4/10/2014

නව නායකයා යටතේ ජවිපෙ නව ගමන කොයිබටද ?

කතෘ:යුතුකම     4/10/2014   8 comments

පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ තුළ අද වන විට නැවතත් කිසියම් පිබිදීමක් දක්නට ලැබේ. මෙවර මැතිවරණ ප‍්‍රතිපලයද ඒ සඳහා එක් උදාහරණයකි. එහිදී සීයට තුන්සීයක ඡන්ද වර්ධනයක් ආදී කෙන්ද කන්ද කර පෙන්වන වචන හරඹ කෙසේ වෙතත් ලබා තිබූ  පරාජයේ තරමට සාපේක්ෂව ඔවුන් මේ මැතිවරණයේදී තරමක් ඉදිරියට පැමිණ තිබේ. එමෙන්ම ජවිපෙ නව නායකත්ව වෙනසද ඔවුන්ගේ මේ නව පිබිදීමට බලපෑ එක් හේතුවකි. අද විපක්ෂ දේශපාලඥයකු ලෙස අනුර දිසානායකගේ භූමිකාව පක්ෂ භේදයකින් තොරව පොදු සමාජ අවධානයකට ලක්ව තිබෙන්නක් යැයි කීම සදොස් නොවේ. ඒ අනුව ජවිපෙ මෙම නව පිබිදීමේ අනාගත දිශානතිය කෙබඳු එකක් වේ දැයි සැකෙවින් විමසා බැලීම මේ ලිපියේ මූලික අභිලාෂය වෙයි.

අද මේ රට ඉතා වේගයෙන් ඇද වැටෙමින් තිබෙන කාලකන්නි තත්ත්වය තුළ ඊට එරෙහි යහපත් දේශපාලන ව්‍යාපාරයක් මතුව ඒ නම් කුමන සීමාකම් මැද හෝ එය සතුටට කාරණයකි. එහිදී රටේ පුරවැසියකු ලෙස මගේ කැමැත්ත වනුයේද ජවිපෙ වැනි විකල්ප ව්‍යාපාර පරාජය වනු දැකීම නොව ඒවා ශක්තිමත්ව පෙරට එනු දැකිීමය. එහෙයින් ජවිපෙ විවේචනයට ලක් කිරීමේ කිසිදු පූර්ව අභිලාෂයක්ද මා තුළ නොවේ. එහෙත් ඔවුන්ගේ ගමන දෙස විමසුම් ඇසින් බැලීමේදී මට සැබවින්ම පෙනෙන දෙය ජවිපෙ කෙරේ වන සොඳුරු වැනුමක් නොවන්නේ නම් එය මගේ වරදක්ද නොවේ. මා මේ කාරණය මෙහිලා සඳහන් කළේම මා ජවිපෙ ගැන කරන  ඕනෑම මිතුරු විවේචනයක් වුවද සතුරු ලෙස භාර ගැනීමට මගේ අතීත දේශපාලන සගයන් සැදී පැහැදී සිටින හෙයිනි.

මෙවර මැතිවරණයේදී ජවිපෙ තරමක් පෙරට ඒම එහි මිතුරු බලවේගවලට විශාල ආස්වාදයක් වී තිබේ. ඔවුන්ගේ ආස්වාදය අසාධාරණ නැතත් එකී පෙරට ඒම එතරම් අරුමයක් හෝ තම ජයග‍්‍රහණයේ නියත සලකුණක් ලෙස සැලකිය යුත්තක්ද නොවේ. සම සමාජ, කොමියුනට්ස් වැනි දේශපාලන පක්ෂ පවා තවමත් ඉතිරිව පවතින්නේ නම් ජවිපෙ වැනි පක්ෂයක් නුදුරු අනාගතයකදී අභාවයට නොයන බව අමුතුවෙන් නොකිව යුත්තකි. කුමන තරමේ පසුබෑම් හෝ පරාජයන්ට ගොදුරු වුවද උස් පහත්වන වර්ධනයක් සහිතව කාලයක් පැවතීමේ හැකියාව එම ව්‍යාපාර සතු වෙයි. ඇතැම් විට ඉදිරියේදී මීටත් වඩා එම වර්ධනයන් ඉහළ යාමට ඉඩ තිබේ. එසේ වුවද වර්ධනයන් අත් කර ගැනීමෙන් හෝ ෆීනික්ස් පක්ෂියා සේ නොනැසී පැවතීමෙන් පමණක් එම ව්‍යාපාරවලට තීරණාත්මක ජයග‍්‍රහණ කරා ලඟා විය හැකි යැයි සිතන්නේ නම් එය බලවත් මුලාවකි.  තීරණාත්මක ජයග‍්‍රහණ කරා ළඟා වීමට නම් ඔවුන් විසින් සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබේ. ඒ නිසාම ජවිපෙ සාමාජිකයන් තම ජයග‍්‍රහණ ගැන සතුටුවීම සාධාරණ වන්නේ ඔවුන්ගේ වත්මන් වර්ධනය එම ව්‍යාපාරය තුළ සිදුවූ ඉදිරිගාමී වෙනසක ප‍්‍රතිපලයක් වන්නේ නම් පමණකි. එවන් වෙනසක ප‍්‍රතිපලයක් නොවන විශාල වර්ධනයකට වඩා එවන් වෙනසක ප‍්‍රතිපලයක් ලෙස අත් කර ගන්නා පුංචි වර්ධනයක් වුවද බෙහෙවින් වැදගත් හා තීරණාත්මකය. එසේ වුවද අවාසනාවන්ත කාරණය වන්නේ ජවිපෙ වත්මන් වර්ධනය යනු හුදු සාමාන්‍ය උස් පහත් වීමක් විනා ජවිපෙ අලූතින් සිදු කර ගත් කිසිදු වෙනසක ප‍්‍රතිපලයක් නොවීමය. එය එසේ වන්නේ මන්ද යන්න මෙහිදී විමසා බැලිය යුතුව තිබේ.

මෑත ඉතිහාසයට අදාලව සලකා බලතොත් ජවිපෙ යනු 1994න් පසු යුගය තුළ ජය පිට ජය ලබමින් පෙරට ආ අභිමානවත් ගමනකින් පසුව මෝඩ ස්වයං විනාශයකට ගොදුරුව නැවතත් බිංදුවට ඇද වැටුණු දේශපාලන ව්‍යාපාරයකි. ඒ විනාශය නිසා එම පක්ෂයට පමණක් නොව මේ රටටද ලැබිය හැකිව තිබූ ජයග‍්‍රහණ ගණනාවක් නැති නාස්ති වී ගියේය. එම ව්‍යාපාරය වෙන්වෙන් කැපවූ සිය දහස් ගණනක් යහපත් මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කර දැමීමටද ඔවුන්ගේ පරාජය හේතුවිය. මේ නිසාම යළි නැගී සිටීමකදී ඔවුන් විසින් කළ යුතු පළමු කටයුත්තක් වන්නේ  මේ දරුණු ඛේදවාචකය ගැඹුරින් විශ්ලේෂණය කර ගැනීමය. එසේ වුවද බාහිරව හෝ අභ්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ වැදගත් සංවාදයක් ජවිපෙ තුළ තවමත් දක්නට නැත. එවැනි සංවාදයක් තියා එකී පරාජයේ තරමට සරිලන කම්පාවක් හෝ ඔවුන් කෙරෙන් පළ වනු දක්නට නැත. ඒ වෙනුවට ජවිපෙ පිළිවෙත වී ඇත්තේ ”ඔව් අපි යම් පසුබෑමකට ලක් වුනා” වැනි ඉතා ලූහු විග‍්‍රහයන් හරහා ඒ බරපතල ඛේදවාචකය ගැන ඉතා නොවැදගත් ප‍්‍රතිචාර දැක්වීමය. ඒ නොවැදගත් ප‍්‍රතිචාර තුළද ඔවුන් සරල ලෙස අවධානයට ගනිමින් හිදින්නේ සන්ධාන හැදීම හෝ ඒවායින් ඉවත් වීම ආදී උපායමාර්ගික ගමනට අදාළ කාරණා පමණක් වන අතර ජවිපෙ පරාජය කෙරේ බලපෑ සූක්ෂම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා පිළිබඳ ඔවුන්ගේ කිසිදු අවධානයක් තවමත් පෙනෙන්නට නැත. ඇත්තෙන්ම ජවිපෙ විනාශය කෙරේ බලපෑ නරක ජන්ම ගති ලක්ෂණ රැසක් ජවිපෙ තුළ පවතින්නේ කිරි කලයකට ගොම බිඳක් නොව ගොම තලියක්ම මුසු වී ඇති පරිද්දෙනි. ඔවුන්ගේ සියලූ ප‍්‍රබලතා නිශේධනය කොට එම ව්‍යාපාරය පරාජය කරා ගෙන යාමට තරම් මේ අහිතකර ලක්ෂණ තීරණාත්මකය. නිළධාරීවාදය, පටු සංවිධාන ක‍්‍රමවේද, අනම්‍ය නීති රීති, දාර්ශනික අගතිීන්, අල්ප මතවාද, මෝඩ සංස්කෘතික ඇබ්බැහිකම් ආදී වශයෙන් හඳුන්වා දිය හැකි මේ නිශේධනාත්මක ප‍්‍රවණතා ජවිපෙ පසුගිය කඩා වැටීම කෙරේද අතිශය තීරණාත්මක ලෙස බලපෑවේය. ජවිපෙ ස්වයං විනාශය ගැන ලියූ ”බිඳුණු වම් අත” කෘතියේ වැඩිම ඉඩක් මා වෙන් කළේද මේ ප‍්‍රවණතා මොනවාදැයි විමසා බැලීමටය. එසේ වුවද අවාසනාවකට ජවිපෙ තුළ හෝ ඉන් පරිබාහිරව මේ තීරණාත්මක ප‍්‍රශ්නය ගැන තවමත් හරිහමන් සංවාදයක් නිර්මාණය වී නැත. ඒ වග ජවිපෙ නව නායකයා ඇතුලූ සියල්ලන්ගේ හැසිරීම්වලින් මනා සේ සනාත වෙයි.

ඊට අදාල උදාහරණ මොහොතකට සලකා බලමු. මාක්ස්වාදයේ සන්දර්භමය සීමා මායිම් කිසිවක් නොතකන ජවිපෙ තවමත් මාක්ස්වාදය සලකන්නේ ලෝකය පිළිබඳ පරම නිෂ්ඨාවක් ලෙසය.  නිර්මාණශීලී ලෙස ආභාසය ලද හැකි වැදගත් දාර්ශනික හා දේශපාලන ප‍්‍රවණතාවක් ලෙස එය ඇසුරු කිරීමට ඔවුන් තවමත් සූදානමක් නැත. එතැනින්ද නොනවතින ජවිපෙ මේ වනවිටත් තම ජාතික පුවත්පතේ පිටු දොස්තරවරුන්ට සතිපතා වෙන්කර දෙමින් සිටින්නේ කසිකබල් හේතුවාදයක් සනාථ කිරීම සඳහාය. එය ඔවුන්ගේ මතවාදීමය අල්ප බව පිළිබඳ බලවත් නිදසුනකි.  මෑතකදී නව නායකයා පුවත්පතකට පවසා තිබුනේ පක්ෂයට ද්‍රෝහීකම් කොට පලා ගිය අය හැරුණු කොට නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එකතු කර ගැනීමට තමන් සූදානම් බවය. ඒ ප‍්‍රකාශයේ අනෙක් අර්ථය වන්නේ පක්ෂය හැර ගිය සියලූ දෙනා ද්‍රෝහීන් හෝ අනවබෝධය ඇත්තන් පමණක් වන විට එසේ නොවූ සියලූ උත්තම පුරුෂයන් තවමත් ජවිපෙ තුළ යහතින් ඉතිරිව සිටින බවය.  මේ අධිමානයේ මනස පක්ෂය ගැන බැතිමත් වර්ණනාවලට මිස ඊට අත්‍යාවශ්‍යම වන කටුක දේශපාලන සංවාදයට කිසිදා විවෘත වන්නේ නැත. ජවිපෙ නව හා පරණ නායකයන්ගේ සිට ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ ජවිපෙ වෙනුවෙන් දිවා රෑ මත පතුරුවා හරින්නන්ගේ කියුම් කෙරුම්වලින් පවා ප‍්‍රදර්ශනය වන්නේ මේ අධිමානයේ මනසමය. ඉතා අල්ප හා පටු බෙදීම් ඔස්සේ දේවල් දෙස බලන ඔවුන්ට තමන්ට වඩා වෙනස් මතයක් දරන තමන්ගේම මිතුරු පාර්ශවයන්  පවා තවමත් පෙනෙන්නේ ද්‍රෝහීන් ලෙසය. මේ සියල්ල ඔවුහු තම කතාවෙන් හා ක‍්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිති. ඊට අදාල ආසන්නතම උදාහරණය වන්නේ සුමතිපාල මානවඩුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සාමාජික පිරිස් පළවා හැරීම සහ ඒ අතරින් දෙදනකුට පහර දීමය. මේ සියලූ කාරණාවල සරල සාරාංශය වන්නේ තම අනාගත යහපත වෙනුවෙන් අතීත මෝඩ ඇබ්බැහිකම් අත හැරීමට ජවිපෙ තවමත් හිත හදාගෙන නැති බවය. ජවිපෙ තුළ කෙතරම් යහපත් ප‍්‍රතිපත්ති හා කැපකිරීම් ආදිය පැවතුනද මේ විනාශකාරී අභ්‍යන්තර දුර්ගුණාංග සමඟ තීරණාත්මක ගමනක් යාමට ඔවුන්ට කිසිදා හැකි වන්නේ නැත. තමන්ගේ කිරි කලයෙන් මේ ගොම තලිය ඉවත් කරන තුරා කිිරි ගැන ඔවුන් කරන සියලූ කාව්‍යමය වර්ණනා බීරි අලියන්ට කරන වීනා ගැසීමක් බඳු වනු ඇත. කාලයෙන් කාලයට උස් පහත් වන ඡන්ද ප‍්‍රස්තාර දෙස බලා සිටීමේ සදාතනික ඉරණම පරාජය කිරීමට නම් ඔවුන් විශාල වෙනසකට සූදානම් විය යුතුය.

මීළඟට වැදගත් කාරණය වන්නේ ජවිපෙ උපාය මාර්ගය ආශ‍්‍රිතව ඔවුන්ගේ වත්මන් ගමන විමසා බැලීමය. එහිදී අවධානයට ගත යුතු කාරණා කීපයකි. රටේ වර්තමාන පාලනය යටතේ අද මේ රට පවතින්නේ ඉතා ජරාජීර්ණ තැනකය. මේ නරක තත්ත්වය වෙනස් කිරීමට වර්තමාන පාලනය අසමත් නම් ඒ වෙනස කළ හැකි පාලන තන්ත‍්‍රයක් පිහිටුවා ගත යුතුය. එසේ වුවද  ඕනෑම වර්ගයක බල පෙරළියකින් හෝ  අරාබි වසන්තයක් මඟින් උදා කර ගත නොහැකි ඒ වෙනස වෙත එක් පියවරක් හෝ තැබිය හැකි වන්නේ  වඩා යහපත් ප‍්‍රගතිශීලී බලවේග අතට රටේ බලය මාරු කිරීමෙනි. එසේ වුවද අද මේ රටේ පවතින ආණ්ඩු විරෝධි ව්‍යාපාරය යනු එවන් ප‍්‍රගතිශීලී බලවේගයක් නොවේ. එම ව්‍යාපාරය ඉදිරියේදී පෙළ ගැසෙනු ඇත්තේ වත්මන් ආණ්ඩුව යුද්ධය හා බෙදුම්වාදය පැරදවීම ආශ‍්‍රිතව රටට ලබාදුන් වැදගත්ම ජයග‍්‍රහණය පවා ආපසු හැරවීම සඳහාය. රටේ වත්මන් ආණ්ඩුව පමණක් නොව ආණ්ඩු විරෝධී ව්‍යාපාරයද අද ජරාජීර්ණ අවුල් ජාලාවක් වෙයි. රටේ පවතින මේ තත්ත්වය තුළ අද ප‍්‍රගතිශීලී අරමුණු සහිතව ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාරයකට පසුකර යාමට සිදුවන්නේ ඉතා අසීරු හා සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එක් අතකින් වත්මන් පාලනයේ නොමනාකම් වලට විරුද්ධ වන අතරේම ඒ විරෝධය වෙනත් අශ්ශීල බලවේගයක ගිණුමට බැර නොවන ආකාරයෙන් කටයුතු කිරීමටද එවන් ව්‍යාපාරයකට සිදුවෙයි. එවන් ප‍්‍රවේශයක් මේ මොහොතේ තරමක් දුෂ්කර හා ළඟ පෙනෙන ඉක්මන් ඉලක්ක රහිත එකක් විය හැකි වුවද තෝරා ගත යුතු මාර්ගය එය මිස අන් කවරක්වත් නොවේ. එසේ වුවද ජවිපෙ වත්මන් උපාය මාර්ගික ප‍්‍රවේශය සලකා බැලීමේදී අපට දැකගත හැක්කේ කුමක්ද?

 ජවිපෙ තම උපාය මාර්ගය වරදවා ගැනීමේ පළමු තීරණාත්මක අවස්ථාව 2005 ජනාධිපතිවරණය වන අතර එතැන් සිට ඔවුන් දිගින් දිගටම කළේ එකී මූලික වරද්දා ගැනීමේ දිශානතිය ඔස්සේම පෙරට යාමය. එම ගමනේ කඩිනම් ප‍්‍රතිපලය වූයේ ඡන්ද පදනම අතින් පමණක් නොව භෞතික හා අධ්‍යාත්මික වශයෙන්ද අන්තයට පිරිහී ගිය හා තම ගෞරවය සියතින්ම නැති නාස්ති කර ගත් ව්‍යාපාරයක තත්ත්වයට ජවිපෙ ඇද වැටීමය. 2011 වනවිට පෙරටුගාමී පක්ෂය ලෙස ජවිපෙන් කොටසක් බෙදී යාමටද මේ දරුණු ඇද වැටීම එක් හේතුවක් විය. මෙහිදී පෙරටුගාමී පක්ෂය වැඩිකල් යාමට පෙර කැඞී විසිරී ගිය නමුත් මේ හැල හැප්පීම් සියල්ලෙන් පසුව පවා ජවිපෙ නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් හිස ඔසවන්නට වූ අතර රාජපක්ෂ පාලනයේ නොමනාකම් විසින්ද ජවිපෙ භූමිකාවට විශාල සදාචාරාත්මක බලයක් හිමි කර දුන්නේය.  ඒ අන්දමට ආණ්ඩු විරෝධය ඔස්සේ ජවිපෙ පෙරට ආ ගමනේ ආසන්න වැදගත් ලක්ෂය පසුගිය බස්නාහිර දකුණ මැතිවරණයි. 

මේ ආකාරයට අද වන විට ආණ්ඩු විරෝධී බලවේගයක් ලෙස ජවිපෙ භූමිකාව ආකර්ශණීය එකක් විය හැකි වුවද ඔවුන් තවමත් උපාය මාර්ගිකව වැදගත් ප‍්‍රවේශයක් ගෙන ඇතැයි සිතීම අසීරුය. ජවිපෙ වත්මන් ආණ්ඩු විරෝධී සටන් පාඨ බොහොමයක් සාධාරණ ඒවා වුවද ඔවුන් අද මේ රටේ පවතින අවුල බොහෝවිට විග‍්‍රහ කර ගනිමින් සිටින්නේද සරල ආණ්ඩු විරෝධයේ සීමාව දක්වා පටු වෙමිනි. ඊට ඉහළින් පවතින යටත් විජිතවාදයේ නරුම වියගස ගැන ජවිපෙ වත්මන් විවේචනය ඉතා තුනී එකක් වනවා පමණක් නොව ඔවුන් විටෙක හැසිරෙමින් සිටින්නේ යටත්විජිතවාදයේ ඇතැම් බලවේගවල ආස්වාදයට පවා හේතුවන අන්දමිනි. ජිනීවා ප‍්‍රශ්නය වැනි දේශපාලන කාරණාවලදී පමණක් නොව මෙරට කෘෂි රසායන භාවිතය ආශ‍්‍රිතව මතුවූ මිනිස් ජීවිත පිළිබඳ ඉතා තීරණාත්මක ගැටලූ වලදී පවා අනුර දිසානායකලා කටයුතු කළ ආකාරය ඊට එක් උදාහරණයකි. සැකෙවින්ම ගතහොත් වත්මන් ජවිපෙ කිසිවෙකු සමඟ සන්ධානගතව නොසිටියද ඔවුන්ගේ නොනිල සන්ධානය ගොඩනැ`ගී ඇත්තේ මෙරට දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සමගය. එය හුදු ආණ්ඩු විරෝධී සාධකය යටතේ ඉබේම සිදුවන කඳවුරු බෙදීමකට වඩා වැඩි දැනුවත් ගනුදෙනුවක් බව පැහැදිලිව පෙනෙයි. අනුරගේ නව නායකත්වයද මේ ගනුදෙනුවේදී තීරණාත්මක සාධකයක් විය හැකිය. අනුර යනු ජවිපෙ තුළ ඔත්තුකරුවකු ලෙස කටයුතු කොට අද ඔස්ටේ‍්‍රලියාවේ සුවසේ ජීවත් වන කුමාර් ගුණරත්නම්ගේ මීළඟ අනුප‍්‍රාප්තිකයාද නැද්ද යන සැකය කුමක් වුවත් අනුර වනාහී පසුගිය කාලයක් තිස්සේම එජාපය ප‍්‍රමුඛ බලවේග සතුටු කරවන තීන්දු තීරණ වෙනුවෙන් ජවිපෙ තුළ අරගල කළ අයෙකි. ඔහුට එරෙහි තැනක සිටි විමල්, සෝමවංශ වැනි අයගේ විරෝධයද රහිත තත්ත්වයක් යටතේ අද අනුරට වඩා පහසුවෙන් ක‍්‍රීඩා කළ හැකිව තිබේ. මේ නිසාම දෝ අද ජවිපෙ ගමනට පූර්ණ විප්ලවීය සහයෝගය ලබාදෙමින් සිටින්නේ සිරස, මව්බිම වැනි සමාජ පාදඩකරණ මාධ්‍ය ආයතන විසිනි. අතීතයේදී ජවිපෙ පතුරු ගැසූ සිරසටත්, රනිල් එලවීමේ කොන්ත‍්‍රාත්තුවේදී සිරසේ සම සහකරුවා වන මව්බිමටත් ජවිපෙ ගැන පහල වී ඇති මේ හදිසි ආදරය එම පක්ෂය තුළ සිටින සිහි බුද්ධියක් ඇති සාමාජිකයන්ගේ තියුණු විමසුමට ලක්විය යුත්තකි. එවැනි සමාජ දූෂක මාධ්‍ය ආයතන පමණක් නොව මෙරට ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රික ඊනියා බුද්ධිමතුන්ද අද පෙල ගැසී සිටින්නේ ජවිපෙ වටාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියත අභාවයෙන් පසු ඔවුහු තම අභිලාෂයන් සඳහා නැවතත් ජවිපෙ වෙත ඉව අල්ලමින් සිටිති. මෙවර මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් ප‍්‍රකාශ ලබා දී ඇත්තේ නිර්මාල් රංජිත්, කුමාර් ඬේවිඞ්, ජෙගනාදන්, දයාන් ජයතිලක ආදී අපූරු මහදැනමුත්තන් පිරිසකි. එදා ජවිපෙ පස් අවුරුදු සැලැස්ම පතුරු ගැසූ දයාන් ජයතිලක ජවිපෙ වත්මන් නවීන සමාජවාදී වැඩපිළිවෙල පසසමින් ලංකා පුවත්පතට සාකච්ඡාද ලබාදෙයි. තමන් ජවිපෙට ඡන්දය දෙන්නේ මන්දැයි පුවත්පතකට ලියන නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ජවිපෙ තුළින් සිංහල ජාතිකවාදී සංඝටක බැහැර වී තිබීමත්, මෑතක සිට ඔවුන් දෙමළ ජාතික සන්ධානය සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීමත් බෙහෙවින් අගය කළ යුතු ගුණාංග බවය. එසේ පවසන අතරේම වන සත්වයෙකුට ඇති තරමේ හෝ ප‍්‍රායෝගික බුද්ධියක් නොමැති මේ ඇදුරාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙනෙන්නේ සමාජවාදී පරිවර්තනයට අවශ්‍ය බුද්ධි මහිමය සහිත ව්‍යාපාරයක් වශයෙනි. ලොකුම ඛේදවාචකය වන්නේ මෙවන් නරි නාටකීය විචාරයන් තඹ දොයිතුවකට නොතකා බැහැර කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන පෞරුෂය වත්මන් ජවිපෙ තුළ නොතිබීමය. මෑත ඉතිහාසය තුළ ජවිපෙ යහතින් පෙරට ආ සෑම මොහොතකම මේ "යූඇන්පී වාමාංශිකයෝ" එහි සතුරු පිල නියෝජනය කළෝ වෙති. ඇත්තෙන්ම මේ අපාය සහායකයන්ගේ ආශිර්වාදයම ජවිපෙ වත්මන් භූමිකාව කුමක්දැයි වටහා ගත හැකි වැදගත් දර්ශකයකි. ඔවුන්ට අවශ්‍ය වනුයේ යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩෙන ජනතා විමුක්ති පෙරමුණක් නොව තමන්ගේ සිල්ලර වුවමනා සඳහා  අවභාවිතයේ යෙදවිය හැකි ජනතා විමුක්ති පෙරමුණකි. ඔවුන්ගේ කඩිනම් අවශ්‍යතාව වනුයේ ඉදිරි බල හුවමාරුවක් සඳහා ජවිපෙ වෙතින් අත් උදව් සපයා ගැනීමය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉස්සර කර ගනිමින් පැමිණෙන ද්‍රෝහී න්‍යාය පත‍්‍රය බලාත්මක කර ගැනීමේදී ඔවුන්ට ජවිපෙ සහාය අත්‍යාවශ්‍ය වෙයි. නමුත් ජවිපෙ හෝ රටේ ජයග‍්‍රහණයට හේතු නොවන එකී න්‍යාය පත‍්‍රය බෙදුම්වාදය යළි දිනවන, ජාතිවාදය පෝශණය කරන, රටේ අස්ථාවරභාවය ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් වනු නොඅනුමානය. ඔවුන්ගේ වත්මන් අභිලාෂය වනුයේ මේ සඳහා අතකොලූවක් ලෙස භාවිත කළ හැකි ජනතා විමුක්ති පෙරමුණකි. අද ඒ අභිලාෂයට ජවිපෙ පාර්ශවයෙන්ද සුබවාදී අනුබල සැපයෙමින් තිබේ.

ජවිපෙ ආණ්ඩු විරෝධි වීමේ කිසිදු වරදක් නැතත් ඔවුන් එය කළ යුත්තේ රටේ ජයග‍්‍රහණවලට හේතුවන ආකාරයෙනි. ජවිපෙ සන්ධාන ගතවීම නිරපේක්ෂව වරදක් නොවුනත් ඔවුන් එය කළ යුත්තේද යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස තමන්ගේ සහ රටේ සුබ සිද්ධියට ඉවහල් වන අන්දමිනි. මේ මොහොතේ ළඟ ඉලක්ක රහිතව වුවත් ඔවුන් විසින් තෝරා ගත යුතු ප‍්‍රවේශය එවැන්නකි. අද ජවිපෙ වටා එක්ව සිටින කපටි ආරක්ෂකයන්ගේ මර උගුල්වලින් ගැලවීමට ඔවුන්ට හැකිවනුයේ ඒ නිසි ප‍්‍රවේශය ඔස්සේ අතීත මෝඩකම් නිවැරදි කර ගනිමින් පෙරට යාමෙනි. එසේවුවද අනුර දිසානායක යනු බොහෝ විට ඒ උගුල් මඟ හැර යා හැකි නායකයෙක් නොව ඒ උගුල් කරා ජවිපෙ ගෙනයාමේ අවදානමක් සහිත නායකයෙකි. අකමැත්තෙන් වුවත් අද පෙනෙන්නට තිබෙන කාරණා අනුව අපට එළඹීමට සිදුවන කටුක නිගමනය එවැන්නකි. එහෙයින් මේ කටුක දේශපාලන කාරණා තේරුම් නොගනිමින් පුංචි ඡන්ද වර්ධනයක් ගැන උද්දාමයට පත්වීම තේරුමක් නොවේ. අනෙක් අතින් මේ මැතිවරණයේදී ජවිපෙ අභිබවා යාමට සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවා සමත්ව තිබේ. එය කෙටිකාලීන රැල්ලක් ලෙස හැඳින්විය හැකි වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලැබුනු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනී යන්නේ ජවිපෙ තම මෝඩ ක‍්‍රියාමාර්ග හරහා නිකරුනේ නැතිි නාස්ති කරගත් ගෞරවය හා මහජන විශ්වාසය යළි පිළිසකර කර ගැනීම ඔවුන්ට එතරම් පහසු නොවන බවය. ෆොන්සේකාගේ පක්ෂයේ ඉදිරිය කුමක්විය හැකි වුවද නව විකල්ප ව්‍යාපාරයක් සඳහා රට තුළ බලවත් අපේක්ෂාවක් පවතින බව ඒ පක්ෂයට කඩිනමින් ලැබුණු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනීයයි. 

අවසාන වශයෙන් සැකෙවින් සලකා බැලීමේදී 1994 සිට ජවිපෙ පැමිණි ජයග‍්‍රාහී ගමන නින්දිත පරාජයක් දක්වා ඇද වැටීමට බලපෑ ප‍්‍රධාන හේතු දෙකක් තිබේ. පළමු කාරණය වන්නේ තම අභ්‍යන්තරයේ තිරව මුල් බැස පැවති දුර්ගුණාංග හඳුනා ගනිමින් කාලානුරූපව ඒවා වෙනස් කර ගැනිමට ඔවුන් සමත්  නොවීමය. දෙවන කාරණය වන්නේ ඔවුන් තම නිසි උපාය මාර්ගික ගමන වරද්දා ගැනීමය. අද ජවිපෙ පුංචි මැතිවරණ නැගීමකින් උද්දාමයට පත්ව සිටියද මේ මූලික වැරදි දෙක නිවැරදි කර ගැනීමේ අවම සූදානමක් හෝ තවමත් ඔවුන් වෙතින් පෙනෙන්නට නැත. ඔවුන් අද නැවතත් පෙරට යාමට සූදනම් වන්නේ මේ වැරදි එලෙසම පවත්වා ගනිමින් වීම බෙහෙවින් කණගාටුදායක තත්ත්වයකි. කෙසේ හෝ වේවා මේ වැරදි නිවැරදි කර නොගත් පලියට එම පක්ෂය නැත්තට නැතිවී යන්නේ නැත. ඉදිරියේදී ඇතැම්විට ඔවුන් තව තවත් වර්ධනය විය හැකිය. තව තවත් මන්තී‍්‍ර ධූරද ලබාගත හැකිය. වැටෙන වැටෙන වාරයක් පාසා මොන මොන ක‍්‍රමයකින් හෝ යළි යළි නැගී සිටීමටද බැරි කමක් නැත. එසේ වුවද වැටි වැටී නැගිටින සුපුරුදු ගමන වෙනුවට ස්ථාවර ශක්තියකින් නැඟී සිටිමින් මේ රටේ වැදගත් පරිවර්තනයක් කිරීමට ජවිපෙට හැකිවනුයේ ඉහත වැරදි තේරුම් ගනිමින් ඒවා වෙනස් කර ගැනීමට ඔවුන් කවදා හෝ සමත් වන්නේ නම් පමණි. අපට අවසාන වශයෙන් කළ හැක්කේ ඒ නිසි මාවත වෙත තම ව්‍යාපාරය ගෙනයාමට අවශ්‍ය සිහි බුද්ධිය ජවිපෙ සාමාජිකයන් තුළ කවදා හෝ පහළ වේවායි ප‍්‍රාර්ථනා කිරීමය.



-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. ජාතිවාදියෙක් ලියූ මෝඩ ලිපියක්.

    ReplyDelete
  2. විභූතිරත්න4/11/2014 5:11 PM

    මාතෘකාව විතරයි නේද ඔයා කියෙව්වේ?
    කලබලේ කොමෙන්ට් දාන්න කලින් ඉතුරු ටිකත් නිවිහැනහිල්ලේ කියෙව්වනම් හොඳා...

    ReplyDelete
    Replies
    1. මාතෘකාව ජාතිවාදීද?
      මේ ලිපියේ එකම දේ මඩේ දදා කියනවා. මාක්ස්වාදය යල්පැන ගිය දෙයක් බවට විවාදයක් නෑ. හැබැයි ඒ වෙනුවට ජාතිවාදෙ ආදේශ කිරීමට දැගලීම ගැනනම් පොඩි ගැටලුවක් තියෙනවා.
      දැන් ඉන්න ජාතිවාදීන්ගේ (මේ ලේකකයා ඇතුලුව ) අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් පිලිගන්න අයට ජාතිවාදී ලේබලය ඇලවීම. මේ මනුස්සයා දැන් අදහන්නේ නලින් ද සිල්වා, ගුනදාස අමරසේකර වගේ ජාතිවාදී සෙට් එකනේ. ඒ සෙට් එක ජාතිවාදී නෙමෙයි කියනවා නම් ඉතින් ජේවීපී එකත් මාක්ස්වාදී නෙමෙයි. හෙබෙයි ඉතින් අපට විහිලු සපයන්නන් ලෙස මොවුන්ට සමාජයේ හොද පිලිගැනීමක් තියෙනවා. ඔවුන්ගේ මධුසමය තමයි මේ ගෙවෙන්නේ.

      Delete
  3. හොඳ විග්‍රහයක්. ජවිපෙ කියන්නෙ මෙරට දේශපාලනයේ සිටිය යුතු බලවේගයක් බව ගැන නම් ගැටළුවක් නැහැ. නමුත් ජවිපෙට සිය මාක්ස්ලබ්ධියෙන් ගැලවෙන්න තරම් හයියක් නැත්නම් එය මෙරට බලයට පත් නොවන වගට වග බලා ගන්න එකත් වැදගත්.

    ඉසුරුගෙ ලේඛන ශෛලිය ගැනත් නොකියාම බැරි විවේචනයක් ලියන්න සිද්ද වෙනව. මේක ඇත්තවශයෙන්ම බිඳුණු වම් අතෙත් දකින්න ලැබුණු දෙයක්. ඉසුරු ඇතැම්විට එකම කරුණ අනවශ්‍ය ලෙස අවධාරණය කරන බවක් පෙනෙන්න තිබෙනව. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ඉසුරුගෙ ලේඛන ඒවයෙ කියවිලා තිබෙන කරුණු තර්ක වලට සාපේෂව අනවශ්‍ය ලෙස දික් ගැස්සෙන බවක් හැ‍ඟෙනව.

    - ප්‍රභංග

    ReplyDelete
  4. නලින් ද සිල්වා හෝ අමරසේකර සුලු ජාතීන්ගේ අයිතීන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කොතනද කියලා පෙන්නාදෙන්න පුලුවන් නම් ඒක හොදයි වදුරු කුනුහරප කතා කරනවට වඩා




    ReplyDelete
  5. baka pandithayanta chun wenna puluwan lipiyak....

    ReplyDelete
  6. ඉසුරු අයියෙ ඔයා රජරට ඇග්‍රි එකේ ඉන්න කාලෙදි ජවිපෙ සම්බන්ධව ඔය විවේචනය තිබ්බෙ නෑ නේද?විමල් එක්ක ආණ්ඩුවට පැනල දැන් විමල්ට යනඑන මන් නැති වෙන කොට ඔයාලට තාමත් විපක්ෂ පේන්නෙ කිඹුල්ලු වගේ.ජාතිවාදී ගොහොරුවේ ලැගගෙන අනුන් ඇගිල්ල දික්කලාට තමන් ඉන්න නරාවල පේන්නෙ නෑ.

    මතකනම් - ධනංජය

    ReplyDelete
  7. සේ පවසන අතරේම වන සත්වයෙකුට ඇති තරමේ හෝ ප‍්‍රායෝගික බුද්ධියක් නොමැති මේ ඇදුරාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙනෙන්නේ සමාජවාදී පරිවර්තනයට අවශ්‍ය බුද්ධි මහිමය සහිත ව්‍යාපාරයක් වශයෙනි.

    meke theruma thawa tikak karunu sahithawa pehedili karannako.

    Mrax wadaya yal pena etha kiyana deyath karunu sahithawa oppu karala penwanna, aduma tharamin Marx wadaya kiyanne mokakda kiyalawath oyata puluwanda pehedili kranna ?

    oya mokatada me JVP eka gena awada wenne, Jathika Nidahas Permaun hada gaththa nam JVP eka gena katha karanna awashya wenne ne neda ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com