11/12/2023

නවකතාවෙන් දේශපාලනය ලියන්න බෑ කියන්නෙ විශාල දුර්මතයක් – ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     11/12/2023   No comments

ගුණදාස අමරසේකර වූ කලී සිංහල සාහිත්‍යයේ වඩාත්ම විප්ලවවාදී සහ කතාබහට ලක් වූ ලේඛකයාය. එක්දහස් නවසිය පනහේ දශකයේ මුල සාහිත්‍යකරණයට පිවිස තවමත් සාහිත කලා ජීවය නොසිඳී තරුණ ජවයෙන් ලියන ඔහු සිංහල ප්‍රබන්ධයේ කඩඉම් කෘති රැසක් බිහි කර ඇත. ‘කරුමක්කාරයෝ’, ‘දෙපා නොලද්දෝ’, ‘යළි උපන්නෙමි’ වැනි නවකතා, ‘ජීවන සුවඳ’, ‘ගල් පිළිමය හා බොල් පිළිමය’, ‘පිළිම ලොවයි පියෙවි ලොවයි’, ‘විල්තෙර මරණය’ වැනි කෙටිකතා සංග්‍රහ ඊට නිදසුන්ය. සිය 90 වෙනි වයස් කඩඉමේදී ඔහු ලියූ ‘සංක්‍රාන්ති සමයක’ නවකතාව විස්මයාවහ කලාත්මකභාවයකින් යුතු වන අතර නොබෝදා ඔහු තවත් නවකතාවක් එළිදැක්වීය. ඒ, ‘මහගෙදර’ ය. මේ සම්මුඛ සාකච්ඡාව පවත්වනු ලබන්නේ ඔහුගේ එම අවසන් නවකතා ද්වය පාදක කරගෙන වුවත් ඊට ආසන්න තවත් හේතුවක් තිබේ. ඒ, ඔහු 94 වෙනි වියට පා තැබීමය. සැබැවින්ම අද (12 වෙනිදා) ඔහුගේ 94 වෙනි උපන්දිනයයි. අප ඔහුට සුබ උපන්දිනයක් පතන අතර මේ අප ඔහු හා කළ සංවාදයයි:

ඔබේ අලුත් නවකතාව ‘මහගෙදර’ ආරම්භ වන්නේ ඔබේ ගාල්ලේ යටලමත්තේ තිබූ මහගෙදර ඔබට අහිමි වීම පිළිබඳ කතාන්දරයෙන්. මා දන්නා විධියට යටලමත්තේ නිවස ඔබේ ඥාතීන් විසින් විකුණා තිබෙන්නේ දැනට වසර දහයකට පහළොවකට පමණ පෙර. එවැනි අතීත සිදුවීමක් ඔබ මේ මොහොතේ කරළියට ගත්තේ ඇයි?

ඇත්ත වශයෙන් මට ඕන වුණේ මහගෙදර එක්තරා සංකේතයක් වශයෙන් අරගන්න. ඒ කිව්වෙ පහුගිය කාලය තුළ මේ රටට වෙච්ච විනාශය මහගෙදරට සිදු වූ අකරතැබ්බ ඇසුරෙන් කථා කරන්න. මහගෙදර ගොඩනඟලා එහි මුලින්ම පදිංචි වෙලා තියෙන්නෙ මේ රටට, සංස්කෘතියට ආදරය කළ එහි උරුමක්කාරයො කොටසක්. ඒ කිව්වෙ වෙල්ලස්ස කැරැල්ල නිසා එහෙන් මෙහෙට පැනලා ආ මයිල් රාවණා ඇතුළු පිරිසක්. ඒ මුල් පරම්පරාවෙන් පස්සෙ මහගෙදර දේශපාලනඥයො අතට ගියා. මුලින්ම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට. ඊළඟට එක්සත් ජාතික පක්ෂය අතට. ඊට පස්සෙ ජේවීපී එකත් ඒකට සම්බන්ධ වුණා. කථානායකයාගේ අයියා මහගෙදර ඇතුළෙ මුලින්ම අනගාරික ධර්මපාලතුමාගේ පිංතූරය අලවනවා. ඊළඟට එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ පිංතූරය අලවනවා. ඊළඟට ඩඩ්ලි සේනානායකගේ පිංතූරය අලවනවා. ඒවගේම එය ජේවීපී පක්ෂ කාර්යාලයකුත් වෙනවා. මේ විධියට මහගෙදර දේශපාලනඥයන්ගේ මධ්‍යස්ථානයක් වෙනවා. ඉතින් මහගෙදරින් සංකේතවත් වෙන්නෙ අපේ රටට අත්වූ ඉරණම. මට කියන්න ඕන වුණේ සභ්‍යත්වයේ සංකේතයක් විධියට පටන්ගත්තු මහගෙදර අන්තිමේ එන්ජීඕකාරයන්ගේයි නොයෙකුත් විජාතික, රටට එරෙහි ආගමික බලවේගවලයි – මෙහිදී බෝන් අගේන් සංවිධානයේ – තිප්පළක් බවට පත් වෙලා ඒ මුල් සභ්‍යත්වය විනාශ වන අයුරුයි.

මහගෙදර කතාන්දරයේ ඔබේ මහගෙදර කතාවත් ඒ විධියටම කියවෙනවාද?

සෑහෙන දුරට කියවෙනවා. අපේ මහගෙදරත් ජර්මන්කාරයෙක් සල්ලිවලට අරගෙන තිබුණා. මං ගෙදරට ගිය වෙලාවේ දැක්කා ඔහු එහි එන්ජීඕ එකක් කරගෙන යනවා. නවකතාවේ කියවෙන්නෙ ජර්මන්කාරයා ලෝක කපටියෙක් විධියට. ඔහු නියම එන්ජීඕකාරයෙක්. ඔහුගෙන් පස්සෙ මහගේ තවත් එන්ජීඕ නඩයකට ගියා. එහිදී තමයි ඒක බෝන් අගේන්ලාගේ එසෙම්බ්ලී ඔෆ් ගෝඩ්වල (දෙවියන්ගේ හමුවේ) රැස්වීම් පොළක් බවට පත් වෙන්නෙ. මං දකින විධියට මේ නවකතාවේ වැදගත්කම මගේ මහගෙදර කතාව නෙවෙයි, මහගෙදරින් සංකේතවත් වන පුළුල් සමාජ දේශපාලන කතාන්දරයයි. එය පුළුල් අරුතින් වටහා නොගත්තොත් නවකතාවෙන් ඇති වැඩක් නැහැ.

නවකතාව අවසානයේ ඔබ කෙළින්ම කියනවා “…. ‘අපේ මහගෙදරට වුණු දේම නේද අපේ රටටත් වෙන්න යන්නෙ?”’ කියල.

ඇත්ත වශයෙන් එහෙම ඍජුව කියන්න ඕන නෑ. මොකද නවකතාව කියවද්දි පාඨකයාට තේරෙන්න ඕන මේක මහගෙදර ගැන කතාව නෙවෙයි, රටට, ජාතියට සිද්ධ වූ විපත කියල. මං ඒක නවකතාවේ කෙළින්ම සඳහන් කළේ හුඟක් පාඨකයන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් දේවල් තේරෙන්නෙ නැති නිසයි.

මෙහි කතානායකයා කිසියම් දුරට නිරීක්ෂකයෙක්. ඔහු නවකතාවේ අගට යනකන් මැදිහත්ව ඉන්නවා. පැත්තක් ගන්නෙ නෑ. ඔහු පිටරට ගොස් ආචාර්ය උපාධියකුත් ලබනවා. නම දාස. ඒත් කතාව අවසානයේ ඔහු එක් දේශපාලන දහමකට අනුගත වෙනවා. එම චරිතයෙන් ඔබේ චරිතයත් යම්තාක් කියවෙන බව පේනවා.

කතානායකයා ඇත්තටම වෙල්ලස්සෙන් ආ පරපුරෙන් අන්තිමට බිහි වන පුද්ගලයා. ඔහු නිරීක්ෂකයකු වගේ පෙනුණා වුණත් ඔහු හසුරුවනු ලබන්නේ මේ රටේ සභ්‍යත්ව උරුමය විසින්. මගේ චරිතය, මගේ දර්ශනය ඉන් එළියට ඒම වළක්වන්න බෑ. මාත් මුලදි පේරාදෙණි සාහිත්‍යයේ අනුගාමිකයෙක් වෙනවානෙ. එතකොට මේ කියන දාසගේ චරිතය ගොඩනැඟෙන්න මගේ පෞද්ගලික ජීවිතයත් බලපාන්න ඇති. හැබැයි ඒක මං හිතාමතා කරපු දෙයක් නෙවෙයි.

මෙහි තවත් වැදගත් චරිතයක් තිබෙනවා. ඒ, මහාචාර්ය මාරසිංහ චරිතය. එය කතානායකයාට පරස්පර චරිතයක්. රටට, ජාතිකත්වයට එරෙහි එන්ජීඕ කප්පිත්තෙක්. ඔහු බලන්නෙ කතානායකයා වන දාසවත් ඔහුගේ පැත්තට හරවා ගන්න. දාසට ඇමෙරිකාවට යන්න ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබෙන්නෙත් ඒ නිසයි. ඔහුත් මුලදී මහාචාර්ය මාරසිංහගේ අනුගාමිකයෙක් වෙනවා. ඒත් ඇමෙරිකාවේදී ඔහුට වැඩ කරන්න සිදු වන ආචාර්ය නිව්මන්ගේ ක්‍රියාකලාපයෙන් ඔහුගේ ඇස් පෑදෙනවා. ඔහු හසු වී ඇති උගුල ඔහුට තේරුම් යනවා. ඉතින් අවසානයේ ඔහු ඔහුගේ ග්‍රහණයෙන් මිදෙනවා. නවකතාවේ තේමාව ඔවුන් දෙදෙනා අතර මතු වන ආධ්‍යාත්මික ගැටුමයි. ඒත් ගැටුම අවසානයේ සභ්‍යත්ව දෙකක් අතර ගැටුමකුයි ඉදිරිපත් වෙන්නෙ.

අපේ උරුමය විනාශ කරන්න ඉස්සරත් ව්‍යාපාර පැවතුණා. අදත් පවතිනවා. නවකතාවේ එන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ‘ෆ්‍රයිඩේ ෆෝරම්’ ව්‍යාපාරයත් එහෙම එකක්. ඒවා සංවිධානය කරන මිනිසුන්ට කිසි සභ්‍යත්ව උරුමයක් නැහැ. බෞද්ධ සභ්‍යත්වයෙන් වියෝ වූ ඔවුන්ට ඕන කරන්නෙ අපේ අතීත උරුමය විනාශ කරන්න. මහාචාර්ය මාරසිංහ චරිතය පෙනී ඉන්නෙ ඒ වෙනුවෙන්. ඔවුන් කියනවා මහාවංශය පල්බොරුවක්ය, ඒක අලුතින් ලියන්න ඕනය කියල. ඔවුන් මාර්ටින් වික්‍රමසිංහටත් පහර දෙනවා ඔහු නැති දේවල් ඔළුවෙ තියාගෙන ඇත්ත කියල බොරුවක් පෙන්නලා දුන්නා කියල. මේ විජාතික බලවේගයට රට වගේම මහගෙදරත් ගොදුරු වෙන සැටියි නවකතාවෙන් මං කියන්න උත්සාහ ගත්තෙ.

නවකතාව තුළ දාසගේ අයියාගේ චරිතයත් හුඟක් කියවෙනවා. එම චරිතය නිමවන්න ඔබේම අයියා කොච්චර බලපෑවාද?

අපේ අයියා නවකතාවේ එන චරිතයට හුඟක් දුරට සමීපයි. ඔහු මුල් අවදියේ මුළුමනින් ශ්‍රී ලංකාකාරයෙක්. ඉස්කෝලෙ යන කාලෙම ඔහු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට ලියුමකුත් යවපු බණ්ඩාරනායක වාදියෙක්. ඔහු ලොකු තැනකින් විවාහ වුණේ. විවාහයෙන් පස්සෙ එහෙම පිටින්ම එක්සත් ජාතික පක්ෂයට හැරුණා. නවකතාවේ කියවෙනවානෙ ඔහු මුලදි ගෙදර අනගාරික ධර්මපාලතුමාගේ පිංතූරයක් ගසාගෙන පස්සෙ එතන බණ්ඩාරනායකගේ පිංතූරයක් ගසනවා කියල. ඒවගේම ඊටත් පස්සෙ ඩඩ්ලි සේනානායකගේ පිංතූරයක් ගසනවා. මේ සිද්ධි සෑහෙන දුරට ඇත්ත ඒවා.

ඔබ නවකතාකරණයේදී ඇතැම් තැන සැබෑ පුද්ගලයන්ගේ නම්, ගම් එහෙමම පාවිච්චි කරනවා. ඒවා නිර්දය විවේචන. ‘මහගෙදර’ නවකතාවේත් එවැනි දේ එනවා. උදාහරණයකට ඔබ මහාචාර්ය ගණනාථ ඔබේසේකර ගැන කරන සඳහන් කිරීම් නිර්දය විවේචනයක්. නවකතාකරණය මෙසේ වූ විට එය රසවින්දනයට බාධාවක් නැද්ද? ඒවගේම කතුවරයා විධියට ඔබට එරෙහිව නඩු හබ වැටෙන්න බැරිද?

නවකතාවක් ලියද්දි සැබෑව ඒ විධියටම ලියන්න බෑ. සැබෑවට වෙන දේවල් කිසියම් දුරකට සඟවලායි කියන්න ඕන. ඒත් ප්‍රසිද්ධ කාරණා එහිදී සඳහන් කරන්න බෑ. ඔබේසේකර ගැන විවේචනය වුණත් එහෙමයි. එතනදි කාටවත් ද්වේශසහගතව පහර දෙන්න මට ඕන වුණේ නෑ. මං කියන්නෙ පිළිගත් සත්‍යයක්. එතනදි ලේඛකයා නිර්භය වෙන්න ඕන.

මං පහුගිය කාලෙ ලියපු දේවල් ගැන තියෙන පොදු චෝදනාවක් තමයි මගේ පොත්වල දේශපාලනය වැඩියි කියල. ඒත් මං කියන්නෙ දේශපාලනය නොලිය යුතුයි යන්න අපේ සාහිත්‍යකරුවන්ගේ ඔළුවලට දාපු සාවද්‍ය අදහසක් කියල. මාර්ටින් වික්‍රමසිංහ වුණත් සම්පූර්ණයෙන් දේශපාලන ප්‍රශ්නවලට මැදිහත් වෙලා ලිව්වෙ නැහැ. ඔහු දේශපාලනය ගැන ලියන්නෙ වටින් පිටින්. ‘ගම්පෙරළියේත්’ යම්තාක් දුරකට එහෙමයි. දැන් ‘යුගාන්තය’ යුගයක අන්තයක් කියල කිව්වාට එහි යුගාන්තයක් වෙනවා කියල එච්චර පේන්නෙ නෑ. මං හිතන්නෙ දේශපාලනය ලියන එක මඟහැරීම අපේ සාහිත්‍යකරුවන්ගේ දුර්වලකමක්. මිනිහා කියන්නෙ දේශපාලන සත්ත්වයෙක්. දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් තියෙන්න බෑ.

ඔබ නවකතාව අර්ථකථනය කරන්නේ එය දේශපාලනයේ උත්තර සංවාදයක් කියල.

නොබෙල් තෑග්ග දිනූ රුසියානු ලේඛකයෙකු වන ඇලෙක්සැන්ඩර් සෝල්සිනෙට්සීන් කියනවා ශ්‍රේෂ්ඨ නවකතාකාරයා කියන්නෙ රටක් ඇතුළෙ තියෙන තවත් රාජ්‍යයක් කියල (Novelist is a state within a state). A state within a state වෙන්න නම් ඔහු දේශපාලනය ගැන ලියන්න ඕන. අපේ වෙලා තියෙන්නෙ අපි විවේචනය කරන්න බයයි. වරප්‍රසාද බුක්ති විඳින්න නම් අපි බලයේ ඉන්න පක්ෂය සතුටු කරන්න බලනවා. පේරාදෙණි සාහිත්‍යයත් කියා සිටියේ දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් ගැනනෙ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ දුර්මතය මඟහැරගන්න ඕන.

ඔබ සරච්චන්ද්‍රයන්ගේ ‘කල්පනා ලෝකය’ ප්‍රතික්ෂේප කරනවා?

ඔව්. කල්පනා ලෝකය කියන්නෙ පල් බොරුවක්. සාහිත්‍යයෙන් දෙන්න ඕන සමාජ දේශපාලනය ගැන ප්‍රබල චිත්‍රයක්. එහෙම නැතුව කල්පිතයක් නෙවෙයි.

සාහිත්‍යය කියවන්නේ රසික සමාජයක්. රසිකයන් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වෙනස්. ඔබ නවකතාව සමාජ දේශපාලන විචාරයක් කළ විට ඒ රසිකයන්ට අත් වන්නේ කුමක්ද? රසිකයන් ඉල්ලන්නේ කල්පනා ලෝකයක් ඔස්සේ රස වින්දනයෙන් ලබන අවබෝධයක්.

කල්පනා ලෝකයෙන් මවන රසිකත්වයෙන් ඇති වැඩක් නෑ. රසිකත්වයට සමාජ දේශපාලන යථාර්ථය අහු වෙන්නෙ නැත්නම් ඒක වැඩක් නෑ. සරච්චන්ද්‍ර මහතා ගෙනාපු කල්පනා ලෝකවාදය මං දකින්නෙ නවකතාව ගැන සම්පූර්ණ වැරදි අදහසක්. නවකතාවක් කියන්නෙ කලාත්මකව ඉදිරිපත් කළ සමාජ දේශපාලන චිත්‍රයක්. දැන් ‘විරාගය’ නවකතාවේ පවා ඒ සමාජ දේශපාලන දර්ශනය වැඩිය පේන්නෙ නෑ. ඒක මතු කරලා තියෙන්නෙ එක්තරා විධියක ප්‍රේම කතාවක් වගේ. ඒත් තිස්ස අබේසේකරගේ ‘විරාගය’ චිත්‍රපටයේ නවකතාවේ එන දුර්වලතාව නෑ. එහි අරවින්ද චරිතය සමාජ දේශපාලන සත්ත්වයෙක් විදියට නිරූපණය වෙනවා.

කලාව අපි හඳුනාගන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට යන මාධ්‍යයක් විධියට. කලාවෙන් ඍජු සමාජ දේශපාලන විග්‍රහයක් කළොත් ආනන්දයෙන් ප්‍රඥාවට යා හැකිද?

කලාවේ ආනන්දය තියෙන්න ඕන. ඒත් ඒක තියෙන්න ඕන ප්‍රඥාව මුල් කරගෙන. ආනන්දය කියන්නෙ සුරංගනා ලෝකයක් නෙවෙයි. කලාවේ ආනන්දය එන්න ඕන සමාජ දේශපාලන චිත්‍රය තුළින්. ඒ සමාජ දේශපාලන චිත්‍රයෙන් නොඑන කලාවෙන් ඇති වැඩක් නෑ. මොකද එහෙම චිත්‍රයකින් ආවොත් තමයි ප්‍රඥාව ලැබෙන්නෙ. දැන් සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා දෙකම නවකතා නෙවෙයි. ඒවායේ ආනන්දය එනවා. ඒත් ප්‍රඥාව එන්නෙ නෑ.

නවකතාව ජීවිතාවලෝකනයකුත් වෙනවා.

ඔව්. ඒත් ජීවිතාවලෝකනයක් එන්න නම් පුද්ගලයා සමාජයේ ප්‍රතිඵලයක් විධියට දකින්න ඕන. පුද්ගලයා සමාජයෙන් ඈත් වෙලයි ‘මළගිය ඇත්තෝ’ සහ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවල ඉදිරිපත් වෙන්නෙ. ‘විරාගයේත්’ ඒ ගතිය යම්තාක් දුරකට තියෙනවා. එතකොට එම කෘතිවලින් ජීවිතාවලෝකනයක් වෙන්නෙ නෑ. ඒත් ‘ගම්පෙරළියේ’ පුද්ගලයා සමාජයෙන් මතු වන බව සෑහෙන දුරට කියවෙනවා. පුද්ගලයා සමාජ ජීවිතයේ කොටසක් ලෙස ඉදිරිපත් නොවන තාක් ජීවිතාවලෝකනයක් වෙන්නෙ නෑ. මං කලින් කිව්වා වගේ නවකතාකාරයාගේ මූලික අරමුණ විය යුත්තේ සමාජ දේශපාලන චිත්‍රයක් මැවීමයි. ඒ තුළිනුයි ඔය ආනන්දය ඇති වෙන්න ඕන. මේ අවබෝධය නැතිකම සිංහල නවකතාවේ විශාල දුර්වලතාවක්. මේ තත්ත්වයට සරච්චන්ද්‍ර මහතාත් එක්තරා දුරකට වගකියන්න ඕන. දැන් අපි පියදාස සිරිසේන ගත්තොත් ඔහුගේ නවකතා කලාත්මක වශයෙන් දුර්වල වෙන්න පුළුවන්. ඒත් ඔහු නවකතාව මොකක්ද කියල හරියටම හඳුනාගත්තා. ඔහු නවකතාවෙන් සමාජ දේශපාලන චිත්‍රයක් මවන්න උත්සාහ කළා. එකම දේ ඔහුට එය කලාත්මකව කරන්න බැරි වුණා. ඒක කලාත්මකව කළේ මාර්ටින් වික්‍රමසිංහයි. ජී.බී. සේනානායකට පවා ඒක කරන්න බැරි වුණා. ඔහුගේ තියෙන්නෙ ඔක්කොම අහසෙ පාවෙන චරිත. එහි ජීවන සුවඳක් නෑ.

කෙටිකතාවටත් සමාජ දේශපාලන චිත්‍රය තියෙන්න ඕනද?

අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ චිත්‍රය තිබුණොත් තමයි ඉන් ලබන ආස්වාදය ප්‍රඥාව බවට පත් වෙන්නෙ.

ඔබ මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා දකින්නේ කෙසේද?

ඔහුගේ හොඳම කෙටිකතාව ‘මුදියන්සේ මාමා’ යන කෙටිකතාවයි. එමගින් සම්පූර්ණ සමාජ දේශපාලන චිත්‍රයක් මැවෙනවා වගේම ඒ උඩයි අනෙක් සියලු චරිත ගොඩනැඟෙන්නේ. ‘කුවේණි’ කෙටිකතාවේත් ඒ ස්වභාවය පේනවා. ඉන් පැහැදිලි වෙන්නෙ කෙටිකතාව ගැන වික්‍රමසිංහට නිවැරදි අවබෝධයක් තිබුණු බව. මුළුමනින් සාර්ථකව භාවිත කරන්න අසමත් වුණත් වික්‍රමසිංහ නවකතාව යනු කුමක්ද කියලත් හරියට අවබෝධ කරගත්තා. ඇත්ත වශයෙන් නවකතාව නිවැරදිව අවබෝධ කරගත්තු එකම නවකතාකරුවා මාර්ටින් වික්‍රමසිංහයි. ඩබ්ලිව්. ඒ. සිල්වාටත් මේ අවබෝධය තිබුණෙ නෑ.

අද නවකතා දෙස බැලූ විට ඔබට හැඟෙන්නේ කුමක්ද?

අද නවකතා විධියට තියෙන්නෙ එක්කො සමාජ දේශපාලන ප්‍රචාර. නැත්නම් මනඃකල්පිත ලෝක.

ඔබේ නවකතා ආස්ථානයට ලෝක සාහිත්‍යයෙන් ඔබට බලපෑ නවකතාකරුවන් ඉන්නවාද?

රුසියානු සාහිත්‍යකරුවන් හුඟක් දෙනා මට බලපෑවා. ටෝල්ස්ටෝයි, දොස්තොයෙව්ස්කි, චෙකොෆ් යන හැම දෙනාගේම ශ්‍රේෂ්ඨ නවකතා, කෙටිකතා මට බලපෑවා.

ඒත් ටෝල්ස්ටෝයි එදා පැවති සමාජ දේශපාලනයේ එන සැබෑ පුද්ගලයන් ඍජු විවේචනයකට ලක් කරන්නෙ නෑ.

ඒ වුණාට ඔහු එදා පැවති රුසියානු සමාජ දේශපාලන සමාජය දැඩි විවේචනයකට ලක් කරනවා. එය සැබෑ සමාජ දේශපාලන විචාරයක්.

ඔබේ ‘සංක්‍රාන්ති සමයක’ නවකතාවේ එන සුජාතා සහ ඇගේ අක්කා වැනි චරිත තුළින් සමාජ දේශපාලන විවරණයකට වඩා ජීවිත විවරණයක් සිදු වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ඛේදවාචකය අත්දැකීම තුළින් පාඨකයා ජීවිතාවබෝධයක් ලබනවා. ඇත්තටම සුජාතාගේ මරණය කියවද්දී පාඨකයා කම්පනයට පත් වෙනවා. මෙය නොවේද නවකතාව?

ඔබ හරි. ඒත් සුජාතාගේ ජීවිතය තුළින් මං කියා සිටින්නේ අපේ දෙමළ – සිංහල ගැටුමයි. අපේ ජාතීන් අතර ඇති විරසකයයි. සුජාතා රාජන් නම් දෙමළ තරුණයා එක්ක හිතුවක්කාරෙට විවාහ වෙනවා. ඒත් ඒ නිසා ඇය විශාල මානසික පීඩාවකට ලක් වෙනවා. ඇය පවුලෙන් ඈත් වෙනවා. ඇයට ඒ දුරස්වීම දරාගන්න බැරි වෙනවා. මේ තත්ත්වයයි නවකතාවෙන් කියවෙන්නෙ.

ඇත්ත වශයෙන් නවකතාවේ පසුභාගයේ රාජන් බෞද්ධ සභ්‍යත්වය ඉහළින් පිළිගන්නා චරිතයක් බවට පත් වෙනවා. ඔහුත් ධර්මලිංගමුත් එකතු වී ඇමෙරිකාවේ කොටි ඩයස්පෝරාවට එරෙහිව සංවිධානයකුත් පිහිටුවා ගන්නවා. මේ තුළින් අරුන් නම් තවත් වැදගත් චරිතයක් මතු වෙනවා. ඇත්ත වශයෙන් මං අරුන් චරිතය නිමවද්දි අරුන් සිද්ධාර්ථන් නම් සැබෑ දෙමළ දේශපාලන චරිතය ගැන දැනගෙන සිටියේ නැහැ. නවකතාවේ එන නමින්ම සැබෑ චරිතයත් පසු කාලයේ එළියට ඒම මාවත් පුදුමයට පත් කළ දෙයක්. මං මෑතක අරුන් සිද්ධාර්ථන්ව හම්බුණු වෙලාවක ඔහුට කිව්වා “අරුන්, මං උඹ පහළ වෙන්න ඉස්සර වෙලාම උඹ එනවා කියල ලියලා තියෙනවා” කියල. අරුන් කියන්නේ බෞද්ධ සභ්‍යත්වය පිළිගත් සහ අපි ජාතීන් දෙක අතරෙ සංහිඳියාවක් ඇති වෙන්න නම් මේ බෞද්ධ සභ්‍යත්වයට දෙමළ ජනයා අනුගත විය යුතුයි කියල අදහන චරිතයක්.

‘සංක්‍රාන්ති සමයක’ කියවද්දී හිතෙනවා රාජන්, ධර්මලිංගම් වැනි සිංහල ජාතික චින්තනය පිළිගත් දෙමළ ජනයා අපේ සමාජයේ ඉන්න විධියක් නෑ, ඒ චරිත අමරසේකරගේ හිතළු කියල.

නෑ. එහෙම චරිත ඇත්තටම අපේ රටේ ඉන්නවා. අරුන් සිද්ධාර්ථන් එවැනි චරිතයක්. අපි අවබෝධ කරගන්න ඕන සිංහල බෞද්ධ සභ්‍යත්වය කියන්නෙ සිංහල බෞද්ධයන්ගේ සභ්‍යත්වයක් නෙවෙයි, මේ රටේ අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ තිබුණු මේ රටට අනන්‍ය සභ්‍යත්වය. සුළු ජාතීන් අපේ රටේ එදා පටන් අපි එක්ක සාමයෙන්, සංහිඳියාවෙන් සිටියෙත් මේ සභ්‍යත්වයට අනුගතව ජීවත් වූ නිසා.

සුජාතා සහ ඇගේ අක්කා නවකතාවේ ප්‍රබල චරිත ලෙස ඉස්මතු වෙනවා. මේ චරිතවලට ඔබට බලපෑ සැබෑ චරිත කවුද?

සුජාතා කියන්නෙ මගේ බිරිඳගේ නංගී. ඇයයි එහෙම පිටින්ම නවකතාවේ එන්නේ. ඇය විවාහ වෙන්නෙත් දෙමළ ජාතිකයකු එක්ක. ඇය ඇමෙරිකාවේ ජීවත්ව ඉන්න අතරේ පිළිකාවකින් මියගියා. සුජාතාගේ අක්කා විධියට ඉන්නෙ මගේ බිරිඳ. ඇයත් සැබෑ ජීවිතයේදී ඍජු, කිව්ව දේ කිව්වාම තමයි කියල පිළිගැනෙන චරිතයක්.

සාකච්ඡා කළේ:

රවීන්ද්‍ර විජේවර්ධන

ඡායාරූප – හර්ෂණ ජයතිලක
www.divaina.lk

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions