අපේ අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ.
-මහාචාර්ය වසන්ත දේවසිරි
“අනුකාරක පේරාදෙණි උගතුන්ගේ ඉතිහාසය නිසා අපට අභිමානවත් පරපුරක් හදා ගන්න බැරි වුණා.”
අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන – ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.
අනගාරික ධර්මපාලතුමාගේ 159 වන උපත් සමරුව පසුගිය සැප්තැම්බර් මාසයට යෙදී තිබුණා. සුපුරුදු ලෙස මේ කාලයට එතුමා බුදු දහම නගා සිටුවීම සඳහා සිදුකළ කාර්යභාරය කතා බහට ලක් වෙනවා. නමුත් මේ රටේ එදා මුල් බැස පැවැති මිෂනාරී අධ්‍යාපන ක්‍රමයට එරෙහිව එතුමා ලොකු අරගලයක් කළා. නූතන අධ්‍යාපනඥයෙක් විදිහට ඔබ ධර්මපාලතුමාගේ ඒ අරගලය දකින්නේ කොහොමද?
අනගාරික ධර්මපාලතුමා යටත්විජිත යුගයේ දියත් කළ අරගලය බුදු දහම නගා සිටුවීමේ ව්‍යාපාරයකට ලඝු කිරීම වැරදියි. ධර්මපාලතුමා බුදු දහම, අධ්‍යාපනය, ආර්ථිය, සංස්කෘතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර සුවිශාල මතවාදී අරගලයක් දියත් කළා. ඒ සියල්ල ධර්මපාලතුමා දියත් කළ යටත්විජිත විරෝධී නිදහස් අරගලයේ එකිනෙකට බැඳුණු විවිධ මුහුණවර විදිහට හඳුනා ගැනීම වැදගත්.
ධර්මපාලතුමා නිදහස් අරගලය ක්‍රියාත්මක කරන සමය වන විට ඒ කියන්නේ 1908 පමණ වන විට ලංකාවේ ජනගහනය මිලියන 40යි. ඒ අවුරුද්දේ රජයේ සමස්ත ආදායම රු. 35,572,849 වුණත් අධ්‍යාපනය සඳහා වෙන් කළේ රු. 761 000ක් හෙවත් 2.1%ක් විතරයි. එහෙත් එංගලන්ත ආණ්ඩුවට ලොව පුරා යුද්ධ කරන්න එම වසරේ දී අපේ රටෙන් රු. ලක්ෂ 19ක් අපේ මුදල් ලබා දී තිබෙනවා. රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් සඳහා ලක්ෂ 19ක් වැය කර තිබෙනවා. එදා අපේ රටේ අධ්‍යාපනය ලැබිය යුතු පිරිස මිලියන 16ක් වුණත් ඒ අතරින් ස්වදේශික (14%) සහ ඉංගිරිසි පාඨශාලා (16.25%) අධ්‍යාපනය ලැබුවේ සියයට තිහක් වගේ සුළු පිරිසක් විතරයි. සුදු ආණ්ඩුව අපට අධ්‍යාපනය ලබා දීමට ඔවුන් දැක්වූයේ කුඩම්මාගේ සැලකිල්ලක් බව මෙමගින් හොඳට පේනවා. එයත් අපේ රටට ගැළපෙන අධ්‍යාපනයක් නොවන බව ධර්මපාලතුමා අවබෝධ කරගෙන හිටියා.
ධර්මපාලතුමා එදා ඉංගිරිසි ආණ්ඩුව අපට ලබා දුන් අධ්‍යාපන ක්‍රමයට විරුද්ධ වුණේ ඇයි?
රටේ සියලු පන්සල් ආශ්‍රිතව එදා පැවැති අධ්‍යාපන ක්‍රමය යටත්විජිතවාදීන් 1870 දී තහනම් කරනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තහනම් කරලා ඒ වෙනුවට අපේ සංස්කෘති උරුමයෙන් සංස්කෘතික විඥානයෙන් සම්පූර්ණයෙන් වියුක්ත වූ බටහිර ගැති අධ්‍යාපනයක් තමයි, ඉංගිරිසි ආණ්ඩුව එකල ලබා දුන්නේ. අපේ ඉතිහාසය වෙනුවට අපට ඉගැන්නුවේ ඉංගිරිසි ඉතිහාසය.
යටත්විජිතවාදීන් මේ රටට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ධර්මපාලතුමා හැඳින්නුවේ ස්ථීර පදනමක් නැති අවජාතක නැත්නම් තුප්පහි අධ්‍යාපන ක්‍රමයක් කියලා. තුප්පහි කීවේ hybrid එහෙම නැත්නම් දෙමුහුන් කියන අර්ථයෙන්. දෙමුහුන් කොටලුවෙකුට පරපුරක් ඉදිරියට අරන් යන්න බෑ. ඒ වගේ ම දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයකට සංස්කෘතියක් පෝෂණය කරමින් ඉදිරියට අරන් යන්න බෑ කියලා ධර්මපාලතුමා අවබෝධ කරගත්තා.
එකල අපේ රටේ ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගත්තේ වෛද්‍යවරුන් සහ නීතීඥයින් වීමේ අභිලාෂයෙන්. ධර්මපාලතුමා කියනවා, රටේ සෙසු සමාජ කණ්ඩායම් විසින් අනුකරණය කරන ප්‍රභූ පවුල්වල දරුවන් ඉගෙන ගන්නේ වෛද්‍යවරුන් නීතීඥයින් වෙන්න නම් ඒ රට කවදාවත් දියුණු වෙන්නේ නෑ කියලා. කලහකාරයින්ගේ සල්ලි නීතීඥයින්ගේ සාක්කුවටත් ලෙඩ්ඩුන්ගේ සල්ලි දොස්තලගේ සාක්කුවලටත් යනවා. ඒ සල්ලි නැවත ආයෝජන විදිහට රටේ ආර්ථිකයට එකතු වෙන්නේ නෑ. මේ බව එදා ධර්මපාලතුමා දැක්කා.
අපට රටක් විදිහට දියුණු වෙන්න නම් අප තුළ ජාතික විඥානයක් දේශප්‍රේමීත්වයක් ගොඩනැගිය යුතු වුවත් එදා පැවැති අධ්‍යාපන ක්‍රමය තුළ ඒ කිසිවක් නොවන බවට ධර්මපාලතුමා තර්ක කළා. එතුමා කෝට්ටේ මිෂනාරි පාසලේ ඉගෙනීම කරද්දි ධර්මපාලතුමා ගුරුවරු අරක්කු පානය කළ හැටි, කුරුල්ලන් දඩයම් කළ හැටි දකිනවා. එතුමාට තෙරුවන් නමදින්න ඉඩ නොදී බලහත්කාරයෙන් පල්ලියට අරන් යනවා. එතුමා මේ සියල්ල දකින්නේ ළමා මනස දූෂණය කිරීමක් විදිහට. නිවසේ අභාසයත් සමග එතුමාට ඒ බලපෑමෙන් මිදීමේ භාග්‍යය ලැබුණත් අති බහුතරයකට එම හැකියාව නැති බව එතුමා දුටුවා.
එහෙත් සමහරු කියන්නේ මේ රට සුද්දාගේ පාලනය යටතේ තිබුණා නම් හොඳයි කියලා?
සුද්දාගේ ආණ්ඩුව මෙතෙක් කල් තිබුණා නම් එහෙම කියන අයට වගේ ම ඔවුන්ගේ මාපියන්ටත් කිසිදා පාසලක් නොදුටු නූගත් වහලුන් විදිහට තමයි, මේ රටේ ජීවත් වෙන්න ලැබෙන්නේ. අපි දැක්කා ගාලු මුවදොර තරුණ පිරිසක් අරගලය වෙලාවේ බණ්ඩාරනායක මහත්තයාගේ ඇස් වහනවා. ඔවුන් කීවේ ස්වභාෂා අධ්‍යාපනය හඳුන්වා දීමෙන් බණ්ඩාරනායක මහත්තයා වරදක් කළා කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ, 1956 වෙද්දී මේ රටේ ඉංගිරිසි දැනගෙන හිටියේ 11%යි කියලා. මේ අතරින් 4%ක් සිංහල, 7%ක් දෙමළ. එවැනි පසුබිමක සිංහල භාෂා පනත සහ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙන ආවේ නැත්නම් මේ රටේ බහුතරයකට අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ නෑ.
ඒ සමග තමයි, නිදහස් අධ්‍යාපනය ගම් දනව් පුරා පැතිර ගියේ. අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද සහ ගනඳුරු මැදියම දකිනෙමි අරුනළු කියන කෘතිවල ගුණදාස අමරසේකර මහත්තයා පෙන්වා දෙනවා, ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය 1925 පමණ වන විට එතුමාගෙන් ගිලිහී ගොස් වෙනත් පිරිසක් අතට පත්වන ආකාරය. ඒ පිරිස තමයි, අනතුරුව මේ රටේ ආණ්ඩුව භාර ගත්තේ. ධර්මාපලතුමා දැල්වූ ජාතික විඥානය 56 මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වුණා කීවොත් නිවැරදියි.
ධර්මපාලතුමා කියනවා ගමේ පන්සලේ පුස්තකාලයක් වගේ ම ස්වදේශ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා?
බෞද්ධ අරමුදලට ආධාර එකතු කරන්න ලංකාවට පැමිණි ඕල්කට්තුමාගේ භාෂා පරිවර්තක ලෙස ධර්මපාලතුමාට රට පුරා චාරිකාවේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. සිංහලයා අසීමිත ලෙස දුප්පත්භාවයේ ගිලි ඇති ආකාරයත් බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත්ව ඇති ආකාරයත් ධර්මපාලතුමාට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව එහි දී ලැබෙනවා.
සියවස් ගණනක් ස්වයංපෝෂිතව පැවැති රටක් මේ විදිහට පරිහානියට පත්වීම එතුමාගේ කම්පාවට හේතු වෙනවා. මේ දුප්පත්කමින් මිදීමේ මාර්ගය විදිහට එතුමා දැක්කේ බුදු දහම අනුව ජීවත් වීම සහ කර්මාන්ත දියුණු කිරීම. ඒ නිසා තමයි, සෑම ගමක ම තිබෙන පන්සලේ පුස්තකාලයක් සහ කර්මාන්තශාලා පිහිටුවන්න ඕන කියලා එතුමා යෝජනා කළේ.
අපි නිදහස ලබලත් දැන් දශක 7ක් ඉක්මවා ගිහින්, අද අපි දරුවන්ට ලබාදෙන්නේ ධර්මපාලතුමා අපේක්ෂා කළ අධ්‍යාපනය ද?
නැහැ, ධර්මපාලතුමා යෝජනා කළ අධ්‍යාපන ක්‍රමය සහ අද අපි ලබන අධ්‍යාපන ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙනවා. ධර්මපාලතුමා යෝජනා කළේ මහාවංශය පදනම් කරගෙන අපේ රටේ දරුවන්ට ඉතිහාසය උගන්වලා අවජාතක නොවන අභිමානවත් පරපුරක් ගොඩනගන්න. ඒ වගේ ම ජාතක කතා සහ ජනකතා ඉගැන්වීම් නිවැරදි චින්තනයක් සහිත ගැටලු නිරාකරණය කළ හැකි පරපුරක් බිහි කරන්න. නමුත් අපේ පාසල්වල ඉගැන්නුවේ අනුකාරක පේරාදෙණි උගතුන්ගේ ඉතිහාසය මිස මහාවංශ ඉතිහාසය නෙමෙයි. මේ නිසා අපට අභිමානවත් පරපුරක් හදා ගන්න බැරි වුණා.
එතුමා ලෝකය පුරා බුදු දහම ප්‍රචාරය කිරීම ඔස්සේ වගේ ම ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීම ඔස්සේ උත්සාහ කළේ අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය සඳහා එය ශක්තියක් කරගන්න. අපේ රටේ අධ්‍යාපනයට බෞද්ධ ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා උවමනා ශක්තිය එමගින් ලබා ගන්න පුළුවන්. එය සාර්ථක කරගන්නත් අපට බැරි වුණා. අප පාසලෙන් ලද අධ්‍යාපනය අපේ සංස්කෘතියට බුදු දහම පදනම් කරගත් හර පද්ධතියට ආගන්තුකයි. අලුත් පරම්පරාවේ හැසිරීමෙන් එය තහවුරු වෙනවා.
ධර්මපාලතුමා සිය දේශනාවලදී ජනතාවට කියනවා තම දරුවන් වහ වහා දඹදිව, ජපානය, ඇමෙරිකාව, ප්රංසය, ජර්මනිය ආදී රටවලට ගොස් ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත උගෙන ආ යුතු බව?
ඒ බටහිර රටවල කාර්මික විප්ලවය ඇති වෙමින් පැවැති යුගය. එකල බටහිර නොයෙක් කාර්මික නිෂ්පාදන බිහි වෙනවා. නමුත් අපේ රටට කාර්මික අධ්‍යාපනය හඳුන්වා දෙන්න හෝ නව කර්මාන්ත හඳුන්වා දෙන්න සුදු පාලකයින් කිසිම අවස්ථාවක කටයුතු කළේ නෑ. ඔවුන් ලබා දුන්නේ අපේ රට දියුණුවට පදනමක් දමාගත හැකි ආර්ථික ශක්තියක් ගොඩනග ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ අඩු වියදමින් තමන්ගේ පාලන කටයුතු කරගෙන යන්න ස්වදේශික ලිපිකරු පිරිසක් බිහි කරගන්න විතරයි.
මේ අර්බුදය ධර්මපාලතුමා දකිනවා. ඒ නිසා තමයි, එතුමා මහාබෝධි අරමුදලින් යම් යම් කර්මාන්ත ඉගෙන ගන්න තරුණයින් ජපානය ඇතුළු විදෙස් රටවල පුහුණුවට යවන්නේ. අලියා ගිනි පෙට්ටි කර්මාන්තශාලාව පටන් ගන්නේ ධර්මපාලතුමා ඒ විදිහට පුහුණුව දුන් තරුණයෙක්. ලංකාවේ පළමු පේෂ කර්මාන්ත ආයතනය පටන් ගන්නේ ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් එතුමා උපන් ගෙදරමයි. ඒ වගේ ම රටේ ප්‍රභූන්ට ආරාධනා කරනවා තරුණයින්ට විදෙස් රටවලට ගිහින් කර්මාන්ත ඉගෙන ගන්න ආධාර කරන්න කියලා. එතුමා දැනගෙන හිටියා අපේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න නම් යා යුතු මාර්ගය එයයි කියලා.
ඒ වගේ ම එතුමාට ලෝකය ගැන පුළුල් අවබෝධයක් දැනුමක් තිබුණා. චීන දරුවන් තාක්ෂණය සහ කර්මාන්ත ඉගෙන ගන්න ඇමරිකාවට යවන හැටි එතුමා දැක්කා. ඉන්දියාවේ ජපානයේ දරුවන්ට කර්මාන්ත උගන්වන අයුරු එතුමා දුටුවා. ඒ නිසායි, අපේ දරුවන් ඒ රටවලට යොමු කරලා කර්මාන්ත උගන්වන්න දිරිමත් කළේ. මහා චීනය යනුවෙන් ලිපියක් ලියමින් ධර්මපාලතුමා ප්‍රකාශ කළා, අබිං කන්න පුරුදු කළ චීන ජාතිය දැන් ඉන් මිදිලා දියුණුවේ මාවතට පිවිසිලා අවසන්, ඔවුන් නුදුරේ දීම දියුණු රාජ්‍යයක් වෙයි කියලා. අද චීනය එදා තමන් ගුරුහරුකම් ගත් ඇමරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා බවට පත්වෙලා. මහා දුරදක්නා නුවණකින් කටයුතු කළ ධර්මපාලතුමා උත්සාහ කළේ අපේ රටත් ඒ මාර්ගයේ යවන්න.
ධර්මපාලතුමා කාර්මික අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව අවධාරණය කළත් අපේ පාසල් අධ්‍යාපනයට තාක්ෂණික විෂය මාලා එකතු කළේ 2012 අවුරුද්දේ. ඒ ධර්මපාලතුමා ඒ පිළිබඳ කතා කරලා අවුරුදු 100කට විතර පස්සේ. අපේ විශ්වවිද්‍යාලවලට මේ විෂය හඳුන්වා දෙන්නේ 2014. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. නමුත් අවුරුදු 100කට පස්සේ කළත් එය ඉතා ම ප්‍රගතිශීලි පියවරක්.
ධර්මපාල චින්තනයෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමයට ලබා ගත හැකි ගුරුහරුකම් මොනවා ද?
අපේ රට දියුණුව කරා මෙහෙය වන්න නම් මේ රටේ අධ්‍යාපනය තුළට නව චින්තනයක් ගෙන එන්න ඕන. ඒ සඳහා ධර්මපාලතුමා පෙන්වා දුන් අපේ සභ්‍යත්වය පදනම් කරගත් බෞද්ධ චින්තනය මිස වෙන විකල්ප නෑ. හැබැයි බොහෝ දෙනා මේ වචනෙට පවා කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි, මෙතෙක් එය කිසිවෙකුට කරගන්න බැරි වුණේ. ආගම කතෝලික හින්දු ක්‍රිස්තියානි, ඉස්ලාම් කුමක් වුවත් මේ රටේ සභ්‍යත්වය පදනම් කරගත් අධ්‍යාපනයක් සියලු දරුවන්ට ලබා දිය යුතුයි.
ධර්මපාලතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතික වීරයෙක්. එතුමා සිංහල ජාතියට දියුණු වෙන මාර්ගය පැහැදිලි කරන්න කතා නොකළ දෙයක් නෑ. කන බොන විදිහ අඳින පළඳින විදිහ විතරක් නෙමෙයි, වැසිකිළියට ගිහින් හෝද ගන්න හැටි පවා කියලා දුන්නා. නමුත් එතුමා ජාතික ව්‍යාපාරයෙන් නෙරපා හරින්න පිරිසක් නොයෙක් දේ කළා. ඒක අසාර්ථ වුණා ම එතුමා බෝධිසත්වයෙක් බවට පත් කරලා බුදු දහම ගලවා ගන්න පැමිණි ආගමික නායකයෙක් ලෙස සමාජගත කළා.
ගුණදාස අමරසේකර මහත්තයා අනගාරික ධර්මපාල මාස්ක්වාදී ද කියන කෘතිය ඔස්සේ මේ පිළිබඳ කතා කරන්න කලින් අපි වුණත් ධර්මපාලතුමා හඳුනා ගත්තේ ආගමික නායකයෙක් විදිහට. බහුතර සමාජයට අදත් එතුමාගේ සමාජ දේශපාලන සංස්කෘතික කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නෑ. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.
බුද්ධිගලනය වැනි අපි අද මුහුණ දෙන අභියෝගවලට ධර්මපාල අධ්‍යාපන චින්තනයෙන් ලබා දියහැකි විසඳුම් මොනවා ද?
ධර්මපාලතුමා කියනවා, අපේ සංස්කෘතික උරුමය, සභ්‍යත්වය පිළිබඳ අවබෝධයක් අභිමානයක් ලබා දෙන අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතුයි කියලා. එතකොට තමයි, අපට අපේ ජනතාව ගැන ආදරයක් ඇති වෙන්නේ. එතකොට තමයි, අපේ පවුල දූ දරුවන් වෙනුවෙන් කරදර ඉවසනවා වගේ, ඒ ජනතාව වෙනුවෙන් කරදර ඉවසන්න පුළුවන් මනසක් හැදෙන්නේ. කැපකිරීම් කරන්න පුළුවන් වෙන්නේ.
බුද්ධිගලනය කියන්නේ අපේ උගත්තු මේ රටේ තත්ත්වයට අනුගත වෙලා ඒ දුෂ්කරතා විඳිමින් කටයුතු කරමින් වටු රැලක් වගේ රට ඉහළට ඔසවන්න සූදානම් නැති නිසා ඇති වෙන ප්‍රශ්නයක් නෙ. නියම බෞද්ධ හර පද්ධතිය තුළ හැදුණා නම් මේ විදිහට රට අතහැර ගොස් සැප හෝ නිදහස සෙවීමට අලුත් පරපුර පෙළඹෙන්නේ නෑ. මහාවංශයේ ගැමුණු කුමාරයාගේ කතාවේ පේළියක් පේළියක් ගාණේ අපට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. රට දුෂ්කර කාලයක් පසු කරද්දි අපි අපේ හර පද්ධතිය තුළ ඉඳගෙන කටයුතු කළ යුතු ආකාරය ගැමුණු කුමාරයාගේ චරිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය තුළ පරපුරෙන් පරපුරට ඒ කුසලතා ගෙන ආවේ වංශකතා ජාතක කතා ඇතුළු කතාන්දර සම්ප්‍රදාය ඔස්සේ. අද දරුවන් විතරක් නෙමෙයි, ඒ දරුවන්ගේ දෙමාපියන් පවා මේ සම්ප්‍රදායෙන් ඈත් කරලා.
“මේ රටට ගෙනෙන පිටරට භාණ්ඩ මේ රටේ හදා ගැනීමට පුළුවන්කම තිබිය දී අපේ ධනය පිටරටට යවන්ට කටයුතු කරන්නේ මන්ද” කියලා ධර්මපාලතුමා වසර 100කට කලින් අහනවා? වර්තමානයේ ආර්ථික අර්බුදය මැද ඔබ කොහොමද මේ ප්‍රකාශය දකින්නේ?
එකල මේ රටේ ඉහළ මධ්‍යම පන්තියේ මිනිස්සු කෙතරම් අවිචාරවත් විදිහට පිටරට සංකර භාණ්ඩ සඳහා වියපැහැදම් කළ හැටි ධර්මපාලතුමා දකිනවා. සිංහල මිනිහාට සුද්දන්ගෙන් උගතයුතු බොහෝ දේවල් තිබුණත් සිංහලයා සුද්දාගෙන් ඉගෙන ගත්තේ සුද්දා වගේ අඳින්නයි, ඉංගිරිසි කතා කරන්නයි, අරක්කු බොන්නයි විතරයි කියලා එතුමා කර්කශ විදිහට කියනවා. ඉංගිරිසිකාරයෝ කර්මාන්ත කළාට සිංහලයෝ ඒවා ඉගෙන ගත්තේ නෑ.
ඉහළ මධ්‍යම පන්තිය අදත් ඒ විදිහට ම අපේ රටට ඔරොත්තු නොදෙන ආකාරයේ නාස්තිකාර වියදම් කරනවා. සෙසු පිරිස පුළුවන් විදිහට ඔවුන් අනුකරණය කරමින් ඔවුන් පසුපස යනවා. අපි ධර්මපාලතුමා පෙන්වා දුන් මග ගියේ නෑ. එහි ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉහළ මධ්‍යම පන්තිය සංකර වියදම් නතර කළොත් අපට මේ අර්බුදයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඔවුන් අනුකරණය කරන පිරිසත් එතකොට ඒ මාවතේ යනවා. දේශපාලකයින්ට විතරක් බැනලා මේ අර්බුදයෙන් මිදෙන්න අපට බෑ. මේ සියල්ලට ම හේතුව අප ලද අධ්‍යාපනය පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක් වීමයි.
ධර්මපාලතුමා වරක් කියනවා, අපි සියලු දෙනා මහායාන බෞද්ධයින් වගේ හැසිරිය යුතු කාලයක් ඇවිත් තියෙන්නේ කියලා. ශ්‍රාවකවාදය අනුව අපට ශ්‍රාවකයෙක් විදිහටත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මහායානය අනුව සියලු දෙනා බෝධි සත්වයෝ. බෝධිසත්වයින් සියලු දෙනා බුදු වෙනවා. ඒ බෝධිසත්වයින්ට අනෙක් අයට උදව් කරමින් බුද්ධත්වයට පත්වීම කල් දමමින් සසරේ ඇවිදින්න පුළුවන්. ධර්මපාලතුමා කියන්නේ මහායාන බෝධිසත්වයින් වගේ අපි සියලු දෙනා අනික් අයට උදව් කරමින් ජනතාව දුප්පත්කමින් මුදාගත යුතුයි කියලා. මේ වෙලාවේ ධර්මාපාලතුමාගේ අධ්‍යාපන සහ ආර්ථික දැක්ම යාවත්කාලීන කරලා ඉදිරියට ගත්තොත් අද අපේ රට අද මුහුණ දෙන ආර්ථික අභියෝගය වෙස් වලා ගත් ආශීර්වාදයක් කරගන්න පුළුවන්.
සංවාද සටහන – නාමල් උඩලමත්ත
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .