8/17/2014

මිනිස්සු බලාපොරොත්තු වූ කිසිම දෙයක් මේ ආණ්ඩුව ඉටු කළේ නෑ- ආචාර්‍ය ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     8/17/2014   2 comments
ජ්‍යේෂ්ඨ සාහිත්‍යකරුවෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර සමග සිදුකල සංවාදයක සටහන. විවිධ විෂයන් සම්බන්ධ ඔහුගේ සමාජ නිරීක්ෂණයන් මේ සංවාදය තුල අන්තර්ගතය. 

ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් විදියට අද මේ රට යන සිස්ටම් එක ගැන ඔබේ අදහස කියන්නකො බලන්න මුලින්ම.?

අපේ රට තුල යුද්දයක් තිබුනනේ අවිරුදු තිහක් තිස්සේ. ඒක ඉවර කරන්න ජාතික බලවේග නියෝජනය කරපු පිරිසක් වශයෙන් අපි විශාල සහයෝගයක් දුන්නා. යුධ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුනා ජාතික බලවෙග දුන්නු සහයෝගය.  ගොඩක් කල්ලි කණ්ඩායම් මේක ඉවරයක් කරන්න බෑ කිය කිය ඉන්න කොට තමයි අපි මේකට පෙරමුණේ ඉඳන් සහයෝගය දුන්නේ. ත්‍රස්තවාදීන්ට රටේ කොටසක් නොදී ඒ යුද්ධය දිනන්න හැකියි කියන අපේ දදස තමඉ අවසානයේ ජයග්‍රහණය කලේ. අපි ගම් රටවල්වලට ගිහිල්ලා කරුණු කියපු එකෙන් තමයි කොල්ලො වැඩිපුර හමුදාවට බැඳුනේ.
යුධ ජයග්‍රහණයත් සමග අපි විශ්වාස කලා මේ රටේ නව යුගයක් ඇරඹෙයි කියලා. සැබැවින්ම අලුත් පරිච්චේදයක් මේ රටට අවශ්‍යවෙලා තිබුණා. අවංකවම කියනව නම් අපේ ඒ බලාපොරොත්තු අද කඩ වෙලා තියෙන්නේ. අපිට පෙනෙන්නේ නෑ අලුත් යුගයක් උදා වුණ බව. පැරණි පාරෙම ගමන් කරන බව තමයි පේන්නේ. යුද්ධය ඉවර වුනාට පස්සේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විදියට අපි කොමිෂමක් පත් කලා. රාජා වනසුන්දර විනිසුරුතුමාගේ  ප්‍රධානත්වයෙන් තමයි ඒ කොමිෂම පත් කලේ. ඒකෙන් අපි සාකච්ඡා කලේ විවිධ විද්වත් පුද්ගලයන් සමග, රට කොහොමද අලුත් වෙන්න ඕනෑ කියල.
රටේ ආර්ථික ප්‍රතිපත්තිය , සංස්කෘතික ප්‍රතිපත්තිය  දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද කියලයි එහිදී සාකච්ඡා කලේ. ඒකට රජයෙන් කිසිම ප්‍රසිද්ධියක් දුන්නේ නෑ. මාධ්‍යවලිනුත් එහෙමයි. රජය එය වසන් කිරීමට කටයුතු කලා කියලා අපි හිතන්නේ. අන්තිමට අපි ඒකේ යෝජනා රිපෝර්ට් එකක් හදල  ජනාධිපති තුමා මුණ ගැහිලා දුන්නා. ඒකේ ප්‍රධාන යෝජනාවක් තමයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරලා පළාත් සභා ක්‍රමය අහෝසි කරයි කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි ජනාධිපතිතුමාගේ දෙවැනි ධූර කාලය සඳහා මැතිවරණ වෙලාවේ විශාල වශයෙන් මිනිස්සු ඒකරාශී වුණේ. ඒත් ඒක සිද්ධ වුණේ නෑ. ඒක තමයි අපිට තිබුණු හොඳම අවස්ථාව රටේ අලුත් ගමනක් පටන් ගන්න. මිනිස්සු බලාපොරොත්තු වුනු කිසිම දෙයක් ඉටු කරන්න මේ ආන්ඩුව කටයුතු කළේ නෑ.

ඔබ කියන්නේ යුධ ජයග්‍රහණයේ ප්‍රතිඵල රටට ලැබුණේ නෑ කියන එකද?

ඇත්තටම ඔව්. තීරණාත්මක අවස්ථාවක් තමයි මේ ගොල්ලො අත ඇරියේ. අනික යුද්ධයේ ජයග්‍රණය වෙනුවෙන් පෙනී  ඉඳපු අයටත් කරපු ලොකු අසාධාරණයක් ඒක.

ඔබලා වැනි ජාතික බලවේග රැවටුණා කියල හිතෙන්නේ නැද්ද?

අපි නෙවයි රැවටුනේ.රටටයි පාඩුව.විශේෂයෙන් අපි දැකපු කාරණයක් තමයි යුධ ජයග්‍රහණයන් පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැසිරුණු ආකාරය.එයාලට අවශ්‍ය වුනේ එයාලා බලයට පත් කරපු ජාතික බලවේග හෙමින් ඈත්කරලා වෙන වෙන කණ්ඩායම් ළං කරගන්න .මේ ආණ්ඩුව කළේ ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයට සහාය වුනු මිතුරන් අමතක කරලා සතුරන් පිරිසක් ළං කරගැනීමක්.

ආණ්ඩුව ඔබලට ඒ තරම් ගුණමකු වුණේ ඇයි?



රටේ අලුත් යුගයක් ඇති කරන්න පැවති පාලන ක්‍රමයේ වෙනසක් කරන්න මේ අයට ඕනකමක් නැති එක තමයි ප්‍රධාන කාරණය. ආණ්ඩුවට එහෙයි කියන පිරිසක් ළං කරගත්තේ ඒ නිසා. මේ ආණ්ඩුවට නව පරිවර්ථනයක් පිළිබඳ අවබොධයක් තිබුණ බවක් පේන්න නෑ. පරණ පීල්ලෙම යන එක තමයි මේ අයගේ පිළිවෙත වුණේ. 
මේ අය ක්‍රියාත්මක කරන්නෙත් පරණ ආර්ථික ක්‍රමයමයි. ජේ.ආර් ජයවර්ධන හඳුන්වලා දීපු ආර්ථික ක්‍රමයට තමයි ප්‍රේමදාසත් ,චන්ද්‍රිකාත් , මහින්දත් වැඩ කරන්නේ.ඒක තමයි ජේ ආර් ගේ කැබිනට් එකේ හිටපු මුදල් ඇමති රොනීද මැල් පහුගිය දවසක කියල තිබුණේ එයාලා පටන් ගනිපු ආර්ථික ක්‍රමයේ මල් පීදිලා තියෙන්නේ දැන් කියල. මේ ආර්ථික ක්‍රමය අප කිසි ලෙසකින් අනුමත කරන්නේ නෑ. ඒක අපි වනසුන්දර වාර්ථාවෙන් කියපු දෙයක්.මේ ආණ්ඩුව ආර්ථික වෙනසකට ගියේ නෑ. මේක සම්පූර්ණ ධනවාදී ආර්ථික ක්‍රමයක්. රටේ මුදල් සංසරණය වෙන්නේ සුළු පිරිසක් අතේ. ඒ මුදල් සංසරණය වෙන අයගේ අත පල්ලෙන් හැලෙන සොච්චම තමයි බහුතරයකට ලැබෙන්නේ. මේ වග ආර්ථික ක්‍රමයක් නෙවෙයි ජාතික බලවේග විදියට අපි බලාපොරොත්තු වුනේ. අපි බලාපොරොත්තු වුනේ සමානාත්මතාවය සහිත බෞද්ධ සංස්කෘතිය සහිත පුරුෂාර්ථ මුල් කරගත් ක්‍රමයක්.

දැන් පසුතැවීමක්ද තියෙන්නේ ආණ්ඩුවට සහාය දීපු එක ගැන. ?
අපට තියෙන්නේ පෞද්ගලික පසුතැවීමක් නෙවෙයි. රට ගැන කැක්කුමක්. අපි හිතන්නේ මේ විදියට ගිහිල්ලා රට කොතනින් නවතීද කියලා. මේ ආර්ථිකය තව දුරටත් ගෙනියන්න බෑ කියල තමයි අපි හිතන්නේ. විදෙස් ණය අරගෙන මේ කරන සෙල්ලම හරියන්නේ නෑ. සුළු පිරිසක් රජ සැප විඳිද්දි අනෙත් අයට තුන් වේල කන්නත් නෑ. කොළඹ පුරා මහ ලොකු ආකේඩ් හැදෙනවා . පොළොන්නරුවේ මිනිස්සු වතුර නැතිව මැරෙන්න යනවා. සංදර්ශන දාල වැඩක් නෑ. රටේ හැම මිනිහෙක් ගැනම එක වගේ හිතන්න ඕන. ම ආර්ථික ක්‍රමයෙන් දවසින් දවස ඇති නැති පරතරය වැඩි වෙනවා.

බලයට එන්න ඔබලාගේ සහාය ගත්තු මේ ආණ්ඩුව ඔබලාගේ යහපත් යෝජනා පිළිගන්නේ නැත්නම් ඊළඟට මොකක්ද ගන්න පියවර?
මේ ආණ්ඩුව පෙරලන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපි කෙලින්ම ජනාධිපතිතුමාගේ මූණටම වුණත් මේ දේවල් කියනව. එහෙම පෙන්නල දීලා හදාගන්නයි බලන්නේ. ගොඩක් අය කෙලින් අදහසක් කියන්න බයයිනේ. අපිට නැති වෙන්න දෙයක් නෑ. අපි වරප්‍රසාද අරගෙන නෑ. ඒ නිසා කටවහගෙන ඉන්න වුවමනාවක් නෑ. මේ ආණ්ඩුවට බලපෑම් කරලා හෝ හරිමගට දාගන්න ඕනෑ. ඒක කරන්න බෑ බොරු බටර් ගාලා. කියන්න තියෙන දේ ජනාධිපතිතුමාට කෙලින්ම කියන්න ඕන. එහෙම නැතිව " ඔබතුමා තමයි මේ රටේ පහළ වුණු ශේෂ්ඨතම නායකයා " කියල අන්දන්න සූදානම් නෑ අපි. අපිට තනතුරු බේරගන්න ,කොන්ත්‍රාත් අරගන්න  වගේ ගනුදෙනු නැති නිසා අපි උත්සාහ කරන්නේ රටත් රටේ මිනිස්සුත් බේරගන්න.

ඔබලා කොච්චර කිව්වත් ,යෝජනා ගෙනාවත්  ආණ්ඩුව ගනන් ගන්නේම නෑ වගේ නේද?
 අපිට කමක් නෑ එයාලා ගණන් ගන්නේ නැති වුනාට. ඒක එයාලගේ විනාශය. ඒකට අපට කරන්න දෙයක් නෑ. අපිට ඇති කෙහෙල්මලක් නෑ මේ කෑගැහිල්ලෙන්. අපි රට  ගැන අවංකවම හිතන නිසයි මේවා කරන්නේ. අපි කියන්නේ නෑ මේ ධනවාදී ආර්ථික ක්‍රමයෙන් රටක් දියුණු කරන්න බෑ කියල. ඒත් දවසින් දවස මේ ණය ගන්න විදියට අපට උහුලන්න බෑ. ධනවාදී ක්‍රමයෙන් ඉන්දියාව වගේ ලොකු රටක් දියුණු කරන්න පුළුවන් වෙයි. අපේ රටේ පහුගිය කාලවල ඇතිවුණු ගැටුම් තුනටම හේතුව මේ ඇති නැති පරතරය. වෙන රටවල් දිහා බලල නෙවෙයි , අපේ රටටම ගැලපෙන ආර්ථික මොඩලයක් හදාගන්න ඕනෑ.

රටේ උගත්තු, කලාකාරයෝ කියලා පෙනී ඉන්න අය දේශපාලන නායකයන්ගේ වැරදි පෙන්වා දෙනවා වෙනුවට "යස් සර්" ක්‍රමයට නේද අනුගත වෙලා ඉන්නේ?

අපෝ, උග් ගැන කතා කරල වැඩක් නෑ.බඩගෝස්තරවාදියෝ ටිකක්. මුන් මොන බුද්ධිමතුන්ද? මේ නිවටයන්ට කාර් එකක් හරි මොකක් හරි දුන්න ගමන් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. උපදේශක කමක් එහෙම දුන්නොත් මුන් ආත්මේ පාවලා දෙන්න වුනත් සූදානම්. දැන් ඔය කලාකාරයො වෙලා ඉන්න එවුන් දිහා බලන්නකො. කලාකාරයො කියන නමටත් ලැජ්ජාවක්. මේ අය එදා වේල ගැන හිතන එවුන්. අපේ රට වැඩිපුරම බිහිකරලා තියෙන්නේ අනුකාරක උගත්තු. මේ රට ගැන කල්පනා කරන අනුකරණයෙන් තොර ,අදීන , බුද්ධිමත් පුද්ගලයො නෑ. එහෙම බුද්ධිමත් පරපුරක් බිහි කරන්න අපේ අධ්‍යාපන ක්‍රමයවත් සමත් වෙලා නෑ.


ඔබගේ ලඟම හිතවතෙක් වුණු මහාචාර්‍ය සරත්චන්ද්‍ර වගේ කෙනෙක් දේශපාලකයන් ඉස්සරහ කොන්ද නැමුවේ නැතිව හිටියේ කොහොමද?

සරත්චන්ද්‍ර අවංක කලාකාරය්ක්නේ. අති දක්ෂ බිද්ධිමතෙක් . එහෙම මිනිස්සු පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. දැන් ඉන්න කාලාකාරයො කලාව කරන්නේ නැතිව වෙන හැමදේම කරනවා. සරත්චන්ද්‍රලා කලේ කලාව විතරයි. එයාට දේශපාලකයො පස්සේ රස්තියාදු වෙන්න වලාවක් තිබුණෙත් නෑනේ. අනික අද තියෙන වටපිටාවත් එහෙම නෑනේ.
විවෘත්ත ආර්ථිකයත් එක්ක බිහි වෙච්ච සංස්කෘතිය  දිහා බලමුකො. එදා "77 පටන් ගත්තු විජාතික  සංස්කෘතික ආක්‍රමණය එදාට වඩා සිය ගුණයකින් අද වැඩි වෙලා තියෙන්නේ. මේ පරිහානියේ තරම තේරුම් ගන්න පුළුවන් පුංචි  උදාහරණයක් තමයි ටෙලිවිෂන් එක. ඇත්තටම මේවා රූපවාහිනී නෙවෙයි. දැන් තනිකරම වෙළඳවාහීනී. ටෙලිවිෂන් එකෙන් කෙරෙන සංස්කෘතික හානිය ක්ළවරක් නෑ. එදා කොළඹ කුරුඳුවත්තෙන්  පටන් ගත්තු ඒ සංස්කෘතික ආක්‍රමණය අද ගම් දනව් කරා ගිහිල්ලා ඉවරයි. ඔය ක වෙළඳවාහිනියකින් දැක්කද පසුගිය දවස්වල අර ඇඹිලිපිටියේ කොල්ලෙක් අල්ලගෙන කරපු නාඩගම. මේක ඒ කොල්ලට ආදරේට කරපු වැඩක් ද? අද පවතින කුණු ආර්ථිකයට නියමෙට මුක්කුව ගහන්න මේ ටෙලිවිෂන් එහෙමත් සැදී පැහැදී ඉන්නේ. මේ ආර්ථිකයට ඕනෑ අඥානයො බිහි කරන්න. මේ ආර්ථිකයේ තියරිය තමයි "කාපල්ලා .බීපල්ලා. ජොලි කරපල්ලා" . රට ගැන හිතන වුන් මේ ක්‍රමේට වැඩක් නෑ. ජේ ආර් මේක පටන් ගත්තෙම එහෙමනේ. මිනිහා ඇහුවේ "සහිත්‍යය කන්නද" කියලා. මොකද සාහිත්‍ය කලාව තුලින් තමයි ක්‍රමය ප්‍රශ්න කරන්නේ. ක්‍රමය ප්‍රශ්න කිරීම ක්‍රමය පවත්වාගෙන යන අයගේ පැවැත්මට තර්ජනයක්. ඉතින් ක්‍රමය පවත්වාගෙන යන අය බලන්නෙම රට මන්ද බුද්ධික කරන්න. එහෙම මෝඩයො ඉන්නතුරු ඒ අයගේ පැවැත්ම ස්ථාවරයි.

සාහිත්‍ය කන්නද කියල අහපු ජේ.ආර් ජයවර්ධනට බණින අයත් නොකියා කරන්නෙත් ඒ ටිකම නේද?

මේ අය ජේ.ආර් ටත් වැඩිය ඉහලින් ඒ ටික කරගෙන යනවා. අද ජේ. ආර් කොහේ හරි ඉඳගෙන බලාගෙන ඉන්නවනම් සංතෝස වෙනවා ඇති. ජේ.ආර් ට හිනා යනව ඇති යා පැල කරපු ගස්වල අද මල් ඵල හැදිලා තියෙන හැටි දැකලා.


ආණ්ඩුවෙන් කලාකරුවන්ට ලැබෙන වරප්‍රසාද බෙදී යාමේ විෂමතාවයක් තියෙනව කියල කලාකාරයො පිරිසක් කියනව.
මට නම් පේන්නේ නෑ කලාකාරයො කාටවත් අහේනියක් තියෙනව කියල. අනෙක මොකටද එහෙම හිඟාකන්නේ? ආණ්ඩුව එහෙම නොකරනව නම් නොකරන්නේ ආණ්ඩුවේ කපටිකමට. මේ අඥානයො ටිකක් බොරුවට කෑ ගහනව. අපි මේ සිල්ලර ප්‍රශ්න ගැන කතා කරනවට වඩා පුළුල් විදියට කල්පනා කරල බලන්න ඕන
කාරණා රාශියක් තියෙනව.  මම මුලිනුත් කිව්වා වගේ නිදහසින් පස්සේ අපේ රටේ බිහිවුණේ අනුකරණවාදී ජනතාවක්. ඊට මූලික හේතුව තමයි අපි අපේ ජාතිකත්වය වටහාගෙන නෑ. අපිට වසර ගණනක් පුරා ආ ජාතිකත්වයක් තිබුණා.  දිගු කාලයක් පරාදීන රටක් විදියට පැවතුණු නිසා ඒක අමතක වෙලා ගිහින් තියෙන්නේ. ඒ අඩපණ වෙලා තියෙන ජාතිකත්වය අපි අවදි කරගන්න ඕනෑ. වාසනාවකට වගේ ඉන්දියාව අවුරුදු 60 කට පස්සේ ඒක ලබාගෙන තියෙනවා. අපි තාම හූල්ල හූල්ල ඉන්නවා. අපි අපේ ජාතිකත්වයට ගියෝතින් මේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා.

රටක කාලාකරුවො දේශපාලන වහල්භාවයට පත්වීම එරට සමාජයට බලපාන්නේ කොහොමද?

කලාකරුවා කියන්නේ දැවැන්ත පුද්ගලයෙක්. අප රටේ කලාකරුවො කියල පිරිසක් ඉන්නවද කියලත් සැකයි. බඩගෝස්තරේට නටන උන් කලාකාරයො නෙවෙයි. අපේ රටේ  ටෙලිවිෂන් එකෙන් ඔය තරු කියල උඩ දාන උන්ටත් පස්සෙන්දට කියන්නේ කලාකරුවො කියල. මුන්ට මොනව උනත් කමක් නෑ. මුන් වගේ එවුන් නැති තරමට හොඳයි.  කලාකාරයො කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. හැම අතින්ම ප්‍රාඥයෙක් තමයි  කලාකාරයෙක් වෙන්නේ. බුද්ධිය නැතිව කොහොමද කලාකරුවො වෙන්නේ. බොරු කකුල්කාරයො ටිකක්නේ අද අපේ රටේ කලාකාරයො කියල පුම්බගෙන ඉන්නේ. බුද්ධිමත් කලාකරුවන් දේශපාලන වහල්භාවයට යටත් වෙන්නේ නෑ. ඔහු ස්වාධීනව තමන්ගේ දේ කාරනව.

සංවේදී කියන කලාකාරයො රොත්තක් රටේ නායකයොත් රවටලා ජනතාවත් මුලා කරනව කියල තමයි හැමෝම කියන්නේ?
ජනතාව කොහොම වෙතත් රටේ දේශපාලන නායකයො නම් රැවටෙනවා කියල හිතන්න අමාරුයි. අපේ දේශපාලකයො රවට්ට බෑ ලේසියෙන්. මේ ගොබ්බ කලාකාරයොන්ට අත්පුඩු තලන මෝඩ මිනිස්සු නම් මෙයාලගේ කතාවට රැවටෙනවා. ඒකනේ මේ මිනිස්සු ඔය නළු නිළියන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවටත් යවන්නේ. මේ යන නළු නිළියන්ට දේශපාලන දැනුම තියා සාමාන්‍ය දැනුමවත් නෑ.  කට ඇරිය ගමන් ගොන් කම ප්‍රදර්ශනය වෙනවා. අපේ රටේ තුප්පහි සංස්කෘතියේ නියෝජනයක් විදියට තමයි මට නම්  මේ ගොඩක් කලාකාරයො කියන ඈයෝ පේන්නේ. අපේ රටට ප්‍රබුද්ධ දේශපාලන නායකත්වයක් සමග ප්‍රමුද්ධ කලාකරුවොත් අවශ්‍යවෙලා තියෙනවා.

අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ හිටපු ප්‍රසිද්ධ චරිතවලට අද මොකද වෙලා තියෙන්නේ?
මොනව වෙන්නද. ඔය ඉන්නේ මහින්ද රාජපක්ෂග සටකේ එල්ලිලා . ඔය වාමාංශිකයො කියල කියන්නෙත් අනුකාරකයො පිරිසක්නේ. එයාලට කට උත්තර නෑ අද. සමාජයට ඒ අයගෙන් කිසිම බලපෑමක් නෑ. නිකන්ම නිකං කැන්සල් වෙච්ච පිරිසක්. අපේ රටේ සමාජ දේශපාලන පරිහානියේ  තවත් එක් උදාහරණයක් තමයි මේ වාමාංශික දේශපාලන නායකයන්ට වෙච්ච දෙයින් පේන්නේ.

සංස්කෘතික පිරිහීමට පිළියම් සොයන්න ඕනෑ වගකිවයුත්තො ඒක පෙන්න පෙන්න ඉන්නවා විතරයි නේද?
සංස්කෘතිය පිරිහිලා කියන එකනම් අහන්න දෙයක් නෑ. ඒක පිරිහිලා කියල කිය කිය ඉන්න දේකුත් නෑ. ඕනෑ කෙනෙකුට ඒක පේනවනේ. කරන්න තියෙන්නේ ඒ පිරිහීම පුළුවන් තරමකට වළක්වාගන්න එක. ඒත් ඒක කරන්න කවුරුවත් සූදානම් නෑ. ඒක කරන්න පුළුවන් ජාතික නායකයන්ටයි බුද්ධිමතුන්ටයි. එහෙම නැතිව ඔය රූපවාහිනී සාකච්චාවලට ඇවිත් පම්පෝරි ගහන අයට ඕක කරන්න බෑ. රටට කිසිම වැදගැම්මක් නැති වසංගතයක් නම් ඒක සීඝ්‍රයෙන් රට පුරා බෝ වෙනවා. රටට ජාතියට ජහපත් දෙයක් එහෙම වෙන්නේ නෑ. සංස්කෘතිය විතරක් නෙවෙයි අද කොයි තැනද පිරිහිලා නැත්තේ. 


දැන් කලාකරුවන්ට ජාතිය සහ ආගම හොඳ බයිට් එකක් වෙලා වගේ නේද?
අපෝ. ඔය ගැන කතාකරල වැඩක් නෑ. මේ උන්දල මේක සල්ලි ටිකක් ගරාගන්න පාවිච්චි කරනව විතරයි. ජාතිය ආගම මතුපිටින් පෙන්නනවා විතරයි.  ඔය කියන තරම් ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙනව නම් මේ රටට මෙහෙම විනාසයක් වෙනවද? ඔය කියන එකම දේකවත් ගැඹුරින් මේ දේවල් සාකච්චා වෙලා තියෙනවද? අද ජාතිය ආගම දෙක හොඳට විකුණගෙන කන්න පුළුවන් කියල මේ ගොල්ලො දන්නවා. වළ ඉහගෙන කන මේ යක්කුන්ට මොන ජාතිය ආගම ගැන කැක්කුමක්ද?

අමරසේකර මහත්මයා පහුගිය කාලේ පෙන්නපු චිත්‍රපටි එහෙම බැලුවද?
මම ඔය ජරාව බලන්න වෙලාව නාස්ති කරන්නේ නෑ.

අද දවසේ සහිත්‍යය ගැන මොකද හිතෙන්නේ?
රටේ හැමදේටම සිද්ධවෙලා තියෙන විනාසය සාහිත්‍යටත් සිද්ධවෙලා. තුට්ටු දෙකේ සම්මාන පොරයක් එක පැත්තක. හරි විචාරයක් නෑ. ඔය චිත්‍රපටි හදන උන් වගේම තමයි පොත් ලියන කට්ටියත්. කාලෙටා විකුණගන්න පුළුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරනවා. සාහිත්‍ය ගැන හැඟීමක් නම් තියෙන්නේ සම්මානවලට කුලල් කාගන්නේ මොකටද?
අනිත් එක රටේ බුද්ධිමය සංවාදයක් නැතුව සාහිත්‍ය දියුණුවක් ඇති වෙන්නේ නෑ. කවුද ඒ බුද්ධිමය සංවාදය අද කරන්නේ? කවුරුවත් නෑ. අපිට පුළුවන් තරමින්  අපි දෙයක් කරනවා. අඩුම තරමේ කෙලින් කතාකරන්නවත් මිනිහෙක් අද නෑනේ. බුද්ධිමය සංවාදයකට වටපිටාව සකසන්න ආණ්ඩු උත්සාහ කරන්න්නෙත් නෑ. ආණ්ඩුවත් අඥානයි. මිනිසුත් එහෙමයි.

මෝඩ ආණ්ඩුවක් රකින වැඩේ ම නෙවෙයිද ඔබලත් කරන්නේ?
අපි උත්සාහ කරන්නේ ආණ්ඩුව මේ මෝඩකමින් ගලවගන්න. ඒක තමයි අපිට තියෙන අභියෝගය. මේක නැතිව අපිට විකල්පයක් නෑ. මේ ආණ්ඩුව කරන තකතීරු වැඩවලින් රටට වෙන විනාශය ගැන කියලා නිවරදි කරගන්නයි අපේ උත්සාහය.

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පිටුපස ඉන්න දේශපාලන චරිත එක්ක පෑහෙන්න පුළුවන්ද හිතට එකඟව?

අපේ පිටිපස්සේ මොකා හිටියත් අපට කමක් නෑ. අපි කාගෙවත් පිටිපස්සේ නෙවෙයිනේ ඉන්නේ. අපේ පස්සෙන් ඕනැ කෙනෙකුට එන්න පුළුවන් .අපි රට ගැන කැක්කුමකින් වැඩ කරන පිරිසක්.  අපිත් එක්ක ඉන්න අයගේ දේශපාලන මතිමතාන්තර අපට වැඩක් නෑ. අපි දේශපාලන න්‍යායපත්‍රවලට යට වෙන්නේ නෑ. අද මේ රටට ඔනෑ දේශපාලනය ඉක්මවා ගිහින් රට ජාතිය ගැන හිතන පිරිසක්.

-ලංකාදීප
2014-08-10

8/12/2014

මුස්ලිම් අන්තවාදය හමුවේ යළි යළිත් ගැලවී යන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණ වෙස් මුහුණු.

කතෘ:යුතුකම     8/12/2014   9 comments
මුස්ලිම් ප‍්‍රශ්නයක් පිළිබඳ පෙර නුවූ අන්දමේ දේශපාලන කැළඹීමක් මේ වනවිට රට තුළ ඉස්මතු වෙමින් තිබෙන්නේ කාලයක සිටය. අලූත්ගම ප‍්‍රදේශයේ පසුගිය දා ඇතිවූ අවාසනාවන්ත ජාතිවාදී ගැටුමද ඒ කැළඹීමේ නරක ප‍්‍රකාශනයක් වන අතර මේ වන විට එය විවිධ තලයේ සමාජ දේශපාලන සංවාදයන්ට නිමිති වී තිබෙන්නකි. මෙරට සාහිත්‍ය, ශාස්තී‍්‍රය, ඇකඩමික් සමාජයද මේ ගැටුම හා මුස්ලිම් ප‍්‍රශ්නය ගැන නොයෙක් ක‍්‍රම ඔස්සේ ප‍්‍රතිචාර රැසක් මුදා හැර තිබිණි. අලූත්ගම ගැටුම හෝ මුස්ලිම් ප‍්‍රශ්නය සෘජුවම ඇකඩමික් ලෝකයට අදාල මාතෘකාවක් නොවුනද මෙරට විකල්ප ඇකඩමියාව මත කලක සිට බලපවත්වමින් තිබෙන ප‍්‍රශ්නයක් අලූත් ප‍්‍රවේශයක් ඔස්සේ තේරුම් ගැනීම සඳහා ඉහත සිදුවීම දැන් අවස්ථාවක් සපයා දී තිබේ. මේ රචනයේ අභිලාෂය වනුයේ මුස්ලිම් ප‍්‍රශ්නය ගැන කතා කිරීම නොව ඒ ප‍්‍රශ්නය කෙරේ වූ ඇතැම් ප‍්‍රතිචාර පාදක කරගනිමින් මෙරට විකල්ප ඇකඩමික් සමාජය තුළ කලක සිට ඔඩු දුවමින් පවතින චින්තනමය ව්‍යාධියක බරපතලකම කෙරේ පාඨක අවධානය මඳකට යොමු කිරීමය.

අර්බුදයේ පසුබිම

ආගමික ජාතික සීමා පසෙක තබා පොදුවේ මනුෂ්‍යයකු ලෙස කරුණු විමසා බැලූවද බෞද්ධ සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතියට සාපේක්ෂව ලෝකයට බෙහෙවින් හිතකර හා සහනශීලී එකකි. එය දිදුලමින් පෙනෙන ඇත්තක් මිසක අන් සංස්කෘතියක් කෙරේ හෙලන ද්වේශ සහගත බැල්මක් නොවේ. ඉස්ලාමය යනු ස්වභාවයෙන්ම මූලධර්මවලට විශාල බරක් තබා කටයුතු කරන, නිදහස් චින්තනයට ඉතා අල්ප ඉඩක් සහිත, වෙනස්වීම්වලට ලේසියෙන් අනුගත නොවන, ආක‍්‍රමණශීලී දෘඩ ආගමික ප‍්‍රවණතාවකි. එහෙත් එය එසේවූ පමණින් මෙරට ප‍්‍රධාන සංස්කෘතිය තුළ වසර සිය ගණනක් සමගියෙන් ජීවත් වූ සහෝදර මුස්ලිම් ජනයාට එරෙහි වීම කිසිවකුට කළ හැක්කක් නොවේ. ඔවුන්ගේ නිදහස් පැවැත්ම කා විසිනුත් පිළිගත යුත්තකි. එසේ වුවද බහුවිධ ලෝකයක ජීවත් වීමේදී පොදු යහපතට සරිලන ලෙස තමන්ගේ දැඩි සංස්කෘතික ඇබ්බැහිකම් සුඛනම්‍ය කර ගැනීම  ඕනෑම ජාතියක ආගමක වගකීම බවද අමතක කළ හැකි නොවේ. හරි නම් ඉස්ලාම් බුද්ධිමතුන් විසින් කළ යුතු වන්නේ තම ආගමික ඉගැන්වීම්වලට ඔවුන්ගේ ආගමික පදනම තුළම නව කියවීම් ලබාදෙමින් තම දහම හා සංස්කෘතිය නූතන ලෝකයට ගැලපෙන සේ යාවත්කාලීන කිරීමය.  කාගේත් යහපතට හේතුවන හා ප‍්‍රතිවිරෝධතා සමනය කර ගත හැකි එවන් ප‍්‍රවේශයක් ඉස්ලාමයට වෙසෙසින්ම වැදගත් වෙයි.
 
එසේවුවද වත්මන් ලෝකය තුළ අපට හමුවන්නේ යාවත්කාලීන වීම වෙනුවට තවදුරටත් බියකරු මූලධර්මවල ගිලීයමින්, ත‍්‍රස්ත බලය ඔස්සේ ආගම පතුරුවන, මිලේච්ඡ ආක‍්‍රමණකාරීත්වයකට මාරුවූ ඉස්ලාමයකි. සාම්ප‍්‍රදායික මුසල්මානුවන් පවා බියෙන් සලිත කරමින් තිබෙන මේ ජිහාඞ් අන්තවාදය අද ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන බිහිසුණු ප‍්‍රශ්නයකි. අනෙක් අතට බටහිර රටවල් විසින්ද මේ අන්තවාදී ප‍්‍රවණතා තමන්ගේ උපායමාර්ගයන්ට අනුකූලව හසුරුවමින් සිටිති. තමන්ගේ රටවල් තුළ සහජීවනයකින් තොරව අන්තවාදයට බැටදෙන ඔවුහු, තම සතුරු රටවල් සම්බන්ධ කාරණාවලදී අන්තවාදයට අත්වැල් සපයති. තවද විවිධාකාර සංකීර්ණ ඉසව් රැසක් කරා මේ අර්බුදයේ අක්මුල් පැතිරී ඇති අතර ලංකාව තුළ මෑතක සිට ඉස්මතු පවතින සිංහල මුස්ලිම් ප‍්‍රශ්නය තේරුම් ගත යුත්තේද මේ සමස්තයේ කොටසක් ලෙස මිසක අලූත්ගම සිදුවීමකට හෝ භික්ෂුවකගේ සැර කතාවකට සීමා වෙමින් නොවේ.

සිංහලයා තුළද ජාතිවාදය තිබිය හැකිය. කල්ලි වශයෙන් බෙදී කෙරෙන ආවේගශීලී හැසිරීම් වෙත මිනිසා පොළඹවාලීමද ඉතා පහසුය. ජාතිවාදී ගැටුමකදී කිසිදු පාර්ශවයක් සපුරා නිදොස් වීමට ඇති ඉඩකඩද ඉතාම අල්පය. එසේ වුවද මේ සමස්ත චිත‍්‍රය අපක්ෂපාතීව සලකා බැලීමේදී සිංහල ජාතිවාදය යනු මීනී මෝරුන් අහිනක් හමුවේ සිටින හාල්මැස්සෙකුට වඩා වැඩි යමක් නොවන බව වටහා ගැනීමට විශේෂ බුද්ධියක් වුවමනා නොවේ. එහෙත් අද මේ සැබෑ ප‍්‍රශ්නය හමුවේ ඇතැම් අමු කෑ උගතුන් හැසිරෙමින් සිටින්නේ කෙසේද?

උත්ප‍්‍රාසවත් නිරීක්ෂණ කීපයක්
 
අලූත්ගම ගැටුම සිදුවූ වහාම මෙරට සංවේදී කවීහු රැුසක් ඊට ප‍්‍රතිචාර දක්වා තිබිණි. එන්ජී ඕ  විප්ලවවාදිනියන්ගේ කලා සංස්කෘතික වෙබ් අඩවි හරහා මේ කවි ප‍්‍රචාරය වී තිබිණි. ජාතිවාදයට එරෙහි උත්තර මනුෂ්‍යත්වයක් ගැන කතා කරන කවියන් අතින් මෙවැනි කවි ලියැවීමේ කිසිදු වරදක් නැතත් ජාතිවාදයට එරෙහි කවි වෙනුවට සිංහල විරෝධී කවි ලිවීමට මේ කවීන් සියල්ලෝම පාහේ උත්සුක වී තිබුණේ පුදුමාකාර ලෙසය. ඔවුන්ගේ කවිවල මහා පොදු අර්ථය අපට කියාසිටින්නේ මුස්ලිම් පාර්ශවය සර්ව සාධාරණ අහිංසකයන් වනවිට අතර සිංහලයා වනාහී අහේතුකව සුලූ ජාතීන්ට පහර දෙන ලේ තැවරුනු මිලේච්ඡුයන් කොටසක් බවය. පුද්ගල දෙපිරිසක් අතර ඇතිවන ගමේ ගොඬේ පුංචි රණ්ඩුවකදී පවා මේසා සරල ලෙස හරි වැරදිකරුවන් වෙන්කළ නොහැකි වුවද බොහෝ දේ පළල්ව දකින බව කියන කවි කාරයන්ට අලූත්ගම සිදුවීම පෙනී තිබුණේ එසේය.
 
මීලඟට ඇතැම් මාධ්‍ය මේ සිදුවීම හඳුන්වා තිබුණේ ”කළු ජූනියක්” වශයෙනි. දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් සිංහලයා විසින් සුළු ජාතියකට එල්ල කල විධිමත් ප‍්‍රහාරයක් ලෙස අර්ථ ගැන්වීමටත්, එය සංඛ්‍යාත්මකව අසූ තුනේ කළු ජූලිය තරම් විශාල බව හැඟවීමටත්  මේ තක්කඩි යෙදුම දැනුවත්ව භාවිතා කොට තිබිණි. මීට සමගාමීව කලාකාමී විකල්ප විගඩම්කාරයන් පිරිසක් එක්ව ”තවත් කළු ජූලියක් එපා” යැයි මොරදෙමින් කේක් කපා, නටා ගයා ”කළු ජූලි” සාදයක්ද පවත්වන ලද්දේ ”කළු ජූලි” බහුල ශී‍්‍ර ලංකාවකට ඔවුන්ගේ ඇති ආශාව අනියමින් ප‍්‍රකට කරමිනි. ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ ආශාවන් සමගද මනාසේ සමපාත වන මේ ජූලි වන්නම්  හරහා ඇත්ත සිදුවීමට වන විකෘතියේ තරම හෝ ඒවා රටක් වශයෙන් අපට බලපෑ හැකි ආකාරය ගැන සිතීමට වඩා මොවුන්ට තම ¥ෂිත දේශපාලන ව්‍යාපෘතීන් ප‍්‍රමුඛ වී තිබිණි.
 
මීළඟට තවත් කළු ජූලියකට එරෙහි පුවත්පත් දැන්වීමකටද මේ විකල්ප වීරයන් හා කලා සාහිත්‍යවේදීන් පිරිසක් තම නම් ඇතුළත් කර තිබිණි. කිසිදු මුස්ලිම් ජාතිවාදයක් මේ රටේ නැති ආකාරයට, මැර සිංහල බෞද්ධ ජාතිවාදයකට පමණක් එරෙහිව මොවුන්ගේ අපූරු නිවේදනය නිකුත් වී තිබිණි. එන්.ජී. ඕ මානවවාදීන් බහුතරයකට අමතරව මැදහත් පුද්ගලයන් අතලොස්සක්ද මීට දායක වී තිබුණද මේ පසුපස වූ කූට මෙහෙයුම වටහා ගැනීමට ඒ මැදහත් පිරිසට පවා නොහැකිවීම ඛේදජනකය. අඩුම තරමේ උපක‍්‍රමයක් ලෙස හෝ තම නිවේදනය සිංහල ජාතිවාදයට පමණක් එරෙහි තැනකට සීමා නොකිරීමට මොවුන් ප‍්‍රවේශම් වූයේ නම් ඔවුන්ට තම රෙදි ගලවා ගැනීමෙන් තොරව මේ නිවේදනය මුදා හරින්නට හැකියාව තිබිණි. එසේ වුවද කලක් නිරාහාරව සිටි සතකුට ලැබුණු ආහාරයක් සේ අලූත්ගම සිදුවීම ඩැහැගත් මේ පිරිසට උපක‍්‍රමශීලී වීමට හෝ ඉස්පාසුවක් නොතිබූ බව මෙයින් පැහැදිලි වෙයි.
 
රම්බෝගෙන් වෙඩි කා ලංකාවට පැමිණි එක්තරා ආචාර්යවරයෙක්ද (රම්බෝ යනු ඇමෙරිකානු පෞඩත්වය වෙනුවෙන් නිපදවා ගත් කසිකබල් සිනමා වීරයෙකි.) මුස්ලිම් ප‍්‍රශ්නයට අදාල අපූරු ලිපියක් ලියා තිබිණි. මුස්ලිම් ප‍්‍රජාව සමස්තයක් ලෙස නරක නැති වුවත් අද මධ්‍යස්ත සිංහලයා තුළ පවා මුසල්මානුවා ගැන වැරදි ආකල්ප පවතින බැවින් මුස්ලිම් බුද්ධිමතුන් වහා පෙරට පැමිණ තමන්ගේ යහපත්කම ගැන හ`ඩ ගා කියන ලෙස ඔහු මේ ලිපියෙන් යෝජනා කරයි.  ඔහුට අනුව එසේ කළ යුත්තේ ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව තම පැවැත්ම පිළිබඳ තර්ජනයකට මුහුණ පා ඇති නිසාය. වියුක්තව ගත්කළ කිසිදු වරදක් නොමැති මේ අහිංසක සාධාරණ යෝජනාව පසුපස ඇති දේශපාලන අන්‍යාලාපය කුමක්ද? තමන්ගේ යහපත්කම රටට කියන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට පවසන මේ ඇදුරා ලෝකයම ගිනි අවුලූවමින් තිබෙන මුස්ලිම් අන්තවාදයට එරෙහි වන ලෙස ඔවුන්ට යෝජනා නොකරයි. ලංකාවේ ක‍්‍රියාත්මක අන්තවාදී ප‍්‍රවණතා ගැන එම බුද්ධිමතුන්ගේ අදහස කුමක්දැයි ඔහු ප‍්‍රශ්න නොකරයි. ඒ වෙනුවට ඔහු නොකියා කියන්නේ ජාතිවාදී සිංහලයා නිසා අසරණ මුසල්මානුවා නිකරුනේ තර්ජනයට ලක්ව ඇති බව පමණි.
 
අනික ඔහු පෙරලා මේ ලස්සන යෝජනාව සිංහල ප‍්‍රජාව වෙත ඉදිරිපත් නොකරන්නේ කුමක් නිසාද? මුස්ලිම් ප‍්‍රජාවේ කෑ ගසා කිව යුතු යහපත්කම් ඇතත්, ඉතිහාසය පුරා සිංහලයාගේ කිසිදු යහපතක් සහජීවනයක් නොතිබුණා යැයි මේ ආචාර්යවරයා සිතනවාවත්ද? අනික ජාතිවාදී ගැටුම් නිසා පැවැත්ම තර්ජනයට ලක්ව ඇත්තේ මුසල්මානුවාට පමණද? අද සිංහලයාට පමණක් නොව පොදුවේ මේ රටටද ජාතිවාදී ගැටුම් අහිතකර ලෙස බලපාමින් තිබේ. මානව හිමිකම් තොන්ඩුව අතැතිව සිටින ලෝක බලවතුන්ටද මේ සිදුවීම් ආස්වාදජනකය. අලූත්ගම ගැටුම ගැන වැඩිපුර කළබල වූයේද මුස්ලිම් රටවල් නොව බටහිර රටවල්ය. සිංහල බෞද්ධයන්ට හා භික්ෂූන් වහන්සේලාට අද දෙස් විදෙස් විවිධ මාධ්‍ය ඔස්සේ දස අතින් කර්කශ මතවාදී සරදම් එල්ල වෙමින් තිබේ. සිංහලයන් ලෝකයේ මිලේච්ඡුතම ජාතියක් බව ඇමරිකානු තානාපතිනියද පසුගිය දා ප‍්‍රකාශ කර තිබිණි. ඔලූව ගල්වල හප්පා ගත් කවියෝද ඒ කතාව එලෙසින්ම තම කවිවල ලියමින් සිටිති. එවන් තත්ත්වයක් තුළ සිංහලයාගේ යහපත්කම් ගැන ලෝකයට කිසිවක් කීමට මෙවන් ඇදුරන්ට කල්පනා නොවන්නේ කුමක් නිසාද? අන්තවාදයේ පැතිරුනු හෙළුව වසා ගැනීම සඳහා වහ වහා තම අල්ල දික් කරන්නැයි මුස්ලිම් බුද්ධිමතුන්ට යෝජනා කරන මේ සිංහල බුද්ධිමතා, සිංහලයකු තම යහපත්කම් ගැන කතා කළහොත් ඔහු වර්ගෝත්තමවාදියකු ලෙස හැඳින්වීමට නියමිතය. ලංකාවේ වෙරළ තීරවල ගැහැනුන් නිරුවතින් නොසිටීම පවා ජාතික ප‍්‍රශ්නයක් ලෙස සලකන මේ බුද්ධිමතාට බුර්කාවේ කාන්තා හිංසනය ගැන වගක් නැත. සිංහල සංස්කෘතිය සංස්කරණය කිරීමට දිවා ? වෙහෙසෙන මේ මහදැනමුත්තා මුස්ලිම් සංස්කෘතිය සංස්කරණ කිරීමට කිසිවක් නොකරන්නේ එය පෙරටුගාමී පක්ෂයේ සමාජවාදයට වඩාත් ආසන්න සංස්කෘතියක් වන නිසාද?
 
තවත් ෆුටා ආචාර්යවරයෙකු පවසා තිබුණේ චම්පික රණවකට ජාතික ඇඳුම අඳින්නට නිදහස තිබේ නම් මුස්ලිම් ගැහැනුන්ටද කැමති ඇඳුමක් ඇඳිය හැකි බවය. එවන් අපූරු අදහස් රාශියක් සහිත විනෝද සමය බදු වීඩියෝවක් මේ ඇදුරා අන්තර්ජාලයට මුදා හැර ඇති අතර ”බොකෝ හරාම්” යන්නේ අර්ථය ”බටහිර දේ හරාම්” බව සොයාගෙන ඇත්තේද මේ අව්‍යාජ බුද්ධිමතා විසිනි. බොකෝ හරාම් යනු ආගම වෙනුවෙන් මිනීමරන මිලේච්ඡු මුස්ලිම් ත‍්‍රස්ත සංවිධානයකි. මෑතකදී නයිජීරියාවේ කතෝලිකයන් පණ පිටින් පුළුස්සා මැරීම ඇතුළු සාහසික කි‍්‍රයා රැුසකට ඔවුන් දායක වී තිබේ. එසේවුවද ලංකාවේ අමරසේකරලාට බටහිර විරෝධී සංවිධාන හදන්නට හොඳ නම් නයිජීරියාවට නරක මන්දැයි මේ ආචර්යවරයා ඉතා බුද්ධිමත්  ප‍්‍රශ්නයක් මතු කරයි. ලෝකයේ ඇති අනෙකුත් සිය ගණනක් මුස්ලිම් ත‍්‍රස්ත කල්ලි ගැනද ඔහුගේ ආකල්පය මීට සමාන නිසාදෝ ඔහු ඒ ගැන වැඩිදුර සඳහන් නොකරයි.
 
”බල්ලාට පියාපත් ඇත” ”සිංහයා පළතුරු කයි” වැනි කතා කිසිවකු කිවතොත් සාමාන්‍ය ජීවිතයේදී එවැන්නකු සැලකෙන්නේ ඔල්මාදකාරයෙකු ලෙසය. එසේවුවද එවැනිම කතා කියන නිවට ඇදුරන්ව විකල්ප ඇකඩමියාව තුළ බුද්ධිමතුන් ලෙස සැලකෙයි. ඇතැම් පසුගිය සාහිත්‍ය සම්මාන උළෙලවල විනිශ්ව මණ්ඩල පවා පිරී තිබුණේ මෙවන් පුද්ගලයන්ගෙනි. රට, ජාතිය ගැන කතා කරන්නා සාහිත්‍යකරුවකු නොවේ යැයි ඒ ඇතැමුන් පැවසුවද සුළු ජාතීන් සම්බන්ධ කාරණා සියවරක් අතිශෝක්තියට නංවා වර නැගීම ඒ බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වෙයි.

හන්දියක බුදු පිිළිමයක් හදන විට ”හේතුවාදය” ගැන ”අනාගමික රාජ්‍යය” ගැන නන් දොඩවන මේ පිරිසට අකුරන වැනි ප‍්‍රදේශවල අඩියෙන් අඩියට පල්ලි ඉදිවන විට ආගමික සහජීවනය සිහිපත් වෙයි. එදා ආරක්ෂක අංශ විසින් කොටි ත‍්‍රස්තවාදය මැඩලන විට දෙමළාගේ විමුක්ති අරගලය ධනේශ්වර මර්දන යන්ත‍්‍රයට බිලිවෙන බව කියමින් ලතෝනි දුන් මේ පිරිසම, අද බෞද්ධ සංවිධාන මැඩලීම සඳහා ධනේශ්වර මර්දන යන්ත‍්‍රයේ පිහිට අයදිති. කොටින්ට හෝ බොකෝ හරාම් කල්ලියට ත‍්‍රස්තවාදීන් යැයි කීමට දිව නොනැමෙන මේ දැනමුත්තෝ්, අද කිසිදු අපරාධයක් සිදු නොකළ භික්ෂූන් වහන්සේලාට ත‍්‍රස්තවාදී ලේබල් අලවති. සැබවින්ම එවන් ත‍්‍රස්තවාදයක් තිබුණේ නම් කටක් සෙලවීමට ඉදිරිපත් නොවන මේ බියසුල්ලන් අද නැති ත‍්‍රස්තවාදයකට එරෙහි වීම හරහා වීරයන් වීමටද කෙටි මගක් පාදාගෙන තිබේ. හලාල් ප‍්‍රශ්නයේදී සමස්ත ආහාර නිශ්පාදනයම ඉස්ලාම්කරණය කිරීම තුළ කිසිදු ජාතිවාදයක් නුදුටු මේ පිරිසට, හලාල් අධිපතිවාදයට එරෙහි වූ බලවේග පෙනුනේ පරම ජාතිවාදීන් වශයෙනි. ඉස්ලාම් භක්තිකයන්ට හලාල් ආහාර ගැනීමට ඇති අයිතියට කිසිදු බෞද්ධ සංවිධානයක් එරෙහි නොවුනද එකී සාධාරණ ප‍්‍රවේශය පවා මේ පිරිසට දරා ගත හැකි නොවීය. යම් හෙයකින් බෞද්ධ පිලිවෙත් අනුව ආහාර නිශ්පාදනය කිරීමේ ක‍්‍රමවේදයක් රටට පැමිණියහොත් මොවුන් හැසිරෙනු ඇත්තේ කෙසේද? එසේනම් රෙදි ඔසවා ගනිමින් බෞද්ධ අධිපතිවාදයට එරෙහිව නැගී සිටීමට නියමිත මේ පරපුටුවන් රොත්ත, අනාගමික ආහාර සඳහා වූ විද්වත් සංසද, ජනතා ව්‍යාපාර, ගෘහනි එකමුතු ආදිය පිහිටුවමින් තොවිල් නටන ආකාරය රටටම දැකගත හැකි වනු ඇත.  අවශ්‍ය නම් තව උදාහරණ ඇති තරම් දක්වමින් පහදා දිය හැකි විකල්ප ගෝත‍්‍රයේ මේ නාටකීය හැසිරීම අවසානයේදී අප විසින් වටහා ගත යුත්තේ කෙසේද?

එකම කඳවුරක පුරුදු හඬ

ඉතා පැහැදිලි ලෙසම එදා කොටි ත‍්‍රස්තවාදය වෙනුවෙන් ප‍්‍රශස්ති ගැයූ මේ පිරිසම අද ජිහාඞ් අන්තවාදයට ආවඩමින් සිටිති. එදා කොටින්ට විමුක්ති කවි ලියූ අත් කපා ගත යුතු කවියෝද අද ජිහාඞ් ත‍්‍රස්තවාදයට කවි මල් පලඳවමින් සිටිති. ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ස්ත‍්‍රීවාදීන්, වනචාරී ධනවාදීන් ඇතුළු සියලූ වර්ගවල ගෝත‍්‍රවාදීහු අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ එකම කඳවුරකට ගාල්වී සිටිති. නිතරම ජාතිවාදයට එරෙහිව ඝෝෂා නගන මේ පිරිස සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් පහරදෙමින්, මුස්ලිම් අන්තවාදයේ මිනීමෝරුන් සුරකිති. මේ කාරණා හමුවේ එදා මෙදා තුර මොවුන් වර නැගූ ජාතිවාද විරෝධය වනාහී ගණිකාවකගේ පතිවත වැන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

කෙසේ හෝ වේවා ඔවුන් මේ අත තබා ඇත්තේ එසේ මෙසේ පුහුලකට නොවන බව අද ඔවුන්ටම තේරුම් ගොස් ඇති සැටියකි. කොටි හිතවාදය හරහා එදා තම ව්‍යාජ මානවවාදී ප‍්‍රබුද්ධත්වය සීයට පනහකින් හානි කර ගැනීමට ඔවුන්ට සිදුවූයේ නම්, අද ජිහාඞ් හිතවාදය හරහා ඔවුන්ට ඒ හානිය සිදුවනු ඇත්තේ සීයට හාර පන්සීයක අනුපාතයකිනි. ඒසා මිලේච්ඡ එකක් වූ මුස්ලිම් අන්තවාදය කිසිදු ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ හැකි ප‍්‍රවණතාවක් නොවේ.
  
මේ සංවාදයේ වැදගත්ම තුරුම්පුවට අනුව මේ පිරිස තුළ ඇත්තේ කෙහෙල්මල් ජාතිවාද විරෝධයක් නොව සදාතනික සිංහල බෞද්ධ විරෝධයකි. ඒ නිසාම මිනීමෝරුන් පසෙක සිටියදී සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පමණක් වටකොට පහරදෙන මේ පිරිස සිංහල ජාතිවාදයෙන්ද නොනැවතී සිංහල බෞද්ධ සංස්කෘතියටද පොදුවේ පහර ගසමින් සිටිති. මේ සිංහල බෞද්ධ විරෝධය වනාහී බටහිර යටත්විජිතවාදයේ දෘෂ්ටිමය වහල්භාවය තුළින්ම උද්ගත වූවකි. කාලයක් තිස්සේ විවිධාකාර විකල්ප ගෝත‍්‍ර අභ්‍යාස ඔස්සේ වගා දිගා කරගත් සිංහල විරෝධයෙන් අත්මිදීම මේ පිරිස අතර සිටින මැදහත්ම පුද්ගලයාට පවා ලෙහෙසි නොවේ. දැන හා නොදැන සිංහල බෞද්ධ විරෝධය ඔවුන්ගේ ශරීර තුළ පත්තියම් වී ඇත්තේ ප‍්‍රවේණික උරුමයක් පරිද්දෙනි. ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රය ලෙස අප විසින් නොයෙක් තැන්වල හඳුන්වා දී ඇති මේ පිරිසට සාහිත්‍ය ලෝකය තුළද සැලකිය යුතු බලයක් හිමිවී තිබීම අවධානයට ගත යුතු ගැටලූවකි.

මේ සියලූ දෙනා අද හති හලාගෙන දඟලමින් සිටින්නේ තමන්ද ජීවත් වන නිවසේ අත්තිවාරම කඩා බිඳ දමා ගැනීම සඳහාය. එය කිසිදු ජාතියකට ආගමකට අයත් කිසිදු මනුෂ්‍යයෙකුට කිසිදු සාධාරණයක් ඉටු කළ හැකි ප‍්‍රවේශයක් නොවේ.  අවසාන වශයෙන් ගත් කල මොවුන්ගේ මේ ප‍්‍රවේශය සිංහලයාට බෞද්ධයාට හෝ රටට එරෙහි ප‍්‍රවේශයක් පමණක් නොව පොදුවේ මනුෂ්‍යත්වයටද එරෙහි ප‍්‍රවේශයකි. ඔවුන් මේ සූදු කෙලිමින් සිටින්නේ සිංහල බෞද්ධකමක් සමග නොව මිනිස් වටිනාකම් සමගිනි. අද මුස්ලිම් ප‍්‍රශ්නය හමුවේ මොවුන් කවුදැයි නැවත නැවතත් රටට හෙලි වෙමින් තිබෙන මේ අවස්තාව පියවි සිහියක් ඇති සියලූ ලක් වැසියන්ගේ අවධානයට ලක්විය යුතු යැයි සිතමි.  
 -ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com







[ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙන්]

8/07/2014

මියෙන්නට පෙර දින

කතෘ:යුතුකම     8/07/2014   1 comment

හුඟ කලෙකින් ගෙදර ඇවිත්
එබී බලන්නම් දොර ළඟ
දුවන් එන්න දෙඅත් විදා
තාත්තා කියා හඬ ගා
ඔසවා ගන්නම් නුඹ මම
තුරුළු කරන් මගෙ පපුවට

අහපන් දුව බෙල්ල බදන්
කොහෙද ගියේ මගේ තාත්තා
දැනුනිද ඔය පුංචි හිතට
වියෝ දුකක් මම නැති විට

දුවේ නුඹේ හොඳ අම්මා
කියනා ලෙස සිටියා නේද
නොවී ඈට කරදරයක්
මල්ලි බලා ගත්තා නේද

 
වන්නි කැළේ
ගිනි අවියක්
තුරුළු කරන් ඉන්නා විට
දෙන්නෙම නෑ
නුඹට ඉඩක්
තුරුළු වෙන්න
මගෙ හද වෙත
සමා වෙයන් පුංචි දුවේ
හිටියට සිත
ගල් කරගෙන

මම ආ විට ගෙදර මෙදා
ගිනියන්නම් අලියා පිටේ
අපි දෙන්නා එකතු වෙලා
හිනස්සමුද පොඩි මල්ලිව


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/29/2014

හිරුණිකාගේ සහ බුටේනිස්ගේ ප්‍රකාශ

කතෘ:යුතුකම     7/29/2014   2 comments
කොළඹ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරන්නේ කවුදැයි තමන් දන්නා බව මාධ්‍යය හමුවේ කී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඇගේ පුරවැසි යුතුකම මතක් කර දුනි. එය ඉතා නිවැරදිය. එවැනි දෙයක් පිළිබඳ ඇය දන්නේ නම් ඇය දන්නා කරුණු පොලීසිය වෙත ඉදිරිපත් කළ යුතුය. එය වගකීමක් ඇති පුරවැසියකුගේ වගකීමක් වන්නේය. විශේෂයෙන් ජනතා නියෝජිත වරියකට මේවා මතක් කර දෙන්න සිදු වීම නම් කණගාටුවට කරුණකි. අජිත් රෝහණ මහතා තව දුරටත් පවසා සිටියේ එවැනි තොරතුරක් ලද වහාම පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ක්‍රියාත්මක වීමට පොලීසිය සූදානම් බවයි. එයද පැසසිය යුතුය. 

ඒ අනුව මෙරට සාමන්‍යය පොදු ජනයාටත් තමන් පත් කරන ජනතා නියෝජිතයකු සම්බන්ධයෙන් වුවත් සැකයක් පැන නගින ආකාරයේ හෝඩුවාවක් ලදහොත් ශ්‍රී ලංකා පොලීසිය ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වන බවට සතුටක් ඇති කර ගත හැකිය. එසේම එවැනි පරීක්ෂණයක් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිදු කරගෙන යා හැකි බවට හැගී යාම එම ප්‍රීතිය තවත් උත්සන්න කිරීමට හේතු වනවා නොඅනුමානය. එහෙත් මේ ප්‍රකාශය සැම තැනටම සැම විටම අදාළද? අපි නිර්ලෝභීවම පොලීසිය විසින් මත් කුඩු ජාවාරම අඩපණ කිරීම පිණිස ගෙන යන මෙහෙයුම අගයමු. ඒ කෙරෙහි පවතින ජනතා විශ්වාසය තවත් වැඩි කර ගත හැකි ආකාරයේ පැනයක් අපි අජිත් රෝහණ මහතා වෙත යොමු කරන්නෙමු.

2010 පෙබරවාරි 24 වනි දින එවක ලංකාවේ ඇමරිකානු තානාපතිනි පැට්‍රීසියා බුටේනිස් විසින් යොමු කරන ලදුව විකිලීක්ස් හරහා හෙළිදරවු වුනු කේබල් පණිවුඩය ශ්‍රී ලංකා පොලීසියේ නොමද අවදානයට ලක් වූවා විය හැකිය. එහි සඳහන්ව තිබුනු එක් කරුණක් නම් ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන්හි හිටපු නිලධාරියෙකුට අනුව ලංකාවේ කුඩු ජාවාරමේ ප්‍රධානියන්ගේ අනුග්‍රාහකයෝ  ලංකා ආණ්ඩුව තුළ සිටිති. ඒ අතර ප්‍රධානියකු වන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතාය. ඔහුගේ පුතා වන මාලක සිල්වා කොළඹ රාත්‍රී සමාජ ශාලා වල 'එක්ස්ටසි' නමැති කුඩු වර්ගය බෙදා හරින බවට සැකයක් පවතින බවද එහි සඳහන්ය.

මෙහිදී අප දෙඅත් ඔසවා පවසන්නේ බුටේනිස් කියන සියල්ල හරි කියා නොව. බුටේනිස්ට එය පැවසූ හිටපු ආරක්ෂක අංශ නිලධාරියා හරි කියාද නොව. මෙය පොලීසියට ලැබුනු ඉතා හොඳ හෝඩුවාවක් බව පමණෙකි.  හිරුණිකා නම් ගම් කීවේ නැත. නමුත් බුටේනිස් නම් ගම් හා අදාළ කුඩු වර්ගයද සඳහන් කොට ඇත. මේ ඔස්සේ කිසියම් පරීක්ෂණයක් පොලීසිය මගින් සිදු කෙරුණිදැයි අපි නොදනිමු. ඉහත ඔබ පැවසූ ආකාරයට හෝඩුවාවක් ලද විගස තරාතිරම නොබලා පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය සූදානම් බැවින් මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වා තිබෙනවා විය යුතුය. මාලක හෝ මර්වින් හෝ අත්අඩංගුවට නොගැනුනු නිසා පොලීසිය ඒ පරීක්ෂණ මඟින් මේ බුටේනිස්ගේ පණිවුඩය සාවද්‍යය බව තහවුරු කැර ගැනුනා විය යුතුය. එය එසේද? මේ විකිලීක්ස් පුවතද මාධ්‍යයයේ පළ වූ බැවින් ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණූ පරීක්ෂණ වල ප්‍රතිපලද ජනතාවට දැන ගන්නට ලැබෙන්නට සැළැස්වීම සැම අතින්ම හිතකරය. අපද ප්‍රාර්ථනා කරන පරිදි අපගේ ජනතා නියෝජිතයින් මේවාට සම්බන්ධයක් නැතිනම් ඒ බව සැක හැර දැන ගන්නට ලැබීම වාසනාවකි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලීසිය පිළිබඳ පවතින ජනතා ගෞරවාදරය වැඩි වීමටද එය බලපානු ඇතිය. ඒ නම් සඳහන් වුනු අය නිදොස් නම් පොලීසිය විසින් ඒ බවට ප්‍රකාශයක් කෙරෙන්නේ නම් එය ඒ අයගේ ගෞරවයට පමණක් නොව ඔවුන්ට දේශපාලන වශයෙන් අතහිත දෙන ජනාධිපති තුමාගේ ගෞරවයට වුව එය බෙහෙවින් යහපති. මේ සියළු කාරණා සළකා බලා ඉහත කී විකිලීක්ස් හරහා හෙළිදරව් වූ හෝඩුවාව ඔස්සේ පොලීසිය ගත් පියවර සහ එහි ප්‍රතිපල මෙරට ජනතාවට දැන ගන්නට සළස්වන්නේ නම් එය අපි අගය කරන්නෙමු. වෙසෙසින්ම මෙය වැදගත් වන්නේ මාලක සිල්වාද දේශපාලනයට පිවිසෙන්නට අර අදින මොහොතකය. 

- යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/28/2014

ඩෙංගූ වැනසීමට උද්ඝෝෂණය කරමුද ? මදුරුවා වනසමුද ?

කතෘ:යුතුකම     7/28/2014   No comments
ශ්‍රී ලංකාව අසිරිමත් රටකි. එසේ කීවේ අපි නොවේ. අනාදිමත් කාලයක සිට දෙස් විදෙස් පර සතූරන් පවා කියූ කතාවක්ය ඒ. ඒ තරමට ලංකාව සුන්දරය, අසිරිමත්ය, පිරිපුන්ය. එසේ කීමට හේතූ කාරණා අවශ්‍යය. ප්‍රධාන වශයෙන් රටක් සුවිශේෂි වනුයේ ඒ රටේ මිනිසුන්ගේ ක්‍රියා පිළිවෙල අනුවය. එම රටේ ජීවත්වන ජනතාව හොඳ නම් ඒ රටද හොඳයයි කවුරුත් කියති. අපේ රටේ මිනිසුන්ගේ ආගන්තූක සත්කාරය, මානුෂීයත්වය මෙන්ම උගත්, බුද්ධිමත්කමද අති ඉහළය. ඒ බව අවට සමාජය සහතික කරනු ඇත. නමුත් මේ අතර මෙලෝ රහක් නොමැති පිරිස්ද සිටිති. ඒ ඕනෑම රටක ඇති සාමාන්‍ය තත්ත්වයයි. එය වලක්වාලීමට සමත් කිසිවකූ නොමැත. එවන් මිනිසුන් එළොවටත් නැත. මෙළොවටත් නැත.

අපි දැන් මාතෘකාවට එමු.
ඩෙංගූ යනු සමස්ත ජනතාවටම අභියෝගයකි. එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් අපේ මිය ගිය ප්‍රමාණය කිසිදිනක ගණනය කළ නොහැක. ඒ සිදුවූ විනාශය ඒ තරමට අපමණය. මුළු මහත් ලෝකයාම ම්ලේච්ඡ ත්‍රස්තවාදය අවසන් කිරීමට අපට හැකියාවක් නැතැයි කීවද රටේ ජනතාවගේ එකමුතූකමත් ඒ සඳහා සමස්ත ජනතාව ත්‍රස්තවාදය අවසන් කළ යුතූ යැයි යන මතයට පෙළගැස්වූ බලවේගයත් නොසිටින්න අප තවමත් ත්‍රස්ත පීඩාවෙන් සිටින රටකි, ජාතියකි. නමුත් එකාමෙන් පෙළගැසී ඒ අභියෝගය අපි ජයගත්තේ මුළු ලෝකයටම පාඩමක් කියාදෙමිනි. එපමණක් නොව එකමුතූබවින් කළ නොහැක්කක් නොමැත යන්නද සනාථ කරමිනි. අපේ රටට අද වන විට ජාත්‍යන්තර අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇත. නමුත් රට තූළ සිටින අර මුලින් කියූ එළොවටත් නැති මෙළොවටත් නැති පිරිස රටට ද්‍රෝහීව තම කාර්යය කරති. ඒ අන්කිසිවක් නිසා නොව තම පැවැත්ම සහතික කර ගැනීමටය. එළොවටත් නැති මෙළොවටත් නැති එනම් තම ජාතකත්වය යළි යළිත් සනාථ කිරීමටය.

නැවත ඩෙංගූ කතාවට එමු..
ඩෙංංගූ මදුරුවාද ත්‍රස්තවාදියෙකි. කියුබාවේ ඩෙංගූ වසංගතය තූරන් කළේ අපි එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමා කල ආකාරයෙනි. එක පෙළකට සමස්ත ජනතාවම ඩෙංගූ මදුරුවාට එරෙහිව සටන් කළහ. ඒ පූර්වාදර්ශී රටවල කෙරුවාවය. ඩෙංගූ උවදුර මැඩලීමට කළ යුතූ වන්නේ ත්‍රස්තවාදයට මුහුණ දී පරාජය කළ ආකාරයටම ජාතියම එක පෙළකට ඒ සඳහා පෙළ ගැසීමය. ජාතියක් මුහුණ දෙන පොදු ගැටළුවකදී අපි වැඩ කළ යුතූ වන්නේ ජාතියක් ලෙස සිතා මිස තම තමන්ගේ ජාතකත්වය අනුව නොවේ. ලංකාව තූළ එසේ සිතා වැඩ කරන පිරිස හරිම අඩුය. නමුත් නිවැරදි කාර්යය කරන සුළු පිරිස ඉතා ඉක්මනින්ම ජයග්‍රහණය කරන බව අපි ත්‍රස්තවාදය නිමා කිරීමෙන් ලෝකයටම දුන් පණිවිඩයයි.

නැවත කතාවට එමු..
පසුගිය දිනක ප්‍රවෘත්තියක් දුටිමි. ඒ උද්ඝෝෂණයකි. වෙන කාගේවත් නොව. මේ රටට විමුක්තිය ලබා දීමට දස වධ විඳ තම ජීවිතය සතූරාට බිලි දුන් රටට අසීිමිත ආදරය කළ මිනිසුන්ගේ පක්‍ෂය වූ ජනතා විමුක්ති පෙරමුණේය. සතූරාට එරෙහිව එකමුතූ වී වැඩ කරන ආකාරය ලංකාවට පාඩම් කියාදුන්නේ ජවිපෙනි. ඒ 1971 අරගලයේදීය. නැවත 1989 දීත් ඒ පාඩම මෙනෙහි කර දුනි. සතූරා විමුක්තිය රිදී බන්දේසියක තබා ගෙනවිත් දෙන්නේ නැතැයි ජාතියට කීවේ ජවිපෙනි. තැන තැන කතා කර කර සිටිනවාට වඩා එකමුතූ වී අත්වැල් බැඳගෙන සතූරා පරාජය කළ හැකි බව ජනතාවට කියා දුන්නේ ජවිපෙය. ඒ ජවිපෙම අපිට ඩෙංගූ උවදුර තූරන් කිරීමට කියා දෙන්නේ වෙනස් පාඩමකි. ඔවුන් අපිට කියන්නේ ලිප්ටන් වටරවුමේ ඔවුන් සමග උද්ඝෝෂණයට එන්න කියාය. පාඩම වෙනස් වී ද ? විමසිල්ලෙන් බැලුවිට හඳුනාගත හැකි වන්නේ පාඩම වෙනස් වී නැති බවය. නමුත් පාඩම කියාදෙන ගූරුවරුන් වෙනස් වී ඇත. ඒ ගූරුවරුන්ගේ ජාතකත්වය අනුව ඒ පාඩම කියාදෙන බව පැහැදිළිය. කණගාටුවක් නැත. මන්ද ඒ ගූරුවරුන් උගත්තේ මෙවන් පාඩම් වන බැවිනි. එහෙයින් කියා දීමටද ඇත්තේ ඒ උගත් දේ අනුව වන නිසාය.
තවත් තැනක් දුටිමි. ඒ ඩෙංගූ මර්ධනය සඳහා මහා ශ්‍රම මෙහෙයුමකි. කැප්පෙටිපොල බලකාය ලෙස නම් කළ තරුණ පිරිසක් ගමත් පන්සලත් මූලික රකගනිමින් රාජ්‍ය ආයතන හා සම්බන්ධ වෙමින් ඩෙංගූ මදුරුවා වර්ධනය වන ස්ථාන විනාශ කරමින් පෙරට ගමන් කරමින් ඇත. ජාතික මෙහෙවරක මූලාරම්භය මෙය වනු නොවේද. සතූරාට එරෙහිව සටන් කළ යුත්තේ පොදු එකඟතාවයකිනි. පොදු අරමුණකිනි. තවද, ඩෙංගූ උවදුර මැඩලීමට කළ යුත්තේ ඩෙංගූ මදුරුවා බෝවන ස්ථාන විනාශ කිරීම මිස බෝඩ් උස්සාගෙන උද්ඝෝෂණය කිරීම නොවන බව ඕනෑම මෝඩයෙකූට තේරෙන කතාවකි.

නමුත් ජාතියට සතූරා පරාජය කිරීමට පාඩම් ඉගැන්වූ මිනිසුන් ඩෙංගූ මදුරුවාට එරෙහිව උද්ඝෝෂණය කරන විට කැප්පෙටිපොල තරුණ ව්‍යාපාරය ඩෙංගූ මදුරුවා වැනසීමට ජනතාව සමග ශ්‍රමදාන සංවිධානය කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුයේ ත්‍රස්තවාදය අවසන් කරව් කියා උද්ඝෝෂණය කිරීමෙන් නොව ත්‍රස්තවාදීන්ට එරෙහිව සමස්ත ජාතියම පෙලගැස්වීමෙනි. ආණ්ඩුව එල්ටීටීයට පහර දීමට රජයට ආයුධ නැතැයි කියූ විට අහවල් එකෙන් හෝ පහරදී ත්‍රස්තවාදය විනාශ කළ යුතූ යැයි රටට කියූ ජවිපෙ අද ඩෙංගූ උවදුරට එරෙහිව උද්ඝෝෂණය කරති.
සිදුවෙමින් පවතිනුයේ මහා විපර්යාසයකි.. ජනතාව ඒ දෙස බලා සිටී. ජනතාව තීන්දුව ගනු ඇත්තේ කාරණාව දෙස බලාය. ත්‍රස්තවාදය නිමා කල ආණ්ඩුවට ජනතාව මතක හිටින වරමක් දුන්නේය. ඒ වෙන කිසිවක් නිසා නොව ත්‍රස්තවාදයෙන් ජනතාව ඒ තරමට පීඩා විඳි නිසාය. ඩෙංගූ මගින් වැනසෙන්නේ අපේ රටේ ජනතාවය. ඩෙංගූ මර්ධන වැඩසටහනට ජනතාව ඒකරාශි වන්නේ ත්‍රස්තවාදය තරම් ඩෙංගූ වලින්ද ජනතාව පීඩා විඳින නිසාය. මදුරුවාට එරෙහිව උද්ඝෝෂණය කලාට මදුරුවා විනාශ නොවන බව ජනතාව දනී. ඒ උද්ඝෝෂණ පාලුවට ගොස් ඇත්තේ ඒ නිසාය. මදුරුවාට එරෙහි සටන කළ යුතූ වන්නේ මදුරුවා බෝවන ස්ථාන විනාශ කිරීමෙනි. ජනතාව ඒ මෙහෙයුමට තම ශක්තිය, ධෛර්යය ලබා දෙන්නේ ඒ නිසාය.

ඩෙංගූ උවදුර තූරන් කිරීමට කැප්පෙටිපොල බලකාය සමග හෙට දිනයේ ජාතියම අත්වැල් බැඳගනු ඇත. එමගින් පමණක් ඩෙංගූ උවදුර වලක්වා ගත හැකි බව ජනතාව දනී.කළ යුතූ දේ ජනතාව හොඳින් දනී. ජනතාව ඒ අනුව තීන්දු ගනු ඇත.

සටහන - ඉන්දික ප්‍රසාද් ගමගේ

7/22/2014

පිල්ලේට නොදුන් තොණ්ඩුව අපිම දා ගැනීම...

කතෘ:යුතුකම     7/22/2014   1 comment
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය විසින් යුද්ධයේ අවසන් අදියරයේ සිදුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයවීම පිළිබඳව විමර්ශනය කිරීමට ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර එමගින් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිය දී ශී‍්‍ර ලංකා රජය විසින් තවත් විමර්ශන කමිටුවක් පත්කර ඇත. අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කොමිසම තවත් පු`ඵල් කරමින් එයට ඇති බලතල වැඩිකරමින් නව නීදන් පිල්ලේගේ ති‍්‍රපුද්ගල කමිටුව වෙනුවට දේශීය හා විදේශීය රාජතාන්ති‍්‍රක විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් රජය නම්කර ඇත. මහාචාර්ය ඬේවිඞ් කේන්, මහාචාර්ය ජේෆ්රි නයිස් නීතිඥ ඩෙස්මන් ද සිල්වා යන අය ඒ සඳහා නම්කර ඇත. මහාචාර්ය ජෙෆ්රි නයිස් සුඩානය, කේන්යාව, ලිබියාව යන රටවල යුද අපරාධ පරික්ෂණ අධ්‍යනය කළ මහාචාර්යවරයෙකි. නීතිඥ ඩෙස්මන් ද සිල්වා සියරාලියෝන්හි යුද අපරාධ අධීකරණයේ හිටපු නීතිඥයෙකි. මහාචාර්ය ඩෙවිඞ් කේන් ද යුද අපරාධ පිළිබඳව විමර්ශන කටයුතු වලට සම්බන්ධ රාජ්‍යතාන්ත‍්‍රික විශේෂඥයෙකි.

කෙසේ වෙතත් නවනීදන් පිල්ලේගේ කමිටුව වෙනුවට මෙවැනි කමිටුවක් පත්කිරීම රජය මෙතක් යුදඅපරාධ පිළිබඳ සොයාබැලීමට බාහිර විමර්ශනයන් අවශ්‍ය නොවන බවට රජය දැරූ ස්ථාවරය හා ප‍්‍රතිපත්තිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. එම ප‍්‍රතිපත්තිය තමන් විසින්ම කඩ කිරීමකි. මේ ආකාරයටම දරුස්මාන් වාර්තාව එළිදැක්වූ අවස්ථාවේ දී එයට අභියෝගාත්මකව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම පිහිටුවන ලදි. අවසානයේ එහි නිර්දේශ ශී‍්‍ර ලංකා රජයට පාරාවළල්ලක් බවට පත්වූ අතර ශී‍්‍ර ලංකාවට සතුරු යුද අපරාධ පිළිබඳ විමර්ශනය කරන්නයැයි ඉල්ලා සිටින ජාත්‍යන්තර බලවේගවල වාර්තාවක් බවට එයට පත්විය. නවපිල්ලේගේ කමිටුවට අභියෝග කරන්නට පත්කර ඇති විදේශ නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුව ද ශී‍්‍ර ලංකා රජයටත් ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාවටත් පාරාවළල්ලක් බවට අනාගතයේ පත්වනු ඇත. විදේශ නියෝජිතයින් හෝ බාහිර විමර්ශන කණ්ඩායම් විශේෂඥයින් අවශ්‍ය නොවන බවත් දේශීය නිතීිමය හා අධිකරණමය යාන්ත‍්‍රණයක් තුළ මේ පිළිබඳව සොයාබැලිය හැකි බව රජයේ ස්ථාවරය වූ අතර බාහිර පුද්ගලයන් මැදිහත්වීම් හා විමර්ශන පැහැදිලිව ප‍්‍රතික්‍ෂේප කළේය. එම ප‍්‍රතිපත්තිය හා ස්ථාවරය රජය උල්ලංඝනය කර ඇති අතර අනාගතයේ දී රටටත් ජාතියටත් ආරක්‍ෂක හමුදාවන්ටත් මින් ඇති කරන ප‍්‍රතිවිපාක වලට මෙවැනි කමිටුවක් පත්කිරීමට උපදෙස් දුන් දායකත්වය දුන් සියලූදෙනා වගකිව යුතුය. මෙවැනි කමිටුවක් පත්කිරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පර්ශවකරුවෙක් ලෙස අපව දැනුවත් කිරීමක් හෝ එම කමිටුව පිළිබඳව අපගෙන් විමසීමක් හෝ සිදුකර නැත. එබැවින් එම කමිටුව පිළිබඳව අප රටට අනතරු අ`ගවන අතර ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ද පළකර සිටින්නෙමු. අනාගතයේ දී මින් රටට ඇති කරන අහිතකර බලපෑම පිළිබඳව මෙවැනි කමිටුවක් පත්කිරීමට කි‍්‍රයාකළ සියලූදෙනා ඊට වගකිව යුතුබව අවධාරණය කරන අතර ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කි‍්‍රයාකළ රණවිරුවන් පාවාදීමට කිසිලෙසකත් ඉඩ නොතැබීම සඳහා මේ පිළිබඳව අවධියෙන් සිටිමින් කටයුතු කරන ලෙස සියලූ ජාතිමාමක දේශපේ‍්‍රමී සංවිධාන වලින් හා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි..
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

ගරු මාලකයාණෙනි, ඔබ අපේ අනාගතයයි..

කතෘ:යුතුකම     7/22/2014   6 comments
ගරු මාලක සිල්වා මහතා මාතරින් දේශපාලනයට පැමිණෙන බව දැන් කරළියේ ප්‍රසිද්ධිය. පසු ගිය පොහොයක ඔහු මාතර ඇත්තන්ට මහා බත් දන්සළක් දුන්නේද ඒ නිසාමය. මේ ගැන අපි කුමක් නම් ලියන්නද? කුමක් නම් කියන්නද? ඒ කියන කට ගලක උලා ගැනීම වඩා යෙහෙකි.

අපට අඩුවකට සිටියේ මාලක පමණි. දැන් වත්මන් ජනපති තුමා විසින් ගරු මාලක සිල්වා ද මැති ඇමැත්තෙක් බවට පත් කර අපගේ දේශපාලන ක්ෂේත්‍රය තවත් වර්ණවත් කරන්නට සැදී පැහැදී සිටියි. මාලක ගෙන ඒමෙන් එතුමාගේ කිර්තිය දෙගුණ තෙගුණ වන බව එතුමා සිතනවා විය නොහැකිය. එසේ නම් එතුමාට මාලක අවැසි ඇයි? අපට නම් මෙය හරියටම තේරුම් ගත නොහැක. අප අනුමාන කරන හේතූන් පහතින් ලියා දමන්නේ හිතේ අමාරුව යන්නත් එක්කමය. මෙහි එකක් හෝ කිහිපයක් හෝ නිවැරදි විය හැකිය. ඇතැම් විට මේ සියල්ල වැරදි වීමට ද ඉඩ තිබේ. නමුත් තමා ගරු මාලකයන් මේ දේශපාලන ක්ෂේත්‍රයට කැදවා ගන්නේ මෙන්න මේ හේතු කාරණාව උඩ යයි ජනපති විසින් ජනතාවට පැහැඳිළි කෙරෙතැයි සිතීම උගහට නිසා ජනතාව විසින්ම ඒ මෙන්න මේ හේතුව නිසා වන්නට ඇතැයි සිතීම හා බිනීම ස්වාභාවිකය.
1: මර්වින්ගේ පුතාට තැනක් දීම මඟින් මර්වින්ට කෘතගුණ සැළකීම.
2: පුතාලට තැනක් ගන්න ඕනා නම් මර්වින් මෙන් හිතවත්ව කටයුතු කළ යුතු බවට අන් අයට තේරුම් කරවීමට සහ ඒ සඳහා ක්‍රියා කලාපය නොව කොතෙක් දුරට තමාට පක්ෂපාතීව කටයුතු කරන්නේද යන්න පමණක් බලපාන බව පැහැඳිළිව පෙන්වීමට.
3: මුදල් විසි කළ හැකි ඕනෑම අමනයෙකුට දිනිය හැකි නිසා සහ ඒ විසි කරන මුදල් නිසා සිය දේශපාලන පක්ෂය හා තමා ද තව බලවත් වන නිසා.
4: තවමත් මාතර ආසනයේ ඡන්දයේදී කුළ භේදය තදින් බලපායි. කොයි පැත්තෙන් ආවත් අපේ එකෙකුට ඡන්දය දෙන පිරිසක් තවමත් එහි වෙසෙති. පසුගිය මැතිවරණවලදී ද එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර දිස්ත්‍රික්කය ඉතා ලෙහෙසියෙන් ඉතාමත් වැඩි චන්ද ගනණකින් ජයගත්තද මාතර ආසනය තුල කරට කර සටනක් දීමට සිදු විය. එහිදී දිනුවත් දිනන්නේ නූලෙනි. මංගල සමරවීර මෙන්ම මාලක සිල්වා ද දුරාවේ කුළයේය. මාලක මතරට ගේන්න හදන්නේ මේ දුරාව කුළයේ ඡන්ද ආකර්ෂණය කරගැනීමට යැයි සමහරුන් පවසනු පෙනේ. එය සත්‍ය යැයි මොහොතකට සිතුවත් ඒ මාලක මාතරට ගෙන ඒමට හේතුව මිස ඔහු දේශපාලනයට කැන්දාගෙන ඒමට හේතුවක් නොවේ. නමුත් අපට ඇති ගැටළුව මාලක මාතරට ගෙන ඒම නොව, මාලකලා දේශපාලනයට ගෙන ඒමයි.
5: හිතා මතාම ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය අමනයන්ගෙන්, මෝඩයන්ගෙන් හා නිළියන්ගෙන් පුරවා දැමීම සිය දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් නිසා.

මෙහි පළමු කරුණු හතර පිළිබදව පහැඳිළි කිරීමක් අවැසි නොවුනත් අවසන් කරුණ පිළිබඳ යම් පැහැඳිළි කිරීමක් අවැසි යයි සිතමි. 

මහින්ද රාජපක්ෂගේ එක් දිගු කාලීන අරමුණක් නම් තම පුතු මතු දිනක රටේ නායකයා කරවීමයි. ඒ සඳහා දේශපාලන ක්ෂේත්‍රයට දැන උගුත් හැකියාවැති තරුණ පිරිසක් පිවිසිය හොත් ඔවුන් ලාංකීය දේශපාලනයෙහි ගාමක බලවේගය බවට පත් වුවහොත් සිදු වන්නේ කුමක්ද? එය මේ රට තුළ විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සංවාදයකට මඟ පාදනු ඇතිය. එවැනි සංවාදයක් තුළින් මතු වන්නේ අදහස්, සංකල්ප ඇති හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතාවද ඇති තරුණ නායකත්වයක් විය හැකිය. එවැනි උචිත පසුබිමක නාමල්ට අභියෝගයක් පැන නැගීම හෝ ඔහු පසෙකට යාම හෝ පහසුවෙන් සිදු විය හැකිය. එවැනි අභියෝගයක් වළකාලන ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශේෂයෙන්ම එහි ඊළඟ පරම්පරාව තුළ පවත්වා ගෙන යාම මඟින් සිය සිතැඟි ඉටු කර ගත හැකි බව පරිණත දේශපාලකයකු වන මහින්ද රාජපක්ෂට පෙනී ගොස් තිබිය යුතුය. කුමක්ද ඒ සඳහා පහසුවෙන්ම පවත්වා ගත හැකි දේශපාලන සංස්කෘතිය?

ඒ සඳහා සුදුසුම පසුබිම සැකසිය හැක්කේ දේශපාලනයට එළඹීම මෙන්ම එහි සාර්ථකව රැදී සිටීමටද ජනාධිපතිවරයාගේ පවුල සමඟ දැන හැදුනම් කම් පවත්වන පවුල්වල තරුණයන්ට අවස්ථාව ලබා දී ඔවුන්ගේ දේශපාලනික ඉරණමද එම සම්බන්ධය මත තීරණය වන්නක් බවට පත්වන්නට ඉඩහැරීමෙනි. එමඟින්  ඒ ළමයින්ගෙ දෙමවුපියන්ද තමා සමඟ වඩා හිතවත්ව කටයුතු කරන තත්වයකට පත්කර ගැනුමද ඉතා පහසුය. එනම් මේ සියළු දේශපාලන නායකයින් අතරේ කිසිදු සංවාදයකට ඉඩක් නොතබා ඔවුන් ඔවුන් දැනටමත් ඉතා දක්ෂ ලෙස කරගෙන යමින් සිටින ආවැඩුමටම හුරු කර ගත හැකිය. හරවත් සංවාදයකට, මතවාදයකට මං ඇහිරිනු පසුබිමක පියාගෙන් පුතුට උරුම වන මනෝ භාවයද ස්ථාපිත කොට ගත් කළ තමාගේ ඇවෑමෙන් පුතුට රටේ නායකකම පැවරීම වඩාත් ස්වාභාවික සංසිද්ධියක් බවට පත්කර ගත හැකිය. ඒ නිසා මහින්ද විසින් දේශපාලනයට ඕනෑම මෝඩයෙක්, කුඩු කාරයෙක්, මැරයෙක් හෝ හය හතර නොතේරෙන බොළද නිළියක් කැදවා ගෙන ඒමට පසුබට නොවන්නේ එමඟින් හරවත් සංවාදයකට මඟ අහුරා දැමිය හැකි බැවිනි. මේ අප්සට් ළමයි අතරින් රට වැසියනට නාමල් මහත්මයෙකු වී පෙනෙනුයේ නිතැතිනි.

රාත්‍රී සමාජ ශාලා වලට වැද එහි සිටින කෙල්ලන් බලෙන් ඇදගෙන නටන සල්ලාලයන්ට ඇස් හිස් මස් ලේ  පුදා රැක ගත් ජාතියක දූ දරුවන්ගේ අනාගතය බාර දීමට ජනමූල නායක මහින්ද රාජපක්ෂ සූදානම් දැයි අපි බලා සිටිමු. අපට අන් කළ හැක්කක් නොමැත.



-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/11/2014

ඉතිහාසය, නවකතාව හා මහරජ ගැමුණු

කතෘ:යුතුකම     7/11/2014   4 comments
-ආචාර්ය ගුණදාස අමරසේකර
ඓතිහාසික නවකතාව අපට හුරු පුරුදු සාහිත්‍යාංගයක්‌. ගිය සියවසේ සිවු වන සහ පස්‌ වන දශක තුළ එය ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ ව පැවැති බව අපි දන්නවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතා අතින් විජයබා කොල්ලය, අවිචාර සමය ආදි වූ කෘති නිර්මාණය වූයේ මේ යුගයේ දී. මාර්ටින් වික්‍රමසිංහ අතින් අතිශයින් ජනප්‍රිය වූ රෝහිණී නවකතාව ලියෑවුණේ මේ යුගයේදී. හේමපාල මුණිදාස අතිනුත් මේ අවධියේ ඓතිහාසික නවකතා ලියෑවුණු බවයි මගේ වැටහීම. මේ යුගයේ දී මේ දශක දෙක තුළ මෙ වැනි ඓතිහාසික නවකතා ලියෑවුණේ කුමන හේතුවක්‌ නිසා ද යන්න අප විසින් සොයා බැලිය යුතුයි. එයට නියත හේතුවක්‌ තිබෙනවා. ඒ අවධියේ දී තමයි නිදහසට පෙර පැවැති අපගේ ජාතික සටන කිසියම් උච්ච අවස්‌ථාවකට පත්ව තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ගිය සියවසේ මුල් දශකයේ ඒ ආරම්භ කළ ජාතික සටන තාවකාලිකව යටපත් වී ගොස්‌ යළි මතු වුණේ මේ සිවු වන හා පස්‌ වන දශකයේ දී යි. එසේ මතු වුණු ජාතික සටනේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි 56 දේශපාලන විප්ලවය සිදු වුණේ. ඒ ජාතික සටනේ දී ජනතාවගේ ජාතික විඥානය පුබුදු කිරීමට ඉහතින් සඳහන් කළ නවකතාකරුවන් විශාල සේවයක්‌ කළ බව අප විසින් පිළිගත යුතුයි.

මේ නයින් බලනවිට ඒ ජාතික සටනේ තෙවන අවස්‌ථාව සනිටුහන් කරන වත්මන තුළ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු යන මේ නවකතාව බිහි වීම අපට අවබෝධ කරගත හැකියි. ඒ අතින් බැලුවාම මේ නවකතාව යුගයේ ඉල්ලීම උඩ බිහි වූ නිර්මාණයක්‌ ලෙස සලකන්නට පුළුවන්.

මේ නවකතාව ගැන කතා කිරීමට පළමු නවකතාවත්, ඉතිහාසයත් ඒ දෙක අතර ඇති සමානත්වයත් එමෙන්ම වෙනසත් ගැන කරුණු කීපයක්‌ සඳහන් කළොත් ප්‍රයෝජනවත් වෙතියි සිතනවා. විශේෂයෙන්ම නවකතා නමින් බාලයන්ගේ මනසේ බිහිවන කල්පිත - "කෙප්ප" සම්මානයෙන් පිදෙනු ලබන මේ යුගයේ දී එ වැනි අදහස්‌ දැක්‌වීමක්‌ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.

හැම නවකතාවක්‌ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක්‌ ය කියන්න පුළුවන්. සමාජ ඓතිහාසික ලේඛනයක්‌ ය කියන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව ක්‍රිස්‌තු පූර්ව පළමු වෙනි සියවසේ අනුරාධපුරය ආශ්‍රිත ඓතිහාසික වාර්තාවක්‌ වන්නා සේ ම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය දහනව වන සියවසේ ලංකාවේ දකුණු පළාත පිළිබඳ ඓතිහාසික වාර්තාවක්‌ වෙනවා. මේ නිර්මාණ දෙකටම නියත දේශයක්‌, නියත කාල වකවනුවක්‌, නියත ඓතිහාසික පසුබිමක්‌ ඇති බව අපට පෙනෙනවා.

මෙය නවකතාව පිළිබඳ මූලික ලක්‌ෂණයක්‌. නවකතාව යනු නියත ඓතිහාසික - සමාජ ගර්භාෂයක්‌ තුළ බිහි වන්නකි. එසේ නැතිව අවකාශයක්‌ තුළ ඒසේ නැත්නම් කිසිවකුගේ මනෝ ලෝකයක්‌ තුළ බිහි වන්නක්‌ නො වෙයි. ඕපපාතික මනස්‌ පුතෙකු නොවෙයි.

මේ කාරණය මා අවධාරණය කළේ අද මේ රටේ නවකතා නමින් බිහි වන ඊනියා සම්මානවලට පාත්‍රවල නවකතා සලකා බලායි. මේවා ඇත්ත වශයෙන් හැඳින්විය යුත්තේ නවකතා නමින් නොව කල්පිත කතා තැන් නම් "කෙප්ප" ලෙස යි. මෙය මගේ හිතේ අපි පේරාදෙණි නවකතාවෙන් ලබාගත් දායාදයක්‌. එයට මුල් වුයේ සරච්චන්ද්‍රයන්ගේ චින්තනය ය කියා මා හිතනවා. මොකද සරච්චන්ද්‍රයන් නවකතාව දුටුවේ ඓතිහාසික - සමාජ සත්තාව නමැති ගර්භාෂය තුළින් බිහි වන්නක්‌ ලෙස නොවෙයි. නවකතාවක ඇති සමාජ - ඓතිහාසික තොරතුරු ඔහු දුටුවේ පාඨක විශ්වසනීයත්වය දිනාගැනීම සඳහා යොදාගනු ලබන බාහිර ආලේපයක්‌ ලෙස යි. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකරුවකු ලෙස බැහැර කළේ මේ විශ්වසනීයත්වය නමැති කෝදුවෙන් මැන බලායි. මේ හානිකර පේරාදෙණි උරුමයෙන් ගැලවීමට අපේ නවකතාකරුවනුත් විචාරකයනුත් තව ම ගැලවී ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ තත්ත්වය ස්‌ථාපිත වීමට තවත් හේතුවක්‌ තමයි පසුගිය කාලය තුළ ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ මෙන්ම දැනුත් බටහිර ලෝකය තුළ බිහි වන නවකතා. බටහිර තුළ බිහි වූ මේ නවකතාව මේ යුගය තුළ බටහිර වසා පැතිරුණු ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස සලකන්න පුළුවන්. ඒ ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වුයේ පුද්ගලවාදය (Individulism) ඒ ධනවාදය තුළ වැසුණු සාහිත්‍යකරුවන් අතින් සිදු වුයේ මේ පුද්ගලවාදයට ආවැඩීමයි. මේ ධනවාදී සමාජය තුළ වැඩුණු පුද්ගලයා ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස නොව සමාජයෙන් විනිර්මුක්‌ත වූ සමාජය ඉක්‌මවා සිටීමේ ශක්‌තිය ඇති පුද්ගලයකු ලෙස නිරූපණය කිරීමටයි මේ සාහිත්‍යකරුවන් තැත් කළේ. මේ යුගයේ බිහි වූ කාෆ්කා, ලොරන්ස්‌, කැමු, ජීඩ්, ආදි නවකතාකරුවන් අතින් සිදු වුයේ මෙයයි. ඒ නවකතාකරුවන් ධනවාදී සමාජය විසින් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, චින්තකයන් ලෙස හුවා දැක්‌වීම අපට අවබෝධ කරගන්නට පුළුවන්. අද වන විට මේ තත්ත්වය පෙරටත් වඩා දරුණු වී ඇති බවයි මගේ වැටහීම. අද පශ්චාත් නූතනවාදය හමුවේ නවකතා පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සමාජය ඉතිහාසය නොතකා හරින නිර්මාණයක්‌ වී ඇතුවා පමණක්‌ නොව නවකතාවේ ස්‌වභාවය ද අභියෝගයට ලක්‌ කරන තත්ත්වයක්‌ උදා වී තිබෙනවා. එයට ඇති හොඳම උදාහරණය තමයි මිලාන් කුන්දීරා විසින් ලියා ඇති මේ රටේ ඉන්නා දීන අනුකාරකයන් විසින් ද පුදනු ලබන The art of the Novel නමැති කෙප්පය. ඒ කෙප්පය නිරුවත් කර එළි දැක්‌වීමේ සමත් විචාරකයන් අද බටහිර ලොව තුළ නැත. අද බටහිර විචාරකයන් වශයෙන් ඉන්නේ මහාචාර්ය ග්‍රැහම් හග් (Graham Hough) දක්‌වා ඇති පරිදි පොත් වෙළෙන්දන් විසින් පෝෂණය කරනු ලබන ෆුල් බ්‍රයිට්‌ මහාචාර්යවරුනුයි. මේ ෆුල් බ්‍රයිට්‌ මහාචාර්යවරුන් පිරිසක්‌ ලොවට මුදා හැරියොත් ඕනෑ ම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි කෙනකු ඩෙස්‌ටර්වස්‌කි කෙනකු කළ හැකි යෑයි ග්‍රැහම් හෆ් පැවසුවේ මෙයට විසි වසකට පෙරයි. අද සිදුවෙමින් පවතින්නේ මෙයයි.

මේ දීර්ඝ විස්‌තරයෙන් මා හෙළි කිරීමට තැත් කළේ නවකතාව නමැති සාහිත්‍යාංගය ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත් ඒ ගර්භාෂය තුළින් බිහි වන නිර්මාණයක්‌ බවයි. වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ විය යුතුයි. එය ඓතිහාසික - සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක්‌ විය යුතුයි.

මෙහිදී ඔබ තුළ ප්‍රශ්නයක්‌ මතු වන්න පුළුවන්. නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ නම් කුමකට ද අපි නවකතා කියවන්නේ? ඉතිහාස ග්‍රන්ථ කියෙව්වාම ප්‍රමාණවත් නොවේද? ඉතිහාසඥයන් ගෙන් විනා නවකතාකරුවන්ගෙන් වැඩක්‌ ඇද්ද?

මෙයට පිළිතුරු සැපයීමට නම් අපි ඉතිහාසයත් නවකතාවත් අතර ඇති සමානත්වය දකින අතරම ඒ දෙක අතර ඇති වෙනසක්‌ දැකගත යුතුයි. නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන්නේ කෙසේද කියා දැකගත යුතුයි.

නවකතාකරුවා දෙයාකාරයකින් ඉතිහාසඥයාගෙන් වෙනස්‌ වෙනවා. මේ දෙදෙනා ඉතිහාසය දෙස බලන ආකාරය සහ ඉතිහාසයට දෙන අර්ථ කථනය උඩයි මේ වෙනස රඳා පවතින්නේ.
ඉතිහාසඥයා ඉතිහාසය දෙස බලන්නේ එදා පැවැති තත්ත්වය ඒ සමාජය ඒ යුගය තුළ සිටගෙනයි. ඒ යුගයෙන් ඒ තත්ත්වයෙන් බැහැර ව සිටගෙන නොවේ. වර්තමානයේ සිටගෙන නොවෙයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ එයට හාත්පසින් වෙනස්‌ ස්‌ථාවරයක තැනක ඉඳගෙනයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව එයට කදිම උදාහරණයක්‌.ජයන්ත චන්ද්‍රසිරි ඒ ගැමුණු යුගය දෙස බලන්නේ අද අප මුහුණ දෙන වර්තමානයේ සිටගෙනයි. වර්තමානය නමැති කණ්‌ණාඩිය තුළිනුයි ඔහු ඒ දෙස බලන්නේ. කොටින් කියතොත් පසුගිය කාලය තුළ අප ගොදුරු කරගත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රට තුළ නොතිබෙන්නට චන්ද්‍රසිරි අතින් මෙය නොලියවෙන්නට ඉඩ තිබුණා ය කියා මට හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකර ආරක්‍ෂා කරන අතර ම අපගේ වර්තමානය ඒ මතට ආරූඪ කර ඇතැයි කිසිවකුට පෙනී ගියහොත් එය සාධාරණයි.

නවකතාකරුවා ඉතිහාසඥයාගෙන් වෙනස්‌ වන දෙවන කරුණ නම් ඔහු ඓතිහාසික සමාජ සත්තාව මුල් කරගෙන ඉදිරිපත් කරන අර්ථ කථනයයි. ඉතිහාසඥයා එහෙම අර්ථ කථනයක්‌ දීමට තැන් කරන පුද්ගලයෙක්‌ නොවෙයි. ඔහු කිසියම් අර්ථ කථනයක්‌ දීමට තැත් කළත් එය බාහිරින් ගන්නා ලද අර්ථ කථනයක්‌ නොවෙයි. ඒ ඉතිහාසය තුළින්ම සකසා ගන්නා ලද අර්ථ කථනයක්‌. ඒ අතින් ඔහු නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු වෙනවා. නවකතාකරුවා එසේ නොවෙයි. නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු නොවෙයි. ඔහු තම අදහන දර්ශනය චින්තනය අනුව ඒ තමා අබියස ඇති ඉතිහාසය නව අර්ථ කථනයකට භාජන කරනවා. නව අයුරකින් බැලීමට අපට සලස්‌වනවා. මෙයින් නවකතාකරුවා දරන දර්ශනය චින්තනය ආගමික දර්ශනයක්‌ වෙන්න පුළුවන්. ටෝල්ස්‌ටෝයි සිය නවකතා නිර්මාණය කළේ එවැනි දර්ශනයක පිහිටායි. වෙනත් නවකතාකරුවකුගේ දර්ශනය සමාජවාදය මාක්‌ස්‌වාදය මුල් කරගත් දර්ශනයක්‌ වෙන්න පුළුවන්. අපගේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවා වන මාර්ටින් වික්‍රමසිංහ සිය දර්ශනයට පදනම් කරගන්නේ සිංහල - බෞද්ධ සංස්‌කෘතියයි. ඒ සභ්‍යත්ව විඥානයයි.

මෙහි දී ජයන්ත චන්ද්‍රසිරි සිය දර්ශනය චින්තනය ගොඩ නගාගෙන ඇත්තේ සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානය උඩ බව මට පෙනෙනවා. ඔහු
ගැමුණු මහරජුගේ සිතුම් පැතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් ආදි වූ සියල්ල අර්ථ කථනය කරන්නේ සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානයේ පිහිටායි. ඒ නිසා මේ නිර්මාණය අන්තය ඉක්‌මවා සිටින වත්මන් අපට අතිශයින් අදාළ නිර්මාණයක්‌ ලෙස මා දකිනවා.ඒ ගැන කතා කිරීමට පළමු මේ නවකතාවේ සන්දර්භය ගැනත් කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි. මෙහි දී චන්ද්‍රසිරි යොදාගෙන ඇත්තේ අපට හුරු පුරුදු ගතානුගතික සන්දර්භයට වඩා වෙනස්‌ චිත්‍රපට - සිනමා සන්දර්භය බව පෙනෙනවා. ඒ නිසා ඇතැමකු මෙය නවකතාවක්‌ නොව තිර නාටක රචනයක්‌ ලෙස බැහැර කරන්නට පුළුවන්. එය අසාධාරණයි. වත්මන් නවකතාකරුවා වත්මන් ජන විඥානයේ ඇති සන්නිවේදන මාර්ග යොදාගැනීම වරදක්‌ ලෙස මා දකින්නේ නැහැ. එය වරදක්‌ නොවෙයි. අපගේ නවකතාවේ පරිණාමයට ඉවහල් වන්නක්‌. අවසානයේ දී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඒ නව සන්දර්භය සාර්ථක ද? නැද්ද? යන්නයි. මේ සන්දර්භය අනුකාරකයන් යොදාගන්නා "ඉන්ද්‍රජාල තාත්විකත්වය" වැනි බහුබූතයක්‌ නොවේ.

සැම උසස්‌ සාහිත්‍ය නිර්මාණයක්‌ තුළම නො කියා කියන පණිවිඩයක්‌, අනාගත දැක්‌මක්‌, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ් වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා. චන්ද්‍රසිරි මෙහි දී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මඟ කෙබඳු එකක්‌ විය යුත්තක්‌ ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මග - සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥාන මත ගොඩනැඟුණු ගැමුණු මඟ අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩ නගාගත යුත්තේ ඒ ගමන් මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.
මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක්‌ බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වුයේ දෙමළ ජාතිවාදය පමණක්‌ නොවේ. අප දිගින් දිගට ම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණ යි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ජාතියක්‌ විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැම යි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන්කර නිෂ්ක්‍රීය කිරීමට මුල් වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක්‌ සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා - පෙලා යටත් කිරීමට විදේශීකයන්ට කෙවිටක්‌ වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. ඒa බැවින් මේ දීන අනුකරණය නවත්වා, අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අපි ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක්‌ තිබිය හැකි ද යන්න මට නම් ප්‍රහේලිකාවක්‌. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක්‌ කර දීමය කියා මා හිතනවා.
 -ආචාර්ය ගුණදාස අමරසේකර
[
මුල් සටහන : දිවයින]


 -යුතුකම සංවාද කවය 
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions