පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග රටේ දේශපාලනයේ විවිධ ආන්දෝලනයන් ඇතිවිය. අගමැතිවරයා වෙනස් කළ යුතු බවට අදහසක් මතුවී තිබෙන අතර ඒ සඳහා ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කුමක්ද යන්න ගැන අවධානය යොමුවී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. අගමැතිවරයා ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබේද යන්න ගැන විවාදයක් ඇතිවී තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මූලික කෙටුම්පතේ අගමැතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන සෘජුව ඇතුළත් කර තිබුණත් සම්මතවූ කෙටුම්පතේදී එය සංශෝධනය විය.
19 වැනි සංශෝධනයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 46 (1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ මෙය සංශෝධනය කිරීමටය. ඒ අනුව පාර්ලිමේන්තුවට කෙටුම්පත ඉදිරිපත් වූ අවස්ථාවේදී එයට සංශෝධනයක් ඉදිරිපත් වූයේ කාටත් නොදැනෙන ලෙසය. එය වෙනස් කළේ කිසියම් අමුතු ආකාරයකටය. 46 - 2 වගන්තිය අනුව අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ඉල්ලා අස්වීමේ ලිපියක් මගින් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවූවෙක් වූවොත් මිස අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් ධුරය දරන්නේ යැයි සඳහන් වේ. එම වගන්ති සංශෝධනයෙන් පසුව අගමැතිවරයා ඉවත් කළ හැක්කේ ඉල්ලා අස්වීමකින් මිස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙක් නොවූ විට විය. එහෙත් 46 (3) වගන්තිය අනුව අමාත්‍යවරයෙක් ධුර දැරීම ගැන සඳහන් වේ. අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා විසින් යවනු ලබන ලිපියක් මගින් ඇමැතිවරයෙක් ඉවත් කළ හැකිය. අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය හැක්කේ අවස්ථා දෙකකදීය. එහෙත් අනෙක් ඇමැතිවරයෙක් ඉවත් කිරීමට හැකිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා ධුරයේ රැඳී සිටී.
එහෙත් 19 වැනි සංශෝධනයේ මෙවැන්නක්ද සඳහන් වේ. 48 (1) වන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණය පවත්වන තෙක් කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු හැරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් ධුරය දැරීම අවසන් වීමෙන් පසුව.... යනුවෙන් සඳහන් වේ. එහි ඉංග්‍රීසි පිටපතේ සඳහන් වන්නේ අගමැති මරණය, ඉල්ලා අස්වීම හෝ වෙනත් කාරණයකදී ධුරය දැරීම අවසන් වුවහොත් යනුවෙනි. සිංහල පිටපතේ සඳහන් වන්නේ ධුරයෙන් ඉල්ලා අස්වීම, ධුරයෙන් ඉවත් කරනු ලැබිම යනුවෙන් සඳහන් වේ. සිංහල පිටපත අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරි කාලය හැර වෙනත් කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ගැන සඳහන් වේ. ඒ අනුව ධුරයෙන් ඉවත් කිරීමට හැක්කේ ජනාධිපතිවරයාට පමණි. පාර්ලිමේන්තුව විසුරවාහැර නොමැති කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකි ආකාරයක් ඒ අනුව 48 වැනි වගන්තියේ සඳහන් වේ. මේ අවස්ථාවේදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරේ. එවිට ජනාධිපතිවරයාට අලුත් ඇමැති මණ්ඩලයක් පත් කළ හැකිය.
46 වැනි වගන්තිය හා 48 වැනි වගන්තිය අතර ගැටුමක් ඇතිවුවහොත් ඒ පිළිබඳ අර්ථ නිරූපණය කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අප ව්‍යවස්ථාවක් අර්ථකථනය කළ යුත්තේ ව්‍යවස්ථාවක වගන්ති අතර ගැටීම් නොමැති බවට උපකල්පනය කරගෙනය. සෑම වගන්තියක්ම අනෙක් වගන්තියට ගැළපෙන ආකාරයට පනවා ඇතැයි යන පූර්ව නිගමනය අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුතුය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් වුවහොත් හැර අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා සිය ධුරයේ රැඳී සිටිය යුතු බව සඳහන් වන්නේ ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේය. එහෙත් 48 වැනි වගන්තියෙන් දක්වන්නේ අමාත්‍ය මණ්ඩලය විසුරුවාහරිනු ලැබූ අවස්ථාවක් ගැනය. අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමග මුළු ඇමැති මණ්ඩලයම විසුරුවා හැරේ. අගමැතිවරයාට සිය ආරක්ෂාව පවතින්නේ ඇමැති මණ්ඩලය පවතින තාක් කල්ය. ඒ අනුව බලන විට 46 වැනි වගන්තියෙන් ලබාදී ඇති ආරක්ෂාව 48 වැනි වගන්තියෙන් ස්වායත්තව පැවැතිය හැකිය. එනම් 48 වැනි වගන්තිය අනුව ඇමැති මණ්ඩලය සමග අගමැතිවරයා ඉවත් කළ හැකි බවට අර්ථකතනයක් ලබාදිය හැකිය.
කිසියම් පුද්ගලයෙක් ධුරයකින් ඉවත් කළ හැක්කේ ධුරයට පත් කළ පුද්ගලයාටමය. අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාටමය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැතිනම් ඔහු ධුරයෙන් ඉවත් කළ හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදුන්නහොත් මේ පිළිබඳවද අවධානය යොමුවනු ඇත.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට වන අදහස ඉදිරිපත් වන අතරවාරයේදී ඉදිරිපත්වූ අනෙක් අදහස වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට වන අදහසයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේය. 19 වැනි සංශෝධනය අනුව පාර්ලමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඇති කරගත යුතුය. පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවාහැරීම ගැන හෝ වාර අවසාන කිරීම ගැන තීරණය ගත හැක්කේ ජනාධිපතිවරයාටය. එහෙත් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවා වසර හතරකුත් මාස හයක් ගතවන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි නොවේ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවා හැරීමට නොහැකි නිසා විසුරුවා හැරීමට අවශ්‍ය නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලීම සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවේ. ගමේ නියෝජිතයා තෝරා පත් කරගැනීමට පැවැත්වූ ඡන්දයෙන් රටේ නායකයා වෙනස් කළ නොහැකි බව ඇතැම්හු පවසති. මේ ඡන්දයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ කුමන අභිලාෂයෙන්ද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වූ අපේක්ෂයා ගැන අවධානය යොමු කිරීමෙන් පසුව, අදාළ සභාව සඳහා සුදුසු අපේක්ෂකයා සභිකයෙක් ලෙස තෝරා ගැනීම පමණක් ඡන්දදායකයාගේ අභිලාෂය වූයේ නම් ඒ මගින් රාජ්‍ය පාලනයේ වෙනසක් කළ යුතු නැතිය යන අදහස මතුවේ. ලංකාවේ උතුරු පළාතේ කිසියම් ප්‍රදේශයක් හැර අනෙක් ප්‍රදේශවල ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එක් අරමුණක් වෙනුවෙන්ය. සමස්ත ඡන්දදායකයින් හැසිරී ඇති ආකාරය ගැන අවධානය යොමු කරන විට ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වු අපේක්ෂකයා ගැන අවධානය යොමු කිරීමෙන් ඔබ්බට ගොස් රජය සම්බන්ධයෙන් තීන්දුවක් ලෙස සිතා මෙම තීරණය ගෙන තිබේ. මෙය එක් ආකාරයකින් ජනමත විචාරණයක් ලෙස ගත හැකිය. ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කළ ආකාරය දෙස බැලූ විට පළාත් පාලන ආයතන වපසරියෙන් ඔබ්බට ගොස් තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද ප්‍රතිඵලය ඊට ඉහළින් ඇති ව්‍යවස්ථාදායකයට හා විධායකයට බලපෑමක් එල්ල කර තිබේ. ඡන්ද දායකයාගේ ච්ෙතනාව එය නොවේ. ව්‍යවස්ථාදායකයට හා විධායකයට සිදුව ඇත්තේ ඡන්දදායකයාගේ ච්ෙතනාව අනුව අභ්‍යන්තර වෙනසක් කිරීමට සිදුව ඇත. වෙනස කළ යුත්තේ ඔළුගෙඩි මාරු කරමින් නොවේ. ප්‍රතිපත්ති වෙනස් කරමින් එය වෙනස් කළ යුතුය.
මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කිරීමෙන්ය. මේ වන විට ආණ්ඩුව ගමන් ගන්නා ගමන් මාර්ගය වෙනස් කළ යුතුය. ජනතාවගේ පණිවුඩය වී ඇත්තේ එයයි. එම ජනතා මතය තේරුම් ගෙන කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ කාර්යභාරය වෙයි.
සාකච්ඡාකළේ - සංජය නල්ලපෙරුම [Lakbima]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .