8/31/2014

අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන

කතෘ:යුතුකම     8/31/2014   1 comment
ආචාර්‍ය්ය ගුණදාස අමරසේකරයන් විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ යන කෘතියේ තෙවන මුද්‍රණය සහ ‘ජාතිකත්ව සංකථන’ කෘතිය  එළිදැක්වීමේ උළෙල පසුගියදා කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේදී  මුළු දුනි. අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමි ඇතුළු ගිහි පැවිදි විද්වත්හු විශාල පිරිසක් එක්ව සිටි  මෙම විද්වත් කතිකාව ‘ධර්මපාල පරපුර’ සංවිධානය කර තිබිණ. එහිදී "ජාතියේ ඉදිරි ගමන් මග සහ ධර්මපාල චින්තනය" යන මැයෙන් මහාචාර්ය අසංග තිලකරත්න  මහතා සිදුකල මුඛ්‍ය දේශනය පහත දැක්වේ..

2014 සැප්තෑම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය අබියස සිටිමින් අද දින පවත්වනු ලබන මෙම රැස්වීමේ ආසන්නම හේතුව වන්නේ ගුණදාස අමරසේකර මහතා විසින් 1980 වර්ෂයේ මුලින් ම ප‍්‍රකාශයට පත්කරන ලද "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" නැමැති කෘතියෙහි තුන්වන මුද්‍රණය විසිදුනු ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීමත් , ඔවුන් විසින්ම සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය විසින් අමරසේකර මහතා සමඟ ජාතිකත්වය පිළිබඳව පවත්වන ලද සාකච්ඡා ඇතුළත්ජාතිකත්ව සංකථන: ජාතිකත්වය පිළිබඳ තුලනාත්මක විග‍්‍රහයක් නම් කෘතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමත්ය. ධර්මපාල තුමාගේ ජීවිතය පිළිබඳ අනුස්මරණීය අවස්ථාවක මෙම කෘති දෙක – එකක් නැවත පළ කිරීම හා අනික් කෘතිය පළමුවරට පළ කිරීම තුළින් ධර්මපාල තුමා පෙනී සිටි, එතුමා ජීවිතය කැප කළ වැදගත් පැතිකඩක් දෙස නැවත අවධානය යොමු කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරෙන බව පැහැදිලි කරුණකි. ධර්මපාල තුමාගේ චින්තනය හා ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විදර්ශනාවක යෙදීම සඳහා උචිත අවස්ථාවක මේ මොහොතේ අප සිටිනා බවට, එතුමාගේ ජන්ම සංවත්සර අවස්ථාවට පරිබාහිරව, කරුණු කරුණු තුනක් මා දකිනවා.
1.ගුණදාස අමරසේකර මහතාද සඳහන් කරන පරිදි වර්තමාන රජය, ධර්මපාලතුමාගේ ජාතික හා දේශපාලන චින්තනයේ ප‍්‍රතිඵලයක් ලෙස බලයට පත් වු එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන පක්ෂ එකමුතුවක් විසින් පිහිටුවන ලද්දක් වීම හා එමඟින් මෙම රජය ධර්මපාල තුමා කෙරෙහි ඇති දුර ණයගැතිභාවය.
2.පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙන ලද නිදහස් වෙළඳ ආර්ථික ක‍්‍රමයෙහි බහුල වු අමනෝඥ ප‍්‍රතිඵල අත්විදින ජනතාවක් ලෙස අපට සුදුසු ආර්ථික හා සමාජ දර්ශනය හා භාවිතය කවරක් ද යන ප‍්‍රශ්නය අද වන විට වඩාත් ප‍්‍රබල ලෙස දැනෙමින් තිබීම.
3.අන්තර්ආගමික සම්බන්ධතා, ආගමික සහ පැවැත්ම හා යහ පැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික ස්ථාවරය හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලාත්මක අවස්ථාවක අප පසුවීම.
මෙම කරුණු තුනට අදාල වන ජාතිකත්වය හා දේශපාලන චින්තනය, ආර්ථික චින්තනය හා ආගමිකත්වය හෙවත් බුදුදහම සහ භික්ෂූන්වහන්සේ ධර්මපාල තුමාගේ ක‍්‍රියාකාරීත්වයේ ඉතා මුලික අංග වු බව නිසැකය.මෙම අංග සමෝධානය කරමින් "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යන කෘතිය රචනා කළ ගුණදාස අමරසේකර මහතා අප සමාජයේ සිටින අතලොස්සක් සමාජ විචාරකයන් හා චින්තකයන් අතර ප‍්‍රධාන කෙනෙකි. අපගේ සමාජය පිළිබඳ විශලේෂණයක් මෙන් ම අපගේ අනාගතය පිළිබඳ දර්ශනයක් ද එතුමාට හිමි බව මේ කෘතියෙන් මෙන් ම පසුගිය කාලය තුළ ප‍්‍රකාශයට පත් කළ සාහිත්‍ය හා විචාර කෘතිවලින් ද එතුමා පෙන්වා දී තිබෙනවා. තමා ද අයිතිවන සමාජය පිළිබඳව එතුමා කරන විචාරයත්, එම සමාජයට උචිත දේශපාලන ආර්ථික දර්ශනය ලෙස එතුමා ඉදිරිපත් කරන කරුණුත් කියවා බලන විට මගේ සිහියට නැගෙන්නේ යුරෝපීය සමාජය පිළිබඳව විග‍්‍රහ කරමින් පසුගිය සියවසෙහි මධ්‍ය භාගයේ දී "Escape from Freedom" වැනි කෘති ලියු Erich Fromm නමැති ප්‍රොයිඩියානු මනෝවිද්‍යාඥයා හා මාක්ස්වාදී දාර්ශනිකයා යි. බටහිර ධනවාදය මෙන් ම රුසියානු සමාජවාදය ද ප්‍රතික්ෂේප කළ ප්‍රොම් ප‍්‍රජාතාන්ත‍්‍රික මානවවාදී සමාජවාදයක් යෝජනා කළා මෙන් අමරසේකර මහතා ද මානවවාදී බෞද්ධ ආර්ථිකයක් හා පාලන තන්ත‍්‍රයක් යෝජනා කරනු පෙනේ. අමරසේකර මහතා අනගාරික ධර්මපාල තුමාගේ අදහස් ආශ‍්‍රයෙන් ඉදිරිපත් කරන මෙම ක‍්‍රියාදාමය පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. මෙම සාකච්ඡවෙහි ඉතිරි කොටසේ දී අනගාරික ධර්මපාල චින්තනය පිළිබඳ අමරසේකර මහතාගේ අර්ථකථනය සැලකිල්ලට ගනිම්න් ජාතිකත්වය, ආගමිකත්වය, දේශපාලනය හා ආර්ථිකය වැනි කරුණු පිළිබඳ අදහස් කීපයක් පළ කිරීමට බලාපෙරොත්තු වෙමි.

අමරසේකර මහතා 1980 පළ කළ "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යන කෘතියෙන් ප‍්‍රකාශ කරන්නේ ධර්මපාල තුමා මාක්ස්වාදීයෙකු නොවු බවත්, එතුමාට මාක්ස්වාදියෙකු වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක සුවිශද භාවය නො තිබු බවත් ය. මෙසේ කීම මඟින් අමරසේකර මහතා බලාපොරොත්තු වුයේ එතෙක් ධර්මපාල තුමා පිළිබඳව තිබු කියවීම් දෙකක් ප‍්‍රතිෙඏප කිරීමටය:
1.ධර්මපාල තුමා ජාතික හා ආගමික උන්මාදයෙන් පෙළුණු අන්තවාදියෙක් ලෙස.
2.අවසාන විග‍්‍රහයේදී ධර්මපාල යනු හුදෙක් තමා අයත් ජාතික ධනේෂ්වර පංතියට සේවය කළ පංති නියෝජයෙකු පමණක් ලෙස.
මෙම කියවීම් ප්‍රතික්ෂේප කරන අතර, එම කෘතියෙන් අපේක්ෂිත කරුණු දෙකක් අමරසේකර මහතා දක්වයි.
1.1956 දී එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාට බලය ලැබීම හේතු වුයේ ධර්මපාල තුමා විසින් ආරම්භකරන ලද ජාතික චින්තන ව්‍යාපාරය බව තහවුරු කිරීම.
2.ධර්මපාල තුමා විසින් ප‍්‍රභාවිත ජාතික චින්තනය හා මාක්ස්වාදය අතර සහවාසයක් ඇති කිරීම.
ආචාර්‍ය්ය ගුණදාස අමරසේකර
මෙම පරමාර්ථ දෙක පිළිිබඳව දැන් කරුණු දක්වන අමරසේකර මහතාගේ අදහස පරිදි, ධර්මපාල තුමාගේ ජාතික චින්තන කාර්යය තවදුරටත් පෝෂණය කිරීමේ කාර්යය සඳහා අවස්ථාව තවමත් තිබෙනව වගේ ම එය ජාතික අවශ්‍යතාවයක් ද වෙනවා. එහෙත් දෙවැන්න, මාක්ස්වාදය හා ධර්මපාල චින්තනය අතර සහවාසය කළ නොහැක්කක්. මේ බව අමරසේකර මහතා නව සංස්කරණයට එක් කොට ඇති “ධර්මපාල තුමා හා මාක්ස්වාදය” නම් නව ඇමිණුමෙහි දීර්ඝව පැහැදිලි කරයි. (අප සමාජයේ සාමාන්‍යයෙන් නොදැකිය හැකි දුබල ගුණයක් ප‍්‍රකට කරමින් අමරසේකර මහතා මෙහි දී තම අර්ථකථනයෙහි සවරද තැන් පිළිගනිමින් පෙන්වා දෙනව).
මාක්ස්වාදය හා ධර්මපාල චින්තනය අතර සහවාසයට ඉඩක් නොමැති බවට අමරසේකර මහතා මෑතක දී සිතන්නේ බෞද්ධ දේශපාලන දර්ශනයෙහි ඇති මුලික වශයෙන් දඬුවම සඳහා වු හිංසනය හා මාක්සවාදයෙහි පද්ධතිය තුළම කා වැදී ඇති හිංසනයත් අතර වෙනසක් ඇති බැවින්. තවත් ලෙසකින් කියතොත්, බෞද්ධ දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙහි දක්නට ඇති හිංසනය දේශපාලනය තුළ අත්‍යවශ්‍ය අංගයකි. එහෙත් මාක්ස්වාදය තුළ ඇති හිංසනය එම චින්තනයෙහි අභ්‍යන්තර අංගයකි.
අමරසේක මහතා මාක්ස්වාදය පිළිබඳව ඉදිරිපත් කරන මෙම විග‍්‍රහය කොතෙක් දුරට නිවැරදිද යනු දීර්ඝව සාකච්ඡා කළ යුත්තකි. එහෙත් ධර්මපාල ප‍්‍රභාවිත බෞද්ධ චින්තනය හා මාක්සවාදී චින්තනය අතර මෙම වෙනසට වඩා දාර්ශනිකව ප‍්‍රබල වෙනස්කම් ඇති බව මගේ හැඟීමයි. නිදසුනක් ලෙස මාක්ස්වාදී හා නියතිවාදී ලෝක විග‍්‍රහය හා භෞතිකවාදී හෝ විඥානවාදී නොවන බෞද්ධ විග‍්‍රහය අතර දක්නට ඇති වෙනස පෙන්වා දිය හැකිය. අනිත් අතට, හිංසනය තුළින් නොව ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රියාදාම මගින් සමාජවාදය ක‍්‍රියාත්මක කිරීම සඳහා මෑත ඉතිහාසයෙහි දරන ලද ඇතැම් ප‍්‍රයත්න මේ ස්ථාවරයට අභියෝගකාරීය. නිදසුන් ලෙස 1948 සිට 1962 තෙක් අවස්ථා තුනකදී බුරුමයේ අගමැති තනතුර දැරූ ඌ නුගේ බෞද්ධ සමාජවාදයත්, චිලී රටෙහි සැල්වදෝර් අයියන්ඬේගේ ඡන්දයෙන් පත් වු මාක්ස්වාදී රජයත් (1970-73) අපගේ ම රටෙහි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රජයනුත් මතකයට නැගේ. මෙම අත්හදාබැලීම් අසාර්ථක වු සේ පිළිගැනෙන අතර, එසේ වුයේ හුදෙක් හිංසනයෙන් තොරවීමේ හේතුවන් ද යනු විග‍්‍රහ කිරීමට මෙහි දී ඉඩක් නැත.
මේ කරුණ සම්බන්ධයෙන් මගේ අදහස වනුයේ, ධර්මපාල තුමා මාක්ස්වාදියෙකු නොවු බව පවසන අමරසේකර මහතා සමග මා එකඟ වෙතත්, ධර්මපාලතුමා හට මාක්ස්වාදියෙකු වීමෙහිලා බෞද්ධ චින්තනය හා විසංවාදයක් නැති බවයි.
ධර්මපාලතුමාගේ ජාතික දේශපාලන ක‍්‍රියාවලිය තුළ ප‍්‍රධාන පියවර දෙකක් වු බව අමරසේකර මහතා කියයි.
1.විජාතික පරාධීන අනුකාරක මානසිකත්වයෙන් සිංහල ජනතාව මුදාගැනීම සඳහා වු ජාතික විමුක්ති අරගලය.
2.සමාජවාදීි උත්තර සමාජයක් බිහිකිරීම සඳහා වු දේශපාලන – ආර්ථික අරගලය.
අමරසේකර මහතා දක්වන පරිදි මෙම කරුණු දෙක ම එම සංදර්භය තුළ අසාර්ථක විය. දේශපාලන නිදහස ලැබුණු නමුදු එය හුදෙක් ශරීර වර්ණයෙන් පමණක් ස්වදේශික වු පිරිසකට ලැබුණක් විය. නිදහස් වු ලංකාව තුළ එයට උචිත ආර්ථික හෝ දේශපාලන හෝ චින්තනයක් ක‍්‍රියාත්මක නොවිණි.
ජාතිකත්වය, නුතනත්වය හා බෞද්ධත්වය ධර්මපාල චින්තනයෙහි ප‍්‍රධාන අංග වු අතර, එතුමාගේ අභිලාෂය වුයේ එම අංග සංකලනය වු ප‍්‍රබල සමාජයක් බිහි කිරීමයි. එහෙත් ජාතිකත්වය හා බෞද්ධත්වය, පුළුල් අර්ථයකින් ගතහොත් සංස්කෘතිය, බැහැර කරන ලද අතර, නුතනත්වය පදනම් කොට ගත් ආර්ථික හා සමාජ දර්ශනයක් ද පාලක පංතිය තුළ දක්නට නොලැබිණි. මෙහි ලා අප විසින් සලකා බැලිය යුතු වැදගත් ප‍්‍රශ්නය වනුයේ ධර්මපාල තුමාගේ ආර්ථික- දේශපාලන දර්ශනය කොතරම් දුරට 21වන සියවසෙහි අනාගත ශ‍්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා උපයෝගී කොට ගත හැකි ද යන්නයි. එතුමාගේ ආර්ථික චින්තනයෙහි කැපී පෙනෙන කරුණු දෙකක් වුයේ,
1.සෑම දෙනාටම කුඩා ඉඩමක් හිමි, ස්වාධීන ආර්ථික මාර්ගයකින් යුත් ග‍්‍රාමීය ආර්ථිකය අනුමත කිරීම
2.විද්‍යාත්මක ඥානය හා කාර්මිකත්වය ආර්ථිකයෙහි ඉතා වැදගත් අංග ලෙස පිළිගැනීම
යන කරුණුයි. මෙහිලා ධර්මපාල ප‍්‍රායෝගිකත්වය අවධාරණය කළ අමෙරිකානු අධ්‍යාපනයත්, කාර්මිකත්වයෙන් යුත් ජපන් සමාජයත් අගය කළ බව පැහැදිලිය.
මෙම කරුණු දෙකෙහි, ග‍්‍රාමීය ආර්ථිකයෙහි හා කාර්මීකකරණයෙහි, සංකලනය අවධාරණය කිරීම තුළින් හෙළිවන පරිදි ධර්මපාල තුමා හුදු අතීතාභිවාදකයෙකු පමණක් නොවීය. එහෙත්, මෙම අංග දෙක එකිනෙක හා සංකලනය කළ හැකිකේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රමාණවත් විස්තරයක් එතුමා හෝ අමරසේකර මහතා හෝ සපයා ඇති බවක් දක්නට නැත.
අභියෝගය වනුයේ ගෝලීයකරණය වු ලෝකයක ධර්මපාල ප‍්‍රභාවිත බෞද්ධ ආර්ථික- දේශපාලන දර්ශනය සඳහා ඇති අවකාශය සොයා ගැනීමය. මෙහිදි මුලින් ම පැහැදිලි කර ගත යුතු කරුණක් නම් බෞද්ධ දේශපාලන හෝ ආර්ථික පද්ධතියක් නැති බවත්, ඇත්තේ දර්ශනයක් හෙවත් පුළුල් මාර්ගොපදේශක සමූහයක් පමණක් බවත්ය.ඊ.එෆ්. ෂූමාකර්  Small is Beautiful නම් වු සුප‍්‍රකට කෘතිය මගින් “බෞද්ධ ආර්ථික විද්‍යාව”(Buddhist Economics) යන සංකල්පය ඉදිරිපත් කළත් එය පූර්ණ බෞද්ධ ආර්ථික විද්‍යාවක් ලෙස ඉදිරිපත් කොට ඇතැයි කිව නොහැක. එහිලා අදාළ කර ගත හැකි මූලික සංකල්ප, ඉගැන්වීම් හා සම්ප‍්‍රදාය ඉදිරිපත් කොට ඇත. කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා වූ එච්. එන්. එස්. කරුණාතිලක මහතා "This confused Society (1970) නම් කෘතියෙන් මෙම සංකල්පය තව දුරටත් බෞද්ධ චින්තනය හා සම්බන්ධ කොට ඇත. පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම මත කේ. එන් ජයතිලක වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් කරන ලද සාකච්ජා මාලාවක ඵලයක් වූ මෙම කෘතිය ෂූමාකර්ගේ කෘතිය හා සමාන ප‍්‍රසිද්ධියක් නොලැබුන ද අගනා කාලීන ප‍්‍රයත්නයක් විය.
මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි.
ප‍්‍රැන්සිස් පුකුයාමා (Francis Fukuyama)ගේ ඉතිහාසයේ අන්තය සේ දැක්වෙන විශ්ව ව්‍යාප්ත නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රතිචාරයක් වන සැමුවෙල් හන්ටින්ටන් (Samuel Huntington) ගේ සභ්‍යත්ව ගැටුම ගැන (Clash of Civilizations) අමරසේකර මහතා සඳහන් කරයි. ධනවාදය ලෝක ආර්ථික දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙහි අන්තය විය නොහැකිය යන අමරසේකර මහතාගේ මතය හා මම එකඟ වෙමි. එහෙත් බෞද්ධ චක‍්‍රවර්ති රාජ්‍ය සංකල්පය යථාර්ථයක් වේ නම් ඉන් හෙළිවනුයේ ධාර්මික වූ විශ්ව රාජ්‍යයක උදාවීම නොවේද? චක‍්‍රවර්ති රජු තම අනුගාමී රජවරුනට දෙන අවවාදය වනුයේ යථාභුච්චං භුඤජථ මෙතෙක් අනුභව කරන ලද පරිදි අනුභව කරන්න- යන්නයි. ඉන් ගම්‍ය වනුයේ පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර පවත්නා පද්ධතිය තුළට ධාර්මිකත්වය එක් කළ යුතු බවයි. ලෝකය ඒකාත්මික මතවාදයකට පැමිණීමේ ඉඩ අප විසින් ප‍්‍රාගනුභූතව (priori) බැහැර කළ යුතු නැත. මෙහිලා ආසන්නතම නිදසුනක් නම්, ධර්මපාල තුමා ද සහභාගී වූ 1887 චිකාගෝ නුවර පැවති ලෝක ආගම් සම්මේලයෙහි (Parliament of World Religions) ශත සංවත්සරය වෙනුවෙන් 1997 හි දී පැවැත්වු දෙවන චිකාගෝ සම්මේලනයෙහිදී සදාචාරය පිළිබද විශ්ව ප‍්‍රකාශනයක් (Universal Declaration of Ethics) සියලූ ආගමිකයන් විසින් ඒකමතිකව අනුමත කර ගනු ලැබීමයි. මෙය එබදු සමරූපී අනාගතයකට ඉඟි කරන්නක් නොවේද? බෞද්ධ චින්තනය උපයෝගී කොට ගනිමින් ආර්ථික, සාමාජික, ප‍්‍රශ්නවලට විසදුම් සෙවීමට ශ‍්‍රී ලංකාව තවමත් සූදානම් බවක් නොපෙනෙතත්, ලෝකයේ සාම්ප‍්‍රදායිකව බෞද්ධ නොවන සමාජ මෙහිලා අත්හදා බැලීම් කරන බව සඳහන් කළ යුතුය.
අවශාන වශයෙන්, ධර්මපාල චින්තතනය පිළිබඳව කරන සාකච්ජාවක්, එතුමා භික්ෂුවහන්සේ හා උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳව දැක්වූ අදහස් පිළිබඳ විමසීමකින් තොරව සම්පූර්ණ විය නොහැකිය. එතුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල වැනි ශ්‍රෙෂ්ඨ හිමිවරුන් ඉතා සමීපව ආශ‍්‍රය කළ අතර, උන්වහන්සේලාගේ ආශිර්වාදය මෙන්ම මඟ පෙන්වීම ද ලැබීය. එහෙත්, ඒ සමගම පොදුවේ භික්ෂුන්වහන්සේ තුළ පැවති අකාර්යශීලිත්වය, නුගත්කම, අතිසාම්ප‍්‍රදායිකත්වය වැනි බොහෝ කරුනු ඉතා දැඩි සේ විවේචනයට ද ලක් කළේය. එසේ කළේ එතුමාගේ අනාගත දර්ශනය ක‍්‍රියාත්මක කිරීමෙහි ලා භික්ෂූන්වහන්සේගේ නායකත්වය හා සහභාගීත්වය අත්‍යවශ්‍ය සේ එතුමා දුටු බැවිනි.
The work of Kings නම් කෘතිය ලියූ එච්. එල්.සෙනවිරත්න නම් විචාරකයා සඳහන් කරන පරිදි ධර්මපාලතුමාගේ ආර්ථික හා සාමාජික පුනරුදය පිළිබද කාර්යයට විද්‍යොදය භික්ෂූන් උරදුන් අතර, එතුමාගේ මතවාදී හා සංස්කෘතික පුනරුදය විද්‍යාලංකාර භික්ෂූහු භාර ගත්හ. ධර්මපාලතුමාගේ ශ‍්‍රී ලාංකික ක‍්‍රියාකාරීත්වය විෂයෙහි භික්ෂූ කාර්යභාරය කෙතරම් වැදගත් වී ද යනු මින් පැහැදිලි වේ.
මෙහිලා අපට වර්තමානයේ ඇති ගැටලූව වන්නේ නූතන භික්ෂූන් වහන්සේගේ ජාතික, ආගමික හා සාමාජික ක‍්‍රියාකාරීත්වය කෙරෙහි ධර්මපාල චින්තනය අදාල වන්නේද යනුයි. නැතහොත් එම ක‍්‍රියාකාරීත්වය ධර්මපාල චින්තනයට කොතෙක් දුරට අනුගත වන්නේ ද යනුයි. ප‍්‍රබල ක‍්‍රිස්තියානි ආගමික අභියෝගයක් තිබූ යටත් විජිත යුගයෙහි භික්ෂූන්වහන්සේ එයට මුහුණ දුුන් අයුරු පිළිබඳ කතාන්දරය පානදුරාවාදය ඇතුලූ වාදවල කතාන්දරය වේ. ධර්මපාල කෙනෙකු නිර්මානය වීම සඳහා ද ප‍්‍රධාන සාධකයක් වූ පානදුරාවාදය, භික්ෂූන්වහන්සේ එය කළ අයුරු, එහි ලා උන්වහන්සේලා දැක්වූ ධර්මධරත්වය හා පාණ්ඩිත්‍යය, එමගින් ඇමරිකාව ඇතුලූ ලොව පුරා විහි දී ගිය යශෝරාවය- සමස්ත ශ‍්‍රී ලාංකික මෙන් ම ලෝක බෞද්ධ ඉතිහාසය ද වෙනස් කිරීමට හේතු වු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අද අප ජිීවත් වන පශ්චාත් සෝම යුගය තුල දක්නට ලැබෙන නව භික්ෂූ ක‍්‍රියාකාරීත්වය ධර්මපාල තුමාගේ හදවතට කොතරම් ආසන්න ද යනු ගැටලූවකි.

මහාචාර්ය අසංග තිලකරත්න
අන්තර් ආගමික ක‍්‍රියාකාරීත්වය ධර්මපාල යුගයේ මෙන්ම අද ද ඉතා ප‍්‍රබල අභියෝගවලින් යුක්තය. ඒවාට මුහුණ දිය යුත්තේ අතිවිශාල ආධ්‍යාත්මික ශක්තියකින් හා ශික්ෂණයකින් යුක්තව බව පමණක් කිව හැකිය. නීතිය අතට ගෙන අවිනීතව ක‍්‍රියාකරන භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් ධර්මපාල තුමා ගැන සඳහන් කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැක. ධර්මපාලතුමා රළු- පරුෂ ලෙස කතා කළේ තම සහෝදර සිංහල බෞද්ධයන්ටය. එසේම එතුමා අශිෂ්ට භාෂාව හෝ හිංසනය භාවිත කලේ ද නැත. කෙටියෙන් කියන්නේ නම් දේශපාලනික හා ආගමික අපචාර සඳහා ධර්මපාලතුමා යෙදා ගැනීම එතුමාට කරන ගෞරවයක් නොවේ. මහජනයාට සම්බන්ධ එමෙන්ම මහජනයාට වග කිව යුතු ආයතනයක් ලෙස භික්ෂූ සමාජය වෙත මහජන විවේචන එල්ල වීම කිසිසේත් ම නව සිදුවීමක් නොවේ. එහිලා නිවැරදි ප‍්‍රතිචාරය විය යුත්තේ විවේචකයින් පිටිපස එලවීම නොව ඔවුන්ට පිළිතුරු සැපයීමය. අභියෝග කෙරෙහි භික්ෂූන්වහන්සේ ප‍්‍රතිචාර දැක්විය යුත්තේ භික්ෂූන්වහන්සේ ලෙසය. එහිලා බුදුරදුන්ගේ හා ධර්මපාලතුමාගේ ආදර්ශයට අමතරව, තිච් නත් හාන් හිිමි, දලයි ලාමා හිමි, මහත්මා ගාන්ධි, මාර්ටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨයන්ගේ චරිත ද ආර්ශයට ගත හැකිය.
මෙතෙක් කරන ලද සාකච්ජාවෙන් පැහැදිලි විය යුත්තේ ධර්මපාල තුමාගේ කාලීනත්වය තවමක් ඉක්මවා ගොස් නැති බවය. සමස්ත සමාජය සිසාරා ගලා යන්නා වු ගෝලීයකරණ කි‍්‍රයාදාමයෙහි නොගිළී සිටීම සඳහා ධර්මපාල තුමාගේ මඟ පෙන්වීම අපට තවදුරටත් අවශ්‍ය වනු ඇත. ඒ සදහා වන සාකච්ජාව සඳහා අප සමාජය මෙහෙයවන ගුණදාස අමරසේකර වැනි චින්තකයන්ට ප‍්‍රණාමය පුදකරමින් මෙම සාකච්ජාව සමාප්ත කරමි.

මහාචාර්ය අසංග තිලකරත්න
පාලි හා බෞද්ධ අධ්‍යයන පිළිබඳ මහාචාර්ය
කොළඔ විශ්වවිද්‍යාලය
කොළඔ
 

8/28/2014

සනාතන රස දහර පියසමර

කතෘ:යුතුකම     8/28/2014   1 comment
කව්සිළුමිණකරුවා පෙදෙහි රසහව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ යෑයි කියන කල, පෙර අප තුළ ඇති වුයේ නො රුස්‌නා හැඟුමෙකි. පැදි රස විඳීම පහසු නැත. එය මහා දුලබ හැකියාවෙකි. එවන් හැකියා ඇත්තෝ දුලබය. යනාදි කියමන් මානයෙන් හිස උදුම්මා ගත් පඬියෙකුගේ දෙඩවිලි ලෙසය. අපට පෙනුණේ. එහෙත් කුමාරතුංග මුනිදාසගේ පිය සමර කියෑවූ කල ඒ අදහස්‌වලින් හැඩි ව ඔද්දල් ව තිබූ ම සිත මහ වැස්‌සකට පසු පැහැදුල් අහසක්‌ මෙන් සුපැහැදිළි විය. කව්සිළුමිණිකරු නිවැරදි බවත් මා වැරදි බවත් දැන් මම පිළිගනිමි. පැදි කව් මැනවින් රස විඳීමට නම් රසිකයාට ද නිර්මාණකරුවාට නොපරදින ප්‍රතිභාවක්‌, කව් හදක්‌ අවැසි ය. පෙර විසූ ඉසිවරු රසිකයාට සහෘදයා යෑයි නම් පට බැන්දේ විශේෂයෙන් ඔහුගේ පැදි රස විඳීමේ හැකියාව ගැන ම සිතා විය යුතුය. මෙසේ අප කලක්‌ දැරූ අදහස්‌ වෙනස්‌ වීමටත් කව්සිළුමිණිකරු හා එකඟ වීමටත් හේතු වුයේ කවර නම් කාරණයක්‌ ද? ඒ අන් කිසිවක්‌ නොව සිංහල පැදි නදියෙන් පිය සමර නම් මහාර්ඝ පැදි මිණි සොයා පාදා දුන්නේ ද කවියෙකු හෙයිනි. බොහෝ ගල් බොරලු කඳු කැණ, දශක ගණනාවක්‌ යටපත් ව තිබූ නියම කව්මිණ පාදා දුන්නේ ගුණදාස අමරසේකර නම් අද අප අතර සිටින ශ්‍රේෂ්ඨතම කවියා හෙයිනි. සැබෑ කවිය රස විඳිය හැක්‌කේ ද එය කුකවියෙන් වෙන් කොට හඳුනා ගත හැක්‌කේ ද කවියෙකුට සහෘදයකුට ම හෝ පමණක්‌ බැව් ඉන් සනාථ නොවේ.

පිය සමර එහි නම අනුව නම් සිය පියා පිළිබඳ සැමරුමකි. එහෙත් කව කියවා අවසන් වූ කල, කවියා සිය පියා පිළිබඳ අතීත සැමරුම් පිඬක්‌ නියායෙන් කවියට නඟන්නේ පුතු සිරිත තුළින් වහනය වන පිය සිරිත බැව් පසක්‌ විය. සහෘද අප පියා දකින්නේ අපේ ඇසින් නොව පුතුගේ ඇසිනි. පියාගේ හොඳ, නරක, ප්‍රබලතා, දුබලතා විනිශ්චය කරන්නේ පුතුගේ දැනුම, ආකල්ප, රුචි අරුචිකම් අනුව ය. සැබැවින් ම අප දකින්නේ පුතුගේ සිත නම් කැඩපතෙහි පිළිබිඹු වන පියාය. ඒ පියා සැබැවින් ජීවත් වු පියාට වඩා පුතුගේ සිතේ ජීවත් වන පියා ලෙස ගැනීම නිවැරදි ය. මහාචාර්ය පී. බී. මීගස්‌කුඹුර දක්‌වන පරිදි ම පිය සිරිත තුළින් පුතු සිරිත ප්‍රතිවනිත වෙයි. ඒ පුතු සිරිත පිය සිරිත ඉක්‌මවා සිටින හෙයින් පිය සමර වනි කාව්‍යයක්‌ වෙයි.

මගෙ පියාණෙනි හොත් අවසන් ඇඳේ
ඔබ ඔවා හිතුවක්‌ කෙරෙතී දෙමින්
මගට ගන්නට තැත් ළ ඒ පුතා
සිත - සිතා ළ තවයි ඔබ ගේ අගේ

පියා දැන් මිය ගොස්‌ ය. ඔහු අවසන් ඇඳේ සිට පවා පුතුගේ යහපත පැතුවේ ය. ඒ පියාගේ ගුණ කඳ කෙතරම් දැයි උස්‌ මහත් වූ පුතුට වැටහෙයි. සිය පියාගේ ගුණ සිහි කර ළතැවෙන පුතුගේ රුව පියාගේ රුවට වඩා ගැඹුරින් සහෘද සිත්හි මැවෙයි. සෑම සහෘද හදක ම සිය පියා කෙරෙහි උපදින සංවේදී හැඟුම් නිසා මේ පුතු කෙරෙහි ප්‍රබල පහන් හැඟුම්ය. ඔහු තුළ උපදින්නේ.

එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිංහබාහු නාටකයෙන් පිය-පුතු සබඳතාවයේ එක්‌ පැතිකඩක්‌ කවියට නැගූහ. එහි දී අපි පිය-පුතු සබඳතාව පිය පසින් දකිමු. එහෙත් එහි පිය-පුතු සබඳතාවට වඩා පිය-පුතු ගැටුමකි පිළිබිඹු වන්නේ. පියා සහ පුතා අතර පරස්‌පරතා ඇසුරින් උපදින ගැටුමට, පරම්පරා මිස පියා සහ පුතා අතර ඇති සංකීර්ණ භාවාත්මක සබඳතාව විග්‍රහ කිරීමට එහි උත්සාහ නොකරයි. සිංහබාහුගේ ප්‍රථම හී දෙක ම සිංහයාට නො වැදීම සහ සිංහයාගේ සිත අරා සිටි පුතු සෙනෙහස යට ගොස්‌ කෝපය ඉස්‌මතු වූ කල එවන තෙවන හීය ළය පසා කිරීම පමණි. ඒ අධ්‍යාත්මික සබඳතාව ඉස්‌මතු කරන්නේ. එහෙත් පියසමර කවෙහි පිය-පුතු ගැටුමක්‌ නොව ඔවුන තර වූ හෘදයාංගම බැඳීම, සංකීර්ණ අධ්‍යාත්මික සබඳතාව මැනවින් නිරූපණය වෙයි. එ නයින් පියසමර වඩා ගැඹුරින් උක්‌ත සබඳතාව කවියට නගන බැව් කිව යුතුය. මෙවන් සුවිශේෂතා සහිත පිය සමර 1930 දශකය වන විට ස්‌ත්‍රිය, ප්‍රේමය, ස්‌වභාව සෞන්දර්ය ආදී ගතානුගතික වස්‌තු විෂයට සීමා වු සිංහල කවිය පුළුල් වපසරියක්‌ වෙත ගෙන යැමේ ගමනක ඇරඹුම ලෙස ද හැඳින්වීම නිවැරදි ය.

කවියා කුඩා කල ම මිය ගිය, ඉඳිගස්‌ ආරේ දොන් අබියෙස්‌ කුමාරණතුංග නම් වූ තම පියා, සිය භාව ලෝකයේ අසහාය වීරයා ලෙස වැජඹෙන්නේ කවර හේතු නිසා දැයි කියාපෑමටය. පියසමර ලියවුණේ. එහෙත් පියසමර ඔස්‌සේ සහෘදයා එකී නම් ගොත් ඉක්‌මවා ගොස්‌ සාම්ප්‍රදායික සිංහල ගැමි පවුලක පිය-පුතු සබඳතාව වෙත හදවතින් ගමන් කරයි. එහෙයින් එය පුද්ගලානුභූතීන් ඉක්‌මවා යන යුගයක්‌ ප්‍රතිනිර්මාණය කළ කවක්‌ බවට පත්වෙයි. එපමණක්‌ නොව මේ පිය- පුතු සබඳතාව අද ද අඩු වැඩි වශයෙන් ඈත ගම් දනව්වල අත්විඳිය නොහැකි යෑයි කිව හැකි ද? බොහෝ පුතුන්ගේ සිත්හි ජීවත් වන පියා අඩු වැඩි වශයෙන් පියසමරේ පියා නොවේ යෑයි කාට නම් කිව හැකි ද? ධනවාදී විවෘත ආර්ථික ප්‍රවාහයට හසුව නිවී ගිය එවන් අධ්‍යාත්මික සබඳතා අළු යට ගිනි පුපුරු මෙන් නොනිමි ඇතැයි සිතීම වැරදි?

හිර බසුත් මැ නිදන්නට යා නොදී
ගෙන ත මා මිදුලේ දිග බෝ වරක්‌
ඇවිදුවා බලවම්නි කියු කතා
මට දැනුත් මතකයි අයවයි නුවන්

පොළොව ආස වළා සඳ තාරකා
සෙවණ ගස්‌ ලිය ආදිය දක්‌වමින්
නුවණ දෙන්නට කී එ කතා සෙමෙන්
හැඩ ගැසී යෑ මගේ දිවි මේ විලස්‌

දශකයකට පමණ පෙර අප හැර ගිය අපේ තාත්තා පිළිබඳ මතක සැමරුම්, පියසමර කියවන කල නිතැතින් ම අප හදවත්හි පිබිද එයි. ඒ සැමරුම ඔස්‌සේ ඇතැම් විට පිය සමරේ මේ සිටින්නේ අපේ තාත්තා නොවේ ද? යන හැඟුමක්‌ අප සිත්හි පිළිසිඳ ගනියි. විශේෂයෙන් පෙර දැක්‌ වු කව් දෙක කියවත් ම අවට ලෝකය පිළිබඳ අනේක පැණ අසමින් මිදුලේ වු බංකුවක්‌ මතට වී පියා සමග අප ගත කළ, අතීතයේ සොඳුරු සැඳෑ කාලයක්‌ වෙත හදවත වහා ඉගිල යයි. පියා පිළිබඳ එවන් සොඳුරු මතක සැමරුම් අපට මෙන් ම බොහෝ දෙනාට තිබේ. ඒ අර්ථයෙන් ගත් කල පිය-පුතු සබඳතා පිළිබඳ සනාතන දහම කවියට නැගීමකි. පිය සමර සිය පියා පිළිබඳ උපන් භක්‌ත්‍යාදරය හෙළි කරනු වස්‌ ලියූ පහත දැක්‌වෙන එහි අවසන් කව අප හැම දෙනාගේ ම පැතුම නොවන්නේද?

මතු මතුත් සසරේ පිය බව්හි මා
ඔබ මැ වත් නො පතම් වැඩියක්‌ එයින්
රට පුරා බැලුයෙම් සමයෙක්‌ මෙ තෙක්‌
නොපෙනුණේ වැඩියෙක්‌ කො තැනින් පෙනේ

පිය සමර සිව්පදයට විකල්ප පිට රටින් ආනයනය කළ නිසඳැස්‌කරුවන්ගේ ඇස නොගැටීම අවාසනාවකි. වස්‌තු විෂයට උචිත සඳැස-විරිත තෝරා ගන්නේ කෙසේ ද යන්න ඔවුන්ට පිය සමරින් ගත යුතු ව තිබුණු ලොකු ම ආදර්ශයයි. එමෙන්ම ගුණදාස අමරසේකර නිවැරදි ව පෙන්වා දෙන පරිදි ම සිය කවියට අවැසි බස තනා ගැනීමට ඔවුන් ගුරුතන්හි ලා සැලකිය යුතු ව තිබුණේ ද පිය සමරයි. එහෙත් පිය සමර මැනවින් විඳගත හැකි ප්‍රතිභාසම්පන්න කවියෙකු, විචාරකයෙකු එකල පහළ නො විණි. එසේ පහළ විනි නම් නිසඳැස්‌ හෙවත් නොපැදි නම් ගද්‍ය පාඨ ඔස්‌සේ සිංහල කවිය වල්මත් නොවනු ඇත. ගාඪ බසින් ලියන තේරවිලි, ගූඪ දහම් ගැටපදවලට කවි යෑයි නොකියනු ඇත. සිංහල කවිය මෙතරම් පිරිහීමකට ගොදුරු නොවනු ඇත. නිසඳැස්‌කරුවන් තබා හෙළ හවුලේ සිටි කුමාරංතුංගයන්ගේ බොහෝ අනුගාමිකයෝ ද පිය සමර විශිෂ්ට කවක්‌ ලෙස හඳුනා නො ගත්හ. වවුලුව වැනි උපහාස කාව්‍ය උත්කර්ෂයට නැංවුවා විනා පිය සමර ගත් යථාර්ථවාදී කවි මග හඳුනා ගැනීමට ඔවුන් අසමත් විය.

එමෙන් ම සිංහල කාව්‍ය විචාරයෙහිලා කලින් කල පෙරට පැමිණි මාර්ටින් වික්‍රමසිංහ, ආරිය රාජකරුණා, පරාක්‍රම කොඩිතුවක්‌කු වැනි විචාරකයින්ට ද පිය සමර මැනවින් ග්‍රහණය කර ගත නො හැකි විය. මාර්ටින් වික්‍රමසිංහ මෙරට පහළ වූ විශිෂ්ටතම නවකතා විචාරකයා බවට විවාදයක්‌ නැත. එහෙත් පැදිය සහ නවකතාව එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමට ඔහු අසමත් විය. එහෙයින් ඔහු සාර්ථක පද්‍ය විචාරකයෙක්‌ ලෙස හැඳින්වීම නිවැරදි නැත. පිය සමර පිළිබඳ ඔහුගේ පහත විවේචනය ඒ සඳහා නිදසුනකි. ඒ අත්දැකීම් තම පියා හා නෑයන් පිළිබඳ වූවක්‌ය යන හැඟêම බැහැර කොට දකුණු පළාතේ සිංහල පවුලක උපන්නකුගේ පොදු අත්දැකීමක්‌ ලෙස ගෙන තවත් චරිත හා අවස්‌ථා ඇතුළු කිරීමෙන් වස්‌තුව සකස්‌ කොට මමත්වය නැසුවකු මෙන් වර්ණනා කිරීමෙන් කාව්‍යයක්‌ කළේ නම් එය මහා කාව්‍යයක්‌ වන්නේ ය. (නව පද්‍ය සිංහලය, මාර්ටින් වික්‍රමසිංහ 1992) මේ වූ කලී ශ්‍රීනාත් ගනේවත්තයන් ද වරක්‌ පෙන්වා දුන් පරිදි පිය සමර වස්‌තු විෂය පාදක කොට ගෙන සාර්ථක නවකතාවක්‌ ලිවීමට දෙන ලද උපදේශයකි. එහෙත් පියසමර සැඟව පැවති යුගයක තරුණ කවීන් විසින් පියසමර විමසිය යුතු යෑයි ඔහු පැවසීම අගය කළ යුතු ය.

සිංහල පද්‍ය සම්ප්‍රදාය පිළිබඳ මෙතෙක්‌ කරන ලද විශිෂ්ටතම විශ්ලේෂණය ලෙස සැලකෙන ගුණදාස අමරසේකරයන්ගේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතියේ කුමාරතුංග ගේ පිය සමර නමින් පරිච්ෙ-දයක්‌ තිබේ. එය මුල් වරට පළ වන්නේ 1996 දී ය. එහෙත් පිය සමරේ විශිෂ්ටත්වය පිළිබඳ ඊට බොහෝ කලකට පෙර සිට අමරසේකරයෝ යම් යම් තන්හි සිය මතය ප්‍රකාශ කළේය.

අපට ආවේනික වූ සිංහල කාව්‍ය සම්ප්‍රදාය යළි සොයා ගනු වස්‌, පසුගිය අඩ සිය වස තුළ දරනා ලද විශිෂ්ටතම ප්‍රයත්නය සාර්ථක ම අත්හදා බැලීම මුනිදාස කුමාරතුංගයන්ගේ පිය සමර කාව්‍ය යයි මම සිතමි. පිය සමර සිංහල කවිය අනාගතයෙහි ගත යුතු මාර්ගය මේ යයි පෙන්වන ප්‍රදීපස්‌ථම්භයක්‌ වෙයි. අප සතුව ඇති එකම ප්‍රදීපස්‌ථම්භය ද කුමාරතුංගයන්ගේ මේ නිර්මාණය විය හැක. (කාලය 1988 මාර්තු)

මෙහිදී යම්කිසි සැකයකින් යුතු ව පිය සමර පිළිබඳ පළ කළ අදහස්‌ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතියේ වඩා තීර ලෙස ප්‍රකාශ කරනු දැකිය හැකිය.


කුමාරතුංග දැඩි සාම්ප්‍රදායික පඬිවරයකු යෑයි ද නිසඳැස්‌ ව්‍යාපාරය ඇරඹූවන් මහා නූතනවාදීන් යෑයි ද කියා දුර්මතයක්‌ අප අතර වෙයි. එහෙත් කුමාරතුංගයෝ ඉංග්‍රීසි කවියෙන් ලැබිය යුතු ආභාසය මැනවින් ලද්දෙකි. සිය කවි ශික්‍ෂාව කෘතියෙහිලා එහි අවශ්‍යතාව ඔහු පැහැදිළි කළේය. තෝමස්‌ ග්‍රේ ගේ පැදි කිහිපයක්‌ වවුලුවට ලියු විවිසිනුමෙහිලා (විමසුම) හෙතෙම සිංහලට නැගුවේ ය. පිය සමර වස්‌තු විෂයේ පවා ඉංග්‍රීසි ශෝක කාව්‍ය ක්‍රමයේ යම් ආභාසයක්‌ ප්‍රකට වෙයි. මේ අනුව කුමාරතුංගයන් පෙර කී නුතනවාදීන් වඩා ගව් ගණනක්‌ ඉදිරියෙන් සිටින සැබෑ නූතනවාදියෙක්‌ බව පැහැදිළි වේ. ඔහු නිසඳැස්‌ ලියූ නූතනවාදීන්ට වඩා ගැඹුරින් ඉංග්‍රීසි කවිය රස වින්දේය. තම සම්ප්‍රදාය අතැඹුලක්‌ සේ දැන එහි ශක්‍යතා පිළිබඳ මනා අවබෝධයෙනි ඔහු වෙනත් කාව්‍ය සම්ප්‍රදායක්‌ සමග ගනුදෙනු කළේ. එහෙයින් විවිධ කාව්‍ය මාදිලි, ආකෘති හමුවේ අන්දමන්ද වී වල්මත් නොවී සිටීමේ භාග්‍ය ඔහුට හිමි විය. අනුකරණය සහ ආභාසය යනු කවරක්‌ දැයි අපට ක්‍රියාවෙන් ම දක්‌වා සිටි දුලබ කවියෙකි. ඔහු කුමාරතුංගයන් මුළුමනින්ම කවියට කැප නො වුණ ද තමා කළ එක ම කාව්‍ය කෘතියෙන් සිංහල කවි කෙතට විශිෂ්ට සම්ප්‍රදානයක්‌ දායාද කළ හැකි වුයේ එහෙයිනි.

සිංහල කවිය යා යුතු මග කුමක්‌ දැයි නො දැන වල්මත් ව සිටින අද දවසේ අංකුර කවීන් ද සහෘදයින් ද පිය සමර වෙත නැවත යොමු විය යුතු යෑයි අපි යෝජනා කරමු. සොඳුරු කව් රසයක්‌ විඳ ගැනීමට අමතරව කවි බස, ආකෘතිය සහ වස්‌තු විෂය යන සියලු ක්‍ෂේත්‍රයනට ඉන් ලද හැකි ගුරුහරුකම් එමටය. කෘතියට එක්‌ කර ඇති ලිපි කිහිපය ඒ සඳහා කදිම අත්වැලකි. සැබැවින් ම පිය සමර සිංහල කවියා යා යුතු මං හසර හෙළි කරන පහන් තරුවකි. සෑම පියකු ම පුතකු ම කියවිය යුතු භාව කාව්‍යයකි. කියවන වාරයක්‌ පාසා සහෘද සිත් අපූර්ව කව් රසයෙන් පුරවාලන කව් රස ගුලාවකි.

නාමල් උඩලමත්ත



8/25/2014

සරසවි ඇදුරකුගේ ෆුල්බ‍්‍රයිට් මානාධික කතා

කතෘ:යුතුකම     8/25/2014   10 comments
-සේන තෝරදෙනිය
      

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියනගේ අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියක් ගැන පාඨක අවධානය යොමුකිරීම මෙම ලිපියේ අරමුණයි. අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය "කලම්බු ටෙලිග‍්‍රාෆ්" නම් වෙබ් අඩවියෙන් බලාගැනීමට අපට හැකිවිිය. එම ලිපිය උපුටාගෙන තිබෙන්නේ "එක්සත් ජනපද - ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂම  ^United states - Sri Lanka Full bright commission& මගින් ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රකාශයකිනි. අමරකීර්ති මහතාගේ ලිපිය පළවී ඇත්තේ  "Mr. President, Let's Imagine a Sri Lanka within the world" යනුවෙනි. ("ජනාධිපතිවරයාණෙනි, ලෝකය අභ්‍යන්තරිකව තබා ශ‍්‍රි ලංකාව ගැන සිතා බලමු" ) මෙම ලිපිය පරිවර්තනය කොට දැක්වීමට අපි අදහස් නොකරමු. එහෙත් එහි අඩංගු සමහර කරුණු උපුටා නොදක්වා ඒ ගැන විවරණයක් කිරීමට නොහැකිය.

        අමරකීර්ති මහතා මෙම ලිපිය ලියා ඇත්තේ ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ගත් ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකු" වශයෙනි. ඒ එක්සත් ජනපද - ශ‍්‍රී ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂමට වසර හැටක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙනය. ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකු" ලෙස පෙනී සිටියත් අමරකීර්ති මහතා රාජ්‍යනායකයන්ට ලිපි ලිවීමේ ආචාරධර්ම, සභ්‍ය විලාසය, චාරිත‍්‍රධර්ම, තානය හා ස්වරය නොදන්නා බව මෙම ලිපියෙන් පෙනේ. මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂම එය සංස්කරණය කර ඇති බවක්ද නොපෙනේ. ඔහු මෙබඳු ලිපියක් ඔබාමාට ලීවේ නම් ඇමරිකාවේ "දේශපේ‍්‍රමී නීතිය" යටතේ ඔහු අධිකරණය වෙතට පමුණුවා පුනර්අධ්‍යාපන වැඩසටහනකට යොමු කරනු නිසැකයි!

සිය ලිපියේ මුල් කොටසින් අමරකීර්ති මහතා තමා කවරෙකුදැයි ජනාධිපතිවරයාට හඳුන්වා දෙයි. "ලියනගේ අමරකීර්ති වන මා ෆුල්බ‍්‍රයිට් විද්වතෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. තරමක කීර්තියක් හා පිළිගැනීමක් ඇති ප‍්‍රබන්ධකතාකරුවෙකි." ඒ සමගම තමා "බුද්ධිමතෙකු" බව ඔහු ප‍්‍රකාශකොට සිටියි. ජනාධිපතිවරයා වැනි අයගේ අවධානයට යොමු කරවීමට ඔහු රටේ වැදගත් ප‍්‍රශ්න ගැන ලිපි ලියන බවද කියයි. ඔහු විසින් ලියන ලද එම ලිපි ජනාධිපතිවරයා විසින් කියවන්නට ඇතැයිද ඔහු සිතයි. තමා ජනාධිපතිවරයාට මේ ලියන්නේ ජීවිතයේ ප‍්‍රථම වරටයැයි පවසන ඔහු මේ ලියන දෙය එනම්, එක්සත් ජනපද ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂම මගින් පරිපාලනය කරන ෆුල්බ‍්‍රයිට් වැඩසටහන, තමාටද තම අහංකාරයටද වඩා වැදගත් වන බව පවසයි.

රාජ්‍ය නායකයකුට ලිපි ලියන ආචාරධර්ම අමරකීර්ති මහතා නොහඳුනන බව මෙයින් පෙනේ. මෙසේ ලියන්නේ සාමාන්‍ය රටවැසියකු හෝ ඡුන්දදායකයකු නොව ඔහුම පවසන පරිදි "බුද්ධිමතෙකි" ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකි." විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. කීර්තිමත් ප‍්‍රබන්ධකතා කරුවෙකි. ඔහුගේ වෑයම ජනාධිපතිවරයාට ෆූල්බ‍්‍රයිට් වැඩසටහන ගැන ඉගැන්වීමට යාම නිසා ඔහුට සිය අහංකාරය වැදගත් නොවේ. රාජ්‍ය නායකයා අමතන ඔහුගේ බස අශිෂ්ටය. මෙරට  ෆුල්බ‍්‍රයිට් කොමිෂම හෝ ඔහුට භාෂාව කියා දී නැත. ෆුල් බ‍්‍රයිට් කොමිෂම මෙම ලිපිය ප‍්‍රකාශයට පත් කළේ නම්, එය ජනාධිපතිවරයා වෙත යොමු කළේ නම්, අමරකීර්ති මහතාගේ මේ මානාධික ලිපිය සංස්කරණය කළ යුතුව තිබුණි. ඔහු කියන්නේ තමාගේ අභිමානය යටපත් කරගෙන දැන් ජනාධිපතිවරයාට ලියන්නේ ෆුල්බ‍්‍රයිට් වැඩසටහන ඔහුට වැදගත්වන නිසා බවයි. ෆුල්බ‍්‍රයිට් කොමිෂම වසර හැටක් සැමරීම ඔහුට ප‍්‍රීතියක් ගෙන දෙන නිසා බවයි. ඔහු ජනාධිපතිවරයාට ලියන්නේ එහෙයිනි. නමුත් ඔහු සිය ලිපියේ මුල් කොටසින් ස්වචරිතාපදානමය තොරතුරු ටිකක් ද ජනාධිපතිවරයාට ලියයි.  සිය දෙමාපියන් හා සිය අන්ත දරිද්‍රතාව ගැන ඔහු පවසයි. අද බොහෝදෙනකුට සිය බාලකාලයේ දරිද්‍රතාවය විකිණිය හැකිය. මහා සමාජය සමග ගනුදෙනු කිරීමට හා බද්ධ වීමට බොහෝ දෙනෙකුට එය අවශ්‍යය. එමගින්  සිය වර්තමාන ඓශ්චර්යය පෙන්වීමක්ද වේ.

අමරකීර්ති මහතා උපන් කාලයේදී ඔහුගේ ගම අවට හොඳ පාසැල් තිබුණද අද ඒවා නොමැති බව ඔහු ජනාධිපතිවරයාට කියයි. මෙහි අදහස නම් ජනාධිපතිවරයාගේ කාලයේදී පාසැල් පරිහානියට පත්වී ඇති බවයි. ඉන්පසුව ඔහු ජනාධිපතිවරයාට පවසන්නේ තමා කොළඔ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවද, "ස්වභාෂා ඒකභාෂීය අධ්‍යාපනය" අප රට පරම්පරා ගණනාවක් "පටු ජාතිකවාදීන්" කළ බවයි. "ස්වභාෂා - ඒකභාෂීය අධ්‍යාපනය" මෙරට "දේශපාලනික - අභිලාෂය" ක‍්‍රියාවට නැංවීමේ ප‍්‍රමිතිය වූ බව ඔහු කියයි. ජාතිකවාදය හා ජාතිවාදය අතර ඇති වෙනස, ජාතිවාදීන් හා ජාතිකවාදීන් අතර ඇති වෙනස මේ ෆුල්බ‍්‍රයිට් "විද්වතා" ට බොහෝ දුරස්ථ සේ පෙනේ. ඔහුට ඒ බව ෆුල්බ‍්‍රයිට් කොමිෂම පවා උගන්වා නැති හැඩය. ජනාධිපතිවරයාගේ ත්‍රෛභාෂා වැඩපිළිවෙල හා නැවත ඉංගිරිසිය රජ කරවීමට ගන්නා උත්සාහය අමරකීර්ති මහතාට පෙනී නොමැත. 

තමා ජනාධිපතිවරයාට ලියන ලිපිය "හොඳ මදි බවද" අමරකීර්ති මහතා දනියි. ඔහු ඒබව ප‍්‍රකාශ කරන්නේ වෙනත් විශ්වවිද්‍යාල විද්වතුන් ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනා කරමින්, සභාපතිකම්, අධ්‍යක්‍ෂ තනතුරු, තානාපති පත්වීම් ඉල්ලා - ඔබට උදව් කිරීමටය කියා - වඩා හොඳ ලියුම් ලියන්නට ඇතැයි කියමිනි. එහෙත් එසේ රැකියාව ලබාගත් අය මාර්ගයෙන් ආණ්ඩුවේ සති අන්ත සිංහල පුවත්පත් වල මාගල් වැනි ලිපි පළ කරවා ගත් බව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ගත් බව, වෙනම ලිපියකින් කිව යුතුය.

කිසියම් අහඹුවකින් තමාට කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණු බව අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට කියයි. එහෙත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීම අහඹුවක් යයි ඔහු නොකියයි. "අර මිහිරි සීනු නාදය" නම් ඔහුගේ කෙටිකතා සංග‍්‍රහය ඔහු පිළිගන්නවා ඇත්තේ, පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඔහු බඳවාගත් සිංහල අංශාධිපති, පීඨාධිපති හා උපකුලපතිවරයාටය. පශ්චාත් - උපාධි අධ්‍යාපනයෙන් පසුව අමරකීර්ති මහතා රුහුණු විශ්වවිද්‍යාලයටද, ඔහු උගත් කොළඹ විශ්වවිද්‍යාලයටද, සුදුස්සෙක් නොවීය. සිය මාන්නය ගිල දමා ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදිය යුත්තේ  මෙසේ සිදුවූයේ ඇයි ද යන්නයි.

මෙරට පශ්චාත් උපාධි අධ්‍යාපනයේ ඇති දුර්වලතා හා දෝෂ ජනාධිපතිවරයාට දන්වා සිටින  ඔහු, එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීමට තමා සිහින දකිමින් සිටි බව කියයි. ඔහු මෙසේ ජනාධිපතිවරයාට ලීවද දැන් ඇදුරෙකු වශයෙන් ඔහු මෙරට පශ්චාත් උපාධි අධ්‍යාපනයේ යහපත වෙනුවෙන් කළ වැඩක් අපට දැන ගැනීමට ලැබී නැත.

අමරකීර්ති මහතා පවසන පරිදි ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වය ලැබී තිබෙන්නේ තේරීමේ මණ්ඩලයේ අයගේ "කාරුණිකභාවය" නිසාය. ඔහු දක්වන ආකාරයට, ඔහුගේ ඉංගිරීසි භාෂා නිපුණත්වය සම්පූර්ණයෙන්ම වාගේ ශූන්‍ය වූ කල්හි (next to nothing) ඇමරිකානු විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීමට එය ප‍්‍රමාණවත් නොවූවද, ෆුල්බ‍්‍රයිට් කොමිසමේ තේරීම් මණ්ඩලයේ "කාරුණිකභාවය"  (Kindness) නිසා ඔහුට ශිෂ්‍යත්වය ලැබී තිබේ. අමරකීර්ති මහතා පවසන ආකාරයට ඔහුගේ තෝරාගැනීමට මුල් වී ඇත්තේ මූලික සුදුසුකම වන ඉංගිරීසි ප‍්‍රවීණතාවය සලකා බැලීම නොව තේරීම් මණ්ඩලයේ "කාරුණිකත්වයයි." මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂමට හා අමෙරිකාවට අද අවශ්‍ය කරන්නේ ගම්බද දිළිඳු පවුල් වලින් එන පුද්ගලයන් බව මෙයින් පැහැදිලිය. මොළ සෝදා පිරිසිදු කොට, රීකන්ඩිෂන් කොට, සිංහල සංස්කෘතික සමාජය වෙතට ඔවුන් මුදා හැරීම ප‍්‍රමාණාතික‍්‍රාන්ත ආයෝජනයක් බව ඔවුන් දන්නවා විය හැකිය. ඔවුහු එම ඵල දැන් නෙළමින් සිටිති. එන්.ජි. ඕ මහැදුරෙකු "ෆූටා" අරගල සමයේදී අමරකීර්ති මහතාද "දිදුළන අලූත් නායකයෙකු" යැයි ඉංගිරීසී පුවත්පත් මගින් ලිවීම පුදුමයට කරුණක් නොවන්නේ මේ හෙයිනි. අද ඔහු මැර ශිෂ්‍ය කණ්ඩායම් වෙනුවෙන් පෙනීසිටින බව ඔහුගේ අළුත් ලිපි වලින් පෙනේ.

ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයෙන් තමා ලැබූ වාසි ගැන ජනාධිපතිවරයාට ලියන අමරකීර්ති මහතා ඉන්පසුව ජනාධිපතිවරයාට සංස්කෘතිය ගැන උගන්වයි. ඔහු ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ අන්තවාදී දෘෂ්ටිවාදීන් විසින් පතළ කරන අදහස්, පටු විෂයපථයකට සීමා වූ කට්ටලීය ජාතිකවාදී අදහස්, පරාජය කළ යුතු බව කියමිනි. සැබෑ සාමය හා සමගිය ලඟා කරගත හැකි වන්නේ ඒ පටු අදහස් පරාජය කළහොතිනි. ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වය නිසා තමාට "විශ්වීය දූරදර්ශනයක්" ලැබුණු බව ඔහු පවසන්නේ ජනාධිපතිවරයාට එවැන්නක් නැතිබව පෙන්වන්නාක් මෙනි.

ආණ්ඩුව ඇතුලේත්, පිටත් අමෙරිකාව හා සම්බන්ධවූ සියල්ලටම වෛර කරන අය ඇති බව තමා දන්නේ යයි අමරකීර්ති මහතා පවසන්නේ ජනාධිපතිවරයාට වඩා තමා ඉහළ පාදස්ථලයක ඇතැයි හඟවමිනි. "ඔබේ ආණ්ඩුව තුළ සෑම තන්හිම ඇමෙරිකානු විරෝධී අතිශයෝක්ත්‍යලංකාර, ගිනිවිජ්ජුම්බර සන්දර්ශන (rhetorical pyrotechnics) දෘශ්‍යමාන වන බව මම දනිමි." "බොහෝ මිනිසුන් තම ඇමෙරිකානු විරෝධීභාවය, අධිරාජ්‍ය විරෝධීභාවය හා බටහිර විරෝධීභාවය ව්‍යාජ ලෙස ප‍්‍රදර්ශනය කරන්නේ, ඔබේද ආශිර්වාදය ලැබෙන දේශපේ‍්‍රමයේ වාතාවරණය තුළ තම අතිජීවනය සඳහා බව මම දනිමි."

 "අමරකීර්ති මහතා" ජනාධිපතිවරයා අමතන ත‍්‍රාඩා විලාසය සැලකිල්ලට ගන්න. මේ ලියවිල්ල ෆුල්බ‍්‍රයිට් විද්වතෙකුහෝ නොව ආණ්ඩු විරෝධී තීරුලිපිකාරයකු ලියන දෙයට අසමාන නොවේ. ජනාධිපතිවරයාට ෆුල්බ‍්‍රයිට් වැඩසටහනේ වැදගත්කම පහදාදී ඒ සඳහා රාජ්‍ය නායකයාගේ සහාය ඉල්ලා සිටින ලිපියක තානය හා ස්වරය එහි නැත. එය ඉංගිරීසි භාෂාව හැසිරවීමේ දුර්වලතාවය නිසා පුද්ගලයාට හා තැනට සුදුසු සේ, විෂයට ගැලපෙන සේ ඇමතීමේ ඇති දුබලතාවයද පෙන්වයි. මේ දුර්වලතාවය මග හැරීමට ෆුල්බ‍්‍රයිට් කොමිෂන්කාරයින්ටද හැකිවී නැත. ෆුල්බ‍්‍රයිට් වූවාට අර්තාපල් අල ගෙඩිය තැම්බී ඇත්තේ බාගෙට බව මින් පෙනේ.

 මෙසේ ලිවීම නිසා අමරකීර්ති මහතාට සිය රැකියාව ගැන බියක්ද ඇතිවේ. "ඔබේ න්‍යායවාදී මිතුරන්ගෙන් කෙනෙකු මෙය කියවුවහොත් මා පමණ ඉක්මවා අමෙරිකානු පක්‍ෂග‍්‍රාහී යයි තීරණය කරනු ඇත. එවැනි උපකල්පනයකට රාජ්‍ය මුදල් වැයවන විශ්වවිද්‍යාලයක මගේ වෘත්තිය විනාශ කළ හැකිය." ජනාධිපතිවරයාට හයිරන් පාට් දමන අතර ඔහු මෙසේ රැකියාවටද බිය වෙයි. මෙය දේශීය හා විදේශීය එන්.ජී. ඕ. අමෙරිකාව හා රෙජිමය පෙරළීමට කැස කවන අයගේ පරිභෝජනය සඳහා ලියන ලද වැකි බව පැහැදිලිය. එහෙත් අමරකීර්ති මහතා සිය රැකියාව ගැන බිය විය යුතු නැත. ඔහුට වින්දිතයෙකු ලෙස අමෙරිකාවේ සරණ සොයා යා හැකිය.

 ඉන්පසුව ෆුල්බ‍්‍රයිට් වැඩසටහනේ ඉතිහාසය ජනාධිපතිවරයාට කියාදෙන අමරකීර්ති මහතා අමෙරිකානු සෙනට් සභික විලියම් ෆුල්බ‍්‍රයිට් "දූරදර්ශී නායකයෙකු" ලෙස හඳුන්වා දෙයි. විලියම් ෆුල්බ‍්‍රයිට් ලියූ "The Arrogance Of Power" නැමැති කෘතිය ගැන අමරකීර්ති මහතා සඳහන් කළද ඔහුගේ ලිපිය පුරා ඇත්තේ ඔහුගේ අමෙරිකානු ගැති, අපරිණත, මුග්ධ, මාන්නාධික බව යයි එහි ඇති ඉංගිරීසියෙන්  ඕනෑම අයෙකුට පැහැදිළි වේ. මෙයින් පසුව අමරකීර්ති මහතා ඉතා තුච්ඡ ආකාරයට ජනාධිපති අමතයි. "අපේ රටේ ඉතාමත් බලසම්පන්න පුද්ගලයා වශයෙන් ජනාධිපතිවරයාණෙනි, ඔබට සාධුශීලි ගුණය, නිරහංකාරය හා ප‍්‍රයෝජ්‍යයතාවාදය ගැන ඉතා වැදගත් පාඩම් සෙනට් සභික ෆුල්බ‍්‍රයිට්ගේ ජීවිතය හා කාර්යයන් ගැන ඉතා සුළු අවධානයක් යොමු කොට ඉගෙනීමට හැකිවනවා ඇත." අමරකීර්ති මහතා පවසන්නේ ජනාධිපතිවරයා තුළ නොමැති ඔහු දකින එබදු ගුණ ෆුල්බ‍්‍රයිට් සෙනට් සභිකයාගෙන් ඉගෙනගත යුතු බවයි. ජනාධිපතිවරයා අවඥාවට භාජනය කරමින් ඔහු ඉල්ලා  සිටින්නේ, ඉදිරි අවුරුදුවලදී මේ වැදගත් වැඩසටහනට වඩාත් දෘශ්‍යමාන ආකාරයට සහයෝගය ලබාදීම සඳහා වැඩ කරන ලෙසයි. සෙනෙට් සභිිික ෆුල්බ‍්‍රයිට් වැනි අය ලබාදෙන ආලෝචනා වන්ගෙන් අප උගත යුතු බවයි.

 මෙරට ජනාධිපති, විදේශකටයුතු අමාත්‍යංශය, රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශය ෆුල්බ‍්‍රයිට් වැඩසටහන යනු කුමක්දැයි නොදන්නේ යයි සිතීමට තරම් අමරකීර්ති මහතා අමෙරිකානු ගැති මුග්ධප‍්‍රසන්නයෙක් වී සිටී. මෙරට මීට පෙර රොකෆෙලර්, රෝඞ්ස්, ෆෝර්ඞ්, හර්බට් හම්ෆ‍්‍රි, ආදී ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්ව ලාභීන් සිටියද ඔවුන් මේ ආකාරයට රාජ්‍ය නායකයාට ලියූ බවක් අප අසා නැත. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා රොකෆෙලර් ශිෂ්‍යත්වයක් ලබා විදේශවලදී නාට්‍ය කලාව හදාරා කළේ තමාගේ පර්යේෂණ කටයුතු කූටප‍්‍රාප්තියට පත් කරමින් නාට්‍ය නිෂ්පාදනයේ යෙදීමයි. අනික් අතට අමෙරිකාවට ශිෂ්‍යත්වයක් ලබාගිය පළමු හා එකම පුද්ගලයා අමරකීර්ති මහතා නොවන්නේය. ඔහු සිය ලිපිය අවසන් කරන්නේ, එක්සත් ජනපද - ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂමේ ඉතිහාසය තක්සේරු කිරීමට ජනාධිපතිවරයාට "ප‍්‍රඥාව හා ධෛර්යය" ලැබෙන ලෙස ඉල්ලමිනි. මෙබඳු ලිපියක් ජනාධිපතිවරයාට යැවීමට තරම් මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂමද අමන ක‍්‍රියාවක් කර ඇති බව පෙනේ. රාජ්‍ය නායකයා කෙරෙහි අමරකීර්ති මහතාට ඇති අප‍්‍රසාදය එකකි. එහෙත් ඔහුට කෙතරම් අප‍්‍රසන්න වුවද ජනාධිපතිවරයාගෙන් යමක් ඉටු කර ගැනීමට, ඔහුට කරුණු පහදාදීමට ලියන ක‍්‍රමයක් ඇත. අමරකීර්ති මහතාගේ ලිපිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ලිපියක් ලිවීමට ලැබෙන්නාවූ වරම පවා අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගන්නා ඇදුරෙකුගේ සොබාවයයිි. මොවුනට පෙට්ටි කඩයක් හෝ පාලනය කිරීමට අවකාශය ලැබුණහොත් ඔවුන් ක‍්‍රියා කරන ආකාරය විස්තර කළ යුතු නැත. ලෝකයේ දැනට රටවල් 155 ක ක‍්‍රියාත්මක වන ෆුල්බ‍්‍රයිට් වැඩසටහන මගින් 2013 වර්ෂය වන විට 325,400 ක් ප‍්‍රතිලාභ ලබා තිබේ. අමරකීර්ති මහතා ඉන් එක් අයෙකු පමණක් යැයි දැන සිටීම යහපත් ය.      


යුතුකම සංවාද කවය
www.yuthukama.com


ලොවට බණ කියන ඇමරිකාවේ ආගමික නිරුවත

කතෘ:යුතුකම     8/25/2014   No comments
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
[අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික]
ඇමෙරිකා එක්‌සත් ජනපදය ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ කිසිදු ආගමක්‌ සමග නොබැඳුන අනාගමික රාජ්‍යයක්‌ වශයෙනි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව සිඳී ඇතැයි වරින් වර රාජ්‍ය නියෝජිතයන් කරන ප්‍රකාශන අපට දැන් හුරුපුරුදුය. එය ජිනීවා මානව හිමිකම් සමුළුව විසින් ද අපේ රටට එල්ල කෙරෙන චෝදනාවකි. ඇමෙරිකාවට ගැති අනුගාමික රටවල්ද අපේ රටට එරෙහිව එම වචනම උච්චාරණය කරති. රාවණා බලය හා බොදු බල සේනා සංවිධාන ඉදිරිපත් කරන අදහස්‌ යථාර්ථය තේරුම් ගන්නා රට වැසි සිංහලයන් අනුමත කරති. එහෙත් එම සංවිධාන චරිත කීපයක්‌ වටා ගොඩනැගුන කුඩා කුලක දෙකකි. නමුත් ඇමරිකාව ලොවට මවා පාන්නේ ඒවා සන්නද්ධ ත්‍රස්‌තවාදී සංවිධාන වශයෙනි. ජාත්‍යන්තර නිවේදනවලින් හෙළි දකින්නට තරම් ඔවුන්ට ඒවා අති විශාලය. සියලු ලාංකික භික්‌ෂූන් සහ බෞද්ධයන් එම සංවිධාන නියෝජනය කරන බවත් ඒවා රජයේ ව්‍යාපෘති බවත් පුන පුනා කියමින් බෞද්ධයන් සහ ආණ්‌ඩුව හෙළාදැකීමේ සැලැස්‌මක්‌ දියත් වෙයි. කිසිදාක ලංකාවට නොපැමිණි දලයි ලාමා තුමා මුස්‌ලිම් ජනතාවට හිරිහැර කිරීමෙන් වළකින ලෙස වැරදි උපදෙස්‌ මත පිහිටා අපේ බෞද්ධයින්ට පවසයි. චීන විරෝධී බටහිර නායකයින්ගෙන් යෑපෙන දලයි ලාමා තුමා බෞද්ධ නායකයකු ලෙස බෞද්ධ රටකට විරුද්ධව සිදු කරන ප්‍රකාශ ඉතා හානිකරය. අපේ හිටපු රාජ්‍ය නායිකාවද රහසිගත සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාව ආගමික ගැටුම් පවතින රටක්‌ ලෙස ලෝකයාට ප්‍රකාශ කිරීම ද්වේෂ සහගත ක්‍රියාවකි.ඇමෙරිකා එක්‌සත් ජනපදය සැබවින්ම ආගම හා රාජ්‍ය එකට නොබැඳුන අනාගමික දේශයක්‌ද? එරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවන සංශෝධනයෙහි දැක්‌වෙන්නේ, ආගමක්‌ පිහිටුවීමට හෝ තහනම් කිරීමට හෝ ආගමික ඇදහීමේ නිදහසට බාධා කිරීමට හෝ රජයට අවසරයක්‌ නොමැත යනුවෙනි. එක්‌ ආගමක්‌ තවත් ආගමකට වඩා උසස්‌ කොට සැලකීම වරදකි. එහෙත් පෞද්ගලිකව ආගමික විශ්වාසයක්‌ දැරීමට රාජ්‍ය ප්‍රධානියාට පුලුවන. ආගමික සංවිධානවල සුබසාධන කටයුතු සඳහා ආධාර සැපයිය හැක. ජනාධිපති ජෝර්- බුෂ් මහතා වරක්‌ පැවසුවේ ආගමික විශ්වාසයන් දරන මිනිසුන් තමන්ගේ පාලකයන් ලවා ඒවා අනුගමනය කරනු ඇතැයි සිතන බවයි. එක්‌සත් ජනපද ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කතාව අවසන් කරන්නේ දෙවියන් වහන්සේ ඇමෙරිකාව රකිත්වා යන ප්‍රාර්ථනාවෙනි. අපේ ජනාධිපතිවරයා කතාවක්‌ අවසානයේ තෙරුවන් සරණයි කියන විට එයට උරණ වන මිනිස්‌සු අනාගමික ඇමෙරිකාවේ සිරිත ගැන නිහඬය. ඇමෙරිකානු ඩොලර් නෝට්‌ටුවේ තිබෙන්නේ දෙවියන් වහන්සේ විශ්වාසයි, (In God we trust) යන වැකියයි. 1956 සිට එය ජාතියේ ආදර්ශ පාඨයයි.

පාසල්වල හා විශේෂ උත්සව අවස්‌ථාවලදී ඇමෙරිකානු ජාතික කොඩියට හා රජයට අවනත බවට දිවුරුම් ප්‍රතිඥවක්‌ දීම එක්‌සත් ජනපදයේ සම්ප්‍රදායකි. 1954 දි කොන්ග්‍රස්‌ සභාව මගින් දෙවියන් වහන්සේ යටතේ එකම ජාතියක්‌ (One Nation, Under God
) යන වචන එම ප්‍රතිඥව ට ඇතුළත් කොට ඇත. දෙවියන් විශ්වාස නොකරන තම දරුවන් ලවා එවැනි ප්‍රතිඥාවක්‌ සිදු කිරීමට දෙමවුපියෝ විරුද්ධ වූහ. එම ප්‍රතිඥව එක්‌සත් ජනපද ව්‍යවස්‌ථාවට පටහැනි බව කැලිෙෆෝනියා අධිකරණය තීන්දු කළ නිසා ප්‍රාන්ත නවයක පාසල්වල එය භාවිතා කෙරේ. එම තීන්දුව ඇමෙරිකානු සම්ප්‍රදායට නොගැලපෙන බව ජනාධිපති ජෝර්ෂ් බුෂ් පවසා ඇත. අපේ රටේ ආගමික සංහිඳියාව ගැන කථා කරන ඇමෙරිකාවේ ආගම පිළිබඳ හැසිරීම් රටාව එබඳුය.

ලෝකයේ රටවල පවතින ආගම්, ඇදහිලි හා සංස්‌කෘතික හර පද්ධති වෙනස්‌ කිරීම තුළින් ඒ රටවල් තම පාලනයට යටත් කර ගැනීම දිගු කලක සිට දියත් කෙරෙන ඇමෙරිකානු පිළිවෙතකි. 1946 ජුලි 10 දින ජපානයට ගිය ජෙනරල් ඩග්ලස්‌ මැක්‌ආතර් සෙනෙවියා හිරෝහිතෝ අධිරාජයා ක්‍රිස්‌තියානියට හරවා ගැනීමට වෙර දරා එය ඉටු නොවූ විට ජපනුන් කිතුනුවන් කිරීම සඳහා මිෂනාරීන් 1000 ක්‌ රැගෙන ගිය බව හමුදා සෙබළකුගේ දිනපොතේ සඳහන් කර ඇත. (දි අයිලන්ඩ් 2000 මැයි 05)

ඇමෙරිකා එක්‌සත් ජනපදය තම බල ව්‍යාපෘතිය සඳහා උපකරණයක්‌ ලෙස ක්‍රිස්‌තියානි ආගම (
Tool of American imperialism) යොදා ගනියි. ලෝකය පුරා නොයෙක්‌ රටවල අද පවතින ගැටුම් පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. 1953 වසරේ කොරියාව දෙකට බෙදා දකුණු කොරියාවේ බෞද්ධයන්ගේ ප්‍රතිශතය සියයට 85 සිට 18 දක්‌වා බැස්‌සුවේ ඇමෙරිකානු මිෂනාරී කණ්‌ඩායම්ය. 2025 වසර එළඹෙන විට චීනය ලෝකයේ වැඩිම කිතුනු ජනතාව වෙසෙන දේශය බවට පත්කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මකව පවතිsයි. වියට්‌නාමයේ පාලකයා ලෙස ඩිම් ඩියම් නමැති පූජකයා පත්කොට බෞද්ධයන් මිලියන තුනකට අධික සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීමේ විසිවන සියවසේ සිදුවුන දැවැන්ත මානව සංහාරයට වගකිව යුත්තේ ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. එසේම ඉස්‌ලාමිකයන්ට එරෙහිව ඊශ්‍රායලය පිහිටුවීය. ගරිල්ලා නායක ගුස්‌මාවෝ ඉන්දුනීසියාවේ නැගෙනහිර තිමෝරය ක්‍රිස්‌තියානි රටක්‌ බවට පත් කළේ ඇමෙරිකාවේ උදව්වෙනි. එක්‌සත් ජනපදය විසින් ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරනු ලැබුවේ දකුණු කොරියාව මාර්ගයෙන් එහි යෑවූ ක්‍රිස්‌තියානි මිෂනාරී කණ්‌ඩායම් කීපයක්‌ තලේබාන් අත්අඩංගුවට පත්වූ පසුවයි.

බින්ලාඩන් ඇල්ලීමේ මෙහෙයුමේ ප්‍රධානියා වූ ජෙනරල් විලියම් බොයිකින් විසින් ත්‍රස්‌තවාදයට එරෙහි ලෝක යුද්ධය ඉදිරියේ ආගමේ කාර්යභාරය යන මැයෙන් පවත්වන ලද දේශනයකදී පළකළ අදහස්‌ 2004 මාර්තු 26 ප්‍රොන්ට්‌ලයින් සඟරාවේ පළකර තිබිණි. මොහම්මද්තුමාට විරුද්ධව සිදු කළ සෝමාලියා සටනින් ලද ජයග්‍රහණ ගැන උද්දාම වන ඔහු මෙසේ පවසයි. ''මගේ දෙවියා ඔහුගේ දෙවියාට වඩා බලවතෙකි. මගේ දෙවියා සැබෑ දෙවියායි. ඔහුගේ දෙවියා මවාගත් කෙනෙකි. අපි ක්‍රිස්‌තියානි ජාතියකි. අපට තිබෙන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි පදනමකි. අපි සාතන්ගේ සතුරෝය. ජෝර්- බුෂ් ධවල මන්දිරයේ සිටින්නේ මහජන ඡන්දයෙන් නොව දෙවියන්ගේ නියමය පරිදි මිසදිටුවන්ට විරුද්ධව කුරුස යුද්ධය ක්‍රියාත්මක කිරීමටයි.''

ජනාධිපති ජෝර්- බුෂ් මහතා දියත් කළ කුරුස යුද්ධය ගැන ''ද ටෙලිග්‍රාප් ගෲප් ලන්ඩන් 2005'' ප්‍රවෘත්තියේ උපුටනයක්‌ 2005 ඔක්‌තෝබර් 08 දින අයිලන්ඩ් පත්‍රයේ පළකර තිබිණි. ''ඉරාකය සහ ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරන්නට දෙවියන් වහන්සේ මට නියෝග කළා'' යනු එහි සිරස්‌තලයයි. ''දෙවියන් වහන්සේ අප මෙහෙයවමින් අප සමීපයේ සිටිනවා. ජෝර්-, ඇෆ්ගනිස්‌ථානයට ගිහින් ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව සටන් කරපන් යෑයි දෙවියන් වහන්සේ මා මෙහෙයවූවා. මම එසේ කළා. ජෝර්ජ් පලයන් ඉරාකයට ගිහින් කෲර පාලනය අවසන් කරපන් යෑයි කීවා. මම එය කළා. මැද පෙරදිග පලස්‌තීනයට හා ඊශ්‍රායලයට සාමය ගෙන එන්නැයි කියන දෙවියන් වහන්සේගේ හඬ මට ඇසේවි කියලා මා හිතෙනවා.'' මෙයින් ඉස්‌මතු වන්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ සැබෑ ආගමික ස්‌වරූපයයි. ජෝර්ජ් බුෂ් මහතා මූලධර්මවාදී ''බෝන් අගේන්'' ක්‍රිස්‌තියානි නිකායේ සාමාජිකයෙකි. බොරු චෝදනා මත ඉරාකයේ සදාම් හුසේන් මරා දැම්මේ ඉස්‌ලාමිකයන්ගේ ඊදුල් අල්හා හඡ් ආගමික උත්සවය පැවැත්වෙන අවස්‌ථාවේ ය. පසුගියදා ඉරාකයේ කොටසක්‌ යටත් කරගත් සුන්නි මුස්‌ලිම්වරු ඉරාකයේ ක්‍රිස්‌තියානියට හැරුණ අය පැය 24 ක්‌ තුළ ඉස්‌ලාම් දහම වැළඳ නොගත්තොත් මරණ බව නිවේදනය කළහ. ඇමෙරිකාව ඉරාකය තුළ ක්‍රිස්‌තියානිය පැතිර වූ බව එයින් පැහැදිලි වෙයි.

"නවලෝක සැලැස්‌මට පිටුපසින් තිබෙන්නේ කුමක්‌ ද?" යනුවෙන් නම් කෙරුණ ඇමෙරිකානු ආගමික මෙහෙයුමක්‌ ගැන සඳහන් පොතක්‌ ආගමික සංවිධානයක්‌ මගින් ප්‍රකාශයට පත්කොට ඇත. ලොස්‌ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පුවත්පතේ 1991 පෙබරවාරි 16 දින පළ වූ ජනාධිපති ජෝර්ඡ් බුෂ් මහතාගේ ප්‍රකාශයක්‌ එහි දැක්‌වෙයි. "එය කදිම අදහසකි. විවිධ ජාතීන් පොදු අරමුණක්‌ උදෙසා එක්‌කෙරෙන එය නව ලෝක සැලැස්‌මකි. එය පෙරට ගෙන යැමට තරම් බලයක්‌ හා ශක්‌තියක්‌ ඇත්තේ එක්‌සත් ජනපදයට පමණි. පුද්ගලයන් වශයෙන් ද, ජාතීන්හි පුරවැසියන් වශයෙන් ද, අපගේ ජීවන රටාව අපගේ පවුල් හා රැකියාවන් අපගේ වෙළෙඳ කටයුතු හා ගනුදෙනු අපගේ අධ්‍යාපන ක්‍රම, ආගම් හා සංස්‌කෘතීන් අපගේ ජාතික අනන්‍යතාවයන් ආදී සියල්ල එමගින් වෙනස්‌ කෙරෙනු ඇත. කිසිවකුටත් එයින් මිදෙන්නට බැරි වෙයි."

නව ලෝක සැලැස්‌ම වශයෙන් එක්‌සත් ජනපදය ක්‍රියාත්මක කරන්නේ මුළු ලෝකය ම තමන්ගේ පාලනයට නතුකර ගැනීමේ වැඩපිළිවෙළකි. එය ඉතා සියුම් උපායන්ගෙන් සැදුනකි. වෙනත් රටවලින් එල්ල වන චෝදනාවලින් ගැලවීම පිණිස එක්‌සත් ජනපදය සිත් ඇදගන්නා මාතෘකා යොදා ගනියි. මානව අයිතිවාසිකම්

සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානුෂීය ආධාර ලබාදීම, සංවර්ධන ව්‍යාපෘති, අවබෝධතා ගිවිසුම්වලට එළඹීම, සාමය තහවුරු කිරීම, ත්‍රස්‌තවාදය පිටුදැකීම වැනි තේමාවන් ඒ අතර වෙයි. කිසියම් රටක්‌ සඳහා සැලැසුමක්‌ සකස්‌ කරන විට ඒ රටේ ආගම, සංස්‌කෘතිය, ස්‌වාභාවික සම්පත්, භූගෝලීය ලක්‌ෂණ, සංග්‍රාමික වැදගත්කම, යුධමය හා ආර්ථික ශක්‌තිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි ස්‌වභාවය ගැන ඇමෙරිකාව අවධානය යොමු කරයි. ඒ සඳහා දත්ත එක්‌රැස්‌ කරගැනෙන්නේ ඔත්තු සේවාවන්ට අමතරව ඒ ඒ රටවල විද්වතුන්ට මුදල් දී ලබාගන්නා ව්‍යාපෘති වාර්තා සහ උපාධි නිබන්ධන මාර්ගයෙනි. වින්ඩෝස්‌ 8 පරිගණක මෙහෙයුම හා දුරකථන මගින් ඇමෙරිකාව ඔත්තු සොයන බවට චීනය හා ජර්මනිය චෝදනා කරයි. ඇමෙරිකාවේ මූලික අරමුණ වන්නේ හිතවාදී නොවන රටවල් අවුල් කිරීම, හිතවත් පාලකයන් බලයේ පිහිටුවීම, සම්පත් සූරා කෑම වැනි දේවල් ය. ඒ අරමුණු සඳහා රටවල ආගමික සංස්‌කෘතික හා පාරිසරික හර පද්ධතීන් විනාශ කෙරේ.

අපේ රට තුළ ක්‍රිස්‌තියානිකරණයෙහි යෙදෙන බොහෝ මූලධර්මවාදී නිකායන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු ආධාරවලිනි. උතුරේ හින්දූන් 7000 ක්‌ ක්‍රිස්‌තියානියට හැරවීම ගැන 2003 අයවැය විවාදයේ දී චෝදනා නැඟූ හින්දු ආගමික ඇමති ටී. මහේෂ්වරන් මහතා ආගම්වලට හැරවීමට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කළේය. එවිට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඔහු කැඳවා සිදු කළ තරවටුව හේතුවෙන් පනත අතරමග නැවතුණි. ජාතික හෙළ උරුමය ද එවැනි පනතක්‌ ඉදිරිපත් කළේය. එම පනත සම්මත කළොත්, ශ්‍රී ලංකාවට ආධාර සැපයීම නතර කරන බවට ඇමරිකාවේ ක්‍රිස්‌ටිනා රොකා මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් ගුණතිලක මහතාට දැන්වූවාය. ඇමෙරිකා එක්‌සත් ජනපදය ආගම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. අනෙකුත් රටවල ආගමට හා සංස්‌කෘතියට තහංචි පනවයි. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති අන්ත ආගම්වාදී ස්‌වරූපයක්‌ ගනියි.

ඇමරිකා එක්‌සත් ජනපදය ලෝකයේ බොහෝ රටවලින් සංක්‍රමණය වූ මිනිසුන්ගෙන් සැදුන රාජ්‍යයකි. එය ගොඩනැඟුණේ වසර දෙසීයකට පමණ පෙර අප්‍රිකාවෙන් තලා පෙලා රැගෙන ආ වහල්ලුන්ගේ ශ්‍රමයෙන් හා වෙනත් රටවලින් කොල්ලකා ගත් සම්පත්වලිනි. විවිධ රටවල විද්‍යාඥයන්ගේ හා කාර්මික ශිල්පීන්ගේ දැනුම ලබාගැනීමෙන් එක්‌සත් ජනපදය කාර්මික හා විද්‍යා තාක්‌ෂණයෙන් දියුණු දේශයක්‌ බවට පත්ව ඇත. හොඳ නරක දෙක ම උපරිම වශයෙන් පවතින ඇමෙරිකානු ජනතාව ඉතා සංවේදීය. මානව දයාවෙන් පිරුණ පිරිසකි. අන් කෙනකුට හිරිහැර කරනවාට අකමැතිය. ඔවුන් අසල්වැසියාගේ ඕපදූප සොයන්නේ නැත. බහුතර ජනතාව සම්බන්ධයෙන් එම විග්‍රහය නිවැරැදි ය. මග තොටකදී ඔබට කරදරයක්‌ වුවොත්, සෑම කෙනකුම ඔබගේ පිහිටට පැමිණෙනු ඇත. එය රට ඇතුළත සාමාන්‍ය ජනතාවගේ ස්‌වභාවයයි. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති තුළ එවැනි මානව හිතවාදයක්‌ නැත.

සෑම වර්ෂයකම තම රට මගින් ලෝකයේ රටවල දියත් කෙරෙන මුස්‌ලිම් විරෝධී ව්‍යාපෘතිවල ප්‍රගති වාර්තාවක්‌ ඇමෙරිකානු ආරක්‌ෂක අංශය ලබාගනියි. ආසියානු කලාපය තුළ මුස්‌ලිම් බල ව්‍යාප්තියට එරෙහිව එක්‌සත් ජනපදය සෘජුව පහර එල්ල කරන්නේ නැත. ඒ වෙනුවට රටවල් තුළින් ම කණ්‌ඩායම් යොදා ගනියි. අපේ රට තුළ මුස්‌ලිම් හා සිංහල ජනතාව අතර ගැටුම්කාරී වාතාවරණයක්‌ උද්ගත වී තිබේ. එය හුදෙක්‌, බෞද්ධ හෝ මුස්‌ලිම් ජනතාව අතරින් මතු වූ දෙයක්‌ යෑයි සිතීම වැරැදියි. එය මෙහෙයවන කිසියම් අදිසි බලවේගයක්‌ තිබෙන බව සිතිය හැක. ඇතැමුන් එකඟ නොවුණත්, වර්තමාන ආණ්‌ඩුව යම් පමණකට හෝ දේශීයත්වයට නැඹුරු වූවකි. ආණ්‌ඩුව බහුතරයක්‌ බෞද්ධයන්ගේ හා භික්‌ෂූන්ගේ ශක්‌තිය මත පවතින බව ද නොරහසකි. තමන්ට ගැති නොවූ රාජපක්‍ෂ පාලනය ඇමෙරිකාව නොරුස්‌සයි. එය බිඳ දමන්නට සරත් ෆොන්සේකා මහතා ලවා ගත් වෑයම සඵල නොවුණි. භික්‌ෂුවක්‌ ජනාධිපති පොදු අපේක්‌ෂකයකු කිරීමෙන් බෞද්ධයන් බෙදීමේ සැලැස්‌මක්‌ ද තවම පවතියි. පොදු අපේක්‌ෂක සංකල්පය අප හිතවත් පූජ්‍ය සෝභිත හිමියන්ගේ නොවන බව අපගේ විශ්වාසයයි. පසුබිමේ සිටින්නේ එන්. ජී. ඕ. නඩයකි. අපේ හිටපු ජනාධිපතිනිය හිටි ගමන් ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි පැවසීම හා බෞද්ධ නායකයකු වන දලයි ලාමා තුමාගේ ප්‍රකාශන අහඹු සිදුවීම් නොවේ. බේරුවල සිද්ධියෙන් පසු කිසි වැදගම්මක්‌ නැති එජාපයේ මන්ත්‍රීවරයකු කැඳවා පැසසීමට හා ඔහුට රැකවරණය දීමට තරම් ඇමරිකානු තානාපතිනියට ඇති වුවමනාව කුමක්‌ ද? ආගමික ගැටුම් ඇතිකිරීමට ඇමෙරිකාව නෝර්වේ හරහා කිසිවකුට මුදල් දුන්නා ද? පිළිතුරු සෙවිය යුතු මෙවැනි ප්‍රශ්න රැසක්‌ අපට තිබේ. ඥානසාරහිමියන්ගේ වීසා අහෝසි කළ ඇමෙරිකාව අනාගතයේ වටරැක විජිත විදේශයකට ගෙන යැමට ඉඩ ඇත. ජිනීවා මානව හිමිකම් කමිටු මෙහෙයුමට අතිරේකව අපේ රට තුළ ආගමික උමතුවක්‌ නිර්මාණය කොට ආණ්‌ඩුව පලවාහැරීම තවත් ඇමෙරිකානු තුරුම්පුවක්‌ වන්නට පුලුවන. මැතිවරණය මුල්කරගෙන රට පාවා දෙන එන්. ජී. ඕ. වලට සල්ලි පොම්ප කොට රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම ඇමෙරිකානු ඉලක්‌කයකි. බටහිර ව්‍යාපෘතිවලට පසුබිම සකස්‌ කරන පුද්ගලයෝ ආණ්‌ඩුව ඇතුළත ම සිටිති. බලලෝභී මුස්‌ලිම් ඇමතිවරුන් ඉස්‌ලාම් ආගමික අන්තවාදය ඇවිස්‌සීමෙන් කරන්නේ ඇමෙරිකානු ආගමික මෙහෙයුමට මුස්‌ලිම් ජනතාව බිලිදීමයි.


[දිවයින]

8/21/2014

තොත්ත බබෙකුගේ - “උක්කුං” පොතක්!

කතෘ:යුතුකම     8/21/2014   3 comments

දේශපාලන විඥානයක්, ජීවන දෘෂ්ටියක් හා කතා කලාව පිළිබඳ පරිචයක් නැති අය නවකතා ලියන්නට ගත් කල; එම කලාව පිරිහෙයි. එහි ප්‍රමිතිය බිඳ වැටෙයි. පාඨකයා නන්නත්තාර වෙයි. බටහිර සාහිත්‍යයේ ප්‍රමුඛ ගද්‍ය නිර්මාණ විශේෂය වූ නවකතාවේ මූලික ආධ්‍යාශ දෙකක් පවතී.
පළමුවන්න පාඨකයාගේ වින්දනයට අදාළ විස්මිත කතා වස්තු ගොඩනැඟීම ය. දෙවන්න පාඨක සමාජය නො දන්නා ජීවන යථාර්ථ හෙළිදරව් කරමින් ඔවුන්ගේ ජීවිත පරිඥානය පුළුල් කිරීම ය. මේ දෙකෙන් එකක් හෝ ඉටු නො වන කල ඒවා නවකතා ගණයට නො වැටේ.

රසවින්දනය ඇති කිරීම, හා ජීවිත පරිඥානය ලබාදීම පහසු කාර්යයක් නො වේ. පළමුව කතුවරයා ඒ සඳහා සුදුසුකම් ලබාගත යුතුය. ජීවිතය ගැනත්, සමාජය ගැනත් මෙලෝ හසරක් නො දන්නා මෝඩ ස්ත්‍රීනට නව ප්‍රබන්ධ ගෙතිය හැකි නො වේ. සමාජයට වැඩදායක නවකතාවක් ලියන තැනැත්තා පළමුව කලාව, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය වැනි විෂයයන් හදාරා දැනුමක් එකතු කර ගත යුතු ය. දෙවනුව සිද්ධි ගළපා කතා වස්තුවක් ගොඩනැඟිය යුතු ය.

තෙවනුව චරිත අධ්‍යයනය කරමින් තමන්ගේ අත්දැකීම් ප්‍රති-නිර්මාණය කළ යුතු ය. ඒ කිසිවක් නො කොට හිතට නැඟෙන බහුභූත සියල්ල නවකතා ලෙසින් එළියට දැමීම බලවත් අපරාධයෙකි. තොත්ත බබෙකු විසින් ලියන ලද “උක්කුං” කතාවක් කියවන්නට ලැබිණි. එම පොත “ඇස්” ලෙසින් නම් කර ඇත. කතුවරිය තාරකා වාසලමුදලිආරච්චි යැයි දක්වා ඇත. ඇයට තොත්ත බබා යැයි කියනුයේ මනුෂ්‍ය ජීවිත ගැන ශත පහක අවබෝධයක් නැති බැවිනි. “මොන්ටිසෝරි” යන ළමයින් ජීවිතය ගැන මීට වඩා ගැඹුරින් සිතනු ඇත.

ඇගේ කතාව උක්කුං කතාවක් වන්නේ නවකතාවක දක්නට ලැබෙන කිසිදු ශිල්ප-ධර්මයක් එහි නැති බැවිනි. එය අමු බේගල්වලින් ද, කුණුහරුපවලින් ද පිරී පවතී. කතාරසයක් ඉන් මතු නො වේ. ජීවිතයට වැද්ද ගත යුතු කිසිවක් ද එහි නැත. මෙබඳු ජරා පොත් ගැන සටහන් තැබීම සඳහා පුවත්පතක ඉඩ නාස්ති කිරීම තවත් අපරාධයෙකි. එහෙත් එම අපරාධය සිදු කළ යුත්තේ සිංහල පාඨකයා මේ මඩ ගොහො‍රුවෙන් බේරාගැනීම සඳහා ය.

මේ පොතේ පිට කවරයෙහි එන ආකර්ෂණීය පින්තූරවලට පාඨකයා රැවටීමට පුළුවන. රැවටී මිලක් ගෙවා මේ පොත ගන්නට පුළුවන. එහෙත් එහි ඇතුළ හිස් ය. කඩදාසි, තීන්ත පමණක් නො ව මිනිස් ශ්‍රමය ද අපතේ යවා සිදු කර ඇති මේ බොරුව සිංහල නවකතාවට කරන ලද අපහාසයක් සේ හැඳින්විය හැකි ය. කිංකිණි නම් රූපවාහිනී ශිල්පිනියක හා “ජේ” නම් අමෙරිකන්කාරයකු අතර ගොඩනැඟෙන පැණි බේරෙන ආදර කතාවක් මේ පොත පුරා ම එයි. කිංකිණි දරුවන් ඇති මවකි. ඇගේ වෘත්තිය ප්‍රවෘත්ති නිවේදිකා හෝ වැඩසටහන් නිෂ්පාදිකා විය හැකි ය.

ජේ නම් අමෙරිකන්කාරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පරිසරය පිළිබඳ ව්‍යාපෘතියක් නිමා කිරීමට ය. එහෙත් මේ කිසිවක් හරියට සිදු වන්නේ නැත. දිගින්-දිගට ම විස්තර කෙරෙන්නේ කිංකිණිගේ හා ජේගේ පැණි හැළියයි.

“you are so beautiful honey”
ජේ කිංකිණිට හෙමින් කිව්වා
“I love my American honey”
කිංකිණි එහෙම කියලා ඇස්වලින් හිනාවුණා.
(පිටුව - 155)


මේ කතුවරිය ලැජ්ජාව, භය, ජුගුප්සාව ආදී හැඟීම් නො දැනෙන කෙනකු ලෙස ද, දරුවන් වදා ඇති‍‍’මුත් දාරක ප්‍රේමයක් නො දන්නා කෙනකු ලෙස ද අපට හැඟී යයි. කතුවරිය සිටිනුයේ එක්තරා හීනයක ය. ඒ සිහිනයේ කුමාරයා අඩි හයක් උස නිල් ඇස් ඇති යෝධ අමෙරිකන්කාරයෙකි. මේ යෝධ මිනිසා සමඟ තොදොල් වීමත්, යහන්ගත වීමත් හැර වෙනත් අභිප්‍රායයක් ගැහැනියට නැත. බලාගෙන යන විට එය මානසික රෝගයකි. පොත කියවන සියලු ගැහැනුන්ට මේ රෝගය වැලඳුණහොත්; එතැනින් ම ශ්‍රී ලංකාව ඉවර වනු ඇත.

ඇතැම් විට මෙය විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන්නට ද පුළුවන. කිංකිණි නම් කාලකණ්ණි ගැහැනිය අපේ සමාජ හර පද්ධතියට ගරහයි. පවුල් සංස්ථාව බිඳ ගනියි. තම දරුවා ලවා හොර මිනිහාට තාත්තා කියවයි.

“අත්තම්මේ...”
සනීප පුටුවෙ හෙමි - හෙමිහිට පැද්දෙන
අතරෙ රෝස පෙත්තා අත්තම්මා දිහා බැලුවා.
“මං එයාට ගොඩාක් ආදරෙයි”
“කාට ද?”
අත්තම්මා නොදන්නා තාලෙන් ඇහුවා.
“ජේ තාත්තිට”
ඔයා එයාට අලුත් නමකුත් දුන්න ද?”
රෝස පෙත්තා හුරතලේට හිනාවුණා.
“ඒ නම ලස්සනයි. එයා ඔයාට ගොඩාක් ආදරේ වේවි...”
අත්තම්මාත් ඇස්වලින් හිනා වුණා.
(211 – 212 පිටු)

මේ නවකතාවේ එන මිනිසුන්ට හා ගැහැනුන්ට කටවල් නැත. ඔව්හු ඇස්වලින් ම සිනා සෙති. ඇස්වලින් ම කතා කරති. ඇස්වලින් ම පෙම් කරති. නාකි අත්තම්මා පවා ඇස්වලින් ම සිනාසෙනු දකින්නට ලැබේ. මේ නිරූපණවලින් පෙනී යන්නේ කතුවරිය පෙළන මානසික ව්‍යාධිය මිස අන් දෙයක් නො වේ.
“ඇස්” නමැති මේ පොත බලවත් සමාජ හානි හතරක් සිදු කරයි.

(I) පවුල් සංස්ථාවේ හරය විනාශ කරයි.
(II) දරුවන් නොමඟ යවයි. අත්තම්මලා නොමඟ යවයි.
(III) භාෂාව ඉතා නරක ලෙස විකෘති කරයි. විනාශ කරයි.
(IV) ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ගැන බොරු කප්පරක් වපුරයි.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ පවුල යන සංකල්පයට විශාල බරක් ‍තිබේ. එය සැමියා - බිරිය, දරුවන් යන සාමාජිකයන්ගේ බැඳීම්වලින් ද ඉන් ඔබ්බෙහි සිටින ඥාති පරපුරෙහි බැඳීම්වලින් ද ශක්තිමත් ය. ආක්‍රමණිකයකුට එම ඒකකය වෙත පහසුවෙන් කඩාවැදිය නො හැකි ය. පවුලේ බැඳීම් පහසුවෙන් - ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නො හැකි ය. කතුවරිය කිංකිණිගේ නිත්‍යානුකූල සැමියා නපුංසකයකු බවට පත්කර තිබේ. අත්තම්මා කෘත්‍රීම තැනැත්තියක බවට ද, දරුවා මෝඩයකු බවට ද පත් කර තිබේ.
අප්‍රිකානු කතා කලාවේ නූතන පුරෝගාමියා ලෙස ගෞරවයට පාත්‍රවන්නේ චිනුවා අචෙබේ ය. ඔහු වරක් කියා ඇත්තේ ස්වකීය සංස්කෘතියට, භාෂාවට හා හර පද්ධතියට හානි සිදුකරන ලේඛකයා කතා කලාවට පමණක් නො ව මුළු මහත් ජාතියකට ම ද්‍රෝහිකමක් සිදු කරන බව ය. මේ කතුවරිය ද සිංහල නවකතාවට පමණක් නො ව; අපේ ජාතියට ම ද්‍රෝහිකමක් සිදු කරයි.

මේ පොත දරුවකු අතට පත්වුවහොත් ඔහු ජීවිතය මල් - මල් යැයි සිතන්නට පුළුවන. හොර තාත්තලා ගැන සිහින මවන්නට පුළුවන. වරදෙහි බැඳෙන අම්මලාට ආදරය කරන්නට පුළුවන. ජීවත්වීම යනු දුෂ්කර ක්‍රියාවලියෙකි. ඒ සඳහා බොහෝ කැපවීම් කළ යුතු ය. දුක්ඛ - දෝමනස්ස ඉවසිය යුතු ය. “ඇස්” නම් කතාවේ පිළිවෙළට ජීවිතයට ඇත්තේ හොර සැමියන් කැටුව ප්‍රේම කිරීම පමණි. එම ප්‍රේමය මත්තේ හැපෙමින් ජීවිතය මල් - මල් කර ගත හැකි ය. මෙබඳු බේගල්වලින් පාඨකයා මුළාවේ දැමීම කෙතරම් පාපයක් ද?

කතුවරිය භාෂාව ඉතා නරක අන්දමින් විකෘති කරයි. එහි සම්ප්‍රදාය ආඛ්‍යාන රටාව හා ලාලිත්‍යය විනාශ කරයි.

“මොකක්දෝ නොතේරෙන තිගැස්මක් කිංකිණිගේ හිත අවුල් කළා... ඒක ඇපැහැදිලි... පැහැදිලි... ආයෙත් අපැහැදිලි වෙන ජාතියේ පුංචි තිතක් වගේ හැඟීමක්. දැන් ආයෙත් හිත වෙන තැනකට සංක්‍රමණය වුණා. ඉක්මනින් ම, News line channel එක. Live updates කාර් පාක් එකේ කාර් එක දාලා lift එකේ ඇවිත් 12 වැනි Floor එකේ එකට එන ටිකට හමුවුණු හැම කෙනාම කලබලේක. channel 9 එකේ වෙනදා උදේට තියෙන අලුත් නැවුම් ඒත් හරි ම ක්‍රියාශීලී කලබල ගතිය අද වෙනස්. කලබල ගතිය තිබුණා. ඒත් හැමෝගෙම මුහුණුවල තිගැස්මක්.”
“Traffic jam එකේත් ළතැවිලා lift එකේ තදබදයටත් මුහුණ දීලා කිංකිණි දැන් නම් ඔන්න News line එකේ.”
(පිටුව - 248)

කතුවරියට සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ නිවැරැදි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පුළුවන්කමක් නැත. ඇය සිටිනුයේ බලවත් ආරවුලකය. ඒ හැරෙන්නට මේ තරමින් භාෂාව විකෘති කිරීමට ඇයට අයිතියක් නැත. භාෂාව ඇයට පමණක් සීමා වූ බූදලයක් ද නො වේ.

මේ පො‍ත් කබලෙන් හෙළිදරව් වන ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීනට ඇත්තේ කුමාර ජීවිතය. ඔව්හු කාර්වල යමින්, හෝටල්වලින් කමින්, එකිනෙකාට පෙම් කරමින් ආශික් ජීවිත ගත කරති. එබඳු තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නැත. ජනමාධ්‍ය රැකියාවලට වෘත්තීය මට්ටමක් පවා තව ම ලැබී නැත. මේ ක්ෂේත්‍රයට සම්බන්ධවූවෝ තෝසෙ කඩවලින් වඩේ කමින්, ණයට ප්ලේන්ටි බොමින් ඉතා දුක්බර ජීවිත ගත කරති. ඔව්හු පවුල් සංස්ථාව තුළ නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙති. දුක් විඳිති. සැනැසිල්ලක් ඇතොත්; ඒ සත්‍යය හෙළිදරව් කිරීමෙන් ලැබෙන තෘප්තිය පමණි.

තාරකා වාසලමුදලිආරච්චිගේ කතාවේ එන කිංකිණි සුනාමියකින් බේරීම සඳහා අමෙරිකන් හොර සැමියා ද කැටුව හෙළිකොප්ටරයකින් නුවරඑළියට යති. එම හෙළිකොප්ටරය ලබා ගන්නේ ද මහ පාරේ වාහන තදබදය නිසා ය. හෙවත් කතුවරිය කියන ලෙස “ට්‍රැෆික් ජෑම්” නිසා ය. මහ පුදුමයකි. ඔය හදිසියට හෙළිකොප්ටරයක් හයර් කිරීමට මේ අමෙරිකාව නො වේ.

කුමක් වුව සිංහල නවකතාවේ පෝෂණයට හරවත් දායකත්වයක් ලබා දෙන ලේඛිකාවන් පිරිසක සිටින බව ද ගෞරවයෙන් යුතු ව සිහිපත් කළ යුතු ය. තාරකා වාසලමුදලිආරච්චි වැනි අය එබඳු ලේඛිකාවන්ට ද අයුක්තියක් කරන බව සටහන් කරන්නට කැමැත්තෙමි.

8/18/2014

නූතන ලංකාවේ පියා තවමත් ජයවර්ධනද?

කතෘ:යුතුකම     8/18/2014   2 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


බටහිරයන් විසින් මෙරට වපුළ විජාතිකත්වයට එරෙහි ආස්ථානයක පිහිටා ජාතිකත්වය පෙරටු කොට 1951 දී  බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 වන විට රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් විය. එතරම් අඩු කලෙකින් බලයට පත්වීමට හැකි වීම එය 56 පෙරළිය ලෙස හැඳින්වීමට එක් හේතුවකි. බණ්ඩාරනායක මහතාට ඒ සඳහා ගත වූයේ වසර කිහිපයක් බව සැබෑවකි. නමුත් ඒ සඳහා පිටිවහල් වුනු සිය උරුමය නැවත පාදා ගෙන සියවස් ගණනාවක් පුරා අහිමිව ගිය සිය ස්වාභිමානය යළි ප්‍රතිෂ්ටාපනය කර  ගැනීමේ ජාතික අභිලාෂයන් ජනතා හදවත් තුළින් පරාධීනත්වය හමුවේ අළු බවට පත් වී නොදී අවුළුවා තබා ගැනුම සඳහා අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ දේශහිතෛශීන්ට වසර ගණනාවක් පුරා සුවහසක් බාධක, කම්කටොලු මැද මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන්නට සිදුවූ බව අප සිහි තබා ගත යුතුය. 19 වන සියවස අග භාගයේ ඇරඹි අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය නොවන්නට බණ්ඩාරනායක මහතාට නැවත අවුළුවා ගත නොහැකි පරිදි මෙරට ස්වදේශික ජනයාගේ සිය ජාතික උරුමය යළි පාදා ගැනීම පිළිබඳ වූ පැතුම අළු බවට පත් වී තිබෙන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් බණ්ඩාරනායක මහතාද එවැනි දේශපාලන ගමනක් නොඅරඹනු ඇත.

කෙසේ නමුදූ බණ්ඩාරනායක මහතා බලයට පත් වී ටික කලෙකින් එතුමා ලිබරල්වාදී කඳවුර වෙත වඩා සමීප  වී අවසන ඔවුන් අතින්ම මරුමුවට පත් විය. එතුමාගේ ඇවෑමෙන් බලයට පත් බිරිද සිරිමාවෝ මැතිණිය මෙරට වාමාංශික පක්ෂ හා එක්ව ගමනක් ඇරඹීය. ඒ අවදීන් කෙටියෙන් පැහැදිළි කරන සටහනක් ගුණදාස අමරසේකරයන්ගේ කවන්ධයට හිසක් කෘතියෙන් මෙසේ උපුටා දක්වමු.

"70-77 කාලය තුළ එතුමය විසින් ගෙනෙයන ලද අධිරාජ්‍යය විරෝධි සටන, මානව හිතවාදී, සමාජවාදී සිංහල-බෞද්ධ උරුමය පුනරුත්ථාපනය සඳහා තබන ලද ඉදිරි පියවර අප විසින් අද වුව කෘතඤතාපූර්වකව සිහිපත් කළ යුතු යයි මම සිතමි. ඒ තුළ වූ අනවශ්‍යය ක්‍රියා මාර්ගවලින් ඒ ප්‍රයත්නය මුදා ඉදිරියට ගෙන යාමට හැකි වී නම් මේ වන විට මේ රට අප පැතූ මඟෙහි බොහෝ දුර ගොස් තිබෙනු ඇතිය යන මතය බැහැර කළ හැකි නොවේ. පසුගිය කාලපරිච්ඡේදය තුළ අප මුහුණ දුන් ඛේදවාචක ඒ මඟ ඇසුරෙන් වළක්වා ගැනීමේ අවස්ථාව අප සතුව තිබුණා නොඅනුමානය. විජේවීරගේ මෙන්ම ප්‍රභාකරන්ගේද ත්‍රස්තවාදයට එක් හේතුවක් අප විසින් ඒ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය අමතක කිරීම නොවේද?

සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගත් ඒ ගමන් මඟ අසාර්ථක වීමට හේතු කීපයක් වී යයි මම සිතමි.  ඉන් එකක් නම් මාක්ස්වාදීන්ගේ ඇතැම් න්‍යාය පිළිපදින්නට යෑමයි. දේශීය වතු හිමියන්ගේ ඉඩම් ජනසතු කිරීමට යෑම එවැන්නක් නොවේද? එය කිසි ලෙසකින් බහුතර ජනතාවගේ ආශිර්වාදයට පාත්‍ර වූවක් නොවේ. එමෙන්ම ඒවා ජනසතු කිරීමෙන් පසු අමන දේශපාලකයන් විසින් ඒවා තුළ ගෙන යන ලද දූෂිත පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූවක් විය. ඒ ජනසතුව මානව හිතවාදී සමාජවාදී පියවරයක් ලෙස නොව ඊර්ෂ්‍යා, ක්‍රෝධ පරවශව ගෙන යන ලද අධම ක්‍රියාවක් ලෙසිනි, ඔවුන් දුටුවේ. එමඟින් ජේ ආර් ජයවර්ධනට ඒ රජය අධර්මයට මුල්තැන දෙන රජයක් ලෙස හැඳින්වීමේ අවස්ථාව පාදාදෙන ලදී. අනික් හේතුව නම් ඒ රජයේ මූලික ක්‍රියා කලාපය අපගේ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය වෙත ළඟා වීමක් ලෙස අර්ථකථනය කිරීමට, පෙන්වාදීමට සමත් වූ ප්‍රඥාංකුර පිරිසක් ඒ වන විට සමාජය තුළ නොසිටීමයි. ඒ වෙනුවට සිටියේ දේශීය ප්‍රඥාංකුර පිරිසක් නොව ඉණිමඟේ ඉහළට නැගීම එකම අභිලාෂය කරගත් මැද පංතියේ නව සමාජ ස්ථරයකුයි. මැද පංතියෙන් බිහි වූ ඒ නව සමාජ ස්ථරයේ එකම අරමුණ වූයේ සිවිල් සේවයට ඇතුළු වී වැජඹීමයි. විශ්වවිද්‍යාලය තුළ ට්‍රොට්ස්කිවාදය ගැන බෙරිහන් දුන් එකාද සිවිල් සේවයට ඇතුල් වීමෙන් පසු කට පියා ගත්තේය. අවට ලෝකය ගැන තමන් උපන් නිජබිම ගැන නොතකා, එදෙස නොබලා සිය මනෝමන්දිර නිර්මාණය කරගෙන ඒ තුළ රැදී සිටීමට එ කල බිහි වූ පේරාදෙණි සාහිත්‍යයද ගමෙන් ආ තරුණයා මෙහෙයවීය. පේරාදෙණි සාහිත්‍යය සැපයූ මේ අධම අනුබලයයි එයට එරෙහිව නැඟිට සිටීමට මා එවේලෙහි මෙහෙයවූයේ."

අධර්මිෂ්ට රාජ්‍යය බිහි වීම


ජේ ආර් ජයවර්ධන පවා බලයට පත්වීම පිණිස යොදාගත්තේ ලාංකීය ජනතාව සතුවූ සිය උරුමය සොයා යාම සඳහා වූ නොසංසිඳුනු පිපාසයයි. "ධර්මිෂ්ට රාජ්‍යය" එහි තේමා පාඨය විය. බලයට පැමිණි පසු ඔහු අර උරුමය අතුගෑවිලා යන පරිදි නියම අධර්මිෂ්ට පාලනයක් ගෙන ගිය බව අපි දනිමු. ඉන් පසුව පත් වූ එක්සත් ජාතික පක්ෂ නායකයින් කළේ සුළු වෙනස්කම් සහිත වුවත්  ජයවර්ධන පෙන්වූ මගෙහිම ඉදිරියට යාමයි.

ඉන් පසු ලාංකීය ජනතාව මහත් හරසරින් ශ්‍රී ලංකා .නිදහස් පක්ෂය පැත්තෙන් පිළිගත්තේ ඒරොප්පෙන් පාත් වූ චන්ද්‍රිකා ය. මෙරටට සාමය උදා කරමින් සිය මව හා පියා ගත් මගෙහි ඉතිරිය එහි වූ අඩුපාඩුද නිවැරදි කරමින් ගමන් කරනු ඇතිය යන බලාපොරොත්තුවකිනි මෙරට ජනතාව ඇයව බලයට පත් කරන ලද්දේ. නමුත් ඇය බලයට පත් කිරීම පණිස ඇය වටා සිටි එන්,ජී.ඕ නඩය මෙරට ජනයා නොදුටූහ. එංගලන්තයේ සිට ඇය මෙහි කැටුවාගෙන ආයේ අනෙකක් සඳහා නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය  බිහි වූ සහ එය ගොඩනැගුණු දේශජ ජාතිකත්ව පදනම වෙනස් කර දැමුමටයි. බලය තිබෙන තාක් එය ජලයේ ගිල්වූ රබර් පන්දුවක් මෙන් යට කර තබා ගත හැකි හැකිවූවා මිස එය වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හෝ නොහැකි විය.

මහින්ද යුගය


ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කර ගන්නේ නැවත වරක් ඒ නිවැරදි පදනම දෙස බලමිනි. ඒ වන විට රනිල් මෙන්ම චන්ද්‍රිකා ද ඒකීය ලංකාවක් යන මතය බැහැර කර සිටියහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒකීයත්වය පිළිගෙන කටයුතු කළේය. චන්ද්‍රිකා බටහිර ගැති අවජාතක එන්. ජී ඕ. කාරයන් විසින් අභිෂේක කරන ලද්දියක වූව මහින්ද අභිෂේකත්වය ලැබුයේ මෙරට ජාතිමාමක  සුජාත  දූ පුතුන් විසිනි.

මෙලෙස ලාංකිකයන් විසින් සිය නායකයන් තෝරා ගැනීම දෙස විමර්ශනාත්මකව බලන අමරසේකරයන් පෙන්වා දෙන්නේ මෙරට ඉමහත් බහුතරය වූ සිංහල-බෞද්ධයන් විසින් තමන්ට අහිමව .ගිය ජාතික උරුමය- මානව හිතවාදී සමාජවාදී සමාජය ලබා ගැනීම සිය එකම ප්‍රාර්ථනය කර ගෙන ඇති බවයි. ප්‍රජාතන්ත්‍ර මාර්ගයෙන් බැරිනම් හිංසන මගින් හෝ එය ඉටු කර ගැනුමට ඔවුන් පසුබට නොවන බවයි.

ඊළාමය විනාශ කර රට එක්සේසත් කිරීමෙන් පසු ජනතාව මෙවර මහින්ද රාජපක්ෂ අසීමිත බලයකින් යළි පත් කර ඇත්තේ කළගුණ සැලකීමක් වශයෙන්ම නොවේ. ඒ ලබාදෙන අසීමිත බලය මඟින් අපගේ සිංහල-බෞද්ධ ජාතික උරුමය ඉදිරියට ගෙන යනු ඇතිය යන විශ්වාසය උඩයි. කළගුණ සැලකීම අපගේ පෞද්ගලික සබඳතාවලට බලපාන ආචාර ධර්මයක් විනා දේශපාලන ක්ෂේත්‍රය තුළ බලපාන ආචාර ධර්මයක් නොවන බව මේ වන විට මේ රජය අවබෝධ කරගෙන ඇතැයි සිතමි. [කවන්ධයට හිසක්]

වැරදුනු තැන

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වය රෙද්ද, බැනියමට, බතට, බුලතට සීමා වූවක්ය යන්න අතිශයෝක්තියක් නොවන බව අපගේ වැටහීමයි. ජාතිකත්වය මත පදනම්ව මෙරටට අවැසි සාකල්‍යය දැක්මකින් සමාජ ආර්ථික දේශපාලන දර්ශනයක් හා බැදුනු ප්‍රායෝගික ගමන් මගක් බිහි කර ගැනුමට එම පක්ෂය අසමත් වී ඇත. එවැන්නක් පිළිබඳ ඔවුනට විශ්වාසයක් තිබෙන සෙයක් දක්නට නැත. අමරසේකරයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස නැති කවන්ධයක් ලෙස කලෙක සිට හඳුන්වන්නේ එබැවිනි. එවැනි සංවාදයක් තබා රාජ්‍යය ආයෝජනයන්හි ප්‍රමුඛතා පිළිබඳ පලදායි සාකච්ඡාවක්වත් අද මේ රට තුළ නැත. පාක්ෂිකයන්, මන්ත්‍රීන් හැම එකාම පාහේ අත උස්සන නිවටයන් පමණි. දේශපාලනඥයන් එහෙයියන් වන විට බුද්ධිමතුන් හෝයියන් බවට පත්ව ඇත.

එනිසා සිය ජාතික උරුමය යළි පාදා ගැනීමේ අවිඥානික ජනතා පැතුමත්, රජයේ ක්‍රියාකලාපයත් අතර පරතරයක් ඇති වී ඒ පරතරය දිනෙන් දින වැඩි වෙමින් යයි. ඒ පිළිබඳ තැකීමක් නැති දේශපාලකයෝ දේශපාලන දැක්මකින් තොරව සිය කාර්යයන් නිලධාරීන් වෙත පවරා සැමදා ජනතාව තමන්ට කළගුණ සලකතැයි යන දුර්මතයෙහි එල්බ සිටිත්.

නූතන ලංකාවේ පියා

මේ තත්වය යටතේ මෑතකදී රජයේම ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටියේ නූතන ලංකාවේ පියා තවමත් ජේ ආර් ජයවර්ධන බවය. එ‍ය නිවැරදි නිගමනයක් යනු අපගේ ද හැඟීමයි. කවන්ධයට උචිත හිසක් සෙවීමට වුවමනාවක් තිබුනි නම් ඒ තත්වය වෙනස් කර ගැනුම සඳහා සංවාදයක් මෙරට තුළ ඇති කරවීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධාන රජය මඟින් යුද්ධයෙන් පසුව කටයුතු කළ යුතුව තිබුණි. නමුත් රජයට සංවාද අවැසි බවක් වත් මෙහි ජනයා එවැනි සංවාදයක් ඉල්ලා සිටි බවක් වත් නොපෙනිණි. යථාර්තවාදී සංවාදයක් ගොඩනගනු වෙනුවට ආශ්චර්යයෙන් ජනතා දෑස් නිලංකාර කරවීමට රුචි සෙයකි රජය පැත්තෙන් දිස් වන්නේ. ජනතාවගේ පැත්තෙන් පෙනෙන්නට තිබුනේ යුද්ධය අවසන් කරවීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඔවුන් අභියසට නැවත වරක් සපැමිණි මහා පැරකුම් නිරිඳුන් සේ සළකා ඔහුට ඕනෑ දෙයක් කරන්නට දී ඔහු විසින් මෙරටට අවැසි සුබසෙත සළසා දීමට කටයුතු කරතැයි යන පූර්ණ නිගමනයෙහි එල්ඹ කටයුතු කිරීමයි. එබැවින් යුද්ධයෙන් පසු මේ දක්වා කාලය අසංවාදිතව අර හිස නැති කවන්ධයට හිස සෙවීම පසෙක තබා ඒ හිස නැති ගෙල රන් මාල පළඳන යුගයක් බවට පත්විය.

මේ අවාසනාවන්ත තත්වයට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් විපක්ෂයේ කිසිදූ  දේශපාලන පක්ෂයක් විසින් එවැනි හරවත් සංවාදයක් බිහි කිරීමයට කටයුතු නොකිරීමයි. එක්සත් ජාතික පක්ෂයට කවදත් සරු සංවාදයකට සහභාගී වීමේ හැකියාවක් තිබී නැත. නව ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ජනතාවට වසං කරමින් බටහිරට අවැසි ලෙස ගෙනයන හොර න්‍යාය පත්‍රයකි. ජාතිකත්වයන් දියකර හැරීමට යම් මතයක් ගොඩනැගීමට තැත් කිරීම ඔවුනට බාර වී ඇති සෙයක් කල්පනාවෙන් ඔවුන්ගේ දේශපාලන හෑසිරීම් නිරීක්ෂණය කරන්නකුට වටහා ගැනීම අපහසු නැත.

ඒ කෙසේ වෙතත් රජය සිය ජනවරමට අනුකූලව කටයුතු කළේ නම් තවමත් පියා ජයවර්ධන නොවිය යුතුව තිබුනි. මේ වන විට නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව තිබුනි. දැන් ගෙන යන ආර්ථික ක්‍රමවේදය  මීට වඩා බෙහෙවින් වෙනස් එකක් වන්නට තිබුනි. ජනතාවට මුව අයාගෙන ආණ්ඩුව විසින් ගෙනෙන ආශ්චර්යය දෙස බලා සිටිනු වෙනුවට එය වඩා සාමූහික ප්‍රයත්නයක් විය යුතුව තිබුනි.

නූතන ලංකාවේ පියා ජයවර්ධන නම් මහින්ද කවුද? මහින්ද මෙන්ම මුළු මහත් සමාජයම ජයවර්ධන පුත්‍රයන් බවට පත්වී නැතිද? එම තත්වය වෙනස් කර අපගේ උරුමය යළි පාදා ගැනුම පිණිස බලයට පත් කළ මහින්ද, ජයවර්ධනගේ සුජාත පුත්‍රයෙක් ලෙස හැඳින්විය හැකිද?

හිස සෙවීමට අරඹමු


මෙවැනි තත්වයක් උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති කවන්ධයට උචිත හිස සොයා ගැනීම පිණිස අවැසි වන බුද්ධිමත් පිරිසක් එම පක්ෂය තුළ නොමැති වීම නිසා යයි සිතමි. ඒ වෙනුවට එහි ඇත්තේ දේශපාලන ගේම් කාරයින් කිහිප දෙනෙකුය. ඔවුනට එවැනි සංවාදයක් සමාජගත කිරීමට ශක්‍යතාවක් නොමැත. ඔවුන් ඊට වඩා දක්ෂ අර දේශපාලන ගේම ගහන්නටය.

කෙසේ නමුත් ඌවට නාම යෝජනා භාර දීමට පෙර අවසන් මොහොතේදී නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කෙරුමට ජාතික නිදහස් පෙරමුණ හා එකඟතාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණ තිබේ. එය කවන්ධයට අවැසි හිස සොයා යෑම සඳහා තැබුනු ප්‍රථම පියවර ලෙස හැඳින්විය හැකි වුවත් ඒ සා බරපතල තීරණාත්මක එකඟතාවයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන ආවේ බල්ලන් නාවන්නට ඇදන් යන ආකාරයකට බවකි පෙනෙන්නට ඇත්තේ. මෙවන් වටපිටාවක් තුළ එම එකඟතාවට පිවීසීම කොතෙක් දුරට සත්භාවයෙන් සිදුවුනිදැයි යන්න සැක සහිතය.

මෙහිදී ඔබට හා මට පැවරෙන වගකීමක් ඇත. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කැර ගැනුම පිළිබඳ කතිකාවත් ඇරඹීමට දායක වීම එම යුතුකමයි. රටට එරෙහිව කටයුතු කරන්නට රට රටවල බඩගෑමට ඕනෑ තරම් විද්වතුන් ඇති මුත් ජනතාව අබියසට පැමිණ එවන් ප්‍රගතිශීලී සංවදයකට තම බඩ වියත ගැන නොතකා දායක විය හැකි විද්වතුන් අතළොස්සගෙන් අපි ඉතා ගෞරවාදර භක්තියෙන් ඉල්ලා සිටින්නේ ඒ යුතුකම වෙනුවෙන් නැවත වරක් පෙළ ගැසෙන ලෙසයි. ඇතැම් බල්ලෙක් අමාරුවෙන් හෝ ඇළට දමා ගත් විට එහි පීන පීනා නාන්නේ ඉතා ආශාවෙන් එහි පැනගත් එකෙකු ලෙසය. නාන්න එපා කී අනෙක් උන්ද එවිට එහිම පැන නාන්නේ දියබුංද ගසමින් බව ඔබ හා අපි අත්දැකීමෙන් දනිමු.

මහින්ද රාජපක්ෂ පසු ගිය කාලයේ නිතරම පැවසුවේ යුද්ධය තවත් පරම්පරාවකට උරුම නොකරන බවයි. ඒ කිරීමට ඔහු හා රණවිරුවෝ සමත් වුව අද කළ යුතු මේ වෙනස් කම් නොකොට එදා වේල දේශපාලනයෙන් සෑහීමකට පත් වී ඇදගෙන යන්නට සිතුවොතින් තවත් පරම්පරාවකට ඒ යුද්දය නැතත් වෙනත් යුද්දයක් උරුම වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති හිස නැති කවන්ධයට උචිත හිස සොයා ගැනීමට පමා වී හෝ අවංක ප්‍රයත්නයක යෙදිය යුතුය. ඒ හිස සවි කරගත් දාට ඒ පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ පැත්තට අරගෙන උන්ට සන්තෝෂම් දී ගෙන කර ගෙන යන මජර දුර්ගන්දිත දේශපාලන සංස්කෘතියෙන් ගොඩ ඒමට හැකිවනු ඇත. අධර්මිෂ්ට රාජ්‍යයට තිත තැබීම දැන් ආරම්භ කළ යුතුය. ඒ සඳහා ලිච්ඡවීන් මෙන් නිතර නිතර එක් රැස්ව සාකච්ඡා කරමු.

මහින්ද, තවත් ජයවර්ධන පුත්‍රයකු විය යුතු නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions