11/27/2013

ජාතකය පණ මදිද?

කතෘ:යුතුකම     11/27/2013   4 comments
යහළුවන්ඔරවයිද
ප්‍රභූ අයහිනැහෙයිද
අතින් කන්නටබයද
හෝටලටය ලොකුවැඩිද
වැළදුවේ බුදුරදුන්
නොමවේද ගරුඅතින්
වැදගත්ද සුදුඑවුන්
පරදවා බුදුරදුන්
හීනමානයබලව්
සිහළුනේ ලැජ්ජා වව්
සුද්දාම කොපි කරව්
ජාතකය විසිකරව්
කුමට නුඹලැජ්ජාද
අත නුඹේගැහෙනවද
හෝටලටය ලොකුවැඩිද
ජාතකය පණමදිද
වාදයට නොම ගොසින්
පතුරවන මෙත් සිතින්
නුඹ කන්න නුඹෙ අතින්
නුඹේ උරුමය ලෙසින්
--ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය

11/14/2013

ගැලරියේ හිඳ සමනල සංධ්වනිය නැරඹීමි

කතෘ:යුතුකම     11/14/2013   7 comments




කලාවෙහි කාර්ය භාරය වන්නේ රසිකයා පහන් සංවේගයට පත් කිරීම ය. එබැවින්, රසිකයාගේ මනසෙහි රස ජනිත කිරීම කිසියම් කලා නිර්මාණයකින් අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුත්තකි. සිනමාව ද කලාවකි. මේ නිසා ම කිසියම් සිනමා නිර්මාණයක උසස් පහත් බව මැනීමේ දී නිර්මාණය මගින් ප්‍රේක්ෂකයා කෙතරම් දුරට රසාශ්වාදයට පත්කරන්නේ ද යන්න අනිවාර්ය නිර්නායකයක් බවට පත් වේ. චිත්‍රපටයේ තේමාව සුන්දර වුවත්, කටුක වුවත්, සමස්ථය සෞන්දර්යාත්මක නොවන්නක් කිසි සේත් ම කලාත්මක චිත්‍රපටයක් විය නොහැක. ඒ කෙසේ වෙතත්, 'ජයන්ත චන්ද්‍රසිරි යනු සෑම විට ම සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන නිර්මාණ බිහි කරන කලා කරුවෙකි' යනුවෙන් අප සිත් තුළ වූ අදහස නිවැරදි බව ඔහු යලිත් ඔප්පු කර ඇත. සිනමාකරුවෙකු ලෙස ජයන්ත පැමිණ ඇති ගමන් මග කෙටි ය. පසුගිය වසර වන විටත් ඔහු අතින් නිර්මාණය වී තිබුනේ චිත්‍රපට දෙකක් පමණි. එහෙත්, ටෙලි නාට්‍යා කරුවෙකු සහ වේදිකා නාට්‍ය කරුවෙකු ලෙස ජයන්ත විසින් අප තුළ ගොඩ නංවන ලද විශ්වාසය යි ඔහුගේ තෙවන සිනමා නිර්මාණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට අප පොළඹවන ලද්දේ. දැන් ඔහු එම නිර්මාණය ද එළි දක්වා ඇත. දැන් එළඹ ඇත්තේ එම තෙවන සිනමා නිර්මාණය වන "සමනල සංධ්වනිය" රස විඳීමේ අපේ වාරය යි.

චිත්‍රපටය සිය කතාවට මුල පුරන්නේ, 1992 වසරේ දී පුණ්‍යා නම් තරුණියක් (යශෝධා විමලධර්ම) සිය ආදරය ඉල්ලා සිටින රේවත නම් තරුණයෙකුට තම කැමැත්ත ප්‍රකාශ කරමින් ලියු ලිපියක් වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් පාසල් සිසුවාට (සූර්යා දයාරුවන්) හමුවීමේ සිද්ධියකිනි. ලියුම් බෙදන්නා විසින් විසි කරනු ලබන ලිපි ඕනෑ තරම් කියවා ඇති වාදීෂගේ සිත තුළ කම්පනයක් ඇති කිරීමට පුණ්‍යාගේ ලිපිය සමත් වෙයි. එම ලිපිය පෙම් හසුනකි. එය බොහෝ විට යෞවන ප්‍රේමය සම්බන්ධව වාදීෂගේ පළමු අත්දැකීම බව සිතිය හැකිය. ඒ වන විටත් වාදීෂ කෙරෙහි සිය පාසල් මිතුරියක් වන අහිංසා දැරණියගලගේ (බුද්ධිනි පූර්ණිමා) යම් කැමැත්තක් ඇති බව පෙනුනත්, ඔහු ඒ ගැන කිසිඳු උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. අනෙක් අතට, මෙම ලිපිය රේවත සහ පුණ්‍යාගේ ජීවන මගෙහි සන්ධිස්ථානයකි. සෙසු ලියුම් මෙන් කියවා විසි නොකර, මෙම ලිපිය අයිතිකරුවන්ට ම බාර දීමට වාදීෂට සිතෙන්නේ එබැවිනි. මෙම සිද්ධිය මට එකතරා පැරණි සිංහල චිත්‍රපටයක කතාවක් සිහි ගන්වයි. (චිත්‍රපටයේ නම මට මතක නැත). එයින් කියවුනේ වසර ගණනකට පෙර නැති වූ ලියුම් මල්ලක් නිසා, එහි වූ ලියුම් වලට සම්බන්ධ පුද්ගලයන්ගේ ජීවිත තීරණාත්මක ලෙස වෙනස් වී තිබෙන ආකාරය යි. එහෙත්, මෙවැනි එක් ලියුමක් නැතිවීමෙන් ඔවුන්ගේ ජීවිත වලට වන බලපෑම නොගිනිය හැකි නොවේ දැ යි එස්.එම්.එස්. යුගයේ ජීවත් වන තරුණයෙකු ඇසුවොත් එය පුදුමයට කරුණක් ද නොවේ. ඒ අද වන විට අපට සිතා ගත නොහැකි ආකාරයට සන්නිවේදන තාක්ෂණයේ වෙනස් කම් මගින් අප ජීවිත වෙනස් කර ඇති නිසා ය.

මිනිස් සිත විසිතුරු ය; විවිධාකාර ය. 'කිසියම් අවස්තාවකට අදාලව කෙනෙකු සිතන්නේ මෙසේ ය; මේ ආකාරයට ය;' කියා මනස සාධාරණීකරණය  කිරීමකට යමෙකු පෙළඹෙන්නේ නම් එය අනුවණ කමකි. කෙනෙකුට ඉතා සුළු කොට තැකිය හැකි සිදුවීම් පෙළක්, තවත් පුද්ගලයෙකුගේ සිත තුළ වසර ගණනාවක්, ඇතැම් විට ජීවිත කාලය පුරා ම හොල්මන් කළ හැකි ය. මේ සිද්ධිය අරබයා වාදීෂ තුළ ඇතිවන්නේ අතිශය සංකීර්ණ හැඟීම් සමුදායකි. එය පුණ්‍යා නම් වැඩිහිටි තරුණිය කෙරෙහි ඇතිවන හුදු ප්‍රේමයක් ද නොවේ. 'මලීනා' නම් ලෝක ප්‍රකට ඉතාලි චිත්‍රපටයේ රෙනාතෝ නම් නව යොවුන් වියට පිවිසෙන දරුවාගේ සිතෙහි මලීනා නම් වැඩිහිටි කාන්තාව කෙරෙහි ඇතිවන ආකාරයේ රාගය පෙරටු කර ගත් එකක් ද නොවේ, එය. උක්ත ලිපිය රේවත අතට හෝ යළි පුණ්‍යා අතට හෝ පත් නොවීමෙන් ඔවුන්ගේ ප්‍රේමයට අත් විය හැකි ඉරණම ගැන අනුකම්පා සහගත හැඟීමකින් ඇරඹෙන්නකි. එහෙත්, පසුව කුමාරි උද්‍යානයේ දී පුණ්‍යා දැකීමත් සමග ඇගේ රූමත් බවින් කම්පනයට පත් වන නව යොවුන් තරුණයා තුළ ඇගේ භෞතික රූපය කෙරෙහි යම් ආලයක් (ඇල්මක්) හට නොගත්තා යැ යි ද කිව හැකි නොවේ. පුණ්‍යාගේ පසු පසින් ඇගේ නවාතැන්පොල වෙත යාමට වාදීෂව පොළඹවන්නේ මෙම ඇල්ම ද? එසේ යාමෙන් පසුව අභූත චෝදනාවකට ලක් වන හෙතෙම ඉන් ගලවා ගැනීමට පුණ්‍යා දරන උත්සාහය නිසා ඇය ගැන කිසියම් ගෞරවණීය හැඟීමක් ඔහු තුළ ඇති විනැ යි ද අපට උපකල්පනය කළ හැකි ය. කෙසේ වෙතත්, විවිධ අවස්ථානුකූල සිදුවීම් හේතුවෙන් ලියුම නැවත පුණ්‍යාට ලබා දීම මග හැරී යාමත්, ලිපිය සිය වැඩිමහල් සොයුරා අතට පත් වීමත් නිසා තමා අතින් මහා වරදක් සිදු වූයේ ය යන හැඟීමක් ද වාදීෂ තුළ ජනිත වූවා යැ යි කිව හැකි ය. මේ සියල්ල මුසු වූ වචනයෙන් විස්තර කළ නොහැකි සංකීර්ණ හැඟීම් ගොන්න සිය සංගීත නිර්මාණ ඔස්සේ වරින් වර එළි දැක්වෙන්නේ මෙතැන් සිට ය. මේ සියල්ලෙහි අග්‍ර ඵලය වන්නේ, වදීෂ අතින් නිමවෙන 'මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා' නම් ගීතය යි. චිත්‍රපටය ඇරඹෙන්නේ ම වර්තමානයේ යොවුන් විය පසු කරමින් සිටින වාදීෂ නම් ජනප්‍රිය ගායකයා සහ සංගීතඥයා (උද්දික ප්‍රේමරත්න) මහා ප්‍රසංගයකදී මෙම ගීතය ගායනා කරන අවස්ථාවකිනි. ඒ අතර තුර දිග හැරෙන්නේ ඔහුගේ නොවන වදීෂගේ ආදරය යි. එය ඔහුගේ ප්‍රථම මෙන් ම එක ම ප්‍රේමය යි. එහෙත් එය ඔහුගේ ප්‍රේමය නොවේ. එය, ප්‍රේමය යනු කුමක් දැ යි ඔහුට කියා දුන් අත්දැකීම යි; සිය ජීවිතයෙන් මකා දැමීමට තැත් කරන අත්දැකීම යි. චිත්‍රපටයේ එක දෙබසකින් කියවෙන ආකාරයට පසුගිය වසර විස්සක පමණ කාලය තුළ තරුණියන් කිහිප දෙනෙක් සමග වාදීෂගේ ප්‍රේම සම්බන්ධතා පැවතී ඇතත්, ඒවා අසාර්ථක වී ඇත්තේ, ආදරය ගැන සිතට නැඟෙන සෑම විටක ම සිය මුල් අත්දැකීම විසින් ඔහු පීඩාවට පත් කරනු ලැබීම විය හැක. මේ මහා සංගීතඥයා මධුලොලියෙකු (බේබද්දෙකු) බවට පත් වන්නේ ද මෙම අත්දැකීම අමතක කිරීම පිණිස මත් පැනින් මෝහය කරා යාමට ඔහු පෙළඹෙන නිසා ය. අවසානයේ, හෙතෙම සෞන්දර්යා නම් තරුණියක් (චතුරිකා පීරිස්) සමග යෝජනාවක් ඔස්සේ විවාහ වන්නේ, සිය හැසිරීම් මගින් බිරිය සහ කුඩා දියණිය පීඩාවට පත් කර යි.


අපි විවිධ කාම වස්තූන් විෂයෙහි ලෝභ, ද්වේශ, මෝහාදී සිතුවිලි ඇති කර ගනිමු. අප එසේ කරන්නේ එම වස්තූන්ගේ ස්වභාවය වෙනස් වන සුළු බව ද අමතක කරමිනි. වසර විස්සකට පමණ පසු කුමාරි උද්‍යානයේ දී ම වාදීෂ නැවත පුණ්‍යා මුණගැසෙන අවස්ථාවේ දී අප (සහ වාදීෂ) පෙර දැක තිබූ සුන්දර ස්ත්‍රී රූපය වෙනුවට දුර්වල, වයස් ගත රූපයක් අප දකින්නේ අනිත්‍යතාව ගැන යම් ඉඟියක් ද ලබමිනි. එම අවස්ථාවේ වාදීෂ තුළ මෙන් ම ප්‍රේක්ෂක අප තුළ ද, පුණ්‍යා දැකීමෙන් ඇති වන්නේ කම්පනයකි. ඒ මොහොතේ වාදීෂගේ කළමණාකාරවරයා වන ඩැනීගේ (විල්සන් ගුණරත්න) මුවින් පිටවන වචන කිහිපය නොවන්නට මේ අදහස තවත් තීව්‍ර වීමට ඉඩ තිබුණි. එසේම අප කම්පනයට පත් කරන තවත් හේතුවක් වන්නේ විසි වසරකට පසුව ද පුණ්‍යා එහි තනිව ම දක්නට ලැබීම යි. එහෙත් පසුව කියවෙන්නේ පුණ්‍යා විවාහ වී සිටියේ බ්‍රිගේඩියර් රේවත දිසානායක (රොජර් සෙනවිරත්න) සමග බවත්, ඔහු වසර කිහිපයකට පෙර හමුදා ක්‍රියාන්විතයක දී මිය ගොස් ඇති බව යි. 92 වසරින් පසුව බොහෝ මාර්තු මාස වල ඔවුන් දෙදෙනා කුමාරි උද්‍යානයට පැමිණෙන්නට ඇත. එහෙත් 1993 වසරේ දී කුමාරි උද්‍යානයට පුණ්‍යා පැමිණ ඇත්තේ රේවත සමග නොවේ. එසේ වූවා නම්, ඇතැම් විට වාදීෂගේ ජීවිතය මීට ඉඳුරා ම වෙනස් වීමට ද ඉඩ තිබුණි. ඇතැම් විට ඔහු තුළ වූ විශිෂ්ට සංගීතඥයා එතනින් ම මිය යන්නට ද ඉඩ තිබුණි. මේ සියල්ලේ ම එකතුව අපට මවා දෙන්නේ රසවත් කතාවකි. මේ කතාවේ පාත්‍ර වර්ගයා මුහුණ දෙන අත්දැකීම් රසවත් යැයි කීම වැරදි ය. එහෙත්, එම අත්දැකීම් ඇසුරෙන් අපට ගොනු කර දෙන කතාව රසවත් බව කීම නිවැරදි ය. එම රසවත් කතාව ඉතාමත් සෞන්දර්යාත්මක ලෙස ඉදිරිපත් කිරීමෙන් ජයන්ත චන්ද්‍රසිරි යලිත් පෙන්වා දෙන්නේ සිනමාකරුවෙකු ලෙස ඔහු සතු ප්‍රතිභාව යි. සමනල සංධ්වනිය වැනි සංගීතය තේමාව කර ගත්, සංගීතමය චිත්‍රපටයක පසුබිම් සංගීතය සහ එහි ගීත වල තනු සහ සංගීතය ගැන කතා නොකරන්නේ නම් මා කරන්නේ විශාල වරදකි. 'කේමදාසයන්ගේ වියෝව ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ වල සාර්ථකත්වයට හානියක් කළේ ය' යන ප්‍රකාශය මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළ දර්ශන රුවන් දිසානායකයන්ට කරන අපහාසයක් නොවූවත් ඔහු සිනමා සංගීතඥයෙකු ලෙස පැහැදිලි ඉදිරි ගමනක් ඇත්තෙකු බව මෙතුලින් පසක් කර දෙයි. මගේ දැනුමේ හැටියට මෙය ඔහුගේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂණය වෙයි. එහෙත්, විශේෂයෙන් ම චිත්‍රපටයේ සාර්ථකත්වයට මෙහි ගීත වලින් සහ පසුබිම් සංගීතයෙන් සිදු වූ මෙහෙය ඉමහත් ය.

මම සිනමා විචාරකයෙක් නොවෙමි. එහෙත්, මම සිනමා විචාර ද කියවීමට රුචිකත්වයක් දක්වන සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයෙක් වෙමි. මට වැටහෙන ආකාරයට ජයන්ත චන්ද්‍රසිරි යනු සිනමා විචාරකයන්ට වඩා මා වැනි සාමාන්‍ය සිනමා රසිකයන් අතර තැනක් දිනා ගත් චිත්‍රපට කරුවෙකි. ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ අද්‍යතන සිනමා විචාරකයන් අතර අධිපතිවාදී තේමාවන් වන නිරපේක්ෂ යුද විරෝධය, මනෝ විශ්ලේෂණය, ස්ත්‍රීවාදය ආදිය ජයන්තගේ නිර්මාණ තුළට වස්තු විෂය නොවීම ය. දෙවැනි හේතුව වන්නේ, ජයන්තගේ චිත්‍රපට වල දක්නට ලැබෙන ඔහුට ම අනන්‍ය වූ ශෛලිය යි. ජයන්ත චන්ද්‍රසිරි සිය නළු නිළි කැල යොදවන්නේ තාත්වික රංගනයක නොවේ. එම රංගනය තුළ කිසියම් ශෛලිගත ස්වරූපයක් මුසු කරවීම මගින් අපූර්ව සෞන්දර්යයක් ගොඩ නැංවීම ඔහු සතු ප්‍රතිභාව යි. මෙහි දී මට 'හතර දෙනෙක් සෙන්පහියෝ' ටෙලි නාට්‍යයෙහි එන එක්තරා ජවනිකාවක් සිහියට නැඟෙයි. 'පාතාල කල්ලියක නායකයා (බුද්ධදාස විතානාරච්චි) සහ එම කල්ලියේ ම සාමාජිකයෙකු වන ඩයනා (බුද්ධික ජයරත්න) අතර බහින් බස් වීමක් සිදු වෙයි. පාතාල නායකයා සිටින්නේ ඇපල් ගෙඩියක් සපමිනි. කෝපයට පත් වන ඔහු එක් වරම ඇපල් ගෙඩිය ඩයනා වෙත දමා ගසයි. ප්‍රහාරයෙන් ගැලවීමට ඩයනා තම හිස පැත්තකට හරවයි. ඇපල් ගෙඩිය ඔහුට පිටුපසින් සිටි වෙනත් පාතාල සාමාජිකයෙකුගේ හිසෙහි වදියි. ප්‍රහාරයට ලක් වන ඔහු සිහි සුන් ව ඇද වැටෙයි.' ඇපල් ගෙඩියක් හිසෙහි වැදීමෙන් සිහි සුන් වන පුද්ගලයෝ අපට සාමාන්‍ය ජීවිතයේ දී මුණ නොගැසෙති. එහෙත්, අදාළ අවස්ථාවේ දී එවැනි සිද්ධියක් මගින් කිසියම් හාස්‍යයක් ද මුසු රසයක් ජනිත කරවීමට ජයන්ත සමත් වෙයි. ඔහු විසින් යොදා ගනු ලබන මෙම "අර්ධ තාත්වික රංගනය" බටහිර හෝ වෙනත් රටක හෝ සිනමාකරුවන් විසින් යොදා ගනු නොලබන්නේ ය යන්න මගේ හැඟීම යි.මේ නිසා ම ජයන්තගේ නිර්මාණ තුළ පාත්‍ර වර්ගයාගේ මෙම හැසිරීම බොහෝ සිනමා විචාරකයන්ට ගැටළුවක් විය හැකි ය. මා "සමනල සංධ්වනිය" නැරඹීමට අසුන් ගන්නේ ම එතුළ ද මෙම ලක්ෂණය බලාපොරොත්තුවෙනි. කුමාරි උද්‍යානයේ දී කාන්තාවන්ට හිරිහැර කරන මැරයන් දෙදෙනා තුළ මෙන් ම, වාදීෂගේ අයියා (පුබුදු චතුරංග) තුළ ද උක්ත "අර්ධ තාත්වික රංගනය" මට දැක ගත හැකි විය. විශේෂයෙන් ම වාදීෂගේ සොහොයුරා සහ මැරයන් දෙදෙනා අතර හුවමාරු වන දෙබස් කිහිපය තුළ තාත්වික බවක් අන්තර්ගත කරනවාට වඩා රසයක් අර්ධ තාත්වික හැසිරීම් යොදා ගනිමින් මතු කිරීමට සිනමාකරුවා සමත්ව ඇත. එමෙන් ම 'බෝඩිමේ අයියාගේ' කාමරයේ එල්ලා ඇති කාන්තා යට ඇඳුම් දැකීමෙන් තරුණිය (දමිතා අබේරත්න) සිහිසුන් වීම තවත් එවැනි ම උදාහරණයකි. මේ නිසා ම ජයන්තගේ මෙම නිර්මාණය ඊනියා බුද්ධිමත් ප්‍රේක්ෂකයා නොව 'ගැලරිය' ඉලක්ක කර ගත් නිර්මාණයක් බව ඇතැම් විචාරකයන් කියනු ඇත. ඔවුන් එසේ කියන්නේ සෞන්දර්යාත්මක ගුණයෙන් හීන, වාර්තා චිත්‍රපට ලෙස සැලකිය හැකි චිත්‍රපට ඉතා විශිෂ්ට නිර්මාණ ලෙස අගය කරන අතර තුර ය.
බොහෝ විට මෙම සිනමා කෘතියට ඊනියා ජාත්‍යන්තර සම්මාන නොලැබෙනු ඇත. එහෙත්, මගේ නිගමනය වන්නේ සමනල සංධ්වනිය විශිෂ්ට සිනමා නිර්මාණයක් බව ය. ඒ මා එය 'ගැලරියේ' හිඳ නැරඹු නිසා ය.

---දුලන්ජන් විජේසිංහ ----
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/12/2013

අමරසේකරයන්ගේ මැයි දිනය

කතෘ:යුතුකම     11/12/2013   1 comment
නොමැත ම සතු අන් යුතුකම

ලියෝ ටෝල්ස්තෝයි සිය කලාව යනු කුමක්ද? යන නිබන්ධනයේ මෙවැන්නක් සඳහන් කරයි.

’‘කලාකරුවෙකු තමා එයට පෙර කිසිවකුගෙන් අසා නොමැති තමාටම පවා අලුත් වැදගත් කිසිවක්, සිහිනයකින් දැනෙන්නාක් මෙන් යම්තම් දැනගනියි. මේ අලුත් දෙය ඔහුගේ සිත තදින් ඇදගනියි. මෙය ඔහුට වෙන කිසිවකු සමඟ කීමට උවමනා වේ. තමා මෙසේ සිහිනයකින් මෙන් දත් දෙය ඔහු අන් කිසිවකු සමඟ කියයි. එහෙත් ඒ අයට ඔහුගේ සිතෙහි ඇති මේ අදහස නොවැටහෙයි. අන් අයගේ මේ දුරවබෝධත්වය ඔහු තුළ නොසන්සුන් ගතියක් ඇති කරයි. ඉක්බිතිව ඔහු සිය මුළු ශක්තියම යොදා තමා ඒ සිහිනෙන් මෙන් දුටු දෙය ඇත්තක් වශයෙන් වේදැයි සෙවීමට තැත් කරයි. තමාටත් අනුන්ටත් කිසිදු සැකයක් ඇති නොවන සේ ඔහු ඒ තමාගේ හැගීම් සියල්ල කැටි කොට පැහැදිලි සේ ඉදිරිපත් කරයි. මෙසේ කිරීමට ඔහුට තමාගේ මුළු ආත්මශක්තියම අවශ්‍යය. එපමණක් නොව ඒ කාර්යයෙන් යෙදෙන ඔහුගේ තියුණු හැගීම් සියල්ල බලවත් වෙයි. එලෙසින් ඔහුගේ අතින් කලාත්මක කෘතියක් බිහි වෙයි. තමා විසින් විදිනු ලබන තියුණු හැගීම් නිසා ඔහු තුළ බලවත් ප්‍රීතියක් ඇතිවේ. ඔහු බිහි කළ ඒ කලාත්මක කෘතියෙහි රස විදින්නාද ලබන්නේ ඔහු ලැබූ ඒ අත්‍යන්ත ආනන්දයෙන් කොටසකි.

ටෝල්ස්තෝයි සිතන අයුරු කලාත්මක නිර්මාණය මෙවැන්නක් නම් එහි ගැබ් වූ දෙය අලුත් වූද වැදගත් වූද මිනිස් සිත වීමංසනයෙහි හා සිතිවිල්ලෙහි හෙළන්නා වූද අලුත් ප‍්‍රදේශයකට ගෙන යන්නා වූද කරුණක් වනු ඇත.

ගුණදාස අමරසේකරයන් 'කියනු මැන දිවි අරුත' කෙටි කතා සංග්‍රහය රචනා කරමින් සිටින දිනවල අපි එතුමා බැහැදුටිමු. එතුමා තමා විසින් ලියාගෙන යන මැයි දිනය නැමැති කෙටි කතාවට පාදක වූයේ පුවත්පතක පින්තූරයක් සමග පළවූ මැයි පළමු වෙනිදා රිය අනතුරකින් මිය ගිය කතුන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් බව පැවැසීය. "මාර වැඩේ කියන්නේ මේක වෙසක් කාඩ් අරගෙන ආපු වෑන් එකක්" යයි එතුමා පැවැසුවා අපට මතකය. එහි ඇති "මාර වැඩේ" අපට වැටහුණේ අමරසේකරයනට එය පෙනී ගොස් තිබූ ප‍්‍රමාණයකින් අල්පමාත‍්‍රයක් පමණක් බව නොකිවමනාය.

නමුත් ඔහු විසින් ප‍්‍රසූත කළ "මැයි දිනය" නැමැති කෙටි කතාව අප හමුවේ එම "මාර වැඩේ" දිගහැර තබයි. කලාකරුවාගේ කාර්යය අන් කුමක්ද?

මම කවියෙකි හදැති සසල
ලො සත සියළු දුක වළදන
එදුක ලොවට කියනු විනා
නොමැත ම සතු අන් යුතුකම

මේ එතුමාගේ ආවර්ජනා කවි පොතෙහි එන එක් කවි පන්තියක කවකි.


මැයි දිනය

"මැයි දිනය" කතාව ඇරඹෙන්නේ දෙ නෑනෝ මැයි පළමු වැනිදා කුළී වැඩ සඳහා යන ගමනිනි. එහිදී ඔවුන් අතර ඇතිවන කතාවන් මගින් ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳ වැටහීමක් හා අනුකම්පාවක් පාඨකයා තුළ ඇති කරවයි. එමෙන්ම එම දේවල් තුළ පෙනෙන තවත් කරුණක් නම් ඔවුන් තම ඉරණම බාර ගෙන සිටීමය. එය තමන් හා සිය සැමියන් මෙන්ම දරුවන්ද ලබා උපන් සැටි ලෙස සළකා ගැනීමය. 

ඔහු තම දිවිය කොතරම් කටුක හා දුක්ඛිත එකක් වුවද එය බාර ගෙන සිය රෝගී ස්වාමීන් හා දරුවන් නඩත්තුව සඳහා එකම දිවි අරගලයක යෙදෙන අසරණ ගැහැණු දෙදෙනෙකි. ඔවුන්ගේ කතාවෙන් පෙනෙන්නේ ඔවුන් මහත් වූ අතෘප්තිකර සිතින් තැවෙන්නන්ද නොවන බවය. තමන් ගමන් කරන පාර අලුතින් සැකසීම පින් අත්වන වැඩක් ලෙස ඔවුහු සළකති. නමුත් පහේ ශිෂ්‍යත්වයද සමත් වූ සිය දරුවාට යාහැකි ළඟක පාසලක් නොතිබීම ගැනවත් නාගොඩ මද්දි විද්‍යාලයට යැවීමට බෝඩිම සඳහා ගෙවීමට වත්කමක් නොමැතිව සිය දියණියගේ පාසල් ගමන අතරමග නවතින්නට යාම පිළිබඳවත් ඔවුහු රජයටවත් සමාජයටවත් මැසිවිලි නොනගිති. එය තමාගේ මෙන්ම දරුවාගේද ලැබීම ලෙස සළකති. 

කතාවේ දෙවන කොටසේ දී අපට මුණගැසෙන්නේ උක්ත රිය අනතුරට භාජනය වුණු රියෙහි රියදුරු වන විමලසේන හා එහි අයිතිකරු වන ඇක්මන් මුදලාලිත් රිය අනතුර සිදුවන උදයට කලින් රාත‍්‍රියේදීය. ඇක්මන් මුදලාලි සිය එකම අභිලාෂය ලාභය කර ගත් මිනිසෙකි. වෙසක් කඞ්පත් තොගය මුද්‍රණය කරවා කඩ වලට හැකි ඉක්මණින් දැමීමත් අගමැතිගේ බෞද්ධ කොඩි ඇණවුම පොරොන්දු පරිදි භාරදීමත් ඔහුගේ අරමුණය. එය ඉටු කර ගැනීම සඳහා අවැසි වී ඇත්තේ සැඩ පරුෂ වචනයෙන් තම සේවකයා ඇමතීම බව ඔහු විශ්වාස කරයි. ඇක්මන් මුදලාලි සිය චිත්ත සන්තානය තුළ ක්‍රෝධයෙන් දැවෙමින් මුදලට ආශාවෙන් දුක් විදිමින් සිටින්නෙකුය.

වසර ගණනක් අප විසින් අනුගමනය කෙරුණු සමාජ ආර්ථික ක්‍රමවේදය මගින් අප අද සාක්ෂාත් කර ගනිමින් සිටින්නේ බල්ලෝ මරලා හෝ සල්ලි හම්බකර ගත යුතුය යැයි අදහන මිනිසකු නිපදවීම නොවේද? මෙයට උගත් නූගත් භේදයක් නැත. පසුව අපට හමුවන මහේස්ත්‍රාත්තුමා නිතීඥයන් අහිංසකයන් තලා පෙළා හම්බකරගන්නා කාක්කන් ලෙස හඳුනා ගෙන සිටියි. අද අප සමාජයේ බොහෝ වෘත්තිකයන්ට ජඩකම් සිය වෘත්තියේම කොටසක් බවට පත්ව ඇත. අසරණයෙකුව පෙළා ගෙන සිය කද බඩ උස් මහත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන එකෙකු එය අත්හරින්නේ කලාතුරකිනි. එසේ කිරීම සිය උගත්කම ලත් අයිතිවාසිකමක් ලෙස සළකති.

අපේ පරස්පරය

අගමැති තුමා විසින් ඇක්මන් මුදලාලිට ලබා දී ඇති කොඩිවල ‘‘ පිළිවෙතින් පෙළගැසෙමු’’ යන වගන්තිය මුද්‍රණය කළ යුතුය. නමුත් අප අතර සිටින ඇක්මන් මුදලාලිත් අගමැතිලාත් පෙළගැසෙන මේ පිළිවෙත කුමක්ද? එකම පිළිවෙත නම් කෙසේ හෝ සිය ධනකාමය හා බලකාමය පෝෂණය කළ යුතුය යන්නයි. මොවුහු සමාජයම පෙළගස්වන එකම පිළිවෙත ඒ පිළිවෙත නොවෙද? බුදු දහම මේ කටයුත්ත සඳහා යොදා ගැනෙන්නේ පිට පොත්ත සැරසීමටය. අරටුව සැකසෙන්නේ කාමසුඛල්ලිකානුයෝගයෙනි.

යුද්ධයෙන් පසුව හෝ අප ගත යුතු සමාජ ආර්ථික මග කුමක්ද යන්න පිළිබඳව තීරණාත්මක සංවාදයක් මෙරට තුළ ඇති විය යුතුව තිබිණ. නමුත් එවැන්නක් ඇති වූයේ නැත. අප කළේ මෙතෙක් කල් කර පින්නා ගෙන ආ ධනවාදි මාර්ගයම තවත් සන්තර්පණය කරමින් ඉදිරියට ගෙන යාමයි. ඒ තුළ පිටපොත්තෙන් කෙසේ වෙතත් ඇතුළතින් මධ්‍යයෙන් හා හරයෙන් අපි ඇක්මන් මුදලාලිලා වෙමින් සිටින්නෙමු. පිටපොත්තෙන් ධර්මය තවරා ගෙන බුදු දහම විසින් පිටු දක්නා ලද කාමසුඛල්ලිකා
නුයෝගය අනුව අපගේ ජීවත හරයන් සකසමින් සිටින්නෙමු. මෙයින් අප අදහස් කරන්නේ භෞතික සම්පත් ගොඩ නොනගා ඈත ගම්මානයක් වෙත මුළු රටම යා යුතුය යන බොළඳ අදහස හෝ හුදු ක‍්‍රම විරෝධයක් හෝ නොවන බව මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේ ඇතැමෙක් විසින් එවන් අරුතක් මේ අදහස්හි ලා ආරෝපනය කරන්නට ඉඩ ඇති බැවිනි. අප පවසන්නේ අනෙකකි.

බුදු දහම විසින් අනුදක්නා ලද්දේ උත්තර මිනිසෙකු බිහි කර ගැනීම හා ඒ මිනිසුන්ට සුදුසු ප‍්‍රතිරූප දේශය ගොඩ නගා ගැනීමයි. එම උත්තර මිනිසා සිය ආශාවන් පසු පස හඹා යන්නෙකු නොව ආශාවන් දමනයට හිත පුරුදු පුහුණූ කරන නිතැතින්ම අල්පේච්ඡතාවය ගරු කොට තකන්නෙකි. නමුත් ධනවාදි ආර්ථිකයක පදනම කාමසුඛල්ලිකානුයෝගය යැයි අප පවසන්නේ එම ආර්ථික ක‍්‍රමවේදය මිනිසා දකිනුයේ මිනිසෙකුට වඩා පාරිභෝගිකයෙකු ලෙස බැවිනි. ධනවාදය ශක්මත්ව පැවැතිය හැක්කේ අසීමිත ආශාවන්ගෙන් පාරිභෝගිකයා පෙළෙන තරමටය. එම ආශාවන් පසුපස නොනිමි රතියකින් හඹා යන පාරිභෝගිකයා නා නා විධි උපකරණ හා මෙවලම් තමා සතුකර ගැනීමේ සටනක යෙදෙයි. එම නිසා ඇතිවන වෙළඳ පොළට එම උපකරණ හා මෙවලම් සැපයීමත් නැවත වටයකින් අර මිනිසාගේ ආශාවන් ත්‍රිවුර කරමින් නොයෙකුත් ආශා උප්පැද්දවීමත් ධනවාදයෙහි කීවත් ලිබරල්වාදයෙහි කීවත් එහි පදනමය. නා නා මාදිලියේ මෝටර් රථ දිනෙන් දින වෙළඳ පොළට නිකුත් කළ හැකි වන්නේ අර පාරිභෝගිකයා නමැති මිනිසා රථ රතියකින් පෙළෙන තරමටය. එම මිනිසා හා රතිය නිර්මාණය කර ගැනීමට මෙම අර්ත ක්‍රමය සමත් වී ඇති නිසාය. ජංගම දුරකථනය මුලින්ම එන්නේ යන තැනකට රැගෙන ගොස් දුරකථන ඇමතුමක් ගත හැකි උපකරණයක් ලෙසිනි. නමුත් අද එයින් කොරන්න බැරි අහවල් එකදැයි අපට ඇසිය හැකිය. ඒ අයුරින් නිපදවෙන හැම ‘‘ඔප්ෂන්’’ එකක්ම තමන්ට වුවමනා වනවාට වඩා සිදු වී ඇත්තේ ඒවාට තමා තුළ ආශාවන් ඉපදීම බව අර නිර්මිත ‘‘ පාරිභෝගිකයා ’’ නැමැති රූකඩ මිනිහා නොදනියි. තමා ඒ මෙවලම් අත්පත් කරගන්නවා යයි ඔහු සිතතත් සැබැවින්ම සිදු වී ඇත්තේ එම මෙවලම් විසින් තමා අත්පත් කර ගැනුම බව ඔහු නොදකියි.

මෙලෙස ඇතිවන කෙලෙස් ආශා යෝනිසෝ මනසිකාරයෙන් නොදකින මිනිසා බුදුදහම විසින් පිටුදක්නා මිනිසෙකු බව අපට පැහැදිළි විය යුතුය. මේ අර්ථ ක‍්‍රමය විසින් නිර්මාණය කරන මිනිසාත් අපගේ අධ්‍යාත්මය හා සංස්කෘතිය විසින් පතන මිනිසාත් යන දෙක එකිනෙකට පටහැනි බව පැහැදිළිය. දෙමාපියන්ගෙන්, පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් හා සමාජයෙන් අප ඉගෙන ගන්නේත් අප අත්දකින්නේ එකිනෙකට පරස්පර දෑය. මේ සියල්ලෙන් අච්චාරුගත වුණු ව්‍යාධීන්ගෙන් පෙළෙන සමාජයකි වත්මනෙහි අප හමුවේ ඇත්තේ. අප රටේ තරම් සෝබනය ගැන සිතන වෙහෙසෙන  වියදම් කරන පිරිසක් වෙනත් කිසිදු රටක සිටිනවා දැයි සැක සහිතය. ටෙලිවිෂනයට මේවා මිනිසුන්ට බෝ කිරීම එතරම් කජ්ජක් වී නැත.

බටහිර මිනිසා කාර්මීකරණයත් සමඟ ජේසුස් වහන්සේ මෙන් දෙවියන් වහන්සේද කුරුසියේ ඇණ ගසා වළලා දැමීය. එනිසා ඔවුන් ඒ පරස්පරතාවයෙන් සෑහෙන දුරට නිදහස් විය. අද ලංකාවේ ඇතැමෙකුටත් අවැසිව ඇත්තේ වෙනෙකක් නොව, බුදුන් වහන්සේටත් මේ සෙතම අත්කර දීමටය. ඔවුනට බෞද්ධකම මෙන්ම අපගේ සංස්කෘතියද නයාට අදුකොළ වැනිය. බුදුන් වහන්සේ වල දැමිය නොහැකි බව තේරුම්ගත් ඇතැම් පඬියෙක් තනන්නේ බුදුන් වහන්සේ අංක එකේ විද්‍යාඥයා බවට පත් කිරීමටය. එමගින්ද ඔහු සොයන්නේ අප ඉහත  කී පරස්පරතාවයට විසඳුමක් විය යුතුය.

අත්‍යාවශ්‍යය සංවාදය අමතක වීම

71 හා 89 තරුණ කැරළි මෙන්ම කොටි ත්‍රස්තවාදයටත් මූලිකම හේතුව අපට උචිත අප හද මනස විසින් වැළද ගන්නා සමාජ ක්‍රමයක් නිදහසින් පසු යළි සකස් කර ගැනුමට අසමත් වීම බව අමරසේකරයන් විසින් බොහෝ තන්හිදි සිය නිර්මාණ තුළින් මෙන්ම සෘජුවමද පෙන්වා දී ඇත. අප මෙතුවක් කල් කළා සේ ලිබරල්වාදය හෝ මාක්ස්වාදය හෝ ගෙඩි පිටින් අනුකරණය කිරීම එයට විසඳුම නොවේ.

කරුණු මෙසේ නම් අපට ඇවැසි භෞතික සංවර්ධනයත් අප හද මනස පතන උත්තර මිනිසාත් යන දෙ පෙදෙසම එකවර අත්කර ගැනීම පසක් කළ නොහැකි යතාර්ථයක්ද? එය හුදු යුතෝපීය සිහිනයක්ද? අනුරාධපුර , පොළොන්නරු යුගවලදී අපි මේ දෙපෙදසම සාක්‍ෂාත් කරගත් ජාතියක් නොවීමුද? එය සියවස් ගණනාවක් අඛණ්ඩව අවිචින්නව පැවැත්වීමට අපි සමත් වීමු. අනුරාධපුර රාජධානිය ලෝකයේ වැඩිම කාලයක් අග නගරය ලෙස පැවැති නගරය වන්නේ එයට පිටදී සිටිය හැකි ශක්තිමත් පදනමක් , චින්තනයක් අප සතුව තිබුණු නිසා විය යුතුය. අප ඉහතින් සඳහන් කළ අපට දැන් ඇති පරස්පරය එහි නොතිබූ නිසා විය යුතුය.

එකල මෙන් අද පවත්නා ගෝලීය බලපෑම් හමුවේ එවැන්නක් සාක්‍ෂාත් කර ගැනීම ගැන සිතීම හුදු හිතළුවක්, යුතෝපීය සිහිනයක් යැයි ඇතැමෙකු තීරණ කළහොත් පුදුම විය යුතු නැත. එසේම එයට විරුද්ධ විය නොහැකිය. ඒ ඔහුම පවසන ගෝලීය බලපෑම මගින් නිර්මාණය කරන ඔහු (හා අප) වැනි මැකෝලිගේ දරුවන් - කළු සුද්දන් වූ වහල් මානසිකත්වයෙන් පෙළෙන උගතුන් අතින් මෙය බලාපොරොත්තු වීම සිහිනයක් නිසාය.

ඒසඳහා මේ පොළොවේ මුල් අල්ලා වැඩුණු අනුකරණයෙහි නොව අවශෝෂණයෙහි සමත් නිර්මාණශීලි හා විචක්‍ෂණශීලි ආත්ම ශක්තියෙන් යුතු කැපවුණු මිනිසුන් සිටිනා පරම්පරාවක් බිහි විය යුතුය.

මේ කතාව පුරා විපරම් කරමින් විචාරය කළ යුතු පැති ගණනාවකි. මේ කථාවේ එන මහේස්ත‍්‍රාත් ධර්මසිරි මරණ පරීක්‍ෂණයෙන් පසු මැයි පළමු වැනිදා සිය මොටෝරිය නිවස කරා පැදවීමට සිදුවන්නේ මැයි පෙළපාලිය සඳහා කොළඹ කරා එන බස් රථ පෝලිමක් සමගිනි. ඒ බස්රථ තුළින් ධර්මසිරිට ඇසෙන්නේ දෙකන් බිහිරි කරවන ගෝලිව්වාවකි.

රට එකට - බඩ දෙකට
රට පළමුව - බඩ දෙවනුව
කවුද රජා - සිරිල් රජා
රට බේරා - දුන්නු රජා
සිරිල් රජා - අපේ රජා
අමරසේකරයන් මේ ගෝලිච්චාව මඟින් පෙන්නුම් කරන්නේ කුමක් විය හැකිද? මේ මිනිසුන් විසින් බඩ දෙකට දමා රට එකට තබා කියන කතාවෙහි පදනම් චින්තනයෙහි පුරෝගමිකයකු නොවේද අමරසේකරයන්? එය එක්තරා යුගයක අපට අවැසි එකම සංවාදය වී තිබූ බව සැබවි. අදත් ඒ හැඟීම තිබිය යුතු බවද සැබවි. නමුත් අප එහි සිර විය යුතු නැත. ඉහත සඳහන් කළ අත්‍යාවශ්‍යය සංවාදය අප විසින් මතු කර ගත යුතුය. නැතහොත් අප නැවත වරක් පමා වූ ජාතියක් වනු ඇත. එය රජයේ පමණක් වගකීමක් නොව, සියළු දෙනාගේ වගකීමකි. පිළිවෙතින් පෙළ ගැසීම හුදු කොඩියක් වීම වළක්වා ගැනීම මතු පරපුර වෙනුවෙන් අපේ යුතුකමකි. මහේස්ත්‍රාත් ධර්මසිරිට දිගින් දිගටම මැවි මැවී පෙනෙන අර මිය ගිය කතකගේ අසරණ දියණිය තුෂ්ණිම්භූතව බලා සිටිනා විපරීත විලාශයෙන් යුතු වූ මුහුණ අපට කියන්නේ කුමක්ද? කඳුළක් නැති ඇගේ විසල් ඇස් ගෙඩි දෙක බලා සිටින්නේ අප දෙස නොවෙද?


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/11/2013

ඉන්දියානු මොඩලය හෝ චීන මොඩලය අපට හරියන්නේ නැහැ

කතෘ:යුතුකම     11/11/2013   1 comment


"ගුණදාස අමරසේකර ශූරීන් ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්තම සිංහල නවකතාකරුවා මෙන්ම අග්‍රගණ්‍ය කෙටිකතාකරුවෙකු  කවියෙකු; විචාරකයෙකු පමණක් නොව පසුගිය සියවසේ බිහිවූ සුවිශේෂී චින්තකයෙකි.රට  - දැය  - සමය පිළිබඳ සමාජ කතිකාවකදී මෙන්ම සිංහල නවකතාව කෙටිකතාව, කවිය ආදී කිසිඳු  කතිකාවකදී  ගුණදාස අමරසේකරයන් මග හැර කිසිවෙකුටත් ඉදිරියට යා නොහැක්කේ එබැබිනි.

සමාජ සවිඥ්ඥානිකත්වය ඇති කිරීම වෙනුවෙන් තම මුලු දිවියම මිඩංගු කල මේ සුවිශේෂී බුද්ධිමතාගේ 84 වන ජන්ම දිනය අදට යෙදී තිබේ....

ඔහුට තව බොහෝ කල් නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය මෙන්ම සමාජ මෙහෙවර වෙනුවෙන් අවැසි ශක්තිය නිරතුරුව ලැබේවායි පතමු.!  "
                                                                                                      - යුතුකම සංවාද කවය
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

 "ඉන්දියානු මොඩලය හෝ චීන මොඩලය අපට හරියන්නේ නැහැ"


ඔබ මීට වසර විස්සකට පමණ පෙර ‘ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය’ යන මැයෙන් දීර්ඝ ලිපියක් පළ කළා. අද වනවිටත් ඔබ එහිදී හෙළි කළ ස්ථාවරයේ සිටිනවද?

ඒ ස්ථාවරයෙන් මම ඈත් වී නැහැ. ඒ ලිපිය මා පළ කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා එවේලෙහි කළ අභියෝගයට පිළිතුරු වශයෙන්. තමන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරන්නන්ට ඔහු කියා තිබුණා එය නරක නම් ඊට වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් එළි දක්වන ලෙස. ඒ ලිපියෙන් මා මූලික වශයෙන් කළේ ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න තව තවත් උග්‍ර වූ බව පෙන්වා දීමයි. එහිදී ජාතිකත්වය සහ ආර්ථිකය අතර ඇති සම්බන්ධය ගැන මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ නැහැ.

ජාතිකත්වය හා ආර්ථිකය අතර ඇති සම්බන්ධය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

ඒ ප්‍රශ්නයට උත්තර දීමට පළමුවෙන් ජාතිකත්වය පිළිබඳව අප ඉදිරිපත් කළ නිර්වචනය යළි සිහිපත් කිරීම වැදගත් යැයි මා සිතනවා. අපි ජාතිකත්වය නිර්වචනය කළේ ජාතියක් සතුව පවත්නා සභ්‍යත්ව විඥානය ලෙසයි. ඒ සභ්‍යත්ව විඥානය සජ්ජිත ව ඇත්තේ ජාතියක් විසින් අනාදිමත් කාලයක් තිස්සේ රැකගෙන ආ ලෝකාවලෝකනය (ලොව දෙස බලන ආකාරය), පුරුෂාර්ථ, හර, ආකල්ප, ඇගයීම්, අවස්ථා, කුසලාකුසල විඥානය ආදියෙනුයි. සභ්‍යත්ව විඥානය යනු ඒවායේ සම්පිණ්ඩනයක්.

එබඳු වූ සභ්‍යත්ව විඥානයත් ආර්ථිකයත් අතර ඇති සම්බන්ධය කුමක් ද?

අපට මේ පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන් බටහිර ලෝකය ‍ඇතුළත ධනවාදය බිහි වූ, ව්‍යාප්ත වූ, ස්ථාපිත වූ ආකාරය සලකා බැලීමෙන්. 18 වන ශත වර්ෂයේදී යි බටහිර ලෝකයේ ධනවාදය ව්‍යාප්ත වුණේ. ඊට හේතු ගණනක් තිබෙනවා. ඒ හේතුවලින් ප්‍රධාන එකක් තමයි මේ අවදියේදී බටහිර සභ්‍යත්ව විඥානය ඇතුළත සිදු වූ වෙනස; පරිවර්තනය. මේ වකවානුවේදී තමයි බටහිර බොහෝ රටවල එතෙක් පැවැති රෝමානු කිතු දහම පරදවා ප්‍රොටෙස්ටියානු කිතුදහම ව්‍යාප්ත වුණේ. ප්‍රොටෙස්ටියානු කිතුදහම පුද්ගලිකත්වය, පුද්ගලවාදය, පුද්ගල විමුක්තිය, ස්වාර්ථය පදනම් කරගත් දහමක්. මේ නව ආකල්ප ධනවාදය සාධු දහමක් ලෙස පිළිගැන්වීමට, ව්‍යාප්ත කිරීමට පදනම දැමුවා. මේ කරුණ ආර්.එච්. ටෝනි නමැති විද්වතා විසින් ‘ධනවාදයේ නැඟීම හා ප්‍රොටෙස්ටියානු කිතු දහම’ යන කෘතියෙන් පෙන්වා දී තිබෙනවා. ධනවාදයේ දාර්ශනිකයා වන ඇඩම් ස්මිත් පිළිගන්නවා ධනවාදයේ පදනම ආත්මාර්ථය බව.

ඔබ කියන ඔය සභ්‍යත්ව විඥානයේ වෙනස, පරිවර්තනය කාර්මික විප්ලවයෙන් පසු බටහිර රටවල් වල බිහිවූ නිෂ්පාදන බලවේග නිසා සිදු වූවක් ලෙස කිසිවකුට තර්ක කරන්න පුළුවන් නේද? ප්‍රොටෙස්ටියානු කිතු දහම පහළ වූයේත් ඒ නිෂ්පාදන බලවේග නිසා ය කියා තර්ක කරන්න පුළුවන් නොවේද?
මම හිතන්නේ ඔය තර්කය නඟන්නේ ආර්ථිකයත්, සංස්කෘතියත්, සභ්‍යත්වයත් පිළිබඳ කාල් මාක්ස් කළ සරල විග්‍රහය හිස් මුදුනින් පිළිගත් අයයි. මාක්ස්ට අනුව අඩිතාලම ආර්ථිකයයි. සභ්‍යත්වය හා සංස්කෘතිය ඒ අඩිතාලම උඩ ගොඩනැ‍ඟෙන මතු මහලයි. මිනිස් විඥානය ආර්ථිකයේ ප්‍රතිඵලයක්. මේක සදොස් සරල විග්‍රහයක්. සංස්කෘතියත් ආර්ථිකය වගේ ම ස්වායත්ත ප්‍රපංචයක්. ඒ දෙක අතර දැඩි සම්බන්ධකමක් තිබුණට එකක් අනෙකේ ප්‍රතිඵලය නොවෙයි. හේතු ඵල සම්බන්ධයක් ඒ දෙක අතර නැහැ.

ඔබේ මේ නිගමනය සනාථ කළ හැකිද?
ඊට හොඳ ම උදාහරණය වශයෙන් මා දකින්නේ රුසියාවේ ස්ටාලින් ගෙන ගිය ක්‍රියාමාර්ගය. ස්ටාලින් සිය රාජ්‍ය ධනවාදය හා බැඳුණු ක්‍රෑර පාලනය මඟින් රුසියාවේ ආර්ථික පදනම සහමුලින් ම වෙනස් කළා. ඉතා ටික කලෙකින් රුසියාව අතිශය බලවත් රාජ්‍යයක් බවට පත් කළා. ඒත් දශක දෙක තුනකින් ම රුසියන් ජනතාව මේ මඟ ප්‍රතික්ෂේප කළා. රුසියන් ජනතාව සතුව ඇත්තේ ටෝල්ස්ටෝයි, ඩොස්ටවුස්කි පිළිබිඹු කළ සභ්‍යත්ව විඥානය නම්, ආධ්‍යාත්මය ‍නම් මේ ප්‍රතික්ෂේප කිරීම ගැන අප පුදුම විය යුතු නැහැ. රුසියාවට ගිය හැම වතාවක ම මට මේ සිතිවිල්ල ඇති වුණා. රුසියන් ජනතාවගේ මනසේ ඇත්තේ ටෝල්ස්ටෝයි විශද කළ ආධ්‍යාත්මය නම් ඔවුන් කොහොමද ස්ටාලින් බිහිකළ මේ සමාජ ආර්ථිකය පිළිගන්නේ යන ප්‍රශ්නය ඒ හැම විටකම මා සිතේ ඇතිවුණා.

දැන් අපි අපේ රට ගැන කතා කරමු. අපේ රට නිදහසින් පසු අනුගමනය කර ඇති ආර්ථිකය ගැන කතා කරමු. අපි අපේ ජාතිකත්වයට, සභ්‍යත්ව විඥානයට සරිලන ඒ විඥානය අනු දත් ආර්ථිකයක් නිර්මාණය කර තිබෙනවද?
මම දකින හැටියට අපි තව ම ඒ ගැන හිතලාවත් නැහැ. අපි මෙතෙක් කරලා තියෙන්නේ පිටරටින් ආනයනය කළ ආර්ථික මොඩල අනුකරණය කිරීම. නිදහසින් පසු මුල දී ඉංග්‍රීසිකාරයා අනුගමනය කළ පිටරට මත යැපෙන මොඩලය එලෙසට ගෙන ගියා. ඊට සරිලන බමුණු කුලයක් ද බිහි කළා. 56 දී එක්තරා ආකාරයක සංස්කෘතික විප්ලවයක් සිදු වුවත් ආර්ථික විප්ලවයක් සිදු වුණේ නැහැ. 70 - 77 කාලය ඇතුළත එවැන්නන් කිරීමට තැත් කළා. එහෙත් එහිදී මාක්ස්වාදී න්‍යායයි වැඩියෙන් බලපෑවේ. එයින් හෙම්බත් වූ ජනතාව 77 දී ජේ.ආර්. ජයවර්ධනට විවෘත ආර්ථිකය නමින් විජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට අවස්ථාව ලබා දුන්නා. 77 න් පසු අද වනතුරු අපි අනුකරණය කරන්නේ ඒ විජාතික ආර්ථික මොඩලයයි. අපේ නායකයන් අදටත් ජාතික ආර්ථිකයක් ගැන කල්පනා කරන බවක් පේන්න නැහැ. ඒ විතරක් නොවෙයි, මේ විජාතික ආර්ථික මොඩලය වර්ණනා කරන බවත් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් මෙය වර්ණනා කරන්නේ නගරය ගමට ගෙන යන සංවර්ධනයක් ලෙස. මේක අන්තිම මුළාවක්. අපට ජාතික ආර්ථිකයක් උවමනා නම් අප කළ යුත්තේ එහි අනෙක් පැත්තයි. නගරය ගමට ගෙන යාම නොවෙයි ගම නගරයට ගෙන ඒමයි.

ඔබගේ ඔය නිගමනය තවත් හිතලුවක් නොවේ ද?
අද මේ විවෘත ආර්ථිකය, නව ධනවාදී ලිබරල් වාදය මුළු ලෝකය ම වැලඳ ගන්නා විට ඔබ හිතනවද ගම නගරයට ගෙන එන ආර්ථිකයක් මඟින් අපි මුහුණදෙන ප්‍රශ්න විසඳා ගැනීමට හැකිය කියා. ප්‍රැන්සිස් පුකයාමා නමැති විද්වතාට අනුව මේ නව ධනවාදී ලිබරල්වාදය මුළු ලොව ම අනිවාර්යෙන් අවසානයේ අනුගමනය කළ යුතුයි. මේ තමයි මිනිස් පරිණාමයේ අවසානය. ‘End of Histry, The last man යන කෘතියෙන් ඔහු මේ කරුණ පෙන්වා දී තිබෙනවා.
ඒ මිථ්‍යාවට පිළිතුරක් වශයෙන් තමයි ඔහුගේ ගුරුවරයා, සැමුවෙල් හංටින්ටන් “සභ්‍යත්ව ගැටුම’ නම් අගනා නිබන්ධය ලියුවේ.

ඔබ කියන ‘ගම නගරයට ගෙන ආ යුතුය’ කියන න්‍යාය මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයන් පිළිගනීවී යැයි ඔබ හිතනවද?
මේ රටේ ඉන්න ඇ‍ෙමරිකාව මොළ හෝදලා එවපු ආර්ථික විශේෂඥයන් ඒක පිළි නොගැනීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ විශේෂඥයන්ගෙන් ඇතැමෙක් මම හඳුන්වන්නේ ආර්ථික ඝාතකයෝ හැටියට. ඒත් මේ රටේ හිටිය එකම අදීන ආර්ථික විශේෂඥයා ලෙස මා සලකන පුද්ගලයෙක් ඔය න්‍යාය හෙළි කළේ මීට වසර 40 කට පෙර 1973 දී. ඒ පුද්ගලයා තමයි ජී. වී. එස්. සිල්වා කියන විද්වතා. ඔහු තමයි පිලිප් ගුණවර්ධනගේ කුඹුරු පනත නිර්මාණය කළේ. 1973 දී ඔහු ඉතා වටිනා කෙටි නිබන්ධයක් පළ කළා. ඒක ඔහු හඳුන්වලා දුන්නේ ‘Some heretical thoughts on economic development’ කියලා. ඒක මේ රට දිහා බලලා ලියපු නිබන්ධයක්. එහිදී තමයි ඔහු ගම නගරයට ගෙන ඒමේ න්‍යාය ඉදිරිපත් කළේ. ඔහු එය කළේ ආර්ථික විශේෂඥයකු වශයෙන් මේ රටේ ඇති සම්පත් ගැන සලකා බලා මිස මේ කියන සභ්‍යත්වය සංස්කෘත විඥානය ගැන සලකා බලා නොවෙයි.
ඔහුගේ මේ ආර්ථික න්‍යාය ඔබ කියන සභ්‍යත්ව විඥානය සමඟ පෑහෙන බව ද ඔබ පවසන්නේ.
හරියට හරි. ඒ දෙකම රන් රස සේ පෑහෙනවා. අපේ සභ්‍යත්ව විඥානය අනුමත කරන, ඉල්ලා සිටින පුරුෂාර්ථ, අ‍ෙප්ක්ෂා, ජීවන රටාව පිළිබඳ වැටහීමක් තියෙන කාට වුණත් එය පෙනී යා යුතුයි.

මේ කරුණ තවදුරටත් විස්තර කළ හැකිද? 
මෙය අලුත් සහ වෙනස් මතයක් නිසා බොහෝ දෙනකුට වටහා ගැන්මට අපහසු වේවි.
සිංහල - බෞද්ධ සභ්‍යත්වය ඇතුළෙ හැදී වැඩුණු අපි උපන්ගෙයි මානව හිතවාදියෝ; සමාජ වාදියෝ. අල්පේච්ඡතාව, සමානාත්මතාව, පරාර්ථය, සාමූහිකත්වය තමයි අපේ පුරුෂාර්ථ; හර. මේවා තවමත් රැඳී තිබෙන්නේ ඒ සභ්‍යත්වයේ තෝතැන්න වන අපේ ගැමි ජනතාව අතරයි. මේ රටේ ජනගහනයෙන් 70% ක් තවම ජීවත් වෙන්නේ ගමේ. 77 න් පසු ඇති වූ සංස්කෘතික, ආර්ථික සංහාරයට තවම ඔවුන් ගොදුරු වී නැති බවයි ම‍ගේ වැටහීම. බාහිර වශයෙන් ඒ නව ජඩ සංස්කෘතියේ අංග ප්‍රදර්ශනය කළාට අපේ තරුණයන්ගේ ආධ්‍යාත්මය තව ම දූෂණය වී නැති බවයි මගේ විශ්වාසය.

ඔබ මෙසේ කීවට අද බොහෝ ආසියාතික රටවල් ශීඝ්‍රයෙන් දියුණු වී ඇත්තේ මේ නව ධනවාදී ලිබරල් ආර්ථිකයේ න්‍යාය උඩ නේද? අපේ අසල්වැසි ඉන්දියාව විශාල ආර්ථික දියුණුවක් ලබා ඇත්තේ මන්මෝහන් සිං හාවඩිවල සිට ගෙන ආ මේ න්‍යාය උඩ නේද?

සුළුතරයක් සුර සැප විඳින, ඔවුන්ගේ අත පල්ලෙන් හැලෙන දෙයින් අන්ත දරිද්‍රතාව තාවකාලිකව සමනය කරන මේ ආර්ථික මඟ නියම සංවර්ධනයක් ය කියා මා හිතන්නේ නැහැ. මහත්මා ගාන්ධි පැතුවේ මේ වගේ සංවර්ධනයක් නොවෙයි. මේක ඉන්දියාවට හරිගියත් අපිට හරියන්නේ නැහැ.

ඉන්දියාව පිළිගෙන ඇති මේ ආර්ථික මඟ ඉන්දියාවට හරිගියත් අපට හරියන්නේ නැහැයි ඔබ කියන්නේ කුමන හේතුවක් මතද?
මහා බ්‍රහ්මයා ස්ථාපිත කළ කුල ක්‍රමය උඩ සිය ඉරණම දේව නියමය ලෙස බාර ගන්න දුප්පත් ඉන්දියානුවා මේ ක්‍රමය බාර ගත්තට ඊට හාත්පසින් වෙනස් බෞද්ධ සභ්‍යත්වය ඇතුළත වැඩුණු අපේ ජනතාව එවැන්නක් පිළිගැනීමට ලෑස්ති නැහැ. අපේ තරුණයන් එවැන්නක් පිළිගැනීමට සූදානම් නැති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ රටේ ඇති වූ ත්‍රස්තවාද සියල්ලට මුල්වූයේ ඒ ප්‍රතික්ෂේප කිරීමයි. ඉන්දියානු මොඩලය හෝ චීන මොඩලය අපට හරියන්නේ නැහැ. අපි අපට සරිලන මොඩලය සොයා ගත යුතුයි.

අපේ නායකයන්ට තවමත් එය නොතේරී ඇති බවක් ද ඔබ පවසන්නේ?

දැන් දැන් වැටහෙමින් පවතින බව පේනවා. දිවිනැඟුම වගේ ව්‍යාපෘති මඟින් එය පැහැදිලියි. මේ රටේ පසින් බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙය නොවැටහී යාමට හේතුවක් නැහැ. ඒ වැටහීමට අනුබල දීම දේශීය බුද්ධිමතුන්ගේ වගකීමක්.

 www.silumina.lk

11/03/2013

වාදීෂට වඩා සංවේදී ජයන්ත....

කතෘ:යුතුකම     11/03/2013   12 comments
පුණ්‍යා කවුදැයි මට හරියටම කියනු බැරිය. නමුත් පුණ්‍යාට තීක්ෂණ බුද්ධියක් ඇත. ඉවසිලිවන්තය. සෘජු ප්‍රතිපත්ති ඇත්තීය. ඇයට කවි හදවතක් ඇත. දුක වියෝව දරා නොසැළී සිටිය හැකි එහෙත් අතිශය ප්‍රේමණීය හදවතක් ඈ සතුය.

ඇගේ ආදරය නොවළහා පෙම් හසුනක ලියා රේවත වෙත යැවීමට ඈ තීරණය කරන්නේ යුද්ධයේදී  ඔහුට යම් කරදරයක් සිදු වේදෝ යන බියෙනි. එසේ වුවහොත් ඔහු තමා වෙතින් ඉල්ලාසිටි ආදරය ඔහු වෙත ප්‍රකාශ කළ නොහැකි වනු ඇත. රේවතට බිරිඳක් වන්නේ නම් තමා වැන්ඳඹුවක් වන බවට පණිවිඩයක් ඇගේ හද මනස තුළින් ඈට ලැබී තිබියදීම ඇය රේවතට ආදරය ප්‍රකාශ කරන්නීය. රේවත යුද්ධයෙන් මිය යනු ඇතැයි යන සැකයම ඒ සඳහා ඈ පොළඹවන්නේය .  ඇයට එසේ කළ හැකි වන්නේ ඇය රේවතට ආදරය කරන්නේ රේවත ඇගේ කරගෙන නොවන නිසාය. ඇගේ නොවන රේවතට ආදරය කළ හැකි ආදරයකින් ඈ  පොහොසත්ය. එක අතකට අප පතන , අප සොයා යා යුතු උතුම් මනුෂ්‍යත්වයේ ප්‍රතිබිම්බයක් නොවේද පුණ්‍යා ? ඇතැම් විට ජයන්තයන් ඇයට පුණ්‍යා යයි නම් තබන්නට ඇත්තේද එවැනි අදහසකින්ද විය හැකිය.

අද මේ කලා නිර්මාණ රස විඳින අපි රේවතලාට මෙන්ම මෙරට තුළ විරල නොවූ පුණ්‍යාලාටද ණය ගැති බව නොකිවමනාය.

කොලු කමට කරන වැඩ නිසා සිය අතට පත් එම ලිපිය කියවන  වාදීෂ පුණ්‍යාගේ අවංක ප්‍රේමය හැඳින ගනියි. වාදීෂ තේරුම් ගැනීමට නම් අප 
පුණ්‍යා තේරුම් ගත යුතුය. ඒ වාදීෂ පුණ්‍යාගේ අධ්‍යාත්මයේ පිවිතුරු බව හැදින ගත් නිසාත් එතන් පටන් ඔහුගේ හැසිරීම තීරණය වන්නේ ඔහුගේ මනස තුළ සැරිසරන පුණ්‍යාගේ අධ්‍යායමය විසින්ද බැවිනි. ඇතැමෙක් මෙම චිත්‍රපටයේ අනුභූතිය ව්යාජ එකකැයි යන දුර්මතයෙහි එළඹෙන්නට ඇත්තේ  පුණ්‍යා තේරුම් නොගෙන වාදීෂ තේරුම් ගන්නට උත්සාහ ගත් නිසා විය හැකිය.  පුණ්‍යා තේරුම් ගන්නට උත්සාහ ගත්තා නම් වාදීෂ නමැති සිසුවාගේ සංවේදී බව වටහා ගත්තා නම් මෙහි එන අනුභූතිය ප්‍රබල එකක් බව ඔවුනට පෙනී යා යුතුය.
 එම ලිපිය ඈට නැවත ලබා දීමට උත්සාහ දරතත් අවාසනාවත්න ලෙස එය මග හැරී යයි. කවි සිතක් ඇති පුණ්‍යා විසින් ප්‍රථම වරට ප්‍රකාශිත ප්‍රේමය විටින් විට කියවන වාදීෂ පශ්චාත්තාප වෙයි.

"මම නම් හිතන්නේ ජීවිතය කියන්නේ පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසිදෙන්නේ ආදරය කියන ඒ දෙය ලැබුනාම විතරයි. ඒකයි අපි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුනත් ඒත් දුවන්නේ. හදවත් ගිනි ගත්දිත් සිරුරු රිදුම් දෙත්දිත් අපි හඬ හඬා,  හඬ හඬා ආදරය සොයන්නේ ඒකයි."

ආදරය ජීවිතයෙන් කොටසක් නොව ආදරය සිය ජීවිතයම කරගත් ගැහැණියකගේ ආදරය  තමා අතින් විනාශ විනි යන බලවත් පශ්චාත්තාපයෙන් ඔහු පෙළයි. ඔහුගේ යහළුවන් සහ අයියාද මේ ලියමන අමතක කරන ලෙස කීවද අතිශය සංවේදී දරුවකු වන ඔහුට එය කළ හැක්කක් නොව. එම පශ්චාත්තාපය ඔහු තුළ වේදනාවක් බවට පත්ව හද තුළ ගුලි වෙයි. එම වේදනාව තුළින් දැනෙන පුණ්‍යාගේ ප්‍රේමයට ඔහු ප්‍රේම කරයි. එසේ සිය මනස තුළ ලැගුම් ගත් වේදනාව හා ප්‍රේමය ඔහු විශිෂ්ඨ සංගීතඥයකු බවට පත් කරවයි

නමුත් ඒ වේදනාව අමතක කරළිම සඳහා ඔහු ආදරයත්, ආදරය ඔහුවත් මරාගෙන මැරෙයි. ඔහුට අන් අයට ආදරය කිරීම සඳහා ආදරයක් ඉතිරි නොවේ. ස්ත්‍රීන්ට ප්‍රේම කිරීමෙන් වළකින ඔහු සුරාවට ඇබ්බැහි වේ. තමා ජීවිතය නමැති අහස් කුස සිසාරා පියාඹන්නට තැත් දරන දිරාපත් කොළ මෙන් සිදුනු අත්තටු ඇති විඩාබර වූවකු බව ඔහුගේ එක් ගීයකින් කියැවේ. බීමතින් ගෙදර එන ඔහු තමා හා තම දරුවා ඉදිරියේ පමණක් දිරාපත් කොළයක් ලෙස හැසිරෙන්නෙකු ලෙස සිය බිරිද වටහා ගනියි. එහිදී නැවත ඔහුට පිහිටට එන්නේ මව නැති වූ පසු ඔහුට මවක වූ අයියාය.

අපට මෙහිදී වාදීෂ යුතුකම් පැහැර හරින්නකු වුවද ඔහුව එතැනට ලගු කළ නොහැකිය. ඒ හෘද සාක්ෂියක් නැතිව යන සමාජයක හෘද සාක්ෂියක් ඇති නිසාම විඳවන්නකු බවට ඔහු පත්ව ඇති නිසාය. ඔහුටද එයට අවසානයක් ලබා දීමට උවමනාවක් ඇත.

"මට මගේ ළඟට එන්න ඕන නිසා" වසර ගණනාවකට පසු මුණ ගැසුණු පුණ්‍යාට ලිපිය නැවත භාර දෙන වාදීෂට "ඔයා නැවත යන්න ඕනා" ලෙස පිවිතුරු පුණ්‍යා පිළිතුරු දෙයි. ඒ "මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා" ගීය හමාර කිරීම සඳහා වේදිකාව මතටය.

පසුව වෙනත් වේදිකාවකදී ඒ වන විට 'තමා ළඟට පැමිණ සිටි' වාදිෂ මෙවැන්නක් පවසයි.

"මිනිස්සු හිතනව කාලාකරුවන්ට කොහෙන්ද මේ නිර්මාණ , ගී තනු එන්නේ කියලා. බිතෝවන් කිව්වා ඒ සියල්ල අපට එන්නේ දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නේ මේ සියල්ල අපට එන්නේ වේදනාවෙන් කියලා. මුතු ඇටයක් බවට පත් වෙන්නේ බෙල්ලෙක්ගේ බෙලි කටුව තුළ සිර වුන වැළි කැටයක වේදනාව. ඔවුහූ ගී ගයමින් වේදනාව උගනිති කිව්වේ ෂෙලී."

අතිෂය සංවේදී මිනිසකු වන වාදීෂ තමාගේ නොවන ආදරයට ආදරය කිරීමෙන් උරුම වේදනාව නිසා කලාකරුවකු බවට පත් වේ. වාදීෂගේ මුවඟට නගා නිර්මාණ මැවෙන්නේ වේදනාව තුළින් යැයි කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි නම් කලාකරුවාට නිර්මාණ පහළවන අයුරුද විය යුතුය.

ඔහු සංවේදීත්වය, හෘද සාක්ෂිය සහ එදෙකේ සංකලනයක් වන ප්‍රේමය සංවර්ධනයේ ප්‍රතිලාභ සොයන සමාජයක තරඟය තුළ පැරදී කාටත් හොරා සැඟව යන්නට තනනවා දකියි. ඩිජිටල් ආශ්චර්යයෙන් ප්‍රමුදිතව, ආදරවන්තයන් කවියන් බවට පත් කළ පෙම් හසුන පුළුස්සා නළලේ අළු ගා ගත් සමාජය ගැන ඔහු චකිතයට පත් වේ. ප්‍රේමයේ ප්‍රහර්ෂය අහිමිව කර්කෂ වූ හදවත් විසින් විදින ඔවුන්ද නොදකින වේදනාව ඔහු දකියි. සිය හද තුළ ගුළිවන මගේ නොවන එහෙත් මගේම ආදරය නම් මානව ප්‍රේමය සමඟ වෙළීම නිසා ඇතිවන වේදනාව නැමැති විළි රුදා විද පුණ්‍යා හා වාදීෂ ප්‍රසූත කර ප්‍රේමය අහිමි මිනිසුන්ගේ දෑස් අභිමුවට කැන්දාගෙන ආ ජයන්ත වාදීෂට වඩා සංවේදී මිනිසකු බවට සැකයක් නැත.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

10/18/2013

හැට්ට කට්ටෙන් මහ හෙල් පෙරලන්නට තටමන නිර්මාල්ලා...

කතෘ:යුතුකම     10/18/2013   6 comments
තුරේ පළාත් සභා මැතිවරණය විග්නේෂ්වරන්ලා ජයගෙන ඇත.ඒ සමගම මීට වසර හතරකට පමණ පෙර නන්දිකඩාල් වල ගිලී ගිය දෙමළ ජාතිවාදය  යළි කරළියට පැමිණ තිබේ.එදා චන්ද්‍රිකා යුගයේ  මෙන්ම රනිල් වික්‍රමසිංහ සමයේ  අසමමිතික බලය බෙදීමකට මෙන්ම සාම වෙළදාමටද අත් වැල ඇල්ලූ පිරිස් මෙන්ම පසුගිය ත්‍රස්ත මර්දන සටනේ කකුල් මාට්ටු දැමූ පිරිස් විග්නේෂ්වරන්ලාගේ ජයග්‍රහණයෙන් ප්‍රමෝදයට පත් වී ඇති බව පෙනේ.පසුගිය කාලයේ මදක් වසන් වී සිටි මේ පිරිස නව පනක් ලද්දාක් මෙන් නැවත සෙමෙන් සෙමෙන් කරළියට පැමිණෙමින් තිබේ.මේ ප්‍රහර්ශයන් අතරින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති මෙන්ම  X කණ්ඩායමේ හිටපු ක්‍රියාධරයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා 'දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද' යනුවෙන් සටහන් පෙළක් අන්තර්ජාලය හරහා මෙන්ම සමාජ ජාලා හරහා කතා බහට ලක් කිරීමට උත්සාහ කරන ආකාරය පෙනේ.එය ඉහතින් දැක්වූ දේශපාලන සංදර්භය අමතක කර විග්‍රහ කරන්නට යෑම අනුවණ කමකි. නිර්මාල්ලාගේ අරමුණ සංයුක්තව අවබෝධ කරගැනීමට නම් ඉතා විමසිල්ලෙන් මේ කියන්නට හදන්නේ කුමදැයි විමසා බැලිය යුතුය.

නිර්මාල් මහතා පිළිතුරු දෙන්නේ යැයි කියන්නේ මීට දශක දෙකකට පමණ පෙර සිට 'දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම මෙරට ඇතිවී ඇති සුවිශේෂී ගැටළුව කුමක්ද?' යනුවෙන් නගන තීරණාත්මක පැනයටයි.මේ සටහන් තබන්නේ යැයි කියන්නේ විශේෂයෙන් ආචාර්ය නලින්ද සිල්වා මහතාට පිළිතුරු ලෙසයි.ඒ ඔහු විසින් මීට දශක දෙකකට පමණ ඉහත ප්‍රකාශයට පත් කල 'ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා' ග්‍රන්ථය මුල් කොට ගනිමිනි.සරල කතා ලෙස අතහරින වැල්වටාරම් අස්සේ නරුමවාදී ලෙස අසංගතව ඉදිරිපත් කරන අදහස් නලින්ද සිල්වා මහතාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීම කෙසේ වෙතත් ඉතිහාස විෂයෙන් ඈත් කර ඇති අද තරුණ විය පසුකරන පරම්පරාව සහ ඉන් පසු පරම්පරාවට කරන ආමන්ත්‍රණයක් ලෙස සැලකූ විට මෙය දේවසිරි මහතා ඉතා උපක්‍රමශීලීව සිදුකරන ව්‍යයාමයක් බව වටහා ගැනීම අපහසු නැත..

ඔහු මුලින්ම අදහස් පළ කරන්නේ ' දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි' යන මතුපිටින් බැලූ කල කිසිඳු තර්කයකට ගෝචර නොවන තරමේ අපබ්‍රංශයකිනි.නමුත් කතාව මැදදී ඔහු  නියම තැනට පැමිණේ.ඒ මෙලෙස අදහස් දක්වමිනි.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”
තවත් ඉදිරියට ගිය විට ඔහු මෙයට තවත් ආරලු බුරලු එක් කරමින් "‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි." යනුවෙන් පවසයි.

අප මෙහිදී  මූලිකවම මෙම ප්‍රකාශය සළකා බලමු.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”
මෙම අදහස  දරන පළමුවැන්නාත් අවසනයාත් නිර්මාල් මහතා නොවේ. ත්‍රස්තවාදී උවදුරට බෙහෙත් සෙවූ දශක දෙක හමාරක තුනක කාලයක් පුරාවටම එක් පාර්ශවයක් නියෝජනය කල කුලකයකගේම පොදු අදහස මේ වෙයි.'සුපිරිසිදු' මාක්ස්වාදීන් , ෆෙඩරල්වාදීන් , සාම වෙළදාමට මතවාදී සවිය සැපයූ  විශ්ව විද්‍යාල උගතුන් , රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන්   ආදී මෙකී නොකී කණ්ඩායම් බොහොමයක්ම මේ කුලකයට අයත්ය.(මේ කුලකය පිළිබඳ සිදුකල අපූරු විග්‍රහයක් "බහුමානීය කියෑවීමක ඒකමානීය නිරුවත!"  යන මැයෙන් දිවයින වටමඩල අතිරේකයේ මෑතකදී  පළ කර ලිපියක සඳහන් වේ.එහිදී රචකයා විසින් මේ කුලකය හඳුන්වා තිබුනේ 'ගෝස්‌තරවාදී විකල්ප ගෝත්‍රය' ලෙසයි.)

මොවුන් මීට කලකට පෙර පැවසුවේ දෙමළ ජනතාවට කාලයක් පුරා අත්විඳින්නට සිදුවූ අසාධාරණකම් නිසා අවසන් ඵලය ලෙස ත්‍රස්තවාදය ඇති වී ඇති බවත් රෝගය සුව කිරීමට නම් රෝග නිධානය එනම් දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් වලට පිළිතුරු දිය යුතු බවත්ය.නමුත් මේ අසාධාරණ කතා පදනමක් නැති හුදු අසංගත ප්‍රලප බව පෙන්වීමට අතලොස්සක් වූ විද්වතුන් ඉදිරිපත් කල මත ඉදිරියේ අසාධාරණකම් වල සිට අභිලාෂයන් දක්වා පල්ලම් බසින්නට මේ බොහෝ දෙනාට අකමැත්තෙන් වුවද සිදුවිය.(දෙමළ ජනයාට ප්‍රශ්න නැතැයි මෙයින් හැඟවෙන්නේ නැත.නමුත් ඒවා දෙමළ වීම නිසාම ඇති වූ ඒවා නොවන බව පමණි මින් අදහස් වන්නේ).ඒ සියල්ලන් නියෝජනය වෙමින් දේවසිරි මහතා දරන උත්සාහයට මේ තබන සටහන ඔහුට පමණක් නොව ඒ සියලු දෙනාටම පොදුවේ ගලපා ගත හැක.

මුලින්ම නිර්මාල් මහතා  මේ ගැටලුව දෙස බලන ආකාරයේම කිසියම් කෘතීම මවාගත් ආකාරයක් වැනි ගතියක් තිබේ.තනිකර අසංගත අදහස් කිහිපයක් අරහෙන් මෙහෙන් අත හරිනවා හැරෙන්නට ගත යුත්තක් නැති තරම් යැයි මුල් කියවීමේදී හැඟෙන්නේ මේ කෘතීම බව නිසා වන්නට පුළුවන.සමහර විට ඒ ඔහුගේ උපක්‍රමශීලීබව වන්නටද පුළුවන.අහේතුකව කර කවා අත හැර ඒකාග්‍රතාවය බිඳි විට ඉන් පසු තමන්ට අවශ්‍ය මගේ යවා ගැනීමට පහසු බව ඔහු නොදන්නවා නොවේ.එය අමතක කලත් නිර්මාල් මහතා ඉදිරිපත් කරන මේ මතය තනිකර අතාර්කික  ප්‍රකාශයක් බව ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකිය.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.” මෙහිදී අප එකින් එක මේ ප්‍රකාශයේ ඇති අසංගත බව වටහා ගනිමු.

අභිලාෂ කතන්දර නිර්මාණය කලේ කවුද? කුමකටද?

මූලිකවම මෙයින් කියවෙන්නේ දෙම ජනයාට පොදු අභිලාෂ ගොන්නක් ඇති බවත් ඒවා ඉටු කරගැනීමට සිංහල බෞද්ධයා ඉඩ නොදීමත් එමගින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවන බවත්ය.
මෙහිදී මූලිකවම සිතට එන ගැටළු නම්.
දෙමළ ජනයාට ඇතැයි නිර්මාල්ලා කියන මේ අභිලාෂ මොනවාද?ඒවා ඇති වූයේ කෙසේද?

අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන්වලින් පිළිතුරු දීමෙන්ම මුලින්ම අසාධාරණකම් කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දීම අමතක කර හෝ මග හැර ඇති බව පිළිගත යුතුය.අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන් ගැන පැවසීම 'යන්නේ කොහේදැයි ඇසූ කල මල්ලේ පොල්' යැයි කියූවාට දෙවනි නැත.
කෙසේ වෙතත් මේ අභිලාෂ කතාවේ මුල පිලිබඳ ඉතා හොඳ ඉඟියක් ලැබෙන ප්‍රකාශයක් මීට සිව් වසරකට පමණ පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

 " ජනවාර්ගික අර්බුදය විසඳීමට නම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර දෙමළ ජාතිකයන් භුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දීමට රජය කටයුතු කල යුතුයි."
-TNA පාර්ලිමේන්තු මන්ත්රීත තොමස් විලියම්ස්
-2009-ජුනි 24 පාර්ලිමේන්තුවේදී

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දෙන ලෙසයි.තෝමස් විලියම්ස් පමණක් නොව  දෙමළ අභිලාෂ කෝණයෙන් ප්‍රශ්නය දෙස බලන බොහෝ උගතුන් මෙම අදහස දරයි.මෙයින් කියවෙන්නේ කුමක්ද?බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද මොනවාද?බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් පසු දෙමළ ජනයාට අහිමි වූයේ ඒවායින් මොනවාද? පිළිතුර පැහැදිලි කර ගත යුතුය.

බෙදා වෙන් කර පාලනය කිරීම තම මූලික දේශපාලන දහම කරගත්  බිරිතානියන් විසින් මෙරටදී ඒ සඳහා සිංහල ජාතියට හා සංස්කෘතියට හිමි නිසි ප්‍රමුඛ තැන අහිමි කිරීමට දෙමළ ජාතිවාදය සියවසක පමණ සිට යොදා ගත්හ.ඒ අරමුණ වෙනුවන් ඔවුන් දෙමළ ප්‍රහභූ පන්තියට යුරෝපීයන්ට හා සමානවම ඉහල වරප්‍රසාද ලබා දුන්හ. කෝල්බෘක් කොමිසම හරහා සිංහලයන්ට එරෙහිව දෙමළ ජනයා යොදා ගැනීම සඳහා ඉතා සූක්ෂමව සැලසුම් සහගතව ක්‍රියා කලේත් ලංකාවේ අනිකුත් සියලු පළාත් වලට ප්‍රථමයෙන් යාපනය ප්‍රදේශයේ ඇති කල ඉංග්‍රීසි පාසල් හරහා දෙමළ ප්‍රභූ පන්තියක් නිර්මාණය කලේත් බිරිතානියන් තම යටත්විජිත බොහොමයකම සාර්ථකව  අත්හදා බැලූ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපාය මාර්ගය මෙහි සාක්ෂාත් කර ගැනීමටය. මේ පිළිබඳ ඉතා සවිතර සටහනක්  'ඊළාම් රාජ්‍යයක් සඳහා කෝල්බෘක් කොමිසමේ දායකත්වය' හා ‘යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ඇසුරින් බිහි වූ දෙමළ ප්‍රභූ පන්තිය’ යන මැයෙන් සූරිය ගුණසේකර මහතා විසින් රචිත “මහා සිංහලයේ ඓතිහාසික අසාධාරණය” නැමති ග්‍රන්ථයේ ඇතුලත්ය.(පිටු 23-31, පිටු 40-50)

දේශපාලන තලයේදී ඔවුන් දෙමළ ප්‍රභූන් සිංහලයන්ට වඩා ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකීය.1833දී පිහිට වූ විවස්ථාදායක සභාවේ සංයුතිය තුල සිංහල ජනයා 80% පමණ 12% පමණ වූ දෙමළ ජනයා සමග සමාන කරමින් එක් මන්ත්‍රී ධූරය බැගින් පිරිනැමීම එයට හොඳ නිදසුනකි.19 වන සිය වසේ  මුල සිට ඇරඹුනු මෙම මනෝභාවය 20 වන සිය වසේ හතලිහ දශකය දක්වා එන විටද ක්‍රියාත්මක විය.වරප්‍රසාද ලත් දෙමළ ප්‍රභූන්ට අභියෝගය වූයේ සර්වජන චන්ද බලයෙන් දේශපාලන බලය තීරණය වන විටදී ඔවුන් එතෙක්  සාධාරණ නියෝජනයට ඔබ්බෙන් අසමමිතිකව භුක්ති විඳි වරප්‍රසසාද සියල්ල අහිමි වීමයි.සර්වජන චන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම රජය‍ තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රබුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය.දෙමළ රාජ්‍ය පක්ෂය (Illankai Tamil Arasu Kachchi) ඔවුන් විසින් බිහි කරන්නේ ඒ වෙනුවෙනි.

 සැබවින්ම මේ දෙමළ ජනයාගේ අභිලාෂ කතා  අස්සේ සැඟවී ඇත්තේම මෙරට සම්බන්ධව අධිරාජ්‍යවාදී රටවල දේශපාලන අභිලෂයන් මිස වෙනකක් නොවේ.දෙමළ ජනයා ඉදිරියට දමා ඒ සඳහා තෝරාගත්තේ ඔවුන්ට ඇති සුවිසේෂී ආදරයක් නිසාද නොවන බව අප තේරුම් ගත යුතු වෙමු.'සුළු ජාතික දුක් ගැනවිලි' අද අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේදී යොදා ගන්නා තවත් උගුලක් බව ලෝකය පුරා අත්දැකීම්වලින් පැහැදිලිය.නිර්මාල්ලා අද මහත් උජාරුවෙන් කියන්නට හදන මේ අභිලාෂයන් වෙනකක් නොව අධිරාජ්‍යවාදීන් ඉහළ දෙමළ සමාජය තුල පැල කරගිය විශබීජ බව පැහැදිලිය.චෙල්වනායගම්ලා, සුන්දරලිංගම්ලා පොහොර දමා තවන් දැම්මේ මෙම විශබීජයන්ය.කවුරු පොහොර දැම්මත් කවුරුන් පැල කලත් එහි අස්වැන්න නම් නෙලා ගන්නේ මේවා පැලකර ගිය උන්ම බව අධිරාජ්ය විරෝධීන් යැයි තමන්ම හඳුන්වාගන්නා නිර්මාල්ලාට නොතේරීම අවාසනාවකි.

බටහිරයන් විසින් තනා දුන් දෘෂ්ටියෙන් පිටත මෙම අදිරාජ්‍ය විරෝධීනට දැකිය නොහැක්කේ ඔවුන්වද නිර්මාණය කෙරී ඇත්තේද බටහිරයන් විසින්ම නිසා විය යතුය. වෙනත් වචනයකින් කියන්නේ නම් මැකෝලිගේ සුජාත දරුවන් වන නිර්මාල්ලාට තමන් කොතරම් විවෘත මනස් කාරයන් යැයි පැවසුවත් මැකෝලිලා ඇඳ දුන් කොටුවෙන් එහා එම මනසට අකැපය.

නිර්මාල්ලාගේ දරිද්‍ර අභිලාෂ දෘෂ්ඨිය...

අප නිර්මාල්ලාගේ අභිලාෂ කතන්දරයේ අතාත්වික, අසංගත හා අනුචිත බව මොහොතකට අමතක කර එම දෘෂ්ටියේම පිහිටා එදෙස බලමු.
නැවතත් නිර්මාල් මහතාගේ ප්‍රකාශය බලමු
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

නිර්මාල් මහතාගේ තර්කයේ පදනම දෙමළ ජනයාට අනන්‍ය භූ-දේශපාලන  අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් සිංහලයන් විසින් පිළිගත යුතු බවත්ය.

නමුත් ඊට අනුරූපවම බැලුවහොත් 'සිංහලයන්ටද  අනන්‍ය භූ-දේශපාලන  අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් දෙමළ ජනයා විසින් විසින් පිළිගත යුතුය' යන්න අභිලාෂ දෘෂ්ඨිය මත සැකසූ නිර්මාල් මහතාගේ තර්කයේම තිබිය යුතු කොටසකි.නිර්මාල්ලාම කියන 'අභිලාෂ   දෘෂ්ඨියෙන්ම”   බැලුවහොත් සිංහලයන්ගේ භූ දේශපාලන අභිලාෂය නම් මෙරට එක්සේසත් රාජ්යයක් සේ පවත්වාගෙන යාම බව ඔහුට පසක් විය යුතුය.නිර්මාල් මහතා තර්කානුකූල වූවානම් ඔහුගේ දෘෂ්ඨියට අනුව වුවත් ඉතිරි වන්නේ එකිනෙකට පරස්පර තත්වයන් දෙකක් මිස වාද විවාද කර නිවරදි දැයි සෙවිය යුතු බරපතල ගැටලුවක් නොව , තමාට ලියන්නට දෙයක් නැති බව ඔහුටම වැටහී යා යුතුය. ඇතැම් විට එය වැටහී තිබියදීම කියවන්නා නොමඟ යැවීම ඔහුගේ අරමිණ වූවාදැයි අපි නොදනිමු.

සිංහලයන් කිසියම් ජන වර්ගයක භූ-දේශපාලන අභිලාෂ පිලීගත යුතු නම් සිංහලයාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට දෙමළුන් අකමැති වීම ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි? දෙපාර්ශවයක අභිලාෂයන් එකිනෙකට පටහැනි නම් එක්කෝ කල යුත්තේ එකෙකුගේ අභිලාෂයන් අනෙකා පිළිගෙන තමන්ගේ අභිලාෂයන් නකුට ගසා ගැනීමටයි.නිර්මාල්ලා මෙහිදී නකුට ගසා ගැනීමට සිංහල අභිලාෂයන් තෝරාගත්තේ කෙසේද?අභිලාෂ දෘෂ්ඨිය අදහමින්ම සිංහල අභිලාෂයන් සහමුලින්ම අමතක කර දෙමළ අභිලාෂයන් උස්සා තබන්නට නිර්මාල්ලා පෙලඹෙන්නේ ඇයි?

දෙපාර්ශවයේ අභිලාෂයන් එකිනෙකට පරස්පර නම් කිසිවෙකුත් එකිනකාගේ අභිලාෂයන් ඉටු කිරීමට එකඟ නොවේ නම් ඊලඟට ඇති විසඳුම කුමක්ද? දෙපාශවයම ගහ මරා ගෙන අවසානයේ  ජයගන්නාගේ අභිලාෂයන් වලට ඉඩ දීමයි. නිර්මාල්ලා අභිලාෂයන් පස්සේම පන්නන්නේ නම් දැන් මෙයත් සිදුවී හමාරය.දැන් එසේ නම් සිංහල අභිලාෂයන් පිළිගැනීමට නිර්මාල්ලා සූදානම්ද? (නිර්මාල්ගේ තර්කය වැරදි බව මොහොතකට අමතක කලත් එයට අනුව ) දැන් විසඳීමට ගැටලුවක් නැත.'දෙමළ අභිලාෂයන්' 'සිංහල අභිලාෂයන් ' හමුවේ පරාජය වී ඇත.එය හුදු නිර්මාල්ගේ තර්කයට ප්‍රති තර්කයක් ලෙස පමනක් ඉදිරිපත් කලත් අප කිසිසේත් එවැනි නරුමවාදී පිළිවෙතකට එකඟ නොවෙමු. එමගින් පෙනෙන්නේ වෙනකක් නොව මේ අභිලාෂ කතා වලින් නම් මේ කියන ප්‍රශ්නය විසඳීම කල නොහැකි බවයි. නිර්මාල් මහතා  තමන්ගේ ප්‍රකාශයට හිමි විය යුතු අවම තර්කානුකූල බව වත් ලබා දී නොමැති බව පැහැදිලිය.මේ අභිලාෂ කතා වලින් ප්‍රශ්න විසඳිය නොහැකි බව දැන්වත් වටහා ගත යුතුය. 
සිංහල යන වචනය ඇසූ පමණින් එයට එරෙහිවීමට හා ඒ එරෙහිවීමට හේතු සාධක සොයන්නටත් දෙමළ යන වචනය ඇසූ පමනින් එය නිරුවත් වර්ගවාදය වුවත් එයට බද්ධවීමටත් ඒ බද්ධවීම සාධාරණීකරණය කරන්නට පොත් පෙරලාගෙන නහින්නටත් මානසිකත්වය සැකසෙන්නේ අප ඉහත කී මැකෝලි පුත්‍ර දුගී මනෝභාවය නිසයි..

අභිලාෂයන්  සපුරාලීමෙන් සැනසුමක් වේද?

නිර්මාල්ලා කියන ආකාරයේ අභිලාෂ පිළිබඳ ගැටුමක් අධිරාජ්යවාදීන් පැමිනෙන්නට පෙර නොපැවති අතර සිංහල පොදු සංස්කෘතිය තුල අනෙකුත් සංස්කෘතීන්ට හිමි විය යුතු තැන ලබා දෙමින් එකිනෙකාට ගරුකරමින් සිටි  අතර අනෙකුත් සංස්කෘතීන් පොදු සංස්කෘතිය තුලට අවශෝෂනය වෙමින් එක් ධාරාවක් ලෙස අවම ගැටුම් සහිතව විකසනය විය.පන්සල තුල හින්දු දෙවියන් වෙනුවෙන් ඉඩක් වෙන්වන්නේ මේ අන්‍යෝන්‍ය සංස්කෘතික මිශ්‍රවීම් වලට ලැබුනු නිදහස් ඉඩ කඩ ඔස්සේය.නිර්මාල්ලා මෙන්ම ඔවුන්ගේ බුද්ධිමය ස්වාමිවරුන් බෝ කල ඊනියා අහිලාෂ විෂබීජ නොවන්නට අපට ගහ මර ගැනීමට දෙයක් ඉතිරි වන්නේ නැත.එබැවින් අප අදහ ප්‍රමුඛත්වය දිය යුත්තේ වෙන්වීමේ දිශානතිය සොයමින් විකාශනය වන ඊනියා අභිලාෂ කතන්දර පරාජය කරමින් එකිනෙකාට ගරු කරමින් එක පොදු සංස්කෘතියක් තුලට ගොනු වීම මිස නිර්මාල්ලා මෙන් එකිනෙකා  විරසක කරවන ඉතිහාසයට සංස්කෘතියට පටහැනි ඊනියා අභිලාෂ කතන්දර පෝෂණය කිරීම නොවන බව පැහැදිලිය.ඒ සඳහා කතිකාවතක් ඇති කිරීම වෙනුවට එකිනෙකා කා කොටා ගන්නා දිශානතිය පාදා ගැනීම වෙනුවෙන් වෙහෙසීම කෙතරම් බුද්ධිගෝචර දැයි ඒ වෙහෙසෙනන්ට කවදා වැටහේද?

අලුතින් ලියන නිර්මාල්ලාගේ දෙමළ ඉතිහාසය

දැන් අපි නිර්මාල් මහතාගේ මූලික තර්කයේ අවසන් කොටස සලකමු.
"දෙමළාට සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි. "
 මෙය හුදු නිර්මාල්ගේ මනෝ නිර්මාණයක් ද? නැත. මෙය නිර්මාල්ලාගේ බුද්ධිමය ස්වාමිවරුන් ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් නිර්මාණය කර දුන් මතයයි.මේ කියන්නේ 1940 දි පමණ සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා පැවසූ ,වඩුක්කොඩෙයි ඔස්සේ තිම්පු හරහා නකෝන් පතෝන් දක්වා ගමන් කල එමෙන්ම නන්දිකඩාල්වල ගිලෙන තෙක් ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තයන් තම ත්‍රස්ත ක්‍රියා සාධාරණීකරණය කල එමෙන්ම අද විග්නේශ්වරන්ලා - සුමන්තිරම්ලා උස් හඬින් කියන්නට තටමන දෙමළ නිජබිම පිලිබඳ අමු කෙප්පය සාධාරණීකරණය කරන්නට හදන උත්සාහය හැර වෙනකක් නොවේ.

දෙමළ නිජබිම් සංකල්පය දැන් වසර 30 ක් පමණ පුරාවට නිර්මාල්ලා මෙන් සිය ගනනක් උගතුන් සමග  අවශ්‍ය පමණටත් වඩා සාකච්චා කර ඇති නමුත් පරන හනමිට බිම තැබීමට බොහෝ දෙනා තවමත් අසමත්ය.නිර්මාල්ලා මේ හදන්නේ ප්‍රභාකරන් මෙන්ම 'සිංහල මහ ජාතිය සිංහල බහුතර උවමනාවන් වෙනුවෙන් ලියවුනු මහාවංශ මිත්යාවේ ගිලී ඇත " යන මනෝභාවයේ සිට බව සැක නැත.වසර දහස් ගනනක අවිචින්න ඉතිහාසය පිලිබඳ ඉතා සංගත අදහස් අරහෙන් මෙහෙන් ඉදිරිපත් කරන හුදකලා අදහස් දෙක තුනකින් බිඳළිය නොහැකි බව නිර්මාල්ලාට නොතේරෙනවා නොවේ.නමුත් නිර්මාල්ලාගේ රාජකාරිය , කොන්ත්‍රාත්තුව එයයි.එක බොරුවක් වැසීමට තවත් බොරු සියයක් අවශ්‍ය යැයි කියමනක් තිබේ.එබැවින් බින්දුවේ සිට ඇරඹිය යුතු දෙමළ ඉතිහාස කතාව නිර්මාල්ලාට තබා නිර්මාල්ලා දහසක් ආවත් සිදු කල නොහැකි බව පැහැදිලිය.නිර්මාල්ගේ උත්සාහය 'මහා හිමාලය හැට්ට කටුවකින් බිමට සමතලා කරන්නට දරන වෑයමකට' දෙවනි නැත.මයිල්වාගනම් පුලවර් එකවකට (1736) ලංදේසි ආන්ඩුකාරවරයාගේ ඇරයුමින් රචනා කල 'යාල්පානම් වයිපවමාලෙයි' කෘතියේ අඩංගු කෙප්ප වලින් කිහිපයක් උපුටා දැක්වීමට අවශ්‍ය නම් නිර්මාල්ලාට පුළුවන. මෙහි ඇති අසංගත භාවය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් 'දෙමල ඊළාම් නිජබිම් ප්‍රශ්නය ' නැමති ග්‍රන්ථයේ  ‘මෙන්ම ඊළාම් සිහින දේශයට පදනම - යාල්පානම් වයිපවමාලෙයි ‘ නම් සූරිය ගුණසේකර රචිත ග්‍රන්තයේ අඩංගු සටහන් වලින් පැහැදිලි කරගත හැක.  එහිද දෙමළ ඊලාම් ව්‍යාජ ඉතිහාසය අදටද දෘශ්‍යමාන සාධක මෙන්ම පෙර අපර දෙදිගම රටාල ඉතිහාස පිළිබඳ සවිස්තරාත්මක සටහනකින්ද යුක්තය.මහාවංශය සිංහල අධිපති උවමනාවන් වෙනුවෙන් සැකසූ හුදු ප්‍රබන්ධයක් නම් එහි සඳහන් බොහෝ සිදුවීම් පෙර අපෙර දෙදිග ඉතිහාසයන් සමග මනාව සැසඳෙන්නේ නැත.

යමෙකුට සංහත භාවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නම් නරුම ලෙස තමන්ට අභිමත පරිදි තමන් කැමති ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.නමුත් ඒවා සහ මානසික ව්‍යාධියක් ඇත්තකු ඉදිරුපත් කරන අදහස් අතර වෙනසක් නැත.මානසික ව්‍යාධියක් ඇත්නම් ඔහු අනිත් බොහෝ බාහිර සාධක නොසලකා තමන්ට අභිමත ලෙස තමන් කැමති හිතට එන ඕනෑම දෙකයක් කීමට හා කිරීමට පෙළඹේ.අප යමක් ඉදිරිපත් කරන විට හැකිතාක් සංගත විය යුතු යැයි කියන්නේ මේ නිසාය.

උතුරේ දෙමළ සංධානයේ ජයග්‍රහණයේ ප්‍රහර්ශය මැද්දෙන් නිර්මාල්ලා මේ ශාස්ත්‍රීය තලයේ යැයි කියමින් ගන්නා උත්සාහය විග්නේෂ්වරන්ලා හරහා දේශපාලනයටත් ඉන්පසු උතුරේ හැඟීම් මත තීරණ ගන්නා දෙමළ තරුණයන් අතට යන්නේ තුවක්කුවද සයිනයිඩ් කරලද සමගිනි.ප්‍රභාකරන්ලා නිර්මාණය කලේ චෙල්වනායගම්ලා බවද චෙල්වනායගම්ලා බිහි වීමට මයිල්වාගනම් පුලවර්ලා ගේ 'ශාස්ත්‍රීය උත්සාහයන්'ද පාදක වූ බවද අමතක නොකල යුතුය.එබැවින් මෙය මෙහි ඇති දේශපාලන අරමුනෙන් වියුක්තව ගෙන අහිංසක ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ඌනනය කිරීම අනුවණ කමකි.

නමුත් 'දෙමළාගේ ප්‍රශ්නය' නිර්මාල් මහතා මකුළු දැලෙන් සුළං බදන්න ගත් අසාර්ථක උත්සාහයක් හැර වෙනකක් නොවන බව පැහැදිලිය.

-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
2013-10-20

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions