3/31/2018

සංස්කෘතික ඝාතක විචාරකයන්ට ගෝචර නොවූ විශිෂ්ට නවකතාවක්

කතෘ:යුතුකම     3/31/2018   No comments

     

    ඉසුරු ප්‍රසංග විසින් රචිත පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබඳ යමක් ලිවීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසාය. එකක් එය හොඳ නවකතාවක් වීමය. ඊටත් වඩා වැදගත් අනෙක් හේතුව වන්නේ මේ කෘතියේ එන ගැඹුරු සමාජ දේශපාලන සංවාදය මෙරට විචාරකයන් යැයි කියා ගන්නා පිරිස් විසින් හිතාමතාම මඟහරින බවක් පෙනෙන්නට ඇති නිසාය. මේ කෘතිය ප්‍රකාශයට පත්ව වසරක් පමණ ගතව තිබේ. ඒ කාලය තුළ කෘතියේ දෙවැනි මුද්‍රණයක්ද නිකුත්ව තිබුණද තවමත් මේ පිළිබඳ ප්‍රමාණවත් කතාබහක් ඇතිවී නැත. ඊට හේතු විමසීම පසුවට කල් තබා පළමු කොටම මේ නවකතාව පිළිබඳ මූලික විමසීමක් කළ යුතුය.

යථාව හා කල්පිතයේ සුසංයෝගය


    මේ කතාවේ කේන්ද්‍රිය චරිතය රවිඳු නැමති තරුණයෙකි. 80 දශකයේ අගභාගයේ සිට 2015 - 2016 කාලය දක්වා වූ කාලපරාසයක සිදුවීම් මේ කතාවට විෂය වෙයි. කතාව ඇරඹෙන්නේ රවිඳුගේ ළමා වියට අයත් ඒක පාර්ශවික ප්‍රේමයක් පිළිබඳ හාස්‍යජනක විස්තරයකිනි. එය 80 දශකයේ මුල් භාගයේ උපන් පරම්පරාවේ මනස කෙරේ බලපෑ සමාජ පරිසරය පිළිබඳ අපූරු විවරණයක්ද වෙයි. අනතුරුව ගැටවර වියේදී රවිඳුට පාසැල් ප්‍රේමයකටත් පෙරාතුව පන්ති ප්‍රේමය හෙවත් ජවිපෙ දේශපාලනය  මුණගැසෙයි. ඒ තම පාසැල් මිතුරා වූ සුධීර හරහාය. මේ 1994න් පසු ජවිපෙ නැවත නැඟී සිටි මුල් යුගයේ අත්දැකීම්ය. රවිඳු ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වුවද ඔහු එහි නිශ්චිතව මුල් බැස නොගත්තෙකි. රවිඳු උසස් පෙළ නිසි ලෙස සමත් නොවුණද ඔහුගේ දේශපාලන මිතුරා වූ සුධීර සරසවි වරම් ලැබ පසුව අන්තරේ කැඳවුම්කරුවා බවට පත්වෙයි. රවිඳු බොහෝ හැකියාවන්, දක්ෂතා ඇති අයෙක් වුවද දේශපාලනය, ආදරය, රැකී රක්ෂා ආදී කිසිවක දී ආකෘතිගත වීමට ඔහු කැමති නැත. ඔහු විවිධාකාර ආදරවන්තියන්, විවිධාකාර පුද්ගලයන්, විවිධ දර්ශන මතවාද ඇසුරු කළද, ඒ සියල්ල අත්විඳිමින් කිසිවක නොඇලී අයාලේ යන රස්තියාදුකාරයෙකි. 

      මේ අනුව පාසැල් ජීවිතය, නව යෞවනය, ආදරය, වමේ දේශපාලනය, විශ්ව විද්‍යාල, ශිෂ්‍ය අරගල, ජනමාධ්‍ය, එන්ජීඕ සංවිධාන, බෙදුම්වාදී කල්ලි, සාහිත්‍ය කලා ලෝකය, මතවාදී ඇකඩමික් සමාජය, සෝවියට් දේශය, චීනය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ස්වීඩනය වැනි ලෝකයේ විවිධ රටවල සමාජ දේශපාලන සිදුවීම්, ආදී පුළුල් පරාසයක විසිරී ඇති අත්දැකීම් සමුදායක් මේ කෘතියට විෂය වී තිබේ. 80 දශකයේ අගභාගයේ සිට 2015 මහින්ද රාජපක්ෂගේ පරාජය දක්වා දිගු කලක් තිස්සේ පෙළ ගැසුණු ලාංකීය දේශපාලනයේ මෙතෙක් කතාව මේ කෘතිය තුළ මැනවින් පිඬු කොට ඇත්තේ සැබෑ සිදුවීම්, සැබෑ චරිත ආදියද කෘතියේ චරිත බවට පත් කරගනිමිනි. විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ, මෙන්ම ගුණදාස අමරසේකරද මේ කෘතිය තුළ අපට එලෙසින්ම හමුවෙයි. සුධීර දේවගේ කල්පිත චරිතයක් වුවද ඔහු නියෝජනය කරන අන්තරය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශිෂ්‍ය අරගල ආදිය මෙරට වාම දේශපාලනයේ එක් සැබෑ පැතිකඩකි. රවිඳු නැමති කතා නායකයාගේ චරිතය ගොඩනැඟී ඇත්තේ මෙකී විවිධාකාර අත්දැකීම් හා සමාජ ස්ථර ඔස්සේ අයාලේ යන රස්තියාදුකාර සංචාරකයෙකු වශයෙනි. මේ රස්තියාදුකාර සංචාරයේ කටුක හා විචිත්‍ර අත්දැකීම් රවිඳුගේ මුවින් ඉතා රසවත් ලෙස සරල කථන බසින් ප්‍රකාශයට පත්වෙයි. ඒ අනුව තවත් අතකින් මේ කතාව ඉතාම අවංකව ලියූ චරිතාපදානයක ලක්ෂණද පෙන්වයි. එය එසේ වන්නේ කිසිදු මානසික බාධාවකින් හෝ ආත්ම අනුකම්පාවකින් තොරව තමාගේ හොඳ, නරක, ප්‍රබලතා, දුබලතා, සියල්ල අමු අමුවේ වැමෑරීමට මේ කතාවේ කථකයා ඉදිරිපත් වන නිසාය. 

නිරීක්ෂණ කීපයක්... 

      පළමු කොටම මෙය ආදරය පිළිබඳ විචිත්‍ර ලෙස ලියවුනු කතාවකි. ආදරයේ විචිත්‍රත්වය මෙහි ගොඩනංවා ඇත්තේ පරම ආදරයක් වෙනුවෙන් දිවි දෙන පෙම්වතෙකු හරහා නොවීම විශේෂත්වයකි. රවිඳු යනු එවැනි පෙම්වතෙකු නොව විවිධ පෙම්වතියන් ඇසුරු කරමින් අයාලේ යන චරිතයකි. එහෙත් ඔහු වගකීම් විරහිතව අනෙකා අමාරුවේ දමන සල්ලාලයෙක්ගෙන් වෙනස් වන ආකාරය හා ආදරය පිළිබඳ ඔහුගේ අවංක හෘදයාංගම මනස මේ කෘතිය තුළ මැනවින් පිළිඹිබු කොට ඇත්තේ රවිඳු පැතලි වීරයෙකු හෝ දුෂ්ටයෙකු බවට පත් නොකරමිනි. 

      මීළඟට සුධීරගේ චරිතය හා පේරාදෙණිය ඇසුරින් මෙරට ශිෂ්‍ය දේශපාලනය ගැන කරන තියුණු විවරණය ඉතා වැදගත් එකකි. මේ නවකතාව තුළ පේරාදෙණිය විශ්ව විද්‍යාලය තලේබාන් කඳවුරක් ලෙස හැඳින්වීමට කතුවරයා නිර්භීත වී ඇත්තේ එය තලේබාන්කරණය වීමට බලපෑ සාධක ගැනද විශ්වාසනීය අවබෝධයක් සහිතවය.

   “විශ්ව විද්‍යාල දේශපාලනෙන් රටට වැඩක් තියන එක විචාරශීලී මිනිහෙක් හදන්න අපට පුළුවන් වුණාද? හැබැයි කී දෙනෙක් උපාධි අතෑරියාද? හරක් වගේ උද්ඝෝෂණවලට කොල්ලන්ව දක්කන නිවට උප සංස්කෘතිය නඩත්තු කරන එක විතරයි අපි මෙච්චර කැප කිරීම් කරලා, උපාධි අතෑරලා,  මැරිච්ච සහෝදරයින්ව තුට්ටු දෙකට විකුණලා කරපු එකම දේ...”  (259 පිටුව)

      මෙය විශ්ව විද්‍යාල තම නිසරු සටන් බිම් බවට පත් කරගත් වමේ පක්ෂවල ස්වයං විනාශයට පසු සුධීර විසින් කළ ප්‍රකාශයකි. අවසානයේදී සුධීරගේ මේ කළකිරීම හා ආත්මීය කඩා වැටීම කෙළවර වන්නේ ඔහු දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ කුලී කාරයෙක් බවට පත්කරමිනි. සුධීරගේ මේ ඉරණම තුළ අපට හමුවන්නේ ලංකාවේ වම එන්ජීඕකරණය වීම පිළිබඳ සැබෑ කතාව මිස කතුවරයාගේ හිතළුවක් නොවේ. මෙරට විකල්ප එන්ජීඕ දේශපාලනයේ ව්‍යාජත්වය පිළිබඳ මේ කෘතිය තුළ මතුකරන කාරණාද අතිශය ප්‍රබලය. 

    “මේ රටේ ජාතිකත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම් නොගන්න ඕනම සමාජවාදියෙක් අන්තිමට ප්‍රභාකරන් වීරයෙක් කියලා කියන සමාජ වෛරක්කාරයෙක් වෙන එක කාටවත් වළක්වන්න බෑ.”

    මීට අමතරව සුනාමි ව්‍යසනය, යුධ ජයග්‍රහණය, මහින්ද රාජපක්ෂගේ පරාජය, ආදී රටේ සැබෑ දේශපාලන සිදුවීම් ගණනාවක් මේ කෘතියට පසුබිම් වී තිබේ. ජවිපෙ 1994න් පසු නැගී සිටීම හා ඔවුන්ගේ ස්වයං විනාශයද මේ කෘතියේ මැනවින් නිරූපණය කර ඇත. රවිඳු පැතලි වීරයෙකු නොවුණද රවිඳු යනු මේ සියලු පරාභවයන් මැද වුවද තම හෘද සාක්ෂියේ හඬ ගෑම අමතක නොකළ අයෙකි. ඔහු සමාජ ව්‍යාපාරවල නිල කොටස් කරුවෙක් නොවුණද ඒ ඔස්සේ ගොඩනැඟුණු සද්භාවයේ මනස ඔහු  විනාශ කර නොගත්තෙකි. මෙය වත්මන් ජනතා විමුක්ති පෙරමුණ විසින් අහිමි කොට ගෙන ඇති ජවිපෙ අතීත අවංක සාමාජිකයාගේ හෘද සාක්ෂිය නොවේද?

   “අපි රන් මැණික් ආකරේක පය තියාගෙන හිඟාකන නිවට ජාතියක්. ගෑනු අරාබි යවලා ගේන සල්ලිවලින් පාන් පිටි ගිලින නපුංසක රටක්. අපිට රන් ආකරයක් උඩ ඉඳගෙන අරාබි වැද්දන්ට ගෑනු විකුණන්න සිද්ධකරපු මේ මජර දේශපාලන ක්‍රමේ මොකක්ද? ඒ ව්‍යසනේ ප්‍රායෝගිකව තේරුම් අරන් වෙනස් කරන එක තමයි මේ මොහොතේ මොන ඉලව් වාදෙකින් හරි වෙන්න ඕන.” පිටුව 399

    සමාජවාදය පිළිබඳ වැදගත් සංවාදයක් මේ කෘතිය තුළ මතුකර ඇත්තේ සෝවියට් දේශය, කියුබාව, චීනය වැනි රටවල පමණක් නොව ඉන්දියාවේ කේරල විමුක්තිකාමීන්ගේ අත්දැකීම්ද විචිත්‍රවත් ලෙස කතාවට මුසු කරමිනි. වම පිළිබඳ ශාස්ත්‍රීය කෘති ගණනාවක් ඔස්සේ මතු කළ හැකි සංවාදයක් සාහිත්‍ය තුළ ඒ ආකාරයට පිඬු කිරීම අසීරු දෙයකි. ඒ සංවාදය කෙළවර මෙවැන්නක් හමුවෙයි. 

    “මට පුදුමයි රවිඳු වෙලාවකට උඹ ගැන... කිසිම සමාජ සම්මතයක් නොතකපු, බිබී අයාලේ ඇවිදපු,  පෝය දාකට පන්සලක මලක් පහනක් පූජා නොකරපු උඹ වගේ එකෙක් තමයි අද අපේකම ගැන සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරන්න අරන් තියෙන්නේ...”

  “ඔව්. සම්මුති කඩන එක ජීවන භාවිතාව බවට පත්වුණාට පස්සේ සංස්කෘතියට වගේම, බොරු ප්‍රතිසංස්කෘතික වීරයන්ටත් තියන බය ඉබේම නැතුව යනවා. ප්‍රායෝගිකව සමාජ සම්මුති කඩපු එකෙකුට තමයි සම්මුතිවල වටිනාකමයි සම්මුති කඩකරන එකේ වටිනාකමයි දෙකම හරියට තේරෙන්නේ...”  (පිටුව 395) 

කෘතියේ අවසානයේ තැනක මෙසේද සඳහන් වෙයි. 

                                say it loud... say it proud... i'm a communist

     “මීට අවුරුදු දහනමයකට කලින් මට අපේ දේශපාලන ආඛ්‍යානය පටන් ගන්න වුණේ ඒ වාක්‍යයෙන්. ඊට පස්සේ තව තව පරමාදර්ශ හොයාගෙන යන්න තියන හැම අතේම අයාලේ ගිහින් බල්ලෙක් වගේ හති වැටිලා අවුරුදු දහනමයකට පස්සේ මට අද මේ කතාව අවසාන කරන්න සිද්ධ වෙන්නෙත් ඒ වාක්‍යයෙන්...”

    මෙය ප්‍රකාශ දෙක බැලූ බැල්මට පරස්පරයක් ලෙස යමෙකුට පෙනී යා හැකි වුවද මේ සාධක දෙක ඇසුරින් මතුවන අවසන් නොවූ සංවාදය ඉතා වැදගත් එකකි. එය මෑතකදී රචනා වූ අමරසේකරගේ සභ්‍යත්ව රාජ්‍යයක් කරා, විමල් වීරවංශගේ රටට වුවමනා වම, සුමනසිරි ලියනගේ ගේ සභ්‍යත්ව රාජ්‍යය හා සම සමාජය, ආදී කෘති ඔස්සේ මතුවූ ශාස්ත්‍රීය සංවාදයේ සාහිත්‍යමය ස්වරූපය ලෙස සැලකීම වැරදි නොවේ.  

කතුවර මතවාදය හා දේශපාලන ප්‍රවේශය

    ඕනෑම සාහිත්‍ය කෘතියක් තුළින් කතුවරයාගේ දේශපාලන මතවාද ප්‍රකට වීම වැළැක්විය නොහැක්කකි. මේ කෘතියටද ඒ ඇත්ත අදාළ වුවද මෙය කිසියම් මතවාදයක බාල හොරණෑවක් බවට පත් කර නොගැනීමට ඉසුරු ප්‍රසංග ප්‍රවේසම් වී ඇති ආකාරය අගය කළ යුත්තකි. ඒ නිසාම විවිධ මතවාද දරන විවිධ පාර්ශවයන්ට මේ කෘතිය තුළින් තමන්ට රිසි කොටස් උපුටා දැක්වීමේ නිදහසක්ද ලැබී තිබේ. එය දේශපාලන වශයෙන් නුසුදුසු විය හැකි වුවද ඒ විවෘතභාවය හා පුළුල්බව සාහිත්‍ය කෘතියකට අතිශය වැදගත්ය. 

    ඉසුරු ප්‍රසංගගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාව ජීවිතය පිළිබඳ, ආදරය පිළිබඳ, මිනිස් සම්බන්ධතා හා අකාලික ලෝක සත්‍යයන් පිළිබඳ වැදගත් ඥාන සම්භාරයක් සම්පාදනය කරන කෘතියකි. ඒ සියල්ලටත් වඩා මේ කෘතියේ එන ගැඹුරු දේශපාලන සංවාදය මේ රට පිළිබඳ අවංක ආදරයක් ඇති සෑම අයෙකු විසින්ම ඇසුරු කළ යුත්තකි. එසේ කළ යුත්තේ එම කෘතිය අප අදහන එක් නිශ්චිත දේශපාලන මතවාදයක ප්‍රචාරක හොරණෑවක් වන නිසා නොවේ. එක් මතවාදයක් දේශනා කිරීම වෙනුවට කතුවර අභිලාෂයට එකඟ හා එකඟ නොවන මතවාද රැසක් එකම වේදිකාවක් මත නිදහසේ ගැටෙන්නට සැලැස්වීම මේ කෘතියේ ලක්ෂණයකි. ඒ ඔස්සේ මානව ප්‍රජාවේ දේශපාලනිකත්වය පිළිබඳ එයින් සිදුකෙරෙන සාහිත්‍යමය විවරණය ඕනෑම දේශපාලන මතවාදයක් දරන්නෙකුට ප්‍රයෝජනවත් වන්නකි. කුමන මතයක් දැරුවද මේ රට පිළිබඳ මිනිසුන් පිළිබඳ සැබෑ ආදරයක් ඇති ඕනෑම අයෙකුට තම චින්තනය මුවහත් කරගැනීමට අදාළ දෑ බොහොමයක් මේ පිටු 409 පුරා ගැබ්ව තිබේ. 

     මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය මේ රටට වෛර කරන සංස්කෘතික ඝාතකයන් බෝ කරන තිඹිරි ගෙයක් බවට පත්වී ඇත්තේ බොහෝ කාලයක සිටය. පොත්වලට විචාරක පැසසුම් සම්මාන ආදිය හිමිවන්නේ කතුවරුන් මේ සංස්කෘතික ඝාතක කල්ලිවලට හිස නමන ප්‍රමාණයට සාපේක්ෂවය. ඊට එරෙහිව යන අයෙකුට සාහිත්‍ය ලෝකය තුළ පය ගසා සිටීම ලේසි නොවන බව මේ කෘතිය වෙත ඔවුන් දක්වන නිහඬභාවයේ ප්‍රතිචාරය තුළින්ම පෙනී යයි. කෙසේ වුවද එවන් තත්ත්වයක් තුළ ඉසුරු ප්‍රසංග වැනි ලේඛකයෙකු නවකතාකරණයට පිවිස තිබීම අතිශය වැදගත්ය. නිල විචාරකයන්ගේ සාහිත්‍ය ආධිපත්‍යයට ඔහු හුදකලාව හෝ එල්ල කළ මේ අභියෝගය බෙහෙවින් වැදගත්ය. විය යුත්තේ සාහිත්‍ය ලෝකයේ ප්‍රතිචාර මොනවා වෙතත් මෙවැනි කෘති පිළිබඳ පොදු පාඨක ප්‍රජාව අතර වැදගත් සමාජ සංවාදයක් ගොඩනැඟීමය. 

-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

පේමතෝ ජායතී අසෝකෝ කෘතිය සුරස ප්‍රකාශණයකි. මරදාන සුරස පොත් හල, දිවයින පුරා පිහිටි සරසවි, ගුණසේන, විජිත යාපා, දයාවංශ ජයකොඩි, මින්සර, ආදී ප්‍රධාන පොත්හල්වලින් ලබා ගත හැකිය. පහත අංකවලට ඇමතීමෙන් පොත කඩිනමින් නිවසටම ගෙන්වා ගත හැකිය.

grantha.lk  – 0719  448899  

kbooks.lk -  0778  715500

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions