1/21/2019

සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට විශ්වාසභංගයක් අවශ්‍යයි

කතෘ:යුතුකම     1/21/2019   No comments

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ යුත්තේ ගෝලීය අගය දාමය තුළ ශ‍්‍රී ලංකාව ස්ථානගත විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇතිවය. එසේ ස්ථානගත වීමට රටක් වශයෙන් අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග හඳුනාගෙන, රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය මෙන්ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය සාධක ක‍්‍රමෝපායික වශයෙන් සකස් කිරීමේ ජාතික සැලැස්මක් තුළ පමණි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මඟින් ශ‍්‍රී ලංකාවට කිසියම් වාසියක් ලබා ගත හැක්කේ. එවැනි දැක්මකින් තොරව, පෞද්ගලික පටු පරමාර්ථ මුදුන්පත් කිරීම සඳහා ගිවිසුම්වලට එළැඹීම මගින් රටේ ආර්ථිකයත් වර්තමාන සහ අනාගත පරම්පරාවත් දැඩි අවදානමකට ලක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව එක හඬින් කියා සිටියේ ජාතික වෙළෙඳ ප‍්‍රතිපත්තියක් සකස් නොකර, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සඳහා සාකච්ඡා පැවැත්වීමෙන් වළකින ලෙසයි.

අවාසි සහගත ගිවිසුමක්

මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය මඟින් මෙහෙයවූ නිලධාරීන් ක‍්‍රියා කළේ තමන් වෙත ඒකාධිපති බලයක් ආරූඩ කරගෙන ජාත්‍යන්තර වෙළඳාමේ කිසිදු ලාංකීය පාර්ශ්ව කරුවෙකු ගේ අදහස්වලට සවන් දීමකින් තොරවය. එලෙස අත්තනෝමතික ලෙස මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් 2018 ජනවාරි 23 වන දින සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේය. රජය මුලින් ප‍්‍රකාශ කළේ අපනයන දිරි ගැන්වීමේ අරමුණ ඇතිව මෙම ගිවිසුම අත්සන් කළ බවයි. එය අධ්‍යනය කළ අප, සිංගප්පූරු ගිවිසුම මඟින් එකදු ශ‍්‍රී ලාංකික අපනයන භාණ්ඩයකටවත් වාසියක් අත්නොවන බව ප‍්‍රකාශ කළ අතර, පසුව අමාත්‍යවරයාටත් ඔහුගේ සාකච්ඡා කණ්ඩායමටත් එය පිළිගන්නට සිදු විය. ඒ කාරණය සිංගප්පූරු ගිවිසුම පිළිබඳව අධ්‍යනය කළ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂඥ කමිටු වාර්තාවේ ද මෙලෙස සඳහන් වේ.

”සාමාන්‍යයෙන්, නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ මූලිකම අභිප‍්‍රාය වන්නේ වෙළෙඳපළ අවකාශය පුළුල් කර ගැනීමයි. නමුත් ශ‍්‍රී ලංකාවේ කිසිදු අපනයනයකට වෙළෙඳපළ පුළුල් වීමේ වාසියක් සිංගප්පූරු ගිවිසුම මගින් සැලසෙන්නේ නැත.”

භාණ්ඩ අංශයෙන් පමණක් නොව, සේවා අංශයෙන්ද සිංගප්පූරු ගිවිසුම මඟින් ශ‍්‍රී ලාංකිකයන්ට ලැබුණු නව අවස්ථාවක් නැත. සිංගප්පූරුව විසින් සිදු කර ඇත්තේ ගිවිසුමට පෙරත් ශ‍්‍රී ලංකාව ඇතුළු පොදුවේ සියලූ රටවල් සඳහා ඔවුන් විසින් විවෘත කර තිබූ සේවා අංශයන් ම මෙම ගිවිසුමට ද ඇතුළත් කිරීමයි. ඒ අනුව ගිවිසුමෙන් ශ‍්‍රී ලාංකිකයන්ට අලූතෙන් ලැබුණු දෙයක් නැත. සිංගප්පූරුව විසින් ඔවුනගේ සේවා අංශය ශක්තිමත් අභ්‍යන්තර නීති පද්ධතියක් සහ විධිමත් රෙගුලාසි මගින් ආරක්ෂණය කර ඒ සඳහා විධිමත් ආයතනික පද්ධතියක්ද ස්ථාපනය කර ඇති නමුත් ශ‍්‍රී ලංකාවට එලෙස ශක්තිමත් නීති පද්ධතියක් හෝ වෘත්තිකයන් ලියාපදිංචියට හා නියාමනයට අවශ්‍ය රෙගුලාසි හෝ ආයතන හෝ නැත. ශ‍්‍රී ලංකාව විසින් සිංගප්පූරු භාණ්ඩ සහ සේවා සඳහා ලාංකීය වෙළෙඳපළ පුළුල් කර ඇති නමුත් ලාංකිකයන්ට කිසිදු ප‍්‍රතිලාභයක් සැලසී නැති සිංගප්පූරු ගිවිසුම හුදෙක් ඒක පාර්ශ්වීය ගිවිසුමකි. සිංගප්පූරු ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට පාඩු මිස වාසියක් නොමැති බවට චෝදනා දිගින් දිගටම එල්ල වන විට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කළ එකම දෙය වූයේ මෙම ගිවිසුම නිසා විදේශ ආයෝජකයන් එන බවට සාස්තර කීම පමණි. නමුත් ඒ පිළිබඳවද විශේෂඥ කමිටු වාර්තාවේ සාරාංශ කොටසේ මෙලෙස සඳහන් වේ.

”අපගේ කොමිසමට අදහස් ඉදිරිපත් කළ ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංවර්ධන ක‍්‍රමෝපාය අමාත්‍යාංශයේ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ සිංගප්පූරු ගිවිසුම විදේශ ආයෝජනයන්ට හිතකර පරිසරයක් ඇති කරනු ඇති බවයි. ඒ අනුව, සෘජු විදෙස් ආයෝජනවල ඉහළ යෑමක් බලාපොරොත්තු වන බව ඔවුහු ප‍්‍රකාශ කළහ. කෙසේ නමුත් විශේෂඥ කමිටුවේ අදහස වන්නේ ශ‍්‍රී ලංකාව තුළ පවතින අඩු තරගකාරීත්වය සහ අඩු පලදායිතාව හේතුවෙන්,

සිංගප්පූරු ගිවිසුම අත්සන් කළ පමණින් විදෙස් ආයෝජන ඉහළ නොයන බවයි.”

සිංගප්පූරු ගිවිසුම සකස් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් පිටවන මුදල් ප‍්‍රමාණය ඉහළ යන ලෙසත් ලංකාව තුළට මුදල් ගලා එන කිසිදු ආකාරයක් ඇතුළත් නොවන ලෙසත්ය. එය දැනටමත් අර්බුදයකට ලක් කර ඇති ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ජංගම ගිණුමේ හිඟය උත්සන්න වීමට හේතුවනු ඇත. රුපියල අවප‍්‍රමාණය වීම, විදෙස් ණය ඉහළ යෑම, ජාතික සම්පත් විකුණා දමන්නට සිදු වීම, කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම වේගවත් කරන්නට සිදු වීම ජංගම ගිණුමේ හිඟය ඉහළ යෑමේ විපාකයන් වනු ඇත.

අශිෂ්ට ක‍්‍රියාදාමයක්

ගිවිසුමේ අන්තර්ගතය අවාසිදායක බව අනාවරණය කරන අතර ගිවිසුමට එළැඹීමේදී අනුගමනය කළ ක‍්‍රියදාමය පිළිබඳව ද ඉතා පුළුල් හැදෑරීමක් සිදුකර ඇති විශේෂඥ කමිටුව, ඉතා බරපතළ චෝදනා රාශියක් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා වෙත එල්ල කරයි. ඔහු මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ, ඒ සඳහා නිසි පරිදි කැබිනට් අනුමැතිය ලබාගෙන නොවේ. ඔහු මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කර ඇතත්, ඒ සඳහා ඔහුට කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ නිර්දේශවලට යටත්ව පමණි. නමුත් නීතිපතිවරයාගේ නිර්දේශ නොතකා හැරීමට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා කටයුතු කර ඇත. ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කැබිනට් අනුමැතිය ලබා නොගෙන පමණක් නොව, කැබිනට් මණ්ඩලයෙන් පැනවූ නිර්දේශයන් ද නොතකා හරිමිනි. බැංකු සහ මූල්‍ය, ගෙවුම් තුලනය ආරක්ෂා කිරීම සඳහා සීමාවන්, ආයෝජන, විදුලිසංදේශ සහ රක්ෂණ යන පරිච්ෙඡ්දවලට අදාළව නීතිපතිවරයා නිර්දේශ කර ඇති පරිදි ඇමැතිවරයා විසින් අනුමැතිය ලබා ගත යුතු ආයතන ගණනාවකින් ඔහු විසින් අනුමැතිය ලබාගෙන නැත. එනිසා මෙම ගිවිසුමේ නීන්‍යනුකූල වලංගුභාවය පිළිබඳව බරපතළ සැකයක් ඇති බව විශේෂඥ කමිටුව අවධාරණය කරයි.

ඉතා පුළුල් ගිවිසුමක් වන සිංගප්පූරු ගිවිසුම අත්සන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමකින් තොරව බවද විශේෂඥ කමිටුව අනාවරණය කර තිබේ. එලෙස අත්තනෝමතික ආකාරයට එළඹි මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුව සමඟ සාකච්ඡා කළ කණ්ඩායම එලෙස සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඔවුනට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සාකච්ඡා කිරීමට කිසිදු බලයක් පවරා නොමැති පසුබිමකය. එනම් සිංගප්පූරු රජය පවා නොදැන හෝ සාකච්ඡා පවත්වා ඇත්තේ ”හොර සාකච්ඡා කණ්ඩායමක්” සමඟය. මේ හොර සාකච්ඡා කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයන් පිළිබඳවද ගැටලූ රාශියක් ඇති බව විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ මේ පුද්ගලයන් මේ හරහා පුද්ගලික වාසි ලබන බවට අප විසින් පෙර කළ අනාවරණයන් තහවුරු කරමිනි.

”සාකච්ඡා කණ්ඩායමේ හිටපු ප‍්‍රධානියා ඇතුළු එම කණ්ඩායමේ පුද්ගලයන් කිහිප දෙනකු මෙම ගිවිසුමට අදාළව කටයුතු සිදු කිරීමේදී ඔවුන්ගේ රුචිකත්වයන් අතර ගැටුමක් ඇති බවට අප හමුවේ පළ කළ අදහස් හේතු සහගත බව පිළිගත යුතුය. එසේම, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු මෙම සාකච්ඡා කණ්ඩායමට ඇතුළත් කිරීමද ගැටලූ සහගත බව පෙනී යයි.”

සිංගප්පූරු ගිවිසුමේ නෛතිකභාවය පිළිබඳව නිර්දේශ ලබාදෙන ආයතනයක් වූ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වූ නිර්මලන් විග්නේෂ්වරන් මහතා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම ද ගැටලූ සහගත බව විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී ඇත. මේ කරුණු සලකා බලන විට කිසිදු භේදයකින් තොරව ඕනෑම පක්ෂයක අයෙකුට පිළිගන්න සිදුවන කාරණය වන්නේ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා විසින් නුසුදුසු පුද්ගලයන් යොදාගෙන නීතිමය තත්ත්වයන්, සදාචාරාත්මක බැඳීම් සහ යහපාලන මූලධර්මයන් සියල්ල උල්ලංඝනය කරමින් රටට ඉතාම අනර්ථකාරී වෙළෙඳ ගිවිසුමක රට හිර කරන්නට උත්සාහ දරා ඇති බවයි.

ආපසු හැරීම විශ්වාසභංගයයි

මෙහිදී අප තේරුම්ගත යුතු තවත් තත්ත්වයක් ඇත. එනම් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම නිසා ලංකාවේ ආනයනික බදු සිංගප්පූරුවට පමණක් වඩා වාසි සහගත බවට පත් වී ඇත. සිංගප්පූරු ගිවිසුමට අනුව, කාලය ගතවන විට ආනයනික බදු සහන හිමිවන සිංගප්පූරු භාණ්ඩ ලයිස්තුව තව තව පුළුල් වේ. මේ තත්ත්වය ඉන්දියාව සහ චීනය නො ඉවසනු ඇත. එනිසා අපට වඩා අඩු නිෂ්පාදන පිරිවැයක්, වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහ අඩු වැටුප් පවතින ඒ රටවල් සමඟද මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට දැඩි බලපෑමක්, සිංගප්පූරු ගිවිසුම විසින් ශ‍්‍රී ලංකාව වෙත ඇති කරයි. එවැනි තත්ත්වයක් තුළ දේශීය නිෂ්පාදකයන් සහ වෘත්තිකයන් දැඩි අර්බුදයකට ලක්විය හැකිය. රාජ්‍යයේ පැවැත්ම සහ ස්වෛරීභාවයද අභියෝගයට ලක්වීම වැළැක්විය නොහැක. ඒ නිසා සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීම ජාතික අවශ්‍යතාවකි.

නමුත් අප ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇත. අපට ආපසු හැරීමක් ඇතිද යන පැනය මතුවේ. පැහැදිලිවම අපට ආපසු හැරීමක් ඇත. මේ ගිවිසුම තවම ලෝක වෙළඳ සංවිධානයට දැනුම් දී නැත. එසේම ශ‍්‍රී ලංකාව තුළ මේ ගිවිසුමේ නෛතික වලංගුභාවයද ගැටලූ සහගතය. මෙම ගිවිසුමට එරෙහිව පැවරූ නඩු හතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතියි. මේ සඳහා ලංකාව නියෝජනය කළ ඇමැතිවරයා අනුගමනය කළ ක‍්‍රමවේදය කිසිසේත් පිළිගත නොහැකිය. එනිසා සිංගප්පූරුව වුවද මෙම ගිවිසුම අවලංගු කර දැමීමට එකඟ කරගත හැකි තත්ත්වයක් ඇත. නමුත් ඒ සඳහා ඇත්තේ එක් ප‍්‍රධාන බාධාවක් පමණි. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ කටයුතු කළ අමාත්‍යාංශය නිවැරදි ලෙස කටයුතු කර නොමැති බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ හෝ අධිකරණය තුළ හෝ නිල වශයෙන් තවම පිළිගෙන නැත. ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවට මලික් සමරවික‍්‍රම මහතාගේ ක‍්‍රියාදාමයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමයි. එවිට රාජතාන්ත‍්‍රික මට්ටමේදී, ශ‍්‍රී ලංකාව පැත්තෙන් සිංගප්පූරු ගිවිසුම අවලංගු කිරීමට එන ඉල්ලීම සාධාරණ බව සිංගප්පූරුවට පවා නොපිළිගෙන සිටීමට නොහැකිවනු ඇත.

ඒ නිසා රටේ වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුව තුළ සිදු කළ යුතු ප‍්‍රමුඛතම කාර්යය වන්නේ මලික් සමරවික‍්‍රම මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවුත් එය සම්මත කිරීමයි. යහපාලනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ශිෂ්ටත්වයට ලැදි කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මේ වගකීම පැහැර හැරිය නොහැකිය. අද නියපොත්තෙන් කැපිය හැකි දේ, හෙට පොරොවෙන්වත් කැපිය නොහැකි දෙයක් බවට පත්වීම වැළැක්වීමේ වගකීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා සතුය.

ලසන්ත වික‍්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය.

[Divaina 2019-01-20]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions