5/01/2018

පිටස්තර බලවේගයක් ජවිපෙ හසුරුවන බව පේනවා - ආචාර්ය නාලක ගොඩහේවා

කතෘ:යුතුකම     5/01/2018   No comments

මේ වනවිට රට තුළ බරපතළ දේශපාලන අස්ථාවරත්වයක් මතුව තිබෙනවා. ඊට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මෙය වත්මන් රජය බලයට ආ අවස්ථාවේ සිටම අපි දැන සිටි වැළැක්විය නොහැකි අර්බුදයක්. හේතුව වත්මන් රජයේ පාර්ශ්වකරුවන් එකිනෙකට නොගැළපීම. එක්සත් ජාතික පක්ෂය කවදත් ධනේශ්වර පක්ෂයක්. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික නැඹුරුවක් ඇති පක්ෂයක්. මේ පක්ෂ දෙකේ මූලික ප්‍රතිපත්ති, මතවාදයන් එකිනෙකට වෙනස්. එළ හරකෙක් හා මී හරකෙක් නගුලට බැඳගෙන කුඹුරක් හාන්න උත්සාහ කරනවා වගේ එකිනෙකට නොගැළපෙන මතවාදයන් කරපින්නාගත් පක්ෂ දෙකක් ප්‍රධාන කරගත්ත යහපාලන හවුල් ආණ්ඩුව අසාර්ථක වීම පුදුමයක් ‍නෙවෙයි. විටින් විට කැබිනට් සංශෝධන කරමින් මොන ‍පොරොන්දු ජනතාවට දුන්නත් ඉදිරි කාලය තුළ මේ දේශපාලන අර්බුදය එන්න එන්නම උග්‍ර වෙනවා මිස විසඳුමක් බලා‍පොරොත්තු වෙන්න බෑ.

මේ අර්බුද විසඳන්නට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අවංකව උත්සාහ කරනවා කියා ඔබ පිළිගන්නේ නැද්ද?

ඔවුන් රටේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට අසමත් බව දැනටමත් පෙන්වා තිබෙනවා. කලින් කලට විවිධාකාර මාධ්‍ය සංදර්ශන හරහා ජනතාවගේ ප්‍රශ්න අමතක කරවන්නට උත්සාහ කරනවා පමණයි. නමුත් ජනතාව දැන් දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඔවුන් රවටන්නට තවදුරටත් පහසු නැහැ.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් මතුව තිබෙන බවක් පෙනෙනවා. රජයේ හවුල්කාර පක්ෂයක් තුළ මතුව ඇති මෙම තත්ත්වය රජයේ ඉදිරි ගමනටත් බලපෑමක් ඇතිකරාවිද?

ලංකා ඉතිහාසයේ විවිධ අවස්ථාවල රජයේ මැති ඇමැතිවරු විශාල කණ්ඩායම් ලෙස ආණ්ඩුවලින් ඉවත් වූ හැමවිටම ඉන් සනිටුහන් වූයේ පවතින රජයේ අවසානයයි. එවැනි ඉවත්වීමකින් පසුව පැවැත්වුණ හැම මැතිවරණයකින්ම බලයේ සිටි රජය පරාජය වුණා. එසේ දේශපාලනඥයන් පවතින රජයක් හැර යන්නේ හරියට ගිලෙන නැවකින් මීයෝ එළියට පනිනවා වගේ ජනතා රැල්ල මොන පැත්තටද කියා ඔවුන්ට ඉව වැටෙන නිසයි. මෙවර 16 දෙනකු රජයෙන් ඉවත් වුවහොත් මීළඟ මැතිවරණයේ ප්‍රතිඵලය ඒ අනුව අපට සිතාගත හැකියි.

විශ්වාසභංගයෙන් පසු යළිත් ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ගැන සංවාදයක් ඇරඹී තිබෙනවා. මෙහි පෙරමුණ ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය දෙස සමීපව බලන කෙනකුට ඇතිවන සැකය නම් ඔවුන් යම් පිටස්තර බලවේගයක් මගින් හසුරුවන බවයි. ඔවුන්ගේ ප්‍රමුඛතා තීරණය වන්නේ කාගේ අවශ්‍යතාවට වුණත් ජනතාවගේ අවශ්‍යතාවන් මත නම් නොවෙයි. විශ්වාසභංගයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දී සිටියදී ජනතා අවධානය ඉන් ඉවතට යොමු කරවීම සඳහාද හදිසියේ මෙම ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවක් මේ අයට මතක් වුණේ කියා අප කල්පනා කළ යුතුයි.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?

ජේ.ආර්. ජයවර්ධන ගෙන ආ 1978 ව්‍යවස්ථාව මගින් තමයි මේ රටට ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ. එය එතෙක් පැවති පාලන ක්‍රමයේ බරපතළ වෙනසක්. මේ වනවිට එම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා.

ඉන් බොහෝමයක් සුළු සුළු සංශෝධන. නමුත් මේ සංශෝධන අතර සුවිශේෂ සංශෝධනයක් තිබෙනවා. ඒ ලංකාවට 1987දී පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් 13 වැනි සංශෝධනය. දේශපාලන ඉතිහාසය හදාරන ඕනෑම කෙනකු දන්නවා පළාත් සභා ක්‍රමය ඉන්දියාවේ රජිව් ගාන්ධි විසින් ජේ.ආර්. ජයවර්ධන මත බලයෙන් පටවන ලද ක්‍රමයක් බව. එදා ජේ.ආර්ගේම රජයේ සිටි ලලිත් ඇතුලත්මුදලි හා ආර්. ප්‍රේමදාස වැනි ප්‍රබල ඇමැතිවරුන් පවා මෙයට විරුද්ධ වුණා. අද අපි ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට සාකච්ඡා කරනවා නම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ පළාත් පාලන ක්‍රමයත්, ඒ සමගම යළි සාකච්ඡාවට භාජනය විය යුතුයි. එසේ නැතුව හුදෙක් කාලීන දේශපාලන අවශ්‍යතා සඳහා ජනාධිපති ක්‍රමය පමණක් වෙනස් කළ යුතුයි කියා මා සිතන්නේ නැහැ. ගැඹුරින් සිතා සාකච්ඡා කොට ඕනෑම දෙයක් වෙනස් කළ හැකි වුවත් රටට යහපත් දෙයක් මේ රජය යටතේ නම් සිදුවේවි කියා මා විශ්වාස කරන්නේ නැහැ.

විශ්වාසභංගය, කැබිනට් සංශෝධනය ආදී විවිධ දේශපාලන සංදර්ශන හමුවේ ජනතා ගැටලු පිළිබඳ රජයේ අවධානය ගිලිහී ඇති බවක් පෙනෙනවා?

රජය එය සිතා මතාම කරන දෙයක්. ජනතා ගැටලු යට ගැසීමට ඔවුන් විවිධ දේශපාලන සංදර්ශන මවා පෙන්වනවා. මෙය තමයි රටේ අවාසනාව. අද ජනතාව විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් බරපතළ ගැටලුවලට මැදිවී සිටිනවා. නමුත් බොහෝ දේශපාලනඥයන් ජනතාව ගැන සංවේදී නැහැ. පාර්ලිමේන්තුවට ආවට පසු ඔවුන් කල්පනා කරන්නේ ලද අවස්ථාවෙන් උපරිම පෞද්ගලික වාසි ලබාගන්නේ කොහොමද කියන එක පමණයි. රාජ්‍ය බලය තිබෙන අය රාජ්‍ය බලය තබාගන්නා හැටි කල්පනා කරනවා. රාජ්‍ය බලය නැති අය බලය ලබාගන්නා හැටි කල්පනා කරනවා. ජනතාව යළිත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඡන්දයකදී පමණයි.

ඔබ කී දේශපාලන සංදර්ශනයන්ට මුවා වී රටේ ස්වෛරීභාවයට හානිකර දේවල් මෙන්ම රණවිරු දඩයමද දිගින් දිගටම සිදුවෙනවා. මොකද අමතක කරන්න එපා වත්මන් රජය බලයට ආවේ විවිධ බාහිර බලවේගවල උදව්වෙන්. ඒ බොහෝමයක් බලවේග පිටුපස සිටියේ බෙදුම්වාදීන්. රණවිරු දඩයම හා රට බෙදන ව්‍යවස්ථාව ඔවුන් භාරදුන් කොන්ත්‍රාත්තුවේ කොටස්. ඒ ඉල්ලීම ඉටු නොකර ලබන වාරයේ ඒ බාහිර බලවේගවල සහාය ගන්න බැහැ. ඒ නිසා මේ මොන මාධ්‍ය සංදර්ශනය මැද්දේත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සම්මත වූ බොහෝ අණපනත් හරහා අවශ්‍ය පසුබිම දැනටමත් සකස් කරලයි තිබෙන්නේ.

රටේ පවතින දේශපාලන අස්ථාවර භාවය ආර්ථිකයටද අහිතකර ලෙස බලපා ඇති බවක් පෙනෙනවා. බදු මිල ඉහළ යාම, රුපියල කඩා වැටීම, දේශීය හා විදේශීය ආයෝජන අඩුවීම, කොටස් වෙළෙඳ‍පොළේ මන්දගාමීත්වය වැනි ගැටලු මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය හැකියි.

පැහැදිලිවම රජයේ ආර්ථික කළමනාකරණයේ තිබෙන අසාර්ථකත්වය තමයි මේවාට බලපා තිබෙන්නේ. රජයට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඔබ දන්නවා ඇති පසුගිය වසර 3 තුළ යහපාලන රජය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන 9ක් දක්වා තිබෙන බව. ඒවායේ අඩංගු බොහෝ කරුණු එකිනෙකට ගැළපෙන්නේ නැහැ. මින් පෙනී යන්නේ රජයට නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් නැති බව නේද? රටක ආර්ථිකය හරියට නූල් බෝලයක් වගේ පටලවා ගත්තොත් ලිහන්න බොහොම අමාරුයි. නොදැන අත ගැහුවොත් තවත් පැටලෙනවා. හොඳ අවබෝධයකින්, ඉවසීමෙන් මේ ගැටලුවලට විසඳුම සොයන්න පුළුවන් අයෙක් වත්මන් රජයේ නැහැ. ඒ නිසා දිනෙන් දින ප්‍රශ්න උග්‍ර වෙනවා මිස ජනතා ආර්ථික ගැටලුවලට විසඳුම් දෙන්නට රජයට බෑ.

ඔබ හිතනවාද වෙනත් රජයකට මේ ගැටලු විසඳන්නට පුළුවන් කියා?

ඇයි බැරි? අත්දැකීම් තිබෙන, දැනුම තිබෙන, නිසි ආර්ථික දැක්මක් තිබෙන කණ්ඩායමකට නිසි නායකත්වය දුන්නොත් මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මහා ගැටලුවක් නොවෙයි. මතක තබාගන්න මේ රටේ පසුගිය කාලයේ යුද්ධයකුත් තිබුණා. ලෝක මූල්‍ය අර්බුදයක්, ලෝක ආහාර අර්බුදයක්, ලෝක තෙල් අර්බුදයක් වැනි ප්‍රශ්න රාශියක් මැද තමයි මින් පෙර රජයන්ට ආර්ථිකය හසුරුවන්නට වූයේ. අද ඒ ප්‍රශ්න මොකුත් නැහැ. අද තිබෙන ප්‍රශ්නය ඉතා සරලවම කියනවා නම් බැරිකමයි.

පැතුම් වික්‍රමරත්න [Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions