2/16/2020

චම්පිකට ජාතියෙන් සමාව හිමිවේද?

කතෘ:යුතුකම     2/16/2020   No comments

2016දී රිය අනතුරක් සිදු කර පළායාම සහ ඒ පිළිබඳ අධිකරණය නොමග යැවීම යන කරුණු මත අත් අඩංගුවට පත් ව ඇප ලැබූ පාඨලී චම්පික රණවක ඉන් පසු පසුගියදා මහනුවරදී මහානායක ස්වාමීන් වහන්සේලා හමු වීමෙන් පසු මාධ්‍ය හමුවේ ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

එහි මූලික අදහස මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් කිරීම වෙනුවෙන් ජාතික හෙළ උරුමය 2005 දී සිදු කළ කාර්‍යභාරය පිළිබඳ ජාතියෙන් සමාව අයද සිටීමයි. මෙය තරමක් අප තිගස්සන සුළු කතාවක් වන්නේ මෑතක් වන තුරුම චම්පික ඇතුළු හෙළ උරුමයේ පිරිස දේශපාලනිකව උදම් අනන අවස්ථාවලදී වැඩිපුරම අයිතිවසිකම් කීමට උත්සාහ කළේ 2005 මැතිවරණ ජයග්‍රහණයත් එයින් ඵලයක් ලෙස දිනාගත් තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමේ මව්බිමේ විජයග්‍රහණටත් යන කරුණු හේතුවෙනි.
ඔහු මහනුවරදී පළකළ සම්පූර්ණ අදහස සලකා බලමු.
"අපි 2005 දී වරදක් කළා. අපි ඒ පිළිබඳ ජාතියෙන් සමාව ඉල්ලා සිටිනවා. 2004 මහ මැතිවරණය පවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය අරගෙන පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව සිටින වෙලාවේ අපේ ජාතික හෙළ උරුමය ස්වාමින්වහන්සේලා 9 දෙනා නිසා තමයි බහුතරය ලැබුණේ. එ.ජ.නි.ස නායකයෝ තීරණය කර තිබුණේ කදිරගාමර් මහතා ජනාධිපති ධුරයට පත් කරන්නයි. මහින්ද පත් කරන්න කියලා අපේ ස්වාමීන් වහන්සේලා තමයි හඬ නැගුවේ. අපි තමයි චන්ද්‍රිකා මැතිනියට බලපෑම් කර එය ඉටු කරගත්තේ. ඒ වගේම එදා මැතිවරණ පවත්වන්න තිබුණේ 2006 වසරේදී. එසේ වූවා නම් රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ නෑ. අපි තමයි උසාවියට ගිහිල්ලා 2005 ට ජනාධිපතිවරණය දිනා ගත්තේ. ඒ පිළිබඳවත් ජාතියෙන් සමාව ඉල්ලනවා. අපේ සමහර ස්වාමීන් වහන්සේලා රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරද්දී පවා අපි පක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකළා. අපේ ඒ කැපවීමෙන් තමයි ඔහු ජනාධිපති වුණේ. අපි ඒ පිළිබඳව ජාතියෙන් සමාව ඉල්ලනවා.
අපි ඔය සමහරු වගේ LTTE ය සමග ජිනීවා වල සාකච්චා කලේ නෑ. ඔවුන්ට මූල්‍ය ආධාර දීලා චන්ද ජයග්‍රහණය කළේ නෑ. චන්දය දිනලා LTTEයට මුදල් දුන්නේ නෑ. අද බොල් පිළිම උඩට ඇවිත්. සැබෑ වීරයො යට ගිහින්"
දැඩි ආවේගයෙන් චම්පික පළකරන මේ අදහස් ඔහුගේම පෙර පළ කළ වචන වලට කොයි තරම් පරස්පර වී ඇත්ද යන්න මඳක් විමසා බලමු.


මේ චම්පික නිරුවත් කරන ඒ චම්පික

"ජිනීවා නුවර සාම සාකච්චා වලට ගියපු අය යුධ වීරයො වෙලා. සැබෑ යුධ වීරයො යටපත් වෙලා". මේ චම්පික අද නගන චෝදනාවකි.
චම්පික අද මෙලෙස පවසන්නේ මහින්ද රාජපක්ෂ සිටියේ යුද්ධය කිරීමේ අදහසක්වත් නොමැතිව බවට සහ යුද්ධයට යොමු කලේ තමන් බව තවුරු කරන්නටය. මේ කතාවම මීට ටික කලකට පෙර වන තෙක්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කලේය. මහින්ද යුද්දෙට තල්ලු කලේ තමන් බවත් මහින්ද ඒ සඳහා ගෙන ගියේ 'බල්ලා නාවන්න ගෙනියනවා' වැනි අපහසුවකින් බවත් ජවිපෙ පෙරටුගාමීන් ලෙස දෙකඩ වෙන්නට පෙර තෙක්ම පලකල අදහස විය. ඔවුන්ද එසේ කලේ යුධ ජයග්‍රහණයේ තමන්ගේ ලකුණු ටික වෙනුවෙනි. නමුත් 2015 වෙස් පෙරළියට පෙර, ස්වයං ලිඛිත චරිතාපදානයේදී චම්පික රණවක මහතා මේ පිලිබඳ දීර්ඝ සටහනක් තබයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග ඇතිව තිබූ තත්වය ඔහු මෙහිදී පැහැදිලි කර දෙයි. මේ එයින් උපුටා ගත් කොටසකි.

"සුභවාදී ලෙස පෙනුණු එකම දෙය ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ පෙරළියයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්විය. එහි උපදේශකයින් ලෙස එම්.ඞී.ප‍්‍රනාන්දු හා එච්.එම්.ජී.බී.කොටකදෙණිය මහත්වරු පත්වූහ. හමුදාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත්විය. මේ සියලූදෙනාම ප‍්‍රතිපත්තිගරුක දේශපේ‍්‍රමීන් වූහ. අප බලාපොරොත්තුවන ඉලක්කය කරා හමුදාව ගමන් කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇතිවිය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන ඕනෑම අභියෝගයක් සඳහා සූදානම් වන බවයි."
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක් : පිටුව 153


මෙයින් චම්පික එකල පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ විගසම ගත් ක්‍රියාමාර්ග හරහා අනාගත ත්‍රස්ත මර්ධන සටන සඳහා ඉතා නිවරදි පදනමක් දමා ගත් බවයි. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභයත් යුධ හමුදාපති ලෙස සරත් ෆොන්සේකා පත් කරගැනීම එහිදී තීරණාත්මක විය. මහින්ද රාජපක්ෂ මහතාට ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ උවමනාවක් නොතිබුණු ෆෙඩරල්වාදියෙක් බව සහ යුද්ධයට මහින්දව ඇද දැම්මේ හෙළ උරුමය බවට අද චම්පික කරන ප්‍රකාශය එදා චම්පිකගේම පැහැදිලි කිරීම හරහා නිෂේධනය වී යයි. මේ එදා ඔහු ඒ පිළිබඳ තබන තවත් සටහනකි

"2006 ජූලි 26 සිට අගෝස්තු මුල දකුණු ත‍්‍රී'මලයේ දී හා උතුරු යාපන මුහමලේ දී එකවිට කොටින්ගේ ද්විත්ව ප‍්‍රහාරය පරාජය කිරීමේ මුල් සතිදෙක අතිශය තීරණාත්මක විය. ජනාධිපතිතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳ වූ අතර, යූ.එන්.පීය හා විශේෂයෙන් මුස්ලිම් කොංග‍්‍රසය අඳුරු චිත‍්‍රයක් රටට මවා පෙන්වීය. සුපුරුදු පරිදි ජ.වි.පෙ කීවේ හරි සූදානමක් නැතිව ආණ්ඩුව සටනට ගොස් ඇති බවයි. මේ පිළිබඳව ඔවුන් හා ජනාධිපතිතුමා අතර, වචන හුවමාරුවක් ද ඇති වූ බව පසුව හෙළිදරව් විය."
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක් :පිටුව 156

චම්පිකගේ මේ හෙළිදරව්ව හරහා පැහැදිලි වන එකම දෙය නම් චම්පිකලා අද කියන දේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෑතක් වන තුරුම පැවසූ 'බල්ලා නාවන්නට ඇදන් ගිය' කතාවද යුධ ජයග්‍රහණයේ ගෞරවය තමන්ට හිමි ප්‍රමාණයට වඩා තම පිඟානට බෙදා ගැනීමට ගෙතූ ප්‍රලාපයක් බවයි. චම්පික මේ ප්‍රලාපය දිගින් දිගටම ඇද ගෙන යන්නේ ඔහුගේ අනාගත පෞද්ගලික බල ව්‍යාපෘතියේදී ඔහුට වඩා වීරයන් සිටීම ඇඟට ගුණ නොවන බව ඔහු ඉතා හොඳින් වටහා ගෙන ඇති නිසාය.

2005දී ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නේ ගල උඩ සටනකිනි. උතුරේ එල්ටීටීඊය පැවැත්වූ චන්ද වර්ජනය හේතුවෙන් උතුරේ ඡන්ද වලින් ජය ලැබීමට බලා සිටි රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තු බිඳ වැටිණ. උතුරේ කොටි ඡන්ද වර්ජනය නොයෙක් දෙනා නොයෙක් අයුරින් අර්ථ ගැන්වීය. චම්පික රණවක මහතාද අද නම් පවසන්නේ මුදල් හා වෙනත් ආධාර එල්ටීටීඊයට ලබාදීම හරහා චන්ද වැලැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊය සමග එකඟතාවයක සිටි බවයි. එයින් ඔහු උත්සාහ කර බලන්නේ ත්‍රස්ත මර්දන සටනේ ගෞරවය කිළිටි කල හැකිද කියාය. "වීරයා මැරීම " චම්පිකගේ මුඛ්‍ය ඉලක්කයයි. නමුත් අද ඒ චෝදනා කරන චම්පිකම තම චරිතප්‍රදානයේ ඒ සිදුවීමම විස්තර කරන්නේ මෙසේය.

"1982 සිට පවත්වන ලද සියලූ ජනාධිපතිවරණ සිය ශක්ති ප‍්‍රමාණයේ හැටියට වේලූපිල්ලේ වර්ජනය කළේය. එයට හේතූව තමිල් ඊළාමයේ ජනාධිපති තමාය යන හැඟීමය. 2005 ජනාධිපතිවරණයේ දී එය යාපනය වැනි හමුදාව සතුව තිබූ ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත වූයේ ආණ්ඩුවේ මුග්ද සාමය නිසාවෙනි. අනෙක් අතින් හමුදා බලප‍්‍රදේශවල පවත්වන මැතිවරණයක දී තමනට සිතූ හැටියේ ඡන්ද පෙට්ටි පිරවීමට කොටින්ට හැකිවන්නේ ද නැත. පෙරළා දකුණ, බස්නාහිර, උතුරු මැද, වයඹ, සබරගමුව වැනි සිංහල ප‍්‍රදේශ අතිවිශාල වැඩි ඡන්දයකින් දිනා ඒ ප‍්‍රතිඵලය වන්නියේ දෙමළ ඡන්දවලින් ආපසු හැරුණා නම් රට තුළ ඇතිවන්නේ කැරැල්ලකි. එමෙන්ම විපක්ෂයේ චෝදනාව ඇත්ත යැයි ගත්ත ද වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රථමවතාවට
රැවටීමේ ශූරකම, මහින්ද රාජපක්ෂට ලැබෙන්නේය. මන් ද එයට පෙර ඔහු ගනුදෙනු කළ සියල්ලෝම ඔහු විසින්, රැවටීමට ලක්කර මරාදමා හෝ රාදැමීමට තැත්කර හෝ තිබුණු හෙයිනි.
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක් : පිටුව 147


චම්පික අද කරන චෝදනාව ඔහු එදා එය අර්ථදැක්වූයේ ද්‍රෝහීකමක් ලෙස නොවේ දක්ෂ කමක් ලෙසයි. චම්පිකගේ මේ නිරුවත් දෙබිඩි හැසිරීම අපට කියා දෙන්නේ බල තණ්හාව වෙනුවෙන් නැගෙන ජඩ අවස්ථාවාදයට සදාචාරයේ සාධාරණත්වයේ සීමා වලංගු නැති බව නොවේද?

"උතුරු හා නැගෙනහිර වෙරළ තීරය ත්‍රස්තවාදයට ලියල දෙන්න කටයුතු කළේ අපි නෙවෙයි." මේ චම්පික නගන තවත් චෝදනාවකි.
මෙය ඔහු 2015 දී පමණ සිට පවසන කතාවකි.
"උතුරු නැගෙනහිර කොටින්ට පාවා දෙන ‘පීටොම්ස්‘ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ අගමැති විදියටයි. "
-චම්පික රණවක : 2015 මැයි 24 ලංකාදීප


සුනාමි සහන මණ්ඩල ගිවිසුම (PTOMS) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ මහින්ද රාජපක්ෂ විසින් බවද ඒ වෙද්දීත් ඔහුට ත්‍රස්තයන් සැනසීම මිස ත්‍රස්තයන් වැනසීමට අරමුණක් නොතිබුණු බව චම්පික අද පවසයි. නමුත් අප දන්නා ඉතිහාසයේ නම් චන්ද්‍රිකාගේ කුප්‍රකට සුනාමි සහන මණ්ඩල යෝජනාවට එරෙහිව කැබිනට්ටුව තුල හඬක් නැගූ අතලොස්ස අතර මහින්ද රාජපක්ෂ මහතාද විය. චන්ද්‍රිකා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට මහින්දම තෝරාගත්තේ ඒ වන විට ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික සංවිධාන සමගද මහින්ද රාජපක්ෂ ගොඩනගාගෙන තිබූ විශ්වාසය පළුදු කරන්නටය. 2005 ජනාධිපතිවරණය තුල මහින්දට තීරණාත්මක ලෙස බලපාන එම බලවේග මහින්ද වෙතින් දුරස් කර තැබීමට චන්ද්‍රිකා ඇටවූ උගුල එයයි. 2015 වෙස් පෙරළියට පෙර චම්පික මහතා විසින් එම කරුණ තම චරිතප්‍රදානය තුල සටහන් කරන්න මෙසේය.

"රටම අවදි කිරීම අපේ පරමාර්ථය වූ අතර, දහස් ගණන් ක‍්‍රියාකාරීන් රටපුරා පන්සල් හා සේවා ස්ථාන කරා පිටත් කරවීමු. තුන්වන දිනය වනවිට ජ.වි.පෙ ආණ්ඩුවෙන් එළියට ආ අතර, වෙනම උපවාසයක් ආරම්භ කළේය. කපටි චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩල :PTOMS යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ අගමැති
මහින්ද හරහාය. ඒ එතුමා වෙතට ජාතික බලවේගවල වෛරය තල්ලූ කර හරින්ටය.
-චම්පික රණවක :පටිසෝතගාමීව තිස් වසක් :පිටුව 136


එදා ජාතික බලවේග වල වෛරය මහින්ද වෙත එල්ල කරන්නට කටයුතු කලේ විජාතික ලේබලය සහිත චන්ද්‍රිකාය. අද චන්ද්‍රිකා වෙනුවට චම්පික ආදේශ වී ඇත.
කෙසේ වුවත් චම්පික රණවක අද වෛරී ස්වරයෙන් නගන චෝදනා ඔහුගේම වචන වලින් නිරුවත්ව ඇති අයුරු ඉහත කරුණු වලින් අපූරුවට පැහැදිලි වෙයි.

චම්පිකට ජාතියෙන් සමාව හිමිවේද?

සැබැවින්ම චම්පිකලා සමාව ගත යුත්තේ කොටි ත්රස්තවාදය පරාජය කිරීමේ තීරණාත්මක මංසන්ධිය වූ 2005 ටද එසේත් නැත්නම් ඒ විජයග්රණය ආපසු හැරවීමට දැනුවත්ව ක්රියාත්මක කළ 2015 යහපාලන මරාලයටද?
2005 ජාතික හෙළ උරුමය ගත් එඩිතර නිවරදි තීරණය 2019 වන විට සමාව ගන්නා තීරණයක් බවට පරිවර්තනය වන්නේ 2015 දී ඔවුන් දේශපාලනිකව පීලි පැන්න නිසා මිස වෙනකක් නිසා නොවේ. දොන් ජුවන් ධර්මපාල ලෙස ,ජාතියේ හතුරකු ලෙස තමා විසින්ම හන ගැසූ රනිල් වික්‍රමසිංහ, අද තමන්ගේ ගැලවුම්කරුවා වන්නේත් අලියා ලකුණින් චන්ද ඉල්ලන තත්වය දක්වා චම්පිකලා කණපිට ගැසුනේත් ඒ පීලි පැනීමේ අවසන් ඵලය ලෙසයි. එදා සෝම හිමියන්ගේ දේහය මතින් දේශපාලන ඉනිමගේ ඉහලට නැගි චම්පිකලා ඒ ඉනිමගට පයින් ගසා ආත්මාර්ථකාමී බලකාමී මගේ වේගයෙන් ඉදිරියට ගියේය. ඒ දේශපාලන පාවාදීම කරද්දී "රනිලුත් වෙනස් වෙලා.අපිත් වෙනස් වුනා" යනුවෙන් චම්පික අලුත් කතාවක් ගොතාගෙන ආවත් එදා චම්පිකලා වටා සිටි දැනුවත් ජාතිකවාදයට ලැදි ජනයා සහ ජාතිමාමක භික්ෂූන් වහන්සේලා බහුතරයක් චම්පිකලා හැර යන්නේ තවදුරටත් ඒ ව්‍යාජයෙන් සිත් රවට්ටා ගැනීමට නොහැකි බැවිනි. තම බල ව්‍යාපෘතිය උදෙසා ඕනෑම පාවාදීමකට ඕනෑම අවස්ථාවාදී ස්ථාවරයකට මාරු වීමට චම්පික රණවකට හැකිය. අතිශෝක්තියට නගන ඉලක්කම් සෙල්ලම් හරහා ඕනෑම බොරුවක් ඇත්ත සේ පැවසීමට ඇති හැකියාව සහ නමට මුලින් ඇති 'උගත්' බෝඩ් ලෑල්ල චම්පිකට ඒ සඳහා අතිරේක 'සුදුසුකමක්' වී තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට චම්පික බොහෝ දුරට හෙළිදරව් වී හමාරය.
කුමන දේශපාලන විවේචන තිබුනත් මෙරට බහුතරයක් ජනයා 2005 දී ලද මැතිවරණ ජයග්‍රහණය උඩ ලබාගත් ජාතියේ විජයග්‍රහණයට අවමන් නොකරති. අන් කුමන කරුණක් අරඹයා වුවත් දේශපාලන පසමිතුරන් වීම ඉවසිය හැක්කකි. එහෙත් 2009 ලද ජාතියේ විජයග්‍රහණයට අවමන් කිරීමට කිසිවකු එකඟ නැත. ඒ විජයග්‍රහණයට අවමන් කරන කිසිවෙකුට කොතරම් ඉල්ලුවත් ජාතියෙන් සමාව හිමි නොවනු ඇති. ඒ 2005 දේශපාලනයේ කොටස්කරුවන් වීම ප්‍රතික්ෂේප කරමින් ඒ පිළිබඳ කණගාටු වෙමින් එහි අග්‍ර ඵලය වූ ත්‍රස්තවාදය පැරදවීමේ ගෞරවයට පමණක් අත ගසන්නට කිසිවෙකුටත් යුක්ති සහගත අයිතියක් නැත. 2015 දීත් චම්පිකලා වරද්ද ගත්තේ එතනය. 2015න් පසු ඇරඹි මහින්ද සුළඟ ලෙස හැඳින්වූ දේශපාලන ප්‍රවාහයේ ගාමක බලවේගය වූයේ ඒ ත්‍රස්තවාදයේ වියරුවත් එය පරාජය කිරීමේ අගයත් දත් සබුද්ධික ගැමි ජනයාය. අවසානයේ ඒ ජන රළ චම්පිකලාගේ වෛරී ආත්මාර්ථකාමී දේශපාලනය සමතලා කර දමා තිබේ. පසුගිය ජනාධිපතිවරණය එහි ආසන්න ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවස්ථාවයි. එහිදී සිංහල බෞද්ධයන් 70% කට වඩා සාතිශය බහුතරය චම්පිකලාගේ දේශපාලන ප්‍රතික්ෂේප කර තිබේ.
මේ මැතිවරණය ආරම්භවීමට පෙර චම්පික රණවක මහතා ආඩම්බරකාර ස්වරයෙන් පැවසුවේ "2005 දීත් 2010 දීත් 2015 දීත් ජනාධිපතිවරුන් තේරුවේ තමන් බවත් මෙවරද එය එසේම" බවත්ය. වතුර නැටීමට අවශ්‍ය අන්තිම අංශකය මෙන් ජයග්‍රහණයට අවශ්‍ය තීරණාත්මක චන්ද ප්‍රමාණය ලබා දෙන්නේ තමන් යැයි උදම් ඇනූ චම්පිකලාගේ ඒ ප්‍රකාශ හුදු වාග් ප්‍රලාප බවට පත්ව තිබේ. නයි නටවන්නා නැතිව තනිවම නටන්නට ගොසින් අභාග්‍යසම්පන්න ඉරණමක් අත්වූ නයාට වූ දේ අද චම්පිකලාට සිදුව තිබේ. කොටින්ම දේශපාලනය තුල චම්පිකලාට තිබූ සුවිසේශී බව අහිමිව තිබේ. දැන් චම්පික තවත් එක් දේශපාලනඥයෙක් පමණි.

-කැලුම් නිරංජන
[ඕස්ට්‍රේලියාවේ පළවන "තරණ" පුවත්පතේ 2020 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි.]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions