2/28/2014

අපි දැන් බටහිර උගුලේ හිරවෙලා ඉවරයි - ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     2/28/2014   3 comments


මීට වසර 25කට පමණ කලින් 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු' කෘතිය රචනා කරන විට ලංකාවේ ඇත්තේ ජනවාර්ගික හෝ භාෂා හෝ ගැටළුවක් නොව ඇමරිකානු කුමන්ත්‍රණයක් බව පැහැඳිළිව දුටු ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍යය බුද්ධිමතා, විශිෂ්ට සාහිත්‍යයධරයා ගුණදාස අමරසේකර ශූරීන් යුතුකම සංවාද කවය සමඟ කෙරුනූ පිළිසදෙරෙකි මේ. 

උතුරේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නය ඇමරිකාව එංගලන්තය සහ ඉන්දියාව ආදී රටවල උවමනාව වෙනුවෙන් ක්‍රියාත්මක වූවක් බවත් එහි පිටුපස සිටින්නේ ඔවුන් බවත් ඔබ මීට වසර 25 කට පමණ කලින් ඔබේ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු' කෘතියෙන් පෙන්වා දුන්නා. නමුත් බොහෝ දෙනාට එය හරිහැටි වැටහී ගියේ නැති බවයි අපේ අදහස. නමුත් අද බොහෝ දෙනාට එය වැටහෙමින් තිබෙනවා.ඇත්තටම ඇයි ඇමරිකාව සහ බටහිර රටවල් ඇයි අපට එරෙහි ස්ථාවරයක ඉන්නේ? 

සෝවියට් කඳවුර බිද වැටුනට පස්සේ ඇමරිකන් කාරයට වුවමනා කරන ලෝක ආධිපත්‍යය තියා ගන්න මැදපෙරදි‍ග ආධිපත්‍යය වගේම ඉන්දියන් සාගරයේ ආධිපත්‍යයත් වැදගත්. ඉතින් ඒකට දිගින් දිගටම රටවල් තුල අභ්‍යන්තර ගැටුම් ඇති කරලා රටවල් බෙදන එක තමා ඔවුන්ගේ උපක්‍රමය. 

ඒ බෙදීම භූගෝලීය වශයෙන් කරන්න බැරි නම් ඒ රට වල මිනිස්සු ජාති, ආගම් ගෝත්‍ර වශයෙන් හෝ බෙදලා එකිනෙකා ඇනකොටා ගන්න තත්වයකට ඒ රටවල් පත් කරන එක තමා ඔවුන්ගේ ක්‍රමය. 
ඒ හරහා රජයන් පෙරලවා රටවල් දුබල කරනවා. මැදපෙරදිග ඒක උන් කරනවා අපි දැක්කා. චීනය සිටින නිසා ඉන්දියන් සාගරයේ ආධිපත්‍යයත් බොහොම වැදගත් උන්ට.
ඉතින් ලංකාව උන්ට ඒ අතින් හරිම වැදගත් තැනක්. ඔවුන්ට ඕනා මූලික දේ තමා රට බෙදන්න. ඒකට අවශ්‍යය දේ තමා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පළවා හරින්න. ඒකට තමා ඔය අන්තර්ජාතික පරීක්ෂණය තියන්න හදන්නේ. ඒකෙන් කියාවි මානව හිමිකම් කඩ වුනාය. යුධ අපරාද සිදු වුනාය කියලා. 
බාග විට ඒගොල්ලෝ ආණඩුවට කියාවි උඹලත් ඔය පරීක්ෂණ කණ්ඩාමට කිහිප දෙනෙක් එවන්න කියලා. ඔය දයාන් ජයතිලක හරි රාජිව් විජේසිංහ හරි යැව්වොත් ඒ ගොල්ලෝ ලව්වාත් පුළුවන්නේ උන්ට ඕනා දේ කියවාගන්න. බාගවිට කට්ටියම එකතුවෙලා කිව්වොත්, මහින්ද රාජපක්ෂ උනත් දහතුන සම්පූර්ණයෙන් දෙන තැනට යන්න ඉඩ තියෙනවා. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කෙළින් හිටියොත් උන් කටයුතු කරාවි අපිව දණ ගස්සන්න. ඊට පස්සේ ආර්ථික සම්බාධක දාවි. පස්සේ කියන්න පුළුවන් උතුරු නැගෙනහිරට වෙන් වෙන්න ඕනද නැත්ද කියලා ඒ පැත්තේ වෙනම ජනමත විචාරණයක් තියන්න කියලා. සුඩානයේ ඒක කළා. දැන් ස්කොට්ලන්තයෙත් ඒ වගේ එකක් තියන්න යන්නේ. 

අපි කළින් කිව්වේ එකට තියෙන රටක් කඩලා ෆෙඩරල් කරලා නෑ කියලනේ. හැබැයි දැන් මේ අය යේමනයට ඒක කරන්න යනවා. එකට තිබුනු රට හයකට කඩලා ෆෙඩරල් කරන්න හදනවා. කොටසක් ඒකට විරුද්ධයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැහැඳිළිවම සඳහන් කරනවා තමන් මේ රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඔබතුමාට ඒ ගැන විශ්වාසයක් තියෙනවද? 

එකක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දන්නවා රජයේ සහ ඔහුගේ පවැත්ම තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ ඡන්ද උඩ කියලා. රනිල් වගේ කෙනෙක් ආවොත් නම් බන්දේසියක තියලම ඕක දීලා දානවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එහෙම කරන්නේ බැරිම උනොත් තමා. සිංහල මිනිස්සුන්ට පේන්න ඕන නම් ටිකක් ඇල් මරලා ඇස්වලට වැලි ගහලා ඕක කරන්න ඉඩ තියෙනවා. එහෙම කළොත් මේ ඔක්කොම උන් නවත්තන්නත් ඉඩ තියෙනවා. මොකද, දහතුන සම්පූර්ණයෙන් දීපු හැටියේ ඉතිරි ටික සම්පූර්ණ කර ගන්න එක එතරම් අමාරු දෙයක් නෙමෙයි.

මෙවරම සමුළුවේදිම ඔවුන් ආර්ථික සම්බාධකවලට යාවිද?එසේත් නැත්නම් මෙවර ගියවරට වඩා තදබල යෝජනාවක් පමණක් ගෙනත් සම්බාධක ඊළඟ අවස්ථාව දක්වා කල් ගනීවිද?

මගේ හිතේ ඔය අන්තර්ජාතික පරීක්ෂණය නම් ඉක්මණට ගනීවි. ඊට පස්සේ තමා ආර්ථික සම්බාධක එන්නේ. මගේ හිතේ ඒකත් වැඩි කල් දාන එකක් නෑ. 


මොකද ඊලඟ ජනාධිපතිවරණය තියලා ජනාධිපති තුමා ජනප්‍රිය වුනොත් ඒක එයාලට පාඩුයි. ඒ වගේම දෙමළ සන්ධානය ඇතුලේ බෙදීමක් ආවොත්, ඒකත් එයාලට පාඩුයි. ඒ නිසා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ඉක්මණට ක්‍රියාත්මක කරන්න බලාවි මගෙ හිතේ. මේක ඔවුන්ට ඒ සඳහා හොඳම අවස්ථාවක්. 
 
ජිනීවා අභියෝගයට ආණ්ඩුවේ ප්‍රතිචාරය සෑහිමකට පත් වෙන්න පුළුවන්ද? ඇත්තටම අපි කොහොමද ඒකට මුහුණ දිය යුත්තේ?

ජිනීවාවල තියන ඡන්දයකින් අපිට දිනන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මොකද ඇමරිකාව ඔය පොඩි පොඩි රටවල් ආර්ථික වශයෙන් යට කරගෙනනේ ඉන්නේ. අපි අර LLRC එකේ තියෙන ඔක්කොම කෙරුවත් අපට මේ එල්ලවන බලපෑම් නතර වෙන්නේ නෑ. මොකද මෙයාලට තියෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්. 

රජයට තේරුම් ගන්න තිබුනා ප්‍රභාකරන් ඉවර කළාට ප්‍රභාකරන්ලව හදපු බටහිර, ඇමරිකනු හා ඉන්දියානු වුවුමනා තව දුරටත් ඒ වෙනුවෙන් පෙනී සිටින බව. බෙදුම්වාදය සඳහා ඒ අය තවදුරටත් කටයුතු කරන බව. රජයට තිබ්බේ යුද්දේ දිනපු වෙලාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා බෙදුම්වාදයට තියෙන ඉඩ වහලා දාන්න. ඒකෙන් තමයි දැන් මේ අය අපව හිර කරන්නේ. 


ඒක ඒ වෙලාවේ කළා නම් මිනිස්සු හැමෝම ඒකට කැමති වෙනවා. කාටවත් විරුද්ධ වෙන්න ලැබෙන්නේ නෑ. නමුත් අපි ඒ වෙලාවෙ කිරිබත් කකා හිටියා මිසක කරන්න ඕන දේ කළේ නෑ. අනික, අපේ හමුදාව මේ යුද්දේ කළේ අන්තිම ඉහළ විදියට. වෙන රටක උනා නම් ඔය පුනරුත්තාපනය කර කර ඉන්නේ නෑ. ඔක්කොම මරලා දානවා. නමුත් රජය හැසුරුනේ හරියට වැරැද්දක් කරලා වගේ. ඔය LLRC පත් කර කර ඉන්න කොට ඇමරිකන් කාරයත් දැනගත්තා අපිව නටවන්න පුළුවන් බව. අනික ආර්ථික වශයෙන් අපි කළේ උන් මත යැපෙන වැඩ. ණය අරගෙන පුළුවන් තරම් පාරවල් හැදුවා. හෝටල් හැදුවා. කාර් ගෙනල්ලා මේක පිරෙව්වා. ඕවට දැන් කොච්චර යනවද තෙල් වලට? 

ඇත්ත වශයෙන්ම අපිට තිබ්බේ කිසියම් ජාතික ආර්ථිකයක් වෙත යන්න . දහතුන අහක් කරලා මිනිස්සුන්ට කියන්න තිබ්බා අපි රට බේරා ගත්තා, දැන් අපි සියළු දෙනාම දුක් විදලා රට ගොඩ ගනිමු කියලා. 70-77 කාලෙදි ජාත්‍යන්තර මුල්‍යය අර්මුදල සහ ලෝක බැංකුව අපිව කොන් කරපු නිසාත් ලෝක ආර්ථිකයේ ඇති වූ අයහපත් තත්වය නිසාත් අපි කිසියම් ජාතික ආර්ථික මඟක් වෙත ගියා. ඒ කාලේ කරපු බොරු මාක්ස්වාදි වැඩ නැතුව මූලික වශයෙන් ඒ වගේ ක්‍රමයක් වෙත යන්න තිබුනා. 
මට හිතෙන්නේ දැන් නම් ඉතින් ලේසි වෙන්නේ නෑ ඕකට මුහුණ දෙන්න. අපි හොඳටම බටහිර උගුලේ හිරවෙලා ඉන්නේ. 
 
අපි දැක්කා පසුගිය ජිනීවා යොජනාව වෙලාවෙදිත් ඉන්දියාව අපේ රටට එරෙහිව ගොස් බටහිරයන් සමග චන්දය දුන්නා. මෙවරත් එය එසේම වේයැයි ඉන්දියාව දෙසින් ඉඟි පළවෙනව. මෙතනදි ඉන්දියානු භූමිකාව කුමක්ද?

ඉන්දියාවට ඕන කාරණා දෙකක්. උන්ගේ රූකඩ හෙන්චයියෝ ටිකක් උතුරු නැගෙනහිරට පත් කරලා දහතුන ලබාදීලා ඒ අයට ඉතා බලවත් තත්වයක් ලබා දීලා ඒ අය හරහා ලංකා රජයට පීඩනයක් ඇති කිරීම. අනෙක තමා තමිල්නාඩුවේ ඡන්ද ටික ගන්න. 

මේ රට බෙදෙනවාට ඒ අය කැමති නැති වෙන්න පුළුවන්. මොකද ඉන්දියාවට පේන්න ඕනනේ ඒක බෙදුනොත් එතනින් නවතින්නේ නෑ කියලා. ඊළඟට තමිල්නාඩුව බෙදනවා. ඇමරිකාවට උතුරු නැගෙනහිරයි, තමිල්නාඩුවයි තිබුනෝතින් ඉන්දියවට බම්බු ගහගන්නැයි කියන්න ඇහැකියි. 

ඇත්ත වශයෙන් ඇමරිකාවට ඕනා ඉස්සර වෙලා අපිව බෙදලා ඊළඟට ඉන්දියාවත් බෙදන්න. මේක බෙදා ගත්තොත් ඉන්දියාව බෙදන එක ඒ හැටි අමාරු නෑ. නමුත් ඉන්දියාවටයි ඇමරිකාවටයි පොදු වුවමනාව තමයි 13 ක්‍රියාත්මක කරව ගන්න එක. ඒ නිසා දැනට ඒ දෙගොල්ලෝ ඒ සඳහා එකට ක්‍රියා කරනවා. එතැනින් පස්සේ දෙගොල්ල අතර කඹ ඇදිල්ලක් තියේවි. ඒකෙදි තමිල්නාඩුවත් ඇමරිකාව එක්ව කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඒ වෙනකොට ඒ දෙගොල්ලන්ගෙන් කවුරු දිනුවත් ලංකාව පරාද වෙලා ඉවරයි කියන එක අපි තේරුම් ගන්න ඕනා 13 දුන්නට පස්සේ. 

මොකද එතකොට මේ ගැටුම් කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ. ලංකා රජය වගේම සිංහලයාත් මුළු රටමත් අසරණ වෙනවා. අර යුද්දේ දිනන්න අපේ රණ විරුවෝ කරපු ඒ උතුම් කැප කිරීම් අපතේ යනවා. ඒ නිසා සමහර අය සරලව හිතලා කියන ඉන්දියාව ඉන්නකම් මේ රට බෙදන්න ඉඩක් නෑ, ඒ නිසා අපට බය වෙන්න දෙයක් නෑ කියන මිත්‍යාවේ අපි සිටිය යුතු නෑ. 
 
විපක්ෂය කියන්නේ මේ ජිනීවා බිල්ලා ආණ්ඩුව විසින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට පාවිච්චි කරන බොරු බිල්ලෙක් කියල. ජිනීවා වලදී මෙරටට එරෙහිව එල්ල වන චෝදනා රජය මෙරට තුල සිය ඡන්ද ව්‍යාපාරය සඳහා වාසියට යොදා ගන්නවා නේද? 

ඒකේ වාසියක් ගන්න එකේ වැරැද්දක් කියන්න බෑ අපිට. මොකද ඒක රටටත් වාසියක්. ජාතියටත් වාසියක්. මේ රට බෙදන්න හදනවා නම් ඒකට විරුද්ධව ජනාධිපති ඉන්නා තෙක් මිනිස්සු එකට ඉන්නව නම්, අඩු තරමේ 70% ක් ඉන්න සිංහල මිනිස්සු එකට ඉන්නව නම් ඒක ලොකු බලයක් වෙනවා. ඒ කියන එකේ ඇත්තක් තියෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු යට යන්න පුළුවන්. ඒත් ඉතිං කමක් නැහැ නේද? රටක් ජාතියක් තියෙන්න එපැයි බඩ තියෙන්න. 

මීට පෙර පැවති රජයන් බොහොමයක් ගෙනගිය බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්ති ඔබගේ දැඩි විවේචනයට ලක් වුන බව අපට මතකයි. වත්මන් රජයේ ආර්ථික මාවතත් එදා ජේ ආර් ගෙනගිය මාවත්ම බව ඔබ නොයෙක් වර චෝදනා කරල තිබුනා. රජයේ වත්මන් ආර්ථික පිළිවෙත ගැන ඔබතුමාගේ මතය කුමක්ද?

රජය ගෙන යන ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපිට එකඟ වෙන්න බෑ.මේක කෙලින්ම ජේ අර්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. කිසිඳු වෙනසක් නෑ ඒකෙයි මේකෙයි. බොරු ආලවට්ටම් ටිකක් වෙනස්කම් විදියට පෙන්නුවත් ඒක සඟවන්න බෑ. 

චීනය, ඉන්දියාව ධනපති ක්‍රමය ක්‍රියාත්මක කෙරුවෙ තමන්ගේ ආර්ථිකය ටිකක් හදා ගත්තට පස්සේ. ඒ රටවල ඉන්නවා ජාතික ධනේෂ්වර පංතියක්. විදෙස් ආයෝජන ආවත් ඒවා ගේන්නේ ඒ දේශීය ධනපති පංතියට වුවමනා හැටියටයි. අපේ රටේ එහෙම ශක්‍තිමත් දේශීය ධනපති පංතියකුත් නෑ. මේගොල්ලෝ තනිකරම විදෙස් ආයෝජන දිහා තමා බලන් ඉන්නේ. මේක ධනපති ක්‍රමයකට වඩා යටත්විජිත ආර්ථික ක්‍රමයක්.

අනිත් එක මම හිතන්නේ නෑ ධනපති ක්‍රමය හරියට කළා උනත් අපේ මේ රටේ සාර්ථක වෙයි කියලා. ඉන්දියාව නම් ධනවාදයට සුදුසු රටක්. මොකද කුල භේදය තියෙනවා. වැඩියෙන් ඉන්නේ දුප්පත් කුල වල අය. මහා බ්‍රහ්මයගේ දෙකකුලෙන් ආවා කියලා හිතාගෙන කිසිම දෙයක් නැවත ප්‍රශ්න කරන්නේ නෑ. චීනෙත් සාමාන්‍යය මිනිහා ඉන්නේ බොහෝම පහළ අඩියක. ලංකාවේ එහෙම නෑ. අපේ විශ්වාසය තියෙන්නේ ධනය ඉපයූවට විතරක් මදි, ඒක බෙදිලා යන්නත් ඕන කියන එකයි. ඔය ජේවීපී නැගිටීම් දෙකෙනුත් පේන්නේ ඒකයි, අපි ඒක පිළිගන්න සූදානම් නෑ කියන එක. උතුරේ මිනිස්සුන්ගේ උනත් ඒක තියෙනවා. 

රොනීද මැල් මුදල් ඇමති ඉන්න කාලේ කියපු දෙයක් තමා කේක් එක කපන්න ඉස්සෙල්ලා ලොකු කරන්න ඕනා කියලා. පහුගිය දවසක එයා මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සෑහෙන වර්ණනා කරලා තිබ්බා, එයා හිතපු නියම ක්‍රමය තමයි මේ රජය දැන් ක්‍රියාත්මක කරන්නේ කියලා. මගේ හිතේ අපිට ඕක හරියන්නේ නෑ. අපි සොයන්න ඕනා කේක් එක කපන ගමන් ලොකු කරන ක්‍රමයක්. මෙහේ අවශ්‍යයි සමානාත්මතාවය. ඒකට ලොකු හේතුවක් තමා අපේ බෞද්ධ සංස්කෘතිය. පරාර්ථය, බෙදාහදාගෙන කෑම, සමානාත්මතාවය, බදා ගෙන ඉන්නේ නැතිව නොඇලී සිටීම වගේ හරයන්ගෙන් ආපු බෞද්ධ සමාජවාදය අපේ චින්තනයේ තියෙනවා.

එහෙම එකකට යුද්දෙන් පස්සේ මේ රට ගෙනියන්න තිබුනා, මිනිස්සුන්ට මේ තරඟය නැතිව මධ්‍යම ප්‍රතිපදාව මුල් කරගෙන නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න තිබුනා. ඒ වෙනුවට කළේ කාර් ගෙනැල්ලා මේක පුරවන එකයි. ඒවාට හරියන්න පාරවල් හදන එකයි. 

දැන් වෙලාවකට තරහත් යනවා මේගොල්ලෝ කියන කොට, සංවර්ධනය නිසා ඕන එක්කෙනෙකුට පාරවල් වල යන්න පුළුවන් කියලා. පාරවල් වල යන්න පුළුවන් හොඳ කාර් එකක් තියෙනවා නම්, කබල් කාර් එකක් තිබිලත් බෑ. මෝටර් සයිකලයක් තිබිලත් බෑ.

අනිත් එක සුද්දා පාරවල් දැම්මේ තේ ටික ගෙනියන්න, කෝපි ටික ගෙනියන්න, වතු වලට යන්න වගේ නිෂ්පාදන කටයුතු වලට. මේකේ මොකක්ද තියෙන නිෂ්පාදනය? ණය වෙලා හදපු පාරවල් ටික තියෙනවා. අපි කාරුයි තෙලුයි පිටරටින් ගෙන්නාගෙන නිකාන් යනවා කතරගම ගිහින් එන්න. 

මේකට හොඳම උදාහරණයක් තමයි නයිජීරියාව. මුලදි ඔවුනුත් අපි වගේම කෘෂිකාර්මික රටක්. පස්සේ ඔවුන්ට තෙල් හම්බ උනා. ඔවුන්ට එවිට ආර්ථික උපදෙස් දෙන්න ඉදිරිපත් වුනේ ලෝක බැංකුවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඔවුන් දීපු උපදෙස තමයි මුලින් රටේ හැම තැනම දියුණු මාර්ග පද්ධතියක් හදන්න කියන එක. කොටින්ම වැසිකිලියට යන පාරත් කාර්පට් කරන්න.

ඒ යටිතල පහසුකම් වර්ධනය කල පසු විදෙස් ආයෝජන වලින් නයිජීරියාව පිරී යනු ඇති බවයි ලෝක බැංකු ආර්ථික ඝාතකයින්ගේ උපදෙස උනේ. නමුත් අපේක්ෂා කළ ආයෝජන නොලැබීම නිසා අවසානයේ සිදු වුනේ ඔවුන් අර තෙල් සොයාගන්න කලින් සිටි තත්වයටත් වඩා අන්ත ආර්ථික අහේනියකට රට පත් වීමයි.

ක්ෂේක්ශ්පියර් කිව්වනේ "දෙන්නාටත් වාසියි. ලබාගන්නාටත් වාසියි කියල" මේ පාරවල් හැදිල්ලත් එහෙම තමයි.

මේ ක්‍රමයේ වරද කාගෙද? මේක මහින්ද රාජපක්ෂගේ වරදක්ද? එසේත් නැත්නම් අප පවත්වාගෙන යන්නට හදන මේ කුණු වෙච්ච ක්‍රමයේම ස්වාභාවික ගතියද? 

මේක මහින්ද රාජපක්ෂගේ විතරක් වරදක් නෙවෙයි. අපි ගැඹුරින් විශ්ලේෂණය කරල බැලුවම පේනව නිදහසට පෙර මේ රටේ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබුනා. එකක් අනගාරික ධර්මපාල තුමාගේ නායකත්වයෙන් යුතු ජාතික විමුක්ති ව්‍යාපාරය. අනිත් එක තමයි ජාතික කොංග්‍රසය හරහා නිරූපණය වුනු , අවසානයේ එක්සත් ජාතික පක්ෂය හරහා එළියට ආපු විජාතික ව්‍යාපාරය. අපි නිදහසින් පසු කිසිවිටකත් උත්සාහ කලේ නෑ සිංහල ජාතිය මූලික කරගත්ත අනෙක් ජාතීන් ඊට අවශෝෂණය කරගන්න ක්‍රමයක් බිහි කරගන්න. 

අපි සුද්දට රට බාර දෙනකොට මේක 'සිංහලේ'. සුද්දා අපිට බාරදුන්නේ ' සිංහලේ' නෙවෙයි ' සිලෝන්'. බෙදා වෙන් කර පාලනය කිරීම මූලික දහම කරගත්තු සුද්දා ඒ වෙද්දි අපි කොටස් කොටස් වලට බෙදල දාල තිබුණේ. සුද්දගෙන් පස්සේ රට භාර දුන්නු නායකයන්ට මේ රටේ සංස්කෘතිය , සභ්‍යත්වය ගැන කීසිඳු විඥානයක් තිබුනේ නෑ. ඉංග්‍රිසි කාරය නවත්තල ගිය තැනින් පටන් ගෙන පවත්වාගෙන යෑම තමයි ඔවුන්ගේ කාර්‍ය භාරය වුනේ. ආනන්ද ගුරුගේ මහත්මය විසින් සී ඩබ්ලිව් ඩබ්ලිවු කන්නන්ගර මහත්මය ගැන ලියපු පොතක සඳහන් වෙනව නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙල ගේන්න හදන වෙලාවේ ඩී එස් සේනානායක එයට එරෙහි වුන ආකාරය. තමන්ට සියලු දෙනාටම අධ්‍යාපනය ලබා දීමට උවමනා නැති බවත් 200ක් 300ක් සිවිල් සේවයට පුහුණු කරගතහොත් රට පාලනයට එය ප්‍රමාණවත් බවයි ඔහුගේ අදහස වුනේ.

අනිත් පැත්තෙන් පක්ෂ දේශපාලනය හරහා ප්‍රධාන ජාතිය මැදින් බෙදල දැම්මා. මේ සියළු පව්වල දෑවැද්ද තමයි මහින්ද රාජපක්ෂටත් ලැබුනේ. අප අත් විඳින්නේ ඒ පවයි. 

නමුත් මම කලිනුත් කිව්ව වගේ ත්‍රස්තවාදය අවසන් කල මොහොතේ දූරදර්ශීව කල්පනා කළා නම් මේ ක්‍රමය වෙනස් කරන්න මහ්න්ද රාජපක්ෂට හොඳ අවස්ථාවක් ලැබුනා. නමුත් අද වන විට පේන්නේ මහින්ද රාජපක්ෂ විසින් ඒ අවස්ථාව මග හැර ඇති බවයි.

 මේ ජිනීවා මෙහෙයුම හරහා අපට ආර්ථික සම්බාධක වැටුනොත් යළිත් අපට ඒ නැගී සිටීමට අවථාවක් කියල හිතෙන්නේ නැද්ද? 

මට හිතෙන හැටියට නෑ. ඒකට තිබුණු හොඳම අවස්ථාව තමයි 2009 ජයග්‍රහණයෙන් පසු එළඹුන ස්වර්ණමය අවස්ථාව. ඒ වෙලාවේ රාජපක්ෂට තිබුණ ජන බලය හිතාගන්නවත් බැරි තරම් එකක්. නමුත් අවාසනාවට ඔහු ඒක මග හැරියා. අද සම්බාධක ආව ගමන් රනිල් වික්‍රමසිංහ වගේ බටහිර ගැත්තෙක් ඇවිත් කියයි 'මට බලය දෙන්න .මම සම්බාධක ඉවත් කරල දෙන්නම් කියල'. ඒ වෙද්දි ආර්ථික පීඩනයට හසු වෙලා ඉන්න ජනතාව එයට එකඟ වෙන්න ඉඩ තියෙනව. සමහර විට බටහිරයනුත් රනිල් බලයට එන්නේ නම් ඔවුන්ගේ සම්බාධක ලිහිල් කරන්න එකඟ වෙයි. මොකද රනිල් ඔවුන්ගේ සෘජු ඒජන්තයා. ඔවුන්ට අවශ්‍ය පරිදි රූකඩයක් විදියට තමයි රනිල් හැසිර්න්නේ. 13 සම්පූර්‍ණ කරලා ,උතුරට ඉල්ලන බලතල දීල බටහිරට අවශ්‍ය පරිදි රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරාවි. අපට මතකයිනේ ඔහු අගමැති වුනු වසර දෙකේ ඔහු බටහිරට ගැතිව ක්‍රියාකල දීන ආකාරය. 

දයාන් ජයතිලක වැනි අය කියන්නේ ඕක කරමු කියල නේද? 13 සම්පූර්ණ ක්‍රියාත්මක කරල වාර්ථාවත් සම්පූර්ණ කරල ජිනීවා බලපෑමෙන් ගැලවිය හැකි යැයි ඔවුන් අපට යෝජනා කරනවා. ඔහු ආණ්ඩුවට චෝදනා කරනව ඔහු වැනි අය රාජතාන්ත්‍රික කටයුතු වලින් ඉවත් කිරීම නිසා කියල ආණ්ඩුව ජිනීවා වලදි මේ වගේ අසරණ වෙලා තියෙන්නේ.මේ ප්‍රකාශයේ සත්‍යක් තියෙනවද?

දයාන් ජයතිලක අයින් කරපු නිසා නෙවෙයි, යුද්දෙන් පසුව දයාන්ලා කිට්ටු කරගනිපු නිසයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.ඔහු 2009 කලේ මොකක්ද? ඔහු තමයි ආණ්ඩුව 13 උගුලේ හිර කරන්න කටයුතු කළ ඉන්දීය ඒජන්තයා. ජාත්‍යන්තරයට 13 පිළිබඳ ඉටු නොකළ හැකි පොරොන්දු දුන් නිසා බටහිර උගුලේ අපි වැටුනා. ඇත්තටම එතනදි වැරැද්ද දයාන් ජයතිලකගේ නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ. දයාන් ජයතිලකලා , රජීව් විජේසිංහලා ආදීන් තක්කඩියන් බව කලින් අඳුරගන්න තිබ්බ. ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ඒකට හොඳටම ප්‍රමාණවත්. ජිනීවා යවන්න දයාන්ලා තෝරාගනිපු එකෙයි වැරැද්ද. ඔහු ඉතිහාසය පුරාම උග්‍ර ෆෙඩරල් වාදියෙක් බව හැමෝම දන්නවා. එහෙව් එකේ ඔහු තානාන්තරවලට දා ගත්තේ මොකටද? ජිනීවා යවන්න ඒ වෙලාවේ ඕන තරම් අය හිටියා. ගෝමින් දයාසිරි , එස් එල් ගුණසකර වගේ මිනිහෙක් යැව්වනම් මේ ව්‍යසනය අපට වන්නේ නෑ.

ඔබ තරම් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් එහි තරුණයන් පිළිබඳවත් මහත් උනන්දුවෙන් අදහස් පලකළ ඒ වෙනුවෙන් ලිපි , නවකතා , කවි ලියූ වෙනකෙක් නැතිව ඇති.මෑතකදී සිදුවූ ජවිපෙ නායකත්ව වෙනස රටේ ඉදිරි යහපත් වෙනසකට කෙලෙස හේතු වෙයිද?

මට නම් ඒකේ වැඩි වෙනසක් පේන්නේ නෑ. සෝමවංශ අමරසිංහට නොහැකි උනා 2005න් පමණ පස්සේ ජවිපෙ හරි මාර්ගයේ ගෙනියන්න. ඔබලාට මතක ඇති නේද 2007 දී යුධ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ප්‍රභාකරන් දිගින් දිගටම පරාජය වෙමින් පවතිද්දි ජවිපෙ ආණ්ඩුව අය වැයේදී පෙරළලා යුධ ජයග්‍රහණය නවත්තන්න කටයුතු කළ හැටි. ඒක තමයි තීරණාත්මක මොහොත. යන්තම් එවෙලේ විමල් වීරවංශ ආදීන්ගේ මැදිහත්වීමෙන් එය වැලකුනා. ඒ අවස්ථාවේ එයට විරුද්ධව කටයුතු කරපු මිනිහෙක් නායකය වුනා කියල ඇතිවෙන වෙනසක් නෑ. 

 යුතුකම සංවාද කවය 
 www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. විමලසේන3/03/2014 1:16 PM

    නිර්ව්‍යාජ බුද්ධිමතෙක් වන අමරසේකර ශූරීන් ලංකාවෙන් බිහි වූ විශිෂටතම නවකතාකරුවාම, කෙටිකතා කරුවා මෙන්ම කවියාද වන බව මාගේ වැටහීමයි. (එතුමාගෙ අසක්දා කව කවි පංතිය බලන්න).
    මහින්ද රාජපක්ෂ එක් යුගයක රටට ඉතාමත් අවැසි වැදගත් කාර්යභාර්යයක් ඉටු කළ බව සැබවි. නමුත් 2009 දි ලැබුනු අවස්ථාව මඟ හැරියා කියන චෝදනාවෙන් ගැලවෙන්නටත් ඔහුට නොහැකියි. ආශ්චර්යයක් උදා වෙන්න වෙන ක්‍රමයක් නෑ. මිනිස්සු එකතු වෙලා මහන්සිවෙලා වැඩ කරනවා හැරෙන්න. හැබැයි මේක එහෙම ආශ්චර්යයක් නෙමෙයි. පිටින් ණයට ඉල්ලගෙන එන්න හදන ආශ්චර්යයක්. එහෙම දෙයකට වැඩි ආයුෂ නෑ. කොහෙදි හරි හිරවෙනවා. CHOGM තියාගන්න ඕනා නිසා උතුර බෙදුම්වාදීන්ට ලබා දෙන්න වුනා. ඒක කළෙත් අර කිව්වා වගේ සිංහල මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහලා.
    ඒක තමා තිත්ත ඇත්ත. හැබැයි තව කාලයක් යන කම් මහින්දව තියා ගන්න මේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. මොකද වෙන කෙනෙක් ආවොත් ඕක නිකම්ම දීලා දාන නිසා.

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ යම් ප්‍රමානයක්ට බුද්ධිමත් මිනිසුන් සිටින බවට අප විශ්වාස කරමු. තවමත් මේ ර​ටේ උගත් දොස්තරවරු , ඉන් ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති. නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි. අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත​. එවැනි රටවල සිටින සුලුතරයක් වූ බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත​. නූගත් පාදඩ වනචාරීන් විසින් බලය ගෙන යන රටක තම ඔපීනියන් දීම යනු දෙකයි දෙකේ පොල්ලක් ඔලුව හරාහා වැදීමය​. එම නිසා මොවුන් බොහෝ විට කරන්නේ තම ඔපීනියන් තමා තුල තබා ගෙන මේ මජර ක්‍රමය හරහා මුදල් උපයා ගැනීමය​. එසේ උපයන් මුදල් වලින් මොවුන් තම දරුවන් දියුණු රට වලට ඉගෙනුම සඳහා යවා ඉන්පසු ඔවුන්ට ඒ රටවල පුරවැසි භාවය ලබා දෙති. තම දරුවා ලංකාව වැනි සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික නූගත් රටක පුරවසියෙකු වීමට වඩා සංස්කෘතික, ආර්ථික සහ සමාජමය වශයෙන් දියුණු රටක දෙවන පන්තියේ පුරවැසියෙකු වීම වඩාත් යහපත් බව ඔවුන් විශ්වාස කරති. මෙය ප්‍රසිද්ධියේ නොකීවද සත්‍ය තත්වය මෙයයි. මේ ගැන කල හැකි දෙයක් නැත​. ප්‍රසිද්ධියේ රට ජාතිය ගැන කථා කරන් නලීන් ද සිල්වාලා ගුනදාස අමරසේකරලාවත් තමන් ගේ දරුවන් හා දරුවන් ගේ දරුවන් වත් ලංකාවේ තියා ගත්තේ නැත​. හේතුව ලංකාව යනු සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බව ඔවුනද හොඳාකාරවම දන්නා නිසාය​.

    ReplyDelete
    Replies
    1. විමලසේන7/16/2014 9:16 AM

      මිනිස්සු ඔපීනියන් දෙන්න යන්නේ නැත්තේ එහෙම තර්ජනයක් ලංකාවෙ තියෙන නිසාද? එහෙම තර්ජනයක්මෙහේ ඇත්තටම නෑ. ඕක ඔපීනියන් නොදී ඉන්න උන් හදා ගත්ත හේතුවක්. උන් ඔපීනියන් නොදී ඉන්නේ ඒකෙන් තමන්ට යම් පුද්ගලික පාඩුවක් හෝ ලැබෙන්න තියෙන වාසියක් හෝ නැති වෙයි කියන බයට. රට ජාතිය ගැන ඉස්සරහට ඇවිල්ලා කතා කරන බුද්ධිමත්තු ලංකාවෙ ඉතා අල්පයි. ඒ මිනිස්සුන් කරන කාර්යය අගයන්න බැරි “මං පොර” වර්ගයේ ගෝත්රිකයන්ගෙන් නම් මේ රටේ අඩුවක් නෑ.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions