![]() |
මන්තුවිල්හි කල්වලෙයි |
ලක්දිව උතුරුකරයේ පිහිටි මෙලක් පොළොවෙන් අතුරුදහන් වී ගිය පූජ්‍යස්ථාන පිළිබඳ සාකච්ඡා කිරීමට ලියැවෙන මෙම ලිපි මාලාවේ තෙවැන්න ලෙස චාවකච්චේරි, මන්තුවිල් සහ කරවෙඩ්ඩි යන්න ප්‍රදේශවලින් වාර්තා වී ඇති පුරාවිද්‍යා ස්ථාන ත්‍රිත්වයක් පිළිබඳ මෙහි සාකච්ඡා කෙරේ.
චාවකච්චේරි කොඩ්ඩාඩිවලවු නටබුන්
පරණ නුවර මාර්ගයේ එනම් වර්තමාන චාවකච්චේරි කච්චෙයි මාර්ගයේ ශාන්ත ලිගරි පල්ලියට නුදුරින් පිහිටි කොඩ්ඩාඩිවලවු නම් පුරාවිද්‍යා ස්ථානයක් සම්බන්ධයෙන් එස්. ඥානප්‍රකාසර් පියතුමා සඳහන් කරයි. එහි එකල කල්පිට්ටි ලෙස හැඳින් වූ නටබුන් ගොඩැල්ලක් වූ බව දක්වන එතුමා, එහි වූ පැරණි බිත්ති පාදම්, පැරණි බදින ලද ළිං දෙකක් පිළිබඳ ව ද විස්තර කරයි.
මෙහි දැක්වෙන විශේෂ කරුණක් නම් එම ස්ථානයෙන් හමු වූ බව එතුමා දක්වන ත්‍රිකෝණාකාර ගඩොල් ය. මෙම ස්ථානය සම්බන්ධයෙන් වර්තමානයේ සඳහන් කිරීමක් හෝ නොමැත.
කරවෙඩ්ඩි, තුලුක්කන් කෝඩ්ඩෙයි නටබුන්
යාපනය, නෙල්ලියඩි මංසන්ධියේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇති මෙම ස්ථානය මායක්කායි හුණුගල් ගුහාවන්ට ආසන්න ප්‍රදේශයක පිහිටා තිබෙයි. මෙම ස්ථානයේ විවිධ හැඩයන්ගෙන් යුත් කොරල්ගල් කැබලි, හුණුගල් කැබලි, ගඩොල්, උළු කැබලි, වළං කටු කැබලි ද හමු වූ බව රඝුපති මහතා සඳහන් කරයි. එසේම මෙම ස්ථානයේ පොකුණක් මෙන්ම නාච්චිමාර් නම් දේවතාවියන් වෙනුවෙන් කළ ගැමි දෙවොලක් ද පිහිටි බව එතුමා සඳහන් කරයි.
මෙම ස්ථානය සම්බන්ධයෙන් කියවෙන වඩාත් ආකර්ෂණීය කරුණ වන්නේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ පූසාරිවරයෙක් මෙම ස්ථානයෙන් හමු වූ සෙල්ලිපි දෙකක් හෝ කැටයම් පුවරු දෙකක් විය හැකි ශිලාමය පුවරු දෙකක් මෙම ස්ථානයේ සිට ගෙනගොස් තමන්ගේ පෞද්ගලික පෙරියතම්බිරාන් කෝවිලේ ඇතුළු ගර්භයේ මිහිදන් කළ බව රඝුපති මහතා සමග පවසා තිබීම යි. මන්තුවිල්, කල්වලෙයි නටබුන්
මන්තුවිල්හි කල්වලෙයි නොහොත් තල්වලෙයි නම් පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ සාකච්ඡා කරන එස්. ඥානප්‍රකාසර් පියතුමා එම ස්ථානයට යෙදෙන තල්වලෙයි යන නාමය සිංහල නාමයක් බව ප්‍රකාශ කරයි. එසේම මේ අවට තිබෙන සිංහල ග්‍රාම නාම සහිත ස්ථාන කිහිපයක් ද එතුමා වාර්තා කරයි.
මෙම ස්ථානයේ තිබෙන කොඩ්ඩෙයිතිඩල් නොමැති නම් කොටුගොඩැල්ල නම් ස්ථානය පිළිබඳ සඳහන් කරන එතුමා එම ස්ථානයේ දී දකින වඩාත්ම වැදගත් පුරාවස්තුව ලෙස දක්වන්නේ ගඩොල් බැමි ආදියෙන් වට වූ චතුරස්‍රාකාර බලකොටුවක් වැනි භුමිය යි. තවත් ගොඩනැගිලි නටබුන් රාශියක් පිළිබඳ සඳහන් කරන එතුමා මෙම ස්ථානයේ භාවිතා කළ ගඩොල් 12×8 ප්‍රමාණයේ ගඩොළු බව ද දක්වයි. එසේම ඒ අවස්ථාව වන විටත් ජනතාව කරත්ත මගින් මෙම ස්ථානයේ නටබුන් ඉවත් කරගෙන යාමට පුරුදු වී සිටි බවත් එතුමා සඳහන් කරයි.
මෙම ස්ථානයෙන් ආරම්භ වූ නාච්චිමාර් නම් දේව ඇදහිල්ලක් ද විස්තර කරන ඥානප්‍රකාසර් පියතුමා එහි වූ අයියනාර්. නාගතම්බිරාන්, නාච්චිමාර්, බහිරව සහ අන්නමාර් දෙවිවරුන් වෙනුවෙන් වෙන් වූ ප්‍රාථමික කෝවිලක් සම්බන්ධයෙන් ද වාර්තා කරයි.
එම වාර්තා කිරීමට කාලයකට අනතුරුව මෙම ස්ථානය සම්බන්ධයෙන් පොන්නම්බලම් රඝුපති මහතා වාර්තා කරන විට මෙම ස්ථානයට යාබද ව පිල්ලෙයාර් කෝවිලක් ගොඩනැගී තිබේ. කොටු බැමිවලට අමතර ව එතුමාට මෙම ස්ථානයෙන් 4 වැනි සියවස පමණ කාලයේ රෝම කාසි ලැබෙන අතර මෙම ස්ථානයේ පැවති නාච්චිමාර්, අන්නමාර් ආදී වන්දනාවන් ඔහු දකින්නේ මෙහි පැවති බළකොටුවක අතීත යුධ සංස්කෘතියේ අවශේෂ ලෙසින් ය. එතුමා මෙය සහ තමිල්නාඩුවේ සිට පැමිණ මෙහි ලුණු නිපැයීමට පැමිණි තොණ්ඩමන් සෙනෙවිවරයා පිළිබඳ ජනප්‍රවාදගත පුවතට සම්බන්ධ කරයි. ඒ අනුව එසේ පැමිණි පළමු කුලෝත්තුං රජුගේ සෙනෙවියෙක් වූ කරුණාකර තොණ්ඩමන් උප්පාරු කලපුවේ ලුණු සෑදීමට; පසු ව ඔහු නමින් තොණ්ඩමනාරු නම් වූ ඇළක් හරහා, කලපුව මුහුදට යා කරයි. උප්පාරු අසළ ඔහු බලකොටුවක් කරවූ බව කියවෙන අතර කල්වලෙයි නටබුන් පිහිටා ඇත්තේ ඒ අසළ ය. මෙයට ආසන්න ප්‍රධාන නගරය වන මන්තුවිල්/ මට්ටුවිල් යනු 12 වැනි සියවසේ චෝල සෙල්ලිපිවල ද කියවෙන ස්ථානයක් බවත් සිහිපත් කළ යුතු ය.
මෙම ස්ථාන බෞද්ධ විහාර ලෙස අර්ථකථනය කිරීමට නොහැකි සහ සාක්ෂි නොමැති ව එසේ නොකළ යුතු වුවත් කුමන හෝ ආකාරයකට මේවා යාපනය අර්ධද්වීපයේ අතීත කතාව එළිදක්වන පුරාවිද්‍යා ස්ථාන වේ. යාපනය අර්ධද්වීපය පුරාවිද්‍යා සංහාරයකට ලක් වූ ස්ථානයක් වැනි බැව් අප විසින් පෙර ද කියන ලදි. මේවා බලකොටු වීමට ඉඩ තිබේ; නැතහොත් හුදු පුරාණ ජනාවාසස්ථාන, කාර්මිකස්ථාන වීමට තිබේ; අනෙක් අතට ඇතැම් විට මේවා බෞද්ධ විහාරස්ථාන වීමට ද ඉඩ තිබේ. කෙසේ වුවත් කුමන හෝ පුරාවස්තුවක් යනු සමස්ත ජාතියේම උරුමයක් බැවින් ඒවා ආරක්ෂා කිරීමට වගකීමක් සියල්ලන්ටම තිබේ. එනමුත් වසර පනහකට පමණ පෙර වාර්තා කරන ලද මෙම ස්ථාන සියල්ල අද වන විට කිසිසේත්ම හඳුනාගත නොහැකි ආකාරයට අතුරුදහන් වී හමාර ය.
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .