11/14/2014

යුගය අභිභවූ මිනිසා නැවත ඝාතනය කිරීම

කතෘ:යුතුකම     11/14/2014   No comments
- ම්ලේච්ඡ එජාප පාලනය මගින් රෝහණ විජේවීර ඇතූළු ලක්‍ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන් ඝාතනය කර අදට දින කීයක් සැපිරියද තවම අල්තාරයට නමදින විකෘති විප්ලව මානසිකත්වය තූරන් නොවු සමයෙක -

අපි වේලාසනින් අවදි වුනෙමු. එහෙත් , අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත්, කවදා හෝ දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත්ව තිබෙනු ඇත. - රෝහණ විජේවීර

මෙරට සමාජ දේශපාලන ඉතිහාසයේ 1965 වසර තරම් ලාංකීය චින්තනය වේගවත් චලනයකට හසුකල වෙනත් පරිච්ඡේදයක් නැති තරම්ය. එවකට රට පාලනය කරන්නන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සහ සුන්දර තර්ක විතර්ක වලින් ජනතාව මුලා කිරීමට එරෙහිව රෝහණ විජේවීර දේශප්‍රේමියා දේශපාලන පක්‍ෂයක් පෝෂණය කලේ නැවුම් දේශයක් උදාකිරීමේ බලාපොරොත්තූවනි. එවකට පැවති සමාජ දේශපාලන ක්‍රමයේ අර්බුදය විසින් රට ගෙනයමින් තිබූ අගාධය දුටු විජේවීර ඇතූලු සගයන්, අනෙකූත් වාමාංශීක පක්‍ෂ ධනපති පාලකයන්ගේ තූරුල්ලේ සුරතල් වන විට දැවැන්ත අභියෝග රැසක් අභිබවමින් උත්සාහ කලේ වල් වැදී තිබූ සමාජය නිවරදි සමාජ ක්‍රියාකාරීත්වයකින් නිවරදි මගට ගැනීම උදෙසාය. ඔහුගේ ඒකායන අරමුණ වූයේ දේශයට දෙූා්හී සතූරු කණ්ඩායම් වලට එරෙහිව යමින් මාතෘභූමියට නිදහසත් අවසානයේ සමාජවාදයත් උදාකර ගැනීමය.
මව්බිම වෙනුවෙන් දිවිපුදන්නෝ සදාකල් ජීවත්වන්නෝය යන්න යථාර්තයක් කරමින් ඔබ මම කූමන දේශපාලන මතවාදයක සිටියද ඉල්මහේ මතකය අපට අමතක කළ නොහැකි වන්නේ එහෙයිනි. ශ්‍රි ලාංකීය භූමිය තූල පෙෘඩ දේශපාලන ගමනකට හිමිකම් කියූ හා මූලාරම්භය සැපයූ අභීත පුද්ගලයා වූ විජේවීර නම් ශේ්‍රෂ්ඨ මිනිසා එජාප දුර්දාන්ත දෙූා්හී පාලනය විසින් තූච්ඡ ලෙස ඝාතනය කරන ලදි. කැප කිරීමේ ගූණයත් තම පෙෘද්ගලිකත්වයට වඩා මාතෘභූමියේ හෙටදිනය උතූම් ලෙස සලකමින් තම මව්බිමේ සුඛ විහරණය ගැන සිතා කටයුතූ කරන පිරිසක් මව්බිමට බිහිකිරීමේ උත්තූංග කාර්යයට මූලාරම්භය වූයේ ඔහුය. බොහෝ දෙනා සුවයහන් වල නිරර්ථක සිහින බලද්දී ඔවුන් ගිනි අව්වේ හෙට දවස වෙනුවෙන් දහඩිය වැගිරූ මිනිසා ඔහුය. මිනිසාට වෛර කරන සමාජයක ඔවුන් මිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සමාජය වෙත මුදා හලහ. ඉනුදු නොනැවතී තම ජීවිතය මව්බිමේ හෙට දිනය වෙනුවෙන් පුදකිරීමට තරම් ඔවුන් සැබෑ දේශපේ්‍රමීන් වූහ. එවන් පිරිපුන් වීරෝධාර ගූණයන්ගෙන් පිරි විප්ලවීය මිනිසුන් බිහි කලේ එම අග්‍රගන්‍ය පුරුෂයාගේ දැක්ම මිස අන් කවරෙක්ද? වේදිකා පුරා ගිරිය පුප්පා කෑ මොර දුන් හාන්සිපුටු දේශපාලුවන්ට මෙන්ම අධිරාජ්‍යවාදීන්ට බැල මෙහෙවර කල ගැත්තන්ට එරෙහිව වූ දේශය සුරුකීමේ බලවේගයට නායකත්වය දීමට ඉදිරිපත් වූයේ විජේවීර ගේ නායකත්වයයි. ශ්‍රි ලාංකීය භූමිය පුරා පැතිරී ගිය සමාජයීය ආර්ථික සංස්කෘතික හා දේශපාලන විනාශයට එරෙහිව ලාංකීය ජන සමාජයෙහි විඥානය පුරා පැවති දුර්වලතාවයන් බිඳ දමා ඉතිහාසයේ නොවූ විරූ ජාතික පිබිදීමක් ඇතිකලේ එම දායකත්වයත් සමගින් බව කූහක නොවී පිළිගත හැකිය.

මෙවන් සමාජ දේශපාලන පසුබිමක වර්ධනය වූ විජේවීරගේ දේශපාලන පක්‍ෂයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙන් එය පිලිකූල් කිරීම හැර අන් යමක් අපට සිහි නොගන්වයි. ලක්‍ෂ සංඛ්‍යාත සහෝදරවරුන් අමු අමුවේ ඝාතනය කලාවූද තම නායකත්වය විනාශ කලාවූද එවකට පැවති පාලක එජාපය සමග හොර රහසේ එකගෙයි නිදවදින විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන හම්පඩ නායකයන් පිළිබඳ පුවත් අපට ගෙන එන්නේ පක්‍ෂයෙහි ජීව ගූණයේ විනාශය මිස අන් කවරක්ද? තම එකම අරමුණ හා පරමාර්ථය වූ මාතෘභූමිය රැකගැනීමේ උදාර අරමුණ පසෙක තබා අධිරාජ්‍යගැත්තන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් සමග පොදු සන්ධානයක ගත කිරීමෙන් එය පසුගිය ජනාධිපතිවරණයේදී මනාව සනාථ කරන ලදි. විරුවන්ගේ වීරත්වය හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තූ හිතලුවක් ලෙස ඉවතට දැමූ විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නායකත්වය එම යුගය අභිභවූ මිනිසාගේ දැක්ම මහ පොලව මත ජීවමාන කිරීමට අසමත් විය. වසරක් පාසා මියගිය තම ආදරණීය සහෝදරයන් සමරමින් මල් වඩම් තබමින් කඳුළු කැට වගූරුවන විප්ලවවාදී යැයි තමා පමණක් සිතා සිටින නායකත්වය විසින් අපට නැවත නැවත සනාථ කරනුයේ බඩගෝස්තරවාදයේ පතූලටම කිඳා බැස ඇති බව මිස අන් කිමෙක්ද.
මිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සැපයූ විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නායකත්වය පක්‍ෂයේ වංචාවන්ට, දුෂණයන්ට එරෙහිවූවන් දෙූා්හීන් ලෙස තාඩන පීඩන වලට ලක් කිරීම කෙතරම් ආශ්චර්යක්ද ? මෙය ඉතිහාසයේ විප්ලවවාදී පක්‍ෂවලට සිදුවූ සාම්ප්‍රදායික විනාශය වුවද ජවිපෙ උත්පත්තිය අවජාතක නොවූ හෙයින් මෙම වර්තමාන විගඩම සමාජයට පෙන්නුම් කරනුයේ විකෘති මානසික උන්මාදයකි.
අනේකවිධ කැප කිරීම් හා අවසන සතූරා ඉදිරියේ තම ජීවිතය කැපකරමින් මව්බිමට නව අරුතක් මෙන්ම දේශප්‍රේමී බලවේගයට නව ජවයක් ලබා දී හෙට දින පූදින මල් කැකූලු වෙත දයාබරත්වයෙන් පිරුණු රටක ආශ්වාදය එක් කල යුගය අභිභවූ මිනිසා වන රෝහණ විජේවීර ඇතූලු ලක්‍ෂ සංඛ්‍යාත විප්ලවවාදී විරුවන් සැමරීම යනු ඔවුන්ගේ බලාපොරොත්තූව මේ මහපොලව මත ජීවමාන කිරීම හැර අන් කවරක්ද. දේශපාලනයෙන් කූස ගිනි නිවා ගන්නා පාදඩ ක්‍රමයක සිරවී සිටින විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නිකායවාදීන්ගේ ක්‍රියාවලිය සනාථ කරනුයේ යුගය අභිබවූ මිනිසා නැවත නැවතත් ඝාතනය කිරීම හැර අන් කිමෙක්ද ?

-ඉන්දික ප්‍රසාද් ගමගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com


11/12/2014

තණ්හා, රතී, රඟා: සර්පයා දුටුවාද?

කතෘ:යුතුකම     11/12/2014   3 comments
සැවැත් නුවර ගොවිතැනින් දිවි ගෙවන අහිංසක ගොවියකුගේ කුඹරක් අසළින් වඩින බුදු රජාණන් වහන්සේ එහි වැටී තිබුනු මසුරන් පොදියක් දුටු සේක. තථාගතයන් වහන්සේ නියර උඩින් වඩින ගමන් ආනන්ද හාමුදුරුවන්ගෙන් “ආනන්ද, සර්පයා දුටුවාද?” කියා විමසූ සේක. වටපිට බලන ආනන්ද හාමුදුරුවෝ තරමක් ඈතින් කිසියම් පොදියක් වැටී ඇති බව දුටුහ. "සර්පයා දුටිමි" කියා ආනන්ද තෙරුණුවෝ පිළිතුරු දුන්හ.

බුද්ධ කාලයේ එම කතා පුවතෙහි තේමාව ඔස්සේ දිවෙන අපූරු අද්‍යතන සිදුවීම් පෙළකි තණ්හා, රති, රඟා චිත්‍රපටය ඇසුරේ අප දුටුවේ. කිසියම් කතාවක් නිරූපණයේදි තේමාව මෙන්ම සංකල්ප රූපද වැදගත් වේ. සංකල්ප රූප යනු නිර්මාණය තුළ එන චරිත, සිද්ධි හා වස්තූන් වේ. යම් නිර්මාණයක සංකල්ප රූප යට ගොස් තේමාව ඕනෑවට වඩා ඉස්මතු වී පෙනෙන්නේ නම් එය බොහෝ විට උපදේශන ක්‍රියාවලියක ස්වරූපයක් ගනියි. තේමාව දුබල වී සංකල්ප රූප ඕනාවට වඩා ඉස්මතු වූ කල්හි එය නිසරු ඕපාදූපයකට ළංවේ. සාර්ථක නිර්මාණයකට අත්‍යවශ්‍ය කාරණයකි තේමාව හා සංකල්ප රූප අතර සමබරතාවය. තණ්හා, රතී රඟා චිත්‍රපටය තුළ අප දකින සුවිශේෂීම ලක්ෂණය නම් කතාවේ තේමාව හා සංකල්ප රූප අතර සමබරතාවයයි. ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහරින චරිත සහ සිද්ධි ඔස්සේ යථාර්තවාදීව මිනිස් චිත්ත සන්තානය පිළිබඳ ප්‍රබල තේමාවක් ගොඩනැඟීමට චිත්‍රපටය සමත් වී ඇත. මෙම චිත්‍රපටයේ වටනාකම තවත් ත්‍රීවුර වන්නේ මිනිස් සිත නිරූපණය කිරීමට නිපදවූ අනෙක් 'කර්ම' වැනි චිත්‍රපටයක දක්නට ලැබෙන ඒ තුළට බලෙන් එබ්බවූ ප්‍රේක්ෂකයා රවටවන ආකාරයේ කටෝර විජ්ජා වලින් තොරව ප්‍රේක්ෂකයා හා සුහද වෙමින් මෙම චිත්‍රපටය මතුපිටින් සරල ලෙස ගලා යාමට සළස්වන්නට සමත්වීම නිසාය. එහෙත් මතුපිටින් පෙනෙන සරල බවට යටින් දිවෙන ඉතා සංකීර්ණ චෛතසික විවරණයක් මෙහි අන්තර්ගතය.

මෙම ලිපියේ අරමුණ චිත්‍රපටයේ නම විසින්ද අපට ආරාධනා කර සිටින එකී  චෛතසික විවරණය දෙසට අපගේ විමසුම් සිත යොමු කරවීමයි. මේ චිත්‍රපටය පිළිබඳ සිය දේශපාලන දෘෂ්ටිය මත පිහිටා විචාරයක් සපයන ආචාර්ය ලියන්ගේ අමරකීර්ති හා ඉන්දියාවේ ප්‍රසාද් සිනමා පාසලෙහි මාධ්‍ය සහ අධ්‍යක්ෂකවරුන් පුහුණු කිරීමේ ආචාර්ය උමා වන්ගාල් ද මෙහි එන සංකීර්ණම චරිතය වන සිරිතුංගගේ චරිතය කියවා තිබුනේ ඉතා සරල, සදොස් ආකාරයකට වීම විසින් මෙ ආකාර විවරණයෙක වැදගත්කම මතුකරවයි.

ප්‍රභාකරන් මිය යාමේ සිද්ධියත් සමඟිනි කතාව ඇරඹෙන්නේ. ප්‍රධාන චරිත වන විමල්, සිරිතුංග හා සුරාජ් සිංහ ධජ ඔසවමින් ප්‍රීතිවන මිනිසුන්ට කිරිබත් දන්සල් දෙමින් ඒ යුධ ජයග්‍රහණයත් සමඟ සිය ජීවිත කාලයෙන් වසර තිහක් පුරාම අරක් ගෙනඋන් ත්‍රස්තවාදී යක්ෂයාගෙන් නිදහස් වීමෙන් ලත් අහිංසක ප්‍රීතිය භුක්ති විදිමින් සිටිති. හදවතේ නැගුණු නිදහසේ ප්‍රහර්ෂයට A-9 මාර්ගය ඔස්සේ විමලෙගේ වාහනයේ රෝද තුන ඔස්සේ ගලා යන්නට ඉඩ හරිමින් යාපනය බලා යන විනෝද චාරිකාවකි තිදෙනාගේ මීළඟ ක්‍රියාව වූයේ.

චලෙයි මුහුදු වෙරළේ සිය නව පෙම්වතිය හා දුරකතන ඇමතුමක සිටින අතරතුර පා ඇඟිල්ලෙන් බිම හාරන විමලෙට ඔවුනගේ අද්‍යතන කතාවේ සර්පයා වන පිස්තෝලය අහම්බෙන් මෙන් හමුවේ.

එම පිස්තෝලය පිළිබඳ තිදෙනා විසින් දක්වන්නේ තුන් ආකාර වූ ආකල්පයකි. එම ආකල්පයන් හා ඔවුනගේ ජීවන සටනේ වත්මන් තත්වය හා සම්බන්ධයක්ද දැකිය හැකිය. ත්‍රීරෝද රථ රියදුරෙකු වන විමල් වෙසෙන්නේ ප්‍රාදේශීය දේශපාලකයකු වන ඔවුනගේ බාප්පාට අයිති නිවසකය. බාප්පා එම නිවසින් දොට්ට බසින ලෙස විමලෙලාට තර්ජනය කරමින් සිටිත්. තාත්තා නැති පවුලේ වැඩිමලා වන ඔහුය තම මල්ලීගේ සහ නංගීගේ අධ්‍යාපනයට වියදම් කරනුයේ. ඔහු යෝජනා කරනුයේ අතට ලැබුනු එම පිස්තෝලය කොළඹ ගොස් විකුණා යහමින් මුදලක් ඔවුනට ලබා ගැනීමටයි.

සුරාජ් විශ්ව විද්‍යාල සිසුවෙකි. අනෙක් දෙදෙනාට වඩා තරුණෙකු වන ඔහුට විශාල පවුල් බරක් නැතිය. ඔහු යෝජනා කරන්නේ එය එම ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගත යුතු බවෙකි.

සිරිතුංග තිදරු පියෙකි. ඔහු ජීවත් වන්නේ පොහොසත් ගෙවල වැඩපළ කර දීමෙනි. තමා කිසියම් අනතුරක වැටුනොත් සිය දරු පවුල ආනාථ වන බව පවසන ඔහු එම පිස්තෝලය රැගෙන යාමට බිය වී එය රැගෙන යාම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. එම අනුවණ ක්‍රියාව කිරීමට පෙළඹෙන මිතුරන් දෙදෙනට ඔහු දැඩි ලෙස දෝෂාරෝපණය කරයි. මෙම කතාව තුළ මිනිස් සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඉතා සංකීර්ණ නිරූපණයක් ඇත්තේ සිරිතුංගගේ චරිතය තුළය. ඔහු අනිත් දෙදෙනාටම වඩා බියසුළුය. එනිසාම පිස්තෝලය රැගෙන යාමට ඔහු බිය වුවත් ඒ සඳහා තණ්හාවක් ඔහු සිත තුළ නූපදීද? තණ්හාව විමලේගේ හා සුරාජ්ගේ මතුපිටට පෙනෙන ලෙසට ක්‍රියාත්මක වන මුත් සිරිතුංගගේ සිත තුළ එම තණ්හාව උපදින්නේ මතුපිටට නොපෙනෙන වංචක චෛතසික ධර්මයක් ලෙසයි. නොඑසේ නම් ඔහු සිත තුළ තණ්හාව ක්‍රියාත්මක වන්නේ වෙනත් වේෂයකිනි. රාගය ක්‍රියාත්මක වන්නේ විරාගයේ වේෂයෙනි. එය ඉතා අපූරු චෛතසික ස්වභාවක් පිළිබිඹු කෙරෙන්නකි.

චිත්‍රපටය තුළ එම මානසික භාවයන් දර්ශන තලය මත ප්‍රතිනිර්මාණය කර පෙන්වන අවස්ථා කිහිපයක් දැක්විය හැකිය. සිරිතුංග මුලින්ම පිස්තෝලය  දුටු අවස්ථාවේ එය උදුරාගෙන වීසි කරයි. ඔවුන් එහිදී සිටින්නේ කැළෑබද ප්‍රදේශයකයි. සිරිතුංග මුළු වෙර යොදා පිස්තෝලය කැළෑව තුළට විසි කළා නම් එය නැවත සිය මිතුරන් දෙදෙනට සොයා ගැනීමට නොහැකි වන්නට තිබුනි. නමුත් මතු පිටින් ඔහු පෙන්වන බිය හා විරෝධය මැඩ ගෙන යටි සිතින් ක්‍රියාත්මක වන චිත්ත බලවේගයක් ඔහුට ඉඩ හරින්නේ තැනිතලා පෙදෙසක යාර කිහිපයක් දුරකට එය විසි කිරීමට පමණි.

යම් හෙයකින් පිස්තෝලය නිරුපද්‍රිතව කොළඹට ගෙන යාමට ඔවුනට හැකි වුවහොත්, සිරිතුංගගේ විරෝධතාව නිසා ඔහු එම ක්‍රියාන්විතයේ පංඟු කාරයකු බවට පත් නොවේ. එසේ වුවහොත් එම පිස්තෝලයට ඔහුට අයිතියක් නැතිවේ. ත්‍රීරෝද රථය තෙල් නොමැතිව දුෂ්කර පෙදෙසක නතර වූ විට බුලියත් රැගෙන තෙල් ගෙන ඒම සඳහා ඔහු පිටත්වන්නේ බලෙන්ම වාගේය. එසේ යාමට පිටත් වූ සිරිතුංගගේ මුවගට නැගෙන සිනහවේ රූප රාමුව තත්පර කිහිපයක එකක් වුවත් එවේලේ කැමරා කාචය සිරිතුංගගේ මුහුණට සමීප වී මදක් නතරවී සිටින්නේ ප්‍රේක්ෂකයාටද එවේලේ සිරිතුංගගේ මනසට එබී බලන්නට ඇරයුම් කරමිනි. ඔහුගේ මුහුණේ සටහන්ව තිබුනේ කපටි ප්‍රීතියක් නොවේද? ඒ ප්‍රීතිය පෙන්නුම් කරන්නේ තමාද දැන් එම පිස්තෝලය ගෙන ඒමට සම්මාදන් වූ නිසා ඒ පිස්තෝලයට හිමිකරුවකු වීමේ තෘෂ්ණාව නිසා හටගත් සතුටයි. ඉන් පසු ඔහු බලෙන්ම වාගේ ත්‍රීරෝද රථය යම් දුරක් පදවා ගෙනද එයි. එයද එම ක්‍රියාවට දායක වීමකි. ඔහු එසේ දායක වන්නේ ඔහුගේ සිතේ පවතින පූර්ණ එකඟතාවයකින් නොවන නිසා ඔහු සිය මිතුරන් දෙදෙනට දිගටම දෝෂාරෝපණය කරයි. ඔහුගේ සිතේ පවතින්නේ නීතියේ රැහැනට අසු වීමේ බියත්, පිස්තෝලයේ පංඟු අයිතිය සඳහා වන තෘෂ්ණාවත් යන දෙකම එකතු වී හටගත් චිත්ත ස්වභාවයකි. 

කොළඹට පැමිණි ඔවුන් නිවසට ගෙන යාමට යාපනයෙන් ගෙනා දෙයක් නැත. ඒ නිසා ඔවුහූ කොළඹින් පළතුරු මිලදී ගනිති. සිරිතුංග සිය යහළුවන් දෙදෙනා මිලට ගත් පලතුරු වලටද මුදල් ගෙවන්නේ යහළුකම නිසා පමණක්ම  නොව, තවත් හේතු දෙකක් නිසා විය යුතුය. තමාටද දැන් පංඟුවක් හිමි පිස්තෝලය ගෙන ඒමට මූලික වූ සිය මිතුරන් දෙදෙනාට කෘතගුණ දැක්වීමක් වශයෙන් හා එසේ කිඊම මඟින් පිස්තෝලයේ අයිතිය තුනට බෙදී යන බව තවදුරටත් මුද්‍රා තබා තහවුරු කිරීමටත්ය.

පිස්තෝලයක් අත්පත් කර ගැනීම යනු යම් ආකාරයක බලයක් අත්පත් කර ගැනීමකි. බලය ඇති විට හා බලය නැති විට එකම මිනිසා හැසිරන්නේ දෙආකරයකට බව අපි දනිමු. ගෙදර එන විමලේ දකින්නේ බාප්පා පැමිණ ගෙදර ජනෙල් පොඩි කර ගොස් ඇති ආකාරයයි. පෙරදී තුන් හිතකින්වත් නොසිතූ ලෙස විමලේට තුවක්කුව දැන් වුවමනා වේ. සුරාජ් සිය පෙම්වතිය සමඟ සිටින විට චණ්ඩියකු වන ඇගේ අයියාගෙන් ගුටි කෑමට සිදුවේ. ඔහුද කළින් නොසිතූ ලෙස වීරකම් පා එම චණ්ඩියාගෙ නිවසට ගොස් ඔහුට පහර දෙන්නේ මේ පිස්තෝලයේ ආනුභාවයෙනි.

දෙදෙනාම කළ ගොන් කම් ගැන කම්පා වෙමින් සිටියදී සිරිතුංග ඔවුනගේ ගොන් කම ගැන නැවත වතාවක් බැණ වදියි. විමලේ සිය බාප්පා පොලීසි නොයන බව පවසයි. කුමන විරසකය තිබ්බද බාප්පාට තමා හිරේ විලංගුවේ දැමීමට වුවාමනාවක් නැති බව විමලේ දනියි. දුෂ්ටයකු ලෙස පෙනෙනා බාප්පාගේ චරිතය වුව මානවවාදී දැක්මකින් චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කෙරී ඇත.

පිස්තෝලය සැඟවීමට කියා ඉල්ලා ගන්නා සිරිතුංග එය සඟවන්නේ කොහිද? කිසිවකුට අත පෙවිය නොහැකි පහසුවෙන් සොයා ගත නොහැකි ස්ථානයකද? සිරිතුංගගේ මනසේ ඇති වංචක ධර්මතාව වඩාත් මැනවින් පිළිබිඹු කෙරෙන තැනකි මේ. ඔහු එය තබන්නේ තමාගේ ගෙයි සාලයේ පෙට්ටගම යටයි. කලින් පටන් ඔහු සතුව තිබූ කඩුවක් තබා තිබුනු තැන්හිමය. කඩුව නිරූපණය කරන්නේ බලයයි. තුවක්කුව එතැනින්ම තබන්නේ දැන් ඔහුගේ බලය වැඩි වී ඇති බව පසක් කරමිනි. ඔහු බලයට බැදෙන්නේ රාගයෙනි. ඔහු පව් කරන්නේ රහසිනි.

කුස ජාතකය ඇතුළු ඇතැම් ජාතක කතාවන්හි මෙම වංචක චෛතසික ධර්ම ගැඹුරු ලෙස පිළිබිඹු වන අයුරු මාටින් වික්‍රමසිංහයන් සිය සිංහල විචාර මඟ කෘතියෙහි පෙන්වා දී ඇත. මෙවන් වූ වංචක චෛතසික ධර්ම අප තුළද ඇතිවා විය හැකිය. අයෝනිසෝ මනසිකාරයෙන් දිවි ගෙවන අප සිත් තුළ ඇති එම චිත්ත ස්වභාවයන් අපට ප්‍රකට නොවනවා විය හැකිය. සිනමා සිත්තමක් මත එබන්දක් නිරූපණය කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක් බව නොකිව මනාය. සිරිතුංගට රඟන සරත් කොතළාවලගේ රංගන ප්‍රතිභාව ඒ සඳහා සපයා තිබුනේ සුළුපටු පිටිවහලක් නොවේ. හාස්‍යය රසයෙන්ද පිරි මේ චිත්‍රපටය නරඹා අවසන එහි සමුදයාර්ථය දැක අපට පහන් සංවේග උපදවාගත හැකිය. 

බුදුන් දවස සැවැත් නුවර කුඹුරේ වැඩ කරමින් උන් ගොවියාට තමනට අයිති නැති කහවණු පොදිය ලෙහා බැලීමටවත් සිතක් පහළ වන්නේ නැත. එනමුත් රජු කරුණු නොවිසාම ඔහු සොරකමකට වැරදිකරු බවට තීරණය කර මරණ  දඬුවම නියම කරයි. මරණය සඳහා ගෙනයන අතරේය ඔහුට බුදු රාජාණන් වහන්සේ "ආනන්ද, සර්පයා දුටුවාද?" යි කී වදන්හි අරුත වැටහෙන්නේ. ඒ පිහිටෙනි ඔහු දිවි ගැලවෙන්නේ.


විමල්ට, සුරාජ්ට, සිරිතුංගට, ඔබට හා මට ඒ බුදු වදන් තවමත් වැටහී ඇත්ද? වැටහී ඇත්නම් ඒ කොපමණ දුරකටද?

"ආනන්ද, සර්පයා දුටුවාද?"

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු

කතෘ:යුතුකම     11/12/2014   No comments
“රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු“ මැයෙන් ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විශේෂ ජාතික සමුළුව 12 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.මේ එහිදී දේශකයන් විසින් සිදුකල විශේෂ දේශන....

අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, ආචාර්ය, පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි කල කතාව



කැළණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතානධිපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි කල කතාව 



බොදුබල සේනා සංවිධානයේ සභාපති, පූජ්‍ය කිරම විමලජෝති නාහිමි කල කතාව




ජාතික සමුළුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා කල කතාව .


11/11/2014

නව ව්‍යවස්ථාවක් සඳහා එක්ව නැගී සිටිනු

කතෘ:යුතුකම     11/11/2014   No comments



කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව හා චෞද්රිගේ නසරිස්‌තානය

කතෘ:යුතුකම     11/11/2014   No comments
චෞද්රි රහමන් අලි මුස්‌ලිම්වරුන් වෙනුවෙන් පකිස්‌තානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයාය. පකිස්‌තානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්‌ලිම් රාජ්‍ය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්‍රී ලංකාවේද මුස්‌ලිම් රාජ්‍ය දෙකක්‌ බිහිකළ යුතුයෑයි ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයේ සපරිස්‌තානය නම් වෙනම මුස්‌ලිම් රාජ්‍යයක්‌ද නැගෙනහිර ප්‍රදේශයේ නසරිස්‌තානය නමින් වෙනම රාජ්‍යයක්‌ද ඇතිකළ යුතු බව චෞද්රි ප්‍රකාශ කළේය. කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ චෞද්රි බෙංගාලයේ මුස්‌ලිම්වරුන් වෙනුවෙන් බංගිස්‌තාන නම් වෙනම රටක්‌ද රාජස්‌තානයේ මුයිනිස්‌ථාන් නමින් තවත් මුස්‌ලිම් රාජ්‍යයක්‌ද කේරළයේ මැප්ලිස්‌තාන් නම් තවත් රාජ්‍යයක්‌ද ඇතිකළ යුතු බව ප්‍රකාශ කළේය. මොහු මේ අදහස ප්‍රකාශ කළේ 1933 දී පකිස්‌තානයේ ප්‍රකාශනය මගිනි. එය  Now or Never; Are We to Live or Perish Forever? නමින් ද මෙම ප්‍රකාශය නිකුත් විය. චෞද්රි රහමන් අලි පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ තොරතුරු සටහන්ව ඇති අතර ඔහු දකුණු ආසියානු කලාපය පුරා ඇති කිරීමට යෝජනා කළ මුස්‌ලිම් රාජ්‍යවල සිතියමද එහි දක්‌වා ඇත. හින්දුන් සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට චෞද්රි තුළ කිසිම අදහසක්‌ නොතිබුණු අතර මොහොමඩ් අලි ජින්නා පවා මොහුගේ අදහස්‌ පිළිගැනීමට මුලින් එකඟ වී නැත.

ඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්‌ලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක්‌ නිසා නොව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්‍රසයට අවශ්‍ය කුමක්‌ද? චෞද්රි 1933 දී ප්‍රකාශයට පත්කළ නසරිස්‌තානය නමැති සිහින රාජ්‍යයට මූලික පදනම සකස්‌ කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ප්‍රකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක්‌ ඉකුත් ඔක්‌තෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්‍රකාශ කරන්නේ අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට යන මුස්‌ලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ඇතිකිරීම වඩාත් යෝග්‍ය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්‌ත්‍රික්‌කයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමටද මුස්‌ලිම් කොංග්‍රසය ක්‍රියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්‌ත්‍රික්‌ යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස්‌ දක්‌වා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කය තුළ හින්දුන්ට කතෝලිකයන්ට "අබසරණ" වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්‌කළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්‌ත්‍රික්‌කයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත.
වාර්ගික ආගමික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීමට ගියහොත් එය රටම අවුලකට ඇද දමන තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ දිස්‌ත්‍රික්‌ නිර්මාණය කිරීමේදී වාර්ගික හෝ ආගමික පදනම ගැන කිසිම ලෙසකින් සලකා බලා නැත. කල්මුණේ දිස්‌ත්‍රික්‌කය සඳහා වූ යෝජනාව මුස්‌ලිම් කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේදීත් සම්මත කරගෙන ඇති අතර මෙය හදිසියේම කරලියට ගෙනආවේ ඉදිරි ජනපතිවරණයේදී තමන්ගේ සහාය හිමිවන්නේ මේ දිස්‌ත්‍රික්‌කය ලබාදෙන පුද්ගලයාට යන්න ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම දැන්වීමටය. මේ යෝජනාව දැන් ඔවුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත. කවරක්‌ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාට සහාය දැක්‌වීමට ඉදිරිපත් වීම බොහෝ දුරට සැක සහිතය.

ඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්‌ලිම් ඡන්ද එජාපයට ඇදී ගොස්‌ ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක්‌ ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්‌සත් ජාතික පක්‍ෂය මේ යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම අගය කළ යුත්තකි.

2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී විශේෂ ප්‍රකාශනයක්‌ එළිදැක්‌විණි. එය ඕලුවිල් ප්‍රකාශය ලෙස ප්‍රකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්‍රියාත්මකව තිබුණු බැවින් මේ ප්‍රකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්‌ද? නැගෙනහිර පළාත මුස්‌ලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක්‌ අවශ්‍ය බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්‌ද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක්‌ මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්‌කෝඩේ ප්‍රකාශය හා සමාන යෑයිද ප්‍රකාශ විණි. කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්‍රකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්‌ලිම් කොංග්‍රසයට අවශ්‍ය කල්මුණේ ඉස්‌ලාමික රාජ්‍යයක්‌ ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්‍රදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත.

ඕලුවිල් ප්‍රකාශය අප පැහැදිලිව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්‍රජාවට අඩු සැලකිලි දක්‌වා නැත. ඒ බෞද්ධ සම්ප්‍රදාය නිසාය. ඕලුවිල් ප්‍රකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්‌ලිම්වරුන්ටද ප්‍රශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්‌ලිම් නිජභූමියද ප්‍රතික්‍ෂේප කළ යුතුය. මුස්‌ලිම් කොංග්‍රසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කිරීම ආශිර්වාදයක්‌ වන්නේය. එනිසාම මේ දිස්‌ත්‍රික්‌ යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. නැතිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්‌තානය නැගෙනහිරින් බිහිවනු ඇත.


-චතුර පමුණුව
 [ඉරිදා දිවයින]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/09/2014

ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය

කතෘ:යුතුකම     11/09/2014   3 comments
එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්‍යාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.

2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්‍රස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්‍යයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්‍යය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.
තම ප්‍රධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්‍රීඩා සඳහා මත්ද්‍රව්‍ය සමාගම් කරන අනුග්‍රහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය තහනම් කිරීම, ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.

මෙම ජයග්‍රහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්‍ය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්‍රස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්‍රතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්‍රාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.

හෙළ උරුමය විසින් “මතට තිත“ ව්‍යාපෘතිය “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා පමණක් නොව එය ‍ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්‍යාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්‍යාපෘතිය හේතුවෙනි.

2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්‍රගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්‍රහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.
දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්‍රමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්‍රමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්‍රායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්‍රියාත්මක කිරීමට වෑයම් කිරීමයි.

ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්‍රහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්‍රයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්‍රියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්‍රකාශනයක අඩංගු කිරීම ප්‍රමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.

අද බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්‍රියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්‍රමසිංහට සෘජුව හෝ වක්‍රව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.

ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්‍රිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.

පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්‍යම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්‍රපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.


ජවිපෙ සහ ප්‍රප පොදු අපේක්ෂක යෝජනාව ප්‍රතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්‍ර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.

තෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්‍රැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්‍රි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.
ඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්‍යුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්‍යවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්‍රහණ ගෙන ආ හැකි පහසුම ක්‍රමයයි.

-උදය ප්‍රභාත් ගම්මන්පිල
ප්‍රදීපය – ලංකාදීප | 2014.10.16
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/05/2014

රට ගිය ඇත්තන්ගේ ජීවන තත්වය

කතෘ:යුතුකම     11/05/2014   4 comments
සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?

බටහිර රටවලට පැනගත් මා වැනි පළමු පරම්පරාවේ බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ තමන් වාසය කරන ප්‍රදේශවල පන්සල් තනා ගනිති. බටහිර රටවලට පැන ගැනගත් ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.

බටහිර රටක වාසය කළත් මේ විදේශගත ශ්‍රී ලාංකිකයින් සංස්කෘතියෙන් මුලු මනින් බටහිර වී නැති බව පැහැදිලිය. ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි.  ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුහු තම සංස්කෘතියේ එල්බ ගෙන සිටමින් ලෞකික සැප සම්පත් ලඟා කරගෙන තමන්ගේ ජීවන තත්වය උසස් කර ගනිති. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩුලුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුළ බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?

පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කළ යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.

රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුළින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.

බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒ නිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. ඒ නිසා ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක අද ජීවත්වන හෝ අතීතයේ ජීවත්වූ මිනිසුන් සමූහයක ජීවන තත්වයට අගයක් දීමට හැකියැයි බටහිර ආර්ථික විද්‍යාඥයෝ කල්පනා කරති. ඔවුන් සංවර්ධනය වී සිටින්නේත් අපි තවම සංවර්ධනය වන්නේත් ඒ පදනම උඩය. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පනයක් පමණි.

-ජානක වංශපුර     : මගේ රට
යුතුකම සංවාද කවය
www.yuthukama.com


11/04/2014

ජනපති තුමනි, මුන්ට නාම යෝජනාත් දෙනවද?

කතෘ:යුතුකම     11/04/2014   4 comments
ගරු මාලක සිල්වා මහතා මාතරින් දේශපාලනයට පැමිණෙන බව දැන් කරළියේ ප්‍රසිද්ධය. පසු ගිය පොහොයක ඔහු මාතර ඇත්තන්ට මහා බත් දන්සලක් දුන්නේද ඒ නිසාමය. ජනාධිපති තුමා තමාට දේශපාලනයට එන්න යැයි කියනා බව ඔහු පුවත් පතකට පවසා තිබෙනු දුටුවෙමු. එහි සත්‍ය-අසත්‍යතාව අප නොදනිතත් එය අසත්‍ය කතාවක් යයි ද අපට සිතෙන්නේ නැත.

අපි මේ පිළිබඳ කිසිවක් නොලියන්නෙමු. ඒ මාලක මහතා අපට ලියන්නට යමක් ඉතිරි කර නැති නිසාය. ඔහුම ජනාධිපතිවරයාගෙන් එතුමාට විරිත්තමින් අසන ප්‍රශ්නයකි.

 "අපි වගේ උන්ටත් නාම යෝජනා දෙනවාද?" 

මේ ප්‍රශ්නයට පිළිතුර අපි තාම නොදනිමු. නමුත් මෙරට සිහි බුද්ධියෙන් වෙසෙන බොහෝ  පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිත්. ඒ මාලක ගැන තීන්දුවක් ගැනුමට නොව, ඔබතුමා හා ඔබතුමාගේ රජය ගැන තීන්දුවක් ගැනුමට බව පමණක් සඳහන් කරනු කැමැත්තෙමු.

අපි දිවයින පුවත් පතින් උපුටා පුවත පමණක් පළ කරනෙමු. ලිපිය මාලකම ලියා ඇත. 

පුවතක්:

ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්-ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළකට පහරදීලා

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (01 දා) නියෝග කළේය.
මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

සැකකාර මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක්‌ ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.

සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.

මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක්‌ ඇතිවීම සාමාන්‍ය සිදුවීමක්‌ කියාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions