සංක්‍රාන්ති සමයක් යනු එක් යුගයක් මිය ගොස් අලුත් යුගයක් බිහි වන්නට පෙර, ඒ යුග දෙක අතර කාලයයි. නක්ෂත්‍රකරුවන්ට අනුව සංක්‍රාන්ති සමය තුළ කිසිවකුත් නිසි අවබෝධයෙන් කටයුතු නොකරති. කෙසේ නමුත් සංක්‍රාන්ති සමය අලුත් යුගයක් බිහි කරවන්නට විලිරුදා විඳින කාලයකි. ශ්‍රී ලංකාවේ අප අද පසු කරමින් සිටින්නේ එවැනි සංක්‍රාන්ති සමයෙකි.
අලුතින් බිහිවන්නට යන, නොඑසේ නම් අලුතින් බිහිකරන්නට යත්න දරන යුගයේ හැඩය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර, අර මිය ගිය යුගයේ හැඩය පිළිබඳ යම්කිසි අවබෝධයක් අප සතු විය යුතුය.
ඒ මිය ගිය යුගය ඇරඹෙන්නේ 1977 දී ආරම්භ කරන ලද විවෘත ආර්ථිකයත්, 1978 දී සම්මත කරන ලද දෙවන ජනරජ ව්‍යවස්ථාවත් සමගින් යැයි පැවසීම සාධාරණ යැයි සිතමි. ”ධර්මිෂ්ඨ සමාජය” නමැති සංකල්පයෙන් ලාංකීය ජනයාගේ උරුමයට ආමන්ත්‍රණය කර ඔවුන් සිය වසඟයට ගෙනයි ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූයේ. නමුත් ඔහුගේ කාලය තුළ ඒ උරුමයම තර්ජනයට ලක් කෙරෙමින් මෙරට විශාල සංස්කෘතික සෝදාපාළුවකට ලක් වූ බව පොදුවේ පිළිගැනෙන කාරණයකි. තමා අතට සියලුම බලය කේන්ද්‍ර කරන්නට උත්සාහ කළ ඔහුගේ කාලය තුළ උතුරේ ත්‍රස්තවාදය දලු ලා වැඩුණි. දැඩි ඇමරිකන් ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජයවර්ධන පාලන කාලය තුළ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අපගේ ව්‍යවස්ථාවට 13 වන ව්‍යවස්ථා සංශෝධනය එක්කරවා මෙරට පළාත් සභා පිහිටුවීය. 1989 දී ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා විට දකුණේ ජවිපෙ සන්නද්ධ අරගලය සහ උතුරේ එල් ටී ටී ත්‍රස්තවාදය නිසා රට එකම ගිනි ජාලාවක් බවට පත් වී තිබුණි.
අනෙක් අතට, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට ”දුප්පතාගෙ හිතවතා” ලෙස දේශපාලන ලෝකයේ ස්ථානගත වන්නට සිදු වීමෙන්ම පැහැදිලි වන කාරණය නම් 77දී ආරම්භ කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, දුප්පතුන් වැඩි කරන්නට හේතු වී ඇති බව නොවේද? අනුප්‍රාප්තිකයා ආමන්ත්‍රණය කරන්නේ රට තුළ පවතින ප්‍රධානම ගැටලුවට බව අපගේ ඉතිහාසය සියුම්ව පිරික්සීමෙන් අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. ජවිපෙ දෙවන කැරැල්ල ඉතා අමානුෂික ලෙස මර්දනය කළ රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දුප්පත් ජනතාවට නිවාස ඉදිකරමින්, නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදෙමින්, පාසල් ළමුන්ට නොමිලේ දිවා ආහාර ලබාදෙමින් රජයේ මැදිහත්වීමෙන් සිදුකරන සුබසාධනය ඉහළ නංවන්නට කටයුතු කළ ද එතෙක් අප අනුගමනය කෙරෙමින් ආ විවෘත ආර්ථික වැඩපිළිවෙළ එලෙසම ඉදිරියට ගෙන යාමට ඔහුට සිදු විය.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පැමිණෙන්නේ ඒ වන විට පැවති අමානුෂික විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙමිනි. නමුත් ඒ ප්‍රතිඥා බොල් කරමින් ඇයගේ පාලන කාලය තුළ රජය සතු සමාගම් බොහෝමයක් පෞද්ගලික අංශයට ඉවක් බවක් නැතිව විකුණා දැමුනේ ඒ බොහෝමයක් ගනුදෙනුවල දූෂිතභාවය පිළිබඳව ඇඟිල්ල ඇය වෙතට දිගුවන ලෙසිනි. උතුරේ ත්‍රස්තවාදය පිළිබඳව ඇය විසින් කටයුතු කළේ යුද්ධයෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ඒ සඳහා ස්ථිර විසඳුමක් ඇත්තේ සාම ක්‍රියාදාමයක් තුළ පමණක්ය යන බටහිරයන් විසින් තනා දෙන ලද ආකෘතියකට අනුකූලවය. ඒ කාලය තුළ සිදු වූ වැදගත්ම දේශපාලන පෙරළිය නම් ඇය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති කරන ලද මතවාදී වෙනසයි. චන්ද්‍රිකා මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතවාදීව තවත් එක්සත් ජාතික පක්ෂයක් ම බවට පත් කෙරුණි. එනිසා, එකල රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිල්-කොළ පාට පාට හැරුණු විට කිසිදු පැහැදිලි මතවාදි වෙනසක් සොයා ගැනීම උගහට විය. ඒ අඩුව පිරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික හෙළ උරුමයට ඉඩ ප්‍රස්ථාවක් විවර විය. චන්ද්‍රිකා පාලනයේ අවසන් කාලයේදී මෙරට තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇය අතර නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන බටහිරයන්ගේ ”හොඳ ළමයා” වීමේ තරගයකි. ඒ සඳහා රට දෙකඩවන ආකාරයේ පියවරයන් වෙත යාමට මේ දෙදෙනාම උත්සාහ කළෝය.
ඒ සාම ක්‍රියාදාමය තුළ මෙරට ජනයාගේ ආත්මාභිමානය පිරිහී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා 2005 දී සිය ජනාධිපතිවරණ සටන මෙහයවූයේ ”ගෞරවාන්විත සාමයක්” රටට උදා කරන බවට ප්‍රතිඥා දෙමිනි. එය ඉතා විශිෂ්ට අන්දමින් ඉෂ්ට කර දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලාංකීය ජනතාවට යළි අභිමානයක් ලබා දීමට එතුමා සමත් වූ බව අප කවුරුත් දන්නා කාරණයකි. ඔහු සිය දෙවන වාරය තුළ රට කළේ ”ආසියාවේ ආශ්චර්යය” යන තේමාව ඔස්සේය. අප විසින් පෙර අත්විඳ නොතිබූ අධිවේගී මාර්ග, නව වරායවල්, ගුවන්තොටුපොළවල් රජයේ මැදිහත් වීමෙන් ඉදි වූ අතර පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් කොළඹ නගරය පුරා අහස උසට ගොඩනැගිලි ඉදි විය. ඒක පුද්ගල ආදායම දෙගුණයකින් ඉහළ යන ලදී. මේ යෝධ සංවර්ධන ව්‍යාපෘති රටේ බහුතරයක් දුටුවේ ආලින්දයේ ඇති රූපවාහිනී තිරය මතිනි. මේ සංවර්ධන මොඩලය තුළ ජනතා සහභාගීත්වය අවම විය. ඔවුන් සහභාගී නොවී තමන්ගේ රට තුළ සිදුවන මේ සංවර්ධනය ඔවුනට ආශ්චර්යයක් වනවාට වඩා ඔවුන් තුළ ඒ පිළිබඳව සැක සංකා ඇති කිරීමට විපක්ෂයේ බලවේග සමත් විය. ඒ සඳහා ලබා ගන්නා ණය සහ ඒ මගින් සිදුවන දූෂිත ගනුදෙනු පිළිබඳ කතාන්දර ජනතාව විශ්වාස කළේය. ආශ්චර්යකට වඩා ජනතාව දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වූයේ යහපත් චර්යාවකි.
ඒ අඩුව පුරවන්නට ”යහපාලනය” අප රටට උදාකරන බවට ප්‍රතිඥා දෙමින් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් පක්ෂ එකට එක්ව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කළේය. නමුත් මේ එකිනෙකට නොගැලපෙන එකතුව සකස් කෙරුණේ බලය ලබා ගැනීමට පමණක් බවත් ඒ සියලු දෙනා රාජ්‍යය දියකර හැරීමේ විජාතික මෙහෙයුමක කොටස්කරුවන්, සිරකරුවන් පමණක් බවත් මෙරට ජනතාවට තේරුම් යන්නට වැඩි කලක් ගත නොවීය. සුළු ජාතික පක්ෂ හැරුණු කොට ඒ නොගැලපෙන දීගයට එක්වූ සියලු පක්ෂවල අනන්‍යතාවන් අදහා ගත නොහැකි තරම් කෙටි කලක් තුළ එම කැඳ හැළිය තුළ දියවී ගියේය. එම අනන්‍යතා අර්බුදය තුළ ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂ පමණක් නොව, අර මියගිය යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකම කැඳ හැළියේ දියවී වාෂ්ප වී ගියේය.
මෙවර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවත්වන විටත් අර යුගය මිය ගොස් අවසන් වී තිබුණි. ඒ යුගයේ සියලු පක්ෂවලට ඒ යුගයේ දේශපාලනයේ නොසිටි චරිත ජනතාව ඉදිරියට ගෙන ඒමට බල කර තිබුණි. මේ රටට මීළඟට අවශ්‍ය කුමක්දැයි අන්දභූත සංක්‍රාන්ති සමයේ සිටින ජනතාව නොදැන සිටියත්, මීට පෙර යුගය නිමා කළ යුතු බව ඔවුන් විසින් තීරණය කර හමාර වී තිබුණි. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් ලබා දෙමින් මෙරට ජනයා විසින් සිදු කළේ අර මිය යුගයට අයත් දේශපාලන ශානරයන් සියල්ල වළ දමා අලුත් ලෝකයක් උදා කිරීමට ප්‍රයත්න දැරීමයි. ඒ සඳහා පක්ෂ භේදයක් ඔවුනට නොවුණි. ජාතිභේදය වුව ඒ කාර්යය සඳහා සෑහෙන දුරට තුනී වී තිබුණි. දැන් මෙරට ජනතාව විසින් එක් යුගයක් සහමුලින්ම වළ දමා අවසන් කර ඇති බව නිවැරදිව තේරුම් ගැනීම රටේ නායකයන් ඇතුළු සියලු දෙනාගේ පරම වගකීම වන්නේය. එසේ නොකර ජනතාව විසින් වළ දමා අවසන් කළ පරණ මළ කුණ යළි ගොඩගැනීමට තැත් කළහොත් මේ විපරීත සංක්‍රාන්ති සමයේ මහත් විනාශයක් සිදුවීම වළකනු නොහැකිය. ජනතාව පතන ඒ අලුත් යුගය බිහි කිරීම සඳහා මීටත් වඩා හොඳ වටපිටාවක් ඇත්ද? අද වන විට ශ්‍රී ලංකාවේ පැවති සියලුම දේශපාලන පක්ෂ සුන්නද්ධූලි වී තිබේ. රජය රටට අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන බවට පොරොන්දුවක් ජනතාවට ලබා දී ඇති අතර විසි වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන විට යළිත් වරක් ජනාධිපතිවරයා විසින් ඒ ප්‍රතිඥාව ජනතාවට ලබා දුන්නේය. ජනතාව විසින් ඒ කටයුත්ත කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් රජයට ලබා දී තිබේ. පවතින ව්‍යවස්ථාවේ පවතින ගැටලු නිරාකරණය කරන්නට යාම තවත් ගැටලු රාශියකට මුලපුරණ බව විසිවන සංශෝධනය මගින් යළිත් වරක් අපට පසක් කර දී ඇත.
එසේම අර මිය ගිය යුගයේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමෙන් දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් අසීරු ගමනක් ආ රුපියල බේරා ගැනීමට වත්මන් රජයට විශේෂ ක්‍රියා මාර්ග අනුගමනය කරන්නට සිදු වුණි. ඊට පසුව ආ කොරෝනා වසංගත තත්ත්වය යටතේ ලෝකය එකම ගම්මානයකැයි කී ගෝලීයකරණය මඳකට හෝ නවතා දමා ඒ ”එකම ගම්මානයේ” රටවල්, නගර සහ ගම්මාන ලොක්ඩවුන් කර තිබේ.
අද රෙදිවලට මැටිවලට ඇමැතිවරු පත්කිරීමෙන් නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ගම යොමු කිරීමට රජයේ ඇති උනන්දුව පෙන්වා තිබේ. ඒ නිසා 1977 න් ඇරඹි විවෘත ආර්ථිකයත් 1978 න් ඇරඹි වත්මන් ව්‍යවස්ථාවත් අයත් වන්නේ අර මිය යුගයට බව අද සැකයක් නැත. අලුත් යුගයක් බිහි කිරීමට විළිරුදා විඳින සංක්‍රාන්ති සමයෙකි මේ. මේ විපරීත සංක්‍රාන්ති සමයේ ජනතාව ආශ්චර්යයන් පතන්නේ නැත. නමුත් ජනතාව ඉතා දැඩි විමසිල්ලෙන් චර්යාව දෙස බලා සිටියි. යහපත් චර්යාවෙන් රාජ්‍ය විචාලමින් අලුත් යුගය බිහිකරන විපරීත සංක්‍රාන්ති සමය පසු කර ගැනීම සඳහා සියලු දෙනා යථාභූත ඥානයෙන් කටයුතු කළ යුතු තීරණාත්මක සමයෙකි මේ.
ලසන්ත වික්‍රමසිංහ
Aruna.lk [2020-11-17]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .