කාලීන දේශපාලන

අපේ මතවාද

English Column

කලා සාහිත්‍ය

කවි

12/31/2025

සීතාවක හෙනහුරා: අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් රාජකපුරු සෙට්ටියා

කතෘ:යුතුකම     12/31/2025   No comments

සීතාවක රාජධානියේ ඉතිහාසය විමසීමේදී එහි අසිරිමත් නැගී සිටීම මෙන්ම ශෝචනීය බිඳවැටීම කෙරෙහි ද බලපෑ විවාදාත්මක චරිතයක් වන්නේ අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ය. දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඔහු, පළමුවන රාජසිංහ රජුගේ සමීපතම උපදේශකයා බවට පත්වෙමින් රාජධානියේ දේශපාලනික, ආගමික සහ හමුදාමය ව්‍යුහය උඩුයටිකුරු කිරීමට සමත් විය.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සීතාවකට පැමිණෙන්නේ "ආඬි" හෙවත් හින්දු තාපසයෙකු ලෙසය. මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසු රජකමට පත් වූ පළමුවන රාජසිංහ රජු (ටිකිරි කුමාරයා) පිළිබඳව ඉතිහාසයේ මත දෙකක් පවතී. එක් මතයකට අනුව ටිකිරි කුමරු සිය පියා මැරීමේ පාපයෙන් මිදීමට මඟක් සොයමින් සිටි බවත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඊට සහනයක් නොලැබුණු තැන අරිට්ඨකී වෙණ්ඩු රජුට සමීප වී හින්දු දහම හරහා එම පාපයෙන් මිදිය හැකි බව පවසා රජු මුළා කළ බවත් කියැවේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජසිංහ රජු බුදුදහම අත්හැර, භික්ෂූන් වහන්සේලා ඝාතනය කරමින්, වෙහෙර විහාර විනාශ කර, ශ්‍රී පාදස්ථානය පවා ආඬිවරුන්ට පැවරීය. මෙම ක්‍රියාකලාපය නිසා රටවැසියා රජු කෙරෙහි බිඳුණු අතර, එයින් ප්‍රයෝජන ගත් අරිට්ඨකී වෙණ්ඩු තව තවත් රජුට සමීප වී "මානම්පෙරුම මොහොට්ටාල" යන තනතුර සහ රාජ්‍ය පාලනයේ ඉහළම බලතල ලබා ගත්තේය.

කෙසේ වෙතත්, නූතන ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙම "පීතෘ ඝාතක" චෝදනාව පෘතුගීසීන් සහ උඩරට පාර්ශ්වය විසින් රාජසිංහ රජු අපකීර්තියට පත් කිරීම සඳහා ගොතන ලද්දක් විය හැකි බවයි.

කෙසේ නමුත් වාර්තාගත සිදුවීම් දාමය දෙස තාර්කිකව බලන විට පැහැදිලි වන්නේ රාජසිංහ රජු වෙත එල්ල වී ඇති පීතෲ ඝාතක චෝදනාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් අරිට්ඨකී වෙණ්ඩු ඉතා සූක්ෂ්ම ලෙස රජුගේ විශ්වාසය දිනාගෙන රාජ සභාවේ බලය අත්පත් කරගත් බවයි. ඒ අනුව මෙම පුද්ගලයා උපායෙහි දක්ෂ, කාර්‍යශූර පුද්ගලයෙකු බව සනාථ වෙයි.

අරිට්ඨකී වෙණ්ඩු දක්ෂයෙකු වුවද, ඔහුගේ එකම අභිලාෂය වූයේ ස්වකීය බලය තහවුරු කර ගැනීමයි. රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ඇති වූ බල අරගලයේදී ඔහු තීරණාත්මක භූමිකාවක් ඉටු කළේය. වරෙක ඔහු රජ පවුලේ කාන්තාවක් විවාහ කර ගැනීමට විවාහ යෝජනා යොමු කරමින් රාජ්‍ය උරුමයට සෘජුවම හිමිකම් කීමට ද උත්සාහ කළේය. නමුත් රජ පවුලේ සාමාජිකයන් විසින් එම විවාහ යෝජනාව අවඥාවෙන් බැහර කළ බව කියැවේ.

සීතාවක බලය තමා සතු කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ තැන, ඔහු කලක් තමාගේ පරම සතුරන් වූ පෘතුගීසීන් වෙත ගොස් ඔවුන්ගේ සහාය පැතීය. රාජධානියේ යුද රහස් සහ දුර්වලතා හොඳින් දැන සිටි ඔහු, පෘතුගීසීන්ට සීතාවක යටත් කර ගැනීමට මඟ පෙන්වමින් වරෙක තමන්ට සෙවණ දුන් භූමිය පාවා දුන්නේය.

පසුව ඔහු "දොම් ජෙරනිමෝ" නමින් බෞතිස්ම වී පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් විය. සීතාවක බලකොටු විනාශ කිරීමටත්, රාජකීය භාණ්ඩාගාරය කොල්ලකෑමටත් ඔහු පෙරමුණ ගත්තේය. ඔහුගේ ක්‍රියාකලාපය නිසා දශක ගණනාවක් පෘතුගීසීන් පරාජය කරමින් වැජඹුණු සීතාවක රාජධානිය ඉතා කෙටි කලකින් පෘතුගීසි ආධිපත්‍යයට නතු විය. අවසානයේදී පෘතුගීසීන් විසින්ම ඔහුව සැක කර ඝාතනය කරන ලදී.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යනු සීතාවක රාජධානිය ඇතුළතින්ම දිරාපත් කළ පිළිකාවක් බඳු චරිතයකි. රජුගේ සහ ජනතාවගේ ආගමික-සංස්කෘතික බැඳීම බිඳ දැමීම, පාලන තන්ත්‍රය දුර්වල කිරීම සහ අවසානයේ සතුරා සමඟ එක්ව මව්බිමට එරෙහිව යුද වැදීම හරහා සීතාවක රාජධානිය ඉතිහාසයෙන් මැකී යාමට ඔහු ප්‍රධාන වශයෙන් වගකිව යුතුය.

වර්තමානයේ ද විවිධ වෙස් ගෙන එන "අරිට්ඨකී වෙණ්ඩුලා" සමාජයේ දැකගත හැකිය. රට පාලනය කිරීමට සුදුසු දක්ෂ "ටිකිරි කුමාරවරුන්" පවා නොමඟ යවා, ඔවුන්ව බොරු වළවල්වල ඇද දමා රට විනාශයට ඇද දැමීමට මෙවැන්නෝ සමත් වෙති. එබැවින් අපේ රටේ ඉතිහාසයෙන් උගත යුතු වටිනාම පාඩම වන්නේ මෙවැනි කූට උපදේශකයන් සහ දේශපාලන අවස්ථාවාදීන් පිළිබඳව නිරන්තරයෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

(ඡායාරූපය: ප්‍රසන්න වීරක්කොඩි මහතා විසින් නිර්මාණය කරන ලද සීතාවක රාජසිංහ රජුගේ සිතුවම)

- හේමක මවින්ද්‍ය විජයතිලක
- යුතුකම ජාතික සංවිධානය
[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]

www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ ඉතිහාසය හා ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය

කතෘ:යුතුකම     12/31/2025   No comments

සිංහලයන්ගේ ඉතිහාසය ඇසුරෙන් සැකසුණු වංශකතාව වන මහාවංශය ලියැවෙන්නේ ක්‍රි.ව. 6 වැනි සියවසේදී පමණ ය. මහාවිහාරවාසී මහානාම හිමියන් විසින් "හුදී ජන පහන් සංවේගය" උදෙසා විරචිත මහාවංශය තුළ, ඊට පෙර ලියැවුණු සීහළ අට්ඨකතා මහාවංශයේ හා දීපවංශයේ ඇතැම් කරුණු ද අන්තර්ගත වී ඇත.

බුදුන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කළ බවත්; මහියංගනයේදී, නාගදීපයේදී හා කැලණියේදී ධර්ම දේශනා කළ බවත්, එම ගමන්වලදී උන්වහන්සේ සිරිපා අඩවිය, දීඝවාපිය, අනුරාධපුරය ඇතුළු තවත් ස්ථාන රැසකට වැඩි බවත් මහාවංශයේ සඳහන් වේ.

බුදුන් වහන්සේගේ ලංකා ගමනය සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතත්, ඒ හා බැඳුණු වත්පිළිවෙත්, ඇදහිලි, උත්සව, සිරිත් විරිත්, ජනශ්‍රැති, ප්‍රවාද මෙන්ම සම්භාව්‍ය හා ජන සාහිත්‍ය නිර්මාණයන් ද අතිමහත් ය. මේ සියල්ල සිංහල බෞද්ධ ජන විඥානය සමඟ කොතරම් තදින් බැඳී පවතින්නේ ද යන්න වටහා ගැනීම සිහි බුද්ධියෙන් යුතු අයෙකුට අසීරු නොවනු ඇතැයි මම සිතමි.

පුදුමයට කරුණ නම්, ලංකා විශ්වවිද්‍යාලය මඟින් පළ කළ “ලංකා ඉතිහාසය” (1964) කෘතියේත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් උසස් පෙළ සහ අනෙකුත් උසස් විභාග සඳහා සම්පාදනය කරන ලද “ශ්‍රී ලංකාවේ ඉතිහාසය - පළමුවන කොටස: අනුරාධපුර යුගය” (1994) යන කෘතිවලත් බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ කිසිදු සඳහනක් නොවීමයි.

ඉහත කී ග්‍රන්ථ දෙකටම දායකත්වය ලබා දී ඇත්තේ මෙරට බිහි වූ අතිවිශිෂ්ට උගතුන් හා විද්වතුන් පිරිසකි. මෙම ලිපිය හරහා ඔවුන් මෙරට ඉතිහාසය විෂය උදෙසා ඉටු කළ සුවිසල් මෙහෙවර කිසිසේත් අවතක්සේරුවට හෝ විවේචනයට ලක් කිරීම මගේ අරමුණ නොවේ.

ඔවුන් මුහුණ දුන්නේ 20 වැනි සියවසේ විද්‍යාර්ථීන් පොදුවේ මුහුණ දුන් ගැටලුවකට ය. 19 වැනි සියවසේ බටහිර “ඥාන ප්‍රබෝධයේ” (Enlightenment) ප්‍රතිඵලය වූයේ “නවීන විද්‍යාව” පරම සත්‍යය ලෙස පිළිගැනීමයි. මේ සඳහා අවශ්‍ය පදනම වැටුණේ යථාර්ථවාදය, අනුභූතිවාදය හා තර්කනය වැනි සංකල්පවලට මුල් තැන දුන් බටහිර දර්ශනයන් මඟිනි.

ඔවුහු දැනුමේ අත්‍යවශ්‍ය මූලික සාධකය ලෙසින් සැලකුවේ “වාස්තවික යථාර්ථය” (Objective Reality) යන සංකල්පයයි. එහෙත්, ඔවුන් විසින්ම නිර්මාණය කරගත් දැනුම ඔස්සේ ගොඩනඟා ගත් එම වාස්තවික යථාර්ථය හුදු මිථ්‍යාවක් බව ඔවුහු ඒ අවදියේදී තේරුම් ගෙන නොසිටියහ.

ජී.සී. මෙන්දිස් වැනි විසිවන සියවසේ මුල් භාගයේ ඉතිහාසඥයන් වංශකතාවල එන මෙම පුවත් ප්‍රතික්ෂේප කළේ, බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නැතැයි පවසමිනි. එමෙන්ම මලලසේකර හා ජයතිලක වැනි විද්වතුන් ද මෙය පිළිනොගත් බව මෙන්දිස් මහතා සඳහන් කරයි. අදීන චින්තකයෙකු වූ කුමාරතුංග මුනිදාස ශූරීන්, 1940 දශකයේ 'ලක්මිණ' පුවත්පතට “විශාරදයෙකුගේ අවිශාරද භාවය” මැයෙන් කතුවැකියක් ලියමින් ජී.සී. මෙන්දිස්ගේ මෙම මතය තදින් විවේචනය කළේය.

මෙවැනි වටපිටාවක, මෙරට විද්වතුන් බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තේරුම් ගත හැකිය. එහෙත්, යටත් විජිත යුගයේ රාජ්‍ය නිලධාරියෙකු ලෙස මෙරට සේවය කළ විද්වතෙකු වූ එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන් (H.W. Codrington) විසින් ලියන ලද ‘A Short History of Ceylon’ (1926) කෘතියේ බුදුන් වහන්සේගේ ලංකා ගමන පිළිබඳ කෙටි එහෙත් සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වේ. එපමණක් නොව, මෙම භද්‍ර කල්පයේ පහළ වූ බුදුවරුන් සිවුනමම මෙරටට වැඩි බවට මහාවංශයේ එන විස්තර ද ඔහු උපුටා දක්වයි. වසර විසි ගණනක් ලංකාවේ ජීවත් වූ කොඩ්රිංටන්, බුදුන් වහන්සේ පිළිබඳ මෙම ප්‍රවාදයන් ලංකාවේ ජන ජීවිතය හා සංස්කෘතිය කෙරෙහි දක්වන ප්‍රබල බලපෑම සියැසින් දැක පසක් කරගත් නිසා, මෙම කරුණු සිය ඉතිහාස ග්‍රන්ථයට ඇතුළත් කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

අද වන විට ලොව විද්වත්හු ඉතිහාසය යනු හුදු වාස්තවික යථාර්ථයක් පමණක් විය නොහැකි බව පිළිගනිති. එමෙන්ම ඉතිහාසය යනු හුදු අතීතයම නොව, අතීතය පිළිබඳ කෙරෙන ආඛ්‍යානයක් (Narration/Storytelling) ලෙස ද ඔවුහු අර්ථ දක්වති. මෙම ආඛ්‍යානය ගොඩනැඟීමේදී පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක පමණක් නොව; පුරාවෘත්ත, ජනප්‍රවාද මෙන්ම අතීත ජන විඥානය සහ රචකයාගේ චින්තනය ද වැදගත් වන බව ඔවුහු පෙන්වා දෙති.

බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව කෙසේ වුවත්, මහින්දාගමනය හා බුදුදහම ස්ථාපිත වීම සම්බන්ධයෙන් ඓතිහාසික හා පුරාවිද්‍යා සාධක වංශකතාවල කරුණු සමඟ ගලපමින් සංගත ආඛ්‍යානයක් නිර්මාණය කිරීමට මෙරට විද්වතුන් සමත් වී ඇත. එසේ වුවද, පොදුවේ අපේ ඉතිහාස ලිවීමේදී දක්නට ලැබෙන දුර්වලතාවක් වන්නේ පුරාවෘත්ත, ජනප්‍රවාද හා ජන සාහිත්‍යය නිසි පරිදි ඇගයීමට ලක් නොකිරීමයි.

ශ්‍රී පාදස්ථානය, මහියංගනය, කැලණිය, දීඝවාපිය වැනි ජීව ගුණයෙන් පිරි පුදබිම් අදටත් සිංහල බෞද්ධ හදවත් තුළ ශ්‍රද්ධාව හා ප්‍රසාදය පුරවාලන්නේ නම්, රටක් හා ජාතියක් වශයෙන් අප කළ යුත්තේ බුදුන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ එම ඉතිහාස පුවත ලෝකයාගෙන් හා අපේ අනාගත පරම්පරාවෙන් වසං කර තැබීම ද? එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් රටක් හා ජාතියක් ලෙස අපට අභාග්‍යසම්පන්න අනාගතයකට මුහුණ දීමට සිදු වීම වැළැක්විය නොහැක. මෙවන් තත්ත්වයක් යටතේ, ඉතිහාසඥයන් නොවන දේශප්‍රේමී විද්වතුන්ගේ මැදිහත් වීම කවරාකාර විය යුතු ද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය.

- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
- විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය

[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

වර්තමානයේ වියැකී යන පාරම්පරික සිතුවම් කලාවේ "කේතුමාලාව"

කතෘ:යුතුකම     12/31/2025   No comments

පාරම්පරික සිතුවම් සහ මූර්ති කලාව තුළ දක්නට ලැබෙන සුවිශේෂී නිර්මාණාත්මක අංගයක් ලෙස කේතුමාලාව හැඳින්විය හැකිය. බුද්ධ මන්දිරවල ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ හිස වටා නිර්මාණය වන බුදුරැස් වළල්ල හෙවත් ප්‍රභා මණ්ඩලය, මෙම කේතුමාලාව ලෙස හැඳින්වේ.

මුල් වරට මෙම රැස් වළල්ල නිර්මාණය වූයේ ගන්ධාර සහ මථුරා බුද්ධ ප්‍රතිමා කලාවන් තුළය. මීට අමතරව අජන්තා සිතුවම් තුළ ද කේතුමාලාව යොදාගෙන ඇත. මථුරා හිටි පිළිමයේ මුහුණ මෙන් හතර ගුණයක් විශාල වූ රැස් වළල්ලක්, පිළිමයටම සම්බන්ධ වන සේ නිර්මාණය කර තිබේ. එහෙත් එම යුගයේ ශිල්පියා රැස් විහිදීමක් පෙන්වීමට උත්සාහ කර නොමැති අතර, ඒ වෙනුවට රැස් වළල්ල වටා විවිධ වූ සියුම් කැටයම් රාශියක් සහ මධ්‍යයේ නෙළුම් මලක් නිර්මාණය කර ඇත. බුද්ධ ප්‍රතිමාවේ මුහුණෙහි සියුම් හැඟීම් ප්‍රකාශනයන් වඩාත් ඉස්මතු කර දැක්වීම මෙහි අරමුණ වන්නට ඇත.

මථුරා බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙන ප්‍රභා මණ්ඩලය තුළ කුඩා මල් මෝස්තර, විශාල මල් මෝස්තර මෙන්ම අලංකාර ලියවැල් මෝස්තර ද අල්ප උන්නතව (Slightly embossed) කැටයම් කර ඇත. මෙහි අවසාන වෘත්තයේ ලනුවක් ඇඹරී ගිය ආකාරය සහ ඒ අසලින්ම වී කරලක් විහිදී යන ආකාරය කැටයම් කර තිබීම මථුරා කලා සම්ප්‍රදායේ සුවිශේෂී ලක්ෂණයකි.

සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ රැස් වළල්ල ද විශිෂ්ට නිර්මාණයකි. හිස වටා යෙදූ මෙම වෘත්තාකාර සැරසිල්ලේ, මුහුණට ආසන්න කොටස සැරසිලි රහිතව හිස්ව තබා ඇත්තේ මුහුණේ පැහැදිලි බව රැක ගැනීමටයි. ඉන් අනතුරුව අරිම්බු මෝස්තරයත්, ඉතා අලංකාර කොළ සහ මල් සහිත ලියවැල් මෝස්තරයත් යොදා ඇත. මෙහි අවසාන චක්‍රය වටා මල් පෙති මෝස්තරයක් ඇති අතර, රැස් වළල්ල දෙපස අහසේ සැරිසරන දේව රූප දෙකක් නෙළා තිබීම විශේෂත්වයකි.

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ මහමෙව්නාවේ සමාධි පිළිමය සහ තොළුවිල සමාධි පිළිමය තුළ මෙම කේතුමාලාව හෙවත් රැස් වළල්ල නිර්මාණය කර නොමැත. එමෙන්ම පිදුරංගල දාගැබෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාවල ද සැරසිලි සහිත වෘත්තාකාර රැස් වළලු දක්නට නැත. එහෙත් පොලොන්නරුවේ ගල් විහාරයේ සමාධි පිළිමයේ පසුපස තොරණට සම්බන්ධ වන සේ කේතු රූපාකාර (දැල්වෙන පහන් සිළුවක හැඩය) රැස් වළල්ලක් නිර්මාණය කර ඇත. එහි හිස වටා බොරදම් සහිත 'ගල් බිංදුව' මෝස්තරයත්, ඊට පිටුපසින් ගිනි දැල්ලක් මෙන් විහිදුණු පලාපෙති මෝස්තරයත් දැකිය හැකිය. පොලොන්නරුව විද්‍යාධාර ගුහාවේ (ගල් විහාරයේ) හිඳි පිළිමයේ සහ තන්තිිරිමලේ පිළිමයේ ද කැටයම් රහිත රැස් වළලු දක්නට ලැබේ.

මහියංගන දාගැබේ වෘත්තාකාර රැස් වළල්ලක් සහ ඊට සමාන්තරව තොරණ සැරසිලි ද දක්නට ලැබේ. සීගිරිය බුදුරුවෙහි කේතු රූපාකාර රැස් මාලාවක් ද, හිඳගල බුදු පිළිමයේ වෘත්තාකාර රැස් මාලාවක් ද දැකිය හැකිය. පොලොන්නරු යුගය වන තෙක් පිළිමවල පසුපස නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවූ අතර, තිවංක පිළිමගෙයි කේතු රූපාකාර හැඩයක් උරහිසට ඉහළින් යොදා තිබුණ ද එය පැහැදිලි කේතුමාලාවක් ලෙස විස්තර කර නොමැත.

මහනුවර යුගයේදී සිතුවම් හා මූර්ති කලාවේ විශාල පුනර්ජීවනයක් ඇති විය. එහිදී බුද්ධ ප්‍රතිමාවේ හිස මුදුනේම "සිරස්පත" නිර්මාණය කිරීම ප්‍රචලිත වූ අතර, මේ නිසා වෙනම රැස් මාලාවක් නිර්මාණය කිරීම තරමක් අඩු විය. අනුරාධපුර යුගයේ ලෝහ පිළිම කිහිපයකදීම මෙම සිරස්පත දක්නට ලැබුණු අතර මහනුවර යුගයේදී එය සෑම ප්‍රතිමාවකටම පාහේ අනිවාර්ය අංගයක් විය.

මෑත කාලීන නිර්මාණවල බුදු පිළිමයේ හිස මුදුනේ කෙසෙල් මුවක හැඩය ගත් සිරස්පතක් දක්නට ලැබේ. බිත්තියෙන් මදක් නෙරා එන සේ ත්‍රිමාණව සැකසූ රැස් වළල්ල තුළ ගිනිදැල් ස්වරූපය සහ විවිධ වර්ණ එක් කරමින් අලංකාර ලෙස සිත්තම් කිරීම මෙකල ලක්ෂණයකි. බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වන සැරියුත් - මුගලන් මහ රහතන් වහන්සේලාගේ රූප සඳහා ද මෙලෙස රැස් මාලා නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා රතු සහ කහ වර්ණ බහුලව භාවිත කර ඇත.

පැරණි බුදු පිළිමවල රැස් වළල්ල තුළින් එකල සිංහල සිත්තරාගේ දස්කම් මනාව පිළිබිඹු වේ. විශේෂයෙන්ම 'ගැට ලියපත' වැනි සාම්ප්‍රදායික මෝස්තර රැස් මාලාවේ අවසන් චක්‍රය සඳහා යොදාගෙන ඇත. රශ්මි දළු නිරූපණය කිරීමේදී නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජේෂ්ඨ වැනි වර්ණ මාලාවන් භාවිත කර තිබේ. මහනුවර ගංගාරාම රාජමහා විහාරයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස නිර්මාණය කළ හිටි පිළිම වහන්සේගේ රැස් වළල්ල එවැනි සුවිසල් හා අලංකාර නිර්මාණයකට කදිම නිදසුනකි.

කෙසේ වෙතත්, වර්තමානය වන විට විහාර මන්දිර තුළ සාම්ප්‍රදායික රැස් මාලා වෙනුවට හිම කඳු, වනාන්තර සහ ගස්වැල් සිත්තම් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙහිදී අතීත නිර්මාණවල තිබූ ගාම්භීරත්වය සහ ශාස්ත්‍රීය අලංකාරය ගිලිහී ගොස් ඇති බව පෙනේ. කිසිදු ගැලපීමකින් තොරව ස්වභාවික පරිසරයේ දර්ශන එක් කිරීමෙන් පාරම්පරික බෞද්ධ කලාව වියැකී යාමේ අවදානමක් පවතී. එබැවින් අපගේ සුවිශේෂී සිංහල බෞද්ධ කලා සම්ප්‍රදායන් රැකගෙන අනාගත පරපුරට දායාද කිරීම සැමගේ යුතුකමකි.

-පසිදු ධර්මවංශ-
පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ ලේඛම් යුතුකම ජාතික සංවිධානය

[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]

www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 12

කතෘ:යුතුකම     12/31/2025   No comments
පෙර ලිපි තුළින් අප සාකච්ඡා කළ පරිද්දෙන් 1915-19 කාලය තුළ ලංකාවේ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට බලපෑම් ඇති කළ ප්‍රබල සංසිද්ධීන් කිහිපයක්ම ඇති විය. සිංහල මරක්කල කෝලහාලය, කෝලහාලයට මුවා වෙමින් බ්‍රිතාන්‍ය පාලනය විසින් සිංහල බෞද්ධ නායකයන් අත්අඩංගුවට ගැනීම, අත්අඩංගුවට පත් වීමෙන් පසුව මෙරට දේශපාලනය වෙත අනගාරික ධර්මපාලතුමාගේ බලපෑම අවම වීම, බ්‍රිතාන්‍ය පාලනය තුළ ධනය සහ බලය උපයාගත් පවුල්වල උගත් තරුණයන් මෙරට දේශපාලනය වෙත එක් වීමේ ප්‍රවණතාව, ඉන්දියානු ජාතික සංගමය අනුව යමින් ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම, ලංකා ජාතික සංගමයේ පළමු සභාපතිවරයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා කෙටි කාලයක් තුළ ඉන් ඉවත්ව ලංකා තමිල් ලීගය පිහිටුවීම යන දෑ ඒ අතර ප්‍රධාන වෙයි.

ලංකාව තුළ මෙවන් තත්ත්වයක් පවතිද්දී එසමයෙහි ලෝකයේ කුමක් සිදු වූයේද යන්න විමසා බැලීම අතිශය වැදගත් වන්නේ එම ලෝක තත්ත්වයේ සෘජු සහ වක්‍ර බලපෑම ලංකාවේ තත්ත්වය කෙරෙහි අනිවාර්ය බලපෑමක් එල්ල කළ බැවිනි.

බිස්මාර්ක්ගේ ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස 1871 වන විට ජර්මන් අධිරාජ්‍යය නිල වශයෙන් බිහි විය. ඉන් අනතුරුව ගෙවුණු කාලය තුළ නව ජර්මනිය කාර්මික සහ යුදමය ක්ෂේත්‍රවල විප්ලවීය දියුණුවක් අත් කර ගනිමින් එතෙක් යුරෝපයේ බලවතෙකු වශයෙන් සිටි ප්‍රංශය පරාජය කරන්නට ද, එවකට ලෝක බලවතාගේ භූමිකාවට පණ පොවමින් සිටි බ්‍රිතාන්‍යට අභියෝග කිරීමට ද පෙළඹුණි. 1897 දී එවකට ජර්මානු විදේශ ලේකම්වරයා ජර්මන් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ ‘තමන්ට ද හිරු නොබසින අධිරාජ්‍යයක් අවශ්‍ය බවයි’.

යුරෝපයේ උද්ගත වූ මෙම බල තරගයේ නිශ්චිත ප්‍රතිඵලය වූයේ 1914 පළමු ලෝක යුද්ධය ආරම්භ වීමයි. 1918 දී යුද්ධය අවසාන වන විට අවම වශයෙන් මිලියන 16ක ජීවිත විනාශ වී තිබුණි. එපමණක් නොව ජර්මන්, ඔටෝමන්, රුසියන් සහ ඔස්ට්‍රො-හන්ගේරියන් අධිරාජ්‍ය බිඳ වැටී තිබුණි. යුද්ධයේ ජයග්‍රාහකයා වූයේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පක්ෂයයි. ප්‍රංශය, එක්සත් ජනපදය, ඉතාලිය සහ රුසියාව අනෙකුත් මිත්‍ර පාර්ශ්විකයන් විය. 1917 දී යුද පීඩනය මධ්‍යයේ ඇති වූ කොමියුනිස්ට් විප්ලවය හේතුවෙන් 1917 න් පසුව රුසියාව තවදුරටත් යුද්ධයේ පාර්ශ්වකරුවෙකු නොවීය.

පළමු ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය ජයග්‍රහණය එක් අතකින් ලෝකය තුළ ඔවුන් අත්කරගෙන තිබූ අද්විතීය තත්ත්වය තහවුරු කරන්නක් විය. ලංකාව වැනි බ්‍රිතාන්‍ය යටත් විජිතයන් තුළ සිටි, ඔවුන්ගේ අනුකාරක පන්තිය තව තවත් ඔවුන් වෙත හිතෛෂී කරවීම සඳහා ලෝක යුද්ධයේ ප්‍රතිඵල හේතු විය. එහෙත් අනෙක් අතට ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයේ ආර්ථිකය බෙහෙවින් දුර්වල විය. ලෝක යුද්ධය නිම වූ වහාම අයර්ලන්තයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ ඊජිප්තුවේ කැරලිවලට මුහුණ දී එම ප්‍රදේශ අත් හැර දැමීමට බ්‍රිතාන්‍යට සිදු විය.

එසේම 1924 දී බ්‍රිතාන්‍යයේ පළමු වරට කම්කරු පක්ෂය බලයට පත් වීම ද සිදු විය. වැඩකරන ජනතාව වෙනුවෙන්, සුභසාධනය වෙනුවෙන් පෙනී සිටි කම්කරු පක්ෂයේ බලයට පත් වීම, බ්‍රිතාන්‍යට හිමිව තිබූ යටත් විජිතවල යටත්විජිතවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටීමට හේතු විය.

මේ සියල්ලටමත් වඩා වැදගත් සිදුවීම වූයේ ඇමරිකා එක්සත් ජනපදය ගෝලීය බලවතෙකු ලෙස නැගී සිටීමත්, නැගෙනහිර යුරෝපයේ රුසියාව කේන්ද්‍ර කරගනිමින් අධිරාජ්‍ය විරෝධී, ධනපති විරෝධී කොමියුනිස්ට් බලයක් පැතිරීම ආරම්භ වීමත් ය. පළමු ලෝක යුද්ධයෙන් පසුව එළඹි සමය තුළදී මෙම එක්සත් ජනපදය සහ රුසියාව යන රාජ්‍යයන් දෙකම ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් පැරණි යුරෝපා බලවතුන්ගේ අධිරාජ්‍යයන් විසුරුවා දැමීම පිණිස මතවාදිමය වශයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් තෙරපුමක් එල්ල කරන ලදි.

ලෝක යුද්ධ සමය තුළදී ලංකාව, ඉන්දියාව ඇතුළු යටත් විජිත බ්‍රිතාන්‍යයේ ජයග්‍රහණය වෙනුවෙන් නන් අයුරින් දායකත්වය ලබා දුනි. ලංකාවේ ධනවතුන් ගණනාවක්ම බ්‍රිතාන්‍ය යුද අරමුදල සඳහා මුදල් පරිත්‍යාග කළ අතර ඒ ඔස්සේ නයිට් පදවි නම්බුනාම පවා හිමි කර ගැනීමට උත්සුක වූහ.

ලාංකික දෙමළ ධනවතුන් විසින් ලෝක යුද්ධය සඳහා බ්‍රිතාන්‍ය රජය වෙත පරිත්‍යාග කරන ලද ගුවන් යානය. මෙය "Jaffna" යනුවෙන් නම් කොට තිබුණි.
මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස යටත් විජිතවල ජාතීන් වෙත යම් පාලන බලතල ලබා දීම සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පෙළඹිණි. 1920 මැනිං ප්‍රතිසංස්කරණ යටතේ සහ 1924 මැනිං ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ යටතේ පැවති මැතිවරණ දෙක ඔස්සේ ලංකා ජන සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී නව දේශපාලන ක්‍රමයක් පිළිබඳව මහත් උනන්දුවක් දැල්වීමට සමත් වූ බව පෙනේ. ඒ අනුව පළමු ලෝක යුද්ධය නිමා වීමෙන් පසුව නැවත දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්න කාලය දක්වාම ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකි වූයේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, ඒ මත පැවැත්වෙන මැතිවරණ, දක්ෂිණාංශික සහ වාමාංශික දේශපාලන මතවාද පිළිබඳව දැල්වුණු උනන්දුවකින් ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් ය. මෙම කාලවකවානුව තුළ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය සහමුලින්ම පාහේ නිද්‍රෝපගතව නොපැවතුණා යැයි යමෙකුට තර්ක කළ හැකි නොවේ. ඊට හේතුව වන්නේ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය තුළින් පැන නැගි බලපෑම් සහගත දේශපාලන මැදිහත්වීම් මෙම කාලය තුළ වාර්තා නොවීමයි.

පළමු ලෝක යුද්ධය නිමා වීමෙන් පසුව එළඹුණු කාලයේ ලංකාවේ දේශපාලන ක්‍රියාකාරිකයන් අතර ප්‍රධාන ප්‍රවාහ දෙකක් හඳුනා ගත හැකි බව අපගේ නිරීක්ෂණයයි. මින් පළමු ප්‍රවාහය වූයේ බ්‍රිතාන්‍ය පාලනය සමඟ තවදුරටත් පක්ෂපාතීව කටයුතු කරමින් ඒ ඔස්සේ රාජ්‍ය බලයට සමීප වීමට උත්සාහ කළ ප්‍රවාහයයි. මෙම ප්‍රවාහයේ ප්‍රධාන සංවිධානය ලෙස ලංකා ජාතික සංගමය හැඳින්විය හැකිය. ලංකා තමිල් ලීගය ද නියෝජනය කළේ මෙම ප්‍රවාහයයි. ධනවත් සහ බලවත් යුරෝපීය ඌරුව අනුකරණය කළ පවුල්වල උගත් පිරිසක් මෙම ප්‍රවාහය නියෝජනය කළහ. ඔවුන් ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපීය දක්ෂිණාංශික දේශපාලන මතවාදය අගය කරන්නෝ වූහ.

දෙවන ප්‍රවාහය වූයේ ලංකාව පූර්ණ වශයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ස්වාධීනත්වය ලබා ගත යුතු බව විශ්වාස කළ ප්‍රවාහයයි. යාපනය තරුණ සංගමය සහ තරුණ ලංකා සංගමය ඒ අතර ප්‍රධාන විය. මීට අමතරව දකුණු කොළඹ, උතුරු කොළඹ, පානදුර, මොරටුව, මහනුවර ආදී නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ද විවිධ මට්ටමේ තරුණ සමිති බිහිව තිබූ අතර ඔවුහු ද මෙම මතය නියෝජනය කළහ. මෙම ප්‍රවාහය නියෝජනය කළ ක්‍රියාධරයෝ බොහෝ දෙනා උගත් වෘත්තිකයෝ වූහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සහ ඔවුන්ට පක්ෂපාතී ස්වදේශිකයන්ගේ සම්ප්‍රදායවාදී දක්ෂිණාංශික අදහස්වලට එදිරිව ස්ථානගත වීමේ අවශ්‍යතාවය මෙම ප්‍රවාහයට පැවතුණි. එවකට සමකාලීන ලෝක තත්ත්වය තුළ සම්ප්‍රදායවාදී දක්ෂිණාංශයට අභියෝග කරමින් පෙරට පැමිණියේ වාමාංශික කම්කරු ව්‍යාපාර සහ මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයි. ඒ අනුව මෙම දෙවන ප්‍රවාහය නියෝජනය කළ පිරිස් අතරින් කොටසක් වාමාංශික කම්කරු ව්‍යාපාරයේ අනුගාමිකයෝ වූ අතර සෙස්සෝ මාක්ස්වාදීන් වූහ.

මෙකී දෙවන ප්‍රවාහය තුළ ක්‍රියාත්මක වූ තරුණ ලංකා සංගමය සහ යාපනේ තරුණ සංගමය පිළිබඳව ද මෙහිලා කෙටියෙන් හෝ සිහිපත් කිරීම වටී. තරුණ ලංකා සංගමය පිහිටුවනු ලැබුවේ 1920 මාර්තු 02 වන දින කොළඹදීය. මෙම දිනය (උඩරට ගිවිසුම අත්සන් කර වසර 105ක් පිරුණු දිනය) තෝරා ගැනීමෙන්ම ඔවුන්ගේ අධිරාජ්‍ය විරෝධී ස්වභාවය පැහැදිලි විය. මෙහි පුරෝගාමියා වූයේ ඒ.ඊ. ගුණසිංහ මහතාය. ඔහු සමඟ වික්ටර් කොරයා, සී.එච්. ඉසෙඩ්. ප්‍රනාන්දු සහ ජී.වී.එස්. කුලසිංහම් වැනි රැඩිකල් තරුණයන් පිරිසක් මීට එක්වූහ. ලංකා ජාතික සංගමයේ සිටි පැරණි නායකයන්ගේ "නිවට සහ යාදිනි" ප්‍රතිපත්තිය ගැන කලකිරුණු මෙම තරුණයන්, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගත යුතු බව විශ්වාස කළහ. 1920 දශකයේ කොළඹ වරාය, රජයේ කර්මාන්තශාලා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදු වූ මහා වර්ජන මෙහෙයවීමේදී තරුණ ලංකා සංගමය ප්‍රමුඛත්වය ගත්තේය.

මෙම ව්‍යාපාරයේ පුරෝගාමියා වූ ඒ.ඊ. ගුණසිංහ මහතා බ්‍රිතාන්‍යයේ එවකට නැගී එමින් පැවති කම්කරු පක්ෂයේ ආභාසය ලැබූවෙකු සහ එම කම්කරු පක්ෂය සමඟ සෘජුව සම්බන්ධතා පැවැත්වූවෙකු විය. ඒ.ඊ. ගුණසිංහ මහතා 1922 දී "ලංකා කම්කරු සමිතිය" පිහිටුවූ අතර, පසුව 1928 දී එය ලංකා කම්කරු පක්ෂය ලෙස වඩාත් සංවිධානාත්මක දේශපාලන පක්ෂයක් බවට පත් විය.

ඒ.ඊ. ගුණසිංහ යන නාමය පිළිබඳව ජනප්‍රිය ඉතිහාසයේ සඳහන් වන්නේ ලංකාවේ පුරෝගාමී කම්කරු නායකයා වශයෙනි. සර්වජන ඡන්ද බලය දිනා ගැනීම සඳහා ඩොනමෝර් කොමිසම ඉදිරියේ සෘජුව පෙනී සිටි ස්වදේශික නායකයන් අතලොස්ස අතරින් ප්‍රමුඛතමයෙකු ලෙස ද, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු ලෙස ද, කොළඹ නගර සභාවේ ප්‍රථම ස්වදේශික නගරාධිපතිවරයා ලෙස ද, නිදහසින් පසු ස්ථාපිත වූ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකු ලෙස ද, බුරුමයේ සහ ඉන්දුනීසියාවේ හිටපු තානාපතිවරයෙක් ලෙස ද ඔහු පිළිබඳව බොහෝ දෙනා දනිති. එහෙත් ඔහු පිළිබඳව ඊට වඩා වැඩි යමක් සඳහන් කළ යුතුය. අප ඒ.ඊ. ගුණසිංහයන් දකින්නේ ධර්මපාලතුමාගේ ව්‍යාපාරය තුළින් බිහි වූ වඩාත් ජනප්‍රියවාදී දේශපාලනඥයෙකු ලෙසය. 1891 දී මහනුවරදී උපත ලද ගුණසිංහයන් තරුණයෙකු වශයෙන් ධර්මපාලතුමාගේ අමධ්‍යප ව්‍යාපාරය හා එක් වූ බව පෙනේ. 1915 කෝලහාලය අවස්ථාවේදී ඔහු සිරගත විය. ධර්මපාලතුමාගේ "සිංහල බෞද්ධයා" පුවත්පතට තරුණ ගුණසිංහ ලිපි රචනා කරන ලදි. 1915 කෝලහාල සමයේ ගුණසිංහ මහතා සිරගත කර සිටි අවස්ථාවේදී, එවකට ඉන්දියාවේ සිටි ධර්මපාලතුමා ඔහු කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. ධර්මපාලතුමා සිය පෞද්ගලික ලිපි ලේඛනවල ගුණසිංහ වැන්නවුන් විඳින දුක් ගැහැට ගැන කම්පාවෙන් සටහන් තබා ඇත. ගුණසිංහ මහතා සිය මුල්කාලීන පුවත්පත් සහ සංවිධාන කටයුතු ආරම්භ කරන විට, ධර්මපාලතුමා ඔහුට අවශ්‍ය උපදෙස් සහ යම් මට්ටමක මූල්‍යමය නොවන අනුග්‍රහයන් ලබා දුන් බව කියවේ. ගුණසිංහ මහතාගේ "වීරයා" පුවත්පතට ධර්මපාලතුමාගේ ආශිර්වාදය හිමි විය. ධර්මපාලතුමා වරක් ගුණසිංහ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ, "ඔබ වැනි තරුණයන් දස දෙනෙකු සිටියහොත් ලංකාවට නිදහස ලබා ගැනීම අපහසු නොවන බවයි." මෙය ඔවුන් දෙදෙනා අතර තිබූ පෞද්ගලික විශ්වාසය සහ ඇගයීම මැනවින් පෙන්වන සාධකයකි.

කෙසේ වෙතත්, 1920 දශකයේ අගභාගය වන විට ගුණසිංහ මහතා වැඩි වශයෙන් බටහිර මාදිලියේ කම්කරු දේශපාලනයට යොමු වීම ගැන ධර්මපාලතුමා සිය දිනපොතේ යම් යම් විවේචන ද සටහන් කර ඇත. නමුත් අවසානය තෙක්ම ගුණසිංහයන් ජාතිකවාදී ස්ථාවරයක් මත පිහිටා සිය කම්කරු ව්‍යාපාරය මෙහෙයවූ බව ඔහුගේ භාවිතාව ඔස්සේ පැහැදිලි වේ. 1930 දශකයේ මුල් භාගයේ ලෝකය පුරා පැතිර ගිය ආර්ථික අර්බුදය ලංකාවට ද දැඩි ලෙස බලපෑවේය. එම බලපෑම ඔස්සේ රටේ රැකියා වියුක්තිය ඉහළ ගියේය. එවකට විදේශිකයන් අඩු වැටුප් යටතේ කම්කරුවන් සහ වෘත්තිකයන් ලෙස සේවයට බඳවා ගැනීම බහුලව සිදු වූ අතර එම අවස්ථාවේදී ‘ලංකාව ලාංකිකයන්ට’ යන සටන් පාඨය පෙරට ගෙන එමින් ගුණසිංහ මහතා නාගරික සිංහල කම්කරුවන් වෙනුවෙන් තිරව පෙනී සිටියේය. එසමයෙහි නැගී එමින් පැවති සමසමාජ ව්‍යාපාරයේ මාක්ස්වාදීන් එවිට ගුණසිංහ මහතාව නිර්දය ලෙස විවේචනය කළේ ගුණසිංහ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ සිරකරුවෙකු වී ඇති බව කියමිනි. ඒ.ඊ. ගුණසිංහ මහතා අපගේ ජාතික ව්‍යාපාරයේ වැදගත් නායකයෙකු ලෙස අප කල්පනා කරන්නෙමු.

යාපනය තරුණ සංගමය යනු ඉහත සඳහන් කළ "දෙවන ප්‍රවාහයේ" (පූර්ණ නිදහස අපේක්ෂා කළ) ආරම්භක නියමුවෙකු ලෙස හැඳින්විය හැකිය. 1924 දී යාපනයේ මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ හෑන්ඩි පර්පින්බනායගම් මහතාගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ විය. මුලින් මෙය හැඳින්වූයේ "යාපනය ශිෂ්‍ය සංගමය" ලෙසයි. සිංහල සහ දෙමළ ප්‍රභූ නායකයන් (පළමු ප්‍රවාහය) බ්‍රිතාන්‍යයන්ගෙන් සුළු ව්‍යවස්ථාපිත සහන ඉල්ලා සිටියදී, යාපනය තරුණ සංගමය ඉන්දියාවේ "ස්වරාජ්" ව්‍යාපාරයේ ආභාසය ලබා පූර්ණ නිදහස ඉල්ලා සිටියහ. ඔවුහු මහත්මා ගාන්ධි සහ ජවහර්ලාල් නේරු ලංකාවට ගෙන්වා ගැනීමට පුරෝගාමී වූහ. සර්වජන ඡන්ද බලය වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ. පසුව 1931 දී එය "යාපනය තරුණ සංගමය" ලෙස නම වෙනස් කරන ලදී. 1930 අග භාගයේ යාපනය තරුණ සංගමය දුර්වල වූ විට එහි ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙක් සමසමාජ පක්ෂය හා සම්බන්ධ වූහ.

පළමු ලෝක යුද්ධයෙන් පසුව එළඹුණු කාලයේදී ලංකාවේ දේශපාලනය මේ ආකාර ප්‍රධාන ප්‍රවාහ ද්විත්වයකට බෙදී යන අතර සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ස්ථානගත වූයේ කොතැනක ද?

1860 දශකයේදී බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයෙන් ආරම්භ වී, ධර්මපාලතුමාගේ නායකත්වයෙන් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය දක්වා වූ වර්ධනීය අවධියකින් පසුව අප හට පැහැදිලිව හඳුනාගත හැක්කේ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ඉහත අප සඳහන් කරන ලද ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙක තුළට බෙදී ඒවා තුළ ගිලී ගිය බවයි. එකී බෙදීම සහ ගිලී යාම අද දක්වාත් අඛණ්ඩව පැවතෙමින් එන අතර සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ඌණතාවක් වශයෙන් ද මෙම බෙදීම සහ ගිලී යාම හඳුනාගත හැකිය.

දක්ෂිණාංශික සහ වාමාංශික දේශපාලන මතවාද අතික්‍රමණය කරමින් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ උරුමය මත පදනම් වූ දේශපාලන චින්තනයක් ගොඩනංවා එය ඉදිරියට ගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නායකයන් ලෙස පෙනී සිටි චරිත ඉහත සඳහන් කළ ප්‍රවාහයන් දෙක අතර බෙදී ගිලී ගියත් ජන සමාජය තුළ තවමත් ඒ සඳහා රික්තකයක් ඉතිරි වී තිබුණි. 1920-30 කාලය තුළ මෙම රික්තකය සඳහා යම් තරමකින් වත් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ වැදගත් නායකයෙක් වශයෙන් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා හැඳින්විය හැකිය.

සිංහල රාජධානිය විසින් භාවිතා කළ සිංහ ධජය නැවත සොයාගෙන එය ජනගත කිරීමේ මූලිකයා වූයේ මෙතුමා ය. තවද 1915 කෝලහාලයට මුවා වෙමින් සිංහල බෞද්ධයන් මර්දනය කිරීම සඳහා යටත් විජිත ආණ්ඩුව අනුගමනය කළ ම්ලේච්ඡ පිළිවෙත පිළිබඳව එංගලන්තය වෙත පෙත්සමක් මගින් තොරතුරු ඉදිරිපත් කරනු ලැබූ වැඩපිළිවෙළේ එම පෙත්සම සිය සපත්තු අඩියේ සඟවාගෙන එංගලන්තය වෙත ගෙන ගියේ ද මෙතුමා විසිනි. 1919 ලංකා ජාතික සංගමය පිහිටවූ විට මෙතුමා එහි උද්‍යෝගීමත් නායකයෙක් විය. 1921 ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී මධ්‍යම පළාත නියෝජනය කරමින් තේරී පත් වූ මෙතුමා 1924 දී කළුතර නියෝජනය කරමින් නැවත ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් විය. මෙම කාලයේදී ලංකා ජාතික සංගමය තුළ උද්ගත වූ අර්බුදවල ප්‍රතිඵලයක් වශයෙන් ඉන් ඉවත්ව "ජාති හිතෛෂී පක්ෂය" පිහිටුවා ගැනීමට ඔහු කටයුතු කළේය. ව්‍යවස්ථාදායක සභාව තුළ සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට කටයුතු කළ නායකයෙකු ලෙස මෙතුමා හැඳින්විය හැකිය.

ඊ.ඩබ්ලිව්. පෙරේරාගේ ජාති හිතෛෂී පක්ෂය පුළුල් ජන පදනමක් සහිත දේශපාලන සංවිධානයක් නොවීය. එය සිංහල බෞද්ධ ප්‍රභූත්වය මත පදනම් වූවකි. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ සර්වජන ඡන්ද බලය ලබා දීමට එරෙහිව හඬ නැගූවෙකු ලෙස ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ප්‍රකටය. ඔහුගේ තර්කය වූයේ නූගතුන් වෙත ඡන්ද බලය ලබා දීම යහපත් ප්‍රතිඵල ඇති නොකරන බවයි.

මෙම සිංහල බෞද්ධ ප්‍රභූවාදී ජාති හිතෛෂී පක්ෂයෙන් 1926 දී උගත් ධනවත් ප්‍රභූ තරුණයෙකු ලංකාවේ දේශපාලනයට අවතීර්ණ විය. ඔහු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ දේශපාලන ගමන් මගෙහි තීරණාත්මක භූමිකාවට පණ පෙවූවෙකු විය. ඔහු නමින් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයි.

ඉහත අප විසින් දීර්ඝව පැහැදිලි කළ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙක මගින් ආමන්ත්‍රණය නොකෙරෙන දැවැන්ත රික්තකයක් මෙරට ජන සමාජයේ පවතින බවත්, එම හිඩැසට සිංහල බෞද්ධ ජාතිකත්ව දේශපාලනය මගින් ආමන්ත්‍රණය කළ හැකි බවත්, එය දේශපාලනිකව භාවිතා කොට බලය අත්පත් කර ගැනීමක් දක්වා මෙහෙයවීමේ ගම්‍යතාවක් පවතින බලවේගයක් බවත් පැහැදිලිව හඳුනා ගැනීමේ ඉවක් බණ්ඩාරනායක තරුණයාට තිබුණු බව පෙනේ. ඊ.ඩබ්ලිව්. පෙරේරාගේ ජාති හිතෛෂී පක්ෂයේ ප්‍රභූවාදී සිංහල බෞද්ධ දේශපාලනය තමාගේ ගමන යාමට අවශ්‍ය ජවය නොසපයන බව බණ්ඩාරනායක තරුණයා තේරුම් ගන්නට ඇත. ඒ අනුව එම පක්ෂයේ ලේකම්ව සිටියදීම ඉන් ඉවත්ව ලංකා ජාතික සංගමය ඔස්සේ සිය ගමන යාමට බණ්ඩාරනායක උත්සාහ කළේය.

1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පැවති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා වේයන්ගොඩ ආසනයෙන් නිතරඟයෙන් තේරී පත් වූ බණ්ඩාරනායක, 1934 දී ලංකා ජාතික සංගමයේ සිටියදීම "සිංහල මහා සභාව" ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.

සිංහල මහා සභාව ස්ථාපිත කොට එහි සභාපතිවරයා වශයෙන් පත් වන විට බණ්ඩාරනායක මහතාගේ වයස අවුරුදු 35 කි. නායකත්වයක් නොමැතිව ඉබාගාතේ යමින් සිටින සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය තුළ පවතින දේශපාලන ගතිකය ඔහු ඒ වන විටත් මැනවින් හඳුනාගෙන තිබුණි. එය ඔහු අවංකව සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ දෙයක් ද නැතහොත් සිය දේශපාලන මාවත සකස් කර ගැනීමේ අභිප්‍රායෙන් ගත් හුදු උපක්‍රමික වෑයමක් ද යන්න නිවැරදිව දන්නේ ඔහුගේම හෘද සාක්ෂිය පමණි. ඒ කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතා සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ වැදගත් නායකයෙකු ලෙස අප හඳුන්වා දෙන්නෙමු.

සිංහල මහා සභාව තනි පක්ෂයකට වඩා ඒ වන විට විසිරී තනි තනිව ක්‍රියාත්මක වෙමින් පැවති බලවේග ගණනාවක එකතුවක් ලෙස හඳුනා ගැනීම සුදුසුය. ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ බෞද්ධ සංගම්, පෙරදිග වෙදකමෙහි නියුතු වෛද්‍යවරුන්ගේ සංගම්, ස්වභාෂා ඉගැන්වීමේ නියුතු ගුරුවරුන්ගේ සංගම් ඊට එක් විය. විද්‍යෝදය සහ විද්‍යාලංකාර මහ පිරිවෙන් මූලික කරගත් උගත් භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදය ඊට හිමි විය.

සිංහල මහා සභාවේ ආරම්භයේදීම ඊට සහයෝගය පළ කළ තවත් රාජ්‍ය මන්ත්‍රණ සභා සභිකයන් කිහිප පළක්ම වූහ. ඔවුන් වන්නේ ගාලු ආසනයෙන් තේරී පත් වූ සී.ඩබ්.ඩබ්. කන්නංගර, කුරුණෑගල ආසනයෙන් තේරී පත් වූ ජෝන් කොතලාවල, හොරණ ආසනයෙන් තේරී පත් වූ ඒ.පී. ජයසූරිය, ගම්පොළ ආසනයෙන් තේරී පත් වූ ආර්.එස්.එස්. ගුණවර්ධන, උඩුගම ආසනයෙන් තේරී පත් වූ එච්.ඩබ්ලිව්. අමරසූරිය යන මහත්වරුන් ය. මොවුන් සියල්ලෝම සිංහල මහා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළේ ලංකා ජාතික සංගමයේ ප්‍රබල නායකයන් ලෙස කටයුතු කරමින් සිටියදීමය..

[යුතුකම සඟරාවේ දෙසැම්බර් කලාපයේ ලිපියකි..]
-පැතුම් ඒ. රණසිංහ-
ලේකම් -යුතුකම ජාතික සංවිධානය

www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

11/30/2025

සීතාවක යුගයේ බිහිවූ ගම්මාන

කතෘ:යුතුකම     11/30/2025   No comments

සීතාවක රාජධානිය කෝට්ටේ සහ උඩරට යුගයන් ද්විත්වය අතර පිහිටි සුවිශේෂීම රාජධානියයි. එය මෙරට ඉතිහාසය තුල කෙතරම් සුවිෂේශී වුවද ඒ සදහා හිමිව පවතින ස්ථානය ඉතා සෝචනීය ය.

මායාදුන්නේ රජු සහ සීතාවක රාජසිංහ ( 1 වන රාජසිංහ) යන රණශූර පියපුතු දෙපළ විසින් ගොඩනැංවූ දේශප්‍රේමීත්වය මත ගොඩනැගුණු රාජ්‍යයක් ලෙස සීතාවක රාජධානිය හදුනාගත හැකිය. විජයබා කොල්ලයෙන් උපන් සීතාවක රාජධානිය පෘතුගීසී විරෝධී යුධ මධ්‍යස්ථානයක් වීම නිසා මායාදුන්නේ රජුගේ කාලයේ සිටම නිතර යුද්ධයන් සිදුවූ, ඕනෑම අවස්ථාවක යුද්ධයකට හෝ ආක්‍රමණයකට මුහුණ දීමට සූදානමින් සිටි විශාල සේනාවකින් සමන්විත වූ නගරයක්ව පැවතුනි. සීතාවක රාජධානිය තුල සහ ඉන් පිටත බොහෝ ගම්මාන සදහා නම් ඇතිවීම සීතාවක යුගයේ සිදුවිය. මේ අතර මාලිගාවත්ත, මාලිගාකන්ද, ඔරුගොඩවත්ත, කොටිකාවත්ත, බියගම, යබරලුව, කම්මල්වත්ත, කඩුවෙල , පූගොඩ, කිරිබත්ගොඩ යන ග්‍රාම නාම හදුනාගත හැකිය.

ඒ එක් එක් ගම් සදහා නම් ඇතිවූ ආකාරය විමසා බලමු.

මාලිගාවත්ත - සීතාවක රාජසිංහ රජතුමන් විසින් කොළඔ කොටුවට පහර දීමට සේනා සමග පැමිණ පරංගින් කොළඔ කොටුව තුලට සීමාකර සත් මාසයක් කොටුව වටලාගෙන සිටියේය. කොළඔ කොටුවේ බළල් මස් පවා ගිනිගනන් වූ බව පැවසෙන්නේ මෙම කාලය තුලයි. එම කාලසීමාව තුල සීතාවක රාජසිංහ රජතුමා හට ඉදිකල තාවකාලික මාලිගයේ “වත්ත” මාලිගාවත්ත ලෙස හැදින්වේ.

මාලිගාකන්ද - සීතාවක රාජසිංහ රජතුමා හට තාවකාලික මාලිගය ඉදිකල උස් භූමිය “මාලිගාකන්ද” ලෙස හැදින්වේ. වර්තමානයේ විද්‍යෝදය මහ පිරිවෙන වැනි දේශීය අධ්‍යාපන මධ්‍යස්ථාන මෙම ප්‍රදේශය තුල දැකගත හැකිය.

ඔරුගොඩවත්ත - සීතාවක සේනා කොළඔ කොටුවට පහර දීමට කොළඔ දෙසට යාමේදී කැලණි නදිය ඔරු ආධාරයෙන් තරණය කල තැන “ඔරුගොඩවත්ත” නමින් හදුන්වනු ලබයි. එසේ එගොඩ වූ සේනාවන් “ලුනාව දේවාලය” ලෙස වර්තමානයේ සුප්‍රකට දේවාලයේ පඩුරු ගැටගැසූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.

කොටිකාවත්ත - කොඩි ගහ සිටවූ වත්ත, කොඩිගහ වත්ත වී පසුකාලීනව කොටිකාවත්ත වූ බව සදහන් වේ.

බියගම - බියගම ලෙස හදුන්වන ප්‍රදේශය සීතාවක රාජධානි සමයේ පරංගින් පැමිණීමට පවා බිය වූ ප්‍රදේශයක් නිසා එනමින් හදුන්වා ඇත. රාජසිංහ රජුගේ ප්‍රධාන අවි ගබඩාව එම ප්‍රදේශය කේන්ද්‍රකොටගෙන පැවති බව සාධක සහිතව සනාථ වේ.

යබරලුව - බියගම සහ මල්වාන අතර පිහිටි ග්‍රාමයක් ලෙස යබරලුව හදුනාගත හැකිය. “යබොර හෙලුව” යන අදහසින් එය යබොරලුව වී ඇත. සීතාවක රාජධානිය තුල පැවති ප්‍රධානතම යකඩ නිෂ්පාදනය කල ස්ථානය ලෙස යබොරලුව හැදින්වීමට පුළුවන. නිතර යුධයට සූදානමින් සිටි සීතාවක සේනාවන් සදහා ආයුධ තැනීමට යකඩ නිෂ්පාදනය කල නිසා එම ප්‍රදේශය පුරාවට යබොර විශාල වශයෙන් ව්‍යාප්තව ඇත. කම්මල්වත්ත - යබොරලුව අසලම පවතින සුවිශේෂීම ප්‍රදේශයක් ලෙස “කම්මල්වත්ත” හදුනාගත හැකිය. නාමයේ ලෙසින්ම එය සීතාවක රාජධානිය තුල පැවති ප්‍රධානතම යකඩ කම්හල ලෙස හදුනාගත හැකිය. සීතාවක රාජධානියේ හදවත ලෙස මෙම කම්මල්වත්ත හැදින්වුවද වරදක් නැත. මහා පරිමාණ ආයුධ නිෂ්පාදනාගාරයක් වූ මෙයට යකඩ යබරලුවෙන් ලබාගෙන ඇත.

කඩුවෙල - සීතාවක රාජධානිය සහ කෝට්ටේ රාජධානිය වෙන්වන දේශ සීමාව වූ කැලණි නදියේ සීතාවක රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශයේ පිහිටි වෙල් යායක් ලෙස කඩුවෙල පිළිබද සදහන් වේ. සීතාවක ටිකිරි කුමරුන් මුල්ලේරියා සටනට පෙර සිදුවූ බාරයක් ඔප්පු කිරීමට මෙහි පත්තිනි දෙවොලක් තනවා තම රන් කඩුව දෙවොලට පිදූ බවත් සදහන් වේ. එය කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයයි. කඩුව සමගම දෙවොලට වෙල පිදූ බැවින් කඩුවෙල වූ බව ඇතැම් තැනක කියැවේ. මුල්ලේරියා සටන ජයගත් සීතාවක සේනාවන් තම කඩු සේදූ වෙල කඩුවෙල වූ බව වෙනත් තැනක සදහන් වේ.

පූගොඩ - “පූ” යනුවෙන් අතීත සිංහල භාෂාවේ කැවුම් හදුන්වා ඇත. එබැවින් පූගොඩ යනු කැවුම් ගොඩ යන අරුතයි.

කිරිබත්ගොඩ - සීතාවක සේනාවන් සදහා කිරිබත් සැදූ ගම කිරිබත්ගොඩ ලෙස නම් වුනි.

මෙසේ වර්තමානය දක්වාම සීතාවක රාජධානියේ උරුමයක් ලෙස සදහන් කල හැකි ස්පර්ශනීය මෙන්ම අස්පර්ශනීය සංස්කෘතික උරුම ගණනාවක් හදුනාගැනීමේ හැකියාව පවතී. ඒවා රැකගැනීමට කටයුතු කිරීම පුරවැසියන් ලෙස අප සතු පරම යුතුකමක් මෙන්ම වගකීමකි..

- හේමක මවින්ද්‍ය විජයතිලක 
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com


Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මහනුවර කලාව

කතෘ:යුතුකම     11/30/2025   No comments

ශ්‍රි ලංකාවේ චිත්‍ර කලාවේ පෙරළියක් ඇති කල අවදියක් ලෙස මහනුවර රාජධානි යුගය හැදින්විය හැකිය. අනුරපුර යුගයේ සිගිරියෙන් ඇරඹි සම්භාව්‍ය ලාලිත්‍යමය හා වර්ණවත් සිතුවම් ශෛලිය පොළොන්නරුව යුගයේ අවසාන කාලපරිච්ඡේදය තුළදී ඇණහිටීමකට ලක් වූ බවක් පෙනෙන්නට තිබේ. 18 වන සියවසේ දී කන්ද උඩරට විහාරස්ථාන ආශ්‍රීතව නවතම සිතුවම් සම්ප්‍රදායක් ආරම්භ වූ අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ද නොමදව ලැබිනි. අනතුරුව මෙම සිතුවම් ශෛලියත්, සම්ප්‍රදායත් පහතරට විහාරස්ථානයන් කරාද ව්‍යාප්ත විය.

මහනුවර යුගය උදා වන විට බෙහෙවින් පිරිහීමකට ලක්ව තිබූ බුද්ධශාසනය නැවත නගා සිටුවීම සදහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. මෙහිදී කලා මාධ්‍යයන්ට පැවරුණේ අතිශය භාරදූර කාර්‍යයකි.

සම්භාව්‍ය බුද්ධිගෝචර කලාවක් නිර්මාණය කරනවාට වඩා බුදු දහමේ සිද්ධි ඉතා සරලව කියා දීමට හැකි අක්ෂිගෝචර වූ සරල සිතුවම් කලාවක් බිහිවූයේ මේ අපේක්ශාව පෙරදැරි කර ගනිමිනී. බණ කතාවක් ඉතා සරල ලෙස චිත්‍රාවලියක් වශයෙන් බලා අවබෝධ කරගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. දිවයින පුරා වෙහෙර විහාර කරවා ජතක කතා වැනි බොදු පුවත් එම විහාරවල චිත්‍රණය කරවූයේද දහම් පිපාසාවෙන් සිටි සිංහල බෞද්ධයාගේ හා අනෙකුත් බැතිමතුන්ගේ ශ්‍රද්ධා භාක්තිය පුබුදුවා කරවාලීමට ය.මහනුවර රාජ්‍ය සමයේදී මෙවන් වෙහෙර විහාර රැසක් බිහි විය. එහිදී චිත්‍ර ශිල්පීන්ගෙන් සිදු වූ මෙහෙය මෙහිදි අප සිහිපත් කල යුතුය.

මහනුවර ශිල්පියාගේ මූලික කාර්‍යය වනුයේ ජාතක කතා, බුද්ධ චරිතයේ සිදුවීම් හා ඓතිහාසික පුවත් ඉතා සරලව චිත්‍රණය කරලීමයි. මින් ප්‍රධාන තැනක් හිමිවනුයේ ජාතක කථා වලටය. ජාතක කථා තුලින් දාන පාරමිතාව, වීර්ය පාරමිතාව වැනි ආගමික සංකල්ප මතු කරමින් නරඹන්නා තුළ ශ්‍රද්ධා භක්තිය ජනිත කරලීමට උත්සහා දරා ඇත.

මහනුවර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් ඇරඹුනු මෙම නව චිත්‍ර කලා සම්ප්‍රදාය මෙතෙක් රට තුල පැවති චිත්‍ර සම්ප්‍රදායන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ආරක් ගත් කලා සම්ප්‍රදායක් විය. සෑම විහාරස්ථානයක් තුලම එකම ආරක චිත්‍ර රටාවක් සිතුවම් වීම නිසා මෙය ශෛලීගත සම්ප්‍රදායක් ලෙස හැදින්විය හැකිය. මේ අනුව 18 වන සියවසේ කන්ද උඩරට මහනුවර රාජධානිය ආශ්‍රීතව බිහිවූ චිත්‍ර කලාව අනුරපුර සම්ප්‍රදායෙන් පසුව දිවයිනේ ඇරඹි දේශිය අනන්‍යතාවෙන් යුතු නවතම චිත්‍ර සම්ප්‍රදාය ලෙස හැදින්විය හැකිය. මෙසේ බිහිවූ නුවර යුගයේ සිතුවම් කලාවව විශේෂ වු විධි නියමයන් හා ශිල්ප ක්‍රම රැසක් එක්විය. මහනුවර ශිල්පියා ගේ මූලික විධි නියමයන් වුයේ රේඛා කරණය හා පැතලි වර්ණ භාවිතයයි. රේඛාවෙන් ගොඩනැගෙන හැඩතල තුල වර්ණ පූරණය කර නැවත එම හැඩතල වටා බාහිර රේඛාවන් ඇදීම මෙහි ප්‍රධාන සාධකයක් විය. ත්‍රිමාණ ලක්ෂණ නොදැක්වුණු හැඩතල පැතලි විය. මානව රුව ඇතුළු හැඩතල රචනයේදී පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි. මොවුන් භාවිත කල මානව රුව සරල සංකේතමය හැඩතලයක් විය. පාර්ශව දර්ශව යෙදූ මානව රුවේ පපුව ඉදිරියට යොදා ඇති අතර මුහුණ පාර්ශව ගතවත් ඇස් ඉදිරියට මුහුණලා සිටින ලෙසත් චිත්‍රණය කිරිම මෙහි ඇති විශේෂත්වයයි. දෙපා පාද රේඛා මත පිහිටුවයි. ක්‍රියාකාරිත්වය හා චලනය දැක්වීමට වෙහෙසුණ බවක් නොපෙනේ. පැතලි වර්ණ භාවිතයෙන් නිමවන චිත්‍රයේ පසුබිම සදහා බහුලව යෙදූවේ රතු වර්ණයයි. චිත්‍රයේ හිස් තැන් පිරවීම සදහා අලංකාර මාධ්‍යක් සේ පාරම්පරික සැරසිලි මෝස්තර යොදාගෙන ඇත. ගස්, ගෙවල් පාර්ශව ගතව යෙදු අතර ගංගා පොකුණු ආදිය ආකාශ පර්යාවලෝකනයෙන් චිත්‍රණය කර ඇත. කිසියම් පුවතක් ඉදිරිපත් කිරිමේදී ආරම්භයේ සිට අවසානය දක්වා චිත්‍රාවලියක් සේ අඛණ්ඩව කථාව ගලාගෙන යන අයුරින් චිත්‍රණය කර ඇත. මෙම ක්‍රමය අඛණ්ඩකථන ක්‍රමය ලෙස හදුන්වයි. මේ සදහා පටු තිරස් සමාන්තර රේඛා ගණනාවකටම බිත්තිය බෙදා ඒ තුළ සිතුවම් නිර්මාණය කරලීම උඩරට සිතුවම් සම්ප්‍රදායේ ඇති සුවිශේෂීතාවයයි.

එක් එක් සිද්ධස්ථාන අනුව හා විවිධ වු ශිල්පීන් අනුව මෙම ක්‍රමයන්හි සුළු සුළු වෙනස් කම් දක්නට ලැබේ. කන්ද උඩරට ඇරඹි සිතුවම් කලාව ඒ සමයේදීම පහතරට පෙදෙස් කරා ද ව්‍යාප්ත විය. පහතරටදී මෙම නුවර සිතුවම් සම්ප්‍රදායට එක් වූ වෙනස් කම් රාශියක් හඳුනාගත හැකිය. මෙම වෙනස්කම්වලට ප්‍රධාන හේතුව වනුයේ ප්‍රාදේශීය වශයෙන් ශිල්පීන් ලත් අත්දැකීම් විය යුතුය. මේ නිසාම මහනුවර චිත්‍ර සම්ප්‍රදාය කන්ද උඩරට හා පහතරට ලෙසින් වර්ගකර දැක්වීමට සිදු වේ. මුලික ලක්ෂණ එකක් වුවද ආකෘතියේ හා ප්‍රකාශනයේ දක්නට ලැබෙන වෙනස්කම් රැසකි.

අප රටට ආවේණික වූ මෙම සම්භාව්‍ය සිතුවම් කලාව රැක ගනිමින් ඉදිරි අනාගතයට භාරදීම අප සතු යුතුකමකි.

-පසිදු ධර්මවංශ-
පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ ලේකම්
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

ශ්‍රී ලංකාවේ ජල ප්‍රතිපත්තිය මෙ වර කොයිබට ද?

කතෘ:යුතුකම     11/30/2025   No comments

ප්‍රතිපත්තියක් යනු කිසියම් රාජ්‍යයක්/ කණ්ඩායමක්/ පිරිසක් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ කවර ආකාරයෙන් ද යන්න දැක්වෙන සටහනකි. ඒ අතරින් ජාතික ප්‍රතිපත්තියක් යනු කිසියම් රටක් (දේශපාලන වෙනස්වීම් වලින් ස්වායක්තව) යම් කිසි කරුණක් අරභයා ක්‍රියා කරන ආකාරය දැක්වෙන කිසියම් ප්‍රකාශයකි්. “ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” යන වචන කිහිපය මගින් ද අදහස් විය යුත්තේ (කුමන ආණ්ඩුවක් බලයට පත් වුව ද) නොවෙනස්ව පවතින, මෙරට ජල සම්පත සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති මාලාවකි.

එහෙත්, පසුගිය දශක කිහිපය තුළ මෙරට දේශපාලනය සහ කාලීන සිදුවීම් දෙස අවදියෙන් සිටි ඕනෑම අයෙකුට, එක්වරම “ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” නැතහොත් සරලව "ජල ප්‍රතිපත්තිය" කියූ සැණින් සිහියට නැගෙන්නේ යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයකි. ඒ පසුගිය කාලය මුළුල්ලේ ඒ සම්බන්ධයෙන් කතා-බහට ලක් වූ දෑ එසේ වූ නිසා ය.

"මෙන්න අපේ රටේ ජල සම්පත විකුණන්න හදනවා!"

මේ, ඒ සම්බන්ධයෙන් අපට ඇසුණු කතාවකි.

"අනේ, එහෙම දෙයක් නෑ! මෙතන තියෙන්නේ එක්තරා පිරිසක් මවන බොරු බිල්ලෙක් විතරයි!"

ඒ ඊට විරුද්ධ පසින් ඇසුණු කතාව යි.

ශ්‍රී ලංකාව සඳහා ජල ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ දරන ලද උත්සාහයන්ට විරෝධය පෑ විවිධ පාර්ශ්වයන් සිටි නමුත්, එම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පාර්ශවය විසින් මේ සියලු විරෝධතාවන් ගොනු කරන ලද්දේ "බොරු බිල්ලන්ගේ" ගොඩට ම ය. මෙම බිල්ලන්ගේ කඳවුර එක්තරා දේශපාලන පක්ෂයක අතකොලුවක් බව ද ප්‍රකාශ විනි. ඒ අන් කිසිවකුගේ නොව, වත්මන් රජයේ ද ප්‍රධාන පාර්ශ්වකරුවා මෙන් ම කඳු නාරටිය ද වන, ජනතා විමුක්ති පෙරමුණේ යි.

එසේ නම්, ඊනියා "බිල්ලන් මවන්නන්" දැන් බලයට පැමිණ තිබේ. එමෙන්ම, “බිල්ලන්ගෙන් තොර” ජල ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ වගකීම සහ අවස්ථාව දැන් ඔවුන්ට පැවරී තිබේ. ඒ ගරු අග්‍රාමාත්‍ය තුමිය විසින් 2025.06.23 දිනැතිව "ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම" මැයෙන් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති යෝජනාව අනුව ය.

එම අමාත්‍ය මණ්ඩල යෝජනාවෙහි සාරාංශය අනුව, “දැනට බලාත්මක ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” තවදුරටත් සංශෝධනය විය යුතු බව විවිධ පාර්ශ්ව විසින් ද පෙන්වා දී ඇත. ඒ අනුව, එම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර, වත්මන් රජයේ ප්‍රතිපත්තිය හා අනුගත වන අයුරින් එය සංශෝධනය කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස, කේ.ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, අනුර කරුණාතිලක, (ඉංජිනේරු) කුමාර ජයකොඩි සහ (වෛද්‍ය) දම්මික පටබැඳි යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. (පරිශීලනය: අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙහි නිල වෙබ් අඩවිය) දැන් වත්මන් ආණ්ඩුවට විකල්ප දෙකක් ඇත. කලින් ආණ්ඩු ඉදිරිපත් කළ ජල ප්‍රතිපත්තියේ ම කොපියක් ඉදිරිපත් කර, එහි බිය වීමට තරම් දෙයක් නොමති බව පැවසීම ඉන් පළමුවැන්න ය. එහෙත්, ජවිපෙට සිය හෘද සාක්ෂියට එකඟව එ සේ කළ නොහැකි ය. එකල තමන් දුටු බිල්ලන්ගේ සැබෑ ස්වරූපය රටට හෙළිදරව් කොට රටට ගැලපෙන, සාධනීය ජල සම්පත් ප්‍රතිපත්තියක් සකස් කර සම්මත කර ගැනීම දෙවැන්න ය. අප දකින ආකාරයට ආණ්ඩුවට ඇති සුදුසු ම විකල්පය එය ය.

දැන් මේ කැබිනට් තීරණය කියවන්නෙකුට තවත් ගැටළුවක් මතුවනු ඇත. ඒ, එහි සඳහන් “දැනට බලපවත්නා ජල ප්‍රතිපත්තිය” කුමක්ද යන්න යි. එසේ නම්, එය කවර කලෙක සිට බලපැවැත්වෙන්නක් ද? "විවිධ පාර්ශ්ව විසින්" පෙන්වා දී ඇති එහි සඳහන් සංශෝධනය විය යුතු කරුණු මොනවා ද? නොඑසේ නම්, එහි බිල්ලෝ සිටිත් ද?

විවේචකයන් පිරිසක් අතට යශ්ටිය ලැබී ඇති මේ මොහොත යනු, මේ ගැන සංවාදයක් ඇති කිරීමට සුදුසුම මොහොත බව අපි සිතමු. එසේ නම්, දශක ගණනාවක් මුළුල්ලේ වරින්-වර හිස ඔසවමින් ගිලී ගියේ "ඉතා අහිංසක" ජල ප්‍රතිපත්ති ලියවිල්ලක් ද? මේ ගැන සොයා බැලීමට වඩාත්ම සුදුසු ලේඛනය වන්නේ 2000 වර්ෂයේ දී වඩාත් ආන්දෝලනයකට තුඩු දෙමින් හඳුන්වා දෙන ලද, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සහ ආයතනික ව්‍යුහය (National Water Resources Policy and Institutional Arrangements) ලියවිල්ල යි. මෙම ලියවිල්ලෙහි සාරාංශයක් ඕනෑ ම අයෙකුට අන්තර්ජාලය භාවිතයෙන් සොයා ගත හැකි යි. මෙම ලේඛනය දෙස සැලකිල්ලෙන් බලන අයෙකුට පසක් වනු ඇත්තේ, මෙය ජල සම්පත සම්බන්ධයෙන් වන ලියවිල්ලකට වඩා “ජල හිමිකම (water rights) නම් අදහස මෙරට ස්ථාපනය කිරීමට ආයතනික ව්‍යුහයක් ඇති කරන්නේ කෙසේ ද යන්න සඳහන් ලියවිල්ලක් බව යි.

ජල හිමිකම් යනු නීතිමය හිමිවුමකි; සාමාන්‍යයෙන් රජය මගින් ප්‍රදානය කෙරෙන්කක් නැතහොත් නීතිය මගින් නීර්ණය කෙරෙන්නකි. එ මගින් තනි පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට, කිසියම් ඵලදායී භාවිතයක් උදෙසා, කිසියම් ජල මූලාශ්‍රයකින්, නිශ්චිත ප්‍රමාණයක් ජලය ලබා ගැනීමට, හැරවීමට නීතිමය අයිතියක් ලබා දේ. සාමාන්‍යයෙන් නීතිය ඉදිරියේ මෙය සැලකෙන්නේ දේපල හිමිකමකට සමාන ලෙස වන අතර, මෙම සංකල්පය ක්‍රියාත්මක රටවල යම් කිසිවෙකු සතු ජල හිමිකම, තවත් පාර්ශවයක් වෙත විකිනීම, පැවරීම, උගස් කිරීම යනාදී කාර්‍යයන් සිදු කළ හැකි ය. මෙය ඇතැමුන්ට විහිලුවක් ලෙස වුව ද පෙනී යා හැක්කේ, මීට අදාළ නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ දැනට දක්නට නොමැති වීම නිසා ය. දැනට නීතියක් නොමති වීම හේතුකොට ගෙන ම, මුලදී ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා මෙම සංකල්පය ක්‍රියාත්මයක කිරීමට නම්, පාර්ලිමේන්තු පනතක් මගින් එය නීති පද්ධතිය තුළට ගෙන ආ යුතු ය. ඉතිහාසයේ සෑම විට ම, ජල සම්පත් ප්‍රතිපත්තියට පසුව, ජල සම්පත් පනතක් ගැන ද කියවෙන්නේ මේ නිසා ය. 2000 වර්ෂයේ ගෙන එන ලද, ජල ප්‍රතිපත්තියෙහි මීලඟ වැදගත් ම කොටස වූයේ එමගින් යෝජිත ආයතනික ව්‍යුහය යි. මෙම ආයතනික ව්‍යුහය අවශ්‍ය වන්නේ ජල හිමිකම් පරිපාලනය කිරීම සඳහා ය. සාමාන්‍යයෙන් ඉඩම් පරිපාලන කටයුතු ඉඩම් රෙජිස්‍ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නේ යම් සේ ද, ජල හිමිකම් පරිපාලනය සඳහා ජල සම්පත් අධිකාරියක් (National Water Resources Authority) මෙමගින් යෝජනා කර ඇත. මෙම අධිකාරියෙහි තීරණ ගැනීමේ කටයුතු සඳහා ජල සම්පත් සභාවක් (National Water Resources Council) ද යෝජනා කර ඇත. යෝජිත ආයතිනික ව්‍යුහයන් අතරින් වඩාත් ම වැදගත් වනුයේ ජල හිමිකම් සම්බන්ධයෙන් ඇති විය හැකි ආරවුල්, නඩු-හබ ආදිය විසඳීම සඳහා යෝජිත ජල සම්පත්

අධිකරණය (Water Resources Tribunal) යි. (ජලයට ඉඩම්වලට හා සමාන අයිතියක් ලබා දෙන්නේ නම් අනාගතයේ ඉඩම් නඩු මෙන් ම, වතුර නඩු ද ඇති වනු ඇත.)

මෙම අතීතය හාරා ඇවිස්සීම මගින් බලාපොරොත්තු වූයේ, මෙතෙක් වරින් වර ජල ප්‍රතිපත්ති නමින් කරලියට ආවේ බිල්ලෙක් ද නැතහොත් විසිතුරු සමනලයෙක් ද යන්න තීරණය කිරීමට පාඨකයාට ම අවස්ථාවක් ලබා දීමට ය.

ඉදිරියේ දී, උක්ත අමාත්‍ය මණ්ඩල අනු-කමිටුව, මහජනයා සමග සංවාදයකින් යුතුව, දැඩි විනිවිද බාවයකින්, අපේ රටේ ජල ප්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය ලෙස නැවත නැවත මතුවන්නක කොපියක් මෙවර නම් අපි බලාපොරොත්තු නොවෙමු!.

- නාරද බලගොල්ල -
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

මහාවංසයේ සිට ගමනක අග දක්වා

කතෘ:යුතුකම     11/30/2025   No comments

නමසිය පනස් ගණන් වල දී සාහිත්‍යකරණයට පිවිසි ගුණදාස අමරසේකර ශූරීන් මුල් කාලයේ දී තත්කාලීන දේශපාලන සමාජ ආර්ථික යථාර්ථය සමඟ බද්ධ නොවූ නිර්මාණකරණයක නිරත ව සිටියේ ය.

පනහ හැට දශකයේ අමරසේකර මහතාගේ නවකතා හා කෙටිකතා හුදකලා නිර්මාණ වුව ද, ඒ කාලය වන විටත් එතුමා ජාතිකත්වයට නැඹුරු වූ දේශපාලන ව්‍යාපාර සමඟ ක්‍රියාකාරී වශයෙන් සම්බන්ධ වී ඊට දායකත්වය සපයමින් සිටියේ ය. එම මැදිහත්වීම එතුමාගේ මුල් කාලීන නිර්මාණ තුලින් පිළිබිඹු නොවූයේ පේරාදෙණිය ගුරුකුලයේ බලපෑම නිසා විය යුතු යි.

හැත්තෑව දශකයේ අමරසේකර මහතාගේ සාහිත්‍ය නිර්මාණ තුල දක්නට ලැබුනු සාධනීය වෙනසට බලපෑ සාධක වශයෙන්, 1971 දී මෙරට උගත් ගැමි තරුණයින් ආයුධ අතට ගැනීම එතුමා තුල ඇතිකළ කම්පනයත්, ඒ වන විටත් ඔහු පේරාදෙණිය ගුරුකුලයේ බලපෑමෙන් මිදී සිටීමත් සැලකිය හැකි ය. එමෙන් ම සෑම සාහිත්‍ය නිර්මාණයක් ම ඉතිහාස කාල පරාසයක් නිරූපණය කරන්නක් ලෙසින් සැලකූ ග්‍රැහැම් හෆ්ගේ සාහිත්‍ය විචාරය ඔහුගේ අවධානයට ලක් වීමත් මේ වෙනසට බලපෑවේ ය.

හැත්තෑව දශකයේ දී එළි දක්වන ලද ‘එක්ටැමෙන් පොළොවට’ හා ‘කතා පහක්’ යන කෙටිකතා සංග්‍රහ මෙන් ම ‘අසත්‍ය කතාවක්’ හා ‘ප්‍රේමයේ සත්‍ය කතාවක්’ යන කෙටි නවකතා දෙක ද මේ ප්‍රවණතාව නිරූපණය කරයි.

කෙටිකතා කලාවට ආවේණික වූ ඇතැම් සම්ප්‍රදායානුකූල සිද්ධාන්තයන් පිළිබඳ ව එතරම් සැලකිලිමත් නොවී ඔහුට ම ආවේණික වූ නව කෙටිකතා ආකෘතියක් ගොඩනගා ගැනීමට මේ වන විට අමරසේකර මහතා සමත් ව සිටියේ ය.

ගල් පිළිමය හා බොල් පිළිමය, මරණ මංචකයේ දුටු සිහිනය, විල්තෙර මරණය, කියනු මැන දිවි අරුත වැනි පසු කාලීන කෙටිකතා සංග්‍රහයන් තුලින් ඔහු අප අත්විඳිමින් සිටි සංකීර්ණ දේශපාලන සමාජ යථාර්ථය පිළිබිඹු කොට දැක්වී ය.

අවාසනාවකට මෙන් අමරසේකර මහතාගේ බැරෑරුම් වූ ද සාර්ථක වූ ද නිර්මාණයන් එළි දැක්වෙන්නේ මෙරට සාහිත්‍ය පිළිබඳ ව හරවත් විචාරයක් නොපැවති සමයක ය. එවන් වාතාවරණයක සාහිත්‍ය හා දේශපාලනය සම්බන්ධයෙන් ඔහුගේ ම සාහිත්‍ය නිර්මාණ වලට සාපේක්ෂව සංවාදයක් ගොඩනගා ගැනීම ද ඔහුට ම කරන්නට සිදු විය. මෙහි ප්‍රතිථලයක් වශයෙනි අබුද්දස්ස යුගයක්, අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද, ගණඳුරු මැදියම දකිනෙමි අරුනලු, සිංහල කාව්‍ය සම්ප්‍රදාය, සභ්‍යත්ව රාජ්‍යයක් කරා, අමතක වූ උරුමය ආදී නිබන්ධයන් ඔහු අතින් බිහි වන්නේ.

යටත් විජිත සමයෙන් පසුව මෙරට විද්වතෙකු අතින් බිහි වූ ප්‍රථම මෙන් ම එකම දේශපාලන සමාජ සංස්කෘතික දර්ශනය ලෙසින් ගිණිය හැකි ජාතික චින්තන මතවාදය බිහි වූයේ මෙම අඛණ්ඩ සංවාදය තුලිනි.පසු කලක දී අමරසේකර මහතා විසින් ම ජාතික චින්තනය යන්න අර්ථ දක්වන ලද්දේ සවිඥානිකත්වයට පත් කරන ලද සභ්‍යත්ව විඥානය ලෙසිනි.

ඇතැම් බටහිර සාහිත්‍ය විචාර ගුරුකුල සාහිත්‍යය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධය එතරම් සැලකිල්ලට නොගත්ත ද අමරසේකර මහතා සිය පසුකාලීන නිර්මාණ තුලින් සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති අවියෝජනීය සම්බන්ධය නිරන්තරයෙන් ම විදහා දැක්වී ය. ඉතිහාසය හා සාහිත්‍ය අතර ඇති මේ සම්බන්ධතාවය හොඳින්ම මතුකර පෙන්වන්නේ ඔහුගේ කොටස් නමයකින් සමන්විත ගමනක මුල සිට ගමනක අග දක්වා දිග හැරෙන දීර්ඝ නවකතාවයි. මේ කතාව කීමේ දී ඔහු තෝරා ගන්නා පාත්‍ර වර්ගයා වන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබමින් ගමින් නගරයට සංක්‍රමණය වන ඔහුද අයත් වන සිංහල බෞද්ධ මැද පන්තිය යි.

සාහිත්‍ය හා ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව වැදගත් කොට සැලකූ ගී ඩිබෝර් නැමති සාහිත්‍ය විචාරකයාට අනුව, “ඉතිහාසයේ ක්ෂේත්‍රය ස්මරණීය එකකි. එය සිද්ධීන්ගේ සමස්තතාව හා ඒවායේ ප්‍රතිඵල දීර්ඝ කාලීන ව දැක ගැනීමට මඟ සලසන්නකි. මේ අනුව ඉතිහාසය යනු පසු ව සිදුවන ක්‍රියාවලිය වටහා ගැනීමට අවශ්‍ය ඥානය සපයන්නකි. ඉතිහාසය මැකී යෑමත් සමඟ වර්තමානයට පමණක් සීමා වූ ජනමාධ්‍ය මඟින් ප්‍රසාරණය කරනු ලබන මනෝ රූපවල බලපෑමට අපි නතුවන්නෙමු…” ( උපුටා ගැනීම: නිහඬ නිම්වළල්ල - විමල් දිසානායක)

අප අමතක නොකළ යුතු වැදගත් කාරණය නම් සාහිත්‍ය මෙන් ම ඉතිහාසය ද මිනිසාගේ ම නිර්මාණයන් බව ය. එමෙන් සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ අවධානය යොමු විය යුත්තේ කෙටි කාලීන සමාජ විපර්යාසයන්ට වඩා දිගු කාලීන සමාජ විපර්යාසයන් කෙරෙහි බවට ද විද්වතුන් අතර මතයක් පවතී. මෙය වැදගත් වන්නේ ඉහත උපුටා ගැනීමේ සඳහන් කළ අයුරින් ම අතීත දිගු කාලීන ඉතිහාසය මැකී යාමත් සමඟ ය අප ‘වර්තමානයට පමණක් සීමා වූ ජන මාධ්‍ය මඟින් ප්‍රසාරණය කරනු ලබන මනෝරූප වල බලපෑමට නතු වන්නෝ’

මේ අද අප මුහුණ පා සිටින දේශපාලනමය සමාජමය හා සංස්කෘතික ඛේදවාචකය යි. අප වෙලා සිටින මේ ව්‍යසනයෙන් ගැලවීමට නම් අප අතර ඉතිහාසය ගැඹුරෙන් සාකච්ඡා වන සාහිත්‍ය නිර්මාණ බිහි විය යුතු ය. මේ අඩුව පිරිමැසීමට ය තුන්කල් නුවණින් යුතු සාහිත්‍යධරයකු වූ අමරසේකර මහතා ගමනක මුල නවකතා පෙළ නිර්මාණය කරන්නට ඇත්තේ.

ගමනක මුල ආරම්භ වන්නේ නමසිය තිස් ගණන් වල දිනක රාත්‍රී කාලයේ දී මෙහි කතා නායකයා වන පියදාස සිය මවුපියන් වන ඉස්කෝලෙ හාමිනේ හා වෙද මහත්තයා ද සමඟ බක්කි කරත්තයෙන්, වෙද මහතා ගායනා කරන සැලළිහිණියේ කවි වලට සවන් දෙමින් පාසැල් නිවාඩු කාලය ගත කිරීම සඳහා යටලමත්තේ සිට හම්මෑලිය දක්වා යන ගමනෙනි.

ගමනක මුලින් ඇරඹෙන මේ ගමනට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ මහාවංසයේ සිට සැලළිහිණිය දක්වා දිග හැරෙන දීර්ඝ සභ්‍යත්ව ප්‍රවාහයක ඉතිහාස කතාවයි. කෝට්ටේ යුගයේ සිට නිරන්තරයෙන් ම කුරිරු සංස්කෘතික ආක්‍රමණයන්ට මුහුණ දෙමින්, විනාශ වෙන්නට ඉඩ නොදී රැකගෙන ආ සභ්‍යත්ව විඥානයේ නූතන යුගයයි අමරසේකර මහතා ගමනක මුල- ගමනක අග නවකතා මාලාවෙන් ඉදිරිපත් කරන්නේ.

මේ අමරසේකර මහතා මෙරට සිංහල බෞද්ධයින්ට නැවත නැවතත් සිය අධ්‍යාත්මය තුලට එබී බැලීමටත්, එ තුලින් ම අප පෙළන අතෝරයට විසඳුම් සොයා ගැනීමටත් කරන ආරාධනය යි. තමා කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට උනන්දුවක් දක්වන සෑම සිංහලයෙකු ම මේ නවකතාව කියවිය යුතු යැ යි මම යෝජනා කරමි.

‘බලනු තම හද තුල
පිළිතුර තිබේ ඒ තුල’
(‘අසක්දා කව ආඛ්‍යාන කාව්‍ය).

- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි 
- විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය

යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions