11/07/2020

ජනතා පැතුම් ඉටු කිරීමේ වගකීම!

කතෘ:යුතුකම     11/07/2020   No comments

යුතුකම ජාතික සංවිධානය විශ්වාස කරන්නේ 20 වෑනි සංශෝධනය වනාහි මෙ රටට අත්‍යවශ්‍යව තිබූ පියවරක් බවයි. එ මෙන් ම අත්‍යවශ්‍ය නිවැරදි කිරීමක් බවයි. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිට කැමැති ඇමැති ධූරයක් දැරීමේ බලය, පාර්ලිමේන්තුවේ තමන් කැමැති ඕනෑ ම පුද්ගලයකු ඇමැති ධුරයකට පත් කිරීමේ / ඉවත් කිරීමේ බලය හා වසරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවීමේ බලය පැවැතිණි. එ මෙන් ම තම අභිමතය පරිදි අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීමේ බලය, නීතිපති, පොලිස්පති ඇතුළු රජයේ ඉහළ තනතුරුවලට පත්කිරීමේ බලය තිබිණි.

19 වැනි සංශෝධනයෙන් වූයේ මේ සියලු බලතල පාහේ ජනාධිපතිවරයා ගෙන් ඉවත් කිරීම ය. කිසිඳු ඇමැති ධූරයක් දැරීමේ අයිතිය ද අහිමි කෙරිණි. මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් ආරක්ෂක, මහවැලි හා පරිසර ඇමැති ධූර දැරීමේ හැකියාව තිබුණත් ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරුන්ට එකඳු අමාත්‍යංශයක් හෝ දැරීමේ අයිතියක් තිබුණේ නැත. එ මෙන් ම අමාත්‍යවරුන් පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය තිබුණ ද එය ක්‍රියාත්මක කළ යුතු වූයේ අගමැතිවරයා ගේ අනුමැතිය අනුව ය. පාර්ලිමේන්තුව විසිරු වීම ද එහි වසර පහක නිල කාලයෙන් වසර හතරහමාරක් ගතවන තුරු කළ නො හැකි වි ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් මෙන් ම කොමිසම් සභාවල සාමාජිකයන් පත්කිරීම ද නීතිපති පොලිස්පති පත් කිරීම ද ජනාධිපතිවරයා ගේ අභිමතය නො සැලකෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පවරා තිබිණි. අවසන මුළු ජනයාගේ ම ඡන්දයෙන් තේරි පත් වන ජනාධිපතිවරයා ගේ බලය ව්‍යවස්ථාවෙන් ම උදුරා ගෙන අගමැතිවරයා වටා කේන්ද්‍ර කළේ ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් ජනාධිපතිවරයාට පවරනු ලබන විධායක බලය ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට පවරනු ලැබේ. එ විට කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයා හැර සෙසු සියලු ඇමැතිවරුන්ට ජනාධිපතිවරයා විසින් පවරනු ලබන විධායක බලය හිමි වෙද්දී, ඒ ජනාධිපතිවරයාට ම කිසිදු ඇමැති ධූරයක් දැරීමට නො හැකි වීම මොන තරම් විහිළුවක් ද? 19 වැනි සංශෝධනයේ අභිමතාර්ථය වූයේ රාජ්‍ය ව්‍යුහය දුර්වල කොට රට අරාජික කිරීම ය. එ වැනි වටපිටාවක 20 වැනි සංශෝධනයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන් ඒකාධිපති ජනාධිපතිවරයකු ද 19 වැනි සංශෝධනයෙන් මෙන් පඹයකු ද නිර්මාණය නො කර ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර වඩා හොඳ සමතුලිතතාවක් නිර්මාණය වූ බව අපේ අදහස යි.

ජනාධිපතිවරයාට දැන් ආරක්ෂක ඇමැති ධූරය ඇතුළු අමාත්‍ය ධූර දැරීමේ අයිතිය ලැබී තිබේ. එ මෙන් ම අමාත්‍යවරුන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය ලැබී තිබේ. එහෙත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ලැබෙන්නේ වසර දෙකහමාරකට පසුව ය. එ මෙන් ම ඇමැතිවරුන් පත් කිරීමේ දී කැබිනට් ඇමැතිවරුන් තිහක හා සෙසු ඇමැතිවරුන් හතළිහක සීමාව තිබේ. මේ නිසා ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර යම් බල තුලනයක් ඇති වී ඇති බව අපේ විශ්වාසයයි.

එ මෙන් ම ඉහත තනතුරු පත්කිරීමේ දී 20 වැනි සංශෝධනය අනුව පත් කෙරෙන පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ජනාධිපතිවරයා ලබාගැනීම අනිවාර්ය කොට තිබේ. පාර්ලිමේන්තු සභාව තනිකර ම කතානායක, අගමැති, විපක්ෂ නායක හා අගමැති ගේ හා විපක්ෂ නායක ගේ නියෝජිතයන් ගෙන් සමන්විත ය. එහි නිරීක්ෂණ ලබාගැනීම අනිවාර්ය කිරීම යනු ජනාධිපතිවරයා ගේ පත්කිරීම් එම නිරීක්ෂණවලට අනුකූල විය යුතු බව ය. එ මෙන් ම එම තැනැත්තන් ඉවත් කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා අනෙකුත් අණ පනත්වල සඳහන් පරිදි විය යුතු ය. අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ පටිපාටිය කතානායකවරයා විසින් විනිශ්චය කරනු ලැබෙන අතර එම පටිපාටියට අදාළ නිරීක්ෂණ පාර්ලිමේන්තුවට දැනුම් දීම ද ඇතුළත් කළහොත් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැදිහත් වීම තහවුරු වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි. 1978 පූර්ණ මුක්තිය ජනාධිපතිවරයාට ඒ ආකාරයෙන් ම හිමි නො වන තත්ත්වයක් තුළ, එ නම් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අවස්ථාව හිමි ව තිබෙන බැවින් සංවරණය හා තුලනය නිසි පරිදි සිදුවෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

භික්ෂූන් වහන්සේලා ගේ මැදිහත් වීම!

යුතුකම ජාතික සංවිධානය ඇතුළු ජාතික සංවිධාන, විශේෂයෙන් ම දේශමාමක භික්ෂූන් වහන්සේ ලා 20 වැනි සංශෝධනයට විරුද්ධ වූ බවට ඇති වූ මතය වැරැදි ආකල්පයකි. ඒ මැදිහත් වීම සිදු කෙරුණේ 20 වැනි සංශෝධන කෙටුම්පත වඩාත් නිවැරැදි කර ගැනීමට ය. යමක අඩුපාඩු පෙන්වා දී නිවැරැදි කර ගැනීමට මැදිහත් වීම වෙනුවට යමකට පක්ෂ වීමේ හෝ විපක්ෂ වීමේ දේශපාලනය අපි අවසන් කළ යුතු වෙමු. 69 ලක්ෂයක ජනතා පැතුම් තුළ එවැනි පක්ෂ-විපක්ෂ දේශපාලනය ඉක්මවා යන ගැඹුරු මැදිහත්වීම් පිළිබඳ අපේක්ෂාවක් ද වූ බව අපේ පිළිගැනීමයි.

ජාතික සංවිධානවල, විශේෂයෙන් ම ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙංගමුවේ නාලක නාහිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ගේ මැදිහත් වීමෙන් කාරක සභා අවස්ථාවේ දී කළ සංශෝධන සමඟ සම්මත වූ 20 වැනි සංශෝධනය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, වඩාත් දියුණු සංශෝධනයක් වූ බව අප ගේ අදහස යි. මේ මැදිහත් වීම නිසා හදිසි ආපදා තත්ත්වයක දී හෝ ජාතික ආරක්ෂාවට බලපාන කරුණක දී හෝ හැර ඕනෑ ම පනතක් සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ අයිතිය රටවැසියාට සුරක්ෂිත වී ඇත.

එ මෙන් ම සියලු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, කොමිසන් සභා, සංස්ථා රජයට හෝ රාජ්‍ය ආයතනයකට හෝ 50%කට වඩා කොටස් හිමි සමාගම් සියල්ල විගණකාධිපතිවරයා ගේ විගණනයට යටත් කර ඇත. මුදල්වලට හෝ වරප්‍රසාදවලට හෝ මහජන මතය විකෘති වීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස කැබිනට් හා අනෙකුත් ඇමැතිවරුන් ගේ සංඛ්‍යාවට පැන වූ සීමාව එ ලෙස ම ආරක්ෂා වී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී ද්විත්ව පුරවැසියන්ට මේ රටේ දේශපාලන හා රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තනතුරු දැරීමේ අවස්ථාව සම්බන්ධයෙන් ද පුළුල් සංශෝධන ගෙන ඒමේ ක්‍රියාවලියට ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. මේ ප්‍රතිඥාව අධිකරණ ඇමැතිවරයා ගේ පිළිතුරු කතාවට ඇතුළත් කර හැන්සාඩ්ගත කෙරිණි. ඒ නිසා දේශමාමක භික්ෂූන් වහන්සේලා ගේ මැදිහත් වීම මව්බිමට සුවිශේෂී වටිනාකම් රැසක් රැකදුන් මැදිහත් වීමකි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ සංචාරයට පෙර මේ භික්ෂූ නායකත්වය විසින් ම එම්.සී.සී. ගිවිසුම ප්‍රධාන පසුගිය රජය විසින් ගොඩනඟන ලද අප රටට අහිතකර ගිවිසුම් සම්බන්ධයෙන් ද වත්මන් ජනාධිපතිවරයා හා රජය ජනතාවට දුන් ප්‍රතිඥාවන්ට අනුකූලව කටයුතු කළ යුතු බව පෙන්වා දෙනු ලැබී ය. මුළුමනින් ම එය අපේ රටේ භික්ෂූන් වහන්සේ ලා රාජ්‍ය නායකත්වය නිවැරැදි රාජ්‍ය පාලනයක් සඳහා යොමු කිරීමේ, ඒ ඓතිහාසික සංසිද්ධිය මූර්තිමත් කිරීමක් ම විය. අවුරුදු දහස් ගණනක් පැරැණි අපේ සභ්‍යත්ව උරුමය යළි ක්‍රියාවට නැඟීමක් විය. එහි දී ජනාධිපතිතවරයා ප්‍රමුඛ රජය ද ඒ අවවාද අනුශාසනාවලට කන් දී නම්‍යශීලී වීම අප දකින්නේ අප ගේ රටට වඩාත් යෝග්‍ය වන අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනතා පැතුම් අවදි කිරීමක් ලෙස ය.

චීන ඇමරිකානු බල අරගලය!

චීන රජයේ ඉහළ ධූත පිරිස ගේ සංචාරයේ දීත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ සංචාරයේ දීත්, ඊට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර වූ සාකච්ඡාවේ දීත් අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය යළි සහතික කෙරෙන ස්ථාවරයෙහි පිහිටා සිටීමට වත්මන් රජය සමත් විය. එහි දී ඉන්දීය සාගරය බල කඳවුරක පාලනයට යටත් නො වන නිදහස් සාගරයක් ලෙස පවත්වා ගෙන යෑමේ වැදගත්කම සම්බන්ධයෙන් පළ වූ අදහස් මව්බිමේ අනාගතයට ඉතා වැදගත් ය. ශ්‍රී ලංකා භූමිය පාදක කර ගනිමින් ඇමරිකාව හා චීනය හුවමාරු කරගත් එකිනෙකාට සතුරු අදහස් දැක්වීම් ඇමරිකානු ජනාධිපතිවරණය මුල් කරගත් උපක්‍රමික ක්‍රියාවලියක් ද යන සැකය මේ වන විට මතුවෙමින් පවතී.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විසි වෑනි සංශෝධනය පිළිබඳ සමාජ සංවාදයේ දී අප දුටු වැදගත් ම කාරණය නම් ජනාධිපතිවරයා ගේ දෙ වැනි පදවි ප්‍රාප්තිය යෙදෙන ලබන වසරේ නොවැම්බර් 16ට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත රට හමුවේ තබන බවට ජනාධිපතිවරයා ගෙන් ලැබුණු ප්‍රතිඥාවයි. එය වඩාත් තහවුරු කරමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥයන් නව දෙනෙකුගේ සාමාජිකත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. මේ නොවැම්බර තිස් වැනි දාට පෙර සිය අදහස් එම කමිටුවට ඉදිරිපත් කරන්නැයි මහජනයාට ආරාධනා කෙරෙන පුවත්පත් දැන්වීම් පළ වූයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

යුතුකම ජාතික සංවිධානය ඊටත් වඩා සතුටට පත්වන්නේ මේ අවස්ථාවේ රජය බලයට පත් කිරීමට මුල් වූ සංවිධාන හා භික්ෂූන් වහන්සේ ලා පෙරට පැමිණීම ය. තමන් පත් කළ ආණ්ඩුව කුමක් කළත් ආරක්ෂා කරන්නෙමැයි යන සම්ප්‍රදායක අගතිගාමී අදහස්වලින් මිදී මවුබිමට ආදරය කරන ජනයා කටයුතු කිරීම යි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ඉන්දියාව අප මත බලහත්කාරයෙන් පටවා ඇති පළාත් සභා ක්‍රමය ගැනත්, මහජන නියෝජිතයා දූෂිතයකු කරන සමානුපාතික ඡන්ද ක්‍රමය ගැනත් බැරෑරුම් තීරණ ගත යුතු ය. මහජන නියෝජිතයන් 75%ක්වත් කොට්ඨාශ නියෝජනය කරමින් පත්වන්නේ නම් මහජන මතය හා නියෝජිතයා අතර වඩා ඍජු සම්බන්ධයක් ගොඩනැඟීමට හැකි වනු ඇත. එමෙන් ම මහජන නියෝජිතයා මුදලට අලෙවි වීම වැළැක්වීමට ද එය හේතු වනු ඇත. කිසියම් මහජන නියෝජිතයකුට තම හෘද සාක්ෂියට අනුව සිය පක්ෂයේ හෝ ආණ්ඩුවේ හෝ මතය අභියෝගයට ලක් කිරීම අවශ්‍ය වන්නේ නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී අතුරු මැතිවරණයකට මුහුණ දීම හරහා ඊට අවස්ථාව දිය යුතු ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'ගම සමඟ පිළිසඳරක්' ක්‍රියාවලියෙන් පැන නැඟුණු සෑම ග්‍රාමසේවක කොට්ඨාසයක ම ඡන්දදායකයන් සියලු දෙනා සාමාජිකයන් වන ප්‍රාථමික ග්‍රාම පාලන ව්‍යුහයක් ගොඩනඟා ගැනීම වැදගත් යෝජනාවකි. එහි දී එක් අතකින් පක්ෂ දෙශපාලනය ඉක්මවා ගම ඒකරාශී කෙරෙන අතර ඊට අදාළව ගොඩනැඟෙන ආයතනයෙහි ගමට අදාළ සියලු රාජ්‍ය සේවා හා සැපයුම් කේන්ද්‍රගත කෙරේ. එය තනිකර ම ගමේ මූලික අවශ්‍යතා ගමෙන් ම සපිරෙන ඉදිරිගාමී පියවරකි.
කොරෝනා වසංගතය වැනි අවස්ථාවක පවා සෞඛ්‍යාරක්ෂිතව සහනාධාර සම්පාදනයට ප්‍රාදේශීය සභා නියෝජිතයා, ග්‍රාම නිලධාරී, සෞඛ්‍ය නිලධාරී හා පොලිස් නිලධාරී ඇතුළු කමිටු ගොඩනැඟීමෙන් මෙවැනි ප්‍රාථමික ව්‍යුහයක වැදගත්කම මොනවාට පැහැදිලි වෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් අප අපේක්ෂා කරන්නේ අපේ අතීත සභ්‍යත්ව උරුමය මත අපේ රටේ අනාගතය ගොඩනඟා ගත හැකි මහජන සම්මුතියකි. එය අප ගේ විරෝදාර හමුදා ඉමහත් පරිත්‍යාගයන් මත ලබාගත් නන්දිකඩාල් ජයග්‍රහණයේ දේශපාලන අරුත ක්‍රියාවට නැඟෙන ව්‍යවස්ථාවක් ද විය යුතු ය. රණවිරුවන් මවුබිමේ ඒකීයභාවය රැකගැනීමට කළ අපමණ වූ කැපකිරීම් පිළිබිඹු කරන ව්‍යවස්ථාවක් විය යුතු ය.

පක්ෂ දේශපාලනය

අප ගේ අතීත සභ්‍යත්වය මත අනාගතය ගොඩනැඟීමේ දී අප විසින් ගොඩනඟනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පක්ෂ දේශපාලන බෙදීම් රටට, ජන සමාජයට අහිතකර ලෙස බලපෑම අවම වන පරිදි නිර්මාණය කර ගැනීමට වග බලා ගත යුතු ය. බ්‍රිතාන්‍යය අප මත පැට වූ පක්ෂ දේශපාලනය මේ රටේ ජනයා පිටු දකිමින් සිටින බව අපේ අදහස යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කළහොත් මේ සත්‍ය අවබෝධ කරගත හැකි ය. එ මෙන් ම මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ මුළු සමාජ දේහය ම රෝගාතුර කරන පරපෝෂිතයන් ද යන ප්‍රශ්නය අපේ රටේ ජනතාව මතු කරති.

මේ රටේ ජයග්‍රහණ රාශියකට අද වන විට පදනම සපයා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පවා සිය පක්ෂයට වසර හතරක් සම්පූර්ණ කරන මේ අවස්ථාවේ දී ස්වදේශික ජනයා දේශපාලන පක්ෂයකින් අපේක්ෂා කරන්නේ කුමක් දැයි ගැඹුරින් සිතා බැලිය යුතු බව අපේ අදහස යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජය ගැනීමට පදනම සැපයූ බවට කිසිඳු සැකයක් නැත. ඒ සඳහා මූලිකත්වය ගත් මහින්ද රාජපක්ෂ ජන නායකයාට හා බැසිල් රාජපක්ෂ මහතාට ජනතාව ගේ කෘතඥතාව පිදෙන බවට ද සැකයක් නැත.

එසේ වූවත් අප පළාත් පාලන මැතිවරණය ජය ගන්නා අවස්ථාවේ ඊට නායකත්වය දුන් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල වැනි දේශපාලන නායකයන් ද පැවැති ආණ්ඩුවේ පාවාදීම්වලට එරෙහිව ඉදිරියට ආ ජාතික සංවිධාන හා මහ සඟරුවන ද එම පක්ෂයේ මිතුරන් මිස සාමාජිකයන් නො වූ බව ද අප අමතක නො කළ යුතු ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වුව ද ඒ පෙරමුණ ගොඩනඟූ නායකයකු නො වූ බව අප අමතක නො කළ යුතු ය. පක්ෂයේ සිවු වැනි සංවත්සරය වෙනුවෙන් ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිකුත් කළ නිවේදනයේ "දේශප්‍රේමී දේශපාලනයේ හිදැස පිර වූ පක්ෂයක සභාපතිවරයකු වීම භාග්‍යයක්" ලෙස ඔහු සඳහන් කොට ඇත. එයින් පෙනෙන්නේ ද ඒ පක්ෂයේ ජයග්‍රහණය සඳහා පක්ෂ භේදය ඉක්මවා ගොස් මේ රට වෙනුවෙන් කැපවන භික්ෂූන් වහන්සේලා ගේ හා ජාතික සංවිධානවල මතවාදීමය මැදිහත්වීමේ වැදගත්කමයි.

ඒ නිසා දේශපාලන පක්ෂ පටු සීමා ඉක්මවා ගොස් මේ රටේ ජනයා ගේ සැබෑ අභිලාෂ වෙනුවෙන් පෙනී නො සිටින්නේ නම් එම පක්ෂ තව දුරටත් කර තබා ගෙන යෑමට ජනයා සූදානම් නැති බව අපේ අදහස යි. ඉතින් අප උදක් ම බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ජනයා ගේ සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කිරීමට කැපවනු ඇතැයි කියා ය.

(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සම්පාදිත ලිපියකි)

බිඟුන් මේනක ගමගේ
දිනපතා ලංකාදීප 2020. 11. 05
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions