3/06/2014

ගව ඝාතන විරෝධයේ පදනම කුමක්ද?

කතෘ:යුතුකම     3/06/2014   3 comments
යටත්විජිත සමයෙහි අනගාරික ධර්මපාලතුමාගේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූ ගව ඝාතන විරෝධී සංවාදය නැවත එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. සිංහල බෞද්ධ සමාජය තුළ ගව ඝාතනය විරෝධය නැවත ඉස්මතු වීමත් සමඟ ඇතැම් පළාත්වල ගව ඝාතකාගාර වැසී යමින් පවතියි. මේ සංවාදයට එක් වන බොහෝ දෙනෙකු එය ආගමික පදනමින් විග්‍රහ කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. බුදුන් වහන්සේ බෞද්ධයින්ට මස් කෑම තහනම් කළේ ද? අඩු තරමින් ගව මස් කෑම තහනම් කළේ ද? පව් සිදුවන්නේ ගවයින් මැරූ විට පමණ ද? සිංහල බෞද්ධයින් ඌරන් කුකුළන් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? ගව ඝාතන විරෝධය පටු ආගම්වාදී සටනක් නොවේද? ආදී විවිධ ප්‍රශ්න මේ වන විට පැන නැඟී තිබේ. ඒවාට තම තම නැණ පමණින් පිළිතුරු ද සම්පාදනය කොට තිබේ. ගව ඝාතන විරෝධි සටනට එරෙහි වන්නෝ බෞද්ධ දර්ශනය මත නොව මහා වීරතුමාගේ ජෛන දර්ශනය මත පදනම්ව කරුණු දක්වනු පෙනේ. අනෙක් අතට බෞද්ධ දර්ශනය අනුව වුව ද ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම අවබෝධ කරගත නොහැකිය. එයට හේතුව ගව ඝාතන විරෝධය හුදු ආගමික මූලයකින් නොව සංස්කෘතික මූලයකින් පැන නැඟීමය. එකී සංස්කෘතික මූලය ආගමික බලපෑමින් විනිර්මුක්ත බවෙක් ඉන් නොඇඟවේ. මේ කෙටි ලිපියේ අරමුණ ගව ඝාතන විරෝධයේ සැබෑ පදනම එනම් සංස්කෘතික පදනම අවබෝධ කරගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමය.

සංස්කෘතිය

මිනිසා ශිෂ්ටාචාරය පුරා තමා ජීවත්වන පරිසරය වඩා සුවදායි කරගැනීම සඳහා මහා අරගලයක නිරත වෙයි. තමා ජීවත්වන ප්‍රදේශයේ දේශගුණය, භෞතික පිහිටීම, භූ විෂමතාව, ආර්ථික ක්‍රමය, ආගම ආදී සාධක සමඟ ඔහු වසර සිය ගණනක් ගනුදෙනු කරයි. විවිධ ප්‍රශ්නවලට මුහුණදෙයි. ඒ ඔස්සේ නේක අත්දැකීම් ලබයි. ඒ අත්දැකීම් දැනුම මත ඔවුන්ට ආවේණික සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති හැසිරීම් රටා නිර්මාණය වෙයි. සමාජයෙහි පොදු යහපත අරමුණු කොට ගෙන නිර්මාණය කරගනු ලබන මේ ඇගයුම් පද්ධතියට සංස්කෘතිය යැයි කිව හැකිය. සංස්කෘතිය යනු හැදියාව යැයි ඉතා සරලව කිව හැකිය. පෙර සඳහන් කළ පරිදි මිනිසාට ශිෂ්ටාචාරගත වීමේදී මුහුණපෑමට සිදුවූයේ එක සමාන දේශගුණික, භෞතික, ආර්ථික සහ ආගමික සාධකවලට නොවේ. එනම් එම සාධක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස් විය. මේ නිසා ඔවුන් මුහුණ පෑ ගැටලු මෙන්ම ලැබූ අත්දැකීම් ද එකිනෙකට වෙනස් වූ අතර ඒවා පදනම් කරගෙන බිහි කරගත් සිරිත් විරිත් ඇගයුම් විශ්වාස පද්ධති එනම් සංස්කෘතීන් එකිනෙකට වෙනස් විය. වෙනත් ලෙසකින් කිවහොත් බඳුනකට ජලය දමන විට ජලය බඳුනේ හැඩය ගන්නාක් මෙන් ඒ ඒ දේශගුණික, ආර්ථික, ආගමික සාධක නමැති බඳුන් තුළ මිනිස්සු ඒ ඒ බඳුන්වල හැඩයට අනුගත වූහ.

භාරත සංස්කෘතියට හින්දු ආගම පදනම් වූ අතර ලංකා සංස්කෘතියට පදනම් වූයේ බුදු දහමය. බෞද්ධ සහ හින්දු ආගම්වල සතුන් සමඟ ඇති සබඳතාව ඉතා ප්‍රබලය. ජාතක පොතේ සඳහන් පරිදි බෝසතුන් වහන්සේ විවිධ සත්ව ජන්මයන්හි උපත ලැබූහ. විටෙක බෝසත් හාවෙකි. විටෙක බෝසත් ගවයෙකි. විටෙක වඳුරෙකි. තවත් විටෙක ඇතෙකි. සංඝයා අතර ඇති වූ භේදයක් නිසා වරක් වනයට වඩින බුදු රදුනට සමසක් උවටැන් කරන්නේ පාරිලෙයිය නම් ඇතෙකි. මුචලින්ද නාගයා, නාලාගිරි ඇතා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සමඟ සම්බන්ධ වෙයි. අනෙක් අතට ගවයා, වඳුරා ආදී සතුන් හින්දු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය. (එහෙත් කතෝලික හෝ ඉස්ලාම් ආගම්වල එවන් සමීප සබඳතාවක් ඇතැයි කිව හැකි නොවේ. කතෝලික දහම තුළ ජේසුතුමා ගව ලෙනක උපත ලැබීම සහ වරක් බැටලු රංචුවක් සමඟ සිටීම වැනි අවස්ථා කිහිපයක් දැකිය හැකි වුවත් ඉස්ලාම් දහම තුළ එවන් අවස්ථා ඇති ද යන්න සැක සහිතය.) මෙම ආගමික භාවිතයන් කාලයත් සමඟ ඒවා අනුගමනය කරන ප්‍රජාවෙහි සංස්කෘතිය සමඟ බද්ධ වෙයි. ප්‍රජාවෙහි චින්තනය සිතුම් පැතුම් රුචි අරුචිකම් තීරණය කරනු ලබන්නේ සංස්කෘතිය විසිනි. ආගම් ඔස්සේ සංස්කෘතියට අවශෝෂණය කරගත් මෙකී සත්ව සබඳතාව නිසා බුදු දහම පදනම් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ද හින්දු දහම පදනම්  හින්දු සංස්කෘතිය තුළ ද ආහාර සංස්කෘතිය බෙහෙවින් නිර්මාංශ විය. එමෙන්ම සිය සංස්කෘතිය තුළ බුහුමනට පාත්‍ර වන සතුන් ඔවුහු සුවිශේෂ කොට සැලකූහ.


ආර්ථික පදනම

ඒ ඒ සංස්කෘතීන් නිර්මාණය වීමේදී ආර්ථික ක්‍රමය නැතහොත් ජීවන ක්‍රමය බලපාන බව පෙර ද සඳහන් කළෙමි. ඒ අනුව ගත් කල භාරතීය ශිෂ්ටාචාරය කෘෂිකාර්මික ශිෂ්ටාචාර යැයි කිව හැකිය. ඝර්ම කලාපයෙහි පිහිටි මේ රටෙහි ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා උචිත සමසීතෝෂ්ණ දේශගුණයකි. එහෙයින් එහි වැසියෝ ගංගා නිම්න ආශ්‍රිතව සිය ජනාවාස නිර්මාණය කොට ගත්හ. එම ගොවි සමාජවල වැසියාට සිය
ජීවනෝපාය සඳහා ගවයා නැතිවම බැරි සම්පතක් විය. පස්ගෝ රස ලබා ගැනීම, කුඹුරු සී සෑම, ගැල් ඇදීම, සම් භාණ්ඩ, ගොම පොහොර ලබා ගැනීම ආදිය ඒ අතර ප්‍රමුඛ විය. එම සමාජයෙහි මුල් යුගයෙහි ගව මස් කෑවේ යැයි අනුමාන කළ හැකි වුව ද උගෙන් ලද මහත් ප්‍රයෝජන සලකා පසුව එයට එරෙහිව සමාජ මතයක් නිර්මාණය වූයේ යැයි සිතිය හැකිය. ගවයින් මරණ තැනැත්තා මරා දැමිය යුතු බව අර්ථ ශාස්ත්‍රයෙහි සඳහන් වෙයි. මහත්මා ගාන්ධිතුමා ගවයා හැඳින්වූයේ දශ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ අම්මා ලෙසය. මෙලෙස භාරතීය ශිෂ්ටාචාරය ගොඩ නැගීමෙහිලා ගවයා ඉටු කළ මහත් කාර්යභාරය නිසා ගවයා එම ආර්ථිකය දරා සිටින ස්ථම්භයක් වූ නිසා ඌ එම ශිෂ්ටාචාරයෙහි වරප්‍රසාදිත සත්වයෙකු බවට පත්විය.

භාරතයෙහි මෙන්ම ලංකා සංස්කෘතියෙහි ද ආර්ථික පදනම වූයේ කෘෂිකාර්මාන්තය වන අතරම සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත්ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රධාන වගාව වූයේ වීය. එහෙයින් සිංහල සංස්කෘතිය සහල් සංස්කෘතියක් යැයි කීව ද එහි වරදක් නොමැත. ඒ තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබිණි. බොහෝ විට සිය නිවෙස්හි ඇති කළ ගවයා සැලකුණේ තම පවුලේ සාමාජිකයෙකු ලෙසිණි. උන් ඇමතුයේ රත්ති, හඳයා, තොප්පියා, වයිරා, වල්ලියා වැනි හුරතල් නම්වලිනි. ගවයින් ලවා සීසාන විට සිංහල ගොවීන් අඩහැර පෑවේ 'සුරතල් මීමෝ' 'බුදුන් දැක නිවන් දැකපන් මයෙ වහු දරුවෝ' 'පින් අයිති වෙයි උඹලට මයෙ අප්පච්චියෙ' 'දෙවි රැකවරණයි මයෙ වස්තුවෙ' ආදී කාරුණික වඳන්වලිනි. තමන්ගේ ජීවිත සරුසාර කොට දෑස් පියාගන්නා ගවයාට සිය පවුලේ ඥාතියෙකුට මෙන් පාංශුකූලයක් දීමට ද දානමාන දී පින් අනුමෝදන් කිරීමට ද හේ කාරුණික විය. මේ දැඩි සබඳතාව නිසා සිංහල බෞද්ධයෝ කවදත් ගව මස් කෑම පිළිකෙව් කළේය. ආචාර්ය හේම එල්ලාවල මහතා සිය 'පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය' නම් කෘතියේ මෙසේ සඳහන් කරයි. "මස් සඳහා ගවයන් ඇති කළ බව පැවසෙන එකම සඳහනක් වත් අපට කිසිම තැනක හමු නොවූ බව විශේෂයෙන් සැලකිය යුතුය. අප මුලින් පෙන්වා දුන් පරිදි ගවමස් ආහාරයට ගැනීම උසස් කුලවතුන්ට සම්පූර්ණයෙන් ම තහනම් විය. ගවමස් ආහාරයට ගන්නා අය චණ්ඩාලයන් ලෙස සලකනු ලැබූහ." "ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. ... ගෙරිමස මුවෙහි නොතබන්නේය" යැයි රොබට් නොක්ස් සිය එදා හෙළදිව කෘතියෙහි පවසා තිබේ. අනගාරික ධර්මපාලතුමා “ගවමස් කන්ට එපා. ගවයා මරන්ට දෙන්ට එපා. ගවයන් මරණ තැනකට යන්ට එපා. ගවයන් මරණ තැනැත්තා චණ්ඩාල රොඩියෙකි. ගව මස් කන එකා රොඩී රැලට දාන සිරිතක් පෙර ලංකාවේ තිබුණි.” යැයි ප්‍රකාශ කළේ සිංහලයාට සිය ශිෂ්ටාචාරය ගොඩනැගීමට හරි හරියට උර දුන් ගවයාට කෘතගුණ සැලකීමේ අවශ්‍යයතා නිසා විය යුතුය. මේ අනුව සිංහල බෞද්ධයින් ගව මස් කෑම පහත් කොට සැලකූ බව ඊට විරුද්ධව නීති පවා සම්පාදනය කොට තිබුණු බවත් පැහැදිලිය.


ආගමික පදනම

භාරතීය සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා ආගමික පදනම සැපයූවේ හින්දු ආගම විසිනි. හින්දු ආගම තුළ මෙන්ම ජෛන ආගම තුළ ද ගවයාට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. වෛදික යුගයේ සිටම ගවයා සෞභාග්‍යයේ මෙන්ම ධර්මයේ සංකේතය ලෙස ද සැලකිණි. එමෙන්ම ගවයා ශිව දෙවියන්ගේ වාහනය ලෙස ද සැලකේ. එපමණක් නොව ගවයා, හින්දුගේ මහත් සම්භානාවට පාත්‍ර වන ක්‍රිෂ්ණා දෙවියන් පෙනී සිටින දස අවතාරවලින් එකක් ලෙස ද සැලකේ. එමෙන්ම මී ගවයා මාර දිව්‍ය පුත්‍රයාගේ වාහනය ලෙස ද සැලකේ. සුරභි ධේනුව සිතු පැතු සම්පත් ලබා දෙන ගවඟනක බව ද විශ්වාස කෙරිණි. පංච තන්ත්‍රයේ එන වර්ධමානක සිටුතුමා සංජීවක සහ නන්දික නම් සිය ගව රැළේ සිටි ගවයින් දෙදෙනා කෙරෙහි අතිශයින් ළෙංගතු විය. මේ ආගමික පදනම නිසා අදත් ඉන්දීය මෙන්ම ලාංකේය හින්දූහු ද තෛපොංගල් උත්සසවය පවත්වා ගවයාට කෘතගුණ සලකති.

ලාංකේය සංස්කෘතිය බිහිවීමෙහිලා ආගමික පදනම සැපයුණේ බුදු දහමිනි. බුදුන් වනාහි භාරතීය වෛදික නැතහොත් හින්දු සංස්කෘතිය තුළ ඉපිද බුද්ධත්වය ලබාගත් මහා පුරුෂයෙකි. එහෙයින් උන්වහන්සේගේ ධර්මය තුළ ගවයාට සුවිශේෂ තැනක් ලැබීම පුදුමයට කරුණක් නොවේ. බෝසතුන් වහන්සේ නන්දිවිසාල ජාතකයෙහි නන්දි නම් ගවයා ලෙස උපත ලැබූහ. උන්වහන්සේ ගාවි උපමා සූත්‍රය දේශනා කළේ ගව දෙන උපමා කරගෙනය. ගව සම්පත තරම් වටිනා ස්වභාවික සම්පතක් නැතැයි (නත්ථි ගොසමිතං ධනං) බුදුන් වහන්සේ වදාළහ. තව ද පස්ගෝ රස සපයන ගවයා ජාතියෙහි මිතුරා යැයි (ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසාධා) වදාළහ. ගව යන අර්ථයෙහි යෙදෙන වෘෂභ ශබ්දය, 'මුනිපුංගව' 'මුනිවැහැප්' ආදී වශයෙන් බුදු රදුන් ඇමතීමට ශ්‍රේඨාර්ථයෙහි යෙදිණි. ලංකා සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා පදනම් වූයේ මෙකී බුදුදහම හෙයින් ඒ සංස්කෘතියෙහි ශික්ෂණය ලද සිංහලයා ගව මස් පිළිකුල් කිරීම හෝ ගව ඝාතනයට විරුද්ධ වීම පුදුමය කරුණක් නොවේ. අනෙක් අතට ඉතිහාසය පුරා භාරතීය රාජ්‍යයන් සමඟ පැවති සබඳතා නිසා හින්දූ සංස්කෘතියෙහි බලපෑමද සිංහලයාට ලැබිණි. ඔහුගේ වන්දනාමානයට පාත්‍ර වන දෙවිවරු හින්දු දෙවිවරුය. නොබෝ දා උතුරේ සංචාරයක නිරත වූ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමි මුණගැසුණු උතුරේ හින්දු පූජක ප්‍රධානී සෝමසුන්දර දේශික පරමාචාර්ය ආරුතිරුමුගන් පූජකතුමා දකුණු පැනනැඟී ඇති ගව ඝාතන විරෝධි සටනට තම සහාය හිමි වන බව පැවසුවේ එකී සංස්කෘතික බැඳීම සනාථ කරමිණි. ඒ අවස්ථාවේ හින්දූන්ගේ මහත් ගෞරවයට හේතු පාත්‍ර වන නන්දි කොඩියක් ද පූජකතුමා නාහිමියන්ට පිළිගැන්වීය. 


ගව ඝාතන විරෝධයේ පදනම

ඉහත දැක්වූ කරුණුවලින් අනාවරණය වන මූලික කාරණාව ගව ඝාතන විරෝධයට පදනම් වන්නේ සංස්කෘතික බවය. එම සංස්කෘතිය නිර්මාණය වීමෙහිලා බලපෑ ආර්ථිකය සහ ආගම තුළ ගවයා සුවිශේෂ භූමිකාවක් නිරුපණය කළ බව අවිවාදිතය. වෙනත් ලෙසකින් කිවහොත් ගව ඝාතන විරෝධය ද ගව මස් කෑම පිළිකුල් කොට සැලකීම ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්ෂණයකි. මේ අනුව ගව ඝාතන විරෝධය පිළිබඳ මෙරට පවතින සංවාදයෙහි පදනම නිවැරදි නොවන බව පැහැදිලිය. සංස්කෘතික පදනමක් සහිත සංසිද්ධියක් පිළිබඳ ආගමික පදනමක පිහිටා පිළිතුරු සෙවීම ගඟට ඉනි කැපීමකි. උඳු වපුරා මං පැතීමකි. එහෙයින් සිංහල බෞද්ධයා ගවයාට පමණක් කරුණාව දක්වන්නේ ඇයි? සෙසු සතුන් මැරූ විට පව් සිදු නොවන්නේ ද? වැනි ආගමික ප්‍රශ්නවල මෙන්ම ඒ සඳහා සම්පාදනය වන ආගමික පිළිතුරුවල ද කිසිදු තාර්කික පදනමක් නොමැත. ගව ඝාතන විරෝධය හුදු පව් පිං පිළිබඳ පදනම් කරගත් ආගමික මූලයක් ඔස්සේ නොව සියුම් සංස්කෘතික මූලයක් ඔස්සේ පැන නඟින්නකි. එය තාර්කිකව හෝ පොතේ බුද්ධාගමින් අවබෝධ කරගත නොහැකි අතර සිංහල බෞද්ධ සමාජය සුහදව ඇසුරු කිරීමෙන් අවබෝධ කරගත යුත්තකි. අනෙක් අතට බෞද්ධයෙකුට වුව ඔහු සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන්නේ නම් මේ කාරණාව අවබෝධ කරගැනීම උගහටය. අපේ උගතුන් බොහෝ දෙනෙකු අද මුහුණපා ඇති ගැටලුව එයයි. 

සිංහල බෞද්ධ බහුතරය ගොවීහු හෝ ගොවීන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔහුගේ ප්‍රධාන වගාව වීය. ඔහු සිතන පරිදි වී බුද්ධ භෝගයකි. ගොයම් නෙළා කුරුලු පාළුව යැයි කුරුල්ලන්ට කොටසක් ඉතිරි කරන ඔහු වි කරල් අහුරක් සිය නිවසේ බරාදයේ කුරුල්ලන් වෙනුවෙන් එල්ලා තබයි. ඔහුගේ සියලු සංස්කෘතික කෑම නිර්මාංශය. ඔහු නිර්මාංශ නොවුණ ද ඔහුගේ කෑම වේලට මස් මාංශ අනීවාර්ය හෝ ප්‍රමුඛ කොටසක් නොවිණි. ඔහු නිතර සිය නිවෙසට පැමිණි පසුව අතුරුදන් වූ තලගොයාට නිවන් සුව පතයි. හේන් ගොවිතැනට කැලේ කොටා ගිනි තැබීමට පෙර සතුන්ට ඉවත්ව යන්නැයි ආයාචනා කරයි. සිංහල ගැමි ලිය කිසි විටෙක උණු වතුර සිසිල් වන තුරු බිමට විසි නොකරන්නීය. දිනපතා කාක පොල් කටුවට බත් මිටක් දමන්නීය. පොහෝ දිනවල බිත්තර නොපුපුරවන්නීය. මහ මඟ බල්ලෙකු මැරී සිටිය ද අනේ අපොයි කියන්නීය. අසංස්කෘතික අධ්‍යාපනය, වානිජකරණ සුනාමිය සහ තිස් වසක කුරිරු ත්‍රස්තවාදය හමුවේ එම සංස්කෘතියෙහි ඇතැම් අංග වියැකි ගිය ද එම සංස්කෘතික පදනම් මුලිනුපුටා දැමීමට සමත් වී නොමැත. නැතහොත් තවමත් ජාතියේ ආධ්‍යාත්මය මිය ගොස් නොමැත.


ප්‍රධාන සංස්කෘතිය

සෑම සමාජයකම එක් ප්‍රධාන සංස්කෘතියක් තිබේ. ඒ කතෝලික, හින්දු, ඉස්ලාම් හෝ බෞද්ධ විය හැකිය. ඒ ඒ සංස්කෘතිවල ඒවාට ආවේණික ඇගයුම් පද්ධති, සිරිත් විරිත් තිබේ. එහි ජීවත් වන්නාගේ චින්තනය සිතුම් පැතුම් සකස් වන්නේ ඒ මතය. සිංහල බෞද්ධයින් ගව මස් නොකන්නේ ඒ සංස්කෘතික බලපෑම නිසාය. මුස්ලිම් අය ඌරු මස් නොකන්නේ ඒ නිසාය. හින්දු ජනතාව ගව මස් නොකන්නේ ඒ නිසාය. එංගලන්ත වැසියා බලු මස් නොකන්නේ ඒ නිසාය. කිසියම් සංස්කෘතියක් රජයන සමාජයක් වෙත ඊට ආගන්තුක වන කිසිවෙකු පැමිණියහොත් ඔහුට ඒ සංස්කෘතියට කිසියම් දුරකට අනුගත වීමට සිදුවෙයි. ඒ ඔහුට සිය නිජ සංස්කෘතිය මුළුමනින්ම ඒ නව පරිසරය තුළ ක්‍රියාත්මක කළ නොහැකි හෙයිනි.

ඉස්ලාම් සංස්කෘතිය ඌරා පිළිකෙව් කරයි. එහෙයින් මුස්ලිම් ජනතාව ද ඌරු මස් පිළිකෙව් කරති. ඌරු මස් කෑමට රුචි අයෙකු ඉරානය වැනි රටකට ගියහොත් ඔහුට වෙනත් මසකින් තෘප්තියට පත්වීමට සිදුවෙයි. බලු මස් චීනයේ ද කොරියාවේ ද ජනප්‍රිය මසකි. තුන්වේලට ම බලු මස් බුදින චීනෙකු වුව එංගලන්තයට ගියහොත් ඔහුට බලු මස් කෑමට අවස්ථාව නොලැබේ. ඒ වෙනුවට ගව, බැටලු ආදී මසක් ගත හැකිය. චීන සහ කොරියානු සංස්කෘතිය තුළ බෞද්ධ මහායාන බලපෑම තිබුණ ද ථේරවාදි බෞද්ධ ලංකාවේ කිසිවෙක් බලු මස් නොබුදිති. බලු මස් කෑමට කැමති කොරියානුවෙකුට ලංකාවේ හොටෙල්වලින් ඒවා නොලැබේ. මේ අනුව මස් පරිභෝජනය පිළිබඳ ඇත්තේ සංස්කෘතික හුරුපුරුදු බව පැහැදිලි වේ. කුකුළු මස් කන සිංහල බෞද්ධයෝ බලු මස් මෙන් ම ගව මස් ද පිළිකෙව් කරති. ඔහු තුළ ඌරු මස් පිළිබඳව ද ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇතැම් විට ඒ ඉස්ලාම් සංස්කෘතික බලපෑම නිසා විය හැකිය. මුස්ලිම්වරුන් බෙහෙවින් මාංශ අනුභවයට නැඹුරු වුව ද ඉන්දීය මුස්ලිම්වරුන් හින්දු සංස්කෘතික බලපෑම නිසා සාපේක්ෂව ශාකමය ආහාරවලට නැඹුරුය. එම සංස්කෘතික පුරුදුවල පදනම ප්‍රශ්න කිරීම නිශ්ඵලය. ඒ ඒ සංස්කෘතීන් විසින් ඒ තුළ ජීවත් වන මිනිසාගේ සිතුම් පැතුම් චින්තනය පමණක් නොව කායික ගති සිරිත් පවා පාලනය කරයි. 

 
සංස්කෘතියේ පැවැත්ම පිළිබඳ අසංවේදීත්වය
 
අතීතයේ ගවයා අපට මහරු සම්පතක් වුව ද අද එසේ නොවන බව ද එහෙයින් අද, එකල මෙන් ගවයා පිළිබඳ කතා කිරීම නිශ්ඵල යැයි කිසිවෙකු තර්ක කළ හැකිය. මේ තර්කය තුළ ඇත්තේ සංස්කෘතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අසංවේදීත්වයට වැඩි යමක් නොවේ. සංස්කෘතිය කේවළ

පුද්ගලයෙකු උපත සමඟ හට ගෙන විපත සමඟ අභාවයට යන දහමක් නොව සමාජයක වසර සිය දහස් ගණනක් තිස්සේ ජීවත් වන මිනිසුන්ගේ අත්දැකීම්වලින් පෝෂණය ලද සිරිත් විරිත් ඇගයුම් පද්ධතියකි. එම ඇගයුම් පද්ධතිය කෙරෙහි එහි වසන ජනතාවගේ ආර්ථික ක්‍රමය ද ඔවුන් අදහන ආගම ආදි සාධක බලපායි. මේ අනුව කෘෂිකාර්මික ආර්ථික පදනමක් ද බුදු දහම ද ඇසුරේ ලංකාවේ වර්ධනය වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගව මස් නොකෑම සාධු සම්මතය. එය සිංහල බෞද්ධ ආධ්‍යාත්මික සංස්කෘතියෙහි අනභියෝගි ලක්ෂණයකි.

කිසියම් සංස්කෘතියක් අභාවයට යන්නේ එම ජාතියේ මරණය හෝ එම ජාතියේ ආධ්‍යාත්මික මරණය සමඟය. පුරාණ ඇෆ්ගනිස්ථානය ක්‍රි.ව. 2 වන සියවසේ සිට 7 වන
සියවසින් පසු එළඹෙන ඉස්ලාම් ආක්‍රමණය දක්වා බුදු දහම සහ බුදු දහම පදනම් කරගත් සංස්කෘතියක් සහිත දේශයක් විය. ගන්ධාර සම්ප්‍රදාය අනුව සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා ගොඩනැඟනේනේ එදවසය. 9 වන සියවස වන එම ප්‍රදේශ මුස්ලිම් ග්‍රහණයට නතු වූ අතර බෞද්ධ සංස්කෘතිය අභාවයට ගොස් ඉස්ලාම් සංස්කෘතිය ස්ථාපිත විය. එනම් බෞද්ධයින්ගේ ඊළඟ පරම්පරා මුස්ලිම්කරණය විය. 2001 තාලිබාන්වරු විසින් විනාශ කර දමන ලද්දේ තම බෞද්ධ මුතුන් මිත්තන් විසින් නිර්මාණය කළ සංස්කෘතික උරුමයයි. එලෙසම සිංහල බෞද්ධ සංස්කෘතිය ද කිසියම් ආක්‍රමණයකට ගොදුරු වී අභාවයට ගියහොත් මිස ජාතියේ ආධ්‍යාත්මය මිය ගියහොත් මිස ගවයා කෙරෙහි ඇති සංස්කෘතික බැඳීම කෙළවර නොවේ. ඒ සංස්කෘතික උරුමයෙ කොටස්කරුවෝ අද ද ගව මස් නොකති. ගව ඝාතනයට එරෙහි වෙති. පොහොය දිනයට, සිය උපන් දිනයට ගවයින් නිදහස් කරති. ගව අනාථාගාර තනති. ගවයා පිළිබඳ කලා නිර්මාණ කරති. ඒ බව දන්නා වෙළෙන්දෝ සිය පිටි කිරි අලෙවිය ප්‍රවර්ධනය කරනු පිණිස මරණයට කැපූ වූ කිරි අම්මාවරුන් නිදහස් කරති.

ලංකාවේ ගව මස් කෑම

ලංකාවේ ගව මස් කෑම ව්‍යාප්ත වනුයේ 1505 පෘතුගීසි ආක්‍රමණය සමඟය. ආක්‍රමණිකයා සිය දෑතට තුවක්කුව සහ බයිබලය රැගෙන ඒමෙන් එය හුදු ආර්ථික ආක්‍රමණයක් නොව සංස්කෘතික ආක්‍රමණයක් ද වූ බව පැහැදිලි වේ. 1498 භාරතයට පැමිණි වස්කෝ ද ගාමා පැවසුයේ තමන් ක්‍රිතියානින් සහ කුළු බඩු සොයා පැමිණි බවය. 1540 පෘතුගාලයේ රජු සිය දූත පිරිසක් අත එකල ලංකාව පාලනය කළ බුවනෙකබාහු රජුට දන්වා එවන්නේ තව දුරටත් රජකම් කිරීමට අවශ්‍ය නම් දාගැබ් වන්දනාව අතහැර කිතු දහම වැළඳ ගත යුතු බවය. මේ ආගමික ශුද්ධීකරණ මෙහෙයුමට අනුව ලංකාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයා සිංහලයින්ගේ වන්දනාවට පාත්‍ර වූ කැලණි වැනි විහාරාරාම ගිනි තබා මහා ආගමික සංස්කෘතික සංහාරයක නිරත විය. ඒ සමඟ විවිධ හිංසාකාරී ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ආගම ද සංස්කෘතිය ද වැළඳ ගත් පිරිසක් මේ රටේ බිහි කළ අතර ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදුනි. එම කතෝලිකයෝ සිය ස්වාමියාගේ සංස්කෘතිය මහත් ගෞරවයෙන් අනුකරණය කළහ. සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් පිළිකුල් කළ ගව මස් කෑමට ද ඔවුහු නොපසුබට වූහ.

ගව ඝාතන විරෝධය හුදු මුස්ලිම් විරෝධයකට ලඝු කිරීම
යටත්විජිත ඉතිහාසය පුරා අඛණ්ඩව ගලා එන ගව ඝාතන විරෝධය හුදු මුස්ලිම් විරෝධයකට ලඝු කිරීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. එමෙන්ම ඉස්ලාම් දහම පවා අවමානයට ලක් කිරීමකි. නබි නායකතුමා ගව මස් කෑ බවක් හෝ සිය අනුගාමිකයින්ට ගව මස් කෑමට යෝජනා කළ බවක් මා අසා නොමැත. එහෙයින් ගව මස් නොලැබීම නිසා මුස්ලිම් ජනතාව මහා අසාධාරණයකට ලක් වේ යැයි ද හාමතේ මිය යා යැයි ද කිඹුල් කඳුලු හෙලන්නෝ මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීහු වෙති. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය හැකි නම් නැවත සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමය. කන්න සිතුණු කල කබරගොයා තලගොයා කරගන්නා ඔවුහු මුස්ලිම් ජනතාව පිළිබඳ කිසිදු කැක්කුමක් ඇති පිරිසක් ද නොවෙති. එවන් ළෙංගතුකමක් වී නම් අන්තවාදී සුළු පිරිසක් නිසා ලොව පුරා සාමකාමී මුස්ලිම් ජනතාවට විඳීමට සිදුවී ඇති ගැහැට පිළිබඳ ඔවුන් කෙතරම් උස් හඬක් නැඟිය යුතුද?

අනෙක් අතට ලංකාවේ මුස්ලිම් ජන කොටස 8%ක් පමණ වේ. ගව ඝාතනයට විරුද්ධ සිංහල බෞද්ධ සහ හින්දු ජනතාව 85%ක් පමණ වේ. එහෙත් ගව ඝාතනය නිසා බෞද්ධ හින්දු සිත්වල ඇති වන අසහනකාරීත්වය වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටිති. කෙසේ වුවද බහුතර සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුය. ඒ සඳහා සහාය දීම සැමගේ යුතුකමයි. සෙසු ජන කොටස්වල ආගමික සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ජීවත් වීම සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය තරම් සුහද සංස්කෘතියක් ඔවුන්ට කිසි දිනක හමු නොවනු ඇත. අනෙක් අතට මෙරට ජීවත් වන ආගමින් බෞද්ධ නොවන ජන කොටස් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිමාණවත් කොටස්කරුවෝ වෙති. තමන් ආගමින් බෞද්ධ බව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ බව වරක් ගරු සර්සලින් ජයකොඩි පියතුමා ප්‍රකාශ කළේ මේ අර්ථයෙනි. ඔබ සිංහල කතෝලිකයෙකි. ඔබ සිංහල හින්දූවෙකි. ඔබ සිංහල මුසල්මානුවෙකි. සිංහල බොදු ගීතාවලිය ඒ සුහදත්වයෙහි ළෙංගතු බැඳීමෙහි සදාතනික සංකේතයක් නොවන්නේද?

මේ අනුව ගව ඝාතන විරෝධි සටනෙහි පදනම හුදු ආගම හෝ ගෝත්‍රවාදක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය බව පැහැදිය. නිශ්චිත වාර්තා නැත ද ගව ඝාතන විරෝධි සටන යටත්විජිත සමයෙහි ගව මස් කෑම ව්‍යාප්ත වීමත් සමඟ ආරම්භ වූයේ යැයි සිතිය හැකිය. එය මෙරට නිදහස් සටනේ කොටසක් වන අතර තවමත් මුදුන්පත් කරගත නොහැකි වූ ඉමකි.




-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

2/28/2014

අපි දැන් බටහිර උගුලේ හිරවෙලා ඉවරයි - ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     2/28/2014   3 comments

මීට වසර 25කට පමණ කලින් 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු' කෘතිය රචනා කරන විට ලංකාවේ ඇත්තේ ජනවාර්ගික හෝ භාෂා හෝ ගැටළුවක් නොව ඇමරිකානු කුමන්ත්‍රණයක් බව පැහැඳිළිව දුටු ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍යය බුද්ධිමතා, විශිෂ්ට සාහිත්‍යයධරයා ගුණදාස අමරසේකර ශූරීන් යුතුකම සංවාද කවය සමඟ කෙරුනූ පිළිසදෙරෙකි මේ. 

උතුරේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නය ඇමරිකාව එංගලන්තය සහ ඉන්දියාව ආදී රටවල උවමනාව වෙනුවෙන් ක්‍රියාත්මක වූවක් බවත් එහි පිටුපස සිටින්නේ ඔවුන් බවත් ඔබ මීට වසර 25 කට පමණ කලින් ඔබේ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු' කෘතියෙන් පෙන්වා දුන්නා. නමුත් බොහෝ දෙනාට එය හරිහැටි වැටහී ගියේ නැති බවයි අපේ අදහස. නමුත් අද බොහෝ දෙනාට එය වැටහෙමින් තිබෙනවා.ඇත්තටම ඇයි ඇමරිකාව සහ බටහිර රටවල් ඇයි අපට එරෙහි ස්ථාවරයක ඉන්නේ? 

සෝවියට් කඳවුර බිද වැටුනට පස්සේ ඇමරිකන් කාරයට වුවමනා කරන ලෝක ආධිපත්‍යය තියා ගන්න මැදපෙරදි‍ග ආධිපත්‍යය වගේම ඉන්දියන් සාගරයේ ආධිපත්‍යයත් වැදගත්. ඉතින් ඒකට දිගින් දිගටම රටවල් තුල අභ්‍යන්තර ගැටුම් ඇති කරලා රටවල් බෙදන එක තමා ඔවුන්ගේ උපක්‍රමය. 

ඒ බෙදීම භූගෝලීය වශයෙන් කරන්න බැරි නම් ඒ රට වල මිනිස්සු ජාති, ආගම් ගෝත්‍ර වශයෙන් හෝ බෙදලා එකිනෙකා ඇනකොටා ගන්න තත්වයකට ඒ රටවල් පත් කරන එක තමා ඔවුන්ගේ ක්‍රමය. 
ඒ හරහා රජයන් පෙරලවා රටවල් දුබල කරනවා. මැදපෙරදිග ඒක උන් කරනවා අපි දැක්කා. චීනය සිටින නිසා ඉන්දියන් සාගරයේ ආධිපත්‍යයත් බොහොම වැදගත් උන්ට.
ඉතින් ලංකාව උන්ට ඒ අතින් හරිම වැදගත් තැනක්. ඔවුන්ට ඕනා මූලික දේ තමා රට බෙදන්න. ඒකට අවශ්‍යය දේ තමා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පළවා හරින්න. ඒකට තමා ඔය අන්තර්ජාතික පරීක්ෂණය තියන්න හදන්නේ. ඒකෙන් කියාවි මානව හිමිකම් කඩ වුනාය. යුධ අපරාද සිදු වුනාය කියලා. 
බාග විට ඒගොල්ලෝ ආණඩුවට කියාවි උඹලත් ඔය පරීක්ෂණ කණ්ඩාමට කිහිප දෙනෙක් එවන්න කියලා. ඔය දයාන් ජයතිලක හරි රාජිව් විජේසිංහ හරි යැව්වොත් ඒ ගොල්ලෝ ලව්වාත් පුළුවන්නේ උන්ට ඕනා දේ කියවාගන්න. බාගවිට කට්ටියම එකතුවෙලා කිව්වොත්, මහින්ද රාජපක්ෂ උනත් දහතුන සම්පූර්ණයෙන් දෙන තැනට යන්න ඉඩ තියෙනවා. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කෙළින් හිටියොත් උන් කටයුතු කරාවි අපිව දණ ගස්සන්න. ඊට පස්සේ ආර්ථික සම්බාධක දාවි. පස්සේ කියන්න පුළුවන් උතුරු නැගෙනහිරට වෙන් වෙන්න ඕනද නැත්ද කියලා ඒ පැත්තේ වෙනම ජනමත විචාරණයක් තියන්න කියලා. සුඩානයේ ඒක කළා. දැන් ස්කොට්ලන්තයෙත් ඒ වගේ එකක් තියන්න යන්නේ. 

අපි කළින් කිව්වේ එකට තියෙන රටක් කඩලා ෆෙඩරල් කරලා නෑ කියලනේ. හැබැයි දැන් මේ අය යේමනයට ඒක කරන්න යනවා. එකට තිබුනු රට හයකට කඩලා ෆෙඩරල් කරන්න හදනවා. කොටසක් ඒකට විරුද්ධයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැහැඳිළිවම සඳහන් කරනවා තමන් මේ රට බෙදන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඔබතුමාට ඒ ගැන විශ්වාසයක් තියෙනවද? 

එකක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දන්නවා රජයේ සහ ඔහුගේ පවැත්ම තියෙන්නේ සිංහල මිනිස්සුන්ගේ ඡන්ද උඩ කියලා. රනිල් වගේ කෙනෙක් ආවොත් නම් බන්දේසියක තියලම ඕක දීලා දානවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එහෙම කරන්නේ බැරිම උනොත් තමා. සිංහල මිනිස්සුන්ට පේන්න ඕන නම් ටිකක් ඇල් මරලා ඇස්වලට වැලි ගහලා ඕක කරන්න ඉඩ තියෙනවා. එහෙම කළොත් මේ ඔක්කොම උන් නවත්තන්නත් ඉඩ තියෙනවා. මොකද, දහතුන සම්පූර්ණයෙන් දීපු හැටියේ ඉතිරි ටික සම්පූර්ණ කර ගන්න එක එතරම් අමාරු දෙයක් නෙමෙයි.

මෙවරම සමුළුවේදිම ඔවුන් ආර්ථික සම්බාධකවලට යාවිද?එසේත් නැත්නම් මෙවර ගියවරට වඩා තදබල යෝජනාවක් පමණක් ගෙනත් සම්බාධක ඊළඟ අවස්ථාව දක්වා කල් ගනීවිද?

මගේ හිතේ ඔය අන්තර්ජාතික පරීක්ෂණය නම් ඉක්මණට ගනීවි. ඊට පස්සේ තමා ආර්ථික සම්බාධක එන්නේ. මගේ හිතේ ඒකත් වැඩි කල් දාන එකක් නෑ. 


මොකද ඊලඟ ජනාධිපතිවරණය තියලා ජනාධිපති තුමා ජනප්‍රිය වුනොත් ඒක එයාලට පාඩුයි. ඒ වගේම දෙමළ සන්ධානය ඇතුලේ බෙදීමක් ආවොත්, ඒකත් එයාලට පාඩුයි. ඒ නිසා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ඉක්මණට ක්‍රියාත්මක කරන්න බලාවි මගෙ හිතේ. මේක ඔවුන්ට ඒ සඳහා හොඳම අවස්ථාවක්. 
 
ජිනීවා අභියෝගයට ආණ්ඩුවේ ප්‍රතිචාරය සෑහිමකට පත් වෙන්න පුළුවන්ද? ඇත්තටම අපි කොහොමද ඒකට මුහුණ දිය යුත්තේ?

ජිනීවාවල තියන ඡන්දයකින් අපිට දිනන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මොකද ඇමරිකාව ඔය පොඩි පොඩි රටවල් ආර්ථික වශයෙන් යට කරගෙනනේ ඉන්නේ. අපි අර LLRC එකේ තියෙන ඔක්කොම කෙරුවත් අපට මේ එල්ලවන බලපෑම් නතර වෙන්නේ නෑ. මොකද මෙයාලට තියෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්. 

රජයට තේරුම් ගන්න තිබුනා ප්‍රභාකරන් ඉවර කළාට ප්‍රභාකරන්ලව හදපු බටහිර, ඇමරිකනු හා ඉන්දියානු වුවුමනා තව දුරටත් ඒ වෙනුවෙන් පෙනී සිටින බව. බෙදුම්වාදය සඳහා ඒ අය තවදුරටත් කටයුතු කරන බව. රජයට තිබ්බේ යුද්දේ දිනපු වෙලාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා බෙදුම්වාදයට තියෙන ඉඩ වහලා දාන්න. ඒකෙන් තමයි දැන් මේ අය අපව හිර කරන්නේ. 


ඒක ඒ වෙලාවේ කළා නම් මිනිස්සු හැමෝම ඒකට කැමති වෙනවා. කාටවත් විරුද්ධ වෙන්න ලැබෙන්නේ නෑ. නමුත් අපි ඒ වෙලාවෙ කිරිබත් කකා හිටියා මිසක කරන්න ඕන දේ කළේ නෑ. අනික, අපේ හමුදාව මේ යුද්දේ කළේ අන්තිම ඉහළ විදියට. වෙන රටක උනා නම් ඔය පුනරුත්තාපනය කර කර ඉන්නේ නෑ. ඔක්කොම මරලා දානවා. නමුත් රජය හැසුරුනේ හරියට වැරැද්දක් කරලා වගේ. ඔය LLRC පත් කර කර ඉන්න කොට ඇමරිකන් කාරයත් දැනගත්තා අපිව නටවන්න පුළුවන් බව. අනික ආර්ථික වශයෙන් අපි කළේ උන් මත යැපෙන වැඩ. ණය අරගෙන පුළුවන් තරම් පාරවල් හැදුවා. හෝටල් හැදුවා. කාර් ගෙනල්ලා මේක පිරෙව්වා. ඕවට දැන් කොච්චර යනවද තෙල් වලට? 

ඇත්ත වශයෙන්ම අපිට තිබ්බේ කිසියම් ජාතික ආර්ථිකයක් වෙත යන්න . දහතුන අහක් කරලා මිනිස්සුන්ට කියන්න තිබ්බා අපි රට බේරා ගත්තා, දැන් අපි සියළු දෙනාම දුක් විදලා රට ගොඩ ගනිමු කියලා. 70-77 කාලෙදි ජාත්‍යන්තර මුල්‍යය අර්මුදල සහ ලෝක බැංකුව අපිව කොන් කරපු නිසාත් ලෝක ආර්ථිකයේ ඇති වූ අයහපත් තත්වය නිසාත් අපි කිසියම් ජාතික ආර්ථික මඟක් වෙත ගියා. ඒ කාලේ කරපු බොරු මාක්ස්වාදි වැඩ නැතුව මූලික වශයෙන් ඒ වගේ ක්‍රමයක් වෙත යන්න තිබුනා. 
මට හිතෙන්නේ දැන් නම් ඉතින් ලේසි වෙන්නේ නෑ ඕකට මුහුණ දෙන්න. අපි හොඳටම බටහිර උගුලේ හිරවෙලා ඉන්නේ. 
 
අපි දැක්කා පසුගිය ජිනීවා යොජනාව වෙලාවෙදිත් ඉන්දියාව අපේ රටට එරෙහිව ගොස් බටහිරයන් සමග චන්දය දුන්නා. මෙවරත් එය එසේම වේයැයි ඉන්දියාව දෙසින් ඉඟි පළවෙනව. මෙතනදි ඉන්දියානු භූමිකාව කුමක්ද?

ඉන්දියාවට ඕන කාරණා දෙකක්. උන්ගේ රූකඩ හෙන්චයියෝ ටිකක් උතුරු නැගෙනහිරට පත් කරලා දහතුන ලබාදීලා ඒ අයට ඉතා බලවත් තත්වයක් ලබා දීලා ඒ අය හරහා ලංකා රජයට පීඩනයක් ඇති කිරීම. අනෙක තමා තමිල්නාඩුවේ ඡන්ද ටික ගන්න. 

මේ රට බෙදෙනවාට ඒ අය කැමති නැති වෙන්න පුළුවන්. මොකද ඉන්දියාවට පේන්න ඕනනේ ඒක බෙදුනොත් එතනින් නවතින්නේ නෑ කියලා. ඊළඟට තමිල්නාඩුව බෙදනවා. ඇමරිකාවට උතුරු නැගෙනහිරයි, තමිල්නාඩුවයි තිබුනෝතින් ඉන්දියවට බම්බු ගහගන්නැයි කියන්න ඇහැකියි. 

ඇත්ත වශයෙන් ඇමරිකාවට ඕනා ඉස්සර වෙලා අපිව බෙදලා ඊළඟට ඉන්දියාවත් බෙදන්න. මේක බෙදා ගත්තොත් ඉන්දියාව බෙදන එක ඒ හැටි අමාරු නෑ. නමුත් ඉන්දියාවටයි ඇමරිකාවටයි පොදු වුවමනාව තමයි 13 ක්‍රියාත්මක කරව ගන්න එක. ඒ නිසා දැනට ඒ දෙගොල්ලෝ ඒ සඳහා එකට ක්‍රියා කරනවා. එතැනින් පස්සේ දෙගොල්ල අතර කඹ ඇදිල්ලක් තියේවි. ඒකෙදි තමිල්නාඩුවත් ඇමරිකාව එක්ව කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඒ වෙනකොට ඒ දෙගොල්ලන්ගෙන් කවුරු දිනුවත් ලංකාව පරාද වෙලා ඉවරයි කියන එක අපි තේරුම් ගන්න ඕනා 13 දුන්නට පස්සේ. 

මොකද එතකොට මේ ගැටුම් කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ. ලංකා රජය වගේම සිංහලයාත් මුළු රටමත් අසරණ වෙනවා. අර යුද්දේ දිනන්න අපේ රණ විරුවෝ කරපු ඒ උතුම් කැප කිරීම් අපතේ යනවා. ඒ නිසා සමහර අය සරලව හිතලා කියන ඉන්දියාව ඉන්නකම් මේ රට බෙදන්න ඉඩක් නෑ, ඒ නිසා අපට බය වෙන්න දෙයක් නෑ කියන මිත්‍යාවේ අපි සිටිය යුතු නෑ. 
 
විපක්ෂය කියන්නේ මේ ජිනීවා බිල්ලා ආණ්ඩුව විසින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට පාවිච්චි කරන බොරු බිල්ලෙක් කියල. ජිනීවා වලදී මෙරටට එරෙහිව එල්ල වන චෝදනා රජය මෙරට තුල සිය ඡන්ද ව්‍යාපාරය සඳහා වාසියට යොදා ගන්නවා නේද? 

ඒකේ වාසියක් ගන්න එකේ වැරැද්දක් කියන්න බෑ අපිට. මොකද ඒක රටටත් වාසියක්. ජාතියටත් වාසියක්. මේ රට බෙදන්න හදනවා නම් ඒකට විරුද්ධව ජනාධිපති ඉන්නා තෙක් මිනිස්සු එකට ඉන්නව නම්, අඩු තරමේ 70% ක් ඉන්න සිංහල මිනිස්සු එකට ඉන්නව නම් ඒක ලොකු බලයක් වෙනවා. ඒ කියන එකේ ඇත්තක් තියෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු යට යන්න පුළුවන්. ඒත් ඉතිං කමක් නැහැ නේද? රටක් ජාතියක් තියෙන්න එපැයි බඩ තියෙන්න. 

මීට පෙර පැවති රජයන් බොහොමයක් ගෙනගිය බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්ති ඔබගේ දැඩි විවේචනයට ලක් වුන බව අපට මතකයි. වත්මන් රජයේ ආර්ථික මාවතත් එදා ජේ ආර් ගෙනගිය මාවත්ම බව ඔබ නොයෙක් වර චෝදනා කරල තිබුනා. රජයේ වත්මන් ආර්ථික පිළිවෙත ගැන ඔබතුමාගේ මතය කුමක්ද?

රජය ගෙන යන ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපිට එකඟ වෙන්න බෑ.මේක කෙලින්ම ජේ අර්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. කිසිඳු වෙනසක් නෑ ඒකෙයි මේකෙයි. බොරු ආලවට්ටම් ටිකක් වෙනස්කම් විදියට පෙන්නුවත් ඒක සඟවන්න බෑ. 

චීනය, ඉන්දියාව ධනපති ක්‍රමය ක්‍රියාත්මක කෙරුවෙ තමන්ගේ ආර්ථිකය ටිකක් හදා ගත්තට පස්සේ. ඒ රටවල ඉන්නවා ජාතික ධනේෂ්වර පංතියක්. විදෙස් ආයෝජන ආවත් ඒවා ගේන්නේ ඒ දේශීය ධනපති පංතියට වුවමනා හැටියටයි. අපේ රටේ එහෙම ශක්‍තිමත් දේශීය ධනපති පංතියකුත් නෑ. මේගොල්ලෝ තනිකරම විදෙස් ආයෝජන දිහා තමා බලන් ඉන්නේ. මේක ධනපති ක්‍රමයකට වඩා යටත්විජිත ආර්ථික ක්‍රමයක්.

අනිත් එක මම හිතන්නේ නෑ ධනපති ක්‍රමය හරියට කළා උනත් අපේ මේ රටේ සාර්ථක වෙයි කියලා. ඉන්දියාව නම් ධනවාදයට සුදුසු රටක්. මොකද කුල භේදය තියෙනවා. වැඩියෙන් ඉන්නේ දුප්පත් කුල වල අය. මහා බ්‍රහ්මයගේ දෙකකුලෙන් ආවා කියලා හිතාගෙන කිසිම දෙයක් නැවත ප්‍රශ්න කරන්නේ නෑ. චීනෙත් සාමාන්‍යය මිනිහා ඉන්නේ බොහෝම පහළ අඩියක. ලංකාවේ එහෙම නෑ. අපේ විශ්වාසය තියෙන්නේ ධනය ඉපයූවට විතරක් මදි, ඒක බෙදිලා යන්නත් ඕන කියන එකයි. ඔය ජේවීපී නැගිටීම් දෙකෙනුත් පේන්නේ ඒකයි, අපි ඒක පිළිගන්න සූදානම් නෑ කියන එක. උතුරේ මිනිස්සුන්ගේ උනත් ඒක තියෙනවා. 

රොනීද මැල් මුදල් ඇමති ඉන්න කාලේ කියපු දෙයක් තමා කේක් එක කපන්න ඉස්සෙල්ලා ලොකු කරන්න ඕනා කියලා. පහුගිය දවසක එයා මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සෑහෙන වර්ණනා කරලා තිබ්බා, එයා හිතපු නියම ක්‍රමය තමයි මේ රජය දැන් ක්‍රියාත්මක කරන්නේ කියලා. මගේ හිතේ අපිට ඕක හරියන්නේ නෑ. අපි සොයන්න ඕනා කේක් එක කපන ගමන් ලොකු කරන ක්‍රමයක්. මෙහේ අවශ්‍යයි සමානාත්මතාවය. ඒකට ලොකු හේතුවක් තමා අපේ බෞද්ධ සංස්කෘතිය. පරාර්ථය, බෙදාහදාගෙන කෑම, සමානාත්මතාවය, බදා ගෙන ඉන්නේ නැතිව නොඇලී සිටීම වගේ හරයන්ගෙන් ආපු බෞද්ධ සමාජවාදය අපේ චින්තනයේ තියෙනවා.

එහෙම එකකට යුද්දෙන් පස්සේ මේ රට ගෙනියන්න තිබුනා, මිනිස්සුන්ට මේ තරඟය නැතිව මධ්‍යම ප්‍රතිපදාව මුල් කරගෙන නිදහසේ ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න තිබුනා. ඒ වෙනුවට කළේ කාර් ගෙනැල්ලා මේක පුරවන එකයි. ඒවාට හරියන්න පාරවල් හදන එකයි. 

දැන් වෙලාවකට තරහත් යනවා මේගොල්ලෝ කියන කොට, සංවර්ධනය නිසා ඕන එක්කෙනෙකුට පාරවල් වල යන්න පුළුවන් කියලා. පාරවල් වල යන්න පුළුවන් හොඳ කාර් එකක් තියෙනවා නම්, කබල් කාර් එකක් තිබිලත් බෑ. මෝටර් සයිකලයක් තිබිලත් බෑ.

අනිත් එක සුද්දා පාරවල් දැම්මේ තේ ටික ගෙනියන්න, කෝපි ටික ගෙනියන්න, වතු වලට යන්න වගේ නිෂ්පාදන කටයුතු වලට. මේකේ මොකක්ද තියෙන නිෂ්පාදනය? ණය වෙලා හදපු පාරවල් ටික තියෙනවා. අපි කාරුයි තෙලුයි පිටරටින් ගෙන්නාගෙන නිකාන් යනවා කතරගම ගිහින් එන්න. 

මේකට හොඳම උදාහරණයක් තමයි නයිජීරියාව. මුලදි ඔවුනුත් අපි වගේම කෘෂිකාර්මික රටක්. පස්සේ ඔවුන්ට තෙල් හම්බ උනා. ඔවුන්ට එවිට ආර්ථික උපදෙස් දෙන්න ඉදිරිපත් වුනේ ලෝක බැංකුවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඔවුන් දීපු උපදෙස තමයි මුලින් රටේ හැම තැනම දියුණු මාර්ග පද්ධතියක් හදන්න කියන එක. කොටින්ම වැසිකිලියට යන පාරත් කාර්පට් කරන්න.

ඒ යටිතල පහසුකම් වර්ධනය කල පසු විදෙස් ආයෝජන වලින් නයිජීරියාව පිරී යනු ඇති බවයි ලෝක බැංකු ආර්ථික ඝාතකයින්ගේ උපදෙස උනේ. නමුත් අපේක්ෂා කළ ආයෝජන නොලැබීම නිසා අවසානයේ සිදු වුනේ ඔවුන් අර තෙල් සොයාගන්න කලින් සිටි තත්වයටත් වඩා අන්ත ආර්ථික අහේනියකට රට පත් වීමයි.

ක්ෂේක්ශ්පියර් කිව්වනේ "දෙන්නාටත් වාසියි. ලබාගන්නාටත් වාසියි කියල" මේ පාරවල් හැදිල්ලත් එහෙම තමයි.

මේ ක්‍රමයේ වරද කාගෙද? මේක මහින්ද රාජපක්ෂගේ වරදක්ද? එසේත් නැත්නම් අප පවත්වාගෙන යන්නට හදන මේ කුණු වෙච්ච ක්‍රමයේම ස්වාභාවික ගතියද? 

මේක මහින්ද රාජපක්ෂගේ විතරක් වරදක් නෙවෙයි. අපි ගැඹුරින් විශ්ලේෂණය කරල බැලුවම පේනව නිදහසට පෙර මේ රටේ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබුනා. එකක් අනගාරික ධර්මපාල තුමාගේ නායකත්වයෙන් යුතු ජාතික විමුක්ති ව්‍යාපාරය. අනිත් එක තමයි ජාතික කොංග්‍රසය හරහා නිරූපණය වුනු , අවසානයේ එක්සත් ජාතික පක්ෂය හරහා එළියට ආපු විජාතික ව්‍යාපාරය. අපි නිදහසින් පසු කිසිවිටකත් උත්සාහ කලේ නෑ සිංහල ජාතිය මූලික කරගත්ත අනෙක් ජාතීන් ඊට අවශෝෂණය කරගන්න ක්‍රමයක් බිහි කරගන්න. 

අපි සුද්දට රට බාර දෙනකොට මේක 'සිංහලේ'. සුද්දා අපිට බාරදුන්නේ ' සිංහලේ' නෙවෙයි ' සිලෝන්'. බෙදා වෙන් කර පාලනය කිරීම මූලික දහම කරගත්තු සුද්දා ඒ වෙද්දි අපි කොටස් කොටස් වලට බෙදල දාල තිබුණේ. සුද්දගෙන් පස්සේ රට භාර දුන්නු නායකයන්ට මේ රටේ සංස්කෘතිය , සභ්‍යත්වය ගැන කීසිඳු විඥානයක් තිබුනේ නෑ. ඉංග්‍රිසි කාරය නවත්තල ගිය තැනින් පටන් ගෙන පවත්වාගෙන යෑම තමයි ඔවුන්ගේ කාර්‍ය භාරය වුනේ. ආනන්ද ගුරුගේ මහත්මය විසින් සී ඩබ්ලිව් ඩබ්ලිවු කන්නන්ගර මහත්මය ගැන ලියපු පොතක සඳහන් වෙනව නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙල ගේන්න හදන වෙලාවේ ඩී එස් සේනානායක එයට එරෙහි වුන ආකාරය. තමන්ට සියලු දෙනාටම අධ්‍යාපනය ලබා දීමට උවමනා නැති බවත් 200ක් 300ක් සිවිල් සේවයට පුහුණු කරගතහොත් රට පාලනයට එය ප්‍රමාණවත් බවයි ඔහුගේ අදහස වුනේ.

අනිත් පැත්තෙන් පක්ෂ දේශපාලනය හරහා ප්‍රධාන ජාතිය මැදින් බෙදල දැම්මා. මේ සියළු පව්වල දෑවැද්ද තමයි මහින්ද රාජපක්ෂටත් ලැබුනේ. අප අත් විඳින්නේ ඒ පවයි. 

නමුත් මම කලිනුත් කිව්ව වගේ ත්‍රස්තවාදය අවසන් කල මොහොතේ දූරදර්ශීව කල්පනා කළා නම් මේ ක්‍රමය වෙනස් කරන්න මහ්න්ද රාජපක්ෂට හොඳ අවස්ථාවක් ලැබුනා. නමුත් අද වන විට පේන්නේ මහින්ද රාජපක්ෂ විසින් ඒ අවස්ථාව මග හැර ඇති බවයි.

 මේ ජිනීවා මෙහෙයුම හරහා අපට ආර්ථික සම්බාධක වැටුනොත් යළිත් අපට ඒ නැගී සිටීමට අවථාවක් කියල හිතෙන්නේ නැද්ද? 

මට හිතෙන හැටියට නෑ. ඒකට තිබුණු හොඳම අවස්ථාව තමයි 2009 ජයග්‍රහණයෙන් පසු එළඹුන ස්වර්ණමය අවස්ථාව. ඒ වෙලාවේ රාජපක්ෂට තිබුණ ජන බලය හිතාගන්නවත් බැරි තරම් එකක්. නමුත් අවාසනාවට ඔහු ඒක මග හැරියා. අද සම්බාධක ආව ගමන් රනිල් වික්‍රමසිංහ වගේ බටහිර ගැත්තෙක් ඇවිත් කියයි 'මට බලය දෙන්න .මම සම්බාධක ඉවත් කරල දෙන්නම් කියල'. ඒ වෙද්දි ආර්ථික පීඩනයට හසු වෙලා ඉන්න ජනතාව එයට එකඟ වෙන්න ඉඩ තියෙනව. සමහර විට බටහිරයනුත් රනිල් බලයට එන්නේ නම් ඔවුන්ගේ සම්බාධක ලිහිල් කරන්න එකඟ වෙයි. මොකද රනිල් ඔවුන්ගේ සෘජු ඒජන්තයා. ඔවුන්ට අවශ්‍ය පරිදි රූකඩයක් විදියට තමයි රනිල් හැසිර්න්නේ. 13 සම්පූර්‍ණ කරලා ,උතුරට ඉල්ලන බලතල දීල බටහිරට අවශ්‍ය පරිදි රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරාවි. අපට මතකයිනේ ඔහු අගමැති වුනු වසර දෙකේ ඔහු බටහිරට ගැතිව ක්‍රියාකල දීන ආකාරය. 

දයාන් ජයතිලක වැනි අය කියන්නේ ඕක කරමු කියල නේද? 13 සම්පූර්ණ ක්‍රියාත්මක කරල වාර්ථාවත් සම්පූර්ණ කරල ජිනීවා බලපෑමෙන් ගැලවිය හැකි යැයි ඔවුන් අපට යෝජනා කරනවා. ඔහු ආණ්ඩුවට චෝදනා කරනව ඔහු වැනි අය රාජතාන්ත්‍රික කටයුතු වලින් ඉවත් කිරීම නිසා කියල ආණ්ඩුව ජිනීවා වලදි මේ වගේ අසරණ වෙලා තියෙන්නේ.මේ ප්‍රකාශයේ සත්‍යක් තියෙනවද?

දයාන් ජයතිලක අයින් කරපු නිසා නෙවෙයි, යුද්දෙන් පසුව දයාන්ලා කිට්ටු කරගනිපු නිසයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.ඔහු 2009 කලේ මොකක්ද? ඔහු තමයි ආණ්ඩුව 13 උගුලේ හිර කරන්න කටයුතු කළ ඉන්දීය ඒජන්තයා. ජාත්‍යන්තරයට 13 පිළිබඳ ඉටු නොකළ හැකි පොරොන්දු දුන් නිසා බටහිර උගුලේ අපි වැටුනා. ඇත්තටම එතනදි වැරැද්ද දයාන් ජයතිලකගේ නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ. දයාන් ජයතිලකලා , රජීව් විජේසිංහලා ආදීන් තක්කඩියන් බව කලින් අඳුරගන්න තිබ්බ. ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ඒකට හොඳටම ප්‍රමාණවත්. ජිනීවා යවන්න දයාන්ලා තෝරාගනිපු එකෙයි වැරැද්ද. ඔහු ඉතිහාසය පුරාම උග්‍ර ෆෙඩරල් වාදියෙක් බව හැමෝම දන්නවා. එහෙව් එකේ ඔහු තානාන්තරවලට දා ගත්තේ මොකටද? ජිනීවා යවන්න ඒ වෙලාවේ ඕන තරම් අය හිටියා. ගෝමින් දයාසිරි , එස් එල් ගුණසකර වගේ මිනිහෙක් යැව්වනම් මේ ව්‍යසනය අපට වන්නේ නෑ.

ඔබ තරම් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවත් එහි තරුණයන් පිළිබඳවත් මහත් උනන්දුවෙන් අදහස් පලකළ ඒ වෙනුවෙන් ලිපි , නවකතා , කවි ලියූ වෙනකෙක් නැතිව ඇති.මෑතකදී සිදුවූ ජවිපෙ නායකත්ව වෙනස රටේ ඉදිරි යහපත් වෙනසකට කෙලෙස හේතු වෙයිද?

මට නම් ඒකේ වැඩි වෙනසක් පේන්නේ නෑ. සෝමවංශ අමරසිංහට නොහැකි උනා 2005න් පමණ පස්සේ ජවිපෙ හරි මාර්ගයේ ගෙනියන්න. ඔබලාට මතක ඇති නේද 2007 දී යුධ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ප්‍රභාකරන් දිගින් දිගටම පරාජය වෙමින් පවතිද්දි ජවිපෙ ආණ්ඩුව අය වැයේදී පෙරළලා යුධ ජයග්‍රහණය නවත්තන්න කටයුතු කළ හැටි. ඒක තමයි තීරණාත්මක මොහොත. යන්තම් එවෙලේ විමල් වීරවංශ ආදීන්ගේ මැදිහත්වීමෙන් එය වැලකුනා. ඒ අවස්ථාවේ එයට විරුද්ධව කටයුතු කරපු මිනිහෙක් නායකය වුනා කියල ඇතිවෙන වෙනසක් නෑ. 

 යුතුකම සංවාද කවය 
 www.yuthukama.com

2/22/2014

පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම හෙවත් ජවිපෙ නායකත්ව වෙනස

කතෘ:යුතුකම     2/22/2014   11 comments
"අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදය" 

සමාජවාදී ආශ්වාදයේ සුළඟ ලෝකය පුරා ප්‍රබලව හඹා ගිය 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර විසින් ජවිපෙ  බිහිකරන්නේ එතෙක් පැවති සාම්ප්‍රදායික පොතේගුරු මාක්ස්වාදී ව්‍යාපාර වෙනුවට පොළව සමග මුල් ඇල්ලිය හැකියැයි විස්වාස කරන පදනමක සිටය. 1965 වෙසක් පොහොද දිනය ජවිපෙ බිහිවන දිනය වන්නේ අහම්බයකින් විය නොහැක. ජවිපෙ බිහිවූ දා සිටම අන් වමේ පක්ෂවලට වඩා යම් කිසි සුවිශේෂී වෙනස් කමක් සහිතව වර්ධනය විය. "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යනුවෙන් ජවිපෙ තුල න්‍යාය බිහි කරන්නේ රෝහණ විජේවීර තුල තුබූ නිර්මාණශීලීත්වයත් පොළවේ ඉව හොඳින් වැටහී තුබූ නිසාත් බවට සැක නැත. සමාජවාදයට යන මග වැටී තිබෙන්නේ ජාතික විමුක්ති අරගලය ඔස්සේ බව විජවීර විසින් පක්ෂය ස්ථානගත කල ස්ථාවරය විය. 

එසේ වුවත් ජවිපෙ මුල් පොත් වන මාක්ස්වාදි කියවීම් සමග විජේවීර සූත්‍රගත කල මේ උපායමාර්ගය සමපාත නොවීමේ අවුලක් නිසාදෝ ජවිපෙ වරින් වර අමු මාක්වාදය දෙසටත් විටෙක් ජාතිකවාදී නැඹුරුවක් දෙසටත් දෝලන වීම ඉතිහාසය පුරාම දැක ගත හැකි වූ පහසු නිරීක්ෂණයකි. 
ජවිපෙ දෙවන මර්දනයෙන් පසු නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට කඩා වැදුණු 93න් පමණ පසු ජවිපෙ තුලද මේ අවුල විටින් විට දෘෂ්‍යමාන විය. විටෙක (1997 දී පමණ) වික්‍රමභාහු කරුණාරත්න වැනි අමු පොතේගුරුන් සමහ පොදු වමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම දෙසටත් විටෙක (1998 දී පමණ) ගුණදාස අමරසේකර මහාතා වැනි ජාතිකවාදී මත දරන්නන් සමග දේශහිතෛෂී ව්‍යාපාරය වැනි ජාතිකවාදී ව්‍යාපාර දෙසටත් ගමන් කරනු 93න් පසු දශකය තුල හොඳින් පැහැදිළි විය. 

කෙසේ වෙතත් 94න් පමණ පසු ඒකාබද්ධව නොවූ තත්වයක් යටතේ වුවත් සිංහල ජාතික ව්‍යාපාර තුල ඇතිවූ ප්‍රබෝධය හමුවේ ජවිපෙ ජාතිකවාදී නැඹුරුවද ඊට සමානුපාතික ලෙස බාහිරට පෙනෙන්නට විය. ඩී එම් ආනන්දගෙන් පසු ජවිපෙ තුලින් බිහිවූ ආකර්ෂණීයම සන්නිවේදකයා වූ විමල් වීරවංශ හරහා ජවිපෙ ඒ ජාතිකවාදි ප්‍රවේශයට ප්‍රබල ලෙස මැදිහත් විය. 
ජවිපෙ මේ ජාතිකවාදී නැඹුරුව සත්‍ය ලෙසම අවංකව සිදු කල මැදිහත්වීමක් නොවන බවත් ඔවුන් එය බාහිර සමජය වෙත ආකර්ෂණය වීමට ලාගත් වෙස් මුහුණක් ලෙස,එසේත් නැත්නම් දුරින් දුටු සමාජවාදි දූව වෙත යෑමට තෙප්පමක් ලෙස ස්වදේශවාදය භාවිතා කල බවටත් නැගෙන චෝදනාව පසු කාලයේ සිදු වූ යම් යම් සිදුවීම් හරහා තහවුරු වූ බව අසත්‍යක් නොවේ.එසේ වුවත් ජවිපෙ ජාතිකාවාදී පාර්ශවය කළමණාකරණය ට යොදා ගත් අඬුව වූ විමල් වීරවංශ ජවිපෙ උවමනාවටත් උඩින් සිටිමින් ජාතිකවාදයේ අවංක කොටස්කරුවෙකු වීමට තැත් කිරීම නිසා අවසානයේ ඔහුට පක්ෂයෙන් ඉවත් වන තැනට වැඩ සිදු විය. 

බොහෝ විට ඉන්පසු ජවිපෙ සටන් පාඨය බවට පත් වූයේ "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්න නොව "ජාතිකවාදී විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්නයි.අධිරාජ්‍ය විරෝධය වෙනුවට ජාතිකවාදයට එරෙහි ආස්ථානයක පිහිටා තම උපක්‍රම තෝරන්නට ජවිපෙ යොමු වන්නේ මේ සිදුවීම් වලින් පසුවයි. ජාතිකවාදය සතුරු පාර්ශව කර ගත් දා පටන් ජවිපෙ පසුබෑම ආරම්භ වූයේ යැයි කීම සදොස් නොවන නිගමනයකි. 

අවුල 2004 ද ? 

 2004 මහමැතිවරණ සමයට පෙර වන විට මෙරට පත්ව තිබුනේ 2002 රනිල් ප්‍රභාකරන් ගිවිසුම හරහා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉල්ලන ඉල්ලන කප්පම් ලබා දෙමින් බෙදුම්වාදය ශක්තිමත් වෙමින් අධිරාජ්‍යවාදී උවමනාව ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් ඉහළින් ඉටුවන වටපිටාවකි, එමෙන්ම ආර්ථික අතින්ද ඊටම සරිලන ලෙස යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා රට යළි යටත්විජිතකරණයට හසු වෙමින් තිබේය යන්න දේශපාලන චෝදනාවකට එහා ගිය පොළවේ යථාර්ථයක් බවට පත්ව තිබූ තත්වයකි.ඒ දේශපාලන තත්වය පිළිබඳ එකල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ මේ අදහස ඒ දේශපාලන තත්වය පිළිබඳ තේරුම් ගැනීමට උපකාරී වේ යැයි සිතේ. 

උපුටා ගැනීම :
"2001 දෙසැම්බර් මැතිවරණයෙන් බලයට ආ 2002 පෙබරවාරි කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කර ජාතික ප්‍රශ්නය රට බෙදීමේ දිශාවට , ඒකීය රාජ්‍යය දුර්වල කරන දිශාවට හැරවීමත් , "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන හරහා අධිරාජ්‍යවාදී සෘජු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට පටන් ගැනීමත් අප හඳුනා ගත්තේ යළි යටත්විජිතකරණයට ගොදුරු වීමක් ලෙසය.එය අනිවාර්‍යයෙන් කිසිඳු කොන්දේසියකට යටත් නොවී පරාජය කල යුතු තත්වයක් විය. " 
-ටිල්වින් සිල්වා -2006 ජනවාරි : දිවයින 

මේ ප්‍රායෝගික තත්වය හමුවේ 2004 දී ජවිපෙ ශ්‍රීලනිප ය සමග ගොඩනැගි සංධානය එහි නායක රෝහණ විජේවීර උපක්‍රමිකව පෙන්වා දුන් අධිරාජ්‍යවිරොධී ගමන් මගේම එක් තවත් දිගුවක්ම විය. එය කිසි සේත් අධිරාජ්‍ය විරොධය ඔස්සේ සමාජවාදයට යන රෝහණ විජේවීර විසින් පක්ෂය තුල සූත්‍රගත කල උපක්‍රමික න්‍යායෙන් පීළි පැනීමක් නොවීය. එකල පරිවාසය ගොඩ නොනැගුනේ නම් බලයට පත් වන්නේ අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙම හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බැවින් එය වැලැක්වීම ඒ මොහොත අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්‍ය සේ සලකා ජවිපෙ ෆෙඩරල්වාදී චන්ද්‍රිකා ආන්ඩුව සමග දීගයට එළබිණ. 
නමුත් චන්ද්‍රිකා මහත්මිය අත්තනෝමතික ලෙස සුනාමි සහන මණ්ඩල යෝජනාව අත්සන් කල මොහොතේ ඒ පරිවාසය බිඳ දමා ස්වාධීන වීමට ගත් තීරණයද ජවිපේ මූලික දැක්ම වූ අධිරාජ්‍යවිරෝධය ඔස්සේ සමාජවාදයට යන්නට අනුකූල විය.එකල අධිරාජ්‍යවාදය සෘජු අපේක්ෂාව වූයේද සුනාමි සහන මණ්ඩලය හරහා LTTE ය වෙත නීත්‍යානුකූලභාවයක් ලබා දීමය. 

ඒ අතින් ගත් කල 2004 ජවිපෙ නිවරදිවම ගත යුතු මග ගත් බව ඔවුන් මහ මැතිවරණයෙන් ලද සුවිසාල ජනප්‍රසාදයෙන් පවා තහවුරු වෙයි. ජවිපෙ සන්නද්ධ විප්ලවීය මග පිළිබඳ තව දුරටත් විස්වාස නොකරන්නේ නම් සහ පාර්ලිමේන්තු බලය හරහා රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ විස්වාස කරන්නේ නම් ඒ සඳහා සුදුසුම මගට 2004 වන විට එලඹ තිබුණා යැයි කීම නිවරදිය. එකල ශ්‍රීලනිප යේ පතාක යෝධයන් සේ සැලකූවන් පවා පසු පසට යවමින් ඡන්දදායකයන් නමින් හෝ රූපයෙන් හෝ නොහඳුනන ජවිපෙ සාමාජිකයින් මැතිවරණයෙන් ඉදිරියට ආවේ ඒ බව සනාථ කරමිනි. 

උපුටා ගැනීම:
 " 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය" 
 -අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07 

කරුණු එසේ තිබියදී ජවිපෙ නව නායකයා අද පවසන මග වරද්දාගැනීම සිදු වූයේ 2004 යැයි කියන ප්‍රකාශයේ වලංගුබවක් ඇත්ද? 
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. එනම් මහින්දට ජනාධිපතිවන්නට සහය දී එදින සිට ඔහු අසාර්ථක වේවා යැයි පතමින් අසාර්ථක වන තෙක් බලා සිටින්නට ගත් තීරණයයි. එය ක්‍රියාත්මක තලයට පැමිණි 2007න් පසු ජවිපෙ අගාධයට යන මාවත බාහිරට නිරාවරණය විය. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම තීරණාත්මක අඩියකට පැමිණි 2007 අග භාගයේ ඔලු ගෙඩි මාරුවක් හරහා අය වැය පරදා ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් බිහි කරන කුප්‍රකට මෙහෙයුම එහි ප්‍රදර්ශනශීලී අවස්ථාව විය. 

අනාගතය විනිවිද දුටු 'වංශලා' 

වීරවංශ - සෝමවංශ
2005 දී මැතිවරණයේදී ජවිපෙ කුමක් කල යුතුද යන පක්ෂ අභ්‍යන්තර සංවාදය තුලදී එකල එහි ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ ඇතුලු කිහිප දෙනෙකු දැරූ මතය සුවිශේෂී විය. "2010 දිනන්නට 2005 ට" මුහුණ දෙමු යන මැයෙන් විමල් වීරවංශ විසින් 2005 අග භාගයේ පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කල දීර්‍ඝ ලියවිල්ල තුලදී ඔවු ඉතා නිවරදි ලෙස විශ්ලේෂණාත්මකව පෙන්වා දී තිබුනේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දී ඉන් පසු ආණ්ඩුවේ කොටස්කරුවකු වී ජවිපෙන් ඉටු විය යුතු යුතුකම ඉටුකර බහුජන කැමැත්ත තම පක්ෂය තුලට කැඳවා 2010 මැතිවරණය වන විට ස්වාධීන ගමනක් යෑමට අවශ්‍ය පොළවේ බලය ශක්තිමත් කර ගැනීම ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවයි.
එසේ නැතිව 'කුමාරලා' කියූ පරිදි ස්වාධීනව තරඟ කලහොත් ඇතිවන අභාග්‍යසම්පන්න ඉරණමත් ජනාධිපතිවරණයේදී වැනෙන සුළු සහයක් මහින්ද රාජපක්ෂට දී ඉන් පසු ස්වාධීනව ඉඳීමේ බාග තීරණය හරහා ජවිපෙට දිනාගත හැකි ජයග්‍රහණ ස්ව කැමැත්තෙන් අහිමි කරගන්නා බවටත් ඉතා වැදගත් නිරීක්ෂනයක් විමල් වීරවංශ මහතාගේ ඒ පරිපූර්ණ විශ්ලේෂණයේ අඩංගු විය. 

මුලදි පොතේගුරුවාදීන්ගේ බාග තීරණය සමග එකට සිටි සෝමවංශ අමරසිංහ පසුව තමන් සිටි ස්ථාවරයේ දෝෂය වටහාගෙන එම බාග තීරණය නිසා පක්ෂයට ඉදිරියේදී සිදු විය හැකි ව්‍යසනය පිළිබඳ දුරදක්නා බවකින් වැදගත් යෝජනා කිහිපයක් අඩංගු යොජනාවලියක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. ඔවුන් පළකළ අනාවැකි අද වන විට කොතෙක් දුරට ටක්කෙටම හරි ගොස් ඇති බව නිරීක්ෂණය කරන විට මේ වංශ යුගල ජවිපෙ විසින් බිහිකල උපායමාර්ගික විසේෂඥයන් යන මතය බැහැර කල නොහැක. 

උපුටා ගැනීම: 
 "දේශපාලන පක්ෂයක් න්‍යායිකව කොපමණ නිවරදි වුවත් දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අදාලව ම පක්ෂය ගනු ලබන තීරණයේ ස්වභාවය තීරණය වන්නේ අදාළ පක්ෂය නියෝජනය කරන මහජන බලයේ ප්‍රමාණයට අනුවය. දැන් අප සතුව මන්ත්‍රී ආසන 39ක් තිබේ. අද අප නියොජනය කරන මහජන බලයේ ආසන්නතම දල සංකේතය එයයි. අප සතු මහජන බලය වැඩි දියුණුඅ කිරීමට හේතුවන තීරනයකට යාමට අප සමත් විය යුතුය... ඒ සඳහා මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගත යුතුය.2010 දිනන්නට 2005 ට මුහුණ දෙමු.මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ 2010 මැතිවරණයට තනිව තරඟ කිරීමේ පූර්න ඉලක්කය ඇතිව ඊට අවශ්‍ය පූර්ව තත්වයන් නිර්මානය කිරීමේ ඉලක්කය සහිතවය" 
-විමල් වීරවංශ -2005 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

 එදා දුර දක්නා නුවණින් කල මේ යෝජනාවේ අගය ජවිපෙ නිළධාරි මණ්ඩලවලට වැටහිනි නම් යුද්ධය දිනන විට ජවිපෙ රජය තුල සාඩම්බර කොටස්කරුවන් වන්නට තිබිනි. ඒ තුල ඔවන්ට අත්වන ජනතා ප්‍රසාදය අති මහත් වන්නට තිබිනි.එහි අගය අද හොඳින් වැටහෙන්නේ අද වන විට රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ තකතීරු වැඩවලින් හෙම්බත්ව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සැබෑ ලෙසම රටට හිතැති මිනිසුන් 'කෝ ඉතින් කොයි තරම් නරක උනත් මේකට විකල්පයක් පේන මානයක නෑනේ. ජවිපෙ වත් එදා හිටපු මතයේ හිටියනම්' යනුවෙන් හූල්ලනු දකින විටයි. 

විමල්ලා එදා යෝජනා කල මතයට පසුව එකඟ වූ සෝමවංශ අමරසිංහයන්ගේ නිරීක්ෂනය විමසා බලමු. උපුටා ගැනීම :
  "2005 ජනාධිපතිවරණය අරභයා උපක්‍රමික ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප තීරණය කළෙමු. එහෙත් අපේ ඒ ක්‍රියාමාර්ගය අසම්පූර්ණ අර්ධ ක්‍රියාමාර්ගයකි එනිසාම එම ක්‍රියාමාර්ගය අපට ලබා දී ඇත්තේ අර්ධ ජයග්‍රහණයකි. අපි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට තීරනය කළෙමු. එය නිවරදිය. ඒ අතරම අපි පොදු ජන එක්සත් පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා නොයා යුතු බවටද තීරණය කළෙමු.අපි එළඹුණ ඒ දෙවනි තීරණය වැරදි බව මගේ දැන් අදහසයි." 
 "2005 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී අපේ තත්වයද තක්සේරු කර අපි ප්‍රවේශ වූයේ නිවරදි උපක්‍රමික ක්‍රියාමාර්ගයටය.එහෙත් අපි ඒ ක්‍රියාමාර්ගයේ භාගයක් ගොස් නැවතුනෙමු. ඒ නිසා අප ලබාගෙන ඇත්තේ සීමිත ජයග්‍රහණයකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අත් හැරීම නිසා අපට ලබාගත හැකිව තිබූ ජයග්‍රහණ අහිමි වූවා පමණක් නොව අපි ලැබූ සීමිත ජයග්‍රහණයන් බොඳ වී ගොස් අපට අහිමි වනු ඇත.
 මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට ඔසවා තබා එතැනින් නැවතීම යනු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිරිසඟබො භූමිකාව තෝරාගැනීමක් ල්ස තරුම් ගන්නා ලෙස මම උදක්ම ඉල්ලමි. ජවිපෙ කිසි විටෙකත් 'දේශපාලන සිරිසඟබෝ ' භූමිකාව තොරාගතත යුතු නැත. 

අප මහින්ද රාජපක්ශ තනි කිරීම මගින් තනි වන්න ඔහු නොවේ අපය. මහින්ද රාජපක්ෂ අප විසින් ඈත් කරන තරමට රටේ හතුරෝ ඔහු වටා රොද බැඳ ගැනීම වැලැක්විය නොහැක.රටේ හතුරෝ අපේද සතුරෝය. අප මහින්ද රජපක්ෂගෙන් ඈත් වන විට දැන් අප කරා ඇදෙමින් තිබෙන ශ්‍රීලනිප පහළ සාමාජිකත්වයෙන් බහුතර කොටා ආපසු ශ්‍රීලනිප ය කරාම ඇදෙනු ඇත." 
"මතවාදී නිරවුල්භාවය ඇති කරගැනීම ප්‍රශ්නයක් නොවේ.එය අවශ්‍යය.එහෙත් පන්ති සටන අමුවට මතු කරන්නට යෑමේදී අප කුඩා සීමාවකට කොටු විය හැක. එසේ වුවහොත් ජනතා විමුක්ති ප්‍රමුණත් නව සම සමාජ පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂයක් වනු ඇත " 
 -සෝමවංශ අමරසිංහ -2006 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන් 

පක්ෂ විනයට යටත්ව සොමවංශ අමරසිංහයන් බාහිරට පෙනෙන්නට කුමක් කීවත් ඔහුගේ හෘදසාක්ෂියට අනුව නිවරදි මතවාදය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලිය. ඔහු මේ අර්ථකතනය දීමේදී මාක්ස්වාදී ස්ථාවරයෙන් බැහැරවීමක් සිදු නොවීය. දේශප්‍රේමය - ජාතික අරගලය පන්ති සටන ජනතාව වෙත ලඟාකරවීමේ හොඳම මග ලෙස ඔහු නිවරදිව වටහා ගනී.දුර දක්නා මේ දැක්ම තුල මූලධර්ම කරේ තබාගෙන යන හනමිටිය කර නොගෙන භූමියේ තත්වය ඉතා නිවරදිව දැක ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 
සැබෑවටම ජවිප අද වල්මත්වී පාර සොයාමින් යන වංකගිරියේ අතරමං කලේ 2004 සභාග දේශපාලනයට යොමු වීමට ගත් උපක්‍රමික තීරණයද ? එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව පත් වීමෙන් පසු එහි නියත ලෙසම තමන්ට උරුම වූ කොටස අතහැර සිරිසඟබො චරිතයට පණ දීමද? 

කුමාරලා හිටියේ කොතනද?

උපුටා ගැනීම: 
"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. " 
-අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 

කෙසේ වෙතත් ඉහත උපුටා දැක්වූ පරිදි නව නායකත්වයට පත් විමෙන් පසු මාධ්‍ය හමුවේ එහි නායකයා පවසා තිබුණේ තමන් අද වන විට භුක්ති විඳින පරාජයන්ගේ ආරම්භය 2004 බවයි. 2004 සභාග ආණ්ඩු හැදීමේ දිහාවට පක්ෂය ගමන් කරවීමට ගත් තීරණය නිසා ඉන් පසු වාර කිහිපයකදී පිළිවෙළින් මහින්ද රාජපක්ෂ , සරත් ෆොන්සේකා ආදීන්ට සහය දෙන ප්‍රමුණු වලට සහභාගි වීමට සිදු වූ බවයි. කොටින්ම 2004 මහ මැතිවරණය ශ්‍රීලනිපය සමග එක්ව තරඟ කිරීම තම පක්ෂය සිදුකල දේශපාලන මග වරදාගැනීමක් බව ජවිපෙ නව නායකයා පෙන්වා දෙයි. එසේ නොවුයේ නම් පිරිසිදු පන්ති සටන් ක්‍රියාමාග හරහා අද නිර්මාණය වී ඇති තත්වයට වඩා හොඳ තැනක තම පක්ෂය සිටින බව ඔහුගේ අදහසයි. 
නමුත් එසේ නොවූයේ නම් එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් බිහි වන බවත් සොමවංශ අමරසිංහ , ටිල්වින් සිල්වා ආදීන් ඉහත සඳහන් කල පරිදි එය අධිරාජ්යවාදයේ ජයග්‍රහ්ණයක් වීම ජවිපෙ නව නායකයාට ගැටළුවක් නොවේ. එකල සභාග ක්‍රියාමාර්ග දෙසට පක්ෂය තීරණ ගනිද්දී තමන් ද බහුතරය සමග එයට එකඟ වුවත් ඔහුට ඒ පිළිබඳ වෙනම දැක්මක් තිබූ බව ඔහු ඉහත මාධ්‍ය හමුවේදී ඉඟි කරයි. (සාමාන්‍යය්නෙන් ජවිපෙ නායකයන් එසේ පෞද්ගලික මත ප්‍රකාශ කරනු අප බහුලව අත්දැක නැත.)

 කෙසේ වෙතත් අනුර කුමාර දිසානයක මහතා පවසන අදහස සත්‍යක් විය හැකි බව මීට ඉහත පක්ෂයෙන් ඉවත් වූ එහි ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මීට සත් වසකරකට පමන පෙර පලකල අදහස් මෙන්ම විමල් වීරවංශ මහතා පල කල 'නැත්ත වෙනුවට ඇත්ත ' ග්‍රන්ථයේ අඩංගු තොරතුරුවලින්ද සනාථ වේ. 2005 ජනාධිපතිවරණයේදී කුමක් කල යුතුද යන සංවාදය තුලදී හි තීන්දු තීරණ ගන්න යැයි කියන මධ්‍යම කාරක සභාව තුල මහින්ද රාජපපක්ෂට සහය දී ආණ්ඩුව කොටස්කරුවෙකු විය යුතුය යන යොජනාව පරාජය වී බහුතරයක් ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ ට සහය දී ඉන්පසු ස්වාධීන මගක යා යුතු යැයි භාග තීරණය ජහග්‍රහණය කලේය. නමුත් එහිදී අනුර කුමාර දිසානායක සහ තවත් එක් සාමාජිකයෙක් පමණක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය නොදී ස්වාධීනව තරඟ කල යුතු යැයි යන මතය දැරූ බව "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සාක්ෂි සපයයි. එය සනාථ කරන ප්‍රකාශයකි ජවිපෙ නව නායකයා මෑතකදී පල කල ඉහත අදහස. 

උපුටා ගැනීම :

 "එදා එම ජනාධිපතිවරණයට පෙර අප මධ්‍යම කාරක සභාව තුළ යෝජනා 3 ක් සාකච්ඡාවට ගැනූණි. ඉන් එකක් වූයේ මහින්දට සහය දී යා හැකි දුරක් දක්වා ඔහූ සමග නැවත බලගතු කොටස්කරුවන් ලෙස ඉදිරියට යෑමය. මධ්‍යම කාරක සභාව තුළ 7 දෙනකු එම මතය දැරූ අතර මාද ඒ අතර විය. අප විශ්වාස කළේ මහින්ද දිනවා පැත්තකට වී සිටීම (හරක් වැඩක් වන අතරම) ජනතාවට සාධාරණීකරණය කළ නොහැක්කක් බවය. එමෙන්ම ආණ්ඩූවට ඇතුල්වීමෙන් කලින් වතාවේ මෙන්ම හෝ ඊටත් වඩා ආණ්ඩූ බලය හැකි තරම් දුරකට අපේ යහපත් අරමූණූ සඳහා යොදාගත යූතු බවය. දෙවන යෝජනාව වූයේ මහින්දට සහය දී දිගටම විපකෂයට වී සිටීමය. මධ්‍යම කාරක සභාව තුළ බහූතර ඡන්දය ලැබූණේ මේ නපූංසක දේශපාලන යෝජනාවන්ටය. තුන්වන යෝජනාව වූයේ මහින්දට සහය නොදී ජ. වි. පෙ. වෙනම තරග කළ යූතු බවය. මේ "ප්‍රගතිශීලී මතය" හෙවත් "විප්ලවවාදී මතය" දැරුවේ හරියටම දෙදෙනෙකි. ඉන් එක් අයකු ඉහත දැක්වූ පිළිකුල්සහගත ඡායාරූපයේ ඉදිරියෙන්ම සිනාසෙමින් ඉන්නේ අහම්බයකින්ද? (ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ අවමඟුල් උත්සවය නිමවීමෙන් පසූව පැය කිහිපයක් එහි රැඳී සිටිමින් විහිළු තහළු කරමින් කෙළිදෙලින් ගත කළ දේශපාලනඥයෝ පිරිසක් ඒ ඡායාරූපයේ වූහ. එහි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටින්නේ අනූර දිසානායක මහතා අසලම වූ පූටූවක ඇන්දේය. රනිල් කළ කතාවකට සියලුදෙනාම සිනහවන්නේ කලක සිට බැඳුණූ කුළුපග මිතුරන් පිරිසක් හදිසියේ හමූ වූ චිත්ත ප්‍රීතිය විඳ දරාගත නොහැකිව ඇති අයූරකිනි. එය එම ඇස් තුළ සැඟවිය නොහැකි ලෙස සටහන්ව තිබිණි.) 
 -නන්දන ගුණතිලක 2008 පෙබරවාරි දිවයින 

පරාජයේ පියවරු අභිෂේක ගැන්වීම.

2005 දී ගත් භාග තීරණයෙන් ජවිපෙ මේ තරම් නරාවලකට වැටිණි නම් මේ නව නායකත්වය 2005 දී විස්වාස කල පරිදි තනිව තරඟ කලේ නම් අද වන විට ජවිපෙ ගැන මෙහෙමවත් සටහනක් තබන්නට දෙයක් ඉතිරි වන්න්නේ නැත. මේ අනුව පැහැදිලි වන කරුණ නම් ජයග්‍රහණයේ මග පෙන්වූ පීතෲවරුන් ද්‍රෝහී ලේබලය අලවා පන්නා දමා ජවිපෙ සුක්කානම අද ලබාගෙන හො භාරදි හෝ ඇත්තේ එහි වත්මන් පරාජයේ පීතෲවරුන්ට බව නොවේද? 
එකල පරාජය විනිවිද දැක ඉන් ගැලවී ප්‍රජාන්තත්‍රවාදී මගෙහි පාලන බලය ලබාගන්නා මාවත දිගේ පක්ෂය යැවීමට සිදු කල යොජනා වලට රැහැනිව සිටියවුන් පක්ෂ නායකත්වයට පත්වීම හරහා ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ආණ්ඩු විවේචනය අවසානයේ එය ගැට ගසන අන්තය පිළිබඳ නිසි චිත්‍රයක් ඉදිරිපත් නොකරමින් වියුක්තව සිදුකරන ආකර්ෂණීය හුදු විවේචන මගින් ෆේස්බුක් , ගොසිප් අඩවි ආදිය තුල ලාමක වීරයන් විය හැකි මුත් සැබෑවට මහපොළවේ දෙශපාලන මුල් ඇල්ලිය හැකි වෙනසක් නම් සිදු නොවන බව පැවසීමට අංජනම් බැලිය යුතු නැත. 



-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය 
www.yuthukama.com

2/18/2014

සිංහ ධජයේ කතාව

කතෘ:යුතුකම     2/18/2014   2 comments
ගැමුණු රජතුමන් භාවිතා කළ ධජය

සිංහ ධජයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එය අපගේ ලිඛිත ඉතිහාසය තරම්ම දිග ඉතිහාසයකි.



ක්‍රිස්තු පූර්ව 486 දී  ලක්දිවට පැමිණි විජය රජු ප්‍රමුඛ පිරිස සිංහයකු සහිත ධජයක් රැගෙනවිත් ඇත. විජය රජුගේ අනුප්‍රාප්තිකයෝද එම ධජය නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස අඛණ්ඩව භාවිත   කළ බව මහාවංශයේ හා චූලවංශයේ සඳහන්වේ. ගැමුණු රජාණෝ සතුරු එළාර හා සටන් ව්‍යපෘතිය තුලදී සුරතින් අසිපත රැගත් කේසර සිංහයකුගේ රුවක් ඇති ධජයක් භාවිතා කළහ. සිංහ රුවට ඉහළින් හිරු හා සඳු සංකේතාත්මකව දක්වා තිබුනි.

1815 මාර්තු දෙවන දින අත්සන් කෙරුනු උඩරට ගිවිසුමෙන් ලංකාවේ රජු ලෙස බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු ලෙස පිළිගන්නා තෙක්ම එම සිංහ ධජය මෙදිවයිනෙහි ධජය ලෙස රජවරුන් විසින් භාවිතා කරන ලදී. ඉන් පසු ඉංග්‍රීසීන් විසින් එක්සත් රාජධානි කොඩියම ඔවුන්ගේ රජ‍යේ කොඩිය ලෙස භාවිතා කරන ලදී.
එංගලන්තය වෙත රැගෙන යන ලද සිංහ ධජයට සිදු වූයේ චෙල්සියා රාජකීය ආරෝග්‍යශාලාවේ වැතිර සිටින්නටය. වසර ගණනාවක් පුරා එක්සත් රාජධානි කොඩිය යට්තේ සිටින ලාංකිකයන්ගේ මතකයෙන් ඒ සිංහ ධජයේ හැඩ රුව ගිලිහින.


නුවර යුගයේදී හා 1948 සිට 1951 දක්වා භාවිතා කළ ධජය
ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය ශක්තිමත් වූ විසිවන සියවසේ මුල් බාගය තුළ එම ව්‍යාපාරයේ ප්‍රමුඛ ක්‍රියාකරිකයකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එවක දිණමින පුවත් පතෙහි අයිතිකරු වූ ඩී. ආර්. විජේවර්ධන මහතාගේද සහය ඇතිව එංගලන්තයේ චෙල්සියා රාජකීය රෝහලේ තබා තිබූ සිංහ ධජය සොයා ගත්තේය.


සිංහ ධජය ජාතිකත්වයේ සංකේතයක් විය. සවුත්වුඩ් සහ සමාගම විසින් එම ධජය 1815 වන විට පැවති ලෙසම වර්ණ හා රූප සම්පාදනය කරන ලදී.

ලාංකීය නිදහස සිදී ගොස් වසර සියයක් ගත වන දින පළ කරන ලද විශේෂ දිණමින කලාපයක මුල් පිටුවේ එම සිංහ ධජයේ වර්ණ පින්තූරයක් පළ විය. එය මහජනයා අතර දැඩි අවධානයට ලක් විය.



අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හා ජේ. ආර්. ජයවර්ධන යන අය ජාතික ධජය පිළිබඳ ගැට්ළුවට ක්‍රියාකාරීව මැදිහත් වූ ප්‍රමුඛ දේශපාලනඥයන් විය. 1945 දී ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍යය උත්සව වලදී ජාතික ධජය එසවීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳව ප්‍රකාශයක් කළේය.



1948 ජූලි 16, මඩකලපුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සින්නලෙබ්බේ පාර්ලිමේන්තුවේදී සිංහ ධජය අපගේ ජාතික ධජය ලෙස පිළිගැනීමට ඇති හේතු පැහැඳිළි කරමින් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේය. ඒ. ඊ. ගුණසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය. කන්කසන්තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ජේ. වී. චෙලවනායගම් හා වඩුකොඩෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කනගරත්නම් යන අය එම යෝජනාවට ප්‍රතිපක්ෂ වෙමින් එය ප්‍රතිශෝධනය කරන ලෙස විරුද්ධත්වය පෑම නිසා ගැටළු සහගත තත්වයක් උද්ගත විය.  එම තත්වය යටතේ නොකැළඹුනු අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක මහතා දැඩි අවධාරණයෙන් පැහැඳිළි කළේ සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොවූ බවත් අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රමරාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා වූ බවය. එනිසා සිංහ ධජය ලාංකීය ධජය ලෙස පිළිගත යුතු බව එතුමා සඳහන් කළේය.



බ්‍රිතාන්‍යය-ලංකා කොලනියේ ධජය (1875-1948)
1948 ජනවාරි 27 දින උපදේශක කමිටුවක් පත්කොට ජාතික ධජය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අග්‍රාමාත්‍යය වරයාට උපදෙස් ලබා දීමට එයට  පවරන ලදී. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල,  ජේ. ආර්. ජයවර්ධන, ටී. බී. ජයා, ලලිත රාජපක්ෂ, ජී. ජී. පොන්නම්බලම් සහ සෙනෙට් මන්ත්‍රී ඇස්. නඩේසන් යන අයගෙන් එම කමිටුව සැදුම්ලත් විය.



1948 පෙබරවාරි 4 දින අපට නිදහස ලැබෙන දින ජාතික ධජය එසවිය යුතු බවට අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, පාර්ලිමමේන්තු නායක ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනාය හා මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන ආදීහු පැහැඳිළි මතයක සිටි‍යෝය. එසේම ඊට විරුද්ධව යම් යම් කණ්ඩායම් ක්‍රියා කරනු වළකාලනු වස් වෙනත් ධජයක් එසවීම තහනම් කරමින් දැඩි අවවාදයක් නිකුත් කරන ලදහ. කිසියම් හෝ පුද්ගලයකු එය අනුචිත යයි සිතන්නේ නම් ඔහුට හෝ ඇයට එක්සත් රාජධානි ධජය එසවීමට අවසර  ලැබිනි.


එදින සියළු රාජ්‍යය ගොඩනැගිලි වල ජාතික ධජය හා එක්සත් රාජධානි ධජය ඔසවා තැබුනි. එනමුදු උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතික ධජය එසවීමක් නොකළේය. ඉංග්‍රීසීන්ට රට භාර දෙන විට නොතිබුන  පන්නයේ ජාතිවාදයක් හිසින් ගත් දේශපාලන භූමිකාවකට දමිළ දේශපාලනඥයන් ඉංග්‍රීසි පාලන සමය තුල හුරු වී සිටීමේ අවාසනාවන්ත ප්‍රතිපලයකි එය.

ජාතික ධජය පිළිබඳ උපදේශක කමිටුව 1948, 1949 හා 1950 යන වසර වලන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එකොළොස් වරක් රැස් විය. කමිටුවේ තීරණය  උතුර සඳහා මන්ත්‍රී බී. නඩේසන් හැර අන් සියළු දෙනාගේ අනුමැතිය හා අත්සන සහිතව ලබා දුනි. 1951 දී මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට බදුන් කරන ලදුව ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ජේ. ආර්. ජයවර්ධන ඊට එරෙහිව පැන නැගි වාදයන්ට දක්ෂ ලෙස පිළිතුරු සැප‍යිය. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ ව්‍යක්තභාවය හා චතුර බව විපක්ෂ මන්ත්‍රී සුන්දරලිංගම් වෙත පිළිතුරු දීමේදී මැනවින් ඉස්මතු විය. 1951 මාර්තු දෙවන දින ජාතික ධජය පිළිබඳ කමිටු වාර්තාවට පක්ෂව  ඡන්ද 51ක් හා ප්‍රතිපක්ෂව ඡන්ද 21 ක් පාර්ලිමේන්තුව තුල ලැබී එය සම්මත වන විට එදින රෑ බෝ වී තිබුනි. අට දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 1952 පෙබරවාරි මාසයෙන් පසුව එක්සත් රාජධානි ධජය අපගේ කොඩි ගස දිගේ ඉහළට නොනැගි අතර පාර්ලිමේන්තුව තුල සම්මත කෙරුනු ජාතික ධජය සැම විටම ඔසවන ලදී.

1951 සිට 1972 දක්වා භාවිතා කළ ජාතික ධජය

රතු පැහැති පසුබිමක අසිපතක් සුරතින් රැගත් කහ  පැහැති සිංහ රුවක්, සතර කොණින් බෝ කොළ හතරක් , කොළ හා තැඹිලි පැහැති සිරස්  තීරු දෙකක් සහ කහ පැහැති රාමුවකින් එම ධජය සමන්විත විය. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ  කමිටු වාර්තාව විසින් එම රූප සහ වර්ණයන් සඳහා අර්ථ නිරූපණයයක් ලබා දී නොතිබීමයි. කොළ තීරුවෙන් මුස්ලිම් වරුන් සහ තැඹිලි තීරුවෙන් දමිල වරුන් නියෝජනය වන බව සඳහන්ව තිබුනේ ඇස්. නඩේසන් මන්ත්‍රී විසින් ලබා දුන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ ලියවිල්ලෙහිය.

1971-72 ජාතික ධජය නැවත වරක් විවරණයකින් පසුව, 1972 මැයි 22 දින වඩා පැහැඳිළි ලෙස පෙනෙන ලෙස බෝ කොළ හතර පමණක් සකස් කර සම්මත කරන ලදී.

1972 සිට භාවිතා වන ජාතික ධජය
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් ජාතික ධජය අ‍පගේ ව්‍යවස්ථාවට ඇතුල් කරන ලදී.

ඒ ජාතික සිංහ ධජයේ ඉතා දිගු කතාවයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුගය තෙක්, ඉංග්‍රීසීන්ට රට බාර දෙන තෙක් සිංහ ධජය, නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස මෙරට භාවිතා විය. නිදහස් සිංහයා නැවත සොයා යන විට ජාතිවාදී අදහසින් පෝෂණය වූ දමිළ දේශපාලනඥයන් පිරිසක් ඉංග්‍රීසීන් විසින් බෝ කර තිබුනි. ඔවුනට සිංහයා පිළිගැනීම ගැටළුවක් විය. ඒ ඔවුන් සිංහයා තුලට අවශෝෂනය වන්නට අකමැති නිසාය. වෙනම වෙන්ව කටයුතු කිරීමට වුවමනාවකින් ඔවුන් සන්නද්ධ කර තිබූ බැවිනි. ජාතික කොඩි‍යේ කතාන්දරය තුළින්ද පැහැඳිළි වන්නේ වෙනකක් නොව ඉංග්‍රීසීන් විසින් ඇති කළ බෙදීමේ මානසිකත්වය මත සිංහයාට අහිමි වූ නිදහසයි.

මහාමාන්‍යය ඩී. ඇස්. සේනානායක මහතා 1948 ජූලි 16 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොව, අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා විය. 51 කමිටුව විසින් සිංහ කොඩියට කොළ සහ තැඹිලි තීරු දෙකක් එක් කරන්නට ඇත්තේ, එය යුක්ති සහගත වන නිසා නොව ඓතිහාසික උරුමයක් වූ සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගැනීම සඳහා වූ විරෝධය නිසාම විය යුතුය. ඉංග්‍රීසි පාලන සමය තුල බලවත් කෙරුනු දමිල ජාතිවාදය පිනවීමට එදත් අදත් අතාර්කික වූ බාග තීරණ වලට එළැඹීමේ නරක පිළිවෙතක් අපි අනුගමනය කරමින් සිටින්නෙමු. ඒ නිසා සිදුව ඇත්තේ ජාතිවාදය උත්තේජනය වී බලවත් වීම මිස ඔවුන් සෑහීමකට පත් වීම නොවන බවට ජාතික ධජයේ කතාව එක් උදාහරණයක් පමණි.

(2010 පෙබරවාරි 4 වැනිදා The Island පුවත් පතට වෝල්ටර් විජේනායක මහතා විසින් රචිත ලිපියක් ඇසුරු කොට තොරතුරු ලබා ගන්නා ලදී.) 






-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

2/17/2014

ආයුබෝවන්! අපි හලෝ කියන්නේ නෑනේ

කතෘ:යුතුකම     2/17/2014   2 comments


අහස අයාලේ පාවී යන පැහැදුල් වලා රංචුවලින් ද හාත්පස දීප්තිත් හිරු කිරණින් ද සජ්ජිත ඒ අපූරු උදෑසන අද මෙන් මට මතක ය. මම මගේ කුළුපග මිතුරෙකු සමඟ කැලණි සරසවියට යාමට බොරැල්ලෙන් බසයක් ගතිමි. බසය ගමනාගමන මණ්ඩලයට අයත් එකකි. එහි ගුවන්විදිලිය City FM සේවයට සුසර කොට තිබීම සිතට සැනසිල්ලක් විය. ඒ වන විට විකාසය වෙමින් පැවතියේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයකි. වැඩසටහන මෙහෙයවූයේ ජයන්ත රෝහණ නම් ප්‍රතිභාසම්පන්න නිවේදකයා ය. ගේය රචකයා ය. වේලාව හරියට ම 10.10 විය. එවර ගීයක් ඉල්ලා දුරබනුව ඔස්සේ අසන්නියක් පැමිණියා ය.

නිවේදක:ආයුබෝවන්! ගීයක් අහන්න කවුද දැන් දුරකතන ඔස්සේ ඇවිත් ඉන්නේ?
අසන්නිය:හලෝ හලෝ මම ...
නිවේදක: අපි හලෝ කියන්නෑනේ. ආයුබෝවන්! එහෙම හොඳයි නේද?
ඒකනේ සිංහල සිරිත ...
අසන්නිය:ආයුබෝවන්! ආයුබෝවන්! එහෙම හොඳා.

මේ කුඩා සංවාදය මා උපුටා දැක්වූයේ ජනමාධ්‍යයට සමාජයකට කළ හැකි බලපෑම පෙන්වාදීමට ය. ජනමාධ්‍යයට සමාජයක් සුමඟට ගැනීමේ ක්‍රියාවලියේ පෙරගමන්කරුවා වීමට ඇති හැකියාව පෙන්වාදීමට ය. එහෙත් අපේ රටේ මාධ්‍ය සමාජය සුගතියෙන් දුගතියට දක්කාගෙන යනු මිස සිය සමාජ වඟකීම ඉටුකරන බවක් නොපෙනේ. කෙසේ වුව ද දැන් දැන් ඇතැම් මාධ්‍ය සිය හරසුන් මාධ්‍ය විගඩමෙන් ඔබ්බට යාමේ සුබ පෙරනිමිති ඇති බැව් කීමට ද මම මැළිනොවෙමි. මෙවන් ලිපියකට මා යොමු කළ ඒ අපූරු විනාඩි කිහිපය ඊට කදිම නිදසුනකි. දැන් අපි මෙකී සුපැතුම් මාදිලි ගැන යමක් විමසා බලමු.

Hello යනු ආචාර කිරීමේ සහ සුබ පැතීමේ වාගාලාපයක් ලෙස ඉංගිරිසියේ යෙදෙන, ජර්මන් බසින් හිලව්වට ගත් වදනෙකි. එහෙත් සිංහලයේ එය හුදු ශබ්දයක් විනා එවන් අරුතක් නොනඟයි.

පැරණි සිංහලයෝ සිය සංස්කෘතියට පරිසරයට උචිත සුපැතුම් විදිහක් නිර්මාණය කර ගත්හ. ඒ ආයුබෝවන් යන පැතුමයි. ඇමතුමයි. කිසිවෙක් මුණගැසුණු විට සුන්දර සිනාවකින් වත සරසාගන්නා සිංහලයාගේ මුවට “ආයුබෝවන්!” යන්න නිතැතින් ම නැඟිණි. එහි අරුත “ආයුෂ බොහෝ වේවා!” “දිගුකල් වැජඹේවා!” යන්න ය. මදක් සිතා බලන්න එය කෙතරම් වටිනා ආශිර්වාදයක් ද? කිසිවෙකු වෙනුවෙන් ඉන් ඔබ්බට අපට කළ හැකි ආශිර්වාදය කුමක් ද? දවසේ කොයි කවර වේලේ වුවත් මේ තනි වදනින් අපට ඕනෑ ම අයෙකු හා සංවාදයට මුලපිරිය හැකි ය. ඕනෑ ම අයෙකුට ආශිර්වාද කළ හැකි ය. දුරකතන සංවාදයකට මුලපිරීම සඳහා ද ආයුබෝවන් යන වදන තරම් උචිත වදනක් මට සිතාගත නොහැකි ය.

මෙවන් සොඳුරු වදනින් පෝෂිත සිංහලය මව් බස කොට උපන් අපි උදේ පටන් අනේක පැතුම් පතමු. සුබ උදෑසනක්! සුබ මධ්‍යහ්නයක්! සුබ සන්ධ්‍යාවක්! සුබ රාත්‍රියක්! ඉන් සමහරකි. සමසීතෝෂ්ණ දේශගුණයක් සහිත රටක වසන අපට මේ පැතුම කිසිවක් අර්ථාන්විත නැත. බටහිර රටවල මෙන් විශාල කාලගුණික විපර්යාස මෙරට නැත. එනම් ක්ෂණික හිම පතන, හිම කුණාටු, අයිස් වැසි අපට ආගන්තුක ය. එහෙයින් අපට හැම උදෑසනක් ම සුබ උදෑසනකි. හැම රාත්‍රියක් ම සුබ රාත්‍රියකි.

එහෙයින් අප තව දුරටත් මේ නිසරු වදන් නොදොඩා අපේ උරුමය වෙත යමු. අපට මුණගැසෙන අයට “ආයුබෝවන්” කියමු. දුරකතන සංවාදය “ආයුබෝවන්” කියා අරඹමු. දිවයින පුවත්පතට ලිපි පෙළක් ලියන මනෝවිද්‍යා උපදේශකවරියක එය හදුන්වා තිබුණේ විශිෂ්ට පෞරුෂයක ලක්ෂණයක් වශයෙනි. එහි ඇත්ත නැත්ත ඔබ මේ සද්සිරිතට අනුගතවීමට උත්සුක වූවොත් වැටහෙනු ඇත. අනෙක් අතට හැම අතින් ම ලෙහෙසිය පහසුව හොයන අද කාලේ දවස පුරා එක ම වදනකින් ආශීර්වාද කළ හැකිවීම සහ සංවාදයට මුල පිරීමට හැකිවීම ම කෙතරම් වටිනවා ද?

එහෙම කළොත් සුද්දොත් අපට සිනාසෙන 1505 පස්සේ අපට බෝ වුණු රෝගී තත්ත්වයක් දූරිභූත වෙනවා. එය ලේනාඩ් වුල්ෆ්ගේ වචනවලින් ම ලියාතබමි. ලේනාඩ් වුල්ෆ් යනු වර්ෂ 1904-1911 දක්වා සුදු ආණ්ඩුව යටතේ සේවය කළ සිවිල් සේවකයෙකි. සිංහල දෙමළ භාෂා උගත්තෙකි. ලංකා සමාජය පිළිබඳ ඇසූපිරූ දැනුමැත්තෙකි. ‘බැද්දෙගම’ හෙවත් ‘village in the jungle’ නමැති සුප්‍රකට නවකතාවේ කතුවරයා ය. “දැං ලංකාවේ රාජකාරි භාෂාව සිංහලනේ. එංගලන්තෙන් ආපු මං වගේ කෙනෙක් සිංහලෙන් කතා කිරීම රාජ්‍ය භාෂාවට ගෞරවයක්. ... වැදගත්ම කාරණේ ඒක නෙමෙයි. ඉංග්‍රීසි උගත් සිංහලයෝ ලංකාවෙදිත් සිංහල කතා කරන්න කැමති නැති එකයි. මට එංගලන්තෙදි ලංකාවේ උගත්තු මුණගැහෙනවා. යාපනේ ද්‍රවිඩ උදවිය එංගලන්තෙදි මා එක්ක සිංහලෙන් කතා කරනවා. පුදුම තත්ත්වයක් නේද? ලංකාවේ සිංහලයෝ එංගලන්තෙදි මා මුණ ගැහුණාම ඉංග්‍රිසියෙන් තමයි සංවාද කරන්නේ.”
(විජේසිංහ බෙලිගල්ල -1995, ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක්,ගොඩගේ.)

මෙහිදී මා කීමට උත්සහ කළේ සිංහලයා ඉංගිරිසි කතා නොකළ යුතු බව නොවේ. ඉංගිරිසි දෙමළ පමණක් නොව හැකි තරම් භාෂා උගත යුතු ය. කතාකළ යුතු ය. එය අභිමාණයෙකි. එහෙත් අප සිංහලයින් බවත් අපට අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ මහරු සංස්කෘතියක් හර පද්ධතියක් ඇති බවත් අමතක නොකළ යුතු ය. ඒ උරුමය අපේ අනාගතයට දයාද කළ යුත්තේ ද අප මිස අන් කවරෙක් ද?





-නාමල් උඩලමත්ත (සංහිඳ)
යුතුකම සංවාද කවය

2/12/2014

බලු වෙන සමාජය

කතෘ:යුතුකම     2/12/2014   4 comments
ඇමෙරිකාවට පැමිණි මුල් දිනවලදී මා මවිතයට පත් කළ කරුණු දෙකක් විය. එකක් එහි භූමියේ විශාලත්වයය. රටේ දිග පළල ගැන මා කලින් දැන සිටියත් ඇසින් නොදැක එවැනි විශාල භූමියක් ගැන හිතා ගැනීමට මට නොහැකිවිනි. දෙවෙනි කරුණ වූයේ ඇමෙරිකානුවන් කෙතරම් සමාජයෙන් චෙන්වී සිටීද යන්නය. රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වීමට ලැබීමත් සමඟ කාලයාගේ ඇවෑමෙන් භූමියේ විශාලත්වය මා තව දුරටත් මවිත නොකරන සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති මුත් දෙවෙනි කරුණ පිලිබඳ මම අදටත් විටින් විට මවිත වෙමි. මේ සමාජය අත්නොදැක සිටියානම් වෙන්වී ජීවත්වීමේ ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමට මට නොහැකිවනු ඇත. පැහැදිලිවම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම පිලිබඳව මා අනුමාන කළදෙයයි මා එය අත්දකින අයුරයි අතර වෙනසක් ඇත. මා මවිත කරවන්නේ ඒ වෙනසයි. 

සමාජයෙන් වෙන්වීම යනු හුදෙකලාවීමම නොවේ.  එකමුතු බවක් නැතිවීමද නොචේ. එය ආත්මාර්ථකාමයද නොවේ. ආත්මාභිමානයද නොවේ. මේ එකකුදු නොවුනද වෙන්වීම තුල මේ දෑ නැතුවාද නොවේ. වෙන්වීම තුල සමාජය හා පුද්ගලයා අතර සම්බන්ධයට වඩා යමක් ඇතැයි මම සිතමි.


ලංකාවේ කුඩා දරුවෙකුට තමා ගැන විස්තරයක් කීමට කිවහොත් පැකිලෙමන් බොහෝවිට තමන්ගේ දෙමව්පියන් යහළුවන් තමන් ජීවත්වෙන ගම ආදිය ගැන කථාවක කියනු ඇති නමුත් ඇමෙරිකාවේ දරුවකු කිසිදු පැකිලීමකින් තොරව කරන තමාගැන විස්තරයේ වැඩි අවධානයක් දෙනු ඇත්තේ තමන් කුමන ආකාරයේ පුද්ගයෙක්ද, තමන් කැමති අකමැති දෑ මොනවාද යන්නටය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි.


ලංකාවේ ක්‍රීඩාගාරයක ක්‍රිකට් තරඟයක් නැරඹන රසිකයෝ ක්‍රීඩා තරඟය රස විඳින අතරම නටමින් ගයමින් ඔවුනොවුන්ගේ සංගමයද විඳිති. නමුත් ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ පුද්ගලයා තරඟය නරඹමින් පුද්ගලික වින්දනයක් ලැබීමය. පිරිසක් සමඟ සිටියත් එහි ඇත්තේ පුද්ගලික අත්දැකීමකි. ඇමෙරිකාවේ වැඩිහිටියන් එකතුවෙන තැන පමණක් නොවේ කුඩා දරුවන්ගේ උපන්දින සාදවල පවා වැඩිමනත් සිදුවන්නේ ඒ ඒ දරුවා තම තමන්ගේ පුද්ගලික වින්දනයක් ලැබීමය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි. මා සිතන අන්දමට අද අප රටේ ජීවත්වෙන ඉහලම ඝනයේ ලිබරල්වාදීන්ටවත් ඇමෙරිකානුවන් තරම් වෙන්වී පවතින්නට හැකියාවක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඔවුන් වෙලා සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට වෙන් වෙන්නට ඉඩ නොදෙන නිසයි.


කෙසේ වෙතත් පුද්ගලයා සමාජයෙන් වෙන්වීම බටහිර සංස්කෘතිය තුල පැවැත්ම පිළිබඳ දරන ආකල්ප වල ප්‍රතිඵලයක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ “මම” පවතින්නේ සෙසු ලෝකයෙන් ස්වායත්තවය. බටහිර නොවන සමාජතුල “මම” පවතින්නේ මම නොවන අන් සියලු දෑ සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතිවය. 


ටැන්සානියාවේ හස්ඩා ගෝත්‍රිකයින් ඔවුන් සතු දෑ අන් සතු කිරීමට ඇති කැමත්ත අකමැත්ත විමසීම සඳහා මෑතකදී ඇමරිකානු සමාජ විද්‍යාඥයින් පිරිසක් විසින් පර්යේෂණයක් සිදුකෙරිනි. එහි නිරීක්‍ෂණය වූයේ ධනවාදී ආර්ථිකය සමඟ යම් තරමක් ගනුදෙනු පැවැත්වූ හස්ඩා වරුන් තමන්සතු දේ පිළිබඳ දැඩි ඇල්මක් දැක්වූමුත් දඩයමින් දිවි ගෙවූ සෙසු හස්ඩාවරුන් එසේ නොවුනු බවය. ඔවුන් තමන් සතුදේ අන්සතු කිරීමට බෙදා ගැනීමට හෝ හුවමාරු කර ගැනීමට අර තරම් අකමැත්තක් නොදැක්වූහ. දැන් මේ කථාව ඊනියා පර්යේෂණයක් නොකර වුවද මේ ලිපිය කියවන ඔබට අනුමාන කර ගැනීමට හැකිවේයැයි මම සිතමි. කෙසේ වෙතත් බලාපොරොත්තු විය හැකි පරිදි ඇමරිකානු සමාජ විද්‍යාඥයින් නිගමණය කළේ දඩයමින් දිවි ගෙවූ හස්ඩා වරුන්ට ස්වභාවයෙන්ම සම්පත් හිඟ බැවින් බෙදා හදාගෙන ජීවත්වන්ට සමාජයෙන් ඔවුන් පොලඹවන බවත් එසේ නැති විට ඔවුන්ට සමාජයෙන්ම දඬුවම් ලැබිය හැකි බවත් ඒ නිසා ඔවුන් තමන් සතු දේ පිළිබඳ ලිහිල් ආකල්ප දරනවා විය හැකි බවත්ය. ඔවුන්ගේ ඊනියා පර්යේෂණයෙන් මේ බව “ඔප්පු” නොවේ. මෙය හුදු උපකල්පණයක් පමණි. කෙසේ වෙතත් ඒ උපකල්පණය මම පිලි නොගනිමි. මගේ උපකල්පණය නම් මේ මිනිසුන් තමන් සතු දේට එතරම් බැඳීමක් නොදක්වන්නේ ඔවුන් සෙසු ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී පවතින නිසාය. ඇමෙරිකානුවන්ගේ පැවැත්ම එසේ නොවේ. ඔවුන්ගේ පැවැත්ම සෙසු ලෝකයෙන් ස්වායත්තය. සමාජයෙන් වෙන්වීමට භෞතික දේට ඇලීමට ඇමෙරිකානුවන් හුරු වන්නේ ඒ පැවැත්ම නිසාය. 


ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නට යම් ආකාරයක දියුණු මනසක් තිබිය යුතුයැයි මම සිතමි. ඒ අනුව දඩයමින් දිවි ගෙවන හස්ඩාවරුන්ට අනිත් හස්ඩාවරුන්ට වඩා යම් ආකාරයක දියුණු මනසක් ඇතැයි කිව හැකිය. හෙළයින්ටද ඒ දියුණු මනස තිබෙන්නට ඇති. අද වන විට සිංහලුන්ගේ ඒ මනස පිරිහී ඇති මුත් අපි තවමත් බටහිරුන් තරමට පහලට වැටී නැත. 


වෘකයින්ට ඉතා සංකීර්ණ සමාජ රටාවක් ඇතැයි කියැවේ. උන් ජීවත් වන්නේ කන්ඩායමක් වශයෙනි. දඩයම් කිරීම, පැටවුන් බලා කියා ගැනීම, සතුරු උවදුරුවලට මුහුණ දීම, තම වැයික්කිය ආරක්‍ෂා කර ගැනීම වැනි සංකීර්ණ ක්‍රියා උන් කණ්ඩායමක් වශයෙන් ඉටු කර ගනිති. නමුත් වෘකයින්ගෙන් පැවත ඒ යැයි සැලකෙන දඩාවතේ යන බල්ලන් ගැවසෙන්නේ තනියෙනි. ඔවුන් එකතු වුනත් එසේ වෙන්නේ බොහෝවිට බැල්ලියක් පසුපස යාම සඳහා පමණි.  සංකීර්ණ සමාජයක් පවත්වාගෙන යාමට වෘකයින්ට තිබූ යම් දියුණු මනසක් බල්ලන්ගෙන් ගිලිහී ඇතැයි කිව හැකිද? ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පවත්වාගෙන යාමට අපට පෙර තිබූ යම් හැකියාවක් අපෙන් ගිලිහී ඇත්තේ මේ ආකාරයටම නොවේද? ජංගම දුරකථනවලට අන්තර් ජාලයට මිනිස් සම්බන්ධතා සුලු කර දමමින් අපි තවත් බලු වෙමින් සිටින්නෙමුද?



-වංශපුර දේවගේ ජානක (මගේ රට)
යුතුකම සංවාද කවය

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions