10/23/2014

කුරුළු හදවත නොදුටු විරු හදවත

කතෘ:යුතුකම     10/23/2014   6 comments
මේ පසුගිය 8 වැනිදා අප හට කියවන්නට ලැබුනු පුවතකි.

"කිලිනෙච්චිය ප්‍රදේශයේ අඩි 15ක් පමණ ජලයෙන් පිිරී තිබූ වගා ළිඳකට හදීසියේම වැටුනු අවුරුද්දකුත් මාස 6ක් වයසැති කුඩා දරුවෙකු යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු විසින් එම ළිඳට පැන දරුවාගේ ජීවිතය බේරා දීමේ වීර ක‍්‍රියාවක නිරත වී ඇත.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 57වන සේනාංකයේ 574 වන බලසේනාවට අයත් ගම්මානයක පිහිටි වගා ළිඳකට අවුරුද්දකුත් මාස 06 ක් වයසැති සිවකුමාර් සිංදුජන් නැමති කුඩා දරුවා 6 දා සවස හදීසියේ වැටී ඇති අතර මේ පිළිබඳව දැනගත් දරුවාගේ මව විලාප නගන්නට විය. මෙම විලාපය, 574 වන බලසේනාවේ ගජබා රෙජිමේන්තුවේ සේවයේ නිරත කෝප‍්‍රල් විජිත පෙරේරා සහ කෝප‍්‍රල් ඞී.එම්.ලීලාරත්න යන සෙබලූන් දෙදෙනාට ඇසීමෙන් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවේදීම අදාල ස්ථානයට දිව ගොස් ඇත. ළිඳ තුලට වැටී සිටි දරුවා ළිඳට වැටි තිබූ ළනුවෙ පැටලී ඇති අතර මේ හේතුව නිසා සුලූ වේලාවක් දරුවා ජලයේ පාවෙමින් සිට ඇති නමුත් දරුවාගේ දැඟලීම නිසා දරුවාට  දැඩි ලෙසින් වතුර පෙවී ඇති බවත් සුලූ වේලාවකින් දරුවා ගිලීමට යන අයුරුත් ඔවුන් දෙදෙන දැක ඇත. අඩි 25ක් පමණ ගැඹුරින් යුතු වගා ළිඳට බැසීම සඳහා ළිඳෙහි තිබූ කඹය ගෙන උත්සහයක නිරත වුවද ප‍්‍රමාද වීමෙන් දරුවාගේ ජීවිතය අහිමි වන බව දැන ගත් සෙබලූන් දෙදෙනා එම අවස්ථාවේදීම ළිදේ ලණුව කටින් අල්ලා ළිඳට පැන ඇති අතර දරුවා බේරා ඉතා ඉක්මණින් ගොඩට ගෙන දරුවාට පෙවී තිබූ ජලය උදරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත."

මෙම හමුදා සෙබළුන් දෙදෙනාටද දරුවන් සිටිනවා විය හැකිය. ඒ කිරි සප්පයා බේරන්නට යාමේදී තමන්ගේම ලෙයින් උපන් දරුවනට පියා අහිමි වීමේ අවදානමක් තිබුනි. නමුත් ඒ බව සිතා මේ  දරුවා අමතක කර දැමීමට නොහැකි ආකාරයේ උතුම් හෘද සාක්ෂියකින් මේ  මිනිසුන් දෙදෙන  සන්නද්ධය. සිය රාජකාරී සීමාවෙන් ගව් ගණනක් ඔබ්බට ගොස් මිනිසාට සේවය කරන මේ දෙවි මිනිසුන් පිළිබඳ පුවත් අපට අසන්නට ලැබුනු පළමු සහ අවසාන අවස්ථාවද මෙය නොවේ. සැබැවින්ම රණ විරුවන් පසුගිය දශක කිහිපය පුරාම සිය දිවි පරදුවට තබා රට, දැය, සමය බේරා ගැනීමට කටයුතු කළ ආකාරය සහ ඒ මහා කැපකිරීමේ කතන්දරය පිටුපස ඇති අභීත සිංහ හදවත් සංකේතාත්මකව පිළිඹිබු කරන්නකි මේ සිද්ධිය. මේ විරුවන් නිසා අද අපි බිය සැක නැතිව මහමඟ දෙපයින්, බසයෙන්, දුම්රියෙන් හෝ වෙනත් වාහනයකින් හෝ ගමන් කරන්නෙමු. පිළිස්සී ගිය මළ කදන් රූප පෙට්ටියේ නොදකින රටක අපි ජීවත් වන්නෙමු. එහෙත් ඒ සැනසීම පොදුවේ අප සැවොටම ලබාදීම වෙනුවෙන් ඔවුනට සිය ජීවිත කැප කරන්නට සිදු විය.

ඔවුහූ අන් අය වෙනුවෙන් සිය දිවි කැප කළහ. ඔවුන් ආදරය කරන සිය පවුලේ සාමාජිකයින් හා තිබිනු බැදීම මරණයේ අවිනිශ්චිතතාවෙන් නිරන්තරයෙන් වෙලී තිබුනි. එම අවිනිශ්චිතතාව විසින් ඒ සියළු දෙනාගේම හදවත් ඉසිළිය නොහැකි ආකාරයේ බරකින් පුරවා තැබීය. රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් හෝ හමුදා සාමාජිකයින් මෙපමණක් මිය ගොස් ඇති බව අසන සැම මොහොතකම, ඒ අතර තම පියා, සැමියා, පුතා සිටීදැයි යන සන්ත්‍රාසයෙන් ඔවුන්ගේ හදවත් ගල් ගැසී නැවතුනි. ඔවුන් නැවත බාගෙට හෝ හුස්මගන්නට පටන් ගත්තේ ඔහුගෙන් යම් පණිවුඩයක් ලද පසුය. ඒ වේදනාව,  ඒ අවිනිශ්චිතතාව වචනයට නැගීමට අප අසමත් වන්නෙමු.

ඔවුන් එසේ කැප කිරීම් කොට යුද්ධය නිම කළ නිසා මිනිස්සු බිය සැක නැතිව අද ඇවිද යති. සෙනඟ රැස් වන තැන්හි බිය සැක නැතිව කාලය ගත කරති. පසුගිය දා බණ්ඩාරනායක අනුස්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයටද ඒ නිදහස භුක්ති විදින මිනිස්සු බුරුතු පිටින් එක් රැස් වී පොත් මිලදී ගත්හ. සම්මානයෙන් පුදනු ලබන පොත්, එසේ ලැබුනු සම්මානය ඒ පොත හොඳ පොතක් බවට නිර්ණායකයකැයි යන ස්වාභාවික තත්වයන් යටතේ සාධාරණ තර්කයට අනුව සිතා ඒවා වැඩිපුර මිලදී ගනිති. ඒ අනුව කුරුළු හදවත පොත් ප්‍රදර්ශනයෙන් මිලට ගත් මිතුරෙකු ඒ මට ගෙනත් දුනි. එය කියවීමට පටන් ගතිමි.

කුරුළු හදවත යනු මෙවර හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්ථක සම්මානයෙන් පුදනු ලැබූ පොතයි. ආචාර්ය ලියන්ගේ අමරකීර්ති ඔහුගේ කුරුළු හදවත කතාවේ පළමු පිටේම මෙම කොටස ලියා තිබුනි.

"කල්පනාවෙන් බරව ගෙදර එන අතරෙ ඔහුට මතක් උනේ ඔහුගෙ යාලුවන්ට ගිය අවුරුද්දෙත් මතක් උන දේ. ඒ තමයි හමුදාව. අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව.

විභාග දෙපාර්තුමේන්තුවයි හමුදාවයි අතර රහස් ගිවිසුමක් තියෙනවා වගේ දෙපාර්තුමේන්තුව අසමත් කරන අය හමුදාව බඳවාගෙන ඔවුන්ගෙ සමත්කම් මතුකරලා පෙන්වනවා. දිනසිරිත් හිතුවා ඒකම තමයි විසඳුම කියලා."

කෘතියක් මඟින් පිළිඹිබු කෙරෙන දේශයක හා කාලයක කාරණා බොහොමයක් අතරින් සිය කෘතියකට යමෙකුට වෙසෙසින්ම කැඳවාගෙන ආ හැකි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. එනිසා කතුවරයෙකු විසින් ඒවා ඉතා ඕනෑකමින් තෝරාබේරා ගත යුතුවේ. ඉහත උපුටා දැක්වූ අසමතුන් පිළිබඳ කොටස මෙම කතාන්දරය හා යාවජීවව බැදී නැතිය. "අසමත් කොල්ලන්ට තමන් සමත්කම් ඇති කොල්ලො කියල පෙන්නන්න තියෙන හොඳම අවස්ථාව: හමුදාව" යන්න දිනසිරිට සිතෙන සිතුවිල්ලක් නොවන බව මේ කොටස කියවීමෙන් පැහැඳිළි වේ.

මේ කෘතියේ කිසිදු චරිතයකට, පරිසරියකට හෝ අවස්ථාවකට එම කොටස් නෑකම් නොකියයි. නමුත් එය අසම්බන්ධිත නොවන බවද පෙනී යයි. එසේ නම් ඒ සම්බන්ධය කුමක්ද? එම සම්බන්ධය වන්නේ එවැනි අවස්ථාවක්, වඩා පොදු තත්වයකට ගෙන එනම් දිනසිරි වෙනුවෙට "ලංකාවේ ගැමි කොල්ලන්" සමූහය සළකා ඒ පිළිබඳ පොදු තත්වයක් ලෙසින් මේ බව කියා පෑමයි.  ඒ ආචාර්ය අමරකීර්තිට සිතෙන අයුරු එලෙසම ලියා තැබීමකි. එමගින් පැහැඳිළි වන්නේ මෙම අදහස් කියා පෑමේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයෙන් කතුවරයා පෙළී ඇති බවයි. එය සිය නිර්මාණය තුළට එනම් දිනසිරිගේ චරිතය තුළට කැටුවාගෙන ඒමට ප්‍රමාණවත් තරම් ශික්ෂණයක් ඔහු තුළ නොවූ බවයි. ඊට වඩා ඔහුට වැදගත් වී ඇත්තේ ඔහුගේ සිතේ පහළ වූ මේ උදාන වාක්‍යය කඩිමුඩියේ කාටත් හොඳට පෙනෙන්න ලියා තැබීමයි.

එමගින් මෙහි නිර්මාණාත්මක අගය අඩුවන බව අපේ තක්සේරුව වුවත් මෙහිදී අප මේ ලිපිය තුළ සාකච්ඡාවට ගන්නේ ඒ අගය නිර්ණායකයට අදාළ සාහිත්‍යය විචාරකයාට අයිති කාරණය නොව. අපට වැදගත් වන්නේ මෙම වාක්‍යය කිහිපය හරහා පිළිඹිබු වන ආචාර්ය ලියනගේ අමරකීර්ති මේ රටේ රණ විරුවන් පිළිබඳ කිසියම් ආකල්පයක් සිය පාඨකයන් වෙත රැගෙන එන ආකාරයයි. 

මෙවර රාජ්‍යය සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම කෙටි කතා සංග්‍රහය වූ ගුණදාස අමරසේකරයන්ගේ
කියනු මැන දිවි අරුත කෘතියෙහි 'මහ ගෙදර සොයා ආ ගමන' නම් කෙටි කතාවේ මේ දෙබස් කාණ්ඩය ඉහත අමරකීර්තිගේ කොටස හා සංසන්දනය කරනු වටී.

"දැන් කවුද ගෙදර ඉන්නේ?"

"මායි බාල කොලුවයි විතරයි... මහත්තයට ආරංචි ඇතිනේ අපට වුණු දේවල්."

"වැඩිමහල් හාදයා යාපනේ දී බෝම්බෙකට අහු වුණු බව ආරංචි වුණා."

"ඒ දවස්වල ජේ. වී. පී. කර කර ඉඳලා රට බේර ගන්න ඕනයා කියලා හමුදාවට ගියා... අවුරුද්දක් වත් යන්න නැතුව ඇති බෝම්බෙට අහු වෙන කොට. අපි දැන ගත්තෙත් සුමාන ගණනකට පස්සේ.. මිනියවත් දකින්න හම්බු වුණේ නැහැ."

එම කෙටි කතාවේ සමුදයාර්ථයට ඉතා අවැසි කාර්යයක් ඉහත දෙබස මඟින් ඉටු වන අතර දෙබස තුල කතුවරයාගේ මිනිස් ගුණය අවිඤාණිකවම රැකී ඇත. අමරසේකරයන්ගේ හමුදා  සොල්දාදුවා හමුදාවට ගොස් ඇත්තේ රට බේරා ගන්න ඕනා කියාය. නමුත් අමරකීර්තිට අනුව කොල්ලන්ට හමුදාව මතක් වන්නේ විභාගය අසමත් වූ විටය.

අමරසේකරයන්ගේ මිය ගිය හමුදා සෙබලා ද ආර්ථික දුෂ්කරතා තිබූ අයෙකි. වෙසෙසින් සඳහන් නොකළද ඔහු විභාගය අසමත් වී තිබිය හැකිය. නමුත් ඔහු හමුදාවට ගොස් ඇත්තේ මේ රට බේරා ගන්නට ඕනෑය කියාය. කතුවරයා තම නිර්මාණයට කැදවාගනේ ඒ කාරණයයි. ඔහුගේ චරිතයෙන් වත්මන් පාඨකයා සංවේදී විය යුතු එක් ප්‍රධාන කාරණයකි එය.

නවකතාකරුවෙකු වේවා නාට්‍යකරුවකු වේවා මේ කවුරුත් මිනිසුන්ය. අද මේ බිමේ මිනිසුන් නිදහසේ වෙසෙන්නේ හමුදාවට බැදුනු මිනිසුන් කළ අමිල කැප කිරීම උඩයි. ඉතින් මිනිසෙකු නවකතාවක් ලියද්දී ඒ කෘතවේදීත්වය අත්හළ හැකි නොවේ. තවත් අතකින් වත්මන් යුගයට සවිඥාණිකත්වයක් ඇති කලාකරුවෙකුගෙන් ඉටුවිය යුතු කාර්යයක්ද වනුයේ ඒ පිළිබඳ අනෙක් මිනිසුන්ද වඩා සවිඤාණික කොට වඩාත් සංවේදී කරවීමයි. අමරකීර්තිට යුධ විරෝධියෙකු වීමට අයිතියක් ඇත. නමුත් ඔහුට හමුදා සෙබළා අවඥාවට ලක් කිරීමට අයිතියක් ඇතිද? සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹුවා නම් ඒ කෘතවේදීත්වය ඉතා සියුම් ලෙස කලා නිර්මාණයකට එක් කරන්නේ කෙලෙසදැයි අදහසක් ආචාර්ය අමරකීර්තිට ලබා ගන්නට තිබුනි.

ලංකාවේ කොල්ලන් වැඩි වැඩියෙන් හමුදාවට බැදුනේ එකා මත්තේ එකා මිය යමින් යුද්ධය සිදුවන අවස්ථාවලදීය. සාම සාකච්ඡා හෝ සටන් විරාම හෝ පවතින වකවානුවල රජයන් මඟින් ප්‍රයත්න දැරූවද හමුදාව හා එක්වූයේ ඉතා අඩු පිරිසක් පමණි. අනෙක් අතට විභාගය අසමත් වන අයගෙනුත් හමුදාව හා එක්වනේ ඉතා සුළු පිරිසක් බව අමරකීර්ති නොසළකා හරියි. හමුදාව හා එක්වන්නන්ට ඇත්තේ හුදු පෞද්ගලික අපේක්ෂා පමණක්ම නොව. මේ රට බේරා ගැනීමට තමා ඉදිරිපත් විය යුතු බවට අභීත හැඟිමක්ද සිත් කොනක හෝ ඔවුනට තිබුනු බවක් අමරකීර්තිලාට සිතෙන්නේ නැත. එය හුදු ආර්ථික හා පෞද්ගලික මමත්වය හා බැදුනු ක්‍රියාවක් ලෙසය ඔවුන් දකිනුයේ. කෙතරම් ආර්ථික හෝ සමාජීය හෝ පීඩනයන් තිබිනද ලංකාව වැනි බිහිසුණූ යුද්ධයක් පැවති රටක හමුදාවට බැදීම සඳහා වීරත්වයක්, නිර්භීත බවක් අවැසි බව අමරකීර්ති මහතාට පසක් වී නැති වීමට අමතරව හමුදාවට බැදෙන්නන් අසමතුන් ලෙස උළුප්පවා දැක්වීමට ද ඔහු අකෘතඥ වී ඇත.

එහෙත් ඔහු ඉඟිල්ලෙන මාළුන් මෙන් නරුම ලෙස සිය මතය එළියට දමා නැති බව පැහැඳිලිය. ඔහු උත්සාහ දරන්නේ පොදුවේ කාටත් සාධාරණ යැයි පෙනෙන ආකාරයකට එය ගෙන ඒමටයි. කොළේ වහලා ගහනවා යයි කියමනක් තිබේ. "අපි වෙනුවෙන් අපි" නොවන බවට අමරකීර්ති ගහන්නේ කොළේ වහලාය. කොළේ වසා ගැහීමෙන් ස්වර්ණ පුස්ථක සම්මානද දිනා ගත හැකිය.

ඉහත කුඩා දරුවෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ හමුදා සෙබළුන් දෙදෙනා විසින් සංකේතාත්මකව මෙන් නිරූපණය කළ මේ රට බේරා ගැනීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූ මේ කොල්ලන් සතු වූ අධ්‍යාත්මික ගුණය,  ආචාර්ය අමරකීර්තිගේ කුරුළු හදවතට තවම දැනී නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

10/19/2014

ගමනක මුල - නවකතා මාලාව ඉතිහාසයට නව අර්ථකතන සැපයූ, සාහිත්‍යය ක‍්‍රියාවලියක් - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     10/19/2014   1 comment
ගුණදාස අමරසේකර සාහිත්‍යයවේදියාගේ ‘‘ගමනක මුල’‘ සිට ‘‘ගමනක අග’’ දක්වා වූ නවකතා මාලාව පිළිබඳ පැවති සංවාදයකදී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් සිදු කල දේශනය.
-----
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා එක්ව ගුණදාස අමරසේකර මහතාගේ ‘‘ගමනක මුල’’ සිට ‘‘ගමනක අග’’ දක්වා වූ දැවැන්ත නවකතා මාලාව මූලික කොට ගෙන මෙවැනි සංවාදයක් පැවැත්වීමට කටයුතු කිරිම පිළිබඳ පළමුවෙන් ම එම දෙපළට ස්තූතිවන්ත විය යුතුය.

මෙම නවකතා මාලාව පිළිබඳ (ඇත්ත වශයෙන් ම ‘‘නවකතා මාලාව’’ යන යෙදුම නිවැරදි නැත. මන්ද මෙය කාණ්ඩ කිහිපයක් ලෙස පළ කළ එක ම නවකතාවකි.) ඉහත අර්ථයෙන් ගත් කල කේ. එන්. ඕ. ධර්මදාස මහතා කළ ප‍්‍රකාශය: එනම්, මෙහි ඇතැම් කාණ්ඩ නීරස බව සහ වාද විවාදවලින් ම පිරි ඇති බව එතරම් ම හරයක් ඇති ප‍්‍රකාශයක් නොවේ.
මෙහි කාණ්ඩ එක් එක් අවස්ථාවන්හි පළ වුව ද අප සැලකිල්ලට ගතයුත්තේ සමස්ථය යි. ටොල්ස්ටෝයිගේ ‘‘යුද්ධය සහ සාමය’’ එක් අවස්ථාවක පළ වී තිබෙන්නේ කාණ්ඩ දහයක් වශයෙනි. තවත් අවස්ථාවක එය පළ වී ඇත්තේ කාණ්ඩ තුනක් වශයෙනි. එනිසා මෙම කෘති මාලාවේ එක් කාණ්ඩයක රස නීරස පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීම අර්ථ සම්පන්න නොවේ යැයි සිතමි.

නැවතත් අදාළ මාතාකාවට පිවිසෙමු.
මා කලින් සඳහන් කළේ අමරසේකර මහතාගේ ගමනක මුල නවකතා මාලාව පිළිබඳ මෙවැනි සංවාදයක් පැවැත්වීම කාලෝචිත බවයි. ඒ ස`දහා මූලික කරුණු තුනක් ඇතැයි මා අදස් කරමි.

x විවිධ සාහිත්‍යාංගයන්ට වෙනස් වූ ශක්‍යතාවන්, වෙනස් වූ කාර්යභාරයන් තිබෙන බව අපේ පරපුරට වටහා දුන් විද්වතා අමරසේකර වීම.
x කවියෙන් නවකතා ලියන්නට උත්සාහ කිරිම මෙන්ම ගද්‍යයෙන් කවි රචනා කළ පළියට එය නවකතාවක් නොවන බව කියාපෑමට පෙරට පැමිණියේ අමරසේකර වීම.
x නවකතාවේ සුවිශේෂත්වය: එය නිශ්චිත සමාජයක, නිශ්චිත කාලවකවානුවක සිදුවන්නක් විය යුතු බව, එනම් නවකතාව සහ ඉතිහාසය අතර සබැඳියාව අවධාරණය කළේ ඔහු වීම.

එහි දී ඔහු කේ‍්‍රම්බි‍්‍රජ් සරසවියේ මහාචාර්ය ග‍්‍රැහැම් හෆ් උපුටා දක්වමින්: ‘සැම නවකතාවක් ම ඓතිහාසික නවකතාවක්’ යන්න සහ ඊට අදාළ පැහදිලි කිරිම් ද මාක්ස්වාදී විචාරකයන්, විශේෂයෙන් ජෝර්ජ් ලූකාෂ් උපුටා දක්වමින් ‘ඓතිහාසිකත්වය’ නවකතාවකට කෙතරම් වැදගත් මෙහෙවරක් ඉටු කරන්නේ ද යන්නත් අප හමුවේ කියාපෑවා. මෙම කරුණු අරබයා යම් වැරදි අදසක් වෙත යොමු නොවනු ඇතැයි මා විශ්වාස කරමි. මෙයින් කියවෙන්නේ මනුෂ්‍යත්වය නොසලකා හැරිමක් පිළිබඳ නොවේ. ඉන් හැඟවෙන්නේ මනුෂ්‍යත්වය පිලිබ`ද අවබෝධය උදෙසා නවකතාකරු කරනු ලබන අරගලය සමාජය විනිවිද දැකීමට දැරූ ප‍්‍රයත්නය හා බැඳි පවතින බව යි.

මේ නවකතාමාලාව නිර්මාණය කිරීම අපගේ නූතන ඉතිහාසය පිළිබඳ නව දැනුමක් නිර්මාණය කිරිම වෙනුවෙන් කළ ප‍්‍රයත්නයකි. අනගාරික ධර්මපාලතුමා පිළිබඳ, 1956 පිළිබඳ සහ 71 නැගිටීම පිළිබඳ නව අර්ථකතන සැපයීමක් මෙම නවකතා දාමය නිර්මාණය කිරිම මගින් සිදුවිය. එක් එක් සිද්ධීන් හුදෙකලාව සැලකීම පසෙකලා ඒ සියල්ල ඓතිහාසික කි‍්‍රයාදාමයක ඵල ලෙස දැකීමට අප පෙළඹ වූයේ ඉන් අනතුරු ව ය. ඒ අනුව සලකා බැලූ විට මෙම නවකතා දාමය අපගේ නූතන ඉතිහාසය වෙනස් කළ සාහිත්‍යය නිර්මාණයකි. මෙරට නූතන ඉතිහාසය ලෙස පිළිගැනුණු කරුණු ප‍්‍රශ්න කර නව දැනුමක් නිරිමාණය කළ නවකතාවකි.

මීට අමතර ව වෙනත් අර්ථයකින් ද මෙම නවකතාමාලාව අපේ නූතන ඉතිහාසය වෙනස් කර ඇත. එනම්, පෙර සඳහන් කළ: වැරදි ආකාරයට අර්ථ ගැන්වුණු ඉතිහාසය නිවැරදි කර තිබෙනවා ය යන අර්ථයෙන් නොවේ. මේ කතා පෙළ ලියැවෙද් දී රටේ සිදුවෙමින් පැවති ක‍්‍රියාදාමය වෙනස් කිරිමට මෙම නවකතා පෙළ ඔස්සේ නිර්මාණය වූ දැනුම ද ඊට අදාළ ය. ඒ ඔස්සේ නිර්මාණය වූ දැනුම සහ ඒ දැනුම හේතුකොට ගෙන ඇති වු සංවාද සහ සමාජ ක‍්‍රියාකාරිත්වය ද මීට අදාළ ය. ඉන් හැෙ`ගන්නේ මෙරටේ නූතන ඉතිහාසය නිර්මාණය කිරීමෙහි ලා මෙම නවකතා මාලාව සක‍්‍රීය ලෙස දායක වී ඇති බවයි. එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදය පැරද වූ රටක අපි මේ සංවාදය පවත්වන්නේ ඒ මැදිහත් වීම අනුව ය. මේ අනුව සලකන කල මෙම කෘති මාලාව ඓතිහාසික සාහිත්‍යය කාර්යභාරයක් ඉටු කළ ප‍්‍රයත්නයකි.

මෙම නවකතා මාලාවට නැති වටිනාකමක් ලබා දෙනවාද යන්න යමෙකුට සිතෙන්නට පිළිවනි. මන්ද? ඉතිහාසය වෙනස් කිරිමට මැදිහත් වීම සාහිත්‍යය කෘතියකට කළ හැකිද? කෙසේ වෙතත් සිංහල නවකතාව යන්න ම අපේ ඉතිහාසය වෙනස් කිරිමට දැරූ ප‍්‍රයත්නයකි. අපගේ පළමු නවකතාව වන අයිසෙක් ද සිල්වාගේ ‘‘වාසනාවන්ත පවුල සහ කාලකන්නි පවුල’’ පළ කෙරී ඇත්තේ ක‍්‍රිස්තියානි හර මත අපගේ අනාගතය ගොඩනැගිය යුතු බව කියා පෑමට ය. පියදාස සිරිසේන නවකතාකරණයට පිවිසෙන්නේ ද ‘‘වසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්’’ (1904) රචනා කරමින් උක්ත කෘතියට පිළිතුරු දෙමිනි. මාර්ටින් වික‍්‍රමසිංහගේ මුල් කාලීන වැදගත් කෘතිය වන ‘‘මිරිඟු දිය’’ 1925 දී පළ කරන්නේ එහි සංඥාපනයේ මෙවැනි අදහස් දැක්වීමක් කරමිනි.

‘‘නවීන අපරදිග ශිෂ්ටාචාරය ද මෙබඳු දෙවඟනකි. මෙකී දෙවඟන දුටුවන් නෙත් සිත් ඇදගන්නා රූප විලාසයක් හා කපා ඔප්නැඟු විදුරුමිණකට බඳු ප‍්‍රඥාවකුත් ඇතත් හදවතක් නැත.’’ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතා මගින්: විශේෂයෙන් ම එතුමාගේ ඓතිහාසික නවකතා මගින් පමණක් නොව. ‘‘හිඟන කොල්ලා’‘ සහ ‘‘සිරියලතා’‘ වැනි නවකතාවලින් පවා ඔහු අපට කිසියම් හර පද්ධතියක් ඉදිරිපත් කොට ඇතැයි මම අදස් කරමි. 1947 නිදහස ලබන විට ද අප හමුවේ විශාල ප‍්‍රශ්නයක් ව තිබූ මේ සංස්කෘතිය පිළිබඳ ව ප‍්‍රශ්නය: අපට පාරම්පරිකව උරුම වූ සංස්කෘතියත් අපව යටත් කොට පාලනය කළ විජාතිකයාගේ සංස්කෘතිත් අතරින් අප විසින් වැලඳ ගතයුතු සිරිත් විරිත්, චරියා, හර පිළිබඳ ව පේරාදෙණි සාහිත්‍යය: විශේෂයෙන් ම නවකතාව පවා මෙම ප‍්‍රශ්නයට ම දැක්වූ ප‍්‍රතිචාරයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව අපට පෙනෙන කරුණක් නම් සිංහල නවකතාව ආරම්භයේ පටන් අපේ ඉතිහාසය වෙනස් කිරිමට ප‍්‍රයත්නයක් දැරු බවයි. එමෙන් ම අනාගතය නිර්මාණය කිරිම ස`දහා ද එය ඉමහත් දායකත්වයක් සපයා ඇත.

අමරසේකර මෙවැනි දැවැන්ත නිර්මාණ කාර්යයක් වෙත යොමු වූයේ ඇයි ද යන්න මඳකට සලකා බලමු.
‘‘ගමනක මුල’‘ පළවන්නේ 1984 දී ය. අමරසේකර මෙම නිර්මාණය සඳහා යොමුවන්නට ඇත්තේ කුමන කාලයකදී ද? සිදුවෙමින් පවතින සමාජ ව්‍යසනය එක මිටට කැටිකරගත්, ඒ සමාජයේ පුද්ගල ඛේදාන්තය මනාව විවරණය කළ කෘතියක් ලෙස විචාරයට පැසසුම් ලබන ‘‘අසත්‍යය කතාවක්’‘ කෘතිය පළ වූයේ 1977 දී ය. එහි පෙරවදනේ අමරසේකර, තමන් දිග නවකතාවක කලක්වේලේ සිට එරි සිටින බව පවසයි. මෙයින් ඉතාමත් පැමහැදිලි ව ම දක්නට ලැබෙන්නේ අමරසේකර සිය දිගු නවකතාව ලිවීම අරඹා ඇත්තේ 77 ට පෙර සිට බවයි.
තමන් බලාපොරොත්තු වූ කිසිවක් 1956 දේශපාලනයෙන් ඉටු නොවන බව ඒ වන විට අමරසේකර වටහාගෙන අවසන් ය. එමෙන් ම 70 සමගි පෙරමුණු රජය මගින් වුව ද අපේක්‍ෂා කළ අන්තයකට මේ රට ගමන් නො කරන බවත දැහැමෙන් සෙමෙන් ගතකරන ජිවිතයක් මේ රටේ මේ පොළොවේ ස්ථාපනය කරගැනීම පිළිබඳ ව දුටු සිහිනය බොඳ වන බවත සහ ඒ වෙනුවෙන් දැරු සියලූ ප‍්‍රයත්න නිෂ්ඵල වී ඇති බව ද ඒ වන විට ඔහු වටහාගෙන අවසන් ය.

1976 ‘‘අබුද්දස්ස යුගයක්’’ කෘතියේ දී අමරසේකර අපට පවසන්නේ: ‘‘... ශොචනීය ඉරණමක් ගැන ඉගියක් දක්වන කළු වලාකුළු අප හිස මත එක්රැස් වන අයුරු අපට පෙනි යා යුතුය’’ යනුවෙනි. ඉන් හැඟෙන්නේ සිදුවන්නට යන විපත අන් අයට පෙර අමරසේකර දුටු බවයි. එහෙත් ප‍්‍රශ්නය එය වළකා ගන්නේ කෙසේද යන්නය. නැතිනම් ඒ අසාර්ථකත්වයට හේතු කවරේද යන්නයි. අමරසේකර මුහුණ දුන් මේ අභියෝගය මේ නවකතා මාලාවේ ප‍්‍රධාන චරිතය වන පියදාස ම`ගින් ඔහු මැනවින් නිරූපණය කරයි.

ඉහත කාරණා හා සමානව ම 71 කැරැල්ල ද අමරසේකරට විශාල බලපෑමක් කළ බව පැහැදිලි ය. ඒ වන විටත් අමරසේකර පේරාදෙණි නවකතාව පිළිබඳ ව වික‍්‍රමසිංහ කළ විචාර ඔස්සේ, ඒ සමඟ පේරාදෙණියෙන් පිටව රටේ විවිධ පළාත්වල සේවය කිරිම, විවාහය, පුතකු ලැබීම ආදි අත් දැකිම් ඔස්සේ තමාගේ සාහිත්‍යය කාර්යසාධනය පිළිබඳ යළි සිතමින් සිටි බව ප‍්‍රකට ය. 1969 දි එළි දුටු ‘‘එකම කතාව’‘ කෙටිකතා සංග‍්‍රහය සහ 1966 දී එළි දුටු ‘‘ගන්‍ධබ්බ ආපදානය’’ නවකතාව තුළින් මෙම වෙනස හැඳිනිය හැකිය. එහෙත් 71 කැරැල්ල කළ කම්පනය ඊට වඩා ප‍්‍රබල ය. තමා විසූ ගම්දොරින් මෙවැනි කැරලිකරුවන් පිරිසක්, මරාගන මැරෙන්නට සුදානම් වූ පිරිසක් බිහි වූයේ කෙසේද? ඔවුන්ගේ සිතුම්, පැතුම් අපේක්‍ෂා කවරේද? අවංක සාහිත්‍යයධරයකු වශයෙන් සිදුවන දේ දැනගැනීම ඔහුට අවශ්‍ය විය. ඔහුට මෙම තරුණයින්ගේ හද-මනස දැකගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා කළ පොරබැදීමේ ප‍්‍රතිඵල ලෙස 1972 දි එළි දුටු ’’එක්ටැමෙන් පොළොවට’’ සහ 1975 දි එළි දුටු ‘‘කතා පහක්’‘ නමැති විශිෂ්ට කෙටිකතා සංග‍්‍රහ ද්විත්වය හැඳින්විය හැකිය.

‘‘එක්ටැමෙන් පොළොවට’’ පිළිබද සදහන් කළ බැවින් අමරසේකර පිළිබඳ මෙම සභාවේ මතුකළ ප‍්‍රශ්නයක් පිළිබඳ ව ද අවධානය යොමු කිරිමට කැමැත්තෙමි.

‘සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නයේ දී අමරසේකර ලබා දුන් දායකත්වය කුමක් ද?’, ‘මේ විශ්වවිද්‍යාල වසා දැමිය යුතුයැයි අමරසේකර වරින්වර ප‍්‍රකාශ කරනවා නේද?’, ‘එවැනි පුද්ගලයෙක් පිළිබඳ ව විශ්වවිද්‍යාල ප‍්‍රජාව මෙවැනි සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නේ ඇයි?’ වැනි ප‍්‍රශ්න මෙම සංවිධායකයින් වෙත යොමු වු බව මෙහි දී ප‍්‍රකාශ විය.

මේ රටේ විශ්වවිද්‍යාල පිළිබද අමරසේකරගේ විවේචනය 1957 දී පළ වූ ‘‘උයනක හිඳ ලියූ කවි’‘ කෘතියේ ‘‘පුදුම රට’ නමැති කවියේත්, 1972 දි පළ වූ ‘‘එක්ටැමෙන් පොළොවට’’ කෙටිකතා සංග‍්‍රහයේ ‘‘එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරිනිය’’ නමැති කෙටිකතාවේ සහ මෙම නවකතා මාලාවේ ‘‘ගම් දොරින් එළියට’’ (1985) සහ ‘‘ඉණිමගේ ඉහළට’’ (1992) යන කෘතින්හි සදහන් ව ඇත.

‘‘එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරිනිය’’ කෙටිකතාව පිළිබද මදක් විමසා බලමු.
මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ පේරාදෙණිය සරසවියෙන් පිටව, සාම්ප‍්‍රදායික ගමක, සිය දෙමාපියන් සමග ජිවත්වන, මහනුවර ප‍්‍රදේශයේ ම පාසලක ඉගැන්විමට යන උපාධිධාරිනියකි. ඇය පාසල් ගමනේ යෙදෙන බස් රියේ කොන්දොස්තර ද පේරාදෙණියේ උපාධිධාරියෙකි. බස්රියේ තදබදය අඩු වු විට ඔවුන් සරසවිය හා බැඳුණු: විශේෂයෙන් ම සරච්චන්‍ද්‍ර මහතා සහ ඔහු විසින් මෙහෙය වු කලා කවය හා බැඳුණු සොඳුරු ස්මරණ සිහිපත් කරමින් රස බස් දොඩමින් සතුටු වෙති. සරච්චන්‍ද්‍රගේ නාට්‍යය, පේරාදෙණි සාහිත්‍යය ඔවුන්ගේ විචාරයට සහ ප‍්‍රශංසාවට ලක් වේ. මෙම රසිකත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් පේ‍්‍රමයකට පරිවර්තනය වේ. ටික දිනකින් මෙම පේ‍්‍රම සම්බන්ධය පිළිබද ජවිපෙ ක‍්‍රියාකාරිනියක වන උපාධිධාරිනියගේ මිතුරියක් දැනගන්නී ය. ඇය මෙම අවස්ථාවේ දි අදාළ තරුණයා, හීන යැයි සම්මත කුලයකට අයත් පුද්ගලයෙකු බව උපාධිධාරිනියට ලියා යවන්නී ය.
ඒ හා සමග ම ඇය ගෙන ඇති විප්ලවීය පියවරට ප‍්‍රශංසා කරමින්: වැඩවසම් සමාජ සබඳතා සිඳ-බිඳ දමමින් නව ජිවිතයක් ඇරඹීමට ඇය ගෙන ඇති තීරණය පිළිබඳ ව ඇයට ප‍්‍රශංසා කරන්නී ය. ලිපිය කියවු උපාධිධාරිනිය, නිවසට වී සිටි තමන් පාසලක ඉගැන්වීමට යොමු කිරීම සම්බන්ධයෙන් සිය මවට දෙස්-දෙවොල් තබන්නී ය. නැවත නිවසින් පිටතට එක අඩියක් නොයන බවට ඇය තර්ජනය කරන්නී ය. පේ‍්‍රමය, බස් රියේ ගමන, පාසලේ ඉගැන්වීම යන මේ සියල්ල අවසන් කරන්නී ය.

අමරසේකර අදහස් කරන්නේ: මේ විශ්වවිද්‍යාල, ඒවායේ ජීවිතය, ආදරය, සාහිත්‍යය, විප්ලවය මේ සියල්ල ලංකාව හා බැඳි නොමැති බවයි. මේ පොළොවෙන් පැන නොනැඟි බවයි. මට පෙර අදහස් දැක් වු ආචාර්ය ප‍්‍රදිප් ජෙගනාදන් පවසා සිටියේ ගන්‍ධබ්බ ආපදානය කෘතිය තුළ මන්නාරම නිරූපණය වන්නේ වෙනම රටක් ලෙස බවත එහි ගත කළ දින කීපය තුළදි කතානායකයාගේ හා රීටාගේ විවාහයත මධුසමය සහ වෙන්වීම සිදුවන බව. ‘වෙනම රටක්’ පිළිබඳ රූපකය මතුකර දිම පිළිබඳ ප‍්‍රදීප්ට ස්තූතිවන්ත විය යුතු ය. විශ්වවිද්‍යාල අප සමාජයේන් වියෝ වූ, ඒ සමාජයේ වන නන්විධ වූ බැඳිම්වලින් වියෝ වූ වෙන ම රටවල් ද? අමරසේකර මතුකරන මේ ගැඹුරු විවේචනයට පිළිතුරු සෙවීම ඔබ විසින් කළ යුතු ව ඇති කාර්යයකි.
මීළඟට අමරසේකර මෙම නිර්මාණ කාර්යයට යොමු වූ පසුබිම වෙත යොමු වෙමු.

ඒ වන විට අපගේ සමාජ විකාශනය ගැන පැවති දැනුම කවරාකාර ද? නොඑසේනම් ඒ වන විට නිර්මාණය වී තිබූ සාහිත කැඩපත කෙබදු ද? හැත්තෑවේ දශකය වනවිටත් අප සතුව පැවතියේ මාර්ටින් වික‍්‍රමසිංහ නිර්මාණය කළ ‘‘ගම්පෙරළිය’’, ‘‘යුගාන්තය’’ සාහිත කැඩපත යි. එතුළින් අපට දර්ශනය වන්නේ විජාතික පාලකයන් අනුකරණය කරන කොම්පදෝරු පාලක පන්තියකි. ඒ පැලැන්තියේ ම උපන් උගත් තරුණයන්ගේ නායකත්වය අනුව බලය ලබාගැනීමට යොමු වන නාගරික වැඩ කරන ජනතාවකි. මෙම සිත්තම ජි. සී. මෙන්ඩිස් වැනි ඉතිහාසඥයන් අප හමුවේ තැබූ දැනුම සමග මෙන් ම මාක්ස්වාදී දේශපාලනය හරහා කෙරුණු පුරෝකථන සමගත් සමපාත වෙන්නකි.
එහෙත් ප‍්‍රශ්නය එය නොවේ. පියල් මෙන් විජාතික පාලකයන්ගේ කොන්ත‍්‍රාත්කරුවකු නොවී ගමේ ඉතිරි වු තරුණ පිරිසට සිදු වූයේ කුමක් ද යන්න ය. නිදහස් අධ්‍යාපනය මෙම ගම්වල ජනයාට විවර කළේ කවර නම් මාවතක් ද යන්න, නගරයේ සිදුවූ ධනපති කම්කරු බල අරගලය තුළින් 56 ක් බිහිවූයේ කෙසේද?, එමෙන් ම 71 කැරැල්ල, මෙම කිසිවක් ඒ චිත‍්‍රය මගින් අපට පැහැදිලි කරගත නොහැකි වීම ය. ‘‘ගම් පෙරළිය’’ පළ වූයේ 1944 දී බවත්, යුගාන්තය 1949 දී බවත් ඒ වනවිට මෙරට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛතම බලවේග ලෙස එක්සත් ජාතික පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය පෙළ ගැසෙමින් පැවති බවත් අප අමතක නොකළ යුතුය. එහෙත් හැත්තෑව දශකය වනවිට තවත් වසර 25 ක් 30 ක් ගතවී ගොසිනි.

අමරසේකර හමුවේ තිබූ මහා අභියෝගය මෙය යි. සාහිත කැඩපත නිමවිය යුතු ව තිබුණා පමණක් නොව ඒ සඳහා අවශ්‍ය ඥානයක් ද උත්පාදනය කළ යුතුව තිබිණ.

මෙම කතා මාලාව: ‘‘ගමනක මුල’’ (1984), ‘‘ගම් දොරින් එළියට’’ (1985), ‘‘ඉණිමෙ`ග් ඉහළට’’ (1992), ‘‘වංකගිරියක’’ (1993), ‘‘යළි මඟ වෙත’’ (1993), ‘‘දුරු රටක දුකට කිරියක’‘ (2001), ‘‘ගමනක මැද’’ (2006), ‘‘අතරමඟ’ (2009), සහ ‘‘ගමනක අග’’ (2010) ඒ මහා ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලය යි. එපමණක් නොවත .
‘‘ගල් පිළිමය සහ බොල් පිළිමය’’ (1988), ‘‘මරණ මංචකයේ දුටු සිහිනය’’ (1999) සහ ‘‘විල් තෙර මරණය’’ (2007) යන අති විශිෂ්ට කෙටිකතා සංග‍්‍රහයන් ද, අපගේ සමාජය ක‍්‍රමයෙන් බියකරු අන්තයක් වෙත යොමු වන අයුරු සහ එතුළ නිර්මාණය කෙරෙන පුද්ගල ඛේදවාචකයන් මැනවින් ග‍්‍රහණය කර ගත්: ‘‘අසත්‍ය කතාව (1977), ‘‘පේ‍්‍රමයේ සත්‍ය කතාව (1978), සහ රූපාන්තරණය හෙවත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය (2012) යන මහරු කෙටි නවකතා ද මෙම සාහිත කැඩපතේ ම කොටස් ය.

‘‘අබුද්දස්ස යුගයක්’’ (1976), ‘‘අනගාරික ධර්මපාල මාක්ස්වාදි ද?’’ (1980), ‘‘ගනදුරු මැදියම දකිනෙමි අරුණලූ’‘ (1987), ‘‘නොසෙවුනා කැඩපත’’ (2008) සහ අමතක වු උරුමය: ‘‘කවන්ධයට හිසක්’‘ (2011) මෙම සාහිත කැඩපත නිර්මාණය කිරිම සඳහා එතුමා ඥානනය කළ දැනුම යි. මේ සියල්ල මගින් අමරසේකර අපගේ නුතන ඉතිහාසය පිළිබඳ නව දැනුමක් නිර්මාණය කර ඇති බව සේ ම පසුගිය සියවසේ අප සමාජය අලළා සාහිත කැඩපතක් ද නිර්මාණය කර ඇති බව ද අප පිළිගත යුතුය. ඒ හා සමගින් ම මේ නව දැනුම මුල් කර ගෙන නිර්මාණය කළ සාහිත කැඩපත පදනම් කරගෙන අපේ රටේ ඉතිහාසය වෙනස් කිරිම සදහා අවැසි සංවාදයකට ඔහු මුල් වී ඇති බව ද අප විසින් පිළිගතයුතු ව ඇත. ඒ අනුව ගමනක මුල කතා මාලාව හෙවත් මෙම මහා නවකතාව අපේ රටේ නූතන ඉතිහාසයට නව අර්ථකතන සැපයීමකිත ඉතිහාසය වෙනස් කිරිමට දරන මහා ප‍්‍රයත්නයකි.

මෙම සංවාද මණ්ඩපය තුළ දී පැන නැඟුණ ඇතැම් ප‍්‍රශ්න පිළිබඳ ව කෙරෙන අදහස් දැක්විමකින් මගේ මැදිහත් වීම සමාප්ත කිරිමට කැමැත්තෙමි.

ආචාර්ය නිර්මාල් දේවසිරි මතු කළ ප‍්‍රශ්නයක් වන්නේ: මෙම කතා මාලාවේ ප‍්‍රධාන චරිතය වන පියදාස මගින් සිංහල මැද පන්තිය නිසි ලෙස නිරූපණය වෙනවා ද? යන්න ය. මේ ප‍්‍රශ්නය නවකතාවක චරිත නිරුපණය පිළිබඳ අනවබෝධය හේතුකොට ගෙන ඇතිවන්නකි. ලූකාෂ් ඉතා පැහැදිළිව ම අපට පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨ නවකතාකරවා නිරන්තරයෙන් කුලකයක් (පන්තියක්) නිරූපණය කිරිම සඳහා තෝරාගන්නේ සාමාන්‍යය නොව සුවිශේෂී බව යි. නවකතාකරුවාට ඒ කුලකයේ ශක්‍යතාවන් මෙන් ම සීමාවන් පෙන්වා දීමට අවැසි පසුබිම සැකසෙන්නේ මෙම සුවිශේෂත්වය ම`ගිනි. එමෙන් ම මෙම සුවිශේෂය මගින් සාමාන්‍යය දැනගැනීමේ අවශ්‍යතාව ද අපට හිමි වේ.

අනෙක් ප‍්‍රශ්නය නම්: මෙම නවකතාවෙහි නිරූපණය වන සැබැ චරිත පිළිබඳ ව යත ඒ නිරුපණය නිවැරදිද යන්න පිළිබඳ ව ය. මෙහි දී කෘතියේ චරිත දක්වන අදහස් දැක්වීම් සහ අමරසේකරගේ අදහස් සමපාත ලෙස නොසැලකීමට අප ප‍්‍රවේශම් විය යුතු ය. කුමාරතුංග මුනිදාස පිළිබඳ ව දක්වන අදහස් මෙම නවකතා මාලාව ආරම්භයේ දී මා මුහුණ පෑ ප‍්‍රශ්නයකි. වෙසෙසින් ම ‘‘ඉනිමඟෙ ඉහළට’‘ කෘතියේ පේරාදෙණියේ සාහිත්‍යය කවයේ දි දක්වන අදහස්. එහි දි කුමාරතුංග අනුගාමිකයකු ලෙස සැලකිය හැකි චරිතයක් උසුළු විසුළුවලට පවා ලක් කෙරේ. කුමාරතුංග මුනිදාසගේ හිතවතුන් සහ ඥාතින් මෙය දුටුවේ අමරසේකර විසින් කරනු ලබන හෙළා දැකීමක් ලෙස ය.

‘‘අමරසේකරගේ කුමාරතුංග වෛරය තවමත් පහ වී නැති ද?’‘ යනුවෙන් දා. දු. න. විරකෝන් පුවත්පතකට ලිපියක් පවා ලියා තිබිණ. එදා පේරාදෙණි සාහිත්‍යය කවයේ දී කුමාරතුංග සහ ඔහුගේ අදහස් එලෙස අවඥාවට භාජනය වුවා නම් එය මේ කතා මාලාවේ දි ප‍්‍රතිනිර්මාණය වීම කුමාරතුංග හෙළා දැකිමක් ද? එසේ නොවන්නේ නම් පේරාදෙණියේ සාහිත්‍යය කවය පිළිබ`ද නිවැරදි චිත‍්‍රයක් මැවීමක් ද?

මෙහි දී ඉදිරිපත් වු අනෙක් අදහස වූයේ: මේ කතා මාලාවේ ඇතැම් කාණ්ඩ වාද සංවාද දෙබස්වලින් ම යුක්ත බව, නීරස බව ය. නාමල් උඩලමත්ත මේ පිළිබ`ද ව මතු කළ ප‍්‍රශ්නය නිවැරදි ය. මෙම නවකතා මාලාවේ දේශපාලනය ගැබ් වී ඇතැයි ඇතැම් අය මැසිවිලි නගති. මෙම කෘති මාලාවට දේශපාලනය ඇතුළත් වී තිබීම පිළිබද ව ඔවුන් මැසිවිලි නගන්නේ එලෙස දේශපාලනය ඇතුළත් වීමට අකමැති හෙයින් ද? එසේ නොමැතිනම් මෙහි අඩංගු දේශපාලනයට ඔවුන් අකමැති හෙයින්ද? නාමල් උඩලමත්තගේ පැනය මෙය යි. වික‍්‍රමසිංහගේ ‘‘යුගාන්තය’‘ කෘතියේ මාලින්ද සහ තිස්ස අතර කෙතරම් දේශපාලන සංවාද, දෙබස් අන්තර්ගත ද? භාෂාමය අර්ථයකින් ගතහොත් අමරසේකරගේ දෙබස් ඊට වඩා රසවත් ය.

මහාචාර්ය ධර්මදාස මතා සදහන් කළ ආකාරයට නවකතාවට කාව්‍යමය භාෂාවක් ප‍්‍රවිෂ්ට කළේ අමරසේකර ය. ඇරත් තිස්ස: නවකතාකරුවාගේ දෘෂ්ටිය වික‍්‍රමසිංහගේ අදහස්-උදහස් කියාපෑම සදහා ම නිර්මාණය කෙරෙන චරිතයකි. එහි දොස් නොදකින අය පියදාසගේ සංවාදයන් හි දොස් දැකිම නාමල්ගේ ප‍්‍රශ්නය සාධාරණියකරණය කිරිමකි.

එමෙන් ම ‘‘ගමනක මැඳ’ කෘතිය එළිදුටු අවස්ථාවේ ආචාර්ය සසංක පෙරේරා දැක්වු අදස් පිළිබද ව ද කියැවුණි. එම කෘතිය එළි දුටු අවස්ථාවේ දී අපි ඔහුට ආරාධනා කළේ මෙම කතාමාලාව දෙස සමාජවිද්‍යාත්මක ඇසින් බලා අදහස් දැක්වීමක් කරන ලෙස ය. ඔහු එම සම්මන්ත‍්‍රණයට සහභාගි නොවී ෂික්බා පුවත්පතට දීර්ඝ විචාරයක් සැපයූවා. එහි දී ඔහු මෙම කතාමාලාවේ සමාජ චිත‍්‍රය කුමන හෝ ආකාරයකින් බරපතල ප‍්‍රහ්න කිරිමකට නොයා: මේ කතා රසවත් ද?, නැතිනම් මේවා නවකතා ද? යන ප‍්‍රශ්නය මතු කළේ ය. අමරසේකර ප‍්‍රතයාවලෝකනය ප‍්‍රශ්න කරමින් ලිපියක් ලියු ආචාර්ය ලියනගේ අමරකිර්ති (මෙම ලිපිය පරිවර්තනය කර ඔහුගේ ‘පහන සහ කැඩපත’ කෘතියට ඇතුළත් කර ඇත.) ‘‘අන්‍ය සංස්කෘතින්ගේ මිශ‍්‍රනයක් තුළ නැති වී ගිය පාර්ශුද්ධ සිංහලයා සෙවීම නො කළ හැකි කාර්යයකි’’ යයි පවසමින්, ව්‍යාජ අමරසේකර කෙනෙක් නිර්මාණය කරමින් පිළිතුරු සපය යි. අමරසේකර පාරිශුද්ධ සිංහලයකු සෙවිමේ නිරතවන්නේ කොහි ද? මෙමගින් දක්නට ලැබෙන්නේ මේ විදග්ධයන් හට මොනයම් හෝ අයුරකින් අමරසේකර ප‍්‍රයත්නය ලඝු කොට දැක්වීමේ අවශ්‍යතාවක් ඇති බව යි.

මෙම කතා මාලාව මෙරටේ ඉතිහාසය වෙනස් කිරිම සදහා දායක වී ඇති බව ලිපිය ආරම්භයේ දී ම සදහන් කළෙමි. එහෙත් දැන් ඉතිහාසය නිර්මාණය කෙරෙන්නේ අප සිතන-පතන ආකාරයෙන් යැයි ඉන් කිසිසේත් අදහස් නොකෙරේ. ඒ වෙනුවෙන් හරවත් සංවාදයක් මතු කරගැනීමට මූලික වීම පිළිබද ව කොළඹ සරසවියේ ඉතිහාස සංගමයට නැවත වතාවක් අපගේ කෘතඥතාව පිරිනමමු.
-ගෙවිඳු කුමාරතුංග

යුතුකම සංවාද කවය

www.yuthukama.com


8/18/2014

නූතන ලංකාවේ පියා තවමත් ජයවර්ධනද?

කතෘ:යුතුකම     8/18/2014   2 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


බටහිරයන් විසින් මෙරට වපුළ විජාතිකත්වයට එරෙහි ආස්ථානයක පිහිටා ජාතිකත්වය පෙරටු කොට 1951 දී  බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 වන විට රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් විය. එතරම් අඩු කලෙකින් බලයට පත්වීමට හැකි වීම එය 56 පෙරළිය ලෙස හැඳින්වීමට එක් හේතුවකි. බණ්ඩාරනායක මහතාට ඒ සඳහා ගත වූයේ වසර කිහිපයක් බව සැබෑවකි. නමුත් ඒ සඳහා පිටිවහල් වුනු සිය උරුමය නැවත පාදා ගෙන සියවස් ගණනාවක් පුරා අහිමිව ගිය සිය ස්වාභිමානය යළි ප්‍රතිෂ්ටාපනය කර  ගැනීමේ ජාතික අභිලාෂයන් ජනතා හදවත් තුළින් පරාධීනත්වය හමුවේ අළු බවට පත් වී නොදී අවුළුවා තබා ගැනුම සඳහා අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ දේශහිතෛශීන්ට වසර ගණනාවක් පුරා සුවහසක් බාධක, කම්කටොලු මැද මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන්නට සිදුවූ බව අප සිහි තබා ගත යුතුය. 19 වන සියවස අග භාගයේ ඇරඹි අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය නොවන්නට බණ්ඩාරනායක මහතාට නැවත අවුළුවා ගත නොහැකි පරිදි මෙරට ස්වදේශික ජනයාගේ සිය ජාතික උරුමය යළි පාදා ගැනීම පිළිබඳ වූ පැතුම අළු බවට පත් වී තිබෙන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් බණ්ඩාරනායක මහතාද එවැනි දේශපාලන ගමනක් නොඅරඹනු ඇත.

කෙසේ නමුදූ බණ්ඩාරනායක මහතා බලයට පත් වී ටික කලෙකින් එතුමා ලිබරල්වාදී කඳවුර වෙත වඩා සමීප  වී අවසන ඔවුන් අතින්ම මරුමුවට පත් විය. එතුමාගේ ඇවෑමෙන් බලයට පත් බිරිද සිරිමාවෝ මැතිණිය මෙරට වාමාංශික පක්ෂ හා එක්ව ගමනක් ඇරඹීය. ඒ අවදීන් කෙටියෙන් පැහැදිළි කරන සටහනක් ගුණදාස අමරසේකරයන්ගේ කවන්ධයට හිසක් කෘතියෙන් මෙසේ උපුටා දක්වමු.

"70-77 කාලය තුළ එතුමය විසින් ගෙනෙයන ලද අධිරාජ්‍යය විරෝධි සටන, මානව හිතවාදී, සමාජවාදී සිංහල-බෞද්ධ උරුමය පුනරුත්ථාපනය සඳහා තබන ලද ඉදිරි පියවර අප විසින් අද වුව කෘතඤතාපූර්වකව සිහිපත් කළ යුතු යයි මම සිතමි. ඒ තුළ වූ අනවශ්‍යය ක්‍රියා මාර්ගවලින් ඒ ප්‍රයත්නය මුදා ඉදිරියට ගෙන යාමට හැකි වී නම් මේ වන විට මේ රට අප පැතූ මඟෙහි බොහෝ දුර ගොස් තිබෙනු ඇතිය යන මතය බැහැර කළ හැකි නොවේ. පසුගිය කාලපරිච්ඡේදය තුළ අප මුහුණ දුන් ඛේදවාචක ඒ මඟ ඇසුරෙන් වළක්වා ගැනීමේ අවස්ථාව අප සතුව තිබුණා නොඅනුමානය. විජේවීරගේ මෙන්ම ප්‍රභාකරන්ගේද ත්‍රස්තවාදයට එක් හේතුවක් අප විසින් ඒ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය අමතක කිරීම නොවේද?

සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගත් ඒ ගමන් මඟ අසාර්ථක වීමට හේතු කීපයක් වී යයි මම සිතමි.  ඉන් එකක් නම් මාක්ස්වාදීන්ගේ ඇතැම් න්‍යාය පිළිපදින්නට යෑමයි. දේශීය වතු හිමියන්ගේ ඉඩම් ජනසතු කිරීමට යෑම එවැන්නක් නොවේද? එය කිසි ලෙසකින් බහුතර ජනතාවගේ ආශිර්වාදයට පාත්‍ර වූවක් නොවේ. එමෙන්ම ඒවා ජනසතු කිරීමෙන් පසු අමන දේශපාලකයන් විසින් ඒවා තුළ ගෙන යන ලද දූෂිත පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූවක් විය. ඒ ජනසතුව මානව හිතවාදී සමාජවාදී පියවරයක් ලෙස නොව ඊර්ෂ්‍යා, ක්‍රෝධ පරවශව ගෙන යන ලද අධම ක්‍රියාවක් ලෙසිනි, ඔවුන් දුටුවේ. එමඟින් ජේ ආර් ජයවර්ධනට ඒ රජය අධර්මයට මුල්තැන දෙන රජයක් ලෙස හැඳින්වීමේ අවස්ථාව පාදාදෙන ලදී. අනික් හේතුව නම් ඒ රජයේ මූලික ක්‍රියා කලාපය අපගේ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය වෙත ළඟා වීමක් ලෙස අර්ථකථනය කිරීමට, පෙන්වාදීමට සමත් වූ ප්‍රඥාංකුර පිරිසක් ඒ වන විට සමාජය තුළ නොසිටීමයි. ඒ වෙනුවට සිටියේ දේශීය ප්‍රඥාංකුර පිරිසක් නොව ඉණිමඟේ ඉහළට නැගීම එකම අභිලාෂය කරගත් මැද පංතියේ නව සමාජ ස්ථරයකුයි. මැද පංතියෙන් බිහි වූ ඒ නව සමාජ ස්ථරයේ එකම අරමුණ වූයේ සිවිල් සේවයට ඇතුළු වී වැජඹීමයි. විශ්වවිද්‍යාලය තුළ ට්‍රොට්ස්කිවාදය ගැන බෙරිහන් දුන් එකාද සිවිල් සේවයට ඇතුල් වීමෙන් පසු කට පියා ගත්තේය. අවට ලෝකය ගැන තමන් උපන් නිජබිම ගැන නොතකා, එදෙස නොබලා සිය මනෝමන්දිර නිර්මාණය කරගෙන ඒ තුළ රැදී සිටීමට එ කල බිහි වූ පේරාදෙණි සාහිත්‍යයද ගමෙන් ආ තරුණයා මෙහෙයවීය. පේරාදෙණි සාහිත්‍යය සැපයූ මේ අධම අනුබලයයි එයට එරෙහිව නැඟිට සිටීමට මා එවේලෙහි මෙහෙයවූයේ."

අධර්මිෂ්ට රාජ්‍යය බිහි වීම


ජේ ආර් ජයවර්ධන පවා බලයට පත්වීම පිණිස යොදාගත්තේ ලාංකීය ජනතාව සතුවූ සිය උරුමය සොයා යාම සඳහා වූ නොසංසිඳුනු පිපාසයයි. "ධර්මිෂ්ට රාජ්‍යය" එහි තේමා පාඨය විය. බලයට පැමිණි පසු ඔහු අර උරුමය අතුගෑවිලා යන පරිදි නියම අධර්මිෂ්ට පාලනයක් ගෙන ගිය බව අපි දනිමු. ඉන් පසුව පත් වූ එක්සත් ජාතික පක්ෂ නායකයින් කළේ සුළු වෙනස්කම් සහිත වුවත්  ජයවර්ධන පෙන්වූ මගෙහිම ඉදිරියට යාමයි.

ඉන් පසු ලාංකීය ජනතාව මහත් හරසරින් ශ්‍රී ලංකා .නිදහස් පක්ෂය පැත්තෙන් පිළිගත්තේ ඒරොප්පෙන් පාත් වූ චන්ද්‍රිකා ය. මෙරටට සාමය උදා කරමින් සිය මව හා පියා ගත් මගෙහි ඉතිරිය එහි වූ අඩුපාඩුද නිවැරදි කරමින් ගමන් කරනු ඇතිය යන බලාපොරොත්තුවකිනි මෙරට ජනතාව ඇයව බලයට පත් කරන ලද්දේ. නමුත් ඇය බලයට පත් කිරීම පණිස ඇය වටා සිටි එන්,ජී.ඕ නඩය මෙරට ජනයා නොදුටූහ. එංගලන්තයේ සිට ඇය මෙහි කැටුවාගෙන ආයේ අනෙකක් සඳහා නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය  බිහි වූ සහ එය ගොඩනැගුණු දේශජ ජාතිකත්ව පදනම වෙනස් කර දැමුමටයි. බලය තිබෙන තාක් එය ජලයේ ගිල්වූ රබර් පන්දුවක් මෙන් යට කර තබා ගත හැකි හැකිවූවා මිස එය වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හෝ නොහැකි විය.

මහින්ද යුගය


ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කර ගන්නේ නැවත වරක් ඒ නිවැරදි පදනම දෙස බලමිනි. ඒ වන විට රනිල් මෙන්ම චන්ද්‍රිකා ද ඒකීය ලංකාවක් යන මතය බැහැර කර සිටියහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒකීයත්වය පිළිගෙන කටයුතු කළේය. චන්ද්‍රිකා බටහිර ගැති අවජාතක එන්. ජී ඕ. කාරයන් විසින් අභිෂේක කරන ලද්දියක වූව මහින්ද අභිෂේකත්වය ලැබුයේ මෙරට ජාතිමාමක  සුජාත  දූ පුතුන් විසිනි.

මෙලෙස ලාංකිකයන් විසින් සිය නායකයන් තෝරා ගැනීම දෙස විමර්ශනාත්මකව බලන අමරසේකරයන් පෙන්වා දෙන්නේ මෙරට ඉමහත් බහුතරය වූ සිංහල-බෞද්ධයන් විසින් තමන්ට අහිමව .ගිය ජාතික උරුමය- මානව හිතවාදී සමාජවාදී සමාජය ලබා ගැනීම සිය එකම ප්‍රාර්ථනය කර ගෙන ඇති බවයි. ප්‍රජාතන්ත්‍ර මාර්ගයෙන් බැරිනම් හිංසන මගින් හෝ එය ඉටු කර ගැනුමට ඔවුන් පසුබට නොවන බවයි.

ඊළාමය විනාශ කර රට එක්සේසත් කිරීමෙන් පසු ජනතාව මෙවර මහින්ද රාජපක්ෂ අසීමිත බලයකින් යළි පත් කර ඇත්තේ කළගුණ සැලකීමක් වශයෙන්ම නොවේ. ඒ ලබාදෙන අසීමිත බලය මඟින් අපගේ සිංහල-බෞද්ධ ජාතික උරුමය ඉදිරියට ගෙන යනු ඇතිය යන විශ්වාසය උඩයි. කළගුණ සැලකීම අපගේ පෞද්ගලික සබඳතාවලට බලපාන ආචාර ධර්මයක් විනා දේශපාලන ක්ෂේත්‍රය තුළ බලපාන ආචාර ධර්මයක් නොවන බව මේ වන විට මේ රජය අවබෝධ කරගෙන ඇතැයි සිතමි. [කවන්ධයට හිසක්]

වැරදුනු තැන

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වය රෙද්ද, බැනියමට, බතට, බුලතට සීමා වූවක්ය යන්න අතිශයෝක්තියක් නොවන බව අපගේ වැටහීමයි. ජාතිකත්වය මත පදනම්ව මෙරටට අවැසි සාකල්‍යය දැක්මකින් සමාජ ආර්ථික දේශපාලන දර්ශනයක් හා බැදුනු ප්‍රායෝගික ගමන් මගක් බිහි කර ගැනුමට එම පක්ෂය අසමත් වී ඇත. එවැන්නක් පිළිබඳ ඔවුනට විශ්වාසයක් තිබෙන සෙයක් දක්නට නැත. අමරසේකරයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස නැති කවන්ධයක් ලෙස කලෙක සිට හඳුන්වන්නේ එබැවිනි. එවැනි සංවාදයක් තබා රාජ්‍යය ආයෝජනයන්හි ප්‍රමුඛතා පිළිබඳ පලදායි සාකච්ඡාවක්වත් අද මේ රට තුළ නැත. පාක්ෂිකයන්, මන්ත්‍රීන් හැම එකාම පාහේ අත උස්සන නිවටයන් පමණි. දේශපාලනඥයන් එහෙයියන් වන විට බුද්ධිමතුන් හෝයියන් බවට පත්ව ඇත.

එනිසා සිය ජාතික උරුමය යළි පාදා ගැනීමේ අවිඥානික ජනතා පැතුමත්, රජයේ ක්‍රියාකලාපයත් අතර පරතරයක් ඇති වී ඒ පරතරය දිනෙන් දින වැඩි වෙමින් යයි. ඒ පිළිබඳ තැකීමක් නැති දේශපාලකයෝ දේශපාලන දැක්මකින් තොරව සිය කාර්යයන් නිලධාරීන් වෙත පවරා සැමදා ජනතාව තමන්ට කළගුණ සලකතැයි යන දුර්මතයෙහි එල්බ සිටිත්.

නූතන ලංකාවේ පියා

මේ තත්වය යටතේ මෑතකදී රජයේම ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටියේ නූතන ලංකාවේ පියා තවමත් ජේ ආර් ජයවර්ධන බවය. එ‍ය නිවැරදි නිගමනයක් යනු අපගේ ද හැඟීමයි. කවන්ධයට උචිත හිසක් සෙවීමට වුවමනාවක් තිබුනි නම් ඒ තත්වය වෙනස් කර ගැනුම සඳහා සංවාදයක් මෙරට තුළ ඇති කරවීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධාන රජය මඟින් යුද්ධයෙන් පසුව කටයුතු කළ යුතුව තිබුණි. නමුත් රජයට සංවාද අවැසි බවක් වත් මෙහි ජනයා එවැනි සංවාදයක් ඉල්ලා සිටි බවක් වත් නොපෙනිණි. යථාර්තවාදී සංවාදයක් ගොඩනගනු වෙනුවට ආශ්චර්යයෙන් ජනතා දෑස් නිලංකාර කරවීමට රුචි සෙයකි රජය පැත්තෙන් දිස් වන්නේ. ජනතාවගේ පැත්තෙන් පෙනෙන්නට තිබුනේ යුද්ධය අවසන් කරවීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඔවුන් අභියසට නැවත වරක් සපැමිණි මහා පැරකුම් නිරිඳුන් සේ සළකා ඔහුට ඕනෑ දෙයක් කරන්නට දී ඔහු විසින් මෙරටට අවැසි සුබසෙත සළසා දීමට කටයුතු කරතැයි යන පූර්ණ නිගමනයෙහි එල්ඹ කටයුතු කිරීමයි. එබැවින් යුද්ධයෙන් පසු මේ දක්වා කාලය අසංවාදිතව අර හිස නැති කවන්ධයට හිස සෙවීම පසෙක තබා ඒ හිස නැති ගෙල රන් මාල පළඳන යුගයක් බවට පත්විය.

මේ අවාසනාවන්ත තත්වයට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් විපක්ෂයේ කිසිදූ  දේශපාලන පක්ෂයක් විසින් එවැනි හරවත් සංවාදයක් බිහි කිරීමයට කටයුතු නොකිරීමයි. එක්සත් ජාතික පක්ෂයට කවදත් සරු සංවාදයකට සහභාගී වීමේ හැකියාවක් තිබී නැත. නව ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ජනතාවට වසං කරමින් බටහිරට අවැසි ලෙස ගෙනයන හොර න්‍යාය පත්‍රයකි. ජාතිකත්වයන් දියකර හැරීමට යම් මතයක් ගොඩනැගීමට තැත් කිරීම ඔවුනට බාර වී ඇති සෙයක් කල්පනාවෙන් ඔවුන්ගේ දේශපාලන හෑසිරීම් නිරීක්ෂණය කරන්නකුට වටහා ගැනීම අපහසු නැත.

ඒ කෙසේ වෙතත් රජය සිය ජනවරමට අනුකූලව කටයුතු කළේ නම් තවමත් පියා ජයවර්ධන නොවිය යුතුව තිබුනි. මේ වන විට නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව තිබුනි. දැන් ගෙන යන ආර්ථික ක්‍රමවේදය  මීට වඩා බෙහෙවින් වෙනස් එකක් වන්නට තිබුනි. ජනතාවට මුව අයාගෙන ආණ්ඩුව විසින් ගෙනෙන ආශ්චර්යය දෙස බලා සිටිනු වෙනුවට එය වඩා සාමූහික ප්‍රයත්නයක් විය යුතුව තිබුනි.

නූතන ලංකාවේ පියා ජයවර්ධන නම් මහින්ද කවුද? මහින්ද මෙන්ම මුළු මහත් සමාජයම ජයවර්ධන පුත්‍රයන් බවට පත්වී නැතිද? එම තත්වය වෙනස් කර අපගේ උරුමය යළි පාදා ගැනුම පිණිස බලයට පත් කළ මහින්ද, ජයවර්ධනගේ සුජාත පුත්‍රයෙක් ලෙස හැඳින්විය හැකිද?

හිස සෙවීමට අරඹමු


මෙවැනි තත්වයක් උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති කවන්ධයට උචිත හිස සොයා ගැනීම පිණිස අවැසි වන බුද්ධිමත් පිරිසක් එම පක්ෂය තුළ නොමැති වීම නිසා යයි සිතමි. ඒ වෙනුවට එහි ඇත්තේ දේශපාලන ගේම් කාරයින් කිහිප දෙනෙකුය. ඔවුනට එවැනි සංවාදයක් සමාජගත කිරීමට ශක්‍යතාවක් නොමැත. ඔවුන් ඊට වඩා දක්ෂ අර දේශපාලන ගේම ගහන්නටය.

කෙසේ නමුත් ඌවට නාම යෝජනා භාර දීමට පෙර අවසන් මොහොතේදී නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කෙරුමට ජාතික නිදහස් පෙරමුණ හා එකඟතාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණ තිබේ. එය කවන්ධයට අවැසි හිස සොයා යෑම සඳහා තැබුනු ප්‍රථම පියවර ලෙස හැඳින්විය හැකි වුවත් ඒ සා බරපතල තීරණාත්මක එකඟතාවයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන ආවේ බල්ලන් නාවන්නට ඇදන් යන ආකාරයකට බවකි පෙනෙන්නට ඇත්තේ. මෙවන් වටපිටාවක් තුළ එම එකඟතාවට පිවීසීම කොතෙක් දුරට සත්භාවයෙන් සිදුවුනිදැයි යන්න සැක සහිතය.

මෙහිදී ඔබට හා මට පැවරෙන වගකීමක් ඇත. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කැර ගැනුම පිළිබඳ කතිකාවත් ඇරඹීමට දායක වීම එම යුතුකමයි. රටට එරෙහිව කටයුතු කරන්නට රට රටවල බඩගෑමට ඕනෑ තරම් විද්වතුන් ඇති මුත් ජනතාව අබියසට පැමිණ එවන් ප්‍රගතිශීලී සංවදයකට තම බඩ වියත ගැන නොතකා දායක විය හැකි විද්වතුන් අතළොස්සගෙන් අපි ඉතා ගෞරවාදර භක්තියෙන් ඉල්ලා සිටින්නේ ඒ යුතුකම වෙනුවෙන් නැවත වරක් පෙළ ගැසෙන ලෙසයි. ඇතැම් බල්ලෙක් අමාරුවෙන් හෝ ඇළට දමා ගත් විට එහි පීන පීනා නාන්නේ ඉතා ආශාවෙන් එහි පැනගත් එකෙකු ලෙසය. නාන්න එපා කී අනෙක් උන්ද එවිට එහිම පැන නාන්නේ දියබුංද ගසමින් බව ඔබ හා අපි අත්දැකීමෙන් දනිමු.

මහින්ද රාජපක්ෂ පසු ගිය කාලයේ නිතරම පැවසුවේ යුද්ධය තවත් පරම්පරාවකට උරුම නොකරන බවයි. ඒ කිරීමට ඔහු හා රණවිරුවෝ සමත් වුව අද කළ යුතු මේ වෙනස් කම් නොකොට එදා වේල දේශපාලනයෙන් සෑහීමකට පත් වී ඇදගෙන යන්නට සිතුවොතින් තවත් පරම්පරාවකට ඒ යුද්දය නැතත් වෙනත් යුද්දයක් උරුම වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති හිස නැති කවන්ධයට උචිත හිස සොයා ගැනීමට පමා වී හෝ අවංක ප්‍රයත්නයක යෙදිය යුතුය. ඒ හිස සවි කරගත් දාට ඒ පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ පැත්තට අරගෙන උන්ට සන්තෝෂම් දී ගෙන කර ගෙන යන මජර දුර්ගන්දිත දේශපාලන සංස්කෘතියෙන් ගොඩ ඒමට හැකිවනු ඇත. අධර්මිෂ්ට රාජ්‍යයට තිත තැබීම දැන් ආරම්භ කළ යුතුය. ඒ සඳහා ලිච්ඡවීන් මෙන් නිතර නිතර එක් රැස්ව සාකච්ඡා කරමු.

මහින්ද, තවත් ජයවර්ධන පුත්‍රයකු විය යුතු නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

8/17/2014

මිනිස්සු බලාපොරොත්තු වූ කිසිම දෙයක් මේ ආණ්ඩුව ඉටු කළේ නෑ- ආචාර්‍ය ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     8/17/2014   2 comments
ජ්‍යේෂ්ඨ සාහිත්‍යකරුවෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර සමග සිදුකල සංවාදයක සටහන. විවිධ විෂයන් සම්බන්ධ ඔහුගේ සමාජ නිරීක්ෂණයන් මේ සංවාදය තුල අන්තර්ගතය. 

ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් විදියට අද මේ රට යන සිස්ටම් එක ගැන ඔබේ අදහස කියන්නකො බලන්න මුලින්ම.?

අපේ රට තුල යුද්දයක් තිබුනනේ අවිරුදු තිහක් තිස්සේ. ඒක ඉවර කරන්න ජාතික බලවේග නියෝජනය කරපු පිරිසක් වශයෙන් අපි විශාල සහයෝගයක් දුන්නා. යුධ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුනා ජාතික බලවෙග දුන්නු සහයෝගය.  ගොඩක් කල්ලි කණ්ඩායම් මේක ඉවරයක් කරන්න බෑ කිය කිය ඉන්න කොට තමයි අපි මේකට පෙරමුණේ ඉඳන් සහයෝගය දුන්නේ. ත්‍රස්තවාදීන්ට රටේ කොටසක් නොදී ඒ යුද්ධය දිනන්න හැකියි කියන අපේ දදස තමඉ අවසානයේ ජයග්‍රහණය කලේ. අපි ගම් රටවල්වලට ගිහිල්ලා කරුණු කියපු එකෙන් තමයි කොල්ලො වැඩිපුර හමුදාවට බැඳුනේ.
යුධ ජයග්‍රහණයත් සමග අපි විශ්වාස කලා මේ රටේ නව යුගයක් ඇරඹෙයි කියලා. සැබැවින්ම අලුත් පරිච්චේදයක් මේ රටට අවශ්‍යවෙලා තිබුණා. අවංකවම කියනව නම් අපේ ඒ බලාපොරොත්තු අද කඩ වෙලා තියෙන්නේ. අපිට පෙනෙන්නේ නෑ අලුත් යුගයක් උදා වුණ බව. පැරණි පාරෙම ගමන් කරන බව තමයි පේන්නේ. යුද්ධය ඉවර වුනාට පස්සේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විදියට අපි කොමිෂමක් පත් කලා. රාජා වනසුන්දර විනිසුරුතුමාගේ  ප්‍රධානත්වයෙන් තමයි ඒ කොමිෂම පත් කලේ. ඒකෙන් අපි සාකච්ඡා කලේ විවිධ විද්වත් පුද්ගලයන් සමග, රට කොහොමද අලුත් වෙන්න ඕනෑ කියල.
රටේ ආර්ථික ප්‍රතිපත්තිය , සංස්කෘතික ප්‍රතිපත්තිය  දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද කියලයි එහිදී සාකච්ඡා කලේ. ඒකට රජයෙන් කිසිම ප්‍රසිද්ධියක් දුන්නේ නෑ. මාධ්‍යවලිනුත් එහෙමයි. රජය එය වසන් කිරීමට කටයුතු කලා කියලා අපි හිතන්නේ. අන්තිමට අපි ඒකේ යෝජනා රිපෝර්ට් එකක් හදල  ජනාධිපති තුමා මුණ ගැහිලා දුන්නා. ඒකේ ප්‍රධාන යෝජනාවක් තමයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරලා පළාත් සභා ක්‍රමය අහෝසි කරයි කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි ජනාධිපතිතුමාගේ දෙවැනි ධූර කාලය සඳහා මැතිවරණ වෙලාවේ විශාල වශයෙන් මිනිස්සු ඒකරාශී වුණේ. ඒත් ඒක සිද්ධ වුණේ නෑ. ඒක තමයි අපිට තිබුණු හොඳම අවස්ථාව රටේ අලුත් ගමනක් පටන් ගන්න. මිනිස්සු බලාපොරොත්තු වුනු කිසිම දෙයක් ඉටු කරන්න මේ ආන්ඩුව කටයුතු කළේ නෑ.

ඔබ කියන්නේ යුධ ජයග්‍රහණයේ ප්‍රතිඵල රටට ලැබුණේ නෑ කියන එකද?

ඇත්තටම ඔව්. තීරණාත්මක අවස්ථාවක් තමයි මේ ගොල්ලො අත ඇරියේ. අනික යුද්ධයේ ජයග්‍රණය වෙනුවෙන් පෙනී  ඉඳපු අයටත් කරපු ලොකු අසාධාරණයක් ඒක.

ඔබලා වැනි ජාතික බලවේග රැවටුණා කියල හිතෙන්නේ නැද්ද?

අපි නෙවයි රැවටුනේ.රටටයි පාඩුව.විශේෂයෙන් අපි දැකපු කාරණයක් තමයි යුධ ජයග්‍රහණයන් පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැසිරුණු ආකාරය.එයාලට අවශ්‍ය වුනේ එයාලා බලයට පත් කරපු ජාතික බලවේග හෙමින් ඈත්කරලා වෙන වෙන කණ්ඩායම් ළං කරගන්න .මේ ආණ්ඩුව කළේ ඇත්ත වශයෙන්ම ජයග්‍රහණයට සහාය වුනු මිතුරන් අමතක කරලා සතුරන් පිරිසක් ළං කරගැනීමක්.

ආණ්ඩුව ඔබලට ඒ තරම් ගුණමකු වුණේ ඇයි?



රටේ අලුත් යුගයක් ඇති කරන්න පැවති පාලන ක්‍රමයේ වෙනසක් කරන්න මේ අයට ඕනකමක් නැති එක තමයි ප්‍රධාන කාරණය. ආණ්ඩුවට එහෙයි කියන පිරිසක් ළං කරගත්තේ ඒ නිසා. මේ ආණ්ඩුවට නව පරිවර්ථනයක් පිළිබඳ අවබොධයක් තිබුණ බවක් පේන්න නෑ. පරණ පීල්ලෙම යන එක තමයි මේ අයගේ පිළිවෙත වුණේ. 
මේ අය ක්‍රියාත්මක කරන්නෙත් පරණ ආර්ථික ක්‍රමයමයි. ජේ.ආර් ජයවර්ධන හඳුන්වලා දීපු ආර්ථික ක්‍රමයට තමයි ප්‍රේමදාසත් ,චන්ද්‍රිකාත් , මහින්දත් වැඩ කරන්නේ.ඒක තමයි ජේ ආර් ගේ කැබිනට් එකේ හිටපු මුදල් ඇමති රොනීද මැල් පහුගිය දවසක කියල තිබුණේ එයාලා පටන් ගනිපු ආර්ථික ක්‍රමයේ මල් පීදිලා තියෙන්නේ දැන් කියල. මේ ආර්ථික ක්‍රමය අප කිසි ලෙසකින් අනුමත කරන්නේ නෑ. ඒක අපි වනසුන්දර වාර්ථාවෙන් කියපු දෙයක්.මේ ආණ්ඩුව ආර්ථික වෙනසකට ගියේ නෑ. මේක සම්පූර්ණ ධනවාදී ආර්ථික ක්‍රමයක්. රටේ මුදල් සංසරණය වෙන්නේ සුළු පිරිසක් අතේ. ඒ මුදල් සංසරණය වෙන අයගේ අත පල්ලෙන් හැලෙන සොච්චම තමයි බහුතරයකට ලැබෙන්නේ. මේ වග ආර්ථික ක්‍රමයක් නෙවෙයි ජාතික බලවේග විදියට අපි බලාපොරොත්තු වුනේ. අපි බලාපොරොත්තු වුනේ සමානාත්මතාවය සහිත බෞද්ධ සංස්කෘතිය සහිත පුරුෂාර්ථ මුල් කරගත් ක්‍රමයක්.

දැන් පසුතැවීමක්ද තියෙන්නේ ආණ්ඩුවට සහාය දීපු එක ගැන. ?
අපට තියෙන්නේ පෞද්ගලික පසුතැවීමක් නෙවෙයි. රට ගැන කැක්කුමක්. අපි හිතන්නේ මේ විදියට ගිහිල්ලා රට කොතනින් නවතීද කියලා. මේ ආර්ථිකය තව දුරටත් ගෙනියන්න බෑ කියල තමයි අපි හිතන්නේ. විදෙස් ණය අරගෙන මේ කරන සෙල්ලම හරියන්නේ නෑ. සුළු පිරිසක් රජ සැප විඳිද්දි අනෙත් අයට තුන් වේල කන්නත් නෑ. කොළඹ පුරා මහ ලොකු ආකේඩ් හැදෙනවා . පොළොන්නරුවේ මිනිස්සු වතුර නැතිව මැරෙන්න යනවා. සංදර්ශන දාල වැඩක් නෑ. රටේ හැම මිනිහෙක් ගැනම එක වගේ හිතන්න ඕන. ම ආර්ථික ක්‍රමයෙන් දවසින් දවස ඇති නැති පරතරය වැඩි වෙනවා.

බලයට එන්න ඔබලාගේ සහාය ගත්තු මේ ආණ්ඩුව ඔබලාගේ යහපත් යෝජනා පිළිගන්නේ නැත්නම් ඊළඟට මොකක්ද ගන්න පියවර?
මේ ආණ්ඩුව පෙරලන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අපි කෙලින්ම ජනාධිපතිතුමාගේ මූණටම වුණත් මේ දේවල් කියනව. එහෙම පෙන්නල දීලා හදාගන්නයි බලන්නේ. ගොඩක් අය කෙලින් අදහසක් කියන්න බයයිනේ. අපිට නැති වෙන්න දෙයක් නෑ. අපි වරප්‍රසාද අරගෙන නෑ. ඒ නිසා කටවහගෙන ඉන්න වුවමනාවක් නෑ. මේ ආණ්ඩුවට බලපෑම් කරලා හෝ හරිමගට දාගන්න ඕනෑ. ඒක කරන්න බෑ බොරු බටර් ගාලා. කියන්න තියෙන දේ ජනාධිපතිතුමාට කෙලින්ම කියන්න ඕන. එහෙම නැතිව " ඔබතුමා තමයි මේ රටේ පහළ වුණු ශේෂ්ඨතම නායකයා " කියල අන්දන්න සූදානම් නෑ අපි. අපිට තනතුරු බේරගන්න ,කොන්ත්‍රාත් අරගන්න  වගේ ගනුදෙනු නැති නිසා අපි උත්සාහ කරන්නේ රටත් රටේ මිනිස්සුත් බේරගන්න.

ඔබලා කොච්චර කිව්වත් ,යෝජනා ගෙනාවත්  ආණ්ඩුව ගනන් ගන්නේම නෑ වගේ නේද?
 අපිට කමක් නෑ එයාලා ගණන් ගන්නේ නැති වුනාට. ඒක එයාලගේ විනාශය. ඒකට අපට කරන්න දෙයක් නෑ. අපිට ඇති කෙහෙල්මලක් නෑ මේ කෑගැහිල්ලෙන්. අපි රට  ගැන අවංකවම හිතන නිසයි මේවා කරන්නේ. අපි කියන්නේ නෑ මේ ධනවාදී ආර්ථික ක්‍රමයෙන් රටක් දියුණු කරන්න බෑ කියල. ඒත් දවසින් දවස මේ ණය ගන්න විදියට අපට උහුලන්න බෑ. ධනවාදී ක්‍රමයෙන් ඉන්දියාව වගේ ලොකු රටක් දියුණු කරන්න පුළුවන් වෙයි. අපේ රටේ පහුගිය කාලවල ඇතිවුණු ගැටුම් තුනටම හේතුව මේ ඇති නැති පරතරය. වෙන රටවල් දිහා බලල නෙවෙයි , අපේ රටටම ගැලපෙන ආර්ථික මොඩලයක් හදාගන්න ඕනෑ.

රටේ උගත්තු, කලාකාරයෝ කියලා පෙනී ඉන්න අය දේශපාලන නායකයන්ගේ වැරදි පෙන්වා දෙනවා වෙනුවට "යස් සර්" ක්‍රමයට නේද අනුගත වෙලා ඉන්නේ?

අපෝ, උග් ගැන කතා කරල වැඩක් නෑ.බඩගෝස්තරවාදියෝ ටිකක්. මුන් මොන බුද්ධිමතුන්ද? මේ නිවටයන්ට කාර් එකක් හරි මොකක් හරි දුන්න ගමන් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. උපදේශක කමක් එහෙම දුන්නොත් මුන් ආත්මේ පාවලා දෙන්න වුනත් සූදානම්. දැන් ඔය කලාකාරයො වෙලා ඉන්න එවුන් දිහා බලන්නකො. කලාකාරයො කියන නමටත් ලැජ්ජාවක්. මේ අය එදා වේල ගැන හිතන එවුන්. අපේ රට වැඩිපුරම බිහිකරලා තියෙන්නේ අනුකාරක උගත්තු. මේ රට ගැන කල්පනා කරන අනුකරණයෙන් තොර ,අදීන , බුද්ධිමත් පුද්ගලයො නෑ. එහෙම බුද්ධිමත් පරපුරක් බිහි කරන්න අපේ අධ්‍යාපන ක්‍රමයවත් සමත් වෙලා නෑ.


ඔබගේ ලඟම හිතවතෙක් වුණු මහාචාර්‍ය සරත්චන්ද්‍ර වගේ කෙනෙක් දේශපාලකයන් ඉස්සරහ කොන්ද නැමුවේ නැතිව හිටියේ කොහොමද?

සරත්චන්ද්‍ර අවංක කලාකාරය්ක්නේ. අති දක්ෂ බිද්ධිමතෙක් . එහෙම මිනිස්සු පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. දැන් ඉන්න කාලාකාරයො කලාව කරන්නේ නැතිව වෙන හැමදේම කරනවා. සරත්චන්ද්‍රලා කලේ කලාව විතරයි. එයාට දේශපාලකයො පස්සේ රස්තියාදු වෙන්න වලාවක් තිබුණෙත් නෑනේ. අනික අද තියෙන වටපිටාවත් එහෙම නෑනේ.
විවෘත්ත ආර්ථිකයත් එක්ක බිහි වෙච්ච සංස්කෘතිය  දිහා බලමුකො. එදා "77 පටන් ගත්තු විජාතික  සංස්කෘතික ආක්‍රමණය එදාට වඩා සිය ගුණයකින් අද වැඩි වෙලා තියෙන්නේ. මේ පරිහානියේ තරම තේරුම් ගන්න පුළුවන් පුංචි  උදාහරණයක් තමයි ටෙලිවිෂන් එක. ඇත්තටම මේවා රූපවාහිනී නෙවෙයි. දැන් තනිකරම වෙළඳවාහීනී. ටෙලිවිෂන් එකෙන් කෙරෙන සංස්කෘතික හානිය ක්ළවරක් නෑ. එදා කොළඹ කුරුඳුවත්තෙන්  පටන් ගත්තු ඒ සංස්කෘතික ආක්‍රමණය අද ගම් දනව් කරා ගිහිල්ලා ඉවරයි. ඔය ක වෙළඳවාහිනියකින් දැක්කද පසුගිය දවස්වල අර ඇඹිලිපිටියේ කොල්ලෙක් අල්ලගෙන කරපු නාඩගම. මේක ඒ කොල්ලට ආදරේට කරපු වැඩක් ද? අද පවතින කුණු ආර්ථිකයට නියමෙට මුක්කුව ගහන්න මේ ටෙලිවිෂන් එහෙමත් සැදී පැහැදී ඉන්නේ. මේ ආර්ථිකයට ඕනෑ අඥානයො බිහි කරන්න. මේ ආර්ථිකයේ තියරිය තමයි "කාපල්ලා .බීපල්ලා. ජොලි කරපල්ලා" . රට ගැන හිතන වුන් මේ ක්‍රමේට වැඩක් නෑ. ජේ ආර් මේක පටන් ගත්තෙම එහෙමනේ. මිනිහා ඇහුවේ "සහිත්‍යය කන්නද" කියලා. මොකද සාහිත්‍ය කලාව තුලින් තමයි ක්‍රමය ප්‍රශ්න කරන්නේ. ක්‍රමය ප්‍රශ්න කිරීම ක්‍රමය පවත්වාගෙන යන අයගේ පැවැත්මට තර්ජනයක්. ඉතින් ක්‍රමය පවත්වාගෙන යන අය බලන්නෙම රට මන්ද බුද්ධික කරන්න. එහෙම මෝඩයො ඉන්නතුරු ඒ අයගේ පැවැත්ම ස්ථාවරයි.

සාහිත්‍ය කන්නද කියල අහපු ජේ.ආර් ජයවර්ධනට බණින අයත් නොකියා කරන්නෙත් ඒ ටිකම නේද?

මේ අය ජේ.ආර් ටත් වැඩිය ඉහලින් ඒ ටික කරගෙන යනවා. අද ජේ. ආර් කොහේ හරි ඉඳගෙන බලාගෙන ඉන්නවනම් සංතෝස වෙනවා ඇති. ජේ.ආර් ට හිනා යනව ඇති යා පැල කරපු ගස්වල අද මල් ඵල හැදිලා තියෙන හැටි දැකලා.


ආණ්ඩුවෙන් කලාකරුවන්ට ලැබෙන වරප්‍රසාද බෙදී යාමේ විෂමතාවයක් තියෙනව කියල කලාකාරයො පිරිසක් කියනව.
මට නම් පේන්නේ නෑ කලාකාරයො කාටවත් අහේනියක් තියෙනව කියල. අනෙක මොකටද එහෙම හිඟාකන්නේ? ආණ්ඩුව එහෙම නොකරනව නම් නොකරන්නේ ආණ්ඩුවේ කපටිකමට. මේ අඥානයො ටිකක් බොරුවට කෑ ගහනව. අපි මේ සිල්ලර ප්‍රශ්න ගැන කතා කරනවට වඩා පුළුල් විදියට කල්පනා කරල බලන්න ඕන
කාරණා රාශියක් තියෙනව.  මම මුලිනුත් කිව්වා වගේ නිදහසින් පස්සේ අපේ රටේ බිහිවුණේ අනුකරණවාදී ජනතාවක්. ඊට මූලික හේතුව තමයි අපි අපේ ජාතිකත්වය වටහාගෙන නෑ. අපිට වසර ගණනක් පුරා ආ ජාතිකත්වයක් තිබුණා.  දිගු කාලයක් පරාදීන රටක් විදියට පැවතුණු නිසා ඒක අමතක වෙලා ගිහින් තියෙන්නේ. ඒ අඩපණ වෙලා තියෙන ජාතිකත්වය අපි අවදි කරගන්න ඕනෑ. වාසනාවකට වගේ ඉන්දියාව අවුරුදු 60 කට පස්සේ ඒක ලබාගෙන තියෙනවා. අපි තාම හූල්ල හූල්ල ඉන්නවා. අපි අපේ ජාතිකත්වයට ගියෝතින් මේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා.

රටක කාලාකරුවො දේශපාලන වහල්භාවයට පත්වීම එරට සමාජයට බලපාන්නේ කොහොමද?

කලාකරුවා කියන්නේ දැවැන්ත පුද්ගලයෙක්. අප රටේ කලාකරුවො කියල පිරිසක් ඉන්නවද කියලත් සැකයි. බඩගෝස්තරේට නටන උන් කලාකාරයො නෙවෙයි. අපේ රටේ  ටෙලිවිෂන් එකෙන් ඔය තරු කියල උඩ දාන උන්ටත් පස්සෙන්දට කියන්නේ කලාකරුවො කියල. මුන්ට මොනව උනත් කමක් නෑ. මුන් වගේ එවුන් නැති තරමට හොඳයි.  කලාකාරයො කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. හැම අතින්ම ප්‍රාඥයෙක් තමයි  කලාකාරයෙක් වෙන්නේ. බුද්ධිය නැතිව කොහොමද කලාකරුවො වෙන්නේ. බොරු කකුල්කාරයො ටිකක්නේ අද අපේ රටේ කලාකාරයො කියල පුම්බගෙන ඉන්නේ. බුද්ධිමත් කලාකරුවන් දේශපාලන වහල්භාවයට යටත් වෙන්නේ නෑ. ඔහු ස්වාධීනව තමන්ගේ දේ කාරනව.

සංවේදී කියන කලාකාරයො රොත්තක් රටේ නායකයොත් රවටලා ජනතාවත් මුලා කරනව කියල තමයි හැමෝම කියන්නේ?
ජනතාව කොහොම වෙතත් රටේ දේශපාලන නායකයො නම් රැවටෙනවා කියල හිතන්න අමාරුයි. අපේ දේශපාලකයො රවට්ට බෑ ලේසියෙන්. මේ ගොබ්බ කලාකාරයොන්ට අත්පුඩු තලන මෝඩ මිනිස්සු නම් මෙයාලගේ කතාවට රැවටෙනවා. ඒකනේ මේ මිනිස්සු ඔය නළු නිළියන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවටත් යවන්නේ. මේ යන නළු නිළියන්ට දේශපාලන දැනුම තියා සාමාන්‍ය දැනුමවත් නෑ.  කට ඇරිය ගමන් ගොන් කම ප්‍රදර්ශනය වෙනවා. අපේ රටේ තුප්පහි සංස්කෘතියේ නියෝජනයක් විදියට තමයි මට නම්  මේ ගොඩක් කලාකාරයො කියන ඈයෝ පේන්නේ. අපේ රටට ප්‍රබුද්ධ දේශපාලන නායකත්වයක් සමග ප්‍රමුද්ධ කලාකරුවොත් අවශ්‍යවෙලා තියෙනවා.

අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ හිටපු ප්‍රසිද්ධ චරිතවලට අද මොකද වෙලා තියෙන්නේ?
මොනව වෙන්නද. ඔය ඉන්නේ මහින්ද රාජපක්ෂග සටකේ එල්ලිලා . ඔය වාමාංශිකයො කියල කියන්නෙත් අනුකාරකයො පිරිසක්නේ. එයාලට කට උත්තර නෑ අද. සමාජයට ඒ අයගෙන් කිසිම බලපෑමක් නෑ. නිකන්ම නිකං කැන්සල් වෙච්ච පිරිසක්. අපේ රටේ සමාජ දේශපාලන පරිහානියේ  තවත් එක් උදාහරණයක් තමයි මේ වාමාංශික දේශපාලන නායකයන්ට වෙච්ච දෙයින් පේන්නේ.

සංස්කෘතික පිරිහීමට පිළියම් සොයන්න ඕනෑ වගකිවයුත්තො ඒක පෙන්න පෙන්න ඉන්නවා විතරයි නේද?
සංස්කෘතිය පිරිහිලා කියන එකනම් අහන්න දෙයක් නෑ. ඒක පිරිහිලා කියල කිය කිය ඉන්න දේකුත් නෑ. ඕනෑ කෙනෙකුට ඒක පේනවනේ. කරන්න තියෙන්නේ ඒ පිරිහීම පුළුවන් තරමකට වළක්වාගන්න එක. ඒත් ඒක කරන්න කවුරුවත් සූදානම් නෑ. ඒක කරන්න පුළුවන් ජාතික නායකයන්ටයි බුද්ධිමතුන්ටයි. එහෙම නැතිව ඔය රූපවාහිනී සාකච්චාවලට ඇවිත් පම්පෝරි ගහන අයට ඕක කරන්න බෑ. රටට කිසිම වැදගැම්මක් නැති වසංගතයක් නම් ඒක සීඝ්‍රයෙන් රට පුරා බෝ වෙනවා. රටට ජාතියට ජහපත් දෙයක් එහෙම වෙන්නේ නෑ. සංස්කෘතිය විතරක් නෙවෙයි අද කොයි තැනද පිරිහිලා නැත්තේ. 


දැන් කලාකරුවන්ට ජාතිය සහ ආගම හොඳ බයිට් එකක් වෙලා වගේ නේද?
අපෝ. ඔය ගැන කතාකරල වැඩක් නෑ. මේ උන්දල මේක සල්ලි ටිකක් ගරාගන්න පාවිච්චි කරනව විතරයි. ජාතිය ආගම මතුපිටින් පෙන්නනවා විතරයි.  ඔය කියන තරම් ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙනව නම් මේ රටට මෙහෙම විනාසයක් වෙනවද? ඔය කියන එකම දේකවත් ගැඹුරින් මේ දේවල් සාකච්චා වෙලා තියෙනවද? අද ජාතිය ආගම දෙක හොඳට විකුණගෙන කන්න පුළුවන් කියල මේ ගොල්ලො දන්නවා. වළ ඉහගෙන කන මේ යක්කුන්ට මොන ජාතිය ආගම ගැන කැක්කුමක්ද?

අමරසේකර මහත්මයා පහුගිය කාලේ පෙන්නපු චිත්‍රපටි එහෙම බැලුවද?
මම ඔය ජරාව බලන්න වෙලාව නාස්ති කරන්නේ නෑ.

අද දවසේ සහිත්‍යය ගැන මොකද හිතෙන්නේ?
රටේ හැමදේටම සිද්ධවෙලා තියෙන විනාසය සාහිත්‍යටත් සිද්ධවෙලා. තුට්ටු දෙකේ සම්මාන පොරයක් එක පැත්තක. හරි විචාරයක් නෑ. ඔය චිත්‍රපටි හදන උන් වගේම තමයි පොත් ලියන කට්ටියත්. කාලෙටා විකුණගන්න පුළුවන් දෙයක් කරලා සල්ලි හම්බ කරනවා. සාහිත්‍ය ගැන හැඟීමක් නම් තියෙන්නේ සම්මානවලට කුලල් කාගන්නේ මොකටද?
අනිත් එක රටේ බුද්ධිමය සංවාදයක් නැතුව සාහිත්‍ය දියුණුවක් ඇති වෙන්නේ නෑ. කවුද ඒ බුද්ධිමය සංවාදය අද කරන්නේ? කවුරුවත් නෑ. අපිට පුළුවන් තරමින්  අපි දෙයක් කරනවා. අඩුම තරමේ කෙලින් කතාකරන්නවත් මිනිහෙක් අද නෑනේ. බුද්ධිමය සංවාදයකට වටපිටාව සකසන්න ආණ්ඩු උත්සාහ කරන්න්නෙත් නෑ. ආණ්ඩුවත් අඥානයි. මිනිසුත් එහෙමයි.

මෝඩ ආණ්ඩුවක් රකින වැඩේ ම නෙවෙයිද ඔබලත් කරන්නේ?
අපි උත්සාහ කරන්නේ ආණ්ඩුව මේ මෝඩකමින් ගලවගන්න. ඒක තමයි අපිට තියෙන අභියෝගය. මේක නැතිව අපිට විකල්පයක් නෑ. මේ ආණ්ඩුව කරන තකතීරු වැඩවලින් රටට වෙන විනාශය ගැන කියලා නිවරදි කරගන්නයි අපේ උත්සාහය.

දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පිටුපස ඉන්න දේශපාලන චරිත එක්ක පෑහෙන්න පුළුවන්ද හිතට එකඟව?

අපේ පිටිපස්සේ මොකා හිටියත් අපට කමක් නෑ. අපි කාගෙවත් පිටිපස්සේ නෙවෙයිනේ ඉන්නේ. අපේ පස්සෙන් ඕනැ කෙනෙකුට එන්න පුළුවන් .අපි රට ගැන කැක්කුමකින් වැඩ කරන පිරිසක්.  අපිත් එක්ක ඉන්න අයගේ දේශපාලන මතිමතාන්තර අපට වැඩක් නෑ. අපි දේශපාලන න්‍යායපත්‍රවලට යට වෙන්නේ නෑ. අද මේ රටට ඔනෑ දේශපාලනය ඉක්මවා ගිහින් රට ජාතිය ගැන හිතන පිරිසක්.

-ලංකාදීප
2014-08-10

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions