2/27/2019

සාමූහික විඤ්ඤාණය මත ගොඩනැගිය හැකි සමාජවාදී උත්තරීතර සමාජය පිළිබඳ මගපෙන්වීමක්

කතෘ:යුතුකම     2/27/2019   No comments


ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය පිළිබඳ විචාරයකි.

ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව උගතුන් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කාරණයකි. සංස්කෘතික අගය පද්ධති පිළිබඳ අධ්‍යයනයක් කළ ලන්දේසි ජාතික මහාචාර්යවරයකු වන ගර්ට් හොෆ්ස්ටඩ් ඒ මත පදනම් වී “සංස්කෘතික මාන න්‍යාය” නමින් අදහසක් ද ඉදිරිපත් කර තිබේ. මේ මාන න්‍යායට ඇතුළත් “දිගු කාලීන සහ කෙටි කාලීන නැඹුරුව” පිළිබඳ අගය ඔහු මුලින් නම් කර තිබුණේ “කොන්ෆියුසියානු අගය මානය” ලෙසිනි. ඇත්තෙන් ම, මෙම මානය හොෆ්ස්ටඩ්ගේ න්‍යායට එකතු කරගනු ලැබුවේ පසු කාලයක යි. චීනය සහ ආශ්‍රිත රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු කළ නිරීක්‍ෂණ මෙයට හේතු විය. එනම්, මෙය ආර්ථික සංවර්ධනයට හේතු විමසමින් ආපස්සට ගිය ගමනක ප්‍රතිඵලයකි.

චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ කළ බොහෝ අධ්‍යයනවල දී මේ හා සමාන සංස්කෘතික සාධක හඳුනාගෙන තිබේ. අප රට තුළ සිටින ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර සූරීහු ද මේ කාරණය - එනම්, සංස්කෘතිය නොතකා ආර්ථික සංවර්ධන මාවතෙහි ඉදිරියට යා හැකි ද යන කාරණය; පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ විමසමින් සිටිති. 1992 දී එතුමන් විසින් “ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය” යන හිසින් ලියන ලද ලිපිය මේ සඳහා ගෙනහැර දැක්විය හැකි අගනා මූලාශ්‍රයකි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටෙහි උගතුන් වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියැවුණු එකකි, එම ලිපිය.

1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් වේ නම් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙ රට උගතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයට පිළිතුරු වශයෙන් ගුණදාස අමරසේකරයන් ලියා පළකළ උක්ත ලිපියෙන් එතුමා පවසා සිටියේ සංස්කෘතිය අමතක කර ආර්ථික සංවර්ධනයක් ගැන සිතිය නොහැකි බවකි. අමරසේකර ශූරින් විසින් 1992 දී එ ලෙසින් ආරම්භ කළ ආර්ථික විකල්පයක් පිළිබඳ කරුණු ගවේෂණය මේ වන විට එක්තරා ආකාරයක න්‍යායික අන්තයකට වර්ධනය කිරීමට එතුමා සමත් වී සිටිති. එතුමන් විසින් මෑතක දී ලියා පළකළ “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය එම ගවේෂණයෙන් වර්ධනය කරගත් කරුණු සම්පිණ්ඩනය කළ අගනා රචනයක් බැව් කිව යුතු ය.

ගෝලීයකරණයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිිපත් කරන අමරසේකර මහතා, 1977 දී කිසිදු විචාරයකින් ත‍ොරව අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට උරුම වී ඇති හානිකර දේ පිළිබඳව ද කරුණු දක්වයි. ඉක්බිතිව ගෝලීයකරණයට ඇති විකල්ප පිළිබඳ කරුණු සොයමින් එතුමන් කළ ගවේෂණයේ දී සොයාගත් දේ ගැන එතුමා අපට පවසයි. මේ හා සම්බන්ධ මූලාශ්‍ර දක්වමින් එතුමන් විසින් කරනු ලබන කරුණු දැක්වීම තව තවත් කරුණු සොයායෑම සඳහා විචාරශීලි පාඨකයා හට මගපෙන්වීමකි. විශේෂයෙන් ම, ධනවාදයේ උපතට අදාළ සංස්කෘතික පදනමත්, ධනවාදය ඇති නො වූ චීනය වැනි රටවල සංස්කෘතික පදනමත් අමරසේකර මහතාගේ විචක්‍ෂණ විචාරයට හසුවෙයි. ඉක්බිතිව එතුමා අසන්නේ “මාක්ස්වාදය විකල්පයක් ද?” යන ප්‍රශ්නය යි. සංස්කෘතිය මුළුමනින් ම නොසළකා ගොඩනංවා ඇති මාක්ස්වාදී ආර්ථික වට්ටෝරුව කිසි අයුරකින් විකල්පයක් නොවන බැව් අමරසේකර මහතා පැහැදිළිකරන්නේ එම විවරණය තුළිනි.

මෙම ලේඛකයාගේ නිරීක්‍ෂණයට අනුව, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒම සඳහා අමරසේකර මහතා විසින් පෙන්වනු ලබන මග අපට හඳුනාගත හැක්කේ මෙම මූලික කරුණු පිළිබඳ විවරණයෙන් අනතුරුව එතුමන් ඉදිරිපත් කරන අදහස් තුළිනි. විශේෂයෙන් ම, ඩේවිඩ් සී කෝටන් මහතා පවසා ඇති “අප තෝරාගන්නා ආර්ථික මග අප ගේ ඇගැයීම්, හර පද්ධතිය මත ඉදිවිය යුතු යැ” යන අදහස අමරසේකර මහතා විසින් අප වෙත ගෙනහැර දක්වන්නේ එ් පිළිබඳව එතුමන් ද අවිවාදයෙන් එකඟ වන බැවිනි. මෙම කාරණය අමරසේකර ශූරීහු නැවත නැවතත් කරුණු දක්වමින් අප හට අවධාරණය කරති. විශේෂයෙන් ම, අප සමාජය තුළ ඇති “සාමූහික විඤ්ඤාණය” පිළිබඳ එතුමන් දක්වන අදහස් මේ අරභයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

“සාමූහිකත්වය” යනු අප අගයකරන හර පද්ධතියෙහි ඉදිරියෙන් ම ඇති එකකි. උඩින් කී හොෆ්ස්ටඩ් ගේ “සංස්කෘතික මාන න්‍යාය” තුළ ද, සංස්කෘතික මාන ගැන අධ්‍යයනය කළ වෙනත් උගත්තු ද “පුද්ගලාන්තික” සහ “සමූහාන්තික” හර පද්ධති මත පදනම් වී සංස්කෘතීන් වර්ග කරති. අප කවුරුනුත් දන්නා පරිදි ලිබරල්, ධනවාදී සමාජ හොඳින් ස්ථාපිත වී ඇත්තේ “පුද්ගලාන්තික” හර පද්ධති වැළඳගෙන ඇති රටවල ය. එහෙත් “සමූහාන්තික” හර පද්ධති වැළැඳගත් සමාජවල වෙසෙන ජනතාව ලිබරල්, ධනවාදී අදහස්වලට අරුචියක් දක්වති. මෙය චීනය වැනි පෙරදිග ආසියාතික රටවලට පමණක් නොව, යම් පමණකින් සමාජවාදී සිහිනය පසුපස ගිය ලතින් ඇමෙරිකානු කතෝලික රටවලට ද පොදු කාරණයකි.

මේ රටේ වසන අපිදු “සමූහාන්තික” හරයන්ට ප්‍රියකරමු. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සහ මහා පරිමාණයෙන් ලැබෙන “පුද්ගලාන්තික” අගය පද්ධතීන්ගේ ආභාසය නිසා අප තුළට යම් ප්‍රමාණයකින් එම අදහස් ද කාන්දු වී ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන්, එකිනෙකට පටහැනි අගය පද්ධති දෙකක් දරුණු ලෙසින් ගැටෙන තත්ත්වයක් ද අප සමාජය තුළ දැකගත හැකි ය. කෙසේ වුව ද, අප තවමත් වැඩියෙන් අගයකරන්නේ “සමූහාන්තික” දේ ය. එහෙයින් ගුණදාස අමරසේකර ශූරින් පවසන පරිදි අප අපේ ආර්ථික විසඳුම් සොයාගත යුත්තේ මෙම “සාමූහික විඤ්ඤාණය” මත පදනම්වීමෙනි.

ධනවාදී ක්‍රමය වැළඳගෙන ධනපතියන් කිහිප දෙනකුගේ වහළුන් බවට අපගේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද, මාක්ස්වාදී මොඩලය වැළඳගෙන නිලධාරි තන්ත්‍රයක සහ මධ්‍යගත ආයතන පද්ධතියක වහළුන් බවට අපේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද මේ පොළොවේ කිසි දිනෙක සාර්ථක කරගත හැකි කටයුත්තක් නොවේ. “මේ දේ කරපන්” කියා දෙන නියෝගවලට අපේ මිනිස්සු අවනත නොවෙති. “අපි මේ දේ කරමු” යැයි කී විට ඔවුහු ඒ දෙය කරති. ඒ, අපේ හැටි ය. ඉදින් අප විසින් ගොඩ නගාගත යුත්තේ “අප වෙනුවෙන් අපි” ආකාරයේ ආර්ථික මොඩලයකි. ආර්ථික සම්පත් සහ ව්‍යවසාය කටයුතු ආණ්ඩුවට පවරාගැනීම ජනසතුකිරීමක් නොවේ. ඒවා ධනපතියන් කිහිප දෙනකුට පවරාදීම ද පිළියමක් නොවේ. අද කළ යුත්තේ මේ කටයුතු මිනිසුන්ට පැවැරීමේ විකල්පයට අපි යොමුවීමයි.

ධනවාදයට ඇති විකල්පය මෙය යි. අප ගත යුතු මගත් එය යි. ඉදින් මේ ඇත්ත අප හට එළිකර දෙමින් ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය අප සැමගේ නොමද අවධානයට පාත්‍ර විය යුතු අගනා කෘතියක් බව පැවැසිය හැකි ය.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/23/2019

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස

කතෘ:යුතුකම     2/23/2019   No comments
තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස
රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද

කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක් සතුන්ගේ කිරි බොන ලොව එකම සතා මිනිසා පමණි. මේ අනුව කිරි යනු කිසිසේත්ම මිනිසාට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවන අතර එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර මගින් මිනිසාට ලබා ගත හැකිය.

2. එහෙනම් කිරි බොන්නේ මොකටද?

කිරි වනාහී ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ හමුවන ආහාරයකි. කිරි ඇසුරෙන් සකස් කරගන්නා වෙනත් ආහාර වර්ග සිය ගණනක් තිබේ. ජීව විද්‍යාත්මකව අත්‍යවශ්‍ය ආහාරයක් නොවුණද කිරි යනු මිනිසාට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරයකි. මිනිසා හුදු ස්වාභාවික සත්ත්වයකු නොව සංස්කෘතික සත්ත්වයෙකි. ඔහුගේ ආහාර රටාවද ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගොඩනැංවීමකි. කිරි මිනිසාගේ ආහාර විවිධත්වය වැඩි කරගත හැකි විකල්පයක්ද වෙයි. ආහාර විවිධත්වය වැඩිවීම ආහාර සුරක්ෂිතතාවයේද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම ආහාරයේ ගුණයට පමණක් නොව රසය හා විවිධත්වය කෙරේද මිනිසා සංවේදී වෙයි. මේ අනුව කිරි නැතිව මිනිසාට නොමැරී ජීවත් විය හැකි බව ඇත්තක් වුවද කිරිපිටි හෝ වෙනත් ස්වරූප ඔස්සේ කිරි පරිභෝජනය කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැත.

3. කිරිපිටි නොබී හිටියොත් මොකද වෙන්නේ?

කිරිපිටි වනාහී කිරි පරිභෝජනය කළ හැකි එක් ස්වරූපයක් පමණි. කිරි මඟින් සකසා ගන්නා ආහාර වර්ග මෙන්ම කිරි පරිභෝජනය කළ හැකි ආකාරද ගණනාවක් තිබේ. කිරිපිටිවල කිසිදු විශේෂ වැදගත්කමක් නැති අතර ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මිනිස්සුවත් කිරිපිටි පානය නොකරති. බොහෝ යුරෝපා රටවල මෙන්ම දියුණු ආසියාතික රටවල තත්ත්වයද එසේමය. ඔවුහු දියර කිරි හෝ කිරි ආශ්‍රිත වෙනත් ආහාර පරිභෝජනය කළද කිරිපිටි කිසිසේත්ම වැදගත් ආහාරයක් ලෙස නොසලකති. එසේ වුවද ලංකාවේ මෝඩයන් බොහෝ දෙනා කිරිපිටි යනු ඔක්සිජන් වායුවටත් වඩා මිනිසාට නැතිවම බැරි දෙයක් ලෙස සලකති. දරුවෙක් සිටින ගෙදරක නම් කිරිපිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ වැනි කතා නිතර ඇසෙයි. මේ සටහන ලියන මා කිරිපිටි බීම නවතා වසර පහළවකට වැඩිය. මගේ සිව් හැවිරිදි දියණියට කිසිදා රට කිරිපිටි උගුරක්වත් පොවා නැති අතර කිරි ආහාර පමණක් ලබා දී තිබේ. ඇගේ සෞඛ්‍යයට අද දක්වා මේ ඊනියා පානය නොබීමෙන් සිදුවූ කිසිදු හානියක් නම් නැත. නවසීලන්තයේ මිනිස්සු ඒ බව අපට වඩා හොඳින් දන්නේ ඔවුන් කිරිපිටි නොබී යහතින් ජීවත් වන බැවිනි.

4. අපි මේ තරම් කිරිපිටිවලට ඇබ්බැහි වුණේ කොහොමද?

සමාගම් විසින් අප වැනි රටවලට කිරිපිටි හඳුන්වා දී ඇත්තේ, එය මහා බලසම්පන්න මැජික් අරිෂ්ඨයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් තමනුත් නොබොන මේ මුග්ධ පානය ගැන බොරු කන්දරාවක් ලංකාව වැනි රටවල පතුරුවා හැර තිබේ. මොළේ වැඩෙන්නට එක කිරි වර්ගයකි. අස්ථි වැඩෙන්නට තව එකකි. ගැබිනි මවුවරුන්ට තව එකකි. හතලිහ පැනපු අයට තවත් එකකි. ආච්චිගේ කොන්ද කැඩීම වැලැක්වීමට තවත් එකකි. එක් එක් වයස්වල ළදරුවන්ට එක් එක් ලේබල් සහිතව එන කිරිපිටි වර්ග හැටහුටහමාරකි. මේ ඉලව් පානය බීමෙන් ගුණ නැණ බෙල සහිත විස්මකර්ම දරුවන් බිහිවන බව ඔවුහු අපට පුන පුනා පවසති. මේ බොරු සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණයට අමතරව තව තක්කඩි වැඩ රාශියක් ඔවුහු සිදු කරති. ඒවාට රැවටෙන ලාංකේය ගවයෝ කිරිපිටි නොමැතිව ජීවත් විය නොහැකි යැයි සිතා සිටිති.

5. රට කිරිපිටිවල වස විස ඇති කතාව ඇත්තක්ද?

ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රශ්න මතුවී තිබේ. ඇතැම් අවස්ථාවල අධිකරණය ඉදිරියේ පවා වැරදි කරුවන් වීමට, ප්‍රසිද්ධියේ තම වැරදි පිළිගැනීමට ෆොන්ටෙරා වැනි සමාගම්වලට සිදුව තිබේ. කිරිපිටිවල පෝෂක කොටස් ඉවත් කර ඒ වෙනුවට බාල ආදේශක ඇතුළත් කරන බව නොයෙක් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කිරි මූලික වශයෙන් සමන්විත වනුයේ කාබෝහයිට්රේට් (4.5%) ප්‍රෝටීන් (3.5%) මේදය (3.4%) විටමින් හා ඛනිජ ලවණ (0.7%) යන පෝෂකවලිනි. මේ බොහෝ පෝෂක කිරිවලින් ඉවත් කොට වෙනත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අතර ඒ හිස්තැන පුරවනු ලබන්නේ වෙනත් බාල ආදේශක එකතු කිරීමෙනි. මෙලමයින් යනු කිරිවල ඇති ප්‍රෝටීන කොටස් ඉවත් කර ඒ වෙනුවට යොදන නයිට්‍රජන් සහිත සංයෝගයකි. ෆාම් ඔයිල් යනු කිරිපිටිවල මේදය ඉවත් කොට ඒ වෙනුවට මුසු කරන ද්‍රව්‍යයකි. කිරිවල ඇති කාබෝහයිට්රේටද එසේ කෘතිමව එක්කාසු කළ හැකිය. මීට පෙර කිරිවල තිබී හමුවූ බව කියන ඩී. සී. ඩී. හෙවත් ඩයිසයිනමයිඞ් යනු තණබිම්වලට යොදන රසායනික ද්‍රව්‍යයකි. ක්ලොස්ටි්‍රඩියුම් බොටුලිනම් වැනි බැක්ටීරියා කිරිවලට මුසුව තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙනි. මේ සියල්ල කරුණු සහිතව තහවුරු වී තිබියදී තවදුරටත් කිරි වැදගත් ආහාරයක් ලෙස සැලකිය හැක්කේ කාටද? නවසීලන්තය ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් හා ලැක්ටෝස් ආනයනය කරන රට බව ඔවුන්ගේ වාර්තාවලින්ම හෙළිවන අතර ඒවා ගෙන්වන්නේ බාල කිරිපිටි සකසා අප වැනි රටවල හරකුන්ට පෙවීමට මිස පපඩම් බැඳීමට නොවේ. මේවා ඇත්ත වුවද බොරු වුවද රට කිරිපිටිවල ඇති එකම ප්‍රශ්නය වස විස තිබීමද නොවේ. වස විස තිබුණද නැති වුවද කිරිපිටි යනු අපේ ආර්ථිකයම බෙලහීන කරවන මහා වසංගතයකි. ඒ නිසා වස විස තිබුණද නැතිවුවද ලංකාවට කිරිපිටි ආනයනය කිරීම වහාම සීමා කළ යුත්තකි.

6. කිරිපිටි අපේ ආර්ථිකය ලෙඩ කරන්නේ කොහොමද?

කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර පමණ මුදලක් වැය කරයි. එය රුපියල්වලින් නම් කෝටි 3000කට වැඩිය. (රූප සටහන බලන්න) මේ මුදලින් 90%ක් පමණ වැයවන්නේ කිරිපිටි සඳහාය. හම්බන්තොට වරායේ පළමු අදියර වැඩ නිම කිරීම සඳහා වැයවූ මුදල ඇ. ඩො. මිලියන 361කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 292කි. මේ ඉලව් කිරිපිටි සෙල්ලමක් නිසා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාව කෙතරම්දැයි මේ අනුව සිතාගැනීම අසීරු නැත. රටේ මුදල් පිටතට ඇදී යාමට අමතරව එය රටේ ධන උත්පාදනය දුබල කරයි. දේශීය කිරි ගොවියා, කර්මාන්තකරුවා, නිෂ්පාදකයා, නන්නත්තාර කර දමයි. අපට වසර පුරා නොමිලේ ලැබෙන අව්ව, වැස්ස සහ තණකොළවලින් පහසුවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අපට අහිමි කරයි. දේශීය කිරි කර්මාන්තයට එරෙහි ප්‍රධාන සතුරා ආනයනික කිරිපිටිය. වර්ෂයකට කිරි ආහාර ආනයනය සඳහා වැයවන මුදලින් දහයෙන් පංගුවක් යෙදවිය හැකි නම් දේශීය කිරි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති කිරීම ලේසියෙන් කළ හැක්කකි. රට කිරිපිටි සමාගම්වලට බදු සහන ලබාදීම නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදලින් ලංකාවේ කිරි කර්මාන්ත ශාලා එකක් නොව කීපයක් ඇති කළ හැකිය. නැත්තේ ඊට වැඩපිළිවෙළක් දැක්මක් ඇති නායකයන් පමණි.

7. අපේ කිරි අපිටම හදාගන්න පුළුවන්ද?

නිසි වැඩපිළිවෙලක් තිබේ නම් ලංකාව වසර කීපයක් තුළ කිරිවලින් ස්වයංපෝෂිත කිරීම කළ හැක්කකි. එය කටට එනවාට කියන කතාවක් නොව ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි.
පසුගිය දශකයක පමණ කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් මේ ප්‍රශ්නය සම්බන්ධව විශාල මැදිහත් වීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2007 දී ජාතික අවශ්‍යතාවෙන් 22%ක් ලෙස පැවති දේශීය කිරි නිෂ්පාදනය 2017 වන විට 42% දක්වා ඉහළ නැඟ තිබේ. වසර දහයක් තුළ ලංකාව කිරි නිෂ්පාදනයේ එවැනි වර්ධනයක් අත් කරගත්තේ හොඳ වැඩපිළිවෙළක් යටතේ නොව ඊට එරෙහි දහසක් අලකලංචි මධ්‍යයේ බව අමතක නොකළ යුත්තකි. ඒ සියල්ල මැද පවා මේ කාලය තුළ රටේ කිරි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ඊට සාපේක්ෂව කිරි ආනයනය සැලකිය යුතු තරමකින් පහත වැටිණි. ඒ වර්ධනයට ප්‍රධාන බාධකය එල්ල වීම ජනවාරි අට විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් වූ අතර 2015 ජනවාරි මස රට භාරගත් මහා මොළයානන් වහන්සේගේ බදු ප්‍රතිපත්තිය ඊට මැනවින් හේතුවූ ආකාරය වෙනම ලිපියක් ඔස්සේ පෙන්වා දිය හැක්කකි. ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කරමින් සමාගම්වලට සහන සැලසීමේ ප්‍රතිපත්තිය මත එතැන් සිට දේශීය කිරි ගොවියාත්, ආහාර නිෂ්පාදකයාත්, නන්න්ත්තාර වූ අතර, කිරි පාරේ හලමින් උද්ඝෝෂණ කිරීමට ගොවීන්ට සිදුවූයේ ඒ අනුවය.

8. කතාව කෙටියෙන්ම මෙච්චරයි.

දැන් මේ කරුණු සියල්ල සාරාංශ කරමු. ඒ අනුව කිරිපිටි අපට කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ආනයනික කිරිපිටි අහිතකර ලෙස නිෂ්පාදනය කරන බව ඔප්පු වී තිබේ. වස විස තිබුණද නැතිවුවද කිරිපිටි ආනයනය කිරීම රටේ ආර්ථිකයට විශාල හානියකි. කිරි ඕනෑම ආකාරයකට පරිභෝජනය කළ හැකි වන අතර කිරිපිටි නැතිව ජීවත් විය නොහැකි බව සිතන අය සිටී නම් ඔවුන් ඇතුළු අප සියලු දෙනාට අවශ්‍ය කිරි අපට දේශීයව නිපදවා ගත හැකිය. අපි දැනටත් සියලු අලකලංචි මැද ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නිපදවා ගැනීමට සමත්ව ඇති අතර හොඳ වැඩපිළිවෙළක් යටතේ මෙය සීයට සීය දක්වා ළඟා කරගැනීම සිහිනයක් නොවේ. කිරිපිටි ආනයනය සම්පූර්ණ නතර කළ නොහැකි වුවත් එය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම හෝ හැකි දෙයක් බව හෝ මේ අනුව පිළිගැනීමට සිදුවෙයි. එය තවමත් එය පිළිගත නොහැක්කේ තවමත් කිරිපිටි බොන ලංකාවේ හරකුන්ට සහ ඔවුන් විසින් පත්කරගන්නා දේශපාලඥයන්ට පමණි.

(මේ ලිපියේ ඇතුළත් සියලු කරුණු සම්බන්ධව ඊට අදාළ සියලු දත්ත, සංඛ්‍යාලේඛන, වාර්තා මා සතුව ඇති අතර කෙම්බිමට ගමනක් කෘතියේද මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත්ව ඇත.)

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/13/2019

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

කතෘ:යුතුකම     2/13/2019   No comments
-ඉසුරු ප්‍රසංග-
ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ලෝකය පුරා ඒ පිළිබඳ විවිධ ආන්දෝලනයන් පැන නැගී ඇත. වස විස තිබුණද නැති වුවද ආනයනික කිරිපිටි යනු ලංකාවම ලෙඩ කරන වසංගතයකි. දේශීයව කිරි අවශ්‍යතාව සපුරා ගැනීමේ හැකියාව තිබියදී වස විස ඇති රට කිරිපිටි තොග පිටින් මෙරටට ගෙන්වීමත්, විදෙස් සමාගම්වලට බදු සහන ලබාදෙමින්, දේශීය ගොවියාගේ කිරි ලීටර් ලක්ෂ ගණන් පාරේ හැලීමත්, මෙරට තක්කඩි ආණ්ඩුවල පිළිවෙත වී තිබේ. මේ අර්බුදය පිළිබඳ දීර්ඝ විස්තරයක් මා විසින් රචිත කෙම්බිමට ගමනක් කෘතියේ ඇතුළත් වන අතර මෙහි දැක්වෙන්නේ එයින් උපුටා ගත් කොටසකි.

අපේ රටට අවශ්‍ය කිරි අපට නිපදවා ගත නොහැකිද? 2007න් පසු ගෙවීගිය කාලය තුළ ජාතික බලවේගවල මැදිහත් වීමෙන් මෙරට කිරි කර්මාන්තය වේගයෙන් නගා සිටුවිය හැකි වූයේ කෙසේද? ඊට එරෙහිව එල්ල වූ බාධා මොනවාද? ආදී ප්‍රශ්නවලට යම් පිළිතුරක් සපයා ගැනීමට මේ විස්තරය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. අප කළ යුත්තේ කිරි ප්‍රශ්නය සමස්තයක් ලෙස විසඳිය හැකි මාර්ගය කුමක්ද යන සංවාදය සමාජගත කිරීම මිස, කිරිවල ඌරු තෙල් තිබේද නැද්ද වැනි ප්‍රශ්නවලට පැතලි පිළිතුරු සෙවීම නොවේ.

================================================

පැල්වත්ත සමාගම ආරම්භ කිරීම ඇතුළු ජාතික බලවේගවල සමස්ත මැදිහත් වීම, දේශීය කිරි කර්මාන්තයට තීරණාත්මක බලපෑමක් සිදුකළේය. එය මෙරට කිරි කර්මාන්තයේ ගමන් මඟ වෙනස් කළේය. දේශීය දේවල් පරිභෝජනය කළ යුතු බවට මතයක් ජනතාව අතර ඇති කිරීම, සමාගම්වල නොමනා ක්‍රියාමාර්ග රට තුළ සංවාදයට ලක්කිරීම, පැල්වත්ත සමාගමේ ව්‍යාපාරික මැදිහත් වීම මෙන්ම දේශහිතෛෂී බලවේග රට තුළ ගෙන ගිය දැවැන්ත අරගලය ආදී කාරණා පොදුවේ මේ වෙනසට විශාල බලපෑමක් සිදුකළේය. රජයේ බදු ප්‍රතිපත්ති වෙනස්වීම ඇතුළු බොහෝ බාධක මැද වුවද සැලකිය යුතු ජයග්‍රහණයක් අත් කරගැනීමට දේශීය කිරි ගොවියා සමත් වූ අතර එය මහ බැංකු වාර්තාවල පිළිබිඹු වූයේ පහත ආකාරයෙනි.

 2007 වසරේ සිට 2017 දක්වා කාලය සැලකීමේදී දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනයක් සිදුව ඇත. 2007 දී ලීටර් මිලියන 200ක්ව පැවති වාර්ෂික කිරි නිෂ්පාදනය 2017 වන විට ලීටර් මිලියන 396.2 දක්වා ඉහළ ගියේය. ඒ අනුව ආනයනික කිරිපිටිවලින් එල්ල වන බාධාව මැද වුවද 2017 වන විට ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%ක ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

 2012 වසරේදී ජාතික කිරි නිෂ්පාදනය 16%කින් ඉහළ ගිය අතර, කිරිපිටි ආනයනය 5.5%කින් පහළ ගියේය.

 2013 වසරේදී ජාතික නිෂ්පාදනය 6.8%කින් ඉහළ ගිය අතර, කිරිපිටි ආනයනය 16.9%කින් පහළ ගියේය.

 2014 වසරේදී ජාතික නිෂ්පාදනය 1.2%කින් ඉහළ ගිය අතර කිරිපිටි ආනයනය 1%ක පමණ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය. වසර පුරා පැවති අධික නියඟයත් කුර හා මුඛ රෝගයත් මේ පසුබෑමට හේතු වී තිබේ.

 2015 වසරේදී ජාතික නිෂ්පාදනය 21.7%කින් ඉහළ ගියේය. එහෙත් 2015 මුලදී ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීම නිසා කිරිපිටි ආනයනයද එම වසර තුළ 21.7%කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

 2016 කිරි නිෂ්පාදනය 2.3%කින් ඉහළ යන විට කිරිපිටි ආනයනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් ඉහළ ගියේය.

දේශීය කිරි සම්බන්ධ ඉහත කාරණා සැකෙවින් විමසා බැලීමේදී ආරියසීලලා කලක සිට කතාවෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දුන් සියල්ල සැබෑවක් බව මනාව පැහැදිලි වෙයි. මේ දත්ත අනුව වසර දහයක් තුළ ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%ක් නිපදවා ගැනීමට ලංකාව සමත්ව තිබේ. ඒ ඊට සම්පූර්ණ හිතකර පරිසරයක් යටතේ නොව බොහෝ බාධක මධ්‍යයේය. ඊට සමගාමීව 2011 සිට කිරිපිටි ආනයනය අඛණ්ඩව පහත වැටී තිබේ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වූයේ 2015 සිදුවූ බදු සංශෝධන සමඟ බව පැහැදිලිව පෙනෙයි. ආනයනික් කිරි මත පනවා තිබූ සෙස් බදු ඉවත් කිරීම නිසා 2014 දී මෙටි්‍රක් ටොන් 67500ක්ව පැවති කිරි ආහාර ආනයනය 2016 දී මෙටි්‍රක් ටොන් 94011 දක්වා ඉහළ ගියේය. මෙය සීයට හතලිහක පමණ වර්ධනයකි. ඒ කාලය තුළ දේශීය කිරි නිෂ්පාදනයද වැඩි වී තිබුණද ඒ තත්ත්වය කර්මාන්තය තුළ විශාල අවුලක් ඇති කිරීමට හේතු වූයේය.

2015දී ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීමට අමතරව, කිරි ගොවියාට කිරි ලීටරයක් සඳහා ගෙවන සහතික මිලද දෙවතාවකදී ඉහළ දැමිණි. ඒ රුපියල් පනහේ සිට හැත්තෑව දක්වාය. මෙය ගොවියාට හදිසි ආස්වාදයක් ලබාදෙන තීරණයක් වුවද නිසි සැලසුමකින් තොර මේ ක්‍රියාමාර්ගය විශාල අර්බුදයකට හේතු වූයේය. ආනයනික කිරිවල බදු ඉවත් කරමින්, සහතික මිල ඉහළ දැමීමේ පරස්පර ක්‍රියාමාර්ග ඔස්සේ සිදුවන්නේ කුමක්ද? එවිට දේශීය කිරි ආහාර නිෂ්පාදකයා දෙපැත්තකින් පීඩාවට පත්වෙයි. ඒ අසීරුතාව මත ඔහු කිරි මිලට ගැනීමට ඉදිරිපත් නොවේ. එවිට කිරි සඳහා ඇති ඉල්ලුම කඩා වැටීමෙන් නැවත එය ගොවියා කෙරේද බලපවත්වයි. මේ අවුල පසුගිය වසර දෙක තුන තුළ රට පුරාම දක්නට ලැබිණි. කිරි විකුණාගත නොහැකිව ගොවීහු මහත් අපහසුතාවන්ට පත්වූහ. දඹුල්ල, හැටන්, ආගරපතන, තලවාකැලේ ආදී ප්‍රදේශ ගණනාවක ගොවීන්ට තම කිරි ඉවත දැමීමට සිදුවිය. කිරි මහ පාරේ හලමින් ගොවීහු දඹුල්ල නගරයේ උද්ඝෝෂණය කළහ. පහත දැක්වෙන්නේ හැටන් රොතර්ස් ෆාම් ගොවිපළේ හිමිකරු අංගප්පන් අංගමුත්තු මහතා 2017 මැයි 13 ඉරිදා දිවයින පුවත්පතට මේ සම්බන්ධව පළකර තිබූ අදහස් කීපයකි.

“පහුගිය මාස දෙකකට කලින් නෙස්ලේ සමාගම කිව්වා කිරි ගන්න එක නවත්තනවා කියලා. ඒ වෙලාවෙ ඉඳලා අපි මිල්කෝ එකට කතා කළා. නෙස්ලේ සමාගමට කිරි දුන්න අපේ කිරි ගන්න මිල්කෝ එක කැමති උනේ නෑ. පැල්වත්තට කතා කළා. ඒ අයගෙ ළඟ කිරිවලින් හදපු පිටිකිරි ගබඩා වෙලා. ඒ හින්ද ඒ අයට කිරි ගන්න බැරි වුණා. කොත්මලේ කිරි සමාගමට ඒ අයගෙ උපරිම ධාරිතාව තියෙනවා කියලා කිව්වා. මේ අතරෙ නෙස්ලේ එක කිරි ගන්න එක මුළුමනින්ම අතහැරියා. කිරි ගොවීන් හාරසිය පනහකගේ විතර කිරි නිෂ්පාදන කාටවත් දෙන්න බැරිව ගියා. මම සත්තු බලන්න පටන්ගත්තෙ අවුරුදු දහයෙදී. අපිට කිරි කෝප්පයක් බොන්න තිබුණෙ නෑ. කවුරු හරි කිරි එකක් බොනව බලන් ඉඳල හූල්ලපු මම අද කීයක් හරි හම්බකරගෙන කිරි ලීටර දහ දොලොස්දාහක් පාරට වක්කරයි කියලා හිතන්න එපා. අපි එහෙම කළේ අඬඅඬ. අපි දේශපාලන කඩාකප්පල්කාරයෝ නෙමෙයි මහත්තයා. නරක් වෙච්චි කිරි ටික එහෙම පාරෙ හැලුවෙ අපේ ප්‍රශ්නෙ ලෝකෙට කියන්න ඕන හින්දා. ඇයි අපිට එහෙම කරන්න වුණේ කියලා මේ කවුරුත් ඇහුවෙ නෑ.”

අංගමුත්තුගේ ප්‍රකාශය කිරි ගොවීන් මුහුණ දුන් අසීරුතාවයේ කදිම පිළිබිඹුවක් බඳුය. මේ අර්බුදයට රජයේ පැලැස්තර විසඳුම වූයේ මිල්කෝ සමාගම මඟින් තම ධාරිතාව ඉක්මවා වැඩිපුර කිරි මිලට ගැනීමය. මේ නිසා අතිරික්ත කිරි තොග ඉවත දැමීමට එම සමාගමට සිදුව තිබිණි. සමාගම දිනකට කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බවට පුවත් පළවිය. පසුව මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා තිබුණේ මාධ්‍යවල පළවූ ඉලක්කම් බොරු වුවත් යම් කිරි ප්‍රමාණයක් ඉවත දැමීමට තමන්ට සිදුව ඇති බවය. තමන් රාජ්‍ය ආයතනයක් වන බැවින් පාඩු නොබලා ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා බවත්, ඒ ප්‍රමාණය තම දෛනික කිරිපිටි නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා යන හෙයින් යම් කිරි ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දී තිබිණි. (2017 ජුනි 17 දේශය පුවත්පත) මෙම අතිරික්ත කිරි තොග පැල්වත්ත සමාගම වෙත ලබාදෙන බවද ඔහු මෙහිදී පවසා තිබිණි. මේ අර්බුදයේ සැබෑ හේතුව අන් කිසිවක් නොව ආනයනික කිරිපිටි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ආනයනික කිරිපිටි සීමා නොකර, ඒවාට බදු සහන දීමෙන් නොනැවතී, එයට දේශීය කිරි ගොවියාගෙන් එල්ල වන විරෝධය සමනය කිරීම සඳහා රජයේ මුදල් වියදම් කරමින් ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගෙන, ඒවා ඉවත හැලීම වැනි තීරණ අතිශය පුදුම සහගතය. එවැනි තීරණ ගන්නා රටක් ලෝකයේ තිබේ නම් ඒ ශ්‍රී ලංකාව පමණක් විය යුතුය.

කෙම්බිමට ගමනක් (281 - 284 පිටු)

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/05/2019

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සුමන්තිරම්ගේ ලැජ්ජා නැති කෙප්ප.. - යුතුකම මාධ්‍ය හමුව

කතෘ:යුතුකම     2/05/2019   No comments


  • ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සුමන්තිරම්ගේ ලැජ්ජා නැති කෙප්ප.. 
  • අගමැති රනිල් ට 2/3 නැති නිසා ෆෙඩරල් ව්‍යවස්ථාවට අප බිය විය යුතු නැද්ද? 
  • පළාත් සභා වලට ස්වාධීන පාලන ඒකක ලෙස ක්‍රියාකිරීමට යෝජිත ව්‍යවස්ථා යෝජනා.
  • ෆෙඩරල් ව්‍යවස්ථාවකට "ඒකීය" ලේබලය අලවන්න හදන රනිල්ගේ වංචාකාරී පිළිවෙත.




යුතුකම මාධ්‍ය හමුව
2019-02-01
කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී..


යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook :https://www.facebook.com/yuthukama

පාතාලය සුරකිමින් ගුරුවරුන් හිරේ දමන යහපාලනයේ මානව හිමිකම් චින්තනය

කතෘ:යුතුකම     2/05/2019   No comments
සිසුවකුට පහර දුන්නා යැයි කියන ගුරුවරියකට බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල මහාධිකරණය කටයුතු කර තිබේ. අදාළ පුවතේ කියවෙන පරිදි එය බොරු චෝදනා මත පැනවූ සිර දඬුවමකි. චෝදනාව බොරු වුවද ඇත්ත වුවද මෙය පුදුමාකාර නඩු තීන්දුවකි. පාතාල නායකයන්ගේ මගුල් ගෙවල්වලට පොලීසියෙන් ආරක්ෂාව සපයන කාලකණ්ණි රටක (එය පසුගිය අප්‍රේල් 25 වැනිදා වත්තල ප්‍රදේශයේ සිදුවූ සිදුවීමකි.) දරුවෙකුට දඬුවම් දුන් ගුරුවරියක් දෙවසරකට හිරේ යැවීම එක් අතකින් පුදුමයක්ද නොවේ. ළමා හිංසනය පිළිබඳ ගොබ්බ තර්කයකට මුවාවී දරුවන්ට දඬුවම් දීමට එරෙහිව පළවන රූපවාහිනී දැන්වීම් ආදිය පසුගිය කාලයේදී අපට නිතර දක්නට ලැබිණි. ඒ වෙනුවෙන් පෙනී සිටින එන්ජීඕ සංවිධාන ආදිය වර්තමාන යහපාලන ආණ්ඩුවේ මහා මෙහෙයුම්කරුවෝ වෙති. ඒ නිසාම මේ යකාගේ නඩු තීන්දුවද මෙරට සමස්ත දේශපාලන වියවුලේ ප්‍රකාශනයක් යැයි කිසිවෙකුට සැක සිතෙන්නේ නම් එහි කිසිදු අසාධාරණයක් නැත.

ළමා හිංසනයට එරෙහි විය යුතු බව ඇත්තකි. නමුත් ප්‍රායෝගිකව ඒ හිංසනයේ සීමා මායිම් හා නිර්ණායක මොනවාදැයි තීරණය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නොහැකි නම් සිදුවිය හැක්කේ මහා ඛේදවාචකයකි. සිසුවෙකුට දඬුවම් කිරීම සම්බන්ධව ගුරුවරයෙකු වැරදි කරුවෙකු කළ යුත්තේ ඔහු ද්වේශ සහගත ලෙස, අසාධාරණ ලෙස, නොගැළපෙන තරමේ ශාරීරික දඬුවමක් ලබා දී එයින් එම සිසුවාට සැලකිය යුතු හානියක් සිදුවී ඇත්නම් පමණි. නමුත් ඊනියා මානව හිමිකම් කරුවන්ගේ තර්ක අනුව සිසුවකුට කරන ඕනෑම පහර දීමක් වැරදිය. දේශීය සංස්කෘතිය තුළ ගුරුවරයා සිසුවෙකුට දඬුවම් කිරීම අනිසි කටයුත්තක් ලෙස නොසැලකෙයි. වෙනස් වන නවීන ලෝකය තුළ ඒ සංස්කෘතික පුරුද්ද නොකඩවා ඉදිරියට ගෙන යා යුතු යැයි නියමයක් නැතත් ඒ ගැන කටයුතු කළ යුත්තේ ප්‍රායෝගික තත්ත්වයන් අනුව මිස ඊනියා ගල් ගැසුණු නීති පද්ධතියකට අනුව නොවේ.

ලෝකයේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති දියුණු යැයි සම්මත රටවල පාසැල් සිසුන්ට ශාරීරික දඩුවම් ලබා දීම අනුමත නොකෙරෙන අතර බොහෝ විට එය නීතියෙන් තහනම් කටයුත්තකි. මානව හිමිකම් ගැන කතා කරන අයට ඒ කාරණයද තම ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමේ ප්‍රබල තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැක්කකි. ඔවුන්ට එහිදී අවශ්‍ය නම් දූපත්වාසී ගෝත්‍රික සිංහලයාගේ වනචාරීත්වය ගැන කියමින් ලෝකය ඊට වඩා බොහෝ වෙනස් බව පවසමින් තමන්ගේ සදාතනික දේශපාලන ආරෝව පිට කර හැරීමටද එය අවස්ථාවක් කර ගත හැකිය. එහෙත් සංවර්ධිත රටවල ප්‍රතිපත්ති ලංකාවේ එලෙසින්ම ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? ශාරීරික දඬුවම් තහනම පිළිබඳ දියුණු රටවල ප්‍රතිපත්තිය වැරදි නැත. අපිට ඒ ප්‍රතිපත්තිය සමඟ සංකල්පමය වශයෙන් කිසිදු ආරෝවක්ද නැත. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සමාජ ආර්ථික පරිසරය මීට වඩා කොතෙක් නම් වෙනස් විය යුතුද? රටේ අගමැතිවරයා රටේ මහ බැංකුව සුද්ද කරමින් පාර්ලිමේන්තුව රස්තියාදු කාරයන්ගෙන් පුරවා ඇති රටක පාසැල් සිසුන්ගේ විනය සම්බන්ධව ස්විස්ටර්ලන්ත නීති පැනවීමට යාම තරම් විහිළුවක් තවත් තිබේද?

දියුණු රටවල් තම සංවර්ධනය උදාකරගත් ආකාරය හිතන තරම් ශිෂ්ට නැතත් ඔවුන්ගේ සමාජ පරිසරය මේ රටවලට වඩා බෙහෙවින් යහපත්ය. ඒ රටවල දරුවන්ගේ හැදියාවට අදාළ බොහෝ දේ ඔවුන්ට තම නිවසින්, දෙමාපියන්ගෙන්, සමාජ පරිසරයෙන් යන මේ සෑම තැනෙකින්ම ලැබේ. නමුත් ලංකාවේ තත්ත්වය...? හද්දා පිටිසර දුෂ්කර පාසැල්වලට යා යුතු නැත. ආර්ථික සමාජ මට්ටම අතින් ලංකාවේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ දිස්ත්‍රික්කයේ මා දන්නා පාසැල්වල පවා අයහපත් සමාජ පරිසරයක ජීවත් වන දරුවන් පමණක් සිටින පාසැල් කොතෙක් නම් තිබේද?

ඒ බොහෝ දරුවන්ට ඉගෙන ගන්නවා තබා එදා වේල සපයා ගැනීමට ක්‍රමයක් නැත. අම්මලා තාත්තලා බොහෝ විට අඩු පඩියට කුලී වැඩ කරන ශ්‍රමිකයෝය. බොහෝ දරුවන්ගේ එක්කෝ අම්මා නැත. එක්කෝ තාත්තා නැත. ඔවුන් වෙනත් ගැහැනුන් සමග හෝ මිනිසුන් සමග ගොස්ය. එක්කෝ අම්මා මැදපෙරදිග වහල් සේවයේය. තාත්තා බීගෙන ඇවිත් ගෙදර දෙවනත් කරයි. සමහරුන්ගේ තාත්තලා හිරගෙවල්වලය. අම්මා තාත්තා දෙදෙනාම නැතිව වෙනත් නෑදෑයන් ළඟ සිටින දරුවන් බොහෝය. ඇතැම් දරුවන් පාසැල් එන්නේ පන්සල්වල සිටය. මේ දරුවන්ගේ ඉගෙනීමට නිවෙස්වලින් කිසිදු අනුබලයක් සැපයෙන්නේ නැත. ඔවුන්ට මාපිය රැකවරණය ආදරය හිමිවන්නේ නැත. ඒ දරුවන් ආශ්‍රය කරන්නේ හන්දිවල සිටින රස්තියාදුකාරයන්වය. බලන්නේ දහජරා ටෙලිනාටකය. උදේ හවා අහන්නේ ඊනියා නූතන ගායකයන්ගේ ඔක්කාරය දනවන සුළු ගීතය. ගුරුවරුන්වත් නොදන්නා නානා මාදිලියේ මත්ද්‍රව්‍ය ගම්මානවල පවා අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇත. ඇතැම් සිසුන් පන්ති කාමරයට එන්නේ මේ මත්ද්‍රව්‍යවලින් මත් වීය. මෙවන් පරිසරයක හැදී වැඩෙන දරුවන්ගේ මානසිකත්වය තිරිසන් සතුන්ගේ මානසිකත්වයෙන් වෙනස් වන්නේ සුළු වශයෙනි. එහෙව් දරුවන්ට ඉගෙන ගැනීමට සපයා ඇති විෂය නිර්දේශද අපූරුය. කිසිදු වැදගැම්මකට නැති නීරස විෂය කරුණු ගොන්නක් කටපාඩම් කර තරඟ විභාගවලට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත. එවිට සිදුවිය හැක්කේ කුමක්ද?

ආදරයෙන් හෝ තර්කානුකූලව කරුණු පැහැදිලි කරදී හෝ නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම මඟින් හෝ එවැනි දරුවන් මෙල්ල කිරීමට ඇති හැකියාව ඉතා අල්පය. ආදරයෙන් ප්‍රශ්න විසඳන්නට යන ගුරුවරුන්ට මෙවැනි දරුවන්ට ඉගැන්වීම කෙසේ වෙතත් පන්ති කාමරයේවත් යහතින් සිටීමට ඉඩක් ලැබෙන්නේ නැත. එවැනි අහිංසක ගුරුවරුන් දැඩි සේ සමච්චලයට ලක්කරමින්, පන්ති කාමරවල යකා නැටීම කලහකාරී සිසුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. පාසැලට පැමිණ ඉගෙන ගත යුතුය යන මානසිකත්වය හෝ ඊට අවශ්‍ය හැදියාව මේ සිසුන්ට තම පරිසරය තුළින් ලැබී නැත. තාරේ සමීන් පර් වැනි චිත්‍රපටවල කියන ආකාරයේ සුන්දර ක්‍රමවලට මෙවැනි සිසුන් ගොඩ ගත හැකි යැයි කියන අඳබාලයන්ව නැවත මොන්ටිසෝරි යැවීම සුදුසුය. එවැනි සුන්දර අධ්‍යාපන විප්ලව චිත්‍රපටවල මිස සැබෑ ලෝකයේ කළ නොහැකිය. මේ අවුල බොහෝ විට කළමනාකරණය කළ හැක්කේ සිසුන්ට දැඩි ප්‍රතිචාර දක්වන සැර ගුරුවරුන්ට පමණි. ඉහත කී නරක සමාජ පරිසරය ගැන නොතකා වියුක්ත ලෙස සිසුන්ගේ මානව හිමිකම් දිනා දීමට යාමෙන් සිදුවන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටී ලංකාවට තවත් රස්තියාදුකාරයන් බෝවීම පමණි. එහෙයින් සිහි බුද්ධියක් ඇති සියලු දෙනා මේ තීන්දුවට එරෙහිව වහ වහා පෙළ ගැසිය යුතුව තිබේ.

එහෙත් අද දෘෂ්ටිවාදීව මේ රට පාලනය කරන යහපාලන පඬියන්ගේ චින්තනය හා වැඩපිළිවෙළ වී ඇත්තේ මේ කිසිවක් නොතකා සිසුන්ට දඬුවම් දීම පමණක් නතර කිරීමය. ඔවුන්ගේ ඊනියා මානව හිමිකම් තරම් මේ අසරණ සිසුන්ට කළ හැකි තවත් හිංසනයක් නැත. එය හරියට රටේ මත්ද්‍රව්‍ය පැතිරීම නතර නොකර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට දෙන දඬුවම් හිංසාකාරී යැයි කෑ මොර දීම තරමේ විහිළුවකි. දියුණු රටවල නීති ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නම් කළ යුත්තේ සමාජයක් ලෙස ඊට ගැලපෙන ආර්ථික සමාජ සංවර්ධනයක් ඇති කර ගැනීමය. ආසියාවේ මහා මොළය යැයි වර නගමින් බැංකු හොරෙක් අගමැතිවරයා බවට පත් කරගත් මේ මානව හිමිකම් කාරයන්ට එවැනි වෙනසක් රටේ ඇති කිරීමට කිසිදු හැකියාවක් හෝ වුවමනාවක් නැත. ඒ නිසා මීටත් වඩා භයානක දේ ඉදිරියේදී සිදුවිය හැකිය. හෙට අනිද්දා වන විට මේ ගුරුවරියට දුන් දඬුවම තව මදි යැයි කෑ මොර දෙමින් රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන කළු ඇඳගෙන ලිප්ටන් වට රවුමට රැස් වුවහොත් එයද පුදුමයක් නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/01/2019

නව ව්‍යවස්ථාව ඒකීය රාජ්‍යය සහ බුදු දහම

කතෘ:යුතුකම     2/01/2019   No comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2018 ජනවාරි 11 දින ව්‍යවස්ථා කෙටුම්පතක් පාරලිමේන්තුවට ඉදිරිපත් කලේය. එකී කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමටත් බුදු දහමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය විනාශ කිරීමටත් සූක්ෂමව කුමන්ත්‍රණය කර ඇත. නමුත් අගමැති ප්‍රමුඛ එජාපය අඛණ්ඩව පවසන්නේ ඒකීය රාජ්‍යය මෙන්ම බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය සුරැකීමට කටයුතු කර ඇති බවය. ඔවුන් පවසන්නේ සත්‍යයක් දැයි විමසීමට ඉදිරිපත් කළ කෙටුම්පත ගැඹුරින් විමසා බලමු.
ඉදිරිපත් කර ඇති කෙටුම්පත පරිච්ඡේද 40කට ගොනු කළ වගන්ති 399කින් සමන්විතය. එහි පළමු වගන්තිය වෙන් කර ඇත්තේ ඒකීය රාජ්‍යය විස්තර කිරීමටය. එම වගන්තිය මෙසේය. “ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්තනාඩු වන්නා වූ නිදහස් ස්වෛරි ස්වාධීන ජනරජයක් වේ. මේ ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්තනාඩු යන්නෙන් නොබෙදුනු සහ බෙදිය නොහැකි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පරිච්චින්න කිරීමේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීමේ බලය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ව්‍යවස්ථාදායකය සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පැවරී ඇත්තා වූ රාජ්‍යයක් අදහස් වේ”.
මෙම දිගු මෙන්ම වැල්වටාරම් සහිත වගන්තිය සංසන්දනය කළ යුත්තේ වත්මන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය සමගය. එය ඉතාම කෙටි සරල වගන්තියකි. එහි ඇත්තේ “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යනුවෙන් පමණි.

ඉහත නිරවචනයට අනුව ඒකීය රාජ්‍යයක ලක්ෂණ දෙකකි. පළමු ලක්ෂණය වන්නේ එය බෙදිය නොහැකි රාජ්‍යයකි. දෙවන ලක්ෂණය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාදායකය සහ ජනතාවට පවරා තිබීමයි. අපි මුලින්ම පළමු ලක්ෂණය දෙස බලමු. ඒකීය රාජ්‍යයක් යනු බෙදිය නොහැකි රාජ්‍යයක් නම් පෙඩරල් රාජ්‍යයක් යනු බෙදිය හැකි රාජ්‍යයක් විය යුතුය. ලොව ප්‍රකට පෙඩරල් රාජ්‍ය වන ඉන්දියාව, බ්‍රසීලය සහ ස්පාඤ්ඤයේ ව්‍යවස්ථා වල එම රාජ්‍යයන් බෙදිය නොහැකි රාජ්‍යයන් ලෙස හඳුන්වා ඇත. එසේ නම් බෙදිය නොහැකි බව ඒකීය රාජ්‍යයක ලක්ෂණයක් වන්නේ කෙසේද?

ඒකීය රාජ්‍යයක් වීමට සම්පූරණ කළ යුතු දෙවන ලක්ෂණය ලෙස දක්වා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය ව්‍යවස්ථාදායකය සහ ජනතාව වෙත පැවරීමයි. ස්විට්ර්සලන්තය සහ ස්පාඤ්ඤය යන පෙඩරල් රටවල ද ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ බලය පවරා ඇත්තේ ජනතාවට සහ ව්‍යවස්ථාදායකයටයි. පෙඩරල් හෝ ඒකීය භේදයකින් තොරව සාතිශය බහුතරයක් රටවල් ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය පවරා ඇත්තේ ව්‍යවස්ථාදායකයටයි. එබැවින් ජනතාවට සහ ව්‍යවස්ථාදායකයට ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ බලය පවරා තිබීම ඒකීය රාජ්‍යයක ලක්ෂණයක් ලෙස හුවා දැක්විය නොහැක.
ඉහත විස්තරයෙන් පෙනෙන්නේ ඒකීය රාජ්‍යය අරුත් ගැන්වීමට හුවා දැක්වූ ලක්ෂණ දෙකම පෙඩරල් රාජ්‍යයක ද දැකිය හැකි ලක්ෂණ බවයි. එබැවින් එම ලක්ෂණ අනුව යම් රාජ්‍යයක් ඒකීය ද පෙඩරල් ද යනුවෙන් ර්වගීකරණය කළ නොහැකි බව පැහැදිලිය. එසේනම් ඒකීය රාජ්‍යයක සැබෑ නිරවචනය කුමක්ද?
සමස්ත ලෝකයම පිලිගත් නිරවචනයක් ඉදිරිපත් කර ඇත්තේ මහචාරය ශ්‍රීමත් කෙනත් වියරේය. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිරණයේ දී මෙම නිරවචනය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද භාවිතා කර තිබේ. එතුමාට අනුව රටේ සෑම ප්‍රදේශයකටම සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති පැනවීමේ බලය එක් ආණ්ඩුවකට තිබේ නම් එය ඒකීය රාජ්‍යයකි. එමෙන්ම එක් එක් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය වෙන් කර දී ඇති ආණ්ඩු එකකට වඩා යම් රාජ්‍යයක ඇත්නම් එය පෙඩරල් රාජ්‍යයකි.

වියරෙගේ නිරවචනය අනුව ශ්‍රී ලංකාවේ දැන් පවතින්නේ ඒකීය රාජ්‍යයකි. මක් නිසා ද යත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති සම්පාදනයට පාරලිමේන්තුවට බලය ඇති බැවිනි. පාරලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරන්නේ නම් පලාත් සභා ලැයිස්තුවේ ඇති විෂයන් සම්බන්ධයෙන් නීති සම්පාදනයට පමණක් නොව පළාත් සභා අහෝසි කිරීමට ද පාරලිමේන්තුවට බලය ඇත. නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුණොත් ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක් වනු ඇත. ඒ සංවෘත ලැයිස්තුවේ ඇති විෂයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය පාරලිමේන්තුවටත් පලාත් සභා ලැයිස්තුවේ ඇති විෂයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය පලාත් සභාවන්ටත් වෙන් කර දී ඇති බැවිනි.

එසේ නම් ආණ්ඩුව ඒකීය රාජ්‍යය යන ලේබලය අලවා ඉදිරිපත් කර ඇත්තේ පෙඩරල් ව්‍යවස්ථාවකි. එය වස කුප්පියක “අමෘතය” යන ලේබලය ඇලවීමට සමානය. නමුත් “යහපාලනය” නමින් “යමපාලනයක්” ගෙනා වත්මන් ආණ්ඩුවට එය නුහුරු අත්දැකීමක් නොවේ.
බුදු දහම සම්බන්ධයෙන් ද ආණ්ඩුව කර ඇත්තේ ඒකීය රාජ්‍යය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රෝඩාවමය. වත්මන් ව්‍යවස්ථාවේ නවවන වගන්තිය මෙසේය. “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය”.
මේ පිළිබඳ යෝජිත ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ අටවන වගන්තියේය. එහි වත්මන් නවවන වගන්තියට විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇත. පළමු විකල්පය මෙසේය. “ශ්‍රී ලංකාව විසින් බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒ අනුව 10 වන ව්‍යවස්ථාව සහ 14(1)(ඉ) ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද පරිදි සියලු ආගම්වල අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය”.

මෙහි ශ්‍රී ලංකා ජනරජය වෙනුවට ශ්‍රී ලංකාව යොදා ඇත. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව යනු භූමියකි. එහි තිබෙන ගස්වැල් ගොඩනැගිලි වලට හෝ එහි වසන මිනිසුන් සහ සතුන්ට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දිය නොහැක. එය කළ හැක්කේ ජනරජයට පමණි. එබැවින් ජනරජය යන පදය ඉවත් කිරීමෙන් ප්‍රමුඛස්ථානය ර්අථ විරහිත කර ඇත.
යෝජනා කර ඇති දෙවන විකල්පය මෙසේය. “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනමනු ලබන අතර ඒ අනුව වෙනත් සියළුම ආගම් සහ විශ්වාස සඳහා වෙනස්කමකට භාජනය කිරීමෙන් තොරව ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සියළු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කරමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය”.

එහි පළමුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමයි. දෙවනුව සියළුම ආගම් වෙනස්කමකට භාජනය නොකළ යුතු බව පවසයි. කිසිම ආගමකට වෙනස්කමක් නොකිරීමට නම් බුද්ධාගමට පිරිනැමූ ප්‍රමුඛස්ථානය අනෙකුත් සියළුම ආගම් සහ විශ්වාස වලට ද පිරිනැමිය යුතුය. එවිට සියළුම ආගම් පමණක් නොව අනෙකුත් ඇදහිලි ද එක සමාන වේ. එවිට බුද්ධාගමට පිරිනැමූ ප්‍රමුඛස්ථානය අහිමි වේ. වෙනත් වචන වලින් පැවසුවොත් මෙහි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා නැවත ඉවත් කර ගෙන ඇත.
වත්මන් ව්‍යවස්ථාව සමග සැසඳීමේ දී යෝජිත විකල්ප වලට සාපේක්ෂව වත්මන් ව්‍යවස්ථාවේ පවතින වගන්තිය සරල සහ කෙටිය. යෝජිත විකල්ප දිගු කිරීම හරහා වෙර දරා ඇත්තේ බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීම වචන අතරේ සැඟවීමටයි.
ආණ්ඩුවේ නායකයින් නිරතුරුව පවසන දෙයක් ඇත. ඒ ඒකීය රාජ්‍යය හෝ බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි. ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින කිසිම ජාතිකවාදි විද්වතෙකු පවතින වගන්තිය ප්‍රමාණවත් නැතැයි පවසා නැත. එමෙන්ම කිසිම බෞද්ධ නායකයෙකු බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ වගන්තිය ප්‍රමාණවත් නැතැයි පවසා නැත. ආණ්ඩුවටත් අවශ්‍ය වන්නේ ඒකීය රාජ්‍යය සහ බුදු දහමේ ප්‍රමුඛස්ථානය රැක ගැනීමට නම් පද පෙරලි කරමින් එම වගන්ති වෙනස් කරන්නේ ඇයි? ආණ්ඩුව අවංකව මේ කරුණු දෙක වෙනුවෙන් පෙනී සිටිත් නම්, ආණ්ඩුවේ නායකයින් කළ යුත්තේ එම වගන්ති කිසිම අයුරකින් වෙනස් නොකරන බවට ජාතියට ප්‍රතිඥාවක් ලබා දීමයි. හැකි නම් එම ප්‍රතිඥාව ලබා දෙන ලෙස අපි ආණ්ඩුවට අභියෝග කරමු.

උදය ප්‍රභාත් ගම්මන්පිල 2019.01.24

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

1/30/2019

පළාත් සභාවලට එරෙහිව එදා විජේවීර කළ කතාව

කතෘ:යුතුකම     1/30/2019   No comments


පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය. පළාත් සභා පිහිටවූයේ ජිවිත සිය ගණනක් බිලිගැනීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට එරෙහිව එදා දැඩි විරෝධයක් මතු කළ අතර එවකට තහනම් කර තිබූ එම පක්‍ෂයේ නායක රෝහණ විජේවීර මහතාගේ පටිගත කළ හඬපටයක් රටපුරා රහසිගතව යැවුණි. මෙහි පළවන්නේ 1987 ඔක්තෝම්බර් 27 වැනිදා විජේවීර නිකුත් කළ එදා රටට රහසක් වූ එම හඬ පටයෙන් උපුටා ගත් කොටසකි.
අපේ පීතෘභූමිය එහි මෑත ඉතිහාසයේ මුහුණ පෑ භායානකම විපත්තියට ගොදුරු වී සිටින මේ සාතිශය දුෂ්කර අවස්ථාවේදී දේශපේ‍්‍රමී රටවැසියන් සියලූ දෙනා තනිතනිවත් සාමූහිකවත් ඉටු කළ යුතු අපේ පීතෘභූමියේ නිදහස යළි දිනා ගැනීමත් රැකගැනීමත් සඳහා ඉටු කළ යුතු අපේ දරු මුණුපුරු පරම්පරාවත් ඉන්දීය අධිරාජ්‍යයේ වහලූන් බවට පත් නොකිරීම සඳහා ලාංකීය ජාතිය වහල් බවින් මුදා ගැනීම සඳහාත් ඉටු කළ යුතු භාරධූර කර්තව්‍ය පිළිබඳ කරුණු සැකෙවින් පැහැදිලි කිරීමටයි, අද මෙසේ ඔබ අමතන්නේ.

සහෝදර රටවැසියනි,
අවුරුදු ගණනක් තිස්සේ අපි දිගින් දිගටම කියාපු දේවල් දැන් ඇස් පනාපිට සත්‍ය වෙලා තිබෙනවා. අපි කිව්ව වගේම දැන් ජයවර්ධන අපේ උදාර පීතෘභූමිය ඉන්දියන් අධිරාජ්‍යයේ පිළිකන්නක් කරලා හමාරයි. අපේ පුංචි ලාංකීය ජාතිය ඉන්දියන් අධිරාජ්‍යයේ වහලූන් කරලා හමාරයි. තමුන්නාන්සේලාට මතක ඇති 1972 දී විතර ජයවර්ධන යූ.ඇන්.පී යේ නායකත්වයෙන් විතරක් නොවෙයි මුළු පක්‍ෂයෙන්ම තල්ලූවෙලා යන තැනට වැඩ සිද්ධවෙමින් තිබුණ බව. එදා යූ.ඇන්.පියේ හිටපු නායකයා ඩබ්ලි සේනානායක මහත්තයා ජේ.ආර්.ව පක්‍ෂයෙන් පන්නන්න හදනවා කියලා ජයවර්ධන උසාවියේ නඩුවක් දැම්මා. ඒකට උත්තර බඳිද්දී ජයවර්ධන මහා බොරුකාරයෙක් කියලා ඩඞ්ලි උසාවියේදීම කිව්වා. මේ විදිහට ඩඞ්ලි - ජේ.ආර් ගැටුම උච්චතම අවස්ථාවෙ තියෙද්දී ජයවර්ධන යූඇන්පියෙන් පන්නල දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී හදිසියේම ඉතාමත් සැක කටයුතු විදිහට ඩඞ්ලි මළේ. ඊට ටික දවසකට පස්සෙ එයාගෙ දෙවැනිය හිටපු කෘෂිකර්ම ඇමැති. එම්.ඞී. බණ්ඩත් මළා. ඒ එක්කම වී.ඒ සුගතදාස, යූ.බී. වන්නිනායක, ඊරියගොල්ල, සී.පී.ද සිල්වා වගේ ඩඞ්ලි පිලේ පතාක යෝධයෝ ඔක්කොම හදිසියෙම මළා. කොහොම සිද්ධ වුණත් මෙන්න මේ නිසයි ජයවර්ධනට යූඇන්පියේ නායකත්වයට ඇවිල්ලා බලය තහවුරු කරගන්න පුළුවන් උනේ.

ජයවර්ධනගෙ යූඇන්පී නායකත්වය සේනානායකලගෙ නායකත්වයට වඩා ඉඳුරාම වෙනස්, දේශද්‍රෝහියො, පල්හොරු, දේශපාලන පාදඩයො, ලැජ්ජා නැති බොරුකාරයො, අධිරාජ්‍යවාදී ඒජන්තයො භයානක මීනිමරුවො මේ සොර නඬේ තමයි ධර්මිෂ්ඨ හැවක් ඇතුළට රිංගලා ධර්මයෙන් රට කරනවාය කියල බොරු පොරොන්දු දීල ශ්‍රීලංකා සමසමාජ කොමියුනිස්ට් හවුල් ආණ්ඩුවේ වැරදි උපයෝගී කරගෙන මහජනයාගේ ඇස්වලට වැලිගහලා 1977 බලයට ආවෙ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නෙ නෑ කිව්ව පාර්ලිමේන්තුවෙ කාලෙ දික්කරන්නෙ නෑ කිව්වා.

ඉන්දියන් ධනේශ්වර පාලකයො එදා කියල තිබුණෙත් මීට මුළුමනින්ම සමාන දෙයක්, ඉන්දියන් ධනේශ්වර පංතියේ දේශපාලන නායකයා, ජවහල්ලාල් නේරු 1944 දී ලියපු ‘‘ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා’’ ඉන්දියාව සොයා ගැනීම කියන පොතේ 569 වන පිටුවේ මේ විදිහට කියනවා.

‘‘ලෝක පාලන මධ්‍යස්ථානය වශයෙන් අත්ලාන්තික් කලාපයට හිමි තැන නුදුරු අනාගතයේදී පැසිපික් කලාපය විසින් හිමිකර ගනු ඇතැයි සිතිය හැකිය. සෘජු ලෙසම පැසිපික් රාජ්‍යයක් නොවුනද ඉන්දියාව නොවැළැක්විය හැකි ලෙසම එහි වැදගත් බලපෑමක් කරනු ඇත.

ඉන්දීය සාගර කලාපයේ්්ත් ගිණිකොණ දිග ආසියාවේත්, මැදපෙරදිග දක්වාත් ආර්ථික හා දේශපාලනික ක‍්‍රියාකාරීත්වයේ මධ්‍යස්ථානය වශයෙන් ඉන්දියාව සංවර්ධනය වනු ඇත. නුදුරු අනාගතයේදී ලොව වේගයෙන් සංවර්ධනය වන්නට තිබෙන කොටසක ඇය ආර්ථික හා යුද්ධෝපායික වැදගත්කමක් ගනු ඇත. ඉන්දියාව දෙපැත්තෙන්ම ඇයව මායිම් වන රාජ්‍යයන්ගේ - ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලංකාව, බුරුමය, මලයාව, සියම, ජාවාය යනාදී කලාපීය ගොනුවීමක් වේ නම් වත්මන් සුළුජාතික ප‍්‍රශ්න එක්කෝ නැති වී යනු ඇත. නැතිනම් අඩු ගණනේ සාකල්‍යයෙන්ම වෙනස් වූ සන්දර්භයක් තුළ සැළකිල්ලට ලක් කිරීමට සිදු වනු ඇත.

මගේ පැත්තෙන් ගත් කල ලෝකය විශාල උත්තර් ජාතීය රාජ්‍යයන් කිහිපයකට බෙදීම ගැන ඒවා කිසියම් බලසම්පන්න ලෝක බැම්මකින් නොබැඳේ් නම්x මගේ කිසිම කැමැත්තක් නැත. නමුත් ලෝක එක්සත්කමක්, ලෝක සංවිධානයක් ඇතිවීම වැළක්වීමට තරම් ජනතාව මුග්ධවේ නම් ප‍්‍රාදේශීය ස්වාධිපත්‍යයක් සහිතව තනි යෝධ රාජ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වන මෙබඳු එක් එක් අති විශාල උත්තර් - ජාතීය කලාපයක් හැඩ ගැසීමට බොහෝසෙයින් ඉඩ ඇත. එහෙයින් කුඩා ජාතික රාජ්‍යය මැකී යනු ඇත. ඒවාට පැවතිය හැක්කේ ස්වාධීන දේශපාලන ඒකක වශයෙන් නොව සංස්කෘතික ස්වාධිපත්‍යයක් ඇති ප‍්‍රදේශ වශයෙනි. ඉන්දියාවට සිය බලපෑම් කළ හැකි වේ නම් කුමක් සිදුවුවද ලෝකයට යහපත් වනු ඇත.’’

ඉතින් මේක කියන විදියට එදා නේරුට අවශ්‍ය වෙලා තිබුණුදේ ඉටුකරලා දෙන්න, ඒ කියන්නෙ නේරුව හාම්පුතු සැටියට පිළිගන්න, ඉන්දියාවෙ ආධිපත්‍යයට යටවෙන්න, අවුරුදු හතළිස් සයකට එහා ඉඳලා ජයවර්ධන ලෑස්තිවෙලා ඉඳලා තියෙන බව කාටත් තේරුම් ගන්න පුළුවන්.

ඉන්දියන් ධනේශ්වර පංතිය එසේ පාලක පංතිය බවට පත් වූ දා ඉඳලම ඒගොල්ලන්ගේ ප‍්‍රතිපත්ති, උපායමාර්ග, උපක‍්‍රම, ක‍්‍රියාමාර්ග සේරම සකස් කළේ ඉන්දියාව ඉස්සර වෙලා කලාපීය බලවතා කරලා දෙවනුව ලෝක අධිරාජ්‍ය බලයක්, සුපිරි අධිරාජ්‍ය බලවේගයක් කරන ඉදිරි දැක්ම ඇතිවයි. ඉන්දියන් ධනේශ්වර පංතියේ ආර්ථික, දේශපාලන, යුදමය, විදේශ කියන මේ සෑම ප‍්‍රතිපත්තියකම ඒවායේ යටින් දුවපු අරමුණ ඒකයි.

අපි දන්නවා ජර්මනියෙන්, ඉතාලියෙන්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලව සිද්ධ වුණේ පමා වෙලා. මේ නිසා ඒ රටවල්වල තිබුණු කුඩා කුඩා වැඩවසම් රාජධානි එකතු කරලා ජාතික රාජ්‍යයක් බිහිකරන්න පමා වුණා. මේ නිසා ඉතාලිය, ජර්මන් ධනපතියන්ට අල්ලගන්න යටත්විජිත ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ මොකද ඒගොල්ල නැගිටලා එනකොට අනිත් අය ඔක්කොම අල්ල ගෙන ඉවරයි. මෙන්න මේ නිසා ලෝක ජනතාවට සිද්ධ වුණා ලෝක යුද්ධ දෙකට මුහුණ දෙන්න. ලෝක යුද්ධ දෙකම පටන් ගත්තේ මේ දෙන්නා. ඒ වගේ ඉන්දියාව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ වුණෙත් බොහොම කල් ගිහිල්ලා. මේ විදිහට ප‍්‍රමාද වෙලා. බහුජාතික රාජ්‍යයක් වුණු ඉන්දියාවේ ධනේශ්වර පංතිය තමන්ගෙ පසුගාමීත්වය ඉක්මණින්ම මගහරවා ගන්න යොදාගත්තෙත් ජර්මනියෙ බිස්මාක්ල, ඉතාලියෙ කවුර්ල යොදාගන්න රාජ්‍ය ධනවාදී පිළිවෙතමයි.

ඉන්දිය රාජ්‍ය ධනවාදය අද රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කලාපීය රටවල් සම්බන්ධයෙන් දැඩි ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිව දකින්න පුළුවන්.

ඉන්දියන් ජනතාව ඉතාම දුප්පත්. ඒ නිසා පසුගාමී ඉන්දියන් ධනවාදයට මෙන්ම ඒකාධිකාරීන්ගෙ නිෂ්පාදන වලට අවශ්‍ය විදියට ඒ තරමට දේශීය වෙළෙඳපොළ පුළුල් කරගන්න බැහැ. ඒ නිසා ඉන්දියන් බැංකුකාරයන්ට, කර්මාන්තකාරයින්ට තමන්ගෙ රටින් පිටත වෙළෙඳපොළ සොයන්න සිද්ධ වෙලා තියෙනව. මෙතනදී ඒ ගොල්ලන්ට දියුණු ධනපති රටවල් එක්ක හැප්පෙන්න බැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ ස්වභාවිකවම නැඹුරුවෙලා තියෙනවා අසල්වැසි අපි වගේ දුබල රටවල් වෙතට. ඉන්දියාවේ ‘‘ආධාර’’ වෙළෙඳ ප‍්‍රතිපත්ති, තාක්‍ෂණය, හුවමාරු, විදේශ ආයෝජන, කොන්ත‍්‍රාත් බැංකු මේ ඔක්කොම මුළු මහත් විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනැගිල තියෙන්නෙ ඒ අරමුණ මතයි.

ලෝක ජාතීන් අතර අසමානතාව වර්ධනය කෙරුවෙ, සූරාකෑම් වර්ධනය කෙරුවෙ ජාත්‍යන්තර ධනවාදය විසින්ම බව අප දන්නවා. ඒක දැන් ආයෙත් තුන්වැනි ලෝකයේම වඩා දියුණු රටවලූයි, අඩු දියුණු රටවලූයි අතරෙ පුනරුත්පාදනය වෙලා.

ඉන්දීය උප මහාද්වීපයෙන් විශාල කොටසක රාජ්‍ය බලය තමන් අතට ගත්ත ඉන්දියන් ධනේශ්වර පංතිය තමන්ගෙ දේශපාලන දර්ශනයක්, ප‍්‍රතිපත්තිත්, උපාය උපක‍්‍රමත් ගොඩනැගුවේම බි‍්‍රතාන්‍ය අධිරාජවාදීන්ගෙ සපත්තුවට බැහැල. බි‍්‍රතාන්‍ය ධනේශ්වර පංතියේ ආභාසයෙන් සැදුණු වැඩුණු ඉන්දියන් ධනපති පංතියක් එහෙම කරන එක පුදුමයක් නොවෙයි. මේ විදියට ඉන්දියන් උප මහාද්වීපයෙන් තදාසන්න ප‍්‍රදේශවලත් බි‍්‍රතාන්‍ය යටත් විජිතවල, අර්ධයටත් විජිතවල තමන්ගෙ අණසක පිහිටුවන එක තමයි දැන් ඉන්දීයන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තියෙ පරමාර්ථය වෙලා තියෙන්නෙ. මෙතනදී බි‍්‍රතන්‍යයන්ගෙ සපත්තුවට බැහැලා ඒ රටවල්වලට රිංගාගෙන හිටපු නොයෙකුත් ඉන්දියන් ජාවාරම්කාරයොත්, අනික් සංක‍්‍රමණික ඉන්දියානුවොත් මේකට යොදාගන්න ඔවුන්ට පුළුවන් වුණා. අද මලයාව, සිංගප්පූරුව, සියම, ලංකාව, මොරීෂිස් වගේ රටවල්වල ඉන්න ඉන්දියන් සංක‍්‍රමණිකයො ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගෙ ඒජන්තයන් සැටියට ඉතාමත් සකී‍්‍රයව මේ කටයුත්තට යොදා ගෙන තියෙනවා. මොවුන් තමයි ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගේ පස්වැනි සේනාංකය හැටියට දැනුවත්වම යොදා ගෙන තියෙන්නේ.

ඉන්දියන් ධනපති පංතිය තමන්ට උපායමාර්ගිකව වැදගත් තැන්වල මේ උපාය මාර්ගය වඩාත් තහවුරුව ක‍්‍රියාවට නංවලා තියෙනවා. භූටානය, බංග්ලාදේශය, කාශ්මීරය, ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරපු ප‍්‍රතිපත්තිය මේකට හොඳම නිදර්ශන.

දැන් ආයෙත් ඉන්දියන් අධිරාජ්‍යයේ බලය කලාපයේ සුපිරි බලය හැටියට ඉස්මතුවෙලා තියෙන තත්ත්වය යටතේ අවස්ථාව අනුව කරණම ගසලා ඉන්දියන් අධිරාජවාදය හාම්පුතා හැටියට පිළිගන්න ඉදිරිපත්වෙලා.

ඉන්දියන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාව වටේ රටවල් ඔක්කොම සතුරු කර ගෙනයි සිටියෙ. එහෙම ඉන්දැද්දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව චීනයත් එක්ක, පකිස්ථානයත් එක්ක මිත‍්‍ර වුණු එක ඉන්දියන් ධනපති පාලකයින්ට රිස්සුවේ නෑ. චීන නැව්වලට මිත‍්‍ර නැව් හැටියට ලංකාවෙ වරායවලට ඇතුළු වෙන්න ඉඩදුන්නු එක ගැන ඉන්දියාව උරණ වුණා. ඒ වගේම 1971 දී නැගෙනහිර පකිස්ථාන් ප‍්‍රශ්නෙ වෙලාවේ පකිස්ථාන් ගුවන්යානාවලට බටහිර පකිස්ථානෙ ඉඳලා කටුනායක හරහා ඩැකාවලට සෙබළු අරන් යන්න, ඉඩදීපු එක ගැනත් උරන වුණා. මගේ මතකයේ හැටියට 1972 ජූලි මාසෙදී, සමහරවිට අගෝස්තු සැප්තැම්බර් වෙන්නත් පුළුවන්. ඒ කාලෙ අපි වැලිකඩ සිරගෙදර, ඉන්දිරා ගාන්ධි ලංකාවට ආව. ඇවිත් සිරිමා බණ්ඩාරනායක නෝනත් එක්ක උපදේශකයන්ගෙන් තොරව කතාකරන්න ඕනෙයි කිව්වලූ. කියලා සාකච්ඡුාවක් කරලා චීනයත් පකිස්ථානයත් එක්ක තියෙන හිතවත්කම ගැන තදින් දොස් කිව්වලූ’’ මගේ ආරක්‍ෂාව මට වැදගත්. ඒ හින්දා බලාගනින්’’ කිව්වලූ. මේක, පස්සෙ බණ්ඩාරනායක නෝනා මෛත‍්‍රීපාල සේනානායක මහත්තයත් එක්ක කියල එයා වෙනත් අයට කීව නිසා අපටත් ආරංචි වුණා. ලංකාව ස්වාධීනව කෙළින් ඉන්නවට, ඉන්දියාව කැමති නැති දේ කරනවට ඉන්දියන් ධනපති පංතිය කවදාවත් කැමති වුණෙ නෑ.

මේ විදියට චීනx ලංකා මිත‍්‍රත්වයටත්, පකිස්ථාන් - ලංකා මිත‍්‍රත්වයටත් ලංකාවෙ ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියටත් ඉන්දියාව තදින්ම විරුද්ධ වුණා. ඒ විරෝධය උඩ ඉන්දියන් ධනපති පාලකයො එතෙක් ලංකාව ගිලගන්න සෙමින් සෙමින් අනුගමනය කරපු ක‍්‍රියාමර්ග වෙනුවට වේගවත් ආක‍්‍රමණශීලී අලූත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන්ගත්තා.

මෙතනදී සම්ප‍්‍රදායානුකූල වැඩවලින් ඈතට ගිහිල්ලා එතෙක් ඒගොල්ලම මැදිහත් නොවුණු උතුරු නැගෙනහිර ජාතික ප‍්‍රශ්නයට අත පොවලා, ඒක තමන්ගෙ වුවමනාවක් සඳහා යොදාගන්න බැලූවා. මේකට අලූත් සජීවී අත්දැකීමක් බංග්ලාදේශයෙන් ලැබිලා තිබුණා. මොකක්ද? පකිස්ථාන් බෙංගාලි ජාතික ගැටලූව නොවිසඳී තිබුණ නිසයි, ඒ ජාතික ප‍්‍රතිවිරෝධතාව පාවිච්චි කරලා තමන්ගෙ සම්ප‍්‍රදායික සතුරා වුණු පකිස්ථානය දෙකඩ කරලා දුර්වල කරන්න පුළුවන් වුණේ ඒ වගේ ලංකාවෙන් නොවිසඳී නියත ජාතික ප‍්‍රශ්නය ඒ ගොල්ලන්ට යොදාගන්න පුළුවන් බව දැක්කා.

මේ සොර ගිවිසුම ලංකාවෙ මහජනයාට විතරක් නොවෙයි, ජයවර්ධනගෙම එක්සත් ජාතික පක්‍ෂයටත්, ඒකෙ නායකයන්ගෙන් බහුතරයටත්, ඇමැති මණ්ඩලයටත්, කොටින්ම අගමැතිටත් සොරෙන් කරපු කුමන්ත‍්‍රණයක්. ජයවර්ධනලගෙ, ගාමිණී දිසානායකලගෙ කුමන්ත‍්‍රණයක්. ඒක කෙරුණේ ඒ තරම්ම රහසිගතව. ඒක සමස්ත ලාංකීය ජනතාවටම විරුද්ධව කරපු භයානක කුමන්ත‍්‍රණයක්. ඒකෙ ආදීනව බොහොම අය සිතනවට වඩා ඉතාම භයානකයි.
ජයවර්ධන තමන් මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්න වෙනවා කියලා එයාගෙ පක්‍ෂයෙම කෘත්‍යාධිකාරී සභාවට දැන්නුවෙත් අගමැති ජපානයෙ සංචාරය කරමින් ඉන්නැද්දී. අවසානයේ දී ජයවර්ධන එතැනදී කිව්වා කෘත්‍යාධිකාරී සභිකයන්ට ඔබලාට රජීව් ගාන්ධි විශ්වාස නැත. මම එය දනිමි. එනමුදු මට ඔහු විශ්වාසයි. කවුරු විරුද්ධ වුණත් තමන් මේ ගිවිසුමට අත්සන් කරනවා කියලා. තවත් කිව්වා මේ ගිවිසුමෙන් පස්සෙ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න ඉන්දීය යුද්ධ ආධාර ගන්න පුළුවන් කියලා. ඒ නිසා කවුරුත් මේකට කැමති වෙන්නෙයි කියලා.

අගමැති පේ‍්‍රමදාස ලංකාවට ආවට පස්සෙ පවත්වපු ඇමැති මණ්ඩල රැුස්වීමේදී ගිවිසුම ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණා. ඉන්දියන් මහ කොමසාරිස් ඇමැති මණ්ඩලය ගෙන්නෙව්වා. ඇමැතිවරුන්ට ගිවිසුම ගැන කරුණු පැහැදිලි කරන්න. ලංකාවට ගිය කල එයින්ම පේනවා නේද? ඇමැති මණ්ඩලය තීරණයක් නොගෙනම විසිරිලා ගියා. ඊට පස්සෙ රජීව් ගාන්ධි ලංකාවට ආවා. ගිවිසුම අත්සන් කරන්න. අවෙ ඇඳිරි නීතිය පනවලා, ආපු ගුවන් යානය ආරක්‍ෂාවට හෙළිකොප්ටර්වලින් වට කරගෙන ඇවිල්ලා කටුනායකට බැහැලා. එතන ඉඳලා ගෝල්ෆේස් එකට හෙළිකොප්ටර්වලින් ඇවිල්ලා, එතනින් වෙඩි නොවදින කාර් එකෙන් ජනාධිපති මන්දිරයට රිංග ගත්තේ හරියට සොරකමකට ආපු සොරෙක් වගෙයි.

ඇඳිරි නීතිය දාලා පාරවල් වලට බසින්න තහනම් කරලා තියේ්ද්දීත් දේශපේ‍්‍රමී මහජනයා තුන් පැත්තකින් මහා ජන ගංගාවක් වගේ කොළඹට ඇදුණා. පෙළපාළිවලින්, පොලීසිය ලව්වා වෙඩි තිබ්බා සිය ගණන් මැරිලා වැටුන. මේ වෙලාවේ අගමැතිවරයාත් ඇමැතිවරුන් ගණනාවකුත් රජීව් ගාන්ධි වර්ජනය කළා. අන්තිමට තෑගි ඔප්පුව ලියවගත්තු රජීව් ගාන්ධි දේශපේ‍්‍රමී ජනතා පුත‍්‍රයකු වූ විජිත රෝහණ නාවුක භටයාගේ තුවක්කු බදින් පාරක් කාලා ගියා. ඒ වෙන කොටත් ගිවිසුම් උඩ ඉන්දීය ආක‍්‍රමණකාරී හමුදාව ලංකාවට ගොඩබස්වමින් තිබුණා. මේ හමුදාව ලංකාවට ගේන්න දකුණු ඉන්දියාවෙ හමුදා කඳවුරුවල කළින්ම ලෑස්ති කරලා තිබුණා. රජීව් ගාන්ධිට ඇවිත් ගිිවිසුම අත්සන් කරන්නත් කලින් ජූලි 28 වැනිදා පත්තරවල ඒ ගැන තිබුණා. උතුරට නැගෙනහිරට ඉන්දියන් හමුදා එව්වට පස්සෙ කොළඹ වරායටත් නැව් තුනක් භටයො ගෙනාව, ජයවර්ධනලගෙ ආරක්‍ෂාවට.

මේ ගිිවිසුම රටට හානිකර නැත්නම් ඇයි ඒක කුමන්ත‍්‍රණකාරී විදිහට සකස් කෙරුවේ? ඇයි ඒක අත්සන් කරන්න කලින් රටට ඉදිරිපත් නොකළේ? ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ? ඇයි ඉන්දියන් හමුදා ගෙන්නන බව කලින් නොකිව්වේ? ඇයි ඒක හැංගුවේ? මේවා අසන්න ඕන ප‍්‍රශ්න නෙවෙයි. කාටත් තේරෙන දේවල්. මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.

ජයවර්ධනත් රජීව් ගාන්ධීත් අත්සන් කරපු මේ කුමන්ත‍්‍රණකාරී ගිවිසුමට දෙමළ ඊළාම් ත‍්‍රස්තවාදී සංවිධාන එකක්වත් හවුල් කර ගෙන නෑ. ඔවුන් මේකට අත්සන් කරලා නෑ. ඒ ඒකත් ලාංකීය ජනතාවට විරුද්ධව කරපු භායනක කුමන්ත‍්‍රණයක්. මේ නිසා තමයි දෙමළ එක්සත් විමුක්තිය පෙරමුණවත්, දෙමළ ඊළාම් කොටිවත්, අනෙක් දෙමළ ඊළාම් සංවිධානවත් කිසිම කොන්දේසියට යටත් නැත්තේ. අම්ර්තලිංගම්වත් ප‍්‍රභාකරන්වත් මේ ගිවිසුමට අත්සන් කරලා නෑ. ඒගොල්ල කිසිම ගිවිසුමකින් බැඳිලා නෑ.

ඊළඟට මේ ගිවිසුමෙන් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක, ලංකාවෙ දෙවැනි හා තුන්වැනි විශාල පළාත් දෙක, ඒ කියන්නේ ලංකාවෙ මුළු බිමෙන් තුනෙන් එකක් දෙමළ ජනයාගෙ නිජබිම් කියලා, ඓතිහාසික නිජබිම් කියලා පිළිඅරන් තියෙනවා. ඒ කියන්නෙ දෙමළ ජන කොටසේ පමණක් භූමිය කියලා පිළිඅරන් තියෙනවා.

තිම්පු සාකච්ඡාවලදී දෙමළ ඊළාම් සංවිධාන ඔක්කොම එක දිගටම ඉල්ලූවේ උතුරු නැගෙනහිර ඒ ගොල්ලන්ගේ භූමිය කියලා පිළිගන්න කියලයි. ඒක කිසිසේත්ම කරන්න බැරිය කියලා මේ ආණ්ඩුවම එදා මහ උජාරුවෙන් කිව්වා. තමුන්නාන්සෙලාට මතක ඇති. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ.


(මතු සම්බන්ධයි)

යුතුකම සංවාද කවය
www.yuthukama.com :   Like us on facebook
https://www.facebook.com/yuthukama

1/21/2019

සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට විශ්වාසභංගයක් අවශ්‍යයි

කතෘ:යුතුකම     1/21/2019   No comments
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ යුත්තේ ගෝලීය අගය දාමය තුළ ශ‍්‍රී ලංකාව ස්ථානගත විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇතිවය. එසේ ස්ථානගත වීමට රටක් වශයෙන් අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග හඳුනාගෙන, රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය මෙන්ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය සාධක ක‍්‍රමෝපායික වශයෙන් සකස් කිරීමේ ජාතික සැලැස්මක් තුළ පමණි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මඟින් ශ‍්‍රී ලංකාවට කිසියම් වාසියක් ලබා ගත හැක්කේ. එවැනි දැක්මකින් තොරව, පෞද්ගලික පටු පරමාර්ථ මුදුන්පත් කිරීම සඳහා ගිවිසුම්වලට එළැඹීම මගින් රටේ ආර්ථිකයත් වර්තමාන සහ අනාගත පරම්පරාවත් දැඩි අවදානමකට ලක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව එක හඬින් කියා සිටියේ ජාතික වෙළෙඳ ප‍්‍රතිපත්තියක් සකස් නොකර, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා සාකච්ඡා පැවැත්වීමෙන් වළකින ලෙසයි.

අවාසි සහගත ගිවිසුමක්

මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය මඟින් මෙහෙයවූ නිලධාරීන් ක‍්‍රියා කළේ තමන් වෙත ඒකාධිපති බලයක් ආරූඩ කරගෙන ජාත්‍යන්තර වෙළඳාමේ කිසිදු ලාංකීය පාර්ශ්ව කරුවෙකු ගේ අදහස්වලට සවන් දීමකින් තොරවය. එලෙස අත්තනෝමතික ලෙස මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් 2018 ජනවාරි 23 වන දින සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේය. රජය මුලින් ප‍්‍රකාශ කළේ අපනයන දිරි ගැන්වීමේ අරමුණ ඇතිව මෙම ගිවිසුම අත්සන් කළ බවයි. එය අධ්‍යනය කළ අප, සිංගප්පූරු ගිවිසුම මඟින් එකදු ශ‍්‍රී ලාංකික අපනයන භාණ්ඩයකටවත් වාසියක් අත්නොවන බව ප‍්‍රකාශ කළ අතර, පසුව අමාත්‍යවරයාටත් ඔහුගේ සාකච්ඡා කණ්ඩායමටත් එය පිළිගන්නට සිදු විය. ඒ කාරණය සිංගප්පූරු ගිවිසුම පිළිබඳව අධ්‍යනය කළ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂඥ කමිටු වාර්තාවේ ද මෙලෙස සඳහන් වේ.

”සාමාන්‍යයෙන්, නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ මූලිකම අභිප‍්‍රාය වන්නේ වෙළෙඳපළ අවකාශය පුළුල් කර ගැනීමයි. නමුත් ශ‍්‍රී ලංකාවේ කිසිදු අපනයනයකට වෙළෙඳපළ පුළුල් වීමේ වාසියක් සිංගප්පූරු ගිවිසුම මගින් සැලසෙන්නේ නැත.”

භාණ්ඩ අංශයෙන් පමණක් නොව, සේවා අංශයෙන්ද සිංගප්පූරු ගිවිසුම මඟින් ශ‍්‍රී ලාංකිකයන්ට ලැබුණු නව අවස්ථාවක් නැත. සිංගප්පූරුව විසින් සිදු කර ඇත්තේ ගිවිසුමට පෙරත් ශ‍්‍රී ලංකාව ඇතුළු පොදුවේ සියලූ රටවල් සඳහා ඔවුන් විසින් විවෘත කර තිබූ සේවා අංශයන් ම මෙම ගිවිසුමට ද ඇතුළත් කිරීමයි. ඒ අනුව ගිවිසුමෙන් ශ‍්‍රී ලාංකිකයන්ට අලූතෙන් ලැබුණු දෙයක් නැත. සිංගප්පූරුව විසින් ඔවුනගේ සේවා අංශය ශක්තිමත් අභ්‍යන්තර නීති පද්ධතියක් සහ විධිමත් රෙගුලාසි මගින් ආරක්ෂණය කර ඒ සඳහා විධිමත් ආයතනික පද්ධතියක්ද ස්ථාපනය කර ඇති නමුත් ශ‍්‍රී ලංකාවට එලෙස ශක්තිමත් නීති පද්ධතියක් හෝ වෘත්තිකයන් ලියාපදිංචියට හා නියාමනයට අවශ්‍ය රෙගුලාසි හෝ ආයතන හෝ නැත. ශ‍්‍රී ලංකාව විසින් සිංගප්පූරු භාණ්ඩ සහ සේවා සඳහා ලාංකීය වෙළෙඳපළ පුළුල් කර ඇති නමුත් ලාංකිකයන්ට කිසිදු ප‍්‍රතිලාභයක් සැලසී නැති සිංගප්පූරු ගිවිසුම හුදෙක් ඒක පාර්ශ්වීය ගිවිසුමකි. සිංගප්පූරු ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට පාඩු මිස වාසියක් නොමැති බවට චෝදනා දිගින් දිගටම එල්ල වන විට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කළ එකම දෙය වූයේ මෙම ගිවිසුම නිසා විදේශ ආයෝජකයන් එන බවට සාස්තර කීම පමණි. නමුත් ඒ පිළිබඳවද විශේෂඥ කමිටු වාර්තාවේ සාරාංශ කොටසේ මෙලෙස සඳහන් වේ.

”අපගේ කොමිසමට අදහස් ඉදිරිපත් කළ ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංවර්ධන ක‍්‍රමෝපාය අමාත්‍යාංශයේ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ සිංගප්පූරු ගිවිසුම විදේශ ආයෝජනයන්ට හිතකර පරිසරයක් ඇති කරනු ඇති බවයි. ඒ අනුව, සෘජු විදෙස් ආයෝජනවල ඉහළ යෑමක් බලාපොරොත්තු වන බව ඔවුහු ප‍්‍රකාශ කළහ. කෙසේ නමුත් විශේෂඥ කමිටුවේ අදහස වන්නේ ශ‍්‍රී ලංකාව තුළ පවතින අඩු තරගකාරීත්වය සහ අඩු පලදායිතාව හේතුවෙන්,

සිංගප්පූරු ගිවිසුම අත්සන් කළ පමණින් විදෙස් ආයෝජන ඉහළ නොයන බවයි.”

සිංගප්පූරු ගිවිසුම සකස් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් පිටවන මුදල් ප‍්‍රමාණය ඉහළ යන ලෙසත් ලංකාව තුළට මුදල් ගලා එන කිසිදු ආකාරයක් ඇතුළත් නොවන ලෙසත්ය. එය දැනටමත් අර්බුදයකට ලක් කර ඇති ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ජංගම ගිණුමේ හිඟය උත්සන්න වීමට හේතුවනු ඇත. රුපියල අවප‍්‍රමාණය වීම, විදෙස් ණය ඉහළ යෑම, ජාතික සම්පත් විකුණා දමන්නට සිදු වීම, කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම වේගවත් කරන්නට සිදු වීම ජංගම ගිණුමේ හිඟය ඉහළ යෑමේ විපාකයන් වනු ඇත.

අශිෂ්ට ක‍්‍රියාදාමයක්

ගිවිසුමේ අන්තර්ගතය අවාසිදායක බව අනාවරණය කරන අතර ගිවිසුමට එළැඹීමේදී අනුගමනය කළ ක‍්‍රියදාමය පිළිබඳව ද ඉතා පුළුල් හැදෑරීමක් සිදුකර ඇති විශේෂඥ කමිටුව, ඉතා බරපතළ චෝදනා රාශියක් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා වෙත එල්ල කරයි. ඔහු මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ, ඒ සඳහා නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබාගෙන නොවේ. ඔහු මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කර ඇතත්, ඒ සඳහා ඔහුට කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශවලට යටත්ව පමණි. නමුත් නීතිපතිවරයාගේ නිර්දේශ නොතකා හැරීමට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කටයුතු කර ඇත. ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා නොගෙන පමණක් නොව, කැබිනට් මණ්ඩලයෙන් පැනවූ නිර්දේශයන් ද නොතකා හරිමිනි. බැංකු සහ මූල්‍ය, ගෙවුම් තුලනය ආරක්ෂා කිරීම සඳහා සීමාවන්, ආයෝජන, විදුලිසංදේශ සහ රක්ෂණ යන පරිච්ෙඡ්දවලට අදාළව නීතිපතිවරයා නිර්දේශ කර ඇති පරිදි ඇමැතිවරයා විසින් අනුමැතිය ලබා ගත යුතු ආයතන ගණනාවකින් ඔහු විසින් අනුමැතිය ලබාගෙන නැත. එනිසා මෙම ගිවිසුමේ නීන්‍යනුකූල වලංගුභාවය පිළිබඳව බරපතළ සැකයක් ඇති බව විශේෂඥ කමිටුව අවධාරණය කරයි.

ඉතා පුළුල් ගිවිසුමක් වන සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමකින් තොරව බවද විශේෂඥ කමිටුව අනාවරණය කර තිබේ. එලෙස අත්තනෝමතික ආකාරයට එළඹි මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුව සමඟ සාකච්ඡා කළ කණ්ඩායම එලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඔවුනට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා කිරීමට කිසිදු බලයක් පවරා නොමැති පසුබිමකය. එනම් සිංගප්පූරු රජය පවා නොදැන හෝ සාකච්ඡා පවත්වා ඇත්තේ ”හොර සාකච්ඡා කණ්ඩායමක්” සමඟය. මේ හොර සාකච්ඡා කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයන් පිළිබඳවද ගැටලූ රාශියක් ඇති බව විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ මේ පුද්ගලයන් මේ හරහා පුද්ගලික වාසි ලබන බවට අප විසින් පෙර කළ අනාවරණයන් තහවුරු කරමිනි.

”සාකච්ඡා කණ්ඩායමේ හිටපු ප‍්‍රධානියා ඇතුළු එම කණ්ඩායමේ පුද්ගලයන් කිහිප දෙනකු මෙම ගිවිසුමට අදාළව කටයුතු සිදු කිරීමේදී ඔවුන්ගේ රුචිකත්වයන් අතර ගැටුමක් ඇති බවට අප හමුවේ පළ කළ අදහස් හේතු සහගත බව පිළිගත යුතුය. එසේම, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු මෙම සාකච්ඡා කණ්ඩායමට ඇතුළත් කිරීමද ගැටලූ සහගත බව පෙනී යයි.”

සිංගප්පූරු ගිවිසුමේ නෛතිකභාවය පිළිබඳව නිර්දේශ ලබාදෙන ආයතනයක් වූ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වූ නිර්මලන් විග්නේෂ්වරන් මහතා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම ද ගැටලූ සහගත බව විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී ඇත. මේ කරුණු සලකා බලන විට කිසිදු භේදයකින් තොරව ඕනෑම පක්ෂයක අයෙකුට පිළිගන්න සිදුවන කාරණය වන්නේ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් නුසුදුසු පුද්ගලයන් යොදාගෙන නීතිමය තත්ත්වයන්, සදාචාරාත්මක බැඳීම් සහ යහපාලන මූලධර්මයන් සියල්ල උල්ලංඝනය කරමින් රටට ඉතාම අනර්ථකාරී වෙළෙඳ ගිවිසුමක රට හිර කරන්නට උත්සාහ දරා ඇති බවයි.

ආපසු හැරීම විශ්වාසභංගයයි

මෙහිදී අප තේරුම්ගත යුතු තවත් තත්ත්වයක් ඇත. එනම් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම නිසා ලංකාවේ ආනයනික බදු සිංගප්පූරුවට පමණක් වඩා වාසි සහගත බවට පත් වී ඇත. සිංගප්පූරු ගිවිසුමට අනුව, කාලය ගතවන විට ආනයනික බදු සහන හිමිවන සිංගප්පූරු භාණ්ඩ ලයිස්තුව තව තව පුළුල් වේ. මේ තත්ත්වය ඉන්දියාව සහ චීනය නො ඉවසනු ඇත. එනිසා අපට වඩා අඩු නිෂ්පාදන පිරිවැයක්, වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහ අඩු වැටුප් පවතින ඒ රටවල් සමඟද මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට දැඩි බලපෑමක්, සිංගප්පූරු ගිවිසුම විසින් ශ‍්‍රී ලංකාව වෙත ඇති කරයි. එවැනි තත්ත්වයක් තුළ දේශීය නිෂ්පාදකයන් සහ වෘත්තිකයන් දැඩි අර්බුදයකට ලක්විය හැකිය. රාජ්‍යයේ පැවැත්ම සහ ස්වෛරීභාවයද අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැක. ඒ නිසා සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීම ජාතික අවශ්‍යතාවකි.

නමුත් අප ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇත. අපට ආපසු හැරීමක් ඇතිද යන පැනය මතුවේ. පැහැදිලිවම අපට ආපසු හැරීමක් ඇත. මේ ගිවිසුම තවම ලෝක වෙළඳ සංවිධානයට දැනුම් දී නැත. එසේම ශ‍්‍රී ලංකාව තුළ මේ ගිවිසුමේ නෛතික වලංගුභාවයද ගැටලූ සහගතය. මෙම ගිවිසුමට එරෙහිව පැවරූ නඩු හතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතියි. මේ සඳහා ලංකාව නියෝජනය කළ ඇමැතිවරයා අනුගමනය කළ ක‍්‍රමවේදය කිසිසේත් පිළිගත නොහැකිය. එනිසා සිංගප්පූරුව වුවද මෙම ගිවිසුම අවලංගු කර දැමීමට එකඟ කරගත හැකි තත්ත්වයක් ඇත. නමුත් ඒ සඳහා ඇත්තේ එක් ප‍්‍රධාන බාධාවක් පමණි. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ කටයුතු කළ අමාත්‍යාංශය නිවැරදි ලෙස කටයුතු කර නොමැති බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ හෝ අධිකරණය තුළ හෝ නිල වශයෙන් තවම පිළිගෙන නැත. ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවට මලික් සමරවික‍්‍රම මහතාගේ ක‍්‍රියාදාමයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. එවිට රාජතාන්ත‍්‍රික මට්ටමේදී, ශ‍්‍රී ලංකාව පැත්තෙන් සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට එන ඉල්ලීම සාධාරණ බව සිංගප්පූරුවට පවා නොපිළිගෙන සිටීමට නොහැකිවනු ඇත.

ඒ නිසා රටේ වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව තුළ සිදු කළ යුතු ප‍්‍රමුඛතම කාර්යය වන්නේ මලික් සමරවික‍්‍රම මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවුත් එය සම්මත කිරීමයි. යහපාලනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ශිෂ්ටත්වයට ලැදි කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මේ වගකීම පැහැර හැරිය නොහැකිය. අද නියපොත්තෙන් කැපිය හැකි දේ, හෙට පොරොවෙන්වත් කැපිය නොහැකි දෙයක් බවට පත්වීම වැළැක්වීමේ වගකීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා සතුය.

ලසන්ත වික‍්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය.

[Divaina 2019-01-20]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions