2/15/2018

පොහොට්ටුව ඉදිරියේ ඇති මාර්ග බාධක පිලිබඳ අනතුරු ඇඟවීමයි: බිය වන්නට නොව දිරි ගන්නටය.

කතෘ:යුතුකම     2/15/2018   1 comment

පොහොට්ටුව ඉදිරියේ ඇති මාර්ග බාධක පිලිබඳ අනතුරු ඇඟවීමයි:
බිය වන්නට නොව දිරි ගන්නටය.


පුංචි මැතිවරණය හමාර වී ඇත. විවිධ බාධක මැද ලබා ගත් මේ ජයග්‍රහණය බොහෝ පැතිවලින් ඉතිහාස ගතවෙන කරුණු කාරනා ඉස්මතු වී තිබේ. පොහොට්ටුව අළුත්ය. ජනතාව අතරට යාමට සැලකිය යුතු කලක් නොලද්දේය. ලාංඡනය ජනතාවට නුහුරුය. එයට සහය දුන් මන්ත්‍රීනට මන්ත්‍රී දුර අහෝසි කරනා බවට විවිධ ගර්ජනා සහ තර්ජනය. ඔවුනට විරුද්ධව විවධ චෝදනා මත සිරගත කිරීම් සහ නඩු පැටලවිම්ය. රාජ්‍ය බලය අහිමිය. සංවිධාන කටයුතු සඳහා ප්‍රතිපාදන හිඟය. මාධ්‍ය අවකාශය නියම ලෙස නොලැබෙන වාතාවරනයක්ද පෙනෙන්නට තිබිණ. මේ සඳහා වැඩ කල උනට පොලිසිය ඕනෑවටත් වඩා නිතිය ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටියේය. එජාප, ශ්‍රීලනිප සහ ජවිපෙ තුන් කොන් ප්‍රහාරයට නිබඳවම ලක්විය. සමහර නාම යෝජනා ඉතා සුළු කාරණා මත ප්‍රතික්ෂේප විණ. මේ සියලු කෙනෙහිලිකම් මැද සර්වජන ඡන්ද බලයේ පරිනත භාවය හුවා දක්වමින් සබුද්ධික සවිඥ්ඥානික ඡන්ද දායකයා පොහොට්ටුව වැළඳ ගත්තේය. ඔවුනට අපේ හද පිරි උත්තමාචාරය හිමිවේ.

අවස්තාව එන තුරු බලා සිටි ඡන්ද දායකයා බුරුතුපිටින් මහා ඡන්දයකදී මෙන් ඡන්ද පොලට ඇදුනේ 2015 දි කල වරද නිවැරදි කිරීමටය. ඒ පුංචි ඡන්දයකදී මෙතරම් ප්‍රතිශතයක් වාර්තා වුනු ඉතිහාසයේ පළමු වතාවය. පුංචි ඡන්දයකදී බලයේ සිටි පක්ෂ මෙතරම පහලට වැටුණු පළමු වතාවය. ශ්‍රීලනිපය එහි ඉතිහාසයේ වාර්තා කල අඩුම ඡන්ද ප්‍රතිශතය විය. පොහොට්ටුව 70% පමණ කොට්ඨාශ දිනා ගත්තේය. ඒ සියල්ල ඓතිහාසිකය. එනිසා ඒ සඳහා දර දිය ඇද්දවුන් ජයග්‍රහණය භුක්තිවිඳිය යුතුය. නමුත් මෙය ආරම්භයක් මිස අවසානය නොවන බව තරයේ සිහියට ගත යුතුය. මේ යහපාලන පිළිලය දිවයිනෙන් අතුගාදමා ඒකීය රාජ්‍යයේ බලය ස්ථාපිත කරන තුරු අපට ගිමන් හරින්නට නොහැකිය.

පොහොට්ටුව දිනවිමට නොව ඊට එරෙහිව වැඩකළ විවිධ කොටස්, ඊනියා යහපාලකයින්,. ඊනියා සිවිල් ක්‍රියාකාරිකයින් හා NGO කුක්කන් දැන් විවිධාකාරයට මැතිවරණ ප්‍රතිපල විග්‍රහයක යෙදේ. යහපාලනය සමගම පරාජය වී ඇත්තේ ඔවුන්ගේ බලාපොරොත්තුය. ඔවුන් දැන් මීළඟ ආණ්ඩුව කරන හැටි සමාජ ජාලා මගින් මහින්දට රාජපක්ෂට අනතුරු අඟවමින් උපදෙස් සපයමින් සිටි. පොහොට්ටුව දිනවන්නට දර දිය ඇදි සියළු දෙනා කල්පනාවෙන් ඉදිරි වැඩකටයුතු සංවිධානය කරගත යුතුය. මොකද යහපාලන කොන්ත්‍රාත්තුව තවම අවසන් වී නොමැති බැවින් කුමන හෝ උප්පරවැට්ටි යොදා ඔවුන්ගේ අභිමතාර්ථ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉෂ්ඨ කර ගැනීම වලක්වාලිය යුතු නිසාය.

පුංචි මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බව සැබෑය. නමුත් ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් සඳහා මෙම ප්‍රතිඵලය මගින් ඕනෑවටත් වඩා ආණ්ඩුවට බල කර ඇති බව කිව යුතුය. ජන මතයට හිස නමන අවංක ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් සිටිනම් වහාම ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් අළුත් ජන මතයක් ලබාගත යුතුය. නමුත් යහපාලන ආණ්ඩුව එසේ කරාවියැයි බලාපොරොත්තු විය නොහැකිය. එයට හේතුව යහපාලන ආණ්ඩුව බලයට ගෙනා ව්‍යාපෘතිය බිම්මට්ටමේ කරුණු කාරනා මත යතාර්තවාදීව සිදුවූවක් නොව විදේශ බලවේග හරහා කෘත්‍රිමව සිදුවූ කුමන්ත්‍රණයක් නිසාමය. ඉරාකයේ සදාම් හුසේන් හෝ ලිබියාවේ ගඩාෆි මරාදමා බලෙන් බලය ඩහැගෙන එම රටවල් නන්නත්තාර කිරීමට යෙදවූ ප්‍රමාණයටම නැති වුවත් මේ සඳහා විදේශීය මුදල් කෝටි ගණනින් වැය කරන ලද බවට තොරතුරු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින්ම පසුකලකදී හෙළිකරන ලදී. මේ මුදල් ලබාගත් යහපාලන කොන්ත්‍රාත් කරුවන් ඒ කුමන්ත්‍රණ කරුවන්ගේ අභිලාෂයන් ඉටුකිරීමට බැඳී සිටි. ඔවුන් ඒ යුතුකම ඉටු කිරීමට කෙසේවත් පසුබට නොවනු ඇත.

පළමුව හොරකම දුෂණය යහපාලනය ආදී මනඃකාන්ත වචන සමුදායක් යොදා බොරුව වපුරමින් කෙතුමතියක් මවා පෙන්වමින් ඡන්ද දායකයාගේ ඇස් නිලංකාර කර නොමග හැරියේය. දෙවනුව හොරුන්ට දඬුවම් දීමේ මුවාවෙන්, පැවති රජයේ නායකයින් නැවත බලයට පත්වීම වැළැක්වීමේ උපාය උපක්‍රම ක්‍රියාවට නගන ලදී. බුද්ධ පුත්‍රයින් පවා සිරගත කලේය. මේ සියල්ල කලේ ඔවුන්ගේ මුලික අරමුණ සඳහා ආවරණයක් සපයා ගැනීමටය. එනම් ආයුධ සන්නද්ධ අරගලයකින් බෙදීමට නොහැකි වූ රට ව්‍යවස්ථාපිත ෆෙඩරල් ක්‍රමයක් මගින් දෙකඩ කිරීමය. ඔවුන්ගේ ප්‍රධාන සහ එකම අභිප්‍රාය මෙයයි. ඒ සඳහා අවශ්‍ය බලය මැතිවරණයෙන් නොලැබුනත් ජාතික ආණ්ඩුවක් හරහා එය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය යම් තාක් දුරකට හෙළිකර ගත්තේය.

දෛවයේ සරදමකට මෙන් හොරු අල්ලන සටන්පාඨයට මුවා වී කරන ලද බැඳුම්කර මගඩිය අනපේක්ෂිත ලෙසත් සැඟවිය නොහැකි ලෙසත් එලි දැක්කේය. කරුණු කාරණා කෙසේ වුවත් රට බෙදීමේ ෆෙඩරල් ව්‍යාපෘතිය නවතා දමා නැත. යහපාලන නායකයින් ඒ සඳහා බැඳී සිටි. කෙසේ හෝ රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගත හොත් ඊළඟ ඡන්දයේදී පරාද වුවත් ඔවුනට කම් නැත. කිමද වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවද ෆෙඩරල් රාජ්‍ය වෙනස් කල නොහැකි වනු ඇති නිසාය. ඊළඟ ඡන්දයේදී පරාද වුවත් පසු දිනෙක ඔවුන්ට නැවත බලයට පැමිණිය හැකිවනු ඇත. මෙතැනදී ජනපති සහ අගමැති පිටින් විරසක බවක් පෙන්නුවද ඒ අභිමතාර්ථය ඉටුකරගැනීම සඳහා ඇතුලතින් ඉතා සහයෝගයෙන් ක්‍රියාකරයි. මේ ඉලක්කය සඳහා ආණ්ඩුව ඉදිරි කාලයේ කෙසේ හැසිරෙනු ඇත්ද?

ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය 2/3 බලය ලබාගැනීම දැනටමත් අසීරු කරුණක් වී ඇතිබව පෙනේ. එහෙත් ජනතාව රවටා ඇස්බැන්දුම් මගින් අලුත් ව්‍යවස්ථාව පසෙක තබා තිබෙන ව්‍යවස්ථාව සංශෝධනයකින් අවශ්‍යතාවය ඉටු කරගැනීමට මාන බලනවා විය යුතුය. සමහර විට පොහොට්ටුවට උදව් දුන් මන්ත්‍රී වරුන් සන්ධානයෙන් එළවා දමා ඒ වෙනුවට ව්‍යවස්ථාවට ඡන්දය දෙන ජනපතිගේ සගයන් පත් කිරීමට ඉඩතිබේ. එලෙස අගමැතිට අවශ්‍ය 2/3 සාදා දී පොදු පරමාර්ථය ඉටුකරගැනීමට ඉඩ තිබේ. මෙසේ වුවොත් සහ එයට විරුද්ධව ජනයා පාරට බැස්සොත්, ඒ විරෝධය ලෙයින් යකඩින් වුව මර්ධනය කිරීමට මේ යහපාලකයින් පසුබට නොවනු ඇත. ඔවුනට මුදල් හා උපදෙස් සපයන විදෙස් බලවේග වල හා එක්සත් ජාතින් යයි කියාගන්නා ඒ බලවේග විසින්ම මෙහෙයවන සංවිධානයේ නොමද ආවරණය ඒ සඳහා ඔවුන්ට ලැබෙනු ඇත. මානව හිමිකම්, NGO කුක්කන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඒ සඳහා නොමද සහයෝගය ලබා දෙනු ඇත. ලෝකයේ වෙනත් රටවල් වල මෙවැනි ව්‍යාපෘති සිදුවන්නේ එසේය. එය එසේ වුවොත් 2020 දී පොහොට්ටුව ආණ්ඩුව ගත්තත් ෆෙඩරල් රට ආපසු හැරවිය නොහැකි වනු ඇත.

මේ පොහොට්ටුව ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයයි. මේ බව පොහොට්ටුව බලයට ගෙනා සියලු දෙනා තරයේ සිහි තබා ගෙන ඉදිරි උපාය උපක්‍රම සැලසිය යුතු වන්නේය. දැනටමත් සමහර කොටස් මේ ජයග්‍රහණයෙන් ඔද වැඩි අන්තවාදී සිංහල බෞද්ධ ආදී මතවාදයන්ට පණ පොවමින් සිටි. ජයග්‍රහණය කෙතරම් වර්ණවත් වුවත් පොහොට්ටුවට ලැබී ඇත්තේ 45% ක් බව අමතක නොකළ යුතුය. එනම් හංසයා බලයට ගෙනා සියලුකොටස් එක්ව ගත් කල 55%කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඔවුන් සතුව පවතී. මෙය ඊළඟ ජනපති වරණයේදී තීරණාත්මක සාධකයයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනා ඡායා මාත්‍රයක් හෝ දැනට පෙනෙන තෙක් මානයක නොමැත්තේය. එනිසා පොහොට්ටුව මේ සඳහා සුදානම් විය යුතුය. මේ සඳහා විශේෂයෙන්ම දෙමළ, මුස්ලිම් ඇතුළු ශ්‍රීලනිපයට එජාපයට ඡන්දය දුන් සියළු දේශප්‍රේමී ජනයා දිනාගත යුතුය. මේ සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුය. මේ ජයග්‍රහණය භුක්ති විඳින අතරම ඒ සඳහා පිඹුරු පත් සකස් කල යුතුය. පාර්ලිමේන්තු මැතිවරණය අලුත් ක්‍රම වේදයකට කොට්ඨාශ මිශ්‍ර ක්‍රමයකට පැවැත්වුවොත් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගැනීමට ඉලක්ක කල යුතුය. එසේ වුවහොත් යහපාලන ආණ්ඩුව අවසාන මොහොතේ හෝ ඇති කල හැකි ව්‍යවස්තාවක් වුවත් වෙනස් කරගත හැකිවනු ඇත.

1815 දී ගැත්තෝ රට විදේශ බලවේග වලට පාවා දුන් නේය. 2015 දී ද ගැත්තෝ රට විදේශ බලවේග වලට පාවා දුන්නේය. 1818 දි කැරැල්ල පටන් ගත්තේ වෙල්ලස්ස බින්තැන්න ආදී ග්‍රාමීය නායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 දි රැල්ල පටන් ගත්තේ ද ගමෙන් බව මේ නිම වූ ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ඉතා පැහැදිලිය. මෙය මේ ධර්මද්වීපයේ ඉතිහාසය නැවත සිදුවන බවට හොඳම සාක්ෂියක් සපයයි. 1818 කැරැල්ල රටට වඩා වෙනත් සුළු කාරණා ගැන වද වූ ප්‍රධානීන්ගේ මත බේද උඩ ඇති වූ අසමගිය නිසා විදේශිකයින් සහ ගැත්තන් විසින් පරාද කරණ ලදී. 2018 දීද විදේශ බලවේග සහ ඔවුනට නොමද සහය සපයන දේශීය ගැත්තෝද මේ රට රැක ගැනීමේ බලවේගය පරාජය කිරීමට සැදී පැහැදී සිටින බව නිසැකය. ඒත් එය මෙවර එසේ වන්නට ඉඩදී බලා සිටිනු නොහැකිය. එනිසා සියල්ලෝම අවදියෙන් සිටිය යුතුය. දිවි හිමියෙන් රට රැක ගැනීමට ජාති ආගම් කුල පක්‍ෂ ආදී සියලු වාද බේද පසෙක ලා සමගි විය යුතුය.

1818න් පසු නැවත ඉපිද 2018 ගමේ සටනට පණදුන් කිවුලේ ගෙදර මොහොට්ටාලලාට, බූටෑවේ රටේ රාළලාට, මොනරවිල කැප්පෙටිපොළලාට, නුවරවැව මහා දිසාවේලාට, කොහු කුඹුරේ රටේ රාළලාට, ඇල්ලෙපොලලාට, මිගස්කුඹුරේලාට, කන්දෙපොලලාට, ලේනවලාට, වෑගොඩපොලලාට, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රමුඛ සියලුම බුද්ධ පුත්‍රයින්ට, විවිධ අයුරින් ජය තහවුරුකළ සියලුම ජනතා විරුවන්ට ඉතිහාසයේ නොයෙක් වර කරන ලද අයුරින් මේ විදෙස් බලවේගය නසා දමා ඒකීය රට රැක ගැනීමට ශක්තිය ධෛර්‍ය තිබෙන බව විශ්වාසය. පොහොට්ටුව අතැතිව දිවයිනේ සිව් කොනින් වට්ට ගාමිණි අභයලා බිහිවී හමාරය. පොහොට්ටුවට ජයවේවා! ඒකීය ශ්‍රීලංකාවට ජයවේවා!

-ප්‍රකාශ් වැල්හේන
12.02.2018

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ප්‍රකාශ් වැල්හේන දෙරණේ මුතු කුඩ බලල ෆෝම් වෙලා වගේ.

    හිනා යනවා අන්තිම චේදේ කියවනකොට.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions