“අපගේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට සාහිත්‍ය මෙන් ම ජනප්‍රවාද ද යොදා ගැනීමට සිදු වේ. ඒ එකක්වත් මිථ්‍යාවන් සේ සලකා බැහැර කළ යුතු නොවේ”. (නලින් ද සිල්වා - කාලය 2011)
නලින් සර්ගේ ඉහත ප්‍රකාශය අද වෙන කවරදාටත් වඩා අපගේ අවධානයට යොමු විය යුත්තකි. මේ වන විට අපි අපේ පැරන්නනගේ ප්‍රවාද මිථ්‍යාවන් ලෙස සලකමින් ඒවා එකින් එක ඉවත් කරමින් සිටින්නෙමු. ඒ සිංහල බෞද්ධයන් ද ගෙවී ගිය සියවස තුල බටහිර දැනුම එකම දැනුම ලෙස සලකන අවිචාරශීලී ජාතියක් බවට පත් වෙමින් සිටින බැවිනි.
ග්‍රීක දර්ශනය බටහිර දර්ශනය බවට පත් වීමට පෙර, ලෝකයේ ඉතිහාස ග්‍රන්ථ ලියවෙන්නට ද පෙර අවදියක ලියවුණු සිංහලයින්ගේ වංශකතාව වූ මහාවංසයේ ඇතුළත්, බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම පිළිබද පුවත ඇතැමුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ සදහා අවශ්‍ය ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක සාක්ෂි ද නොමැති බව සඳහන් කරමිනි. තම මතය සනාථ කිරීමට එම තර්කයම ඔවුන් අනිත් අතට ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ ව සඳහනක් ත්‍රිපිටකයේ නොමැති බැවින් බුදුන් වහන්සේගේ ලංකා ගමන පිළිගත නොහැකි බව පැසීමටය. ඒ නවීන විද්‍යාවට පිටදුන් බටහිර ද්විකෝටික චින්තනයේ ස්වභාවයයි.
ඉතිහාසයක් ඇති සෑම ශිෂ්ට සම්පන්න ජාතියකට ම තමන්ට ම අනන්‍ය වූ සම්ප්‍රදායික ප්‍රවාද (myths) ඇත. ක්‍රිස්තු පූර්ව ග්‍රීසිය තුළ සිදු වූයේ මෙම ප්‍රවාදයන් ග්‍රීක දර්ශනවාදීන්ගේ කතන්දරවලින් විස්ථාපනය වීම ය. බටහිර නූතන විද්‍යාව ද පහළොස් වැනි සියවසේ දී බටහිර දර්ශනය බවට පත් වූ ග්‍රීක දර්ශනයේම දිගුවකි. බටහිර පුනරුදයේ පදනම එසේ වැඩුනු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි.
එහෙත් අපේ පාසැල්වල හා විශ්ව විද්‍යාල තුළ විද්‍යාවේ ඉතිහාස කතන්දරය නො උගන්වා, විද්‍යාව නිරපේක්ෂ වූ පරම සත්‍යයක් ලෙසින් ඉගැන්වෙයි. අද ද ඇතැම් පසුගාමී දේශපාලන පක්ෂ මේ රටේ පුනරුද යුගයක් නිර්මාණය කිරීමට උත්සුකවන්නේ ඔවුන් බටහිර දර්ශනය පිළිබඳව ඉතිහාස කතන්දරය නොදන්නා බැවින් විය හැක.
‘පුනරුද යුගයක්’ නිර්මාණය කිරීමට නම් අප අපගේ සම්ප්‍රදායික ප්‍රවාද ඉවත දැමිය යුතුය. එසේ විය හැක්කේ බුදුන් වහන්සේ ලක්දිව වැඩම වීම පමණක් නොව, මහින්දාගමනය, ජයසිරි මහබෝධිය, ගැමුණු රජතුමා, රුවන්වැලි සෑය ඇතුළු තවත් බොහෝ ප්‍රවාදයන් අත්හැරීමට සිංහලයින් සූදානම් නම් පමණෙකි. එහෙත් ගෙවීගිය සතියේදී ඔවුන් ප්‍රත්‍යක්ෂ ලෙසින් පෙන්වා දුන්නේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ ප්‍රවාදය ධාතු පරිනිර්වාණය දක්වා අත් නොහරින බවය.
සම්ප්‍රදායික ප්‍රවාද පිළිබඳ සප්‍රමාණික විද්වතෙකු වූ ජෝසෆ් කැම්ප්බෙල්ට අනුව ප්‍රවාද අවශ්‍ය වන්නේ ජීවිතයට අරුතක් සොයා ගැනීමට නොව ජීවිතය සමඟ යළි එකතු වී ජීවත් වීම සඳහාය. ජීවිතයට අරුතක් සොයා යෑමට අවශ්‍ය වන්නේ දර්ශනවාදයන් ය. ජීවිතය සමඟ යළි සම්බන්ධ වන්නට අපට අවශ්‍ය වන්නේ ප්‍රවාදයන් ය. දර්ශනයන් බොහෝ විට වියුක්ත වන අතර ප්‍රවාදයන් සෑම විටම වාගේ සංගත වෙයි.
ගුණපාල මලලසේකර මහතාගේ ශබ්ද කෝෂයේ ‘myth’ යන්න ‘පොදුවේ පිළිගත් එහෙත් සාවද්‍ය මතයක්’ යනුවෙන් අර්ථ දක්වා ඇත. එය සෑම ප්‍රවාදයක් ම බොරුවක්ය යන හැඟීම ජනනය කරවන්නෙකි. අප විමසිලිවත් විය යුත්තේ අපේ ප්‍රවාද තවත් එවැනිම ප්‍රවාදයක් වූ බටහිර විද්‍යාවට අනුකුල වන්නේද නොවන්නේද යන්න නොව, ඒ තුළින් අපට උරුම වූ අප ජීවත් වන චින්තන ප්‍රවාහය හා යළි එකතු වීමට හැකිදැයි යන්න පිළිබඳව ය.
විසිවැනි සියවසේ මුල් යුගයේ ජාතික ව්‍යාපරයේ පුරෝගාමී චින්තකයා වූ අනගාරික ධර්මපාල තුමා අපේ දරුවන්ට අපේ ප්‍රවාද ඇතුලත් වන මහාවංශය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මලංකාරය වැනි පොත්වල කතන්දර කියා නොදීම අනාගතයේ ඇති විය හැකි බරපතළ විපතක පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇත. අපි අද එහි ප්‍රතිඵල අත්විඳිමින් සිටින්නෙමු.
නලින් සර්ගේ ප්‍රවාද අත්‍යවශ්‍යම කාලයකදී එතුමා අප හැර යෑම මහත් වූ අභාග්‍යයකි. එතුමා පතන අයුරින්ම යළිත් අප අතරම ඉපදේවා යැ යි පතමු.
-මහාචාර්ය වසන්ත දේවසිරි
-මහාචාර්ය වසන්ත දේවසිරි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .