10/13/2014

මහින්දට බෑ වීම…

කතෘ:යුතුකම     10/13/2014   15 comments
තුන්වරක් චක්කරේ...

මහින්දට තුන්වරක් පුළුවන්ද? අද දේශපාලන සමාජයේ මාතෘකාව බවට පත් කර ඇති මාතෘකාව එයයි. ජනාධිපතිවරණය වැනි රටට ඉතා තීරණාත්මක සමයක ඇති විය යුතු ප්‍රතිපත්ති , ඉදිරි දැක්ම ආදී ගැන සිදුවිය යුතු අත්‍යවශ්‍ය කතිකාව යට යවමින් අවශේෂ කරුණක් පිළිබඳ සමාජයේම අවධානය යොමු කරවන ප්‍රවණතාවයක් දැන් කලක සිටම ක්‍රියාත්මකව තිබේ. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලනයට ආධුනිකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා 'පොදු අපේෂක ' පුවරුවද එල්ලා දේශපාලන පිටියට තල්ලු කර සිදුකළ දේශපාලන විකෘතියේම දිගුවක් ලෙස අද "තුන්වරක් බෑ" යනුවෙන් දිගහැරෙන මේ කතාබහද සැලකීම ආසාධාරණ නොවේ.
සමහරකු බටහිර වූ පලියට බටහිර  සියල්ලෙහිම නුගුණ දැක්කද, තවත් සමහරකු අනෙක් පසින් අප බටහිර අනුකාරක සමාජයක් යැයි චෝදනා කලද බොහෝ බටහිර රටවල මේ තත්වය දක්නට නොමැත. විශේෂයෙන් ඇමරිකාව , එංගලන්තය ආදියෙහි මෙවැනි ප්‍රමුඛ මැතිවරණයකදී මූලිකත්වය ගන්නේ රටේ ඉදිරි ගමනට වැදගත් වන ජාතික ප්‍රතිපත්ති ගැන මිසක මෙවැනි දෙකයි පනහේ සිල්ලර මාතෘකා ගැන නම් නොවේ. මාධ්‍ය ඇතුළු සියළුම ධාරාවන් ඒ වකවානුවේ තම මාතෘකාව බවට පත් කරගන්නේ එයයි.  බොහෝ විට මෙවැනි හදිසියේ පැලකළ මාතෘකා වෙනුවට  ආර්ථික පිළිවෙත ,ආරක්ෂාව ,  අධ්‍යාපනය , සෞඛ්‍ය,  විදෙස් සබඳතා ආදී ප්‍රතිපත්තිමය කාරණා වලට සම්පූර්ණ බරක් දෙන අයුරු ඒ බොහෝ තැන්වලදී නිරීක්ෂණය කළ හැක.
නමුත් අවාසනාවකට අප කවුරුන් හෝ නිර්මාණය කර දෙන එදා වේලට පමණක් සරිලන මාතෘකාවක සිර වෙමින් සිටිමු.

සරත් එන් සිල්වා මහතාගේ තර්කය.

"මහින්දට තුන්වරක් බෑ" යන තර්කය මෑතකදී මුලින්ම ඉදිරිපත් කලේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාය. ඔහුගේ තර්කයේ මූලික හරය ඇත්තේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කල 31/2 වගන්තියේය. 31 වෙනි ව්‍ය වස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාව යටතේ සඳහන්ව තිබුණේ ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යනුවෙනි.
සරත් එන් සිල්වා මහතාගේ නීති තර්කයේ අඩංගු වන්නේ 2010 ජනවාරි 27 වනදින දෙවනවර ජනාධිපතිධූරයට පත් වූ විගසම ඒ 31/2 වගන්තියට අනුව මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වර ඉල්ලීමට නුසුදුස්සෙකු වී ඇති බවයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 31/2 වගන්තිය ඉවත් කලද එය අතීතයට බලාපාන පරිදි සංශෝධනය නොකිරීම නිසා 2010 ජනවාරි 27 වනදා සිදුවූ 'තුන්වනවරයට නුසුදුස්සකු වීම' ඉවත්ව නැති බවයි. අතීතයට බලපාන අයුරින් නීති වෙනස් කරගත් ආකාරය පිළිබඳ උදාහරණද  ඒ සඳහා අර්ථකථන පනත තුල අඩංගු මගපෙන්වීම්ද ඒ මහතාගේ පැහැදිලි කිරීමේ අන්තර්ගතය.

ගෝමින් දයාසිරි මහතාගේ මතය.

නමුත් මීට ප්‍රතිවිරුද්ධ ප්‍රධාන නීති තර්කය මතු කරන පාර්ශවයේ ප්‍රබලයෙකු ලෙස සැලකිය හැකි නීතිඥ ගෝමින් දයාසිරි මහතා ඒ පිළිබඳ පැහැදිලි කරන්නේ මෙසේය. ගෝමින් දයාසිරි යනු උතුර හා නැගෙනහිර පලාත් නීත්‍යානුකූලව වෙන් කිරීම , සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම ආදී පසුගිය ඉතිහාසයේ රටට දායාද කල තීරණාත්මක ජයග්‍රහණයන්හිදී නීතිය ඉදිරියේ පෙනීසිටී යෝධ ත්‍රයිකාවේ (එස් එල් - එච් එල් - ගෝමින් ) එක් ප්‍රබලයෙකි.

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 (2) උප වගන්තිය අනුව ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි වාර ගණන 2 කට සීමා කර තිබුණා. එහෙත් 18 වැනි සංශෝධනයෙන් එම කොන්දේසිය ඉවත් කර තිබෙනවා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබඳ කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබඳව කතා කරනවා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. දැනට ව්‍යවස්‌ථාවේ පවතින ආකාරයට ජනාධිපතිවරයකුට තරග කිරීමට හා තනතුරේ සිටින වාර ගණන සීමා කිරීමක්‌ නැහැ. නමුත් මෙහිදී වැදගත් වන්නේ 31 (2) වගන්තිය අවලංගු කිරීම පමණක්‌ නොවේ. ව්‍යවස්‌ථාවේ 92 වගන්තියේ කොන්දේසිය මගින් ජනාධිපති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තරග කළ හැකි වාර ගණන දෙකක්‌ බව සඳහන් වෙතත් එයද 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත්කොට තිබෙනවා.
 ජනාධිපතිවරණයකදී අප විමසා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ‍ ජනාධිපතිවරයාට ඒ සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් තිබේද නැද්ද යන්නයි. 92 වගන්තිය 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත් කිරීම නිසා ඔහුට තරග කිරීමට අවස්‌ථාව තිබෙනවා. මෙයට කෙටි උදාහරණයක්‌ ගනිමු. අතීතයේදී බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට ඡන්ද බලය නොතිබූ අතර අපේක්ෂකයන් වීමට ද අයිතියක්‌ තිබුණේ නැහැ. නමුත් පසු කාලයකදී සර්වජන ඡන්ද බලය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිමි වූ නිසා කාන්තාවන්ට ද අපේක්ෂටකයන් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවස්‌ථාව ලැබුණා. මාග්‍රට් තැචර්ට බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමට ලැබුණේ ද ඒ නිසයි. නීතියක්‌ වෙනස්‌ කළ පසු එහි කලින් තිබූ කොන්දේසි වෙනස්‌ වෙනවා. “

ගෝමින් දයාසිරි මහතා මතුකරන මෙම කරුණට අමතරව සරත් එන් සිලවා මහතාගේ තර්කය දුබල කරන තවත් වැදගත් කරුණක් ඒ මහතාගේම කතාව තුලම අන්තර්ගතවේ. එනම් 31/2 වෙනි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණු ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යන වගන්තිය අතීතයට බලපාන පරිදි 18 වන සංශෝධනයේදී වෙනස් කරගැනීමට අතපසු වී ඇති බව සරත් එන් සිල්වා මහතා පවසයි. එහිදී ඔහු දෙවන වතාවට පත් වීම යන කරුණ සලකා බලන්නේ ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරි 26 දිනයි.

නමුත් නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතුන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි ජනාධිපතිවරයා තම දෙවනි ධූර කාලය නිල වශයෙන්  ආරම්භ කලේ 2010 ජනවාරි 26 දින  නොව 2010 නොවැම්බර් 19 වන දිනයි.  එලෙස දෙවන ධූර කාලය ආරම්භ කරන්නට පෙර , එනම් 2010 සැප්තැම්බර් 09 වන දින 18 වන සංශෝධනය සම්මත කරගෙන ඇත. ඒ අතින් බැලූකල ජනාධිපතිවරයා දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ආරම්භ කරන නොවැම්බර් 19 වන දින වන විට 31/2 වගන්තියක් ව්‍යවස්ථාවේ අඩංගු නොවේ. ධූර කාලය ආරම්භවන්නේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය නිසාම ජනාධිපතිවරයා විසින්ම ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය යතතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරය පෙන්වා දී තිබෙනුයේ දෙවනි ධූර කාලය ආරම්භ වන්නේ 2010 නොවැම්බර් 19 වන දින බවයි.

මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන සරත් එන් සිල්වා මහතා හිතාමතාම අඩු බරක් දී කතා කරන අයුරක් පෙනෙන්නට තිබේ. ඔහු පුවත් පතක් සමග සාකච්චාවකට එක් වෙමින් පවසා තිබුණේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි බවයි. හිටපු අගවිනිසුරුවරයෙකු වූ පළියට සරත් එන් සිල්වා මහතාගේ කතා දේව වාක්‍ය‍යක් වන්නේවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිෂේධ කරන්නේවත් නොවේ. සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරය දැරූ අවධියේ ලබා දුන් සමහර තීරණාත්මක තීන්දු පිළිබඳ බාහිර සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතා පැවති බව රහසක් නොවේ. නමුත් එය එසේ වූවා කියා එතුමා අගවිනිසුරුවරයා ලෙස ලබා දුන් තීන්දු නිෂේධ වූයේ නැත.  වැදගත්වන්නේ අධිකරණය හරහා ලැබෙන තීන්දුව කුමක්ද යන්නයි.

මේ සියළු කරුණු වලින් පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් අතන මෙතන ජනප්‍රියතාව උදෙසා වාද කිරීමෙන් මෙය විසඳා ගත හැකි නොවන බවයි. විසඳා ගත හැකි එකම ක්‍රමය සරත් එන් සිල්වා මහතාම කියන පරිදි අධිකරණයම වේ. කවුරුන් හෝ එය නොසලකා ජනප්‍රිය ගැලරි දේශපාලනයේ නිරතවේනම් එය තනිකරම තක්කඩිකමකි.

දේශපාලන බැරි බැරියාව...

මේ දෙපාර්ශවයම නීති පොත් පෙරලා ඉදිරිපත්කරන මත සැලකූ විට පැහැදිලි වන එක් කරුණක් නම් සැමදෙනාටම සලරල එකඟ විය හැකි පහසු සරල අර්ථනිරූපණයක් නැති බවයි. එයිනුත් විශේෂයෙන් සරත් එන් සිල්වා නියෝජනය කරන මතය කිසිඳු විචිකිච්චාවකින් තොරව පිළිගත හැකි සුපැහැදිලි අර්ථ නිරූපණයක් නොවන බවයි. එනම් එයට එරෙහිවද ප්‍රබල නීතිමය තර්ක ඉදිරිපත්ව ඇති බවයි.


නමුත් ඒ සියලු අපැහැදිලිකම් මධ්‍යයේ වුවත් දේශපාලන පක්ෂ සමහරක් ඒ දුර්වල තර්කය මත පදනම්ව ජනාධිපතිවටණයට ඉදිරිපත්වීම/නොවීම යන තීරණාත්මක කරුණ පිළිබඳ තීරණ ගන්නා අයුරු පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණත් සරත් ෆොන්සේකා මහතාත් එලෙස ජනාධිපතිවරණ වර්ජනය කිරීමට අවශ්‍ය පදනම ලෙස ඒ දුර්වල තර්කය යොදා ගනිමින් සිටී. නමුත් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ එවැනි අපරිණත හැසීරීමක් නොපෙන්වීම පැසසිය යුතුය. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක සිටින එජාපය මේ බැරි බැරියාවේ සීනි බෝල තර්කවල එල්ලීම වෙනුවට ශ්‍රීලනිප යේ ඡන්ද පදනම ආක්‍රමණය කල හැකි දේශපාලන සංධානයක් ගොඩනැගීමට වෙහෙසෙමින් සිටිනු පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ අවධියේ දස අතේ දිවුරා ප්‍රකාශ කලේ වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිධූරයට ඉල්ලිය හැකි වාර ගණනේ සීමාව අහෝසි කරගත් බවයි. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් වූ බවද ජවිපෙ පෙන්වා දුන්නේය.මේ එකල ජවිපෙ නායකයන් කිහිප දෙනෙක් 18 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පළ කල අදහස් කිහිපයකි.

මේ ජවිපෙ ජාතික සංවිධායකවරයා එවකට පළකළ අදහසයි:
“2010 සැප්තැම්බර් 8 වන දින අපේ රටේ ඉතිහාසයට අපකීර්තිමත් පරිච්ඡේදයක්‌ එකතු කළේය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබූ අවසන් විශ්වාසයත් පවුලේ සුසාන භූමියේදී මිහිදන් කර අවසන් කටයුතු කළේය. 18 වැනි සංශෝධනය අරමුණු කර ඇත්තේ රාජපක්ෂව පවුල සදාකාලික බලයේ සිටීමයි. එයට තිබූ සියලු බාධා ඉවත් කර ඇත. එය ජනාධිපති ධුර කාලය දැරීමේ වාර ගණන සංශෝධනය කිරීම පමණක්‌ නොව වෙනත් ආකාරයකින් ඇති විය හැකි සියලු බාධා ඉවත්කරගෙන ඇත. “
- බිමල් රත්නායක : ජවිපෙ ජාතික සංවිධයක (2010-09-12)

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒ පිළිබඳ නිකුත්කල මාධ්‍ය නිවේදනයේ මෙලෙස සඳහන්ව තිබිණ.
18 ව්‍යවස්‌ථා සංශෝධනය මගින් සිදු කර ඇත්තේ එක්‌ පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති වාර දෙකේ සීමාව ඉවත් කිරීමයි. ඒ හරහා ගොඩනැගීමට උත්සාහ කරන්නේ මාකොස්‌ පන්නයේ ඒකාධිපති පවුල් පාලනයක්‌ බව පැහැදිලිය. “
- ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය - (2010-09-10 )

එවකට ජවිපෙ නායකත්වය දැරූ ජවිපෙ විසින් බිහිකල මූලෝපාය පිළිබඳ විශේෂඥයා ලෙස බොහො දෙනා සැලකූ සොමවංශ අමරසිංහ මහතා පළ කළේ මෙවැනි අදහසකි.

මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ජනාධිපති ධුරයේ වාර ගණන ගැන කිසිදු සීමාවක්‌ නැහැ. දාහත්වැනි සංශෝධනයත් අහෝසි වෙනවා. ජනපති ධුරයේ වාර ගණන සීමා නොකිරීම, දාහත්වැනි සංශෝධනය අහෝසි කිරීම යන කරුණු දෙකම එකට අරන් සාකච්ඡා කරද්දී තමයි මේ දහඅටවැනි සංශෝධනයේ භයානකකම පිළිබඳ චිත්‍රය දකින්න හැකිවන්නේ.
කිසිම දෙඩිගියාවක්‌ නොමැතිව ආරම්භයේ සිටම ජනතා විමුක්‌ති පෙරමුණ මේකට විරුද්ධ වුණා. “
-සෝමවංශ අමරසිංහ (2010-09-04)

ජවිපෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කල පහත ප්‍රකාශය මේ ප්‍රකාශන මාලාවේ වැදාගත්ම ප්‍රකාශයක් වේ.
"ව්‍යවස්‌ථා සංශෝධනයෙන් කරන්න යන්නේ වත්මන් ව්‍යවස්‌ථාවේ 31(2) උප වගන්තිය ඉවත් කරන එක. එයින් එක්‌ පුද්ගලයකුට ජනපති ධුරය දැරිය හැක්‌කේ එක්‌වරක්‌ පමණක්‌ යන්න ඉවත් කිරීමක්‌. මෙයින් ජනතා පරමාධිපත්‍ය ආරක්‌ෂා වන්නේ නැහැ. තනි පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත කොට ඒකාධිපතිත්වයක්‌ නිර්මාණය කිරීමයි මේ සිදුවන්නේ.මෙය එක්‌වරම ජනතාවට නොදැනෙන්න පුළුවන්. අපි ලංකා ඉතිහාසයේ හැම විටම අනික්‌ පක්‌ෂවලට පෙර අවදි වූ පක්‌ෂයක්‌. සටන් විරාම ගිවිසුම වැරදි බව මුලින්ම කිව්වේ අපි. සුනාමි සහන මණ්‌ඩලය වැරදියි කියලා මුලින්ම කිව්වේ අපි. ඒ වගේ දේවල් පසුකාලෙක ඔප්පු වුණා. අපි කිව් දේ යථාර්ථයක්‌ කියලා. ඒ වගේම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කරන මේ වැඩෙත් අපේ රට ඒකාධිපති ගමනකට යටත් වන බව අපි කියනවා."
- සුනිල් හඳුන්නෙත්ති (2010 -09-05 )

මේ ප්‍රකාශ බැලූ විට පැහැදිලිව පෙනෙන කාරණයක් නම් ජනාධිපතිවරයා තම ධූර වාර ගනනේ සීමාව ඉවත් කරගෙන ඇති බවට ජවිපෙට ඉර හඳ සේ විශ්වාසව තිබූ බවයි. ඒ පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජවිපෙ සමග සමීපව ඇසුරු කල සරත් එන් සිල්වා මහතාවත් අද ඉදිරිපත් කරන මහා සොයාගැනීම පිලිබඳ යාන්තමින් වත් හෝ දැනුවත් කර නැත.. ඉහත අවසන් ප්‍රකාශයේ සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීවරයා ජවිපෙ පිළිබඳ වර්ණනාවක්ද සමග එය තිරව ප්‍රකාශ කරන්නේ එබැවිනි. ඔහු පවසන්නේ ජවිපෙ මේ කරුණ පිළිබඳවද සියළු දෙනාට කලින් 'අවදිව සිටි' බවයි. නමුත් අවාසනාවට අද ජවිපෙ ඒ කරුණ සම්බන්ධව සිදුකරන පරස්පර ප්‍රකාශ දුටු විට අපට නිගමනය කළ හැක්කේ ජවිපෙ කලින් අවදි වීම කෙසේ වෙතත් එදා අඩ නින්දේ සිටි බව හෝ අද හොරට නිදන බවයි.

පොදු ආපේක්ෂක අපේක්ෂාවෙන් පසු චන්ද වර්ජනයට...

එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කරන තෙක්ම ජවිපෙට මේ මහා සොයා ගැනීම ගැන කිසිඳු අදහසක්වත් නොවීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීමට පොදු අපේක්ෂකය්කු පිළිබඳ දිගින් දිගටම බලාපොරොත්තු තබාගෙන සිටියේ එබැවිනි.
එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි සැල වී විට ටික දිනක් යනතෙක්ම කල යුත්තක් ගැන අදහසක් නොමැතිව ගන්ධබ්බ අවස්ථාවකට ජවිපෙ පත්විය.

ඒ වකවානුවේ ජවිපෙ වත්මන් නායකයා පලකල පහත අදහස් මගින් ජවිපෙ දැරූ මතය හොඳින් පැහැදිලි වේ.

"අපේ රටේ නිශ්චිත මැතිවරණ සිතියම අනුව ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2017 ජනවාරි මාසයේ. ඒත් වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරනවා 2015 මුල් භාගයේ ජනාධිපතිවරණයක්‌ පවත්වන්න. ඒ අන් කවරකටවත් නොවේ. 2017 දක්‌වා තව වසර දෙකක්‌ රාජපක්ෂ පාලනය ඉදිරියට ගෙන ගියොත් වත්මන් ජනාධිපතිවරයාට 2017 ජනාධිපතිවරණයක්‌ ගැන සිතා බලන්නවත් නොහැකි වන බව ඔහු දන්නවා. ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වීමෙන් පෙන්වන්නේ ඉදිරි වසර දෙකක කාලය රටේ ජනතාවට තවත් පීඩනය ඇතිකරන බවයි. එම නිසා එළැඹෙන ජනාධිපතිවරණයට රාජපක්ෂක පාලනය පෙරළා දැමීම සඳහා සියලු සැලසුම් දියත් කළ යුතුයි. ඒ සඳහා දායකත්වය සැපයීම ජනතාවගේ වගකීමක්‌. ඒ සඳහා පුළුල් ව්‍යායාමයක් පිළිබඳ අදහසක ජනතා විමුක්‌ති පෙරමුණ නිරතව සිටියා. ඒත් මේ වෙද්දී එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්ෂ අපේක්‌ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඔහු රනිල් වික්‍රමසිංහ විය යුතු බවටත් යෝජනා සම්මතවී තිබෙනවා. එමනිසා පොදු ව්‍යායාමයක සාකච්ඡා අවසන්වී තිබෙනවා. දැන් යළිත් රාජපක්ෂ කේන්ද්‍ර කරගත් බලයක්‌ හරහා මේ පාලනයෙන් ජනතාව තවත් පීඩාවට පත්කරමින් ඉදිරියට ගෙන යන පෙරමුණක්‌ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම මීට කිසිසේත් විකල්පයක්‌ නොවන මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යැමට සැදී පැහැදී දැන් රනිල් වික්‍රසිංහ පෙරමුණත් ගොඩනැඟීමට සූදානම්. එමනිසා අපි මෙම කඳවුරු දෙකටම එරෙහිව විකල්ප කඳවුරක්‌ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ කඳවුරේ අපේක්‌ෂකයා ජනතා විමුක්‌ති පෙරමුණෙන් හෝ ජවිපෙන් පිටත කෙනෙක්‌ විය හැකියි. එම අපේක්‌ෂකයා මාද නැතිනම් පක්ෂෙයේ වෙනත් අයකුද කියා තවම අවසන් තීරණයකට පැමිණ නෑ."

-අනුර කුමාර දිසානායක (2014-07-13)

අනුර කුමාර මහතාට අනුව මීට මාස දෙක තුනකට පෙරදීත් මහින්ද රාජපක්ෂ පැරදවීමට අපේක්ෂකයකු සොයනු මිස ජනාධිපතිවරණ නීත්‍යානුකූල නොවන බව ජවිපෙට වැටහී නොතිබී ඇත. ජවිපෙ ලාල් කාන්ත මහතා පළකළ පහත අදහස තුලද ඒ බව හොඳින් සටහන්ව තිබේ. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එක් පසකින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්ව තිබියදී ඔහු පැරදවීමට තමන්ද පොදු අපේක්ෂකයකු පිළිබඳ බලාපොරොත්තු තබා සිටි බවයි.

"අපිත් කල්පනා කරමින් හිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවන, ඉන් පසුව දාහත්වැනි සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක කර යම් ප්‍රජාතන්ත්රෙවාදී වටපිටාවක්‌ ස්‌ථාපිත කර මාස 6 ක්‌ තුළ පාර්ලිමේන්තු ඡන්දයකින් ජනතාවට කැමැති ආණ්‌ඩුවක්‌ තෝරා ගැනීමට අවස්‌ථාව ලබා දිය යුතුය යන අදහස. ඒ වෙද්දී එක ජනාධිපති අපේක්ෂ්කයෙක්‌ හිටියා. ඒ මහින්ද රාජපක්ෂ. පොදු අපේක්ෂයයකු ලෙස සමාජය තුළ සාකච්ඡා වුණා මාදුළුවාවේ සෝභිත හිමි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, තවත් සුළු වශයෙන් ශිරාණි බණ්‌ඩාරනායකගේ නම, කුමාර සංගක්‌කාරගේ නමත් කියෑවුණා. මේ වෙද්දී ඒ සාකච්ඡාව අවසන් වෙලා. ඒ අවසන් කිරීම කළේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයයි. ඔවුන් පැහැදිලිව කිව්වා එජාප අපේක්ෂ කයෙක්‌ ඉදිරිපත් කරනවා ඒ රනිල් වික්‍රමසිංහ කියලා. දැන් පොදු අපේක්ෂකක කතාව ඉවරයි. පොදු අපේක්ෂකයෙක්‌ යනු ජවිපෙටත්, එජාපයටත්, අනෙකුත් ආණ්‌ඩු විරෝධී සියලු බලවේගවලටත් එකඟ විය හැකි, විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌. රනිල් වික්රහමසිංහ කියන්නේ එවැනි විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌ නොවේ.“
-කේ ඩී ලාල් කාන්ත මහතා (2014-06-29)

එතෙක් පොදු අපේක්ෂකු පිළිබඳ සිතා සිටි ජවිපෙට රනිල් වික්‍රමසිංහ මහතා වෙනම තරඟ කරන වටපිටාවක යන එන මං නැති වී ඇති බව පැහැදිළිය. මෙය ජවිපෙට ඉතිහාසය පුරාම ජනාධිපතිවර්ණවලදී මුහුණ දෙන්නට සිදුවන පොදු ඉරණමයි. 5% චන්ද සීමාව පැන්නිය නොහැකි පක්ෂයක් ලෙස වෙනම තරඟ කර දිනාගත හැකි ජයග්‍රහණයක් නොමැති වාතාවරණයත්, සෘජුව ප්‍රධාන පක්ෂ වල සහාය හිමිවන අපේක්ෂකයාට සහය දීම හරහා තම පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන දෙදරා යෑම් වලක්වා ගැනීම සඳහාත් ජවිපෙට බොහෝ විට සංගතව පැහැදිළි කල නොහැකි අභ්‍යව්‍ය ස්ථාවරයන් වෙත තල්ලුවීම සෑම ජනාධිපතිවරණයකදීම පාහේ සිදු වූ අලකලංචියකි. රෝහණ විජේවීර මහතා 82 ජනාධිපතිවරණයට ඉල්ලීමත්  , 99 නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමත් හැරුණු කල අනෙක් සිටළු අවස්ථාවලදී ඒ අභව්‍ය හැසිරීම නිරීක්ෂණය කල හැකිය.

විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමත් 2010 මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහාය දීම හරහා තම පක්ෂ අභ්‍යන්තරයේ දරුණු තුවාල සිදු කරගෙන තිබෙන ජවිපෙට මෙවර සෘජුවම ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය සමග සහවාසය කල නොහැක්කකි. එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වූ විගස පැමිණෙන්නට නියමිත මහ මැතිවරණය තුලදීද එහි අවාසිය ජවිපෙට දැඩිව බලපානු ඇත.  ජනාධිපතිවටණයේදී 1999 කලාක් මෙන් තනිව ඉල්ලුවහොත් එය විපක්ෂයට ලැබෙන චන්ද ගොඩ බෙදා වක්‍රකාරයෙන් රාජපක්ෂ මහතාට සහාය දීමක් ලෙස ජවිපෙ ගනන් බලා ඇති බවට සැක නැත. රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුව සහය දිය නොහැකි ප්‍රතිවිරොධතා රාශියක්ද ඇති බැවින් ඡන්ද වර්ජනය හරහා අනියම් සහායක් ලැබෙන තැනට කටයුතු කිරීමට ජවිපෙ තීරණය කළේද?. ජනාධිපතිවරණ කාලසීමාව තුලදී මහින්ද රාජපක්ෂ  මහතා ඉලක්ක කරමින් සිදු වනු ඇති ජවිපෙ ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ඒ සහාය නොමිලේම රනිල් වික්‍රමසිංහ මහතා වෙත යනු ඇති.
එවැනි වාතාවරණයක් යටතේදීත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ඉන්පසු එළඹෙන කාල සීමාව තුලදී 'නීත්විරෝධී ජනාධිපතිවරණයෙන් පත් වූ නීතිවිරෝධී ජනපති" යන හංවඩුව ගසා තම මිතුරු සමාජයේ තව දුරටත් සජීවීව පැවැත්මටත් සමාජය තුල ඒ හරහා ඇතිවන ව්‍යාකූලභාවය තම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට සරු පසක් නිර්මානය කරනු ඇති බවටත් ජවිපෙ ගණන් හදා ඇති බවට සැක නැත. "මහින්දට තුන්වරක් බෑ" කියා හන්දියක් ගානේ යන්නට ජවිපෙ තීරණය කර ඇත්තේ එබැවිනි. 
 
පසුගිය දිනෙක අත්විඳි අපූරු අත්දැකීමකින් මේ සටහන අවසන් කරමු.

මේ ලියුම්කරුගේ ඥාතියෙකු තවමත් බහ තෝරන වියේ පසුවන ඔහුගේ සිඟිති පුත්‍රයාද සමග පසුගිය දිනෙක සත්තු වත්ත බලන්නට ගොස් තිබිණ. සත්තු වත්තේ කුටියක සිටි සිංහයා කෑ ගසන හඬ අසා බිය වූ පුත්‍රයා ගෙදර පැමිණ සැමදෙනාටම තමන් සත්තු වත්තේදී මුහුණ දුන් ඒ සිද්ධිය විස්තර කර තිබුණේ අපූරු ආකාරයටය. "සිංහයා කෑ ගැහුවා. පුතා බෑ වුනා". ඉන්පසු නිවසට පැමිණෙන සියළු නෑදෑ හිතමිතුරන්ට ඔහු ඒ භය වීම විස්තර කලේ එසේය. “ සිංහයට බෑ වුනා" යනු " සිංහයට භය වුනා" යන්න තවමත් හය හතර නොදන්නා සිඟිත්තා අන් අයට පැහැදිලි කරන ආකාරයයි.
ජවිපෙ ඉහත පෙන්වා දුන් අසංගත අභව්‍ය හැසිරීමට හේතුව , එනම් ජවිපෙට අනුව "මහින්දට බෑ " වීම අපේ හිතවතාගේ පුත්‍රයා "සිංහයාට බෑ" වීම වැනිම වැනි "බෑ වීමක්"  ලෙස තේරුම් ගැනීම නිවරදිය.


-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


4/10/2014

නව නායකයා යටතේ ජවිපෙ නව ගමන කොයිබටද ?

කතෘ:යුතුකම     4/10/2014   8 comments
පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ තුළ අද වන විට නැවතත් කිසියම් පිබිදීමක් දක්නට ලැබේ. මෙවර මැතිවරණ ප‍්‍රතිපලයද ඒ සඳහා එක් උදාහරණයකි. එහිදී සීයට තුන්සීයක ඡන්ද වර්ධනයක් ආදී කෙන්ද කන්ද කර පෙන්වන වචන හරඹ කෙසේ වෙතත් ලබා තිබූ  පරාජයේ තරමට සාපේක්ෂව ඔවුන් මේ මැතිවරණයේදී තරමක් ඉදිරියට පැමිණ තිබේ. එමෙන්ම ජවිපෙ නව නායකත්ව වෙනසද ඔවුන්ගේ මේ නව පිබිදීමට බලපෑ එක් හේතුවකි. අද විපක්ෂ දේශපාලඥයකු ලෙස අනුර දිසානායකගේ භූමිකාව පක්ෂ භේදයකින් තොරව පොදු සමාජ අවධානයකට ලක්ව තිබෙන්නක් යැයි කීම සදොස් නොවේ. ඒ අනුව ජවිපෙ මෙම නව පිබිදීමේ අනාගත දිශානතිය කෙබඳු එකක් වේ දැයි සැකෙවින් විමසා බැලීම මේ ලිපියේ මූලික අභිලාෂය වෙයි.

අද මේ රට ඉතා වේගයෙන් ඇද වැටෙමින් තිබෙන කාලකන්නි තත්ත්වය තුළ ඊට එරෙහි යහපත් දේශපාලන ව්‍යාපාරයක් මතුව ඒ නම් කුමන සීමාකම් මැද හෝ එය සතුටට කාරණයකි. එහිදී රටේ පුරවැසියකු ලෙස මගේ කැමැත්ත වනුයේද ජවිපෙ වැනි විකල්ප ව්‍යාපාර පරාජය වනු දැකීම නොව ඒවා ශක්තිමත්ව පෙරට එනු දැකිීමය. එහෙයින් ජවිපෙ විවේචනයට ලක් කිරීමේ කිසිදු පූර්ව අභිලාෂයක්ද මා තුළ නොවේ. එහෙත් ඔවුන්ගේ ගමන දෙස විමසුම් ඇසින් බැලීමේදී මට සැබවින්ම පෙනෙන දෙය ජවිපෙ කෙරේ වන සොඳුරු වැනුමක් නොවන්නේ නම් එය මගේ වරදක්ද නොවේ. මා මේ කාරණය මෙහිලා සඳහන් කළේම මා ජවිපෙ ගැන කරන  ඕනෑම මිතුරු විවේචනයක් වුවද සතුරු ලෙස භාර ගැනීමට මගේ අතීත දේශපාලන සගයන් සැදී පැහැදී සිටින හෙයිනි.

මෙවර මැතිවරණයේදී ජවිපෙ තරමක් පෙරට ඒම එහි මිතුරු බලවේගවලට විශාල ආස්වාදයක් වී තිබේ. ඔවුන්ගේ ආස්වාදය අසාධාරණ නැතත් එකී පෙරට ඒම එතරම් අරුමයක් හෝ තම ජයග‍්‍රහණයේ නියත සලකුණක් ලෙස සැලකිය යුත්තක්ද නොවේ. සම සමාජ, කොමියුනට්ස් වැනි දේශපාලන පක්ෂ පවා තවමත් ඉතිරිව පවතින්නේ නම් ජවිපෙ වැනි පක්ෂයක් නුදුරු අනාගතයකදී අභාවයට නොයන බව අමුතුවෙන් නොකිව යුත්තකි. කුමන තරමේ පසුබෑම් හෝ පරාජයන්ට ගොදුරු වුවද උස් පහත්වන වර්ධනයක් සහිතව කාලයක් පැවතීමේ හැකියාව එම ව්‍යාපාර සතු වෙයි. ඇතැම් විට ඉදිරියේදී මීටත් වඩා එම වර්ධනයන් ඉහළ යාමට ඉඩ තිබේ. එසේ වුවද වර්ධනයන් අත් කර ගැනීමෙන් හෝ ෆීනික්ස් පක්ෂියා සේ නොනැසී පැවතීමෙන් පමණක් එම ව්‍යාපාරවලට තීරණාත්මක ජයග‍්‍රහණ කරා ලඟා විය හැකි යැයි සිතන්නේ නම් එය බලවත් මුලාවකි.  තීරණාත්මක ජයග‍්‍රහණ කරා ළඟා වීමට නම් ඔවුන් විසින් සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබේ. ඒ නිසාම ජවිපෙ සාමාජිකයන් තම ජයග‍්‍රහණ ගැන සතුටුවීම සාධාරණ වන්නේ ඔවුන්ගේ වත්මන් වර්ධනය එම ව්‍යාපාරය තුළ සිදුවූ ඉදිරිගාමී වෙනසක ප‍්‍රතිපලයක් වන්නේ නම් පමණකි. එවන් වෙනසක ප‍්‍රතිපලයක් නොවන විශාල වර්ධනයකට වඩා එවන් වෙනසක ප‍්‍රතිපලයක් ලෙස අත් කර ගන්නා පුංචි වර්ධනයක් වුවද බෙහෙවින් වැදගත් හා තීරණාත්මකය. එසේ වුවද අවාසනාවන්ත කාරණය වන්නේ ජවිපෙ වත්මන් වර්ධනය යනු හුදු සාමාන්‍ය උස් පහත් වීමක් විනා ජවිපෙ අලූතින් සිදු කර ගත් කිසිදු වෙනසක ප‍්‍රතිපලයක් නොවීමය. එය එසේ වන්නේ මන්ද යන්න මෙහිදී විමසා බැලිය යුතුව තිබේ.

මෑත ඉතිහාසයට අදාලව සලකා බලතොත් ජවිපෙ යනු 1994න් පසු යුගය තුළ ජය පිට ජය ලබමින් පෙරට ආ අභිමානවත් ගමනකින් පසුව මෝඩ ස්වයං විනාශයකට ගොදුරුව නැවතත් බිංදුවට ඇද වැටුණු දේශපාලන ව්‍යාපාරයකි. ඒ විනාශය නිසා එම පක්ෂයට පමණක් නොව මේ රටටද ලැබිය හැකිව තිබූ ජයග‍්‍රහණ ගණනාවක් නැති නාස්ති වී ගියේය. එම ව්‍යාපාරය වෙන්වෙන් කැපවූ සිය දහස් ගණනක් යහපත් මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කර දැමීමටද ඔවුන්ගේ පරාජය හේතුවිය. මේ නිසාම යළි නැගී සිටීමකදී ඔවුන් විසින් කළ යුතු පළමු කටයුත්තක් වන්නේ  මේ දරුණු ඛේදවාචකය ගැඹුරින් විශ්ලේෂණය කර ගැනීමය. එසේ වුවද බාහිරව හෝ අභ්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ වැදගත් සංවාදයක් ජවිපෙ තුළ තවමත් දක්නට නැත. එවැනි සංවාදයක් තියා එකී පරාජයේ තරමට සරිලන කම්පාවක් හෝ ඔවුන් කෙරෙන් පළ වනු දක්නට නැත. ඒ වෙනුවට ජවිපෙ පිළිවෙත වී ඇත්තේ ”ඔව් අපි යම් පසුබෑමකට ලක් වුනා” වැනි ඉතා ලූහු විග‍්‍රහයන් හරහා ඒ බරපතල ඛේදවාචකය ගැන ඉතා නොවැදගත් ප‍්‍රතිචාර දැක්වීමය. ඒ නොවැදගත් ප‍්‍රතිචාර තුළද ඔවුන් සරල ලෙස අවධානයට ගනිමින් හිදින්නේ සන්ධාන හැදීම හෝ ඒවායින් ඉවත් වීම ආදී උපායමාර්ගික ගමනට අදාළ කාරණා පමණක් වන අතර ජවිපෙ පරාජය කෙරේ බලපෑ සූක්ෂම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා පිළිබඳ ඔවුන්ගේ කිසිදු අවධානයක් තවමත් පෙනෙන්නට නැත. ඇත්තෙන්ම ජවිපෙ විනාශය කෙරේ බලපෑ නරක ජන්ම ගති ලක්ෂණ රැසක් ජවිපෙ තුළ පවතින්නේ කිරි කලයකට ගොම බිඳක් නොව ගොම තලියක්ම මුසු වී ඇති පරිද්දෙනි. ඔවුන්ගේ සියලූ ප‍්‍රබලතා නිශේධනය කොට එම ව්‍යාපාරය පරාජය කරා ගෙන යාමට තරම් මේ අහිතකර ලක්ෂණ තීරණාත්මකය. නිළධාරීවාදය, පටු සංවිධාන ක‍්‍රමවේද, අනම්‍ය නීති රීති, දාර්ශනික අගතිීන්, අල්ප මතවාද, මෝඩ සංස්කෘතික ඇබ්බැහිකම් ආදී වශයෙන් හඳුන්වා දිය හැකි මේ නිශේධනාත්මක ප‍්‍රවණතා ජවිපෙ පසුගිය කඩා වැටීම කෙරේද අතිශය තීරණාත්මක ලෙස බලපෑවේය. ජවිපෙ ස්වයං විනාශය ගැන ලියූ ”බිඳුණු වම් අත” කෘතියේ වැඩිම ඉඩක් මා වෙන් කළේද මේ ප‍්‍රවණතා මොනවාදැයි විමසා බැලීමටය. එසේ වුවද අවාසනාවකට ජවිපෙ තුළ හෝ ඉන් පරිබාහිරව මේ තීරණාත්මක ප‍්‍රශ්නය ගැන තවමත් හරිහමන් සංවාදයක් නිර්මාණය වී නැත. ඒ වග ජවිපෙ නව නායකයා ඇතුලූ සියල්ලන්ගේ හැසිරීම්වලින් මනා සේ සනාත වෙයි.

ඊට අදාල උදාහරණ මොහොතකට සලකා බලමු. මාක්ස්වාදයේ සන්දර්භමය සීමා මායිම් කිසිවක් නොතකන ජවිපෙ තවමත් මාක්ස්වාදය සලකන්නේ ලෝකය පිළිබඳ පරම නිෂ්ඨාවක් ලෙසය.  නිර්මාණශීලී ලෙස ආභාසය ලද හැකි වැදගත් දාර්ශනික හා දේශපාලන ප‍්‍රවණතාවක් ලෙස එය ඇසුරු කිරීමට ඔවුන් තවමත් සූදානමක් නැත. එතැනින්ද නොනවතින ජවිපෙ මේ වනවිටත් තම ජාතික පුවත්පතේ පිටු දොස්තරවරුන්ට සතිපතා වෙන්කර දෙමින් සිටින්නේ කසිකබල් හේතුවාදයක් සනාථ කිරීම සඳහාය. එය ඔවුන්ගේ මතවාදීමය අල්ප බව පිළිබඳ බලවත් නිදසුනකි.  මෑතකදී නව නායකයා පුවත්පතකට පවසා තිබුනේ පක්ෂයට ද්‍රෝහීකම් කොට පලා ගිය අය හැරුණු කොට නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එකතු කර ගැනීමට තමන් සූදානම් බවය. ඒ ප‍්‍රකාශයේ අනෙක් අර්ථය වන්නේ පක්ෂය හැර ගිය සියලූ දෙනා ද්‍රෝහීන් හෝ අනවබෝධය ඇත්තන් පමණක් වන විට එසේ නොවූ සියලූ උත්තම පුරුෂයන් තවමත් ජවිපෙ තුළ යහතින් ඉතිරිව සිටින බවය.  මේ අධිමානයේ මනස පක්ෂය ගැන බැතිමත් වර්ණනාවලට මිස ඊට අත්‍යාවශ්‍යම වන කටුක දේශපාලන සංවාදයට කිසිදා විවෘත වන්නේ නැත. ජවිපෙ නව හා පරණ නායකයන්ගේ සිට ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ ජවිපෙ වෙනුවෙන් දිවා රෑ මත පතුරුවා හරින්නන්ගේ කියුම් කෙරුම්වලින් පවා ප‍්‍රදර්ශනය වන්නේ මේ අධිමානයේ මනසමය. ඉතා අල්ප හා පටු බෙදීම් ඔස්සේ දේවල් දෙස බලන ඔවුන්ට තමන්ට වඩා වෙනස් මතයක් දරන තමන්ගේම මිතුරු පාර්ශවයන්  පවා තවමත් පෙනෙන්නේ ද්‍රෝහීන් ලෙසය. මේ සියල්ල ඔවුහු තම කතාවෙන් හා ක‍්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිති. ඊට අදාල ආසන්නතම උදාහරණය වන්නේ සුමතිපාල මානවඩුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සාමාජික පිරිස් පළවා හැරීම සහ ඒ අතරින් දෙදනකුට පහර දීමය. මේ සියලූ කාරණාවල සරල සාරාංශය වන්නේ තම අනාගත යහපත වෙනුවෙන් අතීත මෝඩ ඇබ්බැහිකම් අත හැරීමට ජවිපෙ තවමත් හිත හදාගෙන නැති බවය. ජවිපෙ තුළ කෙතරම් යහපත් ප‍්‍රතිපත්ති හා කැපකිරීම් ආදිය පැවතුනද මේ විනාශකාරී අභ්‍යන්තර දුර්ගුණාංග සමඟ තීරණාත්මක ගමනක් යාමට ඔවුන්ට කිසිදා හැකි වන්නේ නැත. තමන්ගේ කිරි කලයෙන් මේ ගොම තලිය ඉවත් කරන තුරා කිිරි ගැන ඔවුන් කරන සියලූ කාව්‍යමය වර්ණනා බීරි අලියන්ට කරන වීනා ගැසීමක් බඳු වනු ඇත. කාලයෙන් කාලයට උස් පහත් වන ඡන්ද ප‍්‍රස්තාර දෙස බලා සිටීමේ සදාතනික ඉරණම පරාජය කිරීමට නම් ඔවුන් විශාල වෙනසකට සූදානම් විය යුතුය.

මීළඟට වැදගත් කාරණය වන්නේ ජවිපෙ උපාය මාර්ගය ආශ‍්‍රිතව ඔවුන්ගේ වත්මන් ගමන විමසා බැලීමය. එහිදී අවධානයට ගත යුතු කාරණා කීපයකි. රටේ වර්තමාන පාලනය යටතේ අද මේ රට පවතින්නේ ඉතා ජරාජීර්ණ තැනකය. මේ නරක තත්ත්වය වෙනස් කිරීමට වර්තමාන පාලනය අසමත් නම් ඒ වෙනස කළ හැකි පාලන තන්ත‍්‍රයක් පිහිටුවා ගත යුතුය. එසේ වුවද  ඕනෑම වර්ගයක බල පෙරළියකින් හෝ  අරාබි වසන්තයක් මඟින් උදා කර ගත නොහැකි ඒ වෙනස වෙත එක් පියවරක් හෝ තැබිය හැකි වන්නේ  වඩා යහපත් ප‍්‍රගතිශීලී බලවේග අතට රටේ බලය මාරු කිරීමෙනි. එසේ වුවද අද මේ රටේ පවතින ආණ්ඩු විරෝධි ව්‍යාපාරය යනු එවන් ප‍්‍රගතිශීලී බලවේගයක් නොවේ. එම ව්‍යාපාරය ඉදිරියේදී පෙළ ගැසෙනු ඇත්තේ වත්මන් ආණ්ඩුව යුද්ධය හා බෙදුම්වාදය පැරදවීම ආශ‍්‍රිතව රටට ලබාදුන් වැදගත්ම ජයග‍්‍රහණය පවා ආපසු හැරවීම සඳහාය. රටේ වත්මන් ආණ්ඩුව පමණක් නොව ආණ්ඩු විරෝධී ව්‍යාපාරයද අද ජරාජීර්ණ අවුල් ජාලාවක් වෙයි. රටේ පවතින මේ තත්ත්වය තුළ අද ප‍්‍රගතිශීලී අරමුණු සහිතව ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාරයකට පසුකර යාමට සිදුවන්නේ ඉතා අසීරු හා සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එක් අතකින් වත්මන් පාලනයේ නොමනාකම් වලට විරුද්ධ වන අතරේම ඒ විරෝධය වෙනත් අශ්ශීල බලවේගයක ගිණුමට බැර නොවන ආකාරයෙන් කටයුතු කිරීමටද එවන් ව්‍යාපාරයකට සිදුවෙයි. එවන් ප‍්‍රවේශයක් මේ මොහොතේ තරමක් දුෂ්කර හා ළඟ පෙනෙන ඉක්මන් ඉලක්ක රහිත එකක් විය හැකි වුවද තෝරා ගත යුතු මාර්ගය එය මිස අන් කවරක්වත් නොවේ. එසේ වුවද ජවිපෙ වත්මන් උපාය මාර්ගික ප‍්‍රවේශය සලකා බැලීමේදී අපට දැකගත හැක්කේ කුමක්ද?

 ජවිපෙ තම උපාය මාර්ගය වරදවා ගැනීමේ පළමු තීරණාත්මක අවස්ථාව 2005 ජනාධිපතිවරණය වන අතර එතැන් සිට ඔවුන් දිගින් දිගටම කළේ එකී මූලික වරද්දා ගැනීමේ දිශානතිය ඔස්සේම පෙරට යාමය. එම ගමනේ කඩිනම් ප‍්‍රතිපලය වූයේ ඡන්ද පදනම අතින් පමණක් නොව භෞතික හා අධ්‍යාත්මික වශයෙන්ද අන්තයට පිරිහී ගිය හා තම ගෞරවය සියතින්ම නැති නාස්ති කර ගත් ව්‍යාපාරයක තත්ත්වයට ජවිපෙ ඇද වැටීමය. 2011 වනවිට පෙරටුගාමී පක්ෂය ලෙස ජවිපෙන් කොටසක් බෙදී යාමටද මේ දරුණු ඇද වැටීම එක් හේතුවක් විය. මෙහිදී පෙරටුගාමී පක්ෂය වැඩිකල් යාමට පෙර කැඞී විසිරී ගිය නමුත් මේ හැල හැප්පීම් සියල්ලෙන් පසුව පවා ජවිපෙ නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් හිස ඔසවන්නට වූ අතර රාජපක්ෂ පාලනයේ නොමනාකම් විසින්ද ජවිපෙ භූමිකාවට විශාල සදාචාරාත්මක බලයක් හිමි කර දුන්නේය.  ඒ අන්දමට ආණ්ඩු විරෝධය ඔස්සේ ජවිපෙ පෙරට ආ ගමනේ ආසන්න වැදගත් ලක්ෂය පසුගිය බස්නාහිර දකුණ මැතිවරණයි. 

මේ ආකාරයට අද වන විට ආණ්ඩු විරෝධී බලවේගයක් ලෙස ජවිපෙ භූමිකාව ආකර්ශණීය එකක් විය හැකි වුවද ඔවුන් තවමත් උපාය මාර්ගිකව වැදගත් ප‍්‍රවේශයක් ගෙන ඇතැයි සිතීම අසීරුය. ජවිපෙ වත්මන් ආණ්ඩු විරෝධී සටන් පාඨ බොහොමයක් සාධාරණ ඒවා වුවද ඔවුන් අද මේ රටේ පවතින අවුල බොහෝවිට විග‍්‍රහ කර ගනිමින් සිටින්නේද සරල ආණ්ඩු විරෝධයේ සීමාව දක්වා පටු වෙමිනි. ඊට ඉහළින් පවතින යටත් විජිතවාදයේ නරුම වියගස ගැන ජවිපෙ වත්මන් විවේචනය ඉතා තුනී එකක් වනවා පමණක් නොව ඔවුන් විටෙක හැසිරෙමින් සිටින්නේ යටත්විජිතවාදයේ ඇතැම් බලවේගවල ආස්වාදයට පවා හේතුවන අන්දමිනි. ජිනීවා ප‍්‍රශ්නය වැනි දේශපාලන කාරණාවලදී පමණක් නොව මෙරට කෘෂි රසායන භාවිතය ආශ‍්‍රිතව මතුවූ මිනිස් ජීවිත පිළිබඳ ඉතා තීරණාත්මක ගැටලූ වලදී පවා අනුර දිසානායකලා කටයුතු කළ ආකාරය ඊට එක් උදාහරණයකි. සැකෙවින්ම ගතහොත් වත්මන් ජවිපෙ කිසිවෙකු සමඟ සන්ධානගතව නොසිටියද ඔවුන්ගේ නොනිල සන්ධානය ගොඩනැ`ගී ඇත්තේ මෙරට දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සමගය. එය හුදු ආණ්ඩු විරෝධී සාධකය යටතේ ඉබේම සිදුවන කඳවුරු බෙදීමකට වඩා වැඩි දැනුවත් ගනුදෙනුවක් බව පැහැදිලිව පෙනෙයි. අනුරගේ නව නායකත්වයද මේ ගනුදෙනුවේදී තීරණාත්මක සාධකයක් විය හැකිය. අනුර යනු ජවිපෙ තුළ ඔත්තුකරුවකු ලෙස කටයුතු කොට අද ඔස්ටේ‍්‍රලියාවේ සුවසේ ජීවත් වන කුමාර් ගුණරත්නම්ගේ මීළඟ අනුප‍්‍රාප්තිකයාද නැද්ද යන සැකය කුමක් වුවත් අනුර වනාහී පසුගිය කාලයක් තිස්සේම එජාපය ප‍්‍රමුඛ බලවේග සතුටු කරවන තීන්දු තීරණ වෙනුවෙන් ජවිපෙ තුළ අරගල කළ අයෙකි. ඔහුට එරෙහි තැනක සිටි විමල්, සෝමවංශ වැනි අයගේ විරෝධයද රහිත තත්ත්වයක් යටතේ අද අනුරට වඩා පහසුවෙන් ක‍්‍රීඩා කළ හැකිව තිබේ. මේ නිසාම දෝ අද ජවිපෙ ගමනට පූර්ණ විප්ලවීය සහයෝගය ලබාදෙමින් සිටින්නේ සිරස, මව්බිම වැනි සමාජ පාදඩකරණ මාධ්‍ය ආයතන විසිනි. අතීතයේදී ජවිපෙ පතුරු ගැසූ සිරසටත්, රනිල් එලවීමේ කොන්ත‍්‍රාත්තුවේදී සිරසේ සම සහකරුවා වන මව්බිමටත් ජවිපෙ ගැන පහල වී ඇති මේ හදිසි ආදරය එම පක්ෂය තුළ සිටින සිහි බුද්ධියක් ඇති සාමාජිකයන්ගේ තියුණු විමසුමට ලක්විය යුත්තකි. එවැනි සමාජ දූෂක මාධ්‍ය ආයතන පමණක් නොව මෙරට ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රික ඊනියා බුද්ධිමතුන්ද අද පෙල ගැසී සිටින්නේ ජවිපෙ වටාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියත අභාවයෙන් පසු ඔවුහු තම අභිලාෂයන් සඳහා නැවතත් ජවිපෙ වෙත ඉව අල්ලමින් සිටිති. මෙවර මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් ප‍්‍රකාශ ලබා දී ඇත්තේ නිර්මාල් රංජිත්, කුමාර් ඬේවිඞ්, ජෙගනාදන්, දයාන් ජයතිලක ආදී අපූරු මහදැනමුත්තන් පිරිසකි. එදා ජවිපෙ පස් අවුරුදු සැලැස්ම පතුරු ගැසූ දයාන් ජයතිලක ජවිපෙ වත්මන් නවීන සමාජවාදී වැඩපිළිවෙල පසසමින් ලංකා පුවත්පතට සාකච්ඡාද ලබාදෙයි. තමන් ජවිපෙට ඡන්දය දෙන්නේ මන්දැයි පුවත්පතකට ලියන නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ජවිපෙ තුළින් සිංහල ජාතිකවාදී සංඝටක බැහැර වී තිබීමත්, මෑතක සිට ඔවුන් දෙමළ ජාතික සන්ධානය සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීමත් බෙහෙවින් අගය කළ යුතු ගුණාංග බවය. එසේ පවසන අතරේම වන සත්වයෙකුට ඇති තරමේ හෝ ප‍්‍රායෝගික බුද්ධියක් නොමැති මේ ඇදුරාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙනෙන්නේ සමාජවාදී පරිවර්තනයට අවශ්‍ය බුද්ධි මහිමය සහිත ව්‍යාපාරයක් වශයෙනි. ලොකුම ඛේදවාචකය වන්නේ මෙවන් නරි නාටකීය විචාරයන් තඹ දොයිතුවකට නොතකා බැහැර කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන පෞරුෂය වත්මන් ජවිපෙ තුළ නොතිබීමය. මෑත ඉතිහාසය තුළ ජවිපෙ යහතින් පෙරට ආ සෑම මොහොතකම මේ "යූඇන්පී වාමාංශිකයෝ" එහි සතුරු පිල නියෝජනය කළෝ වෙති. ඇත්තෙන්ම මේ අපාය සහායකයන්ගේ ආශිර්වාදයම ජවිපෙ වත්මන් භූමිකාව කුමක්දැයි වටහා ගත හැකි වැදගත් දර්ශකයකි. ඔවුන්ට අවශ්‍ය වනුයේ යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩෙන ජනතා විමුක්ති පෙරමුණක් නොව තමන්ගේ සිල්ලර වුවමනා සඳහා  අවභාවිතයේ යෙදවිය හැකි ජනතා විමුක්ති පෙරමුණකි. ඔවුන්ගේ කඩිනම් අවශ්‍යතාව වනුයේ ඉදිරි බල හුවමාරුවක් සඳහා ජවිපෙ වෙතින් අත් උදව් සපයා ගැනීමය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉස්සර කර ගනිමින් පැමිණෙන ද්‍රෝහී න්‍යාය පත‍්‍රය බලාත්මක කර ගැනීමේදී ඔවුන්ට ජවිපෙ සහාය අත්‍යාවශ්‍ය වෙයි. නමුත් ජවිපෙ හෝ රටේ ජයග‍්‍රහණයට හේතු නොවන එකී න්‍යාය පත‍්‍රය බෙදුම්වාදය යළි දිනවන, ජාතිවාදය පෝශණය කරන, රටේ අස්ථාවරභාවය ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් වනු නොඅනුමානය. ඔවුන්ගේ වත්මන් අභිලාෂය වනුයේ මේ සඳහා අතකොලූවක් ලෙස භාවිත කළ හැකි ජනතා විමුක්ති පෙරමුණකි. අද ඒ අභිලාෂයට ජවිපෙ පාර්ශවයෙන්ද සුබවාදී අනුබල සැපයෙමින් තිබේ.

ජවිපෙ ආණ්ඩු විරෝධි වීමේ කිසිදු වරදක් නැතත් ඔවුන් එය කළ යුත්තේ රටේ ජයග‍්‍රහණවලට හේතුවන ආකාරයෙනි. ජවිපෙ සන්ධාන ගතවීම නිරපේක්ෂව වරදක් නොවුනත් ඔවුන් එය කළ යුත්තේද යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස තමන්ගේ සහ රටේ සුබ සිද්ධියට ඉවහල් වන අන්දමිනි. මේ මොහොතේ ළඟ ඉලක්ක රහිතව වුවත් ඔවුන් විසින් තෝරා ගත යුතු ප‍්‍රවේශය එවැන්නකි. අද ජවිපෙ වටා එක්ව සිටින කපටි ආරක්ෂකයන්ගේ මර උගුල්වලින් ගැලවීමට ඔවුන්ට හැකිවනුයේ ඒ නිසි ප‍්‍රවේශය ඔස්සේ අතීත මෝඩකම් නිවැරදි කර ගනිමින් පෙරට යාමෙනි. එසේවුවද අනුර දිසානායක යනු බොහෝ විට ඒ උගුල් මඟ හැර යා හැකි නායකයෙක් නොව ඒ උගුල් කරා ජවිපෙ ගෙනයාමේ අවදානමක් සහිත නායකයෙකි. අකමැත්තෙන් වුවත් අද පෙනෙන්නට තිබෙන කාරණා අනුව අපට එළඹීමට සිදුවන කටුක නිගමනය එවැන්නකි. එහෙයින් මේ කටුක දේශපාලන කාරණා තේරුම් නොගනිමින් පුංචි ඡන්ද වර්ධනයක් ගැන උද්දාමයට පත්වීම තේරුමක් නොවේ. අනෙක් අතින් මේ මැතිවරණයේදී ජවිපෙ අභිබවා යාමට සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවා සමත්ව තිබේ. එය කෙටිකාලීන රැල්ලක් ලෙස හැඳින්විය හැකි වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලැබුනු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනී යන්නේ ජවිපෙ තම මෝඩ ක‍්‍රියාමාර්ග හරහා නිකරුනේ නැතිි නාස්ති කරගත් ගෞරවය හා මහජන විශ්වාසය යළි පිළිසකර කර ගැනීම ඔවුන්ට එතරම් පහසු නොවන බවය. ෆොන්සේකාගේ පක්ෂයේ ඉදිරිය කුමක්විය හැකි වුවද නව විකල්ප ව්‍යාපාරයක් සඳහා රට තුළ බලවත් අපේක්ෂාවක් පවතින බව ඒ පක්ෂයට කඩිනමින් ලැබුණු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනීයයි. 

අවසාන වශයෙන් සැකෙවින් සලකා බැලීමේදී 1994 සිට ජවිපෙ පැමිණි ජයග‍්‍රාහී ගමන නින්දිත පරාජයක් දක්වා ඇද වැටීමට බලපෑ ප‍්‍රධාන හේතු දෙකක් තිබේ. පළමු කාරණය වන්නේ තම අභ්‍යන්තරයේ තිරව මුල් බැස පැවති දුර්ගුණාංග හඳුනා ගනිමින් කාලානුරූපව ඒවා වෙනස් කර ගැනිමට ඔවුන් සමත්  නොවීමය. දෙවන කාරණය වන්නේ ඔවුන් තම නිසි උපාය මාර්ගික ගමන වරද්දා ගැනීමය. අද ජවිපෙ පුංචි මැතිවරණ නැගීමකින් උද්දාමයට පත්ව සිටියද මේ මූලික වැරදි දෙක නිවැරදි කර ගැනීමේ අවම සූදානමක් හෝ තවමත් ඔවුන් වෙතින් පෙනෙන්නට නැත. ඔවුන් අද නැවතත් පෙරට යාමට සූදනම් වන්නේ මේ වැරදි එලෙසම පවත්වා ගනිමින් වීම බෙහෙවින් කණගාටුදායක තත්ත්වයකි. කෙසේ හෝ වේවා මේ වැරදි නිවැරදි කර නොගත් පලියට එම පක්ෂය නැත්තට නැතිවී යන්නේ නැත. ඉදිරියේදී ඇතැම්විට ඔවුන් තව තවත් වර්ධනය විය හැකිය. තව තවත් මන්තී‍්‍ර ධූරද ලබාගත හැකිය. වැටෙන වැටෙන වාරයක් පාසා මොන මොන ක‍්‍රමයකින් හෝ යළි යළි නැගී සිටීමටද බැරි කමක් නැත. එසේ වුවද වැටි වැටී නැගිටින සුපුරුදු ගමන වෙනුවට ස්ථාවර ශක්තියකින් නැඟී සිටිමින් මේ රටේ වැදගත් පරිවර්තනයක් කිරීමට ජවිපෙට හැකිවනුයේ ඉහත වැරදි තේරුම් ගනිමින් ඒවා වෙනස් කර ගැනීමට ඔවුන් කවදා හෝ සමත් වන්නේ නම් පමණි. අපට අවසාන වශයෙන් කළ හැක්කේ ඒ නිසි මාවත වෙත තම ව්‍යාපාරය ගෙනයාමට අවශ්‍ය සිහි බුද්ධිය ජවිපෙ සාමාජිකයන් තුළ කවදා හෝ පහළ වේවායි ප‍්‍රාර්ථනා කිරීමය.



-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions