රියාවක් වෙයි. අනන්‍යතා සොරකමක් වෙයි. ථෙරවාද නම් ගුරුකුලයක් බිහිවන්නේම අභිධර්මය නිසාය. එසේනම් අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නන් ථෙරවාදීන් විය නොහැකිය. ඔවුන් වෙනත් බෞද්ධ ගුරුකුලයක් විය යුතුය.

අභිධර්මය හෝ වෙනත් ධර්ම කොටස් තව තවත් සංවාදයට ලක් කළ යුතුය. තව තවත් අටුවා බිහිවිය යුතුය. එය එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ අභිමතයට වන්නක් නොව සාමූහික ක්‍රියාදාමයක් විය යුතුය. පෙර සංගායනාවලදීද කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. එසේ නොමැතිව කළ යුත්තේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නොවේ. සූත්‍රවල ඇති සංයුක්ත සහ පුද්ගල කේන්ද්‍රීය දේශනා අනුසාරයෙන් වියුක්ත දැනුමක් ගොඩනගා ගැනීම අභිධර්මයෙන් සිදු කර ඇත. බුදු දහමේ දාර්ශනික පදනමට ඒ ඉතා වැදගත්වේ. මන්ද දහමක් වශයෙන් පැවතීමට නම් සංගතව සංකල්පීය දැනුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ පදනම නැති කළහොත් බුදුදහම දාර්ශනික කඩා වැටීමකට ලක්වෙයි. එය බුදු සසුනේ පැවැත්මට ඉතා හානිකර වෙයි.

බුදුරදුන් වදාළේ යම් ඉගැන්වීමක් ධර්ම විනියට පටහැනි නොවේනම් ඒ පිළි ගන්නා ලෙසය. උන් වහන්සේ සූත්‍රපමණක් පිළි ගැනීමට කිසි තැනක කියා නැත. උන් වහන්සේ මූලධර්මවාදියකු නොවූහ. අභිධර්මය හෝ වෙනත් දැනුමක් ධර්ම විනයට පටහැනි නොවේනම් ඒ වඩ වඩාත් අර්ථ දක්වන්නේ නම් ඒ යොදා ගැනීම වරදක් නොවේ. එය සිදුවිය යුත්තකි. සූත්‍ර පවා අර්ථ දැක්වෙන්නේ ඒ ඒ සංස්කෘතිවලට සාපේක්ෂව නිසා විවිධ අරුත් ඇති වීම වැළැක්විය නොහැකිය.මේ ගැටලුව විසදීමට යම් සංගත පද්ධතියක් ගොඩ නැගීම අභිධර්මයෙන් සිදු වෙයි.

වියුක්ත බුද්ධාග‍ම සහ බටහිර විද්‍යාව

වියුක්ත බුද්ධාගම බටහිර විද්‍යාවේ ආභාෂය ලැබූවකි. අපි කිසිවිටකත් මෙරට සිටින වියුක්ත බෞද්ධයන් මේ මතවාද නිර්මාණය කළ බව නොසිතමු. වියුක්ත බෞද්ධයන්ට ඒ හැකියාව නැත්තේ ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත මුල් බැස නැති බැවිනි. ඔවුන් කරන්නේ හුදු අනුකරණයක් පමණි. ඒ මතවාද බටහිරින් ඔවුන්ට ලැබෙන්නකි. භාරතයෙන් බුදු දහම අතුරුදහන් වීමට එය වෛදික බ්‍රාහ්මණ සංස්කෘතියට ඒ අවශෝෂණය වීම හේතු විය (ශුන්‍යතාවය, නිර්ගුණ් බ්‍රහ්මන් වැනි සංකල්ප). එසේම අද ලංකාවේ ථෙරවාදය සහ බුදු සසුන අතුරුදහන් වීමට වියුක්ත බෞද්ධයන් විසින් ථෙරවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කිරීම මෙරට බුදු සසුනේද අවසානය වනු ඇත. මන්ද එවැනි බුදුදහමක් විසංවාද බහුල සංකල්පීයව දුර්වල, අසම්පූර්ණ බුදු දහමක් වන හෙයිනි.

වියුක්ත බුද්ධාග‍මේ යු‍දෙව් ක්‍රිස්තියානි චින්තනය

ඉහත කරුණු අනුව බැලීමේදී පැහැදිලි වන්නේ ඕල්කොට් බුද්ධාගම මෙන්ම වියුක්ත බුද්ධාගමද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට බුදු දහම අවශෝෂණය කිරීමේ ප්‍රතිඵලයකි. ඕල්කොට් බුදු දහම සිංහල බුද්ධාගමෙන් ජාතිය වෙන් කළ අතර වියුක්ත බුදුදහම ඊට පියවරක් ඉදිරියට ගොස් බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කර ඇත. ඕල්කොට් බුදු දහමේ ක්‍රමික විකාශනයක් ලෙස වියුක්ත බුදු දහම හදුනාගත හැක. එහෙත් ඕල්කොට් බුදු දහමත් වෙනම ධාරාවක් ලෙස තව දුරටත් ක්‍රියාත්මක වෙයි.

සිංහල බුද්ධාගම
 
බුදු දහම ඒ ඒ රටවලදී එරට ඇති සංස්කෘතිය හා බද්ධ වෙයි. තායිලන්තයේ ඇත්තේ තායි බුද්ධාගමයි. බුරුමයේ ඇත්තේ බුරුම බුද්ධාගමයි. ලංකාවේ ඇත්තේ සිංහල බුද්ධාගමයි. මෙහිදී සූත්‍ර පමණක් නොව ඒ සූත්‍ර මත බිහිවූ අටුවා ටිකා ටිප්පණි ආදයිත්, සිරිත් විරිත්, සාරධර්ම, භාෂාව සංස්කෘතිය ආදී සමස්තයම සිංහල බුද්ධාගම ලෙස සැලකිය හැකිය.

බුදු දහම එසේ සංස්කෘතිය හා බද්ධ වන්නේ ඇයි? ඊට හේතු කිහිපයක් ඇත. එකක් එය සර්ව බලධාරී දෙවියකු මත පදනම් නොවීමය. ඒ නිසා ඊනියා ලෝක බෞද්ධ සහෝදරත්වයක් ඊට නැත. තායිලන්ත බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට අපි එතරම් මැදිහත් නොවෙමු. ඊට හේතුව මෙසේ සංස්කෘතිය අනුව ථෙරවාදය වුවද එක් එක් රටට ආවේණික වීමය. තායිලන්තයේ ථෙරවාදය සමථ භාවනාවට මුල් තැනක් දෙද්දී බුරුමයේ අභිධර්මය සහ විපස්සනාව මුල් තැනක් ගනී. මේ විවිධත්වය ඒ ඒ රටවල ඇති සංස්කෘතිය මත පදනම් වෙයි. ලංකාව අතීතයේ ථෙරවාද බුදුදහමේ දැනුම නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැයික. සිංහල බුද්ධාගම එහි නිර්මාණයක් වෙයි. අශෝක බුදුදහම ලංකාවේදී සිංහල බුද්ධාගමක් විය.

අනිත් හේතුව නම් බුදු දහමේ ඇති සහනශීලීත්වයයි. එය යම් සමාජයකට අවශෝෂණය වන්නේ කලින් පැවති සිරිත් වලට අනුකූලවය. බුදු දහම මෙරටට පැමිණීමට පෙර මෙරට පැවති වෘක්ෂ වන්දනාව බුදු දහමට අවශෝෂණය වී බෝධි පූජාව නිර්මාණය විය. යම් හෙයකින් යුදෙව් ක්‍රිස්තියානි ඇහින් ලෝකය දකින වියුක්ත බෞද්ධයන් එකල සිටියේ නම් ගස් ටික කපා දමනු ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පසුව එන මතවාදයෙන් කලින් මතය ප්‍රතික්ෂේප වෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය වන්නේත් මේ ආකාරයටය. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ එසේ නොවේ. සමහර විට පැරණි මතවාදයට දිගටම පවතී. එහි විසංවාදයක් නැත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය චතුස්කොටිකය මත පදනම් වූ නිසාවෙනි. බුදු දහම පැමිණිමට පෙර පැවති දෙවියන් ඇදහීම තවමත් අප රටේ ඇත්තේ එහෙයිනි. වියුක්ත බෞද්ධයන්ට කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට එහි අරුමයක් නැත.

අනෙක් අතට සිංහල බෞද්ධ සංස්කෘතිය නිවන් දැකීම සම්බන්ධයෙන් බටහිරයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් tried and tested සංස්කෘතියකි. අරිට්ඨ මහරහතන් වහන්සේගේ සිට මලියදේව මහරහතන් වහන්සේ දක්වා රහතන් වහන්සේලා බිහිවූයේ මේ සංස්කෘතියේය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිවන් දැකීම ඉතාම අමාරු කාරියක් වන්නේ එහි හරයම දැඩි වාස්තවික යථාර්තයකින් වැසී ඇති බැවිනි. එසේම එය දෘඩ ද්විකෝටිකයක් (binarism) මත පදනම් වෙයි. එමනිසා කළ යුත්තේ බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කර එය විනාශ කිරීම නොව සිංහල බුදු දහම රැක ගැනීමය. තව තවත් වර්ධනය කිරීමය.

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අතර වෙනස තවමත් බොහෝ දෙනාට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි. මීට උපමාවක් ගනිමු. බුදු දහම පින්තූරයක් නම් බෞද්ධ සංස්කෘතිය එහි රාමුව වැනිය. මේ දෙක අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. බුදු දහමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය පෝෂණය වන අතර සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බුදු දහම ආරක්ෂා වෙයි. අද බොහෝ දෙනාට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘති රාමුව කඩා දැමීමය. රාමුවක් නැතිව පින්තූරයක් කල් නොපවතී. අනිත් අතට රාමුව පින්තූරයට ගැලපෙන්නක් විය යුතුය. නැතිනම් රාමුව නිසා පින්තූරය විනාශ විය හැකිය. යුදෙව් ක්‍රිස්තියානි රාමුවට බුදු දහම බලෙන් එබ්බවීමද මෙවැනි ක්‍රියාවකි.

බුදු දහමේ ගිහි පැවදි සම්බන්ධයට වැදගත් තැනක් හිමිවෙයි (මේ දෙපිරිස අතරද ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි) . උපාසක උපාසිකාවන් නැතිව භික්ෂූන් වහන්සේලාටද භික්ෂූන් වහන්සේලා නැතිව උපාසක උපාසිකාවන්ටද පැවැත්මක් නැත. අද වියුක්ත බෞද්ධයන් සිය සුපුරුදු වියුක්තය යොදා ගනිමින් මේ සම්බන්ධය නැති කරති. ගිහියන්ව හෙළා දැකීමෙන් වියුක්ත බෞද්ධයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ පවා කිසිවිටක ගිහියන් හෙළා දැකීමක් නොකළහ. සියලු දෙනාටම පැවිදි වීමටද උපදෙස් නුදුන්හ. උපාසක දිවිය මෙන්ම පැවිදි දිවියද සියලු දෙනාටම එකසේ නොගැලපෙයි. එය අනුපූරකව වැඩිය යුතු ක්‍රියාදාමයකි. සිල්වත් භික්ෂූන් වහන්සේලා මෙන්ම ශ්‍රද්ධාවත් ගිහියන්ද බුදු සසුනේ පැවැත්මට අවශ්‍යය. දෙමව්පියන් ප්‍රාණ ඇපයට ගෙන පැවැදි වීමට අවසර ගන්නා දරුවන් බිහි කරන වියුක්ත බෞද්ධ කල්ලි කරන්නේ බුදු දහම මිනිසුන්ට එපා කරවීමය. ගිහියන් සහ පැවිද්දන් අතර ගැටුමක් ඇති කරවීමය. (මීටද ඔවුන් යොදා ගන්නේ සූත්‍රවල එන එවැනි සිද්ධියක් සාමාන්‍යකරණය කර සියලු දෙනාමට එය යොදා ගැනීමෙනි. නානාත්ත කායා නානත්ත සඤ්ඤා යන්න මොවුන් තේරුම් ගන්නේ කවදාද?). මෙය සංඝ භේදයටද වඩා බරපතල වන්නේ භේදය ඊටත් වඩා පළල් තලයක (එනම් ගිහියන් සහ පැවිද්දන්) අතර ඇති වීමෙනි.

බුදු දහම විවිධ රටවල විවිධ සංස්කෘතිවල බැස ගැනීමට එය සාපේක්ෂතාවාදී සහ අනාත්ම වාදී දහමක් වීමද බලපායි. මේ සියලු කරුණු නිසා එය යථාර්තයකට පටහැනි වෙයි. මේ නිසා ඒ ඒ සංස්කෘතිවලට පහසුවෙන් අවශෝෂණය වීමට එයට හැකිය.

සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය

සිංහල බුද්ධාගමට ජාතිකත්වයද වැදගත් වෙයි. ජාතිය යනු පැහැදිලිවම සම්මුතියකි. සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. ජාතිකත්වයෙන් සංස්කෘතිය ආරක්ෂා වන අතර සංස්කෘතියෙන් ජාතිකත්වය පෝෂණය වෙයි. මේ කරුණුවලින් සිංහල බෞද්ධ ජාතිකත්වය බටහිර ජාතිකවාදයෙන් (nationalism) වෙනස් වෙයි (ජාතිකවාදයේදී ජාතිය මූල හේතුව වෙයි. යම් පද්ධතියක මුල් එක් හේතුවක් හදුනාගැනීම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණයකි. බුදු දහම මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියට නා නා හේතුවාදී වෙයි. තවත් පිරිසක් මේ බටහිර ජාතිකවාදය මත පිහිටා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බුදු දහම ගලවා සිංහලයන් පටු ජාතිකවාදයකට හිර කිරීමට සැරසෙති. මේ තවත් වියුක්තකරණයකි. මේ පිරිස වියුක්ත බෞද්ධයන්ගේ විලෝමය වන අතර මේ දෙපිරිසෙන්ම වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කඩා බිද දැමීමය. සිංහලත්වයෙන් තොරව ලක්දිව බුදු සසුනක්වත් බුදු දහමෙන් තොර සිංහලත්වයක්වත් නැත. මේ පිළිබදව වෙනම ලිපියක් ලිවිය යුතුය). ඕල්කොට් බෞද්ධයන් සහ වියුක්ත බෞද්ධයන් සිංහල බුද්ධාගමෙන් ජාතිකත්වය ඉවත් කිරීමට වළි කන්නේ ඇයිදැයි පැහැදිලි වියු යුතුය. එය සිංහල බුද්ධාගමේ ආරක්ෂකයා විනාශ කිරීමට සමානය. ආරක්ෂකයා මිය ගිය විට ආක්‍රමණිකයන්ට ඉතා පහසුවෙන් සිය අරමුණු ඉටුකර ගත් හැකිය. එනයින් බලන කල වියුක්ත බෞද්ධයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ආක්‍රමණිකයා වෙනුවෙන් කාඩේ යාමකි.

ඉහත සියලු කරුණු සලකා බැලීමේදී ඕල්කොට් බුදු දහම, වියුක්ත බුදුදහම සහ සිංහල බුදු දහම අතර වෙනස පැහැදිලි විය යුතුය. එසේම සිංහල බුදුදහම රැක ගැනීමටද (එය වඩ වඩා වර්ධනය කිරීමත් රැක ගැනීමේම කොටසක් වෙයි), යුදවේ ක්‍රිස්තියානි සංස්කෘතියේ නිර්මාණ වන ඕල්කොට් සහ වියුක්ත බුදු දහමේ ඇති ව්‍යාජත්වයේ සළුපිළි ගැලවීමටත් අප පසුබට නොවිය යුතුය.





- දර්ශන කස්තුරිරත්න  [ජාතික චින්තනයට අටුවාවක් ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

9/10/2014

සාහිත්‍යත් සමගම ජාතියත් වනසන පොත් සම්මාන මාෆියාව - ආචාර්‍ය ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     9/10/2014   5 comments
විද්‍යෝදය සම්මාන උළෙල කොළඹ ජාතික පුස්තකාලයේ දී (2014.09.01) පැවැත්විණි. එහි දී අවසන් දේශනය කළ ගුණදාස අමරසේකර  කළ කතාව .

‘‘පළමුවෙන් ම මෙම කටයුත්ත වෙනුවෙන් වෙහෙස මහන්සි වු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සුනිල් ආරියරත්න මහතා ප්‍රධාන සියලු භවතුන්ට සහ ඒ සම්මානලාභීන්ට මගේ කෘතඥතාව පළ කරනවා. මේ සම්මාන උළෙල අගයන අතර ම වෙනත් අදහස් කිහිපයක් ද පළ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මම හිතන්නෙ විද්‍යෝදය විශ්වවිද්‍යාලය දැන් අවුරුදු නමයක්ද කොහෙද මේ සම්මානය දෙනවා.

ඒ වගේම මගේ හිතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු හැට ගණනක් මේ වගේ සම්මානයක් දෙනවා. මට මතකයි කෝට්ටේ පැවති මුල්ම සම්මාන උලෙලටත් මම ගියා. ගියා විතරක් නොවෙයි ‘පැදුර කබල් උඩ ඉඳගෙන සිංහල සංස්කෘතිය දියුණු කළ හැකියි’ කියල ලිව්ව. ඒ ඉලන්දාරි කාලෙ.

නමුත් දැන් මේ සම්මානවල බලපෑම අඩු බවයි මට පේන්නෙ. අද බලපාන්නෙ ඒව නෙවෙයි මයෙ හිතේ පොත් ප්‍රකාශකයින් විසින් පවත්වනු ලබන සම්මාන. ඒ කියන්නෙ ස්වර්ණ පුස්තක. මේ ගොඩගේ මහත්මයගෙ එක. ඒ පොත් ප්‍රකාශකයන් විසින් තමන්ගෙ වාණිජ ව්‍යාපාරය කොටසක් වශයෙන් පවත්වන සම්මානය අද ආධිපතයය දරමින් සිටිනවා. තවත් කඨෝර භාෂාවෙන් කියනව නම්, පොත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට මේ සම්මාන පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ විද්‍යෝදය සම්මානය සහ රාජ්‍යය සම්මානය අද බොහොම අඩු බලපෑමක් තියෙන බවයි මගේ කල්පනාව.

ඒ නිසා වාණිජ ව්‍යාපාරයේ කොටසක් වශයෙන් දෙන මේ සම්මාන හිතකර ද ඒවායෙන් යම්කිසි වැඩක් වෙලාද කියල සොයා බලන්න ඕන අවස්ථාවක් මේක. මටනම් පේන්නෙ පහුගිය අවුරුදු ටිකේ මේ වාණිජ ව්‍යාපාරය ඉතාම ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් විදියට මේක යොදාගනිමින් මේ කරන සම්මානවලින් මම හිතන්නෙ අහිතකර ප්‍රතිඵල ඇතිවන බවයි.

මම පසුගිය දවසක මේ ගොඩගේ මහත්තයටත් මූණට ම කිව්ව ‘මොකක්ද මේ ඔය මහත්තයලගෙ සම්මාන. මේව කිසි වැඩකට නෑ. ඒවගෙන් නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ’ කියල. අපි මේ කාරණය පිළිගන්න ඕන. මොකද මට පේනව මේ සම්මාන නිසා පාඨක රුචිය එන්න එන්න ම හීන වෙලා තියෙනව; දූෂණයට පත්වෙලා තියෙනව. ඒ වගේ ම මේ සම්මාන නිසා තරුණ ලේඛකයො නොමග යන බවක් පේනව. මොකද ඒ අය මේ තොරගත්තු පොත් හොඳයි කියල හිතනවා. ඒව අනුකරණය කරල ලියන්න තමයි හදන්නෙ.

ඒ විතරක් නෙවෙයි නවකතා ලියන්නෙ අවුරුද්ද අන්තිමේදි ස්වර්ණ පුස්තකයෙන් හරි ගොඩගේ මහත්තයගෙන් හරි හම්බවෙන මුදල් නිසා. ඒ දෙකට ම වැඩිය නරක දෙයක් විදියට මට පේන්නෙ දැන් මේව එක්තරා විදියක සාහිත්‍යය ආක්‍රමණයක් සදහා යොදාගන්න බවයි. ඒ කියන්නෙ මේරටේ සභ්‍යත්වය ජාතිකත්වය වැනසීම පිණිස මේ සම්මාන යොදාගන්න බව මට පේනව. මේක අවංකවම මම කියන්නෙ.

මොකද මේක අද ඊයෙ නෙවෙයි මම කිව්වෙ මිට අවුරුදු දහයකට කලින් මම කිව්වෙ. දෙදහස් හයේ මම ලිපියක් ලියල කිව්ව ‘ජාතිකත්වය වැනසීම සඳහා සාහිත්‍යය යොදාගැනීම’ කියල. අද ඒක ස්ථීර වශයෙන් ම අපිට පේන්න තිබෙනව. මොකද මේ මණ්ඩලවලට පත්වෙන අය N G O නඩකාරයො. නැත්තන් ඩොලර් කාක්කො. මෙයාල එක්කහු වෙලා මේ සම්මාන මේ රටේ ජාතිකත්වය සභ්‍යත්වය වැනසීම සඳහා ගෙනියන ආක්‍රමණයක කොටසක් බවට පත්වෙල තියෙනව. මේක භයානක තත්ත්වයක්. එම නිසා මේ ගැන නිහඬව ඉන්න බෑ.

මේ සම්මාන ගැන අපි සලකල බලන්න ඕන. ඒකට පිළියමක් වශයෙන් මම යෝජනා කරනව සුනිල් ආරියරත්න මහත්තයො මේ සම්මාන දීම දැන් නවත්තන්න. මේකෙන් වෙන්නෙ හානියක් මිසක් වැඩක් නෙවෙයි. ඒ නිසා ලබන වසරෙ ඉඳල මම සංස්කෘතික දෙපාර්තමේන්තුවටත් කියනව මේ සාහිත්‍යය සැණකෙළි සම්මාන දීම නවත්තල ඊට වඩා වැදගත් සාහිත්‍යය කෘතියක් අපේ සංස්කෘතියට සාහිත්‍යයට හිතකර ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා යොමුවෙන්නෙයි කියල මම නැවතත් කියනවා.

අනිත් එක මම තීරණය කරල තිබුණ මේ සාහිත්‍යය උත්සව කිසි එහෙකට නොඑන්න. ඒත් ඒක කරන්න බෑ. මොකද සුනිල් ආරිරත්න මහත්තය ගලප්පත්ති මහත්තය ප්‍රණීත් අබේසුන්දර මහත්තය මගෙ හොඳ යාළුවො. අනිත් එක මේ තුන්දෙනා ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙ ඉඳගෙන මං හිතන්නෙ යම් වැදගත් කටයුත්තක් අපේ සංස්කෘතිය සම්බන්ධයෙන් කරනව. ඒ නිසා එතුමන්ට කරන ගෞරවයක් වශයෙන් මම ආවෙ. එහෙම නැත්නම් මගේ අදහසක් තිබුණෙ නැහැ එන්න. එම නිසා අවසාන වශයෙන් මම ඔවුන්ට කියන්න කැමතියි දැන් මේ සෙල්ලම නවත්තන්න. නවත්තල මීට වඩා වෙනස් ක්‍රියාපටිපාටියක් මීට පස්සෙ කරන්නෙයි කියල ඉල්ලමින් මගේ අදහස් දැක්විම මෙතනින් අවසන් කරනවා’’
 


යුතුකම සංවාද කවය
www.yuthukama.com

9/09/2014

පිහි ඇනුම

කතෘ:යුතුකම     9/09/2014   2 comments
"දැරියන් දෙදෙනාගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත. ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.
වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාය. තම නැඟණිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය දැඩි මානසික පීඩනයකින් කල්ගත කර තිබෙන අතර අම්මා නැවත විදේශගතවීම පිළිබඳව කැමැත්තක්‌ දක්‌වා ද නැත.
ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන ඇති අතර දෙමාපියන් විසින් ඇයව ගසකින් වැටුනා කියා රෝහල්ගත කර ඇත."

පසුගිය දා අසන්නට සිදුවූ මේ සිත් කම්පාවන සිදුවීමට නොයෙකුත් හේතු කාරණා බලපා තිබෙන්නට පුළුවන. නමුත් දරුවන් හා සම්බන්ධව ඇසෙන බොහෝ ඛේදාන්තයන්ට පොදු වූ සාධකයක් මෙහිදීද අපට අසන්නට ලැබේ. මේ පුවත කියවන ඕනෑම අයකුට එක්වරම පෙනී යන, මෙවැනි පුවත් බොහෝමයක පොදු සාධකයක් ලෙස අපට අසා හුරු පුරුදු එම කරුණ නම් මව මැදපෙරදිග රැකියාවක නිරත වීම යි.

මේ ඛේදවාචකය පිටුපස ඇති සමාජ ආර්ථික කාරණය නුදුටුවා සේ සිටීමට අපි පුරුදු වී ඇත්තෙමුද , නැතිනම් එය නොදැකීමට අපව පුහුණු කෙරී ඇත්දැයි නොදනිමි. ඇගේ මව විදෙස් ගත වන්නේ දිළිදුකම නිසා බවත්, දරුවන් හැරදා විදෙස් ගත වනු හැරෙන්නට ඇයටද අන් මගක් ලෙස තිබෙන්නට ඇත්තේ දරුවන් ගඟට විසි කිරීම පමණක් බවත් අපට සිතීමට බොහෝ විට ඉඩ ඇත. එහෙත් සමාජයක් ලෙස අප මේ සිදු වීම් එවැනි සරල කියවීමකින් පසු අමතක කරනවා නම්, එය මෙවන් ඛේදවාචකයන් නිති ඇසෙන තත්වයකට මං සළසන්නක් බව අප විසින් සිහි කර ගත යුතුය. මේ අප අත්දකින්නේ පසුගිය දශක තුනහමාර ඇතුළත අප විසින් ගෙනගිය ආර්ථික මාවතේ අනිවාර්යය ප්‍රතිපලයක් නොවේද? මේ සියල්ල මත 'විවෘත ආර්ථිකය' යන ලේබලය අලවා විවේචනය කිරීමේ බොලඳ ක්‍රියාවකට නොව අප මේ අර අදින්නේ. හුදෙක් එම ලේබලයට පහර දෙනු වෙනුවට, අප විසින් කළේ කුමක්ද, ඒ සඳහා අප පෙළඹවූයේ කුමක්ද සහ ඒවායේ ප්‍රතිපල මොනවාද යන අවලෝකනයකි දැන් අවැසිව ඇත්තේ.


රණ විරුවන්ට පසුව ආ විරුවන්


යුද්දයක් කරමින් රට ජාතිය බේරාගන්නට ඉදිරිපත් වූ දේශජ පුතුන් රණ විරුවන් ලෙස අපි හැඳින්වූයෙමු. යුද්දයෙන් පසු අපට ඒ හා සමාන මුත් කිසියම් හාස්‍යජනක භාවයක් ද ඇති දෙපදයක් ඇසෙන්නට විය. ඕනෑම දෙයෙක් නිතර නිතර ඇසෙන විට එහි හාස්‍යයභාවයද මැකී ගොස් සාමන්‍යයකරණය වන්නේය. "රට විරුවෝ" ඒ අමුතු දෙපදයයි. රණ විරුවන් ප්‍රබාකරන් ගේ රුදුරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මේ රට ගලවා ගත්තෝය. නමුත් ඉන් පසුව අපට විදෙස් ශ්‍රමිකයන් රට විරුවන් වශයෙන් හඳුන්වන්නට සිදු වූයේ ඇයි? රණ විරුවන් සතුරාගේ උණ්ඩය හමුවේ මිය යද්දී සිය දූ දරුවන්ට පිය සෙනෙහස අහිමි වූවා සේම ගෘහ සේවිකාවන් ගුවන් ගත වෙත්ම සිය දූ දරුවන්ට මව් සෙනෙහස අහිමි වන නිසාද? අහිමි වීමම වීරත්වයට නැගීමට නොසෑහෙන බව අපි දනිමු. "රට විරුවෝ" යන දෙපදයෙහි හාස්‍යයක් ගැබ් වුවද, එහි අවාසනාවන්ත යථාර්තයක්ද ගැබ්ව ඇත. එම යථාර්තය නම් ඉතිහාසය විසින් රට ජාතිය රැකුමට රණ විරුවන් ඉල්ලා සිටියේ යම් සේද එලෙසම ඉතිහාසය විසින් රට විරුවන්ද ඒ හා සමාන බරකින් ඉල්ලා සිටින තත්වයකය මේ භූමිය පසුවන්නේ. ත්‍රස්තවාදය හමුවේ රණ විරුවන් රට බේරා ගත්තේ යම් සේද එලෙසම ගෙවුම් ශේෂය හමුවේ රට ගලවා ගැනීමට අද රට විරුවන් ඉල්ලා සිටියි.

අපෙන් පිටට යන මුදල්, අපි පිටින්ම රට තුලට කැදවා ගත යුතුය. ගෙවුම් ශේෂයෙහි සරල අරුත නම් අපෙන් පිටට ඇදී යන මුදල සහ පිටින් අප වෙත ඇදී එන මුදල අතර වෙනසයි. බොහෝ දේ අප ආනයනය කරතත්, ඉහළ ණය හා පොළී වාරිකයක් ගෙවතත්, ඒවා පියවීම සඳහා සෑහෙන තරම් අපනයනයන් අප සතු කරගෙන නැත. 

අපෙන් පිට රටට ඇදී යන විදේශ විනිමය අප යළි සොයා ගන්නේ කෙළෙසද? අපනයනය වර්ධනය සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ප්‍රාග්ධනය හා දැනුම අවැසිය. ඒවා උත්පාදනයට දිගු කාලීන, මනා සැළසුම් වුවමනාය. කෙටි කාලීන ප්‍රතිපල අත්කර ගැනීම තරමක් අපහසුය. සරලව පවසනවා මේ වසරේ අපෙන් පිට රටට ඇදී යන මුදල අප පියවා ගන්නේ කෙසේද යන පැනයක් ඇත. මේ සඳහා ගෙන ඇති එක් ප්‍රවේශයක් වී ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ණය ලබා ගැනීමයි. ණය වශයෙන් රට තුළට පිවිසෙන මුදල් මඟින් එක් අතකින් අර පිටට යන මුදලෙන් කොටසක් පියවේ. අනෙක් අතට ඒ මඟින් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය තුළින් විදෙස් ආයෝජනයට පහසුකම් සැළසී දිඟුකාලීනව ඉහත කී ප්‍රාග්ධන හිඟයට විසදුම් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව තබා ගත හැකිය. නමුත් අනාගතයේදී නැවත වරක් එම මුදල්, ණය හා පොළී වාරික ලෙස මෙරටින් පිටවන මුදලට එකතු වේ.

අපනයනයන් වර්ධනය කර ගත නොහැකි නම්, ආනයනයන් අඩු කරගත නොහැකි නම්, ඉතිරිය පියවා ගැනීම සඳහා ඉතිරි වී ඇති පහසුම ක්‍රමය වී ඇත්තේ මැද පෙරදිග ගෘහ සේවය සඳහා මෙරටින් ගැහැණුන්, අම්මාවරුන් යැවීමයි. ඒ හැර අපට වෙන අන් සරණක් නැත. ඒ නිසාමය මෙය බරපතළ සමාජ අර්බුදයක් බව දැන දැනත් රජයට එම තත්වය වර්ධනය කරමින් ඔවුන් රට විරුවන් ලෙස වර නැගීමට සිදුව ඇත්තේ.

අප මේ ආර්ථික ක්‍රමය දශක ගණනාවක් පුරා අත්හදා බලා ඇත්තෙමු. නමුත් වසරින් වසර අප විසින් අම්මලා අපනයනය වැඩිකර ගෙන ඇත්තෙමු. 1986 වසර තුළදී 3,400 පමණ කාන්තාවන් විදෙස්ගත වූ අතර 2012 වසර තුළ එය 138,500 පමණ දක්වා වැඩි කර ගැනුමට අප "සමත් වී" ඇත්තෙමු. මෙම කාන්තාවන්ගෙන් 86%ක්ම ගෘහ සේවය සඳහාය. (http://www.slbfe.lk/downloads/statis/3.pdf)


ආර්ථික කතන්දර

මෙරට තුළ නිපදවා ගත හැකි දෑ වත් මෙහි නිපදවා නොගෙනම පිටින් ගෙනෙන්නට අපි කාලයක් පුරා පුරුදු වීමු. ඇතැම් ආර්ථික පඩියෙක් එසේ කරන්නට හේතුව "ආවස්ථික පිරිවැය (opportunity cost)" යයි කියනු අපට මැවී පෙනේ. අපද ආවස්ථික පිරිවැය යන සංකල්පය සහමුලින්ම බැහැර නොකරතත් එම නිර්ණායකය භාවිතා කරන්නේ කුමන තලයක සිටද යන අවබෝධය එය ආලේප කෙරුමට පළමුව අප සතු විය යුතුය. ඉහත කී පරිදි ප්‍රතිපත්තිමය තලයක සිට ආවස්ථික පිරිවැය පිළිබඳ සලකන විට හුදු මල්‍යයමය ව්‍යවහාරික මට්ටමෙන් ඔබ්බට ගොස් සමාජ සංස්කෘතික පසුබිමක තබා එය විග්‍රහ කර ගැනුම අවැසි වන බව අවධාරණය කර ගත යුතුය.

අපගේ ඒක පුද්ගල ආදායම වේගයෙන් ඉහළ  යන බව පුන පුනා අපට පවසද්දී, වසරින් වසර මැදපෙරදිගට ඇදී යන අම්මලා ගණන, ඒ අය විදින දහසකුත් එකක් කුරිරු වද හිංසා පිළිබඳ පුවත් මධ්‍යයේ වුව වැඩි වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙරට ඇති-නැති පරතරය වැඩි වෙමින් පවතින බව නොවේද? මෙම ආර්ථික ක්‍රමය බේරා ගැනීම සඳහා නැතුවම බැරි, විදෙස් ගත වී රට විරුවන් වීමට අවශ්‍යය දිළින්දන් ප්‍රමාණයද සපයා දීමට මෙම ආර්ථික ක්‍රමයටම හැකි වී ඇති බව අපට පෙනී යා යුතුය. 
විදෙස් ආයෝජකයින් මෙහි ගෙන්වා ගැනීමට අප බොහෝ කල් සිට දේශීය ආයෝජකයනට හිමි නොවන බදු සහන ආදී වරප්‍රසාද රාශියක් ලබා දුනිමු. එම ආයෝජකයන් මෙහි පැමිණීමට ප්‍රධානම හේතුව නම් ශ්‍රමය සඳහා යන අඩු පිරිවැයයි. ශ්‍රමය සඳහා ගෙවෙන මුදල අඩු යන්නෙන් පිළිඹීබු වන්නේ අර අත පල්ලෙන් බේරෙන දෑ දුප්පතුන්ට ලැබෙන ආර්ථික න්‍යාය බව පැහැඳිළිය. මේ විජාතික ආර්ථිකයේ පණනල ගැට ගැසී තිබෙන්නේ අඩු ආදායම් ලබන බහුතරයක් ලංකාව තුල සිටීම මතය. විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට මෙන්ම ගෙවුම් ශේෂය පියවා ගැනීමට දරුවන හැර දා රට යන්නට සූදානම් වූ දිළිදු ජනතාවක් මෙහි සිටීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත. එනම් ඇති-නැති පරතරය පවත්වා ගත යුතුය. ඒක පුද්ගල ආදායම ඉහළ ගිය බවට පාරම්බාන නිලධාරියකුට හෝ දේශපාලකයකුට හෝ ඇති-නැති පරතරය ගැන සිය මුනිවත රැකීමට සිදු වී ඇත්තේ එබැවිනි. අප වැනි සංස්කෘතික පසුබිමක් ඇති රටක ඇති-නැති පරතරය අවම කර ගැනීම ඒක පුද්ගල ආදායමට වැඩි කර ගැනුමට වඩා වැදගත් වුවද තීරණ ගන්නා බොහෝ නිලධරයන්ගේ මේ සංස්කෘතික නහරය ඔවුන්ගේ අධ්‍යාපනය මගින් කපා දමා ඇත.


අපේ සෝබනය

අපි අපට උරුම අපගේ හරයන්, සභ්‍යත්ව විඥාණය අත්හැර ගොස් තරගකාරීව පසිඳුරන් පිනවන ආර්ථික ක්‍රමයක් වැළද ගතිමු. ඉන්දියාව හෝ චීනය හෝ මෙන් ජාතික ආර්ථිකයක් ගොඩ නැගෙන තුරු නොඉවසා මෙම කලාපයේ සියල්ලන්ට ප්‍රථම විවෘත ආර්ථිකය වැළද ගතිමු. දැන් අපි අපේ මව්වරුන් විකුණා කන බොන දෑ රටින් ගෙන්නන් කන ජාතියක් වී ඇත්තෙමුය යන්න අතිශයෝක්තියක් නොවන බව තේරුම් ගැනීමට අපගේ ගෙවුම් ශේෂය සකස් වන අයුරු විමසා බැලිය යුතුය. ලෝකේ කොහෙන් හෝ ගෙනෙන භාණ්ඩ මිලදී ගෙන පංචේන්ද්‍රියයන් පිනවීමට පුරුදුවී සිටින අප ද කාගේ හෝ දරුවෙකුට පිහියෙන් අනිමින් සිටින්නෙමුද යන කුකුසකින් තොරව සිත සනසාගත හැකිද? 

සෝබනය සඳහා වැඩියෙන්ම වියදම් කරන ජාතියක් බවට අප පත්ව ඇති බවට අද පවත්වන මංගල සාද වලින් ම  අවබෝධ කර ගත හැකිය. ඒ අධික වියදම දරන්නේ ඇති-හැකි අයම පමණක් නොවන බව අපි සැවොම අත්දැකීමෙන් දනිමු. අද අපේ රටේ බැංකුද මේ සෝබනයටම මුක්කු ගසමින් ඇති ආකාරය ඔවුන් ප්‍රවර්ධනය කරන ණය වර්ග වලින්ම තේරුම් ගත හැකිය. "වෙඩින් ලෝන්" සහ "කාර් ලෝන්" ඔවුනගේ ප්‍රචාරක පත්‍රිකාවල ඉහළින්ම දැකිය හැකි අතර ඔවුන් ආයෝජනය සඳහා ණයක් ලබා දීමට දක්වන්නේ ඉතා ඇල්මැරුනු උනන්දුවකි. කාලයේ බලපෑමට හසුව වෙනස් වුවද අප බොරු සෝබන කාරයන් බවට පත් වී ඇත්තේ සුද්දාගේ කාලයේ පටන්ම බව ධර්මපාලතුමාගේ බොහෝ සටහන්වලින් පැහැඳිළිය. ඒ ඔවදන් එදාටත් වඩා අදට අදාළය. ඇඩම් ස්මිත්ගේ ආර්ථික ක්‍රමවේදයන් ඉගෙන ගන්නා අතරම අප ධර්මපාල තුමාගේ ආර්ථික දර්ශනයද ග්‍රහණය කර ගත යුතුය. සෝබනයට, පුහු ආටෝපයට වියදම් කරන්නන් අවඥාවෙන් යුතුව හෙළා දුටු එතුමා තාක්ෂණික ඥානය අත්පත් කර ගැනීමට අප නිති වෙහෙසිය යුතු බව අවධාරණය කළ අතර ඒ සඳහා ජපානයට යෑමට ශිෂ්‍යත්වයක් සිය පියා ලවා පිළියෙල කෙරෙව්වේය. ඒ බව පළවන සටහන් බොහොමයකින් එකකි 'පරාර්ථය පිණිස හිතැති සත්පුරුෂයන් ඇතිවීම' යන හිසින් යුතුව සිංහල බෞද්ධයා පුවත් පතෙහි පළ කරන ලද ලිපිය.



ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

9/08/2014

පරාර්ථය පිණිස හිතැති සත්පුරුෂයන් ඇතිවීම

කතෘ:යුතුකම     9/08/2014   1 comment
මෙය වනාහි ශාස්ත්‍ර ශිල්ප ඉගැන්වීමට ශිල්ප ශාලා පිහිටුවා ගැනීමට රටට ජාතියට ආගමට ආදරය භක්තිය ශ්‍රද්ධාව ඇති කරගැනීමට විමුක්ති සැපයට හිත යෙදවීමට විමුක්ති ඥානය ලබාගැනීමට හේතුවේ. අනුකම්පා සිත් ඇති ජනහිතකාරී උතුමන් ඇතිවීම රටවාසීන්ට ක්ෂාන්තිදායකයි. ජපන් රටේ දූ දරුවන් ඇති දෙමව්පියෝ ස්වකීය දූ දරුවන් දේව පුත්‍රයන් මෙන් සලකා බාල කාලයේ පටන ගරු සත්කාර පෙන්වමින් ශිල්ප ශාස්ත්‍ර විද්‍යා ඒ දෙකොටසට ම උගන්වති. එසේ ඉගෙන් ගත් දූදරුවෝ දෙමවුපියන් කෙරෙහි මහත් ප්‍රේමයක් පෙන්වමින් ඔවුන් වයසට පැමිණි කල සියලු ගරුසත්කාරාදිය කරති. චීන රටේ ද මෙසේම දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ධර්ම නීති බාල කාලයේ පටන්ම උගන්වනු ලැබේ. දෙමළ පාර්සි ජාතීන් අතරද මේ ධර්මය පවතී. කිසි කුලාචාර ධර්මයක්වත් ශිලපයක් වත් පිළිවෙතක් වත් නැති සිංහල බුද්ධාගම් කාරයා පමණක් ගුරු ආශ්‍රයක් නැතිව ආදර්ශ්‍රයක් නැතිව ශිල්ප කර්මාන්තයක් නොදැන කුල පරම්පරා ධර්මයක් නැතිව අහසින් වැටුන සතකු මෙන් අන්‍ය ජාතීන් කරන කියන දේ කරමින් ගූථභක්ඛ සංක්ඛ්‍යාවට අයිති ග්‍රාමසූකරයන් මෙන් යුරෝපීය කාම සැපයට පමණක් ආශාවෙන් අත තිබෙන ධනය අනර්ථදායක අන්දමට වියදම් කොට දෙලොවටම ප්‍රයෝජන නැතිව තිරිසනකු මෙන් මැරී යන්නේය.

ක්‍රිස්තියානි ගුරුවරුන් යටතේ ඉගෙනගනු ලබන සිංහල දරුවන් වැඩිවිය පැමුණුණාම යුරෝපීය චාරිත්‍ර භාවිත කරනු ලැබේ. විකාර හැඩ ඇති ගව්ම්, සාය, බටකොළ තොප්පි, අඟල් දෙකක් උස අඩි ඇති සපත්තු, ඉන කුඩා කිරීම සඳහා තිබෙන බොස්ත්‍රෙක්ක, පිදුරු තොප්පි, ටයි, කොලර්, කෝට්, කලිසම් අඳින පූර්වදිග සිංහල මෝඩයන් හැර වෙන ජාතියක් නම් ඇත්තේම නැත. වාල්කමෙන් හැදෙන කාබේරි ජාතිය පමණක් සිංහලයන් මෙන් යුරෝපීය නම් ගම් චාරිත්‍රාදිය ගනියි. දවසින් දවස සිංහල බෞද්ධ කොටස් පහළ යන්නේ මන්ද? සංස්කෘත භාෂාව ටිකක් ඉගෙනගත් පමණින් පණ්ඩිතයෙක් වේද? ජාතකයකින් බණ ටිකක් ඇසූ පමණින් බහුශ්‍රැත වේද? දැනට සිංහල අඥානයන් විසින් කරනු ලබන ක්‍රියා ළදරුවන් කරන ක්‍රියා මෙනි. දාස කර්මයේ යෙදී සිට කරන්නේ සූදු කෙළීම, මත්පැන් පානය, හොර හරක් මැරීම හැර වෙන කුමක්ද?

මෙරටට ගෙනෙන ද්‍රව්‍ය ගැන කල්පනා කිරිම යුතුයි. රෙදි පිළි, පිඟන්, කෝප්ප, කර්දාසි, තීන්ත, පෑන්, ඔරලෝසු, ලාම්පු, පැදුරු, ලී බඩු, යනාදී සියල්ලක්ම පිටරටින් ගෙනෙනු ලැබේ. අපේ ලංකාවේ ධනවතුන් පමණ අඥාන කොටසක් මුළු ලොවම නැත. ධනවත්ව සිටින අය කෙසේ ධන සම්පාදනය කරගෙන තිබේද? අන්‍ය රටවල ධනවත්හු පිටරට ගොස් වෙළදාම්  කොට ධන රැස් කර ගනිති. තවත් සමහරෙක් කර්මාන්තශාලා පිහිටුවා නානා ද්‍රව්‍ය සාදා ඒවා විකුට ධන රැස් කර ගනිති. තවත් සමහරක් ආහාර පාන, ප්‍රණීත භෝජන සාදා විකුට ධන රැස් කර ගනිති. ඇතැම් සිංහල ධනවත්හු මේ කිසිත් නොකොට මිථ්‍යාජීවයෙන් හරක් මරවා මසුන් මරවා මත්පැන් සාදවා මත්පැන් පානය කිරීමට සුරාශාලා පිහිටුවා ධන රැස් කරගනිති. ඇතැම් සිංහල ධනවත්හු මිහිරන් පතලයක් ගෙන දුප්පත් අඥාන සිංහලයන් ටික දෙනෙකුට රක්ෂාව දී මිහිරන් කඩවාගෙන එය විකුට ධන රැස් කර ගනිති. දරිද්‍ර සිංහලයාට හිංසා කොට ලංකා භූමියෙන් සපයන ධනයෙන්වත් සිංහලයාට කරන යහපත කුමක්ද? යුරෝපීයයන්ගේ චාරිත්‍රනුකූලව වෙස් පෙරලාගෙන යුරෝපීයන්ගේ ඇඳුම් ඇඳ-පැලඳ අත තිබෙන ධනය වියදම් කොට කරන්නේ කාමසුඛල්ලිකානුයෝගීව කාලය ගත කිරීම පමණයි. අනාථ දරුවන්ට ඉගැන්වීම, ශිල්පශාලා පිහිටුවීම, කුලධර්මය පාලනය කිරීම, පිටරටවලට ගොස් මෙරට වාසීන්ගේ දියුණුවට ක්‍රියා කිරීම, ජාතිය දියුණු කිරීම, ස්වකීය ආගම ලොව පැතිරවීම, පරාර්ථය සඳහා කටයුතු කිරීම යන මේ දේ කරන සිංහලයන් පස්දෙනෙකු පමණවත් සමඟියෙන් කටයුතු කරනු දක්නට තිබේද? දස අකුසල් කරන මනුෂ්‍යයකු කිසි කලක මෙලොව සැප විඳින්නේ නැත. සිංහල ධනවතුනට පරම්පරාගත වස්තුවකුත් නැත. දුකින් කල් ගත කළ මනුෂ්‍යන්ට ධන සම්පත් ලැබුණාම ගද්‍රභයන් මෙන් ක්‍රියා කිරීම ස්වභාවයකි. ලොවට ප්‍රයෝජන වන ශාස්ත්‍ර, ශිල්ප, ධර්ම, ආචාර, වත්-පිළිවෙත් සිංහලයන්ට ඉගැන්වීමට සිංහල ආචාර්යවරු ද නැත. ධනවතාගේ ධනය මෝටර් රථ වලට, ඉංග්‍රීසි ඇඳුම් වලට, ඉංග්‍රීසි කෑමට, ඉංග්‍රීසි ක්‍රීඩා වලට වියදම් කරයි. විසිතුන් ලක්ෂයක් පමණ සිටින සිංහලයන් එකතු කරගෙන වැඩ කිරීමට දැන් කාලයයි. භික්ෂූන් හත් අට නමක් විසින් ශාස්ත්‍රශාලා පිහිටුවාගෙන ටික දෙනකුට වෛද්‍ය ශාස්ත්‍ර, ජෝතිශ්ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර උගන්වනු ලැබේ.

සිංහල සහෝදරයිනි! අප තථාගත සම්මාසම්බුදුරජාණන්වහන්සේ ආදර්ශ කරගෙන සියළු දෙනාම සමඟිකමින්, මෛත්‍රියෙන් ඒකීය භාවයෙන් සාමදානයෙන් ඉවසීමෙන් අන්‍යෝන්‍ය කරුණාවෙන් දස අකුසල කර්මයෙන් වෙන්ව දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දස පාරමී ධර්මයන් පුරමින් බෝධිසත්ව චර්යාවෙහි ගමන් කිරීමට ආරම්භ කරත්වා. මෙසේ දස වර්ෂයක් ලොකු කුඩා ගිහි පැවිදි දෙකොටසම කල් යැව්වොත් අපට ස්වරාජ්‍ය ධර්මයේ සැප අනුභව කිරීමට ඒකාන්තයෙන්ම ශක්තිය ලැබෙනවා ඇත.



ශ්‍රී බුද්ධ වර්ෂ 2455 බිනර මස අවවිසේනිය නම් තිථිය ලත් බුද දින හෙවත් 1911 සැප්තැම්බර් මස 13 වන බදාදා 'සිංහල බෞද්ධයා 'පුවත්පතෙහි අනගාරික ධර්මපාල තුමා විසින් ලියා පළ කළ ලිපියකි.



යුතුකම සංවාද කවය
www.yuthukama.com

9/05/2014

1984 නව කතාව සහ ලංකාවේ රතූ සහෝදරයෝ

කතෘ:යුතුකම     9/05/2014   4 comments
” දෙකයි-දෙකයි-හතරයි කීමට ඇති නිදහසටයි-නිදහස කියන්නෙ.එම නිදහස ලබාගත හැකි නම් ඉතිරි සියල්ල නිකම්ම ලැබෙනු ඇත….. “
අධිපතිවාදී අනාගත රාජ්‍යයක මිනිස් බව වැලලී යාමේ ශෝක ජනක පුවත වස්තූ විෂය කරගත් 1984 නවකතාව මගින් නොමිනිස් සමාජය මෙහෙයවන ප්‍රධාන බලවේග දෙකක් ඉස්මතූ කර දක්වයි. එකක් නම් ඉතිහාසය විකෘති කර අකාමාකා දැමීමයි. එමගින් පක්‍ෂය බලාපොරොත්තූ වන්නේ මෙයට වඩා වෙනස් ඉතිහාසයක් (සමාජයක්) තිබිණැයි යමකූට සිතීමට ඇති අවකාශය බිඳලමින් සියලුම ඓතිහාසික වාර්තා විනාශ කරමින් ඒවා නැවත ලිවීම හෙවත් විකෘති කිරීම් නිවරදි කිරීම සිදු කිරීමයි.

දෙවැන්න නම් රහසින් හෝ පක්‍ෂයට විරුද්ධ පුද්ගලික මතවාද දරන්නන්ගේ මනස ශෝධනය කිරීමයි. මෙසේ කරනු ලබන මනස ශෝධනය කෙතරම් සාර්ථක අයුරින් සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ශෝධනයට භාජනය වන්නන්ගේ මනස සහ පක්‍ෂයේ මනස එක සමාන වීමයි. දෙකයි-දෙකයි එකතූව හතර බව නොව පහ යයි පක්‍ෂය කියතොත් මෙම චිත්ත පෙරලියට භාජනය වන්නා කිසිම පැකිලීමකින් සංකාවක් ඉතිරි කර නොගෙන එය එසේ යයි පිලිගනිති.
” මා කරන්නේ අනතූරු ඇඟවීමක් පමණයි.මෙය සිදුවන්න ඉඩ දෙන්න එපා” යයි 1948 දී ලෙයින්ද දහදියෙන්ද ලියවුනු 1984 නවකතාව අප අතට පත්කරන්නට සමත් වූ ඔහු අන් කිසිවකු නොව එරික් බ්ලෙයාර් හෙවත් ජෝර්ජ් ඕවල්ය. ජෝර්ජ් ඕවල් යනු ඔහුගේ ආරූඩ නාමයයි. 1903 වසරේදී මොතියාර් නම් උතූරු ඉන්දියානු ග්‍රාමයේ උපන් ඔහු තම කෙටි එහෙත් සිද්ධි බහුල ජීවිතයේදී ලබාගත් අමිහිරි වේදනාවන් කැටිකොට “මීිනිසුනේ මේ නරාවලට නොවැටෙන්නයි” කරන දයාබර ඉල්ලීමත් මෙම කෘතිය මගින් ඔහු මුලු මහත් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. මතූ අනාගතයේදී මිනිස් සමාජයට එල්ල වියහැකි මහා අනතූරක සේයා පෙන්වමින් තම පොත ලියා නිමකල වසර වන 1948 යන්නෙහි ඉලක්කම් මාරු කිරීමෙන් 1984 නවකතාව හැදින්වූ බව සඳහන්ය.

සකල බල පරාක්‍රමයෙන් යුත් පක්‍ෂයක් විසින් නිල බල ක්‍රමයක් ස්ථාපිත කරමින් මිනිසා විසින් ඓතිහාසිකව වර්ධනය කරගත් පවුල් බැදිම්, ප්‍රේමය, ලිංගික ආශාව වැනි හැඟීම් සම්බන්ධතා බිඳ හෙලමින් හුදෙක් බලයේ එකම පරමාර්ථය අනුන් මැඩ මෘග සතූටක් ලැබීම කරා ලඝු කරගත් භීෂණකාරී නිරයක් අප ඉදිරියේ සනිටුහන් කරයි. බුද්ධිමත් ජීවියකූ වු මිනිසාට විද්‍යාවද එහි මෙවලම් වන තාක්‍ෂණයද අභිමුව තමාගේ සියලුම භෙෘතික අවශ්‍යතා සපුරා ගත හැකි ලොවක් විවරව තිබේ. ඒ සඳහා තමාට ඉතිරිව පවතින කාලයෙන් මහ විශාල
කොටසක් වැය කිරීමට අවශ්‍ය වන්නේද නැත. එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුවද ඉතිරිවන කාලය තම නිර්මාණාත්මක සම්පත් වඩ වඩා පෝෂණය කිරීමටද ඒවා සිත් සේ විඳීමටද යොදා ගැන්මට පිළිවන. තවද මෙම සරුසාර ජීවිතය උස් පහත් භේදයක් නොමැතිව හැමෝටම සමසේ භූක්ති විඳිය හැකිය. නමුත් මෙම ප්‍රිතිමත් සරුසාර ජීවිතයේ මාවත වසා පරම බලය තම අතට ගෙන භීෂණය,පීඩාව යොදමින් තම සිත තුළ පවතින කූහක වධක ආඥාවෙන් පෙලුන මිනිසූන්ට තම සිතැඟි ක්‍රියාත්මක කරන්නට ඉඩ දුනහොත් අපේක්‍ෂිත සුරලොව සිහිනයක් බවට පත්වීම ඒකාන්ත දෙයක් බව ඕවල් 1984 කෘතියේ අනතූරු අඟවයි.

විසිවන සියවසෙහි මුල් භාගය උදාවන්නේ සමස්ත ලෝකය කෙරෙහි වෙනස්කම් රාශියක් රැගෙනය. මිනිස් ශිෂ්ඨාචාරයේ මුහුණුවර උඩු යටිකූරු කිරීමට සමත් වූ මෙම වෙනස්කම් මගින් විද්‍යාවේත් තාක්‍ෂණයේත් ඇති වූ වෙනස්කම් මිනිස් වර්ගයාගේ යහපතට යොදා ගන්නේද නැතහොත් විනාශය සඳහා යොදා ගන්නේද යන බරෑරුම් ප්‍රශ්නය ලොව හමුවේ ඇතිවේ. සවභාව ධර්මයේ රහස් එලිකරගෙන මානව සංහතියේ යහ පැවැත්මට විද්‍යාව තාක්‍ෂණය උපකාරී වනවිට ඔහුගේ විනාශය වෙනුවෙන් පරමාණු බෝම්බය දක්වා අවි නිපදවීමද
කෙරෙනුයේ මේ අවස්ථාවේදීය. මෙවන් පසුබිමක් තුළ සමාජ තලයේ හටගත් ව්‍යාපාර දෙකක් වන කොමියුනිස්ට්වාදය හා පැසිස්ට්වාදය මගින් ප්‍රබල ලෙස අභියෝග ඉදිරිපත් කරන ලදි.

මනෝභාවයක් ප්‍රකට කිරීමක් ලෙස යමකූට හුවා දැක්විය හැකි 1984 නවකතාව මිනිසාගේ අනාගතය දුක්ඛිත තැවුල් එකක් බවත් ඉතිහාසයේ ගමන් ගන්නා මාවත වෙනස් නොවුනහොත් ලොව පුරා වෙසෙන මිනිස් වර්ගයා තූලින් මිනිස් ගූණදහම් නැති වී ගොස් ආත්මයක් නොමැති යන්ත්‍ර විය හැකිබව අනතූරු ඇඟවීමකි.

පක්‍ෂයේ මතය තම මානසික මතය බවට පත්කර ගත් පක්‍ෂයේ පටු උවමනාවට තම මානසිකත්වය සීමාකර ගත් “ ද්විත්ව චින්තනවාදීන්“ හෙවත් “ හොඳ සිහිය“නොමැති යථාර්ථය නොදන්නා මනෝ විකෘතියකින් දේශපාලන භාවිතවේ යෙදෙන ලාංකීය වර්තමාන රතූ සහෝදරයින්ට 1984 කෘතිය හොඳ අත්පොතක් ලෙස හඳුන්වා දීම වරදක් නැත.
මෙවන් විපරිත මානසිකත්වයකින් පිරුනු මිනිසුන්ගෙන් පිරි පක්‍ෂයක අනාගත භාවිතාව යම් කිසි රටක මිනිසුන්ගේ සුභ සිද්ධියට ඉවහල් නොවන බව පුදුමයක් නොවන බව 1984 නවකතාව අපට පසක් කර දෙයි.

 1984 සහ වර්තමාන ජවිපෙ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශණාත්මක විමසිලිල්ලක්

1984 නව කථාව යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රි ලංකාවේදී වර්තමාන ජවිපෙ විසින් එයට සැබෑ වටිනාකමක් දී ඇති බවත් 1948 දී ඕවල් විසින් ලංකාවේ අනාගත පක්‍ෂයක සැබෑ වැහැරීම පිළිබඳ ජීවමානව පැවසීම අතිශයින්ම, පුදුමසහගතය. ජවිපෙ උත්පත්තියට පෙර එනම් 1965 ට පෙරදීම මතූ උපදින "විප්ලවීය පක්‍ෂයක" අනාගත වැහැරීයාම පිළිබඳ අනාවැකි පලකිරීම සම්මාන ලැබීමට පාත්‍රවන කාරණාවක් වුවද අද වන විට රචකයාද අප අතරින් සමුගෙන ඇත්තේ අනාගත පරපුර වෙත වටිනාම අදහස් සහිත ප්‍රබන්ධ කතාවක්
හිමිකර දෙමිනි. මෙම යථාර්ථය ජවිපෙ සමාජිකයාගේ මනසට ලබාගැනීමට අවකාශය පවා නොසැපයූ ජවිපෙ තමනට අවශ්‍ය පරිදි "වෙනස්කරගත් ප්‍රතිපත්ති" මගින් සමාජයට දායාද කරන ලද්දේ දක්‍ෂ,කැපවීමේ ගූණය, විනය සහ සාමුහිකත්වය සහිත යාන්ත්‍රික චරිතයකි.

ජවිපෙ අන් කිසිදු පක්‍ෂයකට නොකල හැකි අන්දමේ පක්‍ෂ විනය අතින් උසස්ම අංග ලක්‍ෂණ ඇති පක්‍ෂයක් වූහ. සංඛ්‍යත්මකව විශාල වූ අනිකූත් ප්‍රධාන පක්‍ෂ දෙකට නොකල හැකි අන්දමේ දැවැන්ත ක්‍රියාවලියක් ඒ තුළ ගැබ්ව තිබුණි. නමුත් පක්‍ෂ සාමාජිකයාට පක්‍ෂයෙන් නියම කරන ලද පොත පතට අමතරව අනිකූත් දෑ පරිශීලනය කිරීම නිලනොවූ නීතියකට යටත්ව තිබේ. එහිදී සමාජිකයා තමාගේ දැනුමට සම්බන්ධ කර ගන්නේ පක්‍ෂය මගින් නියම කරන ලද චිත්‍රපට, සඟරා, පත්‍රිකා පමණකි. තමන් සතූව පවතින දැඩි නිර්ණායකයන් කිහිපයක් මගින් ගන්නා තීන්දු තීරණ එක්තරා න්‍යායකට පමණක් සීමා වී ඇති බව සීිතන්නට හෝ ඔවුනට නුපුලුවන. ඔහුගේ මනසින් බාහිර සමාජයක පවතින ජීවිතයක ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුමක් අවබෝධයක් නොමැත. මෙම සාමාජිකයා බාහිර සමාජය හා සම්බන්ධ වන්නේ වෙනස් වූ ස්වභාවයෙන් නොවේද?

ඕවල්ගේ අනාගත අනාවැකියට අනුව 1984 එන පක්‍ෂය විසින් ද කියවෙනුයේ මේ හා සමාන ණාංගයන්ගෙන් පවතින පක්‍ෂ ව්‍යුහයක් පවතින මානසික සිරවීමකි. එහිදී දිනපතා මිනිත්තූවෙන් මිනිත්තූවට අතීතය යථාවත් කරමින් පක්‍ෂය විසින් කරන ලද සෑම ප්‍රකාශනයක්ම, අනාගත පුරෝකථනයෙන්ම හරිම දේ යයි විශ්වාස කිරීමට පක්‍ෂ සාමාජිකයන්ට බල කරන ලදි. පක්‍ෂයේ වර්තමාන අවශ්‍යතා සමග නොගැලපෙන පුවත් මතවාදයන් වාර්තාවන් චිත්‍රපට සඟරා කිසිදු අයුරකින් සාමාජිකයාගේ අතට පත් කිරීමෙන් වැලකී සිටින ලදි. ඕවල්ගේ ප්‍රබන්ධයේ පක්‍ෂයේ ඉහලම නායකත්වය අපට හඳුන්වා දී ඇත්තේ “ලොකූ සහෝදරයා” ලෙසිනි. පක්‍ෂ සාමාජිකයාගේ මනසේ ඉහලින්ම දැඩිව නිරතූරුවම ඇත්තේ “ලොකූ සහෝදරයා නිරතූරුව ඔබ ලඟයි” යන පාඨය පමණකි. ලොකූ සහෝදරයා කළ කී දෑ පමණක් සාමාජිකයා ග්‍රහණය කර ගත යුතූව තිබුණි. 1984 ප්‍රබන්ධයට අනුව “සෞභාග්‍යයේ අමාත්‍යාංශය” විසින් අතීතය විකෘතිකර පක්‍ෂයට අනුරැප වන ලෙස සකසන ලද ප්‍රවෘත්ති පමණක් පක්‍ෂයේ අභ්‍යන්තර සාමාජිකයාට නොදෑනෙන පරිදි මුල් කොපිය වෙනස්කම් කර පල
කරන ලදි.

ලංකාවේ අනාගත දේශපාලනය සුභවාදී ආකල්පයක් කරා ජීවමාන දුන් පක්‍ෂයක් වූ ජවිපෙ එම පරමාදර්ශී දේශපාලන භාවිතාවෙන් පිට පනිමින් අනපේක්‍ෂිත බිඳ වැටීමකට ලක් වූයේ ඒ පිළිබඳ විශ්වාසය තැබූ පක්‍ෂ සාමාජිකයා පමණක් නොව ඔවුන්ගේ විශ්වාසයට පාත්‍ර වූ ජනතාවද අපේක්‍ෂා භංගත්වයට පත් කරමිනි. ජවිපෙට" වූයේ කූමක්ද " යන ප්‍රශ්නාර්ථය සමාජය මතූපිට කතාබහට ලක් වූ අතර එමගින් ඉස්මතූ වී ඇති පැනයට තුලනාත්මක පිලිතූරක් සම්පාදනය කිරීමට පක්‍ෂයට පවා නොහැකි වුවද , එවැනි පක්‍ෂයක ගමන් මග එසේ වන විට ඇති විය හැකි නියතය ඛේදාන්තයක් බවත් ඕවල් 1948 දී පෙන්වා දී ඇත. ලංකාවේ අනාගත දේශපාලන පක්‍ෂ පිළිබඳ කිසිදු දිවැසක් නොතිබූ ඔහු ඒකාකාරී ප්‍රතිපත්ති මාලාවක් සහිත ,දැඩි නිකායවාදී, පවතින තත්වයන්ට සාපේක්‍ෂව තීරණයන් වෙනස් කීිරීමට නම්‍යශීලී නොවන අන්ධ විශ්වාසය සහිත පක්‍ෂයක අනාගතය ලියා තැබීය.

එකම ආදේශකයක් ගෙන හැර පාමින් පක්‍ෂ සාමාජිකයාගේ මනස එක්තරා රාමුවකට පමණක් සීමා කර ගැනීමට සමත් ඕවල්ගේ 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂය විසින් සමහර දිනෙක පක්‍ෂයේ ඉතාමත් නොවැදගත් පාක්‍ෂිකයකූගේ ජීවන ප්‍රවෘත්ති ගෙන හැර දක්වමින් අනෙක් හැමෝම එය ආදර්ශයට ගත යුතූ යයි පවසන අවස්ථාද තිබුණ අයුරු එහි සඳහන් වනුයේ අපූරුවටය.

මානුෂීය සම්බන්ධතා පිළිබඳ මහා ඉහලින් කතා කරන ජවිපෙ විසින් පක්‍ෂයේ සමාජිකයාට නිල නොලත් ලෙස තහනම් කර තිබූ මිනිසුන් හා ගැහැණුන් අතර ඇතිවිය හැකි එහෙත් පක්‍ෂයට පාලනය කළ නොහැකි සම්බන්ධතා 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂය තුළ ද එලෙසින්ම පැවතිනි. ලිංගික කාර්යයේ වූ ආශ්වාදය මිරිකා හරිමින් මානසික ඒකාකාරීත්වයෙන් යුත් මිනිසකූ හෙවත් සීමා සහිත ගූණාංගයන්ගෙන් යුත් මිනිසකූ නිර්මාණය කිරීම ජවිපෙ වුවමනාව වන විට ඕවල්ගේ ප්‍රබන්ධයේ එන පක්‍ෂයේද එය එලෙසින්ම සිදුවන අයුරු පෙන්වා තිබීම අදහාගත නොහැකි සමානතාවයක් පැවතීම සැබවින්ම විශ්මය ජනකය. විවාහය සහ ඉන් පිටත බාහිර සමාජය හා පවතින සබඳතා පිළිබඳ සොයා බැලීමට කමිටුවක් තිබූ ඕවල්ගේ ප්‍රබන්ධයේ සාමාජිකයාගේ විවාහ ඒ සඳහාම වූ විශේෂ කමිටුවක් මගින් අනුමත වීම අත්‍යාවශ්‍ය විය. එවැනි සම්මතයක් හෝ නීතියක් නැතැයි එලිපිට ප්‍රකාශ නොකළද එය රහස් නීතියක් ලෙස පක්‍ෂය තුළ පැවතිනි. පක්‍ෂයේ
සමාජිකයාට තමන්ගේ මානුෂීය සම්බන්ධතා පිලිබඳ සිතීම අපහසු දෙයක් විය. ඒ ප්‍රමාණයට පක්‍ෂයේ මෝහන බලය විසින් මතකයන් ,මානුෂීය ආශාවන්,මානුෂීය සම්බන්ධතා විකෘති කිරීමක් කර ඇත.
මෙම ආවේග මිරිකන ලද කොන්ක්‍රිට් කූලුණු ලෙස සෙලවිය නොහැකි ලෙසට සකස් කරන ලද මිනිසුන් ඒ තුළ ඇත. සැබෑ සමාජයක සිටිය යුත්තේ මෙම තත්වයන්ට මුලුමනින් යට නොවුන මිනිසුන් බව ඔවුන්ගේ තර්ක බුද්ධියට දැනෙන මුත් පක්‍ෂය කියා දෙන දෙයට අමතරව සිතීමට හැකියාවක් නොමැති ඔවුන්ගේ හදවත එය පිලිගැනීමට එකඟ නොවේ.

අත්දැකීම් තූලින් නිගමන වලට එළඹීම පමණක් නොව බාහිර යථාර්ථයක් ඇතැයි සිතීම මහා ප්‍රලාපයක් බව 1984 ප්‍රබන්ධයේ පක්‍ෂය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි භයානක ප්‍රතිඵලය නම් පක්‍ෂයේ මෙම අණ කිරීම් වලට එකඟ නොවුණහොත් සාමාජිකයාගේ සිතට හැඟෙන්නේ පක්‍ෂය විසින් තමා මරා දැමීමේ බියට වඩා පක්‍ෂය විසින් පැවසූ දෙය සැබෑවක් විය නොහැකිදැයි යන සිතූවිල්ලෙන් ඔහු නිරන්තරයෙන් පෙළෙන සිතූවිලි මරණයට වඩා ඔහුට භයානක දෙයක් වෙයි. තමාගේ දෙසවනෙන් ඇසෙන, දෙනෙතින් දකින දෑ එසේ
නොවේයයි කීමට පක්‍ෂය තමාව පොළඹවයි . එය පක්‍ෂයේ අන්තිම නියෝගය වන අතර පක්‍ෂය විසින් දෙන වැදගත්ම නියෝගයද එයයි . එහදී තමාගේ අදහස් ඛණ්ඩනය කිරීමට, තමාට එරෙහිව පක්‍ෂය විසින් පෙල ගස්වන මහා බලය ගැන සිතත්ම සමාජිකයාගේ හදවත කඩා හැලේ . පක්‍ෂය විසින් තමාගේ මනසට මතූරමින් ජප කරන ලද මන්තරයක් ඇත . එම ප්‍රශ්න සාමාජිකයාගේ මනසට නිතැතින්ම හිමිවන ප්‍රශ්නාර්ථයකි . ඒවා ඔහුගේ මනසට නැගෙන විට බාහිර සමාජය කූමක් කීවද තමා සිටින මතවාදය නිවරදි යයි කියා පමණක් සාමාජිකයාට හැඟෙන පරිදි පක්‍ෂය විසින් සත්‍යදේත් වෙනස් කර ඇත.

දෙකයි-දෙකයි හතර නොව පහ යයි කී විට සාමාජිකයාට එය පිලිගැනීමට පක්‍ෂය විසින් සාධාරණ ප්‍රශ්නයක් සිතට ඇතූල් කර තිබේ .එනම්,දෙකයි-දෙකයි හතර බව අප දන්නේ කෙසේද ? යන පැනයෙනි. සැබවින්ම එය ඉහත පැනයේ දෙකයි දෙකයි පහය යන පිළිතූර සාධාරණ කිරීමකි. මෙය ඕවල්ගේ 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂයේ සවභාවය වූවද එය නැවත නැවතත් යථාර්ථයක් ලෙස ලාංකීය දේශපාලන භූමියෙන් මතූවූයේ මව්පොලව ආශ්වාදයකට පත් කළ සැබෑ පක්‍ෂයක වීම කෙතරම් ඛේදාන්තයක්ද.

ඕවල්ගේ කතාව පුරා පවතින අනතූරු හැඟවීම වර්තමානයේ ජවිපෙට අත්වූ ඉරණම හා සමානය. ලාංකීය මිනිස් වර්ගයාගේ සමාන්‍යයෙන් පවතින මිනිස් ගූණාංග නැති කරමින් ආත්මයක් නොමැති යන්ත්‍ර වී ඇති ඕවල්ගේ අනතූරු ඇඟවීම සැබෑවක් ලෙස අප මාතෘභූමිය තුළ ජීවමාන කළ යුතූද යන්න ගැන අප සිතා බැලිය යුතූ නොවෙද ? මිනිසාට ලෝකය වෙනස්කිරීමේ සමත්කමක් ඇත. මිනිසා ඉතිහාසය තුළ වර්ධනය වන ගමන් තමන්ගේ පරිපූර්ණභාවය සාක්‍ෂාත් කර ගන්නා බවත් තමා තුළ පවතින තර්ක බුද්ධිය මගින් තම සහෝදර මිනිසුන් සමග වඩාත් පිරිපුන් හෙටක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔහු තුළ ඇති බවත් පෙන්වන ඕවල් 1984 ප්‍රබන්ධයේ එන පක්‍ෂයක මිනිසුන්ගෙන් මෙය නැති කිරීම විශාල ඛේදවාචකයක් බවත් පෙන්වා දී ඇත.

2005 ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ ගමන්මග පිළිබඳ කූහක නොවී සාධාරණව කල්පනා කිරීමට සමත් අයකූ වේ නම් අතීතයේ සිටම පක්‍ෂය තුළ ගෙන ගිය මතවාදී අරගලයන් හේතූවෙන් මෙවන් සීමාකාරී කොන්දේසි වලින් මිදී පවතින සමාජ දේශපාලන වාතාවරණය සමග බද්ධ වීමට පක්‍ෂයේ සමහරක් කාරක සභිකයන්ගෙන් දායකත්වය ලැබුණමුත් එවන් අරගලකාරී, යථාර්ථය දකින මිනිසුන් පක්‍ෂය හැරදා ගිය විට ඕවල්ගේ 1984 ප්‍රබන්ධයේ පක්‍ෂයක් ලෙස ජවිපෙ පත්වීම කිසිවකූට වැලැක්විය නොහැකි වී ඇත.

මෙම සාහසිකත්වයෙන් ගැලවීමට ජවිපෙට සැබෑ උවමනාවක් ඇත්නම් මතවාදයේ අන්තවාදීව සිටීම පසෙකලා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයකින් මාතෘභූමියේ හදගැස්ම සමග බද්ධ වී තීන්දු තීරණ ගත යුතූය.

පසු සටහන - මෙය හුදෙක් සාම්ප්‍රදායික විවේචනාත්මක සටහනක් නොව, සාමාජිකයන් ලක්‍ෂ ගණනක් එජාප ම්ලේච්ච ඝාතකයන් විසින් පැහැරගත් ජවිපෙ වැනි ශේ්‍රෂ්ඨ පක්‍ෂයක අණාගැනීම විවරණය කරමින්, එම ජීවිත වල වටිනාකම රට වෙනුවෙන් කර ගැනීමේ අභිප්‍රායකි. ජවිපෙ රටට දිනා දුන් සියල්ල හෑල්ලු කිරීමේ ක්‍රියාවලියක නිරත වන්නේ ජවිපෙ ම බව ජවිපෙ වර්තමාන සහෘදයන්ට කියා දීමට ගත් වෑයමකි. තවද මෙම ප්‍රබන්ධය අනිකූත් ලාංකීය වාමාංශික ත්‍රිවිල් පක්‍ෂ සඳහා කතා කිරීම නිස්සාර කාර්යයක් බවද සඳහන් කළ යුතූමය.

(අපි කතා කරමු..තවදුරටත්)
 
ඉන්දික ප්‍රසාද් ගමගේ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com







9/01/2014

ටෙනිසන්ගේ නැගිටීම සහ ස්වර්ණ පුස්තකයේ විකල්ප ජාවාරම....

කතෘ:යුතුකම     9/01/2014   6 comments
ප්‍රවීන ලේඛක ටෙනිසන් පෙරේරා කල් පසුවී හෝ වැදගත් ප්‍රකාශයක් සිදු කොට තිබේ. නෝබට් අයගමගේ මහතා විසින්ද ඒ ප්‍රකාශය තවදුරටත් සනාථ කර ඇත. ස්වර්ණ පුස්තක සම්මාන උළෙල එන්.ජී.ඕ කාරයන්ගේ තිප්පලක් බවට පත්වෙමින් පවතින බව අපට නම් පෙනී ගියේ අද ඊයේ නොවේ. පසුගිය වසරක දෙකක කාලයක සිට එහි විනිශ්ව මණ්ඩලයේ අති බහුතරය සමන්විත වන්නේ මතවාදීමය වශයෙන් එකම කල්ලියක් නියෝජනය කරන පිරිසකගෙනි. කිසිදු ප්‍රශ්නයක් මැදහත්ව හා නිරවුල්ව විග්‍රහ කරගත නොහැකි මේ බහුතර පිරිස සෑම දෙයක් දෙසම බලනුයේ තමන්ගේ දූෂිත දේශපාලන ව්‍යාපෘතීන් හා එලොවට මෙලොවට නැති දාර්ශනික කුණු කන්දල් මත පිහිටමිනි. සිංහල බෞද්ධ විරෝධයේ පරවේණි රෝගයෙන් විකල් වී සිටින මේ පිරිසට තුත්තිරි ගහ පෙනෙන්නේ කොස් ගහක් වශයෙනි. කොස්ගහ පෙනෙන්නේ මෝල් ගහක් වශයෙනි. අදහසක් නිරවුල්ව ගලපා ලිපියක් ලියාගැනීමට නොදන්නා උද්දච්ඡ නඩුකාරයන්ගේ සිට, විජේරාම හන්දියේ අඩු මිලට කුණු සෝදන කුලී ලියන්නා දක්වා වු ලොකු කුඩා බොහෝ දෙනා ඉහත කී ව්‍යාධියට අඩු වැඩි වශයෙන් ගොදුරැ වී සිටිති. ඔවුන් සම්මාන දුන් පොත්වල හොද නරක ගැන නිමක් නැති වාද විවාද පැවතිය හැකි වුවද ඔවුන්ගේ මෙම මතවාදී අර්බුදය විවාදාත්මක කාරණයක් නොවේ. එහෙයින් මේ විනිශ්ව මණ්ඩල තුළ මතවාදීමය වශයෙන් අවම හෝ සමතුලිතතාවයක් පවත්වා ගත නොහැකි වීම ගැන පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලැජ්ජා විය යුතුව තිබේ.
කෙසේ හෝ වේවා අද වනවිට මේ කාරණා ටෙනිසන් පෙරේරා මහතාගේ මුවින්ම අසන්නට ලැබීම අපූරු නාටකීය ජවනිකාවකි. නෝබට් අයගමගේ මහතා මා දන්නා තරමින් එන්ජීඕ මතධාරියකු නොවුනද ටෙනිසන් පෙරේරා යනු බොහෝ අවස්ථාවලදී විකල්ප ගෝත්‍රය හා සහජීවනයෙන් කටයුතු කරන්නෙකි. ඒ මහතා පසුගිය දිනවල විකල්ප ජාවාරම්කාරයන් හා එක්වී මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් වස්ත්‍ර රහිතව පෙනී සිටින නිවේදන වලටද තම නම ඇතුළත් කළ අයෙක් බව අප මෙහිදී අමතක කළ යුතු නොවේ. ඊනියා විකල්ප බුද්ධිමතුන්ගේ නිරුවත අමු අමුවේ හෙලිදරවු වූ එවන් අවස්තා පවා දේශපාලනිකව තේරුම් ගත නොහැකි වූ ටෙනිසන් පෙරේරා මහතාට අද වන විට තම අහිමි වූ සම්මානය හමුවේ හෝ ඇත්ත කතා කරන්නට ශක්තිය ලැබීම ජාතියේ වාසනාවකි. ලේඛකයෙකුට ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම සදහා තම සම්මානයක් අහිමි වන තුරු සිටින්නට සිදුවීම එක් අතකින් ඛේදවාචකයකි. එවන් තත්ත්වයක් යටතේ කරන ප්‍රකාශ සරදමට ලක් කිරීමද ඉතා පහසු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ සියල්ල එසේ වුවද මේ මොහොතේ හෝ මේ අදහස් පල කිරීම ගැන ඉහත ලේඛකයන් දෙපලට කාගේත් ප්‍රණාමය හිමි විය යුතුය. 
 
සාහිත්‍ය ක්ෂේත්‍රයේ බලය විකල්ප ගෝත්‍රිකයන්ට හිමිවීම යනු රටේ බලය මර්වින් සිල්වාට හිමිවීමටත් වඩා භයානක තත්ත්වයකි. සාහිත්‍ය ලෝකයේදී අද අප නිතර අත්විදිමින් සිටින විගඩම්කාරී ජවනිකාද විකල්ප ගෝත්‍රයක බලයට නතුවූ සාහිත්‍යයකට උරුම පරාභවයේම අවලස්සන ප්‍රකාශනයෝ වෙති. එහෙයින් ආත්ම කේන්ද්‍රීයව ප්‍රශ්නය අතට නොගෙන පොදු වියවුල වටහා ගැනීමේ නුවනක් ටෙනිසන් මහතාට මින් පෙර පහල වූයේ නම් අද ඔහු සිටිනු ඇත්තේ ස්වර්ණ පුස්තක වැනි සම්මානයක් වෙනුවෙන් කෑ කෝ ගසා ගන්නා නොවැදගත් තැනක නොවේ. සම්මාන කෙසේ වුවද මේ සමාජ වියවුලට එරෙහිව පෙනී සිටින ලේඛකයා ඉතිහාසයේ වැදගත් තැනක නිසැකවම තම නම සටහන් කර තබන්නෙක් වෙයි. ඒ භූමිකාවට පණ පෙවීමට අවශ්‍ය සම්මා දිට්ඨිය කල් පසුවී හෝ ටෙනිසන් පෙරේරා ඇතුළු ලේඛකයන්ට හිමිවේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.



සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පළවූ  ලේඛකයන් දෙදෙනාගේ ප්‍රකාශ පහතින් දැක්වේ.

(01) ටෙනිසන් පෙරේරා 
දණ්ඩ භූමි
මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ.
ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක් වෙන්න නම් සුළු ජාතිකයින්ට පීඩා කරනවා කියල ලියන්න ඕන. මුස්ලිම් කඩ කඩනවාය කියල ලියන්න ඕනෙ. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් නිරන්තරයෙන් හිරිහැර කරනවාය කියල ලියන්න ඕන.
මගේ නවකථාවෙ ඒවා නැහැ. මගේ දණ්ඩ භූමි නවකථාවෙ එහෙම ‍දේවල් ගැන ලිව්ව නම්; සිංහලයන්ගේ උත්පත්තිය ද්‍රවිඩ උත්පත්තියකින් කියල කිව්වා නම් මගේ නවකථාවටත් ස්වර්ණ පුස්තක තිළිණය දේවි.
දෙවන වටයට තේරුණ පොත් දහයම මම කියෙව්වා. මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” කියවන්න මාස තුනක් ගියා. මෙලෝ මිනිහෙකුට ඒක කියවලා තේරුම් ගන්න අමාරුයි. ඒක පුද්ගලවාදී කෘතියක්. තමන්ගේ පුද්ගල අත්දැකීම් ගූඪ විදියට ලියලා; අපේ ජන පුරාණයට සම්බන්ධ කරල ප්‍රතිගාමී ස්වරූපයට ලියපු එකක්.
දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා 107 අතරින් ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ දෙවැනි වටයට තේරුණ කෘතීන් අතරින් මංජුල වෙඩිවර්ධනගේ නවකථාවට ලකුණු ලැබුණෙ දහයටත් අඩුවෙන්. “මගේ ආදරණීය යක්ෂණී” ප්‍රතිගාමී නවකථාවක් නිසා ඒක අවසාන පොත් පහට උඩට ගත්තා. ස්වර්ණ පුස්තක සම්මානයත් එයටම දේවි.
ලියනගේ අමරකීර්තිගේ “කුරුලු හදවත” විනිශ්චය මණ්ඩලයේ විසිදෙනාගෙන් දහනම දෙනෙකුගේම ඡන්දය ලැබුණත් එය විශිෂ්ට නවකථාවක් නොවෙයි. එය උත්කර්ෂවත් නැහැ. කුල භේදය ගැනයි කතා කරන්නෙ. කුල ප්‍රශ්නය ගැන අභ්‍යන්තරයට ගිහිල්ල නැහැ. උඩ මට්ටමින් කතා කරන්නෙ.
නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට සුළු ජාතිකයන්ට හිරිහැර ගැන කියන නවකථාවක්. දෙමළ ඩයස් පෝරාව කියන්නෙත්, නිශ්ශංක විජේමාන්න “තාරා මගේ දෙව්දුව” නවකථාවෙන් කියන දෙයම තමයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සමහර දෙනාට සාහිත්‍ය ගැන දැනුමක් නැහැ. ඒක නිසා සමහර ප්‍රකාශකයො ගේම් දෙනවා. විදර්ශන ප්‍රකාශකයින් පොත් දෙකක් පී.බී.ජයසේකරගේ “මරිය සිලෝනිකා වස්තුව”, නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” උඩට ගන්න ජනක ඉනිමංකඩට ඕන වුණා.
විනිශ්චය මණ්ඩලය පත්කරන්න මුල්වෙන්නෙ ජනක ඉනිමංකඩ. ඔහුගෙ හිතවතුන් තමයි එතැනට එන්නෙ. ඒ විතරක් නොවෙයි ෆේස් බුක් හරහාත් ඔහු තම පොත් දෙකට ලොකු තල්ලුවක් දෙනවා. ඔහුට ඕන ස්වර්ණ පුස්තක සම්මානයෙ රශ්මියෙන් ඔහුගේ පොත් දෙකට ඉහළම ‍අලෙවියක් ලබාගැනීම. ජනක මේ සඳහා කැන්වසින් ගියා.
ස්වර්ණ පුස්තක නව විනිශ්චය ක්‍රමවේදයත් වැරදියි. එකම පුද්ගලයා විසිදෙනෙක් ආරම්භයේ පටන් අවසානය දක්වා විනිශ්චයේ යෙදෙද්දි එකම රසයේ පොත් ගැනමයි අවධානය යොමු වෙන්නෙ. විවිධත්වයක් නැහැ. රසිකත්වය විවිධ වෙන්න ඕනෙ. එතකොටයි අලුත් දෙයක් ඇතිවෙන්න පුළුවන්.
මෙතැන තව ගේමක් යනවා. ඒ සිංහල නවකථාව නැති කිරීම. පාඨකයින් ප්‍රිය නැති නවකථා විනිශ්චය මණ්ඩලය ‍තේරීමෙන් පාඨකයාට නවකථාව එපා වෙනවා. මේ අවුරුද්දෙ නිර්දේශිත පොත් ගන්න අය ලබන අවුරුද්දෙ පොත් ගැනීම සම්පූර්ණයෙන් අත්හැර දානවා.

(02).නෝබට් අයගමගේ 
කාල නදී ගලා බසී
සාදිරිස් කියන පුද්ගල චරිතයත් එක්ක පාරු සංස්කෘතියත් සමඟ ගඟ දෙපස ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිත ගැන මම කාල නදී ගලා බසී නවකථාවෙන් කියනවා. කතාව පටන් ගන්නෙ එක්දහස්නවසිය අනූහත කාලයේ. මගෙ පළමුවැනි නවකථාව මේක.
පොතක් ලියන්නෙ සම්මාන බලාගෙනම නොවෙයි. නමුත් කිසියම් විනිශ්චයකදී අපිට අසාධාරණයක් වෙනවා නම් අපිට ඒක ඉවසන්න බැහැ. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දී දෙවැනි වටයට මගෙ පොත තේරුණේ ඡන්ද දාහතක් ලබාගෙන.
නමුත් අවසාන පොත් පහ තෝරද්දි ඡන්ද දහහතක් ලැබුණ මගේ පොත යට ගිහිල්ල ඊට අඩු ලකුණු ලැබුණු පොතක් උඩට ආවා. එකම විනිසුරුවන් විසිදෙනෙක්‍ නේද ඔතන ඉන්නෙ? දෙවැනි වටයට පොත් දහය තෝරල අවසාන වටයට පොත් පහ තෝරන්න අමුතු විනිශ්චයකාරයො ආවෙ නැහැනේ. හොඳටම තේරෙනවා ගේමක් තමයි ගියේ කියලා.
අපේ රටේ තියෙන පාරම්පරික චින්තනය සාම්ප්‍රදායී හැදියාව නැති කරන්න කණ්ඩායමකට ඕන වෙලා තියෙනවා. ඒකට පසුබිම හදල දෙන නවකථාවලට තමයි සම්මාන දෙන්නෙ.
ගිය පාරත් ඕක වුණා. ගිය පාර සෙංකොට්ටන් නවකථාවට නොදී කාල සර්ප නවකථාවට සම්මාන හම්බවුණේ එහෙමයි. මගෙ කාල නදී ගලා බසී නවකථාවෙත් තාත්ත දුවව දූෂණය කරනවා වගේ කථාවක් තිබුණා නම් සම්මාන ලැබෙන්න තිබුණා.
දැන් මේ සිදුවේගෙන යන රටාව දිහා බැලුවාම සිද්ධවෙන්නෙ අපි හිතන විදියේ විනිශ්චයක්වත් ඇගැයීමක්වත් නොවෙයි. තම තමන් අතර තමන්ගෙ හිතවතුන් අතර සම්මාන බෙදා දීමක්. කියවන්න කම්මැලිම කම්මැලි නවකථාවකට ගියවර සම්මාන දීමෙන් ඒක යස රඟට ඔප්පුවුණා.
මේකෙ වැරැද්ද සංවිධායකයින්ගෙ නොවෙයි. විනිශ්චය මණ්ඩලයට එන පුද්ගලයන්ගෙ. පටු පරමාර්ථවලින් මේ මිනිස්සු එන්නෙ තම ගජ මිතුරු සමාජයට සේවයක් කරන්න.
මේ අය මෙතැනට එන්නෙ වෙනම සන්ධානගතවෙලා. ගිය පාර ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයට තමන්ව ඇතුළත් නොකළ නිසා ඒකට පට්ට යන්න බැන්න සමන් වික්‍රමආරච්චි මෙන්න අපූරුවට මෙදා පාර විනිශ්චය මණ්ඩලයට ඇවිල්ලා. ස්වාර්ථය සඳහා වෙනස්වන ඒ මිනිස්සුන්ගෙ විනිශ්චය අපි කොහොමද පිළිගන්නෙ?
මේ අය මෙතනට එන්නෙ වෙනම සන්ධානගතවෙලා පශ්චාත් නූතනවාදය කියල කුණුහබ්බ කතාන්දර උඩට ගන්නයි මේ‍ෙක ඉන්න එන්ජීඕ කාරයො උත්සාහ කරන්නෙ. ඔවුන්ට ඕන වෙනම සංස්කෘතියක් වෙනම ගන්ධබ්බ සාහිත්‍යයක් ලංකාවෙ ඇතිකරන්නයි.”
පොත් ප්‍රකාශකයින් රාශියක් ඉද්දි එක පොත් ප්‍රකාශකයෙක් තමයි විනිශ්චය මණ්ඩලය තෝරන්නෙ. විශ්වවිද්‍යාලයෙන් පිටවුණ ගැටවු කට්ටියක් අල්ලගෙන පොත් ගහන ඔය ප්‍රකාශකයාගෙ එක පොතක් කියවන්න පුළුවන්ද?
මට ‍ෙලාකු යාලුවො නැහැ. ඒක නිසා මම කාටවත් කියල නැහැ මගෙ පොත ගැන විශේෂත්වයක් දක්වන්න කියලා. මම ඔය මී පොරේට එන්න කැමැතිත් නැහැ. නමුත් කියවපු බොහෝ දෙනා මගෙ පොත පැසසුවා. විනිශ්චය මණ්ඩලයේ කීපදෙනෙකු‍ෙග් පටු ආත්මාර්ථකාමී අදහස් නිසා සමස්ත සමීක්ෂණ මණ්ඩලයම අවමන් ලබනවා.
මහ ගිනි දවාලක උගත් වියත් දාමරික සුළුතරයක් විසින් නිර්ලජ්ජිතව කළ මංකොල්ලයක් ලෙසයි මම ඔය ක්‍රියාදාමය දකින්නෙ.




ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions