8/02/2018

ඉන්දු - ලංකා ගිවිසුමට වසර 31කට පෙර බලහත්කාර යෙන් අත්සන ගත් හැටි

කතෘ:යුතුකම     8/02/2018   No comments

-ධර්මන් වික්‍රමරත්න-වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්‌ස්‌ පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධාන්‍ය වර්ග ඇතුළත් බෝට්‌ටු 25 ක්‌ විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්‌ෂකයන් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්‌ටු 19 ක්‌ පස්‌වරු 6 උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකරගේ උපදෙස්‌ පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාඡ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්‌ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමැති ලලිත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක්‌ මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්‌ටු රාත්‍රී 9.30 ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්‌ බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4 වැනිදා පස්‌වරු 2.30 ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්‌වරු 3.30 ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්‌ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස්‌ තිලකරත්න එදිනම පස්‌වරු 2.55 ට කොළඹ සිටින විදේශ ඇමති ඒ. සී. එස්‌. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්‌ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීමට එජාප ආණ්‌ඩුව තීරණය කර ඇති බවය.

වසර 1987 ජුනි 4 වැනිදා පස්‌වරු 3.55 ට ඉනදියාවේ බැංගලෝරයේ පිහිටි හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්‌ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5 ක්‌ ටොන් 25 ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්‌වරු 5 ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්‌වල සවිකරන ලද භාණ්‌ඩ පෙට්‌ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්‌ති මෙහෙයුම තවදුරටත් කරගෙන යැම නතර කිරීමට ශ්‍රී ලංකා රජයට බලකිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සඳහා ආරක්‌ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතර කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්නේය.

එජාප ආණ්‌ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කළ හැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්‌ති පෙරමුණ සිය 2 වැනි කැරැල්ල 1986 දී බෞතීස්‌ම කරමින් කියා සිටියේය. ජවිපෙ මතුකළ ඉන්දු - ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් ලක්‌බිමෙන් සියයට 30 ක්‌ සහ වෙරළින් සියයට 60 ක්‌ දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමගිය බිඳවැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැඟීසිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3 කට පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්‌ෂක පීඨයට කඩා වැද ටී 56 ප්‍රහාරක රයිෆල් 14 ක්‌, උප යාන්ත්‍රික තුවක්‌කු 53 ක්‌, සැහැල්ලු යාන්ත්‍රික තුවක්‌කු 2 ක්‌, පිස්‌තෝල 6 ක්‌, වෙඩි උණ්‌ඩ 3,300 ක්‌ පැහැර ගත්හ. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක්‍රමණිකයා හමුවේ මව්බිමේ ආරක්‌ෂාවට එජාප ආණ්‌ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය. එයට ප්‍රථමයෙන් 1987 අප්‍රේල් 15 වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි.

ඉන්දියාව ජුනි 04 වැනිදා පස්‌වරු 3.15 ට ගුවනින් ශ්‍රී ලංකාවට පරිප්පු ඇතුළු සහනාධාර බලහත්කාරයෙන් දැමීම හේතුවෙන් ජනාධිපති ජයවර්ධන බියපත්ව සිටියේය. එයට හේතු වූයේ ඒ වන විට රට තුළ ආණ්‌ඩුවට එරෙහිව පොදු ජනතාව තුළින් ප්‍රබල විරෝධයක්‌ මතුවී තිබීම නිසා ජනතා පදනම දෙදරා තිබිණි. රටපුරාම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විරෝධතා මතුවෙමින් තිබිණි. අගමැති ප්‍රේමදාස ඇතුළු ඇමැති මණ්‌ඩලයේ බහුතරයකට නොදන්වා ඉන්දු ලංකා ගිවිසුමට ඡේ. ආර්. කැමැත්ත දී තිබිණි. ඉන්දු ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක්‌ මෙන් එකිනෙකට බැඳී පවතින කාරණා තුනකි. පළාත් සභා ඇතිකළ 13 ව්‍යවස්‌ථාව සංශෝධන උපන්නේ ඉන්දු ලංකා ගිවිසුම තිඹිරිගෙය කරමිනි. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ජුලි 28 වැනිදා කොටුව බෝගහ යටින් ආරම්භ වූ කැරැල්ල 29 වැනිදා වන විට රටපුරාම පැතිර යමින් තිබිණි. ඇඳිරි නීතිය පනවා විරෝධතා ව්‍යාපාර මර්දනයට සියලු ක්‍රමවේදයන් ක්‍රියාවට නැඟිණි.

ඉන්දු - ලංකා ගිවිසුම ඉන්දියාවේ රජිව් ගාන්ධිට දාව ජයවර්ධන ආණ්‌ඩුව යටතේ උපන්නද එයට පීතෘත්වය, මාතෘත්වය දුන් පිරිස වූයේ තීරය පිටුපසය. ඇමතිවරුන් වූ ගාමිණී දිසානායක, රොනී ද මෙල් ජනාධිපති ජයවර්ධන වෙනුවෙන් ඉදිරියෙන්ම පෙනී සිට එයට සහයෝගය දැක්‌වූහ. අගමැති ආර්. ප්‍රේමදාස සහ ජාතික ආරක්‌ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි, අමාත්‍ය ගාමිණී ජයසූරිය වැන්නවුන් යෝජිත ගිවිසුම පිළිබඳව තම අප්‍රසාදය පළකරමින් එය අත්සන් කිරීම සඳහා අගමැති රජිව් ගාන්ධිගේ පැමිණිමේ උත්සව වර්ජනය කළහ.

ඉන්දීය රජයේ උපදෙස්‌ අනුව 1987 ජුලි 21 වැනිදා යාපනයට ගිය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ දෙවැනි ලේකම් එච්. එස්‌. ජූරි කොටි නායක ප්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී සංවිධානවල නායකයන් හමුවී ගිවිසුමට එක්‌කළ යුතු කරුණු ගැන සාකච්ඡා කළෝය. තානාපති ඩික්‌සිට්‌ මදුරාසියට ගොස්‌ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයින් සමඟද සාකච්ඡා කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට යන බව ප්‍රකාශ වීමත් සමගද පාර්ලිමේන්තුවේද උණුසුම් තත්ත්වයක්‌ ඇති විය. පාර්ලිමේන්තුව 1987 ජුලි 24 වැනිදා රැස්‌වූ අවස්‌ථාවේදී මේ පිළිබඳව උණුසුම් වාද විවාද ඇති විය. එජාප ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේ මීළඟ රැස්‌වීම අගෝස්‌තු 18 දක්‌වා කල් තැබීය. එම යෝජනාවට පක්‌ෂව ඡන්ද 74 ක්‌ද විපක්‌ෂව ඡන්ද 09 ක්‌ද ලැබිණි. පානදුරේදී 1987 ජුලි 25 වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්‌ෂකයන් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබඳ ආණ්‌ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.

යෝජිත ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ උපදෙස්‌ මත කොටි නායක ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ සහ දරුවන්, න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සමඟ කොටි දේශපාලන මණ්‌ඩල සාමාජිකයින් සිව් දෙනෙකු යාපනයේ සිට ගුවන් මගින් ඉන්දියාවට 1987 ජුලි 24 වැනිදා රැගෙන යන ලදී. ජුලි 25 සහ 26 යන දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබඳව ඉන්දියානු රජයේ නියෝජිතයෝ සහ ප්‍රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්‌ම පැවතිනි. ඒ නවදිල්ලියේ අශෝක්‌ හෝටලයේදීය. ඉන්දීය අගමැති ගාන්ධිද ප්‍රභාකරන් සමඟද වෙනමම සාකච්ඡා කළේය. අතුරු පාලනයේ වැඩි බලයක්‌ කොටි සංවිධානයට ලබාදීමටද එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් නව පරිපාලනයට අන්තර්ග්‍රහණය කරන තෙක්‌ ඔවුන් නඩත්තු කිරීමට ඉන්දීය රුපියල් ලක්‌ෂ 50 ක්‌ මාසිකව ගෙවීමටද ඉන්දීය අගමැතිවරයා එහිදී එකඟ විය.

ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබීමට පැමිණියේ 1987 ජුලි 29 වැනිදා පෙරවරු 10.30 ටය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්. ඩී. තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්‌වාර් සිං යන මහත්වරුන්ද කේ. පී. එස්‌. මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්‌ද එම දුත පිරිස සමඟ පැමිණියහ.

විරෝධතාකරුවන් නිසා මුළු බස්‌නාහිරම කැළඹී තිබිණි. රටපුරා කෝලාහල පැතිර ගොස්‌ තිබිණි. දුම් කැරළි අහසට නැගෙනු පෙනෙන්නට තිබිණි. කටුනායක ගුවන් තොටුපොළින් බැස ඔවුහු ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් කොටුව ගාලුමුවදොරට පැමිණියහ. වෙඩි නොවදින රථයක්‌ සහ ඉන්දිය ආරක්‌ෂක නිලධාරින් රැසක්‌ තවත් ගුවන්යානා දෙකක්‌ ඒ සමඟ පැමිණියහ. ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාරක අමාත්‍යවරයා වූයේ මුදල් ඇමැති රොනී ද මෙල්ය.

ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30 ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29 වැනිදා තුන් වතාවක්‌ රජිව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත් වූවේ ජුලි 30 වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්‌දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්‌. මෙනන්, රොනන් සෙන්, ඩික්‌සිට්‌ එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගි වූහ.

අවසාන සාකච්ඡාවේ දී ජනාධිපති ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගෙන් ඉල්ලා සිටියේ වහාම ඉල්ලීම් දෙකක්‌ ඉටුකර දෙන ලෙසය. එනම් උතුරු නැගෙනහිර සිටින ආරක්‌ෂක හමුදා කොළඹට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ගුවන් යානා සපයා දිය යුතු බවය. එමෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ට දකුණේ සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දීය හමුදා යාපනය ඇතුළු උතුරු නැගෙනහිර කටයුතු කරගෙන යා යුතු බවය. රටේ පැවති කලබලකාරී තත්ත්වය නිසා රටපුරාම ඇඳිරිනීතිය පනවා තිබිණි. රට පුරා ලක්‌ෂයකට අධික ජනතාව විදි බැස ගිවිසුම් විරෝධී පෙලපාළි පැවැත්වූවේ ඇඳිරිනීතිය කඩ කරමිනි. මහරගම වජිරාරාමය අසල පොල්ගසකට නැග ගත් අයෙකු ටී 56 තුවක්‌කුවකින් තබන ලද වෙඩි තැබීමකින් හෙලිකොප්ටරයකට පවා අලභහානි සිදුවිය.

ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයේ බොහෝ දෙනෙක්‌ සහභාගි නොවූහ. එයට සහභාගි වන ලෙසට ඉන්දීය අගමැතිවරයා සිරිමා බණ්‌ඩාරනායකට කළ ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. "තද" ලියුමක්‌ මැතිනිය එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයකු විසින් පෙරවරු 11.30 ට අගමැති රජිව්ට අතින් භාරදෙන ලදී.

එම අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඡේම්ස්‌ ස්‌පෙන් එක්‌වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක්‌ එම ස්‌ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබාදුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස්‌ ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව කියා සිටියේ අත්සන් කරන තෙක්‌ රහසක්‌ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක්‌ එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය.

නිල වශයෙන් දෙරටේ නායකයෝ ඉන්දු ලංකා ගිවිසුමට 1987 ජුලි 29 වැනිදා පස්‌වරු 3.37 ට අත්සන් තැබූහ. එජාප ආණ්‌ඩුවේ අමාත්‍යවරුන් වන ඒ. සී. එස්‌. හමීඩ්, ගාමිණී දිසානායක, තොන්ඩමන්, දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම් මැණික්‌දිවෙල මහත්වරුන් ඇතුළු පිරිසක්‌ද එම අවස්‌ථාවට එක්‌ව සිටියහ. ඉන්දීය රජයේ ප්‍රබල පෙළඹවීම මත ගිවිසුම ශ්‍රී ලංකා රජය මගින් අත්සන් කළද රටේ ජනතාව මුළුමනින්ද, ආණ්‌ඩුවේ ඇමැතිවරුන් බහුතරයක්‌ද එහි අඩංගු වී ඇත්තේ මොනවා දැයි දැනුවත් වී නොතිබිණි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අගමැති රජිව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස්‌ විදෙස්‌ මාධ්‍ය සාකච්ඡාවක්‌ද පැවැත්විණි. දයා ලංකාපුර ඇතුළු මාධ්‍යවේදීන් සමඟින් ලේඛකයාද එයට එක්‌වී සිටියහ.

අගමැති රජිව් ගාන්ධි නික්‌ම යැමට පෙර 1987 ජුලි 30 වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක්‌ පවත්වන ලදී. එම උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30 ට පමණය. උත්සවය අවසන් වූයේ උදෑසන 10.15 ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙළින් පෙළට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්‌ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගි වූ නාවික සෙබළ විජිත රෝහණ විඡේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක්‌ එල්ල කළද එය වළක්‌වා ගැනීමට ඔහුගේ ආරක්‌ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජිව් ගාන්ධි ආපසු කලින් යොදාගත් පරිදිම පෙරවරු 11.30 ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.

ගිවිසුම අත්සන් කරන අවස්‌ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක්‌ ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක්‌ ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000 ක්‌ රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනාංක වශයෙන් ගොඩ බටහ. එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුද හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුද හමුදා භටයින් සියලු දෙනාම ඉන්දීය යුද ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී.

නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්‌ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස්‌ පුවත්පතේ මාණ්‌ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස්‌ විදෙස්‌ සිය ගණනක්‌ ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30 ක්‌ පමණ දුරින් සකස්‌කළ අට්‌ටාලයකය. ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කළේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්‌ෂක කමාන්ඩෝ භටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බඳින් සෙබළ විඡේමුණි පහර දුන්නේ එවිටය. තමාගේ ඡායාරූප රීලය ලේක්‌හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස්‌ කර්තෘ මණික්‌ ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්‌හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ, ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පළකිරීමට පසු අවසර දුන්නේ එදින මහ රෑය. පසුදා ලේක්‌හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක්‌ එය පළවීය.

රජිව් ගාන්ධිට පහරදීම පිළිබඳ වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඒ පිළිබඳ වගකීමේ ලිපි මාධ්‍ය වලට කීර්ති විඡේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහරදුන් සෙබළා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්‌ෂයක හෝ සංවිධානයක සාමාජිකයකු නොවන බවය.

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි (ගුවන්විදුලි කාර්මික ශිල්පී) විජිත විඡේමුණි රත්ගම බූස්‌සේ උපන් අතර එවකට 22 හැවිරිදි විය. නම දෙනකුගෙන් යුත් පවුලේ පස්‌ වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19 වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබීය. රජිව් මැරීමේ ෙච්තනාවක්‌ නොතිබුණු බවද ඔහු කළ බලහත්කාර ක්‍රියාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක්‌ ලබාදීමට එය සිදුකළ බවද හෙතෙම යුද අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්‌ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විඡේසිංහ ඇතුළු නීතිඥයන් රැසක්‌ ඔහු වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරාදැමීමට තැත්කිරීම පිළිබඳව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06 ක සිර දඬුවමක්‌ යුධ අධිකරණය නියම කළේය. පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් 1990 අප්‍රේල් 03 වැනිදා උදෑසන 9.00 ට වැලිකඩ බන්ධනාගාරයෙන් විජිත රෝහණ විඡේමුණි නිදහස්‌ කරන ලදී. හිරගෙදර සිටියේ වසර 2 මාස 04 ක්‌ පමණි. ඔහු සමඟම විවිධ වැරදිවලට සිරගතව සිටි සිරකරුවන් 700 ක්‌ද ජනාධිපති නියෝගය අනුව ඒ සමගින් නිදහස්‌කර තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරණා ඉටුකිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්‌ථාපිත වූ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විවිධ ආණ්‌ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින්නේ උභතෝකෝටික ගැටලුවන්ටය. ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි (46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21 වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්‌වීමකදී ඝාතනයට ලක්‌විය. එජාප ආණ්‌ඩුවේ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන (90) වසර 1996 නොවැම්බර් 01 වැනිදා මිය ගියේය. කොටි නායක ප්‍රභාකරන් (54) වසර 2009 මැයි 18 වැනිදා උතුරේ නන්දිකඩාල්හිදී යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදා අතින් මියගොස්‌ තිබිණි.

-ධර්මන් වික්‍රමරත්න .
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions