8/02/2018

විග්නේෂ්වරන් සාවද්‍යයි, අශාස්ත‍්‍රීයයි - මහාචාර්ය රාජ් සෝමදේව කියයි

කතෘ:යුතුකම     8/02/2018   No comments

උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා මහතා උතුරේ ඓතිහාසික දෙමළ රාජ්‍යයක් පැවතියා ද යන කාරණය පිළිබඳව යම් සැකයක් තිබේනම් ඒ පිළිබඳව විශ්වාසදායක සිංහල, දෙමළ ඉතිහාසඥයන්ගෙන් විමසන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව අප එම කාරණය සහ මෙරට ඉතිහාසය සහ පුරවිද්‍යාව සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහතා පළ කර ඇති අදහස් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමට අදහස් කළෙමු. ඒ පිළිබඳව මහාචාර්ය සෝමදේව මහතා දැක්වූ අදහස් පහත පරිදිය.

----------------------------------------------------------------------------------------------------

ප‍්‍ර.- සිංහල භාෂාව ඇති වූයේ ක‍්‍රිස්තු වර්ෂයෙන් හයවන හෝ හත්වන සියවසේදී බව උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා. සිංහල භාෂාව ප‍්‍රභවය වුයේ ක‍්‍රිස්තුන්වහන්සේගේ ඉපදීමට පසු බවත් එහිදී සඳහන් වුනා.. මේ ගැන විශ්වාසය තැබිය හැකි ඉතිහාසඥයන්ගෙන් විමසන ලෙස ඔහු වැඩිදුරටත් කියා තිබුණා. නිරන්තරයෙන්ම පුරාවිද්‍යාත්මක පර්යේෂණවල නියැලී සිටින රටේ පිළිගත් වගකිවයුතු විද්වතෙකු ලෙස ඔබ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද?

පි.- පළමුවෙන්ම කිව යුත්තේ එම ප‍්‍රකාශය අතිශය සාවද්‍ය ගොඩ නැගීමක් බවයි. මා එසේ කියන්නේ ශාස්ත‍්‍රීය පසුබිමක සිටයි. දැනට අපට ආශ‍්‍රය කළ හැකි පැරණිතම සාහිත්‍ය මූලාශ‍්‍රවලට අනුව සිංහල හෝ සීහල යන නමින හඳුන්වන ලද භාෂාව මිහිදු හිමියන් මෙරටට වැඩම කරන අවධියේ පවා ශ‍්‍රී ලංකාවේ භාවිතයේ පැවතියා. මිහිදු හිමියන් විසින් මෙරට ජනතාවට ධර්මය දේශනා කරන ලද්දේ දීපේ දනන්ගේ භාෂාවෙන් බව මුලාශ‍්‍රයවල සඳහන්. එහි අදහස නම් ද්වීපයේ ජීවත් වන ජනයාගේ භාෂාව යන්නයි. එ් භාෂාව කුමක්ද යන්න අපට පහසුවෙන් වටහා ගත හැක්කේ මිහිදු හිමියන් දෙසු ධර්මයට එ් කාලයේම වියත් භික්ෂුන්වහන්සේලා විසින් ධර්මයේ අවබෝධයට අපහසු තැන් සුබෝධ කරනු සඳහා ලියන ලද අට්ඨකථා නම් පොත් මාලාව අවධානයට ගැනීමෙන්. එ්කී අට්ඨකථා හඳුන්වා තිබෙන්නේ සීහලට්ඨකථා යන නමින්. ඇතැම් තැනක එම සීහලට්ඨකථා සම්ප‍්‍රදාය පොරාණට්ඨකථා යනුවෙන්ද හඳුන්වා දී තිබෙනවා.

මෙම අට්ඨකථා සම්ප‍්‍රදාය සීහලට්ඨකථා යනුවෙන් හඳුන්වා දීමට හේතුව එම පොත් සිංහල භාෂාවෙන් ලියා තිබූ නිසායි. ගැඹුරු ධර්මයේ තිබෙන දුෂ්කර තැන් මෙරට උපාසක උපාසිකාවන්ට පැහැදිලි කර දීමේ අරමුණින් රචනා කළ පොත් සිංහල භාෂාවෙන් ලියා තිබීම එය එකල දීපේ දනන්ගේ භාෂාව වීම බව අවබෝධ කර ගැනීම අපහසු නැහැ. ඇතැම් තැනෙක සීහලට්ඨකථා මහාවංසයක් ගැනද සඳහන් වෙනවා. සිංහල භාෂාවේ පැරණි බව පෙන්වා දීමට නිදසුනක් මහාවංසටීකාවේ දක්නට තිබෙනවා. එහි .......... පොරාණෙහි කතො පෙසො සීහලාය නිරුත්තියා භාසාය.......යනුවෙන් ප‍්‍රකාශයක් තිබෙනවා. පුරාණ කාලයේ ලියැවනු ලේඛන සිංහල භාෂාවෙන් රචනා වු බව එහි පැවසෙනවා. මහාවංසටීකාව රචනා වුයේ ක‍්‍රිස්තු වර්ෂයෙන් හත්වන සියවසේදී විය හැකිබවට මතයක් තිබෙනවා. නමුත් එහි කර්තෘවරයා විසින් සඳහන් කර තිබෙන්නේ එ් කාලයේ පැවති අදහස බව තේරුම් ගත හැකියි. ක‍්‍රිස්තුවර්ෂයෙන් පස්වන සියවසේදී බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එ් පැරණි සීහලට්ඨකථායි. මෙවැනි කරුණු සැලකිල්ලට ගත් විට සිංහල භාෂාව ක‍්‍රිස්තු වර්ෂයෙන් හයවන හෝ හත්වන සියවසේදී බව කීමට කිසිදු ශාස්ත‍්‍රීය පදනමක් ඇති බව පෙනෙන්නේ නැහැ. ක‍්‍රිස්තුන්වහන්සේ ජන්ම ලාභය ලැබුවේ මිහිඳු මා හිමියන් මෙරටට වැඩම කිරීමෙන් අවුරුදු 250 කට පමණ පසුකාලයකදී යි.

ප‍්‍ර.- පුර්ව බෞද්ධ සමයේ සිට මෙරට ජීවත් වූයේ ද්‍රවිඩයන් බව විග්නේශ්වරන් මහතා ප‍්‍රකාශ කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පි.- මේ අවස්ථාවේදී ද්‍රවිඩ යන පදයෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කර ගත යුතුයි. ද්‍රවිඩ යනු ඉංග‍්‍රීසි භාෂාවේ ඩ‍්‍රැවීඩියන් යන පදයෙන් අදහස් කරන දේට සමානයි. ඉන් අදහස් කරන්නේ භාෂා පවුලක් මිස වාර්ගික අනන්‍යතාවක් නොවෙයි. ද්‍රවිඩ භාෂා පවුල ඉතා පුළුල් වූ එකක්. ඊට භාෂා ගණනාවක් අයත්. දෙමළ යනු ඉන් එකක් පමණයි. ද්‍රවිඩ භාෂා පවුලේ ආරම්භය මුන්ඩා නමින් හැඳින්වෙන ආදි භාෂාවකට අයත් බවයි එ් ගැන පර්යේෂණ කළ නූතන විද්වතුන්ගේ අදහස වන්නේ. මුන්ඩා භාෂාව අග්නිදිග ආසියානු ප‍්‍රදේශයේ ප‍්‍රභවය ලද ඔස්ට්‍රො-ආසියාතික සම්ප‍්‍රදායට අයත් වූවක්. දැනටත් අග්නිදිග ආසියානු ප‍්‍රදේශවල තිබෙන ටිබෙටො-බර්මීස් සම්ප‍්‍රදායට අයත් භාෂා සහ මුන්ඩා භාෂා අයත් වන්නේ එකම මූලයකට බවයි එ් ගැන පර්යේෂණ කළ විට්සෙල් සහ කුයිපර් වැනි කීර්තිමත් ඓතිහාසික වාග්විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. නමුත් ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ද්‍රවිඩ භාෂා පවුල බටහිර ආසියාවේ ප‍්‍රභවය වී වයඹදිග ප‍්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුලූ වන්නට ඇති බවයි. එ් කෙසේ වෙතත් දෙමළ භාෂාව මුන්ඩා භාෂා පවුලේ ලා බාලතම භාෂාවක් ලෙසයි පිළිගැනෙන්නේ.

මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ ඉතා පුරාණ කාලයක සිට මේ රටේ ජන සංයුතිය තරමක සංකීර්ණ ස්වරුපයකින් යුක්ත වීමට වුවමනා තරම් ඉඩකඩ තිබෙන බවයි. එක් පැත්තකින් ස්වදේශිය ප‍්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ද අනෙක් අතට භූගෝලීය සමීපතාව කරණ කොට ගෙන විවිධ හේතු අරභයා අර්ධද්විපික ඉන්දියාවෙන් මෙරට සංක‍්‍රමණය වු ජන කොටස් සහ නවශිලා යුගයේදී එනම් මීට අවුරුදු 10000 කට පමණ පෙර ලෝකයේ බටහිර සහ නැගෙනහිර ප‍්‍රදේශවලින් සංක‍්‍රමණය වු ජනකණ්ඩායම් එ් අතර සිටීමට පුළුල් හැකියාවක් තිබෙනවා. මීට නිදසුන් කළ හැකි කදිම සොයා ගැනීමක් තිබෙනවා.

දැනට උඩවලව වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්සෙන් මෙරට ජීවත් වූ ප‍්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ට අයත් ශරීර අස්ථි කොටස් සොයා ගන්නට පුරාවිද්‍යාඥයින්ට හැකි වුණා. මුල් අවස්ථාවේදී එ් අවශේෂ මීට අවුරුදු 6500 ක් තරම් පැරණි කාලයකට අයත් බව පෙන්වා දුන් නමුත් මෑතකාලයේ කරන ලද වැඩිදුර පරීක්ෂාවලින් එම ස්ථානය මීට අවුරුදු 12 000 කට පමණ ඉහත කාලයක සිට වාසභූමියක්ව පැවති බව තහවුරු වී තිබෙනවා. මේ ස්ථානයෙන් හමු වූ විවිධ දේ අතර සුනඛයින්ගේ ඇටකටුත් දක්නට තිබුණා. මෙහිදී පෙනෙන විශේෂ දේ නම් සුනඛයා අපේ රටේ ගෘහාශි‍්‍රත කළ සතෙක් නොවීමයි. ආසියාවේ සුනඛයින් ගෘහාශ‍්‍රිත කරන ලද්දේ මීට අවුරුදු 12000- 9000 අතර කාලයකදී අග්නිදිග ආසියාවේ බව ජානවිද්‍යානුකූලව පෙන්වා දී තිබෙනවා. එ් සතුන් බෙල්ලන්බැඳිපැලැස්සේ සිටිම මගින් අපට පෙන්වා දෙන්නේ මීට අවුරුදු 12000 න් මෙපිට කාලයේ එ් සතුන් මිනිසුන් සමග මෙහි පැමිණ ඇති බවයි. අපේ රටේ පැරණිතම බ‍්‍රාහ්මී සෙල්ලිපි ලියා තිබෙන භාෂාවේ අතරින් පතර මුන්ඩා භාෂාවට සබඳකම් ඇති වචන කිහිපයක් තිබෙන බව මෑතකදී අප විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා. එය සිදු විය හැක්කේ ඉතා ඈත කාලයකදී අග්නිදිග ආසියාව සමග දැක්වූ සබ`ඳතා හරහායි.

මෙවැනි කරුණු මගින් පෙන්වා දෙනු ලබන්නේ සෑහෙන අතීතයක සිට බලපැවැත්වූ අන්තර්-සාමුද්‍රික සංක‍්‍රමණ ජාලයක් මගින් මෙරට ජනසංයුතිය සකස් කළ බවයි. කෙසේ වෙතත් මේ ජනගහනය කිසියම් අනන්‍යතාවක් වටා වර්ධනය වීම ඇරඹියේ මීට අවුරුදු 7000 කට පමණ ඉහත කාලයකදී ශ‍්‍රී ලංකාවේ බිම්කඩ ඉන්දීය උපමහාද්වීපයෙන් භූවිද්‍යාත්මකව වෙන් වී හුදකලා දූපතක් බවට පත් වීමෙන් අනතුරුව බවයි පෙනෙන්නේ. අවම තරමින් මීට අවුරුදු 2900 කට පමණ පෙර මෙරට බහුතරවාසීන් කථා කළ භාෂාවේ සමජාතීත්වයක් පිළිබිඹු වීම ආරම්භ වී තිබෙන බවයි අනුමාන කළ හැක්කේ. සීහල හෝ සිංහල යනුවෙන් ව්‍යවහාර කළ එම භාෂාව කථා කළ පිරිස සිංහලයින් ලෙෂ හැඳින්වූවා පමණක් නොව ඔවුන් විසූ ¥පත හැඳින්වූයේද සීහලද්වීප යන නමින්. සෙයිලාන් හෝ සිලේදීබා යනුවෙන් විදේශික වෙළඳුන් මේ රට හැඳින්වුයේ එහි නම සිංහලද්වීපය වු නිසායි. ඉතා ඈත කාලයකදී අරාබි ජාතිකයින් ශ‍්‍රී ලංකාව දැන සිටියේ සෙරන්ඩිබ් යන නමින් එ් සිංහලද්වීප යන පදය ඔවුන් උච්චාරණය කළ හැටියි. මෙවැනි සංකීර්ණ පසුබිමක රටේ ජනගහන ඉතිහාසය සම්බන්ධයන් එක් වාර්ගික කණ්ඩායමක් පමණක් හුවා දැක්වීම විද්‍යානුකූල යැයි මා කල්පනා කරන්නේ නැහැ.

ප‍්‍ර.- ඔබ කියන පරිදි ද්‍රවිඩ යනුවෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාව කථා කළ ප‍්‍රජාව නම් ඔවුන් මේ රටේ කුමන කාලයක සිට ජීවත් වී තිබෙනවාද?

පි.- එ් ප‍්‍රශ්නයට එක එල්ලේ දිය හැකි පිළිතුර වන්නේ ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවස වන විට දෙමළ ජනතාව සු`ඵ පිරිසක් මෙරට නගර ආශ‍්‍රිතව ජීවත්ව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවයි. ඔවුන් සියලූදෙනා වෙළ`දාම පිණිස මෙහි පැමිණි අයයි. සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ දමෙඩ යන පදයෙන්. එය දෙමළ යන වචනය සිංහල ප‍්‍රාකෘත භාෂාවෙන් ලියු ආකාරයයි. වවුනියාව දිස්ත‍්‍රික්කයට අයත් පෙරියපුලියන්කුලමේ පිහිටි පුරාණ සෙල්ලිපියක විශාඛ නමින් හැඳින්වූ දෙමළ වෙළෙන්දෙක් ගැන සඳහන් වෙනවා. ඔවුන් තමන් දෙමළ ජාතිකයින් බව හ`ගවා තිබෙන්නේ අන් බහුතර පිරිස අතර තමන්ගේ අනන්‍යතාව ස්ථිර කිරීම සඳහායි. පූර්ව බෞද්ධ සමයේ සිට දෙමළ ජාතිකයින් මෙරට ආධිපත්‍ය දරා සිටියේ නම් ශ‍්‍රී ලංකාවේ පුරාණතම සෙල්ලිපි රචනා විය යුත්තේ දෙමළ භාෂාවෙන්. එහෙත් මෙරට ආදිතම සෙල්ලිපි ලියා තිබෙන්නේ සිංහල ප‍්‍රාකෘත නමින් හැඳින්වෙන වර්තමාන සිංහල භාෂාවේ මුල් ස්වරූපයෙන්. එ් භාෂාව වඩා සමීප වන්නේ සංස්කෘත සහ පාලි භාෂාවලටයි. ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ පමණ රචිත දෙමළ සෙල්ලිපි දකුණු ඉන්දියාවේ නම් දක්නට තිබෙනවා. එ් පිළිබ`ද අගනා කෘතියක් ආචාර්ය ඉරවතන් මහාදේවන් විසින් පළ කර තිබෙනවා. ඔබ ඇසු ප‍්‍රශ්නයට දිය හැකි කෙටිම පිළිතුර නම් ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවස වන විට වෙළ`දාමට සහ බටහිර වෙරළේ මුතු කිමිදීමට පැමිණි දෙමළ ජාතිකයින් සු``ඵ පිරිසක් අනුරාධපුරය හා තදාසන්න ප‍්‍රදේශවල ජීවත් වූ බවයි.

ප‍්‍ර.- දැනට ජීවත් වන සිංහලයින් පවා අතීතයේදී දෙමළ අය බව ඞී. එන්. එ්. පරීක්ෂණවලින් සනාථ වී තිබෙන බව විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමතිවරයා සඳහන් කරනවා. එවැන්නක් එසේ සනාථ වී තිබේද?

පි.- විවිධ විද්වතුන් අවස්ථා කිහිපයකදී මෙරට ජනගහනය සම්බන්ධයෙන් ජානවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කර තිබෙනවා. එහෙත් එ්වා සියල්ලක්ම නිගමන රහිතව අවසන් වූ එ්වා බව සඳහන් කළ යුතුයි. ඊට බල පෑ ප‍්‍රධාන හේතුව නම් මේ රටේ ජීවත් වූ ප‍්‍රජාවගේ අනන්‍යතාව මැන ගැනීමට අවශ්‍ය ඞී.එන්..එ් නියැදි ලබා ගැනීමට තිබෙන දුෂ්කරතාවයි. නිවර්තන කලාපීය රටක ජීවවිද්‍යාත්මක නියැදි ආරක්ෂා වීමේ සම්භාව්‍යතාව ඉතා දුර්වල මට්ටමකයි පවතින්නේ. පී.සී.ආර් වැනි දියුණු ක‍්‍රම ජාන විශ්ලේෂණය සඳහා භාවිත කළ හැකි වුවත් නිවර්තන කලාපීය රටවල දේශගුණික තත්ත්වය එවැනි ප‍්‍රවේශ වෙත විවිධ මට්ටම්වලින් බාධා ඇති කරනවා. නමුත් අපේ රටේ ජීවත් වු පැරණි මිනිසුන් සම්බන්ධයෙන් ඉතා වැදගත් පර්යේෂණ කිහිපයක් භෞතික මානව විද්‍යාඥයින් විසින් සිදු කර තිබෙනවා. ඉන් වැදගත් නිදර්ශනයක් ලෙස සැලකිය හැකි වන්නේ අමෙරිකානු ජාතික භෞතික මානවවිද්‍යාඥයෙකු වූ කෙනත් ආර්. කෙනඩි විසින් කරන ලද බලංගොඩ බෙල්ලන්බැඳිපැලැස්සෙන් සොයා ගත්
ප‍්‍රාග්ඓතිහාසික මානවයින්ගේ ඇටසැකිලි සම්බන්ධයෙන් කළ විශ්ලේෂණය. එම අධ්‍යයනයේ වාර්තාව 1956 වසරේදී බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ අංශය මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. එහිදී ඔහු විසින් ඉතා වැදගත් නිරීක්ෂණයක් කර තිබෙනවා. ඔහු එහිදී පෙන්වා දෙනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ විසූ ප‍්‍රාග්ඓතිහාසික මානවයින් ජීවවිද්‍යාත්මක වර්තමාන වැදි ජනතාව සමග සමීප සබඳතාවක් පෙන්වන බවයි. ඔවුන් සියලූදෙනාම ආසියා- ඕස්ටේ‍්‍රලියා ජාන සංචිතයට අයත් වන මුත් ඔවුන්ටම අනන්‍ය වු ඇතැම් ලක්ෂණ දරා සිටී

(…..Similarities are not only quantitatively provocative but striking as well in terms of particular isolated physical traits that distinguish both Vedda and Balangoda man from other southern Asiatic populations…….)

මෙරට පැරණි ප‍්‍රජාව සම්බන්ධයෙන් අනෙක් වැදගත් ජීවවිද්‍යාත්මක නිරීක්ෂණය කරනු ලැබුවේ ඩයනා හෝකි විසින්. ඇය විසින් සිදු කළ The Peopling of South Asia: Evidence for Affinities and Microevolution of Prehistoric Populations of India and Sri Lanka මැයෙන් යුත් පර්යේෂණයේ වාර්තාව ඇරිසෝනා විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරනු ලැබුවා. එය 2002 වසරේදී කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එම නිබන්ධයේ එක් තැනෙක ඇය සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ ජීවත් වන වර්තමාන සිංහල ජනයා ඓතිහාසිකව හා ජීවවිද්‍යාත්මකව වඩා සමීප වන්නේ මෙරට පළමුවරට යකඩ භාවිත කළ ප‍්‍රජාවට මිස දෙමළ ජනතාවට හෝ ප‍්‍රාග්ඓතිහාසික දඩයක්කරුවන්ට නොවන බවයි (Dental data suggest that Sri Lanka Iron age peoples are more similar to recent Sri Lanka Sinhalese, than to Sri Lankan Hunter gatherers, Tamils or Vaddahs……..) මෙවැනි පසුබිමක සිංහලයින් දෙමළ ජනතාවගෙන් පැවත එන බව කීම ශාස්ත‍්‍රීය වශයෙන් නිශ්ඵල අදහසක් පමණයි.

ප‍්‍ර. රටේ ඉතිහාසය සහ ඓතිහාසික ප‍්‍රජාව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් වන මෙවැනි අදහස් ගැන ඔබට කිව හැකි දෙයක් තිබෙනවද?

පි.-අන් කවර දෙයක් තමන්ගේ පෞද්ගලික හෝ කණ්ඩායම් අපේක්ෂාවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම හෝ අර්ථ දැක්වීම සිදු කළත් ඉතිහාසයට එවැනි බලපෑමක් ඇති කිරීම දීර්ඝකාලීනව අනපේක්ෂිත ව්‍යාකූලතා ජනනය කිරීමට හේතු විය හැකියි. ඉතා මෑතකදී මෙරට ෆෙඩරල් රාජ්‍යයක් වන බවට එක්තරා දේශපාලඥයෙක් විසින් කළ තිබූ ප‍්‍රකාශයක් මා පුවත්පතක දුටුව-ා. ඔබ මෙහිදී මගෙන් ඇසු ප‍්‍රශ්නවලට අදාළ ප‍්‍රකාශ පවා එ් න්‍යාය පත‍්‍රයේ කොටස් බව මට වැටහෙනවා. ඕනෑම කෙනෙකුට මත දැරීමටත් එ් මත වෙනුවෙන් පෙනී සිටීමටත් අයිතියක් තිබෙනවා. ෆෙඩරල් අදහසටත් එය සාධාරණයි. එහෙත් ඉතිහාසය ෆෙඩරල් කළ නොහැකි බව බුද්ධිමත් දේශපාලනඥයින් විසින් වටහා ගත යුතු බවයි මගේ අදහස වන්නේ.

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී ජිනප්‍රිය[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions