සිංහලයන්ගේ ඉතිහාසය ඇසුරෙන් සැකසුණු වංශකතාව වන මහාවංශය ලියැවෙන්නේ ක්‍රි.ව. 6 වැනි සියවසේදී පමණ ය. මහාවිහාරවාසී මහානාම හිමියන් විසින් "හුදී ජන පහන් සංවේගය" උදෙසා විරචිත මහාවංශය තුළ, ඊට පෙර ලියැවුණු සීහළ අට්ඨකතා මහාවංශයේ හා දීපවංශයේ ඇතැම් කරුණු ද අන්තර්ගත වී ඇත.
බුදුන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කළ බවත්; මහියංගනයේදී, නාගදීපයේදී හා කැලණියේදී ධර්ම දේශනා කළ බවත්, එම ගමන්වලදී උන්වහන්සේ සිරිපා අඩවිය, දීඝවාපිය, අනුරාධපුරය ඇතුළු තවත් ස්ථාන රැසකට වැඩි බවත් මහාවංශයේ සඳහන් වේ.
බුදුන් වහන්සේගේ ලංකා ගමනය සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතත්, ඒ හා බැඳුණු වත්පිළිවෙත්, ඇදහිලි, උත්සව, සිරිත් විරිත්, ජනශ්‍රැති, ප්‍රවාද මෙන්ම සම්භාව්‍ය හා ජන සාහිත්‍ය නිර්මාණයන් ද අතිමහත් ය. මේ සියල්ල සිංහල බෞද්ධ ජන විඥානය සමඟ කොතරම් තදින් බැඳී පවතින්නේ ද යන්න වටහා ගැනීම සිහි බුද්ධියෙන් යුතු අයෙකුට අසීරු නොවනු ඇතැයි මම සිතමි.
පුදුමයට කරුණ නම්, ලංකා විශ්වවිද්‍යාලය මඟින් පළ කළ “ලංකා ඉතිහාසය” (1964) කෘතියේත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් උසස් පෙළ සහ අනෙකුත් උසස් විභාග සඳහා සම්පාදනය කරන ලද “ශ්‍රී ලංකාවේ ඉතිහාසය - පළමුවන කොටස: අනුරාධපුර යුගය” (1994) යන කෘතිවලත් බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ කිසිදු සඳහනක් නොවීමයි.
ඉහත කී ග්‍රන්ථ දෙකටම දායකත්වය ලබා දී ඇත්තේ මෙරට බිහි වූ අතිවිශිෂ්ට උගතුන් හා විද්වතුන් පිරිසකි. මෙම ලිපිය හරහා ඔවුන් මෙරට ඉතිහාසය විෂය උදෙසා ඉටු කළ සුවිසල් මෙහෙවර කිසිසේත් අවතක්සේරුවට හෝ විවේචනයට ලක් කිරීම මගේ අරමුණ නොවේ.
ඔවුන් මුහුණ දුන්නේ 20 වැනි සියවසේ විද්‍යාර්ථීන් පොදුවේ මුහුණ දුන් ගැටලුවකට ය. 19 වැනි සියවසේ බටහිර “ඥාන ප්‍රබෝධයේ” (Enlightenment) ප්‍රතිඵලය වූයේ “නවීන විද්‍යාව” පරම සත්‍යය ලෙස පිළිගැනීමයි. මේ සඳහා අවශ්‍ය පදනම වැටුණේ යථාර්ථවාදය, අනුභූතිවාදය හා තර්කනය වැනි සංකල්පවලට මුල් තැන දුන් බටහිර දර්ශනයන් මඟිනි.
ඔවුහු දැනුමේ අත්‍යවශ්‍ය මූලික සාධකය ලෙසින් සැලකුවේ “වාස්තවික යථාර්ථය” (Objective Reality) යන සංකල්පයයි. එහෙත්, ඔවුන් විසින්ම නිර්මාණය කරගත් දැනුම ඔස්සේ ගොඩනඟා ගත් එම වාස්තවික යථාර්ථය හුදු මිථ්‍යාවක් බව ඔවුහු ඒ අවදියේදී තේරුම් ගෙන නොසිටියහ.
ජී.සී. මෙන්දිස් වැනි විසිවන සියවසේ මුල් භාගයේ ඉතිහාසඥයන් වංශකතාවල එන මෙම පුවත් ප්‍රතික්ෂේප කළේ, බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නැතැයි පවසමිනි. එමෙන්ම මලලසේකර හා ජයතිලක වැනි විද්වතුන් ද මෙය පිළිනොගත් බව මෙන්දිස් මහතා සඳහන් කරයි. අදීන චින්තකයෙකු වූ කුමාරතුංග මුනිදාස ශූරීන්, 1940 දශකයේ 'ලක්මිණ' පුවත්පතට “විශාරදයෙකුගේ අවිශාරද භාවය” මැයෙන් කතුවැකියක් ලියමින් ජී.සී. මෙන්දිස්ගේ මෙම මතය තදින් විවේචනය කළේය.
මෙවැනි වටපිටාවක, මෙරට විද්වතුන් බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තේරුම් ගත හැකිය. එහෙත්, යටත් විජිත යුගයේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස මෙරට සේවය කළ විද්වතෙකු වූ එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන් (H.W. Codrington) විසින් ලියන ලද ‘A Short History of Ceylon’ (1926) කෘතියේ බුදුන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ කෙටි එහෙත් සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වේ. එපමණක් නොව, මෙම භද්‍ර කල්පයේ පහළ වූ බුදුවරුන් සිවුනමම මෙරටට වැඩි බවට මහාවංශයේ එන විස්තර ද ඔහු උපුටා දක්වයි. වසර විසි ගණනක් ලංකාවේ ජීවත් වූ කොඩ්රිංටන්, බුදුන් වහන්සේ පිළිබඳ මෙම ප්‍රවාදයන් ලංකාවේ ජන ජීවිතය හා සංස්කෘතිය කෙරෙහි දක්වන ප්‍රබල බලපෑම සියැසින් දැක පසක් කරගත් නිසා, මෙම කරුණු සිය ඉතිහාස ග්‍රන්ථයට ඇතුළත් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
අද වන විට ලොව විද්වත්හු ඉතිහාසය යනු හුදු වාස්තවික යථාර්ථයක් පමණක් විය නොහැකි බව පිළිගනිති. එමෙන්ම ඉතිහාසය යනු හුදු අතීතයම නොව, අතීතය පිළිබඳ කෙරෙන ආඛ්‍යානයක් (Narration/Storytelling) ලෙස ද ඔවුහු අර්ථ දක්වති. මෙම ආඛ්‍යානය ගොඩනැඟීමේදී පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක පමණක් නොව; පුරාවෘත්ත, ජනප්‍රවාද මෙන්ම අතීත ජන විඥානය සහ රචකයාගේ චින්තනය ද වැදගත් වන බව ඔවුහු පෙන්වා දෙති.
බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව කෙසේ වුවත්, මහින්දාගමනය හා බුදුදහම ස්ථාපිත වීම සම්බන්ධයෙන් ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක වංශකතාවල කරුණු සමඟ ගලපමින් සංගත ආඛ්‍යානයක් නිර්මාණය කිරීමට මෙරට විද්වතුන් සමත් වී ඇත. එසේ වුවද, පොදුවේ අපේ ඉතිහාස ලිවීමේදී දක්නට ලැබෙන දුර්වලතාවක් වන්නේ පුරාවෘත්ත, ජනප්‍රවාද හා ජන සාහිත්‍යය නිසි පරිදි ඇගයීමට ලක් නොකිරීමයි.
ශ්‍රී පාදස්ථානය, මහියංගනය, කැලණිය, දීඝවාපිය වැනි ජීව ගුණයෙන් පිරි පුදබිම් අදටත් සිංහල බෞද්ධ හදවත් තුළ ශ්‍රද්ධාව හා ප්‍රසාදය පුරවාලන්නේ නම්, රටක් හා ජාතියක් වශයෙන් අප කළ යුත්තේ බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ එම ඉතිහාස පුවත ලෝකයාගෙන් හා අපේ අනාගත පරම්පරාවෙන් වසං කර තැබීම ද? එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් රටක් හා ජාතියක් ලෙස අපට අභාග්‍යසම්පන්න අනාගතයකට මුහුණ දීමට සිදු වීම වැළැක්විය නොහැක. මෙවන් තත්ත්වයක් යටතේ, ඉතිහාසඥයන් නොවන දේශප්‍රේමී විද්වතුන්ගේ මැදිහත් වීම කවරාකාර විය යුතු ද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය.
- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
- විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය
[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]
- විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය
[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama



0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .