8/18/2014

නූතන ලංකාවේ පියා තවමත් ජයවර්ධනද?

කතෘ:යුතුකම     8/18/2014   2 comments


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


බටහිරයන් විසින් මෙරට වපුළ විජාතිකත්වයට එරෙහි ආස්ථානයක පිහිටා ජාතිකත්වය පෙරටු කොට 1951 දී  බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 වන විට රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් විය. එතරම් අඩු කලෙකින් බලයට පත්වීමට හැකි වීම එය 56 පෙරළිය ලෙස හැඳින්වීමට එක් හේතුවකි. බණ්ඩාරනායක මහතාට ඒ සඳහා ගත වූයේ වසර කිහිපයක් බව සැබෑවකි. නමුත් ඒ සඳහා පිටිවහල් වුනු සිය උරුමය නැවත පාදා ගෙන සියවස් ගණනාවක් පුරා අහිමිව ගිය සිය ස්වාභිමානය යළි ප්‍රතිෂ්ටාපනය කර  ගැනීමේ ජාතික අභිලාෂයන් ජනතා හදවත් තුළින් පරාධීනත්වය හමුවේ අළු බවට පත් වී නොදී අවුළුවා තබා ගැනුම සඳහා අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ දේශහිතෛශීන්ට වසර ගණනාවක් පුරා සුවහසක් බාධක, කම්කටොලු මැද මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන්නට සිදුවූ බව අප සිහි තබා ගත යුතුය. 19 වන සියවස අග භාගයේ ඇරඹි අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය නොවන්නට බණ්ඩාරනායක මහතාට නැවත අවුළුවා ගත නොහැකි පරිදි මෙරට ස්වදේශික ජනයාගේ සිය ජාතික උරුමය යළි පාදා ගැනීම පිළිබඳ වූ පැතුම අළු බවට පත් වී තිබෙන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් බණ්ඩාරනායක මහතාද එවැනි දේශපාලන ගමනක් නොඅරඹනු ඇත.

කෙසේ නමුදූ බණ්ඩාරනායක මහතා බලයට පත් වී ටික කලෙකින් එතුමා ලිබරල්වාදී කඳවුර වෙත වඩා සමීප  වී අවසන ඔවුන් අතින්ම මරුමුවට පත් විය. එතුමාගේ ඇවෑමෙන් බලයට පත් බිරිද සිරිමාවෝ මැතිණිය මෙරට වාමාංශික පක්ෂ හා එක්ව ගමනක් ඇරඹීය. ඒ අවදීන් කෙටියෙන් පැහැදිළි කරන සටහනක් ගුණදාස අමරසේකරයන්ගේ කවන්ධයට හිසක් කෘතියෙන් මෙසේ උපුටා දක්වමු.

"70-77 කාලය තුළ එතුමය විසින් ගෙනෙයන ලද අධිරාජ්‍යය විරෝධි සටන, මානව හිතවාදී, සමාජවාදී සිංහල-බෞද්ධ උරුමය පුනරුත්ථාපනය සඳහා තබන ලද ඉදිරි පියවර අප විසින් අද වුව කෘතඤතාපූර්වකව සිහිපත් කළ යුතු යයි මම සිතමි. ඒ තුළ වූ අනවශ්‍යය ක්‍රියා මාර්ගවලින් ඒ ප්‍රයත්නය මුදා ඉදිරියට ගෙන යාමට හැකි වී නම් මේ වන විට මේ රට අප පැතූ මඟෙහි බොහෝ දුර ගොස් තිබෙනු ඇතිය යන මතය බැහැර කළ හැකි නොවේ. පසුගිය කාලපරිච්ඡේදය තුළ අප මුහුණ දුන් ඛේදවාචක ඒ මඟ ඇසුරෙන් වළක්වා ගැනීමේ අවස්ථාව අප සතුව තිබුණා නොඅනුමානය. විජේවීරගේ මෙන්ම ප්‍රභාකරන්ගේද ත්‍රස්තවාදයට එක් හේතුවක් අප විසින් ඒ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය අමතක කිරීම නොවේද?

සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගත් ඒ ගමන් මඟ අසාර්ථක වීමට හේතු කීපයක් වී යයි මම සිතමි.  ඉන් එකක් නම් මාක්ස්වාදීන්ගේ ඇතැම් න්‍යාය පිළිපදින්නට යෑමයි. දේශීය වතු හිමියන්ගේ ඉඩම් ජනසතු කිරීමට යෑම එවැන්නක් නොවේද? එය කිසි ලෙසකින් බහුතර ජනතාවගේ ආශිර්වාදයට පාත්‍ර වූවක් නොවේ. එමෙන්ම ඒවා ජනසතු කිරීමෙන් පසු අමන දේශපාලකයන් විසින් ඒවා තුළ ගෙන යන ලද දූෂිත පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූවක් විය. ඒ ජනසතුව මානව හිතවාදී සමාජවාදී පියවරයක් ලෙස නොව ඊර්ෂ්‍යා, ක්‍රෝධ පරවශව ගෙන යන ලද අධම ක්‍රියාවක් ලෙසිනි, ඔවුන් දුටුවේ. එමඟින් ජේ ආර් ජයවර්ධනට ඒ රජය අධර්මයට මුල්තැන දෙන රජයක් ලෙස හැඳින්වීමේ අවස්ථාව පාදාදෙන ලදී. අනික් හේතුව නම් ඒ රජයේ මූලික ක්‍රියා කලාපය අපගේ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය වෙත ළඟා වීමක් ලෙස අර්ථකථනය කිරීමට, පෙන්වාදීමට සමත් වූ ප්‍රඥාංකුර පිරිසක් ඒ වන විට සමාජය තුළ නොසිටීමයි. ඒ වෙනුවට සිටියේ දේශීය ප්‍රඥාංකුර පිරිසක් නොව ඉණිමඟේ ඉහළට නැගීම එකම අභිලාෂය කරගත් මැද පංතියේ නව සමාජ ස්ථරයකුයි. මැද පංතියෙන් බිහි වූ ඒ නව සමාජ ස්ථරයේ එකම අරමුණ වූයේ සිවිල් සේවයට ඇතුළු වී වැජඹීමයි. විශ්වවිද්‍යාලය තුළ ට්‍රොට්ස්කිවාදය ගැන බෙරිහන් දුන් එකාද සිවිල් සේවයට ඇතුල් වීමෙන් පසු කට පියා ගත්තේය. අවට ලෝකය ගැන තමන් උපන් නිජබිම ගැන නොතකා, එදෙස නොබලා සිය මනෝමන්දිර නිර්මාණය කරගෙන ඒ තුළ රැදී සිටීමට එ කල බිහි වූ පේරාදෙණි සාහිත්‍යයද ගමෙන් ආ තරුණයා මෙහෙයවීය. පේරාදෙණි සාහිත්‍යය සැපයූ මේ අධම අනුබලයයි එයට එරෙහිව නැඟිට සිටීමට මා එවේලෙහි මෙහෙයවූයේ."

අධර්මිෂ්ට රාජ්‍යය බිහි වීම


ජේ ආර් ජයවර්ධන පවා බලයට පත්වීම පිණිස යොදාගත්තේ ලාංකීය ජනතාව සතුවූ සිය උරුමය සොයා යාම සඳහා වූ නොසංසිඳුනු පිපාසයයි. "ධර්මිෂ්ට රාජ්‍යය" එහි තේමා පාඨය විය. බලයට පැමිණි පසු ඔහු අර උරුමය අතුගෑවිලා යන පරිදි නියම අධර්මිෂ්ට පාලනයක් ගෙන ගිය බව අපි දනිමු. ඉන් පසුව පත් වූ එක්සත් ජාතික පක්ෂ නායකයින් කළේ සුළු වෙනස්කම් සහිත වුවත්  ජයවර්ධන පෙන්වූ මගෙහිම ඉදිරියට යාමයි.

ඉන් පසු ලාංකීය ජනතාව මහත් හරසරින් ශ්‍රී ලංකා .නිදහස් පක්ෂය පැත්තෙන් පිළිගත්තේ ඒරොප්පෙන් පාත් වූ චන්ද්‍රිකා ය. මෙරටට සාමය උදා කරමින් සිය මව හා පියා ගත් මගෙහි ඉතිරිය එහි වූ අඩුපාඩුද නිවැරදි කරමින් ගමන් කරනු ඇතිය යන බලාපොරොත්තුවකිනි මෙරට ජනතාව ඇයව බලයට පත් කරන ලද්දේ. නමුත් ඇය බලයට පත් කිරීම පණිස ඇය වටා සිටි එන්,ජී.ඕ නඩය මෙරට ජනයා නොදුටූහ. එංගලන්තයේ සිට ඇය මෙහි කැටුවාගෙන ආයේ අනෙකක් සඳහා නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය  බිහි වූ සහ එය ගොඩනැගුණු දේශජ ජාතිකත්ව පදනම වෙනස් කර දැමුමටයි. බලය තිබෙන තාක් එය ජලයේ ගිල්වූ රබර් පන්දුවක් මෙන් යට කර තබා ගත හැකි හැකිවූවා මිස එය වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හෝ නොහැකි විය.

මහින්ද යුගය


ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කර ගන්නේ නැවත වරක් ඒ නිවැරදි පදනම දෙස බලමිනි. ඒ වන විට රනිල් මෙන්ම චන්ද්‍රිකා ද ඒකීය ලංකාවක් යන මතය බැහැර කර සිටියහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒකීයත්වය පිළිගෙන කටයුතු කළේය. චන්ද්‍රිකා බටහිර ගැති අවජාතක එන්. ජී ඕ. කාරයන් විසින් අභිෂේක කරන ලද්දියක වූව මහින්ද අභිෂේකත්වය ලැබුයේ මෙරට ජාතිමාමක  සුජාත  දූ පුතුන් විසිනි.

මෙලෙස ලාංකිකයන් විසින් සිය නායකයන් තෝරා ගැනීම දෙස විමර්ශනාත්මකව බලන අමරසේකරයන් පෙන්වා දෙන්නේ මෙරට ඉමහත් බහුතරය වූ සිංහල-බෞද්ධයන් විසින් තමන්ට අහිමව .ගිය ජාතික උරුමය- මානව හිතවාදී සමාජවාදී සමාජය ලබා ගැනීම සිය එකම ප්‍රාර්ථනය කර ගෙන ඇති බවයි. ප්‍රජාතන්ත්‍ර මාර්ගයෙන් බැරිනම් හිංසන මගින් හෝ එය ඉටු කර ගැනුමට ඔවුන් පසුබට නොවන බවයි.

ඊළාමය විනාශ කර රට එක්සේසත් කිරීමෙන් පසු ජනතාව මෙවර මහින්ද රාජපක්ෂ අසීමිත බලයකින් යළි පත් කර ඇත්තේ කළගුණ සැලකීමක් වශයෙන්ම නොවේ. ඒ ලබාදෙන අසීමිත බලය මඟින් අපගේ සිංහල-බෞද්ධ ජාතික උරුමය ඉදිරියට ගෙන යනු ඇතිය යන විශ්වාසය උඩයි. කළගුණ සැලකීම අපගේ පෞද්ගලික සබඳතාවලට බලපාන ආචාර ධර්මයක් විනා දේශපාලන ක්ෂේත්‍රය තුළ බලපාන ආචාර ධර්මයක් නොවන බව මේ වන විට මේ රජය අවබෝධ කරගෙන ඇතැයි සිතමි. [කවන්ධයට හිසක්]

වැරදුනු තැන

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වය රෙද්ද, බැනියමට, බතට, බුලතට සීමා වූවක්ය යන්න අතිශයෝක්තියක් නොවන බව අපගේ වැටහීමයි. ජාතිකත්වය මත පදනම්ව මෙරටට අවැසි සාකල්‍යය දැක්මකින් සමාජ ආර්ථික දේශපාලන දර්ශනයක් හා බැදුනු ප්‍රායෝගික ගමන් මගක් බිහි කර ගැනුමට එම පක්ෂය අසමත් වී ඇත. එවැන්නක් පිළිබඳ ඔවුනට විශ්වාසයක් තිබෙන සෙයක් දක්නට නැත. අමරසේකරයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස නැති කවන්ධයක් ලෙස කලෙක සිට හඳුන්වන්නේ එබැවිනි. එවැනි සංවාදයක් තබා රාජ්‍යය ආයෝජනයන්හි ප්‍රමුඛතා පිළිබඳ පලදායි සාකච්ඡාවක්වත් අද මේ රට තුළ නැත. පාක්ෂිකයන්, මන්ත්‍රීන් හැම එකාම පාහේ අත උස්සන නිවටයන් පමණි. දේශපාලනඥයන් එහෙයියන් වන විට බුද්ධිමතුන් හෝයියන් බවට පත්ව ඇත.

එනිසා සිය ජාතික උරුමය යළි පාදා ගැනීමේ අවිඥානික ජනතා පැතුමත්, රජයේ ක්‍රියාකලාපයත් අතර පරතරයක් ඇති වී ඒ පරතරය දිනෙන් දින වැඩි වෙමින් යයි. ඒ පිළිබඳ තැකීමක් නැති දේශපාලකයෝ දේශපාලන දැක්මකින් තොරව සිය කාර්යයන් නිලධාරීන් වෙත පවරා සැමදා ජනතාව තමන්ට කළගුණ සලකතැයි යන දුර්මතයෙහි එල්බ සිටිත්.

නූතන ලංකාවේ පියා

මේ තත්වය යටතේ මෑතකදී රජයේම ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටියේ නූතන ලංකාවේ පියා තවමත් ජේ ආර් ජයවර්ධන බවය. එ‍ය නිවැරදි නිගමනයක් යනු අපගේ ද හැඟීමයි. කවන්ධයට උචිත හිසක් සෙවීමට වුවමනාවක් තිබුනි නම් ඒ තත්වය වෙනස් කර ගැනුම සඳහා සංවාදයක් මෙරට තුළ ඇති කරවීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධාන රජය මඟින් යුද්ධයෙන් පසුව කටයුතු කළ යුතුව තිබුණි. නමුත් රජයට සංවාද අවැසි බවක් වත් මෙහි ජනයා එවැනි සංවාදයක් ඉල්ලා සිටි බවක් වත් නොපෙනිණි. යථාර්තවාදී සංවාදයක් ගොඩනගනු වෙනුවට ආශ්චර්යයෙන් ජනතා දෑස් නිලංකාර කරවීමට රුචි සෙයකි රජය පැත්තෙන් දිස් වන්නේ. ජනතාවගේ පැත්තෙන් පෙනෙන්නට තිබුනේ යුද්ධය අවසන් කරවීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඔවුන් අභියසට නැවත වරක් සපැමිණි මහා පැරකුම් නිරිඳුන් සේ සළකා ඔහුට ඕනෑ දෙයක් කරන්නට දී ඔහු විසින් මෙරටට අවැසි සුබසෙත සළසා දීමට කටයුතු කරතැයි යන පූර්ණ නිගමනයෙහි එල්ඹ කටයුතු කිරීමයි. එබැවින් යුද්ධයෙන් පසු මේ දක්වා කාලය අසංවාදිතව අර හිස නැති කවන්ධයට හිස සෙවීම පසෙක තබා ඒ හිස නැති ගෙල රන් මාල පළඳන යුගයක් බවට පත්විය.

මේ අවාසනාවන්ත තත්වයට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් විපක්ෂයේ කිසිදූ  දේශපාලන පක්ෂයක් විසින් එවැනි හරවත් සංවාදයක් බිහි කිරීමයට කටයුතු නොකිරීමයි. එක්සත් ජාතික පක්ෂයට කවදත් සරු සංවාදයකට සහභාගී වීමේ හැකියාවක් තිබී නැත. නව ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ජනතාවට වසං කරමින් බටහිරට අවැසි ලෙස ගෙනයන හොර න්‍යාය පත්‍රයකි. ජාතිකත්වයන් දියකර හැරීමට යම් මතයක් ගොඩනැගීමට තැත් කිරීම ඔවුනට බාර වී ඇති සෙයක් කල්පනාවෙන් ඔවුන්ගේ දේශපාලන හෑසිරීම් නිරීක්ෂණය කරන්නකුට වටහා ගැනීම අපහසු නැත.

ඒ කෙසේ වෙතත් රජය සිය ජනවරමට අනුකූලව කටයුතු කළේ නම් තවමත් පියා ජයවර්ධන නොවිය යුතුව තිබුනි. මේ වන විට නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව තිබුනි. දැන් ගෙන යන ආර්ථික ක්‍රමවේදය  මීට වඩා බෙහෙවින් වෙනස් එකක් වන්නට තිබුනි. ජනතාවට මුව අයාගෙන ආණ්ඩුව විසින් ගෙනෙන ආශ්චර්යය දෙස බලා සිටිනු වෙනුවට එය වඩා සාමූහික ප්‍රයත්නයක් විය යුතුව තිබුනි.

නූතන ලංකාවේ පියා ජයවර්ධන නම් මහින්ද කවුද? මහින්ද මෙන්ම මුළු මහත් සමාජයම ජයවර්ධන පුත්‍රයන් බවට පත්වී නැතිද? එම තත්වය වෙනස් කර අපගේ උරුමය යළි පාදා ගැනුම පිණිස බලයට පත් කළ මහින්ද, ජයවර්ධනගේ සුජාත පුත්‍රයෙක් ලෙස හැඳින්විය හැකිද?

හිස සෙවීමට අරඹමු


මෙවැනි තත්වයක් උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති කවන්ධයට උචිත හිස සොයා ගැනීම පිණිස අවැසි වන බුද්ධිමත් පිරිසක් එම පක්ෂය තුළ නොමැති වීම නිසා යයි සිතමි. ඒ වෙනුවට එහි ඇත්තේ දේශපාලන ගේම් කාරයින් කිහිප දෙනෙකුය. ඔවුනට එවැනි සංවාදයක් සමාජගත කිරීමට ශක්‍යතාවක් නොමැත. ඔවුන් ඊට වඩා දක්ෂ අර දේශපාලන ගේම ගහන්නටය.

කෙසේ නමුත් ඌවට නාම යෝජනා භාර දීමට පෙර අවසන් මොහොතේදී නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කෙරුමට ජාතික නිදහස් පෙරමුණ හා එකඟතාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණ තිබේ. එය කවන්ධයට අවැසි හිස සොයා යෑම සඳහා තැබුනු ප්‍රථම පියවර ලෙස හැඳින්විය හැකි වුවත් ඒ සා බරපතල තීරණාත්මක එකඟතාවයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන ආවේ බල්ලන් නාවන්නට ඇදන් යන ආකාරයකට බවකි පෙනෙන්නට ඇත්තේ. මෙවන් වටපිටාවක් තුළ එම එකඟතාවට පිවීසීම කොතෙක් දුරට සත්භාවයෙන් සිදුවුනිදැයි යන්න සැක සහිතය.

මෙහිදී ඔබට හා මට පැවරෙන වගකීමක් ඇත. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කැර ගැනුම පිළිබඳ කතිකාවත් ඇරඹීමට දායක වීම එම යුතුකමයි. රටට එරෙහිව කටයුතු කරන්නට රට රටවල බඩගෑමට ඕනෑ තරම් විද්වතුන් ඇති මුත් ජනතාව අබියසට පැමිණ එවන් ප්‍රගතිශීලී සංවදයකට තම බඩ වියත ගැන නොතකා දායක විය හැකි විද්වතුන් අතළොස්සගෙන් අපි ඉතා ගෞරවාදර භක්තියෙන් ඉල්ලා සිටින්නේ ඒ යුතුකම වෙනුවෙන් නැවත වරක් පෙළ ගැසෙන ලෙසයි. ඇතැම් බල්ලෙක් අමාරුවෙන් හෝ ඇළට දමා ගත් විට එහි පීන පීනා නාන්නේ ඉතා ආශාවෙන් එහි පැනගත් එකෙකු ලෙසය. නාන්න එපා කී අනෙක් උන්ද එවිට එහිම පැන නාන්නේ දියබුංද ගසමින් බව ඔබ හා අපි අත්දැකීමෙන් දනිමු.

මහින්ද රාජපක්ෂ පසු ගිය කාලයේ නිතරම පැවසුවේ යුද්ධය තවත් පරම්පරාවකට උරුම නොකරන බවයි. ඒ කිරීමට ඔහු හා රණවිරුවෝ සමත් වුව අද කළ යුතු මේ වෙනස් කම් නොකොට එදා වේල දේශපාලනයෙන් සෑහීමකට පත් වී ඇදගෙන යන්නට සිතුවොතින් තවත් පරම්පරාවකට ඒ යුද්දය නැතත් වෙනත් යුද්දයක් උරුම වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති හිස නැති කවන්ධයට උචිත හිස සොයා ගැනීමට පමා වී හෝ අවංක ප්‍රයත්නයක යෙදිය යුතුය. ඒ හිස සවි කරගත් දාට ඒ පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ පැත්තට අරගෙන උන්ට සන්තෝෂම් දී ගෙන කර ගෙන යන මජර දුර්ගන්දිත දේශපාලන සංස්කෘතියෙන් ගොඩ ඒමට හැකිවනු ඇත. අධර්මිෂ්ට රාජ්‍යයට තිත තැබීම දැන් ආරම්භ කළ යුතුය. ඒ සඳහා ලිච්ඡවීන් මෙන් නිතර නිතර එක් රැස්ව සාකච්ඡා කරමු.

මහින්ද, තවත් ජයවර්ධන පුත්‍රයකු විය යුතු නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. හොදට ලියල තියනවා.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජාතිකත්වය නියෝජනය කල / කලයුතු පක්ෂය කියල ශ්‍රී ලංකා කාරයෝ වත් දන්නේ නැ මම හිතන්නේ  

    ReplyDelete
  2. සුදු පුතා8/19/2014 1:54 PM

    //මෙහිදී ඔබට හා මට පැවරෙන වගකීමක් ඇත. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කැර ගැනුම පිළිබඳ කතිකාවත් ඇරඹීමට දායක වීම එම යුතුකමයි. රටට එරෙහිව කටයුතු කරන්නට රට රටවල බඩගෑමට ඕනෑ තරම් විද්වතුන් ඇති මුත් ජනතාව අඹියසට පැමිණ එවන් ප්‍රගතිශීලී සංවදයකට තම බඩ වියත ගැන නොතකා දායක විය හැකි විද්වතුන් අතළොස්සගෙන් අපි ඉතා ගෞරවාදර භක්තියෙන් ඉල්ලා සිටින්නේ ඒ යුතුකම වෙනුවෙන් නැවත වරක් පෙළ ගැසෙන ලෙසයි. ඇතැම් බල්ලෙක් අමාරුවෙන් හෝ ඇළට දමා ගත් විට එහි පීන පීනා නාන්නේ ඉතා ආශාවෙන් එහි පැනගත් එකෙකු ලෙසය. නාන්න එපා කී අනෙක් උන්ද එවිට එහිම පැන නාන්නේ දියබුංද ගසමින් බව ඔබ හා අපි අත්දැකීමෙන් දනිමු.//

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions