2/06/2014

කෘෂිකාර්මික වකුගඩු රෝගයේ අභිරහස හෙළි වේද?

කතෘ:යුතුකම     2/06/2014   2 comments


අදින් වසර 4කට පමණ එපිට සමාජයේ එතරම් කතා බහට ලක්‌ නො වූ, වැඩි දෙනකු නො දැන සිටි වකුගඩු රෝගයක්‌ ගැන අද බොහෝ දෙනකු කතා කරනු දක්‌නට ලැබේ. එපමණක්‌ නො ව එකී රෝගය සහ ඊට හේතු කාරණා වන දේ ගැන සංවාදය දලු ලා වැඩී නැ`ගී යනු දක්‌නට ලැබේ. මෙකී ප්‍රස්‌තූත වකුගඩු රෝගය ගැන මුල් වරට ලිත සාක්‍ෂියක්‌ හමු වන්නේ 1993-94 කාලයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම්වරයා තැබූ සටහනකිනි. තම බල ප්‍රදේශයේ පිරිමි ගොවීන් කිහිප දෙනකු ශරීරය ඉදිමෙන රෝගයකින් මිය යන බව හෙතෙම තම ඉහළ නිලධාරීන්ට දන්වා යවා ඇත. ඒ අනුව සිදු කළ පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ වකුගඩු රෝගී වීම, ඇඟ ඉදිමීමටත් මරණයටත් හේතු වී ඇති බවයි.


මේ රෝගය කෙරෙහි මුල් වරට සමාජයේ පෙර නො වූ විරූ අවධානයක්‌ යොමු වන්නේ 2008 වසරේ දී ඉරිදා දිවයින, විදුසර සහ The Island පුවත්පත්වල පළ වූ ලිපියක්‌ හේතුවෙනි. උතුරුමැද සහ තදාසන්න ප්‍රදේශවල මේ වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මාන සියල්ලක්‌ ම පාහේ එවකට කොටි ත්‍රස්‌තවාදීන් ගේ සෘජු බලපෑමට යටත් ව තිබූ සිංහල ගම්මාන ම බව එහි දී මා විසින් පෙන්වා දෙනු ලැබිණි. එම ලිපිය පෙර කී පුවත්පත්වල විශේෂයෙන් "ඉරිදා දිවයින" පුවත්පතේ පළ වීම හේතුවෙන් බොහෝ දෙනකු ගේ අවධානය ඒ කරා යොමු විය. ත්‍රස්‌තවාදීන් සිය ම්ලෙච්ඡ අරමුණු සාක්‌ෂාත් කරගැනීම උදෙසා සිදු කළ ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙස මේ රෝගය හටගත්තේ ද යන්න කුකුසක්‌ විය. මේ ලිපිය ඉරිදා දිවයින පුවත්පතේ පළ වී දින දෙකකට පසු අනුරාධපුර-සාලියපුර වෛද්‍ය පීඨයට ජනාධිපතිතුමා සිය විශේෂ නියෝජිතයකු ලෙස (පසුව අභාවප්‍රාප්ත වූ) ලක්‌ෂ්මන් ජයකොඩි මහතා සහ තවත් නියෝජිතයකු ඒaවා මේ වැඩිදුර පැහැදිකිරීමක්‌ ලබාගෙන විශේෂ පණිවිඩයක්‌ ද ලබා දෙනු ලැබී ය. ඒ අනුව 2010 වසරේ දී උතුරුමැද පළාතේ පැතිර යන මේ අභිරහස්‌ වකුගඩු රෝගයට දේශපාලනික අවධානයක්‌ ලබා දීමට අපට හැකි විය.


ආරම්භයේ සිට ම මගේ නිරීක්‍ෂණයක්‌ වූයේ කිවුල් වතුර පානය කරන ගොවි මහතුන්ට මේ රෝගය වැළඳීමේ ප්‍රවනතාව වැඩි බවයි. කිවුල යනු ජලයේ දිය වී ඇති කැල්සියම්, මැග්නීසියම්, ස්‌ට්‍රොන්චියම් වැනි ලෝහවල ලවණ හේතුවෙන් හටගන්නා තත්ත්වයකි. වතුර වීදුරුවේ සුදු පාට පටලයක්‌ ලෙස බැඳෙන්නේත්, වතුර උණු කරන භාජනවල අඩියේ ඝනකමට බැඳෙන්නේත්, නාන කාමරවල සහ වැසිකිළිවල තද පැල්ලම් ලෙස තැන්පත් ව පසුව පතුරු ගැලවී යන මට්‌ටමට වර්ධනය වන්නේත් කිවුලයි.

කෙසේ වෙතත් දැනට අප සතු වන බටහිර විද්‍යාත්මක දැනුමට අනුව කිවුල නිසා මනුෂ්‍ය වර්ගයාට කිසිදු රෝගයක්‌ හට නො ගනී. හමේ ඇති වන දද තත්ත්ව උග්‍ර කිරීමට කිවුල් වතුර හේතු වන බවට නිරීක්‍ෂණය ඇතිවා මිසක වකුගඩු හෝ වෙනත් අභ්‍යන්තර අවයවයක රෝගී තත්ත්වයක්‌ ඇති කිරීමට කිවුල හේතු වන බවට කිසිදු සාධකයක්‌ නැත. එපමණක්‌ නො ව කිවුල් ජලය නිසා හෘදයට සහ එහි ක්‍රියාකාරීත්වයට සුබදායී බලපෑමක්‌ ඇති බවට ද මත පළ වී ඇත.

කිවුල් ජලය පානය කරන අයට රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගය වැළඳෙන බව හුදු නිරීක්‍ෂණයක්‌ ම පමණක්‌ විය. එයට නිසි ජවයක්‌ ලැබී රටේ මාතෘකාවක්‌ බවට පත් වූයේ "ආසනික්‌" සමඟ ය. කෘෂි රසායන ද්‍රව්‍ය ම`ගින් එකතු වන ආසනික්‌ වකුගඩු රෝගය ඇති කිරීමට ප්‍රබල දායකත්වයක්‌ දෙන බවට අදහසක්‌ ප්‍රකාශ කළේ ප්‍රියන්තා සේනානායක මහත්මියයි. ඒ හෝඩුවාව ඔස්‌සේ සිදු කළ අධ්‍යයන හරහා කෘෂි රසායන ද්‍රව්‍යවල හලාහල විෂක්‌ වන ආසනික්‌ ඇති බවත්, එමතු නො ව එම කෘෂි රසායන ද්‍රව්‍ය යොදන සියලු වගාවන්හි ඵලදාවේ ආසනික්‌ ඇති බවත් රජරට ජනතාව ගේ මුත්‍රා, නියපොතු හා හිසකෙස්‌වල ආසනික්‌ ඇති බවත් මිය ගිය වකුගඩු රෝගීන් ගේ අභ්‍යන්තර අවයවවල ද ආසනික්‌ ඇති බවත් පෙන්වා දීමට අපට හැකි විය.

සේනානායක මහත්මිය ගේ අදහස අනුව පර්යේෂණ සිදු කර ආසනික්‌ හමු වීමත් සමග උතුරුමැද තදාසන්න ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට ආසනික්‌, කිවුල් ජලය සහ රජරට ප්‍රදේශයේ දක්‌නට ලැබෙන වැඩි ආසනික්‌ ප්‍රමාණයක්‌ රඳවාගත හැකි යකඩ බහුල පස හේතු වන බව සූත්‍රගත කළෙමි.

මේ සමග රටේ දැනුම් තේරුමක්‌ ඇති කියවන අය අතර මෙන්ම මහජනතාව අතර ද "ආසනික්‌" ගැන ප්‍රබල සංවාදයක්‌ ජනිත විය. කෙසේ වෙතත් මේ සූත්‍රගත කිරීමේ ප්‍රබල අඩුපාඩු කිහිපයක්‌ ඇති බව කල් ගත වන විට අපට අවබෝධ විය. විශේෂයෙන් ම අන්තර්ජාතික තලයේ වකුගඩු රෝග සහ විෂ විද්‍යාව පිළිබඳ බුද්ධිමතුන් සමග සංවාදයේ දී අපට පිළිතුරු දිය යුතු ම ප්‍රශ්න කිහිපයක්‌ ඉදිරිපත් විය. ඉන් ප්‍රධාන එකක්‌ වූයේ ජලයේ ඇති ආසනික්‌ සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය ප්‍රමාණය මෙවන් දරුණු රෝගයක්‌ හටගැනීමට තරම් ප්‍රමාණවත් ද යන්නයි. අනෙක, ආසනික්‌ සිරරට ඇතුළු වූ පසු සාමාන්‍යයෙන් දරුණු ම හානිය සිදු කරන්නේ අක්‌මාවට ය. එහෙත් මේ වකුගඩු රෝගීන් අති බහුතරයක ගේ අක්‌මාවට සිදු ව ඇත්තේ අවම හානියකි. අක්‌මාවට අවම හානියක්‌ සිදු කරමින් වකුගඩුවලට මෙතරම් ප්‍රබල හානියක්‌ සිදු කිරීමට ආසනික්‌ සහ අනෙකුත් විෂවලට (විශේෂයෙන් බැර ලෝහ) හැකියාවක්‌ ලැබුණේ කෙසේ දැයි පැහැදිලි කිරීමට අපට සිදු විය.

මේ අතර "ආසනික්‌ ගමන" ආසනික්‌ ම වූවක්‌ විය. ඇතැම්හු එය තමන් ගේ වාසියට, ප්‍රසිද්ධියට යොදාගත් හ. ඇතැම්හු ආසනික්‌ ගැන කතා කිරීමට ගොස්‌ පස්‌ස බිම ඇනගත් හ. තවත් සමහරක්‌ එල්ල වූ පීඩනය දරා ගැනීමට නොහැකි ව ඉවත් වූ හ. කිවුල, ආසනික්‌ හැරුණු විට තවත් රසායනයක්‌ මේ ක්‍රියාවලියේ දී අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරන බව හැඟී ගිය ද එය කුමක්‌ දැයි අනාවරණය කර ගැනීමට තවත් වසර 2ක්‌ පාරමීදම් පිරීමට අපට සිදු විය. අවසානයේ එය හමු විය. එහෙත් ඒ සමග අප හමුවේ ඇත්තේ ආසනික්‌වලටත් වඩා බැරෑරුම් වූ සටනකි. අභියෝගයකි.

ප්‍රියන්තා සේනානායක මහත්මියටත්, මටත් ආධාරයට මෙවර මුණ ගැසුණේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා ය. හෙතම ශ්‍රී ලාංකිකයකු විදෙAශයක වෛද්‍ය විද්‍යා ක්‌ෂේත්‍රයේ දරන ඉහළ ම තනතුරකට හිමිකම් කියයි. එතුමා ගේ මැදිහත් වීමෙන් පසුගිය මාස කිහිපයක කාලයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කටයුතුවලට සහභාගී වීමට මට අවස්‌ථාව හිමි විය. ඒ තුළින් අප සතු වූ අනුමානය, සැකය නිවැරැදි බවත් මෙකී රසායනික ද්‍රව්‍යය කුමක්‌ දැයි නිවැරැදිව ම හඳුනාගැනීමටත් අපට හැකි විය.

තවත් සගවන්නට දෙයක්‌ නැත. මේ රසායන ද්‍රව්‍යය "ග්ලයිපොසේට්‌" ය. එය වර්තමානයේ ලෝකයේ වැඩියෙන් ම භාවිත වන වල්නාශකයයි. ලොව භාවිත වන සියලු පළිබෝධනාශක සැලකුව ද ඊට වඩා වැඩි ග්ලයිපොසේට්‌ ප්‍රමාණයක්‌ භාවිත වේ. 2012 වර්ෂයේ දී ලංකාවට ග්ලයිපොසේට්‌ කිලෝ පනස්‌ තුන් ලක්‍ෂයක්‌ ගෙන්වා ඇත. එය එම වසරේ දී ලංකාවට ගෙන්වූ සමස්‌ත පළිබෝධනාශකවලින් 51%කි. බටහිර කෘෂි විද්‍යාඥයන්ට අනුව ග්ලයිපොසේට්‌ යනු නූතනත්වයේ රසායනයයි. මුළු මහත් බටහිර ශිෂ්ටාචාරය ඔසවා තැබූ රසායන ද්‍රව්‍යයයි. එසේ කීමට ඔවුන්ට හේතු රැසකි. ග්ලයිපොසේට්‌ යනු පූර්ණ වල් නාශකයකි. වකර යෙදූ පසු කොළ පැහැයට ඇති සියලු ශාක විනාශ වේ. බටහිර ශිෂ්ටාචාරය සොයාගත් සියලු පළිබෝධනාශක පළමු වසර 10-20 ඇතුළත දී ම පරිසරයට, මිනිසාට ප්‍රබල අවදානමක්‌ ඇති කරන බව ඔප්පු කිරීමට තරම් සාධක විද්‍යාඥයන් සතු විය. එහෙත් ග්ලයිපොසේට්‌ භාවිතයට පැමිණ 40 වසරක්‌ ගත වුව ද එම`ගින් සැලකිය යුතු සෞඛ්‍ය හෝ පරිසර හානියක්‌ වන බවට පෙන්වා දීමට විද්‍යාඥයන් අපොහොසත් ව ඇත. ග්ලයිපොසේට්‌ යනු ග්ලයිසීන් නම් ස්‌වාභාවික ඇමයිනෝ අම්ලයේ සුළු වෙනස්‌කමකින් ඇති කළ කෘත්‍රිම රසායන ද්‍රව්‍යයකි. ඇමිනෝපොස්‌පොනික්‌ හෝ ඇමිනෝපොස්‌පොනේට්‌ යන රසායනික නමින් හඳුන්වයි. එහි ව්‍යqහය සරල ය. එහි කාබොක්‌සිලික්‌, ඇමිනෝ සහ පොස්‌පොනික්‌ ලෙස ක්‍රියාකාරී කාණ්‌ඩ 3කි.

සාමාන්‍ය තත්ත්ව යටතේ දින හෝ සති කිහිපයකින් ග්ලයිපොසේට්‌ වියෝජනය වී ඇමෝනියම් අයන, කාබන්ඩයොක්‌සයිඩ් සහ ග්ලයිසීන් බවට පත් වේ.

මේ සියල්ල ස්‌වාභාවික පරිසරයේ ඇති ඒවා ය. එහෙයින් මේවා අමුතු විෂක්‌ ඇති නො කරයි. බැලූ බැල්මට ඉතා ම සුදුසු, හානියක්‌ නැති, පරිසර හිතකාමී වල් නාශකයකි. එසේ නම් ග්ලයිපොසේට්‌ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ වන්නේ කෙසේ ද? එය හමු වන්නේ ග්ලයිපොසේට්‌ ඉතිහාසයේ ය. සැඟවුණු ඉතිහාසයේ ය.

ග්ලයිපොසේට්‌ රසායනය වල්නාශකයක්‌ ලෙස ඇමෙරිකා එක්‌සත් ජනපදයේ දී පේටන්ට්‌ අයිතිය ලබා ගන්නේa 1969 ජුලි මස 15 දින ය. (පේටන්ට්‌ අංක 3455675). ඒ මොන්සැන්ටෝ සමාගම විසින් ය. එහෙත් මේ සොයාගැනීමට පෙර 1964 දෙසැම්බර් මස 8 වැනි දින ස්‌ටෝපර් රසායන සමාගම අංක 3160632 යටතේ පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබා ගෙන තිබිණි. පසුව එය මොන්සැන්ටෝ සමාගම මිල දී ගෙන වල්නාශකයක්‌ ලෙස යළි පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත. 1964 දී නිව්යෝක්‌හි ස්‌ටෝපර් රසායන සමාගම මේ රසායනික සංයෝගයට පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත්තේ වෙනත් සංයෝග ඉවත් කරන, පිරිසිදු කරන රසායන සංයෝගයක්‌ ලෙස ය. කොටින් ම එය යොදාගෙන ඇත්තේ ගෙදරදොර නාන කාමරවල පයිප්ප සහ වතුර ටැංකිවල කිවුල ඉවත් කරන රසායනයක්‌ ලෙස ය. ග්ලයිපොසේට්‌වල ඇති විශේෂත්වය කිවුල සමග ඉතා පහසුවෙන් සම්බන්ධ වී, සංයෝග වී කිවුල ඉවත් කිරීමයි. පසුව රසායන විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ කැල්සියම්, මැග්නීසියම් සහ අනෙකුත් ලෝහ අයන රඳවාගැනීමට ග්ලයිපොසේට්‌ සතු ව සුවිශේෂි හැකියාවක්‌ ඇති බවයි. වඩා වැදගත් ම කාරණය කිවුල හෝ වෙනත් ලෝහ අයන සමග සම්බන්ධ වූ විට ග්ලයිපොසේට්‌ සාමාන්‍ය ආකාරයට වියෝජනය නො වී ඉතා ස්‌ථායි ලෙස වසර ගණනාවක්‌ රැඳී තිබීමයි. වල් නාශකයක්‌ ලෙස ග්ලයිපොසේට්‌ යොදාගැනීමේ දී මේ ප්‍රශ්නය මතු ව ඇත. කිවුල සහිත ජලය ග්ලයිපෝසේට්‌ දිය කිරීමට යොදාගත් විට අපේක්‌ෂිත ප්‍රතිඵල ලැබී නැත. ඊට හේතුව කැල්සියම් ග්ලයිපොසේට්‌/මැග්නීසියම් ග්ලයිපොසේට්‌ ඇති වීමත් ඒවා වල් නාශක ගුණයෙන් තොර වීමත් බව සොයාගෙන ඇත. මෙය ජය ගැනීම සඳහා ද විද්‍යාඥයෝ ක්‍රමයක්‌ හඳුන්වා දුන් හ. එනම් ඇමෝනියම් ලවණයක්‌ ග්ලයිපොසේට්‌ සමග යොදාගැනීමයි. එවිට ඇති වන ම`ද ආම්ලික තත්ත්ව යටතේ ග්ලයිපොසේට්‌, කැල්සියම් සමග සංයෝජනය නො වන බව හඳුනාගෙන ඇත. මේ ගැන දිගින් දිගට ම පර්යේෂණ පවත්වා ඇති පර්යේෂකයෝ කැල්සයිම්-ග්ලයිපොසේට්‌ රසායනයේ ව්‍යqහය නිර්ණය කළ හ. ඒ අනුව එක්‌ ග්ලයිපොසේට්‌ අණුවක්‌ සමග කැල්සියම් හෝ වෙනත් ලෝහ අණු විවිධ අනුපාතවලට සංයෝජනය වෙමින් ත්‍රිත්ව සහ චාතුර්ථක ලිගන්ඩ (Tridentate and Tetradentate ligand) ඇති කරන බව නිර්ණය කර ඇත.

කෙසේ වෙතත් මොන්සැන්ටෝ සමාගම වල්නාශකයක්‌ ලෙස ග්ලයිපොසේට්‌ භාවිත කරන විට ඇති වන මේ තත්ත්වය පිළිබඳ කරුණු කිසි පාරිභෝගිකයන්ට හෙළිදරව් නො කිරීමට වග බලාගෙන ඇත. ග්ලයිපොසේට්‌ සතු අසාමාන්‍ය රසායන ක්‍රියාකාරීත්වය නිසා ලෝහ, බැර ලෝහ සහ අර්ධ ලෝහ රඳවා ගැනීමේ සුවිශේෂී ශක්‍යතාවකින් එය හෙබි ය. කිවුල යනු කැල්සියම් සහ මැග්නීසියම් නිසා හටගන්නකි. කිවුල් ජලය ස්‌වාභාවිකව ඇති තැනක ග්ලයිපොසේට්‌ යෙදීමෙන් ඒවා පහසුවෙන් කිවුල සමග සංයෝග වී සාමාන්‍ය වියෝජනයකට ලක්‌ නො වී දීර්ඝ කාලයක්‌ රඳා පවතියි. රසායනික පොහොර සහ පළිබෝධනාශක ආසනික්‌, කැඩ්මියම්, ක්‍රෝමියම්, නිකල් වැනි අර්ධලෝහ (ආසනික්‌ යනු අර්ධ ලෝහයකි) සහ බැර ලෝහවලින් යුක්‌ත අවස්‌ථාවක එම ලෝහ ග්ලයිපොසේට්‌ සමග පහසුවෙන් සංයෝජනය වේ. ලංකාවේ භාවිත වන ආනයනික පොස්‌පේට්‌ පොහොරවල ඉහළ ප්‍රමාණයක්‌ ආසනික්‌, කැඩිමියම්, ක්‍රෝමියම්, නිකල්, ඊයම් අඩංගු බව මේ වන විටත් තහවුරු කරගෙන ඇත. පොස්‌පේට්‌ පොහොර වැඩියෙන් ම භාවිත වනුයේ වී සහ උක්‌ වැනි තෘණ කුලයේ භෝග වගාවන්ට ය. ලංකාවේ වී වගා කරන ප්‍රදේශවල මේ හේතුවෙන් අධික විෂ ලෝහ ප්‍රමාණයක්‌ පොළොවට එක්‌ වේ. කිවුල සහිත භූගත ජලය ඇති ප්‍රදේශවල රසායනික පොහොරත්, පළිබෝධනාශකත් යෙදූ විට ඉන් එක්‌ වන විෂ ලෝහ, ග්ලයිපොසේට්‌ සමග මනාව සංයෝජනය වී දීර්ඝ කාලයක්‌ රැඳී පවතියි.

මේ ආකාරයට කිවුල, බැර ලෝහ, ආසනික්‌ සහ ග්ලයිපොසේට්‌ එක්‌ ව තනන රසායනික දැලිස (රූපය බලන්න) පිළිබඳ මූලික හඳුනාගැනීම මේ වන විටත් අප විසින් සිදු කරනු ලැබ ඇති අතර ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බුද්මය දේපළ නීතිය යටතේ එහි හිමිකම අපට ලැබී ඇත. මේ සොයාගැනීමත් සමඟ මෙතෙක්‌ කල් පිළිතුරු දීමට නොහැකි ව තිබූ හෝ අර්ධ වශයෙන් පිළිතුරු දුන් ප්‍රශ්නවලට මනා ලෙස පිළිතුරු දීමේ හැකියාවක්‌ අප ලබාගෙන ඇත.

පානීය ජලයේ ආසනික්‌ සහ වෙනත් වකුගඩුවලට විෂ ලෝහ අවම සාන්ද්‍රණයෙන් පැවතිය ද ඒවා ග්ලයිපොසේට්‌ සමඟ සංයෝග ව ඇති විට ලෙහෙසියෙන් සිරුරට අවශෝෂණය කරගනී. සාමාන්‍යයෙන් ආසනික්‌ වැනි විෂක්‌ ආහාර මාර්ගය ඔස්‌සේ අවශෝaෂණය කළ විට සිදු වන්නේ "මෙටලෝතයොනීන්" නම් සිස්‌ටීන් -ඇමිනෝ අම්ලය බහුල ප්‍රොaටීනයකට බැඳී විෂ හරණ ක්‍රියාවලියකට අක්‌මාව කරා රැගෙන යැමයි. සිස්‌ටීන් සහ ග්ලියිසීන් රූපීයව බොහෝ සමාන ගුණ ඇති ඇමිනෝ අම්ල 2කි. ග්ලයිපොසේට්‌ යනු ග්ලයිසීන් විකරණයෙන් ලබාගත් රසායනයකි. මේ නිසා ආසනික්‌ හෝ වෙනත් බැර ලෝහයක්‌ ග්ලයිපොසේට්‌ සමඟ බැ`දී ඇති විට එයට සිස්‌ටීන් බහුල මෙටලෝතයෝනීන් ප්‍රොaටීන සමඟ බැ`දීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලය වන්නේ අක්‌මාව පසු කරගෙන "ග්ලයිපොසේට්‌-ලෝහ" සංයෝගය වකුගඩු වෙත ළ`ගා වීමයි. වකුගඩු වෘක්‌කාණුවක අවිදුර සංවලිත නාළිකාවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි දී ඇමෝනියම් අයන බහුල ලෙස ස්‍රාවය කෙරේ. එවිට "ග්ලයිපොසේට්‌ -ලෝහ" සංයෝගය ඉහළ ඇමෝනියම් සාන්ද්‍රණය හමුවේ බිඳ වැටී ආසනික්‌ සහ බැර ලෝහ නිදහස්‌ කරයි. එනම් ග්ලයිපොසේට්‌ යනු ආසනික්‌ සහ බැර ලෝහ වකුගඩු කරා

රැගෙන යන වාහකයා ය. කෘෂි විද්‍යාඥයන් ග්ලයිපොසේට්‌-කිවුල සංයෝගය බිඳ දැමීමට හෝ නිපැදවීම වැළැක්‌වීමට යොදාගත් උපක්‍රමය ස්‌වාභාවික ලෙස වකුගඩුවේ දී ක්‍රියාත්මක වේ.

තව ද ග්ලයිපොසේට්‌ ඉසීම සිදු කරන ගොවි මහතුන් ගේ ශ්වසන මාර්ගය සහ සම ඔස්‌සේ ද ඒවා අවශෝෂණය විය හැකි ය. ආහාර සහ විශේෂයෙන් දුම්කොළ ඔස්‌සේ (බුලත් සමඟ සැපීමට ගන්නා) ශරීරයට එකතු වන බැර ලෝහ සහ ආසනික්‌ රුධිර සංසරණයේ දී ග්ලයිපොසේට්‌ සමඟ බැඳී වකුගඩු වෙත ළ`ගා විය හැකි ය. ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ සහ වන්නි ප්‍රදේශයේ ද භූගත ජලය අධික කිවුලෙන් යුක්‌ත ය. එහෙත් මේ වන තෙක්‌ එම ප්‍රදේශවලින් මේ සුවිශේෂී වකුගඩු රෝගීන් වාර්තා වන්නේ ඉතා අවම ලෙස ය. නැත හොත් වර්තා වන්නේ ම නැත.

ඊට හේතුව නම් කිවුල් ජලය භාවිත කළ ද තිස්‌ වසරක්‌ පැවති ත්‍රස්‌තවාදී ප්‍රශ්නය නිසා ග්ලයිපොසේට්‌ සහ බැර ලෝහ එක්‌ වීමට හේතු වන කෘෂි රසායන එම ප්‍රදේශවල භාවිත නො කිරීමයි.

මේ සමඟ ම රජරට ප්‍රදේශයේ ළිsංවල ජලය එන්න එන්න ම කිවුල් ගතියෙන් වැඩි වීම ද අපට පැහැදිලි කළ හැකි ය. මෙය කෙතරම් ප්‍රශ්නයක්‌ ද යත් අද ඇතැම් ගොවි ගම්මානවල බීමට ජලය ගත හැකි ළිං ප්‍රමාණය 1කට හෝ 2කට සීමා වී ඇත. ගැමියන් පවසන්නේ අවසන් වසර 20ක පමණ කාලයේ ළිංවල ජලය කිවුල් ගතියෙන් වැඩි වන්නට වූ බවයි. මීට හේතුව ස්‌වාභාවික කිවුලට අමතරව ග්ලයිපොසේට්‌ හා ලෝහ බැර ලෝහ ටිකෙන් ටික එකතු වීමෙන් හටගත් කෘෂි රසායන කිවුලයි. සාමාන්‍ය ජනතාවට දැනෙන එක ම දෙය වතුරේ කිවුල් රස වැඩි වීමයි.

ඊළඟට අප මුහුණ දුන් අභියෝගය වූයේ රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් පානයට ජලය ලබාගන්නා ළිංවල ග්ලයිපොසේට්‌ -ලෝහ/බැරලෝහ/ආසනික්‌ සංයෝගය ඇති බව පෙන්වීමයි. මුළු ලෝකයේ ම ග්ලයිපොසේට්‌ විශ්වසනීය ලෙස නිර්ණය කළ හැකි විද්‍යාගාර ඇත්තේ කිහිපයකි. අසාමාන්‍ය අයනික ස්‌වභාවය, ඉහළ ධ්‍රැවීයතාව, ඉහළ ජලද්‍රාවීයතාව, කාබනික සංයෝගවල ද්‍රාව්‍ය නො වීම නිසා මෙන්ම වෙනත් සංයෝග සමඟ පහසුවෙන් සංයෝජනය වීමේ ගුණය නිසා ද ග්ලයිපොසේට්‌ විද්‍යාගාරයක දී නිර්ණය අපහසු ය. ග්ලයිපොසේට්‌-ලෝහ/බැර ලෝහ සමඟ සම්බන්ධ වී ඇති විට කිසිසේත් ම සාමාන්‍ය විශේලේෂණ ක්‍රම යොදාගත නොහැකි බව මෑතක දී ස්‌පාඤ්ඤ සහ ප්‍රංශ විද්‍යාඥයන් කණ්‌ඩායම් දෙකක්‌ වෙන් වෙන් ව පෙන්වා දී ඇත. ෙමි නිසා ග්ලයිපොසේට්‌-ලෝහ/ බැරලෝහ සංයෝගය නිර්ණයට විශේෂ එලයිසා (ELISA) තාක්‌ෂණ ක්‍රමවේදයක්‌ යොදාගැනීමට අපට සිදු විය. කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ දී මේ වන විට අප සිදු කළ පර්යේෂණවලින් හෙළිදරව් වූයේ වකුගඩු රෝගීන් ගේ ජල ප්‍රභවවල මෙකී රසායන ද්‍රව්‍ය ඇති බවයි.

මේ සමඟ ම අප ගේ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවට සමාන රෝගී තත්ත්වයක්‌ පැතිර යන මධ්‍යම ඇමෙරිකානු රටවල් සහ ගිනිකොනදිග ඉන්දීය ප්‍රාන්ත 2ක්‌ වන ආන්ද්‍රා සහ ඔරිස්‌සා වෙතයි. මධ්‍යම ඇමෙරිකාවේ රෝගය පැතිර යන්නේ උක්‌, සීනි වගා කරන ගොවීන් අතර ය. එහි යොදාගන්නා වල්නාශක ද ග්ලයිපොසේට්‌ ය ත රසායනික පොහොර වී වගාවට මෙන්ම උක්‌ වගාවට ද අධික ලෙස යොදාගනී ත රෝගය වැළඳී ඇත්තේ භූගත ජලය පානය කරන අයට ය.

ආන්ද්‍රාවේ හා ඔරිස්‌සාවේ රෝගය වැළඳී ඇත්තේ වී සහ පොල් වගා කරන ගොවීන්ට ය. එහි ද ග්ලයිපොසේට්‌ අධික ලෙස භාවිත කරයි. පානීය ජලයේ කිවුල මට්‌ටම ඇතැම් විට ලීටරයට මිලි ග්‍රෑම් 1000ක්‌ ද ඉක්‌මවයි. (ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලීටරයකට මිලි ග්‍රෑම් 180 ඉතා අධික කිවුල ලෙස සලකයි). කිවුල හැරුණු විට සිලිකා ද ඉහළ මට්‌ටමකින් ආන්ද්‍රාවේ පානීය ජලයෙන් හමු වී ඇත.

අවසන් වසර 50-60 තුළ විද්‍යා දැනුමේ ආනුභාවයෙන් නිපදවූ කෘමීනාශක, වල්නාශක, දිලීරනාශක බොහොමයක්‌ අද වෙළෙඳපොළේ නැත. ඊට හේතුව මනුෂ්‍ය වර්ගයාට ඒවායෙන් සෘජු ව ම බලපෑමක්‌ ඇති වන බව එම විද්‍යාවෙන් ම සාක්‌ෂි සහිතව පෙන්වා දිමයි. මේ තරගයට ඔරොත්තු දී හතළිස්‌ වසරක්‌ ජය කෙහෙළි නැංවූ වල්නාශකය ග්ලයිපොසේට්‌ ය. විද්‍යාගාර තත්ත්ව යටතේ දී විෂ නැති සරල සංයෝග බවට වියෝජනය වීමත්, එසේ වියෝජනය නො වී මිනිසාට අහිතකර තත්ත්වයක්‌ උදා කළ ස්‌ථානයක්‌, සාක්‌ෂියක්‌ නැති වීමත් "ග්ලයිපොසේට්‌" රජ වීමට හේතු විය. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ස්‌වාභාවික භූගත ජලයේ කිවුල ඇති, ග්ලයිපොසේට්‌ භාවිත කරන ස්‌ථාන ඇත. එහෙත් එම ජලය මනුෂ්‍ය පරිභෝජනයට යොදා නො ගනී. එසේ වූවා නම් මීට පෙර මේ ප්‍රපංචය හඳුනාගැනීමට ඉඩ ප්‍රස්‌ථා නො තිබුණා නො වේ. එහෙත් ශ්‍රී ලංකාවේත්, මධ්‍යම ඇමෙරිකානු රටවල් ගණනාවකත්, ගිනිකොනදිග ඉන්දියාවේත් පැතිරී යන කෘෂිකාර්මික වකුගඩු රෝගය හේතුවෙන් ග්ලයිපොසේට්‌ ආධිපත්‍යයට 40 වරසකට පසු අභියෝගයක්‌ එල්ල වී ඇත.

ආසනික්‌ පළමු ඉනිම නම් ග්ලයිපොසේට්‌ දෙවැනි ඉනිමයි. ආසනික්‌ සටනින් රටට බොහෝ ජයග්‍රහණ අත් වූ බව කුහකයකු නො වන ඕනෑ ම අයකුට තේරුම් යනු ඇත. අද වස විස ගැන රටේ කොතැනත්, කවුරුත් කතා කරති. වකුගඩු රෝගයට පමණක්‌ නො ව දියවැඩියාවට, පිළිකාවට කෘෂි රසායනවල ඇති සබඳකම් ගැන සංවාද බොහෝ විට ඇත. රටේ ප්‍රසිද්ධ ස්‌වාමීන් වහන්සේලා දානයකට, පිරිතකට, පාංශුකූලයකට වැඩිය ද කෘෂි රසායන ව්‍යසනය ගැන දෙසා වදාරති. කළු හීනටි, සුවල් සහලට, මුරුංගා, කැකිරි, කතුරුමුරුංගා, දඹලවලට වෙන දා නැති කැමැත්තක්‌ අපේ රටේ ඇති වී ඇත. වෙන දා රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පුවත්පත්වල පළ වූ කෘෂි රසායන දැන්වීම් අද නැත. රටපුරා කුඹුරුවල ලී පටිවල සවි කළ කෘමිනාශක, වල්නාශක දැන්වීම් පුවරු අද නැත. රටපුරා විදුලි කණුවල, ගස්‌ගල්වල අලවා තිබූ, සවි කර තිබූ කෘෂි රසායන දැන්වීම් අද නැත. කොටින් ම රටේ ජනාධිපතිතුමා පසුගිය දා ප්‍රසිද්ධ ඉල්ලීමක්‌ කළේ වසවිස යොදා නො ගන්නා ගොවිතැනකට යොමු වන ලෙසයි.

මේ එකක්‌ වත් අහඹු ලෙස ලැබූ ජයග්‍රහණ නො වේ. බොහෝ දුක්‌විඳ, කැප කිරීම් කර ලැබූ ජයග්‍රහණ ය. කැප කිරීම් නො කළ මිනිසුන් නො දන්නවා වුව එහි අමාරුව අපි හොඳින් දනිමු. එහි දුක අපි හොඳින් දනිමු. පළමු ඉනිමේ දී රටක්‌ සෙලවිණි. මෙවර අපට සටන් කිරීමට සිදු වන්නේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය මෙන් කිපගුණයක ආදායමක්‌ ග්ලයිපොසේට්‌ අලෙවියෙන් ලබන සමාගම් සහ ඔවුන් ගේ ඉත්තන් සමගයි. පළමු ඉනිමේ දී උගත් පාඩම් ද සමග අපි දෙවැනි ඉනිම අරඹමු.

(මේ අධ්‍යයනය හා සම්බන්ධ සම්පූර්ණ විද්‍යාත්මක ප්‍රකාශනය ස්‌විට්‌සර්ලන්තයේ පළ වන International Journal of
Environmental Research and Public Health ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ නවතම කලාපයේ අඩංගු වේ). 

වෛද්‍ය චන්න ජයසුමන



(විදුසර පුවත් පතින් උපුටා ගතිමු)

2/03/2014

යට ඇඳුම උඩින් අඳින සන්නස්ගලලා

කතෘ:යුතුකම     2/03/2014   6 comments
පසුගිය දිනකදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් "හොඳම දේ දරුවන්ට" යන මැයෙන් පුවත්පතකට ලියන ලද ලිපියක් කියවන්නට සිදුවිය. ඒ ලිපිය ලිවීමට ඒ මහතාට සිත් දී ඇත්තේ අපූරු සිද්ධියකි. ඒ සිද්ධිය ඒ මහතා මෙසේ ලියා තිබිනි.

මා හොඳින් දන්නා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ ජාතික පාසලක නිර්මාණශීලී දරුවෙක් සිටියේ ය. හෙතෙම පන්තියේ පළමුවැන්නා ය. ඉංග්‍රීසි සිංහල ද්විභාෂාවෙන් ම කීමටත් බිණීමටත් ඔහුට හැකි ය. ඔහුගේ දෙමාපියෝ මේ සිසුවා මේ ප්‍රකට ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යනායකයකු කිරීමටත් ඉනික්බිතිව ජේ‍යෂ්ඨ ශිෂ්‍යනායකයකු කිරීමත් බලාපොරොත්තු වූහ. එහෙත් පන්තිභාර ගුරුතුමියත්, විනය භාර ගුරුතුමාත්, ශිෂ්‍යනායක කණ්ඩායම භාර ගුරුතුමාත් ඔහුට ශිෂ්‍යනායකකම නොදුන්නෝ ය. දෙමාපියන්ගේ අදහසට අනුව තම දරුවාට වඩා නායකත්ව සුදුසුකම් අඩු උපාසක උපාසිකා යුවළකගේ දරුවකුට ශිෂ්‍යනායකකම ලැබිණි. උපාසක දරුවා ශිෂ්‍යනායකයකු වෙද්දී, නිර්මාණශීලී දරුවකු ශිෂ්‍යනායකයෙක් නො කළේ ඇයි දැයි දෙමාපියෝ අදාළ ගුරුභවතුන්ගෙන් සන්සුන් ව විමසූහ. පිළිතුර මේ පරිදි ය.


"දරුවා දක්‍ෂ බවත්, හොඳ බවත් ඇත්ත. එයාගේ ඇඳුම් විලාසිතාව හොඳ නෑ. කලිසම ඇඳලා ඉණෙන් පහළට අඟල් හයකටත් වඩා පහත් කරගෙන ඉන්නේ. කලිසමට යටින් යට ඇඳුම පේනවා. යට ඇඳුම පේන්න අඳින ළමයෙක් කොහොමද ශිෂ්‍යනායකයෙක් කරන්නේ? එයා වැඩි පුරම අඳින්නේ රතු පාට අන්ඩ(ර්) වෙයා(ර්) එකක්" පන්ති භාර ගුරුතුමිය කීවා ය.


ඉනික්බිති මේ මහතා එකිනෙකට අසම්බන්ධිත වැල්වටාරම් රාශියක් ලියා දක්වා මහන්සි ගන්නේ යට ඇදූම් පෙනෙන්න පාසලට ඇදුම් ඇදගෙන ඒමේ වරදක් නැති බවත් වරද ඇත්තේ ළමයාගෙ නොව වෙනස්වන විලාසිතාවන් නොපිළිගන්නා වැඩිහිටියන්ගේ බවත් කියාපෑමටයි.

විලාසිතාවන් කාලයෙන් කාලයට වෙනස් වන බව සැබවි. තරුණ ළමුන් ඒවා අනුකරණය කරන බවද සැබවි. නමුත් සන්නස්ගල මහතා මේ සියල්ල ලියා දක්වන්නේ මේ දරු පරපුර කෙරෙහි පතළ මහා කරුණාවකින් නොව, තමාද අයත් ලිබරල් විකල්ප ගෝත්‍රයට  අවැසි වී ඇති පරිදි
යට ඇඳුම පෙනෙන්නට අඳින්නවුන් ( සන්නස්ගල්ගේම වචනයෙන් නම් ජොකා පෙනෙන්නට අඳින්නවුන්) නායකයන් කරවීමට කැමති නිසා සහ මේ සමාජය තවමත් එයට වැට බැදීම නොඉවසින නිසා බව අප තේරුම් ගත යුතුය. යට ඇඳුමට පහළින් යටින් කළිසම අදින දරුවකු එයින් මුදවා ගන්නවා වෙනුවට මොවුනට අවැසි වී ඇත්තේ ඔවුන් අද දවසේ ශිෂ්‍යය නායකයන් බවට පත් කර හෙට දවසේ 'ජොකා' පෙනෙන්න හැඳ සිටියදීම රටේ නායකයන් බවට පත් කරවීමටමය. එවිට එවන් නායකයන් අතින් මේ විකල්ප ගෝත්‍රයට හැමවිටම ඇදට පෙනෙනු මේ රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට පහර ගැසීම ඉබේම සිදුවනු ඇතිය.

දරුවන් දෙස අප බැලිය යුත්තේ ඔවුන් දරුවන් බව දැන ගෙන කරුණාවෙනි. සන්නසගල මහතාට අනුව වැඩිහිටියන් හා ගුරුවරුන් කළ යුත්තේ දරුවා කරන දේ බලා "දරුවන් මෙහෙම තමා" යයි තේරුම් ගැනීම පමණෙකි. හුදු වාණිජ අරමුණු වලට පටු වුනු ටියුෂන් පන්තියක තත්වය නම් එය බව සැබවි. මේ මහා පඬියන්ට මඟහැරෙන්නේ ඉතා සරල කාරණා වීම පුදුමයකි. වැඩිහිටියන්ගේ හා ගුරුවරුන්ගේ යුතුකමක් හා වගකීමක් වනුයේ දරුවාට හොඳ නරක කියාදීමය. බටහිර නූතනත්වයෙන් ඔළුව කුරවළු නොකර ගත් ඕනෑම මවකු පියකු ඒ අදහස හා එකඟ වනු නොඅනුමානය. අප පවසන්නේ දරුවන්ට විලාසිතා තහනම් කළ යුතු බව නොවේ, විලාසිතාවක වුව හොඳ නරක සුදුසු නුසුදුසු බව තේරුම් ගත හැකි වන ආකාරයේ විඥ්ඥාණයක් දරුවා තුල ඇති කරවීමට දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු බවය. එවිට අර දරුවාට යට ඇදුමට පහතින් කළිසම ඇද පාසල් යාම නුසුදුසු බව වැටහෙනු ඇත. එය ඉතා මැනවින් හඳුනා ගත්
ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා අතින් දරුවන් උදෙසා සිරිත් මල්දම ලියවිනි.

මේ රටේ බහුතරයක් උගත් නූගත් මිනිසුන්ට වැටහෙන මේ සරල කාරණය සන්නස්ගලලාට නොවැටහෙන්නේ මන්දැයි විමසා බැලීම හරහා අපට තේරුම්ගත හැකි යමක් වේ. ඇතැමෙකු ඒ ඔවුන් නිදහසේ සීමා පවුරු වලට කොටු නොවී සිතන උගතුන් නිසා යයි කියනු ඇත. සත්තකින්ම හේතුව එනමින් ඔවුන් පැළද සිටින බොරු වෙස් මුහුණය. ඒ බොරු වෙස් මුහුණ පැළද ගත්තෙකු ලෝකය බලන්නේ අපගේ සංස්කකෘතියට එරෙහි වෙමිනි. ඔවුන් තටමන්නේ එය සීමා කොටු පවුරක් යැයි සිතමින් එයට ඔබ්බෙන් ලෝකය දැකීමටය. කොච්ච්ර දැඟලුවත් මාලුවා සිටිය යුත්තේ දියෙහිය. එය මාලුවාට වෙනස් කර ගත හැක්කක් නොව. දියට අකමැති මාලුවෙකුට කළ හැකි එකම දෙය නම් දියට දොස් කිය කියා දියෙහිම සිටීම පමණි. ඒ දියෙහි කිමිදී ඉන් මිණි මුතු සොයා ගන්නට සමත් වූවන් අතිනි
සිරිත් මල් දම නිමැ වුනේ.

සංස්කෘතිය, ජාතිය හා සභ්‍යත්වය නොතකන පඬියාට අප ඉහිතින් කී කාරණය නොවැටහෙන්නේ මෙතනදීය. එනම් හොඳ, නරක තීරණය කරන්නේ කෙසේද, කවුද යන අභූත පැනය ඔවුනට පැන නගිනු ඇත. හොඳ, නරක, උචිත අනුචිත බව සංස්කෘතියට සාපේක්ෂය. සංස්කෘතිය මූලික වශයෙන් සිය ජාතියට හා දේශයට සාපේක්ෂය. ඉතින් ජාතිකත්වය අත්හළ ඊනියා ලිබරල් පඬියකුට හොඳ නරක තීරණයට නිර්ණායකයක් නැත. එනිසා
යට ඇඳුමට යටින් කළිසම ඇද පාසල් යාමේ හොඳක් හෝ නරකක් තමා පැළැදි බොරු වෙස් මුහුණ තුලින් ඔහුට නොපෙනේ. ඔහුට අනුව ඒ, ඒ ළමයාගේ හැටිය. අනිත් අය එය තේරුම් ගත යුතුය. මේ මුග්ධ බව ඔහු සිය වාග් මාලාව තූළ මෙලෙස සඟවා තබයි.

මොහොතකට දරුවාට බැන වදින දෙමාපියන්ට යෝජනාවක් කරන්නෙමි. ඉන්න ගමන් දරුවාගේ "පෙන්සිල් කේස්" එක විවර කරන්න. ඔබට පහත සඳහන් දේ සහ තවත් බොහෝ දේ හමුවනු ඇත.
විවිධ වර්ගයේ පාට පාට පෑන් සහ පැන්සල්, මකන, ටිපෙක්ස්, ස්ටෙප්ලර්, ස්ටෙප්ලර් කටු, කතුරක්, ගම්බෝතලයක්, රබර් බෑන්ඩ්, කොණ්ඩ බෝල, ස්ටිකර්, පාට පින්, බාගේ අඩිරූලක්, සෙලොටේප් එකක්, කටරයක්, සිම් කාඩ්, රීචාර්ඩ් කාඩ්, පන්ති කාඩ්, මුදල් කොළ සහ සිල්ලර කාසි, කෙටි සටහන්, චූටි පනාවක්, සුවඳ විලවුන්, අත් ඔරලෝසුවක්, (වේලාව බලන්නට නොවේ. වේලාව බලන්නේ ජංගම දුරකථනයෙනි) කුඩා ටිෂූ පැකට් එකක්, නළු නිළියන්ගේ දින දර්ශනපත්, තඹ පාට රත්නමාලි යන්ත්‍රයක්, ගණදෙවි රූපයක්, මූණ බලන චූටි කණ්ණාඩි කෑල්ලක් සහ තවත් බොහෝ අලංකරණ දේවල් ඔබට දැකගත හැකි වනු ඇත. දැන් ඇත්තේ පැන්සල් පෙට්ටියක් නොව වයිවාරණ හැඩයෙන් යුතු පෙන්සිල් කේස් එකක් ය. ඒ වටේ ටැග් වර්ග බොහෝ ප්‍රමාණයකි. කුඩා "බඩී" වර්ගයේ "සිලිං බිලිං සරුවත් කරත්තයක්" මෙනි. සියල් පෑනින් උසස් පෙළ ලියා, ජීවිතයේ ලොකු ම තෑග්ග ලෙස පාකර් වර්ගයේ පෑනක් තෑගි ලැබූ අපට මේ සිලිංබිලිං පෙන්සිල් කේස් එකේ සමාජ විද්‍යාව හඳුනා ගැනීමට අපහසු වීම සාධාරණ ය. ඔබට ළමයා අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ ආසනයේ සිට ළමයා දෙස නො බලා
ළමයාගේ ආසනයේ සිට ඔබ දෙස බලන්න.ඔබට ජීවිතය බැලීමට අලුත් කැඩපතක් නිර්මාණය වනු ඇත.


කාලය වෙනස් වන බව සැබවි. දරුවන් හා මිනිසුන්ද දරුවන්ද කාලය සමඟ වෙනස් වන බව සැබවි. එවැනි ඕනෑම කෙනෙකුට  එකඟ විය හැකි කරුණු කිහිපයක් ලියා තබන සන්නස්ගල ඒ කරුණු හා තමා ගේ මූලික තර්කය අතර සම්බන්ධය නොදක්වයි. එය ඔහුගේ කපටි කමකි. එමඟින් කියවන්නාට ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා යැයි හැඟී යාමට සැළැස්වීම ඔහුගේ උපක්‍රමයයි.

මේ ලිපියේ තවත් තැනක ඔහු මෙලෙස සදහන් කරයි.


දැන් අලුත් පරම්පරාව ඉණට අඳින්නේ නැත. ඇත්තට ම නම් ඔවුන් අඳින්නේ ඉණට නො ව පුකෙනුත් පහළට ය. ඒවා වැඩි හරියක් රෙඩිමේඩ් ය. කලිසම කමිසය ලොකු ද? පොඩි ද? මදි ද? කොට ද? දිග ද? යනාදී ප්‍රශ්න දැන් නැත. රෙඩිමේඩ් එහෙම ය. කොළඹ ජාතික පාසලේ දරුවකුට "ජොකා පේන්න කලිසම ඇන්දා" කියා ශිෂ්‍යනායකකම නො දුන් බව පිළිබඳ තොරතුර මම මගේ පොඩි පුතාට කීවෙමි. මගේ "පොඩි ඉලන්දාරියා" අපූරු කතාවක් කීවේ ය.

"ඒ ටීචර් ට පිස්සු. දැන් අඳින්නෙ එහෙම තමයි. ඒ ටීචර් දන්නව ද දන්නෙ නෑ සුපර් මෑන් අඳින්නේ යටට කලිසම. උඩට අන්ඩවෙයාර් එක. ඒකත් ස්ටයිල් එකක්"
විලාසිතා ලොව වෙනස් වීම ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ වේගවත් ක්‍රියාවලියකි. ඉස්සර පච්ච කෙටුවාට දැන් කොටන්නේ පච්ච නො ව ටැටූ ය. ඇතැම් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ටැටූ නො කෙටූ තැනක් නො තැනක් නැත.


මේ පශ්චාත් නුතනවාදී පියවරුන්ට සිය පුතාද ලිබරල්ය. පොඩි එකාට හොඳ නරක කියා දෙන පිය-පුතු සබදතාවක් මෙහි නැත.  ඉතින් පුතා අදින්නේද පුතාට ඕනා විදියටය. අසරණ පියාට කළ හැක්කේ ලිපියක් ලියා ඒ විදිය ලෝක සම්මතය බවට පත් කර ලෝකය තුල ඒ පුතුන්ගේ තැන සෑදීමට තමාට කළ හැකි යමක් සිය පුතුන් වෙනුවෙන් කිරීමය. එනයින් ඒ ලිපිය  ඒ මහතා පුතු සෙනෙහේ නිසා ලියූවක්ද වේ. එම ලිපියට  "හොඳම දේ දරුවන්ට" යයි නම් තැබීම ඒ අනුව ගත් කළ පෑහේ යයි සිතමු.

පොඩි එකා නොතේරෙන කමට ඉණට යට ඇඳුම හැද ඊට පහළින් කළිසම අදියි. පොඩි එකාගේ ඒ වරද නිවැරදි කර  ගැනුමට උපදෙස් ලබා දීම කළ යුතු සන්නස්ගල වැනි ගුරුවරුන් පොඩි එකාගේ 'ජොකා' දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් 'ජොකා'  ඔළුවෙන් හැද ලිපි ලිවීම දැයේ දරුවන් මෙන්ම දෙමාපියන්ද නොමඟ යැවීමක් බව කණගාටුවෙන් යුතුව පෙන්වා දීම අපේ යුතුකමකි. දියට වෛර  කරන මාළුවා දියෙන් උඩට පැන දියෙන් වෙන්ව හුස්ම ගැනීමට තැත් කිරීම නිසා කලක් යත්ම ලෙඩ මාළුවකු බවට පත් වේ. ලෙඩ  මාළුවාගෙන් උගැනුම් ලබනා කුඩා මාළුන්ද මේ රෝග කාරකයන්ට නිරාවෘත වීම ඛේදනීය තත්වයකි.




-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

1/30/2014

නිරුවත හමුවේ නිරුවත්වන දේශපාලනය

කතෘ:යුතුකම     1/30/2014   6 comments
කාටූනය - ලක්බිම පුවත්පතෙන්


"මැතිවරණ යනු රූප සුන්දරියන් හෝ අයෝමය පුරුෂයන් තේරීමේ තරඟ නොවන බව එජාප ය තෙරුම් ගත යුතුයි" -ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
[13 අහෝස්තු 2009]

කතාව දෝලාවෙන් ගමන පයින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ඉහත ප්‍රකාශය අඩංගු අදහස් පලකළේ 2009 පැවති ඌව පළාත් සභා මැතිවරණය අවසන්ව එහි උද්‍යෝගය අස්සේම දකුණු පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් සිටි අවධියේය .එහිදී ශ්‍රිලනිප භාණ්ඩාගාරිකවරයා එජාපයට අවඥා සහගතව  පෙන්වා දෙන්නේ රූප සුන්දරියන් , අයෝමය පුරුෂයන් ආදී ජනප්‍රිය රැල්ලේ  චරිත වෙනුවට දේශපාලනයට ගැලපෙන හරයක් ඇති චරිත ඉදිරියට එවන ලෙසයි . ඒ වන විටත් එජාපය උතුරු මැද සඳහා ජානක පෙරේරාත් , සබරගමුවට රන්ජන් රාමනායකත් බස්නාහිරට රෝසි සේනානායකත් ඉදිරිපත් කරමින් 'තරු' පසුපස හඹා යෑම ආරම්භ කර තිබිණ. විපක්ෂයේ ඒ උත්සාහයේද අවසන් ඵලය පරාජයෙන් අවසන් වීම හේතුවෙන් ඩලස් ඇමතිවරයා ඉහත ප්‍රකාශය ආඩම්බරයෙන් යුතු හඬින් පළ කලේ තම පක්ෂයට එවැනි අවර ගනයේ ක්‍රියාමාර්ග ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් අරටුවක් ඇති මිනිසුන් තමන්ට හිඟ නොවන බවත් ඉඟි කරමිනි .
නමුත් ඒ පුවත පලවූ තීන්ත වියැලෙන්නටත් පළමුව දකුණු පළාත් සභා මැතිවරණය සඳහා කුජීත වූ සිනමා නිලියක් ඉදිරිපත් කිරීමට තරම් ශ්‍රීලනිපය බාල තීන්දුවක් ගති . 2010 දකුණු පළාත් සභා මැතිවර්ණයෙන් ඇය ගාලු දිසාවෙන් පළාත් සභා ඉනිමගට ගොඩ විය . එකලද සමාජය තුල හුදු ජනප්‍රිය චරිත පිළිබඳ යම් කිසි කතා බහක් ඇති වුවත් එය උඩට මතු වන්නට කලින්ම ටික දිනකින් මිලින වී ගියේය . අද නැවතත් ඒ කතාබහම නැවත කරළියට පැමිණ ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ සඳහා සිනමාව - ටෙලි
නාට්‍යය - වේදිකාව හරහා මෑත කාලයේ කතාබහට ලක් වූ චරිත කිහිපයක්ම නාම යෝජනා අපේක්ෂාවෙන්  පක්ෂ කිහිපයකම නාමයෝජනා මණ්ඩල වෙත ඉදිරිපත් වීමත් සමගය .

මේ කවුද?

48 නිදහසින් පසු ලංකා ඉතිහාසය මෙන්ම ලෝක ඉතිහාසය පිරික්සීමේදීත් සිනමා තරු දේශපාලන භූමියට පැමිණි අවස්ථා දුලබ නොවේ .  ආසියාතික කලාපයේ පමණක් නොව ධවල පාලන තන්ත්‍ර තුලත් සිනමා ආගමනයන් සුලභව දැකගත හැකිය . නමුත් අපට ශ්‍රී ලංකා දේශපාලනය තුල යම් කිසි තරමකට හෝ සාර්ථක වූ සිනමා තරුවක් වූයේ නම් ඒ විජය කුමාරතුංගයන් පමණි . ඔහුගේ මතවාදය සමග මෙන්ම දේශපාලන තොරාගැනීම් සමග එකඟ නොවූවකු වුවත් ඔහු තුල යම් කිසි දේශපාලන පෞරුෂයක් තිබූ බව පිළිගන්නවා ඇත .  ශූර දේශපාලනඥයෙකු වූ ජේ ආර්  ජයවර්ධනයන්ට පවා අභියොගයක් යැයි සිතෙන මට්ටමට පැමිණීමට විජය සමත් වන්නේ ඒ දේශපාලන  පෞරුෂය නිසාය .

නමුත් අද බස්නාහිර හා දකුණු පළාත් සභා නාමයෝජනා මණ්ඩල ඉදිරියට පැමිණි නළුනිළියන් , ගායිකාවන් යැයි කියාගත්තවුන් ආදිය දෙස බලද්දී එකවරම සිතට එන්නේ කුඩා කල රූප යා කර නොගැලපෙන රූප ඉවත් කළ ප්‍රාථමික පන්තියේ අභ්‍යාසයයි . ඒ බාලාංශ අභ්‍යාසයවත් නොවරදිව උගත්තේ නම් කතා බහකට ඉඩ නොතබාම මේවා පාලකයන් වීමට නොගැලපෙන  රූප ලෙස ඉවත් කරන්නට නාමයොජනා මණ්ඩලවලට සහ ඒවායේ නූල් නටවන මහ මොළ කරුවන්ට අපහසු වන්නේ නැත .
අප මොවුන් එසේ නොගැලපෙන රූප යැයි කියන්නේ අධ්‍යාපන සහතිකවල ඇති සාමාර්ථය කුමක්දැයි බලා නොවේ .  දේශපාලනයට පැමිණිය යුත්තේ
පොතේ  උගතුන් පමණක් යැයි අප විස්වාස නොකරමු. එසේ කීමම බොරු ප්‍රබුද්ධත්වයක් පෙන්වා සැබෑ ප්‍රශ්නය වසා දැමීමකි .  මක් නිසාද යත්  පාර්ලිමේන්තු යන්නේ 'නූගතුන්' යැයි ජනප්‍රිය මතය වුවත් සංඛ්‍යා දත්ත අනුව බලද්දී නම් එම ප්‍රකාශයේ එතරම් සත්‍යතාවයක් නොපෙනීමයි.  77න් පසු යුගය තුල පාර්ලිමේන්තුවේ සිටින බහුතරය  අධ්‍යාපන සහතික  අතින් උගතුන් , විශේෂයෙන් එයිනුත් බහුතරය නීති ක්ෂේත්‍රයේ උගතුන් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි .  එතනිනුත් තීන්දු තීරණ ගන්නා කැබිනට් මණ්ඩල තුල මේ කියන උගත් කුලකයට අයත් නොවූවකු සිටියේ නම් ඒ කලාතුරකිනි . එලෙස බලන කල අප විඳිමින් සිටිනුයේ මේ පොතේගුරු උගතුන් හුදු උගතුන් විනා බුද්ධිමතුන් නොවීමේ පාපය දැයි යමෙකුට සිතුනහොත් සිතුනහොත් එහි වරදක් නැත .

අපට මේ චරිත ගැන විවේචනය ඇත්තේ මොවුන් කොතෙක් දුරට මේ පොළවේ මුල් අල්ලා ඇත්ද යන්න මතයි .  කොතෙක් දුරට දේශපාලන පෞරුෂයක් නිර්මාණය කරගත හැකිද යන්න මතයි .  එසේත් නැත්නම් අනාගත පාලන තන්ත්‍ර තුලදී කොතෙක් දුරට හරාත්මක මැදිහත්වීමක් සිදු කල හැකි ශක්‍යතාවයක් ඇත්ද යන්න මතයි . මේ කුමන අයුරකින් බැලුවත් මේ කිසිඳු 'තරුවකට' තරු ලකුණු දිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ .

මේ 'තරු' නොවන අනෙකුත් අපේක්ෂකයන් පරමාදර්ශී යැයි මෙයින් අදහස් නොවන බව අමුතුවෙන් කිව යුතු නැති මුත් මේ අලුත් නාටකාංගන ප්‍රවණතාවය පිළිබඳ වෙසෙසින්ම අවධානය යොමු කළ යුතු වේ . එය කිසි සේත්ම පලාත් සභා තුළ පිළිලයක් සේ පැතිරී ගොස් ඇති පුත්‍ර සමාගම් හෝ  සහෝදර සමාගම් සාධාරණීකරණය කිරීමක් නොවේ .



ඇඟ පෙන්නා රට සැදුමට

මේ නාටකාංගනාවියන් අතරින් බොහෝ දෙනෙක්ට මේ අපේක්ෂක ලොතරැයි වාසනාව ලැබෙන්නේ වෙනකක් නිසා නොව ලිංගික උද්දීපක ලෙස මේ සමාජයේ එක් ස්ථරයක් තුල ඉතා කෙටි කලක් තුල ලබාගත් ලාබ  - බාල  ජනප්‍රියත්වය නිසාය යන්න සැඟවිය යුතු කරුණක් නොවේ.  බස්නාහිර හා දකුණේ සන්ධාන ලැයිස්තුවට ඒමට සිටින සිනමා 'තරු' මෙන්ම එජාපය සොයා ගත් අලුත් 'තරුද' මේ ගොන්නටම අයත් එක වල්ලේ පොල් බව සිහි මොළ ඇති කිසිවෙකුට වුවත් වැටහෙන කරුණකි . මේ කරන්නේ පොදු ජනතාවගේ  ඉල්ලුමට සැපයුම් කිරීම ( ඔහුගේම වචනයෙන් නම් demand එකට  supply කිරීම ) බව ඇමැත්තෙක් මහත් උජාරුවෙන් රූප පෙට්ටියෙන් කියනු මෑතකදී දුටිමි . මේ නාටකාංගනාවියන් සැපයුම් කරන්නේ කුමන ඉල්ලුමටද යන්න මොලේ කලඳක් ඇත්නම් මේ ඇමැත්තන්ට වැටහිය යුතුය . මොවුන්ට ඉල්ලුමක් ඇති බව සැබෑමුත් එය කෙසේවත් තමන්ගේ පාලකයන් කරන මෙන් ඉල්ලුමක් නම් නොවේ. මොවුන්ට ලිංගික උද්දීපක ලෙස හා ඊනියා ජනප්‍රිය රැල්ලේ චරිත ලෙස මේ ප්‍රාථමික ඉල්ලුම ඇති කළේ බාල ජනප්‍රියත්වය උදෙසාම කැපවුනු ජනමාධ්‍ය හා ප්‍රචාරණ මාධ්‍ය හරයා මිස වෙනකකු නොවේ.

පාලකයින් සිටිනුයේ පිරිහුනු සමාජන එයින් ගොඩ ගැනීමට මිස පල් වල ඉහගෙන කන්නට සැරසෙන උන් මෙන් සමාජ දේහයම කුණු වන්නට හේතු විය හැකි සිදුවීම් තමන්ගේ දේශපාලන එදා වේල වෙනුවෙන් කළමණාකරණය කරගැනීමට නොවේ.  අප අද යම් පරිහානියක සිටී නම් පාලකයන් වෙනුවට ලිංගික උද්දීපක    සැපයුම්  කිරීමෙන් ඒ පරිහානිය වැඩි වේද අඩු වේද යන්න පමණක් නැවත සිතා බැලුවහොත් සෑහේ . එදා 70 දී සිරිමාවෝ මැතිණිය මහින්ද රාජපක්ෂලා වෙනුවට පිරුණු ළැමත් පුළුලුකුලත්  මත පමණක්ම පදනම්ව අපේක්ෂකයන් තේරුවේ නම්  අද කුමක් වේද? සමාජයක් ගෙන යා යුත්තේ ආනන්දයෙන් ප්‍රඥාවට යැයි කියමනක් තිබේ . නමුත් මේ දතකන්නට හදන්නේ සමාජය ප්‍රඥාවට  නොව "ආනන්දයෙන්  මරදානට" ගෙනයාමටය .

පුවක් බඩවලින් ගෙවල් හැදීම

මේ හදිසි 'තරු' ආගමනය අප වටහා ගන්නේ කෙසේද? විශේෂයෙන් ආණ්ඩු පක්ෂය හරහා ඉදිරිපත් වී ඇති නාටකාංගනාවියන් පාලකයන් වීමේ මනෝභාවයට පත් වූයේ අද රට - ගම කරවන්නන් දිහා බලා ද? ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූවන් කුඩු , මත් පැත් මත් ද්‍රව්‍ය ජාවාරම් සමග නම් කැත කරගත්තවුන් මෙන්ම බුකි කරුවන් ආදීන් ව්‍යවස්ථාදායකයට ගිය අපූරුව බලා සිටි විට මේ නාටකාංගනාවියන්ට තමා ඔවුන්ට වඩා සුදුස්සන් යැයි සිතුනාවත් ද? එසේත් නැත්නම් ඉහත සඳහන් කළ චරිත විසින් තමන්ට වඩා උස් චරිත මතු වීම වැලැක්වීමේ අරමුණින් නාටිකාංගනාවියන් කරළියට ගෙනාවාද? කෙසේ වෙතත්  විදග්ධ නිළිකමකින් වත් හරියට පෝෂණය නොවුණු  , ශ්‍රැතියකට පද හතරක් ගායනය කළ නොහැකි මේ බොහෝ දෙනා තමන්ගේ රූපය - පැහැය  වියැකී යන අනාගතයේ අත්වන ඉරණම ගැන සවිඥ්ඥානිකත්වයෙන් ඒ ඉරණමෙන් ගැලවෙනු වස් අනාගත ඉල්ලමක් වෙනුවෙන් පතලට බැස්සාවත් ද? එසේත් නැත්නම් පෞරුෂයක් හිමි චරිත ඉදිරියට ආවහොත් ඇතිවන අපහසුතවයන්ට වඩා මේ පුවක් බඩ  චරිත වලින් තම තමන්ගේ දේශපාලන අනාගතය  සුරක්ෂිත වේ යැයි පාලකයන් තකතීරු සිතුවිල්ලක පසු වෙත් ද?  මේ අනුමාන කිරීම් වලින් එකක් නියත ලෙස තෝරාගත නොහැකි වුවත් මේ ආගමනටට මේ කරුණු වල එකතුවක් බලපාන්නට ඇතැයි යන්න සාධාරණ නිගමනයකි .

දශක දෙකක් පමණ පුරාවට පරාජයේ කරවටක් ගිලී සිටින එජාපයට මේ මොහොතේ දේශපාලන සදාචාරකම් පහදා දීම එතරම් වැඩදායක උත්සාහයක් නොවේ .  ගිලෙන මිනිහා පිදුරු ගහේත් එල්ලෙන්නාක් මෙන් එජාපය දැන් වාර ගණනාවකදීම කිසිඳු හරයක් නැති මෙවැනි අත්හදාබැලීම් ගණනාවක් සිදු කර තිබේ .  සිනමා තිරයේ වීර චරිත රඟන්නේ යැයි කියන්නන් පාර්ලිමේන්තුව තුළද ඒ චරිත ඒ අයුරින්ම යළි නිරූපණයට ගොස් විකට චරිත බවට පත්ව තිබ්න්නේ ඒ අත්හදාබැලීම්වල ප්‍රතිඵළ  ලෙසය .

නමුත් ආණ්ඩුවේ තත්වය මීට වඩා වෙනස් ය . පසුගිය වාර කිහිපය පුරාවටම මෙන්ම තවමත් මේ ආණ්ඩුව චන්ද දිනන්නේ වෙන කිසිවක් නිසා නොව මහින්ද රාජපක්ෂ චරිතය නිසාය . ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණයෙන් දැවැන්තයෙක් වුනු ඒ දේශපාලන පෞරුෂය අද වන වුට තැනින් තැන කඳ පණුවන් ගසා ඇති මුත් අදද  ආණ්ඩුවේ චන්ද මැෂිම මහින්ද රාජපක්ෂ මිස වෙන මොන බලකායවත් නොවේ .  එහෙව් එකේ මේ නාටකාංගනාවියන් ඉල්ලුමට හරියන සේ සැපයුම කිසි සේත්ම ප්‍රඥා ගෝචර තීරණයක් නම් නොවේ .

මේ අවස්ථාවේ මැතිවරණයේදී ප්‍රාදේශීය පුද්ගල සාධකයේ බලපෑම අල්ප වන අතර ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණයක් ඉල්ලක්ක කරගනිමින් මේ කරන ඡන්දය ජාතික දේශපාලන කරුණු උරගා බැලීමට පමණක් සීමා වනු ඇත . එබැවින් ආණ්ඩු පාර්ශවයෙන් සිදු විය යුත්තේ දේශපාලන උද්ධච්චකම අතැහැර  ජාතික දේශපාලනය තුළ  ආණ්ඩුව විසින් උවමනාවෙන්ම මෙන් හිතුවක්කාර ලෙස අහිමි කර ගනිමින් සිටින ඡන්ද ප්‍රමාණය රැක ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය . නිදසුන් ලෙස කැලණියට කුප්‍රකට කුණු ගොඩ නැවත යවා එය වසා ගැනීමට සළු පිළි අඩුවෙන් ඇන්දවූ නළඟනන් යැවීම හරසුන් වැඩකි . සමාජය ඉදිරියේ කුජීත වූ චරිත පවා ජනාධිපතිවරයාගේ ආර්‍ය ජාතික ඇඳුමේ සෙවනැල්ලෙන් මුවා කර පළාත්සභාවට තල්ලු කර යැවීමට කටයුතු කෙරෙමින් පැවතීම යහපත් හෙටක් වෙනුවෙන් විස්වාසය තැබූ ජනයා එම විශ්වාසයෙන් ඈත් කිරීමක් පමනක්  නොව අනාගතයේ පාලන තන්ත්‍ර අදටත් වඩා විකාරරූපී වීමේ පෙරනිමිත්තක් බවද මතක් කළ යුතුය .

අනාගත අනතුර .

අභියෝගයක් එල්ල කිරීමට වත් නොහැකි තරමට ප්‍රධාන විපක්ෂ බලවේග දුර්වල වී ඇති , එමෙන්ම ආණ්ඩුවේ දේශපාලන ජඩකම්වලට - පාදඩකරණයට එරෙහිව යැයි කියමින් අලුත් පෙරමුණු බිහිවෙන වටපිටාවක් තුලදී මෙවැනි අමන තීරණ ක්‍රියාත්මක කිරීමට යෑමේන් සිදු වන්නේ ආණ්ඩුව තමන්ගේ වල තමන්ම කපා ගැනීමක් හැර වෙනකක් නොවේ. මේ අවස්ථාවේ මෙවැනි මිනිසුන් මැතිවරණයට ඉදිරිපත් කිරීමන් හැකි තාක් වැලකී සිටීමට ශ්‍රීලනිප බලධාරීන්ට ජවයක් - විභවයක්  පවතී .නමුත් ඒ සියලු අනගි අවස්ථාවන් නොසලකා හැරින තැනට කටයුතු සිදු වෙමින් පවතින බවට පෙරනිමිති පළ වෙමින් තිබේ . හොරුන් ,තක්කඩියන් ,බුකිකරුවන්,ස්ත්‍රී දූෂකයන් පවා මැතිවරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් සහ වෙනත් සංදර්ශන වලින් මනාප තරඟයෙන් මුල් තැනට පැමිණි අතීත අත්දැකීම් ගැන සිහි වෙත්දී මොවුන්ටද එම අභියෝගයෙන් ජය ගැනීම අපහසු නොවිය හැක . එබැවින් ඒ බව දන්නා බලධාරීන් කළ  යුත්තේ ඔවුන්ට මැතිවරණවලට ඉදිරිපත්වීමට ඇති අවස්ථාව මග හැරවීම මිස ඔවුන් පරාජය නොකළේ මන්දැයි ජනතාව පිට වරද පැටවීමට බලා සිටීම නොවේ .  ලැයිතුවේ හතරෙන් තුනක් පුත්‍ර සමාගමට , ඥාති සමාගමට සින්නක්කර ලියා දී ඉතිරිය මේ පුවක් බඩ වන් නාටිකාංගනාවන්ගෙන් පිරවූ කළ  චන්දයක්  දීමට ඉතිරි වන්නේ කවුද?

මේ මොහොතේ  ශ්‍රීලනිප ට උරුම මතවාද දරන විදග්ධ චරිත සොයා යෑම සහ ඔවුන්  පෙරට ගැනීම ගැනීමට එම පක්ෂයේ බලධාරීන් කටයුතු කළ යුතු බව අවබෝධ කර ගැනීමට ශ්‍රීලනිප මුල් පුටු හොබවන්නන් අමතක කරන්නේ නම් මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූ දිනක ඒ ගැන පසු තැවීමට සිදු වනු වැලැක්විය නොහැක . එබැවින් අද දවසේ කළ යුත්තේ
කැමරාව ඉදිරියේ ඇඟ පෙන්වා ප්‍රසිද්ධිටයට පත් අලජ්ජ වුන් කරට ගැනීම වෙනුවට එදා 71 සිරිමාවෝ මැතිණිය කළාක් මෙන් හරයෙන් රටට දැයට හිතැති ශ්‍රීලනිප මතවාදයට කැපවෙන ධර්මදාසලාට , ගුණපාලලාට අවස්ථාව දීමය . එමගින් අනාගතයට රටට දැයට හිතවත් නායකත්වයක් බිහිකරගැනීමට අවස්ථාව උදා කර දීමය .

අවාසනාවට බලධාරීන් තමාගේ යුතුකම සරලව සලකා නොසලකා හැරියත් සියලු  සබුද්ධික ජනයා වෙත අත් හල නොහැකි වගකීමක් තිබේ . එනම් කුමන අන්දමේ රැලි ගස්සවා පෙන්නුවත් ඒවායින් දෑස් නිලංකාර කර නොගෙන මෙවැනි නාටකාංගනාවියන් පමණක් නොව සියලු හොරුන් තක්කඩියන් තම ඡන්ද කාඩ්පතින් පළවා හැරීමය . ඒ වෙනුවට යම් කිසි ප්‍රමාණයකින් හෝ ජාතිකත්වයට ලැදි ඒ වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමය . ඒ හරහා හෝ තමන්ට කළ හැකි නමුත් එය අමතක කර මෙවැනි අමන තීරණ ගන්නා බලධාරීන්ට මතක හිටින පාඩමක් ඉගැන්වීමය . ඉල්ලුමට සරිලන සැපයුම යැයි කියා කුණු ගොඩවල් කරේ ගැසිමට තනන මේ කෛරාටිකයන්ගේ උත්සාහය යම් තරම්කට හෝ ආපසු හැරවිය හැක්කේ එමගින් පමණි .

එසේ නොවුවහොත් එදා 77 ජේ ආර්  සමාජ සංයමය බිඳ දැමූ වටපිටාව හරහා කුඩු කාරයන් - බුකි කරුවන් - ජාවාරම්කරුවන් අපගේ කාලයේ අපේ පාලකයන් වූවා සේම  අද ගන්නා මේ අමන තීරණය හේතුවෙන් අනාගතයේ අපගේ දුවා දරුවන් නළඟනන් - වෙසඟනන් යටතේ පාලනය වීම වැලැක්විය හැක්කක් නොවේ .

මේ පාඩම කොසොල් රජුට පමණක්ම නොවේ .

බුද්ධ කාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16  න් එකක සඳහන් මේ අනාගත වැකියෙන් අපි මේ සටහන සමාප්ත කරමු .

එනම් කොසොල් රජතුමා දුටු සිහිනෙක දුටුවේ ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති .  එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති . 

එහි අර්ථය බුදුන් වහන්සේ පහදා දුන්නේ මෙසේය . "මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය අනාගතයේදී ලැබෙන්නේය .  අනාගතයේ දී රජවරු අධමිටු වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති .  රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති .  මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන බව දතයුත්තේය . "
අඳෝමැයි . එදා බුදුන් දුටු අනාගතය අපේ ඇස් පනාපිටම සැබෑවක් වීම ආශ්චර්‍යයක් නොවන්නේද? 

-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/21/2014

අලියා ගොඩ ගැනීමට නම් ....

කතෘ:යුතුකම     1/21/2014   3 comments
[කාටූනයThe Nation ඇසුරෙන් ]
එ.ජා.ප.ය යනු අප රටේ සුවිශේෂී දේශපාලන පක්ෂයකි. එය මෙරට ප්‍රධාන විපක්ෂය වෙයි. එසේ ම එය මෙරට පැරණි ම දේශපාලන පක්ෂ වලින් එකකි. එපමණක් නොව එය, මෙරට මැතිවරණ වලට එකම තරඟ ලකුණක් යටතේ වැඩිම කාලයක් මුළුල්ලේ පෙනී සිටි පක්ෂය යි. ඊටත් වඩා අද වන විට එය මෙරට වැඩියෙන් ම කතා බහට ලක් වන දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇත. එ.ජා.ප.ය දිගින් දිගට ම මැතිවරණ වලින් පරාජයට පත් වීම අද වන විට පක්ෂය තුළත්, රටේත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. දේශපාලඥයින් එ.ජා.ප.ය අතහැර ආණ්ඩු පක්ෂය සමග එකතු වීම ද සුලබ සිදුවීමක් බවට පත්ව ඇත. එ.ජා.ප. යේ පරාජය අද වන විට පක්ෂයේ අභ්‍යන්තර අර්බූධයක් දක්වා වර්ධනය වී ඇතැ යි කියනු ලැබේ. එසේම එ.ජා.ප. ගැටලුවට විවිධ විසඳුම් ද ඉදිරිපත් වනු ද දැකිය හැකි ය. ඇතැමුන්ට අනුව අද එ.ජා.ප.යේ ඇත්තේ නායකත්වයේ ගැටලුවකි. වත්මන් රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය වෙනස් කර වෙනත් නායකත්වයක් ගෙන එමෙන් ප්‍රශ්නය විසඳිය හැකි බව ඔවුහු කියති. මේ සඳහා යෝජනා වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම ය. තවත් පිරිසකට අනුව එ.ජා.ප. නායකත්වය වෙනස් කළ යුතු නැත. ඔවුන්ට අනුව කළ යුත්තේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පමණි. මේ ආකාරයට එ.ජා.ප.යේ අර්බූදය සම්බන්ධ ප්‍රධානත ම මත වී ඇත්තේ මෙම මත දෙක ය. මෙම දෙපිරස අතර මත ගැටුමය කුරුඳු පොලු ගැටුමක් ලෙස පෙනී සිටියේ. මෙම ගැටුම් හමුවේ එ.ජා.ප.යට යළි කෙදිනක හෝ මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි වෙයි ද? එසේ වීමට නම් පක්ෂය ගොඩ ගත හැක්කේ කෙසේ ද? ඒ සඳහා ඇත්තේ මෙම විකල්ප දෙක පමණ ද? පැරණි වාමාංශික පක්ෂ වලට අත් වූ ඉරණම ම එ.ජා.ප.යටත් අත් වේ ද? මේවා එ.ජා.ප.ය ගැන අයෙකුට ඇතිවිය හැකි ප්‍රශ්න වේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්ම තීරණය වන්නේ ජනතා ඡන්දය මත ය. මේ අනුව එ.ජා.ප.යේ අනාගතය ගැන කතා කරද්දී ජනතාව එම පක්ෂය කෙරෙහි දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට භාජනය කිරීම අත්‍යවශ්‍ය බව අපි සිතමු.

ශ්‍රී ලාංකිකයාගේ දේශපාලනික හැසිරීම

ශ්‍රී ලාංකික ජනතාවගේ දේශපාලනික හැසිරීම වෙනම ම සාකච්ඡා කළ යුතු මට්ටමේ ආකර්ෂණීය මාතෘකාවකි. කෙටියෙන් කියන්නේ නම්, අන් සෑම විටක දී ම පාහේ දේශපාලනයේ දී ද ඔවුහු සංයුක්ත වෙති; සංයුක්ත දෑ කෙරෙහි ආකර්ෂණයක් දක්වති. මේ අනුව ඔවුන් ඇලෙන්නේ දේශපාලන කිසියම් දෘෂ්ඨියකට නොව, දේශපාලන පක්ෂයකට ය. දේශපාලන දෘෂ්ඨියක් යනු සාපේක්ෂව වියුක්ත සංකල්පයක් වීමත්, පක්ෂයක් ඒ හා සසඳන කළ වඩා සංයුක්ත වීමත් නිසා ය ඒ. කිසියම් පක්ෂයකට ඇති මෙම ඇල්ම අයෙක් පාරම්පරිකව ද උරුම කර ගනිති. "පාරම්පරික යූ.ඇන්.පී කාරයන්" සහ "පාරම්පරික ශ්‍රී ලංකා කාරයන්" අපට දැකිය හැක්කේ මේ අනුව ය. රටේ සාමාන්‍ය ඡන්ද දායකයා මේ ආකාරයට ක්‍රියා කරද්දී, රටේ දේශපාලන පක්ෂ බොහෝ විට ක්‍රියා කරන්නේ කිසියම් දේශපාලන දැක්මකට අනුව ය. එහෙත්, කිසියම් දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන හෝ එම පක්ෂයේ ජයග්‍රහනය වෙනුවෙන් වැඩ කරන හෝ ජනයා අදාළ දේශපාලන පක්ෂයේ දෘෂ්ඨිය සෑම විට ම දරන බව ඉන් අදහස් නොවේ. එම පිරිස ආකර්ෂණය වන්නේ එම පක්ෂයට අදාළ වූ දෘෂ්ඨියට නොව, පක්ෂයේ සංයුක්ත වූ ක්‍රියා කලාපයට ය. එ.ජා.ප.ය යනු ලිබරල්වාදය සිය දේශපාලන මතය කර ගත් දේශපාලන පක්ෂයකි. එහි සාමාජිකත්වය දරන ඇතැම් දේශපාලඥයෝ ලිබරල්වාදීන්ගේ ජාත්‍යන්තර සමුළු පවා නියෝජනය කරති. ලිබරල්වාදය අගය කරන සාමාන්‍ය ජනයා අතර ද බොහෝ විට එ.ජා.ප.යට ඡන්දය ප්‍රකාශ කරන්නෝ වෙති. එහෙත්, එම පක්ෂයට ඡන්දය දෙන සියලු ම දෙනා හෝ ඉන් අතිමහත් බහුතරය ලිබරල්වාදී යැ යි කිව නොහැකි ය. අප එසේ කියන්නේ එ.ජා.ප.යට ඡන්දය දෙන බහුතරයක් දෙනාගේ ආකල්පත්, සාමාන්‍යයෙන් ලිබරල්වාදියෙකු සතු ආකල්පත් අතර වෙනසක් ඇති නිසා ය. ශ්‍රී.ලං.නි.ප., ජ.වි.පෙ., හෙළ උරුමය, දෙමළ සන්ධානය ආදී බොහෝ පක්ෂ වලට ද මෙම තත්ත්වය පොදු ය. තව ද එ.ජා.ප. ය තුළ සවිඥානිකව ලිබරල්වාදී පතිපත්ති දරන දේශපාලඥයන් සිටිය ද එහි ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන සියලු දෙනා එම මතය දරන බව ඉන් අදහස් නොවේ. එහෙත්, සමස්තයක් ලෙස පක්ෂය ලිබරල්වාදී ප්‍රතිපත්ති දරන්නේ යැයි අපට කිව හැකි ය.

එ.ජා.ප.ය සහ ජාතික මතය

මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 1947 වසරේ දී ය. ලංකා සම සමාජ පක්ෂය වැනි වාමාංශික දේශපාලන පක්ෂ අභිබවමින් එම මැතිවරණය ජය ගෙන ආණ්ඩුව පිහිටුවන්නේ එ.ජා.ප.ය යි. එම මැතිවරණයෙන් තෝරා ගනු ලැබූ දේශීය නායකයන්ට බ්‍රිතාන්‍යයන් සිය පාලනය භාර දෙන්නේ (ඊනියා නිදහස ලැබෙන්නේ) ඊළඟ වසරේ දී ය. මේ නිසා ම එ.ජා.ප.ය යනු අප රටට නිදහස දිනා දුන් පක්ෂය බවට විහිළු සහගත ප්‍රකාශ කිරීමට ද අයෙක් ඉදිරිපත් වෙති. ඒ කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රකාශ වුනේ මෙරට ජනතාව සමස්තයක් ලෙස මාක්ස්වාදය හෝ වෙනත් වාමාංශික දේශපාලන මතයකට වඩා ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුමත කරන බව නොවේ. එසේ නම්, එ.ජා.ප.ය අදාළ මැතිවරණයෙන් ජය ගත්තේ කෙසේ ද? එය හුදු අහඹු සිදු වීමක් ද? එය අහඹු සිදු වීමක් වුවත් නැතත් එම මැතිවරණයේ දී පක්ෂය වටා ගොනු වූ පිරිස දැඩිව පක්ෂයට ඇලීම හරහා එතැන් සිට "පාරම්පරික යූ.ඇන්.පී කාරයන්" පිරිසක් නම් බිහි වී ඇති බව පෙනී යයි. මෙහි දී මෙම පිරිස එ.ජා.ප.යට ම ගොනු වූයේ ඇයි ද යන්න වටහා ගැනීම වැදගත් ය. අධිරාජ්‍යවාදයෙන් වසර පන්සියයකට ආසන්න කාලයක් බැට කමින් සිටි මෙරට ජනතාවට ඉන් මිදීමේ දැඩි අවශ්‍යතාවක් ඒ වන විට මතු වී තිබෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එපමණක් ද නොව අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම යනු දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන එහි සංරචක තුනෙන් ම නිදහස් වීම බවට අවිඥානික අදහසක් මෙරට ජනයා තුළ තිබෙන්නට ඇත. විශේෂයෙන් මෙරට ජාතික ව්‍යාපාරය මගින් එවැනි මතයක් මෙරට ජනයා තුළ ඇති කරන්නට ඇත. විශේෂයෙන් ධර්මපාල තුමා ප්‍රධාන නායකයන් සිය ව්‍යාපාර වලදී සංස්කෘතික නිදහසට මූලික තැනක් දී ක්‍රියා කළ අතර, එම සටන් වලට සාමාන්‍ය ජනයා අතර විශාල ප්‍රසාදයක් හිමි විය. එහෙත්, එම ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොවීම ජාතියේ අවාසනාවක් බව කිව යුතු ම ය. මෙවැනි තත්ත්වයක් තුළ 1947 මැතිවරණය යනු ජාතික මතය ප්‍රබල වූ
අවස්තාවක් ලෙස අපට සඳහන් කළ හැකි ය.

1947 මැතිවරණයට තරඟ කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ලංකා සමසමාජ පක්ෂය සහ එ.ජා.ප.ය අතරින්, සමසමාජ පක්ෂය සංස්කෘතික නිදහසක් ගැන ඍජුව හෝ වක්‍රව කතා කළේ ම නැති තරම් ය. එම පක්ෂයේ සංස්කෘතික ප්‍රතිපත්තිය එදා මෙන් ම අද ද ජාතිකත්ව විරෝධී (විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී) ලෙස සකස් වී ඇත. එහෙත්, එ.ජා.ප.ය එකළ සංස්කෘතික නිදහසක් ගැන කතා කළ බවක් ඉන් නොකියවෙයි. එහෙත් සමසමාජ පක්ෂයට සාපේක්ෂව එ.ජා.ප.යේ සහ එහි නායකයන්ගේ ප්‍රතිපත්ති සහ සංයුක්ත වැඩ පිළිවෙල ජාතිකත්ව හිතවාදී බව මෙරට වැසියන්ට හැඟී යන්නට ඇත. එවකට එ.ජා.ප. නායක ඩී. එස්. සේනානායක මහතා අමධ්‍යප ව්‍යාපාරය වැනි ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටීම, මෙරට කෘෂිකර්මයේ සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ උන්නතියට එතුමා අනුගමනය කළ වැඩ පිළිවෙල ආදී සංයුක්ත කරුණු නිසා එතුමා ජනප්‍රසාදයට පත් වී ඇති බව පැහැදිලි ය. සමසමාජ පක්ෂයට වුව ද එවකට යම් තාක් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වූයේ එහි නායකයින් අධිරාජ්‍ය විරෝධී සටන් මෙහෙය වීම නිසාය. එහෙත්, 1948න් පසුව ඔවුන්ගේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති ඔවුන්ට ම පාරාවළල්ලක් වී, අද වන 
විට නිෂ්ක්‍රීය දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇත.


එ.ජා.ප.ය නමැති දේශපාලන පක්ෂය නිර්මාණය කරනු ලබන්නේ යටත්විජිත යුගයේ ප්‍රභූ පිරිසක් විසිනි. එහි නායකත්වය හිමි වූයේ ද එම පිරිස නියෝජනය කළ පිරිසකට ය. එහි ප්‍රතිපත්ති සකස් වූයේ ද එම පිරිසෙහි තීරණ මත ය. එ.ජා.ප.ය ලිබරල්වාදී පක්ෂයක් වන්නේ ඒ ආකාරයට ය. මේ අතර, කලින් සඳහන් කළ ආකාරයට, එ.ජා.ප.යට ඡන්දය දෙන පිරිසෙහි ආකල්ප සමස්තයක් ලෙස ඊට වෙනස් විය. බොහෝ විට අවිඥානිකව වුව ද, ඔවුන්ගේ අභිප්‍රාය ජාතිකත්වය මත පදනම් විය. නිදහසින් පසුව වුව ද එ.ජා.ප. නායකයන් වූ ඩී. එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන මහතුන්ගේ යම් ජාතිකත්වයක් දක්නට ලැබුණි. මේ නිසා ඔවුන්ගේ ඇතැම් ජාතිකවාදී ප්‍රතිපත්ති මගින් සිය ලිබරල් ප්‍රතිපත්ති ආවරණය කර ගැනීමට ඔවුහු සමත් වූහ. නැති නම් දැඩි ලිබරල්වාදී දේශපාලන දෘෂ්ඨියක් ඔවුන් දෙදෙනාට නොතිබෙනට ඇත. භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ජාතික ව්‍යාපාරයේ හඬට කන් දෙන ලක්ෂණයක් ද මේ දෙදෙනා තුළ ම තිබිණි. පොහොය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම එවැනි උපදෙස් හරහා එ.ජා.ප. රජයක් විසින් ගනු ලැබූ එක් ප්‍රගතිශීලී තීරණයක් ලෙස පෙන්වා දිය හැකි ය. කෙසේ වෙතත් ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය කෙරෙහි සෑම විට ම ජාතික ව්‍යාපාරයේ මතය ම නොහොත් සංස්කෘතික කරුණු ම හේතු වූ බව ඉන් අදහස් නොවන බව කිව යුතු ය. ඒ සඳහා වෙනත් දේශපාලන හා ආර්ථික කරුණු ද බල පෑ බව 
ඇතැම් මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ කළ පෙනී යයි.

එ.ජා.ප.ය සහ ශ්‍රී.ලං.නි.ප.ය

බණ්ඩාරනායක මහතා විසින් 1951 දී ශ්‍රී.ලං.නි.ප.ය පිහිට වනු ලබන්නේ තවත් ලිබරල් මතධාරී පක්ෂයක් ලෙස ය. ඔක්ස්ෆර්ඩ් හි සිට කළු සුද්දෙකු ලෙස මෙරටට සැපත් වන බණ්ඩාරනායක මහතා එවැනි ප්‍රතිපත්තියක් දැරීම ස්වභාවික ය. එහෙත් මෙරට ජනයා බලාපොරොත්තු වන දේශපාලනය කුමක් දැ යි ඉවක් ඒ මහතාට තිබිණ. 1956 වන විට එම පක්ෂය ජාතිකත්වයේ පක්ෂයක් බවට පත් වන්නේත්, රටේ ජාතික බලවේග එම පක්ෂය වටා එක් රොක් වන්නේත් මේ ඉව අනුව සිදු කෙරෙනා පක්ෂයේ ප්‍රතිපත්තිමය වෙනස් කම් නිසා ය. 1948-56 කාලය තුළ එ.ජා.ප. රජය විසින් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග රැසක් 1956 දී ශ්‍රී.ලං.නි.ප ප්‍රමුඛ පෙරමුණෙහි මැතිවරණ පොරොන්දු බවට පත් වන්නේත් මේ අනුව ය. විශේෂයෙන් ම ගුණපාල මලලසේකරයන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවේ වාර්තාව මේ වන විට ඉදිරිපත් ව තිබුණි. එපමණක් ද නොව පැවති එ.ජා.ප. රජය මෙම වාර්තාව නොසලකා කටයුතු කිරීමත්, බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පෙරමුණ එම නිර්දේශ පිළිගැනීමත් නිසා එ.ජා.ප.ය වටා සිටි ජනතාවගෙන් කොටසකුත්, වාමාංශික දේශපාලන පක්ෂ වලින් ගිලිහෙමින් තිබූ කොටසකුත් තමා වටා ගොනු කර ගැනීමට ශ්‍රී.ලං.නි.ප.ය සමත් විය. ශ්‍රී ලාංකික ජනතාව සමස්තයක් ලෙස ගත් කළ කිසියම් දේශපාලන පක්ෂයකට තදින් ඇලෙන බව අපි කලින් සඳහන් කළෙමු. එසේ ම ඔවුහු එම පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන්නේ ද දැඩි අවස්ථිතියකි. එහෙත්, එවන් ජන කොටසක් වුව ද ඉතා ප්‍රබල සංයුක්ත කරුණක දී තම ඡන්දය වෙනස් කිරීමට පෙළඹිය හැකි ය. 1956 දී සිදු වූයේ එවැන්නකි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය නොවන්නට, එ.ජා.ප.යේ අද පවතින ආකාරයේ අර්බූදයක් ඇති වන්නේ එකළ ය. ශ්‍රී.ලං.නි.ප. සාර්ථකත්වය පිටුපස වූ රහස පොදු ජන අවශ්‍යතාවය මත සිය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම බව එ.ජා.ප.ය එදා තේරුම් නොගත් කරුණ විය. ඔවුන් එය අද ද තේරුම් ගත් බවක් නොපෙනේ. ප්‍රතිපත්ති වෙනසක් වෙනුවට නායකත්ව වෙනසක් ගැන එ.ජා.ප.යේ බොහෝ දෙනෙකු කතා කරන්නේ එබැවිනි. 1959 න් පසුව ශ්‍රී.ලං.නි.ප.ය වුව ද වාමාංශික පක්ෂ සමග සන්ධාන ගත වීම හේතුවෙන් ජාතිකත්වයෙන් අපගමනය වූ අවස්ථා ද දැකිය හැකි විය. මේ නිසා ම 1977 දක්වා ම එ.ජා.ප. ඡන්ද පදනම අභියෝගයට ලක් 
නොවේ.

එ.ජා.ප.යට වැරදුනු තැන

එ.ජා.ප.ය සෑම විට ම තම මැතිවරණ සටන් පාඨය බවට පත් කර ගත්තේ සරල ආර්ථික කරුණකි. එනම් "බඩු මිළ අඩු කිරීම" යි. මෙය හොඳ සටන් පාඨයක් බව සැබෑ ය. එහෙත්, එය සෑම විට ම හොඳ ම සටන් පාඨය වූයේ නැත. රටේ ඒකීය භාවය සුරැකීම, සංස්කෘතිය ආකරක්ෂා කිරීම වැනි සටන් පාඨ එ.ජා.ප.යට ගෝචර වූයේ නම් ඒ ඉතා අඩුවෙනි. "බඩු මිළ" රටේ ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත් වූ කාල වකවානු තිබුණි. එම කාල වල දී එ.ජා.ප.යට ජය අත් විය. 1977 හා 2002 මැතිවරණ වල දී ප්‍රමුඛ වූයේ ජනතාවගේ කුස ගින්න යි.. එහෙත්, ඒ සෑම අවස්තාවකින් ම පසුව ඊට වඩා ප්‍රබල සටන් පාඨයක් විපක්ෂයට නිර්මාණය කර දීමට එ.ජා.ප. රජයන් සමත් විය. එ.ජා.ප.යේ වත්මන් කඩා වැටීම කෙරෙහි 1977 සිට මේ දක්වා සිය පක්ෂය නායකත්වය දුන් රජයන්ගේ ක්‍රියා කලාප හේතු වූ බව අපගේ අදහස වේ. 1970-77 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව අධික පීඩාවකට ලක් වන්නේ, "රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සුලබ කිරීම හා බඩු මිළ අඩු කිරීම" ආදී සටන් පාඨ ඔස්සේ එ.ජා.ප.යට අති විශාල ජන වරමක් 1977 දී ලැබෙයි. මෙම ජන වරමින් උද්දාමයට පත් වන එ.ජා.ප. රජය නතර වන්නේ අති ලිබරල්වාදී ප්‍රතිපත්ති ලඟ ය. මෙය අතීත එ.ජා.ප. රජයන්ගේ ක්‍රියා කලාපයට හාත්පසින් ම වෙනස් තත්ත්වයකි. නොඑසේ නම්, අප දකින ආකාරයට මෙය එ.ජා.ප.ය විසින් තමාගේ ම වල කපා ගැනීමකි. එහි දී රට විවෘත ආර්ථික ක්‍රමයක් වෙත ඇද දමනු ලැබිණි. රාජ්‍ය අංශය ශක්තිමත් කරනු වෙනුවට රාජ්‍ය දේපොළ පුද්ගලීකරණය කරනු ලැබිණි. දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය මැඩ පවත්වනු වෙනුවට ඒ දෙකම පෝෂණය කරන ක්‍රියා කලාප ඇතැම් විට අනුගමනය කරන ලදී. කුප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුම ඔස්සේ රටේ ස්වාධිපත්‍යය ඉන්දියාවට යට කර දෙනු ලැබිණි. මේවාට එල්ල වූ විරෝධය ටයර් සෑ සහ වධකාගාර ඔස්සේ මැඩ පවත්වන ලදී. ත්‍රස්තවාදීන්ට ආයුධ සහ වෙනත් පහසුකම් ලබා දෙන ලදී. මේ සියල්ල රටේ ජනතාව විසින් ඉල්ලා සිටිනු ලැබූ දෑ වෙනුවට රටට ආගන්තුක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේත්, පැලැස්තර විසඳුම් වලත්, අවස්ථාවාදයේත් ප්‍රතිඵළ විය. 2002 න් පසුව ද සිදු වූයේ මෙවැනි ම තත්ත්වයකි. මේ සියලු හේතු නිසා එ.ජා.ප.යෙන් ගිලිහෙමින් තිබූ ජනතා ප්‍රසාදය 2009 යුධ ජයග්‍රහණයෙන් පසුව තමා වටා ගොනු කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්ව ඇත. රාජපක්ෂ මහතා පරිපූර්ණ නායකයෙක් බවත්, ශ්‍රී.ලං.නි.ප.ය පරිපූර්ණ පක්ෂයක් බවත් මින් නොකියවෙයි. එහෙත්, මෙරට ජාතික බලවේග විසින් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්නත්, තම ස්ථාවරත්වය ගොඩ නඟා ගත හැක්කේ ඒවා ඉටු කිරීමෙන් බවටත් අදහසක් ඔවුන් සතුව තිබුණි. ඔවුන්ගේ වුව ද අනාගතය තීන්දු වන්නේ එකී මගෙහි ගමන් කිරීමෙන් මිස ඉන් අපගමනය වීමෙන් නොවන බව මෙහි දී කිව යුතු ම ය. 1994 මහ මැතිවරණය වන විට තත්ත්වය උඩු යටිකුරු වී තිබිණි. එහි දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පෙරමුණ සාම සාකච්ඡා, බලය බෙදීම් ගැන කතා කළේ ය. මේ නිසා එකල ශ්‍රී.ලං.නි.ප.යට සාපේක්ෂව එ.ජා.ප.යේ ජාතිකත්වක් පෙනුන ද, ජනතාවට එම කරුණ එම මැතිවරණයේ දී වැදගත් නොවිණි. 1977-94 කාලයේ එ.ජා.ප. ක්‍රියා කලාපය නිසා එම මැතිවරණයේ දී රටේ ඒකීය භාවයට වඩා කෙසේ හෝ එ.ජා.ප.ය ගෙදර යැවීම ය ජනතාවට
වැදගත් වූයේ ය. එය එ.ජා.ප.යේ මෙන් ම රටේ ද අවාසනාව විය.

මත වරනිඳු ගොඩ ගැනීම

අද මැතිවරණ වලින් සන්ධාන රජය ජය ගන්නේ ඔවුන්ගේ දක්ෂතාවයකටත් වඩා එ.ජා.ප.යේ ප්‍රතිපත්තිමය අදක්ෂභාවය නිසා බව කිව හැකි ය. රාජපක්ෂ රජයේ වුව ද ඇතැම් බොහෝ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට බර යැ යි කිව නොහැක. කැසිනෝ සහ සංචාරක ව්‍යාපාරය මූලික කර ගත් ආර්ථික ක්‍රමයක් වෙත ආණ්ඩුව නැඹුරු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේවා වත්මන් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ දෑ නොවේ. 2002 දී බලයට පත් එ.ජා.ප. රජය ජනතා අප්‍රසාදයට පත් වීමට ද එම රජය අනුගමනය කළ මෙවැනි ප්‍රතිපත්ති ද එක හේතුවක් වූ බව අපට මතක ය. එවැනි තත්වයක් යටතේ වුව ද ජනතාව තවමත් රජය ආරක්ෂා කිරීමට පෙළඹෙන්නේ යුද්ධය නිමා කිරීමට කළ ගුණ දැක්වීමක් ලෙස සිතීම විහිළුවකි. මේ රජය යටතේ රටේ ඒකීයභාවය රැකෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ගොඩ නැඟී ඇත. මේ ආණ්ඩුව ගෙදර යැවීමට නම්, බලයට ගෙන ඒමට සුදුසු විකල්පයක් ජනතාවට පෙනිය යුතු ය. ජනතාව බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග වලට වඩා, රටට අනවශ්‍ය මතවාද වලින් මත් වීමට යාමෙන් එ.ජා.ප.ය මුල සිටම මඩ ගොහොරුවක ගිලීම ඇරඹී ඇත. මුල දී ම තමා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉටු කළ හැකිව තිබූ කාර්යයන් ශ්‍රී.ලං.නි.ප. ප්‍රමුඛ රජයන්ට කිරීමට ඉඩ දී බලා සිටීම මගින් එ.ජා.ප.ය සිය ඡන්ද පදනම අහිමි කර ගෙන ඇත. ඔවූනට නිවැරදි දැක්මක් තිබුණි නම් 1980 දශකය අග දී ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තිබුණි. අඩු ම තරමේ 2002 දී ලැබුණු ජන වරමින් වත් නිසි ප්‍රයෝජනය ගෙන, රෑ වැටුණු සටන් විරාම වලේ දවල් නොවැටී කොටි පරාජය කිරීමට එ.ජා.ප. රජයට තිබුණි. තම රජයක් යටතේ, රටේ ඒකීයභාවය අභියෝගයට ලක් නොවන බවටත්, බලය බෙදීම් නොකෙරෙන බවටත්, කැසිනෝ සහ සංචාරක ව්‍යාපාර මත පදනම් වූ අර්ථ ක්‍රමයක් වෙත නොයන බවටත්, කුඩු සහ එතනෝල් රජ නොවන බවටත් සහතිකයක් දීමට එ.ජා.ප.යට හැකි ද?

2009 යුධ ජයග්‍රහණයෙන් පසුව කිරි බත් කෑ, රතිඤ්ඤා පත්තු කළ උන් අතර එ.ජා.ප. පාක්ෂිකයන් ද විය. ඔවුහු අවංකව ඒ ගැන සතුටු වූහ. ඉන් ප්‍රකාශ වූයේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ඔවුන්ගේ ඇති කැමැත්ත යි. අවාසනාවට "ඕනෑම ගොනෙකුට යුද්ධ කිරීමට හැකි බව" දැන සිටි එ.ජා.ප. නායකයෝ ජනතාව තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ එය බව නොදැන සිටියහ. යුද්ධ නොකෙරූ එ.ජා.ප.යට අඩුම තරමේ යුධ ජයග්‍රහණ අවතක්සේරු කිරීමෙන් වැළකී සිටීමට වත් තිබුණි. එහි දී එ.ජා.ප.ය තොප්පිගල හුදු කැලයක් බව නොකියා සිටියා නම් හොඳ ය; මැදවච්චි, පාමංකඩ කතා නොකියා සිටියා නම් හොඳ ය. ඇතැම් විට ජනතාව මෙවැනි කතා විශ්වාස කරමින් ආණ්ඩුවෙන් ගිලිහී තමන් වෙත ආකර්ෂණය වනු ඇතැ යි එ.ජා.ප. නායකයන් සිතන්නට ඇත. එහෙත්, ජනතාව මැතිවරණ ගණනාවක් ඔස්සේ ප්‍රකාශ කළේ එම උපකල්පනයේ වැරැද්ද බව එ.ජා.ප.ය තේරුම් ගත් බවක් නොපෙනෙන්නේ ඔවුන් ජිනීවා යෝජනා ගැන අද කියන කතා අසන විට ය. ඔවුන් ගෙන් ඇතැමෙකුට අනුව මෙම ජිනීවා යෝජනාවලියට යුද්ධයේ සම්බන්ධයක් නොමැත. ඒ වෙනුවට, 2009න් පසුව ආණ්ඩුවේ ක්‍රියා කලාපයත්, ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තියත් මෙම යෝජනා ගෙන ඒමට හේතුව බව ඔවුහු කියති. එහෙත් මෙවැනි ප්‍රකාශ හරහා ඔවුන් නොකියා කියන්නේ ජිනීවා යෝජනා ගෙන ඒම සාධාරණ බව යැ යි එ.ජා.ප.යට නොවැටහෙන්නේ ද? මේ අතර ආණ්ඩුව අද ද ජනතා සිතුම් පැතුම් මනා ව වටහා ගෙන ඇති සෙයක් පෙනෙයි. එළඹෙන පළාත් සභා මැතිවරණයට දින නියම කර ඇති ආකාරයෙන් ඒ බව පැහැදිළි වේ. ජිනීවා මානව හිමිකම් සැසියේ දී කුමක් සිදු වුවත්, එය යුධ ජයග්‍රහණයට එරෙහි ව ගෙන එන්නක් බව ජනතාව අවබෝධ කර ගන්නා බව රජය දනී. එහෙත්, විපක්ෂ දේශපාලඥයින් කියන්නේ ජනතාවට එසේ නොසිතන ලෙස ය. ඔවුන් ගෙන් සමහරෙකු කියන්නේ මෙම යෝජනා ජනතා අනුකම්පාව දිනා ගැනීමට ආණ්ඩුවේම උවමනාවට බටහිර රටවල් විසින් ගෙන එනු ලබන්නක් බව ය.

මේ අනුව එ.ජා.ප.ය ගොඩ ගැනීමට නම් ප්‍රතිපත්තිමය වෙනසක් වහාම අවශ්‍ය බව කීමට තවත් අටුවා ටීකා අනවශ්‍ය ය. ප්‍රතිපත්ති වෙනස් නොකර නායකත්ව වෙනසක් සිදු කළ ද, නායකත්ව මණ්ඩලයක් පත් කළ විට සිදු වන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි. රාජපක්ෂ රජයේ වුව ද ඇතැම් බොහෝ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට බර යැ යි කිව නොහැක. මේ මොහොතේ රජය පෙරලීමේ විකල්පය වීමට එ.ජා.ප.ය සිතන්නේ නම් "ජාතික චින්තනය" මත පදනම් වූ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින් පමණි එය කළ හැක්කේ. ෆෙඩරල් මතවාදය වෙනුවට රටේ ඒකීයභාවයත්, මෙරට සිංගප්පූරුවක් කරනු හෝ රට පුරා ඇඟලුම් කම්හල් දහසක් ඇති කරනු හෝ වෙනුවට කෘෂි ආර්ථිකයක් මගින් මෙරටට සෞභාග්‍යය උදා කිරීම සිය ප්‍රතිපත්තිය කර ගැනීම මගින් යළි ජනතාව අතරට යාමට එ.ජා.ප.යට හැකි වනු ඇති බව අපගේ විශ්වාසය යි.





 -දුලන්ජන් විජේසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/20/2014

කැතලින්ගේ කෙටිකතාව, කලහකාරී භික්ෂුව හා විකල්ප ගෝත‍්‍රයේ සාම සංහිඳියාව

කතෘ:යුතුකම     1/20/2014   3 comments
22 කණ්ඩායමේ ධර්ම ගවේෂණය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කුඩා කෙටි කථාවකි. එය 2002 වසරේ පළවූ ඇගේ ”අවරෝධය” නම් කෙටි කතා එකතුවේ එන්නකි. විවාදාත්මක තේමාවක් වටා ගෙතෙන එම කථාවේ සාරය කාලයේ දැඩි සීමාවකට කොටු කළ නොහැකි එකක් වුවද වර්තමානයේ මෙරට තුළ වඩා වැඩි තීව්රතාවකින් යුතුව ඉස්මතු වී ඇති එක් ප‍්‍රවණතාවක් මේ කථාවේ විශය පථයට අයත් වෙයි. ඒ ප‍්‍රවණතාව නම් භික්ෂූන්ගේ දේශපාලන මැදිහත් වීමය. ඒ අරභයා වන ඉතා වැදගත් නිරීක්ෂණ කීපයක් මේ කෙටි කථාව තුළ හමුවෙයි.

මේ කෙටි කථාවට විෂය වන්නේ අනාගත ශී‍්‍ර ලංකාවක් තුළ සිදුවිය හැකි යැයි උපකල්පිත සිදුවීම් පෙලකි. ඊට අදාල කාල වකවානුව නිශ්චිත නොවේ. එය කි‍්‍ර.ව 2100 හෝ 2200 වීමටද පුලූවන. කෙසේ වුවද මේ කාලය යනු බටහිර නූතනත්වය සියලූ සතුරන් පරදවා ජය කෙහෙලි නංවා ඇති කාලයකි. ක්ෂුද්‍ර තාක්ෂණ හරඹයන්ගෙන් අලංකෘත මේ සමාජය තුළ වැජඹෙන සර්ව බලධාරී දෙවියා වන්නේ පාරිභෝජනවාදයයි. මේ සමාජයේ මිනිස්සු ඉන්ද්‍රිය සංවේදිතා අවසඟ වන තරමට ඉඳුරන් පිනවන්නෝ වෙති. සිරුරු කිස, රමණය ආදී කටයුතු පවා විවෘතව සිදු කරන තරමට විශ්ව ගම්මාන බන්ධනවලින් ඔවුහු එක්සත් වී සිටිති. මේ සමාජයේ ජීවත් වන තරුණ කණ්ඩායමක් අපූරු ගවේශණයක නිරතව සිටිති. එය බුදු දහම පිළිබඳ ගවේශණයකි. මේ කාලය වන විට බුදු දහම ඉතිරිව ඇත්තේ හුදු පුද්ගල විමුක්තියේ අල්ප හා බුද්ධිවාදී දර්ශනයක් වශයෙනි. මේ තරුණ පිරිසේ ගවේශණය වන්නේ වසර දෙදාස් ගණනක් මුළුල්ලේ ආගමක්, සංස්කෘතියක් ලෙස ව්‍යාප්තව පැවති බුදු දහම හුදු දර්ශනයක් දක්වා ඌනනය වීමට බලපෑ හේතු සොයා බැලීමය. අවසානයේදී ඔවුන් ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් සකස් කරන අතර කැතලින්ගේ කෙටි කථාව අවසාන වන්නේ ඒ කථාවේ කුඩා කොටසක් උපුටා දක්වමිනි.

බුදුදහම කෙලසීම

මීළඟට මෙකී කෙටි කථාවේ අන්තර්ගතයට අදාල වත්මන් සමාජ කාරණා සැකෙවින් විමසා බලන්නේ නම් අද වනවිට භික්ෂුව මෙරට ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයකි. මේ මොහොත වනවිට සමාජ ගැටලූ අරභයා බෞද්ධ භික්ෂූන්ගේ සටන්කාමී හා උද්වේගකර මැදිහත් වීම් රැසක් දක්නට ලැබේ. ඒ බොදු බල සේනා, රාවණා බලය, සිංහල රාවය ආදී නොයෙකුත් සංවිධාන ආදිය ඔස්සේය. මෙහිදී එකී භික්ෂු මැදිහත්වීම් පිළිබඳ යම් යම් සාධාරණ විවේචන තිබිය හැකිවාක් මෙන්ම පොදුවේ අද මෙරට භික්ෂු ශාසනයේද අවනතීන් රැසක් දක්නට ලැබේ. භික්ෂු ශාසනයද වත්මන් මහා සමාජ දුෂණයේ නරක බලපෑම් වලින් සපුරා නිදහස්ව නොපවත්නකි. කෙසේ වුවද මේ ලිපියේ අරමුණ භික්ෂු ක‍්‍රියාකාරකම් වල එකී හොඳ නරක විමසා බැලීම නොවේ. වෙනමම සන්දර්භයක සිදු කළ යුතු ඒ සංවාදයට උඩින් පල්ලෙන් මැදිහත් වන්නෝ බොහෝ සිටිති. එහෙත් මෙහි අරමුණ භික්ෂු දේශපාලනයේ හොඳ නරක විමසීම වෙනුවට එහි හොඳ නරක විමසන්නන් විසින් සුලබව මතු කරන ඉතා මුග්ධ හා අදේශපාලනික තර්කයකට එරෙහිව කරුණු ගොනු කිරීමය. කැතලින්ගේ කෙටි කථාව ඒ සඳහා බලවත් අවියක් ලෙස ඇසුරු කළ හැක්කකි.

පොදු වශයෙන් බලන කල මෙරට භික්ෂු දේශපාලනය පිළිබඳ මෙරට පොදු සමාජයේ ප‍්‍රතිචාර කෙසේ වුවද මෙරට මතවාදී සමාජයේ බහුතරය ඒ පිළිබඳව දක්වනුයේ අතිශය නිශේධනාත්මක ආකල්පයකි. විශේෂයේන්ම සාහිත්‍ය, කලාව හා දර්ශනවාද ආදිය ඇසුරු කරන ප‍්‍රබුද්ධ යැයි සැලකෙන සමාජයට මේ භික්ෂු දේශපාලනය වහකදුරු වී ඇති බව ඔවුන් ඒ පිළිබඳ නොයෙක් තන්හී සුලබව මුදාහරින ප‍්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙයි. ඔවුන් මේ භික්ෂුන් හඳුන්වනු ලබන්නේ ජාතිවාදීන්, ගෝත‍්‍රවාදීන්, උන්මත්තකයන්, බුදු දහම කෙලසන්නන් හා සිවුරු ලා ගත් මැරයන් ආදී වචන වලිනි. බුදුදහමේ එන උත්තරීතර සත්‍යයන්ට පටහැනිව හැසිරෙන මේ නොමනා භික්ෂූන්ට ඔවුහු නිරතුරුවම කරුණාව මෛත‍්‍රිය සමානාත්මතව වැනි දේ සිහිපත් කර දෙති. උද්ඝෝෂණ, අරගල, කෝලහාල ආදිය භික්ෂූත්වයට අකැප බව තරයේ අවධාරණය කරති.  බැලූ බැල්මට මේ මතවාදී ප‍්‍රවේශය ලස්සන, සාධාරණ හා බාලයන් සිත් අලවනසුලූ එකකි. එහෙත් ගැටලූව වන්නේ මේ අබ්බගාත තර්කය වර්තමාන මහපොළවේ ප‍්‍රායෝගිකව සිටුවිය නොහැක්කක් වීමය. උත්තර් ඓතිහාසික සත්‍යයන් මත පිහිටා කාලීන සමාජ දේශපාලන අභියෝග මග හැර යාමට මෙන්ම ජාතිය අමතක කොට ජාත්‍යන්තරවාදී වීමට භික්ෂුන්ට බල කරන මේ යෝජනාව තුළ දේශපාලන අඳබාලකම පමණක් නොව දේශපාලන තක්කඩිකමද මනාසේ ඇතුළත් වෙයි. ඒ බව තේරුම් ගත හැක්කේ කෙසේද?

ගණිකා පතිවත හා ජාත්‍යන්තරවාදය

අප ලෙඩ රෝගවලට අකමැතිය. එහෙත් ලෙඩ රෝග ආශ‍්‍රිත ප‍්‍රශ්නවලට මුහුණ දීමට අපට සිදුවෙයි. අප ජාතිවාදයට අකමැතිය. එහෙත් බෙදීම්, විෂමතා, ගැටුම් බහුල ප‍්‍රායෝගික ලෝකයේදී අපට ජාති ආගම් ආශි‍්‍රත ප‍්‍රශ්න සමගද අභිමුඛ වීමට සිදුවෙයි. ඒ ප‍්‍රශ්න බොහෝවිට විස`දා ගැනීමට සිදුවන්නේ සාපේක්ෂව සාධාරණ ක‍්‍රමයකට මිස විශ්ව සාධාරණ ක‍්‍රමයකට නොවේ. උතුරේ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයට ලබාදුන් යුධමය විසඳුම විශ්ව සාධාරණ විසඳුමක් නොව  සාපේක්ෂව වඩා සාධාරණ විසඳුමකි. එවැනි ප‍්‍රශ්නවලදී ප‍්‍රශ්නයේ සමස්තය දෙස නොබලා ජාතිවාදී ලේබලය  ඕනෑම පාර්ශවයක් මත ඉතා පහසුවෙන් ඇලවිය හැකිය. අද භික්ෂූන් ඇතුළු බලවේගයන්ට චෝදනා කරන වැඩි දෙනාද වෙනත් ¥ෂිත ව්‍යාපෘතීන් මත පිහිටා මේ ලාබ සුලබ ජාතිවාදී ලේබලය භික්ෂූන් මත පහසුවෙන් අලවන්නෝ මිසක විශ්ව සාධාරණ මානව හිතවාදීහු නොවෙති. මේ බව ඉතා සැකෙවින් වටහා ගන්නේ නම් මේ භික්ෂු විරෝධීහු බොහෝ දෙනා මෙරට ඊනියා විකල්ප අවකාශය තුළින්ම ප‍්‍රාදුර්භූත වූවෝ වෙති. මොවුන් බැලූ බැල්මට උග‍්‍ර ජාතිවාද විරෝධීන් ලෙස පෙනී සිටියද ඔවුන්ගේ ජාතිවාද විරෝධය ගණිකාවකගේ පතිවත වැන්නකි. අද සිංහල වර්ගෝත්තමවාදයකට විරුද්ධව මොරදෙන මේ බොහෝ දෙනා කාලයක් තිස්සේම දෙමළ ජාතිවාදය හා එක පෙලට සිට ගත්තෝ වූහ. උතුරේ ප‍්‍රශ්නය හමුවේ දෙමළ ජාතිවාදයෙන්ද නොනැවතුන මේ පිරිස මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා ඒ පසුපස පැවති බටහිර ත‍්‍රස්තවාදයද සාධාරණීකරණය කළෝය. ඒ ආකාරයටම ඉන් අනතුරුව මතුවූ මුස්ලිම් ප‍්‍රශ්නවලදී ඔවුන් පෙනී සිටියේ මුස්ලිම් ව්‍යාප්තවාදයේද ආරක්ෂකයන් ලෙසය. කාලයක් තිස්සේ මෙරට සුරැුකිව පැවති සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව පසුගිය කාලයේදී මුස්ලිම් අන්තවාදී සුළුතරයකගෙන් එල්ල වූ තර්ජන හමුවේ මේ ඊනියා ජාත්‍යන්තරවාදීන් සිටියේ මුස්ලිම් අන්තවාදය අනියමින් යුක්ති යුක්ත කරන තැනකය. හලාල් ප‍්‍රශ්නය ආදී අවස්ථා වලදී මුස්ලිම් නොවන බහුතරයක් දෙනාට හලාල් ආහාරවලින් නිදහස් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බෞද්ධ බලවේග  උග‍්‍ර ජාතිවාදීන් ලෙස ලේබල් කළ මේ පිරිස, සමස්ත ආහාර නිෂ්පාදනයම ඉස්ලාම්කරණය කිරීමට වෙරදැරූ මුස්ලිම් බලවේග තුළ කිසිදු ජාතිවාදයක් නොදුටූහ. සංස්කෘතියට ඉහලින් පවත්නා මානුෂික වටිනාකම් ගැන මේ ජාත්‍යන්තරවාදීන්ගේ දැක්ම අනුවම සලකා බැලූවද ඉස්ලාමයට වඩා බෞද්ධ සංස්කෘතිය කෙතරම් මානව හිතවාදී හා නම්‍යශිලී එකක්ද යන්න ඉර හඳ සේ පැහැදිලි ඇත්තක් වුවද බෞද්ධ ජාතිවාදයක් මිස මුස්ලිම් ජාතිවාදයක් වෙත ඔවුන්ගේ කිසිදු විවේචනයක් එල්ල වී නැති තරම්ය. මේ කාරණා මෙරට විකල්ප ගෝත‍්‍රිකයන්ගේ එකම නිවහන වූ ඇතැම් සති අන්ත කළු සුදු පුවත්පත්වල හැසිරීම් දෙස මොහොතක් හැරී බැලීමෙන් වුවද මනාසේ වටහා ගත හැකිය. අද මිනීමරු කෘෂි රසායන සමාගම්වලට පක්ෂව මතවාද සැකසෙමින් ඇත්තේද, කැලම් මැක්රේ වැනි පාදඩයන්ගේ ඊනියා ජනමාධ්‍යවේදයට සිංහලෙන් සහතික ලියැවෙමින් පවතින්නේද මේ විකල්ප ගෝත‍්‍රය හා ඔවුන්ගේ ප‍්‍රකාශන තුළය. බුරුමයේ භික්ෂූන්ට එරෙහිව ටයිම් සඟරාවේ පලවන ලිපිවලට පවා ඔවුන්ගේ වෙබ් අඩවි තුළ සිංහලෙන් ප‍්‍රචාරය සැපයෙයි. භික්ෂුන්ගේ ජාතිවාදයට එරෙහිව ඒ සා වෙහෙසකර අරගලයක නිරතවන මේ මහත්වරුන්ට ටයිම් සඟරාවේ ජාත්‍යන්තරවාදය දේශපාලනිකව තේරුම් ගත නොහැකි වී තිබේ. එයද නොතේරුම් කමකට වඩා ඔවුන් නිරතව සිටින දේශපාලනයේ තේරීමකි. අප විසින් නොයෙක් තැන්වලදී ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස හඳුන්වා දී ඇත්තේද මේ පිරිසමය. සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ගේ මහා පොදු සතුරාය. එය ඔවුන්ගේ මහා පොදු සතුරා වී ඇත්තේ ඔවුන්ගේ මහා පොදු මිතුරා වන බටහිර යටත්විජිතවාදයේ ඇනවුමකට අනුවය. මේ අනුව මොවුන්ගේ පෙර කී ගණිකා පතිවත බඳු ජාතිවාද විරෝධය වනාහී ලේ වැකි බටහිර යටත්විජිතවාදයේම දිගුවක් ලෙස වටහා ගැනීම මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුව වෙයි. භික්ෂූන්ගේ දේශපාලන මැදිහත් වීම් තුළ අඩුලූහුඬු කම් පැවතිය හැකි බව සැබෑය. එසේ වුවද එම අඩුපාඩු විනිශ්වය කිරීම සඳහා විකල්ප ගෝත‍්‍රිකයන්ට වේදිකා ඉදිකර දීම කිසිසේත්ම සාධාරණ ප‍්‍රවේශයක් නොවන බව මේ කාරණා ඔස්සේ අප විසින් මෙහිදී තරයේ වටහා ගත යුතුය.

දර්ශන දමන්නෝ

අවසාන වශයෙන් කැතලින් ජයවර්ධන තම කෙටි කථාවෙන් ඉ`ගි කරන ආකාරයට බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය බෙදා වෙන් කිරීම වත්මන් බෞද්ධ විරෝධීන්ගේ ප‍්‍රධානතම උපාය මාර්ගයකි. මෙහි ඇති අතිශයින් උත්ප‍්‍රාසවත් කාරණය වන්නේ ඔවුන් ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින්ම මතවාදී අවි ආයුධ සපයා ගැනීමය. මේ සූක්ෂම දේශපාලනය බොහෝ ප‍්‍රබුද්ධයන්ට හා උත්තරීතර සත්‍යයන් අදහන බව කියන සාහිත්‍ය කරුවන්ට නොවැටහෙයි. එහෙයින් කැතලින්ගේ කෙටි කථාව දේශපාලනය නොදන්නා එකී සාහිත්‍ය බබ්බුන්ට එල්ල කළ අතුල් පහරක් වැනිය.

බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය යනු එකක් නොව එකිනෙකට සම්බන්ධ දෙකකි. වෙහෙර විහාර, පන්සල්, දැවැන්ත බුදු පිළිම, බිතු සිතුවම්, පෙරහැර, බෞද්ධ කොඩි ආදිය බෞද්ධ දර්ශනයට අවශ්‍ය නැතත් බෞද්ධ සංස්කෘතියට ඒවා අවශ්‍ය වෙයි. දර්ශනය කෙතරම් අර්ථ සම්පන්න එකක් වුවද ඒ වටා නිර්මාණය වූ සංස්කෘතියකින්, සමාජ සැකැස්මකින් තොරව කිසිදු දර්ශනයකින් පොදු ජනතාවගේ ජීවිත මත හොඳ හෝ නරක බලපෑමක් ඇති කළ හැකි නොවේ. සංස්කෘතිකාංග වල පැවැත්ම ඊනියා තර්ක බුද්ධියට අගෝචර විය හැකි වුවද ප‍්‍රායෝගික ජීවිතය තුළ එය ඉතා සුලබ සාමාන්‍ය සත්‍යයකි. පොදු ජනතාව ඒකරාශි වන්නේ  සංස්කෘතියක් වටා මිස බුද්ධි ගෝචර දර්ශනවාද වටා නොවේ. මේ ඇත්ත බුදු දහම පමණක් නොව මාක්ස්වාදය ඇතුළු  ඕනෑම දර්ශනවාදයකට අදාල වන්නකි. ඒ නිසාම සංස්කෘතියෙන් ගලවා ඉවත ලූ බුදු දහමද, අද මෙරට ඒ දඬු පණ්ඩිතයන් අත කෙලි බඩුවක් බවට පත්වී ඇති පශ්චාත් නූතනවාදයක තත්ත්වයට පිරිහීම කිසිවකුට වලකාලිය හැක්කක් නොවේ.

දෙමළාට ප‍්‍රශ්න නිර්මාණය කරමින් සිටින මෙරට එක්තරා ෆුටා ඇදුරකු වරෙක පවසා තිබුණේ පන්සල්, දැගැබ්, භික්ෂූන් ආදිය නූතන ලෝකයට අවැසි නොවන බැවින් දර්ශනයක් ලෙස පමණක් බුදු දහම සුරක්ෂිත කර තැබීම සඳහා පොත පත, පරිගණක, සී.ඞී තැටි ආදිය පමණක් තිබීම ප‍්‍රමාණවත් බවය. අවරදිග ඇති අනාගමික රාජ්‍ය ගැන මනෝ විකාර දොඩවමින් සිටින කොලම්කාරයකු තවත් වරෙක පවසා තිබුණේ ඔබට සිංහලයකු හෝ බෞද්ධයකු විය හැකි වුවත් සිංහල බෞද්ධයකු වන්නේ නම් ඔබට බුදු දහම මග හැරෙන බවය. අද රැුම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි ඇතැම් ආචාර්යවරුන් කියමින් සිටින්නේ අප සිංහලයන්ගේ ගෝත‍්‍රවාදී බුදුදහමට එරෙහිව සුලාක් සිවරක්සගේ ජාත්‍යන්තරවාදී බුදුදහම කර තබා ගත යුතු බවය. ඊළාම් අභිමානයෙන් පණ ගැට ගසා ගන්නා ඇතැම් වෙබ් අඩවි කාරයන් අද අපට ඊ.ඩබ්ලියු අධිකාරම් උපුටා පෙන්වීමට පටන් ගෙන ඇත්තේ දේශාභිමානියා මානසික රෝගියකු බව අවධාරණය කිරීම සඳහාය. දේශපාලන රෝගීන්ව පහසුවෙන් නොමග යැවිය හැකි මේ වාගාලංකාර සියල්ල සැලකිය හැක්කේ බෞද්ධ සංස්කෘතියේ පැවැත්මට එරෙහිව බෞද්ධ දර්ශනය ආශ‍්‍රයෙන්ම කෙරෙන ආයුධ සපයා ගැනීම් ලෙසය. එහිදී බෞද්ධ දර්ශනයට දැඩිව පහර නොදෙන මොවුහු ඊට ගරු කරන්නන් ලෙස බොරු නැටුමක් නටන  අතරේම බෞද්ධ සංස්කෘතිය හා භික්ෂූන්ට පහරදීම සඳහා එම දර්ශනය වෙතින්ම අවිහිංසාව, මෛත‍්‍රිය, සමානාත්මතාව, විශ්ව සාධාරණත්වය ආදී සංකල්ප උකහා පෙන්වති. එසේ උකහා පෙන්වමින් කරන පහර දීමේ දත් හෝ නොදත් අවසාන අර්ථය වන්නේ ලෝක පරිමාණ හිංසනයේ ලොකුම වග උත්තරකරුවා වන බටහිර නූතනත්වයේ දෘෂ්ටිවාදී  ආරක්ෂා තරකිරීමය.  සාමයේ පරවියන් ලෙස හඳුන්වමින් උකුස්සන් අහසට මුදා හැරීම මේ විකල්ප ගෝත‍්‍රකයන්ගේ කාර්යය වී තිබේ. කැතලින්ගේ කෙටි කථාවේ එන යුගය වනාහී එවන් ප‍්‍රවේශයන් ඔස්සේ බුදු දහම සපුරා වද කර බටහිර නූතනත්වය සපුරා ජයග‍්‍රහණය කළ යුගයකි. එවන් වූ යුගයක බුදු දහමේ ස්වභාවය හා ඊට අත්වූ ඉරණමට අදාල හේතු කාරණා ගැන ලේඛිකාවගේ තියුුනු නිරීක්ෂණය උපුටා දක්වමින් මේ රචනාව අවසාන කරමි.

වසර දහස් ගණනක් මුළුල්ලේ වරින් වර හා වසර හයසීයකට ආසන්න කාල සීමාවක් තුළ අඛණ්ඩව විවිධාකාර වූ තර්ජන ගර්ජන හා අභියෝග බුද්ධාගමට එල්ල වී ඇති මුත් එහි කූට ප‍්‍රාප්තිය එළඹුනේ විසි එක් වන සියවසෙහිදී යැයි කමිටු වාර්තාවේ මුලින්ම සඳහන් වී තිබිණි.


බුද්ධාගම සංස්ථාපිත තත්ත්වයෙන් පැවතීම ඇතැම් පුද්ගලයනට පුද්ගල කණ්ඩායම් වලට නොරිසි වූ බව පෙනී යයි. (මේ හා අදාල හේතු සාධක හා ඊට පසුබිම් වූ දේශීය විදේශීය බලවේග පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පරිපූර්ණ වාර්තාවේ 3,4 ඇමිනුම් හි වෙයි. මේ අනුව බුදුදහම ආගමක් නොව දර්ශනයක් පමණකිය යන්න පිළිබඳ මතවාදයක් ගොඩනැ`ගීමේ පොදු අභිප‍්‍රායක් මේ සියලූ කොටස් තුළ වූ බව පැහැදිලිය. එසේ වුවද බුදුදහමේ ආගමික තත්ත්වය නිර්වින්දනය කිරීම සඳහා ඔවුන් විසින් සූක්ෂම වැඩ පිළිවෙලක් දියත් කරනු ලැබ ඇත්තේ ඊට එරෙහිව අවි අමෝරා ගනිමින් හෝ එහි සතුරු බලවේග ලෙස පෙනී සිටිමින් හෝ නොවීමද මෙහිලා දැක්විය හැකි විශේෂත්වයකි. සිය සටන් භූමිකාව රඟ දැක්වීමේ දී ඔවුන් විසින් සැම විටම පලිහක් කර ගනු ලැබ ඇත්තේ බුදු දහමේ හරය හා එහි සාරයමය. මේ අනුව බුද්ධාගමට එරෙහි වූ මුල්ම හී පහර එල්ල වී ඇත්තේ මෛත‍්‍රිය හා සමානාත්මතාව එකට පුරුද්දා තැනූ ඊතලයක් ඔස්සේය. ජාතික හෝ ආගමික වශයෙන් අර්බූදකාරී තත්ත්වයන් පැන නැගුනු අවස්ථාවන් හිදී වීදි බට භික්ෂූන් නිරායුධ කරනු ලැබ ඇත්තේද එම`ගිනි. කිසියම් දේශයක්, ජාතියක්, ආගමක් වෙනුවෙන් පෙනී සිටීමේ කොදෙව් මානසිකත්වයෙන් භික්ෂුව අත්මිදිය යුතු බැව් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් විසින් සපයා ගනු ලැබ ඇත්තේද බුදු දහමිනි. භික්ෂුව එවැනි  පටු සීමා මායිම් අතික‍්‍රමනය කළ යුතු බවට හේතු සාධක වශයෙන් ඉතා ආකර්ශණීය ලෙස මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛාද ගෙන හැර දක්වා තිබේ.
      
කැතලින්ගේ කථාවෙන් ගත් ඉහත කුඩා ඡේදයතුළ අතැඹුලක් සේ දක්වා ඇත්තේ පිටු සිය ගණනක කෘතියක් ලියමින් පැහැදිලි කළ යුතු තරමේ සංකීර්ණ දේශපාලන විග‍්‍රහයකි. එය ඒ දඬු පණ්ඩිතයන්ගේ බොල් වාගාලංකාර තොග පිටින් විනාශ කර දමයි.   

                                            
-ඉසුරු ප‍්‍රසංග
(2014-01-20 ලක්බිම පුවත්පතෙහි  ඇවෙන්ට් ගාඩ් පිටුවෙන් උපුටා ගති)
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1/10/2014

ඇමරිකාව සහ අපි

කතෘ:යුතුකම     1/10/2014   2 comments

ත්‍රස්තවාදී රාජ්‍යය
විශිෂ්ට දේශපාලන විචාරකයකු වන නෝම් චොම්ස්කි ඇමරිකාව හඳූන්වනේ ත්‍රස්තවාදි රාජ්‍යයක් ලෙසය.
මීට දශක කිහිපයකට පෙර ගෝලීයකරණය, වෙළඳ හා ප්‍රාග්ධනය ගලා යාමක් ලෙස පමණක් පවත්වමින් තමන්ගේ ගෝලීය අධිරාජ්‍යය පවත්වා ගත නොහැකි බව ඇමරිකාව වටහා ගත්තේය. ඒ සදහා යුධමය ආධිපත්‍යයක්ද ලොව පුරා පැතිරවිය යුතු බව ඔවුහූ තීරණය කළෝය. ඒ සදහා නොයෙකුත් රටවල්වලට පය ගසා ගැනීම හා ඇතැම්වා ගැටුම් සහිත දුර්වල රාජ්‍යයන් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. ඒ සඳහා මරා දැමෙන මිනිසුන් ගණන ඇමරිකානු රජයට ගැටළුවක් නොවේ. සෘජු ලෙසම රජය මැදිහත්ව ඕනෑම යුධ අපරාධයක් කර දැමීම ඔවුනට කිසිදු හිරිකිතයක් නොවීය. ඊට අමතරව වෙනත් ත්‍රස්තවාදීන් ඇති කර, කවා පොවා උස් මහත් කර ගැනීමද සිය නොමිනිස් අභිලාෂයන් සඳහා මනා පිටුවහලක් බව ඔවුහු අවබෝධ කර ගත්හ. ඒ අනුව යමින් ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කල්ලි වල වර්ධනය සඳහා CIA සංවිධානය හරහා උදව් කළෝය. ත්‍රරස්තවාදය නියමින් හා අනියමින් ඇමරිකානු අධිරාජ්‍යයේ සුමිතුරකු ලෙස කටයුතු කළේය.

ඇමරිකානු සාමාන්‍යය ජනතාව ඉදිරියේ, සිය මුග්ධ යුද ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීම සහ එයට පක්ෂපාත මතවාද නිර්මාණය කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා පාලක පැළැන්තිය විසින් ත්‍රස්ත භීතිය මැනවින් යොදා ගත්තේය. එසේම ත්‍රස්තවාදය මැඩීමට සතුරා වෙතට ගොස් පහර දීමේ න්‍යායක් යොදා ගනිමින් වෙනත් රටවල් තුළට ඇමරිකින් භට පිරිස් යවා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමටද ඔවුන් කිසි විටෙක මැළි නොවීය.

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නොවන්නට ඇමරිකාවට ඉරාකය වෙත යාමට කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. එම ප්‍රහාරයට ඉරාකයේ කිසිදු සබඳතාවක් නැති නිසාත් එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත යුතු නිසාත් ඔවුහූ ” ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනක්” ප්‍රකාශ කළහ. සැබැවින්ම එය ලෝක ගෝලය තුල තම ආධිපත්‍යය පැතිරවීමෙ සටනක් මිස සුමිතුරු ත්‍රස්තවාදයට එරෙහි අවංක සටනක් නොවීය. ඇමරිකානු ක්‍රියා කලාපය නිසා ඉරාකය තුළ පමණක් මිලියනයකට අධික මිනිස් ජීවිත අහිමි විය. තවත් අහිමි වෙමින් තිබේ. දැන් ලිබියාවද තවත් ඉරාකයක් බවට පත් වී ඇත. ලිබියාව තුල අනුගමනය කෙරුනේ අඩු වියදම් ක්‍රමකි. ඒ රට තුල සිටින ත්‍රස්තයන් පෝෂණය කර ඔවුන් ලව්වාම ගැටුම් ඇතිකරවා අහසින් පැමිණ බෝම්බ දමා බේරා ගත යුතු යැයි ලෝකයාට කියන ලද මිනිසුන්වම මරා දමමින් සිය ත්‍රස්ත පුතුන්ට මං විවර කර දුන්හ. සිරියාව තුල මේ දෙය කර ගත නොහැකිව ඔවුහූ තවමත් ලත වෙමින් සිටිති. එනමුදු තණ්හාධික පිශාච ඇමෙරිකානු වුවමනා වෙනුවෙන් අවුලවන ලද ගැටුමක් හේතුවෙන් ලක්ෂ ගණනක් මිනිසුන් සිරියාව තුළ මිය ගොස් හමාරය. තවත් මිය යමින් සිටිත්. ලංකාවට හා සමාන සළැස්මක් දියත් කර  සූඩානයද දෙකඩ කොට මිහිපිට අපායක් නිර්මාණය කර ඇත.

ඕනෑම ස්ථානයකට ඇමරිකානු ප්‍රහාර එල්ල කරන්නේ හෝ එම රටේම කොටස් ලවා රජයන් පෙරළවා තමන්ට හිතවත් රූකඩයෙකු පත් කිරීමට හෝ මොවුන් කටයුතු කරන්නේ ගෝලීය අධිරාජ්‍යය ගොඩනැගීමේ මෙම පුළුල් න්‍යායපත්‍රයට අනුකූලවමය. යුරෝපය හා ජපානය මෙන්ම සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල් පවා එම ගෝලීය අධිරාජ්‍යය ගොඩනැගීම සදහා සෑම පිටුවහලක්ම ලබා දෙන්නේ, ඒ ඔස්සේම තම තමන්ගෙ අනාගතය ගොඩනංවා ගැනීමේ අවබෝධයෙනි.

ලංකාවේ ත්‍රස්ත පුතා

ඇමරිකාවට ලංකාව වැදගත් වන්නේ ද මෙම සන්දර්භය තුළමය. එනම් තමන්ගේ ආධිපත්‍යය මෙම කලාපය තුල පැතිරවීම සදහා ලංකාවෙ පැවති ගැටළු මනා තෝතැන්නක් ලෙස ඔවුහු වටහා ගත්තේ මීට බොහෝ කලකට පෙරය. CIA සංවිධානය හරහා අල්කයිඩාවට මෙන්ම LTTE යටද ඔවුහු උදව් කළහ. ඉන්දියාවෙන් හා ලංකාවේ දමිල වෙල්ලාලයන් අතින් අවජාතක කෙරුනු ත්‍රස්තවාදය, ඉන්දියාවට වඩා බටහිරට මිතුරු ත්‍රස්තවාදයක් බවට පත් කර ගැනීමට ඔවුනට හැකි විය. එම වෙල්ලාලයන් ප්‍රභාකරන් විසින්ම ඝාතනය කළ අතර පසුව ඔවුනට ජීවත් වීමට නම් ප්‍රභාකරන්ගේ අණසකට යටත්ව සිටීමට සිදුවිය. සියළු අවාසි මධ්‍යයේ LTTE ය විසින් රජිව් ගාන්ධි ඝාතනය කෙරෙන්නේ ඇමරිකාවේ කොන්තරාත්තුවක් මත වීමට බොහෝ විට ඉඩ ඇත. ඉන් පසු පැමිණි ඉන්දියානු නායකයින් කටයුතු කළේ ඇමරිකාවෙ හිත නොරිදෙන පරිදි වන අතර ඔවුනොවුන් අතර මනා අවබෝධයකිනි. නැගී එන චීනය නිසා දෙරටටම එම අවබෝධය වැදගත් විය.

අපේ පෙර පිනකට ප්‍රභාකරන් නාහෙට නාහන කැළෑ සතෙකු විය. මිනී මැරීම මිස දේශපාලනය ඔහුට අවිෂය විය. බටහිරයන්ගේ බලපෑම් මත පැවැත්වු සෑම සාකච්චාවකින්ම LTTE නැගිට ගියේ මුලු ඊළමම එක වර ඉල්ලමිනි. ඔහු බටහිරයන්ට අවනත වී නම් මේ වන විට ඊළාම් රට බිහි වී බොහෝ කල්ය. යුද්ධ කිරීමට ඕන ගොනෙකුට හැකිය. එවන් යුද්ධයක් ලංකා රජය විසින් ආරම්භ කරනවාටද ඇමරිකාව අමනාප නොවීය. නාහෙට නාහන ප්‍රභාකරන් ලංකා රජය ලව්වාම දුර්වල කර ගත් පසු ඔහුගෙ නාහෙට තෝන් ලණුව දමා තද කර ගැනීමට ඇමරිකාව හා බටහිරයන් සිතන්නට ඇත. මෙතුවක් කලක් ලංකාවෙ යුද්ධ කළ ගොන්නුන්ට වඩා වෙනසක් මෙවර ඇති බව වටහා ගැනීම ඔවුන්ට අසීරු කාරණයක් නොවීය. තමන් විසින් කිරි පෙවූ ත්‍රස්තවාදය නමැති දරුවා මරණාසන්න වූ බව වටහා ගත් ඔවුන් එය එසේ නොවීම සඳහා අසාර්ථක වෑයමක නිරර්ථ විය. ලක් රජය ත්‍රස්තවාදයට යළි ඉඩක් නොතැබීමේ දැඩි අදිටනක සිට සෘජු තීරණ ගැනීමට නිර්භය විය.

වඩා දුර්වල කරවනු ලැබු එහෙත් ජීවත් වන ප්‍රභාකරන් කෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකාවට ප්‍රභාකරන් මිය යාම යනු ගෝලීය අධිරාජ්‍යය පුළුල් කරගැනීමට හා එය පවත්වා ගෙන යාම සඳහා තමන් විවර කර ගැනීමට සැළසුම් කර තිබු එක් දොරටුවක් වසා දැමීමක් විය. එසේ කිරීමට තරම් ලංකා රජය බටහිර බලපෑම් නොතකා උද්දච්ච වීම ලොව පුරා කුඩා රජයනට සැපයු ඉතා නරක පූරවාදර්ශයක් විය. එවන් වරදක් කර නිදහසේ සිටින්නට හැකි වීම ඊටත් වඩා බරපතල වැරදි ආදර්ශයකි. ගෝලීය අධිරාජ්‍යය ගොඩ නැගීමට එරෙහි පියවරක් ගන්නා ඕනැම පාලකයෙක් හා රටක් දෙස මෙම බලකාමී, ධනකාමි පාපිෂ්ට පිශාච අධිරාජ්‍යයා කරුණාවෙන් බලන්නේ නැත. මේ අකීකරු මිනිසුන් මට්ටු කිරීම ඔවුනගේ උපාය මාර්ගික ගමන් මගෙහි අනිවාර්ය අංගයකි. එසේ නොකිරීම යනු මිලියන ගණන් මිනිසුන් මරා දමමින් ඔවුන් යන ගමන් මගට හරස් වන්නන් අමතක කිරීම යන දුර්වල දේශපාලනයකි. අප පුදුම විය යුත්තේ ඔවුන් අපට නිදහසේ ඉන්න දෙනවා නම්ය. මේ මොහෙතේ ලංකාව ඔවුනට වැදගත් රටක් වීමට ආසන්නතම හේතුව මේ වෙයි.

මේ සියළු බලපෑම් එල්ල වන්නේ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමට යයි කීම ඉතා සරල කතාවකි. ඒ මඟින් ඇතැමුන් ඒ ඡන්ද ලබා ගන්නා බව ඇත්තක් වුවද, මේ බලපෑම් අපට එල්ල වන්නේ ඉහත කී සුවිසල් අධිරාජ්‍යය පවත්වා ගෙන යාමේ සුවිසල් ක්‍රමෝපායික සැළැස්මේම අංගයක් ලෙසින් විනා ඩයස්පෝරාවේ ඡන්ද ගැනීමට යයි පැවසීම පට්ටපල් කෙබරයකි. එය පාපිෂ්ට අධිරාජ්‍යයයා අහිංසක කර පෙන්වීමකි. ඩයස්පෝරා ගොඩනැංවීමද ඒ විසල් සැළැස්මේ ක්ෂුද්‍ර කොටසක් පමණි.

අපේ විදෙස් කටයුතු අමාත්‍යංශයද මේ ඩයස්පෝරා ඡන්ද කතාව කියන්නේ අනවබෝධය නිසාද නැතිනම් සත්‍යයම පැවසීම ඉහත කී රැවුලයි කැදයි දෙකම බේර ගැනීමේ ප්‍රතිපත්තියට හානිකර නිසාදැයි අපි නොදනිමු. එම සත්‍යය සඳහා ඕනෑ තරම් සාක්ෂි සාධක තිබියදීත් අපි එසේ නොකියන්නෙමු. නමුත් ඔවුනට ලක් රජය සිවිල් වැසියන් දස දහස් ගණනක් මරා දැමීයැයි අදහමින් ඒ මත ක්‍රියා මාර්ග ගැනීමට කිසිදු . පිළිගත හැකි සාධකයක් අවැසි නොවේ. එසේ මර දැමුනා යයි කියන අයගේ නම් ඔවුන් දන්නේ නැත. ඔවුනගේ නෑයන් කවුදැයි දන්නේ නැත. දින කීපයක් ඇතුළත මිය ගියා යයි කියන හතළිස් දහසකගේ මළ සිරුරු වළ දැමුවේ හෝ පිළිස්සුවේ හෝ කවුදැයි ඔවුන් දන්නේ නැත. ඉඩ ප්‍රස්ථාවක් ලත් විගස ත්‍රස්තයන්ගෙන් මිදී, ෂෙල් ප්‍රහාර එල්ල කෙරෙන හෝ කෙරුනු දිසාවට ලක්ෂ ගණන් මිනිසුන් පලා යාවිද? හතළිස් දහසක් වැනි පිරිසක් දින කීපයක් තුළ මිය ගියේ නම් රජයේ හමුදා දෙසට පැමිණි අයගේ අති මහත් බහුතරයකගේ පවුල් සාමාජිකයින් ඒ දින දෙක තුන ඇතුළත මිය ගොස් තිබිය යුතුය. එසේ නම් ඔවුන් හැඩූ කදුළෙන් සිටිය යුතුය. ඔවුන්ගේ මුහුණූ තුළ තිබුනේ සිය අසරණ දෛවවය පිළිබඳ අවිනිශ්චිතතාවක් විනා වියෝ වූ පවුල් සාමාජිකයින් පිළිබඳ හෙලන කඳුළු නොවේ යයි ඕනෑම බබෙකුට තේරුම් යා යුතුය. එය සත්‍යයක් නම් මිය ගිය අයගේ නම් ලයිස්තුවක් සාදා ඉදිරිපත් කිරීම මෙතෙක් සිදු නොවූ කටයුත්තක් නොවනු ඇත.

නමුත් මොවුන්ට සත්‍යයෙන් වැඩක් නැත. තම අභිප්‍රායයන් සපල කර ගැනීමට ඕනෑම මුසාවක් කිසිදු වෘතීයභාවයක් නැතිව මුත් වෘතීය ලෙසම ඉදිරිපත් කිරීමට ඔවුහු නොපැකිළෙති. වෘතීය මිනී මරුවන්ට වෘතීය මුසාව කජ්ජක්ද? නලින්ද සිල්වා ඇදුරුතුමා පෙන්වා දුන් පරිදි අපේ බොහෝ රාජතාන්ත්‍රිකයන් දන්නේ බටහිරයන් අහන ප්‍රශ්නවලට ඒ රාමුව තුළ සිට ගෙනම ඒවාට පිළිතුරු දීමට විනා මේ සරළ කරුණූ ඔවුනට පෙන්වා දීමට නොවේ.

පුතු නැසූ වාඩුව

ඇමරිකානු අධිරාජ්‍යයා ලංකාව මට්ටු කර්න්නේ කෙසේද? ඒ සඳහා ඇති හොඳම ක්‍රියා මාර්ගය නම් ලංකාව විසින් වසා දැමූ දොර නැවත විවර කර ගැනීමයි. මෙම අධිරාජ්‍යයා කිසි විටක එක ගලකින් එක් කුරුල්ලෙකු පමණක් පතන්නකු නොවේ.

කරන දෙයක් කිරීමට වඩාත් පහසු හා හිතකර වන්නේ, තමාගෙ නිකට පහළින් ලංකාව පිහිටා ඇති ඉන්දියාවේ ද සහයෝගයෙනි. ඉන්දියාවටත් ඇමරිකාවටත් එක ලෙස එකඟ විය හැකි අපූරු දේශපාලන ප්‍රපංචයක් ලාංකීය දේශපාලනය තුළ ඇත. ඒ අන් කිසිවක් නොව, ජේ ආර් ගෙ අදූරදර්ශී විදෙස් ප්‍රතිපත්තිය නිසා ලංකාවට තරවටු කර රජීව් ගාන්ධි විසින් බලෙන් ලබා දුන් දහතුන නමැති කාල බෝම්බයයි. ඉන්දියාවෙ පවතින අස්ථාවර ආණ්ඩුවත් දකුණු ඉන්දීය දේශපාලනයත්, දෙගොල්ලන්ගේම අභිලාෂයනුත් මනා ලෙස කළමනාකරණය කරමින් ඇමරිකාව 2012 දී ජිනීවාහිදි යුද්ධයෙන් පසු ලංකාවට එරෙහි ප්‍රථම ප්‍රසිද්ධ වෙඩි මුරය තැබීය. කුමන වේශයකින් පැමිණියත් මෙම යෝජනාවන්හි අභිප්‍රාය වූයේ ආණ්ඩුව ලවා දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම හා හැකිනම් ඉන් එහා යන බලය බෙදා දීමක් දක්වා යාමට මෙරට ආණ්ඩුව හිර කිරීමය. එසේ කළ පසු ඉතිරි හරිය සාක්ෂාත් කර ගන්නා ආකාරය ඔවුහූ දනිති.

යුද්ධයෙන් පසු දිගින් දිගටම ඇමරිකාවත් ඉන්දියාවත් උත්සාහ දැරුවේද දහතුන ක්‍රියාත්මක කරවීමටයි. නමුත් ලංකාව එම උගුලට කෙළින්ම පය තැබුවේ නැත. එසේම යුද්ධයෙන් පසුව තුනෙන් දෙකක බලයක් හිමි කරගත් ආණ්ඩුව දහතුන සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හෝ ඇබින්දක් හෝ සංශෝධනයටද නිර්භීත නොවීය. මෙහිදි අප අමතක නොකළ යුතු කාරණයක් නම් නන් දෙසින් ආණ්ඩුවට එක් වූවන් අතර, ඇති තරම් පෙඩරල් වාදීන් ද ඇත. ඔවුනට අනුව නම් ආණ්ඩුව බලය බෙදන දෙසට ගමන් කිරීම, ඇමරිකාවෙන් කීවත් නැතත් කළ යුතු දෙයකි. වඩාත් හාස්‍යයජක කාරණය නම් ඔවුන් තමන් අධිරාජ්‍යය විරෝධීන් ලෙසින් හඳුන්වා ගැනුමය. අධිරාජ්‍යය විරෝධින් ලෙස නළලේ ලේබල ලා ගැනීමට පෙර ඔවුන් කළ යුත්තේ අධිරාජ්‍යයවාදය ක්‍රියාත්මක වන ආකාරය මදක් අධ්‍යයනය කිරීමය.

උතුරු පළාත් සභා ඡන්දයට කළින් දහතුනෙහි විෂ දළ ගැලවිය යුතු බවට රට තුළින් පැන නැගි මතයට තමන් එකඟ බව පෙන්වමින්ම එම මතය යටපත් කර දැමීමේ ඉතා අපූරු දේශපාලන උප්පරවැට්ටියක් දමා උතුරේ ඡන්දය දහතුනෙහි විෂ දළ තබා පණු දතක්වත් නොසොල්වාම පැවැත්වීමට රජය කටයුතු කළේය. බෙදුම්වාදය පරාජය කළ හැක්කේ බෙදුම්වාදීනට ඉඩ නොදීමන් බව රජය නොදන්නවා විය නොහැකිය. ඒ දෙසට ගමන් කිරීම යනු නැවතත් ජාතීන් අතර බෙදීම් මානසිකත්වය ඇතිකර ස්වභාවිකවම ඉදිරියේදි ඇතිවන්නට නියමිතව තිබූ මිතුදමට තිත තබා නැවත වෛරය වැපිරවීමට ඉඩ හැරීමකි.

නමුත් එය එසේ සිදු වන්නට ඉඩ හැරියේ කිසිදු කරුණක් නිස නොව, ඉන්දියාව හා බටහිරයන් උරණ කර ගතහොත් තත්වය අසීරු වනු ඇති බවට රජයට වූ තක්සේරුව නිසා බව තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවැසි නොවේ. යුද්ධයෙන් පසු රජය අනුගමනය කළේ රැවුලයි කැදයි දෙකම බේරා ගැනීමේ පිළිවෙතකුයි. අප මොන දේ කළත් නොකළත් පෙර කී පරදි ඔවුනගේ ත්‍රස්ත පැටියා මරා දැමීමේ වාඩුව අධිරාජ්‍යයයා නමැති මහ ත්‍රස්තයා විසින් ගනු ඇති බවක් රජය නොඇදහුයේය. එයට මුහුණ දීමට සූදානම් වනු විනා එය සංහිඳවිය නොහැකි බව රජය කල්පනා කළ බව සිතීම උගහටය.
තර්ජනයට ලක් වී එයට මුහුණ දීමට වඩා දුර්දාන්ත අන්තයකි ඔවුන් පිනවන්නට යාමෙන් අත්වන්නේ. යුද්ධයෙන් පසු බටහිරයන්ගේ උදහසට ලක් නොවී සිටිනු වෙනුවෙන් දහතුනෙහි විෂ දළ නොගැලවීමෙහි විපාක විදින්නට සිදුවන්නේ ඉදිරියේදීය.

මෙවර ජිනීවා සමූළුවෙන් පසු යුධ අපරාද චෝදනා ගොනු කිරීමට මං විවර කර ගැනුමට මෙන්ම සම්බාධක බිල්ලා පෙන්වමින් රජය, මෙරට තුල අප්‍රසාදයට පත්කිරිමටත් ඔවුන් කටයුතු කරනු ඇත. රජයේ සිටින බඩ ගෝස්තර වාදි ඇමතියන්ගේ ක්‍රියාකලාපයන්ද ඒ සන්දර්භය තුලදී රජය වඩා වේගයෙන් අප්‍රසාදයට පත් කෙරුමට ඉවහල් වනු නොඅනුමානය. ඒ තුල කුමන ආණඩුවක් ඉදිරියේදි බලයට ආවත් එය ප්‍රබල බහුතරයක් නොමැති ආණ්ඩුවක් බවට පත් කර ගැනුම අධිරාජ්‍යවාදීන්ගේ අරමුණයි. එවිට රජුන් තනන්නන් බවට පත් වන්නේ අන් කවරෙකුවත් නොව දෙමළ සන්ධානයයි. එය එජාපය සමඟ වුවත් ශ්‍රීලනිපය සමඟ වුවත් කම් නැත. දහතුනට නමැති කාල බෝම්බය නිෂ්ක්‍රිය නොකිරීමේ විපාක පඬිසන් දෙන්නේ එදාටය. සිංහලයන්ගේද විශ්වාසය දිනා සිටින වත්මන් ආණ්ඩුවම සුළුතර ආණ්ඩුවක් බවට පත් කර ගෙන ඔවුන්ව හැසිරවීමේ වරමක් දෙමළ සන්ධානයට ලබා දීම අධිරාජ්‍යය වාදීන් බලාපොරොත්තුවන නියම තත්වය විය හැකිය. ඒ මඟින් අප්‍රසාදයට පත් වන මහින්ද රාජපක්ෂයන් යුධ අධිකරණයක් වෙත රැගෙන යන විට මෙරට ජනතාවත් එය ඉතා ඉක්මණින් අමතක කර දමා "එයා වරද්ද ගත්තා" යයි කියනු දැකීම එහි දෙවන පියවර විය හැකිය. ඒ වන විට මෙහි ඇත්තේ තවත් ලිබියාවකි. ඒ ඇමරිකානු හා බටහිර පැතුමයි.

දේශපාලන සන්දර්භයෙහි නොපිහිටන ආර්ථිකය

පවතින දේශපාලන සන්දර්භයෙන් විනිර්මුක්තව අපට ආර්ථික ප්‍රතිපත්තීන් සැකසිය නොහැක.

කරුණු මෙසේ නම් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු අප අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය බටහිරට වඩ වඩාත් ගැට ගසනු ලැබූ එකකට වඩා ඒ මත ඇති රැදීම අවම කෙරෙන අතට සැකසිය යුතුව තිබිනි. නමුත් පසු ගිය කාලයේ ඉදිරිපත් වුනු කිසිදු අයවැයක් තුළ අපගේ අපනයන වෙළදපල විවිධාංගීකරණය කර ගැනුම සඳහාවත් කිසිදු සැළසුමක් නොවීය. අපනයනයන්ගෙන් 20%ක් පමණ ඇමරිකාවටත්, 40% ක් පමණ යුරෝපා සමුළුවේ රටවල් වෙතත්ය. සංචාරක කර්මාන්තය මත හා විදෙස් ආයෝජන මත රදන ආර්ථිකයකින් ඈත්වීම කෙසේ වෙතත්, මෑත්වීමවත් විය යුතුව තිබුනද ආරථික සැළසුම් සැකසුනේ ඒවාට අති මහත් බරක් ලබා දෙමිනි.

බහුජාතික සමාගම්වල අමනුස්ස කමට යටව ඇති ගොවිතැන වෙනුවට හෙළ ගොවිතැන දෙස අපට නැවත හැරී බැලීමට අවස්ථාවක් දැන් උදා වී ඇත්තේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සියළු බාධක මැද කැප වුනු මිනිසුන් කිහිප දෙනෙකුගේ අධිෂ්ටානය නිසාය. පමාවී හෝ රජයේ අවධානය ඒ වෙත යොමු වී ඇත. අප කළ යුත්තේ බටහිටරට ගැට ගැසීම නොව, සම්බාධක ආවත් නාවත් එවැන්නකට මුහුණ දිය හැකි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමය. සම්බාධක වලින් බේරීමට අනුවණ උපාය මාර්ග තෝරනවාට වඩා අප යථාර්ථයට මුහුණ දිය යුතුය. අපි නිවැරදි වැඩ පිළිවෙලක් වෙත යොමු වන්නේ නම් එයට මුහුණ දීම එතරම් ගැටළුවක් නොවනු ඇත. දැනටත් අප පමාවූවානම් වැඩිය. ගුණදාස අමරසේකරයන් මීට වසර කිහිපයකට පෙර 'මේ අන්තිම අවස්ථාවයි' නමැති ලිපියකින් මේ අවශ්‍යයතාව අවධාරණය කළ බව අපට මතකය.




-ලසන්ත වික්‍රමසිංහ

යුතුකම සංවාද කවය

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions