8/17/2014

මිනිස්සු බලාපොරොත්තු වූ කිසිම දෙයක් මේ ආණ්ඩුව ඉටු කළේ නෑ- ආචාර්‍ය ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     8/17/2014   2 comments

ජ්‍යේෂ්ඨ සාහිත්‍යකරුවෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර සමග සිදුකල සංවාදයක සටහන. විවිධ විෂයන් සම්බන්ධ ඔහුගේ සමාජ නිරීක්ෂණයන් මේ සංවාදය තුල අන්තර්ගතය. 

ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් විදියට අද මේ රට යන සිස්ටම් එක ගැන ඔබේ අදහස කියන්නකො බලන්න මුලින්ම.?

අපේ රට තුල යුද්දයක් තිබුනනේ අවිරුදු තිහක් තිස්සේ. ඒක ඉවර කරන්න ජාතික බලවේග නියෝජනය කරපු පිරිසක් වශයෙන් අපි විශාල සහයෝගයක් දුන්නා. යුධ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුනා ජාතික බලවෙග දුන්නු සහයෝගය.  ගොඩක් කල්ලි කණ්ඩායම් මේක ඉවරයක් කරන්න බෑ කිය කිය ඉන්න කොට තමයි අපි මේකට පෙරමුණේ ඉඳන් සහයෝගය දුන්නේ. ත්‍රස්තවාදීන්ට රටේ කොටසක් නොදී ඒ යුද්ධය දිනන්න හැකියි කියන අපේ දදස තමඉ අවසානයේ ජයග්‍රහණය කලේ. අපි ගම් රටවල්වලට ගිහිල්ලා කරුණු කියපු එකෙන් තමයි කොල්ලො වැඩිපුර හමුදාවට බැඳුනේ.
යුධ ජයග්‍රහණයත් සමග අපි විශ්වාස කලා මේ රටේ නව යුගයක් ඇරඹෙයි කියලා. සැබැවින්ම අලුත් පරිච්චේදයක් මේ රටට අවශ්‍යවෙලා තිබුණා. අවංකවම කියනව නම් අපේ ඒ බලාපොරොත්තු අද කඩ වෙලා තියෙන්නේ. අපිට පෙනෙන්නේ නෑ අලුත් යුගයක් උදා වුණ බව. පැරණි පාරෙම ගමන් කරන බව තමයි පේන්නේ. යුද්ධය ඉවර වුනාට පස්සේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විදියට අපි කොමිෂමක් පත් කලා. රාජා වනසුන්දර විනිසුරුතුමාගේ  ප්‍රධානත්වයෙන් තමයි ඒ කොමිෂම පත් කලේ. ඒකෙන් අපි සාකච්ඡා කලේ විවිධ විද්වත් පුද්ගලයන් සමග, රට කොහොමද අලුත් වෙන්න ඕනෑ කියල.
රටේ ආර්ථික ප්‍රතිපත්තිය , සංස්කෘතික ප්‍රතිපත්තිය  දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද කියලයි එහිදී සාකච්ඡා කලේ. ඒකට රජයෙන් කිසිම ප්‍රසිද්ධියක් දුන්නේ නෑ. මාධ්‍යවලිනුත් එහෙමයි. රජය එය වසන් කිරීමට කටයුතු කලා කියලා අපි හිතන්නේ. අන්තිමට අපි ඒකේ යෝජනා රිපෝර්ට් එකක් හදල  ජනාධිපති තුමා මුණ ගැහිලා දුන්නා. ඒකේ ප්‍රධාන යෝජනාවක් තමයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරලා පළාත් සභා ක්‍රමය අහෝසි කරයි කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි ජනාධිපතිතුමාගේ දෙවැනි ධූර කාලය සඳහා මැතිවරණ වෙලාවේ විශාල වශයෙන් මිනිස්සු ඒකරාශී වුණේ. ඒත් ඒක සිද්ධ වුණේ නෑ. ඒක තමයි අපිට තිබුණු හොඳම අවස්ථාව රටේ අලුත් ගමනක් පටන් ගන්න. මිනිස්සු බලාපොරොත්තු වුනු කිසිම දෙයක් ඉටු කරන්න මේ ආන්ඩුව කටයුතු කළේ නෑ.

ඔබ කියන්නේ යුධ ජයග්‍රහණයේ ප්‍රතිඵල රටට ලැබුණේ නෑ කියන එකද?

ඇත්තටම ඔව්. තීරණාත්මක අවස්ථාවක් තමයි මේ ගොල්ලො අත ඇරියේ. අනික යුද්ධයේ ජයග්‍රණය වෙනුවෙන් පෙනී  ඉඳපු අයටත් කරපු ලොකු අසාධාරණයක් ඒක.

ඔබලා වැනි ජාතික බලවේග රැවටුණා කියල හිතෙන්නේ නැද්ද?

අපි නෙවයි රැවටුනේ.රටටයි පාඩුව.විශේෂයෙන් අපි දැකපු කාරණයක් තමයි යුධ ජයග්‍රහණයන් පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැසිරුණු ආකාරය.එයාලට අවශ්‍ය වුනේ එයාලා බලයට පත් කරපු ජාතික බලවේග හෙමින් ඈත්කරලා වෙන වෙන කණ්ඩායම් ළං කරගන්න .මේ ආණ්ඩුව කළේ ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයට සහාය වුනු මිතුරන් අමතක කරලා සතුරන් පිරිසක් ළං කරගැනීමක්.

ආණ්ඩුව ඔබලට ඒ තරම් ගුණමකු වුණේ ඇයි?



රටේ අලුත් යුගයක් ඇති කරන්න පැවති පාලන ක්‍රමයේ වෙනසක් කරන්න මේ අයට ඕනකමක් නැති එක තමයි ප්‍රධාන කාරණය. ආණ්ඩුවට එහෙයි කියන පිරිසක් ළං කරගත්තේ ඒ නිසා. මේ ආණ්ඩුවට නව පරිවර්ථනයක් පිළිබඳ අවබොධයක් තිබුණ බවක් පේන්න නෑ. පරණ පීල්ලෙම යන එක තමයි මේ අයගේ පිළිවෙත වුණේ. 
මේ අය ක්‍රියාත්මක කරන්නෙත් පරණ ආර්ථික ක්‍රමයමයි. ජේ.ආර් ජයවර්ධන හඳුන්වලා දීපු ආර්ථික ක්‍රමයට තමයි ප්‍රේමදාසත් ,චන්ද්‍රිකාත් , මහින්දත් වැඩ කරන්නේ.ඒක තමයි ජේ ආර් ගේ කැබිනට් එකේ හිටපු මුදල් ඇමති රොනීද මැල් පහුගිය දවසක කියල තිබුණේ එයාලා පටන් ගනිපු ආර්ථික ක්‍රමයේ මල් පීදිලා තියෙන්නේ දැන් කියල. මේ ආර්ථික ක්‍රමය අප කිසි ලෙසකින් අනුමත කරන්නේ නෑ. ඒක අපි වනසුන්දර වාර්ථාවෙන් කියපු දෙයක්.මේ ආණ්ඩුව ආර්ථික වෙනසකට ගියේ නෑ. මේක සම්පූර්ණ ධනවාදී ආර්ථික ක්‍රමයක්. රටේ මුදල් සංසරණය වෙන්නේ සුළු පිරිසක් අතේ. ඒ මුදල් සංසරණය වෙන අයගේ අත පල්ලෙන් හැලෙන සොච්චම තමයි බහුතරයකට ලැබෙන්නේ. මේ වග ආර්ථික ක්‍රමයක් නෙවෙයි ජාතික බලවේග විදියට අපි බලාපොරොත්තු වුනේ. අපි බලාපොරොත්තු වුනේ සමානාත්මතාවය සහිත බෞද්ධ සංස්කෘතිය සහිත පුරුෂාර්ථ මුල් කරගත් ක්‍රමයක්.

දැන් පසුතැවීමක්ද තියෙන්නේ ආණ්ඩුවට සහාය දීපු එක ගැන. ?
අපට තියෙන්නේ පෞද්ගලික පසුතැවීමක් නෙවෙයි. රට ගැන කැක්කුමක්. අපි හිතන්නේ මේ විදියට ගිහිල්ලා රට කොතනින් නවතීද කියලා. මේ ආර්ථිකය තව දුරටත් ගෙනියන්න බෑ කියල තමයි අපි හිතන්නේ. විදෙස් ණය අරගෙන මේ කරන සෙල්ලම හරියන්නේ නෑ. සුළු පිරිසක් රජ සැප විඳිද්දි අනෙත් අයට තුන් වේල කන්නත් නෑ. කොළඹ පුරා මහ ලොකු ආකේඩ් හැදෙනවා . පොළොන්නරුවේ මිනිස්සු වතුර නැතිව මැරෙන්න යනවා. සංදර්ශන දාල වැඩක් නෑ. රටේ හැම මිනිහෙක් ගැනම එක වගේ හිතන්න ඕන. ම ආර්ථික ක්‍රමයෙන් දවසින් දවස ඇති නැති පරතරය වැඩි වෙනවා.

බලයට එන්න ඔබලාගේ සහාය ගත්තු මේ ආණ්ඩුව ඔබලාගේ යහපත් යෝජනා පිළිගන්නේ නැත්නම් ඊළඟට මොකක්ද ගන්න පියවර?
මේ ආණ්ඩුව පෙරලන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපි කෙලින්ම ජනාධිපතිතුමාගේ මූණටම වුණත් මේ දේවල් කියනව. එහෙම පෙන්නල දීලා හදාගන්නයි බලන්නේ. ගොඩක් අය කෙලින් අදහසක් කියන්න බයයිනේ. අපිට නැති වෙන්න දෙයක් නෑ. අපි වරප්‍රසාද අරගෙන නෑ. ඒ නිසා කටවහගෙන ඉන්න වුවමනාවක් නෑ. මේ ආණ්ඩුවට බලපෑම් කරලා හෝ හරිමගට දාගන්න ඕනෑ. ඒක කරන්න බෑ බොරු බටර් ගාලා. කියන්න තියෙන දේ ජනාධිපතිතුමාට කෙලින්ම කියන්න ඕන. එහෙම නැතිව " ඔබතුමා තමයි මේ රටේ පහළ වුණු ශේෂ්ඨතම නායකයා " කියල අන්දන්න සූදානම් නෑ අපි. අපිට තනතුරු බේරගන්න ,කොන්ත්‍රාත් අරගන්න  වගේ ගනුදෙනු නැති නිසා අපි උත්සාහ කරන්නේ රටත් රටේ මිනිස්සුත් බේරගන්න.

ඔබලා කොච්චර කිව්වත් ,යෝජනා ගෙනාවත්  ආණ්ඩුව ගනන් ගන්නේම නෑ වගේ නේද?
 අපිට කමක් නෑ එයාලා ගණන් ගන්නේ නැති වුනාට. ඒක එයාලගේ විනාශය. ඒකට අපට කරන්න දෙයක් නෑ. අපිට ඇති කෙහෙල්මලක් නෑ මේ කෑගැහිල්ලෙන්. අපි රට  ගැන අවංකවම හිතන නිසයි මේවා කරන්නේ. අපි කියන්නේ නෑ මේ ධනවාදී ආර්ථික ක්‍රමයෙන් රටක් දියුණු කරන්න බෑ කියල. ඒත් දවසින් දවස මේ ණය ගන්න විදියට අපට උහුලන්න බෑ. ධනවාදී ක්‍රමයෙන් ඉන්දියාව වගේ ලොකු රටක් දියුණු කරන්න පුළුවන් වෙයි. අපේ රටේ පහුගිය කාලවල ඇතිවුණු ගැටුම් තුනටම හේතුව මේ ඇති නැති පරතරය. වෙන රටවල් දිහා බලල නෙවෙයි , අපේ රටටම ගැලපෙන ආර්ථික මොඩලයක් හදාගන්න ඕනෑ.

රටේ උගත්තු, කලාකාරයෝ කියලා පෙනී ඉන්න අය දේශපාලන නායකයන්ගේ වැරදි පෙන්වා දෙනවා වෙනුවට "යස් සර්" ක්‍රමයට නේද අනුගත වෙලා ඉන්නේ?

අපෝ, උග් ගැන කතා කරල වැඩක් නෑ.බඩගෝස්තරවාදියෝ ටිකක්. මුන් මොන බුද්ධිමතුන්ද? මේ නිවටයන්ට කාර් එකක් හරි මොකක් හරි දුන්න ගමන් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. උපදේශක කමක් එහෙම දුන්නොත් මුන් ආත්මේ පාවලා දෙන්න වුනත් සූදානම්. දැන් ඔය කලාකාරයො වෙලා ඉන්න එවුන් දිහා බලන්නකො. කලාකාරයො කියන නමටත් ලැජ්ජාවක්. මේ අය එදා වේල ගැන හිතන එවුන්. අපේ රට වැඩිපුරම බිහිකරලා තියෙන්නේ අනුකාරක උගත්තු. මේ රට ගැන කල්පනා කරන අනුකරණයෙන් තොර ,අදීන , බුද්ධිමත් පුද්ගලයො නෑ. එහෙම බුද්ධිමත් පරපුරක් බිහි කරන්න අපේ අධ්‍යාපන ක්‍රමයවත් සමත් වෙලා නෑ.


ඔබගේ ලඟම හිතවතෙක් වුණු මහාචාර්‍ය සරත්චන්ද්‍ර වගේ කෙනෙක් දේශපාලකයන් ඉස්සරහ කොන්ද නැමුවේ නැතිව හිටියේ කොහොමද?

සරත්චන්ද්‍ර අවංක කලාකාරය්ක්නේ. අති දක්ෂ බිද්ධිමතෙක් . එහෙම මිනිස්සු පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. දැන් ඉන්න කාලාකාරයො කලාව කරන්නේ නැතිව වෙන හැමදේම කරනවා. සරත්චන්ද්‍රලා කලේ කලාව විතරයි. එයාට දේශපාලකයො පස්සේ රස්තියාදු වෙන්න වලාවක් තිබුණෙත් නෑනේ. අනික අද තියෙන වටපිටාවත් එහෙම නෑනේ.
විවෘත්ත ආර්ථිකයත් එක්ක බිහි වෙච්ච සංස්කෘතිය  දිහා බලමුකො. එදා "77 පටන් ගත්තු විජාතික  සංස්කෘතික ආක්‍රමණය එදාට වඩා සිය ගුණයකින් අද වැඩි වෙලා තියෙන්නේ. මේ පරිහානියේ තරම තේරුම් ගන්න පුළුවන් පුංචි  උදාහරණයක් තමයි ටෙලිවිෂන් එක. ඇත්තටම මේවා රූපවාහිනී නෙවෙයි. දැන් තනිකරම වෙළඳවාහීනී. ටෙලිවිෂන් එකෙන් කෙරෙන සංස්කෘතික හානිය ක්ළවරක් නෑ. එදා කොළඹ කුරුඳුවත්තෙන්  පටන් ගත්තු ඒ සංස්කෘතික ආක්‍රමණය අද ගම් දනව් කරා ගිහිල්ලා ඉවරයි. ඔය ක වෙළඳවාහිනියකින් දැක්කද පසුගිය දවස්වල අර ඇඹිලිපිටියේ කොල්ලෙක් අල්ලගෙන කරපු නාඩගම. මේක ඒ කොල්ලට ආදරේට කරපු වැඩක් ද? අද පවතින කුණු ආර්ථිකයට නියමෙට මුක්කුව ගහන්න මේ ටෙලිවිෂන් එහෙමත් සැදී පැහැදී ඉන්නේ. මේ ආර්ථිකයට ඕනෑ අඥානයො බිහි කරන්න. මේ ආර්ථිකයේ තියරිය තමයි "කාපල්ලා .බීපල්ලා. ජොලි කරපල්ලා" . රට ගැන හිතන වුන් මේ ක්‍රමේට වැඩක් නෑ. ජේ ආර් මේක පටන් ගත්තෙම එහෙමනේ. මිනිහා ඇහුවේ "සහිත්‍යය කන්නද" කියලා. මොකද සාහිත්‍ය කලාව තුලින් තමයි ක්‍රමය ප්‍රශ්න කරන්නේ. ක්‍රමය ප්‍රශ්න කිරීම ක්‍රමය පවත්වාගෙන යන අයගේ පැවැත්මට තර්ජනයක්. ඉතින් ක්‍රමය පවත්වාගෙන යන අය බලන්නෙම රට මන්ද බුද්ධික කරන්න. එහෙම මෝඩයො ඉන්නතුරු ඒ අයගේ පැවැත්ම ස්ථාවරයි.

සාහිත්‍ය කන්නද කියල අහපු ජේ.ආර් ජයවර්ධනට බණින අයත් නොකියා කරන්නෙත් ඒ ටිකම නේද?

මේ අය ජේ.ආර් ටත් වැඩිය ඉහලින් ඒ ටික කරගෙන යනවා. අද ජේ. ආර් කොහේ හරි ඉඳගෙන බලාගෙන ඉන්නවනම් සංතෝස වෙනවා ඇති. ජේ.ආර් ට හිනා යනව ඇති යා පැල කරපු ගස්වල අද මල් ඵල හැදිලා තියෙන හැටි දැකලා.


ආණ්ඩුවෙන් කලාකරුවන්ට ලැබෙන වරප්‍රසාද බෙදී යාමේ විෂමතාවයක් තියෙනව කියල කලාකාරයො පිරිසක් කියනව.
මට නම් පේන්නේ නෑ කලාකාරයො කාටවත් අහේනියක් තියෙනව කියල. අනෙක මොකටද එහෙම හිඟාකන්නේ? ආණ්ඩුව එහෙම නොකරනව නම් නොකරන්නේ ආණ්ඩුවේ කපටිකමට. මේ අඥානයො ටිකක් බොරුවට කෑ ගහනව. අපි මේ සිල්ලර ප්‍රශ්න ගැන කතා කරනවට වඩා පුළුල් විදියට කල්පනා කරල බලන්න ඕන
කාරණා රාශියක් තියෙනව.  මම මුලිනුත් කිව්වා වගේ නිදහසින් පස්සේ අපේ රටේ බිහිවුණේ අනුකරණවාදී ජනතාවක්. ඊට මූලික හේතුව තමයි අපි අපේ ජාතිකත්වය වටහාගෙන නෑ. අපිට වසර ගණනක් පුරා ආ ජාතිකත්වයක් තිබුණා.  දිගු කාලයක් පරාදීන රටක් විදියට පැවතුණු නිසා ඒක අමතක වෙලා ගිහින් තියෙන්නේ. ඒ අඩපණ වෙලා තියෙන ජාතිකත්වය අපි අවදි කරගන්න ඕනෑ. වාසනාවකට වගේ ඉන්දියාව අවුරුදු 60 කට පස්සේ ඒක ලබාගෙන තියෙනවා. අපි තාම හූල්ල හූල්ල ඉන්නවා. අපි අපේ ජාතිකත්වයට ගියෝතින් මේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා.

රටක කාලාකරුවො දේශපාලන වහල්භාවයට පත්වීම එරට සමාජයට බලපාන්නේ කොහොමද?

කලාකරුවා කියන්නේ දැවැන්ත පුද්ගලයෙක්. අප රටේ කලාකරුවො කියල පිරිසක් ඉන්නවද කියලත් සැකයි. බඩගෝස්තරේට නටන උන් කලාකාරයො නෙවෙයි. අපේ රටේ  ටෙලිවිෂන් එකෙන් ඔය තරු කියල උඩ දාන උන්ටත් පස්සෙන්දට කියන්නේ කලාකරුවො කියල. මුන්ට මොනව උනත් කමක් නෑ. මුන් වගේ එවුන් නැති තරමට හොඳයි.  කලාකාරයො කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. හැම අතින්ම ප්‍රාඥයෙක් තමයි  කලාකාරයෙක් වෙන්නේ. බුද්ධිය නැතිව කොහොමද කලාකරුවො වෙන්නේ. බොරු කකුල්කාරයො ටිකක්නේ අද අපේ රටේ කලාකාරයො කියල පුම්බගෙන ඉන්නේ. බුද්ධිමත් කලාකරුවන් දේශපාලන වහල්භාවයට යටත් වෙන්නේ නෑ. ඔහු ස්වාධීනව තමන්ගේ දේ කාරනව.

සංවේදී කියන කලාකාරයො රොත්තක් රටේ නායකයොත් රවටලා ජනතාවත් මුලා කරනව කියල තමයි හැමෝම කියන්නේ?
ජනතාව කොහොම වෙතත් රටේ දේශපාලන නායකයො නම් රැවටෙනවා කියල හිතන්න අමාරුයි. අපේ දේශපාලකයො රවට්ට බෑ ලේසියෙන්. මේ ගොබ්බ කලාකාරයොන්ට අත්පුඩු තලන මෝඩ මිනිස්සු නම් මෙයාලගේ කතාවට රැවටෙනවා. ඒකනේ මේ මිනිස්සු ඔය නළු නිළියන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවටත් යවන්නේ. මේ යන නළු නිළියන්ට දේශපාලන දැනුම තියා සාමාන්‍ය දැනුමවත් නෑ.  කට ඇරිය ගමන් ගොන් කම ප්‍රදර්ශනය වෙනවා. අපේ රටේ තුප්පහි සංස්කෘතියේ නියෝජනයක් විදියට තමයි මට නම්  මේ ගොඩක් කලාකාරයො කියන ඈයෝ පේන්නේ. අපේ රටට ප්‍රබුද්ධ දේශපාලන නායකත්වයක් සමග ප්‍රමුද්ධ කලාකරුවොත් අවශ්‍යවෙලා තියෙනවා.

අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ හිටපු ප්‍රසිද්ධ චරිතවලට අද මොකද වෙලා තියෙන්නේ?
මොනව වෙන්නද. ඔය ඉන්නේ මහින්ද රාජපක්ෂග සටකේ එල්ලිලා . ඔය වාමාංශිකයො කියල කියන්නෙත් අනුකාරකයො පිරිසක්නේ. එයාලට කට උත්තර නෑ අද. සමාජයට ඒ අයගෙන් කිසිම බලපෑමක් නෑ. නිකන්ම නිකං කැන්සල් වෙච්ච පිරිසක්. අපේ රටේ සමාජ දේශපාලන පරිහානියේ  තවත් එක් උදාහරණයක් තමයි මේ වාමාංශික දේශපාලන නායකයන්ට වෙච්ච දෙයින් පේන්නේ.

සංස්කෘතික පිරිහීමට පිළියම් සොයන්න ඕනෑ වගකිවයුත්තො ඒක පෙන්න පෙන්න ඉන්නවා විතරයි නේද?
සංස්කෘතිය පිරිහිලා කියන එකනම් අහන්න දෙයක් නෑ. ඒක පිරිහිලා කියල කිය කිය ඉන්න දේකුත් නෑ. ඕනෑ කෙනෙකුට ඒක පේනවනේ. කරන්න තියෙන්නේ ඒ පිරිහීම පුළුවන් තරමකට වළක්වාගන්න එක. ඒත් ඒක කරන්න කවුරුවත් සූදානම් නෑ. ඒක කරන්න පුළුවන් ජාතික නායකයන්ටයි බුද්ධිමතුන්ටයි. එහෙම නැතිව ඔය රූපවාහිනී සාකච්චාවලට ඇවිත් පම්පෝරි ගහන අයට ඕක කරන්න බෑ. රටට කිසිම වැදගැම්මක් නැති වසංගතයක් නම් ඒක සීඝ්‍රයෙන් රට පුරා බෝ වෙනවා. රටට ජාතියට ජහපත් දෙයක් එහෙම වෙන්නේ නෑ. සංස්කෘතිය විතරක් නෙවෙයි අද කොයි තැනද පිරිහිලා නැත්තේ. 


දැන් කලාකරුවන්ට ජාතිය සහ ආගම හොඳ බයිට් එකක් වෙලා වගේ නේද?
අපෝ. ඔය ගැන කතාකරල වැඩක් නෑ. මේ උන්දල මේක සල්ලි ටිකක් ගරාගන්න පාවිච්චි කරනව විතරයි. ජාතිය ආගම මතුපිටින් පෙන්නනවා විතරයි.  ඔය කියන තරම් ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙනව නම් මේ රටට මෙහෙම විනාසයක් වෙනවද? ඔය කියන එකම දේකවත් ගැඹුරින් මේ දේවල් සාකච්චා වෙලා තියෙනවද? අද ජාතිය ආගම දෙක හොඳට විකුණගෙන කන්න පුළුවන් කියල මේ ගොල්ලො දන්නවා. වළ ඉහගෙන කන මේ යක්කුන්ට මොන ජාතිය ආගම ගැන කැක්කුමක්ද?

අමරසේකර මහත්මයා පහුගිය කාලේ පෙන්නපු චිත්‍රපටි එහෙම බැලුවද?
මම ඔය ජරාව බලන්න වෙලාව නාස්ති කරන්නේ නෑ.

අද දවසේ සහිත්‍යය ගැන මොකද හිතෙන්නේ?
රටේ හැමදේටම සිද්ධවෙලා තියෙන විනාසය සාහිත්‍යටත් සිද්ධවෙලා. තුට්ටු දෙකේ සම්මාන පොරයක් එක පැත්තක. හරි විචාරයක් නෑ. ඔය චිත්‍රපටි හදන උන් වගේම තමයි පොත් ලියන කට්ටියත්. කාලෙටා විකුණගන්න පුළුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරනවා. සාහිත්‍ය ගැන හැඟීමක් නම් තියෙන්නේ සම්මානවලට කුලල් කාගන්නේ මොකටද?
අනිත් එක රටේ බුද්ධිමය සංවාදයක් නැතුව සාහිත්‍ය දියුණුවක් ඇති වෙන්නේ නෑ. කවුද ඒ බුද්ධිමය සංවාදය අද කරන්නේ? කවුරුවත් නෑ. අපිට පුළුවන් තරමින්  අපි දෙයක් කරනවා. අඩුම තරමේ කෙලින් කතාකරන්නවත් මිනිහෙක් අද නෑනේ. බුද්ධිමය සංවාදයකට වටපිටාව සකසන්න ආණ්ඩු උත්සාහ කරන්න්නෙත් නෑ. ආණ්ඩුවත් අඥානයි. මිනිසුත් එහෙමයි.

මෝඩ ආණ්ඩුවක් රකින වැඩේ ම නෙවෙයිද ඔබලත් කරන්නේ?
අපි උත්සාහ කරන්නේ ආණ්ඩුව මේ මෝඩකමින් ගලවගන්න. ඒක තමයි අපිට තියෙන අභියෝගය. මේක නැතිව අපිට විකල්පයක් නෑ. මේ ආණ්ඩුව කරන තකතීරු වැඩවලින් රටට වෙන විනාශය ගැන කියලා නිවරදි කරගන්නයි අපේ උත්සාහය.

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පිටුපස ඉන්න දේශපාලන චරිත එක්ක පෑහෙන්න පුළුවන්ද හිතට එකඟව?

අපේ පිටිපස්සේ මොකා හිටියත් අපට කමක් නෑ. අපි කාගෙවත් පිටිපස්සේ නෙවෙයිනේ ඉන්නේ. අපේ පස්සෙන් ඕනැ කෙනෙකුට එන්න පුළුවන් .අපි රට ගැන කැක්කුමකින් වැඩ කරන පිරිසක්.  අපිත් එක්ක ඉන්න අයගේ දේශපාලන මතිමතාන්තර අපට වැඩක් නෑ. අපි දේශපාලන න්‍යායපත්‍රවලට යට වෙන්නේ නෑ. අද මේ රටට ඔනෑ දේශපාලනය ඉක්මවා ගිහින් රට ජාතිය ගැන හිතන පිරිසක්.

-ලංකාදීප
2014-08-10

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. විමලසේන8/18/2014 10:26 AM

    නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම අරඹන ලෙස රජයට ඔබතුමන්ලා බලපෑම් කළ යුතු මොහොතක් දැන් එළඹ ඇත.

    ReplyDelete
  2. Me gobba harakata therenne ne anduwa thiyenne minissunta salli beda denna nemei kiyala. Anduwa thiyenne minissunta salli hoyanna puluwan parisarayak hadaa denna witharai. Mahansi wela salli hoya ganna eka minissunge wedak. Lankawe inna alasa udasina minissunta eka karaganna beri unaata monawa karannada.
    Anika lankawe thiyenne Market Capitalism ekak nemei. Lankawe tiyenne Crony Capitalism ekak. Ehew samajayaka asarthakathwayata Capitalism ekata benala wedak ne.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions