11/14/2020

අමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය

කතෘ:යුතුකම     11/14/2020   No comments

 

ගුණදාස අමරසේකර මහතා පිළිබ‍ද මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා පසුගිය දිවයින පුවත්පතට ලියූ ලිපියට පිළිතුරක්.....
[2020 නොවැම්බර් 15 ඉරිදා දිවයින]

අමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය
===================================
භාෂා ක්‍රීඩාවේ විවිධාකාර හරඹ ඔස්සේ ඇත්ත නැත්ත කළ හැකි ආකාරය ගැන මට වඩා හොඳ න්‍යායික අවබෝධයක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාට ඇතැයි සිතමි. මා ප්‍රායෝගික දේශපාලනයේ අත්දැකීම් ඇසුරින් වටහාගෙන ඇති මේ කාරණය අමරකීර්ති සනාථ කර ඇත්තේ විවිධ දාර්ශනිකයන්ගේ තර්ක විතර්කද උපුටා දක්වමිනි. තමන්ටම වූ ස්වාධීන චින්තන ශක්තියක් නැති බොහෝ දෙනා අනුන්ගේ කෝටේෂන් මත යැපීම ලංකාවේ ශාස්ත්‍රීය සංවාද තුළ සුලබ කරුණක් වුවද අමරකීර්ති එවැන්නෙකු යැයි මම නොකියමි. අමරකීර්තිගේ බොහෝ රචනා තුළ ඇති ව්‍යාජත්වය උපදිනුයේ ඔහුගේ චින්තනමය ගැටලුවකට වඩා ඔහු නියෝජනය කරන දේශපාලනය තුළින්ය යන කාරණය සිහියේ තබාගනිමින් ගුණදාස අමරසේකර මහතා ගැන පසුගිය දිවයිනට අමරකීර්ති ලියූ ලිපිය ගැන යමක් කීමට බලාපොරොත්තු වෙමි.
අමරකීර්ති වනාහී කාලයක සිට අමරසේකරගේ ජාතිකවාදයට එරෙහි සැර විවේචකයෙකි. මැක්කා ගැන කවුදෝ ලියූ රචනාව මෙන් අමරකීර්තිගේ බොහෝ රචනා කෙළවර වන්නේ කොහෙන් හෝ අමරසේකරට ටොක්කක් ඇනීමෙනි. ඔහුට අමරසේකර ගැන ඇති ප්‍රශ්නය සාහිත්‍ය දාර්ශනික කාරණයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් වන බැවින් අමරකීර්තිගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අමතක කොට මේ ගැන කතා කළ හැකි නොවේ. එදා අමරසේකර ජවිපෙ ඇතුළු ජාතිකවාදී බලවේග හා එක්ව කටයුතු කරන සමයේ අමරකීර්තිලා ඒ දේශපාලන ප්‍රවාහය දැඩිව විවේචනය කළෝය. 2008න් පසු ජවිපෙ තම දේශපාලන උපායමාර්ගය සපුරා වෙනස් කිරීමෙන් පසු අමරකීර්තිලාගේ පරම ආශීර්වාදය ජවිපෙ හා පෙරටුගාමී පක්ෂයට හිමිවිය. 2015 දී අමරකීර්ති එජාපය බලයට ගෙන ඒම සඳහා උද්යෝගයෙන් පෙනී සිටියේය. ඉන් ටික කලකට පසු ඔහු ජවිපෙ ප්‍රබල ආධාරකරුවෙක් බවට පත් විය. අමරකීර්ති, අමරසේකර ගැන කියන දේවල් විමසිය යුත්තේ මේ දේශපාලන පසුබිමද සිහියේ තබා ගනිමිනි. එසේ නැතහොත් අමරසේකරගේ පටු මතවාද ගැන කියමින්, විසල් චින්තනයක් ගැන කතා කරන අමරකීර්තිගේ ලස්සන වචනවල සැබෑ ස්වරූපය වටහාගැනීම අසීරු වනු ඇත. මින් ඉදිරියට මා අපේක්ෂා කරනුයේ අමරකීර්ති නියෝජනය කළ දේශපාලන කඳවුර හා අමරසේකර නියෝජනය කළ දේශපාලන කඳවුරේ මැදිහත් වීම සසඳමින් ඔහුගේ අදහස්වලට ප්‍රතිචාරයක් දැක්වීමය.

ජාතිවාදය හා බෙදුම්වාදය
------------------------
අමරසේකරගේ කඳවුර එදා සිටම පෙනී සිටියේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට හා මුස්ලිම් අන්තවාදයට එරෙහිවය. එපමණක් නොවේ. ඔහු ඇතැම් සිංහල ජාතිවාදීන්ගේ ක්‍රියාකලාපයටද එරෙහි විය. එහෙත් අමරකීර්තිගේ කඳවුර එදා සිටම කළේ දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය පමණක් නොව දෙමළ ත්‍රස්තවාදය පවා ආරක්ෂා කිරීමය. කොටි ත්‍රස්තවාදයට පෙම් කවි ලියන, ත්‍රස්තවාදයේ පරාජය මානව ඉතිහාසයට සිදුවූ ලොකුම හානිය ලෙස ගනිමින් හඬා වැළපෙන සමාජ වෛරක්කාරයන් බිහිවූයේ ඒ කඳවුර තුළිනි. පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම මේ කඳවුර ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ඇති බව හෝ පිළිගත්තේ නැත. ඔවුන්ගේ එකම පිළිවෙත වූයේ ඒ සැබෑ ජාතිවාදයේ අනතුර පෙන්වා දෙන පුද්ගලයන්ට ජාතිවාදී චෝදනා දමා ගැසීමය. 2014 අලුත්ගම ගැටුම අවස්ථාවේදී සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින් පළ කළ පුවත්පත් නිවේදනවලට අමරකීර්ති ඇතුළු බොහෝ දෙනා අත්සන් තබනුයේ ඒ අනුවය. අමරකීර්ති ඇතුළු ඔහුගේ කඳවුරේ විසල් මනසැති වීරයන් දෙමළ, මුස්ලිම් ජාතිවාදයන් සාධාරණීකරණය කරමින් කළ කී දේවල් ගැන අවශ්‍ය නම් ඕනෑ තරම් උදාහරණ පෙන්වා දිය හැකිය. ඔවුන්ගේ ඊනියා ජාතිවාද විරෝධය ගණිකාවගේ පතිවතටත් වඩා දරුණු විහිළුවකි. උග්‍ර සිංහල බෞද්ධ විරෝධයේ මනෝව්‍යාධිය හැර කිසිදු සැබෑ ජාතිවාද විරෝධයක් මේ කඳවුර තුළ නැත. එදා සිටම ඔවුන්ගේ පිළිවෙත වූයේ සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින්, නැති සිංහල ජාතිවාදයකට පමණක් පහරදෙමින්, ඊට එරෙහිව සැබෑවට ක්‍රියාත්මක වන ඕනෑම ජාතිවාදයකට මතවාදී ආවරණ සැපයීම පමණි.

නාමික බටහිර විරෝධය
-----------------------
අමරකීර්ති ඔහුගේ වෙනත් සමහර රචනාවල මෙන්ම මේ ලිපියේ ඇතැම් තැන්වලද තමා බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ බව පෙන්වීමට උත්සාහ කරයි. ඔහු චීන අධිරාජ්‍යවාදය බටහිර අධිරාජ්‍යවාදයට සමාන කර පෙන්වීම එවැනි එක් අවස්ථාවකි. මේ ව්‍යාජ බටහිර විරෝධය ඉතා අපූරු එකකි. එය මාස කීපයකට පෙර එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කොට, ආණ්ඩු මාරුවෙන් පසු හදිසියේ පරම එම්සීසී විරෝධීන් වී සිටින සමගි ජනබලවේගයේ ඇමරිකන් විරෝධයට නොදෙවනි විහිළුවකි. අමරකීර්තිගේ කඳවුරේ පිළිවෙත වනුයේ ක්‍රියාවෙන් සියලු අහිතකර විදෙස් මැදිහත් වීම්වලට සහය පළ කරමින්, වාචිකව පමණක් බටහිර විරෝධී ප්‍රකාශ ඉඳහිට නිකුත් කිරීමය. සැබෑවට ඒ මැදිහත් වීම්වලට එරෙහි වන බලවේග සමච්චලයට හා විවේචනයට ලක් කිරීමය. බටහිර කුමන්ත්‍රණ ආදිය හුදු බලය ලබාගැනීම සඳහා මවා පෙන්වන බොරු බිල්ලන් බව සමාජයට ඇඟවීමය. අමරකීර්තිගේ කඳවුර, ඔහු සහය දුන් දේශපාලන පක්ෂ පසුගිය දශක ගණනාවක් පුරාවටම විනාශකාරී විදෙස් අතපෙවීම්වලට ආධාර අනුබල ලබා දුන් ආකාරය ගැන අවශ්‍ය නම් නිශ්චිත කරුණු සහිතව කතා කරමු. අමරකීර්තිට අද චීන විරෝධය මත පදනම්ව හෝ බටහිර ගැන විවේචනය කරන්නට සිදුවීම එක අතකට හොඳ දෙයකි. නමුත් ඔහුගේ රචනා කියවන පාඨකයන් මේ බොරුවලින් මුලාවට පත් විය යුතු නැත.

චීන විරෝධයේ ඇත්ත සහ බොරුව
---------------------------------
මීළඟට අමරකීර්තිගේ චීන විරෝධයද ඔහුගේ කඳවුර කාලයක් තිස්සේ තලු මරමින් සිටින තවත් එක් දේශපාලන සටන් පාඨයකි. අපූරු කාරණය වන්නේ ලංකාව තුළ මේ චීන විරෝධය තලු මරන බොහෝ දෙනා බටහිර අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙක් බව පවසන විහිළුකාරයන් වීමය. ජාත්‍යන්තර තලයේදී බටහිර මාධ්‍ය මගින් ගෙන යන මේ චීන විරෝධයේ දේශීය නියෝජිතයන් වන්නේ අමරකීර්තිලාගේ කඳවුරය. ගෝලීය බල දේශපාලනය තුළ කිසිදු රටක භූමිකාව අහිංසක හෝ සර්ව සාධාරණ නැත. නමුත් චීනය ලෝකයට කළ මැදිහත් වීම් සහ බටහිර මැදිහත් වීම් අතර ඇත්තේ අහසට පොළව බදු වෙනසකි. චීනය මහ දවාලේ රටවල්වලට කඩා පැන මිනී මරා නැත. රටවල්වල ආණ්ඩු පෙරළා රූකඩ බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණවලට මැදිහත් වී නැත. ජාතිවාදී ආගම්වාදී ත්‍රස්ත කල්ලිවලට අනුබල දෙමින් රාජ්‍යයන් අස්ථාවර කර නැත. අනෙක් රටවල සංස්කෘතික උරුමයන් විනාශ කොට තමන්ගේ ආගම, සංස්කෘතිය බලහත්කාරයෙන් ව්‍යාප්ත කොට නැත. ලෝක කාරණා පැත්තක තබමු. හැකි නම් ඔය කියන චීන අධිරාජ්‍යවාදයෙන් ලංකාවට සිදුවූ හානිය කුමක්දැයි වාගාලාප රහිත නිශ්චිත කරුණු ඔස්සේ පෙන්වා දෙන්න. එහිදී බොහෝ දෙනා තලුමරන චීන ණය උගුල ගැන සලකා බැලුවොත් එයද ලැම්බෝගිනි, රත්තරන් අස්පයන් පන්නයේ බොරුවකට වැඩි යමක් නොවේ. ලංකාවේ චීන ණය සමස්ත ණය ප්‍රමාණයෙන් සීයට 14ක් පමණි. ඒවාද ලබාගෙන ඇත්තේ හම්බන්තොට වරාය වැනි අතිශය ඵලදායක ව්‍යාපෘති සඳහාය. ඒවායින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට අපට තවමත් බැරිවී ඇත්තේ චීන අධිරාජ්‍යවාදය නිසා නොව දේශීය පාලන තන්ත්‍රයන්ගේ ඔලමොට්ටලකම් නිසාය. හම්බන්තොට වරායේ ඛේදවාචකය පිළිබඳ සවිස්තර කරුණු දැක්වීමක් මගේ “කෙම්බිමට ගමනක්” කෘතියේ ඇතුළත් වන බැවින්, අමරකීර්තිට අවශ්‍ය නම් එය කියවා බැලිය හැකිය. චීන ධනවාදය, බටහිර ධනවාදයට වඩා වෙනස්ද නැද්ද යන කාරණය ගැන හරවත් ශාස්ත්‍රීය සංවාදයක් ඇතිවීම වැදගත්ය. නමුත් එය කළ හැක්කේ බටහිර ගැතිකම ඔස්සේ උපත ලද අධි මාත්‍රාවේ චීන විරෝධයකින් තොරව එහි නියම තතු මැදහත්ව විමසා බැලීමෙනි. අවාසනාව වන්නේ ලංකාවේ චීන විරෝධය මතු කරන කිසිවෙක් මේ දක්වා එවැනි ප්‍රවේශයකින් මේ ප්‍රශ්නය විමසා නොතිබීමය.

ඩොලර් කාක්කෝ කවුද?
------------------------
අමරසේකරගේ නවකතා ආදියට ඩොලර් කාක්කන්, එන්ජීඕ කාරයන් ඇතුළත් වී ඔහුගේ සාහිත්‍ය පටුවීම ගැන අමරකීර්තිට පුදුමාකාර දුකක් ඇති වී තිබේ. එන්ජීඕ කාරයන් වැනි කතා හුදු දෘෂ්ටිවාදී ගොඩනැංවීම් පමණක් යැයි ලීවේ නම් අමරකීර්තිට අමරසේකරගේ සාහිත්‍ය විසල් එකක් වන බව අපි දනිමු. අද අමරකීර්ති ආධාර කරමින් සිටින ඇතැම් පක්ෂ තම විරුද්ධවාදීන් ගැන පතුරුවන බොරුවලට සාපේක්ෂව නම් මේ ඩොලර් කතා ඉතා සුළු දේවල්ය. පදනමක් නැතිව ඩොලර් චෝදනා නැගීමේ ප්‍රවණතාවක් මේ රටේ ඇති බව මමද පිළිගනිමි. මා නම් කිසි දිනක කරුණු නොදැන කිසිවෙකුට එවැනි චෝදනාවක් එල්ල කර නැත. ප්‍රායෝගිකව පේන දෑ විවේචනය කිරීමට ඩොලර් ගත්තාද නැද්ද යන කාරණය මට නම් අදාළ වන්නේ නැත. නමුත් මේ ඩොලර් කතා හුදු කිසිවෙකුගේ හිතලු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවේ ක්‍රියාත්මක වූ සිය ගණනක් එන්ජීඕ සංවිධාන, ඒවාට සෘජුව හා වක්‍රව සම්බන්ධ පුද්ගලයන්, දෙමළ බෙදුම්වාදය වැනි ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ ක්‍රියා කලාපය, මේ සංවිධානවලට වාර්ෂිකව ලැබුණු අරමුදල් කන්දරාව ආදී දෑ ගැන නිශ්චිත කරුණු කාරණා සොයා බලන්නේ නම් ඒ ගැන අවබෝධය පුළුල් කරගැනීමට අමරකීර්තිට හැකි වනු ඇත.

නල්ලමලේ නූතනවාදය ගැන
----------------------------
මීළඟට නූතනවාදය ගැන අමරකීර්තිගේ තර්කය සලකා බලතොත්, බටහිර නූතනත්වය විසින් ලෝකයට දායාද කළ වැදගත් දේවල් බොහොමයක් ඇති බව මමද පිළිගනිමි. ඒ සියල්ල බැහැරකොට සියලු හොඳ දේවල් උපත ලද්දේ අපේ සංස්කෘතිය තුළින් යැයි කීමේ පිස්සුවක් කිසිදු වැදගත් ජාතිකවාදියෙකු තුළ ඇතැයි මම නොසිතමි. සිංහල සංස්කෘතිය අභ්‍යන්තරයෙන් සංස්කරණය විය යුතු යැයි කියන කාරණය ගැන හෝ වෙනත් සංස්කෘතීන් ඉවසීම හා ඒවා තුළ ඇති වටිනාකම් උකහා ගැනීම වැනි කාරණා ගැනද මට නම් කිසිදු විවාදයක් නැත. මේවා ඇත්තටම සිංහල ජාතිකවාදයේ ප්‍රශ්න නොව, එහි ප්‍රශ්න ලෙස අමරකීර්තිලා හුවා දක්වන්නට උත්සාහ කරන කාරණාය. අප එරෙහි වන්නේ බටහිරයන්ගේ අනිසි මැදිහත්වීම්වලට මිස බටහිරින් එන සියලු දේට නොවේ. නමුත් අමරකීර්තිලාගේ පිළිවෙත වන්නේ සිංහල ජාතිකවාදයේ පටුකම හා ඊනියා විසල් චින්තනයක් ගැන නරිවාදම් දෙසමින් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී සියලු නූතනවාදී වටිනාකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, ජාතිවාද ආගම්වාද පිටුදැකීම ආදී නූතනවාදී ලිබරල් වටිනාකම් ගැන සලකා බලන්න. ලංකා ඉතිහාසය පුරාම මේ වටිනාකම් වැඩිපුරම උල්ලංඝනය කර ඇත්තේ අමරකීර්තිගේද සහය ලැබූ එජාප ජවිපෙ හවුල විසින් මිසක අමරසේකරලා නොවේ. වැඩවසම් මහින්දට එරෙහිව රනිල්ගේ දියුණු ලිබරල් වටිනාකම් ගැන අටුවා ලියන වියතුන් අමරකීර්තිගේ කඳවුර තුළ හිඟ නැත. නමුත් රනිල් යනු කිසිදු ආකාරයක දියුණු ලිබරල් නායකයෙක් නොව, පරගැතිකම පමණක් ඇති කරපින්නා ගත් අන්ත විනාශකාරී නායකයෙකි. සටන් විරාම ගිවිසුම් හරහා බියගුළු ජාතිවාදී ත්‍රස්ත කල්ලියක් ඉදිරියේ රටක් දණ ගැස්වූ දීනයෙකි. 1977න් පසු එජාපයේ ඉමිහිරි ලිබරල් ඉතිහාසය හෝ දෙදාස් ගණන්වල රනිල්ගේ ලිබරල් හපන්කම් අමරකීර්තිට අමතක නම් මෑත කාලීන යහපාලන පස් වසරවත් සිහියට නගා ගන්න. අවශ්‍ය නම් නිශ්චිත කරුණු කාරණා සහිතව අපි මේ ගැන කතා කරමු. ලංකාව තුළ ඔය කියන නූතනවාදී ලිබරල් වටිනාකම් ප්‍රායෝගිකව ආරක්ෂා කළේ අමරසේකරලාගේ කඳවුර මිස අමරකීර්තිලාගේ කඳවුර නොවන බව ළදරුවෙකුට වුවද ඒ ඔස්සේ අවබෝධ කොට ගත හැකි වනු ඇත.

පටු අමරසේකර හා විසල් අමරකීර්ති
----------------------------------
අමරසේකරගේ පටුකම ගැන අවංක විවේචනයක් තිබේ නම් අමරකීර්ති කළ යුත්තේ බටහිර අධිරාජ්‍යවාදය මෙන්ම චීන අධිරාජ්‍යවාදයද නිසි පරිදි කියවා ගත හැකි, අපේ දේවල්වලින් මෙන්ම ලෝකයෙන්ද ආභාසය ලබන, ගැඹුරු මතවාදයක් ගොඩනගමින් රටක් වශයෙන් අප යා යුතු මාවත කුමක්දැයි පෙන්වා දීමය. නමුත් අමරසේකරට බනිමින් එජාප ජවිපෙ හවුලට, බෙදුම්වාදයට, ජාතිවාදයට ආවැඩීම තමන්ගේ ඇහේ පොල් පරාලයක් තිබියදී අනෙකාගේ ඇහේ ඇති රොඞ්ඩ හොයන්නට යාම වැනි නාඩගමකි. ඕනෑම චින්තකයෙකුගේ මෙන්ම අමරසේකරගේ අදහස්වලද ප්‍රශ්න කළ හැකි අඩුපාඩු සීමාකම් තිබීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඔහු රටක් වශයෙන් අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වූ ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම නිසි පරිදි කියවා ගනිමින්, ඊට සාපේක්ෂව නිසි තැන ස්ථානගත වූයේය. අමරකීර්ති ඇතුළු ඔහුගේ කල්ලියේ සියලු දෙනාට අමරසේකර සමග ඇති සැබෑ ආරෝව ඇත්තේ එතැනය. විවිධාකාර බොරු වචන හරඹවල දවටමින් ඔවුන් දිවා රෑ මුදා හරින්නේ මේ දේශපාලන ස්ථානගත වීම පිළිබඳ ඇති වෛරය විනා අන් යමක් නොවේ. අමරසේකරගේ අදහස්වල පටුකම් තිබිය හැකිය. එහෙත් ඒ පටුකම්වලින් ප්‍රායෝගිකව මේ රටට සිදුවූ කිසිදු හානියක් නැත. එහෙත් අමරකීර්තිලාගේ විසල් මතවාද මේ රට තුළ ජයග්‍රහණය කළේ නම් අද අපට ජීවත් වීමට සිදුවනුයේ ජාතිවාදී පදනමින් බෙදී මිනී මරාගන්නා තවත් ලිබියාවක් බඳු අරාජික නන්නත්තාර රටක බව අමතක නොකළ යුතුය. ඒ විනාශයෙන් මේ රට ගලවා ගත හැකි වූයේ අමරසේකරලාගේ අදහස් කියවූ, සිංහල පමණක් දන්නා, පටු මිනිසුන්ගේ පටු දැනුමට හා ක්‍රියාකාරීත්වයට පින් සිදුවන්නට බව සිහිපත් කරමින්, පුළුල් මිනිසෙකු වන්නට බැරිවීමේ අභිමානය සිතේ දරාගෙන මේ සටහන අවසාන කරමි.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions