2/06/2014

කෘෂිකාර්මික වකුගඩු රෝගයේ අභිරහස හෙළි වේද?

කතෘ:යුතුකම     2/06/2014   2 comments



අදින් වසර 4කට පමණ එපිට සමාජයේ එතරම් කතා බහට ලක්‌ නො වූ, වැඩි දෙනකු නො දැන සිටි වකුගඩු රෝගයක්‌ ගැන අද බොහෝ දෙනකු කතා කරනු දක්‌නට ලැබේ. එපමණක්‌ නො ව එකී රෝගය සහ ඊට හේතු කාරණා වන දේ ගැන සංවාදය දලු ලා වැඩී නැ`ගී යනු දක්‌නට ලැබේ. මෙකී ප්‍රස්‌තූත වකුගඩු රෝගය ගැන මුල් වරට ලිත සාක්‍ෂියක්‌ හමු වන්නේ 1993-94 කාලයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම්වරයා තැබූ සටහනකිනි. තම බල ප්‍රදේශයේ පිරිමි ගොවීන් කිහිප දෙනකු ශරීරය ඉදිමෙන රෝගයකින් මිය යන බව හෙතෙම තම ඉහළ නිලධාරීන්ට දන්වා යවා ඇත. ඒ අනුව සිදු කළ පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ වකුගඩු රෝගී වීම, ඇඟ ඉදිමීමටත් මරණයටත් හේතු වී ඇති බවයි.


මේ රෝගය කෙරෙහි මුල් වරට සමාජයේ පෙර නො වූ විරූ අවධානයක්‌ යොමු වන්නේ 2008 වසරේ දී ඉරිදා දිවයින, විදුසර සහ The Island පුවත්පත්වල පළ වූ ලිපියක්‌ හේතුවෙනි. උතුරුමැද සහ තදාසන්න ප්‍රදේශවල මේ වකුගඩු රෝගයට ගොදුරු වන ගම්මාන සියල්ලක්‌ ම පාහේ එවකට කොටි ත්‍රස්‌තවාදීන් ගේ සෘජු බලපෑමට යටත් ව තිබූ සිංහල ගම්මාන ම බව එහි දී මා විසින් පෙන්වා දෙනු ලැබිණි. එම ලිපිය පෙර කී පුවත්පත්වල විශේෂයෙන් "ඉරිදා දිවයින" පුවත්පතේ පළ වීම හේතුවෙන් බොහෝ දෙනකු ගේ අවධානය ඒ කරා යොමු විය. ත්‍රස්‌තවාදීන් සිය ම්ලෙච්ඡ අරමුණු සාක්‌ෂාත් කරගැනීම උදෙසා සිදු කළ ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙස මේ රෝගය හටගත්තේ ද යන්න කුකුසක්‌ විය. මේ ලිපිය ඉරිදා දිවයින පුවත්පතේ පළ වී දින දෙකකට පසු අනුරාධපුර-සාලියපුර වෛද්‍ය පීඨයට ජනාධිපතිතුමා සිය විශේෂ නියෝජිතයකු ලෙස (පසුව අභාවප්‍රාප්ත වූ) ලක්‌ෂ්මන් ජයකොඩි මහතා සහ තවත් නියෝජිතයකු ඒaවා මේ වැඩිදුර පැහැදිකිරීමක්‌ ලබාගෙන විශේෂ පණිවිඩයක්‌ ද ලබා දෙනු ලැබී ය. ඒ අනුව 2010 වසරේ දී උතුරුමැද පළාතේ පැතිර යන මේ අභිරහස්‌ වකුගඩු රෝගයට දේශපාලනික අවධානයක්‌ ලබා දීමට අපට හැකි විය.


ආරම්භයේ සිට ම මගේ නිරීක්‍ෂණයක්‌ වූයේ කිවුල් වතුර පානය කරන ගොවි මහතුන්ට මේ රෝගය වැළඳීමේ ප්‍රවනතාව වැඩි බවයි. කිවුල යනු ජලයේ දිය වී ඇති කැල්සියම්, මැග්නීසියම්, ස්‌ට්‍රොන්චියම් වැනි ලෝහවල ලවණ හේතුවෙන් හටගන්නා තත්ත්වයකි. වතුර වීදුරුවේ සුදු පාට පටලයක්‌ ලෙස බැඳෙන්නේත්, වතුර උණු කරන භාජනවල අඩියේ ඝනකමට බැඳෙන්නේත්, නාන කාමරවල සහ වැසිකිළිවල තද පැල්ලම් ලෙස තැන්පත් ව පසුව පතුරු ගැලවී යන මට්‌ටමට වර්ධනය වන්නේත් කිවුලයි.

කෙසේ වෙතත් දැනට අප සතු වන බටහිර විද්‍යාත්මක දැනුමට අනුව කිවුල නිසා මනුෂ්‍ය වර්ගයාට කිසිදු රෝගයක්‌ හට නො ගනී. හමේ ඇති වන දද තත්ත්ව උග්‍ර කිරීමට කිවුල් වතුර හේතු වන බවට නිරීක්‍ෂණය ඇතිවා මිසක වකුගඩු හෝ වෙනත් අභ්‍යන්තර අවයවයක රෝගී තත්ත්වයක්‌ ඇති කිරීමට කිවුල හේතු වන බවට කිසිදු සාධකයක්‌ නැත. එපමණක්‌ නො ව කිවුල් ජලය නිසා හෘදයට සහ එහි ක්‍රියාකාරීත්වයට සුබදායී බලපෑමක්‌ ඇති බවට ද මත පළ වී ඇත.

කිවුල් ජලය පානය කරන අයට රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගය වැළඳෙන බව හුදු නිරීක්‍ෂණයක්‌ ම පමණක්‌ විය. එයට නිසි ජවයක්‌ ලැබී රටේ මාතෘකාවක්‌ බවට පත් වූයේ "ආසනික්‌" සමඟ ය. කෘෂි රසායන ද්‍රව්‍ය ම`ගින් එකතු වන ආසනික්‌ වකුගඩු රෝගය ඇති කිරීමට ප්‍රබල දායකත්වයක්‌ දෙන බවට අදහසක්‌ ප්‍රකාශ කළේ ප්‍රියන්තා සේනානායක මහත්මියයි. ඒ හෝඩුවාව ඔස්‌සේ සිදු කළ අධ්‍යයන හරහා කෘෂි රසායන ද්‍රව්‍යවල හලාහල විෂක්‌ වන ආසනික්‌ ඇති බවත්, එමතු නො ව එම කෘෂි රසායන ද්‍රව්‍ය යොදන සියලු වගාවන්හි ඵලදාවේ ආසනික්‌ ඇති බවත් රජරට ජනතාව ගේ මුත්‍රා, නියපොතු හා හිසකෙස්‌වල ආසනික්‌ ඇති බවත් මිය ගිය වකුගඩු රෝගීන් ගේ අභ්‍යන්තර අවයවවල ද ආසනික්‌ ඇති බවත් පෙන්වා දීමට අපට හැකි විය.

සේනානායක මහත්මිය ගේ අදහස අනුව පර්යේෂණ සිදු කර ආසනික්‌ හමු වීමත් සමග උතුරුමැද තදාසන්න ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට ආසනික්‌, කිවුල් ජලය සහ රජරට ප්‍රදේශයේ දක්‌නට ලැබෙන වැඩි ආසනික්‌ ප්‍රමාණයක්‌ රඳවාගත හැකි යකඩ බහුල පස හේතු වන බව සූත්‍රගත කළෙමි.

මේ සමග රටේ දැනුම් තේරුමක්‌ ඇති කියවන අය අතර මෙන්ම මහජනතාව අතර ද "ආසනික්‌" ගැන ප්‍රබල සංවාදයක්‌ ජනිත විය. කෙසේ වෙතත් මේ සූත්‍රගත කිරීමේ ප්‍රබල අඩුපාඩු කිහිපයක්‌ ඇති බව කල් ගත වන විට අපට අවබෝධ විය. විශේෂයෙන් ම අන්තර්ජාතික තලයේ වකුගඩු රෝග සහ විෂ විද්‍යාව පිළිබඳ බුද්ධිමතුන් සමග සංවාදයේ දී අපට පිළිතුරු දිය යුතු ම ප්‍රශ්න කිහිපයක්‌ ඉදිරිපත් විය. ඉන් ප්‍රධාන එකක්‌ වූයේ ජලයේ ඇති ආසනික්‌ සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය ප්‍රමාණය මෙවන් දරුණු රෝගයක්‌ හටගැනීමට තරම් ප්‍රමාණවත් ද යන්නයි. අනෙක, ආසනික්‌ සිරරට ඇතුළු වූ පසු සාමාන්‍යයෙන් දරුණු ම හානිය සිදු කරන්නේ අක්‌මාවට ය. එහෙත් මේ වකුගඩු රෝගීන් අති බහුතරයක ගේ අක්‌මාවට සිදු ව ඇත්තේ අවම හානියකි. අක්‌මාවට අවම හානියක්‌ සිදු කරමින් වකුගඩුවලට මෙතරම් ප්‍රබල හානියක්‌ සිදු කිරීමට ආසනික්‌ සහ අනෙකුත් විෂවලට (විශේෂයෙන් බැර ලෝහ) හැකියාවක්‌ ලැබුණේ කෙසේ දැයි පැහැදිලි කිරීමට අපට සිදු විය.

මේ අතර "ආසනික්‌ ගමන" ආසනික්‌ ම වූවක්‌ විය. ඇතැම්හු එය තමන් ගේ වාසියට, ප්‍රසිද්ධියට යොදාගත් හ. ඇතැම්හු ආසනික්‌ ගැන කතා කිරීමට ගොස්‌ පස්‌ස බිම ඇනගත් හ. තවත් සමහරක්‌ එල්ල වූ පීඩනය දරා ගැනීමට නොහැකි ව ඉවත් වූ හ. කිවුල, ආසනික්‌ හැරුණු විට තවත් රසායනයක්‌ මේ ක්‍රියාවලියේ දී අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටු කරන බව හැඟී ගිය ද එය කුමක්‌ දැයි අනාවරණය කර ගැනීමට තවත් වසර 2ක්‌ පාරමීදම් පිරීමට අපට සිදු විය. අවසානයේ එය හමු විය. එහෙත් ඒ සමග අප හමුවේ ඇත්තේ ආසනික්‌වලටත් වඩා බැරෑරුම් වූ සටනකි. අභියෝගයකි.

ප්‍රියන්තා සේනානායක මහත්මියටත්, මටත් ආධාරයට මෙවර මුණ ගැසුණේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා ය. හෙතම ශ්‍රී ලාංකිකයකු විදෙAශයක වෛද්‍ය විද්‍යා ක්‌ෂේත්‍රයේ දරන ඉහළ ම තනතුරකට හිමිකම් කියයි. එතුමා ගේ මැදිහත් වීමෙන් පසුගිය මාස කිහිපයක කාලයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කටයුතුවලට සහභාගී වීමට මට අවස්‌ථාව හිමි විය. ඒ තුළින් අප සතු වූ අනුමානය, සැකය නිවැරැදි බවත් මෙකී රසායනික ද්‍රව්‍යය කුමක්‌ දැයි නිවැරැදිව ම හඳුනාගැනීමටත් අපට හැකි විය.

තවත් සගවන්නට දෙයක්‌ නැත. මේ රසායන ද්‍රව්‍යය "ග්ලයිපොසේට්‌" ය. එය වර්තමානයේ ලෝකයේ වැඩියෙන් ම භාවිත වන වල්නාශකයයි. ලොව භාවිත වන සියලු පළිබෝධනාශක සැලකුව ද ඊට වඩා වැඩි ග්ලයිපොසේට්‌ ප්‍රමාණයක්‌ භාවිත වේ. 2012 වර්ෂයේ දී ලංකාවට ග්ලයිපොසේට්‌ කිලෝ පනස්‌ තුන් ලක්‍ෂයක්‌ ගෙන්වා ඇත. එය එම වසරේ දී ලංකාවට ගෙන්වූ සමස්‌ත පළිබෝධනාශකවලින් 51%කි. බටහිර කෘෂි විද්‍යාඥයන්ට අනුව ග්ලයිපොසේට්‌ යනු නූතනත්වයේ රසායනයයි. මුළු මහත් බටහිර ශිෂ්ටාචාරය ඔසවා තැබූ රසායන ද්‍රව්‍යයයි. එසේ කීමට ඔවුන්ට හේතු රැසකි. ග්ලයිපොසේට්‌ යනු පූර්ණ වල් නාශකයකි. වකර යෙදූ පසු කොළ පැහැයට ඇති සියලු ශාක විනාශ වේ. බටහිර ශිෂ්ටාචාරය සොයාගත් සියලු පළිබෝධනාශක පළමු වසර 10-20 ඇතුළත දී ම පරිසරයට, මිනිසාට ප්‍රබල අවදානමක්‌ ඇති කරන බව ඔප්පු කිරීමට තරම් සාධක විද්‍යාඥයන් සතු විය. එහෙත් ග්ලයිපොසේට්‌ භාවිතයට පැමිණ 40 වසරක්‌ ගත වුව ද එම`ගින් සැලකිය යුතු සෞඛ්‍ය හෝ පරිසර හානියක්‌ වන බවට පෙන්වා දීමට විද්‍යාඥයන් අපොහොසත් ව ඇත. ග්ලයිපොසේට්‌ යනු ග්ලයිසීන් නම් ස්‌වාභාවික ඇමයිනෝ අම්ලයේ සුළු වෙනස්‌කමකින් ඇති කළ කෘත්‍රිම රසායන ද්‍රව්‍යයකි. ඇමිනෝපොස්‌පොනික්‌ හෝ ඇමිනෝපොස්‌පොනේට්‌ යන රසායනික නමින් හඳුන්වයි. එහි ව්‍යqහය සරල ය. එහි කාබොක්‌සිලික්‌, ඇමිනෝ සහ පොස්‌පොනික්‌ ලෙස ක්‍රියාකාරී කාණ්‌ඩ 3කි.

සාමාන්‍ය තත්ත්ව යටතේ දින හෝ සති කිහිපයකින් ග්ලයිපොසේට්‌ වියෝජනය වී ඇමෝනියම් අයන, කාබන්ඩයොක්‌සයිඩ් සහ ග්ලයිසීන් බවට පත් වේ.

මේ සියල්ල ස්‌වාභාවික පරිසරයේ ඇති ඒවා ය. එහෙයින් මේවා අමුතු විෂක්‌ ඇති නො කරයි. බැලූ බැල්මට ඉතා ම සුදුසු, හානියක්‌ නැති, පරිසර හිතකාමී වල් නාශකයකි. එසේ නම් ග්ලයිපොසේට්‌ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට සම්බන්ධ වන්නේ කෙසේ ද? එය හමු වන්නේ ග්ලයිපොසේට්‌ ඉතිහාසයේ ය. සැඟවුණු ඉතිහාසයේ ය.

ග්ලයිපොසේට්‌ රසායනය වල්නාශකයක්‌ ලෙස ඇමෙරිකා එක්‌සත් ජනපදයේ දී පේටන්ට්‌ අයිතිය ලබා ගන්නේa 1969 ජුලි මස 15 දින ය. (පේටන්ට්‌ අංක 3455675). ඒ මොන්සැන්ටෝ සමාගම විසින් ය. එහෙත් මේ සොයාගැනීමට පෙර 1964 දෙසැම්බර් මස 8 වැනි දින ස්‌ටෝපර් රසායන සමාගම අංක 3160632 යටතේ පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබා ගෙන තිබිණි. පසුව එය මොන්සැන්ටෝ සමාගම මිල දී ගෙන වල්නාශකයක්‌ ලෙස යළි පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත. 1964 දී නිව්යෝක්‌හි ස්‌ටෝපර් රසායන සමාගම මේ රසායනික සංයෝගයට පේටන්ට්‌ බලපත්‍රයක්‌ ලබාගෙන ඇත්තේ වෙනත් සංයෝග ඉවත් කරන, පිරිසිදු කරන රසායන සංයෝගයක්‌ ලෙස ය. කොටින් ම එය යොදාගෙන ඇත්තේ ගෙදරදොර නාන කාමරවල පයිප්ප සහ වතුර ටැංකිවල කිවුල ඉවත් කරන රසායනයක්‌ ලෙස ය. ග්ලයිපොසේට්‌වල ඇති විශේෂත්වය කිවුල සමග ඉතා පහසුවෙන් සම්බන්ධ වී, සංයෝග වී කිවුල ඉවත් කිරීමයි. පසුව රසායන විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ කැල්සියම්, මැග්නීසියම් සහ අනෙකුත් ලෝහ අයන රඳවාගැනීමට ග්ලයිපොසේට්‌ සතු ව සුවිශේෂි හැකියාවක්‌ ඇති බවයි. වඩා වැදගත් ම කාරණය කිවුල හෝ වෙනත් ලෝහ අයන සමග සම්බන්ධ වූ විට ග්ලයිපොසේට්‌ සාමාන්‍ය ආකාරයට වියෝජනය නො වී ඉතා ස්‌ථායි ලෙස වසර ගණනාවක්‌ රැඳී තිබීමයි. වල් නාශකයක්‌ ලෙස ග්ලයිපොසේට්‌ යොදාගැනීමේ දී මේ ප්‍රශ්නය මතු ව ඇත. කිවුල සහිත ජලය ග්ලයිපෝසේට්‌ දිය කිරීමට යොදාගත් විට අපේක්‌ෂිත ප්‍රතිඵල ලැබී නැත. ඊට හේතුව කැල්සියම් ග්ලයිපොසේට්‌/මැග්නීසියම් ග්ලයිපොසේට්‌ ඇති වීමත් ඒවා වල් නාශක ගුණයෙන් තොර වීමත් බව සොයාගෙන ඇත. මෙය ජය ගැනීම සඳහා ද විද්‍යාඥයෝ ක්‍රමයක්‌ හඳුන්වා දුන් හ. එනම් ඇමෝනියම් ලවණයක්‌ ග්ලයිපොසේට්‌ සමග යොදාගැනීමයි. එවිට ඇති වන ම`ද ආම්ලික තත්ත්ව යටතේ ග්ලයිපොසේට්‌, කැල්සියම් සමග සංයෝජනය නො වන බව හඳුනාගෙන ඇත. මේ ගැන දිගින් දිගට ම පර්යේෂණ පවත්වා ඇති පර්යේෂකයෝ කැල්සයිම්-ග්ලයිපොසේට්‌ රසායනයේ ව්‍යqහය නිර්ණය කළ හ. ඒ අනුව එක්‌ ග්ලයිපොසේට්‌ අණුවක්‌ සමග කැල්සියම් හෝ වෙනත් ලෝහ අණු විවිධ අනුපාතවලට සංයෝජනය වෙමින් ත්‍රිත්ව සහ චාතුර්ථක ලිගන්ඩ (Tridentate and Tetradentate ligand) ඇති කරන බව නිර්ණය කර ඇත.

කෙසේ වෙතත් මොන්සැන්ටෝ සමාගම වල්නාශකයක්‌ ලෙස ග්ලයිපොසේට්‌ භාවිත කරන විට ඇති වන මේ තත්ත්වය පිළිබඳ කරුණු කිසි පාරිභෝගිකයන්ට හෙළිදරව් නො කිරීමට වග බලාගෙන ඇත. ග්ලයිපොසේට්‌ සතු අසාමාන්‍ය රසායන ක්‍රියාකාරීත්වය නිසා ලෝහ, බැර ලෝහ සහ අර්ධ ලෝහ රඳවා ගැනීමේ සුවිශේෂී ශක්‍යතාවකින් එය හෙබි ය. කිවුල යනු කැල්සියම් සහ මැග්නීසියම් නිසා හටගන්නකි. කිවුල් ජලය ස්‌වාභාවිකව ඇති තැනක ග්ලයිපොසේට්‌ යෙදීමෙන් ඒවා පහසුවෙන් කිවුල සමග සංයෝග වී සාමාන්‍ය වියෝජනයකට ලක්‌ නො වී දීර්ඝ කාලයක්‌ රඳා පවතියි. රසායනික පොහොර සහ පළිබෝධනාශක ආසනික්‌, කැඩ්මියම්, ක්‍රෝමියම්, නිකල් වැනි අර්ධලෝහ (ආසනික්‌ යනු අර්ධ ලෝහයකි) සහ බැර ලෝහවලින් යුක්‌ත අවස්‌ථාවක එම ලෝහ ග්ලයිපොසේට්‌ සමග පහසුවෙන් සංයෝජනය වේ. ලංකාවේ භාවිත වන ආනයනික පොස්‌පේට්‌ පොහොරවල ඉහළ ප්‍රමාණයක්‌ ආසනික්‌, කැඩිමියම්, ක්‍රෝමියම්, නිකල්, ඊයම් අඩංගු බව මේ වන විටත් තහවුරු කරගෙන ඇත. පොස්‌පේට්‌ පොහොර වැඩියෙන් ම භාවිත වනුයේ වී සහ උක්‌ වැනි තෘණ කුලයේ භෝග වගාවන්ට ය. ලංකාවේ වී වගා කරන ප්‍රදේශවල මේ හේතුවෙන් අධික විෂ ලෝහ ප්‍රමාණයක්‌ පොළොවට එක්‌ වේ. කිවුල සහිත භූගත ජලය ඇති ප්‍රදේශවල රසායනික පොහොරත්, පළිබෝධනාශකත් යෙදූ විට ඉන් එක්‌ වන විෂ ලෝහ, ග්ලයිපොසේට්‌ සමග මනාව සංයෝජනය වී දීර්ඝ කාලයක්‌ රැඳී පවතියි.

මේ ආකාරයට කිවුල, බැර ලෝහ, ආසනික්‌ සහ ග්ලයිපොසේට්‌ එක්‌ ව තනන රසායනික දැලිස (රූපය බලන්න) පිළිබඳ මූලික හඳුනාගැනීම මේ වන විටත් අප විසින් සිදු කරනු ලැබ ඇති අතර ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බුද්මය දේපළ නීතිය යටතේ එහි හිමිකම අපට ලැබී ඇත. මේ සොයාගැනීමත් සමඟ මෙතෙක්‌ කල් පිළිතුරු දීමට නොහැකි ව තිබූ හෝ අර්ධ වශයෙන් පිළිතුරු දුන් ප්‍රශ්නවලට මනා ලෙස පිළිතුරු දීමේ හැකියාවක්‌ අප ලබාගෙන ඇත.

පානීය ජලයේ ආසනික්‌ සහ වෙනත් වකුගඩුවලට විෂ ලෝහ අවම සාන්ද්‍රණයෙන් පැවතිය ද ඒවා ග්ලයිපොසේට්‌ සමඟ සංයෝග ව ඇති විට ලෙහෙසියෙන් සිරුරට අවශෝෂණය කරගනී. සාමාන්‍යයෙන් ආසනික්‌ වැනි විෂක්‌ ආහාර මාර්ගය ඔස්‌සේ අවශෝaෂණය කළ විට සිදු වන්නේ "මෙටලෝතයොනීන්" නම් සිස්‌ටීන් -ඇමිනෝ අම්ලය බහුල ප්‍රොaටීනයකට බැඳී විෂ හරණ ක්‍රියාවලියකට අක්‌මාව කරා රැගෙන යැමයි. සිස්‌ටීන් සහ ග්ලියිසීන් රූපීයව බොහෝ සමාන ගුණ ඇති ඇමිනෝ අම්ල 2කි. ග්ලයිපොසේට්‌ යනු ග්ලයිසීන් විකරණයෙන් ලබාගත් රසායනයකි. මේ නිසා ආසනික්‌ හෝ වෙනත් බැර ලෝහයක්‌ ග්ලයිපොසේට්‌ සමඟ බැ`දී ඇති විට එයට සිස්‌ටීන් බහුල මෙටලෝතයෝනීන් ප්‍රොaටීන සමඟ බැ`දීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලය වන්නේ අක්‌මාව පසු කරගෙන "ග්ලයිපොසේට්‌-ලෝහ" සංයෝගය වකුගඩු වෙත ළ`ගා වීමයි. වකුගඩු වෘක්‌කාණුවක අවිදුර සංවලිත නාළිකාවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි දී ඇමෝනියම් අයන බහුල ලෙස ස්‍රාවය කෙරේ. එවිට "ග්ලයිපොසේට්‌ -ලෝහ" සංයෝගය ඉහළ ඇමෝනියම් සාන්ද්‍රණය හමුවේ බිඳ වැටී ආසනික්‌ සහ බැර ලෝහ නිදහස්‌ කරයි. එනම් ග්ලයිපොසේට්‌ යනු ආසනික්‌ සහ බැර ලෝහ වකුගඩු කරා

රැගෙන යන වාහකයා ය. කෘෂි විද්‍යාඥයන් ග්ලයිපොසේට්‌-කිවුල සංයෝගය බිඳ දැමීමට හෝ නිපැදවීම වැළැක්‌වීමට යොදාගත් උපක්‍රමය ස්‌වාභාවික ලෙස වකුගඩුවේ දී ක්‍රියාත්මක වේ.

තව ද ග්ලයිපොසේට්‌ ඉසීම සිදු කරන ගොවි මහතුන් ගේ ශ්වසන මාර්ගය සහ සම ඔස්‌සේ ද ඒවා අවශෝෂණය විය හැකි ය. ආහාර සහ විශේෂයෙන් දුම්කොළ ඔස්‌සේ (බුලත් සමඟ සැපීමට ගන්නා) ශරීරයට එකතු වන බැර ලෝහ සහ ආසනික්‌ රුධිර සංසරණයේ දී ග්ලයිපොසේට්‌ සමඟ බැඳී වකුගඩු වෙත ළ`ගා විය හැකි ය. ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ සහ වන්නි ප්‍රදේශයේ ද භූගත ජලය අධික කිවුලෙන් යුක්‌ත ය. එහෙත් මේ වන තෙක්‌ එම ප්‍රදේශවලින් මේ සුවිශේෂී වකුගඩු රෝගීන් වාර්තා වන්නේ ඉතා අවම ලෙස ය. නැත හොත් වර්තා වන්නේ ම නැත.

ඊට හේතුව නම් කිවුල් ජලය භාවිත කළ ද තිස්‌ වසරක්‌ පැවති ත්‍රස්‌තවාදී ප්‍රශ්නය නිසා ග්ලයිපොසේට්‌ සහ බැර ලෝහ එක්‌ වීමට හේතු වන කෘෂි රසායන එම ප්‍රදේශවල භාවිත නො කිරීමයි.

මේ සමඟ ම රජරට ප්‍රදේශයේ ළිsංවල ජලය එන්න එන්න ම කිවුල් ගතියෙන් වැඩි වීම ද අපට පැහැදිලි කළ හැකි ය. මෙය කෙතරම් ප්‍රශ්නයක්‌ ද යත් අද ඇතැම් ගොවි ගම්මානවල බීමට ජලය ගත හැකි ළිං ප්‍රමාණය 1කට හෝ 2කට සීමා වී ඇත. ගැමියන් පවසන්නේ අවසන් වසර 20ක පමණ කාලයේ ළිංවල ජලය කිවුල් ගතියෙන් වැඩි වන්නට වූ බවයි. මීට හේතුව ස්‌වාභාවික කිවුලට අමතරව ග්ලයිපොසේට්‌ හා ලෝහ බැර ලෝහ ටිකෙන් ටික එකතු වීමෙන් හටගත් කෘෂි රසායන කිවුලයි. සාමාන්‍ය ජනතාවට දැනෙන එක ම දෙය වතුරේ කිවුල් රස වැඩි වීමයි.

ඊළඟට අප මුහුණ දුන් අභියෝගය වූයේ රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් පානයට ජලය ලබාගන්නා ළිංවල ග්ලයිපොසේට්‌ -ලෝහ/බැරලෝහ/ආසනික්‌ සංයෝගය ඇති බව පෙන්වීමයි. මුළු ලෝකයේ ම ග්ලයිපොසේට්‌ විශ්වසනීය ලෙස නිර්ණය කළ හැකි විද්‍යාගාර ඇත්තේ කිහිපයකි. අසාමාන්‍ය අයනික ස්‌වභාවය, ඉහළ ධ්‍රැවීයතාව, ඉහළ ජලද්‍රාවීයතාව, කාබනික සංයෝගවල ද්‍රාව්‍ය නො වීම නිසා මෙන්ම වෙනත් සංයෝග සමඟ පහසුවෙන් සංයෝජනය වීමේ ගුණය නිසා ද ග්ලයිපොසේට්‌ විද්‍යාගාරයක දී නිර්ණය අපහසු ය. ග්ලයිපොසේට්‌-ලෝහ/බැර ලෝහ සමඟ සම්බන්ධ වී ඇති විට කිසිසේත් ම සාමාන්‍ය විශේලේෂණ ක්‍රම යොදාගත නොහැකි බව මෑතක දී ස්‌පාඤ්ඤ සහ ප්‍රංශ විද්‍යාඥයන් කණ්‌ඩායම් දෙකක්‌ වෙන් වෙන් ව පෙන්වා දී ඇත. ෙමි නිසා ග්ලයිපොසේට්‌-ලෝහ/ බැරලෝහ සංයෝගය නිර්ණයට විශේෂ එලයිසා (ELISA) තාක්‌ෂණ ක්‍රමවේදයක්‌ යොදාගැනීමට අපට සිදු විය. කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයේ දී මේ වන විට අප සිදු කළ පර්යේෂණවලින් හෙළිදරව් වූයේ වකුගඩු රෝගීන් ගේ ජල ප්‍රභවවල මෙකී රසායන ද්‍රව්‍ය ඇති බවයි.

මේ සමඟ ම අප ගේ අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවට සමාන රෝගී තත්ත්වයක්‌ පැතිර යන මධ්‍යම ඇමෙරිකානු රටවල් සහ ගිනිකොනදිග ඉන්දීය ප්‍රාන්ත 2ක්‌ වන ආන්ද්‍රා සහ ඔරිස්‌සා වෙතයි. මධ්‍යම ඇමෙරිකාවේ රෝගය පැතිර යන්නේ උක්‌, සීනි වගා කරන ගොවීන් අතර ය. එහි යොදාගන්නා වල්නාශක ද ග්ලයිපොසේට්‌ ය ත රසායනික පොහොර වී වගාවට මෙන්ම උක්‌ වගාවට ද අධික ලෙස යොදාගනී ත රෝගය වැළඳී ඇත්තේ භූගත ජලය පානය කරන අයට ය.

ආන්ද්‍රාවේ හා ඔරිස්‌සාවේ රෝගය වැළඳී ඇත්තේ වී සහ පොල් වගා කරන ගොවීන්ට ය. එහි ද ග්ලයිපොසේට්‌ අධික ලෙස භාවිත කරයි. පානීය ජලයේ කිවුල මට්‌ටම ඇතැම් විට ලීටරයට මිලි ග්‍රෑම් 1000ක්‌ ද ඉක්‌මවයි. (ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලීටරයකට මිලි ග්‍රෑම් 180 ඉතා අධික කිවුල ලෙස සලකයි). කිවුල හැරුණු විට සිලිකා ද ඉහළ මට්‌ටමකින් ආන්ද්‍රාවේ පානීය ජලයෙන් හමු වී ඇත.

අවසන් වසර 50-60 තුළ විද්‍යා දැනුමේ ආනුභාවයෙන් නිපදවූ කෘමීනාශක, වල්නාශක, දිලීරනාශක බොහොමයක්‌ අද වෙළෙඳපොළේ නැත. ඊට හේතුව මනුෂ්‍ය වර්ගයාට ඒවායෙන් සෘජු ව ම බලපෑමක්‌ ඇති වන බව එම විද්‍යාවෙන් ම සාක්‌ෂි සහිතව පෙන්වා දිමයි. මේ තරගයට ඔරොත්තු දී හතළිස්‌ වසරක්‌ ජය කෙහෙළි නැංවූ වල්නාශකය ග්ලයිපොසේට්‌ ය. විද්‍යාගාර තත්ත්ව යටතේ දී විෂ නැති සරල සංයෝග බවට වියෝජනය වීමත්, එසේ වියෝජනය නො වී මිනිසාට අහිතකර තත්ත්වයක්‌ උදා කළ ස්‌ථානයක්‌, සාක්‌ෂියක්‌ නැති වීමත් "ග්ලයිපොසේට්‌" රජ වීමට හේතු විය. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ස්‌වාභාවික භූගත ජලයේ කිවුල ඇති, ග්ලයිපොසේට්‌ භාවිත කරන ස්‌ථාන ඇත. එහෙත් එම ජලය මනුෂ්‍ය පරිභෝජනයට යොදා නො ගනී. එසේ වූවා නම් මීට පෙර මේ ප්‍රපංචය හඳුනාගැනීමට ඉඩ ප්‍රස්‌ථා නො තිබුණා නො වේ. එහෙත් ශ්‍රී ලංකාවේත්, මධ්‍යම ඇමෙරිකානු රටවල් ගණනාවකත්, ගිනිකොනදිග ඉන්දියාවේත් පැතිරී යන කෘෂිකාර්මික වකුගඩු රෝගය හේතුවෙන් ග්ලයිපොසේට්‌ ආධිපත්‍යයට 40 වරසකට පසු අභියෝගයක්‌ එල්ල වී ඇත.

ආසනික්‌ පළමු ඉනිම නම් ග්ලයිපොසේට්‌ දෙවැනි ඉනිමයි. ආසනික්‌ සටනින් රටට බොහෝ ජයග්‍රහණ අත් වූ බව කුහකයකු නො වන ඕනෑ ම අයකුට තේරුම් යනු ඇත. අද වස විස ගැන රටේ කොතැනත්, කවුරුත් කතා කරති. වකුගඩු රෝගයට පමණක්‌ නො ව දියවැඩියාවට, පිළිකාවට කෘෂි රසායනවල ඇති සබඳකම් ගැන සංවාද බොහෝ විට ඇත. රටේ ප්‍රසිද්ධ ස්‌වාමීන් වහන්සේලා දානයකට, පිරිතකට, පාංශුකූලයකට වැඩිය ද කෘෂි රසායන ව්‍යසනය ගැන දෙසා වදාරති. කළු හීනටි, සුවල් සහලට, මුරුංගා, කැකිරි, කතුරුමුරුංගා, දඹලවලට වෙන දා නැති කැමැත්තක්‌ අපේ රටේ ඇති වී ඇත. වෙන දා රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පුවත්පත්වල පළ වූ කෘෂි රසායන දැන්වීම් අද නැත. රටපුරා කුඹුරුවල ලී පටිවල සවි කළ කෘමිනාශක, වල්නාශක දැන්වීම් පුවරු අද නැත. රටපුරා විදුලි කණුවල, ගස්‌ගල්වල අලවා තිබූ, සවි කර තිබූ කෘෂි රසායන දැන්වීම් අද නැත. කොටින් ම රටේ ජනාධිපතිතුමා පසුගිය දා ප්‍රසිද්ධ ඉල්ලීමක්‌ කළේ වසවිස යොදා නො ගන්නා ගොවිතැනකට යොමු වන ලෙසයි.

මේ එකක්‌ වත් අහඹු ලෙස ලැබූ ජයග්‍රහණ නො වේ. බොහෝ දුක්‌විඳ, කැප කිරීම් කර ලැබූ ජයග්‍රහණ ය. කැප කිරීම් නො කළ මිනිසුන් නො දන්නවා වුව එහි අමාරුව අපි හොඳින් දනිමු. එහි දුක අපි හොඳින් දනිමු. පළමු ඉනිමේ දී රටක්‌ සෙලවිණි. මෙවර අපට සටන් කිරීමට සිදු වන්නේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය මෙන් කිපගුණයක ආදායමක්‌ ග්ලයිපොසේට්‌ අලෙවියෙන් ලබන සමාගම් සහ ඔවුන් ගේ ඉත්තන් සමගයි. පළමු ඉනිමේ දී උගත් පාඩම් ද සමග අපි දෙවැනි ඉනිම අරඹමු.

(මේ අධ්‍යයනය හා සම්බන්ධ සම්පූර්ණ විද්‍යාත්මක ප්‍රකාශනය ස්‌විට්‌සර්ලන්තයේ පළ වන International Journal of
Environmental Research and Public Health ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ නවතම කලාපයේ අඩංගු වේ). 

වෛද්‍ය චන්න ජයසුමන



(විදුසර පුවත් පතින් උපුටා ගතිමු)

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. බුදු සරණයි වෛද්‍ය තුමනි..දෙන්න පුලුවන් උපරිම උත්තමාචාරය යි මේ...

    ReplyDelete
  2. ආසනික් තමන්ගේ වාසියට යොදා ගත්තෙ ,කලක් ජයසුමන උන්නැහේගේ විශ්ව කර්ම ප්‍රාඥායා වෙලා හිටිය නලින් ද සිල්වා ගොයියා හේම නෙවෙයි නේද?ආසනික් අදහස ලැබුනෙ සම්‍යක්දෘශ්ඨික දෙවියන්ගෙන් කියල මේකේ නෑනෙ?.චින්තන පර්ෂද පැණි වරක ගහට හෙණ ගහලවත්ද??!!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions