12/09/2014

බෞද්ධ භික්‌ෂුවක්‌ හමුවේ පැරැදුණු මහා ඇලෙන්සැන්ඩර් අධිරාජ්‍යයා

කතෘ:යුතුකම     12/09/2014   No comments

ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්‌වා අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ පළමු යුරෝපීය පාලකයා විය. මහා දිග්විජයකරුවකු වූ හේ ඉතිහාසයෙහි හැඳින්වෙන්නේ මහා ඇලෙක්‌සැන්ඩර් නමිනි. ක්‍රි.පූ. 336 දී රජ වී වසර දෙකකට පසු ඇරැඹුණු අධිරාජ්‍යය ගොඩනැංවීම තුළින් තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්‌වා මහා අධිරාජ්‍යයක්‌ ඇතිකරන ලදී.

වයස විස්‌සේදී රජකමට පත් ඇලෙක්‌සැන්ඩර් කුමරු වයස අවුරුදු විසි දෙකේදී මහා දිග්විජය අරඹා එකොළොස්‌ අවුරුද්දක්‌ යුද්ධ කර දැවැන්ත අධිරාජ්‍යයක්‌ ගොඩනංවා ජයග්‍රාහී ලෙස ආපසු තම රටට එමින් සිටියදී ක්‍රි.පූ. 369 දී නොහොත් වයස අවුරුදු තිස්‌තුනේදී අතරමඟ බැබිලෝනියාවේදී මියගියේය. ඔහුට තම අධිරාජ්‍යය භුක්‌ති විඳීමට කාලයක්‌ නොවීය.

ඇලෙක්‌සැන්ඩර්ගේ ආපසු හැරීම ගැන පාසල් අධ්‍යාපනය තුළදී ඉගැන්වූ කරුණ වූයේ අවුරුදු ගණනක්‌ තම ගම්බිම්වලින් දරු මල්ලන්ගෙන් ඉවත්ව යුද්ධ කරමින් සිටි හමුදාවට යුද්ධය හොඳටම ඇතිවී ඉන් හෙම්බත්වී සිටි බවත්, අවසන් වරට පරාජය කළ පෝරස්‌ රජු ද (පංජාබයේ) දරුණු සටනක්‌ කිරීම හා ඔහුගේ අභීත, එඩිතර ගතිගුණ ඇලෙක්‌සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත්වූ බවත්ය.

නමුත් තමාගේ දිග්විජය චාරිකාව ගැන සටහන් තබා ඇති ඇලෙක්‌සැන්ඩර් ගේ වාර්තාවල කියෑවෙන්නේ වෙනත් දෙයකි. පෝරස්‌ රජු පිsළිබඳ සාධකය හා යුද්ධ හමුදාව හෙම්බත්ව සිටීම පිළිබඳ විස්‌තරද එහි ඇතුළත් වුවත්, තමාගේ ආපසු හැරීමට හේතුව බව දක්‌වන්නේ රජුගේ සිතට කා වැදී ගිය එක්‌තරා අවබෝධාත්මක හැඟීමකි. මේ අවබෝධය ඔහුට ලබාදී ඇත්තේ බෞද්ධ භික්‌ෂුවක විසිනි. මේ තරම් විශාල අධිරාජ්‍යයක්‌ ගොඩනැංවුවත් රජු විසින් එය භුක්‌ති විඳින්නේ කෙසේද යනුවෙන් භික්‌ෂුව විසින් විමසන ලද ප්‍රශ්නයට අධිරාජ්‍යයා නිරුත්තර විය. ඔහුට එය අවබෝධ වූයේ එවිටය.

ඉතා භයානක යුද්ධයකින් පෝරස්‌ රජුගේ රාජ්‍යයද ජය ගැනීමෙන් පසු රජු හා හමුදාව දින කිහිපයක්‌ විවේක සුවයෙන් ගත කළේ ගතට මෙන්ම සිතටද සහනයක්‌ අවශ්‍ය වූ නිසාය. ඇලෙක්‌සැන්ඩර් රජු නැවතී සිටි කඳවුර අස එක්‌තරා බෞද්ධ ආරාමයක්‌ විය. එහි සිටි බෞද්ධ භික්‌ෂුවක්‌ ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්‌වී සිටියේය. කවුරුත් උන්වහන්සේට ගරු කළ අතර බුද්ධියෙන් කරුණු අවබෝධ කරදීමේත්, උපදෙස්‌ දී ප්‍රශ්න විස¹ලීමේත් මහා වියතකු ලෙස කීර්තියක්‌ ලබා තිබුණි. ඇලෙක්‌සැන්ඩර් රජු මෙම බෞද්ධ භික්‌ෂුව මුණ ගැසීමට ගියේය.

තමා ග්‍රීසියේ පිලිප් රජු ගේ පුතා බවත්, ලොව මෙතෙක්‌ කිසිවකු කර නැති මහා දිග්විජය සම්පූර්ණ කරමින් ලොව ප්‍රධාන ගංගා හයක්‌ හරහා අවුත් මුළු පොළොතලයෙන් අඩකඩ වඩා තම අඥ චක්‍රයට නතුකර ඇති බවත් කියාපාමින් ඇලෙක්‌සැන්ඩර් තමාව හඳුන්වාදුණි. ඊට සාවධානව ඇහුම්කන් දුන් භික්‌ෂුන් වහන්සේ පවසා සිටියේ තමා ඉන් පෙර මහා අධිරායා ගැන මෙම විස්‌තර නොදැන සිටි නිසා ප්‍රශ්න කර තවත් තොරතුරු දැන ගැනීමට අධිරාජයාගෙන් අවසර ලැබේද යන්නයි. ඇලෙක්‌සැන්ඩර්ට ද අවශ්‍ය වුයේ සංවාදයේ යෙදීමට නිසා ඔහු ඉතා කැමැත්තෙන් ඒ සඳහා අවසර දුනි. ඉන් අනතුරුව බෞද්ධ භිකෂුන් වහන්සේ ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්‌වේ.

භික්‌ෂුව - මහා අධිරාජය මින් පෙර නො ඇසූ විරූ මහා දිග්විජයක්‌ කිරීමට ඔබ සමත් වුවත් ඔබද මිනිසෙකි. ඔබට නිදිමත ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. නිදිමත ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින්ද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.

භික්‌ෂුව - මහා අධිරාජය ෘ ඔබට බඩගිනි ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. බඩගිනි ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ මුළු මහත් අධිරාජ්‍යයේම ඇති අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්‌ හා කිරි හැම වර්ගයකින්ම ආහාරයට ගන්නේද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක්‌ පමණක්‌ ගනිමි.

භික්‌ෂුව - මහා අධිරාජයෘ ඔබට පිපාසය ඇතිවේද?

ඇලෙක්‌සැන්ඩර් - එසේය. පිපාසය ඇති වේ.

භික්‌ෂුව - එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන්ම ජලය මුසු කළ මහා පැන් කළයක්‌ පානය කරන්නේද?

ඇලෙක්‌සැන්ඩර් - නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.

භික්‌ෂුව - එසේ නම් ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්‌ති විඳින්නේ කෙසේදැයි විස්‌තර කළ හැකිද?

මෙහිදී ඇලෙක්‌සැන්ඩර් නමැති මිහිතලයේ විශාලම අධිරාජ්‍යය ගොඩනඟා තිබූ අධිරාජ්‍යයා තමා හිඳගෙන සිටි අසුනින් නැගිට ආරාමයට එන අනෙකුත් සැදැහැතියන් කරන්නා සේ පසඟ පිහිටුවා වැඳ නමස්‌කාර කළ බව ඇලෙක්‌සැන්ඩර් රජුගේ වාර්තාවල සඳහන් වේ. දිග්විජයෙහි ඇති නිසරු බව මෙම කෙටි සංවාදයෙන් පසු අවබෝධකර ගැනීමට තිස්‌තුන් හැවිරිදි ඇලෙක්‌සැන්ඩර්ට හැකිවිය.

එදින රාත්‍රියේ තමන්ට නින්ද නොගිය බවත්, ආරාමයේ භික්‌ෂුව විසින් කියූ දේවල් ගැනම සිතමින් සිටි බවත්, පසුදින උදය වරුවේම ආරාමය වෙත ගිය ඇලෙක්‌සැන්ඩර් තම තීරණය උන්වහන්සේට දන්වා සිටි බවත් සටහන් කර ඇත. එහි සඳහන් වන්නේ තවදුරටත් රටවල් යටත් කර ගැනීම අවසන් කර ආපසු හැරීමට තීරණය කළ බවයි.

යටත්කර ගත් ප්‍රදේශ පාලනයට සේනාපතිවරුන් හමුදාංක සමග නතර කර ඇලෙක්‌සැන්ඩර් ආපසු හැරුණේ අගනුවරට ආපසු ගිය වහාම ආරාමයක්‌ ඉදිකරන බව හා එහි විසීමට භික්‌ෂුන් වහන්සේලා කිහිප නමක්‌ වඩම්මාගෙන යැමට දූතයන් එවන බවට ඉහත කී නායක භික්‌ෂුන් වහන්සේට ප්‍රතිඥ දීමෙන් පසුවය.

මේ කිසිවක්‌ ඉටු කිරීමට ප්‍රථම, එනම් තම රට බලා ආපසු යැමටද ප්‍රථම අතරමඟ බැබිලෝනියාවේදී (වත්මන් ඉරාකය) ඇලෙක්‌සැන්ඩර් හදිසියේ මියගියේය. එම නිසා ඔහුගේ බලාපොරොත්තු හා සැලසුම් සියල්ල ඉන් අවසන් විය.

ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් 2003 නවම් මස බෞද්ධාලෝකය සඟරාවට සපයන ලද ලිපියක්‌ ඇසුරිණි)

-සනත් ලියනගේ/දිවයින

12/07/2014

ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය

කතෘ:යුතුකම     12/07/2014   3 comments
ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සමග අද වනවිට රට අතිශයින් සංකීර්ණ දේශපාලන අවස්ථාවකට මුහුණ දී තිබේ. පසුගිය කාලය පුරාම දේශපාලන කරළිය උනුසුම් වූයේ මේ ජනාධිපතිවරණය හමුවේ විවිධ පාර්ශවයන් විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පුදුම සහගත පුවත් හා වහ වහා වෙනස් වන සුළු සිද්ධි මාලාවන් ඔස්සේය. විපක්ෂය තම අපූරු පොදු අපේක්ෂකයා තෝරාගත් ආකාරයම මේ අතරින් වඩා බලවත් නාට්‍යෝචිත අවස්තාවක් වෙයි. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණය මීට පෙර පැවති ජනාධිපතිවරණවලට වඩා සංකීර්ණ එකක් වීමට බලපෑ හේතු රාශියක් තිබේ. මේ සටහනේ අරමුණ වනුයේ මෙවන් පසුබිමක් හමුවේ මෙරට ජාතික බලවේග මුහුණ පා ඇති අභියෝග කවරාකාර වේදැයි විමසා බැලීමය. එය සැලකිය හැක්කේ ජාතික බලවේග මේ මොහොතේ ගත යුතු තීරණය ගැන නිගමන දීමකට වඩා ඔවුන්ට පසුකර යාමට සිදුවී ඇති සංකීර්ණ දේශපාලන මොහොත හා එය ජාතික ව්‍යාපාරයේ අනාගතය කෙරේ බලපෑ හැකි ආකාරය පිළිබඳ කරුණු සලකා බැලීමක් ලෙසය.

2005 සහ 2015

2005 ජනාධිපතිවරණයේදී ජවිපෙද ඇතුළත් ජාතික බලවේගයන්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. ඒ සහයෝගය රටට ඉතා වැඩදායක එකක් බවට පත්වූයේ 2009 වනවිට කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වීම නිසාය. මීළඟට 2010 වනවිට හදිසියේ දේශපේ‍්‍රමී රෙදි පොරවා ගත්තවුන්ද ඇතුළුව සියලූ ජාතික බලවේග ජනාධිපතිවරයා සමග එක පෙලට සිට ගනු ලැබුවේ 2005ටත් වඩා වැඩි සුබවාදී බලාපොරොත්තු රාශියක්ද සහිතවය.ත‍්‍රස්තවාදය පිළිබඳ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයෙන් පසු රටේ ඉදිරි ගමන යහපත් අතට වෙනස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව සමත්වනු ඇතැයි එදා රටේ බලවත් විශ්වාසයක් පැවති අතර 2005 ටත් වඩා අතිශයින් ශක්තිමත් හා ආස්වාදනීය ජනවරමක් 2010දී මහින්ද රාජපක්ෂට හිමිවනුයේද ඒ අනුවය. මේ රටේ තීරණාත්මක වෙනසක් සඳහා නිදහසින් පසු මෙරට ජනනායකයකුට හිමිවූ හොඳම සහ වටිනාම අවස්තාව 2010 මෙකී ජනවරම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එසේ වුවද ඒ ජනවරමින් වසර හතරහමාරකට පසු අද අපට දක්නට ලැබෙන්නේ ඒ මහා අපේක්ෂා අතිශය ඛේදජනක ලෙස සුන්වී යමින් තිබෙන තත්ත්වයකි.

    මේ ආණ්ඩුව ජාතික බලවේගවල ආණ්ඩුවක් බව එහි සතුරු මිතුරු දෙපාර්ශවය විසින්ම හැඳින්වුවද උතුරේ යුද්ධය හැර අන් කිසිදු වැදගත් ප‍්‍රශ්නයක් සම්බන්ධව ආණ්ඩුව පුළුල් ජාතික දැක්මකින් තියා අවම මිනිස් සිහිබුද්ධියකින් හෝ කටයුතු කර නැත. උතුරේ ප‍්‍රශ්නයේදී පවා යුද්ධය අවසන් කළා විනා ඒ පසුපස තවමත් නොනිමී ඇවිලෙන ජාත්‍යන්තර දේශපාලන යුද්ධය හමුවේ ආණ්ඩුව පෙන්වන හැසිරීමද අතිශයින් ලාමකය. අද වනවිට නැගී එමින් පවතින මුස්ලිම් අන්තවාදයේ බියකරු තර්ජනය හමුවේද ඒ හැසිරීම එසේමය. උතුරා හැලෙන සංවර්ධන මෙහෙයුම් ගැන පුරසාරම් නිතර අසන්නට ලැබුණද රටේ ඉදිරි ගමන පිළිබඳ නිසි උපායමාර්ගික දැක්මක් ආණ්ඩුව සතුව නොමැති බවට ඒ සංවර්ධන මෙහෙයුම් තුළින්ම කදිම උදාහරණ සපයා ගත හැකිය. ආර්ථික අතින් පමණක් නොව අධ්‍යාත්මික අතින්ද අද රටේ ජනතාව ඇද වැටී ඇති දරිද්‍රතාවයේ තරම මනාව පැහැදිලි වන්නේ වේගයෙන් ඉහල යමින් තිබෙන අපරාධ, ප‍්‍රචණ්ඩත්වය, මත් උවදුර, ස්තී‍්‍ර  දූෂණ, ලමා අපචාර ආදිය ඔස්සේය. අද මේ සියල්ල සිදුවන්නේ දේශපේ‍්‍රමය පිළිබඳ විශාල ඝෝෂාවක් යටතේද වීම අතිශයින් ඛේදජනක තත්ත්වයකි. විජාතික සතුරන්ට එරෙහිව නඟන සෝබනකාරී ඝෝෂාවන් යටතේ ජාතික සතුරන් තොග ගනනේ බහුඛණ්ඩනය කෙරෙන රටක ජීවත් වීමට අද අපට සිදුවී තිබේ. අද මේ රටේ කෙරුම්කාරයන් වී ඇත්තේ බාල විජාතික විරෝධය තවරා ගත් ජාතික පාදඩයන් රංචුවකි. ඉතිහාසයේ කවරදාකවත් නැති අන්දමින් බලය අතිශය නිර්ලජ්ජිත ලෙස අවභාවිතයේ යොදවන, සෙල්ලම් පිස්තෝල ඔසවා ගත් මැරයන් අතින් මහ දවාලේ නීතිය  දූෂණයට ලක්වන, සංවේදී කලාකරුවන්ගේ සිට පහලම දේශපාලන හෙංචයියා දක්වා වූ සියලූ චෞරයන් මහජන දේපල වනසමින් අසීමිත ලෙස මුදල් හම්බකරන, ස්තී‍්‍ර  දූෂකයන්, කුඩු කාරයන්, මිනීමරුවන්, කැසිනෝ කාරයන්, රාජ්‍ය බලතල හොබවන, බාල සිල්ලර දේවලින් කෙලවරක් නැතිව සමාජ මනස හා රටේ අධ්‍යාත්මික හරය  දූෂණය කරන, මුළු රටම පාදඩයන්ගේ විගඩම්කාරයන්ගේ අවල කෙලි බිමක් බවට පත් කර ඇති මේ දහදුරා දේශපාලනය හමුවේ අද වඩාත්ම අනාතභාවයට පත්ව ඇත්තේ මේ ආණ්ඩුවට දේශපේ‍්‍රමීත්වය තැවරූ ජාතික බලවේග බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අද ආණ්ඩුවෙන් ඉවත් වී සිටින හෙළ උරුමයේ ප‍්‍රවේශය අවංක එකක් වන්නේ නම් එම පක්ෂයට ඇති සාධාරණ ගැටලූවද මෙයම විය හැකිය. සාධාරණ විවේචනයක් සහිතව අසාධාරණ කඳවුරකට එක් වේ නම් එය හෙළ උරුමයේ දේශපාලන සිය දිවි නසා ගැනීම විය හැකිවුවද ඒ කාරණය මත ඔවුන් මතුකරන විවේචනය කිසිසේත්ම නිශේධනීය එකක් බවට පත් නොවේ.

ආණ්ඩු විරෝධී ව්‍යාපාරය

වත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි පැවතියද ආණ්ඩුව පෙරලා දමා බලයට ගෙන ආ හැකි අවම හෝ සාධනීය ව්‍යාපාරයක් තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ජාත්‍යන්තර බලවතුන්ගේද සහය ලබන ඝෝෂාකාරී ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කලක සිට මෙරට ක‍්‍රියාත්මකව තිබුණද ඒ ව්‍යාපාරය ප‍්‍රායෝගික ශක්තිය අතින් බංකොලොත් ව්‍යාපාරයක් වනවා පමණක් නොව රටට අහිතකර අභිලාෂයන් හා අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරයක්ද වන්නේය. ඔවුන් තම සටන සඳහා තෝරාගත් පොදු ඊනියා පොදු අපේක්ෂකයාගේ ස්වභාවයම මේ ව්‍යාපාරයේ බංකොලොත් ස්වභාවය ගැන ඉතා තාර්කික ප‍්‍රශ්න මතු කරන්නකි. මෛතී‍්‍රපාල යනු ශි‍්‍රලනිපයේ මහ ලේකම්වරයා ලෙස වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිබඳ වගකීමෙන් කෙසේවත් නිදහස් කළ නොහැකි පුද්ගලයෙකි. ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලූ චෝදනාවලට මෛත‍්‍රීපාල මහතාද සෘජුව හා වක‍්‍රව වගඋත්තර කාරයෙකි. අද විපක්ෂයට තම යහපාලනයේ සටන සඳහා දූෂිත යැයි කියන රෙජීමයේම ඉහල පුටුවක් බිලී බා ගැනීමට සිදුවීම සරදම්කාරී දේශපාලන විහිළුවක් වන්නේ ඒ නිසාය. අඩුම තරමේ මෛතී‍්‍ර ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව බාහිර හෝ අභ්‍යන්තර අරගලයක නිරත වූ අයකු හෝ වේ නම් මේ ප‍්‍රවේශය යම් පමණකින්වත් සාධාරණ විය හැකි වුවද මෛත‍්‍රී යනු අවසාන මොහොත දක්වා ආණ්ඩුව සමග කටයුතු කොට හිටි අඩියේ කඳුලූ සලමින් යහපාලන සටනකට අවතීර්ණ වූ දේශපාලන කවටයෙකි. අව්‍යාජව පැන නැගිය යුතු සටනක් වෙනුවට යටි කූට්ටු දේශපාලන කුමන්ත‍්‍රණයක ස්වභාවය රැස් විදා ප‍්‍රකට කරන මෛතී‍්‍රගේ මෝඩ ප‍්‍රවේශයම ඔහුගේ නිසැක පරාජය තහවුරු කරවන එක් හේතුවකි.  අද රටට විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලි වුවද ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්‍යාපාරයක් ඔස්සේ මෝඩ දේශපාලන සූදුකාරයන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩු විරෝධී බලවේගය ඔස්සේ නොවේ.  රට ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණ සමග පවා වෛරයකින් පසුවන ඒ ජයග‍්‍රහණ ආපසු හැරවීම සඳහා කි‍්‍රයාකළ හා කි‍්‍රයාත්මක වෙමින් සිටින මේ විෂම බලවේගය නැවත ඔසවා තැබීමෙන් රට මුහුණ පා සිටින අර්බුදය කිසිදු ආකාරයකින් නැවත පිළිසකර කළ හැකි නොවේ. යම් හෙයකින් මේ බලවේගය ජයග‍්‍රහණය කළහොත් රට මේ දක්වා ලැබූ ජයග‍්‍රහණ පවා නැවත පාවා දෙමින්, රටේ අද පවතින ස්ථාවරබව පවා බිදී විසිරෙමින් රට නැවත ඇද වැටෙනු ඇත්තේ බෙහෙවින් අරාජික හා අස්ථාවර අඩියකටය. අද චම්පික රණවක වැනි අය පවා මේ පිරිස සමග එක්වී ජාතික බලවේග සහිත යහපාලනයක් ගොඩනැගීම ගැන නන් දොඩවමින් සිටීම කනගාටුව දනවන විහිළුවකි. මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් කිරීමට රනිල්ගේ බලවේගය තුළින් හැකිවෙතැයි චම්පික විස්වාස කරන්නේ නම් හෙළ උරුමය තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වන බව කිව මනා නොවේ.අද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇදුරන් ප‍්‍රසිද්ධියේම දෙසන නරිවාදම් වලට අනුව ඔවුන්ගේ ප‍්‍රධාන අභිලාෂය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් තොරවූ ආණ්ඩුවක් තැනීමය. එවැනි දවල් සිහින දකින්නන් පරාජය කිරීම මර්වින් වර්ගයේ ඇමතිවරුන් පරාජය කිරීමටත් වඩා වැදගත් දේශපාලන අවශ්‍යතාවයකි.

අර්බුදයේ පසුබිම

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග මහත් අසීරුතාවකට ඇද දමන මූලික පසුබිම සකස් වන්නේ ඉහත මතුවන කාරණා අනුව බව ඉතා පැහැදිලිය. දූෂිත ආණ්ඩුවක අත්තනෝමතිකකම් සහ දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක දුෂ්ඨ බලවේග අතර පැත්තක් නොගෙන බැරි තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබේ. මේ ජනාධිපතිවරණය යනු කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එක පැත්තක් තෝරාගැනීමට සිදුවන තරඟයකි. මේ දෙකෙන් එකක් තෝරාගනු විනා ඒ දෙකටම අයත් නොවන හා තමන්ගේ අභිමානයට කැලැලක් නොවන තරමේ වෙනත් විකල්ප තීරණයකට යාමේ හැකියාවක් මේ නිශ්චිත මොහොතේ ජාතික බලවේග සතුව නැත. තම මතවාදී පෞර්ෂය භාවිතා කරමින් රජුන් තැනීම විනා තමන්ගේම වූ ස්වාධීන ජනතා බලයක් ගොඩනංවා ගැනීමට එම ව්‍යාපාර අසමත් වී තිබීමද මේ තත්ත්වයට හේතුවකි. අද ජාතික බලවේගවලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහින්ද දිනවීමේ තීරණය ගැනීමට සිදුවන දේශපාලන සන්දර්භය මෙවැන්නක් බව පැහැදිලිය.අපට කී‍්‍රඩා කිරීමට සිදුවන්නේ පිටියේ පවත්නා තත්ත්වයන්ට අනුව මිස හිතින් මවා ගත් ලෝකයක පය තබාගනිමින් නොවේ.අද හෙළ උරුමය හැර අනෙක් සියලූ ජාතික හා බෞද්ධ සංවිධාන ඒ සන්දර්භය තුළ සාපේක්ෂව අඩු නපුර සහිත තීරණය වෙත එළැඹී ඇත්තේ ඒ අනුවය.

ජාතික බලවේග අද මුහුණ දී සිටින මේ උහතෝකෝටිකය දිගු දේශපාලන පසුබිමක්ද සහිත එකක් වෙයි. මෑත අතීතයේදී මෙරට ජාතික මතවාදයේ ලොකුම ද්‍රව්‍යමය බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ තම නිසි මාවතින් හා ආණ්ඩුවෙන්  බැහැරව නන්නත්තාර වූයේ ජනපතිගේ පළමු පදවි ප‍්‍රාප්තිය අවධියේදීමය. ඔවුන් විසින් මහපොළවේ තරයේ පිහිටවූ මතවාදයේ ශක්තියද සහිතව ඒ වෙනුවෙන් පෙනී සිටි ජාතිමාමක බුද්ධිමතුන්, ජානිපෙ, හෙළ උරුමය, වැනි පක්ෂ කණ්ඩායම් ආදිය ආණ්ඩුව හා අඛණ්ඩව රැු`දී සිටියද ආණ්ඩුවට තල්ලූවක් දීමට විනා, එහි සුක්කානම නිසි පරිදි හැසිරවීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් හෝ  තීරණාත්මක බහුජන ශක්තියක් එම පාර්ශවයන් සතු නොවීය. එම ශක්තිය පැවතියේ ජාතික චින්තනයක් තියා අබැටක තරමේ සිහිබුද්ධියක් හෝ නොමැති මජර ශි‍්‍රලනිප දේශපාලඥයන් අතය. එහි ප‍්‍රතිපලය වූයේ දේශපේ‍්‍රමී සායමින් හැඩවූ  දූෂිතයන්ගේ දින දින තරවන අත්තනෝමතික බලය හමුවේ සියලූ ජාතික බලවේග නොසිතූ විරූ තරමේ අනාත නන්නත්තාර භාවයකට ඇද වැටීමය. මෙහිදී ජාතික බලවේගවලට ආණ්ඩුව වෙනස් කිරීමට නොහැකි වූවා පමණක් නොව ඒ සඳහා තීරණාත්මක බලපෑමක් ඔවුන්ගෙන් සිදුවූ බවක්ද පෙනෙන්නට නැත. ඔවුන්ගේ අවම බලපෑම් හෝ සැලකීමේ වුවමනාවක් ආණ්ඩුවටද නොතිබූ අතර පහුගිය කාලය පුරාම දක්නට ලැබුණේ විවේචනාත්මකව බලපෑම් කිරීමට වඩා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා පමණක් කැපවූ ජාතික ව්‍යාපාරයක් බව ඉතා කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව ඇත. අද පවා රටේ සියලූ ප‍්‍රශ්න අමතක කොට වත්මන් ආණ්ඩුවේ ඇතැයි කියන කෙහෙල්මල් ජාතිකත්වයක් ගැන නන් දොඩවමින්, තම බුද්ධිමය පෞර්ෂය විහින් නැති නාස්ති කරගන්නා මහඇදුරන් දකිනවිට ඇතිවන්නේ ජුගුප්සාජනක කලකිරීමකි. මෙය සියලූ ජාතිකවාදී චින්තකයන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් හා භික්ෂු සංවිධාන ආදී සියලූ දෙනා තමන් කෙරේම වූ බලවත් විවේචනයක් සහිතව ආපසු හැරී බැලිය යුතු තත්ත්වයක් බව කිවමනා නොවේ.

අද වනවිට අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති බවට ෆුල්බ‍්‍රයිට් පඬියන් අතින් සරදම් සහගත ප‍්‍රවාද ගොඩනැගෙන දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. රටේ සැබෑ ජයග‍්‍රහණ සඳහා අතිශය තීරණාත්මක මැදිහත් වීම් සිදුකළ විමල් වීරවංශ වැනි අද්විතීය දේශපාලන පෞර්ෂයන් රජවාසල කවටයන් ලෙස නාමකරණය කෙරෙන හා ඔවුන්ගේ අනාගත භූමිකාවද විනාශ කරදමන  දේශපාලන සන්දර්භය මෙය බව අප විසින් අමතක කළ යුතු නැත. එහිදී විවේචකයන්ගේ අභිලාෂය කුමක් වුවත් තර්කානුකූල හා සාධාරණ ලෙස එම විවේචන මතු කළ හැකි තත්ත්වයක් මේ දේශපාලනය විසින්  ඕනෑවටත් වඩා හොඳින් නිර්මාණය කර තිබේ. ඉදිරි කාලය සඳහා මේ අර්බුදය පෙරටත් වඩා වලංගු විය හැකි බව ජාතික බලවේග තරයේ සිහි තබාගත යුතුය.

කාලීන අභියෝගයෙන් ඔබ්බට

ජාතික බලවේග සතු සැබෑ විකල්පය වනුයේ රජුන් තැනීම නොව රටට ගැලපෙන තමන්ගේම වූ දැක්මක් සහිත ජාතිකත්වය යනු කුමක්දැයි ගැඹූරින් වටහා ගත් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමය. අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ අඩමානයට හෝ මේ කාර්යය සඳහා මැදිහත් වුවද යළි කිසිදා ඔවුන්ගෙන් එවැනි මැදිහත් වීමක් අපේක්ෂා කළහැකි වන්නේ නැත. ඒ නිසාම කා අතින් හෝ එවන් ව්‍යාපාරයක් නිර්මාණය විය යුතු වන අතර එවැන්නකින් තොරව මේ රටට හෝ ජාතික බලවේගවලට යහපතක් සිදුවන්නේ නැත. රජුන් තැනීම පිළිබඳ කාලීන අභියෝග අමතක කළ නොහැකි වුවත් ජාතික බලවේග එවන් කාලීන අරමුණු තුළ පටුවෙමින් තමන්ගේ අනාගතය විනාස කරගත යුතු නැත.

පසුගිය වතාවේ මහින්ද දිනවීමෙන් ජාතික බලවේගවලට අත්වූ අපකීර්තියේ තරම ඔවුන් මනාව තක්සේරු කරගත යුතුය. ඉදිරියටත් අත්විය හැකි අපකීර්තියේ තරම හා නැවත වරක් වත්මන් ආණ්ඩුවට දේශපේ‍්‍රමය තැවරීමෙන් රටට සිදුවීමට නියමිත අන්තරායන් පිළිබඳවද ඔවුන් මීට වඩා බරපතල වගකීමකින් සිතා බලන තැනකට ආ යුතුය. රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීම් කළ හැකි විමල් වැනි දේශපාලන නායකයින් හුදු රජුන් තැනීමේ සරල තැනකින් තම ඓතිහාසික භූමිකාව අවසාන කරගත යුතු නැත. ජාතික බලවේග වෙතින් ආණ්ඩුව කෙරේ බලවත් විවේචන එල්ල විය යුතුවා පමණක් නොව ඒ විවේචන ප‍්‍රායෝගිකව බලපෑම් සහගත ආවුද බවට පත්කර ගැනීමේ උපක‍්‍රම වෙතද ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුය. ජාතික බලවේග මේ මොහොතේ තමන් අභිමුව ඇති අභියෝගය මෙන්ම ඔවුන් මුහුණ පා සිටින අසීරුතාවය පිළිබඳවද පුළුල් සංවාදයක් ඇති කළ යුතුය. එවැනි ප‍්‍රවේශයකින් තොරව කොන්දේසි විරහිත සහයක් මහින්දට ලබාදේ නම් එය ජාතික බලවේග විසින් සියතින්ම තම පෞර්ෂය හා දේශපාලන අනාගතය විනාස කරගන්නා තීරණයක් බව අකමැත්තෙන් හෝ අවධාරණය කළ යුතුව ඇත.ජනාධිපතිවරණය පිළිබඳ කාලීන ප‍්‍රශ්නයේ සන්දර්භමය සීමාවෙන් ඔබ්බට ගොස් මේ ප‍්‍රශ්නය දෙස බලන අයකුට මේ ලිපියේ අවධාරණය වටහා ගැනීම අසීරු නොවේ යැයි සිතමි.

-ඉසුරු ප‍්‍රසංග  :මුරගල 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/05/2014

මෛත්‍රී වේශයෙන් එන නිර්මාල්ලාගේ ජාතිවාදී වෛරය

කතෘ:යුතුකම     12/05/2014   10 comments


අද වත්මන් ජනපති සමඟ ජනාධිපතිවරණ සටනට නොයෙකුත් පක්ෂ, කල්ලි සහ කණ්ඩායම් එක කඳවුරකට එක්වී ඇත. ඒවා නා නා මාදිළිය. බැලූ බැල්මට නම් කෙසේ යම් එකඟතාවයකට පැමිණිය හැකිදැයි සිතාගත නොහැකි තරමට විවිධය. විෂමය. ජාතියේ අවශ්‍යතාවයක් වූ කොටි පරදන සටනටවත් මෙවැනි විෂමතා පසෙකලා එක්වීමක් අපට දැකගත නොහැකිවිය. ප්‍රභාකරන් පැරදවීමට සහාය වූවන් මෙන්ම එකහෙළාම ඊට විරුද්ධ වූ කල්ලිද  රාජපක්ෂ මහතා පරාජය කිරම සඳහා සංහිඳියාවකට පැමිණ ඇත. මේ සියළු දෙනාට එක්විය හැකි පොදු සටන් පාඨයක් තැනීම ආරම්භ වන්නේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටය. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය හරහාය. එම පොදු සටන් පාඨය නම් විධායක ජනපති ධූරය අහෝසි කිරීමයි. ඒ වටා නර්තනයක යෙදෙමිනි මේ සියළු කල්ලි එක කුඩයක් යටට පැමිණියේ. මේ සියළු දෙනා එක් කිරීමට පසුතලය සැකසූ සෝභිත හිමියන්ගේ ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා. ඔහු එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයාද වේ. 
පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය විග්නේෂ්වරන්ලා ජයගෙන ටික දිනකින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති මෙන්ම  X කණ්ඩායමේ හිටපු ක්‍රියාධරයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා 'දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද' යනුවෙන් සටහන් පෙළක් අන්තර්ජාලය හරහා මෙන්ම සමාජ ජාලා හරහා කතා බහට ලක් කිරීමට උත්සාහ කළේය. අප එකලද ඔහුට පිළිතුරක් සැපයූ අතර නැවතත් ඔහුගේ එම ප්‍රකාශයන්ට පිළිතුරු සපයන්නේ ඊනියා මෛත්‍රී පාලනයක් බිහිවුවහොත් ඒ යටතේ ඒ සඳහා පසුතලය සැකසූ මොවුන්ගේ කල්ලිය ඉතා බලවත් වීම වැළැක්විය නොහැකි බැවිනි. 

නිර්මාල් මහතා පිළිතුරු දෙන්නේ යැයි කියන්නේ මීට දශක දෙකකට පමණ පෙර සිට 'දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම මෙරට ඇතිවී ඇති සුවිශේෂී ගැටළුව කුමක්ද?' යනුවෙන් නගන තීරණාත්මක පැනයටයි. මේ සටහන් තබන්නේ යැයි කියන්නේ විශේෂයෙන් ආචාර්ය නලින්ද සිල්වා මහතාට පිළිතුරු ලෙසයි. ඒ ඔහු විසින් මීට දශක දෙකකට පමණ ඉහත ප්‍රකාශයට පත් කල 'ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා' ග්‍රන්ථය මුල් කොට ගනිමිනි. සරල කතා ලෙස අතහරින වැල්වටාරම් අස්සේ නරුමවාදී ලෙස අසංගතව ඉදිරිපත් කරන අදහස් නලින්ද සිල්වා මහතාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීම කෙසේ වෙතත් ඉතිහාස විෂයෙන් ඈත් කර ඇති අද තරුණ විය පසුකරන පරම්පරාව සහ ඉන් පසු පරම්පරාවට කරන ආමන්ත්‍රණයක් ලෙස සැලකූ විට මෙය දේවසිරි මහතා ඉතා උපක්‍රමශීලීව සිදුකරන ව්‍යයාමයක් බව වටහා ගැනීම අපහසු නැත.
ඔහු මුලින්ම අදහස් පළ කරන්නේ 'දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි' යන මතුපිටින් බැලූ කල කිසිඳු තර්කයකට ගෝචර නොවන තරමේ අපබ්‍රංශයකිනි. නමුත් කතාව මැදදී ඔහු  නියම තැනට පැමිණේ. ඒ මෙලෙස අදහස් දක්වමිනි.


"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

තවත් ඉදිරියට ගිය විට ඔහු මෙයට තවත් ආරලු බුරලු එක් කරමින්;

 "දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප්‍රජාවක් ලෙස තම ස්වෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි." යනුවෙන් පවසයි.

අප මෙහිදී  මූලිකවම මෙම ප්‍රකාශය සලකා බලමු.

"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

මෙම අදහස  දරන පළමුවැන්නාත් අවසනයාත් නිර්මාල් මහතා නොවේ. ත්‍රස්තවාදී උවදුරට බෙහෙත් සෙවූ දශක දෙක හමාරක තුනක කාලයක් පුරාවටම එක් පාර්ශවයක් නියෝජනය කළ කුලකයකගේම පොදු අදහස මේ වෙයි. 'සුපිරිසිදු' මාක්ස්වාදීන් , ෆෙඩරල්වාදීන් , සාම වෙළදාමට මතවාදී සවිය සැපයූ  විශ්ව විද්‍යාල උගතුන්, රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන්   ආදී මෙකී නොකී කණ්ඩායම් බොහොමයක්ම මේ කුලකයට අයත්ය. (මේ කුලකය පිළිබඳ සිදුකළ අපූරු විග්‍රහයක් "බහුමානීය කියෑවීමක ඒකමානීය නිරුවත!"  යන මැයෙන් දිවයින වටමඩල අතිරේකයේ මෑතකදී  පළ කර ලිපියක සඳහන් වේ. එහිදී රචකයා විසින් මේ කුලකය හඳුන්වා තිබුනේ 'ගෝස්‌තරවාදී විකල්ප ගෝත්‍රය' ලෙසයි.)

මොවුන් මීට කලකට පෙර පැවසුවේ දෙමළ ජනතාවට කාලයක් පුරා අත්විඳින්නට සිදුවූ අසාධාරණකම් නිසා අවසන් ඵලය ලෙස ත්‍රස්තවාදය ඇති වී ඇති බවත් රෝගය සුව කිරීමට නම් රෝග නිධානය එනම් දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් වලට පිළිතුරු දිය යුතු බවත්ය. නමුත් මේ අසාධාරණ කතා පදනමක් නැති හුදු අසංගත ප්‍රලාප බව පෙන්වීමට අතලොස්සක් වූ විද්වතුන් ඉදිරිපත් කළ මත ඉදිරියේ අසාධාරණකම් වල සිට අභිලාෂයන් දක්වා පල්ලම් බසින්නට මේ බොහෝ දෙනාට අකමැත්තෙන් වුවද සිදුවිය. (දෙමළ ජනයාට ප්‍රශ්න නැතැයි මෙයින් හැඟවෙන්නේ නැත. නමුත් ඒවා දෙමළ වීම නිසාම ඇති වූ ඒවා නොවන බව පමණි මින් අදහස් වන්නේ).

මුලින්ම නිර්මාල් මහතා  මේ ගැටලුව දෙස බලන ආකාරයේම කිසියම් කෘතීම මවාගත් ආකාරයක් වැනි ගතියක් තිබේ. එය අමතක කළත් නිර්මාල් මහතා ඉදිරිපත් කරන මේ මතය තනිකර අතාර්කික  ප්‍රකාශයක් බව ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකිය.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.” මෙහිදී අප එකින් එක මේ ප්‍රකාශයේ ඇති අසංගත බව වටහා ගනිමු.

අභිලාෂ කතන්දර නිර්මාණය කළේ කවුද? කුමකටද?

මූලිකවම මෙයින් කියවෙන්නේ දෙමළ ජනයාට පොදු අභිලාෂ ගොන්නක් ඇති බවත් ඒවා ඉටු කරගැනීමට සිංහල බෞද්ධයා ඉඩ නොදීමත් එමගින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවන බවත්ය.

මෙහිදී මූලිකවම සිතට එන ගැටළුව නම්, දෙමළ ජනයාට ඇතැයි නිර්මාල්ලා කියන මේ අභිලාෂ මොනවාද? ඒවා ඇති වූයේ කෙසේද?

අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන්වලින් පිළිතුරු දීමෙන්ම මුලින්ම අසාධාරණකම් කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දීම අමතක කර හෝ මග හැර ඇති බව පිළිගත යුතුය. අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන් ගැන පැවසීම 'යන්නේ කොහේදැයි ඇසූ කල මල්ලේ පොල්' යැයි කියූවාට දෙවනි නැත.

කෙසේ වෙතත් මේ අභිලාෂ කතාවේ මුල පිලිබඳ ඉතා හොඳ ඉඟියක් ලැබෙන ප්‍රකාශයක් මීට ටික කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

 "ජනවාර්ගික අර්බුදය විසඳීමට නම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර දෙමළ ජාතිකයන් භුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දීමට රජය කටයුතු කල යුතුයි."
-TNA පාර්ලිමේන්තු මන්ත්රීත තොමස් විලියම්ස්
-2009-ජුනි 24 පාර්ලිමේන්තුවේදී

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දෙන ලෙසයි.තෝමස් විලියම්ස් පමණක් නොව  දෙමළ අභිලාෂ කෝණයෙන් ප්‍රශ්නය දෙස බලන බොහෝ උගතුන් මෙම අදහස දරයි. මෙයින් කියවෙන්නේ කුමක්ද? බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද මොනවාද? බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් පසු දෙමළ ජනයාට අහිමි වූයේ ඒවායින් මොනවාද? පිළිතුර පැහැදිලි කර ගත යුතුය.

බෙදා වෙන් කර පාලනය කිරීම තම මූලික දේශපාලන දහම කරගත්  බිරිතානියන් විසින් මෙරටදී ඒ සඳහා සිංහල ජාතියට හා සංස්කෘතියට හිමි නිසි ප්‍රමුඛ තැන අහිමි කිරීමට දෙමළ ජාතිවාදය සියවසක පමණ සිට යොදා ගත්හ. ඒ අරමුණ වෙනුවන් ඔවුන් දෙමළ ප්‍රභූ පන්තියට යුරෝපීයන්ට හා සමානවම ඉහල වරප්‍රසාද ලබා දුන්හ. කෝල්බෘක් කොමිසම හරහා සිංහලයන්ට එරෙහිව දෙමළ ජනයා යොදා ගැනීම සඳහා ඉතා සූක්ෂමව සැලසුම් සහගතව ක්‍රියා කළේත්, ලංකාවේ අනිකුත් සියලු පළාත් වලට ප්‍රථමයෙන් යාපනය ප්‍රදේශයේ ඇති කළ ඉංග්‍රීසි පාසල් හරහා දෙමළ ප්‍රභූ පන්තියක් නිර්මාණය කළේත් බිරිතානියන් තම යටත්විජිත බොහොමයකම සාර්ථකව  අත්හදා බැලූ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපාය මාර්ගය මෙහි සාක්ෂාත් කර ගැනීමටය. මේ පිළිබඳ ඉතා සවිතර සටහනක්  'ඊළාම් රාජ්‍යයක් සඳහා කෝල්බෘක් කොමිසමේ දායකත්වය' හා ‘යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ඇසුරින් බිහි වූ දෙමළ ප්‍රභූ පන්තිය’ යන මැයෙන් සූරිය ගුණසේකර මහතා විසින් රචිත “මහා සිංහලයේ ඓතිහාසික අසාධාරණය” නැමති ග්‍රන්ථයේ ඇතුලත්ය.(පිටු 23-31, පිටු 40-50)

දේශපාලන තලයේදී ඔවුන් දෙමළ ප්‍රභූන් සිංහලයන්ට වඩා ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකීය.1833දී පිහිට වූ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය තුළ සිංහල ජනයා 80% පමණ 12% පමණ වූ දෙමළ ජනයා සමග සමාන කරමින් එක් මන්ත්‍රී ධූරය බැගින් පිරිනැමීම එයට හොඳ නිදසුනකි. 19 වන සිය වසේ  මුල සිට ඇරඹුනු මෙම මනෝභාවය 20 වන සිය වසේ හතලිහ දශකය දක්වා එන විටද ක්‍රියාත්මක විය. වරප්‍රසාද ලත් දෙමළ ප්‍රභූන්ට අභියෝගය වූයේ සර්වජන ඡන්ද බලයෙන් දේශපාලන බලය තීරණය වන විටදී ඔවුන් එතෙක්  සාධාරණ නියෝජනයට ඔබ්බෙන් අසමමිතිකව භුක්ති විඳි වරප්‍රසාද සියල්ල අහිමි වීමයි. සර්වජන ඡන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම රජය‍ තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රබුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය. දෙමළ රාජ්‍ය පක්ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) ඔවුන් විසින් බිහි කරන්නේ ඒ වෙනුවෙනි.

 සැබවින්ම මේ දෙමළ ජනයාගේ අභිලාෂ කතා  අස්සේ සැඟවී ඇත්තේම මෙරට සම්බන්ධව අධිරාජ්‍යවාදී රටවල දේශපාලන අභිලෂයන් මිස වෙනකක් නොවේ. දෙමළ ජනයා ඉදිරියට දමා ඒ සඳහා තෝරාගත්තේ ඔවුන්ට ඇති සුවිසේෂී ආදරයක් නිසාද නොවන බව අප තේරුම් ගත යුතු වෙමු. 'සුළු ජාතික දුක් ගැනවිලි' අද අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේදී යොදා ගන්නා තවත් උගුලක් බව ලෝකය පුරා අත්දැකීම්වලින් පැහැදිලිය. නිර්මාල්ලා අද මහත් උජාරුවෙන් කියන්නට හදන මේ අභිලාෂයන් වෙනකක් නොව අධිරාජ්‍යවාදීන් ඉහල දෙමළ සමාජය තුළ පැල කරගිය විශබීජ බව පැහැදිලිය. චෙල්වනායගම්ලා, සුන්දරලිංගම්ලා පොහොර දමා තවන් දැම්මේ මෙම විශබීජයන්ය. කවුරු පොහොර දැම්මත් කවුරුන් පැල කළත් එහි අස්වැන්න නම් නෙලා ගන්නේ මේවා පැලකර ගිය උන්ම බව අධිරාජ්ය විරෝධීන් යැයි තමන්ම හඳුන්වාගන්නා නිර්මාල්ලාට නොතේරීම අවාසනාවකි.
බටහිරයන් විසින් තනා දුන් දෘෂ්ටියෙන් පිටත මෙම අදිරාජ්‍ය විරෝධීනට දැකිය නොහැක්කේ ඔවුන්වද නිර්මාණය කෙරී ඇත්තේද බටහිරයන් විසින්ම නිසා විය යතුය. වෙනත් වචනයකින් කියන්නේ නම් මැකෝලිගේ සුජාත දරුවන් වන නිර්මාල්ලාට තමන් කොතරම් විවෘත මනස් කාරයන් යැයි පැවසුවත් මැකෝලිලා ඇඳ දුන් කොටුවෙන් එහා එම මනසට අකැපය.

නිර්මාල්ලාගේ දරිද්‍ර අභිලාෂ දෘෂ්ඨිය...

අප නිර්මාල්ලාගේ අභිලාෂ කතන්දරයේ අතාත්වික, අසංගත හා අනුචිත බව මොහොතකට අමතක කර එම දෘෂ්ටියේම පිහිටා එදෙස බලමු.

නැවතත් නිර්මාල් මහතාගේ ප්‍රකාශය බලමු.

"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

නිර්මාල් මහතාගේ තර්කයේ පදනම දෙමළ ජනයාට අනන්‍ය භූ-දේශපාලන  අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් සිංහලයන් විසින් පිළිගත යුතු බවත්ය.
නමුත් ඊට අනුරූපවම බැලුවහොත් 'සිංහලයන්ටද අනන්‍ය භූ-දේශපාලන අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් දෙමළ ජනයා විසින් විසින් පිළිගත යුතුය' යන්න අභිලාෂ දෘෂ්ඨිය මත සැකසූ නිර්මාල් මහතාගේ තර්කයේම තිබිය යුතු කොටසකි. නිර්මාල්ලාම කියන 'අභිලාෂ දෘෂ්ඨියෙන්ම” බැලුවහොත් සිංහලයන්ගේ භූ දේශපාලන අභිලාෂය නම් මෙරට එක්සේසත් රාජ්‍යයක් සේ පවත්වාගෙන යාම බව ඔහුට පසක් විය යුතුය. නිර්මාල් මහතා තර්කානුකූල වූවානම් ඔහුගේ දෘෂ්ඨියට අනුව වුවත් ඉතිරි වන්නේ එකිනෙකට පරස්පර තත්වයන් දෙකක් මිස වාද විවාද කර නිවැරදි දැයි සෙවිය යුතු බරපතල ගැටලුවක් නොව , තමාට ලියන්නට දෙයක් නැති බව ඔහුටම වැටහී යා යුතුය. ඇතැම් විට එය වැටහී තිබියදීම කියවන්නා නොමඟ යැවීම ඔහුගේ අරමුණ වූවාදැයි අපි නොදනිමු.
සිංහලයන් කිසියම් ජන වර්ගයක භූ-දේශපාලන අභිලාෂ පිලිගත යුතු නම් සිංහලයාගේ භූ-දේශපාලන අභිලාෂ පිලිගැනීමට දෙමළුන් අකමැති වීම ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි? දෙපාර්ශවයක අභිලාෂයන් එකිනෙකට පටහැනි නම් එක්කෝ කළ යුත්තේ එකෙකුගේ අභිලාෂයන් අනෙකා පිළිගෙන තමන්ගේ අභිලාෂයන් නකුට ගසා ගැනීමටයි. නිර්මාල්ලා මෙහිදී නකුට ගසා ගැනීමට සිංහල අභිලාෂයන් තෝරාගත්තේ කෙසේද? අභිලාෂ දෘෂ්ඨිය අදහමින්ම සිංහල අභිලාෂයන් සහමුලින්ම අමතක කර දෙමළ අභිලාෂයන් උස්සා තබන්නට නිර්මාල්ලා පෙලඹෙන්නේ ඇයි?
දෙපාර්ශවයේ අභිලාෂයන් එකිනෙකට පරස්පර නම් කිසිවෙකුත් එකිනෙකාගේ අභිලාෂයන් ඉටු කිරීමට එකඟ නොවේ නම් ඊලඟට ඇති විසඳුම කුමක්ද? දෙපාර්ශවයම ගහ මරා ගෙන අවසානයේ  ජයගන්නාගේ  අභිලාෂයන් වලට ඉඩ දීමයි. නිර්මාල්ලා අභිලාෂයන් පස්සේම පන්නන්නේ නම් දැන් මෙයත් සිදුවී හමාරය. දැන් එසේ නම් සිංහල අභිලාෂයන් පිළිගැනීමට නිර්මාල්ලා සූදානම්ද? (නිර්මාල්ගේ තර්කයේ පදනමම වැරදි බව මොහොතකට අමතක කළත් එයට අනුව ) දැන් විසඳීමට ගැටලුවක් නැත. 'දෙමළ අභිලාෂයන්' 'සිංහල අභිලාෂයන් ' හමුවේ පරාජය වී ඇත. එය හුදු නිර්මාල්ගේ තර්කයට ප්‍රති තර්කයක් ලෙස පමණක් ඉදිරිපත් කළත් අප කිසිසේත් එවැනි නරුමවාදී පිළිවෙතකට එකඟ නොවෙමු. එමගින් පෙනෙන්නේ වෙනෙකක් නොව මේ අභිලාෂ කතා වලින් නම් මේ කියන ප්‍රශ්නය කුමක්දැයි පැහැදිලි කරගත නොහැකි බවයි. නිර්මාල් මහතා  තමන්ගේ ප්‍රකාශයට හිමි විය යුතු අවම තර්කානුකූල බව වත් ලබා දී නොමැති බවයි. මේ අභිලාෂ කතා වලින් ප්‍රශ්න විසඳිය නොහැකි බව දැන්වත් වටහා ගත යුතුය.

සිංහල යන වචනය ඇසූ පමණින් එයට එරෙහිවීමට හා ඒ එරෙහිවීමට හේතු සාධක සොයන්නටත් දෙමළ යන වචනය ඇසූ පමණින් එය නිරුවත් වර්ගවාදය වුවත් එයට බද්ධවීමටත් ඒ බද්ධවීම සාධාරණීකරණය කරන්නට පොත් පෙරලාගෙන නහින්නටත් මානසිකත්වය සැකසෙන්නේ අප ඉහත කී මැකෝලි පුත්‍ර දුගී මනෝභාවය නිසයි...

අභිලාෂයන්  සපුරාලීමෙන් සැනසුමක් වේද?

නිර්මාල්ලා කියන ආකාරයේ අභිලාෂ පිළිබඳ ගැටුමක් අධිරාජ්‍යවාදීන් පැමිණෙන්නට පෙර නොපැවති අතර සිංහල පොදු සංස්කෘතිය තුළ අනෙකුත් සංස්කෘතීන්ට හිමි විය යුතු තැන ලබා දෙමින් එකිනෙකාට ගරුකරමින් සිටි  අතර අනෙකුත් සංස්කෘතීන් පොදු සංස්කෘතිය තුළට අවශෝෂනය වෙමින් එක් ධාරාවක් ලෙස අවම ගැටුම් සහිතව විකසනය විය. පන්සල තුළ හින්දු දෙවියන් වෙනුවෙන් ඉඩක් වෙන්වන්නේ මේ අන්‍යෝන්‍ය සංස්කෘතික මිශ්‍රවීම් වලට ලැබුනු නිදහස් ඉඩ කඩ ඔස්සේය. නිර්මාල්ලා මෙන්ම ඔවුන්ගේ බුද්ධිමය ස්වාමිවරුන් බෝ කළ ඊනියා අභිලාෂ විශබීජ නොවන්නට අපට ගහ මරා ගැනීමට දෙයක් ඉතිරි වන්නේ නැත. එබැවින් අප අද ප්‍රමුඛත්වය දිය යුත්තේ වෙන්වීමේ දිශානතිය සොයමින් විකාශනය වන ඊනියා අභිලාෂ කතන්දර පරාජය කරමින් එකිනෙකාට ගරු කරමින් එක පොදු සංස්කෘතියක් තුළට ගොනු වීම මිස නිර්මාල්ලා මෙන් එකිනෙකා  විරසක කරවන ඉතිහාසයට සංස්කෘතියට පටහැනි ඊනියා අභිලාෂ කතන්දර පෝෂණය කිරීම නොවන බව පැහැදිළිය. ඒ සඳහා කතිකාවතක් ඇති කිරීම වෙනුවට එකිනෙකා කා කොටා ගන්නා දිශානතිය පාදා ගැනීම වෙනුවෙන් වෙහෙසීම කෙතරම් බුද්ධිගෝචර දැයි ඒ වෙහෙසෙන්නන්ට කවදා වැටහේද?

අලුතින් ලියන නිර්මාල්ලාගේ දෙමළ ඉතිහාසය

දැන් අපි නිර්මාල් මහතාගේ මූලික තර්කයේ අවසන් කොටස සලකමු.
"දෙමළාට සිය ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි. "

මෙය හුදු නිර්මාල්ගේ මනෝ නිර්මාණයක් ද? නැත. මෙය නිර්මාල්ලාගේ බුද්ධිමය ස්වාමිවරුන් ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් නිර්මාණය කර දුන් මතයයි.මේ කියන්නේ 1940 දි පමණ සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා පැවසූ ,වඩුක්කොඩෙයි ඔස්සේ තිම්පු හරහා නකෝන් පතෝන් දක්වා ගමන් කළ එමෙන්ම නන්දිකඩාල්වල ගිලෙන තෙක් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තයන් තම ත්‍රස්ත ක්‍රියා සාධාරණීකරණය කළ එමෙන්ම අද විග්නේශ්වරන්ලා - සුමන්තිරම්ලා උස් හඬින් කියන්නට තටමන දෙමළ නිජබිම පිලිබඳ අමු කෙප්පය සාධාරණීකරණය කරන්නට හදන උත්සාහය හැර වෙනකක් නොවේ.

දෙමළ නිජබිම් සංකල්පය දැන් වසර 30 ක් පමණ පුරාවට නිර්මාල්ලා මෙන් සිය ගණනක් උගතුන් සමග  අවශ්‍ය පමණටත් වඩා සාකච්චා කර ඇති නමුත් පරණ හනමිට බිම තැබීමට බොහෝ දෙනා තවමත් අසමත්ය. නිර්මාල්ලා මේ හදන්නේ ප්‍රභාකරන් මෙන්ම "සිංහල මහ ජාතිය සිංහල බහුතර උවමනාවන් වෙනුවෙන් ලියවුනු මහාවංශ මිත්‍යාවේ ගිලී ඇත." යන මනෝභාවයේ සිට බව සැක නැත. වසර දහස් ගණනක අවිචින්න ඉතිහාසය පිළිබඳ ඉතා සංගත අදහස් අරහෙන් මෙහෙන් ඉදිරිපත් කරන හුදකලා අදහස් දෙක තුනකින් බිඳළිය නොහැකි බව නිර්මාල්ලාට නොතේරෙනවා නොවේ. නමුත් නිර්මාල්ලාගේ රාජකාරිය , කොන්ත්‍රාත්තුව එයයි. එක බොරුවක් වැසීමට තවත් බොරු සියයක් අවශ්‍ය යැයි කියමනක් තිබේ. එබැවින් බින්දුවේ සිට ඇරඹිය යුතු දෙමළ ඉතිහාස කතාව නිර්මාල්ලාට තබා නිර්මාල්ලා දහසක් ආවත් සිදු කළ නොහැකි බව පැහැදිලිය. නිර්මාල්ගේ උත්සාහය 'මහා හිමාලය හැට්ට කටුවකින් බිමට සමතලා කරන්නට දරන වෑයමකට' දෙවනි නැත. මයිල්වාගනම් පුලවර් එවකට (1736) ලංදේසි ආන්ඩුකාරවරයාගේ ඇරයුමින් රචනා කල 'යාල්පානම් වයිපවමාලෙයි' කෘතියේ අඩංගු කෙප්ප වලින් කිහිපයක් උපුටා දැක්වීමට අවශ්‍ය නම් නිර්මාල්ලාට පුළුවන. මෙහි ඇති අසංගත භාවය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් 'දෙමල ඊළාම් නිජබිම් ප්‍රශ්නය' නැමති ග්‍රන්ථයේ  මෙන්ම 'ඊළාම් සිහින දේශයට පදනම - යාල්පානම් වයිපවමාලෙයි ‘ නම් සූරිය ගුණසේකර රචිත ග්‍රන්තයේ අඩංගු සටහන් වලින් පැහැදිලි කරගත හැක.  එහිද දෙමළ ඊලාම් ව්‍යාජ ඉතිහාසය අදටද දෘශ්‍යමාන සාධක මෙන්ම පෙර අපර දෙදිගම රටවල ඉතිහාස පිළිබඳ සවිස්තරාත්මක සටහනකින්ද යුක්තය. මහාවංශය සිංහල අධිපති උවමනාවන් වෙනුවෙන් සැකසූ හුදු ප්‍රබන්ධයක් නම් එහි සඳහන් බොහෝ සිදුවීම් පෙර අපෙර දෙදිග ඉතිහාසයන් සමග මනාව සැසඳෙන්නේ නැත.
යමෙකුට සංහත භාවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නම් නරුම ලෙස තමන්ට අභිමත පරිදි තමන් කැමති ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. නමුත් ඒවා සහ මානසික ව්‍යාධියක් ඇත්තකු ඉදිරුපත් කරන අදහස් අතර වෙනසක් නැත. මානසික ව්‍යාධියක් ඇත්නම් ඔහු අනිත් බොහෝ බාහිර සාධක නොසලකා තමන්ට අභිමත ලෙස තමන් කැමති හිතට එන ඕනෑම දෙකයක් කීමට හා කිරීමට පෙළඹේ. අප යමක් ඉදිරිපත් කරන විට හැකිතාක් සංගත විය යුතු යැයි කියන්නේ මේ නිසාය.


නිර්මාල්ලා මේ ශාස්ත්‍රීය තලයේ යැයි කියමින් ගන්නා උත්සාහය සම්බන්ධන්ලා හරහා දේශපාලනයටත් ඉන්පසු උතුරේ හැඟීම් මත තීරණ ගන්නා දෙමළ තරුණයන් අතට යන්නේ තුවක්කුවද සයිනයිඩ් කරලද සමගිනි. ප්‍රභාකරන්ලා නිර්මාණය කළේ චෙල්වනායගම්ලා බවද චෙල්වනායගම්ලා බිහි වීමට මයිල්වාගනම් පුලවර්ලා ගේ 'ශාස්ත්‍රීය උත්සාහයන්'ද පාදක වූ බවද අමතක නොකළ යුතුය. එබැවින් මෙය, මෙහි ඇති දේශපාලන අරමුණෙන් වියුක්තව ගෙන අහිංසක ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ඌනනය කිරීම අනුවණ කමකි. නිර්මාල්ලාගේ රාජපක්ෂ විරෝධයේ පිටට පෙනෙන පොත්තේ දවටා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් වුව, එහි අරටුව සකස් වී ඇත්තේ ජාතිවාදී බෙදුම්වාදී අභිලාෂයන්ගෙන් බව ඔවුන් සමග එකට හිද ගන්නට යන්නවුන් දත යුතුය. මේ මොහොතේ මෛත්‍රී වේශයෙන් මතුව ඇත්තේ ජාතිවාදී වෛරයයි.
-කැළුම් නිරංජන 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/04/2014

2015 ජනාධිපතිවරණය සහ බෙදුම්වාදයේ දේශපාලන සංරචකය

කතෘ:යුතුකම     12/04/2014   1 comment

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියමිත කාලයට වසර දෙකකට පමණ පෙර ජනාධිපතිවරණයක් කැදවා ඇත. තමන්ගේ ආණ්ඩුවේ ගිලිහෙන ජනප්‍රියත්වය හමුවේ ඔහු මේ පියවර ගන්නට ඇතැයි සිතිය හැකිය. එසේම 2015 මාර්තු මස රැස්වන ජෙනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමෙන් යම් තීරණාත්මක බලපෑමක් ඇති වීමට ඉඩ ඇති නිසා එයට පෙර ජනවරමක් දේශීයව දිනා ගැනීමද ඔහුට වැදගත් විය හැකිය. කෙසේ හෝ වේවා දැන් තිබෙන තත්වය අනුව ජනාධිපතිවරණයක් 2015 ජනවාරි මස 8 වන දින පැවැත්වෙයි. එහිදී ජාතික බලවේග ගත යුතු තීරණය සහ ඒ තීරණය ගත යුත්තේ ඇයිද යන්න අප දකින ආකාරයට පැහැදිලි කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ වෙයි.
මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා ශ්‍රිලනිපයේ මෛත්‍රිපාල සිරිසේනය. මෛත්‍රිපාල මහතා ජාතිකත්වයට බර ප්‍රතිරූපයක් තිබූ නායකයෙකි. විශේෂයෙන්ම සිගරට් අරගලය වැනි කාරණාවලින් ඔහු පහුගිය කාලයේ ඒ ප්‍රතිරූපය තහවුරු කර ගත්තේය (ඒ කාලයේද මෙවැනි පිම්මක් පැනීමේ අදහසක් ඔහුට හෝ අද ඔහුට අනුග්‍රහය දක්වන කණ්ඩායම්වලට තිබිණිදැයි අපි නොදනිමු). රනිල් වික්‍රමසිංහ වෙනුවට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමම තවමත් රටේ ප්‍රධාන දේශපාලන මතවාදය ජාතික මතවාදය බව තහවුරු කරන්නකි. රනිල්ට නොලැබෙන සිංහල ඡන්ද මෛත්‍රිපාල මහතාට ලැබීම මීට ප්‍රධාන හේතුව වෙයි. හෙළ උරුමය මෙහිදී ඒ සදහා ආධාරකයක් වෙයි. මෛත්‍රිපාල යනු රනිල්ගේ කොන්ඩමයක් නම් හෙළ උරුමය යනු ඒ කොන්ඩමයට උඩින් පළදින තවත් කොන්ඩමයකි. 2010දී පරාජයෙන් බේරී විපක්ෂ නායකධූරය රැක ගැනීමට ෆොන්සේකා කොන්ඩමය පමණක් භාවිත කළ රනිල් වික්‍රමසිංහ මහතා, මෙවර බලය ලබා ගැනීමට කොන්ඩම් දෙකක්ම එකවර භාවිත කරනු දැකිය හැකිය. 2004දී ශ්‍රිලනිප ඡන්ද කඩා එජාප ආණ්ඩුවක් පිහිටුවීමට කඩේ ගිය හෙළ උරුමය (එය අසාර්ථක විය) නැවත වතාවක් එජාප ආණ්ඩුවක් පිහිටුවීමට තීරණාත්මකව මැදිහත්ව සිටී. ජාතික ව්‍යාපාරය දේශපාලන වශයෙන් ශක්තිමත් වන විට එහි පෙරමුණේම සිට ලකුණු දමා ගන්නා හෙළ උරුමයේ දෙබිඩි පිළිවත මතු වන්නේ ජාතික බලවේග දේශපාලන වශයෙන් වඩා අස්ථාවර වන අවස්ථාවලය. 2004 පාර්ලිමේන්තුවේ කථානායක ධූරය තේරීම එවැනි එක් තීරණාත්මක අවස්ථාවකි. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් හෙළ උරුම ව්‍යාපෘතිය මෙතැනින් අවසාන වනු ඇත. මේ එහි කූටප්‍රාප්තියයි. එහි අවසාන පිම්මයි. ඒ පිම්ම ඔවුන් පිටුපස සිටින විජාතික බලවේගවලට ඉතා වැදගත් පිම්මකි.
මෛත්‍රිපාල මහා දෙසැම්බර් 1 වන දින පොදු විපක්ෂයේ පක්ෂ සහ පුද්ගලයන් අතර අත්සන් කළ ගිවිසුමේ ප්‍රධානම කරුණක් මතු වෙයි. එය නම් විධායක ජනපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කරන බවය. එවැනි පාලන ක්‍රමයක විධායක බලය පැවරෙනුයේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටය. මෙහිදි රනිල් අගමැති කරන කතාව ඔහු කිවේ පළමු මාධ්‍ය හමුවේදීය. පසුව ඔහු ඒ ගැන එතරම් කතා නොකළ අතර එමගින් සිංහල ඡන්ද කැඩීම වැළක්විම එයට හේතුව විය හැකිය. කෙසේ වෙතත්  දෙසැම්බර් 2 දින මෛත්‍රිපාල මහතාට සහය දීමට ගත් එකගතාවයේදී හෙළ උරුමයේ චම්පික රණවක මහතාද රනිල් අගමැති වීම ගැන සදහන් කර ඇත. එජාපය මෛත්‍රිපාල මහතාට සහය දෙන්නේ නිකම් විය නොහැකිය. මේ නිසා මෛත්‍රිපාල මහතා පොදු විපක්ෂය සමග ඇති කරගෙන තිබෙන එකගතාවය අනුව සිදු වීමට වඩාත්ම ඉඩ ඇති දෙය නම් රනිල් අගමැති ධූරය උසුලන පාර්ලිමේන්තු බලය ඇති ආණ්ඩුවක මෛත්‍රිපාල නාමික ජනාධිපතිවරයෙකු වීමය. 2001-2003 සමයේ විරුද්ධ පක්ෂයේ විධායක ජනපති කෙනෙක් සිටින විට පවා රනිල් කටයුතු කළ ආකාරය සලකන විට මෙවැනි ආණ්ඩුවක ක්‍රියාකලාපය කෙසේ වේදැයි නිගමනය කිරිමට අංජනම් එළි බැලීමට අවශ්‍ය නොවේ.

දෙමළ බෙදුම්වාදයේ සංරචක තුනක් ඇත. එ් යුධමය, දේශපාලනමය, සහ මතවාදීමය සංරචක තුනයි. මෙයින් යුධමය සංරචකය නන්දිකඩාල් කලපුවේදී පැරදුනි. මතවාදී සංරකයද අද එතරම් ශක්තිමත් නොවේ. එහෙත් දේශපාලන සංරචකය ටිකෙන් ටික ඉන් පසුව වර්ධනය විය. උතුරු පළාත් සභාව පිහිටුවීම එහි ප්‍රධාන සන්ධිස්ථානයකි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එයට රිසිසේ ක්‍රියාත්මක වීමට ඉඩ නොදුන්නේය. මහින්ද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය ආපස්සට හැරවීමට ප්‍රමාණවත් පියවර ගත්තේ නැතැයි අපි සිතමු. අනෙක් අතට ඔහු එය වර්ධනය වීමට ඉඩ දුන්නේද නැත. ඔහු උතුරු පළාත් මහ ඇමතිවරයා ඉල්ලු පරිදි ආණ්ඩුකාරවරයා මාරු කිරීමට මෙන්ම යුධ හමුදාව ඒ පළාත්වලින් ඉවත් කිරීමටද විරුද්ධ විය. ඔහු යටතේ ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට නොලැබුනි. රනිල් යටතේ එන ආණ්ඩුවකින් මේ තත්වය සහමුලින්ම වෙනස් වීමට ඉඩ ඇති බව අපේ විශ්වාසය වෙයි. එය 2001-2003 අත්දැකීම් මත එන නිගමනයකි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දරන ආණ්ඩුවකින් පහසුවෙන් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය දැනට වඩා සිය ගුණයකින් ශක්තිමත් විය හැකි බව අපේ හැගීමය. එහි පළමු පියවර 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම (ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම), උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණඩුකාරවරුන් මාරු කර බෙදුම්වාදයට හිතැති පුද්ගලයන් පත් කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කිරීම වැනි දෑ විය හැකිය. ඇත්තටම මේ ඉල්ලීම් කාලයක පටන් ඉදිරිපත් වෙයි. පාර්ලිමේන්තු ක්‍රමය යටතේ එන රනිල්ගේ ආණ්ඩුවක්, විධායක ක්‍රමය යටතේ ඇති මහින්දගේ ආණ්ඩුවකට වඩා මේ ඉල්ලීම්වලට එකග වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මෙහි ඊළග පියවර අභ්‍යන්තර ස්වයං පාලනය ඉල්ලීමයි. මේ අභ්‍යන්තර ස්වයං පාලනය අවුරුදු කිහිපයකින් ජනමත විචාරණයකින් වෙන් වීම පහසුවෙන්ම සිදුවිය හැක්කකි. චන්ද්‍රිකාගේ පැකේජයේද එවැනි යෝජනා අන්තර්ගතව තිබිණි. ඇත්තවශයෙන්ම චන්ද්‍රිකා මෛත්‍රිපාලගේ මාධ්‍ය සාකච්ඡාවේදී තම පැකේජය ගැනද කිහිපවරක්ම මතක් කිරීම බළලා මල්ලෙන් එළියට පැනීමකි  (38 මිනිත්තුවේ සිට බලන්න) (මාධ්‍ය සාකච්ඡාවේදී ඇගේ එක් විවේචනයක් වූයේ මහින්ද මේවා ගැන ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවය). එසේම පොදු අපේක්ෂකයාගේ එකගතාවය අත්සන් කරන රැස්වීමේදී චන්ද්‍රිකා කලකට පසු පොදු අපේක්ෂකයා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන එක්සත් ලංකාවක්‘ පිහිටුවන බවට ප්‍රතිඥා දුන්නාය. පොදු අපේක්ෂකයාගේ කර මතින් බිහිවන නව ආණ්ඩුව ඒකීය රාජ්‍යය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය.

මේ ආකාරයට පියවරෙන් පියවර වෙනම රාජ්‍ය බිහිවීම හිතලුවක් නොවන අතර නෝර්වේ මැදිහත්වීමෙන් දකුණු සුඩානයේද, එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමේන් නැගෙනහිර ටිමෝරයේදී සිදු වූයේ මේ ආකාරයට ස්වයං පාලනය සහ ජනමත විචාරණ හරහා වෙන්වීමකි. එම රාජ්‍යය ඊශ්‍රායල පන්නයේ දෙමළ ෆැසිස්ට්වාදී රාජ්‍යයක් වනු ඇති. එම නව රාජ්‍යය විසින් දේශසීමා පුළුල් කිරීම සහ ජනපදකරණය හරහා ලංකාවේ ඉතිරි ටිකත් ගිල ගැනීම හෙවත් ලංකාව දකුණු ආසියාවේ පලස්තීනය බවට පත්වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි. චෙල්වනායගම්ගේ ‘දැන් ටිකක්, පසුව හුගක්‘ න්‍යාය චෙල්වනායගම්ට පමණක් අනන්‍ය වූවක් නොවේ. ඇත්ත වශයෙන්ම දෙමළ වර්ගවාදීන්ට මුලින්ම අවශ්‍ය වූයේ මධ්‍යයේ එනම් ලංකා රාජ්‍යයේ බලය ලබා ගැනීමය. ජී.ජී. පොන්නම්බලම් රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ 50ට 50 බලය ඉල්ලුවේ (මෙහිදි ඔහු කරේ සිංහල 50ක් සහ දෙමළ 50ක් ඉල්ලීම නොව දෙමළ 50ක් සහ සිංහල ඇතුළු අන් සියල්ලන්ටම 50ක් ඉල්ලීමකි) උතුරු නැගෙනහිර දෙපළාතට නොව මුළු ලංකාවටමය. චෙල්වනායගම් උතුරු නැගෙනහිර පළාත් සදහා වූ දෙමළ රාජ්‍යයක් යන ඉල්ලීමට පසු බැස්සේ  සර්වජන ඡන්ද බලය ලැබිමත් සමග රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ බහුතරය සිංහල වූ පසු තව දුරටත් මධ්‍යයේ බලය ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව පැහැදිලි වූ පසුවය. යම් හෙයකින් උතුරු නැගෙනහිර දෙමළ රාජ්‍යය සාක්ෂාත් වුවහොත් දෙමළ වර්ගවාදීන් නැවතත් මුලටම යනු ඇත. බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් කප්පම්කරුවන් වැනිය. කප්පම් දීමෙන් කප්පම්කරුවන් සැනසිය හැකියැයි යමෙක් සිතන්නේ නම් ඒ මුළාවකි. එයින් සිදුවන්නේ කප්පම්කරුවන් වඩාත් ධෛර්යමත් වී වඩ වඩාත් කප්පම් ඉල්ලීම සහ ලබාගැනීම පමණය.

මෙය විය හැකි නරකම දෙය උනත් මේ සිදුවීම් පෙළ සිදුවීමට හොදටම ඉඩ ඇති බව අපේ හැගීමය. මෙතැනින් දැක්වෙන්නේ ඉන්දියාවේ ප්‍රධානම පෙළේ දේශපාලන විශ්ලේෂකයන් සහ ක්‍රමෝපායන් සැලසුම් කරන්නන්ගේ සාකච්ඡාවකි. ඔවුන්ට අනුව ඉන්දියාවේ දේශපාලන අභිලාශයන්ට මහින්ද රාජපක්ෂ බාධාවකි. ඒ චීන මැදිහත්වීම නිසාත් ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය ආකාරයට මහින්ද 13 වන සංශෝධනය හෝ ඊටත් එහා ගිය බලය බෙදීමක් ක්‍රියාත්මක නොකරන නිසාත්ය (ඔවුන් කියන්නේ මහින්ද 13 ගැන බයිලා කියමින් ඔවුන්ව අන්දන බවය. එය අපේ පැත්තෙන් බලන කල මහින්දට කළ හැකි ලොකුම ප්‍රශංසාවකි). එසේම ලංකාවේ  ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කිරිමද ඔවුන්ට වැදගත් වෙයි. ඔවුන්ට අවශ්‍ය ලංකාව තුළ ඔවුන්ට පාලනය කළ හැකි මට්ටමේ ෆෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය එතනින් නතර නොවෙයි. වරක් දෙමළ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වා තම රාජ්‍ය නායකයා අහිමි කරගත් කෞටිල්‍යලාට නොවැටහෙන කරුණ නම් එම දෙමළ ෆෙඩරල් රාජ්‍යය වෙනම දෙමළ රාජ්‍යයක් බවට පත් වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණක් බවය. බටහිර රටවල භූමිකාව මෙහිදී වැදගත් වෙයි. මෙහි අවසන්  ප්‍රතිඵලය දීර්ඝකාලීනව ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවයටද එමගින් තර්ජනයක් එල්ලවීමය. සන්නද්ධ කැරැල්ලකදී මෙන් නොව, ලංකා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව, බටහිර රටවල ආශිර්වාදය සහ මෙහෙයවීම මත සිදු වන බෙදුම්වාදී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිකයදී, ඉන්දියාවට ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට සෘජුව මැදිහත් වීමට ඇති අවකාශ අවම වෙයි.

අද එල්ටීටීඊ සංවිධානය භූමිකාවේ නැති වීම ඇත්තටම බෙදුම්වාදයේ දේශපාලන සංරචකයට වෙස්වළාගත් ආශිර්වාදයක් වෙයි. චන්ද්‍රිකාගේ පැකේජය හෝ රනිල්ගේ සාම ගිවිසුම් කාලයේ දුන් යෝජනා එල්ටිටීඊය පිළිගත්තානම් අද ඊළම බිහිවී හමාරය. එහෙත් ෆැසිස්ට්වාදි දැඩි මතධාරී සංවිධානයක් වූ එල්ටිටීඊයට අවශ්‍ය වූයේ සටන් කිරීමෙන්ම ඊළම දිනා ගැනීමටය. ඔවුන් සාකච්ඡා යොදා ගත්තේ තම යුධ ව්‍යාපාරයට අරමුදල්, පිරිස් සහ සම්පත් රැස් කිරීමට අවකාශය සහ කාලය ලබා ගැනීමට පමණි. එහෙත් ඔවුන්ට අනුරූපික සුඩාන සහ ටිමෝර බෙදුම්වාදී කණ්ඩායම් බටහිරයන්ගේ සැලසුමට එකග වී පියවරෙන් පියවර ගොස් වෙනම රාජ්‍යයක් දිනා ගත්හ. අද සිටින දෙමළ බෙදුම්වාදී දේශපාලකයන්ද එවැනි ක්‍රම ක්‍රමයෙන් වෙනම රාජ්‍යයක් දිනා ගැනීමට එක පයින් කැමති වෙති. එයට අකුල්හෙලිමට එල්ටීටීඊයක් නොමැති වීම ඔවුන්ට අමතර වාසියක් වෙයි. මෙහිදී මහින්ද ආණ්ඩුව කළ වරද නම් යුධ ජයග්‍රහණය මාකට් කරමින් ඡන්ද ගරමින් බෙදුම්වාදයේ දේශපාලන සංරචකය අමතක කිරීමය. යුධ ජයග්‍රහණයෙන් දෑස් නිලංකාර වූ මහාජනතාවද බෙදුම්වාදයේ දේශපාලන සංරචකය නොතකා හැරි අතර ටික කලකින් යුධ ජයග්‍රහණයද ඔවුන්ට අමතක විය.
අප හිතවත් ආචාර්ය නිර්මාල් රංජිත් සිය ෆේස්බුක් සටහනක දැක්වූ ආකාරයට (ලංකාවේ දේශපාලන ප්‍රධාන ධාරාව තුළ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මධුසමය තීරණාත්මක ලෙස අවසන් වී ඇත. එහෙත් දෘෂ්ටිවාදයක් ලෙස එහි ශක්තිය දුර්වල වී නැත. එමනිසා යලි දේශපාලන පුනරාගමනයකට හැකියාව ඇත. ඒ නිසා මේ තත්වය නිවැරදිව තක්සේරුකර අපතේ නොයැවීමට කටයුතු කිරීම අවශ්‍ය වේ. - නිර්මාල් දේවසිරි - 27-11-2014) මේ ඡන්දය සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයේ දේශපාලන බලය වළලා දැමිය හැකි ඡන්දයකි. ඔහු පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කළ අයෙකි. යහපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී කතා මේ බව වසා ගැනීමට ඇටවූ බොරු බයිලා පමණක් වෙයි. මේ ඡන්දයේද තීරක කාරණය වන්නේ ඒකීය රාජ්‍යයද නැද්ද යන්නය. එහෙත් එය තේරුම් ගැනීම අපහසු වන්නේ විජාතික බලවේග ජාතික සළුපිළි අැදගෙන ඉදිරිපත් විම නිසාය. නිර්මාල් මෙසේ කියන විට, චන්ද්‍රිකා එක්සත් ලංකාවක් ගැන කතා කරන විට, චම්පික මේ ඡන්දය ‘යහපාලනය ගැන ඡන්දයක් මිස ඒකීය හෝ ෆෙඩරල් භාවය පිළිබද ඡන්දයක් නොවේය‘ කියමින් සිංහලයන්ගේ ඇස්වලට වැලි ගසයි. කොහොමත් රනිල්ගේ ආණ්ඩුවකට සහය ගැනීමට නම් කුඩුකාරයන්ට සහ එතනෝල් කාරයන්ට ඇමති පට්ටම් සහ/හෝ මුදල් දීමට සිදුවෙයි. පොදු අපේක්ෂකයාගේ එකගතාවයේ ඇමති මණ්ඩල සීමාව හැලී අත්තේ සභාග ආණ්ඩුවකට මන්ත්‍රීරුන් බාගැනීමටනම් යළිත් වරක් ජම්බෝ කැබිනට්ටුවක් අවශ්‍ය වන හෙයිනි.චම්පිකම කියන ආකාරයට මහින්දටද ඒ ආණ්ඩුවට එකතු විය හැකිය. එවිට චම්පික සතුව ඇති මහින්දගේ ෆයිල් 1000ට සිදු වන්නේ කුමක්ද? එවිට මහින්දගේ ෆයිල් ටික සමග යහපාලනයද අමතක කර දැමීමට චම්පිකට සිදු වනු ඇත. 

මේ අවදානම් සහගත තත්වය  උදා වීමට ප්‍රධානම වගකිවයුතු පාර්ශව කීපයක් වෙයි. ඉන් ප්‍රධානම පාර්ශවය නම් අන් කවරෙකුවත් නොව මහින්ද රාජපක්ෂමය. ඔහු පහුගිය අවුරුදු 5 තුළ ගෙන ගිය පාලනය ලංකා ඉතිහාසයේ වඩාත්ම දූෂිත මෙන්ම ඥාති සංග්‍රහයෙන් අනූන පාලනයකි. එසේම කුඩු, එතනෝල්, කැසිනෝ ආදී දුරාචාරවලට උපරිම අනුග්‍රහ දැක්වූ පාලනයකි. නීතිය සම්පූර්ණයෙන්ම බිද වැට්ටවූ පාලනයකි. ඔහුගේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රමය කොමිස් අාර්ථික ක්‍රමයකි. සංවර්ධන ආකෘතිය කොමිස් සංවර්ධනයකි. ඔහුගේ සංවර්ධනයෙන් පොදු ජනතාවට වූ සෙතක් නැත. සිදුවූයේ ණය බර සහ ජීවන බර තව තවත් වැඩිවීමය. යුධ ජයග්‍රහණයෙන් ලත් ජනප්‍රියතාව ඔහු වේගයෙන් අහිමි කරගත්තේය. ඔහුගේ අසීමිත පවුල්වාදය නිසා ශ්‍රිලනිපය ජ්‍යෙෂ්ඨයන් ඔහු හැර ගියහ. ශ්‍රිලනිපය දෙකඩ විය. එයින් වාසිය අත්වූයේ බෙදුම්වාදීන්ටය. එහෙත් ඔහුගේ එකම එක හොඳක් ඇත. ඒ බෙදුම්වාදයට ඉඩ නොතැබීමය. ඔහුගේ ඇති එකම හොඳ එයයැයි සිතමි. එහෙත් ඒ හොඳ ඉතා වැදගත් වෙයි. අප දකින ආකාරයට වඩාත්ම වැදගත් වන්නේ එයයි. මන්ද ලංකා රාජ්‍යයේ අනාගත පැවැත්ම ඒ මත තීරණය වන හෙයිනි. දුෂණය හෝ නීතිය බිද වැටීම මෙන් නොව ඒකීය රාජ්‍ය සමග කරන සෙල්ලමෙන් ආපසු හැරවිය නොහැකි සදාකාලික හානියක් සිදුවෙයි. ලංකා රාජ්‍යයේ පැවැත්මම අභියෝගයට ලක් වෙයි. මොනවා කරන්ඩත් රටක් තිබිය යුතුය. එහෙත් බොහෝ දෙනාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඒකීය රාජ්‍යය හැරෙන්නට අනිකුත් කාරණාද වැදගත් වෙයි. සමහර විට කවුරුන් බලයට පත්වුවත් ඒකීය රාජ්‍යයේ පැවැත්ම ගැන අර්බුදයක් අනාගතයේ ඇති වන්නට ඉඩක් නැතැයි ඔවුන් සිතීමටද ඉඩ ඇත. එහෙත් ඒ එසේ නොවන බව අපේ අදහසය.

පොදු විපක්ෂය බලයට පත්වුවත් මේ දුර්වලකම්වල ලොකු වෙනසක් වේයැයි අපි නොසිතමු. ඩඩිලි සිරිසේන අනාගත බැසිල් රාජපක්ෂ කෙනෙක් වීමේ ලකුණු පෙන්වා ඇත. එසේම ආණ්ඩුවක් පිහිටුවිමට නම් මේ ඉන්න කැසිනෝ සහ කුඩු කාරයන් පිරිසම මුදල් හෝ ඇමතිකං පෙන්වා (සමහර විට මහින්ද ගාව තිබු ෆයිල්ම මේ අය බා ගැනීමට පාවිච්චි කිරීමට බැරි නැත. මේ නම් පශ්චාත් නූතන යහපාලනයකි!) මේ පැත්තට ගැනීමට සිදුවෙයි. එවැනි තත්වයක යහපාලනය විහිලුවක් වෙයි.  2016 අප්‍රේල් වන විට වත්මන් පාර්ලිමේන්තුවේ නිලකාලය අවසන් වුවත් පොදු විපක්ෂයේ එකගතාවයට අනුව අවම වශයෙන් (උපරිම සීමාවක් දක්වා නැත) අවුරුදු 2ක් රනිල්ගේ සභාග ආණ්ඩුව පවතිනු ඇත. එනම් කුමන හෝ ගේමක් ගසා පාර්ලිමේන්තු ඡන්දය කල් දමා ගැනිමක් අපට බලාපොරොත්තු විය හැකිය. මේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ ලොකුම දේශපාලන පරාජිතයා කිසිදු ජනවරමක් නැතිව ලංකාවේ අනාගතය තීරණය කරන චරිතය බවට පත් වීමය. මහාජනතාව ඡන්දයෙන් පත් කළ ආණ්ඩුව සහ විධායක ජනාධිපතිවරයා වෙනුවට වෙනත් පිරිසක් රට පාලනය කිරීමය. මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නම් නැත. මෙය සිදුවුවහොත් ඇත්තටම එය ලංකා ඉතිහාසයේ ලොකුම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව වනු ඇත.

මේ තත්වයට වගකිව යුතු අනිත් පාර්ශවය නම් ජාතික බලවේගවලම න්‍යායාචාර්යවරුය. විශේෂයෙන්ම ආචාර්ය නලින් ද සිල්වා පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂට කොන්දේසි විරහිත සහයක් දැක්වීය. වඩා විවේචනාත්මක සහයක් දුන්නේනම් මහින්ද ඊට අනුව තම පිස්සු කෙළීම ටිකක් හෝ අඩු කරගැනීමට ඉඩ තිබු බව අපේ හැගීමය. නමුත් සිදුවූයේ පනින රිලවුන්ට ඉණිමක් බදින්නාක් වැනි වැඩකි. මේ තත්වය විශේෂයෙන්ම මතු වූයේ රාජපක්ෂ ආණ්ඩුවේම කොටසක් මෙහෙයවිමෙන් සහ ආශිර්වාදයෙන් රට පුරා ක්‍රියාත්මක කෙරුණු මුස්ලිම් විරෝධී වැඩපිළිවලත් සමගය (මෙයට ආණ්ඩුවේම සමහර ඇමතිවරු පවා එදා විරුද්ධ වූහ). අලුග්තම ප්‍රහාරය එහි කූටප්‍රාප්තිය විය. ආචාර්ය නලින් ද සිල්වා මේ ක්‍රියාදාමය සාධාරණීකරණය කළ අතර එය වැරදි බව අපි එදා මෙන්ම අදද කියමු. එයින් රට තුළ වර්ගවාදයක් වර්ධනය වී රට අස්ථාවර විය. මුස්ලිම් ජනතාවද බෙදුම්වාදය සහ අන්තවාදය දෙසට වඩාත් තල්ලු විය. එදා මහින්දව මුස්ලිමුන්ට විරුද්ධව උසි ගැන්වූ හෙළ උරුමය මෙන්ම 2010දී මහින්ද සමග සිටි මුස්ලිම් ජනතාවද අද මහින්ද හැර දමා ඇත. තමන් රැවටුනු බව තේරෙන විට රාජපක්ෂවරු ප්‍රමාද වැඩිය. දැන් නැවත තම සුවච කීකරු බොදු බල සේනාව ලවා වෙනත් වටයකින් ප්‍රචාරණය  අරඹා ඇත. බොබසේනාව දැන් මුස්ලිම් විරෝධය අමතක කර දමා බෙදුම්වාදයට විරුද්ධ ස්ථාවරයකට යාම අහඹුවක් නොවේ. එහෙත් දැන් ප්‍රමාද වැඩිය. ගුණදාස අමරසේකර මහතා ආණ්ඩුවට විවේචනාත්මක සහයක් දුන් නමුත් ඔහුට ප්‍රමාණවත් ඉඩක් මාධ්‍යවලින් නොලැබුනි. පොදුවේ ජාතික බලවේග මහින්දකරණය විම මේ තත්වය නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වූ බව අපි සිතමු.

විමල් වීරවංශ වැනි ජාතික බලවේග නියෝජනය කරනවාය කියන දේශපාලකයන්ද මහින්දගේ අත්තනෝමතික වැඩපිළිවල වෙනස් කිරීමට කිසිදු ආකාරයට ප්‍රමාණවත් පීඩනයක් හෝ ප්‍රතිරෝධයක් දුන්නේ නැත. බොහෝ විට අපි විමල් වීරවංශගෙන් දැක්කේ අවංක පීඩනයක් රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කිරීමට වඩා තිර රචනයකට අනුව කරන බොරු රගපෑමක්යැයි සිතිය හැකි තත්වයකි. ජාතිකවාදීය කියාගන්නා හෙළ උරුමයට මහින්දගේ වැරදි මතක් වූයේ ජනාධිපතිවරණය කිට්ටු වූ පසුවය. ඒ වන විටත් ඔවුන් සිටියේ පොදු අපේක්ෂකයා සමගය. 18වන සංශෝධනය හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කර රාජ්‍යය අසමතුලිත කර අස්ථාවර කිරීමට මේ සියලු පාර්ශව එදා මතවාදීව සහ දේශපාලනිකව සහය දුන්හ.

දැන් තිබෙන ප්‍රශ්නය මේ තත්වය උඩ ජාතික බලවේග කුමක් කළ යුතුද යන්නය. ජාතික බලවේගවලට ඇති එක් විකල්පයක් නම් ජාතික බලවේග කඩේ යවන, ඒ ජාතික බලවේග සතුටු කිරීම පිණිසම බෙදුම්වාදයට ඉඩ නොදෙන මහින්දව දිගටම තබා ගැනීමය. අනෙක් විකල්පය නම් ජාතික සළුපිළි පැළදගෙන එන සෘජු විජාතික බලවේග බලයට පත් කිරීමය. මේ ගැන තීරණයක් ගැනීම ඔබටම බාර කරමි. මහින්ද බලයට පත් වුවත් ඔහුගේ බලය අඩුවනු ඇති බව මගේ හැගීමයි. මන්ද ශ්‍රිලනිපය දෙකඩ වූ තත්වයක් තුළ පාර්ලිමේන්තුව තුළ තමාට සහය පවත්වාගැනීමටත් දෝෂාභියෝග අනතුර අවම කිරීමටත් පෙර තරම්ම අත්තනෝමතික පාලනයට යාමට ඔහු පසුබට වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුවකට වඩා ශ්‍රිලනිප ආණ්ඩුවකට වැඩි අවස්ථාවක් දීමට අකමැත්තෙන් වුවද ඔහුට සිදුවනු ඇත. එය රටට හිතකරය. කෙසේ වෙතත් ජාතික බලවේගවල දිගු කාලින න්‍යායපත්‍රය විය යුත්තේ පුද්ගල චරිත වන්දනාවේ ගොස් ඇණ ගැනීමට වඩා ඒකීය රාජ්‍යය නොබිදිය හැකි ලෙස තහවුරු කරන ව්‍යවස්ථාවක් සහ නීති ක්‍රමයක්, ජාතික ආර්ථිකයක් සහ සදාචාරවත් සමාජයක් බිහිකරගැනීමය. ඒ සදහා වන මතවාදී සහ දේශපාලනික ක්‍රියාවලියක් ඇරඹිමය. වඩා ප්‍රධාන විය යුත්තේ මතවාදය මිස පුද්ගලයන් නොවේ. අපට අවශ්‍ය ජාතික මතවාදයක් පසුපස පුද්ගල චරිත මෙහෙයවන ජාතික ව්‍යාපාරයක් මිස මතවාදය ‘බැක්පැක්‘ එකක දමාගෙන පුද්ගල චරිත පසුපස අන්ධ භක්තියෙන් (කඩේ) යන ජාතික ව්‍යාපාරයක් නොවේ. මේ අවුල ඇතිවීමට ප්‍රධාන හේතුවද එයමය. ඔබට යමක් විශ්වාස කිරීමට අවශ්‍ය නම් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් නොව මතවාදයන්ය.

-දර්ශන කස්තුරිරත්න 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/03/2014

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය - II

කතෘ:යුතුකම     12/03/2014   No comments
මේ ලිපියේ පළමු කොටස :

සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය

අද එතැන් සිට....
  
ව්‍යුහයේ ජයග්‍රහණය
වර්තමානයේ දිනසිරි කුරුලුගංගොඩ වැනි ව්‍යාජ පුද්ගලයන් ද, ඔවුන් ගේ අඳබාල ප්‍රබන්ධ ද අනවශ්‍ය පමණට ඔසොවා තබන වෙළෙඳ සමාජයක්‌ බිහි වී තිබෙන බව අපි දනිමු. සියල්ලන්ට අවශ්‍ය වන්නේ මතුපිට පහුරු ගාමින් තවදුරටත් මජර ආර්ථිකය ක්‍රමයට උඩ ගෙඩි දෙන සමාජ ව්‍යුහය පවත්වා ගෙන යැම ය. ලියනගේ අමරකීර්ති වැන්නන් ද ගසා ගෙන යන කුහක 'සමාජ පල් වතුර' දැන් මෙරට විශ්වවිද්‍යාලයන් ද යට කර ගෙන ගොස්‌ හමාර ය.
ව්‍යුහයේ අංගවිකලකම 'ස්‌වර්ණ පුස්‌තක' සම්මාන කමිටුවට බලපා තිබෙන අන්දම ගැන කදිම විග්‍රහයක්‌ පසුගිය 13 වැනිදා දිවයින වටම`ඩල අතිරේකයට රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් සපයා තිබිණි. 'කුරුලු හදවත' වැනි නෝන්ජල් කෘති සම්මානයට භාජන වන්නේ දිනසිරි වැනිම 'අපතයන් ගේ' තීරණ නිසා ය.
දිනසිරි කුරුලුගංගොඩ ගුවන් විදුලි මාධ්‍යයේ ඉහළට ගියේ ප්‍රවීණයකු ගේ පරිවාස කාලයවත් ගත නො කර යෑයි, කිඹුල් කඳුඵ හෙළන ලියනගේ අමරකීර්ති, 'කුරුලු හදවත' නවකථාවෙන් ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර, ලැම්බට්‌ පෙම්මාවඩු වැනි ප්‍රාමාණිකයන්ට සිදු කර තිබෙන අවැඩ සුළු පටු නැත.

උදාහරණයක්‌ වශයෙන් ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ලේ දන් දීමට පැමිණි එක්‌ පුද්ගලයකු ගේ මුවට නංවා තිබෙන වදන් මෙහි ලා උපුටා දක්‌වනු වටී. 'මේ සැරේ නං දෙමලුන්ට කෙළවලාම තමයි පස්‌ස බලන්ඩ ඕනෙ. මගෙ ලේ ඔක්‌කොම වුණත් දෙනව අපේ කොල්ලන්ට' 

හමුදාවට ලේ දන් දෙන කඳවුරුවලදී මෙවැනි ආවේගශීලී ප්‍රකාශ ඇසුණු සමයක්‌ පසු කරන ලද බව සත්‍යයක්‌ වුවත්, එවැන්නක්‌ ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ඇසුණා යයි පැවසීම විශ්වාස කළ නො හැකි තරම් වන කෙප්පයකි. අප ගේ දෙසවනට දිගුකාලීන ව හුරු වී තිබෙන ලැම්බට්‌ පෙම්මාවඩු ගේ දයාර්ද්‍ර හඬින් අමතනු ලබන ශ්‍රාවක සමාජය එවැනි මාරාන්තික වෛරවාදයකට නතු කළ හැකි යයි සිතිය හැකි ද?
 
දශක ගණනක්‌ තිස්‌සේ පුණ්‍ය චේතනාව පෙරදැරි කර ගනිමින් ලේ පරිත්‍යාගශීලින් ගේ ගුවන් විදුලි වැඩ සටහනින් අසරණ රෝගී ජනතාවට අමිල මෙහෙවරක්‌ ඉටු කරන ලද ලැම්බට්‌ පෙම්මාවඩු මහතා, 'දෙම`ඵ මරන්නට කටයුතු කරමින් ලේ විකුණන්නකු' ලෙස හංවඩු ගසා තිබීම සාහසික අපරාධයකි. මෙලෙස ලැම්බට්‌ පෙම්මාවඩු වැනි සමාජයට කිසිදු අවැඩක්‌ කර නොමැති නිර්ව්‍යාජ ජනමාධ්‍යවේදීන් වචනාර්ථයෙන් ඝාතනය කිරීමට තරම් ආත්ම ශක්‌තියක්‌ ඇත්තකුට, කුරුලුගංගොඩ වැනි ප්‍රබන්ධ චරිතයක්‌ මරා දැමීම සු`ඵ දෙයකි.

ඒ අනුව නවකථාව අවසානයේ කුරුලුගංගොඩ දියේ ගිල්වා මරා දමා තිබෙන්නේ කතාව ගෙන යා හැකි අර්ථසම්පන්න ඉසව්වක්‌ සොයා ගත නො හැකි නිසා බව පැහැදිලි ය. එය ද සිදු ව තිබෙන්නේ පොලිස්‌ අත්අඩංගුවට පත් වූ සැකකරුවකු ආයුධ පෙන්වන්නට ගොස්‌ දියේ ගිලී මැරෙන ආකාරයට නො දෙවැනි වූ අභිරහස්‌ අන්දමට ය. මෙය සිදු වී ඇත්තේ නවකථාවේ තැනින් තැන මතු වන අවුල්සහගත තත්ත්වය කූටප්‍රාප්තිවීමක්‌ ලෙසිනි. ඒ සිදුවීම් මාලාව යනු අනෙකක්‌ නො ව, මෙකල ලියනගේ අමරකීර්ති විවිධාකාරයෙන් ස්‌වකීය අතීතය මරා ගන්නට ගන්නා උත්සාහයම ය. ගත වූ දශකයක පමණ කාලයක්‌ තිස්‌සේ ලියනගේ අමරකීර්ති ස්‌වකීය බුද්ධි ප්‍රභාව අවුළුවා ගන්නවා වෙනුවට සිදු කර තිබෙන්නේ 'ජෝති තමෝ පරායනයෙන්' කටයුතු කිරීම ය. 

සැසඳුව මැනවි.

'සිංහල-දෙමළ ජනවාර්ගිකත්වය (1983 ම්ලේච්ඡ පාපතර ත්‍රස්‌තවාදී සංහාරයෙන් පසුව පවා) අප ගේ යථාර්ථවාදී සාහිත්‍යයෙහි ප්‍රතිනිර්මාණය කෙරෙන තරම් සරල නැත. දකුණ යෑයි කියන සිංහල ප්‍රදේශය කුල දෙමළ ජනයා ද සිටිති. සිංහල ආණ්‌ඩුව යෑයි හඳුන්වන ආණ්‌ඩුවේ දෙමළ අය ද සිටිති. සිංහල රජය යෑයි කියන රජයේ දෙමළ අය ද සිටිති. සිංහල පොලීසියේත් ඊළාම් පොලීසියේත් පොලිස්‌පතිවරු දෙමළ ජාතිකයෝ වෙති. ජීවිතයම පවා සාහිත්‍යයට වඩා සංකීර්ණ නො වේද? (බලය/2003/ඔක්‌-නොවැ/පිටුව 46)

2003 වසරේදී එලෙස අදහස්‌ දක්‌වන ලියනගේ අමරකීර්ති 2014 වසරේදී පවසනුයේ මෙවැන්නකි.

'සිංහල බෞද්ධ පොලීසිය විසින් සිංහල බෞද්ධ කොලු ගැටයකු මරා දැමීම ගැන සිංහල බෞද්ධ පත්තර නිහඬය'. (ඇත්ත/2014.07.16)
සමාජයට ඉහඳ තබන මෙවැනි තත්ත්වයක්‌ දක්‌වා පිරිහුණු පුද්ගලයකු ගෙන් 'කුරුලු හදවත' වැනි නවකථාවකට වඩා වැඩි යමක්‌ බලාපොරොත්තු විය හැකි ද?

එසේම මෙකී නවකථාවෙන් සහ එය සම්මානයට පාත්‍ර කිරීමේ ක්‍රියාදාමයෙන් තහවුරු වන තවත් කරුණක්‌ තිබේ. මෙරට සිදු වන සියලු ව්‍යසනයන්ට හේතුව සිංහල-බෞද්ධයන් යෑයි නිතර දෙවේලේ වහසි බස්‌ දොඩන ලියනගේ අමරකීර්තිලා ගේ ප්‍රබන්ධවලින්ම ඒවා නිශේධ වී තිබීම ය.
නිදර්ශනයක්‌ වශයෙන් 'කුරුලු හදවත' කෘතියට අන්තර්ගත අර්ධ කල්පිත සමාජයේ කුජීත සමාජ ධාරාව නියෝජන කරන කුම් කුම් විඡේසිංහ සහ ජෙවන් දිසානායක එසේ හැසිරෙන්නේ ඔවුන් හුදෙක්‌ සිංහල-බෞද්ධයන් වන නිසා ද? 

අපභ්‍රෂ්ට සිංහලයෙන් ලියා ඇති 'කුරුලු හදවත' නවකථාව සම්මානනීය කෘතියක්‌ බවට ඔසොවා තබන්නට කටයුතු කර තිබෙන සමන් වික්‍රමාරච්චි සහ ආචාර්ය සුනිල් විඡේවර්ධන යනු ඊනියා සිංහල-බෞද්ධයෝ ද?

සැබෑ ජීවිතයේදී ස්‌වකීය කුල පීඩනයෙන් අත් මිඳෙන්නට වැර දරන කුරුලුගංගොඩ වැනි වළං කර්මාන්තයේ යෙදෙන්නන්ට මනුෂ්‍යත්වයෙන් පිරුණු සාධාරණයක්‌ ඉටු කරනු සඳහා ගුවන් විදුලි මාධ්‍යයෙන් ගමේ නම වෙනස්‌ කර ගන්නට උත්සාහ දැරෙන අතරේ, පුරාවිද්‍යාත්මක කැනීමක පුවතක්‌ නිර්මාණය කරන්නට තිබිණි. 

අද වන විට ලාංකික ශිෂ්ටාචාරයේ අභිමානය රැඳී තිබෙන්නේ බුදු දහම මෙරටට දායාද වන්නට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේදී පැවැතුණු දියුණු සභ්‍යත්වයක ලක්‍ෂණ තහවුරු කෙරෙන යකඩ තාක්‍ෂණය මෙන්ම, වළං කැබලි සහ සකපෝරුව භාවිත කළ බවට සාධක හමු වී ඇති නිසා ය. එහි උරුමකරුවෝ නම් කුඹල්කරුවෝ ය. ජාතියක උසස්‌ අනන්‍යතාව සුරකින්නට දුර අතීතයේ සිට කටයුතු කර තිබෙන ස්‌වදේශික කර්මාන්තකරුවන් පිරිසකට, වර්තමානයේදී සිදු කරනු ලබන අයුක්‌තිසහගත අවමානය අවලංගු කරන්නට නම්, යොදා ගත යුතු වන්නේ මෙවැනි තාර්කික කරුණු විනා හුදෙක්‌ පාඨකයන්ට තාවකාලික විනෝදය ලබා දෙන ව්‍යාජ ප්‍රබන්ධවලින් නො වේ. 

එහෙත් බොළඳ ජනප්‍රිය FM ගුවන් විදුලි මාධ්‍ය මත්තේම ගිලුණු 'කුරුලූ හදවත' කෘතියට 'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' දී තිබෙන්නේ 'කුරුලු හදවත' නවකථාවේ නිරූපිත එකී සමාජ පාතාල ව්‍යුහය විසින්ම බව, පසුගිය කාල වකවානුවේ මුද්‍රිත මාධ්‍ය ම`ගින් හෙළිදරව් වූ කරුණුවලින් උවමනාවටත් වඩා තහවුරු වී තිබේ. සම්මාන කමිටුවේ අභ්‍යන්තර අවුලක්‌ නිසා හටගත් මතභේදයට ද්විතීයික විසඳුමක්‌ වශයෙන් යෝජනා කෙරුණු 'කුරුලු හදවත' නවකථාව තෝරා ගෙන ඇත්තේ, 'කුරුලු හදවත නවකථාව සම්මාන දිනා ගනී' යන වාක්‍යය ලියන්නට ගත වූ කාලයටත් වඩා වේගයෙනි. මේ සා අනර්ථ සහගත කෘතියක්‌ සම්මානයට පාත්‍ර වන්නේ ඒ අවකාශයෙනි. 

'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' පශ්චාත් යුද සමාජයේ සාහිත්‍ය-සංස්‌කෘතික ක්‍රියාවලිය මතට කඩා වැටුණු 'හෙණ ගෙඩියක්‌' බව අප පවසන්නේ, සමාජයේ සැබෑ අර්බුද තත්ත්වාකාරයෙන් නිරූපණය කරන සාහිත්‍යයට, මෙවැනි යටි අරමුණු සහිත විනිශ්චයන් නිසා අසාධාරණ සිදු වන නිසා ය.

ඒ අනුව ස්‌වර්ණ පුස්‌තක සම්මානය ලබා ගත් ලියනගේ අමරකීර්ති යනු, දිනසිරි කුරුලුගංගොඩ ද අභිබවමින් සමාජ පාදඩකරණයට උඩ ගෙඩි දෙන 'ව්‍යුහයේ ජයග්‍රහණය තහවුරු කළ අසමසම ජයග්‍රාහකයා' ලෙස හඳුන්වා දීම යුක්‌ති යුක්‌ත ය. 

- නිමි -

 
-කුමාර ලියනගේ  
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/02/2014

විධායක බලය රටට අවශ්‍යයි

කතෘ:යුතුකම     12/02/2014   1 comment

දක්‍ෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වසර 05 ක්‌ තුළ දී ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය පරාජය කරමින් 1956 දී මහජන එක්‌සත් පෙරමුණෙන් ජය ගෙන සුපතළ 56 සමාජ විප්ලවය ඇරඹීමට හැකි වීම ලංකීය දේශපාලනයේත් ප්‍රජාතන්ත්‍රවාදයේත්, බටහිරකරණය නොවූ දේශීය ජනතාවගේත් ජයග්‍රහණයකි. ප්‍රභූ රදල සමාජයෙන් අපමණ පීඩාවට ලක්‌ව සිටි හෙළ ගැමියාට සැබෑ ලෙසම නිදහස පිළිබඳ හැඟීමක්‌, දැනීමක්‌ ලැබෙන්නට පටන් ගත්තේ මෙම 56 විප්ලවයට පිං සිදු වන්නටය.

1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කේවල ඡන්ද ක්‍රමය යටතේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සිදුවූයේ හත් හවුලක්‌ ලෙසින් එක්‌සත් ජාතික පක්‍ෂයත්, ෆෙඩරල් පක්‍ෂයත්, ජාතික විමුක්‌ති පෙරමුණත්, විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ 07 ක්‌ එක්‌ වෙමිනි. එහිදී සිංහල විරෝධී පක්‍ෂ මෙන්ම දෙමළ විරෝධී අන්තවාදී පක්‍ෂ ද සන්ධානගත වී තිබුණි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක අස්‌ථාවර ආණ්‌ඩු මෙන් ම විකෘති ආණ්‌ඩු ස්‌ථාපිත කිරීමට දායක වන, හේතු වන බවට එම ආණ්‌ඩුව ද කදිම නිදර්ශනයක්‌ බඳු විය. 1956 දී විපක්‍ෂය මන්ත්‍රී ධුර 08 කටත්, 1970 දී විපක්‍ෂය මන්ත්‍රී ධූර 18 කටත් සීමාවීම මගින් ද බ්‍රිතාන්‍ය මාදිලියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක පැවැත්මට එතරම් හිතකර නොවන බල බෙදීමක්‌ සිදු කෙරෙන බව සනාථ කර තිබුණි.

ක්‍රි(වර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ "මැග්නා කාටා" ප්‍රඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ දැක්‌ වේ. 17 වැනි සියවසේ දී රාජාණ්‌ඩුවාදීන් හා ජනරජවාදීන් ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම කණ්‌ඩායම් දෙක විග්ස්‌ සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය වූයේ එම ක්‍රියාදාමය තුළින් බවත් අප අමතක නොකළ යුතුය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සියවස්‌ ගණනක්‌ මුළුල්ලේ වර්ධනය වෙමින් බහු පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය වෙද්දී එම ප්‍රජාතන්ත්‍රවාදයේම තවත් පරිවර්තනයක්‌ ලෙසින් විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක්‌ නැතහොත් ඇමෙරිකානු විප්ලවය දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්‌ථාවර රජයක්‌ නිර්මාණය කිරීමටත්, කාර්යක්‍ෂම පාලනයක්‌ ඇති කිරීමටත්, ජනවාර්ගික සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්‍රියාදාමය වේගවත් හා විධිමත් කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්‍ය නායකයා බිහිකර ගැනීමටත් හැකි ක්‍රමයක්‌ වශයෙන් විධායක ජනපති ක්‍රමය රටකට වඩාත් ප්‍රශස්‌ථ ක්‍රමයක්‌ බවට ප්‍රථමයෙන් ඇමෙරිකා එක්‌සත් ජනපදයේත්, දෙවනුව ප්‍රංශයේත් ක්‍රියාවට නැඟිණි. මේ වනවිට ලොව වේගවත් සංවර්ධනයක්‌ අත්කර ගනිමින් සිටින චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක මෙම ජනාධිපති පාලන ක්‍රමය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවැති රටවල පමණක්‌ තවමත් සාම්ප්‍රදායිකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් ප්‍රකට කාරණයකි. විධායක ජනපති ක්‍රමය නාමමාත්‍රික ජනපති ක්‍රමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය පමණක්‌ වුව ඔප්පු කර ඇත.

නූතන මැලේසියානු රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් 1957 දී නිදහස ලබන විට එරට තුළ විශ්වවිද්‍යාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන යැමට සිදු වූයේ ලංකාවෙනි.

ඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්‍යයක්‌ව තිබුණි. නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්‍යයක තත්ත්වයට පත්වීමට සමත්ව තිබේ. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු කළේ දොස්‌තර මහතීර් මොහමඩ් ය. තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර් පළමු වර ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි. ධුර කාල 04 ක්‌ ලෙසින් වසර 20 ක්‌ මැලේසියාව පාලනය කළ මහතීර් ප්‍රථමයෙන් තමන් භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක්‌ බවට පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත් වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු සැකයක්‌, විවාදයක්‌ තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්aතෙන්ම දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්‍රොටෝන් සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර් රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි.

ඇමෙරිකානු ජනපති රූස්‌වෙල්ට්‌ දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ධුර කාල 04 ක්‌ එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින් දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්‍රිතාන්‍යය යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත් කිරීමට එම රූස්‌වෙල්ට්‌ ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු ඉතිහාසයේ දැක්‌ වේ. එවැනි සුවිශේෂ අවස්‌ථා රටකට එළඹිය හැකිය. එහිදී නීතිය හෝ සම්ප්‍රදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන් උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්‌ථාවර භාවයට ලබා ගැනීම සර්ව සාධාරණය.

විශේෂයෙන් තිස්‌ අවුරුදු බෙදුම්වාදී, ත්‍රස්‌තවාදී යුද්ධයක මතකයක්‌ ද ගොඩනැඟී තිබූ පසුබිමක, වසර 03 ක්‌ ඇතුළත එම ලොව දරුණුතම, ම්ලේච්ඡතම වූත් ෆැසිස්‌ට්‌ පන්නයේ කොටි සංවිධානය තීරණාත්මකව යුදමය වශයෙන් පරාජය කර ඇති පසුබිමක, රට තුළ පුනරුත්ථාපන කටයුතු, ප්‍රතිසංස්‌කරණ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින්, ආර්ථික සංවර්ධනයත්, ආධ්‍යාත්මික සංවර්ධනයත් තුළින් වාර්ගික සහජීවනය යථාවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව හා වගකීම අපේ රට හමුවේ ද පවතී.
ඒ අනුව දැහැමින් පිරිපුන් සමාජයක්‌ සේම අභිමානවත් දේශයක්‌ ගොඩනැඟීමේ කාර්යය සිහිනයක්‌ නොවනවා මෙන් ම එය යාථාර්ථයක්‌ වීම යනු රාජ්‍ය සේවකයන්ගේ දරු පරපුරේ අනාගතය ද සුරක්‍ෂිත වීමය. ඒ දරු පරපුරේ අනාගතය සුරැකීමටත්, වර්ණවත් කිරීමටත් දායක වීම ඔබ හමුවේ පවත්නා යුගයේ කාර්ය-භාරය නොවන්නේ ද?

-ඌවතැන්නේ සුමන හිමි
දේශමාමක ජාතික බලවේගය
[දිවයින]

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions