කාලීන දේශපාලන

අපේ මතවාද

English Column

කලා සාහිත්‍ය

කවි

5/31/2026

අපේ ඇමරිකන් විරෝධය - 1

කතෘ:යුතුකම     5/31/2026   No comments


අප මතු කරන දේශපාලන අදහස් තුළ, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ ආධිපත්‍යයට එරෙහි ස්ථාවරයක් නිබඳවම ප්‍රකාශ වෙයි. ඇතැමුන් මෙය දකින්නේ අප තුළ පවතින වාමාංශික නැඹුරුවක ප්‍රතිඵලයක් ලෙසයි. තවත් පිරිසක් සිතන්නේ මෙය අපගේ ජාතික ව්‍යාපාරයේ පූර්වගාමීන් තුළ පැවති යටත් විජිත විරෝධයේම දිගුවක් ලෙස අප වෙත පැමිණි එකක් කියායි.

එහෙත් සැබෑ තත්ත්වය එය නොවේ. අප එක්සත් ජනපදය ඇතුළු බටහිර බලයට එරෙහිව මතවාදීමය අභියෝගයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ, ඉන් ඔබ්බට ගිය පුළුල් ආර්ථික සහ දේශපාලනික කරුණක් හේතුවෙනි. එනම්, එම බලවතුන් තමන්ගේ ස්වාර්ථය පමණක් කේන්ද්‍ර කරගත් ආත්මාර්ථකාමී වැඩපිළිවෙළක් ඔස්සේ අදටත් මුළු ලෝකයම සූරාකමින් සිටින බැවිනි. මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තාක් කල්, අප වැනි රටවල ජාතික නිදහස සහ සමෘද්ධිය හුදු සිහිනයක්ම පමණක් වනු ඇත.

මෙහිදී අප පැහැදිලිවම තේරුම් ගත යුතු තවත් කරුණක් තිබේ. අප මේ ගොඩනඟන මතවාදීමය අභියෝගය එක්සත් ජනපදයේ සාමාන්‍ය ජනතාවට හෝ එම රාජ්‍යයට එරෙහි වන්නක් නොවේ. එය, එක්සත් ජනපදය නමැති රාජ්‍යය තමන්ගේ "බළල් අතක්" බවට පත් කරගනිමින් ක්‍රියාත්මක වන මහා පරිමාණ කුමන්ත්‍රණකාරී ආර්ථික වැඩපිළිවෙළකට එරෙහි වන්නක් පමණි.

මෙය ඉතා දීර්ඝ කතාවකි. එබැවින් මම මෙය කොටස් කිහිපයකින් ලියා තබන්නට අදහස් කරමි. ඉන් පළමු කොටසින් මා ඔබට පැහැදිලි කරන්නේ, ලෝකයේ සෙසු ජාතීන්ගේ නිදහස සහ සෞභාග්‍යය කිසිසේත් මායිම් නොකරන තැනකට එක්සත් ජනපදයේ ආර්ථික සහ මිලිටරි යාන්ත්‍රණය ඇද වැටීමට හේතු වන අයුරින් එහි නෛතික සහ දේශපාලන පදනම සකස් වූ ආකාරයයි.

බහුජාතික සමාගම් සහ මුදල් බලය ඇමරිකානු දේශපාලනය ගිලගත් හැටි”

එක්සත් ජනපදයේ මහා පරිමාණ ධනවතුන්ට සහ සමාගම්වලට එරට දේශපාලනයට මෙන්ම ප්‍රතිපත්ති සැකසීමට මැදිහත් වීමට ඇති හැකියාව, අනෙක් බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා ඉතාමත් ඉහළය.

මෙය අහම්බයෙන් සිදු වූවක් නොවේ. මෙය ඇමරිකානු දේශපාලන, නීතිමය සහ ආර්ථික පද්ධතිය ඇතුළතින්ම ක්‍රමිකව නිර්මාණය කර ඇති තත්ත්වයකි.

1776 නිදහස් ප්‍රකාශනයේ සිටම විවිධ සංක්‍රමණ රැලි ඔස්සේ යුරෝපයේ සිටි ධනවතුන් සහ උන්නතිකාමීන් නිදහස සොයා ඇමරිකානු භූමිය වෙත ඇදී ආහ. යුරෝපයේ පැවති රාජාණ්ඩු කේන්ද්‍ර කරගත් සමාජ ක්‍රමය තුළ වරප්‍රසාද අහිමි වූ, නමුත් ධනය ඉපයීමේ හැකියාව සහ දැඩි ආශාව තිබූ පිරිස් මේ අතර වූහ. එක්සත් ජනපද භූමිය ඔවුන්ට කදිම කෙම්බිමක් විය.

අනෙක් රටවල ධනවතුන් දේශපාලනයට බලපෑම් කරන්නේ නීති විරෝධී ලෙස "අල්ලස්" දීම හරහා වුවත්, එක්සත් ජනපදය තුළ ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලින් මුදල් බලය භාවිතා කර දේශපාලනය මෙහෙයවීම "ප්‍රකාශන නිදහසේ" කොටසක් ලෙස නීතිගත කර තිබේ.

වර්තමානයේ පවතින මෙම තත්ත්වය නිකම්ම අහසින් කඩා වැටුණු එකක් නොවේ. එහි මූලයන් සකස් වූයේ 1776 සිට 1914 දක්වා වූ කාලය තුළ, ඇමරිකානු කාර්මික විප්ලවය සහ එරට අධිකරණ පද්ධතියේ හැසිරීම නිසයි. ඒ පිළිබඳ ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් පහත විවරණය කොට ඇත.

ඇමරිකානු ව්‍යවස්ථාව සකස් කළ පියවරුන් වශයෙන් හැඳින්විය හැකි ජේම්ස් මැඩිසන් ආදීන් ඔවුන්ගේ ප්‍රකාශනවල සඳහන් කළේ, බහුතර සාමාන්‍ය ජනතාව එකතු වී ධනවතුන්ගේ "දේපළ අයිතිය" උදුරා ගැනීම වැළැක්වීම රජයේ වගකීමක් බවයි. ඔවුන් ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඕනෑම කෙරෙකුට රජයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය තහවුරු කළ අතර, ව්‍යාපාරිකයන්ට රජයේ නීතිවලට බලපෑම් කිරීමට ඇති මූලික නීතිමය අයිතිය විවෘත වූයේ මේ හරහායි.

1819 දී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් Dartmouth College තීන්දුවෙන් ප්‍රකාශ වූයේ, සමාගමකට හෝ ආයතනයකට රජයෙන් ලැබෙන ව්‍යාපාරික අවසරයක් යනු නීත්‍යානුකූල ගිවිසුමක් බවයි. එම ගිවිසුම් ඒකපාර්ශවීයව වෙනස් කිරීමට රජයට නොහැකි බව මෙයින් තීන්දු විය. මෙය ව්‍යාපාරික සමාගම්වලට ආණ්ඩු වෙනස්වීම් මධ්‍යයේත් ස්වාධීනව සහ බලවත්ව නැඟී සිටීමට ලැබුණු මුල්ම නීතිමය ආවරණය විය.

1830 – 1850 අතර කාලයේ ඇමරිකාවේ මහා පරිමාණයෙන් දුම්රිය මාර්ග සහ ඇළ මාර්ග ඉදිවන විට, එම සමාගම්වලට රජයෙන් නොමිලේ ඉඩම් සහ සහන ලබා ගැනීමට අවශ්‍ය විය. ඔවුන් වොෂින්ටන් නුවර දේශපාලනඥයන් හමුවීමට විශේෂ නියෝජිතයන් පත් කළහ. දේශපාලනඥයන් නවාතැන් ගෙන සිටි හෝටල්වල සාලයේ (Lobby) රැඳී සිටිමින් ඔවුන්ට මත්පැන්, මුදල් සහ තෑගි දෙමින් තමන්ට වාසිදායක ලෙස නීති සකස් කරවා ගැනීම ඇරඹිණි. "Lobbying" යන වචනය සහ ක්‍රියාවලිය ඇමරිකානු දේශපාලනයේ සාමාන්‍ය දෙයක් බවට පත් වූයේ මේ කාලයේදීය.

1886 Santa Clara County නඩුව ඇමරිකානු ඉතිහාසයේ සිදු වූ විශාලතම හැරවුම් ලක්ෂ්‍යයක් සේ සැළකේ. සිවිල් යුද්ධයෙන් පසු නිදහස් වූ අප්‍රිකානු-ඇමරිකානුවන්ට සමාන අයිතිවාසිකම් දීම සඳහා ව්‍යවස්ථාවට 14 වන සංශෝධනය එකතු කර තිබුණි. එහි සඳහන් වූයේ කිසිදු "පුද්ගලයෙකුගේ" අයිතිවාසිකම් රජයට උදුරා ගත නොහැකි බවයි. 1886 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් Santa Clara County නම් දුම්රිය සමාගමකට අදාළ නඩුවකදී, මෙම ව්‍යවස්ථාවේ එන "පුද්ගලයා" කියන වචනයට ව්‍යාපාරික සමාගම් (Corporations) ද ඇතුළත් වන බවට අර්ථකථනයක් දුන්නේය. මෙයට "Corporate Personhood" (සමාගම්වල පුද්ගලභාවය) කියා කියනු ලබයි. මෙයින් සමාගම්වලට මිනිසෙකුට ඇති සියලුම නීතිමය අයිතිවාසිකම් හිමි විය.

1896 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී විලියම් මැකින්ලි වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ මාක් හැනා නම් ධනවත් ව්‍යාපාරිකයා, ඇමරිකානු දේශපාලනය තුළ මුදල් බලය ක්‍රමවත් ජාවාරමක් බවට පත් කළ ප්‍රමුඛතමයෙකු ලෙස හැඳින්වේ. ඔහු වෝල් ස්ට්‍රීට් බැංකු සහ දැවැන්ත සමාගම් වෙත ගොස්, ඔවුන්ගේ ලාභයේ ප්‍රතිශතයක් ලෙස ඡන්ද ව්‍යාපාරයට මුදල් දෙන ලෙස දැන්වීය.

ඒ වෙනුවට ඔහු මැකින්ලි ලවා සමාගම්වලට හිතකර නීති පොරොන්දු විය. ඔහු පැවසූ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඇත: "දේශපාලනයේදී වැදගත් වන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න මුදල් ය, දෙවැන්න කුමක්ද කියා මට මතක නැත."

කල් යත්ම දේශපාලනය තුළ සමාගම්වල මුදල් බලය අධික වීම ගැන එක්සත් ජනපදයේ සාමාන්‍ය ජනතාව තුළ විරෝධයක් මතු වූ අතර, ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් යටතේ 1907 දී "ටිල්මන් පනත" සම්මත කරමින් සමාගම්වලට සෘජුවම මැතිවරණවලට මුදල් දීම තහනම් කෙරුණි. නමුත් එහි විශාල හිඩැසක් තිබුණි.

සමාගමේ අරමුදල්වලින් මුදල් දීම තහනම් වුවද, සමාගම් හිමිකාර ධනවතුන්ට තමන්ගේ පුද්ගලික මුදල් ඕනෑ තරම් මැතිවරණවලට වියදම් කිරීමට ඉඩ ඉතිරි විය. මේ නිසා මුදල් ගලා යාම නැවතුණේ නැත; සිදු වූයේ ක්‍රමවේදය වෙනස් වීම පමණි.

1776 සිට 1914 පළමු ලෝක යුද්ධය ආරම්භ වන තෙක් කාලය තුළ, ඉහත මා විසින් පැහැදිලි කොට ඇති සමාජ සහ නෛතික තත්ත්වය යටතේ එක්සත් ජනපදයේ මහා පරිමාණ ආර්ථික බලවතුන්, එරට රාජ්‍ය තන්ත්‍රය සහ මිලිටරි බලය සිය ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් භාවිතා කළ අන්දම මීළඟ ලිපියෙන් විමසා බලම

පැතුම් ඒ. රණසිංහ

[යුතුකම සඟරාවේ 2026 මැයි කලාපයේ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

වහලක් නැති ජනරජය

කතෘ:යුතුකම     5/31/2026   No comments

නොනවතින දරුණු ආර්ථික කුණාටුවක අඳුරු මීදුම් පටලයකට මැදිව, ශ්‍රී ලාංකීය අප පසුගිය මැයි 22 දින අපගේ 54 වන ජනරජ දිනය සැමරුවෙමු. මේ, ජනරජයේ වර්තමාන ඉරණම සහ අනාගතය පිළිබඳව ලියැවෙන විචාරාත්මක පසුබිම් සටහනකි.
ස්වෛරී, ස්වාධීන "ශ්‍රී ලංකා ජනරජය" උපත ලැබුවේ 1972 වසරේදී සම්මත කරන ලද පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟය. ලෝකයේ රටවල් 150 ක් පමණ සිය නිල නාමයට "ජනරජය" යන්න එකතු කරගෙන සිටිය ද, "ප්‍රජාතාන්ත්‍රික" සහ "සමාජවාදී" යන එකිනෙකට පරස්පර මතවාද ද්විත්වයම එකට අමුණා භාවිත කරන ලොව එකම රට ශ්‍රී ලංකාව පමණි. ජනරජයේ නාමය මෙසේ වෙනස් කළ ජයවර්ධන මහතා, එතෙක් රට තුළ පැවති සමස්ත ආර්ථික නියමයන් ද උඩුයටිකුරු කළේය.

එකල ගෝලීය ප්‍රවණතාවන් දෙස බැලීමේදී තවත් රටවල් රැසක් මෙවැනි විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා යොමු වෙමින් තිබූ බව සැබෑවකි. එහෙත්, ඉතිහාසය විසින් අද වන විට ඉතා තිත්ත ලෙස ඔප්පු කර පෙන්වා දී ඇත්තේ, ජයවර්ධන මහතාගේ "අවිචාරවත්, සැලසුම් රහිත සහ අසමතුලිත" විවෘත ආර්ථික මුලපිරීම් දේශීය නිෂ්පාදනය නසා දමා, රටේ දිගුකාලීන ආර්ථික බංකොලොත්භාවයට සහ අස්ථාවරත්වයට නිශ්චිතවම පදනම දැමූ බවයි.මෙම සැලසුම් රහිත ආර්ථික ප්‍රතිසංස්කරණවල විනාශකාරී ප්‍රතිඵලයක් ලෙස, විවෘත ආර්ථිකය ඇරඹි දින සිට අද දක්වාම අපේ රට ජංගම ගිණුමේ සහ අයවැය ලේඛනයේ ද්විත්ව හිඟයෙන් අඛණ්ඩව බැටකමින් සිටී. දේශීය පරිභෝජනය දේශීය නිෂ්පාදන ධාරිතාව ඉක්මවා යාම නිසා ඇති වූ මෙම දැවැන්ත පරතරය පියවා ගැනීමට අපට දිගින් දිගටම විදේශීය ණය මතම යැපීමට සිදු විය.

මෙහිදී රටට ලැබෙන එකම "ණය නොවන" ස්ථාවර විදේශ විනිමය ලැබීම වන්නේ භාණ්ඩ හා සේවා අපනයනයයි. එහෙත් අතිශය කනගාටුදායක යථාර්ථය නම්, 54 වන ජනරජ දිනය සමරන අද වන විටත් අප රටේ අපනයනකරුවන් තමන් උපයන ඩොලර් දේශීය මූල්‍ය පද්ධතිය තුළට නොගෙනැවිත්, ඒවා විදේශයන්හිම රඳවා තැබීමේ අත්තනෝමතික පිළිවෙතක නිරත වීමයි. මෙය හුදෙක් පුරවැසියාගේ දේශප්‍රේමය පිළිබඳ ගැටලුවක් පමණක් නොවේ; ජනරජයේ පාලකයන් විසින් කාලයෙන් කාලයට ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්ති ද මීට සෘජුවම වගකිව යුතුය. 'ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි'වැනි ජාත්‍යන්තර ආයතනවල දත්ත පෙන්වා දෙන්නේ පසුගිය වසර 22ක කාලය තුළ මෙරට අපනයනකරුවන් විසින් නැවත ලංකාවට නොගෙන්වා විදේශයන්හි රඳවාගෙන ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 53.5 ක් තරම් දැවැන්ත අගයක් ගන්නා බවයි.

සිරිමාවෝ මැතිණිය ව්‍යවස්ථාදායක සභාව අමතමින්
නූතන ඩිජිටල් බැංකුකරණය, Wise හෝ Airwallex වැනි නවීන මූල්‍ය තාක්ෂණික මෙවලම් සහ විශේෂඥ නියෝජිත සේවාවන් නිසා, අද වන විට අපනයනකරුවන්ට ලංකාවේ සිටම ඩුබායි හෝ සිංගප්පූරුව වැනි රටවල තමන්ගේම අක්වෙරළ සමාගම් පිහිටුවා, බදු රහිතව විදේශීය ගිණුම්වල ඩොලර් රඳවා ගැනීම අතිශය සරල කටයුත්තක් වී ඇත.

මිනිසා මුලින්ම තමන්ගේ ස්වාර්ථය සහ පැවැත්ම සොයයි. ආර්ථික විද්‍යාවේ එන 'Rational Choice Theory' මඟින් පැහැදිලි කරන්නේ මෙම සාධකයයි. දේශප්‍රේමය වැනි උදාර හැඟීම් පවා ආර්ථික අනාරක්ෂිතභාවය හමුවේ දියවී යයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ පුරවැසියාගේ දේශප්‍රේමය සහ ජාත්‍යාලය මුවහත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු යැයි අප යෝජනා කරන්නේ මේ සාර්ව ආර්ථික යථාර්ථය හඳුනාගෙන ඇති බැවිනි.

2022 වසරේදී අප මුහුණ දුන් මහා ආර්ථික විනාශයේ පෙරනිමිති, නැවත වරක් දරුණු ලෙස රට තුළ ඉස්මතු වෙමින් පවතින බව පෙනේ. 1953 විනිමය පාලන පනත යටතේ විදේශ විනිමය වංචා යනු සිරදඬුවම් ලැබිය හැකි බරපතළ සාපරාධී වැරදි වී තිබුණි. එහෙත්, යහපාලන රජය සමයේ රනිල් වික්‍රමසිංහ සහ රවි කරුණානායක යන මහත්වරුන් විසින් හඳුන්වා දුන් "2017 අංක 12 දරන විදේශ විනිමය පනත" මඟින් මෙම වැරදි සාපරාධී නොවන සිවිල් වැරදි බවට පත් කර, දණ්ඩනීය නීති සියල්ල ලිහිල් කළේය. රේගුව සතු වූ විමර්ශන බලතල කපා හැරියේය. ඩොලර් පිටරට රඳවා තැබීමට අපනයනකරුවන්ට තිබූ නීතිමය බිය නැති කළ ප්‍රධාන සිදුර එයයි.

2016 වසරේදී යහපාලන රජය IMF සමඟ එළඹුණු ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ගිවිසුමේ ප්‍රධාන ව්‍යුහාත්මක කොන්දේසියක් වූයේ, "ආයෝජන පහසු කිරීම සහ ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීම සඳහා" මූල්‍ය නීති ලිහිල් කිරීමයි. මේ අනුව, 2017 නව විදේශ විනිමය පනත කෙටුම්පත් කෙරුණේ මෙම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සෘජු උපදෙස් සහ නිර්දේශ මතය. මීට සමගාමීවම එම රජය ලංකා ඉතිහාසයේ විශාලතම ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ලබා ගත්තේය. 2021-2022 වසරවල මතු වූ දරුණු ආර්ථික අර්බුදය සඳහා මෙකී පියවරයන් සෘජුවම බලපෑවේය.

මතු වූ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අසමත්ව, එය දේශපාලන අර්බුදයක් දක්වා උඩු දුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරය හැර ගිය පසු, නැවත 2022 දී බලයට පත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාම ය. ඔහුගේ රජය IMF සමඟ ඇති කරගත් එකඟතා අනුව, පනවා තිබූ සියලුම විදේශ විනිමය සහ ප්‍රාග්ධන පාලන සීමාවන් ක්‍රමයෙන් ඉවත් කිරීමට එකඟ විය. මේ නිසා, විදේශ විනිමය රට තුළට නොගෙන වංචා කරන අපනයනකරුවන්ට එරෙහිව නැවත දැඩි දණ්ඩනීය නීති පැනවීමට රජයට ප්‍රතිපත්තිමය වශයෙන් හැකියාවක් නොතිබුණි.

2024 අගභාගයේදී ජාතික ජන බලවේගය රජය බලයට පත් වූයේ, IMF වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල දැඩි කොන්දේසිවලින් රට මුදවා ගන්නා බවට පොරොන්දු දෙමිනි. නමුත් ඔවුන්ට ද අවසානයේදී IMF උපදේශකත්වය යටතේ, රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කළ මාවතේම ගමන් කිරීමට සිදු වී ඇත.

2022-2024 කාලය තුළ වික්‍රමසිංහ රජය විසින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා ගත් වැදගත් තීරණයක් වූයේ ආනයන සීමා කිරීමයි. මේ යටතේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම පාහේ සීමා කර තිබුණි. නමුත් වත්මන් රජය 2025 වසරේ මුල් භාගයේ සිට, වසර 5කට පසු වාහන ආනයනයට යළි අවසර දුන්නේය. එය ඒ මොහොතේදී මධ්‍යම පාන්තික ඡන්දදායකයා පිනවන ජනප්‍රිය තීරණයක් ලෙස පෙනෙන්නට තිබුණි. නමුත් මේ වන විට එය වත්මන් රජය ගත් තවත් අදූරදර්ශී පියවරක් බව පැහැදිලි වෙමින් පවතී.

2023 නව ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් මහ බැංකුව ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙන් ස්වාධීන කරමින් "රාජ්‍යයක් තුළ තවත් රාජ්‍යයක්" නිර්මාණය කළේය. මහ බැංකුවේ එකම ව්‍යවස්ථාපිත ඉලක්කය "මිල ස්ථායීකරණය" පමණක් වූ නිසා, විදේශ විනිමය ගලායාම වැළැක්වීම ඔවුන්ගේ ප්‍රමුඛතාවක් නොවූ බව පෙනේ.

පුද්ගලයන් සහ දේශපාලන පක්ෂ ඇති වී නැති වී යනු ඇත. නමුත් අපටත්, අපගේ නූපන් අනාගත පරපුරටත් නිදහස්, නිවහල් සහ ආර්ථික වශයෙන් ස්වාධීන ශ්‍රී ලංකා ජනරජයක් උරුම කර දීම අත්‍යවශ්‍ය කරුණකි.

ආර්ථික ශක්තියක් නොමැති ජනරජයක් යනු වහලක් නොමැති නිවසක් බඳුය; ඉන් පුරවැසියාට කිසිදු රැකවරණයක් සැලසෙන්නේ නැත.

එබැවින්, විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර වෙත රාජ්‍ය ව්‍යවසායයන් සක්‍රීයව හා තරඟකාරීව ඇතුළත් කිරීමත්, විදේශ විනිමය නීති නැවතත් අතිශය දැඩි මට්ටමකින් බලාත්මක කිරීමත්, මහ බැංකුව ව්‍යවස්ථාදායකය ඔස්සේ ජනතාවට වග කියන ආයතනයක් බවට පත් කිරීමත් වහාම සිදු කළ යුතුව ඇත.

-දක්ෂිණ ජයවික්‍රම

[යුතුකම සඟරාවේ 2026 මැයි කලාපයේ ලිපියකි]
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

උරුමය, කරුමය, වගකීම හා යුතුකම

කතෘ:යුතුකම     5/31/2026   No comments
සිංහලයා යනු සීහළද්වීපයේ ජීවත් වන, එම දිවයිනේ ඉතිහාසය, සංස්කෘතිය හා සභ්‍යත්වය ගොඩනැඟූ ජන සංහතියයි. ඔවුන්ගේ භාෂාව සිංහල ද ආගම බුදුන්ගේ ධර්මය ද විය.

සිංහලයාගේ ආගම බුදුන්ගේ ධර්මය යැයි යන්නෙන් මා අදහස් කරන්නේ සිංහලයන් සියයට සියයක් ම බෞද්ධ විය යුතු බවවත්, බෞද්ධයන් ධර්මානුකූල පිළිවෙත් නූලට ම පිළිපැදිය යුතු ය යන බොළඳ අදහසවත් නොවේ. සිංහලයාගේ සිතුම් පැතුම්, සමාජ වටිනාකම්, හොඳ නරක මෙන් ම ආර්ථිකය ද අතීතයේ සිට ම සකස් වුණේ බුදු සමය පදනම් කරගෙන ගොඩනැඟුණු, තවමත් බිඳ වැටී නැති හර පද්ධතිය මත ය යන අර්ථයෙනි.

මට මෙන් ම මේ රටේ බහුතරයකට අදටත් තමන් සිංහල බෞද්ධයන් ලෙසින් හඳුන්වා දෙන්නට හැකි වී ඇත්තේ ඉතිහාසය පුරා අපේ මුතුන් මිත්තන් කවරාකාරයේ බලවේගයන් හමුවේවත් ඔවුන්ගේ ආගම වෙනස් නොකළ බැවිනි. එවන් වූ පරපුරකට අයත් වීම පිළිබඳව එදා ධර්මපාල තුමා ආඩම්බර වූවාක් මෙන් ම මම අද ආඩම්බර වෙමි.

මේ දීර්ඝ ඉතිහාසය තුළ ඔවුන් සිය සිංහල බෞද්ධ උරුමය රැක ගැනීමට නන් අයුරින් දායක වූ ආකාරය යි, මෙරට වෙහෙර විහාර, වැව්, කලා නිර්මාණ, සාහිත්‍ය හා වංශකතා මෙන් ම පුරාවෘත්ත හා ජනකතා ද අපට පුන පුනා පවසන්නේ.

ඉතිහාසය තුළ ලොව පුරා සම්ප්‍රදායික රාජ්‍යයන්ට උරුම අනන්‍යතාව විනාශ වූයේ, ලෝක පාලක සර්වබලධාරී සර්වකාලීන දෙවිකෙනෙකුන් අදහන මිථ්‍යාදෘෂ්ටික රාජ්‍යයන් විසින් 15 වැනි සියවසේ සිට මුදා හළ ආගමික ත්‍රස්තවාදය හා අසීමිත සම්පත් කොල්ලය නිසා ය. එවන් ආක්‍රමණික ත්‍රස්තවාදයන්ට තරමක් දුරට හෝ සාර්ථකව මුහුණ දී සිය අනන්‍යතාව රැක ගැනීමට සමත් වූයේ ආසියාවේ ඇතැම් බෞද්ධ රාජ්‍යයන් ය.

ආසියාවේ සිය අනන්‍යතාව රැකගත් ථෙරවාදී රාජ්‍යයන් අතරින් ප්‍රධාන ම රාජ්‍යය ලෙස ගිණිය හැක්කේ ලංකාව යි. සිංහල බෞද්ධයන්හට මෙම ආශ්චර්යය කළ හැකි වූයේ කෙසේදැ යි යන්න අප විසින් තවමත් ගැඹුරෙන් සලකා බලා විධිමත්ව අධ්‍යයනය කර ඇතැ යි මම නොසිතමි. 15-16 වැනි සියවස්වල පැවති යුරෝපීය මොඩලයට අනුව ඉතිහාසය විවරණය කරන බටහිර හා මෙරට අනුකාරක උගතුන් විසින් නම් එය වැඩවසම් පසුගාමී සමාජයක් තුළ රාජ්‍ය බලයෙන් සිදු කරන ලද්දක් ලෙසින් දකිනු ඇත.

තුන් වරක් මෙබිමට වැඩි බුදුන් වහන්සේ කුසිනාරාවේ පිරිනිවන් මංචකයේ දී තම ධර්මය මේ භූමිය මත සුරැකෙන බැවින් එය සුරකින ලෙසින් සක් දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි බවක් වංශකතාවල සඳහන් වෙයි.

බුද්ධ දේශනාවට අනුව බුදු සමය අනාගතයේ දී සුරැකෙන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන කොටස් හතර මත ය. ඉහත ප්‍රකාශ දෙකේ පරස්පර බවක් දකිනු ඇත්තේ පටු බටහිර හේතුවාදයෙන් හෝ අනුභූතිවාදයෙන් ඔබ්බට සිතිය නොහැකි අනුකාරක මනසක් ඇත්තන් පමණි.

අදටත් මෙරට සෑම බෞද්ධයෙකු ම දවසට වරක් හෝ දෙවරක් බුදුන් වඳින අතර ශාසනය රැක දීමට දෙවියන්ගෙන් ද පිහිට ඉල්ලා සිටින්නේ එය රැක ගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ තමන් අත බව හොඳින් හඳුනාගෙන ය.



බෞද්ධ උපාසක උපාසිකාවන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ ව මුල් බුදු සමයේ විස්තර වන තැන් එමට ය. ගිහි බෞද්ධයා යනු රහතන් වහන්සේ කෙනෙකු නොව යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා ශික්ෂා පද කිහිපයක් සමාදන් වී ඒවා රැක ගැනීමට උත්සාහ දරන පුද්ගලයෙකි.

බෞද්ධ භික්ෂුවක යනු ශික්ෂා පද 227 ක් සමාදන්ව එම ශික්ෂා පද කඩ නොකරන්නට උත්සාහ දරන්නෙකි. මේ දෙකොටස අතින් ම සමාදන් වූ ශික්ෂා පද බිඳෙන අතර ඒ සෑම වාරයක ම එම ශික්ෂා පදය නැවත නැවතත් සමාදන් වනු හැර එය සසුන හැර යෑමට හෝ උපැවිදි වීමට හෝ හේතු නොවේ.

මීට අවුරුදු පනහකට පමණ පෙර මහින්ද විද්‍යාලයේ පුස්තකාලයේ දී පාරාජිකා පාළිය කියවූ මා, සඟ විනය පිළිබඳ ව කරුණු හා සම්බන්ධ සංකීර්ණ ප්‍රශ්න හා භික්ෂු ජීවිතය දෙස මැදහත් ලෙසින් බැලීමට අවශ්‍ය ශික්ෂණය ලැබුවෙමි.

තමන් පාරාජිකා තත්ත්වයට පත් වී නම් හෘද සාක්ෂියට එකඟව සිවුර හැර යෑම අවංක භික්ෂුවකගේ යුතුකමයි. ඒ සියල්ලන්ගේ මෙන් ම ශාසනයේ යහපැවැත්ම සඳහා ය.

අද අප ජීවත් වන්නේ විපරිත යුගයක ය. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ තුප්පැහි රාජ්‍යයක් සිංහල බෞද්ධයන් විසින් සිය කැමැත්තෙන් ම පත්කර ගෙන සිටී. ඔවුන් මේ රටේ ජාතික චින්තනය මත පදනම් වූ සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය දිය කර දැමීමට සෑම උත්සාහයක් ම දරනු ඇත. මේ කරුමයෙන් මිදී යළිත් සිය උරුමය සොයා යෑමට නම් සිංහලයා තමන් පෙළනු ලබන තාවකාලික මුලාවෙන් හා උමතුවෙන් මිදී යළි සිහි එළවා ගත යුතු යි.

සිංහල බෞද්ධ භික්ෂුව දහමෙහි පිහිටමින් ආරක්ෂා විය යුතුයි. ගිහි බෞද්ධයන් ද සිල්වත් වෙමින් තම ආරක්ෂාව සලසාගත යුතු ය. එමඟින් දෙකොටස ම තම තමන් රැකෙන විට ය, මෙත් සිතින් යුතුව එක් පාර්ශවයකට තමන් මෙන් ම අනෙක් පාර්ශවය ද රැකගත හැකි වන්නේ.

එවිට ය, අනාගත ලෝකයේ ම පොදු යහපත වෙනුවෙන් බුදු සමය රැක ගැනීම සඳහා මෙම දිවයින තුළ ජීවත් වන සිංහල බෞද්ධ අප, අප වෙලාගත් කරුමය පළවා හැර ඉතිහාසය විසින් අපට උරුම කළ යුතුකම හා වගකීම ඉටු කළ හැකි වනු ඇත්තේ.

- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි -
විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය
[යුතුකම සඟරාවේ 2026 මැයි කලාපයේ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama


අපේ මතය - 16

කතෘ:යුතුකම     5/31/2026   No comments

1943 මැයි 26 වන දින බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය මඟින් ලංකාවට "පූර්ණ අභ්‍යන්තර ස්වදේශ පාලනයක්" ලබා දීමට පොරොන්දු විය. එය දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ලාංකිකයන්ගේ සහාය උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් උපායමාර්ගික පොරොන්දුවක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, මෙම 1943 ප්‍රකාශනය බ්‍රිතාන්‍යයන්ගෙන් දිනා ගැනීමට හැකි වීම මෙරට ජනතාවට දේශපාලන නිදහස හිමි වීමේ ගමන් මඟෙහි වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, එහි ඓතිහාසික ගෞරවය ඩී.එස්. සේනානායක මහතා වෙත හිමි විය යුතුය.

ඩී.එස්. සේනානායක මහතා වනාහි මිනිරන් පතල්, වතු වගාව සහ අරක්කු රේන්ද බදු දීමේ ව්‍යාපාර හරහා විශාල ධනයක් උපයාගත් මුදලි දොන් ස්පේටර් සේනානායක මහතාගේ පුත්‍රයෙකි. ඔවුන්ගේ පරපුර සමාජ-දේශපාලනික බල ධුරාවලියේ ඉහළටම පැමිණීමේදී, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත්විජිත පාලකයන්ට පක්ෂපාතීව සේවය කරමින් ඔවුන්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණි. එවකට පැවති සමාජ වටපිටාව අනුව, ධනය හා බලය අත්පත් කරගැනීමේ අභිලාෂය සහිතව සිටි සියලුම ප්‍රභූ පවුල් මෙවැනි පක්ෂපාතීත්වයක් යටත්විජිත පාලකයන් වෙත දැක්වීම සාමාන්‍ය තත්ත්වයක් විය.

එකල ධනය හා බලය පසුපස හඹා ගිය බොහෝ ප්‍රභූ පවුල්, ඉහත සඳහන් කළ පක්ෂපාතීත්වයට අමතරව ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට ද පෙළඹුණහ. කෙසේ වෙතත්, මුදලි දොන් ස්පේටර් සේනානායක මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිය ජන්මයෙන් උරුම වූ බෞද්ධාගම අත් නොහළ බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.

සේනානායක මුදලිවරයාගේ පුතුන් වූ ඩී.සී., එෆ්.ආර්. සහ ඩී.එස්. යන සොහොයුරන් තිදෙනා අතරින්, මුල් යුගයේදී වඩාත්ම කැපී පෙනෙන දේශපාලන උද්‍යෝගයක් පැවතියේ එෆ්.ආර්. හෙවත් ෆ්‍රෙඩ්රික් රිචඩ් සේනානායක මහතා සතුවය. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඩවුනිං විද්‍යාලයෙන් නීතිය හදාරා, බැරිස්ටර්වරයෙකු ලෙස මෙරටට පැමිණි උසස් උගතෙකි. එෆ්.ආර්. සේනානායක මහතා බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය සමඟ ද සමීපව සහයෝගයෙන් කටයුතු කළේය.

විශේෂයෙන්ම, 1898 දී අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මූලික කටයුතුවලට මෙන්ම, පසුව බොරැල්ලේ පිහිටි එහි මූලස්ථානය සඳහා "මහනිල්" ගොඩනැගිල්ල මිලදී ගැනීමට ද එෆ්.ආර්. සේනානායක මහතා සිය පෞද්ගලික ධනය නොමසුරුව පරිත්‍යාග කළේය.

එෆ්.ආර්. සේනානායක මහතා සහ අනගාරික ධර්මපාලතුමා අතර පැවති සම්බන්ධතාවය සංකීර්ණ ස්වරූපයක් ගත්තේය. ධර්මපාලතුමා නියෝජනය කළ දැඩි අධිරාජ්‍ය විරෝධී සහ සටන්කාමී ස්වදේශික මතවාදය වෙනුවට, එෆ්.ආර්. සේනානායක මහතා තෝරාගෙන තිබුණේ මධ්‍යස්ථ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණවාදී මාවතකි. එසේ වුවද, ධර්මපාලතුමා විසින් කුළුගැන්වූ සමාජ බලවේගයක් ලෙස අමධ්‍යප ව්‍යාපාරය දිවයින පුරා පැතිර යද්දී, එෆ්.ආර්. සේනානායක මහතා ද අමධ්‍යප සමිති පිහිටුවමින් ක්‍රියාකාරී ලෙස එම මාවත තෝරාගත්තේය. එෆ්.ආර්. සේනානායක මහතාගේ මෙම අමධ්‍යප ක්‍රියාකාරීත්වයේ තවත් එක් සුවිශේෂී අතුරුඵලයක් වූයේ,ඔහුගේ බාල සොහොයුරු ඩී.එස්. සේනානායක මහතා තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කරළියට පැමිණීමයි. ඩී.එස්. සේනානායක මහතාගේ දේශපාලන ගුරුවරයා, මාර්ගෝපදේශකයා සහ සැබෑ සෙවණැල්ල වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායක මහතා බව නොරහසකි.

ලංකා ජාතික සංගමය 1919 දෙසැම්බර් 11 වන දින පිහිටුවීමේදී එෆ්.ආර්. සේනානායක මහතා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ පුරෝගාමියෙකු විය. සංගමය ස්ථාපිත කිරීමෙන් පසු, 1920 ඔක්තෝබර් මස සර් ජේම්ස් පීරිස් මහතා එහි සභාපතිවරයා ලෙස පත්වීමේදී එෆ්.ආර්. සේනානායක මහතා ඩී.එස්. සේනානායක මහතා ද සමඟ එක්ව ඔහුට ශක්තිමත් සහායක් ලබා දුන්නේය. මීට අමතරව, ග්‍රාමීය ජනතාව ජාතික දේශපාලනය වටා පෙළගැස්වීම සඳහා ඔහු "ලංකා මහජන සභාව" පිහිටුවමින් සුවිශේෂී උත්සාහයක නිරත විය.

ඩී.එස්. සේනානායක මහතා 1924 දී ව්‍යවස්ථාදායක සභාවට නිතරඟයෙන් තේරී පත් වෙමින් සිය සක්‍රීය දේශපාලන ගමන ආරම්භ කළේ ද එෆ්.ආර්. සේනානායක මහතාගේ මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේය. 1926 දී එෆ්.ආර්. සේනානායක මහතා දඹදිව වන්දනා ගමනක් අතරතුර ඉන්දියාවේදී අකාලයේ මිය යාමත් සමඟ, ජාතික සංගමය සහ ජාතික ව්‍යාපාරය තුළ මෙන්ම ඉන් පරිබාහිරව ද එෆ්.ආර්. සේනානායකයන් විසින් ගොඩනඟා තිබූ ප්‍රබල නායකත්ව භූමිකාව නිතැතින්ම ඩී.එස්. සේනානායකයන් වෙත පැවරුණි.

ඩී.එස්. සේනානායක මහතා දක්ෂ හා පරිණත දේශපාලනඥයෙකු ලෙස ක්‍රමයෙන් හැඩගැසුණි. 1915 සිංහල-මුස්ලිම් කෝලාහල වකවානුවේදී කිසිදු චෝදනාවකින් තොරව දින 46ක් වැලිකඩ සිරගෙදර සිරගතව සිටීමට ද ඔහුට සිදු විය. ඔහුගේ දේශපාලන හැසිරීම් නිරීක්ෂණය කිරීමේදී හැඟී යන ප්‍රධානතම කරුණක් වන්නේ, බටහිර පන්නයේ "ටේල්කෝට්" කබායට යටින් ඔහු සතුව අවසානය දක්වාම සාම්ප්‍රදායික සිංහල-බෞද්ධ ආත්මයක් පැවති බවයි.
1924 ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී මීගමුව කොට්ඨාසයෙන් නිතරඟයෙන් තේරී පත් වූ ඔහු, එහිදී රාජ්‍ය නොවන මන්ත්‍රී කණ්ඩායමේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 1931 සහ 1936 වසරවලදී ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. එහිදී ඔහු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත් වූ අතර, අඛණ්ඩව වසර 15ක් පුරා එම අමාත්‍ය ධුරය සාර්ථකව හෙබවීය. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සේනානායක

මහතා වියළි කලාපයේ පැරණි වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කරමින්, ඉඩම් නොමැති සිංහල ගොවි ජනතාව එහි පදිංචි කරවීමේ දැවැන්ත ගොවි ජනපදකරණ ව්‍යාපාරයක් දියත් කළේය. 1935 දී ඓතිහාසික ඉඩම් සංවර්ධන පනත සම්මත කරන ලද්දේ ද ඔහුගේ මූලිකත්වයෙනි.

එෆ්.ආර්. සේනානායක මහතා සිය බිරිඳ සහ දරුවන් සමඟ



1942 වසරේදී එවකට මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නායකයා වූ සර් ඩී.බී. ජයතිලක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධුරයෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වී, ඉන්දියාවේ ලංකා රජයේ නියෝජිතයා ලෙස පිටත්ව ගියේය. ඉන් අනතුරුව, 1942 දෙසැම්බර් 2 වන දින ඩී.එස්. සේනානායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස නිල වශයෙන් පත් විය. එමඟින් ඔහු මෙරට දේශපාලන ව්‍යුහය තුළ ප්‍රමුඛතම ස්වදේශික නායකයා බවට පත් විය.
1943 වසරේදී සේනානායක මහතා ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඊට ප්‍රධානතම හේතුව වූයේ, සංගමය විසින් බ්‍රිතාන්‍ය කිරීටයෙන් සෘජුවම 'පූර්ණ නිදහස' ලබා ගැනීමේ වඩාත් රැඩිකල් සහ සටන්කාමී ප්‍රතිපත්තියක් වැළඳ ගැනීමයි. සේනානායක මහතාගේ ස්ථාවරය වූයේ බ්‍රිතාන්‍යයන් සමඟ ගැටුම් ඇති කර ගන්නවාට වඩා, දෙවන ලෝක යුද සමයේ ඔවුන්ට උපරිම සහාය දක්වමින් සාකච්ඡා මාර්ගයෙන් ක්‍රමයෙන් 'ඩොමීනියන් තත්ත්වය' දිනා ගැනීම වඩාත් ප්‍රායෝගික සහ නුවණට හුරු බවයි.

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ සිවිල් ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීමටත්, යුද්ධයට අත්‍යවශ්‍ය උපායමාර්ගික අමුද්‍රව්‍යයක් වූ රබර් බ්‍රිතාන්‍යය වෙත සැපයීමටත් සභානායකවරයා ලෙස ඩී.එස්. සේනානායක මහතා කටයුතු කළේය. මේ හරහා බ්‍රිතාන්‍ය යටත්විජිත බලධාරීන්ගේ පූර්ණ විශ්වාසය තහවුරු කර ගැනීමට ඔහුට හැකි විය.

මෙම පසුබිම මත, බ්‍රිතාන්‍ය රජය ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තෝරාගත් ප්‍රධානතම සහ විශ්වාසවන්තම ස්වදේශික නායකයා බවට පත්වීමට සේනානායක මහතාට හැකි විය. තමන් සතු වූ මෙම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම උපයෝගී කරගනිමින්, 1943 මැයි 26 වන දින බ්‍රිතාන්‍ය රජයෙන් ලංකාවට 'පූර්ණ අභ්‍යන්තර ස්වදේශ පාලනයක්' ලබා දෙන බවට පොරොන්දු වූ ඓතිහාසික '1943 ප්‍රකාශනය' දිනා ගැනීමට සේනානායක මහතා සමත් වූ බව පැවසීම ඔහුට සිදු කෙරෙන සාධාරණ ඇගයීමකි.

ඩී.එස්. සේනානායක මහතා සහ ඔහු විසින් බිහි කරන ලද එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ ඇතැම් දේශපාලන උපායමාර්ග සමඟ අප හට එකඟ විය නොහැකිය. ඒ සම්බන්ධයෙන් සාධාරණ විවේචන රැසක් ද අප සතුව පවතී. කෙසේ වෙතත්, අප සිහිපත් කළ යුතු ප්‍රධානතම කරුණක් වන්නේ, ඕනෑම ඓතිහාසික චරිතයක් සිය තීරණ ගනු ලබන්නේ තමන් ජීවත් වන යුගයට, සමාජ-දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික වටපිටාවට සාපේක්ෂව බවයි. එහෙයින්, අද දවසේ අප විසින් සිදු කළ යුත්තේ හුදෙක් ඔවුන්ව විනිශ්චය කරමින් විවේචනය කිරීම නොව, ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය හා වැඩපිළිවෙළවල් මධ්‍යස්ථව අධ්‍යයනය කරමින් අනාගතය උදෙසා වටිනා පාඩම් උකහා ගැනීමයි. .

-පැතුම් ඒ. රණසිංහ-
ලේකම් - යුතුකම ජාතික සංවිධානය

[යුතුකම සඟරාවේ 2026 මැයි කලාපයේ පළවූ ලිපියකි]

4/30/2026

2026 ගෝලීය අස්ථාවරත්වය

කතෘ:යුතුකම     4/30/2026   No comments
2026 වසරේ පළමු කාර්තුව නිමා වන විට ලෝකය බහුවිධ ගැටුම් සහ තීරණාත්මක භූ-දේශපාලනික පෙරළි රැසකට මුහුණ දෙමින් සිටී. වසර කිහිපයක් පුරා යුක්‍රේනයේ ඇවිළෙන යුද ගින්නට අමතරව, 2026 වසරේ මුල් භාගයේදී මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මහා පරිමාණ යුද්ධය හේතුවෙන් ගෝලීය ආරක්ෂක ව්‍යුහය පෙර නොවූ විරූ සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත.

2026 වසරේ පෙබරවාරි අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ පාලන තන්ත්‍රය ඉලක්ක කරගනිමින් ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) නම් දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළහ. මෙයට ප්‍රතිචාර වශයෙන් හෙස්බොල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාර්තු මාසය වන විට ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සෘජු යුද්ධයක් නිර්මාණය විය.මෙම යුද්ධය හේතුවෙන් ලෙබනනය තුළ අභ්‍යන්තර ගැටුම් ඇතිවීමේ අවදානමක් ද මතු වී ඇති අතර, මිලියනයකට අධික ලෙබනන වැසියන් පිරිසක් මේ වන විට අවතැන්ව සිටිති.

ඉරානය සිය යුද උපාය මාර්ගය ලෙස මෙම ගැටුම භූගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට (Horizontal Escalation) කටයුතු කර ඇත. ඒ අනුව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, කටාර් සහ බහරේන් වැනි අසල්වැසි අරාබි රටවල පිහිටි ඉලක්ක වෙත ද ඉරාන මිසයිල ප්‍රහාර එල්ල විය. මෙම තත්ත්වය හමුවේ අරාබි රාජ්‍යයන් කිහිපයක් සිය රටවල සිටි ඉරාන තාන්ත්‍රිකයන් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.

මැදපෙරදිග ගැටුම උත්සන්න වීමත් සමඟ යුක්‍රේනය වෙත එල්ල වූ ජාත්‍යන්තර අවධානය සහ හමුදා ආධාර සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ පළමු සති දෙක තුළ පමණක්, ඇමරිකාවට සිය ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදන ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් එම කලාපය වෙත යොමු කිරීමට සිදු විය. මෙමගින් යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති දුර්වල වී ඇති අතර, එය රුසියාවට සිය හමුදා මෙහෙයුම් තීව්‍ර කිරීමට අවස්ථාවක් සලසා දී ඇත.

මේ අතර රුසියාව විසින් මෝල්ඩෝවා රාජ්‍යය වෙත ද සිය බලපෑම් ව්‍යාප්ත කිරීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම නේටෝ (NATO) ගිවිසුමේ 5 වන වගන්තිය සෘජුව ක්‍රියාත්මක නොවන මට්ටමේ පවතින ‘දෙමුහුන් ප්‍රහාර’ (Hybrid Attacks) මගින් යුරෝපය අස්ථාවර කිරීමට රුසියාව උත්සාහ කළ හැකිය. මෙහිදී සන්නිවේදන කේබල්, විදුලි බල පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් අක්‍රිය කිරීම ඔවුන්ගේ ප්‍රධාන උපක්‍රමයක් විය හැක.

චීනය, රුසියාව සහ උතුරු කොරියාව අතර ගොඩනැගෙමින් පවතින ශක්තිමත් ආරක්ෂක සබඳතා ආසියානු කලාපයේ බල තුලනය උඩුයටිකුරු කර තිබේ. උතුරු කොරියානු සෙබළුන් රුසියාව වෙනුවෙන් යුක්‍රේන යුධ පෙරමුණේ සටන් වදින අතර, ඒ වෙනුවට උතුරු කොරියාවට රුසියාවෙන් නවීන ආයුධ, තාක්ෂණය සහ ඉන්ධන සැපයෙන බව වාර්තා වේ. 2026 වසරේදී ප්‍රකාශයට පත් කළ සිය නව පස් අවුරුදු ආරක්ෂක සැලැස්ම මගින් උතුරු කොරියාව ආයුධ සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.

දකුණු චීන මුහුදේ චීනය සහ පිලිපීනය අතර පවතින ආරවුල් ද මේ වන විට උච්චස්ථානයකට පැමිණ තිබේ. 2026 අප්‍රේල් මාසයේදී පිලිපීනය, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව සිදු කළ දැවැන්ත හමුදා අභ්‍යාසයට ප්‍රතිචාර ලෙස චීනය සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා ඇතුළු ප්‍රබල නාවික බලඇණියක් එම කලාපයට යොමු කර ඇත.

මධ්‍යම ආසියාවේ ෆර්ගානා නිම්නය (Fergana Valley) කේන්ද්‍ර කරගනිමින් ජල හිඟය සහ ඉඩම් ආරවුල් හේතුවෙන් නව ගැටුම් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ. රුසියාව මෙම කලාපය සිය ‘ප්‍රධාන ආරක්ෂක කලාපය’ ලෙස සලකන අතර, ඕනෑම බාහිර හමුදා මැදිහත්වීමකට එරෙහිව දැඩි අනතුරු ඇඟවීම් සිදු කර ඇත.අප්‍රිකානු මහද්වීපය තුළ ද එතියෝපියාව සහ එරිත්‍රියාව අතර මුහුදු ප්‍රවේශය පිළිබඳ පවතින ආරවුල නව යුද්ධයකට මඟ පෑදිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට අමතරව සහෙල් (Sahel) කලාපයේ පවතින අස්ථාවරත්වය රුසියානු සහ ඉරාන බලපෑම් එම කලාපය තුළ ව්‍යාප්ත වීමට හිතකර වටපිටාවක් නිර්මාණය කර ඇත.

ඉරාන යුද්ධයේ අතුරුඵලයක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම ගෝලීය තෙල් සහ පොහොර සැපයුමට දරුණු ලෙස බලපා ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොහොර මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය 2026-2027 වර්ෂවල අස්වැන්න පහළ දැමීමට හේතු වනු ඇත. මෙම තත්ත්වය ලෝකයේ බොහෝ රටවල ‘ආහාර කැරලි’ සහ සිවිල් නොසන්සුන්තාවන් ඇති කිරීමට සමත් ප්‍රබල සාධකයක් බවට පත්ව තිබේ.

දක්ෂිණ ජයවික්‍රම 

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com


Like us on facebook :: https://www.facebook.com/yuthukama

විදුලොව හෙල්ලූ නලින් චින්තනය

කතෘ:යුතුකම     4/30/2026   No comments



ආචාර්ය නලින් ද සිල්වා මහතා සිය ජීවන ගමන නිමා කළේ 2024 වසරේ මැයි මස 02 වැනිදාය. මෙම ලිපිය එතුමාගේ ගුණ සමරනු වස් 2026 වසරේදී රචනා කෙරෙන්නකි. එතුමාගේ බුද්ධිමය දායාදය අප ප්‍රාර්ථනා කරන ස්වෛරී දේශය නිර්මාණය කිරීමෙහිලා මහත් වූ බලපෑමක් ඇති කරයි. එතුමා හුදු දේශපාලන චින්තකයෙකු පමණක් නොව, භෞතික විද්‍යාඥයෙකු සහ ගණිතඥයෙකු ලෙස මානව දැනුමට එක් කර ඇති දායකත්වය මිල කළ නොහැකිය.

1944 ඔක්තෝබර් 20 වැනිදා පානදුරේදී උපත ලැබූ ඔහු, මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයකින්ම ශිල්ප හැදෑරීය. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව ගුරුවරියකි. කොළඹ රාජකීය විද්‍යාලයේදී සිංහල වාද විවාද කණ්ඩායමේ නායකත්වය දැරීමෙන් සහ කථිකත්වය සඳහා වූ වීරසූරිය පදක්කම දිනා ගැනීමෙන් පෙනී යන්නේ, ඔහුගේ භාෂාමය සහ තර්කන හැකියාවන් කුඩා කල සිටම වර්ධනය වී තිබූ බවයි.

එතුමා සිය ‘ජාතික චින්තනය’ ඉගැන්වීම් හරහා බටහිර ආධිපත්‍යයේ "මානසික මෝහනය" බිඳ දැමීමට උත්සාහ කළේය. ඒ වෙනුවට දේශීයත්වයේ මුල් බැසගත් ස්වෛරී දැනුම් පද්ධතියක් ආදේශ කිරීමට එතුමා දැරූ ප්‍රයත්නය, සමස්ත ජාතික ව්‍යාපාරයටම ශක්තිමත් පදනමක් සැපයීය. මෙම "ජාතික චින්තනය" වර්ධනය වූයේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඇති වූ සංස්කෘතික පරිහානියට ප්‍රතිචාරයක් වශයෙනි. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙහි පුරෝගාමියා ලෙස සාහිත්‍යමය සහ සමාජීය ප්‍රවේශයක් ලබා දුන් අතර, නලින් ද සිල්වා මහතා ඒ සඳහා අවශ්‍ය ඥානවිභාගාත්මක පදනම සකස් කළේය යන්න මාගේ මතයයි.

ආචාර්ය නලින් ද සිල්වාගේ චින්තනමය මැදිහත්වීම වඩාත් කැපී පෙනෙන්නේ එතුමා සිය තරුණ අවධියේ දැරූ මාක්ස්වාදී භෞතිකවාදී චින්තනය අත්හැරීමත් සමඟය. මාක්ස්වාදය මෙන්ම බටහිර විද්‍යාව ද ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි මතවාදී පදනමක නිෂ්පාදනයන් බව වටහා ගැනීම එතුමා මෙම මාවත තෝරා ගැනීමට හේතු විය. එතුමා නව සමසමාජ පක්ෂයෙන් ඉවත් වූයේ, මාක්ස්වාදය යනු ශ්‍රී ලංකාවේ "ජාතික ගැටලුව" තේරුම් ගැනීමට අපොහොසත් වූ බටහිර ද්‍රව්‍යවාදී නිර්මිතයක් බව පවසමිනි. සංස්කෘතික අනන්‍යතාවන් ඉතිහාසයේ ප්‍රධාන ගාමක බලවේග වන සමාජයක, පන්ති විශ්ලේෂණය පමණක් ප්‍රමාණවත් නොවන බවට එතුමා තර්ක කළේය.

මාක්ස්වාදය පිළිබඳ ඔහුගේ විවේචනය හුදු දේශපාලනික එකක් පම්නක් නොවීය. ඔහු තර්ක කළේ මාක්ස්වාදය යනු කාර්ල් පොපර්ගේ විද්‍යාත්මක නිර්ණායකයන්ට පවා අනුකූල නොවන, බටහිර යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූ තවත් එක් ‘කතාවක්’ පමණක් බවයි. 1993 දී ඔහු රචනා කළ ‘මාක්ස්වාදයේ දරිද්‍රතාවය’ සහ ‘අපෝහකයේ රූපිකය’ වැනි කෘති හරහා මාක්ස්වාදී ද්‍රව්‍යවාදය සහ දයලෙක්තික තර්කනය එතුමා දැඩි විවේචනයට ලක් කළේය.

1980 මුල් භාගයේදී එතුමා දෙමළ ස්වයං-තීරණ අයිතියට සහය දුන්න ද, පසුව ෆෙඩරල්වාදය යනු රට බෙදීම සඳහා වූ බටහිර මෙවලමක් බව වටහාගෙන ඒකීය රාජ්‍ය ආකෘතිය වෙනුවෙන් සෘජුව පෙනී සිටියේය. එතුමා සිය මතය ස්ථාපිත කිරීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් වීම, පා ගමන් සංවිධානය කිරීම සහ ඕනෑම වේදිකාවක ප්‍රතිවාදීන් මතවාදීව පරාජය කිරීම වැනි අභියෝගාත්මක පියවර සඳහා නොපැකිළිව ඉදිරිපත් විය.

1986 දී ප්‍රකාශිත එතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක් වන ‘මගේ ලෝකය’ කෘතිය මෙරට ශාස්ත්‍රීය සමාජය තුළ පුළුල් චින්තනමය පෙරළියක් ඇති කළේය. එහිදී ඔහු තර්ක කළේ "සත්‍යය" යනු වාස්තවික සොයාගැනීමක් නොව, නිරීක්ෂකයාගේ ඉන්ද්‍රිය පද්ධතිය, මනස සහ සංස්කෘතියට සාපේක්ෂව ගොඩනගන ලද නිර්මාණාත්මක නිර්මිතයක් බවයි. බටහිර විද්‍යාවට එරෙහි එතුමාගේ ප්‍රධාන විවේචනය වූයේ "කාටිසීය ප්‍රාකාරය" ප්‍රතික්ෂේප කිරීමයි; එනම්, නිරීක්ෂකයා සහ නිරීක්ෂණය එකිනෙකින් ස්වායත්ත බවට බටහිර දර්ශනය තුළ ඇති පූර්ව උපකල්පනයයි.

විද්‍යා ලොව තුළ එතුමා "නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය" (Constructive Relativism) හඳුන්වා දුන් අතර, අංශුවල තරංග ස්වභාවය ප්‍රතික්ෂේප කරමින් "විද්‍යාලංකාර විවරණය" (Vidyalankara Interpretation) ඉදිරිපත් කළේය. එසේම, විශ්වය එකවර ත්වරණය (Acceleration) සහ මන්දනය (Deceleration) වන බව පවසන නව විශ්ව න්‍යාය ආකෘතියක් ද ඉදිරිපත් කරමින් බටහිර මතවාදවලට අභියෝග කළේය. ඔහු මෙම ආකෘතිය සඳහා බෞද්ධ අග්ගඤ්ඤ සූත්‍රයේ එන "සංවට්ට" සහ "විවට්ට" යන සංකල්ප භාවිත කළේය.

එතුමා හර්ෂ විජයවර්ධන මහතා වැනි විද්වතුන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ බින්දුව භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක මැණික්දෙන සහ සීගිරිය වැනි ස්ථානවලින් සොයා ගැනීමට උනන්දු විය . මෙය ගණිත ඉතිහාසය පිළිබඳ බටහිර ආඛ්‍යානයට අභියෝග කළ අතර, අපේ මුතුන් මිත්තන් දැනුම නිර්මාණය කළවුන් බව ලොවට පෙන්වා දුන්නේය.

උතුරු මැද පළාතේ ආසනික් පිළිබඳ ඇති වූ ආන්දෝලනය එතුමාගේ ක්‍රමවේදය පරීක්ෂාවට ලක් වූ අවස්ථාවක් විය. මෙම උපකල්පනය සඳහා පදනම ලැබුණේ නාථ දෙවියන් ලබා දුන් පණිවිඩයකින් බව නලින් ද සිල්වා මහතා විවෘතව ප්‍රකාශ කළේය. බටහිර විද්‍යාත්මක ක්‍රමවේද හරහා ආසනික් හඳුනා ගැනීමට නොහැකි වූ විට, දෙවියන් විසින් යෝජනා කරන ලද සුවිශේෂී පරීක්ෂණ ක්‍රමයක් භාවිත කර ආසනික් හඳුනා ගත් බව ඔහු පැවසීය.

ඔහු සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සම්බන්ධය ඉතා සමීප එකක් විය. ඔහු රාජපක්ෂ පාලනය සැලකුවේ 1956 විප්ලවයේ ඉදිරි පියවරක් ලෙසයි. දේශපාලනය තුළ ඔහු කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂා නොකළ අතර, තමන් නිවැරදි යැයි විශ්වාස කළ මතය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේය.

ඔහු "ඔල්කොට් බුද්ධාගම" සහ "සිංහල බුද්ධාගම" අතර පැහැදිලි වෙනසක් පෙන්වා දුන්නේය. ඔල්කොට් බුද්ධාගම යනු බටහිර ක්‍රිස්තියානි මූලධර්මවලට අනුකූලව සකස් කරන ලද නූතනවාදී බුද්ධාගමක් බවත්, එය සිංහල සංස්කෘතියේ මුල්වලින් බැහැර වී ඇති බවත් ඔහු පැවසීය. ඔහු උත්සාහ කළේ සිංහල-බෞද්ධ අනන්‍යතාවය මත පදනම් වූ ස්වෛරී දැනුම් පද්ධතියක් ගොඩනැගීමටයි.

ආචාර්ය නලින් ද සිල්වා විශ්වාස කළේ ශක්තිමත් රටක් සඳහා "අනුකාරකයින්" නොව "අභිසංස්කරණවාදීන්" (Creators/Innovators) බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවයි. බටහිර විද්‍යාව "ප්‍රයෝජනවත් මෙවලමක්" ලෙස ඉගෙන ගන්නා අතරම, බෞද්ධ තර්කනය සහ චතුස්කෝටික ක්‍රමය මඟින් දාර්ශනික ස්වාධීනත්වය රැකගත යුතු බව එතුමා අවධාරණය කළේය.

එතුමාගේ සමස්ත ජීවිතයම කැප වූයේ ශ්‍රී ලංකාව බටහිර බලවතුන්ගේ "වෙළඳපොළක" සිට "විශිෂ්ට චින්තනයක්" හිමි ජාතික රාජ්‍යයක් දක්වා පරිවර්තනය කරමින් මනස නිදහස් කර ගැනීම වෙනුවෙනි. එතුමාගේ උරුමය නව පරපුරට ලබා දෙන්නේ ස්වෛරී රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය බුද්ධිමය ශක්තියයි.

- දක්ෂිණ ජයවික්‍රම

- යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

සමාජ ගිවිසුම (Social Contract)

කතෘ:යුතුකම     4/30/2026   No comments

17 වැනි සියවස යනු යුරෝපයේ ‘බුද්ධි ප්‍රබෝධය’ නිර්මාණය වෙමින් පැවති යුගයකි. ඒ ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන දර්ශනයේ පදනම වූයේ ද ජීවත් වීමේ අයිතිය, පුද්ගල නිදහස හා දේපළ අයිති කරගැනීමේ නිදහසයි.

මිනිසා ස්වභාවයෙන්ම කුරිරු වූ ද, ආත්මාර්ථය වෙනුවෙන්ම කැපවුණු සමූහයක් ලෙසින් ද සලකනු ලැබූ යුගයක, සමස්ත සමාජයටම ඉහත කී අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට නම් ඊට සරිලන දේශපාලන අධිකාරියක් විසින් දැඩිව පාලනය කරනු ලබන 'සමාජ ගිවිසුමක්' (Social Contract) නිර්මාණය විය යුතුව තිබුණි.

තෝමස් හෝබ්ස් සහ ජෝන් ලොක් වැනි චින්තකයන්ගේ දර්ශනයන් මත ගොඩනැඟුණු මෙම දේශපාලන දහම, ඔවුන්ට අනුව ආගමික මිථ්‍යාවන් මත නොව මානව නිදහස මත නිර්මාණය වුණු මානවහිතවාදී දර්ශනයකි. එය යුරෝපීය රටවල දුප්පත් පොහොසත්, කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන සියලු කොටස්වලට එක සේ සාධාරණව බලපාන නිරාගමික දේශපාලන දහමක් ලෙසින් ද හැඳින්විණි. බුද්ධි ප්‍රබෝධයේ සමාජ ගිවිසුම් තරමක් දුරට හෝ බටහිර රටවල ක්‍රියාත්මක කළ හැකි වූයේ, ඒ වන විටත් ඔවුන් සතුව තිබූ වෙඩි බෙහෙත්, මාලිමාව හා මුද්‍රණ යන්ත්‍රය වැනි තාක්ෂණික මෙවලම් නිසාය. ඒ ඔස්සේ ඔවුනට ආසියානු, අප්‍රිකානු හා ඇමෙරිකානු මහද්වීපවලින් ගිණිය නොහැකි තරම් වස්තු සම්භාරයක් කොල්ලකෑමට ද, වහල් වෙළඳාම ආරම්භ කිරීමට මෙන්ම දෙවියන් වහන්සේගේ පණිවුඩය බලහත්කාරයෙන් ප්‍රචාරය කිරීමට ද ඉඩ සැලසුණි.

යුරෝපයේ කතෝලික හා ප්‍රොතෙස්තන්ත මිනිසුන්ගේ මානව අයිතිවාසිකම්, නිදහස හා දේපළ අයිතිය සුරක්ෂිත කරගත හැකි වූයේ ඒ අනුවය. එහෙත්, මේ වෙනුවෙන් මහද්වීප තුනකට ගෙවන්නට සිදු වූ මිල පිළිබඳව කිසිවෙක් ප්‍රශ්න නොකරති.

ශතවර්ෂ කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වුණු මෙම ම්ලේච්ඡ මානව හා සම්පත් කොල්ලය විසිවන සියවසේදී යටත් විජිත රටවලට නිදහස ලැබීමෙන් පසුව ද නිම නොවූ අතර, අද දක්වාත් 'නව යටත් විජිතවාදය' හා 'නියෝ ලිබරල්වාදය' යනුවෙන් ක්‍රියාත්මක වන්නේ ද එයමය.

මෙම සංස්කෘතික හා සම්පත් කොල්ලයට සිය අනන්‍යතාව රැකගනිමින් සාර්ථකවම මුහුණ දුන් සභ්‍යත්වයකි, අප සිංහල බෞද්ධ රාජ්‍යය. සැමුවෙල් හංටින්ටන් ‘The Clash of Civilizations’ කෘතියේ සඳහන් කරන සභ්‍යත්ව රාජ්‍යයන් හත අතරට බෞද්ධ රාජ්‍යයන් ඇතුළත් නොවූයේ, ඔහු බුදුසමයේ දේශපාලන විභවය නිවැරදිව හඳුනා ගැනීමට අසමත් වූ බැවින් යැයි සිතමි. ශතවර්ෂ පහක කාලයක් තිස්සේ සිංහල බෞද්ධයෝ මෙම ම්ලේච්ඡ ආක්‍රමණයන්ට විරුද්ධව නොනවතින අරගලයක යෙදී සිටියහ. 1948 ඊනියා නිදහසින් පසුව එම අඛණ්ඩ සංස්කෘතික ප්‍රවාහය යළි මතු වූ අවස්ථාවකි, බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් 'පනස් හයේ දේශපාලන පෙරළිය'. බණ්ඩාරනායක ඝාතනය පිළිබඳ පුවත ඇසූ ඇතැම් කන්‍යාරාමවල කන්‍යා සහෝදරියන් කිරිබත් පිස අනුභව කළ පුවතක් ඒ කාලයේදී රටේ ප්‍රචාරය විය. එම පුවතේ සත්‍යාසත්‍යභාවය කෙසේ වුවත්, කතෝලික පල්ලියේ ක්‍රියාකාරීත්වය හා ආකල්ප සමඟ සසඳා බැලීමේදී එය ජනතාවට විශ්වාසනීය පුවතක් බවට පත් වීම පුදුමයක් නොවන බව මාර්ටින් වික්‍රමසිංහ මහතා (උපන් දා සිට) සඳහන් කරයි.

ඉන් වසර ගණනකට පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මිෂනාරී පාසල් රජයට පවරා ගැනීමට ක්‍රියා කළ අවස්ථාවේදී, ඇයට එරෙහි කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරුවන් දහතුන් දෙනාගෙන් දොළොස් දෙනෙක්ම කතෝලික හෝ ප්‍රොතෙස්තන්ත හමුදා හා පොලිස් නිලධාරීහු වූහ. පසුකාලීනව ලංකාව ජනරජයක් බවට පත් කරමින්, බුදුසමය මෙරට රාජ්‍ය ආගම බවට පත් කර එය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවට පත් කරන ලද්දේ ද මැතිනියගේ පාලන කාලයකදීය.

2019 දී බහුතර සිංහල බෞද්ධ ජනයාගේ ඡන්දයෙන් පෙර නොවූ විරූ ජයග්‍රහණයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට, ජනාධිපති වීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට පාස්කු ප්‍රහාරය සැලසුම් කළේය යන අදහස පවා ඇති විය හැක්කේ විපරිත හෝ කෛරාටික මනසක් තුළ පමණි. මේ පිළිබඳව FBI, AFP, INTERPOL වැනි ජාත්‍යන්තර ආයතන සිය නිරීක්ෂණයන් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් කතා කිරීම අනවශ්‍ය යැයි සිතමි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට විදේශ බලවේග මෙන්ම දේශීය ත්‍රස්ත කණ්ඩායම්, ජාතිවාදී කොටස් මෙන්ම මෙරට 'තුප්පැහි' කලාකරුවෝ හා උගත්තු ද පෙරමුණ ගත්හ. මුල් වරට කන්‍යා සහෝදරියන් ද දිවා රෑ නොතකමින් ගාලු මුවදොර විරෝධතාවලට සහභාගි වූහ. මාර්ටින් වික්‍රමසිංහ මහතා 1960 ගණන්වලදී කන්‍යා සහෝදරියන් අරභයා කර ඇති සටහන හුදු ප්‍රලාපයක් නොවන බව ඔවුන්ගේ මේ හැසිරීම විසින් ද සනාථ කරනු ලබයි.ශතවර්ෂ පහක් තිස්සේ මෙරට ක්‍රියාකාරී වූ මිෂනාරී ව්‍යාපාරය, ඔවුන් විසින් අප්‍රිකානු හා ඇමෙරිකානු රටවල ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපාරවලට සාපේක්ෂව අසාර්ථක වූ ව්‍යාපෘතියකි. ලංකාව බහුතර බෞද්ධ ජනතාවක් වාසය කරන, ථෙරවාදයේ මධ්‍යස්ථානය වශයෙන් අදටත් සිය අනන්‍යතාව රැකගනිමින් පවතී. මේ තත්ත්වය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ඔවුන් කිසිදා අත්නොහරිනු ඇත.

ඒ සඳහා අවශ්‍ය නව 'සමාජ ගිවිසුමක්' (Social Contract) නිර්මාණය කර ගැනීමටය ඔවුන් 'පද්ධති වෙනසක්' (System Change) යෝජනා කරමින් නව රජයක් පිහිටුවා ගැනීමට උත්සුක වූයේ. ඒ වෙනුවෙන්ම ගොඩනඟාගත් රූකඩ පාලනයක් පවතින මෙවන් යුගයක, එම සංස්කෘතික උරුමය රැකගැනීමේ වගකීම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා මෙන්ම සිංහල බෞද්ධ ජනතාව මත ද පැටවෙනු ඇත.

මෙම ලිපිය ඒ අභියෝගය භාර ගැනීම සඳහා කෙරෙන සිහි කැඳවීමකි. ඒ, බුදුසමය මත ගොඩනැඟුණු නව සමාජ ගිවිසුමක් (Social Contract) නිර්මාණය කර ගැනීම උදෙසාය.

- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි - 
විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 15

කතෘ:යුතුකම     4/30/2026   No comments
දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ 1939 සිට එය අවසාන වූ 1945 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධාන මිලිටරි බලකොටුවක්, ගිනිකොනදිග ආසියානු විධානයේ මූලස්ථානය සහ යුද්ධයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වූ රබර් සපයන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස භාවිතා කරන ලදි. 1942 වන විට ජපානය විසින් අග්නිදිග ආසියාව සහ බුරුමය යටත් කර ගැනීමත් සමඟ කලාපය තුළ බ්‍රිතාන්‍ය බලය දැඩි අභියෝගයට ලක් වෙමින් තිබුණි. පසුව ඉන්දියානු සාගරයේ ආරක්ෂාව සඳහා ලංකාව ප්‍රධාන නාවික සහ ගුවන් මධ්‍යස්ථානය බවට පත් විය. "මුළු යුද්ධයේම වඩාත්ම භයානක සහ මාව වඩාත්ම බියට පත් කළ මොහොත ජපන් නාවික බලඇණිය ලංකාව දෙසට යාත්‍රා කළ අවස්ථාව" බව චර්චිල් පවසා ඇති බව ඔහුගේ මතක සටහන් සහ දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. මයිකල් පැටර්සන්ගේ 'Battle for the Skies' වැනි ග්‍රන්ථවල ද මෙම ප්‍රකාශය උපුටා දක්වා ඇත. ඈෂ්ලි ජැක්සන් විසින් රචිත 'Ceylon at War 1939-1945' නම් පර්යේෂණ ග්‍රන්ථය මගින් බ්‍රිතාන්‍ය යුද කැබිනෙට්ටුව ලංකාව උපායමාර්ගිකව අතිශය වැදගත් ස්ථානයක් ලෙස සැලකූ ආකාරය විස්තර කෙරේ. ලංකාව අහිමි වූයේ නම් ඉන්දියානු සාගරයේ පාලනය ජපානයට නතු වන අතර, එමගින් මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ බුරුමය අතර පවතින මුහුදු සන්නිවේදන මාර්ග සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ඉඩ තිබූ බව එම මූලාශ්‍ර පෙන්වා දෙයි. එකල ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රධාන රබර් සැපයුම්කරු වූ අතර, එම සම්පත අහිමි වීම මිත්‍ර පාර්ශවයේ යුද නිෂ්පාදන කටයුතුවලට දැඩි තර්ජනයක් වීමට ඉඩ තිබුණි. ඉතිහාසඥ සර් ආතර් බ්‍රයන්ට් වැනි අය පෙන්වා දෙන්නේ ලංකාව පරාජය වූයේ නම්, එවකට බ්‍රිතාන්‍යයේ පැවති චර්චිල්ගේ සභාග රජය පවා බිඳ වැටීමේ දැඩි අවදානමක් තිබූ බවයි. එක්සත් රාජධානියේ ජාතික ලේඛනාගාරයේ පවතින කැබිනට් ලේඛන මගින් ද ලංකාව ආරක්ෂා කර ගැනීම බ්‍රිතාන්‍ය යුද ප්‍රයත්නයට කෙතරම් තීරණාත්මක දැයි සනාථ කෙරේ.

1936 වසරේ තේරී පත් වූ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය සාමාන්‍යයෙන් වසර පහකින්, එනම් 1941 දී අවසන් විය යුතු වුවත්, යුද්ධය නිසා එය වසර 11ක් දක්වා දීර්ඝ කෙරුණි. ඒ අනුව 1936 මාර්තු 17 වන දින ආරම්භ වූ මෙම සභාව විසුරුවා හරිනු ලැබුවේ 1947 ජූලි 4 වන දිනයි. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය සහ එහි බලය බෙදී ගොස් තිබූ ආකාරය අප පෙර ලිපියෙන් සාකච්ඡා කොට ඇත. මෙම කාලය තුළ බ්‍රිතාන්‍ය පාලනය සමඟ සමීපව කටයුතු කළ ප්‍රධානතම දේශපාලන ප්‍රවාහය වූයේ ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ ලංකා ජාතික සංගමයයි. 1942 දී ඉන්දියානු ජාතික කොංග්‍රසය ආරම්භ කළ "ඉන්දියාවෙන් පිටවනු" ව්‍යාපාරය මෙන් නොව, සේනානායක මහතා සහ ඔහුගේ සගයන් ගණන් බැලුවේ බ්‍රිතාන්‍ය යුද ප්‍රයත්නයට විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස සහය දීමෙන් නිදහස ලබා ගැනීම පහසු වනු ඇති බවයි. යුද්ධය අවසානයේදී බ්‍රිතාන්‍යයට වඩාත් ශක්තිමත් ලෙස බලපෑම් කළ හැක්කේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් පමණක් බව ඔවුහු විශ්වාස කළහ. මෙම බලපෑම භාවිතා කර 1943 ප්‍රකාශනය බ්‍රිතාන්‍යයන්ගෙන් ලබා ගැනීමට සේනානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම සමත් විය. 1943 මැයි 26 දින බ්‍රිතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ මෙම ප්‍රකාශනයේ ප්‍රධාන කරුණු මෙසේය: යුද්ධය අවසන් වූ වහාම ලංකාවේ සිවිල් පාලනය පිළිබඳ පූර්ණ වගකීම ලාංකිකයන්ට පැවරෙන පූර්ණ අභ්‍යන්තර ස්වදේශ පාලන තත්ත්වයක් ලබා දීමයි. එහෙත් ආරක්ෂක සහ විදේශ කටයුතු යන විෂයයන් තවදුරටත් බ්‍රිතාන්‍ය රජය සතුව පැවතිය යුතු විය. නව ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ලංකාවේ මන්ත්‍රී මණ්ඩලයට ආරාධනා කළ අතර, එය බ්‍රිතාන්‍ය රජය විසින් පරීක්ෂා කර බැලීමට නියමිත විය. මෙම ප්‍රකාශනයෙන් උනන්දු වූ ඩී.එස්. සේනානායක මහතා, සර් අයිවර් ජෙනින්ග්ස්ගේ උපදෙස් මත 1944 දී නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කළේය. මෙම කෙටුම්පත මගින් සුළුතර අයිතීන් සුරැකීම සඳහා සෙනෙට් මණ්ඩලයක් පිහිටුවීම සහ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් ඇති කිරීම යෝජනා විය. මෙම කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් 1944 අගභාගයේදී සෝල්බරි කොමිසම ලංකාවට එවන ලදී. අවසානයේදී 1947 සෝල්බරි ව්‍යවස්ථාව නිර්මාණය වීමට පදනම වැටුණේ 1943 දී ලබාගත් මෙම ප්‍රකාශනය මගිනි. ඩී.එස්. සේනානායක මහතා මෙය හැඳින්වූයේ නිදහස කරා යන ගමනේ එක් පියවරක් ඉදිරියට තැබීමක් ලෙසයි.

ඩී.එස්. සේනානායක මහතා එසේ බ්‍රිතාන්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටියදී, ලංකා ජාතික සංගමයේ තරුණ නායකයන් ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන වැනි අය ජපානය සමඟ සහයෝගීතාවයක් වර්ධනය කර ගැනීමට උත්සාහ කළ බව ද ඇතැම් මූලාශ්‍ර මගින් හෙළිදරව් කරයි. ඒ සඳහා හේතු වූයේ ‘ආසියානුවන්ට ආසියාව’ යනුවෙන් යුද්ධය ආරම්භක වකවානුවේ ජපානය විසින් ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ විය හැකිය. එසේම යුද්ධයේ මුල් වකවානුවේ බ්‍රිතාන්‍යයට එරෙහිව ජපානය අත් කරගත් සාර්ථකත්වය ද මෙයට හේතු වන්නට ඇත. කෙසේ වෙතත් මෙම තරුණ නායකයන්ගේ අතිධාවනකාරී පියවර පාලනය කොට තබා ගැනීමට ඩී.එස්. සේනානායක මහතා සමත් විය.

තාක්ෂණික වශයෙන් තවදුරටත් ලංකා ජාතික සංගමයේ සාමාජිකයෙකු ලෙස සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා යුද්ධ සමය මුළුල්ලේම ‘සිංහල මහා සභාව’ ප්‍රවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට උත්සුකව සිටි බව පෙනේ. පළාත් පාලන ඇමතිවරයා ලෙස ඔහු සතු වූ බලතල පරාසය ද මෙම වැඩපිළිවෙළට මහත් සහයෝගයක් විය. යුද්ධයේ අවසානය සමීප වෙමින් පවතිද්දී බණ්ඩාරනායක මහතා සෝවියට් සංගමයේ ප්‍රගමනය අගය කරන ස්ථාවරයක පසු වූ බව නිරීක්ෂණය කළ හැකිය. 1943 වසරේදී කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීමෙන් "සෝවියට් දේශයේ ලංකා මිතුරෝ" සංවිධානය පිහිටුවන ලදී. එවකට මිත්‍ර පාර්ශවයේ සහකරුවෙකු වූ සෝවියට් දේශය නාසි ජර්මනියට එරෙහිව පෙන්වූ යුද ශක්තිය කෙරෙහි ලාංකික ප්‍රභූන් තුළ ඇති වූ ගෞරවය හේතුවෙන් කොමියුනිස්ට්වාදී නොවන බොහෝ දෙනා ද ඊට එක් වූහ. බණ්ඩාරනායක මහතා ද මෙහි සාමාජිකයෙකු විය. ඊට අමතරව ජේ.ආර්. ජයවර්ධන මහතා වැනි දක්ෂිණාංශික පිරිස් ද මෙයට සහභාගී වූ බව කියැවේ. මෙම සංවිධානයේ නිල ප්‍රකාශනය වූයේ ටී. දුරෙයිසිංහම් මහතාගේ සංස්කාරකත්වයෙන් නිකුත් වූ 'ලංකා-සෝවියට් ජර්නලය' යි. 1944 වසරේදී මෙයට ලිපියක් සපයමින් බණ්ඩාරනායක මහතා මෙසේ ප්‍රකාශ කළේය: "සෝවියට් රුසියාවේ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව අප එකඟ වුවත් නැතත්, වසර 25ක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන් කර්මාන්ත, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා යන ක්ෂේත්‍රවල ලබා ඇති අදහාගත නොහැකි දියුණුව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය."
ලංකා සමසමාජ පක්ෂය දෙවන ලෝක යුද සමයේ වඩාත්ම රැඩිකල් දේශපාලන ප්‍රවාහය නියෝජනය කළේය. 1935 දී ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් ලෙස පිහිටුවන ලද සමසමාජ පක්ෂය, දෙවන ලෝක යුද්ධය දෙස බැලුවේ ධනවාදී බලවතුන් අතර පවතින "අන්තර්-අධිරාජ්‍යවාදී යුද්ධයක්" ලෙසය. එබැවින් ඔවුන් බ්‍රිතාන්‍ය යුද ප්‍රයත්නයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ අතර එය ජාතික විමුක්ති සහ සමාජවාදී විප්ලවයේ අරමුණුවලින් අවධානය වෙනතකට යොමු කිරීමක් ලෙස හෙළා දුටුවේය. බ්‍රිතාන්‍ය පාලනය විසින් ආරක්ෂක පනත යටතේ 1940 දී සමසමාජ පක්ෂය තහනම් කරන ලද අතර එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු මධ්‍යම කාරක සභිකයන් අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් නොවූ ලෙස්ලි ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පක්ෂය රහසිගතව ක්‍රියාත්මක විය. ඔවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන හැසිරීම වාර්තා වූයේ 1942 අප්‍රේල් මාසයේදීය. කොළඹට එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාරයත් සමඟ ඇති වූ ව්‍යාකූලත්වය මධ්‍යයේ, සමසමාජ නායකයින් බෝගම්බර බන්ධනාගාරයෙන් පලා ගොස් ඉන්දියාවට පැන ගියහ. මෙය හුදු පලායාමක් නොව, ලංකාවේ විප්ලවීය අරගලය ඉන්දියානු නිදහස් ව්‍යාපාරය සමඟ සම්බන්ධ කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස ඔවුහු විග්‍රහ කරති. ඉන්දියාවේදී ඔවුන් 'ඉන්දියාව, ලංකාව සහ බුරුමය සඳහා වූ බෝල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය' පිහිටුවීමට උදවු කළ අතර "ඉන්දියාවෙන් පිටවනු" ව්‍යාපාරයට සක්‍රීයව දායක වූහ.

සමසමාජය ඉන්දියාවේ මාක්ස්වාදය සමඟ මෙලෙස සම්බන්ධතා තර කර ගැනීම ඔස්සේ ඔවුන්ගේ පක්ෂයේ බෙදීමකට ද මාර්ගය විවෘත විය. බෝල්ෂෙවික්-ලෙනින්වාදී කණ්ඩායම විශ්වාස කළේ ලංකාව වැනි කුඩා දූපතක හුදකලාව සමාජවාදී විප්ලවයක් කළ නොහැකි බවයි. ඔවුන්ගේ 1946 'ලංකාව සඳහා වූ වැඩපිළිවෙළ' ලේඛනයට අනුව, ලංකාවේ විප්ලවීය අරගලය ඉන්දියානු මහද්වීපයේ සමස්ත විප්ලවයේම ප්‍රාන්තීය අංගයක් ලෙස හඳුන්වා දෙන ලදී. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පරාජය කළ හැක්කේ ඉන්දියානු විප්ලවය සමඟ ඒකාබද්ධ වීමෙන් පමණක් බව ඔවුන්ගේ ස්ථාවරය විය. මෙම මතවාදී ස්ථාවරය 1945 දී පක්ෂය දෙකඩ වීමට ප්‍රධාන හේතුවක් විය. එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන මහත්වරුන් ප්‍රමුඛ පාර්ශවය තර්ක කළේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු තත්ත්වය වෙනස් වී ඇති බැවින්, ඉන්දියාව සමඟ ඒකාබද්ධ වූ විප්ලවයක් පිළිබඳ බලාපොරොත්තුව යථාර්ථවාදී නොවන බවයි. ඔවුන් ලංකාව කේන්ද්‍ර කරගත්, ජනතාවාදී පක්ෂයක් ලෙස කටයුතු කිරීමට තීරණය කළ අතර, කොල්වින් සහ ලෙස්ලි යන මහත්වරුන් ඉන්දියානු විප්ලවීය සබඳතා සහිත බෝල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (පසුව බෝල්ෂෙවික් සමසමාජ පක්ෂය) ස්ථාවරයේම රැඳී සිටියහ. ඒ අනුව ඔවුන් දෙපළ 1945 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත්ව බෝල්ෂෙවික් සමසමාජ පක්ෂය පිහිටුවූහ. මෙය සමසමාජ පක්ෂයේ පළමු බෙදීම නොවේ. සමසමාජයේ පළමු බෙදීම සිදු වූයේ 1940-41 කාල වකවානුවේදී ය. ඊට නායකත්වය දුන්නේ එස්.ඒ. වික්‍රමසිංහ සහ පීටර් කේනමන් යන දෙපළයි. ඔවුන් දෙපළ සමසමාජ පක්ෂයේ ට්‍රොට්ස්කිවාදී ස්ථාවරයෙන් බැහැරව ස්ටාලින්වාදය වැළඳ ගත්තෝය. ඔවුන් විසින් පිහිටුවූ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි.

කොමියුනිස්ට් පක්ෂය, 1941 ජුනි මාසයේදී නාසි ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමණය කිරීමත් සමඟ "මහජන යුද්ධය" ප්‍රතිපත්තිය වැළඳ ගත්තේය. මෙම මතවාදී වෙනස නිසා ඔවුන් බ්‍රිතාන්‍ය යුද ප්‍රයත්නයට පක්ෂපාතීව සහය දක්වන පිරිසක් බවට පත් විය. යුද්ධයට සහය දීම හරහා කොමියුනිස්ට් පක්ෂයට මෙම කාලවකවානුව තුළ සිය නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට ද ඉඩ සැලසුණි. 1939 සැප්තැම්බරයේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට මාස තුනකට පෙර, 20 වන සියවසේ ලංකාවේ ඇති වූ පළමු සිංහල-දෙමළ ගැටුමට මඟ පෑදුණි. 1937 දී ජී.ජී. පොන්නම්බලම් මහතා විසින් 50 ට 50 යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ බව පෙර ලිපියේදී අප පැහැදිලි කොට ඇත. 1939 වන විට ඔහු මෙම 50 ට 50 යෝජනාව රැගෙන දිවයිනේ දෙමළ කතා කරන ජනතාව වෙසෙන ප්‍රදේශවල රැස්වීම් මාලාවක් පැවැත්වීය. එම දේශනවලදී සිංහලත්වය පිළිබඳ දැඩි වෛරී ප්‍රකාශ සිදු කෙරිණි. සිංහල ජාතිය යනු සංකලිත ජාතියක් බවත්, ඔවුන් දෙමළ ජනතාවගෙන් පැවත එන්නන් බවත්, මහාවංශය යනු ප්‍රබන්ධයක් බව පවසමින් එය දැඩි ලෙස හෙළා දුටු ඔහු, ඉතිහාසයේදී සැමවිටම දෙමළ රජවරුන් විසින් සිංහලයන් පාලනය කළ බවට තර්ක කළේය. විජය රජු 'විජයන්' ලෙසත්, කාශ්‍යප රජු 'කාසි-අප්පන්' ලෙසත්, පැරකුම්බා රජු 'පාණ්ඩ්‍ය-පරාක්‍රම' නම් දෙමළ රජෙකු ලෙසත් ඔහු විසින් අර්ථකථනය කරන ලදී. මේ ප්‍රකාශවලින් කුපිත වූ සිංහල ජනතාව 1939 ජුනි මාසයේදී නාවලපිටිය නගරයේදී ජී.ජී. පොන්නම්බලම් මහතා විසින් සංවිධානය කළ රැස්වීමකට පහර දුන්හ. මෙම නොසන්සුන්තාව නාවලපිටියෙන් ආරම්භ වී මාතලේ, පස්සර, මාස්කෙළිය, නුවරඑළිය සහ යාපනය දක්වා ද ව්‍යාප්ත විය. මෙම සිදුවීම හරහා ඔහු උතුරේ දෙමළ ජනතාව අතර අතිශය ජනප්‍රිය නායකයෙකු බවට පත් විය. පොන්නම්බලම් මහතා විවේචනාත්මක දේශන පැවැත්වූ සෑම නගරයකම පාහේ බණ්ඩාරනායක මහතා විසින් පසුව සිංහල මහා සභාවේ ශාඛා පිහිටුවීම ආරම්භ කරන ලදී.

යාපනය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වූ දෙමළ වාර්ගික දේශපාලනය කඳුකරයේ දෙමළ ප්‍රජාව වෙත පතුරවා හැරීමේ ප්‍රමුඛයා වූයේ ද ජී.ජී. පොන්නම්බලම් මහතාය. දෙවන ලෝක යුද්ධ සමය තුළ ඔහු බ්‍රිතාන්‍යයට පක්ෂපාතීව කටයුතු කරමින් ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ද උත්සුක වූ බව පෙනේ. 1944 අගෝස්තු 29 වන දින පොන්නම්බලම් මහතා විසින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පිහිටුවන ලදී. මෙය මෙරට දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා පිහිටුවූ පළමු දේශපාලන පක්ෂයයි. පොන්නම්බලම් මහතා 1930 දශකයේ මැද භාගයේදී කිහිප වතාවක්ම නාසි ජර්මනියේ සංචාරය කර ඇති බව වාර්තා වේ. වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ ඔහු මෙම සංචාරයන් සිදු කළේ එවකට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය ෆැසිස්ට් සංගමයේ සාමාජිකයන් සහ ඔහුගේ දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය මිතුරන් සමඟ වීමයි. 1938 වසරේදී ඔහු ජර්මනියේ විශේෂ සංචාරයක නිරත වූ බව ජේන් රසල් නම් ඉතිහාසඥවරිය සිය පර්යේෂණ කෘතියේ සඳහන් කරයි. පොන්නම්බලම් මහතා එවකට යුරෝපයේ ජනප්‍රිය වූ ජාතිවාදී ජාතිකවාදය මෙරටට ආනයනය කළ බවට විවේචකයන් චෝදනා කරති. ඔහු නාසි ජර්මනියේදී හිට්ලර් විසින් යුදෙව් විරෝධය යොදා ගනිමින් බලයට පත්වූ ආකාරය නිරීක්ෂණය කළ බවත්, එම උපායමාර්ගය ලංකාවේ සන්දර්භයට අනුවර්තනය කළ බවත් මූලාශ්‍ර පෙන්වා දෙයි. එහිදී සිංහලයන් සංකලිත ජාතියක් ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ඉතිහාසය හෑල්ලු කිරීම සහ දෙමළ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කිරීමට ඔහු කටයුතු කළේය. සිංහල බහුතරය විසින් දෙමළ සුළුතරය විනාශ කරනු ඇතැයි යන භීතිය දෙමළ ජනතාව තුළ ක්‍රමානුකූලව වපුරමින් ඔහු තම නායකත්වය ස්ථාවර කර ගැනීමට උත්සාහ කළ අතර, 1939 නාවලපිටිය දේශනය වැනි සිදුවීම් හරහා වාර්ගික ආතතිය හිතාමතාම වර්ධනය කළේය.

ඉහත තොරතුරු විශ්ලේෂණය කොට බලන විට සමස්තයක් වශයෙන් ලංකාවේ දේශපාලනය 1939-45 දෙවන ලෝක යුද්ධ සමය තුළ බ්‍රිතාන්‍ය සහ සෝවියට් දේශය ප්‍රමුඛ මිත්‍ර බලවතුන්ට පක්ෂපාතී ස්ථාවරයක පැවතුණත්, ඇතැම් කණ්ඩායම් ජපානය ඔස්සේ අක්ෂ බලවතුන් වෙනුවෙන් ද සහයෝගය දක්වමින් සිටි බව පෙනේ. ලාංකිකයන් සම්බන්ධ වූ ප්‍රධානතම අක්ෂ හිතවාදී ක්‍රියාකාරකම් වාර්තා වූයේ ජපානය යටත් කරගත් මලයාසියාවෙන් සහ සිංගප්පූරුවෙනි. සිංගප්පූරුවේ පදිංචිව සිටි ග්ලැඩ්වින් කොතලාවල මහතා (පසුව 1955 දී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔහු අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ ඥාතියෙකි) ජපානය සමඟ සහයෝගයෙන් කටයුතු කළ ලාංකික ප්‍රජාවේ නායකයා ලෙස ඉස්මතු විය. සුභාෂ් චන්ද්‍රබෝස්ගේ මගපෙන්වීම යටතේ කොතලාවල මහතා විසින් ඉන්දියානු නිදහස් ලීගය තුළ 'ලංකා බලකායක්' පිහිටුවන ලදී. ලංකා බලකායේ හැසිරීම බ්‍රිතාන්‍ය ආරක්ෂක වළලු පිටුපස ඔත්තු බැලීම සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම විය. මේ හේතුවෙන් තරුණයන් කිහිප දෙනෙකු මරණ දණ්ඩනයට යටත් කිරීමට ද බ්‍රිතාන්‍යයන් කටයුතු කළහ.

මීට අමතරව මේ යුගයේ දී ඇතැම් භික්ෂූන් වහන්සේලා ජපානය දෙස බැලුවේ බටහිර යටත් විජිතවාදයෙන් ආසියාව මුදා ගැනීමට පැමිණෙන "බෞද්ධ රාජ්‍යයක්" ලෙසය. ලංකාවේ සිටි ජර්මන් සම්භවයක් සහිත ඤාණතිලෝක හිමි වැනි විද්වත් භික්ෂූන් වහන්සේලා බ්‍රිතාන්‍යයන් විසින් "සතුරු විදේශිකයන්" ලෙස සලකා දියතලාව සහ ඉන්දියාවේ ඩෙහ්රාඩුන් කඳවුරුවල සිරගත කරනු ලැබූහ. මෙය ලාංකික බෞද්ධයන්ගේ දැඩි කෝපයට හේතු වූයේ ජර්මන් සහ ඉතාලි කතෝලික පූජකයන් එලෙස සිරගත නොකිරීම නිසාය. ජපානය බුරුමය ආක්‍රමණය කළ අවස්ථාවේදී එරට භික්ෂූන් බ්‍රිතාන්‍යයට එරෙහිව සටන් කළ බැවින්, ලංකාවේ ද භික්ෂූන් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යයන් සැලසුම් කරන බවට රාවයක් පැතිර ගියේය.

වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වූයේ කෝකෝස් දූපත්වල සිදු වූ ලාංකික සොල්දාදුවන්ගේ කැරැල්ලයි. සමසමාජ ප්‍රචාරවලින් උත්තේජනය ලැබූ මෙම සොල්දාදුවන් දූපත් ජපානයට භාර දීමට උත්සාහ කළහ. මෙම කැරැල්ල මර්දනය කර එහි නායකයින් එල්ලා මරා දැමූ අතර, මෙම සිදුවීම නිල පක්ෂපාතීත්වයට යටින් තිබූ දැඩි අධිරාජ්‍ය විරෝධය සිහිපත් කරන්නක් විය..

මතු සම්බන්ධයි..

-පැතුම් ඒ. රණසිංහ-
ලේකම් -යුතුකම ජාතික සංවිධානය


යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions