10/01/2018

අදූරදර්ශී අසමත් ආණ්ඩුව , ආර්ථිකය කාබාසිනියා කරමින් රුපියලට කළ අපරාධය - හිටපු අධිපති කබ් රාල්ගෙන් විවරණයක්

කතෘ:යුතුකම     10/01/2018   No comments

රුපියල පිරිහීම වාසියි කියන අය පුළුවන්නම් ඒක ජනතාවට කියන්න - කබ්රාල්ගෙන් අභියෝගයක්

අද හැම දෙනාම කතා කරන්නේ රුපියල කඩා වැටීම ගැනය. මේ තත්වය පාලනය කිරීමට රජයත් මහ බැංකුවත් පිළියම් යෙදිය යුතුව තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාද මේ සම්බන්ධයෙන් ආනයන පාලනය කළ යුතු බවට අදහස් දක්වා තිබෙනු මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි. එසේම රුපියලේ වැටීමට මේ රජය වගකිව යුතු බවට ඒකාබද්ධ විපක්ෂය අදහස් දක්වා තිබුණි.මේ අනුව රුපියල රැක ගැනීමට සහාය වන්නැයි ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහජනතාවගෙන් ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

රජයේ අය ඒ සඳහා ලෝක තත්වයේ බලපෑමක් සිදුව ඇති බවට එනම් ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම මෙයට හේතුව බවට අදහස් දක්වමින් තිබේ. එහෙත් රජයට මේ සඳහා කිසිදු පූර්ව සුදානමක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබීම බලවත් අඩුපාඩුවකි . කෙසේ හෝ දැන් මේ තත්වයට මුහුණ දීමට රටක් වශයෙන් අපට සිදුවේ. මේ රජයේ ආර්ථික කළමනාකරණය ගැන බරපතල ප‍්‍රශ්න තිබෙන පසුබිමක මේ ආණ්ඩුවට රුපියලේ ප‍්‍රශ්නයට නිසි ලෙස මුහුණ දීමට වැඩපිළිවෙලක් තිබේද? මේ ගැන අප ඇසූ ප‍්‍රශ්න වලට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය -අද දවසේ ප‍්‍රධාන ආර්ථික කතිකාව සිදු වන්නේ රුපියල ගැනයි. මොකක්ද මේ රුපියලට වෙන්නේ ?


පිළිතුර - පසුගිය ආණ්ඩුව සහ මේ ආණ්ඩුව යටතේ රුපියලේ පිරිහීම ගැන මම කියන්නම්. ශ‍්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2005 අග වන විට පැවති අගය රු. 102 යි. 2014 අග වන විට එය රු. 131 ක් දක්වා ඉහළ ගියා. එනම්, වසර 9 ක් තුළදී, සාමාන්‍යයෙන් වසරකට 2.8% ක අවප‍්‍රමාණයක් ඒ කාලේ සිදු වෙලා තිබෙනවා. ඒ අතර, 2018.09.21 වන විට, එම අගය රුපියල් 171 ක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව, පසුගිය වසර 3.7 පමණ කාලය තුළදී, මෑත ඉතිහාසයේ සීග‍්‍රතම අවප‍්‍රමාණය සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 40 කින් පමණ පහළ වැටී තිබෙනවා. එම පහත වැටීම සාමාන්‍යයෙන් වසරකට 9.1% ක පමණ අවප‍්‍රමාණයක්. එමෙන්ම, පසුගිය සතිය තුළදී පමණක්, රුපියලේ වටිනාකම 163 සිට 171ක් පමණ දක්වා රුපියල් 8 කින්, නැතහොත් 5% කින් පමණ, කඩා වැටුණා. 2018.09.21 දිනයේ පමණක්, රුපියල, රුපියල් 2.02 කින් අවප‍්‍රමාණය වුණා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ කාලෙට වඩා මේ රජය කාලයේ රුපියල වැඩියෙන් පිරිහුණ බවයි. එත් රජය කියන පරිදි ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීමත් මෙයට හේතුවක් නේද?

පිළිතුර - ඔව්. රජය නිදහසට කරුණු දක්වමින් කියා සිටින්නේ රුපියල බාල්දුවීමට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ට‍්‍රම්ප් ජනාධිපති ඩොලරය ශක්තිමත් කර ඇති නිසා බවය. එම තර්කය තහවුරු කිරීමට, ඉන්දියානු රුපියල සහ පකිස්ථානු රුපියලත් මෑතකදී බාල්දු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. එහෙත්, ආර්ථික වශයෙන් ඉතා දුර්වලයයි සැලකෙන රටවල් ඉදිරියේ පවා ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය වී ඇති බව ඔවුන් කියන්නේ නෑ. උදාහරණයක් වශයෙන්, 2018 වසරේදී බංගලාදේශ ටකා මුදලට සාපේක්ෂව 7.5% කින්ද, ඉතියෝපියාවේ බිර් මුදලට සාපේක්ෂව 9.2% කින්ද, සිම්බාබ්වේ ඩොලරයට සාපේක්ෂව 11.1% කින්ද, ශ‍්‍රී ලංකා රුපියල පහත වැටී තිබෙනවා. පසුගිය මුළු වසර තුළදීම, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පැවති බව සියලූ දෙනා දැන සිටි කරුණක්. එසේ නම්, එම තත්ත්වයෙන් උද්ගත වන අභියෝග වලට මුහුණ දීමට සූදානම් වීම පාලකයන්ගේ වගකීමක්. එසේ සූදානම් නොවී, සියල්ලන්ම අපේක්ෂා කළ තත්ත්වය ළඟාවූ විට, ඒ ගැන හඬන්නට පටන් ගෙන, ජනතාව මත බර පටවන්නේ නම්, එයින් පිළිබිඹු වන්නේ මේ රජයේ අන්ත නොහැකියාව සහ නොසැලකිලිමත්භාවයයි.

ප‍්‍රශ්නය මේ අතර රජයේ සමහර ඇමතිවරු කියනවා රුපියල පිරිහීම වාසිදායකයි සහ අපනයන වලට හොඳයි කියලා නේද ?

පිළිතුර - මේ අයට නොහැකියාව තියන අතර ආර්ථික ඔස්තාර් කෙනෙකුයි කියා ගන්නා තවත් ඇමැතිවරයෙක් කියා ඇත්තේ රුපියල අවප‍්‍රමාණය වීම රටට හිතකර බවයි. එහෙත්, සාමාන්‍ය ජනතාව පවා දන්නවා, යම් ආර්ථිකයක මුදල් ඒකකයක් දිගටම බාල්දු වන විට, එම ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය පසු බසිනවා. එසේම මුදල දිගටම අවප‍්‍රමාණය වන එම ආර්ථිකය සැලකෙන්නේ දුර්වල වන එකක් ලෙසය. රටක මුදල් ඒකකය අධිප‍්‍රමාණය වන විට ඒ රට සාමාන්‍යයෙන් සැලකෙන්නේ ආර්ථිකමය ලෙස ශක්තිමත් වන රටක් වශයෙනුයි.

ප‍්‍රශ්නය - සාමාන්‍යයෙන් අපි දන්නවා රුපියල පිරිහුන විට විදේශ ණය ඉහළ යන බව. මේ ගැන ඔබේ තක්සේරුව කුමක්ද ?

පිළිතුර - මහ බැංකු වාර්තා වලටම අනුව, ශ‍්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණය වීම නිසා රාජ්‍ය ණය රුපියල් බිලියන 696.9 කින්, පසුගිය වසර 3 තුළදී ඉහළ ගොස් තියෙනවා. ඒ අතරම 2017 අවසානයේදී, රජයේ විදේශ ණය තොගය තිබුණේ රුපියල් බිලියන 4,719 ක්. එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 31.4 ක්. තවද, 2018.09.21 වැනි දින වන විට, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල තවත් 10% කින් අවප‍්‍රමාණය වී ඇති නිසා එම පැවති ණය තොගය තවත් රුපියල් බිලියන 472 කින් වැඩිවී ඇතැයි ගණනය කළ හැකිය.

ප‍්‍රශ්නය - රුපියල අවප‍්‍රමාණය නිසා මේ වසරේ (2018) වී ඇති බලපෑම කුමක්ද ?

පිළිතුර - රුපියල් බිලියන 507ක් ණයට එකතු වෙලා තියෙනවා. එය මම පැහැදිලි කරන්නම්. 2018 වසර මුල් භාගයේදී ලබා ගත් විදේශ ණය වන ඇ.ඩො. බිලියන 3.5 ක මුදලද, 2018 ජූලි සිට තියුණු අවප‍්‍රමාණයට ගොදුරු වෙලා තියෙනවා. ඒ සඳහාද, සෑම ඇමෙරිකානු ඩොලරයකටම වැඩිපුර රු. 10 ක් පමණ දැනටමත් ආපසු ගෙවීම සඳහා අය වැයෙන් වෙන් කරන්නට සිදු වෙනවා. එනම්, තවත් රුපියල් බිලියන 35 ක් ශ‍්‍රී ලංකා ණය තොගයට එකතු වී හමාරය. ඒ අනුව, මේ වසරේදී, රටේ සම්පත් තොගයට කිසිදු සම්පතක් එකතු නොවූවත්, රටේ ණය තොගයට රුපියල් බිලියන 507 ක් එකතු වීම සිදු වෙනවා. එම මුදල, මීට පෙර, ශ‍්‍රී ලංකාවේ සිදු කරන ලද දැවැන්ත ව්‍යාපෘති කීපයක්ම නිම කරන්නට ආයෝජන කළ මුදල හා ආසන්න මුදලක් වීම විශේෂත්වයක්. එනම් පසුගිය රජය යටතේ දියත් කරන ලද එම ව්‍යාපෘතිවල වටිනාකම් රුපියල් බිලියන වලින් කිව්වොත් කොළඹ/කටුනායක අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 48 ක් , කොළඹ/ගාල්ල අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 92 ක් ගාල්ල/මාතර අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 19 ක්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට රුපියල් බිලියන 103 ක්, හම්බන්තොට වරායට රුපියල් බිලියන 137ක්, මත්තල ගුවන්තොටුපළට රුපියල් බිලියන 30 ක් , උතුරේ සහ නැගෙනහිර මාර්ග ප‍්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 87ක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. මේ සියලූ ඒවායේ එකතුව රු .බිලියන 516 ක් වෙනවා.

ප‍්‍රශ්නය - විදෙස් ණය වර්ධනයට අමතරව මෙහි තවත් අහිතකර බලපෑම් මොනවාද ?

පිළිතුර - ඔව් ණය වැඩි වීමට අමතරව මෙලෙස රුපියලේ කඩා වැටීමත් සමගම ආර්ථිකයේ සහ රජයේ තවත් දැවැන්ත කම්පා කීපයක්ද හටගෙන තිබෙනවා. 2014 දී ගෙවූ පොලිය රුපියල් බිලියන 443 ක් වුවත් , 2018 දී ගෙවන්නට නියමිත පොලිය රුපියල් බිලියන 820 ක් වී තිබෙනවා. ණයබරතාවය දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව 71% සිට 87% දක්වා වැඩි වෙලා. ණය තොගය රුපියල් බිලියන 7,391 සිට මේ වන විට රුපියල් බිලියන 11,971 දක්වා රුපියල් බිලියන 4,580 කින් එනම් 62% කින් පමණ වැඩිවී තිබෙනවා. ජනතාව සහ ව්‍යාපාර ගෙවන සියලූම පොලී අනුපාතයන් 50% කින් පමණ වැඩිවී තිබෙනවා. රටේ ඉහළම පෙළේ ව්‍යාපාර සිට මධ්‍යම සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර රාශියක් වැසී යමින් පවතිනවා. මහ බැංකු දත්ත අනුව 2014 දී වැඩ කරන සංඛ්‍යාව මිලියන 8.4 වුවද 2018 දී වැඩ කරන සංඛ්‍යාව මිලියන 7.9 දක්වා ලක්ෂ 5 කින් පමණ අඩු වීමත් සිදු වෙලා. බැංකු, මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානම බොහෝ සේ වැඩි වී තිබෙන බවත් කිව යුතුයි. නව ආයෝජකයන් ශ‍්‍රී ලංකාව වෙත පැමිණීම සම්පූර්ණයෙන්ම පාහේ නැවතී තිබෙනවා. තවද, ඉදිරි සති කීපය තුළදී, මහ බැංකුව විසින් පොලී අනුපාතයන්ද වැඩිකළ හැකියි. රජයේ සැලසුම් ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන් සහ ඒවගේම රටේ ණය ශ්‍රේණිගත කිරීම් අඩු වෙන්න පුළුවන්. මේ ආකාරයට මුළු මූල්‍ය පද්ධතියම විශාල පීඩනයකට ගොදුරුවීම අනිවාර්යෙන් සිදු විය හැකිව තිබෙනවා. අපි මෙහෙම වෙන්න කියල ප‍්‍රාර්ථනා කරන්නේ නෑ. එහෙත් අපි දකින දේ මහජනතාවට කියන්න ඕන. නැත්නම් ඒ අය පසුව අපිටත් දොස් කියාවි අපි මේ දේවල් පෙන්වා දුන්නේ නෑ කියලා.

ප‍්‍රශ්නය - බදු බරත් ඉහළ යයිද ?


පිළිතුර - ඔව් බදු බර වගේම බඩු මිලත් තව දුරටත් ඉහළ යාවි. 2014 දී දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 79.4 ලෙස පවතින විට සමස්ත බදු, ගාස්තු සහ දඩ ප‍්‍රමාණය රුපියල් බිලියන 1,050 ක් වුණා . එහෙත් 2018 වන විට, දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 85.0 පමණ දක්වා වැඩි වෙද්දී, දැවැන්ත ලෙස බදු, ගාස්තු සහ දඩ ජනතාව මත පටවමින් රුපියල් බිලියන 2,034 ක් එනම් දෙගුණයක් පමණ මුදලක් ජනතාවගෙන් අය කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව පෙනෙනවා.

ප‍්‍රශ්නය - රුපියල කඩා වැටීම පාලනය කිරීමට රජයට කළ හැක්කේ කුමක්ද ?

පිළිතුර - අපිට පේන්නේ මේ රජයට කළ හැකි දෙයක් නෑ. මෙහෙම තත්ත්වය දරුණු මට්ටමක තිබුණත් රුපියල ස්ථාවර කිරීම සඳහා යෙදවීමට අවශ්‍ය විදේශ විනිමය මහ බැංකුව සතුව නැහැ. මුදල් ඇමති පවසා ඇති පරිදි, තිබෙන සංචිත, ණය ගෙවීමට පමණක් ප‍්‍රමාණවත් වෙනවා. ඒ නිසා, රුපියල ස්ථාවර කිරීමට ඒවා යෙදවිය නොහැකියි. ඒ හේතුවෙන්, තම ඇස් පනා පිට රුපියල කඩා වැටෙද්දිද, මුළු ආර්ථිකයම විනාශ වෙද්දීද, මෙම අදක්ෂ රජයට කළ හැකි වන්නේ ඒ දෙස බලාගෙන සිටීම පමණයි. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ.

වර්තමාන රජය විසින්ම නිර්මාණය කර ගන්නා ලද මෙම කම්පාසහගත තත්ත්වය දෙස ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ජනතාවට නම් තවදුරටත් බලා සිටිය නොහැකි බව පැහැදිලියි. මෙම තත්ත්වය වහා වෙනස් කොට ආර්ථිකය රැක ගැනීමට නම්, රජය වහාම ඉල්ලා අස්වී, මැතිවරණයක් පවත්වා, මෙම ආර්ථික ප‍්‍රශ්න වලට මුහුණ දිය හැකි රජයක් පත් කර ගන්නට ජනතාව දැඩි ලෙස බල කළ යුතුය. එසේ නොවුවහොත්, මුළු ශ‍්‍රී ලංකා ජනතාවටද, ඉදිරි අනාගත පරම්පරාවලටද සදහටම පාහේ මෙම ආර්ථිකයේ කඩා වැටීමෙන් පහල වන අර්බුදවල විනාශදායී විපාකවලට මුහුණ දීමට සිදු වෙනවා.

දැන් වෙන්නේ රුපියලට ‘හිටං’ කියන්න තමයි. ඒත් රුපියලට හිටං කිව්වට හිටින්නේ නැහැ. දැන් ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා රුපියල පිරිහීම යහපතක් කියලා. මම කැමතියි එයා ඔය කතාව කිය කිය පාරේ යනවානම් මිනිස්සු මොනවද කියන්නෙ බලන්න. රුපියල් පිරිහීම ඉතාම හිතකරයි කියලා පාරේ කිය කිය යනව නම් මිනිස්සු මොනවගේ ප‍්‍රතිචාරයක් ආචාර්ය හර්ෂ ද සිල්වා විශේෂඥ මැතිතුමාට ලබාදෙයි ද කියලා බලන්න මම ආසයි. අපි බලමු. මම එතුමාට එම අභියෝගය යොමු කරනවා රුපියල අව ප‍්‍රමාණය හොඳයි කිය කියා පාරෙ යන්න කියලා. එවිට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

ප‍්‍රශ්නය - මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඔබතුමාට අමතරව ආර්ථික කළමනාකරණයට ප‍්‍රධන වශයෙන් දායක වූ කෙනෙක් තමයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා. ඔබ තුමා ඉදිරියට ඇවිත් අදහස් දක්වනවා. ඇයි එතුමා ඉදිරියට නොඑන්නේ ?

පිළිතුර - එක එක චරිතනේ. මම හිතන්නේ ඒ දවස්වල වුණත් ජයසුන්දර මහත්තය සාමාන්‍යයෙන් ඉදිරියට ආපු පුද්ගලයෙක් නෙවෙයි. එතුමා එතුමාගේ වැඬේ ඉතාමත්ම හොඳින් කෙරුව. එතුමා දක්ෂයෙක්. අති දක්ෂයෙක්. මුදල් අමාත්‍යාංශය එතුමා ඉතාමත්ම දක්ෂ ලෙස එතුමා හැසිරෙව්වා.ඒකෙ ප‍්‍රතිඵල අපට පේනවා. සමහර කටයුතු අපි බෙදාගෙනත් කෙරුවා. මට මතකයි ආයෝජකයන් මුණ ගැසීම, බැඳුම්කර වලින් මුදල් රැස් කිරීම ඒවා කළේ මම. ජයසුන්දර මැතිතුමා තව විශාල කාර්යභාරයක් කළා. මුදල් පාලනය, මුදල් වෙන් කිරීම, ඒවායේ ප‍්‍රගතිය සෙවීම. ඒවා ඉතාමත්ම බැ?රුම් කටයුතු. ඒවා එතුමා කළා. අපි එතුමාව හමුවෙනවා. එතුමා අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා.

සාකච්ඡා කළේ - ශ්‍යාම් නුවන් ගනේවත්ත[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions