3/25/2014

මොකක්ද මේ විදුලි පුටු කතන්දරේ.?

කතෘ:යුතුකම     3/25/2014   18 comments

ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ගණනක් පමණි. ඇමරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරගැනීමට හැම දහංගැටයක්ම ගසමින් සිටියි. ඒ වුවත් මේ ජිනීවා ක්‍රියාවලිය ගැන අතිශයින් පරස්පර අදහස් මෙරට දේශපාලන කතාබහ තුළින් මතු වන්නේ මේ දිනවල උණුසුම්ව ඇති පළාත් සභා මැතිවරණ වේදිකාව නිසාම නොවේ. ඒ මේ රටේ හැටිය. මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියේ හැටිය.සමහරෙකුට මෙය භායානක බිල්ලෙක් ලෙස පෙනෙද්දී තවත් සමහරෙකුට ආණ්ඩුවේ මවාපෑමකි. තවත් කෙනෙකුට මෙය රටට එරෙහි යෝජනාවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් පමණි.

ජිනීවා යෝජනාවලට පක්ෂපාතව අදහස් දක්වන්නන්ගේ අදහස්  කිහිපයක් මෙලෙස සරලව සටහන් කළ හැක :
  • 1 : “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක .”
  • 2: “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත. එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කළ LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය. ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ඒ හරහා තම චන්ද ගොඩ වැඩි කරගන්නටය.“
  • 3 : “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි. ඒ යෝජනා එන්නේ ආන්ඩුවේ වරදින්. ආණ්ඩුව මානව හිමිකම් කඩකරමින් , මාධ්‍ය නිදහස නැති කරමින් සිදුකරගෙන යන පාලනයේ වරද නිසයි අපට මෙවැනි චෝදනා එන්නේ.
අප මේ සහටන තුළදී මූලික ලෙසම  මේ කරුණු කිහිපය සලකා බලමු.

රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?

ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව මේ දිනවල නිතර ඇසෙන කතාවයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිදුකරන සෑම කතාවකදීම මෙය සඳහන් කිරීමට අතපසු නොකරයි. ඔහු පමණක් නොව ජවිපෙ නායකයින් මෙන්ම සරත් ෆොන්සේකා මහතා පවා නිතර ප්‍රකාශ කරන කරුණක් නම් මේ විදුලි පුටු කතාව ආණ්ඩුව විසින්  ගොතන අමු කෙප්පයක් බවයි. එයටම අත්වැල් අල්ලමින් හිටපු ජනාධිපතිනියද පසුගියදා ප්‍රකාශ කර තිබුනේ තමන් ලෝකය ගැන දන්නා බවත් විදුලි පුටුවක් ගැන නම් තමා නොදන්නා බවයි.
"2003 දී මම අගමැති වෙලා හිටියදී රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාවේ කිසිවෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත ගෙන යා නොහැකියි. මේ පිළිබඳව රාජපක්‍ෂ රෙජීමය එක්සත් ජාතික පක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. "
-රනිල් වික්‍රමසිංහ : 2014 පෙබරවාරි

"ජර්මනියේ හේග් නුවර තියෙන යුධ අධිකරණය හා සම්බන්ධ ප්‍රඥප්තියක් සම්මත කරගෙන තිබුණට අපේ රටේ කවුරුවත් ඒකට ගෙනියන්න බෑ. මොකද අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරල නෑ. අපි විතරක් නෙවෙයි .ඇමරිකා එක්සත් ජනපදය , ඉරාකය ආදී ඒ මොහොතේ යුද්ධ පැවති කිසිම රටක් අත්සන් කරල නෑ. ඒ නිසා අපේ රටේ ජනාධිපතිවරයා තියා සාමාන්‍ය සෙබලෙක් වත් යුධ අධිකරණයට ගෙනියන්න බෑ. කවුරු හරි කැමැත්තෙන් යන්න හිතාගෙන ඉන්නව නම් මිසක්. "
-අනුර කුමාර දිසානායක  : 2014 පෙබරවාරි

මොවුන් මෙතරම් විස්වාසයෙන් මෙන් පවසන මෙහි සැබෑවක් තිබේද? රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට යුධ අපරාධ ප්‍රඥ්ඥප්තියෙන් මුක්තිය ලැබේද?
මූලිකවම රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කිරීම හෝ නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක් නොව , එවකට ඔහු අගමැතිවරයා පමණක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ. ඊට පෙර 1998 දී චන්ද්‍රිකා බණ්ඩරණායක මැතිණිය වෙත ඉදිරිපත්වූ එම යොජනාවද ප්‍රතික්ෂේප වී තිබුණේ එවකට එල්ටීටීඊය සමග සටන් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසයි.

ටේලර් -  අල් බාෂිර් -  මිලසොවිච්
එම කරුණ කෙසේ වෙතත් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකළ පමණින් අපට මුක්තිය නොලැබෙන බවට ජාත්‍යන්තර උදාහරණ බොහොමයකි . සුඩානයේ හිටපු ජනාධිපති ඔමා අල් බාෂිර් , ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් , යුගොස්ලෝවියාවේ ස්ලොබොදාන් මිලසොවිච් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට ගෙන එන්නේ ඔවුන් රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් නොකර තිබියදීය. එසේ වන්නේ රෝම ප්‍රඥ්ඥප්තිය තුළම එය අත්සන් නොකළ රටවලට අදාල වන සේද වගන්ති අඩංගු කර ඇති බැවිනි . රෝම ප්‍රඥප්තියේ 12-15 වගන්තිවල සඳහන් කර ඇති පරිදි  ආරක්ෂක මණ්ඩලය හරහා රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ රටවලට පවා ජාත්‍යන්තර යුධ අපරාධ චෝදනා නැගිය හැකි . එහිදී අපරාධ නඩු මෙහෙයුම්කරුට (Prosecutor) අභිමත ලෙස පරීක්ෂණ පවත්වා මූලික නඩු විභාග මණ්ඩලය වෙත යෝජනාවක් යොමු කිරීමට බලයක් තිබෙන බැවිනි.

එසේ නම් මොවුන් මේ අයුරින් ප්‍රකාශ කරන්නේ නොදැනුවත්කම නිසාද?  නැත. මේ අපේ දේශපාලන පක්ෂ නරාවළේ ස්වරූපයයි. ඔවුන්ට අනුව ජිනීවා වල බටහිර තර්ජනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමාගේ මැතිවරණ ජයග්‍රහණ සඳහාත් පැවැත්ම සඳහාත් භාවිතා කරමින් සිටියි. ජනතාවද ඒ මතයට අවනත වෙමින් සිටියි. කිසිඳු පදනමක් නැති මේ ප්‍රකාශ කෙරෙන්නේ එයට එරෙහිව මිස යථාව එය නිසා නොවේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවද මේ මොහොතේ මේ ජිනීවා අනතුර තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උපායක් ලෙස භාවිතා කරමින් සිටිනවා යන්න අසත්‍යක් නොවේ. ජිනීවා මෙහෙයුම අස්සට මැතිවරණ සිතියම එලෙන්නේම ඒ පිළිබඳ නිසි තක්සේරුවකින් බවට සැක නැත.  කම්බ හොරුන් , තක්කඩියන් ජිනීවා සළුවෙන් නිරුවත වසාගෙන පළාත් සභාවට රිංගන බවද සත්‍යකි.  එය දේශපාලන සදාචාරය පැත්තෙන් කෙතරම් සාධාරණද යන පැනය පැන නගින නමුත් අනෙක් පසින් එය බටහිර මෙහෙයුමේ ජවය අඩු කරන උපායක් ලෙසද සැලකිය හැකිය.

මේ කරුණු අනුව සලකා බැලූ විට රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවේ අත්පුඩියට සහ ඒවා ඕපාදූප ලෙසින් පළවන ගොසිප් අඩවි වලින් දේශපාලන දැනුම ලබාගන්නන්ගේ තෘප්තියට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති ප්‍රකාශයක් බව පැහැදිලිය.

සුරූපීබවට රවටා  මෝහිණීට බිලි දීමේ බටහිර තැත...

ජිනීවා මෙහෙයුම පිළිබඳ තවත් මතයක් නම් මෙය හුදෙක් LLRC වාර්ථාවේ කරුණු ඉටු කරන ලෙස කරන ඉල්ලීමක් බවත් එය සාධාරණ ඉල්ලීමක් බවත්ය.ජිනීවා යෝජානාවලට උඩ ගෙඩි දෙන කණ්ඩායම් පවසන්නේ මේ යෝජනා හරහා යහ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය ආදී හරයන් යළි ස්ථාපිත වනු ඇති බවයි. අන්ධයන් අලියාගේ හැඩරුව කීවා සේ එක් එක් අය එක් එක් කොටස් තමන්ට ගැලපෙන අයුරින් සිතාගෙන මේ ජිනීවා බලහත්කාරය තනුක කරන උත්සාහයක නිරත වෙමින් සිටී. උදාහරණයක් ලෙස නිදහස් මාධ්‍යයේ පොල්මංකාර ව්‍යාපාරික කණ්ඩායම්  ජිනීවා යෝජනාවලියේ මාධ්‍ය නිදහසට අදාල වාක්‍ය තමන්ට අදාළ යැයි කියමින් මුළු ජිනීවා බලහත්කාරයටම උපරිමයෙන් අනුබල දෙමින් සිටී.

බටහිරයන් එක් එක් කණ්ඩායම් ඉලක්ක කර මේ ආලවට්ටම් දමන්නේම යෝජනාවලියේ ඇතුළත ඇති භයානක අනතුර සඟවා මෙලෙස එක් එක් කන්ඩායම් නිෂ්ක්‍රීය කරමින්   තමන්ගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ කෑදරකමින් බව අප අමතක නොකළ යුතුය. එක් එක් වියුක්ත කරුණු ඔස්සේ විවිධ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය වන සේ සකසන මේ ලියවිල්ල අවසානයේ රටේම බෙල්ල තොණ්ඩුවට හිරවන උගුලක් බව සංයුක්ත චිත්‍රයම එකවර දැක අවබෝධ කරගත යුතුය.

මේ අනුව ජිනීවා යෝජනා යනු උගත් පාඩම් කොමිසම යන රූසපුව පෙන්නා යුධ අපරාධ  නැමති මෝහිනියට අප බිලි දීමේ බටහිරයන්ගේ අරමුණ බව යථා සිහියෙන් අප වටහා ගත යුතුය. යහපාලනය , ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතීන් ආදී ආභරණ පැලඳවූ දුටුවනම වශීවන තරමට ආකර්ෂණීය සුරූපිනියට අකමැති වන්නේ ඇයිදැයි සමහරෙකු ප්‍රශ්න කරන්නේ එය වැටහී ගොස් නොමැති බැවිනි.මෝහිණියගේ අතේ ඇති දරුවා ගැනද ඊනියා මානවහිතවාදීන් අදහස් පළකරනු දැකිය හැක.
උගත් පාඩම් කොමිසමක් පත් කිරීමේදීම අපි බටහිර උගුලට අඩිය තැබූ  වග අනාගතය  කලින් දුටු වියතුන් විසින්  ආරම්භයේදීම පෙන්වා දුන් නමුත් බටහිර සතුටු කර අපට නිදහස් විය හැකි යැයි සිතූ සහ එයට උඩගෙඩි දුන් ඊනියා උගතුන්ට එය නොවැටහිණ.කල්ගැනීමේ උපායක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත්තේ නම් යතාර්ථවාදී නොවන ඉටු කළ නොහැකි කොන්දේසි වලින් වාර්ථාව පිරෙන්නේ නැත.ඒ කෙසේ වෙතත් උගත් පාඩම් කොමිසමෙන් කරුණු වල කළ හැකි නොහැකි ප්‍රමාණය හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කළ කොමිෂමකි. එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත. සියලු යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි. අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කළ යුතු නැත. සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් අපට අමතක කරවන්නට හදන කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.පසුගිය කාලයේ එකා පිට එකා බැගින් ඇමරිකන් ඒජන්තයන් ලංකාවට ආවේත් ඒ සැනින් උතුරට දිවගොස් කොටි හිතවාදී පූජකයන් සහ එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් ගෙන් කේලම් ආසා ඒවා දේව වාක්‍ය ලෙස හිස් මුදුනින් ගෙන නැවත ගියේත් නිකන්ම නොවේ. ඔවුන්ට දිගු කාලීන න්‍යායපත්‍රයක් තිබේ. මේ සියලු ජවනිකා ඒ පිටපතට අනුකූල ඒවාය.
මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ. උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් , යුද්ධයේ අවසන් දින කිහිපය කොටි නායකයන්ගේ ඝාතන පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන තැනට අදාළ
යාන්ත්‍රණයක් බල ගැන්වීමටත් ,  ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත. ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය තව තවත් අවුළුවන පන්නයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත. එමගින් ඊළාම් පිපාසය අවුළුවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත. ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් එහිදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත. ඒ හරහා ඇතිවන ආර්ථික පීඩනය හමුවේ ජනතාව අරාබිය පුරා අත්හදා බැලූ ලේ හලන විනාශයකට වුව පොළඹවා ගැනීමට හැකියාවක් ඇතැයි මේ මොළකරුවන් තක්සේරු කර ඇති බවට සැක නැත.අතනින් මෙතනින් ජනතා උද්ඝෝෂණ යැයි කියමින් පසුගිය කාලයේ සිදුකළ අත්හදාබැලීම් ඔවුන්ට ඒ සඳහා උපකාරී වන්නටද ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රකරණය , යහ පාලනය ආදී ආකර්ෂණීය වචන අස්සේ දවටා ජිනීවා හරහා ගෙන එන්නේ කාල බෝම්බයක් බව පැහැදිලිය. දවටනය ඉවත් කළද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් එය බටහිරටන්ට අවසි වේලාවට පුපුරා යනු ඇත.
එබැවින් ජිනීවා යෝජනාව හරහා යුධ අපරාධ නැමති මෝහිනියට බිලි දීමට  බටහිරයන් කටයුතු කරමින් සිටින බවත් එය හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බව අප වටහා ගත යුතුය.

ජිනීවා  තර්ජනය කාටද?

මෑතක් වන තුරුම බොහෝ දෙනා මේ ජිනීවා යෝජනා ආණ්ඩුවට එර්හි යෝජනා ලෙස මිස රටට එරෙහි යෝජනා ලෙස හඳුනා ගෙන නොතිබිණ.විශේෂයෙන් ජවිපෙ ආකර්ෂණීය කතිකයන් මෙන්ම ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ එජාප මහත්වරු මේ කතාව නිතර කියනු ඇසිණ.එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මේ අනතුරේ බරපතල කම අඩු කරන්නටත් , ආණ්ඩු විරොධී ජනතාව මේ රටට එරෙහි යෝජනාවටද පක්ෂ වන තැනට සමාජ  මතය හදන්නටත්ය. කලින්ද සඳහන් කළ පරිදි මේ අප පෙලන මජර පක්ෂ දේශපාලනයේ උරුම කරුමයයි. ආණ්ඩුවට විරුද්ධ වීමට කරුණු ඕනෑතරම් තිබියදී ඒවාට වඩා ජිනීවා මෙහෙයුම ගැන මේ කණ්ඩායම් වැඩි බලාපොරොත්ත්තු තබාගෙන සිටින්නේ බටහිරයන් කඩන ගෙඩිය තම ඔඩොක්කුවට වැටේ යැයි අපේක්ෂාවෙනි. නමුත් ඉතිහාසය අපට මතක් කර දෙන්නේ බටහිරයන් අනුන්ගේ ඔඩොක්කුවලට වැටෙන්නට ගෙඩි කඩන ජාතියක් නොවන බවය. ඔඩොක්කුවට වැටෙන්නට වගේ පෙනුනත් අවසන් මොහොතේ හෝ ඔවුන් එය ඩැහැගන්නා අයුරු මැදපෙරදිග කලාපය පුරා පසුගිය කාලයේ අවශ්‍ය පමණටත් වඩා උදාහරණවලින් පෙනේ.



කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

3/24/2014

ජාත්‍යන්තර නීතියක් පවතින බව ඔවුනට මතක් වීම හොඳයි-පුටින්

කතෘ:යුතුකම     3/24/2014   12 comments
ඇතැම් විට පශ්චාත් සෝවියට් යුගයේ වඩා තීරණාත්මකම කථාව මෙය විය හැකිය. මොස්කව් නුවර ක්‍රෙම්ලිනයේ සිට රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් දේශපාලනඥයන් හා සිවිල් සමාජ ක්‍රියාකාරී නියෝජිතයන් අමතමින් ක්‍රිමියාව අරඹයා පැවැත්වූ ඓතිහාසික කථාව ඉතා තීරණාත්මක හා සෘජු අදහස් ප්‍රකාශ කිරීමකි.

එහිදී ඉස්මතු කෙරනු ප්‍රධාන කරුණු දහයක සිංහල පරිවර්තනය පහතින් දක්වමු.

ජාත්‍යන්තර නීතියට බටහිරයන් සාදරයෙන් පිළිගනිමින්.. 

අප ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇතැයි බටහිර ජාතීහු පවසති. ජාත්‍යන්තර නීතිය කියා යමක් ඇති බව ඔවනට මතක් වීම සතුටකි. ප්‍රමාද වී හෝ එය මතක් වීම කිසිදාකවත් එය මතක් නොවනවාට වඩා හොඳය.


එකඟතාවන් පසෙකින් තබා පිඟන් කඩයට කඩා වැදුනු ගොනෙකු ලෙස හැසිරී ඇත්තේ බටහිරයන්ය.

අපට ස්වාධීන ස්ථාවරයක් තිබෙන නිසා, අප එම ස්ථාවරය පවත්වාගෙන යන නිසා, අප එය නොවළහා ප්‍රකාශ කරන නිසා මෙන්ම අප කුහකයන් නොවන නිසා ඔවුහූ අපව දිගින් දිගටම කොන් කර දැමුමට උත්සා ගනිමින් සිටිති. නමුත් ඕනෑම දෙයකට සීමාවක් තිබේ. ‍යූක්‍රේනය හා සම්බන්ධව අපගේ බටහිර මිතුරෝ  රතු ඉර පනිමින් වගකීම් විරහිතව  හා වෘත්තීය නොවන අන්දමින් කටයුතු කරමින් සිටිති. 

බටහිරයන් සීතල යුද්ධයේ මානසිකත්වයෙන් මිදිය යුතුය.

සීතල යුද්ධය නමැති අලංකාරෝක්ති හිස්ටීරියාවෙන් මිදී අද බටහිරයන් විසින් යතාර්ථය පිළිගැනුමට සූදානම් විය යුතුය. ජාත්‍යන්තර ක්‍රියාකාරකම් අරඹයා රුසියාව ස්වාධීනව ක්‍රියාකාරීව සහභාගි වන බව ඔවුන් තේරුම් ගත යුතුය. අනෙක් රට වල මෙන්ම රුසියාවේද ජාතික අභිප්‍රායන් සැළකිල්ලට හා ගෞරවයට ලක් විය යුතුය. 

බුෂ් යුගයේ රාජතාන්ත්‍රික හැසිරීම ශිෂ්ටසම්සම්පන්න ලෝකයකට කිසිඳු අයුරකින් සුදුසු නොවේ.

ඔවුහූ සැමවිටම සැම තන්හි ඔවුනගේ අභිරුචිය පරිදිම හැසුරුනි. ස්වෛරී රාජ්‍යයනට එරෙහිව සිය බලය යෙදවූහ. 'ඔබ අප කියනා දේ පිළිනොගන්නාවුහූ නම්, ඔබ අපට එරෙහි වී ඇත' යන මූලධර්මයේ සිට අන් රටවල් සමඟ එකඟතා ගොඩනැගීය. මේ ආක්‍රමණශීලීත්වයට නීත්‍යානුකූල ස්වභාවයක් ආරෝපණය කරනු වස් ඔවුහු ජාත්‍යන්තර සංවිධාන හරහා යෝජනා ඉදිරිපත් කරවීමට සිය බලය යොදවති. එයින් පලක් නොවුනහොත් ඔවුහු කිසිදු තැකීමකින් තොරව එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලය හා සමස්ථයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද නොසලකා හරිමින් කටයුතු කරති.

ඇමරිකානු 'සුවිශේෂී' සන්නාමය පිළිබඳ පවසමින්..

එක්සත් ජනපදය විසින් නායකත්වය සපයන බටහිර හවුල් කරුවෝ ජාත්‍යන්තර නීතිය අනුගමනය නොකර සිටීමට කැමතිය. ඒ වනුවට තුවක්කුවේ නීතිය පැවැත්වීමට ඔවුහූ වඩාත් ප්‍රිය කරති.

අපි නේටෝවට සාදයට ආරාධනා කළද ඔවුනට පැමිණ අපේ පිළිකන්නේ කූඩාරම් සෑදීමට ඉඩදිය නොහැක.

නේටෝව හා මිලිටරිමය සන්ධානයක් අප පැවතුවද, අපගේ ඓතිහාසික නිජභූමිවලට තර්ජනයක් වන ලෙස මිලිටරිමය සන්ධාන ඇතිකර ගන්නට ඉඩදිය නොහැක. සෙවාස්ටොපොල් වෙත අමුත්තන් ලෙස ගොස් නේටෝ හමුදා නාවිකයන් හමුවීමක් මට අදහනු  නොහැකිය. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ප්‍රියජනක බව සැබෑය. නමුත් අපේ තැනදී අපව අමුත්තන් ලෙස ඔවුන් විසින් පිළිගන්නවාට වඩා අපේ තැනදී ඔවුන්  අමුත්තන් ලෙස පිළිගැනීමට අපි කැමැත්තෙමු. 

බටහිර තර්ජනයන්ට නිසි ලෙසට මුහුණ දෙන්න අපි සූදානම්..

සමහර බටහිර දේශපාලනඥයින් අපට දැනටමත් සම්බාධකවලින් තර්ජනය කරමින් සිටිනවා පමණක් නොව, රට තුළ ඇතිවන්නට නියමිත යයි කියන දැඩි අභ්‍යන්තර ගැටළු රාශීයක පැතුම්කරුවන් බවටද ඔවුහු පත්ව සිටිති. ඔවුනගේ සිතේ හරියටම ඇත්තේ කුමක්දැයි දැන ගැනුමට මම කැමත්තෙමි. රට තුළ සිටින අධම දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන් රොත්තක් ලව්වා සිදුකෙරෙන කිසියම් ක්‍රියාවක්ද, නැතිනම් ඔවුන් අපව අහිතකර සමාජයීය හා ආර්ථික තත්වයකට පත් කර ඒ හරහා මහජනයා කුපිත කරවීමට ආශාවෙන් බලා සිටිනවාද? එවන් ප්‍රකාශයන් වගකීම් විරහිත හා පැහැඳිළිවම ප්‍රචණ්ඩ ස්වරයක් උසුලන වග අපි සළකන අතර අපි ඒවාට නිසි කලට නිසි අයුරින් ප්‍රතිචාර දක්වන්නෙමු.

පශ්චාත් සීතල යුධ සමයේ බටහිර හා නැගෙනහිර එක් වන විට සැවොම ඔවුනට සහය නොදුන් බව ජර්මනියට සිහි කැඳවමින්..        

යුරෝපීයයන්, පළමුව හා ප්‍රධාන කොටම ජර්මානුවන්, මා පවසන දේ තේරුම් ගනු ඇති බව විශ්වාස කරමි. දැන් ඔබලාගේ මිතුරන් වී සිටින ඇතැම් ජාතීන් ජර්මනියේ නැගෙනහිර හා බටහිර එක්වීමට  ඒ මොහොතේ සහයෝගය නොදුන් බව ඔබලාට මතක ඇතැයි සිතමි. කෙසේ නමුත් අපගේ ජාතිය, රුසියානුවන් කිසිදු පැකිළීමකින් තොරව ජර්මානුවන්ගේ අවංක හා නොවැළක්විය හැකි ජාතික ඒකීයභාවය උදෙසා වන අභිලාෂය වෙනුවෙන් සහය දැක්වීමු. ඔබලා හට එය අමතක වී නොමැති බව මා හට විශ්වාසය. එපරිදිම ජර්මානු පුරවැසියන්ද රුසියානුවන්ගේ අභිලාෂයන්ට, ඓතිහාසික රුසියාවට, හා එහි ඒකීයභාවයට සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කොසොවෝ පිළිබඳ බටහිර කුහකත්වයට චෝදනා කරමින්..

කොසොවො අර්බුදය ගැන දිගින් දිගටම එක්සත් ජනපදය හා බටහිර යුරෝපය දේශනා කරන්නේ එය විශේෂ සිද්ධියක් බවයි. අපගේ මිතුරන්ට අනුව එය ඉතා සුවිශේෂී වී ඇත්තේ මන්ද? හේතුව- එය අතිවිශාල ලේ වැගිරීමක් වීමයි. මෙය  නීත්‍යානුකූල තර්කයක්ද? අන්තර්ජාතික අධිකරණය එවැන්නක් පිළිබඳව කිසිවක් පවසන්නේ නැත. මෙය අඩු ගනනේ , දෙපිට කාට්ටු කමක් වත් නොවේ. එය විශ්මයජනක, මුඩුම ප්‍රාථමික නරුමවාදයකි. යමෙක් මෙලෙස තමාගෙ වාසිය උදෙසා, අද යමක් සුදු යැයි පවසන අතර, හෙට එයම කළු යයි පවසන්නේ කෙසේද? ඔවුනගේ මෙම තර්කයට අනුව හැම අර්බුධයක්ම විසඳුමක් ලැබීම සඳහා ලේ වැගිරීමක් දක්වා ගෙන යා යුතුය.

ඕනෑම අයකුට බිඳුම් අවස්ථාවක් ඇති බව තමා විවේචනය කරන්නන් හට මතක් කරමින්..

ඔබ දඟර දුන්නක් (spring) ඕනෑවට වඩා තෙරපුමට ලක් කළ හොත් එය එක්වර අනෙක් අතට පැනිය හැකියි. නුඹලා සැමවිටම එය මතක තබා ගත යුතුයි.









යුතුකම සංවාද කවය


3/19/2014

ආණ්ඩුව මාරු කරුමුද?

කතෘ:යුතුකම     3/19/2014   6 comments

රජයක් පෙරලා වෙනත් රජයක් පත් කර ගැනුමට වුවමනා වන්නේ එම රජයේ ක්‍රියා කලාපය අනුවය. වත්මන් රජයේ හොඳ මෙන්ම නොහොඳද ඇත. ප්‍රථමයෙන්ම අපට පෙනෙන තරමින් ඒ හොඳ හා නොහොහොඳ විමසා බලමු.

වත්මන් රජයේ නොහොඳ මොනවාද? 


  1. 1. රජය වටා උදරාර්ථය පරමාර්ථය කර ගත් බොහෝ පිරිසක් රැස් වී සිටිති. ඒ තත්වය වෙනස් කරලනු වෙනුවට ඒ අය අතින් සිදුවන අකටයුතුකම් වෙනුවෙන් කිසිදූ දඩුවමක් නොදී ඔවුන් රැක ගන්නා ආකාරයට රජය කටයුතු කරයි. ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සම්බන්ධ වූ මුල්‍යය වංචාවක් ගැන වරක් ජනපතිතුමාම පැවසූයේ අපේ මිනිහෙකු නිසා වැඩේ ගොඩින් බේරගන්න උත්සාහ දැරූ බවයි. එලෙස ප්‍රකාශ කිරීම තුල ඇති බරපතල ත්ත්වය වන්නේ එලෙස කී දෙනෙකුට අදාළ වංචාවන් ගොඩින් බේරා දැමුනුදැයි අපට ඉතා සාධාරණ සැකයක් ඇතිවන බැවිනි. පොදු ජනතාව බලාපොරොත්තු වන්නේ වංචාකරුවනට දඬුවම් ලබා දීමට මිස ඒවා ගොඩින් බේරා දෙන පාලනයක් නොවන බව ජනපතිතුමා ඇතුළු රජය විසින් අමතක කර දමා ඇත.
  2. 2. යුද්දයෙන් පසු බෙදුම්වාදය මතවාදීව සහමුලින්ම පරාජය කැර දැමුමට රජය ක්‍රියා කළේ නැත. යුද්දය අවසන් වූ විගස දහතුන වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර බෙදුම් වාදීනට ඇති ඉඩ ප්‍රස්ථා වසා දමමින් රට සමඟි සම්පන්න කෙරුමට කටයුතු කළ යුතුව තිබුනි. එසේ වූවා නම් බටහිරයනට පවා මෙරටට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව හා උත්තේජනය අවම වන්නට ඉඩ තිබිනි. නමුත් යුද්ධයෙන් පසු වැලේ වැල් නැතිව සිටි බෙදුම්වාදීන් ශක්තිමත් කරමින් 'චෝගම්' සාර්ථක කර ගැනීම සඳහා හදිස්සියෙන් උතුරු පළාත් සභාව බෙදුම් වාදීන් අතට පත් කරවීම ජාතික සමඟිය සඳහා බාධාවකි.
  3. 3. රජයට පක්ෂපාතී වන ඕනෑම් දූෂිතයෙක්, මැරයෙක්, මිනී මරුවෙක් වුවද රජයට එක් කර ගෙන ඒ හරහා ද වාසි ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. පාර්ලිමේන්තුවේ සිල්වලා දෙපළ මීට උදාහරණයකි.
  4. 4. නෑයනට නොයෙකුත් තනතුරු වරප්‍රසාද පිරිනැමීම මේ රජය විසින් සුලභව කරනු දක්නට ලැබේ. නෑයා වැඩකරුවෙකු නම් අවුලක් නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණයකි. නමුත් පාඩු ලබන ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මුල් පුටුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශවුනු පරිදි සාමාන්‍යය පෙළ ද අසමත් ජනපති ආර්යාවගේ අයියාට ලබා දී තිබීම අපුල දනවන්නකි.

වත්මන් රජයේ හොඳ මොනවාද?


  1. 1. වත්මන් රජය විසින් ගෙන යන විදෙස් ප්‍රතිපත්තිය සාධනීය බව පැවසිය හැකිය. චීනය හා රුසියාව සමඟ මනා අවබෝධයක් පවත්වා ගැනීමට රජය සමත්ව තිබේ. චීනය සමඟ මෙන්ම පකිස්තානය සමඟද පවත්වන ඉතා යහපත් සබදතාව හරහා අපට හිතකර නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉන්දියාවද විරසක කර නොගෙන ඔවුනට ප්‍රති පීඩනයක් එල්ල කිරීමට රජය සමත් වී තිබේ.
  2. 2. ඇමරිකානු සහ බටහිර බලහත්කාරය ඉදිරියේ රජය දණ නමා නැත. එසේ දණ නොනැමීම හා ඉහත කී සාධනීය විදෙස් ප්‍රතිපත්තිය අතර ඇත්තේ අන්‍යෝන්‍යය සබඳතාවෙකි. 
  3. 3. රජය ගම හා දිළිදු ජනතා ව අමතක කර දමා නැති බව පැවසිය හැකිය.
  4. 4. විවේචන තිබුනද වත්මන රජය වැඩ කරන රජයක්ව බව ප්‍රකාශ කළ හැකිය.
  5. 5. කොටි ත්‍රස්තවාදයේ කුරිරු බවින් ස්වදේශික ජනයා බේරා ගත් රජය පාතාලය මර්දනයටද කටයුතු කළේය. දැන් කුඩු ජාවරම් මැඩලීමටද කටයුතු කර ගෙන යන බව පෙනෙන්නට තිබේ.
  6. 6. වත්මන් රජය රාජ්‍යය සේවය ශක්තිමත් කරන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන අතර රාජ්‍යය දේපළ විකුණමින් එදා වේල පිරිමහගන්නා තත්වයක් දක්නට නැත.
  7. 7. ජලය, විදුලිය, නිවාස වැනි ජනතාවගේ අවශ්‍යතා සැපිරීමට ගෙන යන වැඩපිළිවෙල යහපත්ය.

මහින්ද රාජපක්ෂ රජය පැරදවිය යුතුද?

ඉහත දැක්වූයේ සරලව පෙනෙන ක්‍රියා මාර්ගයන්හි හොඳ හා නරකය. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සලකා බැලුව හොත් එය ජේ ආර් ජයවර්ධන මහතාගේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියෙහිම දිගුවක් ලෙස සැළකිය හැකි යයි සිතමු. එවැනි සංවර්ධන මාවතක් ජාත්‍යන්තර වශයෙන් අපට ඇති අභියෝග හමුවේ  කොතෙක් දුරට ගැලපෙනවාද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට උචිතද යන්න ද සංවාදයට බඳුන් වන බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබදව වටිනා අදහස් කිහිපයක් සංක්ෂිප්තව ගුණදාස අමරසේකර ශූරීන් "අපි දැන් බටහිර උගුලේ හිරවෙලා ඉවරයි" යන සංවාදය තුළ දක්වා ඇත. අප විසින් මෙම ආර්ථික ක්‍රමවේදය අනුමත නොකළද වත්මනේහි සියළුම දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම ක්‍රමවේදයට එකඟ බවක් පෙනෙන්නට ඇත. නැතහොත් අන් කවරෙක්වත් වෙනත් ආර්ථික දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ ඉදිරිපත් කොට නැත.

කරුණු මෙසේ නම් ජනතාව කුමක් කළ යුතුද? මේ රජය පෙරළා වෙනත් රජයක් පත් කර ගත යුතුද? නැතිනම් මේ රජයටම තවත් සෑහෙන කාලයකට බලය ලබා දිය යුතුද? ඒ ප්‍රශ්නයට මැදිවන ජනතාව ඊළඟට සලකා බලන්නේ කවරෙකු හට බලය ලබා දිය යුතු ද යන්නයි. ඉහත කී නොහොඳ නැති හෝ වඩා අඩුවෙන් ඇති හා හොඳ ලක්ෂණ ද බලාපොරොත්තු විය හැකි අනුප්‍රාප්තිකයකු ජනතාවට දැක ගත හැකි විය යුතුය.


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයකට බලය ලබා දුනහොත් මේ රජයේ හොඳ ලෙස අප දැක්වූ කාරණා ඔවුන් වෙතින්ද අපේක්ෂා කළ හැකිද යන්න ජනතාව විසින් සළකා බලනවා නොආනුමානය. ගැටළුව පැන නගින්නේ එතැනදීය. වත්මන් රජයේ බඳු විදෙස් ප්‍රතිපත්තියක් පවැත්වීමේ ශක්‍යතාවක් ඔවුන් සතුද? ඔවුන්ට එවැනි හැකියාවක් ඇති බවට ප්‍රතිරූපයක් නම් ජනතාව අතර නැත. ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට බොහෝ දුරට පෙනෙන්නේ ඇමරිකාව හා බටහිර සමඟ මිතුරු ආස්ථානයක පිහිටා කටයුතු කිරීමය. බටහිරට පක්ෂපාතවීම හා චීනයට හා රුසියාවට පක්ෂපාතවීම යන දෙපෙදසම එක්වර සාක්ෂාත් කරගත නොහැකිය. දැන් පවතින තත්වය මත අන්තර්ජාතික වශයෙන් ලංකාවට චීනයේ හා රුසියාවේ සහයෝගය වඩ වඩාත් අවැසි වේ. අදටත් වඩා වැඩියෙන් හෙට ඒ අවශ්‍යතාව තදින් දැනෙනු නොඅනුමානය. නමුත් බටහිරට මිතුරු එජාප ආණ්ඩුවක් තුළ ඒ රැකවරණය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ වෙනුවට ඔවුන් බටහිරට පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට වෙත එල්ලවන අභි‍යෝග ජය ගැනුමට උත්සාහ කරනු ඇති බව අනුමාන කිරීම සාධාරාණ යයි සිතමු. බටහිරයන්ට අවැසි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් අයකුට හෝ දසරාජ ධර්මයෙන් රාජ්‍යය විචාරීමට අත්වැල් සැපයීම නොව තමන්ගේ න්‍යායපත්‍රානුකූලව කටයුතු කරවා ගැනීම බව ඕනම තොත්ත බබෙකුට වැටහේ. ඉන්දියානුවන් අහසින් විත් ලංකාවට පරිප්පු දමන විට දැඩි ඇමරිකානු ගැති විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජේ ආර් ජයවර්ධන මහතාට සිදු වූයේ ඉතා අසරණ ලෙස ලෝකය තුළ අපට මිතුරන් නොමැති බව පැවසීමටය.

රුසියාව හා චීනය අහිමි කර ගන්නා එජාපයට එහිදී ඉතා අඩු කේවළ කිරිමේ බලයකින් සෑහීමට පත් වීමට සිදුවනු ඇත. එවැනි තත්වයක් තුළ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් උතුරු පළාත් සභාවට ලබා දිය හැකි උපරිම බලතල ලබා දීම, හමුදාව උතුරින් ඉවත් කර ගැනීම වැනි ඉල්ලීම් ප්‍රථමයෙන් ඉටු කරන්නට සිදුවන බවට සැකයක් නැත. මේ පියවරයන් චීනය හා රුසියාව ලංකාව සමඟ විරසකයකට පත්වන තත්වයක් පවා ඇති විය හැක්කේ ඒවා එකිනෙක ක්‍රියාත්මක කරවා ගැනීම හරහා ත්‍රිකුණාමලයට ඇමරිකානු හමුදා පය ගසා ගන්නා බව ඔවුන් දන්නා බැවිනි. 

අද වන විට මේ රටේ විදෙස් ප්‍රතිපත්තිය හා භෞමික අකණ්ඩතාවය රැක ගනීම යන්න දෙකක් නොව එකක් බවට පත් වී හමාරය. ඉදිරි‍යේදි මෙරටට ඇමරිකාව හා බටහිරයන් විසින් ආර්ථික සම්බාධක පැනවුවහොත් එජාපය තමන්ට එය ඉවත් කර දිය හැකි බව පවසා ඡන්දය ඉල්ලා සිටිනු නියතය. නමුත් එසේ කිරීමට නම් ඉහත පැහැදිලි කළ පරිදි රට දෙකඩ වන සේ කටයුතු කරන්නට සිදුවන බව ඔවුන් විසින් නොකියනු ඇත.

ගම්මුන්ගේ හා විකල්ප උගතුන්ගේ භූමිකාවන්

අප ඉහත කී තත්වය නාගරිකයන් කෙසේ වෙතත් සමස්තය අවිඥානිකව දකිනා ගම්මුන් වටහා ගෙන ඇත. ඔවුන් හට මේ කාරණා වචන වලට පෙරලා ප්‍රකාශ කරන්නට නොහැකි විය හැකිය. නමුත් ඔවුනට එය ඉවෙන් මෙන් වැටහේ. පසු ගිය දශක දෙක තුළ විකල්ප උගතුන්ගේ ඊනියා බුද්ධියෙන් මිදී මේ රට දෙකඩ නොවී බේරුනේ ඡන්ද වලදී ගම්මුන් භාවිතා කළ ඒ ඉව නිසා බව ඔවනට කෘතඥපූර්වක වෙමින් සටහන් කළ යුතුය.


මේ රට තුළ සිටින ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයේ උගතුන්ට අනුව නම් මෙම රජය විසින් ඉහත සඳහන් කළ අකටයුතුකම් සියල්ල සිදු කෙරෙන්නේ ජාතිකත්ව මතවාදයේ ප්‍රතිපලයක් ලෙසිනි. නමුත් ඒ නොහොඳ කිසිවක් ජාතිකත්ව මතවාදය නිසා සිදු වන්නේ කෙසේදැයි මේ උගතුන් පැහැඳිළි කරන්නේ නැත. නමුත් ඉහත  රජයේ හොඳ ලෙස සඳහන් කළ බොහොමයක්ම කාරණා ජාතිකත්ව මතවාදය සමඟ සියුම්ව හා දැඩිව ගැටගැසී ඇති බව දැක ගැනිමට හැකි අවංක මනසක් ඔවුන් සතු නොවේ. මේ බොහෝ දෙනා මුහුදට දත නියවා බලා සිටින්නේ ජිනීවාහි අන්තර්ජාතික මානවහිමිකම් කවුන්සිලය හරහා ඇතිවන බලපෑමක් මතින් හෝ රජයට පාඩමක් උගන්වන්නටය. එක් විකල්ප විප්ලවවාදී පක්ෂයක අලුත් නායකයකු පාරම්බාන්නේ මහින්දත් අධිරාජ්‍යයවාදීත බලවේගත් එකවර පරදවන්නටය. ලෝක ඉතිහාසය පුරාම එවැන්නක් සිදු වී නොමැත. ඉරාකයේ, ලිබියාවේ, ඊජිප්තුරවේ, යේමනයේ, ටියුනීසියාවේ මෙන්ම යුක්‍රේනයේද රටේ නායකයා පලවා හරින විට රට ද අස්ථාවර විය. එනිසා එලෙස රට අස්ථාවර වන ආකාරයේ දේශපාලන තීන්දුවක් ගැනීමට කා හට හදිස්සි වුවද මෙරට පොදු ජනතාවට එවැනි හදිස්සියක් නොමැති බව පැහැදිළිය.

ඉන් ගම්‍යය වන්නේ අප ඉහතින් සඳහන් කළ අකටයුතුකම් හා දුර්වලතා ජනතාව අනුමත කරන බව හෝ නොසළකා හරින ලද බව හෝ නොවේ. ඔවුන් ඒ අඩුපාඩු නිවැරදි කරවීම උදෙසා රට භාර දිය හැකි භාර කරුවෙකු විපක්ෂය තුල නොදකින බවයි. අද මේ රට ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වන අභි‍යෝගවලට මුහුණ දීම සඳහා ජාතිකත්වය සමඟ බද්දවූ දේශපාලන ගමනක් අත්‍යාවශ්‍යය බව ජනතාවගේ ඉවට දැනී තිබේ.  එසේ තමන් හට භාරකත්වය ඉල්ලා සිටිනා සියළු දෙනා අද කටයුතු කරමින් සිටින්නේ ජාතිකත්වයට විරුද්ධ ආස්ථානයක පිහිටාය. එවන් ගමනකට සූදානම් කුඩා පක්ෂයක්වත් රජයෙන් පරිබාහිරව අද නැත. එපමණක් නොව කලක් ජාතිකවාදී මතවාදය නියෝජනය කළ ජවිපෙ වැනි සංවිධාන අද ජාතිකත්වයට එරෙහි ආස්ථානයකට තල්ලු වී ඇත. එහි නව නායකයා ජාතික ගීය දෙමළෙන්ද ගැයිය යුතු යයි පවසන්නේ කට කහනවට නොවන බව ජනතාව වටහා ගත යුතුය.

ගම්මුන්ට ඇති ඉව නැති විකල්ප උගත්තු මුලා වී සිටිති. ඔවුහූ ජනතාව මුලා වී ඇතැයි කියති. ජාතිකත්වයට පහර දීමේ අටියෙන් රජයට පහර දෙති. රජයට පහර දීමේ අටියෙන් ජාතිකත්වයට පහර දෙති. මේ විකල්ප උගතුන් අතින් කෙරෙන එක් කාර්යයක් නම් විපක්ෂයට ජාතිකත්වයෙන් තොරව ගමන් කිරීම සඳහා ඉඩ හසර සාදා දී රජයට දේශීය වශයෙන් අභියෝගයක්  නැති කර දීමය.

 සිය ව්‍යාපාර ශක්තිමත් කරගැනීමේ අරමුණින් දේශය පාලනය කරන්නට ආ දේශපාළුවන්ට මෙන්ම නොයෙකුත් වාසි තකා රජය සමඟ අත්වල් බැද සිටින උදරවාදීන්ද කල දුටු කල වල ඉහගෙන කෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නොයෙකුත් අකටයුතු කම් හරහා කෑදර ලෙස සිය බණ්ඩිය පිම්බීමේ මෙහෙයුමක නිරතවන්නට එමඟින් ඉඩ ප්‍රස්තාව ලබා ගෙන තිබීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත් විපක්ෂයේ සියළු පක්ෂ ජාතිකත්වයට එරෙහි වෙමින් අවජාතක වෙද්දී, රජය තවම ජාතිකත්වයට සම්පූර්ණයෙන් පිටු පා කටයුතු කර නැත. එනිසා පොදු ජනතාව රජයේ ඇතැම් නොමනා කම් ඉවසන්නට සිදුව තිබීම විසින් එම නොමනාකම් පවත්වා ගෙන යාම සඳහා අවකාශයක් රජයට ලැබී තිබේ. 



-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

3/17/2014

කාන්තා දින නාඩගම : ලක්මව දියණියන් පෙරට ආ යුතූය

කතෘ:යුතුකම     3/17/2014   No comments
කාන්තා දින නාඩගම පරදවමු

මාර්තූ 08 වනදා යනු තවත් එක් කාන්තා දිනයක් සමරමින් ලොව පුරා කාන්තාවන් “අභිමානවත් ” අන්දමින් විකිණෙන දිනයකි.ලොවපුරා සිටින කාන්තාවන් සැමරීම සඳහා ඇති කර ගත් කාන්තා දිනය බොහොමයක් රටවල විශාල උත්සවයක් මගින් සැමරීම සිදුකරනු ලබන්නේ කාන්තාවන් තවදුරටත් සමාජය තුළ පිරිහීමකට ලක්වෙමින් පවතින තත්වයක් තුළදීය.මෙසේ කාන්තාවන් සඳහා විශේෂිත වූ දිනයක් ඇති වුයේ සමාජය තුළ ඉතිහාසය පුරා ඇයට සිදුවුන අසාධාරණකම් හේතූවෙනි.නමුත් වර්තමාන සමාජයේ සිදු වී ඇති මිනිසාගේ නව සොයා ගැනීම්, විද්‍යාවේ දියුණුව මෙන්ම කාර්මීකරණය වැනි විප්ලවයන් මගින් සිදු වූ මානසික විපර්යාසය මගින් කාන්තාවද සමාජයට යමක් දායාද කල හැකි පිලිගත් චරිතයක් බවට පත්වෙමින් ඇත. ඉතිහාසය පුරා කාන්තාව සමාජයෙන් කොන් කරමින්, ශ්‍රම දායකත්වයට සහභාගි කර නොගැනීමෙන් කරන ලද හානිය වලක්වා ගැනීමට අද වන තෙක් පැහැදිලි නිශ්චිත වැඩපිලිවෙලක් නොමැත.පුරුෂයන් සමග එකිනෙකා ගැටෙමින් ශ්‍රම දායකත්වයක් සැපයීමට අද දවසේ ඇය සමත්වෙමින් ඇත.ඇය එම තත්වයට පත් වූයේ ස්ත්‍රි පුරුෂ භේදය නැතිකරමින් මෙන්ම සමාජය තුළ පැවති, කාන්තාවට කිසිත් කල නොහැකිය යන මතවාදය බිඳ දමමිනි. නමුත් මෙම ක්‍රියාවලිය පිටුපස සැඟව තිබුනේ සංවර්ධනයේ සැඟව ගිය අවස්ථාවන් නොවේද? ඇය මෙයට පෙර සමාජ දායකත්වයකට හිමිකම් කියුවේ නම් වඩාත් හොඳ හෙටක් උදාවීමේ දිනය තව තවත් ලං වීමට හැකියාවක් තිබුණි.

වර්තමානයේ බොහොමයක් අංශයන්ගෙන් කාන්තාව ඉදිරියට එමින් පවතී. නමුත්,අතීතයේ කාන්තාව තමාගේ අයිතවාසිකම් වෙනුවෙන් අරගල කර දිනාදුන් යමක් වර්තමාන සමාජය තුළද නොමැත. කාන්තා විමුක්තිය ඇය විසින් ලඟා කරගෙන ඇතැයි කීම විහිලුවකි. ගතානුගතික සිතූම් පැතූම් මෙන්ම ගරාවැටුන මනසකින් සිටින ස්ත්‍රිය අද වන විට සමාජ සංවර්ධනය ක්‍රියාවලියට දායක වෙමින් සිටී. මිත්‍යා විශ්වාස සහ ආගමික බැඳීම් වලින් මනස පුරවා ගත් ඇය තම ජීවිතය වාරණය කර ගනු ලැබුවේ තමාට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති ලෙසට සමාජයෙන් ඔලුගෙඩි තුළට දමන ලද විශබීජ වලින් නොවේද? තම පීඩනය දරාගත නොහැකි තත්වයක් තුළදී කාන්තාව තම නිදහස වෙනුවෙන් සමාජමය අරගලයකට යොමුවීම කාන්තා දිනයක් උදාවීමට බලපෑ සාධක වේ. නමුත් වර්තමානයේ එම උත්තරීතර අභිප්‍රාය මුදලට සහ දේශපාලන පක්‍ෂවල පැවැත්ම සඳහා විකිණෙමින් පැවතීම ඛේදජනකය.

අතීතයේ කාන්තාව මුලුතැන්ගෙයට පමනක් සීමා වී නිවසේ වැඩ පමනක් කිරීමට සැලැස්වීමෙන් ඇයගෙන් සමාජයට ලබා ගත හැකිව තිබූ දායකත්වය මෙන්ම ඇයගෙන් තම පවුල වෙත ලබා ගත හැකි මහඟූ කාර්යයන් කෙලෙසී ගියේ සමාජය තුළ පැවති මානසික නොදියුණු කම හේතූවෙනි. ඇය ලබා ගත යුතූ නව දැනුම,ආකල්ප ඇයට අහිමි වී එක්තරා රාමුවකට පමණක් සිරවී සිටීමට සිදුවීම ඉතිහාසයේ සිදුවු දැවැන්තම ඛේදවාචකයකි. පවතින සමාජ ක්‍රමය තූලින්ම නිර්මාණය වූ සමාජයෙහි ජීවත් වන්නන් බෙදී වෙන් වීම එම සමාජ කූමය විසින්ම අරගල කිරීමට පසුබීම සකස් කර ඇත.

කාන්තාව පෙරමුණ ගත්තේ තමන්ට අහිමි වූ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක්ම නොවේ. ලංකාව තුළ සිදුවූ වඩාත් සුන්දර හෙටක් නිර්මාණය කිරීමේ භාරදුර කාර්්යය තුළදී පාලක ම්ලේච්ඡයන් විසින් කාන්තාවන් දූෂණය කරමින් මෙන්ම ඝාතනය කරමින් කරන ලද සැහැසිකම් අප්‍රමාණය. නමුත් එම වීිරත්වය සඳහා වටිනාකමක් නොදෙන සමාජය ප්‍රෝඩාකාරී රැලි පවත්වමින් එම දිරිය දියණියන් තවදුරටත් අලෙවි කරනුයේ තම දේශපාලන වඳභාවය තවදුරටත් ප්‍රදර්භනය කරමිනි. වර්තමාන සමාජය තුළ ප්‍රධානතම වෙළඳ භාණ්ඩයක් වී ඇති කාන්තාව ඉන් මුදවා ගැනීමට සමත් බලවේගයක් ලක්මව දියණියෝ ලෙස බල මුලු ගැන්විය යුතූ වනුයේ තවදුරටත් කාන්තාව ව්‍යසනයෙන් මුදවා ගැනීමේ මෙහෙවර පෙරදැරි කරගෙනය.
පසුගාමී ආසියාතික සමාජ ක්‍රමයන් හිස් මුදුනින් පිලිගන්නා ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ සම්මතයන් මගින් ජනතාවගේ මානසික මට්ටම පසුගාමී තත්වයට පත්කර ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස තවමත් කාන්තාව යම් යම් අංගයන්ගෙන් සමාජය තුළ ප්‍රශ්නාර්ථයකට ලක් වන අවස්ථා ඇත.ශ්‍රි ලංකාවේදී විවාහයක් සඳහා ලබා දෙන දෑවැද්ද කාන්තාව සමාජය ඉදිරියේ අපහසුතාවයකට ලක් කර ඇති ප්‍රධාන අංගයකි. තම පවුල තුළ කාන්තාව පීඩාවට පත් කරන සැමියන් මෙන්ම පියවරුන්ද අපමණය. කාන්තාවක් වී ඉපදීම හේතූවෙන් තම ජීවිතයයෙන් පීඩා විඳින කාන්තාවන් ලාංකීය සමාජය තුළද අපමණය. මෙම අපහසුතාවයන් මගින් ඇතිවූ මානසික පීඩාව විඳින කාන්තාවන් කෙතරම් සිටිනවා ඇද්ද? මානසික පීඩාව නිසා ජීවිතයෙන් සමුගත් හෝ මානසික විකෘතිතාවයකින් පෙලෙන කී දෙනෙකූ නම් සිටිනවා ඇද්ද? කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයක් මෙන්ම ඇමතිවරයකූද සිටින ආසියාවේ ආශ්චර්යයට පියනගන අප පුණ්‍ය භූමියේ කාන්තාවගේ තත්වය පිළිබඳ කතා කිරීමම විහිලුවක් බවට පත් වී ඇත.

වර්තමානයේ පවත්නා කාන්තා දින සැමරුම් හුදෙක් දේශපාලන වාසියක් පිණිස හෝ රාජ්‍ය නොවන සංවිධාන වල ආධාර මත සිදුකරන නාඩගම් සැණකෙලියක් වී ඇති බව පැහැදිලිය. කාන්තාව අරගල කල යුත්තේ සමතැන හෝ නිසි තැන ඉල්ලා නොව සමාජය තුළ පිලිලයක් වී ඇති මෙම මානසිකත්වය වෙනස් කිරීමේ භාරදුර අරගලයට නොවේද? කාන්තා දිනය වෙනුවෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් සිදුකරන ආටෝපය වෙනුවට වර්’ෂයේ එක් දිනකට පමණක් සීමා නොවී එම සමාජ සත්කාරය සිදුකිරීමට සියලුම කාන්තාවන් පෙරමුණ ගත යුතූව ඇත. සැබෑ කාන්තා දිනයක් සැමරිය හැකි වන්නේ පසුගාමී මානසිකත්වය තූරන් වී කාන්තාව විසින් සමාජ සංවර්ධනයට සිදුකරනු ලබන මෙහෙවර වෙනුවෙන් සමාජය තුළ පිලිගැනීමට ලක් වු විට පමණකි.
ජීවිතය වඩාත් නැවුම් ලෙස භූක්ති විඳිය යුතූය. ඒ සඳහා එකාවන්ව පෙල ගැසිය යුතූ කාලය එළඹ ඇත. දැඩි සමාජ මෙහෙවරක යෙදෙමින් සමාජ සංවර්ධනයට දැඩි දායකත්වයක් සපයන කාන්තාව සමාජය තුළ ඇගයීමකට ලක් කිරීමට හැකි වන්නේ සියල්ලන්ගේ මානසිකත්වය ඉතා හොඳ මට්ටමකින් තැබිමෙන් පමණි. ඒ සඳහා වසරේ එක් දිනකදී පමණක් උජාරුවෙන් සමරන සැමරුම් වලින් ඇත්වී කාන්තාව සමාජය තුළ හිමිකරගෙන ඇති තත්වය වෙනස් කිරීම සඳහා පෙල ගැසිය යුත්තේ එම මානසික මෙහෙයුම මගින් පමණක් කාන්තාව සඳහා වඩාත් පැහැදිලි හෙට දවසක් නිර්මාණය කර ගත හැකි නිසාය.

මෙම කාරණා සඳහා තම අවධානය යොමු නොකරන දේශපාලන පක්‍ෂ මෙන්ම ඩොලර් මත යැපෙන කාන්තා සංවිධාන කාන්තාව තවදුරටත් පිරිහීමකට පත්වීම තම හෙටදිනය සඳහා යහපත් බව දනී.නමුත් සිදුවිය යුතූ වන්නේ පැහැදිලි වැඩපිලිවෙලක් සහිත ක්‍රියාවලියක මූලාරම්භයයි. ඒ සඳහා නිවරදි නායකත්වයක් මත සමාජයම පෙලගස්වමින් ලක්මව දියණියන් පෙරට ආ යුතූමය.

(මාර්තු 08 වනදාට යෙදුණු ජගත් කාන්තා දිනය නිමිත්තෙනි)



- ඉන්දික ප්‍රසාද් ගමගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

3/13/2014

ජාතිය

කතෘ:යුතුකම     3/13/2014   4 comments

බොහෝ ඇමෙරිකානුවෝ සිරිතක් වශයෙන් තම නිවෙස් ඉදිරියේ ඇමෙරිකානු ජාතික කොඩිය ප්‍රදර්ශනය කරති. එහි පාසල් ළමුන් වැඩ අරඹන්නේ රටටත් ජාතික කොඩියටත් පක්‍ෂපාත වන බවට ප්‍රතිඥා දෙමිනි. නමුත් මෑතක් වනතුරුත් සාමාන්‍ය සිංහලුන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කළේ මඟුල් ගෙවල් වලදී පමණි. ඒද කොඩි ගහක නොව බෝධියේ කොඩි එල්ලන ආකාරයට සිංහයා උඩුබැලි අතට සිටවමින් කොඩි වැලකය. සිංහලුන් මඟුල් ගෙවල්වල ජාතික කොඩිය දමන්නේ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කිරීමට නොව යටගිය සිරිතකට අනුව තම සතුට සෞභාග්‍යය ලොවට කියා පෑමට විය යුතුය. පාසල් ළමුන් තබා අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී රටට ජාතියට පක්‍ෂපාත වන බවට ප්‍රතිඥා දෙනවාදැයි මම නොදනිමි. පැහැදිලිවම සාමාන්‍ය සිංහලුන් ජාතිය ගැන දරන ආකල්ප ලෝකයේ සෙසු ජාතීන් විශේෂයෙන්ම බටහිර ජාතීන් දරන ආකල්ප වලට වඩා වෙනස්ය. මේ වෙනස දකින බටහිර උගතුන් සිංහල කියා ජාතියක් ඇත්තටම ඇත්දැයි සැක පහල කරති. නමුත් සාමාන්‍ය සිංහලුන් කිසි පැකිලීමක් නැතිව ජාතිකත්වය මත ඡන්දය දෙන බව දකින ඔවුහු විසංවාදයක් ඇති කරගනිති. ඔවුන්ගේ අවුල ඔවුන් උගත් බටහිර දැනුමය.

සිංහල කියා ජාතියක් ඇත. නමුත් එය දැන ගැනීමට බටහිර දැනුම ප්‍රමාණවත් නොවේ.

ජාතියක් යනු මිනිස් සමූහයකි. කොයි ජාතියේත් පදනම පැවැත්මය. පොදුවේ අනිකුත් සතුන් මෙන්ම මිනිසුන්ද සමූහගත වන්නේ සිය පැවැත්ම උදෙසාය. නමුත් පැවැත්ම යනුවෙන් අවබෝධ කරගන්නා සංකල්පය ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස්ය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල පැවැත්මට වාස්ථවික බවක් ලැබෙන අතර සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ඊට ලැබෙන්නේ සාපේක්‍ෂ බවකි. ඒ නිසා පැවැත්ම යන සංකල්පය මත පදනම්වී හැදෙන ජාතිය, ජාතික අනන්‍යතාව, ජාතික විඥානය වැනි සංකල්පද සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය.


සාපේක්‍ෂව පැවතීම යනු මම නිසා මම නොවන සෙසු ලෝකයත් මම නොවන සෙසු ලෝකය නිසා මමත් පවතී යැයි සිතීමය. ඒ අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය තුල මටත් සෙසු ලෝකයටත් එකිනෙකින් ස්වායත්තවූ වාස්ථවිකවූ පැවැත්මක් නැතැයි සැලකේ. සරලව ගතහොත්  සිංහල බෞද්ධ සංස්කෘතිය තුල පැවතිය හැක්කේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක මත යැපෙන දෑට පමණි. එහි මිනිසුන් ගොනු වෙන්නේ සාපේක්‍ෂ පැවැත්මක් ආරක්‍ෂා කරගන්ටය. පවුල සාපේක්‍ෂ පැවැත්මක් ගොඩනඟා ගත හැකි ශක්තිමත්ම සහ කුඩාම ඒකකය වේ. පවුලේ අය පවුලක්ව සිටින්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහාය. පවුල්වල පැවැත්ම සඳහා ඥාති සම්බන්ධකම් මත පදනම්ව පවුල් ගණනක් එක්වී ව්‍යාප්ත පවුලක් සදා ගැනේ. මේ ආකාරයට ව්‍යාප්ත පවුල් එකතුවී සැදුනු වරිගත් වරිග එකතුවී සැදුනු ගෝත්‍රත් එකල හෙළ සමාජයේ තියෙන්නට ඇති. පොදුවේ ගත්විට කුඩා මිනිස් සමූහ ඊට වඩා ලොකු සමූහයන්හි බහාලන්නේ කුඩා සමූහවල සාපේක්‍ෂ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීම සඳහාය. සමූහ විශාලවෙත්ම එය පවත්වාගෙන යෑම සඳහා ඇවැසි නිර්ණායකයන් බරපතල වේ. ඒ අනුව ජාතිය යනු එහි සාමාජික සමුහයන්ගේ පැවැත්ම සඳහා ගොඩනඟාගත හැකි විශාලතම සමූහය ලෙස හැඳින්විය හැකිය. ජාතියක පැවැත්ම සඳහා එහි රටේ භෞමික අඛන්ඩතාවත් රාජ්‍යයේ ස්වාධීනත්වයත් අත්‍යාවශ්‍යය.



සිංහල ජාතිය ගොඩනැඟී ඇත්තේ මේ ආකාරයට කුඩා ජන සමූහ ක්‍රම ක්‍රමයෙන් වඩා ලොකු සමූහවල බහාලීමෙනි. මුලින් පවුල් සම්බන්ධකම් පදනම්ව ගොඩනැඟුනු මේ ජන සමූහ ආර්ය සංස්කෘතියේ බලපෑමත් සමඟ ගම වැව පංසල වැනි ආයතන පදනම් ඇතිවෙන්නට ඇතැයි සිතිය හැකිය. ජන සමූහ වල සංයුතිය කලින් කලට වෙනස් වෙන්නට ඇතත් සිංහල ජාතියේ පදනම වී ඇත්තේ ක්‍රමයෙන් පහල සිට ඉහලට ගොඩනැඟෙන ජන සමුහවල (බහාලුම්වල) එකතුවකි. ඒ හැම බහාලුමක් තුලම එහි සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පැවතීම එහි වැදගත් ලක්‍ෂණයකි. උදාහරණයක් වශයෙන් ගෝත්‍රයක වරිග අතරත් වරිගයක් තුල එහි පවුල් අතරත් සාපේක්‍ෂ පැවැත්මක් තියෙන්නට ඇතැයි සිතිය හැකිය. මේ අන්‍යෝන්‍ය සම්බන්ධකම එසේත් නැත්නම් සාපේක්‍ෂ පැවැත්ම නිසා ඒ ඒ මට්ටම (බහාලුම) තුල සියලුදෙනාගේ කැමැත්තට අනුව නැත්නම් මහා සම්මතවාදයට අනුව කටයුතු කිරීමට හැකියාවක් තිබිනි. හෙළයේ රාජ්‍ය බලය බෙදී ගියේද ජන සමුහවල (බහාලුම්වල) ආකෘතියට අනුවය. රාජ්‍යය මඟින් සිදුවූයේ සමාජයේ ඉහලින්ම පැවති ජන සමූහ නැත්නම් බහාලුම් එක් කිරීමය. රට එක් සේසත් කිරීම යනු එයයි. සිංහලුන් තම ජාතිය ගොඩනඟාගත් ආකාරයත් ඔවුන්ගේ පරිපාලණ ක්‍රමයත් සමපාත වූ නිසා එකල ඔවුන්ගේ රාජ්‍යයන් ප්‍රභල වන්නට ඇත.



සිංහලුන්ට ජාතික විඥානයක් ඇතිවන්නේ පහල සිට ඉහලට ඔවුන් ගොඩනඟා ගන්නා මිනිස් සබඳතා මතය. ඒ නිසා පුද්ගලයෙකුට තමන් සිංහලය යන හැඟීම ගෙනදෙන්නේ ක්‍රම ක්‍රමයෙන් පවුලට වර්ගයට ගෝත්‍රයට හෝ ගමට පළාතට රටට ඇති සම්බන්ධතාව හරහාය.



යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල පුද්ගලයින්ගේ ස්වාධීනවූ වාස්ථවිකවූ පැවැත්මක් දකී. ඒ නිසා පුද්ගලයා සමාජයෙන් වෙන්කිරීමක් සිදු කෙරේ. එහි ජාතිය ගොඩනැඟෙන්නේ මෙසේ වෙන්කෙරුනු පුද්ගලයින්ගේ පැවැත්ම උදෙසාය. වෙන් කෙරුනු පුද්ගලයින් ජාතිය සමඟ සම්බන්ධ වන්නේ තනි තනිව සෘජුවමය. ඒ නිසා සිංහලුන්ට මෙන් නොව බටහිරුන්ට ජාතික අනන්‍යතාවක් ජාතිය පිලිබඳ හැඟීමක් ඇතිවන්නේ ඔවුන්ගේ අනිකුත් සමාජ සම්බන්ධකම් වලින් ස්වාධීනවය. ඒ නිසා බටහිරුන්ගේ ජාතිකත්වය සෘජුය, සරලය හඳුනාගැනීමට පහසුය. එය මතු පිටින් පෙනේ. නමුත් වෙන්ව සිටින විවිධ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එකම සමූහයක තබා ගැනීම බරපතල කාර්යයකි. ඒ නිසා බටහිර රටවල් සංස්කෘතියෙන් සමජාතීවීම අනිවාර්යවේ. ජාතික කොඩිය ජාතික ගීය වැනි භෞතික ලාංඡන බටහිර රටවලට අවශ්‍යය වන්නේ තනි පුද්ගලයින් ජාතියට බැඳ තබා ගැනීම පහසු කෙරවීමටය. සිංහලුන්ට මේ ලාංඡන එතරම් අදාල නොවන්නේ ඔවුන් ජාතියට බැඳෙන්නේ පහල සිට ඉහලට දිවෙන සංකීර්න සමාජ සම්බන්ධකම් ඔස්සේ බැවිනි. ඒ නිසා බටහිරුන් ජාතියට බැඳෙන ආකාරය දෙස බලා සිංහලුන්ට ජාතියක් නැතැයි කීම වැරදිය.



අද සිංහල ජාතිය පීඩනයකට ලක්වී සිටී. යටත් විජිත යුගයේ පවා මෙතරම් පීඩනයක් නොතිබිනැයි මම සිතමි. ඊට හේතුව සිංහල ජාතියේ පදනමවූ එහි මිනිසුන්ගේ සාපේක්‍ෂ පැවතීමට අද බටහිර සංස්කෘතියෙන් පෙර නොවූ තරම් විශාල තර්ජනයක් එල්ලවන බැවැනි. සාපේක්‍ෂ පැවත්ම සිංහලුන්ගේ ගතියය. ඔවුහු තමා අවට ලෝකයෙන් භෞතිකවත් ක්‍රියා කාරකම් තුලිනුත් වෙන් නොවී තම ජීවිතය ගෙන යති. ඔවුහු නම්‍යශීලීද වෙති. ඔවුහු පරිසරයට සතා සිව්පාවුන්ට අනිසි බලපෑමක් නොකර ජීවත් වෙන්නට දනිති. නමුත් මේ ගති අද අපට නැත. මේ ගති නැතිව අපට සාපේක්‍ෂව පවතින්නට නොහැකිය. සාපේක්‍ෂව නොපවතිනවිට සිංහල ජාතියට පැවැත්මක් නැත. සිංහල ජාතිය ආරක්‍ෂා වෙන්නේ මේ සිංහල ගති පවත්වාගෙන යන්නට හැකි තාක් පමණි. 1815 දී සිංහල නායකයින් රාජ්‍ය බලය ඉංග්‍රීසීන්ට පවරා හෝ සිංහල ගති ආරක්‍ෂා කරගන්ට තැනුයේ මේ නිසා විය යුතුය. ලංදේසීන් පෘතුගීසීන් තරම් සිංහලුන්ට පීඩා නොකලහ. නමුත් ලංදේසි සමයේ සිංහලුන් වැඩි වැඩියෙන් බටහිර ගති වලට ඇබ්බැහි වූහ. ලංදේසි පාලනය ඉඟුරු දී මිරිස් ගත්තාක් මෙන් ජාතියට විනකර වූයේ ඒ නිසා විය හැකිය. වාස්ථවික පැවැත්මක් ගැන විශ්වාස තබන බටහිර දැනුමේ ආධිප්‍යය හමුවේ අද අන් කවරදාකටත් වඩා වේගයෙන් අපේ ගති අපෙන් ගිලිහෙමින් පවතී. ජාතියේ පැවැත්මට ඊට වඩා තර්ජනයක් තිබිය නොහැකිය.



සිංහලුන්ගේ සාපේක්‍ෂ පැවැත්ම යනු ඔවුන්ගේ ගති පවත්වාගෙන යාම යැයි කිව හැකිය. නමුත් අපි ජාතිය යැයි ආරක්‍ෂා කර ගන්නට තනන්නේ වාස්ථවිකවූ කාලයේ නොවෙනස් වන දෙයක් නොවේ. සිංහල ජාතිය කාලයේ වෙනස් වේ නමුත් කාලය අපිට චක්‍රීය වේ. චක්‍රීය බව යනු අපි අතීතය පිලිබඳ දැනුම තුලින් අපේ අනාගතය නිර්මාණය කර ගන්නා අතරම අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇසුරෙන් අතීතය නිර්මාණය කර ගැනීමය. ඒ නිසා අතීත කථා සිංහලුන්ට වැදගත්ය. අද සිංහලුන් හෙළ ඉතිහාසයක් ගැන සොයමින් නව වංශකථාවක් ලියන්නට උනන්දුවන්නේ ඒ නිසාය. එය හොඳය. ඉතිහාසයේ විවිධ අවස්ථාවල අපි අපේ ඉතිහාසය නැවත ලියා ගන්නට ඇති. අපි ජාතියක් වශයෙන් පවතින්නේ නිරන්තරයෙන් වෙනස්වන අතීත-අනාගත සහ සම්බන්ධය තුලය. අපේ පැවැත්මට වඩා වටින්නේ අතීතය හා අනාගතය අතර සහ-සම්බන්ධතාවක් ඇති කර ගැනීම මිස වාස්ථවිකවූ යම් නොවෙනස්වන දෙයක් රැක ගැනීම නොවේ. වංශකථා වලින් කෙරෙන්නේ ජාතියට නව භවයක් අත් කරදීමය. නමුත් අතීත කථා අපට වැදගත් වෙන්නේ ඒ තුලින් අපේ අනාගතය නිර්මාණය කර ගන්නේ නම් පමණි. ඉතිහාසය ජීවමාන ඉතිහාසයක් වෙන්නේ එවිටය. මහානාම හිමියන් මහාවංශය ලියන්නට ඇත්තේද අනාගතය ගැන බලාපොරොත්තු ඇති කර ගනිමින් යැයි සිතිය හැකිය. ඒ නිසා අද අපි හෙළ ඉතිහාසය සොයමින් හෙළවංශයක් නිර්මාණය කරන්නේ නම් එය කල යුත්තේ හෙළ ගති නැවත ජාතිය මත පිහිටුවා බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙන්නේ කෙලෙසද යන ප්‍රශ්ණයට පිළිතුරක් සපයමිනි. රාමායනයේ කුමක් කියා තිබුනත් හෙළවංශයේ රාවණ නිවනට මඟ අසා දැන සිටි අයෙක් විය යුතුය.



සිංහලුන් දකින්නේත් පතන්නේත් සාපේක්‍ෂ පැවැත්මකි. සිංහල ජාතිය ආරක්‍ෂා වන්නේ ඔවුන්ගේ ගති අරාක්‍ෂා කිරීම තුලිනි, අතීතය අසුරින් අනාගතය දැකීම තුලිනි. සිංහල ජාතියටද ඇත්තේ සංසාර ගමනකි.





-වංශපුර දේවගේ ජානක (මගේ රට)
යුතුකම සංවාද කවය

3/10/2014

මහා සංඝරත්නය සමග විමල්ගේ සම්මුතිය.

කතෘ:යුතුකම     3/10/2014   4 comments


මම ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනඥයින්ට ප්‍රශස්ති ගායනා නොකරන්නෙක්මි.විමල් වීරවංශ නැමති දේශපාලනඥයා කොතෙක් සුවිශේෂී වුවත් ඔහුට අදාලවද එම ප්‍රතිපත්තිය වෙනස් වන්නේ නැත. එහෙත් පසුගියදා ඔහුට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් ප්‍රදානය කරන ලද ගෞරව නාමයට අදාල හේතුපාඨය කියවීමේදී ඒ පිළිබඳව යමක් නොකියා සිටීම වරදක් ලෙස හැඟුණි. අතිගෞරවනීය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එම ගෞරව නාමය ප්‍රදානය කරන අවස්ථාවේ ඊට සාක්ෂි දරමින් ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අති ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම රාමඤ්ඤ නිකායේ අති ගෞරවනීය මහාස්වාමීන්ද්‍රයන් වහන්සේද එම වේදිකාවේ වැඩ සිටියහ.

මෑතකාලීනව ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ මහා නිකාය ත්‍රිත්වය නියෝජනය කරමින් අතිගෞරවණීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුවූ  ගෞරව නාම ප්‍රදානයක් පිළිබඳ මගේ මතකයට නැගෙන්නේ නැත. එම නිසා එම අවස්ථාව සහ ක්‍රියාව ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් නියෝජනය කරන බව මම කල්පනා කරමි.අනෙක් අතට එම ගෞරවනාම සාධන පත්‍රයට අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාට පිරිනැමුනු "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර" ගෞරව නාමය හුදු ඒක පාර්ශවීය  ප්‍රදානයක් නොවන බවද පැහැදිලි වේ. ගෞරවණීය මහා සංඝරත්නයට අනුව එය ගෞරවනාම  සම්මාන සම්මුතියකි.එයින් පැහැදිලි වන්නේ උන්වහන්සේලා විමල් වීරවංශ නම් වූ දේශපාලනඥයා සමග  යම් සම්මුතියකට එළඹුනු බවයි. 

එම ගෞරව නාමයට අදාල හේතුපාඨය මහින් ඔහු විසින් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ ජාතික කර්තවය තුල ඉටු කල සුවිශේෂී භූමිකාව ඇගයීමට ලක්ව ඇත. අතීතයේ ඉටුකල භූමිකාවක් ඇගයීමේදී සම්මුතියක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද? මා කල්පනාකරන ආකාරයට මහා සංඝරත්නය එසේ සම්මුතියක් ඉල්ලා සිටින්නේ ඔහු විසින් ඉටු කල යුතු අනාගත භූමිකාවක් සඳහාය. මහා සංඝරත්නය සඳහන් කරන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ භූමිකාවට අදාල කාලවකවානුවේදී ශ්‍රී ලංකාව එක් ආකාරයකට තුන් බියකට මුහුණ දෙමින් තිබිණ. එදා  2003 වසර වන විට එවකට පැවති රජය එක් පැත්තකින් බෙදුම්වාදී කොටි සංවිධානය සමග සටන්විරාම ගිවිසුමක් අත්සන් කොට තාවකාලික ආන්ඩුවක්ද ලබාදීමට අර අඳිමින් සිටියේය. ඒ අතර විවිධ ජාත්‍යන්තර  බෙදුම්වාදී බලවේග වලට රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමට අවශ්‍ය ඉඩ කඩද නොමදව සපයා තිබිණ. එම තත්වය නිසා ශ්‍රී ලංකාව  සූඩාන රාජ්‍ය මෙන් දෙකඩවීමේ ඉම වෙත ලඟාවෙමින් තිබුණි. ඊට අමතරව "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන මගින් අධිරාජ්‍යවාදී මහා සමාගම් වලට රටේ ආර්ථිකය කොල්ලකෑමට අවශ්‍ය වාතාවරණයද වඩාත් පුළුල් කෙරෙමින් තිබුණි. අනෙක් පැත්තෙන්  සංස්කෘතික වශයෙන්ද  එම විනාශය භාරගන්නා මිනිසෙකු නිර්මාණය කිරීම සඳහාද  විවිධ වැඩ සටහන්  නිර්මාණය කරන්නට එදා  කටයුතු යෙදෙමින් තිබුණි.

එම වකවානුවේදී ඒ තුන්බිය නැති කිරීම සඳහා ඊට එරෙහිව ජාතික බලවේග පෙළගැස්වීම සඳහා සක්‍රීයව දායකත්වය සැපයූ සුළු පිරිස අතර විමල් වීරවංශ ප්‍රමුඛයෙක් විය. ජනතා විමුක්ති පෙරමුණ තුලද විශාල මතවාදී සටනක් කරමින් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය බිහි කිරීමට ඔහු දැවැන්ත කාර්‍යභාරයක් ඉටුකලේය. ඔහු සතු වූ න්‍යායාත්මක දේශපාලන දැනුම ,සුවිශේෂී කතිකත්වය සහ විවිධ බලවේග සමග ගනුදෙනු කිරීමේ නම්‍යශීලී ගුණය එම කාර්‍යභාරය සඳහා මහත් පිටුවහලක්  විය.

ඒ භූමිකාව ඉටුකිරීමේදී ඔහුද පෙරළා මේ රටේ සංස්කෘතික මූලයන් සමග ගැබුරු අධ්‍යාත්මික සබඳතාවක් ගොඩනගාගැනීමට සමත්වූ බව මම දනිමි. මේ රටේ බොහෝ සම්ප්‍රදානුකූල මාක්ස්වාදී දේශපාලනඥයන්ට වඩා විමල් වීරවංශ වෙනස් වන්නේ ඒ නිසා බව මම විශ්වාස කරමි.

ඇත්ත වශයෙන්ම සම්ප්‍රදානුකූල වාමාංශික පක්ෂයකට වඩා ජනතා විමුක්ති පෙරමුණ  මූලික වශයෙන් වෙනස් වූයේ  බෙදුම්වාදයට අදාලව ඔවුන් ඉදිරිපත් කල ජාතිකවාදී මතවාදය නිසයි. ඔවුන්ගේ එම මතවාදී නැඹුරුව මේ රටේ ඉරණම වෙනස් කිරීමට මූලික වශයෙන් හේතුවූ බව අතිශෝක්තියක් නොවේ. විමල් වීරවංශ එම පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව සිදුවූ න්‍යායාත්මක පීළි පැනීම  අද මේ රටේ අනාගත ඉරණම කෙරෙහි බෙහෙවින් බලපාන බවද මම විශ්වාස කරමි. කෙසේ වෙතත්  විමල් වීරවංශ එම පක්ෂයෙන් ඉවත් වීමට හෝ ඉවත් කිරීමට හේතු වූයේ එම පීළි පැනීම බවටද තර්කයක් ඇත.මා විශ්වාස කරන හැටියට එදා 2005 ඓතිහාසික ජනවරම නිර්මානය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අති මහත් භූමිකාවක් ඉටු කරන්නේ විමල් වීරවංශ සාධකය නිසයි.

 එතැන් පටන් උතුරු නැගෙනහිර පළාත් ව්න් කිරීම ඇතුළුව බෙදුම්වාදී විරෝධී දේශපාලන න්‍යායපත්‍රයකට රට යොමු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජයට ධෛර්‍යය සැපයූ ප්‍රමුඛතම දේශපාලන නායකයා විමල් වීරවංශ ලෙස හැඳින්වීමේ වරදක් නැත. කොළඹ නගරය  ආරක්ෂා කරගැනීම සඳහා ජාතිකවාදී ඔත්තුකරුවන් පුහුණු කිරීමේ සිට රණවිරුවන් දිරිමත් කිරීම සඳහා මුහමලේ ඉදිරිපෙළ බංකර්වලට ඇතුළුවීම දක්වා වූ මහා ක්‍රියාකාරකම් මාලාවක නිර්මාතෲ වුයේ විමල් වීරවංශයන් බව මම ඉතා හොඳින් දනිමි. ගෞරවණීය මහා සංඝරත්නය ඇගයීමට ලක් කරන්නේ ඔහුගේ එම භූමිකාවය. මා දන්නා තරමින් ඔහු විසින් රට වෙනුවෙන් ඉටු කල භූමිකාව ඒ ආකාරයට ජාතික මට්ටමින් ඇගයීමට ලක් වූ පළමු අවස්ථාවද එය විය හැක. අවංකව රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන මිනිසුන්ට ඇගයීම් අවශ්‍ය නැත. ඇගයීම අවශ්‍ය වන්නේ ඔවුන් වඩ වඩාත් දිරිමත් කිරීම සඳහාය.

දැන් මහා සංඝරත්නය විසින් සිදුකල ඒ දිරිමත් කිරීම මේ රටට ආදරය කරන සියළු මිනිසුන් මත ආරොපනය කිරීම සඳහා විමල් වීරවංශයන් මැදිහත් විය යුතුය. මහා සංගරත්නය අපේක්ෂාකරන සම්මුතියද එයම බවට සැකයක් නැත. රට ඉදිරියේ අද  පවතින අභියෝගය දෙස බලන විට එය යුද්ධය පැවති කාලයටත් වඩා බරපතල බව මගේ හැඟීමයි. ඒ අනුව එදා යුද්ධය පැවති කාලයේදී විමල් වීරවංශයන් ඉටුකල භූමිකාවට වඩා වැඩි භූමිකාවක් හෙට දිනයේදී අවශ්‍යවනු ඇත. විසේෂයෙන්ම එයට හේතුව යුද්ධය පැවති කාලයේදී රට පිළිබඳ පැවති මහජන අවධානය සහ අවබෝධය අද හීන වී ගොස් ඇති  තිබීමය. අභියෝගය වැඩි වන තරමට මැදිහත්වීම අඩු වීම යනු බරපතල තත්වයකි.මා විස්වාශ කරන හැටියට  වසර 30ක්  යුද්ධය කිරීමෙන් දිනාගත නොහැකි වූ ඊළම "ජිනීවා සාම බලහත්කාරය " මගින් ලබා ගැනීමට වසර තුනක් වත් ගත වන්න නැත.

යුධ ජයග්‍රහණය්න් පසුව පසුගිය වසර  4 කට අධික කාලයක් නිදි වැදී සිටි ජාතියට  විමල් වීරවංශයන්ට ලැබුණු ගෞරව නාමය නිසා  දැන් නව සාකඡ්චාවක් ඇරඹීම සඳහා නිමිත්තක් ලැබී ඇත.  මහා සංඝරත්නය විසින් පමා වී හෝ ඊට නිමිත්තක් සැපයීම පිළිබඳව අපගේ නොමද ස්තුතිය උන් වහන්සේලාට හිමි විය යුතුය. විමල් වීරවංශයන්ගේ දේශපාලන භූමිකාව දෙසට මල් විසිකරන පිරිස් වලට මෙන්ම ගල් විසි කරන පිරිස් වලටද ඊට දායකත්වය සැපයිය හැක.

මේ රටට නිදහස ලබාදුන් නායකයන් කටයුතු කලේ අපගේ ජාතිකත්වය පිළිබඳව අල්පමාත්‍ර අවබෝධකයකින් යුතුව නොවේ. බටහිර ලිබරල්වාදී මනසකින් යුතු ඔවුන්ගේ නිගමනය වූයේ ඉංග්‍රීසිකාරයා විසින් කෝල්බෲක් , කැමරන් ප්‍රතිසංස්කරණ මහින් නූතන ජාතියක් අපට හිමි කර දී ඇති බවය. ඔවුන් සිංහල ජාතියේ අභීත ශ්‍රී විභූතිය ගැන කතා කලා නම් සේ කලේ ජනතාව රැවටීම සඳහායි.  1956 දී සිය ජාතිකත්වය නොනසාගත් බහුතර ජනතාව බණ්ඩාරණායක ප්‍රධාන ශ්‍රීලංකා නිදහස් පක්ෂය බලයට පත් කරන ලද්දේ අපට උරුම මේ ජාතික දේශපාලන දර්ශනය ක්‍රියාවට නගනු සඳහායි.ලිබරල්වාදය කරපින්නාගත් බණ්ඩාරනායකට ය නොවැටහිණ. තිස් ගනන්වල දේශපාලන ක්ෂේත්‍රයට පිවිසුණු මාක්ස්වාදී අනුනාකරකන්ට "පංතියක්" විනා "ජාතිය"  නොතිබිණ. ජාතිකත්වය ගැන කතාකරන පලමු මාක්ස්වාදී පක්ෂය වූයේ හැත්ටෑව දශකයේ බිහි වූ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් ජාතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොතිබුණු ඔවුන් එය සලකන ලද්දේ ජනතාව රැවටීම සඳහා යොදා ගත යුතු පැලඳගත යුතු වෙස් මුහුණක් ලෙස බව දැන් පැහැදිලිව පෙනේ. විමල් වීරවංශ ඔවුන්ගෙන් වෙන් වූ ප්‍රඥාංකුරයෙක් විය.

මේ අතින් ගත් කල ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන දර්ශනයක් වෙත මනස යොමු කළ පළමු දේශපාලන නායකයා විමල් වීරවංශ වෙයි. ඔහු කර ඇත්තේ ඒ විප්ලවීය වෙනසට පය ගැසීම පමණි. අනාගතයට දිවෙන ඒ මහා ගමනේ පළමු පියවර පමණි ඔහු තබා ඇත්තේ. එහෙත් ඒ සඳහා අවශ්‍ය  නියත විවරණ මේ රටේ මුර දේවතාවන් වූ මහා සංඝරත්නය දැන් ඔහුට ලබා දී ඇත. එය වටහාගෙන ඔහු ඒ කටයුත්ත ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. ඒ ගමන යාම සඳහා ඔහුට උපරිම සහය දීම දේශහිතෛශී මෙරට ජනතාවගේ වගකීම වෙයි.

-ආචාර්ය ගුණදාස අමරසේකර
ලංකාදීප 2014-03-09



පරිගණක සටහන : යුතුකම සංවාද කවය
www.yuthukama.com



3/06/2014

ගව ඝාතන විරෝධයේ පදනම කුමක්ද?

කතෘ:යුතුකම     3/06/2014   3 comments
යටත්විජිත සමයෙහි අනගාරික ධර්මපාලතුමාගේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූ ගව ඝාතන විරෝධී සංවාදය නැවත එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතනය විරෝධය නැවත ඉස්මතු වීමත් සමඟ ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතියි. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්‍රහ කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. බුදුන් වහන්සේ බෞද්ධයින්ට මස් කෑම තහනම් කළේ ද? අඩු තරමින් ගව මස් කෑම තහනම් කළේ ද? පව් සිදුවන්නේ ගවයින් මැරූ විට පමණ ද? සිංහල බෞද්ධයින් ඌරන් කුකුළන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? ගව ඝාතන විරෝධය පටු ආගම්වාදී සටනක් නොවේද? ආදී විවිධ ප්‍රශ්න මේ වන විට පැන නැඟී තිබේ. ඒවාට තම තම නැණ පමණින් පිළිතුරු ද සම්පාදනය කොට තිබේ. ගව ඝාතන විරෝධි සටනට එරෙහි වන්නෝ බෞද්ධ දර්ශනය මත නොව මහා වීරතුමාගේ ජෛන දර්ශනය මත පදනම්ව කරුණු දක්වනු පෙනේ. අනෙක් අතට බෞද්ධ දර්ශනය අනුව වුව ද ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම අවබෝධ කරගත නොහැකිය. එයට හේතුව ගව ඝාතන විරෝධය හුදු ආගමික මූලයකින් නොව සංස්කෘතික මූලයකින් පැන නැඟීමය. එකී සංස්කෘතික මූලය ආගමික බලපෑමින් විනිර්මුක්ත බවෙක් ඉන් නොඇඟවේ. මේ කෙටි ලිපියේ අරමුණ ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම එනම් සංස්කෘතික පදනම අවබෝධ කරගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමය.

සංස්කෘතිය

මිනිසා ශිෂ්ටාචාරය පුරා තමා ජීවත්වන පරිසරය වඩා සුවදායි කරගැනීම සඳහා මහා අරගලයක නිරත වෙයි. තමා ජීවත්වන ප්‍රදේශයේ දේශගුණය, භෞතික පිහිටීම, භූ විෂමතාව, ආර්ථික ක්‍රමය, ආගම ආදී සාධක සමඟ ඔහු වසර සිය ගණනක් ගනුදෙනු කරයි. විවිධ ප්‍රශ්නවලට මුහුණදෙයි. ඒ ඔස්සේ නේක අත්දැකීම් ලබයි. ඒ අත්දැකීම් දැනුම මත ඔවුන්ට ආවේණික සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති හැසිරීම් රටා නිර්මාණය වෙයි. සමාජයෙහි පොදු යහපත අරමුණු කොට ගෙන නිර්මාණය කරගනු ලබන මේ ඇගයුම් පද්ධතියට සංස්කෘතිය යැයි කිව හැකිය. සංස්කෘතිය යනු හැදියාව යැයි ඉතා සරලව කිව හැකිය. පෙර සඳහන් කළ පරිදි මිනිසාට ශිෂ්ටාචාරගත වීමේදී මුහුණපෑමට සිදුවූයේ එක සමාන දේශගුණික, භෞතික, ආර්ථික සහ ආගමික සාධකවලට නොවේ. එනම් එම සාධක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස් විය. මේ නිසා ඔවුන් මුහුණ පෑ ගැටලු මෙන්ම ලැබූ අත්දැකීම් ද එකිනෙකට වෙනස් වූ අතර ඒවා පදනම් කරගෙන බිහි කරගත් සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති එනම් සංස්කෘතීන් එකිනෙකට වෙනස් විය. වෙනත් ලෙසකින් කිවහොත් බඳුනකට ජලය දමන විට ජලය බඳුනේ හැඩය ගන්නාක් මෙන් ඒ ඒ දේශගුණික, ආර්ථික, ආගමික සාධක නමැති බඳුන් තුළ මිනිස්සු ඒ ඒ බඳුන්වල හැඩයට අනුගත වූහ.

භාරත සංස්කෘතියට හින්දු ආගම පදනම් වූ අතර ලංකා සංස්කෘතියට පදනම් වූයේ බුදු දහමය. බෞද්ධ සහ හින්දු ආගම්වල සතුන් සමඟ ඇති සබඳතාව ඉතා ප්‍රබලය. ජාතක පොතේ සඳහන් පරිදි බෝසතුන් වහන්සේ විවිධ සත්ව ජන්මයන්හි උපත ලැබූහ. විටෙක බෝසත් හාවෙකි. විටෙක බෝසත් ගවයෙකි. විටෙක වඳුරෙකි. තවත් විටෙක ඇතෙකි. සංඝයා අතර ඇති වූ භේදයක් නිසා වරක් වනයට වඩින බුදු රදුනට සමසක් උවටැන් කරන්නේ පාරිලෙයිය නම් ඇතෙකි. මුචලින්ද නාගයා, නාලාගිරි ඇතා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සමඟ සම්බන්ධ වෙයි. අනෙක් අතට ගවයා, වඳුරා ආදී සතුන් හින්දු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය. (එහෙත් කතෝලික හෝ ඉස්ලාම් ආගම්වල එවන් සමීප සබඳතාවක් ඇතැයි කිව හැකි නොවේ. කතෝලික දහම තුළ ජේසුතුමා ගව ලෙනක උපත ලැබීම සහ වරක් බැටලු රංචුවක් සමඟ සිටීම වැනි අවස්ථා කිහිපයක් දැකිය හැකි වුවත් ඉස්ලාම් දහම තුළ එවන් අවස්ථා ඇති ද යන්න සැක සහිතය.) මෙම ආගමික භාවිතයන් කාලයත් සමඟ ඒවා අනුගමනය කරන ප්‍රජාවෙහි සංස්කෘතිය සමඟ බද්ධ වෙයි. ප්‍රජාවෙහි චින්තනය සිතුම් පැතුම් රුචි අරුචිකම් තීරණය කරනු ලබන්නේ සංස්කෘතිය විසිනි. ආගම් ඔස්සේ සංස්කෘතියට අවශෝෂණය කරගත් මෙකී සත්ව සබඳතාව නිසා බුදු දහම පදනම් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ද හින්දු දහම පදනම්  හින්දු සංස්කෘතිය තුළ ද ආහාර සංස්කෘතිය බෙහෙවින් නිර්මාංශ විය. එමෙන්ම සිය සංස්කෘතිය තුළ බුහුමනට පාත්‍ර වන සතුන් ඔවුහු සුවිශේෂ කොට සැලකූහ.


ආර්ථික පදනම

ඒ ඒ සංස්කෘතීන් නිර්මාණය වීමේදී ආර්ථික ක්‍රමය නැතහොත් ජීවන ක්‍රමය බලපාන බව පෙර ද සඳහන් කළෙමි. ඒ අනුව ගත් කල භාරතීය ශිෂ්ටාචාරය කෘෂිකාර්මික ශිෂ්ටාචාර යැයි කිව හැකිය. ඝර්ම කලාපයෙහි පිහිටි මේ රටෙහි ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා උචිත සමසීතෝෂ්ණ දේශගුණයකි. එහෙයින් එහි වැසියෝ ගංගා නිම්න ආශ්‍රිතව සිය ජනාවාස නිර්මාණය කොට ගත්හ. එම ගොවි සමාජවල වැසියාට සිය
ජීවනෝපාය සඳහා ගවයා නැතිවම බැරි සම්පතක් විය. පස්ගෝ රස ලබා ගැනීම, කුඹුරු සී සෑම, ගැල් ඇදීම, සම් භාණ්ඩ, ගොම පොහොර ලබා ගැනීම ආදිය ඒ අතර ප්‍රමුඛ විය. එම සමාජයෙහි මුල් යුගයෙහි ගව මස් කෑවේ යැයි අනුමාන කළ හැකි වුව ද උගෙන් ලද මහත් ප්‍රයෝජන සලකා පසුව එයට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වූයේ යැයි සිතිය හැකිය. ගවයින් මරණ තැනැත්තා මරා දැමිය යුතු බව අර්ථ ශාස්ත්‍රයෙහි සඳහන් වෙයි. මහත්මා ගාන්ධිතුමා ගවයා හැඳින්වූයේ දශ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ අම්මා ලෙසය. මෙලෙස භාරතීය ශිෂ්ටාචාරය ගොඩ නැගීමෙහිලා ගවයා ඉටු කළ මහත් කාර්යභාරය නිසා ගවයා එම ආර්ථිකය දරා සිටින ස්ථම්භයක් වූ නිසා ඌ එම ශිෂ්ටාචාරයෙහි වරප්‍රසාදිත සත්වයෙකු බවට පත්විය.

භාරතයෙහි මෙන්ම ලංකා සංස්කෘතියෙහි ද ආර්ථික පදනම වූයේ කෘෂිකාර්මාන්තය වන අතරම සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වීය. එහෙයින් සිංහල සංස්කෘතිය සහල් සංස්කෘතියක් යැයි කීව ද එහි වරදක් නොමැත. ඒ තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබිණි. බොහෝ විට සිය නිවෙස්හි ඇති කළ ගවයා සැලකුණේ තම පවුලේ සාමාජිකයෙකු ලෙසිණි. උන් ඇමතුයේ රත්ති, හඳයා, තොප්පියා, වයිරා, වල්ලියා වැනි හුරතල් නම්වලිනි. ගවයින් ලවා සීසාන විට සිංහල ගොවීන් අඩහැර පෑවේ 'සුරතල් මීමෝ' 'බුදුන් දැක නිවන් දැකපන් මයෙ වහු දරුවෝ' 'පින් අයිති වෙයි උඹලට මයෙ අප්පච්චියෙ' 'දෙවි රැකවරණයි මයෙ වස්තුවෙ' ආදී කාරුණික වඳන්වලිනි. තමන්ගේ ජීවිත සරුසාර කොට දෑස් පියාගන්නා ගවයාට සිය පවුලේ ඥාතියෙකුට මෙන් පාංශුකූලයක් දීමට ද දානමාන දී පින් අනුමෝදන් කිරීමට ද හේ කාරුණික විය. මේ දැඩි සබඳතාව නිසා සිංහල බෞද්ධයෝ කවදත් ගව මස් කෑම පිළිකෙව් කළේය. ආචාර්ය හේම එල්ලාවල මහතා සිය 'පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය' නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. "මස් සඳහා ගවයන් ඇති කළ බව පැවසෙන එකම සඳහනක් වත් අපට කිසිම තැනක හමු නොවූ බව විශේෂයෙන් සැලකිය යුතුය. අප මුලින් පෙන්වා දුන් පරිදි ගවමස් ආහාරයට ගැනීම උසස් කුලවතුන්ට සම්පූර්ණයෙන් ම තහනම් විය. ගවමස් ආහාරයට ගන්නා අය චණ්ඩාලයන් ලෙස සලකනු ලැබූහ." "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. ... ගෙරිමස මුවෙහි නොතබන්නේය" යැයි රොබට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියෙහි පවසා තිබේ. අනගාරික ධර්මපාලතුමා “ගවමස් කන්ට එපා. ගවයා මරන්ට දෙන්ට එපා. ගවයන් මරණ තැනකට යන්ට එපා. ගවයන් මරණ තැනැත්තා චණ්ඩාල රොඩියෙකි. ගව මස් කන එකා රොඩී රැලට දාන සිරිතක් පෙර ලංකාවේ තිබුණි.” යැයි ප්‍රකාශ කළේ සිංහලයාට සිය ශිෂ්ටාචාරය ගොඩනැගීමට හරි හරියට උර දුන් ගවයාට කෘතගුණ සැලකීමේ අවශ්‍යයතා නිසා විය යුතුය. මේ අනුව සිංහල බෞද්ධයින් ගව මස් කෑම පහත් කොට සැලකූ බව ඊට විරුද්ධව නීති පවා සම්පාදනය කොට තිබුණු බවත් පැහැදිලිය.


ආගමික පදනම

භාරතීය සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා ආගමික පදනම සැපයූවේ හින්දු ආගම විසිනි. හින්දු ආගම තුළ මෙන්ම ජෛන ආගම තුළ ද ගවයාට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. වෛදික යුගයේ සිටම ගවයා සෞභාග්‍යයේ මෙන්ම ධර්මයේ සංකේතය ලෙස ද සැලකිණි. එමෙන්ම ගවයා ශිව දෙවියන්ගේ වාහනය ලෙස ද සැලකේ. එපමණක් නොව ගවයා, හින්දුගේ මහත් සම්භානාවට පාත්‍ර වන ක්‍රිෂ්ණා දෙවියන් පෙනී සිටින දස අවතාරවලින් එකක් ලෙස ද සැලකේ. එමෙන්ම මී ගවයා මාර දිව්‍ය පුත්‍රයාගේ වාහනය ලෙස ද සැලකේ. සුරභි ධේනුව සිතු පැතු සම්පත් ලබා දෙන ගවඟනක බව ද විශ්වාස කෙරිණි. පංච තන්ත්‍රයේ එන වර්ධමානක සිටුතුමා සංජීවක සහ නන්දික නම් සිය ගව රැළේ සිටි ගවයින් දෙදෙනා කෙරෙහි අතිශයින් ළෙංගතු විය. මේ ආගමික පදනම නිසා අදත් ඉන්දීය මෙන්ම ලාංකේය හින්දූහු ද තෛපොංගල් උත්සසවය පවත්වා ගවයාට කෘතගුණ සලකති.

ලාංකේය සංස්කෘතිය බිහිවීමෙහිලා ආගමික පදනම සැපයුණේ බුදු දහමිනි. බුදුන් වනාහි භාරතීය වෛදික නැතහොත් හින්දු සංස්කෘතිය තුළ ඉපිද බුද්ධත්වය ලබාගත් මහා පුරුෂයෙකි. එහෙයින් උන්වහන්සේගේ ධර්මය තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබීම පුදුමයට කරුණක් නොවේ. බෝසතුන් වහන්සේ නන්දිවිසාල ජාතකයෙහි නන්දි නම් ගවයා ලෙස උපත ලැබූහ. උන්වහන්සේ ගාවි උපමා සූත්‍රය දේශනා කළේ ගව දෙන උපමා කරගෙනය. ගව සම්පත තරම් වටිනා ස්වභාවික සම්පතක් නැතැයි (නත්ථි ගොසමිතං ධනං) බුදුන් වහන්සේ වදාළහ. තව ද පස්ගෝ රස සපයන ගවයා ජාතියෙහි මිතුරා යැයි (ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසාධා) වදාළහ. ගව යන අර්ථයෙහි යෙදෙන වෘෂභ ශබ්දය, 'මුනිපුංගව' 'මුනිවැහැප්' ආදී වශයෙන් බුදු රදුන් ඇමතීමට ශ්‍රේඨාර්ථයෙහි යෙදිණි. ලංකා සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා පදනම් වූයේ මෙකී බුදුදහම හෙයින් ඒ සංස්කෘතියෙහි ශික්ෂණය ලද සිංහලයා ගව මස් පිළිකුල් කිරීම හෝ ගව ඝාතනයට විරුද්ධ වීම පුදුමය කරුණක් නොවේ. අනෙක් අතට ඉතිහාසය පුරා භාරතීය රාජ්‍යයන් සමඟ පැවති සබඳතා නිසා හින්දූ සංස්කෘතියෙහි බලපෑමද සිංහලයාට ලැබිණි. ඔහුගේ වන්දනාමානයට පාත්‍ර වන දෙවිවරු හින්දු දෙවිවරුය. නොබෝ දා උතුරේ සංචාරයක නිරත වූ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමි මුණගැසුණු උතුරේ හින්දු පූජක ප්‍රධානී සෝමසුන්දර දේශික පරමාචාර්ය ආරුතිරුමුගන් පූජකතුමා දකුණු පැනනැඟී ඇති ගව ඝාතන විරෝධි සටනට තම සහාය හිමි වන බව පැවසුවේ එකී සංස්කෘතික බැඳීම සනාථ කරමිණි. ඒ අවස්ථාවේ හින්දූන්ගේ මහත් ගෞරවයට හේතු පාත්‍ර වන නන්දි කොඩියක් ද පූජකතුමා නාහිමියන්ට පිළිගැන්වීය. 


ගව ඝාතන විරෝධයේ පදනම

ඉහත දැක්වූ කරුණුවලින් අනාවරණය වන මූලික කාරණාව ගව ඝාතන විරෝධයට පදනම් වන්නේ සංස්කෘතික බවය. එම සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා බලපෑ ආර්ථිකය සහ ආගම තුළ ගවයා සුවිශේෂ භූමිකාවක් නිරුපණය කළ බව අවිවාදිතය. වෙනත් ලෙසකින් කිවහොත් ගව ඝාතන විරෝධය ද ගව මස් කෑම පිළිකුල් කොට සැලකීම ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්ෂණයකි. මේ අනුව ගව ඝාතන විරෝධය පිළිබඳ මෙරට පවතින සංවාදයෙහි පදනම නිවැරදි නොවන බව පැහැදිලිය. සංස්කෘතික පදනමක් සහිත සංසිද්ධියක් පිළිබඳ ආගමික පදනමක පිහිටා පිළිතුරු සෙවීම ගඟට ඉනි කැපීමකි. උඳු වපුරා මං පැතීමකි. එහෙයින් සිංහල බෞද්ධයා ගවයාට පමණක් කරුණාව දක්වන්නේ ඇයි? සෙසු සතුන් මැරූ විට පව් සිදු නොවන්නේ ද? වැනි ආගමික ප්‍රශ්නවල මෙන්ම ඒ සඳහා සම්පාදනය වන ආගමික පිළිතුරුවල ද කිසිදු තාර්කික පදනමක් නොමැත. ගව ඝාතන විරෝධය හුදු පව් පිං පිළිබඳ පදනම් කරගත් ආගමික මූලයක් ඔස්සේ නොව සියුම් සංස්කෘතික මූලයක් ඔස්සේ පැන නඟින්නකි. එය තාර්කිකව හෝ පොතේ බුද්ධාගමින් අවබෝධ කරගත නොහැකි අතර සිංහල බෞද්ධ සමාජය සුහදව ඇසුරු කිරීමෙන් අවබෝධ කරගත යුත්තකි. අනෙක් අතට බෞද්ධයෙකුට වුව ඔහු සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන්නේ නම් මේ කාරණාව අවබෝධ කරගැනීම උගහටය. අපේ උගතුන් බොහෝ දෙනෙකු අද මුහුණපා ඇති ගැටලුව එයයි. 

සිංහල බෞද්ධ බහුතරය ගොවීහු හෝ ගොවීන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔහුගේ ප්‍රධාන වගාව වීය. ඔහු සිතන පරිදි වී බුද්ධ භෝගයකි. ගොයම් නෙළා කුරුලු පාළුව යැයි කුරුල්ලන්ට කොටසක් ඉතිරි කරන ඔහු වි කරල් අහුරක් සිය නිවසේ බරාදයේ කුරුල්ලන් වෙනුවෙන් එල්ලා තබයි. ඔහුගේ සියලු සංස්කෘතික කෑම නිර්මාංශය. ඔහු නිර්මාංශ නොවුණ ද ඔහුගේ කෑම වේලට මස් මාංශ අනීවාර්ය හෝ ප්‍රමුඛ කොටසක් නොවිණි. ඔහු නිතර සිය නිවෙසට පැමිණි පසුව අතුරුදන් වූ තලගොයාට නිවන් සුව පතයි. හේන් ගොවිතැනට කැලේ කොටා ගිනි තැබීමට පෙර සතුන්ට ඉවත්ව යන්නැයි ආයාචනා කරයි. සිංහල ගැමි ලිය කිසි විටෙක උණු වතුර සිසිල් වන තුරු බිමට විසි නොකරන්නීය. දිනපතා කාක පොල් කටුවට බත් මිටක් දමන්නීය. පොහෝ දිනවල බිත්තර නොපුපුරවන්නීය. මහ මඟ බල්ලෙකු මැරී සිටිය ද අනේ අපොයි කියන්නීය. අසංස්කෘතික අධ්‍යාපනය, වානිජකරණ සුනාමිය සහ තිස් වසක කුරිරු ත්‍රස්තවාදය හමුවේ එම සංස්කෘතියෙහි ඇතැම් අංග වියැකි ගිය ද එම සංස්කෘතික පදනම් මුලිනුපුටා දැමීමට සමත් වී නොමැත. නැතහොත් තවමත් ජාතියේ ආධ්‍යාත්මය මිය ගොස් නොමැත.


ප්‍රධාන සංස්කෘතිය

සෑම සමාජයකම එක් ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඒ කතෝලික, හින්දු, ඉස්ලාම් හෝ බෞද්ධ විය හැකිය. ඒ ඒ සංස්කෘතිවල ඒවාට ආවේණික ඇගයුම් පද්ධති, සිරිත් විරිත් තිබේ. එහි ජීවත් වන්නාගේ චින්තනය සිතුම් පැතුම් සකස් වන්නේ ඒ මතය. සිංහල බෞද්ධයින් ගව මස් නොකන්නේ ඒ සංස්කෘතික බලපෑම නිසාය. මුස්ලිම් අය ඌරු මස් නොකන්නේ ඒ නිසාය. හින්දු ජනතාව ගව මස් නොකන්නේ ඒ නිසාය. එංගලන්ත වැසියා බලු මස් නොකන්නේ ඒ නිසාය. කිසියම් සංස්කෘතියක් රජයන සමාජයක් වෙත ඊට ආගන්තුක වන කිසිවෙකු පැමිණියහොත් ඔහුට ඒ සංස්කෘතියට කිසියම් දුරකට අනුගත වීමට සිදුවෙයි. ඒ ඔහුට සිය නිජ සංස්කෘතිය මුළුමනින්ම ඒ නව පරිසරය තුළ ක්‍රියාත්මක කළ නොහැකි හෙයිනි.

ඉස්ලාම් සංස්කෘතිය ඌරා පිළිකෙව් කරයි. එහෙයින් මුස්ලිම් ජනතාව ද ඌරු මස් පිළිකෙව් කරති. ඌරු මස් කෑමට රුචි අයෙකු ඉරානය වැනි රටකට ගියහොත් ඔහුට වෙනත් මසකින් තෘප්තියට පත්වීමට සිදුවෙයි. බලු මස් චීනයේ ද කොරියාවේ ද ජනප්‍රිය මසකි. තුන්වේලට ම බලු මස් බුදින චීනෙකු වුව එංගලන්තයට ගියහොත් ඔහුට බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. ඒ වෙනුවට ගව, බැටලු ආදී මසක් ගත හැකිය. චීන සහ කොරියානු සංස්කෘතිය තුළ බෞද්ධ මහායාන බලපෑම තිබුණ ද ථේරවාදි බෞද්ධ ලංකාවේ කිසිවෙක් බලු මස් නොබුදිති. බලු මස් කෑමට කැමති කොරියානුවෙකුට ලංකාවේ හොටෙල්වලින් ඒවා නොලැබේ. මේ අනුව මස් පරිභෝජනය පිළිබඳ ඇත්තේ සංස්කෘතික හුරුපුරුදු බව පැහැදිලි වේ. කුකුළු මස් කන සිංහල බෞද්ධයෝ බලු මස් මෙන් ම ගව මස් ද පිළිකෙව් කරති. ඔහු තුළ ඌරු මස් පිළිබඳව ද ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇතැම් විට ඒ ඉස්ලාම් සංස්කෘතික බලපෑම නිසා විය හැකිය. මුස්ලිම්වරුන් බෙහෙවින් මාංශ අනුභවයට නැඹුරු වුව ද ඉන්දීය මුස්ලිම්වරුන් හින්දු සංස්කෘතික බලපෑම නිසා සාපේක්ෂව ශාකමය ආහාරවලට නැඹුරුය. එම සංස්කෘතික පුරුදුවල පදනම ප්‍රශ්න කිරීම නිශ්ඵලය. ඒ ඒ සංස්කෘතීන් විසින් ඒ තුළ ජීවත් වන මිනිසාගේ සිතුම් පැතුම් චින්තනය පමණක් නොව කායික ගති සිරිත් පවා පාලනය කරයි. 

 
සංස්කෘතියේ පැවැත්ම පිළිබඳ අසංවේදීත්වය
 
අතීතයේ ගවයා අපට මහරු සම්පතක් වුව ද අද එසේ නොවන බව ද එහෙයින් අද, එකල මෙන් ගවයා පිළිබඳ කතා කිරීම නිශ්ඵල යැයි කිසිවෙකු තර්ක කළ හැකිය. මේ තර්කය තුළ ඇත්තේ සංස්කෘතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අසංවේදීත්වයට වැඩි යමක් නොවේ. සංස්කෘතිය කේවළ

පුද්ගලයෙකු උපත සමඟ හට ගෙන විපත සමඟ අභාවයට යන දහමක් නොව සමාජයක වසර සිය දහස් ගණනක් තිස්සේ ජීවත් වන මිනිසුන්ගේ අත්දැකීම්වලින් පෝෂණය ලද සිරිත් විරිත් ඇගයුම් පද්ධතියකි. එම ඇගයුම් පද්ධතිය කෙරෙහි එහි වසන ජනතාවගේ ආර්ථික ක්‍රමය ද ඔවුන් අදහන ආගම ආදි සාධක බලපායි. මේ අනුව කෘෂිකාර්මික ආර්ථික පදනමක් ද බුදු දහම ද ඇසුරේ ලංකාවේ වර්ධනය වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගව මස් නොකෑම සාධු සම්මතය. එය සිංහල බෞද්ධ ආධ්‍යාත්මික සංස්කෘතියෙහි අනභියෝගි ලක්ෂණයකි.

කිසියම් සංස්කෘතියක් අභාවයට යන්නේ එම ජාතියේ මරණය හෝ එම ජාතියේ ආධ්‍යාත්මික මරණය සමඟය. පුරාණ ඇෆ්ගනිස්ථානය ක්‍රි.ව. 2 වන සියවසේ සිට 7 වන
සියවසින් පසු එළඹෙන ඉස්ලාම් ආක්‍රමණය දක්වා බුදු දහම සහ බුදු දහම පදනම් කරගත් සංස්කෘතියක් සහිත දේශයක් විය. ගන්ධාර සම්ප්‍රදාය අනුව සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා ගොඩනැඟනේනේ එදවසය. 9 වන සියවස වන එම ප්‍රදේශ මුස්ලිම් ග්‍රහණයට නතු වූ අතර බෞද්ධ සංස්කෘතිය අභාවයට ගොස් ඉස්ලාම් සංස්කෘතිය ස්ථාපිත විය. එනම් බෞද්ධයින්ගේ ඊළඟ පරම්පරා මුස්ලිම්කරණය විය. 2001 තාලිබාන්වරු විසින් විනාශ කර දමන ලද්දේ තම බෞද්ධ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කළ සංස්කෘතික උරුමයයි. එලෙසම සිංහල බෞද්ධ සංස්කෘතිය ද කිසියම් ආක්‍රමණයකට ගොදුරු වී අභාවයට ගියහොත් මිස ජාතියේ ආධ්‍යාත්මය මිය ගියහොත් මිස ගවයා කෙරෙහි ඇති සංස්කෘතික බැඳීම කෙළවර නොවේ. ඒ සංස්කෘතික උරුමයෙ කොටස්කරුවෝ අද ද ගව මස් නොකති. ගව ඝාතනයට එරෙහි වෙති. පොහොය දිනයට, සිය උපන් දිනයට ගවයින් නිදහස් කරති. ගව අනාථාගාර තනති. ගවයා පිළිබඳ කලා නිර්මාණ කරති. ඒ බව දන්නා වෙළෙන්දෝ සිය පිටි කිරි අලෙවිය ප්‍රවර්ධනය කරනු පිණිස මරණයට කැපූ වූ කිරි අම්මාවරුන් නිදහස් කරති.

ලංකාවේ ගව මස් කෑම

ලංකාවේ ගව මස් කෑම ව්‍යාප්ත වනුයේ 1505 පෘතුගීසි ආක්‍රමණය සමඟය. ආක්‍රමණිකයා සිය දෑතට තුවක්කුව සහ බයිබලය රැගෙන ඒමෙන් එය හුදු ආර්ථික ආක්‍රමණයක් නොව සංස්කෘතික ආක්‍රමණයක් ද වූ බව පැහැදිලි වේ. 1498 භාරතයට පැමිණි වස්කෝ ද ගාමා පැවසුයේ තමන් ක්‍රිතියානින් සහ කුළු බඩු සොයා පැමිණි බවය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධීකරණ මෙහෙයුමට අනුව ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයා සිංහලයින්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා මහා ආගමික සංස්කෘතික සංහාරයක නිරත විය. ඒ සමඟ විවිධ හිංසාකාරී ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ආගම ද සංස්කෘතිය ද වැළඳ ගත් පිරිසක් මේ රටේ බිහි කළ අතර ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදුනි. එම කතෝලිකයෝ සිය ස්වාමියාගේ සංස්කෘතිය මහත් ගෞරවයෙන් අනුකරණය කළහ. සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් පිළිකුල් කළ ගව මස් කෑමට ද ඔවුහු නොපසුබට වූහ.

ගව ඝාතන විරෝධය හුදු මුස්ලිම් විරෝධයකට ලඝු කිරීම
යටත්විජිත ඉතිහාසය පුරා අඛණ්ඩව ගලා එන ගව ඝාතන විරෝධය හුදු මුස්ලිම් විරෝධයකට ලඝු කිරීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. එමෙන්ම ඉස්ලාම් දහම පවා අවමානයට ලක් කිරීමකි. නබි නායකතුමා ගව මස් කෑ බවක් හෝ සිය අනුගාමිකයින්ට ගව මස් කෑමට යෝජනා කළ බවක් මා අසා නොමැත. එහෙයින් ගව මස් නොලැබීම නිසා මුස්ලිම් ජනතාව මහා අසාධාරණයකට ලක් වේ යැයි ද හාමතේ මිය යා යැයි ද කිඹුල් කඳුලු හෙලන්නෝ මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීහු වෙති. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය හැකි නම් නැවත සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමය. කන්න සිතුණු කල කබරගොයා තලගොයා කරගන්නා ඔවුහු මුස්ලිම් ජනතාව පිළිබඳ කිසිදු කැක්කුමක් ඇති පිරිසක් ද නොවෙති. එවන් ළෙංගතුකමක් වී නම් අන්තවාදී සුළු පිරිසක් නිසා ලොව පුරා සාමකාමී මුස්ලිම් ජනතාවට විඳීමට සිදුවී ඇති ගැහැට පිළිබඳ ඔවුන් කෙතරම් උස් හඬක් නැඟිය යුතුද?

අනෙක් අතට ලංකාවේ මුස්ලිම් ජන කොටස 8%ක් පමණ වේ. ගව ඝාතනයට විරුද්ධ සිංහල බෞද්ධ සහ හින්දු ජනතාව 85%ක් පමණ වේ. එහෙත් ගව ඝාතනය නිසා බෞද්ධ හින්දු සිත්වල ඇති වන අසහනකාරීත්වය වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටිති. කෙසේ වුවද බහුතර සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ සඳහා සහාය දීම සැමගේ යුතුකමයි. සෙසු ජන කොටස්වල ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ජීවත් වීම සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සුහද සංස්කෘතියක් ඔවුන්ට කිසි දිනක හමු නොවනු ඇත. අනෙක් අතට මෙරට ජීවත් වන ආගමින් බෞද්ධ නොවන ජන කොටස් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවෝ වෙති. තමන් ආගමින් බෞද්ධ බව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ බව වරක් ගරු සර්සලින් ජයකොඩි පියතුමා ප්‍රකාශ කළේ මේ අර්ථයෙනි. ඔබ සිංහල කතෝලිකයෙකි. ඔබ සිංහල හින්දූවෙකි. ඔබ සිංහල මුසල්මානුවෙකි. සිංහල බොදු ගීතාවලිය ඒ සුහදත්වයෙහි ළෙංගතු බැඳීමෙහි සදාතනික සංකේතයක් නොවන්නේද?

මේ අනුව ගව ඝාතන විරෝධි සටනෙහි පදනම හුදු ආගම හෝ ගෝත්‍රවාදක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය බව පැහැදිය. නිශ්චිත වාර්තා නැත ද ගව ඝාතන විරෝධි සටන යටත්විජිත සමයෙහි ගව මස් කෑම ව්‍යාප්ත වීමත් සමඟ ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. එය මෙරට නිදහස් සටනේ කොටසක් වන අතර තවමත් මුදුන්පත් කරගත නොහැකි වූ ඉමකි.




-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions